අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

   මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල කරා රැගෙන ආවාය. චණ්ඩ මාරුතයද, නොහික්මුනු ජල කඳද, අව්වද වැස්සද, මේ සියල්ලම උපේක්ෂාවෙන් ඉවසා දරා අප සියල්ලන්ම නිරුපද්‍රිතව ගොඩබිම කරා රැගෙන ආවේ අපේ අම්මාය.

   මම මෙතෙක් ඇය ගැන වැඩි දෙයක් ලියා නොමැත.හිත තුල තෙරපි තෙරපී, කැකෑරි කැකෑරී තිබෙන ඒ සෙනෙහස, ආදරය, ගෞරවය සහ වේදනාව තව තවත් පිරී ඉතිරී වාන් දමනා තෙක් මම ඇය ගැන දැනට නොලියමි. එය අකුරු කරවිය යුත්තේ තව දුරටත් තෙරපා තබා ගත නොහැකිවූ විටකදීය. ඇය මට පමනක් නොව අප සණුහරේටම ආලෝකය දුන් පූර්ණ චන්ද්‍රයාය.

   මගේ ජීවිත පොතේ ලියවී ඇති සෑම වචණයකම හරය, සත්‍යය සහ ඇමුණුම මගේ ආදරණීය බිරිඳ අරකීය. අරකී නොවුයේ නම්, මේ පොතේ ඉතිරිවන්නට තිබුනේ හිස් කඩදාසි පමණය. මම ඇය ගැනත් පසුව ලියන්නෙමි. ඉරා දැමිය නොහැකි පිටු ඇත්නම් ඒ සියල්ලකගේම හිමිකාරියන් වන්නේ ගැහැණුන්ය. අම්මා, ආච්චි, ඉන්ද්‍රක්කා, ලොකු අම්මා, අරකී,අරකීගේ ආදරණීය අම්මා (සෝමා ඇන්ටී මගේ ජීවිතයේ අනිත් අම්මාය) සහ අපේ දියණිය මින් ප්‍රධාණය. තාත්තා මගේ කතා පොතේ පිටුපස කවරය පමණය. ඔහුගෙන් අප ලද්දේ යහපත් ගතිගුණ පමණි. අන් සියල්ලක්ගේම හිමිකාරිය අම්මාය. ඒ  මිල කල නොහැකි මැණික අම්මාය.

   අම්මාගේ පවුලේ වැඩිමහලා වූ ලොකු අම්මා, මා ඉපදෙන්නටත් පෙර සිටම විවාහවී පදිංචිව සිටියේ මිනුවන්ගොඩ, වඩුමුල්ල නම් ග්‍රාමීය ප්‍රදේශයේය. ඉතාමත්ම නිහඬ මිනිසෙක් වූ මහප්පා සේවය කලේ කොළඹ කොටුවේ මහ තැපැල් කන්තෝරුවේ හෙවත් G.P.O. එකේය. ලොකු අම්මාට අයත්ව තිබූ ගංගොඩවිල නිවස කුලියට පවරා ඔවුන් වඩුමුල්ලේ පදිංචිව සිටියේ මහප්පාගේ දෙමව්පියන්ද වතුපිටි ආදියේද සියළුම වගකීම් ඔවුන්ට පැවරී තිබූ නිසා විය යුතුය.

   වඩුමුල්ල, දෙවලපොල කඩ මංඩියේ තිබු පොල් අතු බස් නැවතුමෙන් බැස, එතැනම ඇති කුඩා බොරළු මාරගයේ කෙලවරටම යනවිට මහප්පාගේ පැරණි නිවස හමුවේ. මේ කුඩා මාර්ගය දෙපස තිබුනේ පොඩි පොඩි පොල්වතුත්, කුඹුරු කිහිපයක් සහ විශාල නිවාසය. පොල් වත්තක් මැද තැනූ අලංකාර පල්ලියක්ද විය. මෙහි ගම් වැසියෝ ආර්ථික අතින් අඩුපාඩු ඇති උන් නොවේ යැයි කියන්නේ අවට තිබු සියළුම ගෙවල් දොරවල් ප්‍රමාණයෙන්ද විශාල, පෙනුමෙන්ද නවීන පන්නයේ ඒවා වූ බැවින්ය. ලොකු අම්මලාගේ නිවස පමනක් පෞරාණික පෙණුමෙන් යුත් හාන්සි පුටු, කවිච්චි, පෙට්ටගම් ආදියෙන් සමන්විත ගම්මුළාදෑණියකුගේ ගෙදරක් වගේ යැයි කිව හැකිය. මොවුන් සතු පොල් ඉඩම් සහ කුඹුරුද බොහෝය.

    කුඩා කාලයේදී වසර අවසාන පාසල් නිවාඩුවට මගේ එක් අනිවාර්ය නවාතැන් පොලක් වන්නේ ලොකු අම්මාගේ ගෙදරය. නව වසරේ පාසල් පොත් ලැයිස්තුවේ සෑම අංගයක්ම මා වෙනුවෙන් මේ දෙදෙනා මිලදී ගැනීමද පුරුද්දක් විය. වෙනත් කවුරුන් හෝ එයට සහභාගී වුවහොත් ඔවුන්ගේ අමනාපයටද හේතුවිය. දරුවන් නොසිටී මොවුන් ඉතා නිහඬ ජීවිතයක් ගතකල බව එකලද මට වැටහිනි. ඔවුන් දෙදෙනා නිදා ගත්තේද නිදන කාමර දෙකකය. මට මේවා නුහුරුය.

    ලොකු අම්මාත්, මහප්පාගේ වියපත් දෙමව්පියනුත්, ඔහුගේ මල්ලි කෙනෙකුත් හැර වත්තක් මැද්දට වූ විශාල නිවසේ අන් කිසිවෙක් නොවූ අතර, වතු පිටි වැඩ සහ කුඹුරු වැඩ කිරීමට නම මහප්පාගේ මල්ලීගේ වයසේ තරුණයෙක් වත්තේ කුඩා නිවසක පදිංචිවී සිටියා මතකය. ගොනු බැඳි කරත්තයේ පොල් පටවා, මෝලට රැගෙන යනවිට මොහුගෙන් මටද සංචාරයක් සඳහා ආරාධනා ලැබේ.

    මටද වයස අවුරුදු නවයක් හෝ දහයක් ඉක්මවූ පසු ලොකුඅම්මාගේ පවුලේ පලමුවැන්නා ලෙස පුතෙක් බිහිවිය. ඉන් අවුරුද්දකට හෝ දෙකකට පසු දියණියක්ද ලැබුණාය. මම නැන්දලාගේ ගෙදරින් නික්ම මහගෙදරට පැනයන්නේත්, ලොකුඅම්මා ඇයගේ සිඟිති දියණිය පමනක් සමග අපේ ගෙදරට පැන එන්නේත් මේ කාලයේදිය.

   ගෙදර එකම කාලගෝට්ටියකි. මගේ ප්‍රශ්ණය, ප්‍රශ්ණයක්ම නොවී දිනකට හෝ දෙකකට මාතෘකාවක්ද නොවීය. මට Lady Chatterley’s Lover කෘතියේ චැටර්ලී ආර්යාව සහ උයන්පල්ලා සිහිවන්නේ අපේ ලොකුඅම්මාගේ කතාව නිසාය. ඇය තම කුඩා දියණියද කැටිව අප ගෙදර පැමින ඇත්තේ ඔවුන්ගේ වතු පිටි බලාගත් ,කරත්තය දැක්කූ (ආච්චී තරහ පිට කලේ මේ වචණයෙනි )අර සේවකයා සමගය. සුදු කමිසය සහ සරමින් සැරසුනු මොහු ඉතා කඩවසම් හැඩි දැඩි මිනිසෙක් විය. අපේ තාත්තා තරම් නම් කඩවසම් නැත. මගේ විවාහයෙන් පසු අරකී පවා ඔහුව හැඳින්වූයේ ලයනල් රිචී නමින්ය. කොන්ඩය පීරුවේ එලෙසය. කෙසේ වෙතත් ගෙදරට පැමිනීමට ආච්චී අවසර නුදුන් නිසා ඔහු එවෙලේ කොහේ ගියා දැයි මම නොදණිමි.

   වැඩිහිටියන්ගේ හඬාවැලපීම්ද, පොඩි උන්ගේ හඬා වැටීම් සහ හිනාවන්ද, ඒ අතර තුර ආච්චීගේ බැන වැදීම්ද සියල්ලම අතරින් ගෙදරට ගොඩ වැදුනේ, මගේ ප්‍රශ්ණය විසඳීමට ගොස් සිටි තාත්තාය. ගෙදර වටපිටාව සහමුලින්ම වෙනස් වූයේ තාත්තාගේ නොමසුරු සිනහවත්, මදිපාඩුව පිරිමසා ගැනීමට රැගෙන විත් තිබු කුඩා බෝතලයෙන් වීදුරුවක් දෙකක් කටට හලා ගැනීමෙනුත් පසුවය. දැන් මතුවන්නේ සිනහව මුසු කතාබහය. මම තාත්තාට තවමත් ආදරේ ඔහුගේ ඔය ගතිගුණය  නිසාමය. ඔහු සරළය.

   මේ සුවිශාල අර්බුදය නිරවුල් කරදීම තමාටම පවරාගත් තාත්තා, සියල්ලක්ම සන්සුන් කර සිනහ කතාවලින් පසු කාබී නින්දට වැටුනේ පසුවදා මහප්පා හමුවීමට යායුතු යැයි කියා තීරණය කරමින්ය. පසුවදා අප නිවසට මොරිස් මයිනර් වර්ගයේ කුඩා රථයකින් මහප්පාගේ අයියාත් ඔහුගේ රියදුරාත් පැමිණියේ තර්ජනාංගුලියද ඔසවාගෙනය. බියවැද්දීමට, තර්ජනයට කිසිදිනෙක හිස නොනමන තාත්තා, කටවහගෙන ඉඳගනින් ඩෝ යැයි ඔවුන්ට අණකලේ අවට සිටින්නේ පොඩි එවුන් යැයිද මතක් කර දෙමින්ය. සෝමපාල නම්වූ මහප්පාගේ අයියා, මහප්පා මෙන් සුරා සූදුවෙන් තොර උපාසකයෙකු නොවීය. මොහුද අපේ තාත්තා මෙන් කෑමටද බීමටද රුසියෙකි. මොහු තාත්තා ගැනද හොඳින් දණී. 

     කුඩාවුන් සහ සෝමපාලගේ රියදුරා මෙම කථාබහට සවන්දීම නුසුදුසු යැයි තීරණය කල තාත්තා අපිවද ලෑස්තිකර ඉන්ද්‍රක්කා සමග සෝමපාලගේ වාහනයෙන් අවිස්සාවේල්ල නගරයට පිටත්කර යවා පැයකින් පමන පසු නැවත එන ලෙස දැන්වීය. රියදුරාට කණට කර යමක් පවසා මුදල් දුන්නේ අපට රසකැවිලිද, තාත්තාට අවශ්‍යදේ ගෙන්වා ගැනීමටය.

    ඉන්පසු සියළු සාකච්ඡා, සංග්‍රහවලින් පසු ඔවුන් පිටත්ව ගිය අතර, තාත්තා පසුදිනම මහප්පා හමුවීමට වඩුමුල්ල බලා පිටත්විය. තනිවම නොයන ලෙසටත්, අම්මගේ මල්ලීවද මගින් හමුවන්නටත් යෝජනා වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ තනිවම යාමටය. තාත්තාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය වී තිබුනේ මහප්පා නැවත එක්වීමකට තදබල අකැමැත්ත ප්‍රකාශ කිරීම සහ පුතා ඇයගේ භාරයට ලබා නොදීමත්ය. ලොකු අම්මා පැමිණියේ අතදරු දියණිය සමගය. මහප්පා පසුව විවාහයක් කරගෙන ඒ පුතන්ඩියගේ දරුවන් සමග අදටත් සතුටින් ජීවිතය ගත කරනා බව මම දණිමි. මට ඔවුන් හමුවූයේ බොහෝ කාලයකට පමන පසු එක් වරක් පමණි. ලොකුඅම්මා එතැනින් පසු ඔහුව දැක තිබුනේ එකම එක් වරක් උසාවියේදීය. තාත්තා නම් පසු කාලයේදීත් කොළඹ පැමිනිවිට මහප්පා හමුවීමට එකට යනබව මම දන්නෙමි.

    පවුල් ජීවිතය යනු මැනවින් තුලණය කරගත යුතු අති ප්‍රභල සම්බන්ධතාවයකි. අසතුටින් හෝ අසහනයෙන් එය නාමිකව පවත්වා ගෙන යාම මම නම් කිසිවිටෙක අනුමත කරන්නේ නැත. මෙවැනි සිදුවීම් එදාද සිදුවිය. අද බොහෝය. නමුත් සිදුවන ආකාරය ගැන නම් පැහැදීමක් නැත. අසතුටින් එක්ව සිටිනවාට වඩා සතුටින් වෙන්වී යාම වඩා වටී. නමුත් ලොකුඅම්මා වෙන්වී ආ ක්‍රමය තාත්තා කිසිවිටෙකත් අනුමත නොකලේය. ඔහු සැමවිටම පැවසූයේ එය සාකච්ඡාවකින් පසු සිදුවිය යුතු වෙන්වීමක් මිස, කෙනෙකුන් තනිකර පලායෑමක් සිදුනොවිය යුතු බවය. මෙය සත්‍යයකි. මහප්පාගෙන් නොලැබෙන දේ, ඇය තම ප්‍රේමවන්තයාගෙන් ලබාගත්තා විය යුතුය. නමුත් වෙන්වී යෑමේදී මහප්පාට සිදුවූ අසාධාරණය කිසිවිටෙක අමතක කල නොහැකිය.

        මේ සිදුවීම්වලින් පසුවත් කාලයක් යනතුරු ලොකු අම්මගේ හව්හරණයට සිටියේ අප පවුලේ අය පමණය. නමුත් බොහෝ කාලයකට පසුව අනිකුත් නෑදෑයින්ගෙන් තාත්තාට බොහෝ දොස් එල්ලවිය. ඒ මහප්පා හමුවී එදා සාකච්ඡාවට ගිය දින ලොකුඅම්මාගේ වටිනා රන් ආභරණ ඔහුගෙන් රැගෙන නොපැමිණීම නිසාය. මහප්පා ඒ සියළු දේ තාත්තාට බාර දී ඇත. තාත්තාගේ පිලිතුර වී තිබුනේ, මා පැමිනියේ නැවත මේ පවුල එකතු කිරීමට හැකියාවක් ඇත්දැයි විමසා බැලීමට මිස භෞතික සම්පත් එකතු කිරීමකට නොවන බවය. ඔහු අමතක නොකර විමසා බලා රැගෙන ආ එක් දෙයක් විය. ඒ අර සිඟිති දියණියගේ උප්පැන්න සහතිකයය. රන් ආභරණ සම්බන්ධ දෝෂාරෝපණයට තාත්තාගේ කදිම පිලිතුරක් විය. ඒ ඔහුට මුදල් තිබූ දිනෙක ඒවා සාදා දෙන බවටය. හැබැයි තාත්තාට කවදාවත් එතරම් මුදලක් තිබුනේද නැත. අප ජීවිත ගැටගසා ගත්තේත් බොහොම අසීරුවෙන්ය.

     ලොකු අම්මා සහ ඇයගේ ආදරණීය උයන්පල්ලාගේ ජීවිත කතාව සතුටින් සාමයෙන් ඒ දියණියද මුණුබුරන් සමගද ගෙවීයයි. ලොකු අම්මා යමක් කමක් දැණ උගත්තියක්ය. ඔහු අකුරු සාස්තරයක්වත් නොදන්නා ඇල්පින් සිඤ්ඤෝ විය. මේ නම් සැබෑ සොඳුරු ප්‍රේමයමය. ඔහු අපේ ආදරණීය ඇල්පින් බාප්පාය. බාප්පා නොකියා මහප්පා කියන්නට අපගේ දිව හුරු නොවූවේ ඇයිදැයි අදටත් මම නොදණිමි.මණුස්සකමට වඩා කෙනෙකුගේ බලයටත් මුදලටත් ගරු කිරීමේ වෘෂභ සංකල්පය එදා මෙන් අදත් පවතී. අපේ දියණියට ඔහු ආදරණීය සීයාය. ජීවිතය ගැන බොහෝ දේ අපි දියණියට කියා දී ඇත.

මගේ කථාව ලියන්නට ගොස් ලියන්නේ තවත් කථාය. මේවා නොලියා මගේ කථාව සම්පූර්ණ කල නොහැක. මට සමාවෙන්න. ඔබ දිගටම කියවන්න.

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

85 Responses to අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

  1. silentsahan says:

    මගෙත් ලොකු අප්පා කෙනෙක් අන්තිම කාලේ ඇවෙනකන් වැඩ කලේ GPO අරු.. ( මන් හිතන්නේ 78 වගේ කාලේ ) … එයා අද ජීවතුන් අතර නැහැ..මට මේ ලෝකේ මගේ තාත්තා ළඟට උන්නේ එයා… ඔබේ මේ අතීත කතා අහන් ඉද්දි බොහොම අමාරුවෙන් යටපත් කරන් ඉන්න දේවල් උඩට එනවා… සමහර දේවල් මතකයන්ම විතරයි… ආයේ කිසිම දාක සැබෑ ලෝකෙදි හමුවෙන්නේ නැහැ…

    • සහන්……..ජීවත්වෙන කාලයත් එක්ක මතක ගොඩ ගැහෙන එක තමයි වෙන්නේ.මේ හැම මතකයක්ම මිහිරි නොවුනත් කාලයකදී මිහිරි ලෙස ආවර්ජනය කරන්න පුළුවන්. මමත් මේක ලියන ගමන් ඒ මිහිර රස විඳිනවා.

      ඔය එක තිබුනේ ජනාධිපති මන්දිරය ඉස්සරහ නේද? මමත් පුංචිම කාලේ ඔතනට ගිහිල්ලා තියෙනවා මහප්පා බලන්න. ඒ ආයතනය තාම තියෙනවාද? සෑහෙන්න කාලෙකින් දැක්කේ නැහැ.

  2. බ්ලොග් ලියන හුඟ දෙනෙක් වඩා සමීප අම්මට. මම නම් වඩා සමීපව හිටියේ තාත්තට. තාත්තගෙයි මගේයි දුම්කොළ හා මධ්‍යාසාර භාවිතය(කො‍ටු කො‍ටු) ගැන මම බාගෙට ලියලා තියෙන්නේ. හිටපංකෝ.

    • Kenji @ Japan says:

      ඔය ගැන කියල වැඩක් නැහැ හෙන්රිය.
      අදට ත් මගෙ පියා,මගෙ නොමියෙන බොසා.
      ලගදි දවසක ඩොනල්ඩ් එක ගැන මම දමපු කොමන්ටුවකට,මාතලන් උත්තර දීල තිබුනෙ එයාගෙ පියතුමා ගෙන් අහගෙන.

      • ආ ඔය ඉන්නෙ තව කට්ටිය. තාත්තගෙයි මගෙයි දුම්කොළ හා මධ්‍යාසාර භාවිතය(කො‍ටු කො‍ටු) ගැන කිව්වම කෙනෙක් වැරදි රූපයක් ඇතිකරගත්තොත් තාත්තයි මායි එකට බිව්වයි කියලා, ඒක නෙවෙයි මම අදහස් කෙලේ. මම තාත්තට පේන්න සිගරට් එකක් වත් බීලා නෑ. මේක වෙනත් දෙයක්.

        මට මතකයි මාතලන්ගේ කමෙන්ට් එක. ඔව් තාත්තට හොඳට මතක ඇති.

      • Kenji @ Japan says:

        බොල හෙන්රිය ඒකට මමත් ඉස්සර පිය තුමා එක්ක බිව්වෙ නැහැ.
        නමුත් දැන්නම් මට සමහර වෙලාවට බොන්න වෙනව මගෙ වාචාල කට වහගෙන ලෙවල් එකේ.
        සිගරට් උරවන කාලේ කිසිම වැඩිහිටියෙක් ඉස්සරහ ඉරෙව්වෙ නැහැ කැහි කොට.
        ඉස්සර ඉදන්ම ගෙදර, පියා සමග එකට නොබිව්වට,එක ගෙදර බීම තිබුන තිතට පාටි වෙලාවට.

      • මචං කෙන්ජි….අරකිගේ අම්මත් තරුණ කාලේ වැඩ කරලා තියෙන්නේ ඩොනල්ඩ්ස් එකේ. ඒ කිට්ටුවම තමයි මහ ගෙවල්….උඹගෙයි මාතලන්ගෙයි ඩොනල්ඩ් සාකච්ඡාව කොහෙද තිබුනේ. ලින්ක් එකක් දාපන්……මොන පෝස්ට් එකේද?

      • @කෙන්ජි……..අපේ තාත්තා ගාව තිබුනා කව්බෝයි හැට් එකක්. අපි තරුණ කාලේ අපේ යාළුවෝ ආවාම තාත්තාට කතාකරනවා ඩ්‍රින්ක් එකකට. පොඩි එකක් ගමු පුතා කියලා උන් එක්ක සෙට් වෙනවා. එක දෙක තුන වෙලා පුතා….කොල්ලෝ….උඹ…බං වෙලා කොල්ලන්ට මචං කියලත් කියනවා. පස්සේ අර හැට් එක දාලා සරමත් පිටින් ෂර්ට් එකත් නැතුව පට්ට ඩාන්ස් එකක් දානවා. අම්මට…නංගිලාට එහෙම නම් තදවෙනවා…අම්මා හැබැයි තනියම හිනාවෙනවා..අපේ ගෙදරම හෙන සෙට් එකක් ඉන්නවානේ බං..සොඳුරු අතීතය කෙන්ජි……හැබැයි දැන් බොහොම කාලෙක ඉඳලා පූස් පැටියා වගේ ඉන්නවා.

    • මචං…..තාත්තාගේ අතින් අල්ලන් පාරේ යන පොඩි එවුන් දැක්කම මට ඕක දැණෙනවා. අපේ ගෙදර කාටවත් එහෙම චාන්ස් එකක් ලැබිලා නැහැ. මට මතකයි පොඩි කාලේ මගේ ඔළුව පීරනවා. එයාගේ කාලය වැඩියෙන්ම යොමුකරේ යාළුවන්ට සහ දේශපාලන වැඩවලට තමයි. අනිත් වැඩවලට කාලයක් තිබුනද මන්දා…හැබැයි ළමයි හත්දෙනෙක් නම් ඉන්නවා.

      ////හිටපංකෝ.//////…………….ලියපංකෝ….

  3. මට කියන්න අදහසක් නැහැ අරූ…. අකුරක් අකුරක් ගානෙ රසවින්දා
    ////මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල කරා රැගෙන ආවාය///
    මේකම ඇති ඇස්වලට කඳුළු උනන්න…

    • මොරා…….මට උඹේ කමෙන්ට් එක දැකලා ඇස් දෙකට කඳුළු ආවා……..ඔව් බං අපේ අම්මා පුදුම දුකක් වින්දා අපිව උස් මහත් කරන්න….. අරූයි…අරකියි…එකතුවෙලා තමයි ඊට පස්සේ අපේ මුළු පවුලම ගොඩ ගත්තේ…

      • ඒවගේ වීරියවන්ත ආදරණීය ගැහැනුන් වාසනාවක් ජීවිතේට. රත්තරන් අම්මා කෙනෙකුයි රත්තරන් බිරිදකුයි ඇරුනම වෙන මොනාද ජීවිතයකට ඕන. ගැහැණුන්ගේ අත්වලින් තමයි පිරිමි ජීවිත හැඩවෙන්නේ.

  4. helapayaa says:

    අරූ පොඩි කාලෙ අපේ පළාතෙත් ඇවිදින් ගිහිල්ල තියෙනව එහෙනං,අනුන්ගෙ කතා උනාට කමක් නෑ අරූගෙ ජීවිතයට සම්බන්ධ කතානෙ,ලියන්න අපි කියවන්නන් .

    • පුංචිම කාලේ හැම අවුරුද්දෙම එනවා. හැලපේ උඹ ඔය කිට්ටුවද? මම හරිම කැමති පැත්තක්. පුදුම නිස්කලංකයි බං. හැබැයි තරුණ කාලේ එන්න බැරි උනා ඒ රසය විඳින්න… දැන් හරි ලෝභයි ඒ ගැන හිතන කොට.

  5. Ravi says:

    අඩේ ලොකු අම්මගෙ කතාවනම් අපූරුම කතාවක් බං. උඹ මෙව්ව හදල එහෙම නෙවෙයි නේද මේ ලියන්නෙ අරූ මචෝ? විහිලුවට හොඳද?..නියමයි… දාපං පහක්…හරි…පහ දැම්මනං දැං ලියන්ට පටං ගනිං දහය…:)

    • උඹට කියන්න රවියෝ මට සමහර වෙලාවට ඊයෙ කෑවේ මොනවද කියලා මතක නැහැ. හැබැයි පොඩි කාලේ හැම සිද්ධියක්ම මතකයි…අපේ ලොකුඅම්මාටත් එහෙම හොඳ මතකයක් තියෙනවා. අම්මාට සිද්ධි මතක නැහැ. ඒකට ලොක්කි….අපි ආදරේට ලොක්කි කියන්නේ…

  6. ලොකු අම්මා මා සිත් ගත්තා!

    • ඇත්තටම කකා…ලොකු අම්මා කියන්නේ රස සාගරයක්…ඔය ප්‍රශ්නත් එක්ක කාලයක් හරියට දුක් වින්දා..දුව ලොකු වෙලා…අපි ලොකුවෙලා…ඒවා ඔක්කොම විසඳගත්තා.

      වයසට ගියත් අපේ ගෙවල්වල ආපුවහම යන්න දෙන්නේ නැහැ අපි. හිනාවෙලා මැරෙනවා අපි මෙයාගේ වැඩ වලට…නටනවා…සෙල්ලම් කරනවා…..පරණ කතා කියනවා. කොහේ යන්නද සිරියාවතී…ඔන්න ඔහේ හිටපන් කියලා අපේ තාත්තා මෙයාව තියාගන්නවා දවස් දෙක තුනක්. අපේ තාත්තාට තාමත් හරි ආදරෙයි එයා වෙනුවෙන් පෙනී හිටියට.

  7. කළු සහ සුදු says:

    උදේ පාන්දරම හිතට දැනෙන දෙයක් කියවීමේ සතුට මට අදත් ලැබුනේ..මේ පෝස්ටුවෙන්..

    අම්මා කෙනෙක් ගේ ආදරණීය මතකය ඔයාගේ පෝස්ටුව හරහා අවදි වුනා….Aru..

    මේ තමයි ජීවිතය..කපන්න කොටන්න එපා..ලියන්න..මේ ඉන්නේ කියවන ජනතාව…

    • බ්ලැක්&වයිට්……අපේ අම්මා බෙල්ල හිරවෙන තරමට ප්‍රශ්න තිබුනත් කට පුරා හිනාවෙලා ඉන්නේ.. කවුරුත් කියන්නේ අපේ අම්මාව දැක්කාම ඒ ගොල්ලන්ගෙත් ප්‍රශ්න අමතක වෙනවා කියලා. උදේ ඉඳන් රෑ වෙනකම් එයාගේ වයසේ ගෑණුද, තරුණ ගෑණුද අපේ ගේ ඇතුලේ මෙයත් එක්ක කතා කරකර ඉන්න. මාර වාතේ එක වෙලාවකට. කණේ තියෙන කරාබු දෙක හරි ගලවලා දෙනවා ..කාගේ හරි ප්‍රශ්ණයකදී….උගස් තියලා පස්සේ බේරලා දෙන්න කියලා. අපි දැකලා ඇහුවොත් මොකකද ඒ කරේ කියලා. අපිටත් ඔය වගේ ප්‍රශ්ණ ඕන තරම් තිබිලා තියෙන විත්තිය අමතක කරන්න එපා කියලා තමයි උත්තරේ හම්බ වෙන්නේ.

  8. Black Puma says:

    අපේ විස්තරයක් ඉදිරිපත් කරන කොට ඒක සමහරක් වෙලාවට කියවන අයට රසයක් දැනෙන්නේ නෑ මොකද ඒ පසුබිම, ඒ චරිත අපිට තරම් අනිත් අයට සමීප නෑ, වැදගත් නෑ. ඒත් අරු අයියගේ මේ කතාව එහෙම නෑ. අපිත් අරු අයියත් එක්කම යනවා වගේ දැනෙනවා.

    • ඒකම තමයි අරුගේ ලිවිල්ලේ සුපිරිබව.අපි ඔක්කොම අරු සමග ඒ ගමනේ

      • මොරා…. මාත් එක්ක ඇවිල්ලා උඹලාත් වලේ වැටෙයිද දන්නේ නැහැ. හැබැයි වැටිච්ච හැම වලකින්ම මම ගොඩ ආවා. නැත්නම් අරකී උස්සලා ගොඩ දැම්මා.

    • ////අපේ විස්තරයක් ඉදිරිපත් කරන කොට ඒක සමහරක් වෙලාවට කියවන අයට රසයක් දැනෙන්නේ නෑ ///////

      පූමා……..උඹ කොහොමද එහෙම කියන්නේ? උඹත් ලියලා බලපන්. මගේ හැකියාවට වඩා සිදුවීමේ රසය තමයි තියෙන්නේ.

  9. කෝ අරූ මගේ කොමෙන්ටුව .

  10. ඇත්ත Aru, දෙදෙනාම විදවමින් එකට ජීවත් වෙනවට වඩා කතා වෙලා වෙන් වෙන එක හොදයි (දරුවන්ට බලපෑමක් නොවේ නම්). Aruගෙ තාත්තා නියම විදියට ප්‍රශ්ණෙ දිහා බලලා තියෙනව.
    කතාවෙ මුල් ටික කියවන් යත්දිනම් මට පුදුමත් හිතුනා. මොකද මාත් ස්ත්‍රීන් තුන් දෙනෙක්ට මැදි උන චරිතයක්.
    1. මගේ අම්මා
    2. මගේ බිරිඳ
    3. මගේ දුව.

    • ප්‍රියා අපි ජීවිතේ හැම තීරණයක්ම ගන්න ඕන දරුවන්ට කිසිම බලපෑමක් නොවෙන විදිහට. නැත්නම් දරුවෝ හදන්නේ නැතුව ඉන්න ඕන. අපිට යාන්තමට තේරෙන කාලේ බඩගිනි වැඩිවුනාම තාත්තාගෙන් ප්‍රශ්ණ කරලා තියෙනවා ඇයි අපිව හැදුවේ කියලා. ඒ නොතේරෙන කමට කියපංකෝ. නමුත් ඒ තුල ඇත්තක් තියෙන බව අමතක කරන්න එපා.

      ගැහැණු ගොඩාක්ට මැදිවෙලා ජීවත් වෙනකොට පුදුම විදිහට හුරතල් වෙන්න පුළුවන්. මට නංගිලා තුනයි.ඒ ගොල්ලන්ගේ දරුවෝ හතරම කෙල්ලෝ..අරකිගේ පවුලේ අයට ඉන්න දරුවෝ ඔක්කොම කෙල්ලෝ.මේ ඔක්කොම ළමිස්සියෝ… ඒ එක දුවෙකුට මැතකදී හම්බ උනා දුවෙක්..හිතපන් මගේ වටපිටාව.

  11. කා(Ka) says:

    මට ඔබගේ සංවේදී බව තේරේ, මහප්පා /බාප්පා පප්පලාගේ ගැනත් තේරේ. කතාවකට තිබෙනවා, නේද අරූ, අම්මා/තාත්තා නැති කළ මාමාගේ සුළගිල්ලට කිරි උනනවා කියලා. එය මගේද ජීවිත අත්දැකීමකි. ඒ අනුව මට ඔබේ ජීවිත කතන්දරය අවබෝධකර ගත හැකිය. නමුත්, බොහෝ පවුල්වල කකුලෙන් අදින පප්පලා/පප්පිලා නැතුවම නොවේ. සාමකාමී පවුල් පරිසරයන්ගෙන් ඉතා හොඳ පවුල් පසුබිමක් අරූ ටත් අරකිටත් ලැබී තිබෙනවා. එවැනි අයෙකු සිංහල බ්ලොග් පවුලටත් එක්වීම ගැන එකෙන්ම අපි සතුටු වෙමු.

    • Kaවෝ…..මමත් උඹට හරි කැමතියි……. උඹේ සමහරක් දඩබ්බර පහරදීම් නම් හරි මදිද මන්දා….ඒක උඹේ අයිතියනේ…..

      අපේ මල්ලි බැන්ද පවුලේ ඒ ළමයිව ඔක්කොම හදාවඩා ගෙන තියෙන්නේ මාමා (තාත්තා නැති උනාට පස්සේ ) මාමලා සම්බන්ධ බොහෝම සංවේදි කතා මම අහලා තියෙනවා. මේ මාමා දැන් අසනීපයෙන්.

      ඇයි උඹ බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ?

      • කා(Ka) says:

        //සමහරක් දඩබ්බර පහරදීම් නම් හරි මදිද මන්දා//
        ඔළුව අතගාලා ටොකු අනින්න ඕන නෑනෙ බං.

        ඇයි මම බ්ලොග් ලියන්නේ නැත්තේ. මාත් මේ කල්පනා කොළා……………………..? බොගග කොමන්ටුවක් ටුක් ගාලා දානවා වගේ නෙමේ බං බොගග් ලියන එක. එත් අනිත් අය ලියන ඒව කියවන්නත් කෂ්ඨිය ඉන්න එපායැ. පාඨකයෝ නැත්නම් කවුද බං පොත් ලියන්නේ.

      • මමත් කියන්නේ ලියන්න කියලා කා..
        එන අය කොහොමත් එයි නැති අය හොරෙන් හරි එයි.

      • කා(Ka) says:

        අංගුලිමාල 999 ක් ම දෙනා මැරුවලූ……… හැබැයි පස්සේ රහත් වුනත්, ඌ මරාපු මිනිස්සුන්ගේ දරුවෝ අහු උනොත් නිකන් බලාගෙන ඉදිවී. අන්න එහෙම ගැටලුවක් මටත් කියෙනවා බං. හැබැයි අංගුලිමාල එදා කෙරුවාව තෙප්පුලන්න ගියේ නෑ. අද ඉන්න එවුන්, එක මහ ලොකු වීරකමක් විදිහට අදටත් තෙප්පුලනවා.

  12. “මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය”
    එක හුස්මට කියෙව්වා ඕන්….

    • ඕන් ඉතින් හුස්ම හිරවුනොත් මම එහෙම නැහැ.

      ශාමනී…..ඔබ මට වඩා බොහෝම තරුණ කෙනෙක් කියා හිතනවා…. පුළුවන් වේලාවක පෙර කොටස් කියවා බලන්න . සමහර විට තරුණ අයට වැදගත් නැවත හිතන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. ඔබ ලියන බ්ලොග් එකක් තියෙනවාද?

    • කා(Ka) says:

      අනේ අනේ කෙල්ලේ. නිරෝගි කෙනෙක් විනාඩියකට හුස්ම කී පාරක් ගන්න ඕනද?

  13. Kenji @ Japan says:

    අඩෝ මචං උඹ ව අපි තනි කරන්නෙ නැහැ තව සැරයක් හෙට කියවල කුණු හරුපයක් කොටනාව හෙටත්,එච්චරට රසයි ඔබේ ලිපි.

    • කා(Ka) says:

      ඈ බං අංකල් කෙනජියෝ, උබව කවදද තනි කෙරුවේ අපි!

      • Kenji @ Japan says:

        @කා(Ka);
        මගෙ බොක්ක කා(Ka) කවුද බං ka Kalaya කියන්නෙ මම හිතුව උඹ නම වෙනස් කරල කියල.
        කෝ මම අන්තිමට සමකය වටේ ට දාපු එකට ආවැය.

    • කා(Ka) says:

      ඔව්. ඒකා මම තමයි බං. සූර පප්පා ඇනෝ බ්ලොක් කරලා අතුරු දහන්. මම සුරුස් ගාලා හදිසියේ හදාගත්ත ප්‍රෝෆයිල් කටුව ka Kalaya. ඇයි බං අලුගෝසුවා හොයාගෙන මම මේ සයිට්වල කී පාරක් කරක් ගහනවාද?

  14. අපොයි කොමෙන්ටු ටික විතරයි හරියට කියෙව්වේ මම කැමති න මෙච්චර සංවේදී ඒවා කියවලා (විශේෂයෙන් අම්මලා ගැන) දවස් ගානක් හිත අමාරුවෙන් ඉන්න ….. කොටින්ම මම ආසම ගායකයා සුනිල් එදිරිසිංහ එත් දෙවැනි බුදුන් ලෙස ගීතය මම අහන්නේ නැ දර ගන්න බැරි නිසා

    • කා(Ka) says:

      ඉදා ලේන්සුවක්. පිහගනිං කඳුලු.

    • රාළේ දෙමව්පියන්ගෙන් ඈත්වෙලා වෙන රටවල්වල ජීවිතේ ගෙනියන කොට ඔය වේදනාව බොහොම තදින් දැණෙනවා. මොනවා කරන්නද බං. අපිට සීමිත තෝරා ගැනීම් කිහිපයක්නේ තියෙන්නේ.

  15. අරූ,මේක හැම සතියෙම බලාපොරොත්තුවෙන් ඉන්න පොස්ට් එකක් වෙලා.
    අරූගේ තාත්තා හරිම අපුරු පුද්ගලයෙක්.
    //මණුස්සකමට වඩා කෙනෙකුගේ බලයටත් මුදලටත් ගරු කිරීමේ වෘෂභ සංකල්පය එදා මෙන් අදත් පවතී.//
    අනිවාර්යෙන්ම අරූ අපි හදා ගන්න ඕනේ අපේ ලොකුම දුර්වලකමක් එක.

    • ඔය ගොන් ගතිය අඩු වැඩි වශයෙන් ලෝකයේ ගොඩාක් රටවල ඇති. හැබැයි අපි අඩු කරගන්නවාට වඩා ගොංකම් වැඩිකරගන්න මිනිස්සු කොටසක් වේගෙන යනවා නේද?

  16. රාජ් says:

    ඉරා දැමිය නොහැකි පිටු ඇත්නම් ඒ සියල්ලකගේම හිමිකාරියන් වන්නේ ගැහැණුන්ය. //

    සහතික ඇත්ත බං!
    ලොකු අම්ම ගැනනං දුකයි. මහප්ප ගැන නං එහෙම හිතෙන්නෙ නෑ. ඔක්කෝටම වඩා උඹේ තාත්ත ක්‍රියා කල ආකාරය නිවැරදියි.
    මට හිතෙන්නෙ තාත්ත කියන්නෙ අග පිටුව නෙවේ. අකුරු! අකුරු එකතුකරල බැඳල පැනයන්න නොදී තබාගත් පොත තමයි උඹේ අම්ම!

    • ////මට හිතෙන්නෙ තාත්ත කියන්නෙ අග පිටුව නෙවේ. අකුරු! අකුරු එකතුකරල බැඳල පැනයන්න නොදී තබාගත් පොත තමයි උඹේ අම්ම!////

      මචං රාජ්……..මම ලියපු මුලු පෝස්ට් එකටම වඩා උඹ අපේ තාත්තා ගැන හිතපු අදහස හරි වටිනවා. හැබැයි ඒ ක්‍රෙඩිට් එක තාත්තාට දෙන්න තාමත් අපි මැළිකමක් දක්වනවාද කියලා මටත් ගොඩාක් වෙලාවට හිතිලා තියෙනවා.

  17. athathatama amma kenekuge agaya therenne eya langa nathi witadi.

    • කෝරලේ මහත්තයා වලව්වෙන් පිටවෙලා රාජකාරී වෙලාවේ වත් ආපු එකේ වෑවරයක්වත් කඩලා දෙන්න එකෙක් නැහැනේ….

      අම්මා කෙනෙක්ගේ අගය සහසුද්දෙන්ම තේරුම් ගන්න නම් අපි මීටත් වඩා ඉහල මානසික තත්වයක ඉන්න ඕන කියලා මට හිතෙනවා එක වෙලාවකට.

  18. Anonymous says:

    අවුල් උනාට පසු ……………….. ලොකු අම්මා කොහොමද බං.
    විහිළුවක් අරූ. අම්මලා විහිළුවට ගාවගන්න හොඳ නෑනේ බං. හිත නරක්කර ගන්න එපා.

    • අනේ නැහැ ඇනෝ….විහිළු විහුළු ලෙසින් තෝරා බේරා ගන්න පුළුවන් කමක් සමාජයෙන් ඉගෙණගෙන තියෙනවා.

      අවුල් වුවාට පසු අප පවුල් දෙකේ අවබෝධය තවත් වැඩි උනා. ඒ තුන් දෙනා බොහෝම සතුටින් අදටත් අප ඇසුරේම ජීවත් වෙනවා. අපි පිරිමින්ගේ තියෙන බීමට ඇති ලොල්කම නිසා ඇතිවෙන සුළු සුළු ආබාධ හැරෙන්න වෙන අවුලක් නැහැ.

  19. damith says:

    අරුවො තිලක,තිලක සහ තිලකා කියන පොත් ලිවුවෙ කවුද මට මතක නැ.හැබැයි මට එ කතාම තමයි මතක් උනෙ තනිකර එ විදියයි.උපරිම ලස්සනයි.
    අම්මයි,බිරිදයි දුවල දෙන්නයි කියන්නෙත් මගෙත් ලොකය

    • Damn it……තිලක සහ තිලකා ලිව්වේ ටී.බී.ඉලංගරත්න ශූරීන් නේද?…..ඔය පවුල කියන එක තමයි වඩාත් පියකරු වෙන්න ඕන. බොහෝ දුරට සමගිය හා අන්‍යෝන්ය අවබෝධය මත. එතකොට අනිත් ඕන යෝනියක් පනම් අටයි.

  20. අපට අපේ කතා විතරක් ලියන්න බැරිය.එයට තව තව ඒවා ඈදෙයි.එම නිසා ඔබට සමාව ලැබෙයි.

    • ඇත්ත ඇත්ත ගයනි…..එක මිනිහෙකුගේ හෝ ගැහැණියකගේ කතාවක් තියෙන්න විදිහක් නැහැනේ නේද?

  21. සිරා says:

    උඹට බොහොම රහට ලියන්න හොද හැකියාවක් තියෙනවා…ඒකට මේ පෝස්ටුවම හොද උදාහරණයක්…දිගටම ලියමු…රසවත් බොහෝ දේ…

    • මම දන්න බුවෙක් ඉන්නවා, හඳ පායලා තියෙන කොට මහ රෑ තනියෙන් ඇවිදිනවා…කොහෙද බං මේ මහ රෑ කියලා ඇහුවම කියන්නේ “හඳ තියෙනවා..ඔහේ යනවා …තොට මොකද”කියලා. ඒ වගේ තමයි සිරෝ මාත් හිතට එනවා…ඔහේ ලියනවා…

  22. ලියන්න වටිනා දේ දහසක් උඹ වටා සිද්ද වෙලා තියෙනවා . උඹ හැම මොහොතකම ජීවත් වෙලා තියෙනවා. අපිව ලස්සනට ඒ ජීවිතේට කැන්දාගෙන යනවා. ඔහොම යන් . ඔහොම යන් .

    • මචං තිලකේ උඹ දිගටම කියවපන්…සමහර දේවල් උඹ විශ්වාස කරන එකකුත් නැහැ. හැබැයි මට විඳින්න ජීවිතයක් තිබුනා. ඒක මරු බං.

  23. ලියන පමාවෙන් ඇවිත් කියෙව්වට අන්තිමට දුක මිශ්‍ර මොකක්දෝ හැඟීමක් ඉතිරි වෙලා ඒ ඔස්සේ මගේ මතක පාරෙත් රවුම් ගහලා එනකොට මට කියන්න කිසි දෙයක් නෑ.
    මේ සටහන් බොහොම හර්ද්‍යාංගමයි. සමහරවිට අපි හැමෝගම ජීවිත කතා එකට ඇවිත් වගේ. හැම පවුලකම ගැහැණියක් මේ වගකීම බාරගන්නවා වෙන්න ඇති. අපේ අම්මා මිය යද්දි අවුරුදු හතලිස් තුනයි. (දැන් මගේ ලොකු අක්කගේ වයස.) අපේ අප්පච්චිගේ ඔය නානාප්‍රකාර විකාර වැඩ තිබුනෙ නෑ. ඒත් එයා අපි ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. කොටින්ම අපේ අම්මා තමයි අපි මොනවද ඉගෙන ගන්නේ, කොයි ස්කෝලෙටද යන්න ඕනේ, කොයි රටේද ඉන්න ඕන වගෙ බොහෝ දේවල් තීරණය කලේ පවා. අපේ අප්පච්චි කැමැත්තෙන්ම ඒ වගකීම් අම්මට දීලා තිබුනා වෙන්න ඕනේ. අම්මා මිය ගියාම අපේ අප්පච්චි පත්වෙච්ච අසරණකම එයාගේ ජීවිතේ අවසානය වුනා, කොයි තරම් අපේ ජීවිත කුනාටුවලට අහු උනාද?
    අදටත් හිටි ගමන් අම්මා නෑ කියල අඬන මම වගේ පොඩි ළමෙක් ඉතිරි වුනේ මට තාමත් ඒක දරාගන්න බැරි හින්දා වෙන්න ඇති.

    • මොනවා කරන්නද…අවුරුදු හතලිස් තුනක් කියන්නේ මොන වයසක්ද නේද අම්මා කෙනෙක් නැතිව යන්න. හැබැයි ඔයගොල්ලෝ වාසනාවන්තයි උස් මහත් වෙලා හැදුනාට. අපිට ඒ වගේ දෙයක් උනානම් තත්වය ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා.

      • ඇත්තටම අරූ මටත් ඒක ගැන පුදුමයි. අම්මා මිය ගිහින් ටික දවසකින්ම අප්පච්චිත් මිය ගියා එයාට ඒ දුක දරාගන්න බැරිව.
        මම මගේ කලින් ප්‍රේමවන්තයාට මේ තරමටම ආදරේත් ඒකයි. ඔහු මට අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් සහෝදරයෙක් නෑයෙක් වුනා. (අපි හිටියේ පිට රටක) දැනටත් මම අපේ දෙමාපියන්ට හා සමානවම ඔහුට ගරු කරන්නෙත් ඒ හින්දයි. මගේ අක්කලා දෙන්නයි අයියත් කොහොමත් මට වඩා වගකීම් ගත්ත අය පොඩි කාලේ ඉඳලාම. (යක්ශ පැටියා මම විතරයි කොහොමත් අදටත්) අපේ අම්මලා මිය ගියාට ඒ ලෝකේ ඉඳන් අපි දිහා බලනවා කියලා මම තදින් විශ්වාස කරන්නෙ ඒකයි. ඉඳලා හිටලා අම්මව තාමත් මට මුණගැහෙනවා. http://burubabe.blogspot.it/2013/06/blog-post_18.html

  24. ඩිලාන් says:

    අද තමා මේ බ්ලොග් එකට මම දාන පලවෙනි කමෙන්ට් එක,,,

    • ස්තූතියි ඩිලාන්…..පලවෙනි එක උනාට කමක් නැහැ….අවසාන එක නොවේවා කියල හිතනවා.

  25. Mayya says:

    අරුණ මං සාමානයෙන් මේ ජාතියේ කථා ෆොලෝ කරන්නේ නෑ….ඒත් අරුණගේ ලියන එකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා….ඒක හින්දා කියවන්න එනවා……

    • මයියා…මටත් හිතෙනවා සමහරක් තැන් උඹලට ජීවිතේට අත පත ගාන්න තියා දකින්නවත් ලැබිලා නැතිව ඇති කියලා. මහ අජූව ලෝකයකටත් මම ගොඩ වැදිලා තියෙනවා. සමාජ දැණුම ඉතාම ප්‍රභලයි මයියා. නිදහසේ කියවපන්. සමාජ හරස් කඩක් උඹට පෙනෙයි කියලා මට හිතෙනවා.

  26. ජිවිතයේ අපිට හම්බුවෙන හොඳම වීරයා තාත්තා වෙනවා නම් කොයි තරම් වටිනවද? වාසනාවට මමත් ඒ ගොඩේ.

    • අඩෝ…අපිට ඒ අය වීරයෝ වෙනවා වගේම…එයාලගේ ලෝකයේ අපිත් වීරයෝ වෙන්න ඕන..ඒ මුදල් හෝ බලය මත නෙමේ.. මම ඔවුන්ගේ ලෝකයේ වීරයෙක්.. ඒවා මේ ලෝකයේ හෝ කොයි ලෝකයේ ඉඳන් හරි ඒ අය රස විඳියි. උඹලා දෙන්නා ඒක උඹලගේ දරුවටත් උගන්නලා තියපන් දවසක. උඹලා ජෝඩුවට හිනැහිලා මැරෙන්න පුළුවන්. මට තේරෙනවා උඹලට ඒක පුළුවන් කියලා. කිසිම දෙයක් ඕනවට වඩා හිතන්න එපා. ප්‍රායෝගික මිනිහෙක් වෙයන්. උඹලා තුන් දෙනාට ජයෙන් ජය.

  27. දිගට ම කියෙව්වා අරූ. මොකක් කියන්න ද කියලා මටම හිතාගන්න බෑ. දිගටම ලියන්න. කියවන්න ආසයි

    • කුරුටු ළමයි බොහෝම ස්තූතියි….ඔයගොල්ලන්ගේ ගී පවුර නියමයි. කීපදෙනෙක් ලියන නිසා ඒකාකාරීත් නැහැ අපේ බ්ලොග් වගේ.

  28. Chinthaka Supun says:

    සුපිරි මතක සටහන් වල තවත් එක් කොටසක් කියැවීමි….

  29. raigam says:

    //අසතුටින් එක්ව සිටිනවාට වඩා සතුටින් වෙන්වී යාම වඩා වටී// මචං, මාත් කලකට පෙර ගෘහස්ත හිංසන විඳිමින් ජිවත් වන කෙනෙකුට, මේ දෙයම කියුවා. ඉන් ටික කලකට පසු දශක දෙකක පමණ දිග ඒ දීගය කෙළවර වුනා. මගේ කීම නිසා පමණක් එහෙම වුනා යයි හිතන්න අමාරුයි.

    • ඇත්තටම මොන එහෙකටද අසතුටින් ඉන්නේ? ශාරීරික වධ හිංසාවලට යටත්වත් ඒ දීගයම ගෙවනවා. ජීවත් වෙන්න වෙන කිසිම උදව්වක් නැතිවීම. දරුවන් ගැන හිතීම, සමාජය වපර ඇහෙන් බැලීම වගේ දේ නිසා වෙන්න ඇති.

      ඔය වගේම ජීවත්වෙන පිරිමිත් ඉන්නවා. ඒ නම් බිරිඳගේ නොමනා හැසිරීම නිසා. ඌ ඒක විවෘතව ගෑණිත් එක්ක කතා කරන්න බයයි ළමයිට හොඳ නැහැ කියලා. අපේ සමාජයේ අඹු සැමියන් අතරේ විවෘත සාකච්ඡාවක් නැති තරම් කියලා මට හිතෙන්නේ මචං.

  30. Dinesh Umagiliya says:

    කොටස් කීපයක්ම ගිය කතාවක් නේ.. හෙමීට කලින් ඒවා බලන්නම්..

    මටත් ඉන්නවා ආදරණිය ලොකු අම්මා කෙනෙක්.. ලංකාවට ගිහින් එද්දී හැමදාම මම ආසම කෑම ගොඩක් හදලා දෙන්නේ ලොකු අම්මා තමයි..

    • හෙමින් කියවන්න දිනේශ්….අපේ ලොකුඅම්මාත් එහෙම තමයි. එයාටම විශේෂිත කෑම ටිකක් තියෙනවා හදලා දෙන. දැන්නම් ගොඩාක් වයසයි.

  31. තරූ says:

    හරිම සංවේදී කතාවක්… තාත්තා වැඩ කළ විදිය හරි… අපූරු තාත්ත කෙනෙක්.. අද නම් බදින්නෙම දික්කසාද වෙන්න බලාගෙන වගෙයිනේ පේන්න තියෙන්නේ…. මේ කතා අද අපටත් වටිනවා…

    ඔය වඩුමුල්ලෙ පල්ලියට මමත් ගිහින් තියෙනවා.. ළමා වැඩසටහනක් කරන්න.. කවදාවත් අමතක නොවන අපූරු සංග්‍රහයක් ලැබුණා.. උදේ කෑමට මඤ්ාඤාක්කා තම්බල, පොල් සම්බෝල එක්ක කැන්ද කොලේ… පොල් කටුවෙ බෙලිමල් වතුර හකුරු එක්ක.. දවල්ට පොලොස් ඇඹුල, ගොටුකොල සම්බෝල, මිරිස් බැදල කෙසෙල් කොලේ…… තව මොන මොනවදෝ තිබුණා…

    • ස්තූතියි තරූ……වඩුමුල්ලේ පල්ලිය දන්නවා කිව්වාම සන්තෝශ හිතුනා. පල්ලිය ඉස්සරහම පාරට අයිනේ ගෙදර හිටියේ මගේ වයසේම යාළුවෙක්. මට අමතක නොවන තැනක්. දැන් ඉතින් මට මතක පරිසරය සහමුලින් වෙනස් ඇති (1970 මුල් කාලය )

  32. තාත්ත නැති උනාට පස්සේ අපේ පවුලේත් මම කෙලින් හිට ගන්නකම් තනියම බර ඇද්දේ අම්ම. මට අදටත් තේරෙන්නේ නැහැ අපි ළමයි තුන් දෙනෙක්ව ආම්බන් කරගෙන කොහොම බර ඇද්දද කියල 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s