අවුල් වන්නට පෙර (12)….හංවැල්ලේ සීයා…..

මම දැන් පදිංචිව සිටින්නේ මගේ තුන්වැනි නවාතැන්පල වූ ඉහල හංවැල්ල, පහත්ගම සීයාගේ ගමේ ගෙදරය. මේ ප්‍රදේශයද එවකට ඉහල තල්දූව තරමටම ග්‍රාමීය ප්‍රදේශයක්ය. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට යන හයිලෙවල් පාරේ කළු අග්ගලට මෙහායින් පහත්ගම හංදිය පිහිටා ඇත. මෙතැන තිබූ විශාලතම ගොඩනැගිල්ල ඉහල හංවැල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත්ය. විශාල බිම් කඩක පිහිටා තිබු මෙතැනින්, ඒ හා අවට ගම් දනව් රාශියක සමූපකාර සිල්ලර ශාඛාවන්ට තොග නිකුත්  කලේය. එකලද මෙම ආයතනය සතුව විශාල ලොරි කිහිපයක් තිබූ අතර , මේ ආයතනයෙ ඉදිරි කටයුතු සඳහා තාත්තාද විශාල මෙහෙවරක් ඉටු කෙරූ බව මම අසා ඇත්තෙමි.

එහි ඉදිරිපසින්ම පිහිටා තිබුනේ ඉතා ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු පවත්වාගෙන ගිය මහකඩේ යැයි හැඳින්වූ විශාල තොග සහ සිල්ලර ආයතනයය. ලුනු, ගොරක හාල් සිට රෙදිපිළි, බයිසිකල් ආම්පන්න සහ රබර් ඇසිඩ් දක්වා සියළුම දේ ගම්මුන් මිලදී ගත්තේ මෙතැනින්ය. ගමේ ප්‍රධාණ ආදායම් මාර්ගය වූ රබර් සීට්, ඔට්ටපාල් සහ රබර් ඇට ආදී සියළුම ද්‍රව්‍යයන් තොග සහ සිල්ලරට මිලදී ගත්තේ මහකඩේ මුදලාලීය. තවත් කඩ කිහිපයක්, තැපැල් කන්තෝරුව, පොලීසිය, පිරවුම් හලද ඒ අවටය. මහාචාර්ය්‍ය අමරා රණතුංග (කස්තුරි ආරච්චි ) එවකට පදිංචිව සිටියේත්, එකම සිනමාහල වූ නිමාලිය තිබුනේත් මහ පාරට අද්දරවය.

හංවැල්ල දෙසට ගමන් කරනා කුඩා තාර පාරද ඊටත් එහායින් කැළනි ගඟත් කඩුවෙල හරහා කොළඹ දෙසට දිවයන පරණ පාර හෙවත් ලෝ ලෙවල් පාරත් විය. ඉහල හංවැල්ල පොලිසීයටත් තුන්නාන ගම්මානයට  අතර මැදින් හයිලෙවල් පාරින් පල්ලමට බැස වෙල් යාය මැදින් ,පුරාණ රජ මහා විහාරය පසුකල විට හමුවන්නේ සීයා පදිංචිවී සිටි ප්‍රදේශයයි. සීයාගේ මුල්ම ගම් පලාත වැලිවේරිය, ඉඹුල්ගොඩ ප්‍රදේශයයි. සීයා විවාහවූ රෝසා ආච්චිගේ මහගෙදර වැල්ලවත්ත හැව්ලොක් පාරේය. තාත්තා ඉපදී ඇත්තේ මෙම නිවසේය. දින කිහිපයකට පසු ඇය මියගොස් ඇති නිසා පසුව හංවැල්ලේ පදිංචියට පැමිණ ඇත. මෙම විශාල නිවසද ඉන් බොහෝ කාලයකට පසු සීයාටද හොරෙන් අපේ තාත්තා විකුණා දමා ඇත.

තාත්තා ඉපදී දින කිහිපයකට පසුව ඔහුගේ වැදූ මව වූ රෝසා ආච්චී මිය ගොසින්ය. අහල ගම් හතේවත් එවැනි රූමත් ගැහැණියක් නොවූ බව වැඩිහිටියෝ පවසති. එය එසේ විය හැකියයි තාත්තාගේ රුවෙන් හිතාගත හැක. ඇය මියගියේ යකා ගැසීමෙන් යැයි පැරැණි උදවිය කතා වුවත් යකා මොකාදැයි කවුරුත් නොදණී. රෝසාච්චි මියයෑමෙන් පසු සීයා තම පුතු හදාවඩා ගැණීම සඳහා ලිලි ආච්චි නම් තවත් රූමත් අහිංසක ගැහැණියක් පහත්ගමින් ආවාහ කර ගත්තේය. ඒ තාත්තාගේ හැදූ මවය. තාත්තා ඇයගෙන් කිරි උරා බිවු බවත් කියයි. ඔවුන් දෙදෙනා ගහට පොත්ත මෙන් තද බැඳීමක් විය. මේ වැදූ මව නොවන බව ඔහු පසුව දැණගෙන තිබේ. නමුත් ඒ ආදරය කිසිදා වෙනස් වූවේ නැත. ඇයගෙන් නොකඩවා ආදරය ලබන්නට මමද වාසනාවන්ත වුනෙමි. ඇයගේ මව බබානෝනා හෙවත් බබාච්චිය. මට ඇය ගැනද ඇත්තේ ඉතා හොඳ මතකයක්ය. පසුව සීයාට දාව ලිලිආච්චි දරුවන් දෙදෙනෙකු වැදුවාය. ඒ අපේ නැන්දලාය. මේ දෙදෙනාටත් වඩා ලිලිආච්චි සහ බබාච්චීගේ හුරතලය වී ඇත්තේ අපේ තාත්තා බව බොහෝ අය දණී.

මම සීයාගේ ගෙදර සිට පාසැල් යන කාලයේදී තාත්තා මාසයකට වතාවක් වත් ගමට පැමිණේ. ඒ තනිවමය. තාත්තාත් ගමේ යහළුවනුත් ආපහු දකින්නට ලැබෙන්නේ අඳුර වැටුනාත් පසුවය. ඒ වනවිටත් ආච්චී හුළු අත්තකුත් පත්තු කරගෙන ගමවටේ යන්නේ තාත්තා හොයන්නටය. ඔබ පුදුම නොවන්න. ඒ සීයාගෙන් ගුටි ලැබෙයි කියා බයටය. හංවැල්ලේ සීයාට නම් අපේ තාත්තාව අරහංය. එසේ වෙන්නට හේතු බොහෝය.සීයාගෙන් තාත්තා ගුටිකන අවස්තා කිහිප විටක් මම නරඹා ඇත. බීමත්ව සිටිනා තාත්තාට පහරදෙන සීයා වටපිට බලන්නේ මහත් ආඩම්බරයෙන් මෙනි. ඒ හරියට “මූ තාමත් මට බය පක්ෂපාති යැයි” අන් අයටද දැණ ගැනීම පිනිස විය යුතුය. බේර ගන්නේ ලිලි ආච්චී සහ ඇගේ මව වූ බබාච්චීය. සීයාගෙන් ගුටිකන තාත්තා නිදාගන්නේ ලිලි ආච්චී තුරුලට වීය. මේවා ප්‍රබන්ධ නොව මා ඇසින් දුටු දෙවල්ය.

පසුවදා කිසිවක් නොවූ පරිදී තාත්තා ගෙදර යාමට  සූදානම් වේ. ලිලි ආච්චීද බබාච්චීද මොහුව හුරතල් කරන්නේ පොඩි එකෙකු හා පරිද්දෙනි. බබාච්චී තාත්තාගේ හිසද පීරයි. රබර් සීට් විකුනා ලැබෙන මුදල් බබාච්චී සතුව ඇති හෙයින් එයින් කොටසක්ද තාත්තාට දෙන්නේ කාටත් හොරෙන්ය. මේ අතරතුර ලිලී ආච්චී සීයාට කියන්නේ කොලුවා යන්න හදනවා ඇවිත් කතා කරන්නට කියාය. මට බේබද්දෝ සමග කතාවක් නැතැයි කියන සීයාගේ උදෑසන දේශණයට පෙර තාත්තා ඔහුගේ සුපුරුදු දුක්ගැනවිල්ල පටන් ගනී. ඉපදී දවස් කිහිපයකින් අම්මා මියගිය බවත්, මට දැන් අම්මාත් නැත තාත්තාත් නැත කියා බොරු කඳුළු සලන්නේ, ලිලි ආච්චී දෙස හැරී සිනහ වෙමින්ය. මොහොතින් සීයා පැමිණ  තවත් කීයක් හෝ අතමිට මොලවා තාත්තාට සමුදේ. ඒ මොනවා වුනත් නොදුටු අම්මා ගැන ඔහු නිතරම ආච්චී සමග බොහෝ දේ කතා කර ඇති බව මට ඇය කියා ඇත.

බබාච්චීගේ ලොඹු කට තවත් ලොඹු කරමින් කියන්නේ, ඕකා පොඩි කාලේ සිටම දඟයා බවත් උගේ හිත රිදවීම නාකයි බවත්ය. ඇය නාකයි කියන්නේ නරකයි කියන එකටය. ඔවුන් කියනා හැටියට නම් සීයාට අපේ තාත්තාව එපා වීමට මූලික හේතුව වැල්ලවත්තේ නිවස හොරෙන් විකුණා දැමීමය. ඔහුගේ මියගිය අම්මාගේ නමින් තිබු නිවසක් කොහොම විකිණුවාදැයි මම කිසිදා අසා නැත. අනිත් කාරණය නම් තාත්තා විවාහවී ඇත්තේද කිසිවෙකුටත් නොදන්වා බැවින්ය. සීයා විසින් ගෙන එන කිසිම මංගල යෝජනාවක් බැහැයි නොකියා බාරගන්නා බවත් ,මනාලියන් බැලීමට යාම සඳහා සීයාත් ආච්චීටත් අමතරව ගමේ යහළුවන් තුන් හතර දෙනෙක් ලෑස්ති කර ගැනීම අනිවාර්ය්‍ය සිරිතක් බවත් තාත්තාගේ ආච්චී වූ බබාච්චී මට කියා ඇත. එම ගෙවල්වලට ගොස් යහළුවන් සමග ඇති පදම් සංග්‍රහ භුක්ති විඳ ගෙදර පැමින, සීයාට කෙල්ලගේ ඇදයක් කුදයක් පෙන්නන තාත්තා, ඒ වන විටත් ඔහුගේ දැඩි ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අම්මාව විවාහකර ගෙන සිටි බව දැණගෙන සිට ඇත්තේ ලඟම මිත්‍රයින් පමණය. ඔවුන්ගේ මංගල ඡායාරූපයක් නැත. ඔහු ඒවා සත පහකට ගනන් ගන්නේ නැත. මේ කරුණු කාරනා නිසා සීයා, අපේ අම්මා හෝ අපේ අම්මාගේ පවුලේ අය සමග බොහෝ කාලයක් යනතෙක් ඇයි හොඳැයියක් පැවැත්වූවේද නැත. අපේ අම්මාද සීයා ගැන පැවතියේ තාත්තාගේ තාත්තා නිසා ආශ්‍රය කරනවා යන ආකල්පයය. එය වැරදි නැත. ඔහු අම්මාට වෙනස්කම් කර ඇත.

සීයා වැල්ලවත්තෙන් හංවැල්ලේ පදිංචියට පැමින ඇත්තේ ඔහුගේ දෙවැනි විවාහයෙන් පසුවය. මේ ලිලි ආච්චීගේ ගමය. තාත්තා එවකටත් කිරිබොන වයසේ පොඩි එකා යැයි ආච්චී කියයි. සීයා රජයේ දුම් රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙක්ය. මේ ගම් පලාතේ බොහෝ අයගේ ආදායම් මාර්ගය රබර් වගාවය. රජයේ සේවයේ සිටි අය ඇත්නම් අතලොස්සකි. සමහරුන් ස්වර්ණාභරන නිශ්පාදනය කල අයය. තාත්තා මෙන්ම එම වයසේ බොහෝ අය දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයින් විය. ගම්මැද්දේ විශාල වොලිබෝල් පිට්ටනියක් විය. හැන්දෑවට වොලිබෝල් ක්‍රීඩා කිරීමත් රාත්‍රියට කැරම් ගැසීමත් ,ඕමි ගැසීමත් මොවුන්ගේ ප්‍රධාණ විනෝදාංශය විය. සමස්ථ ලංකා මට්ටමින් ක්‍රීඩාකල වොලිබෝල් කංඩායමක් සෑදීමට පුරෝගාමි මෙහෙවරක් කලේ තාත්තා බව ගම්මු කියති. ඒ කාලයේ ශ්‍රී ලංකාවත්, ලංගමයත් නියෝජනය කල එල්.ඒ.ඩී. ප්‍රේමරත්න ඉන් එක් අයෙකි. රක්ෂණ සංස්ථාවේ සිටි දක්ෂතම කැරම් ක්‍රීඩකයෙකුවූ තාත්තා ගමටද කැරම් ගෙන ආ බව දන්නෝ දනිති.

ඉහල හංවැල්ල ග්‍රාමයේ අවමංගල්‍යාධාර සමිතිය, ප්‍රජා මංඩලය ඇතුළු බොහෝ සමාජ ක්‍රියාකාරකම්වල මුල් පුරුක දයාරත්න අයියා නොහොත් රත්නේ අයියා වූ අපේ තාත්තාය. වරක් ඔහුගේ තනි වියදමින් ප්‍රසිද්ධ අවුරුදු උත්සවයක් පවත්වා ඇත. එහි රූප රැජිණිය වූ සොමිලතා නම් තැනත්තිය එයින් පසු විවාහ කරගෙන ඇත්තේ අපේ අම්මාගේ මල්ලීය. ඔය අපේ තාත්තාගේ වැඩය. ඕවාට වියදම් කරන්නට ඇත්තේ අර ඉඩම් විකුණූ මුදල් විය යුතුය.

සීයාද සමාජ සේවයට කැමැත්තක් දැක්වූ අයෙක් විය. නමුත් මොහු තාත්තා මෙන් නොව පුරාජේරුවට කැමැත්තෙක් විය. මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ඉංග්‍රීසියෙන් පුතා ඉගෙනගත් බවත් දැන් මුණුබුරා රෝයල් කොලෙජ් එකේ බවත් කියන්නේ දෑස් ලොකුකර වටපිට බලමින්ය. තාත්තාට මෙන්ම මටද මෙය ඉතා අපහසු තත්වයක් විය. සීයා මත්පැනට සහ දුම්පානයට තදින්ම විරුද්ධ කෙනෙක් විය. ඔහුගේ එකම පුතා නම් මේ දෙවර්ගයටම තදින් ලොල් විය. එවකට සීයාගේ වයසේ අය දුම්පානය කරනවා මම කවදාවත් දැක නැත. ඒ අය බොහෝමයක්ම බුලත්විටි හැපීමට නම් පුදුම ගිජුකමක් දැක්විය. සිගරට්, බීඩි භාවිතය තිබුනේ පසු පරම්පරාවෙ උන් අතරය.

හැන්දෑ වරුවට ගෙදරට පැමිනෙන මිණිසුන් වටකරගෙන බුලත් හපමින් වරු ගනන් කතාබහේ යෙදීම සීයාගේ සිරිතය. දවල් වරුවේ එලවළු කොරටුව සුද්ධ කිරීමත්, හරක් බැඳීමත්, කුකුලන්ට කෑම දැමීමත් හැර වෙන රාජකාරියක් නැත. සීයාගේ කතා අසා සිටීම ඉතා නීරස කටයුත්තක් බව ගමම දණී. අපේ තාත්තා මංගල්‍ය, අවමංගල්‍ය කටයුතුවලදී අනිවාර්ය්‍ය කථිකයෙක් විය. ඔහුගේ කතා ඇසීමට මිණිසුන් කැමතිය. මල ගෙදරකදී ඉතාමත් හැඟීම්බර කෙටි කතාවක් පවත්වා මිණිසුන් හැඬවීමට සමත් මොහු මගුල් උත්සවයකදී නම් ශෘංඝාරය මුසු කතාවක් පවත්වා වැඩිහිටියන්වද, තරුණියන්වද කුල්මත් කරවයි. ශෘංඝාරය වුවත් පාලනයකින් හසුරුවා කතා කිරීමට මොහු දක්ෂයෙක් විය.

සීයා වාඩිවී කතා කරන්නේ පරණ දේශපාලන සිද්ධීන්ය. තදබල ශ්‍රීලංකා කාරයෙකි. සීජීආර් එකේ යූනියන් කාරයෙකි. කතා කිරීමේදී තදින් ඇස් පියාගෙන කතා කිරීම සීයාගේ පුරුද්දය. විනාඩි දෙක තුනකට වරක් ඇස් ඇර බලන්නේ ආඩම්බරයෙන්ය. තාත්තා ගමට ඇවිත් සිටින දිනයක නම් යහළුවන්ට මේවා අසා සිටීමට උනන්දුවක් නැත. නැගිට යාමටත් බැරිය. සීයා කතාවේ ඊලඟ කොටස පටන් ගැනීමට ඇස් වැසූ සැණින් ,සද්දයක් නැතිව නැගිටින තාත්තා ලඟින්ම ඉන්නා කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන හොරෙන්ම පිටව යයි. සීයාගේ කතාව අවසන් වෙනවිට එකා දෙකා සීයාටත් හොරෙන් නැගිට ගොස් අවසන්ය. සීයා ඇස් ඇර බැලූවිට ඉතිරිව ඇත්තේ මමත් නැන්දලා දෙදෙනාත් අසල්වැසි කුඩාවුන් කිහිප දෙනෙක් පමණය. මේ ඔක්කොටම මුල අපේ තාත්තා යැයි දොස් පවරන සීයා කතාව අවසන් කරයි. තාත්තා රෑ බෝවී ආපසු එන්නේ මිතුරන් හා සප්පායම් වීමෙන් පසුවය. අපේ අම්මා නම් කියන්නේ, පඩික්කම් පුරෝ පුරෝ ඔය දොඩවන මාගල් අහන්න මිණිස්සුන්ට පිස්සුද කියාය.

සීයා බුලත් කෑමේ ඇති විශේෂත්වය නම් දුම්කොල කෙරෙහී දක්වන පුදුම උනන්දුවය. මිලදී ගන්නේ ඉස්තරම් වර්ගයේ රට දුම්කොල යැයි කියන ජාතියය. මේවා සිංහල දුම්කොල යැයි කිවු වර්ගයට වඩා වෙනස්ය. පැහැයෙනුත් තදය. හංවැල්ලේ පොලේ සහ පාදුක්ක පොලේ සීයා හඳුණන දුම්කොල වෙලෙන්දෝ වූහ. මේ දුම්කොල ඉතා මැනවින් අතපතගා එහෙට මෙහෙට පද්දමින්, පැයක් වැනි කාලයක් තුල මෙය ගැහැණුන් කොන්ඩය ගැටගසනවා මෙන් ඉතා තදට ගැට ගැට සිටිනසේ ඉතා කුඩා ලනු කැරැල්ලක් සේ හැඩයකට ගොතා ගනී. එම දුම්කොලය සප්පායම් වීමට වෙන කිසිවෙකුට ඉඩ නැත. රසය, පැහැය සහ තෙතමනය රැක ගැනීම සඳහා මෙම කටයුත්ත කරන බව පසුව දැණගතිමි. අනිත් අයගේ දුම්කොල, වේලිච්ච ගස්ලබු කොල වැනි යැයි සීයා කියන්නේ පන්ඩිත සිනහවක්ද ආරුඪ කරගෙනය.

සීයාට අණ්ඩවාතය නම් රෝගය නිසා මහා විශාල ලබ්බක් විය. වත්තේ වැඩ කරන්නේත්, හරක් බලන්නේත් අමුඩය පිටින්ය. එවිට මෙම ලබු රාජයා මනාව දැක බලා ගත හැකිය. මොහු එය වසන් කරන්නේ නැත. තාත්තාගේ මිතුරන් නම් කියන්නේ සීයා ඔච්චර දුම්කොල තෝරන්නේ ලබ්බට බැඳීමට බවය. ලබ්බට දුම්කොල බඳිනවා යැයි කතාවක් ඇත. අම්මාට සීයා සමග ඇති අමනාපය පිටකරන්නේ තමුසෙලාගේ තාත්තා නම් අති පන්ඩිත ලබ්බෙක් කියාය. තාත්තාද බක බක ගගා සිනහාවෙනවා මිස කිසි අමනාපයක් නැත. අපේ අම්මා ලිලී ආච්චීට දැක්වූයේ පුදුමාකාර සෙනෙහසකි. ඒ අපේ තාත්තාව අම්මෙකුත් නැතුව හදා වඩා ගත් නිසාම බව අම්මා කියයි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

102 Responses to අවුල් වන්නට පෙර (12)….හංවැල්ලේ සීයා…..

  1. Ravi says:

    / එකලද මෙම ආයතනය සතුව විශාල ලොරි කිහිපයක් තිබූ අතර../

    නිල්පාට ඉසුසු ලොරි නේද බොලේ? බොනට් එක ඉස්සරහට නෙරලා තියෙන්නෙ. බොනට් එකදෙපැත්තෙ තඩි සයිඩ් ග්ලාස් දෙකක් තිබ්බ..තේක්ක ලෑලි බොඩිය. දෙපැත්තෙ ඉංග්‍රීසි සිංහල දෙකෙම්ම ලියල තිබ්බ ” විවිධ සේවා සමූපකාර සමිතිය ” කියල..පාට පාට දිග කොඩියක් ගත්තු ගෑණු පිරිමි දෙන්නෙක් තමයි ලාංඡනයෙ හිටියෙ වගෙ මතක.

    / මහාචාර්ය්‍ය අමරා රණතුංග (කස්තුරි ආරච්චි ) එවකට පදිංචිව සිටියේත්….?

    අඩේ ඔන්න බලාපංකො ..අමරා රණතුංග දෙමළ කියලයි මම හිතාගෙන උන්නෙ …:)

    / සීයා ඔච්චර දුම්කොල තෝරන්නේ ලබ්බට බැඳීමට…/

    ” ආනන්දය..සබ්බේ ලබං.” ……” එහෙමයි ස්වාමීනී..ඒදං සොඤ්ඤං..”

    උඹලගෙ තාත්ත නං මගෙ බාසාවෙං කියනවනං ” පොරක් ” ……..අම්මප..උඹ කොහොම වෙතත් තාත්ත එක්ක නං සැට් වෙන්ටම ඕන දවසක..:)

  2. මචං ඔය ලොරි තේක්ක බොඩිය. අහවල් සමුපකාර සමිතිය කියලා ගහලා තිබුනා භාශා දෙකෙන්ම. අර ඇඳලා තිබුනේ පින්තූරේ කෙලිච්චිගේ ලාවට බුරිය පේනවා.. මට තාම මතකයි. පිටිපස්සේ ගහලා තිබුනා. වි.සේ.ස.ස. කියලා සිංහලෙන්. ඉංග්‍රීසියෙන් M.P.C.S….Multi Purpose Co-operative Society?????මතකද?

    අමරා අපේ තාත්තාව ඉස්සර හොඳට දන්නවා. මචං අපේ තාත්තා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පොර තමයි. මම එයාගේ වැඩ සීයට සීයක්ම දන්නවා. හැබැයි මට බුදු ෂුවර් ගැහැණු සබ්ජෙක්ට් එකේ හිටියේ නැහැ. ඒක යාළුවොත් කියනවා. අනිත් ඕනම දෙයක්. එයා නැති තැනක් වැඩක් නැහැ කියලා තමයි ඉස්සර යාළුවෝ කියන්නේ.

    • ලොරියක උපරිම වේගය පැකිමි 32 කියා ගහලා තිබුනා නේද? මං හිතන්නේ ඒ රිවර්ස් ජරන වේගය වෙන්න ඕනේ.
      දවසක් අපේ පොරක් ලොරියක registration number එක කියලා ලියාගෙන තිබුණේ KMPH32 කියායි.

    • Ravi says:

      කෙන්ජි සහ කතන්දර,

      ඒ දවස්වල තිබ්බෙ පැ.සැ. 20 සහ 20 MPH කියල. පිටිපස්ස රෝදෙ මඩ කවරෙ තමයි එහෙම ලියල තිබ්බෙ. ලොරි බොඩියෙ පිටිපස්ස කෙලවර පාතම තිබ්බ තාරබර හො. කා. රා. කියල.

      • ඒ ලියලා තිබ්බේ බර ටො හො කා රා කියලා. ඒක තිබ්බේ ඩ්‍රයිවර්ගෙ පැත්තේ බොඩියේ ඉස්සරහර වෙන්න. ටො හො කා රා කියන්නේ ටොන් හොණ්ඩර කාර්තු රාත්තල්.

        මේ ඕකට අදාල ඒ කාලේ දෙබසක්:
        Ravi:හා උඹ කියහං බලන්ඩ MPH20කියන්නේ මොකක්ද කියලා.
        Aru:අයියෝ උඹ ඕක දන්නෙත් නැද්ද? ට්වෙන්ටි මයිල්ස් පර් අවර් කියන එකනේ බං.
        Ravi:උඹ දන්න අහවල් එක. MPH20 කියන්නේ යකෝ, දන්නෙ නතිනම් අදවත් දැනගනිං මගේ පුකේ හිල් විස්සයි කියන එක.
        (එතකොටම ඔතනින් යනවා කාර් එකක් පිරිපස්සේ DPL කියලා බැජ් එකක් ගහගෙන.
        හා උඹ කියහං බලන්න DPL කියන්නේ මොකක්ද කියලා.
        Aru:ඩීසල් පෙට්‍රල් ලාම්පුතෙල් තුනෙන්ම ඕනැ එකකින් ඕක දුවන්න පුලුවන් කියන එකනේ බං.
        Ravi:උඹ දන්න අහවල් එක. DPL කියන්නේ @#$% දීපං පුක ලොක්කට කියන එක.

        ඇයි ඔය ලොරිවල (සමූපකාර විතරක් නෙවෙයි, කොයි ලොරියෙත්) යට බාල්දියක් එල්ලං යනවා දැකලා තියෙනවද?
        ******************************
        අනේ අර උඹගේ සීයා කතා කරන විදියට ඇස් පියාගෙන කතා කරන්න අනිත් මිනිස්සුත් හුරු වුනානම් කොච්චර හොඳද මචං. එතකොට ඔය වගේ හොරෙන්ම නැගිටලා යන්න තිබ්බා. මටත් පේන්න බැරි එකක් තමයි එක එකාගේ කයිවාරු අහගෙන ඉන්න එක.

      • Ravi says:

        ඒ බර කතාව ලියල තිබ්බෙ ඩ්‍රයිවර් සීට් එකේ පල්ලෙහා එළියට පේන සයිඩ් එකේ නේද?…ඔය සිට් එකේ අයිනෙ තිබ්බ මතකද සුදු යකඩ බටයක් නවල එක එක වැඩදාල ඩිසයින් හදල?..

        අර බාල්දිය එල්ලං යන්නෙ මොකටද කියල මම අපෙ අම්මගෙ පොඩි අයියගෙං ඇහුව..මනුස්සය ඩ්‍රයිවර් කෙනෙක්. ” ඒ බං ඔය ගෑණු නාන මංකඩක් එහෙම දැක්කම පට ගාල ලොරිය නවත්තල නාගන්ටනෙ ” ඔන්න මාම කියාපු එක…

      • මේ කතා කොටස පටන් ගන්නේ 1974 කියා නේ. ඉතිං ලංකාව මැට්‍රික් ක්‍රමයට හැරුණේ 1972 දී නම් 1974 තියෙන්න ඕනෑ KMPH32 කියා නොවේද? 1 Mile = 1.6 km

        කෙසේ වෙතත් මං කියා ඇති ලොරියේ අංකය කතාව නම් 1982 එකකි.

      • මචංස්ලා……ඔය වේගය මෙට්‍රික් උනාට පස්සෙත් කාලයක් යනකම් ඉම්පීරියල් සිස්ටම් එක ප්‍රදර්ශනය වුනා. එතැන කිසිම තර්කයක් නැහැ.ඕක ගහලා තිබුනේ මඩ්ගාඩ් එකේ. මඩ්ගාඩ් එක ඉරිලා විසිකරනකම් යොදුන් හැතැප්ම වෙනකම් වුනත් ඔය කතාව තමයි. තාමත් අපේ පලාතේ ගම්බද රාත්තල් වලින් වැඩේ යනවා.තවමත් ජීවත් වෙන පරණ මිණිස්සු ඒකට කැමතියි. ඒක නීතියට පටහැනි උනත් ඒක නොසලකා හරිනවා. තව කාලයක් එහෙම තියෙයි.

        කිරි පයින්ට් වශයෙනුත්….පෙට්‍රල් ගැලුම් වශයෙනුත් ඉල්ලන පරණ උදවිය ඉන්නවා.ඒවා එහෙම තමයි. තාම දැවැද්ද ඉල්ලන්නේ ලංකාවේ.

        ටො.හො.කා.රා…..ඉංග්‍රීසියෙන් තිබුනා මතකද? T.H.Q.P.

        රාතල් 112 හොන්ඩරය Long hundred weight වශයෙනුත්…රාත්තල් 100 හොන්ඩරය Short hundred weight වශයෙනුත් සුද්දා කියනවා…..හොන්ඩරය කියන වචනය හන්ඩ්‍රඩ් කියන වචනයෙන් හැදෙන්න ඇති කියලා මගේ වෘශභ මෂ්තිශ්කය අනුමාන කරනවා.

      • Ravi says:

        ලංකාව නිල වශයෙන් මෙට්‍රික් ක්‍රමය පිළිගත්තෙ 1972 නම් නෙවෙයි 1970 දි. ඒත් අරූ කිව්ව වගෙ සංක්‍රාන්ති කාලය ( Transition Period ) එක අවුරුදු 9 දක්වා ඇදිල ගියා. 1979 අප්‍රේල් 1 යින් පස්සෙ තමයි මට මතක විදිහට අධිරාජ්‍ය ඒකක වලින් කිරුම් මිනුම් කිරීම නීති විරෝධී උනේ.

        අපි පොඩි දවස්වල කඩේ ගිහිල්ල ගෙනාවෙ පාන් රාත්තලක්..ගැරඬින්ට ගැහුවෙ භූමිතෙල් බෝතල් කාලක්..ඒ වගේම ලොරිවල ලියල තිබ්බෙ පැ.කි.මි 32 කියල නෙවෙයි පැ.සැ. 20 කියලයි.

        අරූ ඔබ හරි…හොණ්ඩරේ කියන වචනෙ ආවෙ හන්ඩ්‍රඩ් වේට් කියන එකෙන් තමයි.

        අවුන්ස 16 = රාත්තල් 1 ,

        රාත්තල් 28 = කාර්තු 1

        කාර්තු 4 = හොණ්ඩර 1

        රාත්තල් 112 = හොණ්ඩර 1

        හොණ්ඩර 20 = ටොන් 1

        එතකොට රාත්තල් 2240 = ටොන් 1

        කිලෝ ග්‍රෑම් 1 = රාත්තල් 2.2 ඒ නිසා ටොන් එකට ආසන්න කිලෝ ග්‍රෑම් 1000 ( රාත්තල් 2200 ) = මෙට්‍රික් ටොන් 1 කියල ඒකකයක් නිර්මාණය උනා.

        Imperial Units වලින් දිග චක්කරේ මතකද අරූ?

      • නැත්තේ මොකද? කොපි පොත්වල අන්තිම පිටුව.

      • අඟල් 12 = අඩි 1
        අඩි 3 = යාර 1
        යාර 2 = බඹ 1
        බඹ 11 =පරලොම් 1
        පරලොම් 8 = සැතැපුම් 1

      • Ravi says:

        අඟල් 12 = අඩි 1

        අඩි 3 = යාර 1

        යාර 2 = බඹ 1

        බඹ 11 = දම්වැල් 1

        දම්වැල් 10 = පර්ලොම් 1

        පර්ලොම් 8 = සැතපුම් 1

  3. හදිසියෙනුයි අද කියව්වේ.. මට නම් දැනෙන්නෙ නවකතවක් කියවනවා වගේමයි. උපරිමයි.. සුබපැතුම්.

  4. නවකතාවක් වගෙයි. හරිම රසවත්. ඇත්තෙන්ම කියවන්නේ ආසාවෙන්.. සුබපතනවා ඔබට..

  5. Kenji @ Japan says:

    අදත් පුදුම රසවත් කතාව.පාන්දර නැගිටල කෝපි එක බිබී කියෙව්ව එක සැරයක්.
    පුතාව පාසල් යවල දෙවැනි වරත් මුල ඉදල කියෙව්ව.
    සීයයි තාත්තයි දෙන්නම සුන්දර මිනිසුන්.
    ලොකු කාලෙත් සීය ගහනව කිව්වම නම් හිනාවෙලා පන ගියා.
    අනිත් එක සීයගෙ කතාවල් අහන්න ඉතිරි වෙලා තියෙන පිරිස.
    ලෙසටම සුපිරියි මචං….
    ජය…!

    • කා(Ka) says:

      අරියාදුවට කවුරුත් ආවේ නැතෙයි…………………….

      • Kenji @ Japan says:

        @කා(Ka),
        මේ දවස්වල මගෙ නෝන අරුණි නෝනගේ රටට ගිහිල්ල මම හරිම බිසී…
        දන්නා කියන ආන්ටිලගෙන් හවස 6 ය පහු වෙච්ච ගමන් තියෙන අරියාදුව තමයි ඉතිං….
        එයාල දෙතුන් දෙනෙක්ගෙ අරියාදු වලට මුහුණ දීල ගෙදර එන්නෙ පාන්දර 4 ට විතර බං…………
        අනේ මන්ද මේ ජිවිතේ..

      • කා(Ka) says:

        කරුණාකර ඔබේ ලිංගික කටයුතු විශ්වාසවන්ත එක් අයෙකුට පමණක් සීමා කරන්න.
        විශ්වාසවන්ත එක් අයෙකු යන්නෙන් වරකට එක් අයෙකු බව නොකියවේ.

      • @KA //////විශ්වාසවන්ත එක් අයෙකු යන්නෙන් වරකට එක් අයෙකු බව නොකියවේ//////.

        උඹ කෙන්ජියාව ගෲප් සෙක්ස්වලට දාන්නද යන්නේ?

    • කෙන්ජි අයියට පුතෙකුත් ඉන්නවද? එහෙනම් මනමාලියෝ හෙව්වේ බදින්න.. 😀 😀

      • Kenji @ Japan says:

        මොනවාද නංගෝ මේඅහන්නෙ දුව 17+,පුතා 11+.
        ඒ විහිළුවට කියපු කතා නොවැ 🙂 :).

    • @කෙන්ජි……ලොකුවෙලත් ගුටිකනවා……අපේ සීයාට බොන එවුන් පෙන්නන්න බැහැ. පුදුම ඔරොප්පුවක් තියෙන්නේ. හෙන වනේ එක වෙලාවකට. තාත්තා සමහර දාට අල්ලපු ගෙදර මාමාගේ කාමරේක නිදාගන්නේ.

  6. maathalan says:

    මට අපේ සීයා මතක් උනා.. පොර නම් විට කන්නේ නෑ. ඒත් යාපනේ සුරුට්ටුව කටේ මයි.. ඒකත් හොඳට කැපිලා පේනවා.. මොකෝ සීයත් මම වගේ හොඳ රතු හැන්ඩි පොර.. අපිට නම් බඩවල් ඇවිත් චොර වෙලා උන්නට.. සීයා කුඹුරේ කොරටුවේ වැඩ කරන නිසා බොහෝම ලස්සන ඇඟකුත් තිබුනා.. කොන්ඩෙ බැඳලා උන්නේ…

    මේක කොච්චර රහද කියනවනම්.. මම තුන් සැරයක්ම කියෙව්වා.. පවුල් වල තියෙන කේස් කිසිම වුලක් නැතුව ලිව්වාම, ඒවා කොයි තරම් රසවත්ද.. මට හිතෙනවා අර උඹලයි ගෙදර පිලේ නිදාගෙන මාලෙට කෙලපු එකා ගැන ආයේ දවසක ලිව්ව නම් බොහොම අගෙයි කියලා.. ඒ වගේ ච්‍රිතත් මාර පට්ට චරිත.. උඹලයි ගෙදර උන්ගේ කොච්චරනම් මනුස්ස කමක් තියෙන්නේ ඇද්ද.. ආයෙත් කිසි අවුලක් නැතුව පිල පූජා කරන්න..

    • ඔය උඹලගේ සීයා වගේ තමයි අපේ එක්කෙනත්. මචං ඇවිදිනකොට පොලව හෙල්ලෙනවා. ෆිට් ඇඟ. අපේ ඩඩාව අත තිබ්බ ගමන් විසිවෙනවා.

      ධර්මපාල අංකල් ගැන තව විස්තර තියෙනවා මචං ඉස්සරහට. තව පොරක් හිටියා රණසිංහ කියලා. එයා තමයි තාත්තාගේ බුදු ෆිට් එක. මම ලියන්නම්. බෙබේ හොඳම එක.

  7. deshakaya says:

    දැන්නං ලොරියේ ගහන්නේ 60 කේඑම්පීඑච් කියල නෙව. ඒ උනාට කලින් තිබ්බේ 32 මයිල් පර් අවර් කියල නේද අරූ..

    උඹේ මේ කතා සිරිස් එකෙන් මට ඇත්තටම මතක් වෙන්නේ බං මාර්ටින් විකුම්සිංහයන්ගේ රචනා ශෛලිය..
    (ඕක හුග දවසක ඉදල කියන්න හිටියට කිව්වේ නැහැ) ජය වේවා අරූ..

    • තිසර says:

      // මතක් වෙන්නේ බං මාර්ටින් විකුම්සිංහයන්ගේ රචනා ශෛලිය..//

      හරියටම හරි දේශා.. උඹ කිව්වහම මටත් ඒකම හිතුණා…

      • deshakaya says:

        ඇයි බොල සිතරයෝ.. ඒක මං කියනකම්ම හිටියේ.. මේ ලිපි පෙළ ආයි කියවන්න තරං ආසාවක් තියෙනවා මට නිවි සැනසිල්ලේ.. ටිකක් හප හප රස කරමින්.. එතකොටයි නියමෙට විදින්න පුළුවන්…

    • ඔව් දේශා…..ඉස්සර පැයට සැතපුම් තමයි මුලින් තිබුනේ. හොඳ සංවාදයක් උඩින් යනවා.
      මේක කියවන කොට දෙකක් දාගෙන හිටපන්……

      මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ළමයි ඉන්නවා. උඹලා දෙන්නට හොම්බ කුඩු වෙන්න දෙයි….ඔය අනවශ්‍ය දේවල් කියලා.

  8. Mayya says:

    අරූ කියලා තියෙන මුස්ලිම් කඩේ මුදලාලිත් එක්ක මම 2000 දී විතර කථා කරලා තියෙනවා….

    මෑන්ස් මට කිව්ව කථාවක් තාමත් මට හොදට මතක තියෙනවා…..

    මිනිහා කිව්වා මහත්ත්යෝ මම දවසට රු 50000 ජීවත් වෙන්නත් දන්නවා…ඒ වගේම රු 50 න් ජීවත් වෙන්නන්ත් දන්නවා කියලා….

    හංවැල්ලේන් උඩහට කිරිදිවැල පැත්තට යන පාරේ හොද රඹුටන් වතු තියෙනවා නේද……..

    • කා(Ka) says:

      2000 දී ඌට රු 50 කින් හරි අද 200 කින් හරි එක දවසයි ජීවත් වෙන්න දන්නේ. දවසට කරන්ට් බිලම ඌට යනවා රු 40 කට වැඩියෙන්. අඩුම ගානේ ඕකට 2500 කින් මාසයක් තියා සුමානයක් ජීවත් වෙන්න බෑ.

    • මයියාට හම්බවෙලා ඇත්තේ මහ මුදලාලීගේ පුතෙක් වෙන්න ඕන ෂුවර් එකට. මහ මුදලාලි උස මහතයි. සරම ඇඳලා නිතරම කඩේ මැද මේසේ වාඩිවෙලා ඉන්නේ. කිසිම කයියක් පඩ ශෝ එකක් නැහැ. පුත්තුත් බඩු කිරනවා. කඩදාසි ගොටු හදනවා. ෆුල් ඇක්ටිව්…කස්ටමර් කෙයාර් ෆස්ට් ක්ලාස්. හැමෝටම කතා කරනවා. අපි ගියාම ටොෆියක්වත් දෙනවා. දියුනුවේ රහස ඔව්වා තමයි මයියා.

      ඒ පැත්ත තනිකර රඹුටන්ම තමයි. මාව පොඩිකාලේ වෙඩින් එකකට එක්කන් ගියා. ඒ ගෙදරට ඇතුල්වෙන ගේට්ටුවේ ඉඳන් මිදුලට යනකම් පාර දෙපැත්තේ රඹුටන් ගස් මැද්දෙන් අරන් එකට තියල ARCH එකක් වගෙ හදලා තිබුනා තනි රතුපාටයි රඹුටන් වාරේ නිසා. කවදාවත් අමතක වෙන්නේ නැහැ.

  9. තිසර says:

    ලිලි ආච්චි නම් අදහන්ට වටින කාන්තාවක්… තමන්ගේම ළමයි ඉන්දැද්දිත් කලින් විවාහයේ ළමයාට මෙච්චර සෙනෙහසක් දැක්වූවා කියන එක හරිම දුර්ලභ දෙයක්..

    • තිසර….සමහර දේවල් මම ලිව්වේ නැහැ…සීයා පේන්න නැත්නම් තාත්තට බතුත් කවනවා ….බීලා කන්නේ නැතුව අත ගගා ඉන්නවා කියලා. ලිලිආච්චිගේ අම්මත් එහෙමයි.

  10. මට නම් දෙපාර්ශවයෙන්ම සීයලාගේ මතකයක් නෑ. මොකද මං පොඩි කාලෙම ඒ දෙන්නා නැතිවෙලා.
    මටනම් හිතෙන්නෙ අරූ ගෙ සීයා සහ තාත්තා කියන චරිත දෙක ප‍රම්පරා පරතරය යස අපූරුවට පෙන්නුම් කරලා තියෙනවා.
    අනෙක ලිලි ආච්චි සහා ඇයටත් වඩා බබාච්චි මං දකින්නෙ ඇදහිය යුතු කාන්තාවන් දෙදෙනකු හැටියටයි. විශේෂයෙන්ම ලිලි ආච්චිටත් දියණියන් දෙදෙනකු ඉපදුනත් ඇය ඔබේ පියාට දැක්වූ සෙනහස අඩු නොකිරීම ඇගේ හිතේ තිබූ දාරක ස්නේහයේ තරම පෙන්නනවා. සීය ගැන අත්දැකීම් නැති නිසාද මන්දා අරූ මේ කතාව සීයාව මූලික කරන් ලියුවට මට ඉස්මතුවෙලා පේන්නෙම “ලිලි ආච්චිව” නැත්නම් ලිලි ආච්චි ගැන මගෙ හිතෙත් ඇති උන ආදර සෙනෙහස නිසා එහෙම පේනවා ඇති. ඇත්තටම “ලිලි ආච්චි” සැබෑ මවක්.

    • ලිලි ආච්චි කියන්නේ සෑබෑම චරිතයක් තමයි. මාවත් බලාගත්තානේ කාලයක්. කොයි වෙලාවෙත් හිනාවෙච්ච ගමන්. අකුරක් නෑර පත්තරේ කියවනවා.

  11. කා(Ka) says:

    හැබැයි බොලාගේ සීයා කතාව කියලා ඉවර වෙද්දී එකෙක්වත් නැති උනාට බොලාගේ කතාව අහන්න එන්න එන්නම කශ්ටිය වැඩි වෙනවා නොවැ. සමහරුනම් සෝබනේටත් කොමන්ට් දාලා යනවා, හරිම රසයි කියලා.

    • උඹ ඉතින් මගේ මුල ඉඳලම පාඨකයෙක්නේ. දිගටම වරෙන්. බ්ලොගේ වැඩේට මොකද උනේ?

  12. හිරු says:

    අප්පා……… අරූගේ කතන්දරේ කියවලා යන්න අදවත් කළින්ම එන්න ඕන. නැතිනම් අරයත් එයි.හී.. හී..
    ඇත්තටම දේශකයා කියන විදිහට ඔයා මාටින් වික්‍රම සිංහගේ පරපුරේද කියලා හිතෙනවා. අරූ කතාව සංශෝධනය කරනා නෙමේ නේද ලියන්නේ. හුග දෙනෙක් ඉන්නවා තමන්ගේ ජීවිත කතාව ලියද්දී සංශෝධනය කරලා තමයි ලියන්නේ. හී.. හී..

    • කවුද අප්පා ඔය කියන අරයා?..හිරු, මේ කතාවේ සංශෝධන නැත. මම දවස් තුන හතරක් මතක ගඟේ කිමිදෙනවා. ඊට පස්සේ අරකී වැඩට ගිහින් මම ගෙදර ඉන්න දවසක, කොල කෑලී දෙක තුනකුයි, ලැප්ටොප් එකයි අරන් ඇඳට ගොඩවෙනවා. ලැප් එක උඩ තියාගෙනම මතකය ලියනවා. ඊට පස්සේ ටයිප් කරනවා. ඔන්න ඕක තමයි මගේ ලියවිල්ල. මම වගේම තමයි. ලොකු ප්ලෑන්ස් නැහැ. වා නම් වා…පෝ නම් පෝ…

      • හිරු says:

        අනේ මට කලින් මිස්ටර් හිරු ඇවිත් කොමන්ට් කොටලා තියෙන්නේ. ආයේ ඉතින් මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.

      • ඇත්තටම හිරු කුමාරයා නම් …මටත් සතුටුයි එයා මේක කියවනවාට.

    • හිරු says:

      අරූ… මං මේ දවස්වල ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්නෙ නෑ… මොකද මං වෙනුවට කමෙන්ට් එක දාන කෙනෙක් ඉන්නවනෙ.. හි හි….

      හැබැයි ඉතිං අපේ උන්ද ඇවිත් කමෙන්ට් දානවා කිව්වම නං විදුරට වෙච්ච වැඩේ අනිත් එක වෙන්නෙ… මොකද උන්ද මේකෙ මෙච්චර කාලෙකට අකුරක් කොටල නෑ… හි හි

      • කිසිම දෙයක් ඕනෑවට වඩා හිතන්නේ නැතුව…..කැමති දෙයක් කමෙන්ට් කරන්න කියන්න…..මම බොහොම සිම්පල් සයිමන් කෙනෙක්…

  13. මම ඔය කියන හංවැල්ලේ සමූපකාරෙට මම ගිහිල්ලා සිමෙන්ති ගන්න පෝලිමේ ඉඳලා තියෙනවා අපේ මහ ගේ හදන කාලේ. එතකොට මම කොලුවෙක්. නමුත් ඒ කාලේ තිබ්බ සිමෙන්ති හි‍ඟේ නිසා කවුරු හරි උදෙන්ම ගිහින් පෝලිමේ ඉන්න ඕනේ. ඒ දවස් වල බඩු ගන්න ආඩම්බර බලන්න ඕනෙ හරියට නිකං දෙනවා වගේ.

    මහ කඩේ මතකයි. ඇයි බං ඊට එහා පැත්තේ ලෝ ලෙවල් එකේ හංවැල්ලේ අපේ කඩේ කියලත් එකක් තියෙනවනේ. ඇයි සීවලී පොත් සාප්පුව.

    ඔය උඹලෑ ගෙවල් තියෙන හරියට මම ගිහින් තියෙනවා අපේ අම්මත් එක්ක සාත්තර කාරයෙක්/කාරියක් හොයන්න. අපේ අම්මා හරියට සාත්තර විශ්වාස කලා.

    • ඩූඩ් මටත් ඔය සිමෙන්ති පෝලිම් නම් මතකයි. සමූපේම තිබුනා පොඩි බැංකුවකුත්…සීවලි මුදලාලි අපේ තාත්තාගේ යාළුවෙක්. හංවැල්ලේ ඉන්නකොට ඉස්කෝලේ පොත් ගන්නේ ඔතනින්. ඊට ඉස්සරහ තමයි හංවැල්ල රෙස්ට් හවුස් එක තිබුනේ. පහත්ගම -හංවැල්ල පාරේ තිබුනා අංජනම් එලි බලනු ලැබේ කියලා පොඩි ලෑල්ලක කළු අකුරින් ලියපු බෝඩ් එකක් ගහපු තැනක්. මේක උඹ කියන තැන නෙමේ. සීවලි මුදලාලි එයාගේ වියදමින් වයසක අයව නවත්තගෙන රැකබලා ගන්න තැනක් පවත්වගෙන යනවා කියලා අම්මා මට කිව්වා.

  14. රාජ් says:

    හංවැල්ල පැත්ත නං මටත් ටිකක් පුරුදුයි.
    උඹලගෙ තාත්ත නරක් කරල තියෙන්නෙ ආච්චි මට පේන විදියට. තාත්තයි සීයයි වගේ ඩබලක් අපේ ගමෙත් ඉන්නව. ඉස්සර අපේ පොඩි කඩයක් තිබුන. ඒකට එන මෑන් කෙනෙක් සුරුට්ටු බොනව. එයාගෙ පුතා තාත්තට හොරෙන් අනෙක් පැත්තෙ ඉඳගෙන සුරුට්ටු බොනව. දෙන්නම දන්නව කරන වැඩ. ඒත් අවුලක් නෑ.
    බුලත් විට හපන්න තදින්ම ඇබ්බැහිවෙලා ඉන්න අපේ තාත්තත් දුම්කොල වල කොලිටිය ගැන සෑහෙන්න හිතනව.
    උඹේ කතාව කියවාගෙන යද්දි හිතෙන්නෙ සරළව කියන මේ දේවල් ඇතුලෙ කොච්චර නං සිදුවීම් තියෙන්න ඇද්ද කියල බං. අද කොටස තමයි මම කැමතිම කොටස.

    • පුදුමාකාර සිදුවීම් ගොඩාක් තමයි බං තියෙන්නේ. ලියන්න ගියාම තමයි එක එක මතක් වෙන්නේ. දුක සැප කොහොම කොහොම හරි බැලන්ස් වෙලා ගියා රාජ්.

      සීයාගෙන් ආච්චිලා දෙන්නම අම්බානක බැනුම් අහනවා මූව තවත් හුරතල් කරනවා කියලා. තාත්තාගේ තරුණ කාලේ කතා තියෙනවා බං පිස්සු හැදෙනවා. සයිකල් රේස් පැදපුවා. කනත්තක දවස් දෙකක් ඉඳලා තියෙනවා සීයාත් එක්ක තරහ වෙලා ගෙදරින් ගිහිල්ලා. කුරුම්බා කකා ඉඳලා තියෙන්නේ. ආච්චිම තමයි හොයන් ඇවිත් තියෙන්නේ.

  15. අරූ ජීවිතේ හැම රස මුසු තැනක් ම ඔයාකාරයෙන් මතක් තියෙන එකත් ඇත්තෙන්ම වාසනාවක්. එහම් ලියපු මේ කතා කියවන්නට ලැබීම අපේ වාසනාවක්. එක හුස්මට කියවන්න් පුළුවන් වුනේ මේ හැම දෙයක්ම අපිට හුරුපුරුදු ගතියක් තියෙන නිසාමයි කියල හිතෙනවා.

    • මට ඔය හැම දෙයක්ම ගැන පුදුම විදිහට මතකයි. ඒ මතකය ගැන අම්මලාටත් පුදුමයි. අපේ ලොකු අම්මාටත් හොඳ මතකයක් තියෙනවා. මාව තමයි කතාවට අල්ලගන්නේ. එයා හින්දා තමයි මටත් ගොඩාක් දේවල් මතක. එහේ ගියාම බෑනාට කියලා මට ඩ්‍රින්ක් එකක් ගෙනත් දීලා කයියට අල්ල ගන්නවා. රස සාගරයක්.

  16. Kenji @ Japan says:

    මන්නා ඩේ …පිය තුමනි …
    ඔබට නිවන් සුව…!!
    බුද්ධං සරණං කියන විට ..
    ඔබවත් මතක් වේ..
    හෙට දින මා බැන්ගලෝරයට පැමිණ අවසන් බුහුමන් දක්වමි..!!
    (ප.ලි.දින තුනකට පමණ මාගේ රසික/රසිකාවියන්ට පාලු ගතියක් දැනේවි.එයට කමන්න…කමන්න බැරි නම් ඉතිං H ……………………….කියල කියනව දෙනෙතින් බේ රෙන කදුළු තුලින්….

    • deshakaya says:

      ඔබ එනතුරු මන්නය රැගෙන ඉන්නෙමි. අපද එතුමාට සුභ ගමන් පතමු.. සුභ ගමන් මණ්ණා ඩේ කළාකරුවාණෙනි

    • @කෙන්ජි…..උඹගෙන් තමයි ඉස්සෙල්ලාම නිව්ස් එක දැණගත්තේ. පස්සේ තමයි පත්තරවල දැක්කේ. උඹ ඇත්තටම ඉංදියාවේ යනවාද?

  17. මම මේ අහම්බෙන් දැකලා කඩාපාත් උනේ වෙනදා සති අන්තේ නේ මේ පැත්තේ ගොඩ වෙන්නේ. අද ඉස්සර වෙලා අරූ.
    නියමයි අකුරක් අකුරක් ගානේ රස වෑහෙනවා. තාත්තනම් සැබෑම සුන්දර මනුස්සයෙක්. ඒ ගති අරූටත් පිහිටල තියෙනවා අඩු නැතුවම. අකුරක් වත් වෙනස් නොකර ලියන්න දිගටම මම කියවපු හොඳම කතාවක්.
    ප්‍රබන්දයක් නොවූ සැබෑව මෙතරම් රසවත්ව අකුරු කල ඔබට තුති….

  18. ලංකාවේ දේශපාලනය ගැන වැඩි වැටහීමක් නැතත්. අයිය තල්දූවේ හිටියද? මම අනිවා හම නිවදුවටම තල්දූවේ පන්සලට යනවනේ. රේස් පිට්ටනියේ. පන්සල කියන්නේ.

    • කෝරලේ…අපි කාලයක් ඉහල තල්දූවේ හිටියා. ඔය කියන පන්සලට මම ගිහින් නැහැ. තල්දූව පොල, අලි රේස් හොඳට මතකයි. අලි රේස් හඳුන්වලා දුන්නේත් තල්දූවෙන්ද මන්දා. හන්දියේ හිටිය බොහෝම ප්‍රසිද්ධ පාරම්පරික වෙද මහත්තයෙක්. එයා මුස්ලිම්. හැම පලාතෙන්ම එනවා.

  19. damith says:

    මටනම් උබෙ තාත්ත පොරක් නෙමෙයි.තමන්ගෙ ගැනිටයි දරුවන්ටයි යුතුකම් නොකර කාට කලත් වැඩක් නැ.හොදටම අත්දැකිම් ඇතිනිසයි කියන්නෙ..හැබැයි තත්ත ඔය විදියට හැදුන එකට සියා අනිවාර්යෙන් වගකිව යුතුමයි.

    • උඹේ කතාව මරු…ඔය සම්බන්ධ මත දෙකක් තියෙනවා අපේ ගෙදර. අපි ළමයි හත්දෙනාගෙන් හතර දෙනෙක් උඹේ මතය නියෝජනය කරනවා. මමයි මල්ලි කෙනෙකුයි තාත්තා හොඳ මණුස්සයා කියලා කියනවා. එක නංගි කෙනෙකුට මේ කතාවට සම්මාදම් වෙන්න තරම් මානසික හැකියාවක් නැහැ. අම්මා කියන්නේ මොනවා උනත් තාත්තා රත්තරන් මනුස්සයා කියලා.

      එයාගේ ජීවිතේ ඔයිට වඩා වෙනස් විදිහකට ගෙනිච්චා නම්…සමහර විට ඔය ගතිගුණ නැති චාටර්, බෝරින්ග් අපත චරිතයක් වෙන්නත් ඉඩ තියෙන්න තිබුනා. එක එක ලයිෆ් ස්ටයිල් නේද බං…මම ආසයි මම වෙන්න. මගේ ස්ටයිල් එකට ජීවත්වෙන්න. නැත්නම් මට හිතෙයි මම නෙමේ ජීවත්වෙන්නේ කියලා. අනේ මන්දා….

      • damith says:

        මම ආස මම වෙල ඉන්න පුලුවන් මචො අපි මත යැපෙන කවුරුවත් නැත්නම්.ගැනියෙක් ගෙනල්ල උනත් කමක් නැ කියමු.දරුවො හැදුවනම් මගෙ දැක්මෙ හැටියට නො එක්ස්කියුස්
        අපි යම් ප්‍රමානෙකට කැප වෙන්නම ඔන.එක තමයි ලොකෙ පැවැත්ම.දැන් තාත්ත කැප වෙන්නෙ නැති වෙනකොට එ අඩුවත් පුරවන්න අම්මට වෙනව.එතකොට අම්මට මම ආස මම වෙන්න ඔන නැද්ද.අම්මට කිසිම සතුටක් නිදහසක් ඔන නැද්ද.ඔක තනිකර අමු ආත්මාරථය අරු.

      • දැන් බලපන් මම බැඳලා අපිට ළමයෙක් ඉන්නවා. නමුත් මම මට කැමති විදිහට ඉන්නවා. වයිෆුත් එයා කැමති දේවල් කරනවා. ඒ අතරේ අපේ ජීවිතේත් ඔහොම ඇදිලා යනවා. මම ආත්මාර්තකාමීද? වගකීම් හඳුණාගැනීමේ දුර්වලතාවයයි,ඔහුව ඒ වගකීම් තුල රඳවා නොතබා ගැනීම කියන කාරණය ගැන මොකද හිතෙන්නේ.

      • damith says:

        මචන් යුතුකම් වල රදවාතබාගන්න බැ.යුතුකම් ඉටුකල යුත්තෙ තමන් මයි.එක නිසයි යුතුකම් කියන්නෙ.මගෙ ප්‍රශ්නෙ උබෙ අම්මයි සියයි ආච්චියි අනිත් ඔක්කොමයි තත්ත වගෙ තමන් ආස තමන්ව හොයාගෙන ගියානම් පොඩි උබල අද කොතන වෙන්න පුලුවන්ද.අම්ම ඔය එක එක තැනට උබව අරගෙන ගිහින් නවත්තන්න පින්සෙන්ඩු වෙන්නෙ (හරිද මන්ද වචනෙ )ආසාවටද.උබල වෙනුවෙන් කලයුතුම නිසා නේද.

      • වගකීම්…..යුතුකම්

        දමිත්……උඹේ අදහස තමයි අපේ ගෙදරත් ගොඩ දෙනෙක් කියන්නේ. ඒ අයට ඒක හරි.

  20. අරූගේ සටහන් කියවනකොට සිංහල නවකතාවක් කියෙව්වා හා සමානයි. සමහර වචන වල තේරුම නොදන්නවා වුනාට අපහසුවකින් තොරව සමාධිගත වෙන්න පුළුවන්. කොටින්ම මම දැන් අර ඔබ කියන හන්දියේ ගෙවල් පාර කඩ මංඩියේ ජීවත් වෙනවා වගේ.
    මේ රට දුන්කොලයි සින්හල දුන්කොලයි අතර වෙනස මොකක්ද? ලංකාවේ දුන්කොල වවනවා නේද? මමත් දැකලා තියෙනවා ඉස්සර අපේ ගමේ පොලෙත් දිගට දිගේ දුන්කොල විකුණනවා. ඒත් ළඟ කාලෙක නම් දැකලා නෑ.

    • මේ රට දුම්කොල කියන්නේ පිටරටකින් ගෙනාපු දෙයක් නෙමේ මගේ හිතේ. තවත් එක ප්‍රභේදයක්. වේලන විදිහත් වෙනස්. යාපනේ දුම්කොල කිව්වේත් මේකටද මන්දා..අනිත් වර්ගයට වඩා පාටින් තදයි. තෙත ගතියක් තියෙනවා. යාන්තම් පැනි රසක් තියෙනවාලු. මත වැඩියි කියනවා.

  21. helapaya says:

    සීයගෙ ලබ්බේ කතාව තමයි රසවත්ම,ඉතිං මචං සීය ලබ්බ එළියෙ දාගෙන ඉන්නවද ගානක්වත් නැතුව

    • Anonymous says:

      සබ්බේ ලබන්.

    • හැලපේ.& Ano….මෑන් අමුඩේ අඳිනවා….ඔය ලබ්බ තියෙන පොරවල් ඕක නොපෙනෙන්න අමුඩේ ඉස්සරහෙන් සහ පස්සෙන් දිගට සාය වගේ ඇදලා අඳින්නේ. බිම ඇනතියාගෙන වාඩි උනත් දෙපැත්තෙන් කවර් වෙලා තියෙන්නේ. මෙයා එහෙම අඳින්නේ නැහැ. සාමාන්‍ය කොට අමුඩේ තමයි ගහන්නේ.

      ලබ්බ තියෙන අය අහවල් වැඩේ කරනකොට මාර අප්සෙට් ඇති නේද බං?

      • Ravi says:

        ලබ්භාධිපති කස්ටිය ඒ වැඩේ කරනකොට මචං ඕක තැන්පත් කරල තියන්ට කනප්පුවක් තියනව. ලබු කනප්පුව කියල කියන්නෙ..ඒකෙ මැද පොඩ්ඩක් වගෙ ඇතුලට වලක් වගෙ තියනව. මොකද නැත්තං ලබ්බ පෙරලිල යන නිසා.

        අපරාදෙ බං සීය පුදුමයි Railway එකේ වැඩ කරල රටේ ලෝකෙ ගැන දැනුම් තේරුම් තිබිලත් ඕක එල්ලගෙන හිටපු එක. පොඩි ඔපරේෂන් එකක් තියෙන්නෙ. වැඩේ ඉවරයි…ලබ්බට ආයුබෝවන්…ඉතින් ආයුබෝවන් ලබු තුමනි ගරූ!!!

        අඩේ උඹට අපරාදෙ සීයගෙම්ම අහන්ට තිබ්බ..අනේ සීයෙ සීය අර වැඩේ කොටනකොට ඕක කොහෙද තියන්නෙ ? කියල 😀

      • /////අඩේ උඹට අපරාදෙ සීයගෙම්ම අහන්ට තිබ්බ..අනේ සීයෙ සීය අර වැඩේ කොටනකොට ඕක කොහෙද තියන්නෙ ? කියල////// :D////
        Ravi..මචෝ…..මම අහනවා කොහොම උනත් තාත්තා නම් අහලා ඇති මගේ හිතේ…ඒකද දන්නේ නැහැ ඔච්චර ඔරොප්පු.

        ලබු කනප්පුව මාරයිනේ බං!

      • ලබු කනප්පුව ගැන ඇහුවාම මට මේක මතක් වුනේ.

        එක පොරක් තමන්ගේ Porsche කා එකේ යනකොට ලස්සන කෙල්ලෙක් දැකලා ලිෆ්ට් එකක් දුන්නලු. (මේක තමන්ට කැමති විදියට බ්ලොන්ඩ් හෝ උඩුරාවණ ජෝක් එකක් කරගන්න පුලුවන් ආයෙම කියනකොට). පොරගේ ගොල්ෆ් සෙට් එකත් කා එකේ තිබිලා තියෙනවා. කෙල්ල අර ගොල්ෆ් බෝලෙ drive කරන කොට ඒක තියන්න තියෙන එක පැත්තක පොඩි කප් එකක් වගේ තියෙන අනිත් පැත්ත උල් tee එකක් අතට අරං මේ මොකක්ද කියලා පොරගෙන අහලා. (ඒකිගේ ගොල්ෆ් දැනුමත් මගේ තරම්ම අන්තිමයි.)

        ආ ඕක තියෙන්නේ මම ඩ්‍රයිව් කරන කොට බෝල තියන්න (Oh,I rest my balls on them when I drive.)
        කෙල්ලට හරි පුදුමයිලු.
        “අනේ මේ කාර් නිශ්පාදයො ඊ ලඟට මොනවා හදයිද දන්නේ නෑ නේ?” (Oh, what would these luxury car manufacturers think of next?)

      • රවීගේ ලබු කනප්පුව සහ ඩූඩ්ගේ ඇට කනප්පුව!!

  22. කියන්නේ මොකද්ද කියල හිතා ගන්නත් බෑ කතාව එච්චරටම ආතල් …… අද කතාවේ මම දන්නතනකුත් තියෙනවා අරුගේ තාත්ත ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ගිය පාසැල ……. ඕකට වේල්ස් කුමාර කියල නම වැටිලා තියෙන්නේ සොයිසා මහත්මය 1876දී තමන්ගේ පුද්ගලික වියදමින් ඕක හදලා පාසැල opening සේරම්නි එකට ආරාධනා කරේ එංගලන්තේ වේල්ස් කුමාරයාට නිසා…. එයා ඇවිත් තියෙන්නේ දැන් අර ඇමරිකන් ජනාධිපති එයාර්ෆොස් 1 ප්ලේන් එකේ වෙන රටකට යද්දී එයාගේ කඩිලැක් 1 එක අරගෙන යනවා වගේ සුපිරි නැවකින් සුපිරි බෝට්ටුවකුත් දාගෙනම …. කෙලින්ම නව කොළබ වරයට ටිකක් දකුණට වෙන්න නවත්තල්ලා ඉතුරු ටික බෝට්ටුවෙන් ඇවිල්ල ලුනාව කලපුව දිගේ පාසැලට ආවා කියලා තමයි කියන්නේ …. වේල්ස් කුමාරයා තමන්ගේ නම විතරක් නෙවි තම රාජකීය ලංජ්නයත් නිත්ත්‍ය යනුකුලවම දීලා තියෙනවා පාසලට පාවිච්චි කරන්න……. එංගලන්තයෙන් පිට ඔය ලාංජනය legally පාවිච්චි කරන එකම තැනත් ඔතන තමයි

    • Kenji @ Japan says:

      නොදැන හිටපු විස්තරයක් මල්ලි.
      කවුරු හරි මේක තවත් විස්තර කරයි.
      අපේ විචාරක තුමයි,හැලපයි තමා මේවට අලගොඩු තියන්න දෙය්යො.
      නමුත් මහුද සම්බන්ධ නම් අපේ සරා ගොයිය සහ හැමදෙයක් ගැනම කතා කොරල බේරෙන්නම බැරි අපේ රවිය මේකට මොනව හරි ප්‍රතිචාරයක් දක්වයි.
      හරිම සතුටුයි මැලේ මල්ල නොදන්නම විස්තරයක් එලියට විසි කොලාට.

    • මේකනම් රාලේ හොඳ විස්තරයක්…පෝස්ට් එකක් දාන්න පුළුවන්නේ. උඹත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වගේ. චෝගම් වලට ප්‍රින්ස් ඔෆ් වේල්ස් ආපුවහම ඕවා පෙන්නන්න වටිනවා. මොකද ප්‍රින්ස් ඔෆ් වේල්ස්ට අයිති ලාංජණය ඊට පස්සේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් වෙන අයත් දිගටම පාවිච්චි කරනවා. ඒක වෙනස් කරන්න බැහැ. වේල්ස් කුමාරයාව මත්තල පෙන්නන්න එක්කන් යනවාට වඩා වටිනවා ඉස්කෝලේ පෙන්නුවා නම්.උදව්වක්වත් ගත්ත හැකි.

      • ඔව් අරු අයියා එකනම් ඇත්තටම හොඳ අදහසක් තමයි මම කිව්වේ prince ට එයාගේ නමින් තියෙන ඉස්කෝලේ පෙන්නන්න එක
        එක සැරයක් ඉස්කෝලේ ඉගෙන ගත්තු කෙනෙක් 90 දශකයේදී එංගලන්තේ වේල්ස් වල රාජකීයයන්ගේ තැනක (ඔය accountant වගේ) ජෝබක ඉන්ටව් ගියාලු පාසල් සහතික අතට ගත්තු එතන හිටපු කෙනා අහව්වලු ඔයා රස්සාවට එන්නත් කලින් අපේ ලාංජනය එක්ක letter head පවිච්චිකරේ කොමද කියලා…. ඊට පස්සේ කතන්දරේ කිව්වලු…. රාජකීය ඇත්තොත් අපේ කමට ඉහලින්ම සලකන නිසා එයා අදටත් එතන වැඩ ……

  23. සිරා says:

    අපේ තාත්තගෙ අම්මත් නාකයි කියලා තමයි කිව්වෙ…එයාගෙ අනිත් වචන අහවරද ? කොලූ…කෙලී….,මට බොහොමයක් ඒවා දැන් මතක නෑ…උන්දැ 1996 දිව්‍යලෝකෙ ගියෙ…අරූගෙ කථා කියෙව්වාම අපි නොදැක්ක අතීතය කොච්චර සුන්දරද…ඒ වගේම අව්‍යාජද කියලා හිතෙනවා…

    • ඔව් බං ඒ අව්‍යාජකම දැන් කොහෙවත් ඉතුරුවෙලා නැතුව ඇති කියලා හිතෙනවා. ඔය ගෙදර විශාල රබානක් තිබුනා. ලිලි ආච්චිගේ අම්මා බබාච්චිට පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැහැ. කවි කියනවා…පංච දානවා…පැදුරු වියනවා…කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් ලිලි ආච්චිට කියනවා ගනින් බං ඔය රබාන කියලා…අම්මයි දුවයි වාඩිවෙලා රබන් පද ගහනවා.

  24. Anonymous says:

    අපිත් මේ පැත්තට ගොඩ වුනා.. හරිම සුන්දර මතකයක් නේද ? ජීවිතේ දිහා අපහු හැරිලා බලනකොට ගතකරපු හැම කාලයක්ම හරිම රසවත්…

    • ආවාට ස්තූතියි ඇනෝ……ජීවිතේ මිහිරි හෝ අමිහිරි හැම සිදුවීමකම් අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. නැද්ද මං කියන්නේ. ඔබ බ්ලොග් එකක් ලියනවාද?

      • Thushani says:

        කමෙන්ට් එක දැම්මට පස්සෙයි දැක්කේ ඒක Anonymous එකක් විදියට යනවා කියලා.. මම බ්ලොග් කලාවට තාම අලුත්

        – තුශානි –

      • හලෝ….හලෝ… තුශානි…මම දන්නවා ඔයාගේ බ්ලොග් එක. හොඳයි දිගටම ලියන්න. ළමයෝ මේකේ අළුත්, පරණ හිතන්න එපා. පරණ වෙන්නේ වයසින් විතරයි. ඔයා ලස්සනට ලියනවානේ. මම ලියන එව්වාගෙත් වැරදි තියෙනවා. කවුරු හරි නිවැරදි කරනවා. ඔබට සුභ පැතුම්.

      • Thushani says:

        දිරිමත් කිරීමට ස්තූතියි… හදුනාගන්න ලැබීම සතුටක්.

  25. dayalbathee says:

    රස වින්දා සූරතාන්තයටම!

  26. අදත් උපරිමෙන් රස වින්ද බව ලියා තබමි. ආයිමත් මුල ඉඳලා කතා සේරම කියවන්න හිතෙනවා බන් . මේ චරිතවලට පණ ඇවිල්ල මේ ලියවිල්ලෙන්

    • තිලකේ …ඇත්තටම මටත් පණක් එනවා ඒ චරිතත් එක්ක අතීතයට යනකොට. ඒ කාලය රසවත්.

  27. weniwel says:

    සීයලා ගැන ප්‍රබන්ධ කතා කීපයක් ලිව්වත්..මටත් සීයගෙ ආශ්‍රයක් ලැබිලා නෑ..පවුලේ බාලයා උන නිසා මම එනකොට ආච්චිලා සීයලා සේරොමල්ලා යන්ඩ ගිහින් !
    මේ කතා කියවන කොට මටත් සීයලා ආච්චිලා හිටියා නම් හොඳටි කියලා හිතුනා අරූ..

  28. මචං උඹ ලියන්නා ලියන වෙනීද?..මම උඹගේ බ්ලොගය රස විඳින්නෙක්.

    ඇත්තටම බං සීයලා ආච්චිලාත් එක්ක ඉන්න තිබුනා නම් ඒක සොඳුරු අත්දැකීමක් තමයි. ඒත් අපිට හැම දෙයක්ම ලැබෙන්නේ නැහැනේ. උඹට දරුවෝ ඉන්නවා නම් උන් ආච්චීලා සීයලා එක්ක ගන්න ආතල් එක පේනවා ඇතිනේ. මගේ වයිෆ්ගේ අක්කා ආච්චි කෙනෙක් උනා. ඉතින් මමත් ඔටෝ සීයා වෙලා. ඒක ෆුල් ජොලි බං.

  29. තරූ says:

    තව ටිකක් හැඩවැඩ දාලා.. පරිච්ඡේද වෙන් කරල නවකතාවක්ම කරල ගනිමුද? පොතක් විදියට.. මතු පරම්පරාවලටත් කියවන්න…

    • ඇත්තටම තරූ…..තව කාට හරි කියවන්න ඉතුරු කරන්න කියලා අපේ පොඩිම මල්ලිත් තව කීප දෙනෙකුත් කිව්ව නිසා තමයි ආපහු බ්ලොග් ලියන්න පටන් ගත්තේ. මම ඔහේ ලියනවා.(මම ලේඛකයෙක් නෙමේ තරූ.) එයා කවදාහරි මේ කතාවට මොකක් හරි කරනවාලු. අම්මායි, තාත්තයි කියවන බව ආරංචියි.

  30. Miyuru says:

    මේ පවුලේ සාමාජිකයන් අතර තිබුණු බැඳීම හරිම සුන්දර දෙයක් විදියටයි මං දකින්නෙ… කසාද බැඳලා දරු මල්ලොත් ඉන්න කාලෙ සීයා ගහනවා කියන එකයි, ගුටි කාලා නිදාගන්නෙ ආච්චිගෙ තුරුලෙ කියපු එකයි ඇහුවම නම් හිනත් ගියා… ඒ ආච්චිලා දෙන්නගෙ ආදරේ…!

  31. අපි හැදුනේ හයිලෙවල් පාරටයි ලෝලෙවල් පාරටයි අතර තියන වැලිපිල්ලෑව කියන ගමේ, අපි ආවෙ ගියේ 293 හංවැල්ල – හෝමාගම පාරේ … ඔය කියන හරියට හූවක කොහොම වෙතත්, හූ හත අටකට වැඩි දුරක් නැහැ 😀

    මම පොඩි දවස් වල අම්මත් එක්ක හංවැල්ලේ පොළට යනව මාසෙකට සැරයක් වගේ බඩු අරගෙන එන්න. පස්සෙ මේ ගමන නැවතුන, මං හිතන්නේ අම්මට මාව ආම්බන් කරන්න බැරි හන්දද කොහෙද 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s