අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

   ප්‍රියයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුව ඇත. කෙසේ හෝ මම දැන් සිටින්නේ ගංගොඩවිල අප සතුව තිබූ නිවසින් ඉඩම් දෙකක් තුනක් මෙහාට වෙන්නට වූ නැන්දලාගේ ගෙදරය. ආනන්ද අයියාගේ කාමරයේම එක් ඇඳක් මට අයිති විය. පොත්පත්ද, ඇඳුම් පැළදුම්ද අම්මා විසින් නිසිලෙස අසුරා තබා පසුවදා උදේ පාසල් බස් රථයටත් ගොඩකර ඔවුන් පිටත්ව ගිය බවක්වත් මට මතකයේ නැත. එක දෙයක්නම් මතකය. ඒ මම නොහැඬු බවය.

    නැන්දලාගේ ගෙදර නියමිත කාලසටහනකට වැඩකරන තැනක්ය. දරුවන් හතර දෙනෙකුන් යුත් ඒ පවුලේ සියල්ලන්ම මට වඩා බොහෝ වැඩිමහල්ය. උසස් පෙළ හදාරමින් සිටියේ පවුලේ බාලයා වූ සර්ධා අක්කාය. වැඩිමහලා වූ බන්ධුල අයියා, නොයෙකුත් නව නිර්මාණයන් අත්හදා බලන්නෙකි. වරක් පිදුරු වලින් කඩදාසී නිශ්පාදනයක්ද, අලවන ගම් වර්ගයක්ද, අයිස් කෝපි, නෙල්ලි යුෂ වැනි දේ බෝතල් කිරීමද වැනි නිමක් නැති වැඩ රාශියක් වත්තේ මඩුවක් තුල සිදුවිය. මේවා සියල්ලක්ම පර්යේෂණ මට්ටමේම අඩාල වු නිශ්පාදනයන්ය. ගෙදර කවුරුවත් මේවාට උදවු නොවන නිසා අකමැත්තෙන් වුවද මට සහභාගි වෙන්නට විය.

   නිතරම පොත පත කියවන මොහු දක්ෂ ගුවන්විදුලි යන්ත්‍ර කාර්මිකයෙක්ද විය. ග්‍රැමෆෝනයක්ද, බොහෝම පැරණි ගී තැටි රාශියක්ද ,රේඩියෝ සඟරාව, සෝවියට් දේශය ඇතුලු බොහෝ පොත්පත් රාශියක් සහිත අල්මාරියක්ද මොහුගේ කාමරයේ විය. ගුවන්විදුලි සංස්ථාව විසින් මාසික සඟරාවක් ලෙස ප්‍රකාශ කෙරුනු රේඩියෝ සඟරාවත්, සෝවියට් දේශයත් මම ඉතා උනන්දුවෙන් කියවීමට පුරුදු වුනෙමි. සෝවියට් දේශය , කඩදාසි සහ මුද්‍රණ තාක්ෂණය අතින් ගත් කල ඉතා ඉහල මට්ටමක පැවතිනි. අද Hello සහ OK වැනි සඟරාවක් හා සමාණය. යම් තරමකට හෝ පොත්පත් කියවීමට මා හුරුවූයේ බන්ධුල අයියාගෙන් යැයි කිව යුතුමය. ඔහු හොඳ පොත පත තෝරාදී කියවන්නට යෝජණා කලත් මා කැමති වූයේ ලී මඩුවේත්, අල්ලපු වතුවලත් කවුරුත් හා එක්ව සෙල්ලම් කිරීමටය.

   පාසැල් ඇරී පැමිණ දහවල් කෑමෙන් පසු සෙල්ලමට සීමිත කාලයක් ලැබුනි. නැන්දලාගේ නිවසේ පලවෙනි කාමරය බුදු කාමරය විය. හැන්දැවේ හය වෙනවිට ඇඟ පත සෝදා පිරිසිඳු ඇඳුමෙන් සැරසී ගෙදර සියල්ලෝම එකට වාඩිවී බුදුන් වැඳීමේ අගනා චාරිත්‍රය සිදුකරන අතර, උදය, දවල්, සවස බුද්ධ පූජාව තැබීමද අනිවාර්ය අංගයක් විය. 1989 දී පවුලේ බාල පුතා වූ ආනන්ද අයියා සම්බන්ධව සිදුවූ කුරිරු සිදුවීමත් නිසා බොහෝ ලෙස මානසික කඩා වැටීමකට ලක් වූ නැන්දා , තමන් සතු සමහරක් දේපලද පන්සල්වලට පූජාකර, ඉන් බොහෝ කලකට පසු මිය පරලොව ගියාය. ඒ සිදුවීම මම පසුව ලියන්නෙමි.

   කාලසටහනකට වැඩ කිරීමත්, අධීක්ෂණයක් යටතේ ජීවත් වෙන්නට සිදුවීමත් එතරම් රුචි නොවීය. මෙතනදී මම වැරදි බව මම දනිමි. නමුත් මට මේවා නියමාකාරයෙන් වටහාදීමට කිසිවෙක් නොවීය. මමත් තවත් පාසැල් මිතුරන් දෙදෙනෙකුත් පාසල් බසය මගහැර, පාසලෙන් පසු පිට්ටනියටවී ටික වේලාවක් සෙල්ලම් කර ටවුන්හෝල් එක ලඟින් බසයට ගොඩවීමට පුරුද්දක් කර ගතිමු. ටවුන්හෝල් දක්වා යන ගමන කෞතුකාගාරය මැදින් ඇති අතුරු පාරෙන් යන අප, ඒ වයසේදී කිසිවිටකත් නොකල යුතු වැරද්දක් නිසා මහත් අපහසුතාවයකට පත්විය.

        එකල කෞතුකාගාරය අසල ටොෆී, කඩල, සිගරට් ආදිය විකුණනා වෙලෙන්දන්ගෙන් අඩුවක් නොවීය. මොවුන්ගෙන් සිගරට් මිලදී ගැනීමට තහංචියක් නොතිබූ නිසාත්, විකිනීමට ඔවුන් මැලිකමක්ද නොදැක්විය. කුඩා එවුන් කඩයට යවා සිගරට් ගෙන්වා ගන්නා වැඩිහිටියන් එකල විය. එය නරක පුරුද්දක් විය. අප තිදෙනාද සිගරට් මිලදී ගෙන විහාරමහාදේවී උද්‍යානයේ ගසක් උඩ තිබූ අට්ටාලය උඩට නැග මෙලෝ හසරක් නැතිව දුම් උරන්නෙමු. දිනක් වැදගත් පෙනුමෙන් යුතු මහත්මයෙක් අට්ටාලයට නගින පඩිපෙල පාමුලට විත් වහාම බිමට බසින්නට අණ කලේය. පැයකට අධික කාලයක් ඔහුගේ දේශණයටත්, ගෝරනාඩුවත් ඇහුම්කන් දුන් අප තිදෙනාගෙන් දෙදෙනෙකු හඬන්නට පටන්ගත් නිසා නැවත විහාරමහාදේවී උද්‍යානයට පැමින අසුවුවහොත් පොලීසියට භාරදෙන පවසා යන්නට පැවසුවේය. එවකට ප්‍රසිද්ධ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පුතෙක් වූ ප්‍රසන්න අද නවසීලන්තයේද, පංතියේ කිරි බෝතල් බෙදීමේ රාජකාරිය පැවරී තිබු නිසා කිරා යැයි ඇමතූ හේරත්ද විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තනතුරක් හොබවන කිරා නම් වෛද්‍යවරයා, එදායින් පසු අදටත් දුම්පානයෙන් තොර අතර, මටනම් කොතෙක් උත්සාහ කලත් ඒ නරක පුරුද්දට තිත තබන්නට බැරි විය. අදටත් පාර තොටේදි කුඩාවුන් සිගරට් බොනවා දුටුවිට ඒ සිද්ධිය මතකයට නැගේ.

   මේ පලහිලව්ව නිසා එදා ගෙදර එන්නට බොහෝ පරක්කු විය. විත්තිකරු එනතෙක් විනිශ්චය මංඩලය නොඉවසිල්ලෙන් බලා සිටී. චෝදනාව ප්‍රමාදවී රපෝර්තු කිරීමය. බරපතලම චෝදනාව වාර්තාවීමට කිසිම ඉඩක් නැත. දෝෂාරෝපණ රාශියකට මුහුණ දී එකම දිනයේදී දෙවරක් හඬාවැටෙන්නට සිදුවූ නිසාත් දින කිහිපයක් ගතකරේ ඉමහත් කණස්සලෙනි. මේ සිදුවීම අප තිදෙනාගෙන් කිසිවෙක් පාසලේදීවත් නැවත කතා නොවුයේ , ඒ වැදගත් මහතාට පින් සිදුවන්නට ඇතිවූ තිගැස්සීම නිසාම විය යුතුය.

   දිනක් හැන්දෑවේ සෙල්ලම් කරමින් සිටි මට නැන්දාගේ “ගෙදර එන්නේ නැද්දයි” යන හඬ ඇසුනේ ඉඩම් දෙක තුනක් එහාට වන්නට  අප සිටි දිශාවටය. ඒ හඬින්ම මට දැනුනේ නැන්දා තදින් කෝපවී ඇති බවත්, තවත් චෝදනා පත්‍රයකට මුහුණ දෙන්නට වෙන බවත්ය. මම ගෙදර නොයෑමට තීරණය කලෙමි. හැඳ සිටි කොට කලිසමත්, කමිසයත් හැර සෙරෙප්පු දෙකක්වත්, අන් කිසිම දෙයක්වත් නොමැතිව ඒ අසලම ඇති අටේ කණුව බස් නැවතුම දෙසට පියමන් කලේ මමම දැයි මට තවමත් අවිශ්වාසය.

   මා සතු කිසිවක් නැත. ඉතිරිව තිබුනේ ඉහල තල්දූවේ ගෙදරට යෑමේ අධිෂ්ඨාණය පමනී. කොළඹ- අවිස්සවේල්ල 122 බසයක් පැමිනෙන තුරු එඩ්වින් ස්ටුඩියෝ එකට මුවාවී සිටි මා බසය නැවතූ සැණින් ඉදිරිපස දොරටුවෙන් දඩිබිඩියේ ගොඩවූයේ බසයෙන් බසිනා මගියෙක්ගෙන් හොඳ බැනුමක්ද අසමින්ය. වාසනාවකට හෝ අවාසනාවකට මට බැන වැදුනු මගියා, විජේරාමේ පදිංචිව සිටි අපේ මාමා කෙනෙක්ය. ඔහු මා හඳුනාගත්තේ බසය පනගන්වා ඉදිරියට ඇදීමෙන් පසුව බව මට පෙනුනි.

   ඔබ දන්නා පරිදිම එකල පෞද්ගලික බස් සේවයක් නොතිබූ අතර, ලංගම බස්වල පිටුපසටවී සිටිනා කොන්දොස්තර මහතා පස්සෙන් පන්න පන්නා ටිකට් ගන්නැයි, ටිකට් ගන්නැයි හඬා වැටෙන්නේවත්, අණ කරන්නේත් නැත. ඉදිරියෙන් ගොඩවනා මගියා පිටුපසට පැමිණ ටිකට් ගන්නා තුරු, කොන්දොස්තර මහතා ඔහුගේ ලෝකයේ කල්පනාවක නිමග්නව සිටිනවා හැර කිසිම කරදරයක් නැත. ඉල්ලුවොත් ටිකට් එකක් දීමත්, නැවැත්වූ බසය යලි ධාවනයට බෙල් එක ගැසීමත්, සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කොලයක කුරුටු ගෑමත් ඔහුගේ රාජකාරිය විය. “ඇතුල්වීම පිටුපස දොරටුවෙන් පමණි” යන දැන්වීම පැමිණියේ බොහෝ කලකට පසුය. 

    කොහොමින් කොහොම හරි අවිස්සාවේල්ලට පැමිණි බසයෙන් පිටවූ මා, තාත්තාගේ කන්තෝරුවට ගොස් ඔහු හමුවීම සහමුලින්ම අමතක කරදමා ඉහල තල්දූවට පයින්ම ගෑටුවෙමි. අවට සිරි නරඹමින්ද, ත්‍රාසය, බිය, ශෝකය ,කුතුහලය ආදී නන්වැදෑරුම් රසයන් ගෙන් යුත් මනසකින් යුතුව ගෙදරට ගොඩවූ පමනින් සියල්ලන්ම පුදුමයට පත්වූ අතර, ආච්චී දුවවිත් මා සිපගන්නට විය. කවුරුන් සමග මා පැමින ඇත්දැයි විමසිල්ලෙන් බැලූ අම්මා එකවරම හඬා වැටෙන්නට විය. ඔවුන් යමක් තේරුම් ගන්නට ඇත. සිපගැනීම්, හඬාවැටීම්, පාපොච්ඡාරණ සියල්ලම අවසන, රාජකාරී නිමවී පැමිණෙන තාත්තාට මුහුණ දිය යුතුය. කිසිදා ගුටියක් නොකා ඇති මා, එදාද තාත්තාගෙන් ගුටි නොකෑවා පමනක් නොව ඔහුගේ ආදරයටත් පාත්‍ර විය. ඔහු මා සනසාලන්නට විය. ගහෙන් වැටුනු එකාට ගොනා ඇණීමේ කලාව තාත්තාට කිසිදා ගෝචර නොවීය.

     මේවන විට අප පවුලේ හයවැනි දරුවා ලෙස ඉතා පියකරු නැඟණියක්ද එකතුවී සිටී. ගෙදර ආර්ථිකය එතරම්ම යහපත් නොවන බව රාත්‍රී ආහාර වේලෙන්ම වටහා ගැනීමට හැකිවිය. පසුව ආච්චීද ඒ බව මට කියාදුන්නේ අම්මාගේ මාල, කරාබුද උගසට තබා ඇති බවත්, ඇය පලඳන්නේ ආච්චීගේ කරාබු යුවලක් බවත් කියාය. 

                  මේ වනවිට නැන්දලාද කලබලවී ඇතිබව සහසුදක්සේ මම දනිමි. එදා සිකුරාදා රාත්‍රියක් නිසා තාත්තා පසුවදා පාන්දරින්ම ගංගොඩවිල බලා පිටත්වූයේ, එකල දුරකථන භාවිතාවක් නොවු නිසා තත්වය සාකච්ඡා කිරීමටය. ඒ වෙන විට මට බැන වැදුනු බස් මගියා මේ විස්තරය නැන්දාට පවසා ඇති බව මට වැටහුනත්, ඒ බව දෙමව්පියනට නොකීවෙමි.

    මම නැන්දලාගේ ගෙදරින් පැන ආවේ මගේ නොදැණුවත්කමත්, මානසික අපහසුතාවයත් නිසාය. පසුදින තවත් කෙනෙක් ගෙදරින් පැන ඇවිත් නැවතුනේ අපේ ගෙදරමය. එයත් අපහසුතාවයක් නිසා විය යුතුය. නමුත් නොදැණුවත්කමක් නිසා නම් නොවේ යැයි හිතමි. ඒ අපේ ලොකු අම්මාය. මල ජංජාලයකි. මම නැවත ලියමි.

      

   

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

56 Responses to අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

  1. silentsahan says:

    නියමම නියමයි අරූ… උපරිමයි… අකුරක් නෑර රස වින්දා… ඔබට හැකි වෙලාවට තිසරගේ රඟහල පොඩ්ඩක් බලන්න… තිසර තමයි මම මෙතෙක් දැකපු හොඳම බ්ලොග් භාෂා භාවිතය ඇති කෙනා.. තිසරගේ පෝස්ට් මතක් උනා මේක දකිද්දී… http://rangahala.blogspot.fr

    තව කියන්න තියෙනවා මේ පෝස්ට් එක ගැන ..පස්සේ එන්නම් අය්යේ…

    • ස්තූතියි සහන්…මම තිසරගේ බ්ලොග් එකට ගියා. සිම්පල් විදිහට ලියනවා. ලස්සන ෆොටෝ ටිකක් තිබුනා. ලියන එක නවත්තලාද?

    • silentsahan says:

      නවත්තලා නෙවේ තිසරගේ කුරුළු කූඩුවට අලුත් කුරුළු පැන්චියෙක් ඇවිත්.. ඉතින් මේ ටිකේ වැඩ රාජකාරි ඇති ඕසෙට …

  2. raigam says:

    මචං, මා බ්ලොගයක් ලිවිම පටන් ගන්න කොට මා දුටුවා ප්‍රධාන අඩුපාඩුව තමා අපේ කාලයේ මිනිසුන් ගේ ලියන එකේ අඩු පාඩුව. හේතුව මා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහෙනේ. හැබැයි අද එදාට වැඩියෙන් එවැනි පිරිස් ලියනවා. අප අපගේ අතීත ජීවිතය දෙස බලන්න ඕනේ, ටිකක් දුරින් ඉඳන්. උඹ ඒක කරනවා. මේ වගේ කතා ලියන ටින් ටින් මල්ලිලා නොකරන්නේ එයමයි. එවැනි කතා වලින් ගන්න දෙයක් නැහැ. ම කියවන හැමතැනම කොමෙන්ටු දමන්නේ නැත්තේ, ලියන්න දෙයක් හිතට නොඑන නිසා. ඔය රේඩියෝ සඟරාව මටත් මතකයි. අපට අහන්න වෙන දේශනා ගැන අද මා ඕනෙවට වඩා ලියුව බං!

    • Kenji @ Japan says:

      අපෝ..රයිගමගේ කොමෙන්ටුවෙන් පේනව,අරූ ගෙ ලිපිවල රසය.
      ලේසියෙන් ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමේ රයිගම.
      ජය වේ අරූ….

      • මචෝ කෙන්ජි……..රයිගම් කොහොම උනත් උඹ රස විඳිනවාද කියපන්. මම උඹේ කමෙන්ට් රසිකයෙක්.

      • කා(Ka) says:

        අඩෝ කෙන්ජි,
        කොයි බං දැන් බුදු ෆිට් එක. උබලත් මාර බඩු තමා.

    • //// අප අපගේ අතීත ජීවිතය දෙස බලන්න ඕනේ, ටිකක් දුරින් ඉඳන්. උඹ ඒක කරනවා. ////

      මචං රයිගම්….මේක තමයි හරිම විදිය. ජීවිතේ දිහා පිටිපස්සෙන් ඉඳන් බලන කොට හැම දෙයක්ම හොඳට පෙනෙනවා. අපි එහෙම බලන්නේ සමහර විට වයසෙන් සහ සමාජ අත්දැකීම්වලින් අපි තරුනයින්ට වඩා දේවල් අත් විඳලා තියෙන නිසා වෙන්නැති. මාත් ඉතින් නිරවුල් මනසින් වටපිටාව දිහා බලාගෙන ඉන්නවා.

    • රාජ් says:

      /අප අපගේ අතීත ජීවිතය දෙස බලන්න ඕනේ, ටිකක් දුරින් ඉඳන්. උඹ ඒක කරනවා. මේ වගේ කතා ලියන ටින් ටින් මල්ලිලා නොකරන්නේ එයමයි. එවැනි කතා වලින් ගන්න දෙයක් නැහැ./

      දුරින් ඉඳගෙන ජීවිතය දෙස බලන්නේ සාමාන්‍යයෙන් “දුර ගියපු” මිනිස්සු. ඉට වඩා අඩු වයස්කරුවන් ලියන්නෙ තමුන්ගෙ වර්තමානය. ඒකට දොස් කියල වැඩක් නෑ.

      • raigam says:

        නැහැ රාජ්, ඔබ තේරුම් අරන් තියන විදිහ වැරදියි. අතීත හා වර්තමාන කතා ලියන එක නොවේ මා අදහස් කලේ. 🙂 දුර ගියා කියල වැඩක් නැහැ. ටින් ටින් මල්ලිලා යනුවෙන් ද අදහස් කළේ වයස නොවේ.

  3. Chinthaka Supun says:

    //අප තිදෙනාද සිගරට් මිලදී ගෙන විහාරමහාදේවී උද්‍යානයේ ගසක් උඩ තිබූ අට්ටාලය උඩට නැග මෙලෝ හසරක් නැතිව දුම් උරන්නෙමු/// අගෙයි අගෙයි……….:D

  4. ලස්සන නවකතාවක් කියවනවා වගේ බං. උඹ කියන හැම දේටම මටත් එකතු කරන්න යමක් තියෙනවා ගෙදරින් පැනලා යාම හැර. මම ඒ වැඩේ නම් කරලා නෑ. වික්ටෝරියා පාක් එකේ සිගරට් බීපු එක මටත් පොදුයි. උඹ ඔය කියන කෞතුකාගාර ෂෝට් කට් එකේ මමත් කොච්චර ගිහින් ඇද්ද!

    • මචං ඩූඩ්…එකතුකරන්න තියෙන එවා නොමසුරුව එකතු කරපන්. ඒක මටත් ලොකු පන්නරයක්…මතකය චූන් කරගන්න.
      කමක් නැතිනම් කියපන්….මියුසියම් ශෝට්කට් එක උඹට සම්බන්ධවෙන්නේ කොහොමද කියලා. අන්ලිමිටඩ් ලෙස කාක්බෙටි වැටෙන මිල්ක්බෝඩ් එක මතකද කටුගේ ගාව.

      • මචං, උඹ තුන්මුල්ලෙ සෙන්ට්‍රල් ගිය නිසා ඒ අවට රස්තියාදු ගැහුවට, සුලෝහිතේට ගිය අපි අපේ වැයික්කියේ විතරක් නෙවෙයි කොළඹ පුරාම රස්තියාදු ගැහුවා. අපි බො‍රැල්ලේ ඉඳලා, වජිර පාරට යනවා විශාකාවන්ට පැණි පෙරන්න. ඉතිං හිතාගනිංකෝ.
        නැතුව නැතුව. ඒකෙන් කොව්ච‍රැ වැනිලා කිරි බීලා ඇද්ද? ඇයි බම්බලපිටියේ මිල්ක් බාර් එක?

      • අපි කියන්නේ හිම වැටෙනවා කියලා කාක් බෙටි වැටෙනවට.

      • ඩූඩ්…මම හොඳටම වල බැහැපු තැනක් තමයි ඩොනල්ඩ්ස් ගාව. පුංචි බොරැල්ල එක කාලයකදි මහ ගෙදර ඉස්තෝප්පුව වගේ බං…තොපේ හෙන සෙට් එකක් ඉන්නවා මගේ වල බජාර් එකේ. මම ඒවා තියාගන්නම් පස්සට ලියන්න.

      • ඩූඩා…උඹලා විශාකවන්ට පැණි පෙරුවට…මගේ අරකි ආනන්ද බාලිකාවේ මටම වෙන් කෙරුව මී වදයක්. ඔන්න බලපන් රෝයල් වැඩ.

  5. ඒ මොහොතේ පුංචි අරුගේ හිතේ තබුන හැගීම මට හොදට තේරෙනවා. මමත් ඔය විදිහටම ගාල්ලේ ඉඳන් කොළඹ ඇවිත් තියෙනවා අතේ සතයක් නැතුව. (එච්චරම පොඩි කලේ නෙමෙයි අවුරදු 16 විතර) ඒවගේ වෙලාවට හිතට හරි අසරණ කමක් වගේ දැනිල ගෙදර හොයාගෙන අවා. කොයි ලෝකේ හිටියත් තමන්ගේ ගෙදර ඉන්නව වගේ සැනසීමක් නෑ.
    ලිපිය ගොඩක් රසවත් අරූ අයියා…සුපිරිම සුපිරි…….

    • මොරා…..පුංචි අරූ..වියපත් අරූ වෙනකම් ජීවිතේ ඔය වගේ අසරණ වෙච්ච තැන් ගොඩාක් තියෙනවා. ඒ හැම එකක්ම හොඳ පාඩමක් උනා. දිගටෝම වරෙන්. ට්‍රැෆික් වලදි විතරක් පරිස්සම් වෙයන්. මේක තමයි ජීවිතය.

  6. Ravi says:

    අඩේ..ඇති උඹ බස් එකේ තනියම යද්දි අල්ලගෙන ගියෙ නැතුව කරෝල වේලන්ට මාලදිවයිනට.හැත්තැ ගණංවල එහෙම දේවල් උනානෙ…කොහොමද උඹ මුස්ලිම් ආගමට ගිහිල්ල එහෙම කරෝල මුදලාලිගෙ දුවෙකුත් බැඳගෙන එහෙ ලොකු සල්ලිකාරයෙක් වෙලා හිටියනං එහෙම…

    ඔන්න උඹේ පුතා ඉන්නෙ අපෙ හෙන්රියගෙ පන්තියෙලු..හොඳද?….මේ මම කියන්නද? උඹල දෙන්නගෙං එක්කෙනෙක් ලියාපල්ල අන්න එහෙම ප්‍රස්තුතයක් මත පිහිටල කතාවක්…හෙහ්, හෙහ්

    සිංහලෙන් ලියවුනු ස්වයං ලිඛිත චරිතාපදාන අතර සිරිලාල් කොඩිකාර මහත්මයගෙ දියවැලක් ඔස්සේට මම බොහොම කැමතියි. ඊට පස්සෙ වියුණු සටහනක් ලියනව මගේ කතාව කියල ඉන්ද්‍රනාථ තේනුවර..අන්න ඒක…මචං උඹේ කතාවත් ඒ මට්ටමට තියෙනව බං…අම්මප ඇත්ත…

    • රවී…මම ඉන්ද්‍රනාථ තේනුවරගේ මගේ කතාව ඊයේ පෙරේදා දවසක කියෙව්වා. කිසිම කමෙන්ට් එකක් නොදා මම එතනින් ඉවත් උනා. රත්තරන් මිනිස්සු. මම එතනට පොඩි වැඩිද කියලා හිතුන නිසා. මම එතනට ගොඩ වැදුනේ තවත් බ්ලොග් එකක තිබුන ලින්ක් එකකින්. බලපන් ඒ කාගේ බ්ලොගෙන්ද කියලා මට මතක නැහැනේ.

      ඉන්ද්‍රනාථගේ කතාව මගේ කතාවට වඩා ප්‍රභලයි භාශාව හැසිරවීම අතින්. චන්ද්‍රගුප්ත , ඉන්ද්‍රගේ සොහොයුරෙක්ද?

      පුතෙක් අතින් තාත්තා කෙනෙක් ගැන ලියවුනු තවත් හඳ බැඳි පොතක් තමයි මාගම් තෙන්නකෝන් මහත්මයා ගැන පුතා ලියපු පොත. අවාසනාවකට පොතේ නම මතක් වෙන්නේ නැහැ. පුතා සඳුන්ද? තවත් නොලියපු, කතා නොවෙන ඉතා සුන්දර මනුස්සයෙක් තමයි ජනතා පත්‍රයේ ඒ කාලේ හිටපු කතුවරයෙක්වූ තිස්ස ගුනතිලක (වාද්දූව ) මහතා. නලීන් දන්නවා ඇති. මම ඔහු ගැන පෞද්ගලිකව දන්නා තොරතුරු තියෙනවා. ස්තූතියි රවී.

      • වෙන්න බෑ නේද? ඔබට ලැබුන ඊමේල් එකකින් නෙමෙයිද ඒ ලින්ක් එක ආවේ?

      • Ravi says:

        ඔව් මචං…දෙන්නා සහෝදරයො…

      • @රවී&බූරු බබා……..මම තේනුවරගේ කතාව මුල ඉඳලා කියවන්න පටන් ගත්තා. හරිම රසවත් විවේකීව කියවන්න ඕන. සමානකමුත් තියෙනවා. ඔහුගේ පවුල වගේම මගේ පවුලත් ලොකු පවුලක්. ඔහුගේ තාත්තාගේ තාත්තා රත්තරන් භාණ්ඩ නිර්මාණ කරුවෙක්.මගෙත් එහෙමයි.හෙමින් කියවන්න ඕන.

    • @බූරු බබෝ……..මට සමාවෙන්න….ඔබ හරියටම හරි….ඔබගේ ඊ මේල් එකකින් තමයි ඒ ලින්ක් එක ලැබුනේ. මම ගොඩාක් වෙලා කල්පනා කරා කොහොමද ඒ ලින්ක් එක මට ලැබුනේ කියලා. දැන් හරි…ඔබට නැවතත් ස්තූතියි.

  7. Kenji @ Japan says:

    මම අරූ මඩොල් දුව පොත තමයි වැඩිම වාර ගණනක් කියවල තියෙන්නෙ.
    මොකද ඒ පොත නැවත නැවත කියෙව්වෙ ඒ චරිත මගේ ශරීරයට ගිල්ලෝගෙන.
    ඉතින් ඔබගේ කතා පෙළත් කියවද්දී මට පුදුම රසයක් දැනෙනව.
    මට මෙන්න මේ ටික හරියට හිතට වැදුන.>>ගෙදරට ගොඩවූ පමනින් සියල්ලන්ම පුදුමයට පත්වූ අතර, ආච්චී දුවවිත් මා සිපගන්නට විය.<<
    ඔබ කියා තිබු ආකාරයට හවස පන්සිල් ගන්න වැඩේ නම් හරිම අරහං දෙයක් වුනා ඒකාලේ.

    • මචං…..ආච්චි මගේ කොඳු ඇට පේලියේ එක පුරුකක්…ඒ ගැන ආපහු කතා දෙකක් නැහැ…..ඉඳගෙන පන්සිල් ගන්න වැඩේ මටත් හරිම අවුල් වැඩක් පොඩි කාලෙම ඉඳලා. ඒ අපේ හිත් නිරවුල් නැති හින්දද..එහෙම නැත්නම් කරන්න බැරි වැඩ බොරුවට කියලා විතරක් හිත රවට්ටගන්න බැරි නිසාද කියලා මම දන්නේ නැහැ. එහෙම තේරුනේ නම් ලොකු උනාට පස්සේ.

    • කා(Ka) says:

      ඔය බොරු,
      කෙන්ජි වැඩියෙන්ම කියවන්නේ කාම සූත්‍ර සබ්ජෙක්ට්ස් පොත්. නිරුවත් වානරයා පොත කොහොමද කෙන්ජි.

  8. සිරා says:

    කාර්යාලයේදි බ්ලොග් කියවන්න ලැබෙන සීමිත වෙලාවෙදි ඉස් ඉස්සෙල්ලාම මේ ඉසව්වට ආවෙ…බොලා බොහොම රහට ලියන බව පේනවා…ආයෙත් වෙලාවක වැඩිපුර වේලාවක් අරන් මේ සටහන් කියවන්න එන්නම්…මා මෙහි ආ වග මෙසේ සටහන් කර යමි. ජය !

    • පිටව යව…..වහා එව…..

      මටත් රාජ ඌශ්නේ ගහලද කොහෙද බන්……රජ ටෝක්මනෙ අහන් ඉන්නේ.

  9. කථාව එක හුස්මට එක දිගට කියවන් ගියා අරූ නියමයි. මටත් ගෙදරින් පැනල ගිය අත්දැකීමක් තියෙනවා. පස්සෙ නිවාඩු පාඩුවෙ කල්පනා කරල බලත්දි දැන් තමා ඒ මෝඩ කම් ගැන දුක හිතෙන්නෙ. එත් ඒවා රසවත් අත්දැකීම්.

    • ප්‍රියා….හැම මෝඩ වැඩකම, හැම පණ්ඩිත වැඩකම අපූරු අත්දැකීමක් තියෙනවා. අමතක නොකර තියාගනින්….කවුරු නැති උනත් තමන්ට හරි රස විඳින්න පුලුවන් කාලෙකදි.

  10. අරූ අදත් කියෙව්වා , මම හිතන්නේ මේ කතාවේ පාඨකක් විතරක් වීම සමහර වෙලාවට දුකක් දැනෙන දෙයක්. මගේ ළමා කාලය නම් ගමේ සැහෙන නිදහසේ සැහැල්ලුවෙන් ගෙවුණු කාලයක්, ආර්ථික ප්‍රශ්න අමතක කලාම.
    එත් මේ වගේ වචනයෙන් වචනය ලස්සනට ලියන්න නම් මට පුළුවන් වෙන එකක් නෑ. දැන් අරුගෙ කතාව ඉස්සර නවකතාවක් ගම ගැන කරන වර්ණනාවක් වගේ . හරි ලස්සනයි .ඉතින් මම පාඨකක් පමණක් වෙමි මෙය කියවා අවසන් වනතුරු.

    • පාඨකයෙක් වෙලා විතරක්ම හරියන්නේ නැහැ යකෝ. ඇවිත් පෙන්නලා හරි පලයන්. එතකොට තමයි මොකක්ද එක මොකක්ද වෙලා මොකක්ද එකක් කරන්න හිතෙන්නේ.

  11. අරූ කියවලා තියෙනවාද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “අපේ ගම ” මට එකත් මතක් වුනා.
    අර ඩුඩ් අයියා කිවා වගේ මටත් මේක ලස්සන නව කතාවක් සති අන්ත පත්තරේක කොටස් වශයෙන් පළවෙන.

    මේ තරම් රසවත් නැතත් මගෙත් තියේ පුංචිකාලේ මතකයක් නිවාඩුවකට අනුරාධපුරේ අම්මලාගේ ගමේ ගියපු.

    • තමන්ට රසවත් නැති දේවල් අනිත් අයට රසවත් වෙන්න පුලුවන් බව මතක තියාගනින්.

  12. රාජ් says:

    තනියම බස්එකට නැග්ග කියවද්දිම මතක් උනේ අදවගේ ෆෝන් නැති කාලෙ ගෙදර මිනිස්සු කලබල වෙන හැටි ගැන, අනිත්එක බස් ටිකට් ඕන නෑ කියල හිතීම. දෙකටම උත්තර ලැබිල තියනව.
    මම නං හිතුවෙ තාත්තගෙන් සම්බෝලෙ ලැබෙයි කියල!

    • රාජ් අපේ තාත්තා හරි අපූරු මනුස්සයෙක්. පවුලේ කාටවත් එයා ගැන විශාල පැහැදීමක් නැහැ. මට එයාව පේන්නේ ඊට වඩා බොහෝම වෙනස් විදිහට..මමත් ඒ වගේ හිතන හින්දද මන්දා..එයාගේ අමුතු වැඩ ඉදිරියට උඹට පෙනෙයි.

  13. //ගහෙන් වැටුනු එකාට ගොනා ඇණීමේ කලාව තාත්තාට කිසිදා ගෝචර නොවීය// බරසාර හිතක් .
    ඇත්තමයි බන් පහේ සිස්සත්තේ ඉවර වෙලා යනගමන් පොඩි එකා ලිව්වේ මොනවද අහ අහ , උත්තරේ වැරදිනම් තව ටොකු ඇන ඇන යන දෙමවුපියොත් මන් දැකල තියෙනවා.

    • අනේ මන්දා තිලකේ. ඉස්සර මම හිතුවා මේ ළමයින්ව අධ්‍යාපන තරඟයට තල්ලු කරන එක රට ඇතුලේ වෙන දෙයක් විතරයි කියලා. අපි ඉන්න මේ පැත්තේ බොහොමයක් ලාංකිකයෝත් එහෙමයි. පොඩි කාලේ ඉඳලාම තද පීඩනයක් දෙනවා. මට ඇහිලා තියෙනවා තමන්ගේ දරුවාගේ ලකුණු කීයද කියලා අහපු සැණින් ඊලඟට අහන්නේ අරයට කීයද, මෙයාට කීයද කියලා. සංසන්ධණය තුලින් තමයි සතුට ලබන්නේ.

  14. කා(Ka) says:

    මචං අරූ,
    මට ඉස්කෝලේ ඉදලා ගෙදරට ඒ කාලේ රු 2 ක දුරක් තිබුනේ, (භාග ටිකට්). ඒ කාලේ අපේ පලාත්වල ඉස්කූල් සේවිස් වාහන කටු හරි හිඟයි නොවැ. දවසක් ටිකට් ගද්දී රුපියල් දෙකක් දුන් නමුත්, කෝන්දා රුපියලක ටිකට් එකක් ලියලා කෝන්ද නමලා මට දුන්නා. පස්සේ බහින්න කිට්ටුවෙලා මම ඉතිරි රුපියල ඉල්ලුවා. මේකා මට දෙසන්න ගත්තා රුපියලට කොහොමට බස් එකේ යන්නේ කියලා. පුංචිකමට මමත් ලස්සනට අහගත්තා. අද ඒ කෝන්දා ජීවතුන්අතර නෑ. හිටියනම් කියලා දෙන්න තිබුනා.

    • Kaගේ රුපියල කාටත් නැහැ, ලංගමටත් නැහැ. කාටවත් නැති රුපියල කොන්දයි ඩ්‍රයිවරුයි හැන්දෑවට ගහන බාගේ බෝතලේට ශෙයාර් වෙන්න ඇති. එහෙම නැත්නම් පොඩි එකාගේ කිරි පැකට් එකට ශෙයාර් වුනාද දන්නෙත් නැහැ.

  15. helapaya says:

    මචං තාත්ත තමා ඉතාම නුවණැති ලෙස හැසිරිලා තියෙන්නෙ.එහෙම නැත්නං උඹට නිකං ගහෙන් වැටිච්චි මිනිහට ගොනා ඇන්න වගේ වෙනවා නේද

  16. හිරු says:

    //උඹට නිකං ගහෙන් වැටිච්චි මිනිහට ගොනා ඇන්න වගේ වෙනවා නේද//
    නියම ටොක්කක් අයියා.

  17. මරු අරූ………….
    හරිම ආසාවෙන් කියෙව්වා. අමුතුම ආරක රචනා ක්‍රමයක් ඔබ සතුයි. අපේ සුභ පැතුම්

  18. විචාරක says:

    //දක්ෂ ගුවන්විදුලි යන්ත්‍ර කාර්මිකයෙක්ද විය. ග්‍රැමෆෝනයක්ද, බොහෝම පැරණි ගී තැටි රාශියක්ද ,රේඩියෝ සඟරාව, සෝවියට් දේශය ඇතුලු බොහෝ පොත්පත් රාශියක් සහිත අල්මාරියක්ද//
    මෙන්න මේ ටික අර හුණුවටයේ කතාවේ එන ගීතයක පේලි කීපයක් වගේ බොහොම රසවත්.

    කොල්ලෙක් කොලු කාලයේදී කොලුකම් නොකලොත් ඒකා කොල්ලෙක් නෙවෙයි.

    ඉහල තල්දූවේ පන්සල පැත්තේද? සෝමාරාම හාමුදුරුවන්ගේ බෙහෙත් ගබඩාව දන්නවද? මම 1970 සිට 1980 දක්වා හිටියේ දෙහිඕවිට. ඒ කාලේ අවිස්සාවේල්ලේ පැවැත්වෙන සංගීත සංදර්ශන බලලා අපේ ‘කොලු බජාර් එක’ පයින්ම තමා දෙහිඕවිට යන්නේ.

    • පන්සලට ටිකක් මෙහාට වෙන්න තියෙන හැතපුම් කණුව ඉස්සරහ. අවිස්සාවේල්ලේ “සංගීතේ” ඉස්සර හරි ප්‍රසිද්ධයිනේ. අපේ ගේ ඉස්සරහින් තමයි කොලු බජාර් එක යන්න ඇත්තේ. ඔය පාරෙන් දුර ගමන් බස් ගියා ඒ කාලේ. බගවන්තලාව, ඩයගම, හැටන් වගේ.

      විචාරකතුමා…”අන්ධ බින්දුව” බ්ලොගට ගිහින් මතකය පොඩ්ඩක් අවුස්සලා දාලා එන්නකෝ පුළුවන්නම්. මරු ඇඩ්ස් ටිකක් තියෙනවා.

    • කා(Ka) says:

      පප්පා ලන්තේ එක්තරා කොල්ලෙකුගේ කොලුකම 89 දී බලුකමට හැරුනා. පංතියේ 11 ක් 71 දී හමුදාවෙන් මැරුවා. ඉතිරි වුන්ගේ ඉරනම 89 දී ජිල්මාට් පප්පෙක් තීරණය කළා. දැන් පංතියේ ජීවත්වෙන්නේ මේ පප්පා විතරයි. මූ හරි පොරලු. කැරැලි නායකයින් ඔක්කොම අඳුනනවලු. ඒ නිසා තවත් පොරලු. දැන් පොර ටෝක් කොර වෙන්න දෙනවලු. ආ තව රටේ තැනින් තැන හිටිය අහිංසක මිනිස්සුත් දාස් ගානකගේ ඉරණම තීරණය කරලා තියෙනවා. මාතලේ, සූරියකන්ද මීනී වලවල් ගැන එහෙම කවුරුවත් අහන්න එපා. ඇහුවොත් කොර වෙන්න ටෝක් දෙයි.
      දැන් පොර සුදනා. කාටත් පේන්න සුදු රෙදි පොරවාගෙන ඉන්නේ.
      (එක්තරා රටක, එක්තරා කලේක අලුගෝසුවෙකුගේ නොකියු කතාව)

    • කා(Ka) says:

      අළු ගෝසුවෙකුගේ අතීත ආවර්ජනය
      89 දී බජාර් එකේ චන්ඩියා. දැන් ඔහුගේ පංතියේ ඔහු විතරයි. 71 කොළුකම 89 වෙද්දී බලුකමට පෙරලී, දැන් සිල් ගත් උපාසකයෙක් වෙලා. දරුවන් කී දෙනෙක් දෙමාපියන් නැතිව අනාත වෙන්න ඇත්ද? කෙරුවාව තවත් මහ ලොකුවට කියවනහැටි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s