අවුල් වන්නට පෙර (13)…….හංවැල්ලෙන් තව පොඩ්ඩක්..

බ්ලොග් ලෝකයට බෝම්බයක් වැදිලාය. එය හෙලිදරව් කලේය. ගිනි නිවන හමුදාව වෙනුවට ගිනි තියන හමුදාව වැඩේට බැහැලාය. නැවත ලියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්ද කල එකාය. ඒවා කියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්දක් නොකෙරූ තම තමන්ය. මේ ගැන යමක් ලියන්නට සිතුවත්, බ්ලොග් කියවීම පමනක් කරනා මිත්‍රයෙක් කිව්වේ බ්ලොග්කරුවන් කියන්නේත් සිවිල් සමාජයේම පැතිකඩක් බැවින් ඕවා බලාපොරොත්තු විය යුතු බවත්, ඊට වඩා වැදගත් දෙයකට කාලය යොදවන ලෙසත්ය. ඔහු නිවැරදිය.

ජයතිස්ස කුමාරගේ ලේඛකයා ලියූ අසම්මත විචාරය නම් පොතේ ඔහු මෙසේ පවසයි.

////”පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන් ලබා ඇති ජීවිත අත්දැකීම් අනේකාකාරය. ළමා කාලයේ සිට තමන්ගේ ජීවිත පසුබිමට අනුව මුහුණ දීමට සිදුවන සිත සතුටු කරවන, එමෙන්ම සිත කම්පා කරවන සිදුවීම් සමුදාය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තීරණය කරයි.නොයෙක් අයුරින් ඔවුන්ගේ ජීවිත හැඩ ගස්වයි.

ඇතැම් අය තම අත්දැකීම් ගුරුකොට ගනී. තවත් අය තම අත්දැකීමවල ගොදුරු බවට පත්වෙති. මෙසේ අත්දැකීමවලට ගොදුරු වන්නෝ එකම අත්දැකීම දහස්වර ලැබුවද ඉන් ඔබ්බට නොසිතති. නොදනිති. එනිසාම ස්වාධීන වූ තමන්භාවය අමතකවී ඔවුහු සිදුවීම් පටලයක පැටලී සිටී.

එහෙත් අත්දැකීම් ගුරුකොට ගන්නා අය තම ස්වාධීන විචාරයට අනුව සියලු සිදුවීම් කීකරු කරගනිති. ආර්ථික, සමාජීය පසුතලයන් ඉහල හෝ පහළ වශයෙන් කුමන ආකාරයක හෝ වේවා ඔවුන්ට ඒ කිසිවක් වැදගත් නොවේ. බාහිරින් තමන් කුමන ආර්ථික හා සමාජ ඇගයීම් වලට ලක්වී සිටියද ඔවුහු පුද්ගලිකව නිතර ස්වාධීනව සිටිති.”////

මට ඔය පොතේ කියවන්නට ලැබුනේ පෙරවදන පමනී. මෙය ඉතා කදිමට මගේ ජීවිත කතාවට ගැලපේ යැයි මම සිතමි. මම දැන් පාසල් යන්නේ පහත්ගම සිටය. මෙය නුගේගොඩ සිට පාසැල් යාම තරම් පහසු කටයුත්තක් නොවීය. පහත්ගම ගම්මානයට විදුලි පහසුකම් නොවීය. පාසල් ඇඳුම් ලක ලෑස්ති කිරීම, පොත්පත් කාලසටහනට සකසා ගැනීම සියල්ලක් සිදුවන්නේ කුප්පි ලාම්පු එලියෙනි. නැත්නම් ඒ දවස්වල ගෙවල්වල සාලයේ දල්වා තබන විශාල ලාම්පුවෙනි. එය ගෝලාකාර වීදුරු චිමිනියකින් සහ පිත්තල භූමිතෙල් රඳවනයකින් හෙබි අවටම ආලෝකමත් කරන ගාම්භීර භාන්ඩයක් විය. කාමර එලිය කරන්නේ කුප්පි ලාම්පුවලින්ය. පැට්‍රෝමැක්ස් තිබුනේ එහෙමත් ගේකය.

පොල්කටු ඉස්තිරික්කයෙන් පාසල් ඇඳුම් මැදදෙන නැන්දලා අන් කටයුතු මටම කරගන්නට ඉඩදී, ශ්‍රී සඟරාවක් කියවීම, ගුවන් විදුලි නාට්ටියකට සවන්දීම කරති. ආච්චීට උදව්වෙන්නේ කලාතුරකිනි. නැන්දලා දෙන්නාම විවාහ වීමට සුදුසු වයසේ අයවුවත් එවැනි කතාබහක් නම් නොවීය. ලොකු නැන්දානම් නිතර නිතර කියන්නේ ඇයටත් අයියාට මෙන් පිරිමි පුතෙක් හිටියානම් හොඳ බවය. ඇය සෝමාවතීය. අනිකා මාලනීය.

ගෙට පහලින් යාබදම නිවස වූයේ, ලිලි ආච්චීගේ මල්ලීවු විල්සන් සීයාගේ නිවසය. ඒ ගෙදර දරුවන් හයකි. බාලයාවූ ජයන්ති මට වඩා වයසින් බාලවූ අතර නන්දේ සහ ගුනේ මට වඩා ටිකක් වැඩිමහල් වූවත් සෙල්ලම් කරන්නේ එකටය. අනිත් තිදෙනා තරුන වයසේ ඉලන්දාරීන් දෙදෙනකු සහ ළමිස්සියකි. මින් ළමිස්සියවූ වසන්තක්කා මට මොකක්දෝ මොකක්දෝ ඇල්මක් දැක්විය. මමද ඒ ඇල්මට ඇලුම් කලෙමි. සීයලාගේ ගෙදර රෑ කෑම පිසින්නේ කළුවර වැටෙන්න පටන් ගත්තාටත් පසුවය. එදා සිටම ඒ ගෙදර පුරුද්ද එය බව අම්මා කියයි. පාඩම් අවසන්වූ පසු කෑම කනතෙක් බලා සිටින්නට බොහෝ කාලයක් තිබේ. මේ කාලය ගෙවාගන්නේ බබාච්චීගේ රසකතා අසා සිටීමෙන්ය. පල්ලෙහා ගෙදර ළමයින්ද සියල්ලෝම එක තැනකට එක්වන්නේ මේ කතා මන්ඩපය නිසාමය. වසන්තක්කා වාඩිගන්නේ මගේ පුටුවේමය. බබාච්චි බොහෝ කතන්දර දැණ සිටියා පමන්ක් නොව හැඩ වැඩ දමා කියන්නේත් තලු මරමින්ය. මේවා බොහෝ රසවත්ය. සති අන්තයේ නම් කථානායකයා සීයාය. එදාට පල්ලෙහා ගෙදර එවුන් මාව එහේ කැන්දන් යයි.

රෑ බෝවී නිදාගැනීම පාන්දරින් අවදිවීමට මහත් බාධාවක් විය. කළු අග්ගල හෝ අවිස්සාවේල්ල සිට කොළඹ යන 122 බසය පාන්දර හතරේ සිට ගමන් අරඹයි. වරාය ඇතුළු රජයේ ආයතන කරා රාජකාරියට යන අයගේ පහසුව සඳහාය. ඒ කාලයේ පෞද්ගලික බස් සේවයක් නොතිබුන නිසා හැම බස් රථයක්ම නියමිත වේලාවට ධාවනයේ යෙදීය. පාසල් පටන් ගන්නේ 7.30 ට බැවින් උදේ හය වෙනකොටත් බස් නැවතුමට පැමිනිය යුතුය. ලිලි ආච්චි අවදිවන්නේ පාන්දර 4.30ට පමනය. නිවසේ සිට බස් නැවතුමට හැතැප්ම භාගයක් පමන ඇවිද ආ යුතුය. පලාතම කට්ට කරුවලය. සීයා උදේම නැගිට කිරි දෙවීමට පටන් ගන්නා නිසා මා ඇරලවීමේ රාජකාරිය පැටවෙන්නේ ආච්චී මතය. පෙරදා රාත්‍රියේම හොඳින් බැඳගත් හුළු අත්තත් දල්වාගන්නා ආච්චී පහත්ගම කන්ද උඩ බස් නැවතුමට මා හැරලවයි. කොතරම් කීවත් මා බසයට ගොඩවෙනතෙක් ඇය ආපසු නොයන්නීය.

අප දැන් පාසලේ අටවැනි පන්තියේ සිසුවෝ වෙමු. පන්ති භාර ගුරුතුමිය වූයේ ගුනවර්ධන මැතිනියයි. අපි ඇයට මෑන් කියන්නේ නැති තැනය. ඇය මා කෙරෙහි විමසිල්ලෙන් සිටියේ ඇයත්, අපේ අම්මාත් නුගේගොඩ අනුලා විදුහලේ එකට ඉගෙනගත් සිසුවියන් නිසා විය යුතුය. මම ඔය කාලයේ “අහස් කුසින් ගෙනත් දියව්” නමින් කුඩා කවි පොතක්ද ලීවේය. දම්පාට කාඩ්බෝඩ් ෆයිල් කවරයක් කපා පිට කවරයද ,කොල පැහැති ෆයිල් ලේස් එකකින් එහි පිටු එක්කරද තිබුනි. මෙහි පිට කවරයේ චිත්‍රය ඇන්දේ මගේ පංතියේ විමල් රත්නසිරිය. ගුරුතුමියගේ යෝජනාවකින් අපි පංතියේ පුංචි ඡන්දයක් පැවත්විය. තිලක්ගේ සහ රාමාගේ නායකත්වයෙන් නරියා සහ කබරයා ලකුණින් කංඩායම් දෙකක් ඉදිරිපත් විය. හදිසියේම ඇඩම්ස් විසින් ස්වාධීන කංඩායමක් ඉදිරිපත් කෙරුනි. රාමාගේ කංඩායම ජය ලැබූ අතර එදා පටන් තිලක් නරියා විය.

ඉන් බොහෝ කාලයකට පසුව ඇඩම්ස් කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍ය දේශපාලනයට පිවිසියේත් ස්වාධීන ශිෂ්‍ය සංගමය හරහා බව මතකය. මොහු එහි ප්‍රභල ක්‍රියාකාරිකයෙකු විය. මේ කාලය ඉතාම කලබලකාරී විය. ඒ ගැන පසුව කතා කරමු.

පාසැල නිමවී රේස්කෝස් මාවතේ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාපිටිය අසලින් නැවත බසයට ගොඩවන මා ගෙදර එන්නේ සවස 3-4 වෙන කොටය. පාසල් නිමවී රවුම් ගැසීම් නැත. සමහර විට බසයේ නින්ද ගොස් බසින්නේ කළු අග්ගලින්මය. නන්දෙලා, ගුනේලා සමග දඩාවතේ ඇවිදින්නත්, ගඩාගෙඩි කෑමටත්, මාළු ඇල්ලීමටත් දැක්වූයේ තදබල කැමැත්තක්ය. එක් පැත්තකින් ඊරියගොල්ලටත් තවත් පැත්තකින් ජාලිගොඩටත් යෑමට හැකිමුත් අපි යන්නේ ජාලිගොඩ පැත්තටය. එහි විශාල මාළු වලවල් ඇත. මෙහි යාම අපට තහනම්ය. එකල ඒ පලාත කසිප්පු සඳහා ප්‍රසිද්ධය. වරක් අපි ඔය පලාතේ රවුම් ගසා එනවිට තාත්තා පැමින සිටියේය. මම කිව්වේ ජාලිගොඩ ගියා කියලාය. තාත්තා කීවේ එහි වෙසෙනා මිනිසුන් දුප්පත් වුවත් ගමේ නම හරියට උච්චාරනය කරන ලෙසටය. එය ජයවීරගොඩ යැයි කියා ඔහු පැවසීය. සීයලාගේ ගෙවල් අවට සොයා ගන්නට බැරි පලතුරක්, පලා වර්ගයක්, බෙහෙත් පැලෑටියක් නැති තරම්ය. දං, මාදං, ගඩුගුඩා, රඹුටන් ඇති පදම්ය. පේර වර්ග රාශියක් විය. ඉතාම කුඩා පේර වර්ගයක් වූ ඇඹුල් පේර මගේ ප්‍රියතම පලතුර විය. බොහෝ අල වර්ග කෑමට හුරුවූයේද මේ ප්‍රදේශයෙන්ය. මයියොක්කා, බතලවලට අමතරව හුලංකීරිය, ආටි ශෝක්, රාජාල, කිරිඅල වැනි දෑ බොහෝය. හුලංකීරිය සහ කලටි පොල් හරිම රස කෑමකි. හැම ශාක පත්‍රයක්ම පලා වර්ගයක්ද සිතෙන තරමට මැල්ලුම් වර්ග කන්නට ලැබුනේත් ඔය පලාතෙන්මය. වෙල් මාළු නොලැබුනොත් කරවල හොදි හෝ ගෙදර කුකුළන් සිටින නිසා බිත්තරය. මස් අනුභවයක් නොතිබුනු තරම්ය. එකල ගම්වල මිනිසුන් මස් කෑමට එතරම් ප්‍රියයක් නොදැක්විය. බත් හා සමානව කොස් මූලික අහාරයක් විය. සුදු හාමුදුරුවන් යැයි කියු උගත් හාමුදුරුවන්ගේ ඉතා කුඩා පංසල අසල අපූරු පවුලක් පදිංචිව සිටියෝය. ඔවුන් ගැන යමක් සඳහන් කිරීම වටී.

පැල්පතක් බඳුවූ මෙම නිවසේ තරුන, මහළු, කුඩා අය බොහෝ දෙනෙක් සිටියා මතකය. තරුන උදවිය තාත්තාගේ සමවයසේ උන්ගේ මිතුරන්ය. අනිකුන් අපේ මිතුරන්ය. මහතුන් නම් මිනිසා පෝලියෝ රෝගය නිසා ඇවිදින්නේ පස්ස පැත්තෙන් සහ අත් දෙකෙන්ය. මොහුගේ ආදායම් මාර්ගය කසිප්පු විකිනීමය. පලාතේ මල ගෙයක් තිබුනොත්, මහතුන් කාට හරි කියා කසිප්පු බූලිය ඒ අසල ඇති බඩවැටියකට ගෙන්වා ගනී. එතැන සඟවාගෙන නිදිමරනා අයට අඩුපාඩු විකුනයි. අපේ තාත්තා නම් කියන්නේ මහතුන් අශෝක වීදුරුවෙන් ශෝකය බෙදනවා කියාය. කසිප්පු විකුනන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා විය යුතුය.

මොහුගේ එක් සොහොයුරකු පියරත්න නම් විය. ඔහු අපේ තාත්තාට බෙහෙවින් ආදරේය. නුගේගොඩ හෝ අවිස්සාවේල්ලේ ආවොත් බර වැඩ සියල්ල කරදෙන්නේ පියරත්නය. යම්කිසි ගෙවීමක්ද කරන තාත්තා ඔහු සමග අඩි පුඩිද ගසයි. පියරත්න සතුව දඩ බල්ලෝ තුන් හතර දෙනෙක් සිටියෝය. ඒ හාවන්, මීමින්නන් දඩයමටය. මොහු සාර්ථක දඩයම් කරුවෙකි. මාළු ඇල්ලීම, සතුන් දඩයම ඔවුන්ගේ ආදායම විය. එක සොයුරෙක් මියගියේ බිලිපිත්තෙන් කාවයියෙක් ගලවන්නට ගොසින්ය. කාවයියාව කටින් තද කර ගලවගන්නා බව මම දැක ඇත. සැණින් මිදුනු කාවයියා උගුරේ හිරවීමෙන් ඔහු මිය ඇදිනි. තවත් සොයුරෙක් මිය ගියේ ඉත්තෑ දඩයමේ ගොසින්, ඉත්තෑවා රිංගූ ගුල වටා ගිනි ගැසීමට ගොසින්ය. ගිනි රස්නෙට ඉත්තෑවා ගුලෙන් එලියට පනිනිනේ කූරු විහිදාගෙනය. ඉත්තෑ මස් වෙනුවට මස් වැද්දා ගස් ගියේය. මෙවර ඉත්තෑවා එලියට පැන්නේ ගුල ඉදිරියෙන් සිටි මේ මිනිහාගේ මුහුණටය. ඒ තුවාල වලින්ම පසුව ඔහු මිය ගියේය. මේ සිදුවීම් දෙකම එකල දවස, සවස හෝ ජනතා පත්‍රයේ පලවිය. ඒ පලාතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්ව සිටියේත් තාත්තාගේ මිතුරෙක්ය.

පාසල් ගමනත් මෙසේ සිදුවෙමින් යන අතර සීයාගේ එක් දියණියක් විවාහය ප්‍රමාදවීම නිසාම මානසික ව්‍යාකූල තත්වයකට පත්විය. අපේ අම්මා නම් කීවේ මෙය හිස්ටීරියා රෝගි තත්වයක් බවය. අපේ ගෙදර යන්ත්‍ර, මන්ත්‍ර, ජ්‍යෝතිශ්‍ය කටයුතු ගැන කිසිදා ප්‍රසාදයක් නොවීය. සීයා නම් කියන්නේ මේ භූතයෙක් වැහිලා බවය. සාස්තරයකට කිව්වේ වැහී හිටින්නේ තාත්තාගේ මියගිය අම්මාවන සීයාගේ පලමු බිරිඳ බවය. තාත්තා මෙයට තදබල විරෝදය පලකලත් වැඩක් නැතිවිය. සීයාගේ තිබු බහුබූත අදහස් හා මිථ්‍යා විශ්වාස නිසා , මේ ගෙදර යාග හෝම තොවිල් වලින් කිසිම අඩුවක් නොවීය. වියදම්කල මුදල් මෙපමනැයි කිව නොහැක. මේ හැම අවස්ථාවකටම තාත්තාටද ගමට එන්න කියන්නේ ,භූතයා ලෙස වැහී හිටින්නේ තාත්තාගේ අම්මා නිසාය. වැලලිය යුතු දේවල් හතර මායිම්වල වලලන්නත්, සොහොන් පිට්ටනිවල පාලු කපන්න බාර ගන්නේත් තාත්තා ඇතුලු යහළුවන්ය. වැලලිය යුතු දේවල් කොහේට හෝ විසිකර ,වැලලුවා කියා ඔවුන් නැවත එන බව අම්මා නම් දැණගෙන සිටයාය. පසු කාලයකදී නැන්දලා දෙදෙනාම විවාහ විය.

පෙරේත තට්ටුවක් සහ තවත් මොනවාද ගොස් සොහොන් පිට්ටනියක තබන්නට වරක් තාත්තා මාවද රැගෙන ගියේ මේවාට බය නොවන ලෙසත්, මේවා බොරුකාරයින් සීයාගේ පොකට් එකට විදින්නට දාන සෙල්ලම් වර්ගයක් කියාත්ය. මටත් අදටත් ඕවා ගැන නම් කිසිම විශ්වාසයක් නැත. අපි තරුන කාලයේ ඇති පදම් පිස්සු කෙලියේ නුගේගොඩ, උඩහමුල්ල කනත්තේය. රෑට කනත්ත මුරකෙරුවේත් අපේ එකෙක් නිසා වැඩ කෝටියයිය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

89 Responses to අවුල් වන්නට පෙර (13)…….හංවැල්ලෙන් තව පොඩ්ඩක්..

  1. මටත් ඔය මිථ්‍යා මත ගැන නම් විශ්වාසයක් නෑ අරූ. මිනිස්සුන්ගෙ දුර්වල නිලයක් අල්ලලා ගහන එක ගහන එක තමා ඔය තක්කඩි කට්ටඩින්ගෙ වැඩේ (විශේෂයෙන්ම හදි හූනියම් කොඩිවින වගේ දේවලදි).
    අර පියරත්නගෙ සහෝදරයෝ දෙන්නාගෙ මරණ දෙකනම් ඇස් පනපිටම උන පවු පලදීමක් වගේ නේද?. දඩයක්කාරයම දඩයමක් වීම කොයිතරම් ඛේදවාචකයක්ද? ඇරත් එකම පවුලේ සහෝදරයො දෙන්නෙක්ම??
    මහතුන් ගෙ ආදයම් මාර්ගය මන් නම් වරදක් විදියටම දකින්නෑ අත-පය හොදට තියන් හීගා කන, හොර කමේ යන උන් අතරෙ එහෙම ඉදගෙනත් කාටත් අත නොපා, හොරකම් නොකර ඔහොම හරි හම්බ කරන එකා මටනම් මාර ‘පොරක්’.
    අශෝක වීදුරුවෙන් ශෝකය බෙදපු එකා ශෝකෙත් එක්ක හොද පණිවිඩේකුත් බෙදලා.

    • ඔව් ප්‍රියා…..කෙනෙක් තව කෙනෙක් ඇන්දවීමම ලොකු වරදක් කියලා තමයි මම දකින්නේ. රැවැට්ටවීම තුලම තව කොටසකගේ පැවැත්ම තහවුරු වෙනවා. රැවටීම සහ රැවැට්ටීම කියන්නේ ඉපදීම සහ මරණය වගේම චක්‍රයක්. සමාවෙයන් රිප්ලයි පරක්කු වුනාට.

  2. damith says:

    මටත් මතක් වුනා අපෙ අම්ම අපිව බොහොම අමාරුවෙන් උදෙ 5 නැගිට්ටල අන්දල කාරිය බස් එකට ගෙනත් ඇරලන එක.

    • Anonymous says:

      බලන්න අරූ, කොයිතරම් පිනක්ද මේ කරගන්නේ. අතීතය අමතක අයට අතීතය මතක්කර දීම.

      • ඔව් ඇනෝ……හැබැයි ඉතින් අතීතය සිහිනයාක් පමනයි කියලා දිවුල්ගුනයාත් ඒ කාලේ ගැයුවේ.

    • ඒ දවස්වල බොහොමයක් ගෙවල්වල ළමයි ඉතින් පාරේ බස් එකේ තමයි ඉස්කෝලේ යන්නේ. දැන්වගේ ස්කූල් වෑන් එක ගේට්ටුව ඉස්සරහට එන්නේ නැහැ. තාත්තා ගිහින් ඉස්කෝලෙන් බස්සවන්නේ නැහැ. හැමෝටම තිබුනේ එක වගේ රූටින්ග් එක

  3. Senna says:

    සුන්දර අතීත මතක…අර දෙන්නගෙම මරණය හරි පුදුම සහගතයි නොවැ..

    • සෙන්නා …අර ඉත්තෑ බුවා නම් ටික දවසක් දුක් වින්දා තුවාල එක්ක.පස්සේ තමයි මැරුණේ. ඉත්තෑ කූරු හරි විසයි කියලා කියනවානේ. අර සතා මරු විකල්ලෙන්නේ එලියට පනින්නේ. උඹ දැකලා තියෙනවාද උන් කූරු පිම්බපුවහම.

      • Anonymous says:

        මමනම දැකලා නෑ බන්.. ඒත් අපේ ගේ පිටිපස්සෙ කුරුන්දෙ ඉත්තෑවො ඉන්නවා.. වෙලාවකට හම්බෙනවා ඉත්තෑකූරු බිම වැටිලා තිබිලා…

      • Senna says:

        මීට සෙන්නා 😀

  4. සිරා says:

    හම්මෝ ඉස්කොලෙ යන්න විදලා තියෙන දුකක්….
    අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා….කවිය තමයි මට මතක් වුනේ…අද වගේ පහසුකම් අඩු කාලයක් උනත් මිනිස්සුන්ගෙ මනුස්ස කම අදට වඩා එදා වැඩියෙන් තිබූ බව නම් පේනවා…

    • මිනිස්සුන්ගේ දුර්වලකම් එදත් තිබුනා. හැබැයි ඒ කාලේ අය ඒවා පෙන්නන්න ලැජ්ජයි. දැන් මිනිස්සු ලැජ්ජ බිමින් තියලා ඉන්නේ. ඔච්චරයි වෙනස.

  5. maathalan says:

    අර කාවයියගේ කතාව නම් ඒ කාලේ නැගලා ගියා.. මම හිතුවේ පත්තර කාරයන්ගේ කතාවක් කියලා. මේක නම් රස ගුලාවක්.. අහල පහල උදවිය, තොවිල් පවිල්, අනවින කොඩිවින, තොවිල් පවිල් වෙන මක්කැයි බන් අඩු..

    දුවා බලලා ඇවිත් නිවාඩු පාඩුවේ රිප්ලයි කොරහන්කෝ… මොකක්ද බං අර බ්ලොග් වලි කතාව.. අපිත් ඉතින් වං හුං නම්බර් වන් කස්ටියනේ..

    • අද තමයි මචං පොඩි ඉඩක් ලැබුනේ. අපි දුවව බලන්න එන්නේ මාස 6-7 ට සැරයක්. ආපුවහම එයාගේ යුනි යාළුවෝ ඔක්කොම එනවා අපේ රයිස් & කරි කන්න. ඉතින් අපි උන්ට උය උය කන්න දෙනවා. මෙහේ යුනි ළමයි ඔහේ ඉතින් අතට අහු වෙන දේවල් කකා ඉගෙනීම කරගෙන යනවා. මුන් බොනවා. පිස්සු නටනවා. හැබැයි ඉගෙනීමත් නියමෙට කරනවා. අපි දෙන්නා ආපුවහම හරි බිසි වෙනවා.

  6. මමත් පුංචිම පුංචි කාලේ අපේ ආච්චි පොල්කටු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදිනවා දැක ඇත්තෙමි. අපේ ගෙදර ඉස්සර රෙඩ් හාට් කියා බරම බර අයන් එකක් තිබ්බා මතකය ,

    • පවුලූශා…..ඔය රෙඩ් හාට් අයන් ලංකාවේ තිබුනා……හරි බරයි තමයි…පස්සේ කාලෙක තමයි මිඩ්ල් ඊස්ට් ගිය වෙන වෙන ජාති ගෙනාවා. පොල්කටු සිස්ටම් එකට පෙර වෙන වෙන ක්‍රමේට අයන් කරා.

  7. එක ඡේදයක් වැරදි තැනක වැටිලා තිබුනා. ඒක හරිගස්සුවා. සමාවෙයල්ලා.

  8. helapayaa says:

    අර සහෝදරයො දෙන්න මැරිච්චි හැටි නං හරිම අමුතුයි අරූ,හරි පුදුමයි.ඔය කාවයිය කටින් අල්ලගෙන ගලවන්න ගිහිං උගුරෙ හිරවෙලා මැරුණු කතාව නං කලින් අහල තියෙනව ඕකද වෙන කෙනෙකුගෙ එකක්ද දන්නෙ නෑ,හැබැයි ඒ පුද්ගලයගෙ උගුර හිටවෙච්චි කාවයියත් එක්ක මෙඩිකල් කොලේජ් එකේ සුරක්ෂිතව තියල තියෙනව කියලත් අහල තියෙනව මතකයි.ඇත්තද බොරුද දන්නෙ නෑ.

    • නිකං says:

      ඔව් හැලපය්යේ එහෙම අයිටම් එකක් තියනවා.ඒකෙ ඉන්නේ කොරලියෙක් වගේ මතකය.මුලින් දැක්කම කොර වෙනවා කොහොමද යකඩො මෙහෙම වෙන්නේ කියලා.

    • මචං ඊට පස්සෙත් කාවයි කේස් ගියා. මෙඩිකල් කොලෙජ් කතාව කීප දෙනෙක් කියලා තියෙනවා. මම දැණගෙන හිටියේ නැහැ. උඹ දන්නවාද බුලත් විට හිරවෙලාත් මිනිහෙක් මැරිලා තියෙනවා.

  9. මමත් ඔය කාවයියා හිරවෙච්ච කේස් එක අහලා තියෙනවා. කවදා කාට කොහේ උනාද කියලා මතක නෑ. සමහර විට පත්තරෙන් වෙන්නැති. නැතිනම් ඒවගේ වෙන කේස් එකක් වෙන්නැති.

    • ඩූඩ්…..සොරි මචං…අද තමයි ගෙදර ආවේ.

      කාවයි කේසස් ගොඩාක් වෙලා තියෙනවා බලන් ගියාම.

  10. නිකං says:

    //සැණින් මිදුනු කාවයියා උගුරේ හිරවීමෙන්
    මේ ලඟදි දකුණේ වැවකත් ඔහොම සීන් එකක් වුනා . බුවෙක් මාලුවෙක් කටේ ගහගෙන දැලේ පැටලිලි දිග අරින්න ගිහිල්ලා.කටින් මාළුවා අල්ල ගන්න එක අන්තිම බුරු වැඩක්. මාළුවාගේ දැඟලිල්ල අඩු කරන්නත් එක්ක තමා ඔලුව පැත්තෙන් කටේ ඔබා ගන්නේ.හැබැයි පිලිහුඩුවෝ මාළු ගිලින්නා වගේ ඔලුව මුලින්ම කටේ ඔබා ගෙන ගිලුනොත් ආපහු ගැනිලි බොරු පුතේ ඉන්නේ තනියෙනං.මාළුවා ඩිසයින් වෙලා තියෙන්නේ ඉස්සරහට යන්න මිසක් රිවර්ස් කරන්න නෙමේනේ .

    • නිකං…….කාවයියාගේ පිටේ හරිම තියුනු වරලක් තියෙනවා. ඒකත් එක්කම හිරවෙනවා ඇති. පොඩිම සයිස් මාළුවෙක් නම් ශේප් එකේ ලිස්සලා බඩට යනවා ඇති නේද?

  11. kathandarakaraya says:

    /* ඉන් බොහෝ කාලයකට පසුව ඇඩම්ස් කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍ය දේශපාලනයට පිවිසියේත් ස්වාධීන ශිෂ්‍ය සංගමය හරහා බව මතකය. මොහු එහි ප්‍රභල ක්‍රියාකාරිකයෙකු විය. */

    “අවුල් වන්නට පෙර” කියා ලිව්වාට මේක නං ටිකක් අවුල්!

    • deshakaya says:

      ඒක හරි කියලයි මට හිතෙන්නේ.. ස්ටුඩෙන්ට් යුනියන් එකක හිටියා කියල අදහස නේද එන්නේ…

    • Anonymous says:

      දන්නේ නැද්ද අරූ,
      කකාට ඔය ශිෂ්‍ය ව්‍යාපාර, සමාජවාද, අරව මේවා අරි අරහං.
      රනිල් සරණං ගච්ඡාමිනේ.

      • දේශක@ඇනෝ……..මම ලියපු ඩිටේල් එකක් කොතන හරි අඩුවක්ද දන්නේ නැහැ.

    • කකා…….රිප්ලයි පරක්කු උනාට සොරි. කකා මට අවුල් වෙලාද? මොකක්ද අප්සට් එක?

      • Sachin Jayanetti says:

        1982 අග භාගයේ සහ 1983 මුල් කාලයේදී මමත් ආයුර්වේද ශිෂ්‍යයෙකු ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය හා සම්බන්ධව හිටි නිසා මට ඇඩම්ස් මතකයි. ඇඩම්ස් එක්ක කටුබැද්දෙන් ආපු අනික් සගයා වුනේ කැමිලස්. ආරංචිවල හැටියට කැමිලස් උතුරේ සටන්කාමී කණ්ඩායමකට එක්ව සටනක දී වෙඩි වැදී මියගොස් තිබුනා පසු කලෙක.ඒ කාලේ අ.වි. ශි. බ. ම. නියෝජනය කරපු අනික් රාජකීයයා තමයි කැළණියෙන් ආපු ඩිලාන් පෙරේරා.මේ සේරොම මට වඩා කණිෂ්ට රාජකීය සිසුන් නිසා අරූ ඉඳලා තියෙන්නේ මට වඩා පහළ පන්තියක වෙන්න ඕනේ.

      • සචින්….මම ඔබේ මේ අදහස් දැක්වීම ඉතා අගය කොට සලකනවා. තවතවත් මතකයන් ඇවිස්සෙනවා. මම 1962 උපන් එකෙක්. මට ඩිලාන් පෙරේරා ගැන මෙලෝ මතකයක් ඇවිස්සෙන්නේ නැහැ. ඩිලාන් මගේ වයසේ. ඒ ලෙවල් මොනවද ඩිලාන් කරේ? සචින් මට මෙය මතක්කර දෙන්න හැකිනම්.

        උඹේ ඊයේ කමෙන්ට් එකට මම රිප්ලයි එකක් දැම්මා . දැක්කාද?

      • kathandarakaraya says:

        අරූ,
        අවුල මොකක්දැයි දැන් දන්නවානේ? මේ සටහන සම්පූර්ණ වෙන්න ලියනවානම්: ඇඩම්ස් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (මෙය දේශපාලන ව්‍යාපාරයකි) නොවේ.

        සචින්,
        කැමිලස් ආනන්දේ විය යුතුයි. ඔය කියන 1983 ට කලින් ඇඩම්ස් සහ කැමිලස් දෙන්නාම jvp සිම්පතයිසර්ස් ලා වෙන්න ඇති. කැඩුණේ ජවිපේ ජාතික ප්‍රශ්නය ගැන මතය වෙනස් කළ පසු විය යුතුයි.

        අරූ,
        ඩිලාන් arts/law. මං හිතන්නේ 1979 A/L.

      • තෑන්ක්ස් කකා!!

  12. අදත් හරිම රසවත් මචං.
    ඔය කාවයියො සීන් ගම්වල තාමත් වෙනව,පත්තර වල දකිනව.
    ඔය බලි,තොවිල් නම් තාමත් ගජරාමෙට වෙනව.පේන් නැද්ද පත්තර පිටු පුරෝලා ඒ ගැන දැන්වීම්.
    අපේ ගෙවල් වල නම් ඕව පැත්ත පලාතෙ ගාව ගත්තෙ නැහැ.
    ගමේ ඉන්න කාලෙ නම් තොවිල් ගරන තැන්වල එළිවෙනකන් බලන්න ගිහිල්ල තියෙනව.
    අර ඉත්තෑව ගෙ සීන් එක ඇහැව්වමයි.

    • කා(Ka) says:

      අපි නොදන්නවැයි එළිවෙනකන් කෙනජි නටපු තොවිල්.

    • කෙන්ජි …..රිප්ලයි පරක්කු උනා ගෙදර හිටිය නැති නිසා. සෑහෙන්න බ්ලොග්ස් කියවන්න මිස් වෙලා. උඹ ෆිට් එකේ ඉන්නවාද?

      දුම් ගහලා ඉත්තෑවෝ අල්ලන එක දරුණු ගේමක් මචං. ගුල ඉස්සරහින් ඝනකම් ගෝනියක් අල්ලගෙන ඉන්නවා.

  13. deshakaya says:

    බලපං කොටාපු එක ගියා නේ සර්වර් කේස් එකක් වෙලා.. කරන්න දෙයක් නැහැ. මම කිව්වේ අර බෝම්බ සීන් එක මන් දන්නෑ කියලයි. අනික අර දෙන්නා මැරුණ විදිය හරිම අමුතුයි නෙව.

    තව එකක් මේ වගේ ආසාවෙන් කියවන්න ලියන්න පුළුවන් වෙන්න ලියන එක අමාරු වැඩක්.. මම ලියන ඒවා පස්සේ බලද්දි මටම කම්මැලියි. උඹේ ඒවා අන්තිම වෙනක්‍ම්ම අභිරුචියෙන් කියවන්න පුළුවන්. ඒකට ස්තුතියි..

    • ස්තූතියි දේශකයෝ……සමාවෙයන් පරක්කු උනාට. අම්බානක බ්ලොග්ස් තියනවා කියවන්න බැරිඋන. අද තමයි ගෙදර ආවේ.

  14. Kaushi Ariyabandu says:

    කියෙව්වට පස්සේ කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නේ නෑ…

    මං මේ කල්පනා කරන්නෙ අරෑ කළු අග්ගල ඉඳලා කොළඹට පැය එකාමාරෙන් ආවේ මොන අවුරුද්දෙ විතරද කියල… ස්කූල් වෑන් එකේ යන්න ගියත් හයට නැග්ගාම හතට, හතයි කාලට වගේ අපි බහින්නෙ.. බස් ගැන ඉතිං කවර කතාද…. මම එකවසරේ ඉන්න කාලෙ අපේ ගෙදර අයන් එකක් තිබ්බෙ නෑ… කරන්ට් එක කොහොමත් නෑ… සුදු ගවුම හොඳට නවලා කොට්ටෙ යටින් තිබ්බම උදේට හොදට අයන් වෙලා තියෙනව කියල අපේ අම්ම කියන්නෙ…

    හුලං කීරිය සහ කලටි පොල්… පිස්සු හැදෙන කෑමක් තමයි… පෙරේතයෝ තුන් දෙනටම ආච්චි හදලා තිබ්බ ළඟදි දවසක් ගෙදර යනකොට…

    • හිරු says:

      ම්……. මෙතන පොඩි සැකයක් දැනෙන්නේ නැද්ද අරූ. හී.. හී..

    • කෞෂි……මම මේ කියන්නේ 1975 විතර. ඉස්සර අපේ සීයලගේ ගෙට පල්ලෙහා ගෙදර පොල්කටු ඉස්තිරික්කයක් වත් තිබුනේ නැහැ. හිස් බෝතලයකට උනු වතුර පුරවලා ඒක රෝල් කර කර තමයි මැදගත්තේ.

      • අයියෝ දැං මේකෙන් අරූ අවුල් වෙන එක තමයි වෙන්නෙ… හිරු නැති හෝරාව ලියන හිරු හෙවත් කෞෂි ආරියබන්දු කියන්නෙ මේ කමෙන්ට් එක දාන මම… තව කෙනෙක් මෙතන හිරු කියන නමින්ම මගේ කමෙන්ට් ස්ටයිල් එකටම කමෙන්ට් කරනව… මේකෙන් අරූ අවුල් වෙන හින්ද මීට පස්සේ මම කෞෂි කියන නමින් මගේ කමෙන්ට් එක දානව… එතකොට හිරු කියන නමින් කමෙන්ට් කරන කෙනාට එයාගේ කමෙන්ට් එක දාගන්න පුළුවන්නෙ… ( අරෑගේ ඊමේල් එක මට එවන්න පුළුවන්නං) … හි හි

      • Kaushi….ඕකේ….ඕකේ…දැන් තේරුනා. papara123@yahoo.co.uk

      • තෑන්ක්ස් අරූ. හී.. හී..

  15. ජයතිස්ස කුමාරගේ ගේ පෙරවදන නම් වටින එකක් මගේ ජීවිතයටත් සම්භන්දයි. මම ජීවිතයේ මුහුන දුන්න කෙනෙහිලිකම් මම කවදාවත් වෙන කෙනෙකුගේ පිටින් යවලා නෑ ඒ ගැන සතු‍ටුයි. ජීවිතයෙන් හොඳට පාඩම් ඉගෙනගත්ත කෙනෙක් විදිහට ඒවා ඊලග පරපුරේ හෝ වෙන කෙනෙකුට විඳවන්න තියන්නේ නැහැ.

    වෙනද වගෙම කතාව නම් පන්කාදුයි. ඉත්තෑ සීන් එකයි මාළු කේස් එකයි නම් දිට්ථදම්මවේදනීය කර්මෙම පල දීපු අවස්තාවක් තමා.
    ගෙදරින් පිටවුනවුන් ජීවිතයට වෙනස් වෙනස් අත්දැකීම් එකතු කරගන්නවා.

    • කා(Ka) says:

      අන්න නියම පොයින්ට් එක. ඒකනේ මමත් අළුගෝසුවා දඩයම් කරන්නේ. දැන්නම් අලුගෝසු දඩයම නැවැත්තුවේ නැත්තේ ඌ ඩමි ටිකකුත් බස්සලා මගෙන් ගේම ඉල්ලන්න ආවා නිසා නොවැ. උන්ගේ කාලේ ඉවරයි. ඒ සෙල්ලම් ආයේ බෑ. දැන් උන්ට පුරාජේරු විතරයි කොරන්න වෙන්නේ.

      ඇත්තට අරූ, අපි යක්කු බූතයෝ ගනන්ගත්තේ නැති උනාට, බලන්න එපායෑ ගමකට බැහැලා. ඕව බොරු කියලා උන්ට කියන්න ගියෝත් යක්ෂවේෂ වෙලා ගේම ඉල්ලන්නේ අපෙන්.

      • ඔය මිල්ටේරි කාරයො කොහොමත් ඔහොම තමා. 😀 තාමත් තියෙනව මහ අමුතු ඇදහිලි මේ ලගදි අවුරුදු 16 එකෙකුත් පිස්සුවක් කෙලියේ තොවිල් නටන්න ගිහිල්ල.

      • Kaවෝ……..ඒකනම් ඇත්ත .තාමත් ඉන්නවා ඔය කොඩිවින පස්සේ දුවන එවුන්. තරුන එවුනුත් ඉන්නවා බන්. යාළු මිත්‍රයෝ, ඥාතියෝ පවා ඇරගන්නවා ඕවා විශ්වාස කරලා.

    • මොරා……අසම්මත විචාරය මට තාම කියවන්න බැරි වුනා. ඒ පෙරවදන නම් මරු. අත්දැකීම් රාශියකට මුහුන දුන් කෙනෙක් බව හිතෙනවා.

      ගමේ මිනිස්සු නම් කියන්නේ පව්කාර කමට තමයි අර දෙන්නාට එහෙම උනේ කියලා. මම එහෙම හිතන්නේ නැහැ. එහෙම පඩිසන් දෙනවා නම් කොච්චර ලොකු එව්වෝ ඉන්නවාද මොරා?

  16. raigam says:

    ඒ කාලයේ පෞද්ගලික සේවාවක් නොතිබුන නිසා, වෙලාවට ධාවනය වුනා කියන්නේ මොකද මචං. පෞද්ගලික සේවාවන් වඩාත් කාර්යක්ෂමයි කියල කියනවනේ!

    • මචං රයිගම්……..ප්‍රයිවට් බස් නැති නිසා ලංගම හරියටම ටයිම් ටේබ්ල් එකට වැඩ. නැත්නම් මිනිස්සු අනාථයි. මෝටර් සයිකල් තිබුනෙත් නැහැ ඒ තරම්. අනිත් එක ඔය පැතිවලින් එන දිනපතා බස් (ඔෆිස් ටයිම් )සේවකයොයි මගිනුයි හරි එකතුයි. ඉස්සර මාස කීපයකට වරක් රියදුරාටයි, කොන්දොස්තරටයි මිනිස්සු එකතුවෙලා තෑගීබෝග දෙනව.

      පෞද්ගලික මොන ආයතනය කාර්යක්ෂම උනත් පෞද්ගලික බස් ගැනනම් මිනිස්සුන්ට හොඳ ආකල්පයක් නෑ නේද?

  17. Padhmakumara says:

    ඔය කාවයියා හිරවෙලා මැරුන කෙනා ගැන කියෙව්වහම මට අපේ ගමේ හිටපු ඒ වගෙ කෙනෙක් මතක්වුනා. උන්දැට ගමේ හැමෝම කිව්වෙ උපාසක ආතා කියල ඒ වුනාට වෙල් මාලු අල්ලන එක තමයි ගොවිතැනට අමතරව කලේ. එක්කො බිලි පිත්ත නැතිනම් විසිදැල අරගෙන යනව තමයි දකින්නෙ.හුංගෙක් ඇනලා කකුලෙ වුන තුවාලය නිසා තමයි මැරුනෙ.

    • Anonymous says:

      නයෙක් නෙවෙයි නේද?

    • පත්මේ……..හුංගෙක් ඇනලා තුවාලේ හොඳ නෙවී ඇඟිල්ලක් කපපු බුවෙක් මම දන්නවා. හුංගා හරිම විසයි. මටත් ඇනලා තියෙනවා. චූ යනවා. උඹ බ්ලොග් ලියනවාද?

  18. Ravi says:

    / “අහස් කුසින් ගෙනත් දියව්” /

    ඒයි මේ අරූස්…..…..මොනවද උඹ මේ අහස් කුසෙන් ගෙනත් දියව් කියල ඉල්ලුවෙ? ඒ කාලෙ මැතිණි හඳෙං හරි හාල් ගෙනත් දෙනවයි කියල කිව්ව නිසා එකත් එකටම හාල් වත්ද බොලේ 🙂

    • රවී…….ඔය ඒ දවස්වල ඇහෙන්න තිබිච්ච වචන සෙට් වෙන්න ඇති. මචෝ මම ඕකේ ලිව්වේ හැබැයි රැඩිකල් අදහස් තමයි කවි වගේ. පාර්ලිමේන්තුව, දෙවියන්, කම්කරුවන් ඕවා ගැන තමයි ලිව්වේ.

      අද තමයි බන් ආපහු ආවේ. දුක සාංකාවත් දැණෙනවා.

  19. හැමදාමත් වගේ කියන්න තියෙන්නේ ලස්සන කතාවක්. ඔබේ ලියන විලාෂය කියවන්න හරිම ආස හිතෙනවා. එක හුස්මට කියෙව්වා. දිගට ම ලියන්න. අපි කියවන්න ආසාවෙන් ඉන්නවා.

    • කුරුටු ළමයින්ගේ පවුරත් මම නොකඩවා කියවනවා. පහුගිය ටිකේ ගෙදරින් පිටව හිටිය නිසා මග හැරෙන්න ඇති.

  20. සෑම් says:

    ඔබ හංවැල්ලේද?

    පලි – කතා පිලිබද මුකුත් නොකියා මෙසේ ඇසුවේ හේතුවක් මතය 🙂

  21. Thushani says:

    හුඟක් රසවත්… ඔය වගේ අත්දැකීම් මට නොතිබුනත් ඒ අත්දැකීම් කියවනකොට එවයේ සුන්දරත්වය දැනෙනව වගේ…

    අර කාවයියා උගුරෙ හිරවෙච්ච එක, මෙඩිකල් කොලෙජ් එකේ එක්සිබිෂන් එකකදි මාත් දැක්කා …

    • ඒකනේ තුශානි කාවයියා මෙඩිකල් කොලෙජුත් ගිහිල්ලා. ඒ වගේ කේසස් කිහිපයක් වෙලා ඇති මගේ හිතේ.

  22. nil manel says:

    මමත් පොඩි කාලෙ ගෙව්වෙ ඔය වගේ ගමක තමා. හැබැයි ගුරුකම් තිබ්බෙ නෑ. මාලු ඇල්ලිලි නම් යහමින් තිබුනා. දැල් ගහල තමා මාලු අල්ලන්නෙ. ගමේ ලමයි එකට එකතු වෙලා (ගෑනු පිරිමි හැමෝම) සෙල්ලම් කරනවා.සුන්දර මතකයන්. දුකයි ඒව නැති වීම ගැන. අරු ගෙ අඩවිය කිව්වම තේරුම් දෙකක් එනව.

    • නිල් මානෙල්……මම එක අතකින් හරි වාසනාවන්තයි. නගරයේ ඉපදුනත් ළමා කාලයෙන් කොටසක් වත් ගමේ ගතකරන්න ලැබීම ගැන බලපුවහම. අපේ ළමයාට ඒ අත්දැකීම නැත්තටම නැති තරම්.කවදාහරි එයාගේ ළමයින්ට නම් මේ අපි දැන් කියන එව්වා සුරංගනා කථා වගේ වෙයි. දුකයි….මොනවා කරන්නද….මේකනේ යථාර්තය.

  23. කතා මැද කතා ගොන්නක රසයක් වින්දා බන් ඒ කාලේ අපේ ආච්චිගේ සල්ලිත් කොඩිවින අනවින අහක් කරනවා කියපු කපටින් විසින් හරියට රවට්ට ගත්තා. ඒ ගැන කතා එමටයි.

    • තාමත් මිනිස්සු රැවටෙනවා තිලකේ…..ඕක නවත්වන්න බැහැ. උඹට ගොඩාක් අත්දැකීම් ඇතැයි කියා හිතෙනවා උඹගේ කතා කියවනකොට.

  24. Sandun Sevana says:

    ඔබ ගැන මා හිතමිත්‍ර තිලක සිරි ගෙන් දැනගතිමි. ඉඩ ලැබුණ විටෙක කථා රස විඳීමට එන්නම්.

    • ස්තූතියි සඳුන්…..තිලකේ මට වඩා උගත් දක්ෂ ලේඛකයෙක්. මම ආශාවෙන් කියවනවා තිලක සිත. හැකි විටක ඇවිත් කියවන්න. ඔබ බ්ලොග් ලියනවාද?

  25. කොඩිවින , කට්ටඩියෝ විස්වාස කරපු ගොඩක් දෙනෙක්ගේ අදහස් මම වෙනස් කෙරෙව්වා ඒබ්‍රහම් ටි කොවුර් ගේ පොත් කියවන්න දීලා

    • රාළේ…..ප්‍රමාද උනාට සමාවෙයන්….කට්ටඩි පිස්සු කෙලිනවා බන්….මගේ යාළුවෙක් නිවාඩු ගිහිල්ලා එනගමන් තඩි සුරයක් දාගෙන ආවා. මම ඩ්‍රින්ක් එකක් දාන ගමන් උගෙන් ඇහුවා මොකද බං මේ කියලා….ඌ කියනවා…..කැ* හෙනහුරු අපලෙලු. හෙනහුරා දන්නවනම් මුට පෝරියල්.

  26. ~ChAnDiKa~ says:

    http://thilangasajan.blogspot.com/2013/09/blog-post_12.html

    arugeadaviyaSeptember 13, 2013 at 2:54 AM
    විෂයට අදාලව වැදගත් සටහනක්.මගේ පාසැල් මිතුරෙක් හිටියා නිලුපුල් වික්‍රමගේ කියලා මේ සම්බන්ධව බොහෝ දේ දත්.

    මේ කියන්නේ මේ පහල ප්‍රෝෆයිල් එකේ ඉන්න පුද්ලයානම් ඔහු දැන් දුම්රිය සේවයේ පුත්තලම ධාවනාගාරය භාර නිලධාරියා ලෙස සේවය කරනවා.

    https://www.facebook.com/nilupul.wickramage

    Gehan Chandika
    gehachandika@gmail.com

    • චන්දික……..බොහොම ස්තූතියි….මම ඔබේ බ්ලොග් එකට ගොඩවැදී තිබෙනවා. මගේ මිතුරෙක් එය නොකඩවා කියවනවා. නිලුපුල් වික්‍රමගේ මගේ පංතියේ වසර 4ක් එකට හිටියේ. මම හොඳින් දන්නවා. පාසැල් කාලයෙන් පසුව නම් හමුවුනේ නැහැ. මම බුකියෙන් ඉවත්වී බොහෝ කල්. ඔබ වික්කාව දන්නවානම් මේ ලිපි ටික කියවන්න කියන්න. අපේ පාසල් කාලය කියවන්න ඔහු කැමති වෙයි. වරක් මම ඔහු බදුල්ලේ සිටින විට කතාකරා. දැන් කන්ටැක්ට්ස් නැහැ.

  27. Wickka says:

    මචං චන්දෙ තිබ්බෙ නරියයි කබරයයි අතර නේද?

    • මචං වික්කා…….ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ අපි හම්බවුනේම නැහැ නේද? ඉස්කෝලේ ජීවිතේ සිද්ධියක් දැක්කොත් වැරදිනම් කමෙන්ට් එකකින් හරිගස්සපන් මේ වගේ.////

      උඹ හරි…….මට කිඹුලයි….කබරයයි…….ටැපලිලා

      මචං දිගටම කියවපං. Keep in touch!!!!!!උඹව හමුවීම ඉතාම අගය කරනවා. මම ලියපු ඇඩාගේ විස්තරේ හරිද?

      • Nilupul Wickramage says:

        ඇඩාගෙ විස්තරය හරි . ඇඩා  මොරටු විශ්ව වද්‍යාලයදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිටි බව මතකයි, ඒ කාලේ දවසක රත්මලාන දුම්රිය වැඩපොලේ ගේට්ටුව ළඟ පකිස් පෙට්ටියක් උඩ නැගල කම්කරුවන් අමතා කතාවක් පැවැත්වූවා. ඊට පස්සෙ හමු වුනේ නැහැ. ඩිලාන් පෙරේරා හිටියේ උසස් පෙළ පැරණි නිර්දේශය වාණිජ පන්තියේ. අපි එක්ක පාසැලේ එල්ලේ කණ්ඩායම නියෝජනය කලා.
        My email address – nilupulwickramage@gmail.com

      • Nilupul Wickramage says:

        ඇඩාගෙ විස්තරය හරි . ඇඩා මොරටු විශ්ව වද්‍යාලයදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිටි බව මතකයි, ඒ කාලේ දවසක රත්මලාන දුම්රිය වැඩපොලේ ගේට්ටුව ළඟ පකිස් පෙට්ටියක් උඩ නැගල කම්කරුවන් අමතා කතාවක් පැවැත්වූවා. ඒ දවල් කෑම වෙලාවෙ. එදා ට පස්සෙ හමු වුනේ නැහැ. පස්සෙ දැනගන්න ලැබුනා භීෂණ යුගයේ මරණ තර්ජන නිසා ඕස්ට්‍රේලියාවට ගිය බව.  ඩිලාන් පෙරේරා හිටියේ 1979 උසස් පෙළ (පැරණි නිර්දේශය) වානිජ පන්ති වල. ඔහු අපි එක්ක පාසැල් එල්ලේ කණ්ඩායම නියෝජනය කලා

      • Thanks for the information Wikka.

  28. Anonymous says:

    machanla sinhala akuru nathi hinda samaveyan, aru, chande thibe KABARAYA (E KIYANNE uba oya kiyana senasuru apale thibba eka misak champal nemi, sasa thilak athara. ekedi
    wijegunawardanage chande ganna kabaraya ge master stroke ekak thami Adams suwadeenen illuwe.

  29. හරි දැන් මට මතකයි…මේ කමෙන්ට් එක දැම්මේ හෙනහුරු අපලෙට සුරේ දාගෙන ඉන්න එකාද? අඩෝ මල් මසුරන්…දැන් මගේ පංතියේ හිටපු එවුන් දෙන්නෙක් මේක කියවනවා. එකෙක් වික්කා…අනිකා උඹ. වැරදි හදපන්..ඔව්නේ බන් උඹනේ කබරයා පාටි එකේ ලීඩර්.

    විජේසිරිගුනවර්ධන පේරාදෙනියේ එකේ ඉන්න බව, මට ජ්‍යේෂ්ඨ බ්ලොග් කරුවෙක් දන්වා සිටියා. ඔහු ඇඩම්ස් වත් විජේසිරියාවත් දන්නවා.

    ඒයි ශුක්‍රාණුවෝ…සිංහල මෙතන තියෙනවා. හරිම ලේසියි http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

  30. Anonymous says:

    බොහොම ඉස්තුති

  31. Miyuru says:

    ආපෝ… ඔය පොල්කටු අයන් ගැන නම් කතා කරන්න එපා… කලින්ම පොල් කටු ටික ලිපේදාලා පුච්ච ගන්න ඕන… ඒ මදිවට ගිනි අඟුරක් අළු කෑල්ලක් එහෙම ඇඳුමට වැටුනොත් ඉතින් ආයෙ ඒක ඇඳලා හමාරයි… හැබැයි නියමෙට අයන් වෙනවා…
    හුලංකීරිය තලප කාලා නැද්ද අරූ…?
    කාවයි මරණෙ විදියට මැරුණු කෙනෙක් ගැන කලින් අහල තිබුණට ඉත්තෑ මරණෙ වග අහලා තිබුණෙ නෑ… අම්මෝ…

    • මම හුලංකීරිය තලප කාලා නැහැ.
      පොල්කටු අඟුරු අයන් එකක් දකින්නත් ආසයි දැන්නම්. ඕක තිබ්බේ පරණ බෙලෙක් පිඟානක් උඩ.

  32. // එක සොයුරෙක් මියගියේ බිලිපිත්තෙන් කාවයියෙක් ගලවන්නට ගොසින්ය. කාවයියාව කටින් තද කර ගලවගන්නා බව මම දැක ඇත. කාවයියා උගුරේ හිරවීමෙන් ඔහු මිය ඇදිනි.

    තවත් සොයුරෙක් මිය ගියේ ඉත්තෑ දඩයමේ ගොසින්,
    ඉත්තෑවා රිංගූ ගුල වටා ගිනි ගැසීමට ගොසින්ය. ගිනි රස්නෙට ඉත්තෑවා ගුලෙන් එලියට පනිනිනේ කූරු විහිදාගෙනය.
    ඉත්තෑ මස් වෙනුවට මස් වැද්දා ගස් ගියේය. මෙවර ඉත්තෑවා එලියට පැන්නේ ගුල ඉදිරියෙන් සිටි මේ මිනිහාගේ මුහුණටය. ඒ තුවාල වලින්ම පසුව ඔහු මිය ගියේය. //

    හත් වලාමේ මෙහෙමත් කූරිය ගැහිල්ලක් ඇහුවමයි 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s