අවුල් වන්නට පෙර..(14)…සිංහයින් බලු වීම…

මම හංවැල්ලේ සිට පාසැල් යන අවධියේ, සුළු ගංවතුර තත්වයකදී පවා යටවෙන පහත්ගම ප්‍රදේශයට කිහිප වතාවක්ම ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවිය. මෙවැනි තත්වයන් තුලදී පහත්ගම ගම් වැසියන්ගේ සියළු දෛනික කටයුතු අඩාලවේ. ඔවුන් මහ පාරට ගමන් කරන එකම පිවිසුම වන මහා පන්සල අසලින් ඇති මාර්ගය තනිකර ජලාශයක් බවට පත්වන්නේ කැළනි ගඟ පිටාරය අවට සියළුම ප්‍රදේශයන්ට තදබල බලපෑමක් ඇතිකරමිනි. මෙය දින ගනන් හෝ සති ගනන් පවතින තත්වයකි. විශාල යකඩ ඔරුවක් භාවිතයට යොදවන්නේ ගම්සභාව විසිනි. අනික් විකල්ප මාර්ගය වන්නේ ඊරියගොල්ල හරහා ගොස් මහ පාරට ප්‍රවිශ්ඨ වීමය.

ඔරු පැදීම කෙසේ වෙතත් ඔරුවේ නැග එහා මෙහා යාම අප කාගෙත් විනෝදාංශය විය. කෙසෙල් කඳන් පාරු සැදීමට නම් කොල්ලෝ දක්ෂයෝය. වැටමාර හෝ ඇල්බීසියා යැයි කියනා ගසේ රිටි උල්කර කෙසෙල් කඳන් කිහිපයක් පසාරු වෙනසේ ඇතුලට යවා පාරු සාදා ගනී. මේවායේ යෑම දුශ්කර වුවත් විනෝදජනකය. නන්දේත්, ගුනේත් මමත් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නැවතත් ගංවතුරක් ජීවිතේට නොදකී යැයි විශ්වාසයෙන් යුතුව වෙන්නට ඇත. නමුත් එකල එවැනි අවස්ථා රාශියකට මුහුණ දෙන්නට සිදුවිය. ගංවතුර බැස යාමෙන් පසුව තවත් ප්‍රීතිමත් කාලයක් එලඹේ. ඒ වෙල් සහ අවට වගුරු බිම් වල ඇති කුඩා වලවල් වල ගංවතුර කාලයට පැමිනෙන මසුන් ඒක රාශීවී සිටින නිසා ඔවුන් අල්ලා ගැනීමට ඉතා පහසු වීමය. අප විනෝදයට මාළු මිරිකුවත් මේ දිනවලට අවට පලාත්වලින් පැමිනෙන ගම්වැසියෝ අහාරය සඳහාත් වෙළඳාම පිනිසත් මසුන් ඇල්ලීමට පුරුදුවී සිටියෝය.

සතියකට හෝ දෙකකට වරක් හංවැල්ලේ පොලටත්, විශ්‍රාම වැටුප් දිනයට පාදුක්ක පොලට යෑමත් සීයාගේ පුරුද්ද විය. ඒ යනවිට බොහෝවිට ඔහුත් සමග එහි යෑමට සිදුවේ. පාදුක්කේ ගමන නම් අනිවාර්ය්‍ය විය. බූන්දි, මස්කට්, පුහුල්දෝසී වැනි රසකැවිලිත් බැනියමක්, මේස් කුට්ටමක් හෝ යම්කිසි පාසැල් උපකරනයක් මගේ පැමිනීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයන්ය. පාදුක්කේ හෝ හංවැල්ලේ ඇති හොඳම තේ කඩය වෙත යන සීයා වාඩිවෙන්න යැයි කියා ඇති පදමට කන්නට බොන්නට අරන් දෙන්නේ උතුරායන ප්‍රීතියෙන්ය. කෑම බීම අරන් දීමටත් මා වෙනුවෙන් මුදල් වියදම් කිරීමටත් ඔහු කිසිදෙනක මසුරු නොවීය. ආච්චිලා සහ නැන්දලාටත් පල්ලෙහා ගෙදර පොඩි එවුන්ටත් තව මොනවා මොනවා හෝ රසකැවිලි ඔතා ගන්නා අපි ගෙදර එන්නේ රටක් රාජ්‍යයක් දිනූ එවුන් ලෙසය. මට වඩා සීයා ප්‍රීතියෙන්ය. මේ හැම සංග්‍රහයක්ම වෙනුවෙන් මා විසින් ගෙවිය යුතු වන්දියක් වේ. යන එන තොටේ පටන් පොලේද කඩවල්වලද හමුවෙන ඕනෑ එකාටත් එපා එකාටත් සීයා දොඩවන්නේ මා ගැන පුරාජේරුවය. මේවාට උත්තර බැඳීම මහාම මහා කරදරයක් විය. හංවැල්ලේ සීයාට ඒ ගැන වගේ වගක් නැත. ඔහු සමහරක් අයගේ විහිළුවට භාජනය වෙනවා දැයි මට කිහිප වරක් සිතී ඇත. සුරා සූදුවෙන් තොර සීයා සතුටු වූයේ ඔය පුරාජේරු දෙඩුමෙන් විය හැකි යැයි ගෙදර අයගේ මතය විය.

මේ කාල පරිච්ඡේදය තුල අපේ ගෙදරත් මහා විපර්යාසයන් රාශියක් සිදුවී ඇත. අපේ පවුලේ හත්වැනියා සහ අන්තිමයා බාල මල්ලී උපත ලබා ඇත. ඔහු ප්‍රසූථ කිරීමට ආසන්නවූ දිනයක මහා පාන්දර වාහනයක් සොයා ගැනීමට අපහසුවූ නිසා, තාත්තා අම්මාව රෝහලට රැගෙන ගොස් ඇත්තේ, පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි ඉදිරිපස අසුනේය. ඒ කාලයේ හැටන්, බගවන්තලාව වැනි ප්‍රදේශවලින් තේ දළු, එලවළු සහ අනිකුත් ද්‍රව්‍ය රැගෙන යන ලොරි කොළඹ යන්නේ තල්දූව අවිස්සාවේල්ල හරහාය. ඒවා මහා පාන්දරම පිටවී කොළඹට විත් බඩු බා, නැවත කොළඹින් බඩුද පටවාගෙන හැටන්, බගවන්තලාව පලාත්වලට හැන්දෑ වරුවේ පිටත් වෙති. මා කියන මේ කාලයේ ඉතාම ප්‍රසිද්ධ භාන්ඩ ප්‍රවාහන ව්‍යාපාර තිබුනේ නම් ,එම්.වයි.හේමචන්ද්‍ර සහ පුත්‍රයෝ ඉන් ප්‍රමුඛයෝ වූහ. ඔවුන් සතු ලොරි විශාල ප්‍රමානයක් විය. අපේ ගෙදර බඩපිස්සාට උපත ලබා දෙන්නට අම්මාව රෝහල් ගෙන ගොස් තිබුනේ මේ ලොරියකය. මේ ලොරියේ රියදුරු තැන වූ පුද්ගලයා සුදු කමිසයෙන් සහ සරමින් සැරසී සිටිනා තාත්තාගේ වයසේ කෙනෙකි. තාත්තා සමග බොහෝසේ ලෙන්ගතුවූ ඔහු , සෑම ගමන් වාරයකදීම එලවළු මල්ලක් ගෙදරටදී , තාත්තා සිටීනම් දොඩමළුවී පොඩි අඩියක් ගසා යන්නටත් පුරුදුවී සිටියා මතකය. මේ එලවළු වැනි දෑ ලොරියේ රියදුරු බැවින් ඔහුට නොමිලේ ලැබෙනවා විය යුතුය.

මේ මොන දේ ලැබුනත් ගෙදර ආර්ථික ප්‍රශ්නවල නම් කිසිම අඩුවක් නැත. අඩුවක් කෙසේ වෙතත් එන්න එන්නම අපි අඩියෙන් අඩිය නොපෙනෙන ප්‍රපාතයකට ඇද වැටෙන බව නම් පැහැදිලිය. ගෙදර තිබු වටිනා බඩු මුට්ටුද පෙනෙන්නට නැත. ඒවා විකුනා දමා ඇතයි සිතනවා හැර වෙන කලයුතු දෙයක් නොමැත. ටික කාලයකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ යමක් කමක් ඇති ධනවත් පවුලක්වූ අප දැන් වෙනත් පලාතකට පැමින විශාල පවුලක් නඩත්තු කිරීමට සැබෑ අරගලයක් කරනා බව සක්සුදක් සේ පැහැදිලිය. තාත්තා ගන්නා පඩියෙන්, අර්ථ සාධක, අර ණය, මේ ණය ආදී වශයෙන් කපාගත් කල ඔහුට ඉතිරිවන්නේ ඉතා සුළු මුදලක් බව දන්නෙමි. අම්මාගේ අම්මා නොහොත් අපේ ආච්චී නොසිටියා නම් අප පවුලට කුමකින් කුමක් සිදුවේ දැයි දන්නේ අම්මාත් තාත්තාත් පමනි.

ගෙවල් කුලී අඩුකර ගැනීම සඳහා පිලියමක් වශයෙන් ගෙවල් මාරු කර, ඒ ආසන්නයේම ඇති කුඩා නිවසකට සංක්‍රමණය වී ඇත. මේ නිවස පිහිටා තිබුනේත් අවිස්සාවේල්ල- දෙහිඕවිට මාර්ගයේමය. කලින් සිටි තැනටත් වඩා තල්දූවට ආසන්නය. ප්‍රමානයෙන් කුඩා වූවත්, පාරට ආසන්නයේ කුඩා උස් බිමක තනා තිබු මේ නිවස අයිතිව තිබුනේ අර්සකුලරත්න නම් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාරම්පරික පවුලකටය. ඔවුන්ගේ නිවස පිහිටියේ අප නිවසට ඉහලින් එකම වත්තේය. එම පවුලේ සිටියේ වයසක අම්මා සහ පුතුන් දෙදෙනෙකි. ඔවුන් ගෙදර කතාබහ කරන්නේ දෙමළ භාෂාවෙන් වුවත් සිංහල මැනවින් දනී. වැඩිමලා ජෝශප් නම්වූ මානසික දුබලතාවයකින් පෙලුන උස මහත තරුණයෙකි. අනිකා පර්සි නම් වූ බාල තරුණයාය. පොල් ගෙඩියක් අහුලාගන්නවා දැක්කත් පොල්ලක් අතින් ගෙන මහා හයියෙන් කෑගසමින් ජෝශප් රන්ඩුවට එයි. ඒ ඔහුගේ මානසික දුබලතාවය නිසා යැයි පසුව දැණ ගතිමි. රස්තියාදුවට කප් ගැසූ, බීඩි සිගරට් බොමින් කාලය කන නාස්තිකාරයා පර්සිය. මුළු වත්තම හොරු අරන් ගියත් ඌට වැඩක් නැත. මොවුන් ඒ පලාතේ සිටි යමක් කමක් ඇති උදවියය. මේ ඉඩමද අක්කර 8-10ක් පමන විශාලය. දූරියන්, මැංගුස්, ජම්බෝල, කජු, කොස්, දෙල්ද දැවමය වටිනාකමක් සහිත ගස් කොලන්ද රාශියකි. අප කාලයක් පදිංචිවී සිටි මේ නිවස ඉන් බොහෝ කාලයකට පසුව ඉතා මනරම් ආපන ශාලාවක් බවට පරිවර්තනය වී තිබුනේ අදහාගත නොහැකි ලෙසටය. ඒ මම තරුණ අවදියේය. තවමත් එය තිබෙනවාදැයි මම නොදනිමි.

රටේ ආර්ථික තත්වය නරක අතට හැරී ඇති බවත්, මිනිසුන් රජය කෙරෙහී දැක්වූ ප්‍රසාදය කඩා වැටෙන බවත් තාත්තාගේ කතා බහින් වැටහේ. ලඟදී පවත්වන්නට යන නොබැඳි ජාතින්ගේ සමුළුවක් ගැනත් කතාබහය. ඒ ගැන පසුව ලියමි. අප පදිංචිව සිටි නිවසේ , විශාල ඉඩමේ අපට අවශ්‍ය දෙයක් වවා ගැනීමටත්, ඕනෑම දෙයක් භුක්ති විඳීමටත් ඉඩකඩ සලසා තිබුනේ අපේ අම්මාත් නිවස හිමි කාන්තාවත් ඉතාම කුළුපග වීම නිසාය. අම්මා හැකි හැම අවස්තාවකම ඇයගේ සුළු සුළු ආවතේව කටයුතු කරදෙයි. හංවැල්ලේ සිට පැමිනෙන පියරත්න සමග එකතුවී තාත්තා එක පැත්තක් පිරෙන්නට මඤ්ඤොක්කා සහ බතල වගා කරා මතකය. බත් වෙනුවට බතල මඤ්ඤොක්කා, කොස්, බතල අපට පිහිටවූ බව , ගෙදර නොසිටියත් මම දණිමි. ආච්චීටත් කුඩාම අයටත් පමනක් බත් වෙන්වූ කාලයක්ද විය. ආච්චීගේ බත් පත අපටම බෙදා ඇය දුක යනු හඬා වැලපිය යුතු දෙයක් නොව, දරාගත යුතු දෙයක් බව පසක් කරගෙන තිබුනි. ඇය කොහේ හෝ සිට අප දෙස බලා සිටිනා බව මම අදත් විශ්වාස කරමි.

තාත්තාගේ අඩිපුඩි ගැසීමත් බොහෝ දුරට සීමාවී තිබුනි. ඒ නම් අතපය දිග හැර වියදම් කරන්නට මුදලක් ඔහුට නොලැබෙන නිසා විය යුතුය. ඔහු කාර්ය්‍යාලයෙන් බැහැර කරනා පාවිච්චි කල කඩදාසි තොග පිටින් රැගෙන විත් කඩදාසී බෑග් සෑදීමේ වැඩක්ද පටන් ගති. මේව ගෙදර වියදමට අලගු තබන්නටත් මදිවිය. තාත්තාට කියා ඉංග්‍රීසියෙන් ලියුමක් ලියාගන්නට හෝ රක්ෂණ වැඩක් කරගන්නට එන කෙනෙක් , රැගෙන එන්නේ අරක්කු බෝතලයක්ය.වෙන මොනවා ගෙන ආවත් එපා කියන තාත්තා ඒකට නම් කවදාවත් එපා කිව්වේ නැත. නැති කලට ඔහොමය. ඒ ලෝක ස්වභාවයයි.

අප නුගේගොඩ පදිංචිව සිටින කාලයේ සිටම අප සතු ඉතා පෞරාණික ගෘහභාන්ඩ සහ විශාල පෙට්ටගමක් පිරෙන්නට ඉතා වටිනා පිඟන් සහ වීදුරු භාන්ඩ එකතුවක් විය. මේවා අද තිබුනා නම් මිල කල නොහැකි තරම් වටිනා යැයි මට සිතෙන්නේ, අද මා ජීවත්වෙන ප්‍රදේශයේ කෞතුක භාන්ඩ එකතු කරන තැන්වලද මේ හා සමාන භාන්ඩ දක්නට ලැබෙන නිසාය. අප සතුව තිබූ මේ සියල්ලක්ම එකින් එක විකිණී අවසන් විය. මේ අතර අප සියල්ලක්ගේම සිත්ගත් මිලකල නොහැකි අපූරු භාන්ඩයක් විය. ඒ නම් ඉතා වටිනා දැව අරටුවකින් නිර්මාණය කල කිලෝ 25ක් පමන බර ඇති සිංහයෙක්ය. කුළු හරකෙකුව දඩයම් කර එය ඉදිරිපස පාදයකින් පාගාගෙන, ගාම්භීර ලෙස දත් විලිස්සාගෙන ඉදිරිය බලා සිටිනා මේ සිංහයාගේ උල් දත් දෙක ඇත් දළ කොටසකින් නිමවා තිබුනී. අප කුඩා කල මේ සිංහයාගේ පිට උඩ නැග සෙල්ලම් කිරීමට පුරුදුව සිටියා මතකය.

අම්මාගේ පිය උරුමයෙන් ලැබුන මේ ගාම්භීර සිංහයා, එදා අපේ තාත්තාගේ යහළුවකුගේ පුශ් බයිසිකලයේ පිටුපස ඇති බඩු බැඳගෙන යන යකඩ පට්ටම උඩ, ගෝනියකින් වසා උඩුබැලි අතට බැඳ තිබුනේ, සීයාගේ පරම්පරාවේ අවසන් මතක සටහනද අපට අහිමි කරමිනි. සීයා සිටියානම් මේ කිසිවක් මෙලෙස සිදුවන්නේ නැත. එය අවට පදිංචිව සිටි ධනවත් පවුලකට සාමන්‍ය මුදලකට උගස් කර තබා ඇත්තේ නැවත බේරා ගැනීමේ අදහසින් විය යුතුය. පසු කාලයකදීත් එම නිවසේම ඒ ප්‍රතාපවත් සිංහයා ලැගුම් ගෙන සිටියේ නිවසේ රජු මම වෙමි යන ගාම්භීරත්වයෙන්මය. දූවිලි වදිනවාට සැටින් වර්ගයේ රෙදි කඩකින් වසා තිබූ මේ සත්වයා උපහාසයෙන් හෝ අපහාසයෙන් අප දෙස බලා සිටියා යැයි මගේ හිතට තදින් දැනී තිබේ. ඉන් පසු කිසිකලකත් ඔහු අප සතු නොවීය.

නැතිවූ දේවල් ගැන හඬා වැටී පලක් නැත. මේ ගැන අපේ ආච්චී කිව්වේ……බලුවී ඇති ඉඩ කඩක සිංහයින්ට ඉඩ නැති බවත්, ඌ උගේ නම්බුව රැකෙන තැනකට යා යුතු බවත්ය. ආච්චීගේ දෑසින් කඳුළු වැටුනාදැයි මම නොදණිමි. නමුත් ඇය සිතින් හඬන්නට ඇත.

ආච්චී නිවැරදිය… මුදල් නොමැති තැන සිංහයෝත් බලු වෙනවාය. මිනිස් සමාජය හුරුවී ඇත්තේ එලෙසය. පුදුම විය යුතු නැත.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

77 Responses to අවුල් වන්නට පෙර..(14)…සිංහයින් බලු වීම…

  1. ඔය ගං වතුර අත්දැකීම් නම් අපේ පැත්තෙත් (කැළණිය, දළුගම) බොහොමයි. මීට අවුරුදු හතරකට විතර කලිනුත් දැම්මා වන වෙන්නම. මාත් පොඩි කාලෙ අපෙ නෑ අයියා කෙනෙක් එක්ක යකඩ බැරල් එකක් බෝට්ටුවක් කරන් පැදලා හොදට ගෙදරින් ගුටි කාලත් තියෙනවා.
    අර කියපු කතාවෙනම් අපේ ජීවිතයට ගත යුතු ලොකු කථාවක් තියෙනවා අරූ. ඇත්තටම “මුදල් නොමැති තැන සිංහයන්ද බලු වේ.”
    දැන් නම් කතාව කියවන්න පුදුම ආශාවෙන් බලන් ඉන්නෙ අරූ. දාපු ගමන් මොන වැඩේ තිබ්බත් කතාව කි‍යවලා ඉන්නවා.

    • ප්‍රියා……දළුගම ගංවතුරෙන් යටවෙන විත්තිය මම දැනගෙන හිටියේ නැහැ. අපි හිටිය තල්දූවත් නිතරම ගංවතුරෙන් පරිප්පු කනවා. සීතාවක ගඟ ගලන්නේ ගමත් එක්කමයි. පොඩි කාලේ නම් ආතල්. දැන්නම් මතක් වෙනකොටත් අප්පිරියයි නේද?

      • අපෝ ඔව් දැන්නම් ඒ ජරා වතුරෙ (අපිට වතු‍ර දාන්නෙ පිටිපස්සෙ වෙලක් උතුරලා) බැහැලා සෙල්ලම් කල්ලා කියත්දිත් අප්පිරියයි. ඒත් ඒ මතකෙ සුන්දරයිනෙ.
        දළුගම අපි ඉන්න හරියට වතුර දානවා. ඒත් දැන්නම් අවුරුදු හතරකින් විතර දෙයියනේ කියලා දැම්මෙ නෑ.

  2. maathalan says:

    මචෝ මේ කට්ට මේ තරමටම නැති උනත් අපේ තාත්තත් කෑවා.. මමත් කෑවා.. නමුත් ඒ කියලා.. මානසිකව කඩාගෙන වැටුනේ නෑ.. හරි හම්බ කරපු ඔක්කෝම ගෝල්ඩන් කී එකට ගියා.. සෙලින්කෝ එකේම රස්සාව නැති උනා.. ඒත් නැව ගිලුනත් බෑන්ඩ් චූන්.. එකෙක්වත් රස්සාවක් දුන්නේ නෑ, සෙලින්කෝ කිව්වාම.. වයස වැඩි නිසා රස්සාවක් හොයා ගන්නත් අමාරුයි. එහෙම කියලා පොඩි එකා බඩ ගින්නේ තියන්න බෑ නේ. ඊට පස්සෙ තමයි මේ රස්සාවට යොමු උනේ.. හිත හොඳ නම් කවදාවත් වරදින්නේ නෑ..

    සිංහයෝ බලු වෙනවා වගේම. බල්ලොත් සිංහයෝ වෙනව අරූ… මේ ටික උඹට මම කියලා තිබුනත් මෙතන ලිව්වේ එහෙම වැටිච්ච උන් ඉන්නවනම් පාඩමකට ගන්න..

    මොකෝ සිංහයෝ කවදාවත් තනකොල කන්නේ නෑ කියනවනේ..

    • කා(Ka) says:

      ඒ උනාට බං සිංහයෝ උන් තණ කන හරක්ව කනවා.

    • මාතා…….මමත් හිතන දෙයක් තමයි හිත හොඳ නම් කාටවත් වරදක් කරලා නැත්නම්, කවදා හරි ශේප් එකේ ජීවිතේ ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒක ගොඩාක් දුරට හරි කියලා මම දැකලා තියෙනවා. කොහොම හරි කැරකිලා ආපහු ට්‍රැක් එකට වැටෙනවා.

      සෙලින්කෝ සල්ලි ලැබෙන පාටක් ඇත්තෙම නැද්ද බං.? මීට ගොඩාක් කාලයකට ඉස්සෙල්ලා ,කොතලාවලලා මෙහේ ආපුවහම සිටි එකේ තියෙන ඉහලම හෝටල් වල තමයි ඉන්නේ. මම දැකලා තියෙනවා.

  3. සල්ලි කියන්නේ මහානුභාවසම්පන්න දෙයක් අරූ.. ආර්ථික පරිහානියත් එක්ක අනෙක් දෙවලුත් අහිමි වෙනවා අන්තිමට සමාජතත්වයත් නැතිවෙනවා එකනේ මිනිස්සු මෙච්චර සල්ලි පස්සෙ දුවන්නේ.

    • මොරා……සහතික ඇත්ත. හැමෝටම සල්ලි ඕන බව සත්‍යයනේ. හැබැයි ගොඩාක් මිනිස්සු හිතන්නේ සල්ලි තමයි මහානුභාවසම්පන්න කියලා. සමාජ පිළිගැනීම, ඔවුනොවුන්ගේ ඇසුර පවා තීරනය කරන මූලික සාධකය තමයි මුදල. සල්ලි තියෙන මීහරක් මඩුවට ගාල් කරලා සල්ලි නැති එළහරක්ව මඩවන්න දානවා. වැඩේ හරියට වෙන්නේ නැහැනේ බන්. සමහර අයගේ හැසිරීම් දැක්කාම අහෝ ඛේදයකි කියලා නිකං ඉන්න තමයි තියෙන්නේ.

    • කා(Ka) says:

      තන්හාහි ජාති ශෝකෝ.

      • කා(Ka) says:

        77න් පස්සෙලුනේ මේ සෙල්ලම වැඩි උනේ.

      • ඇත්තටම කාවෝ 77 ඉස්සෙල්ලා තිබුන ගම පවා මහා තරඟයකට වැටුනා. ඒක වෙලඳ ආර්ථික රේස් එකකට වඩා…එකෙක් තව එකෙක් පරදවන ආකාරයේ රේස් එකක් උනා.

  4. Kandyan says:

    මේක කාලෙකට ඉස්සර වෙච්ච වැඩක්..දවස්ක් අපේ යාළුවෙක්ගේ ගෙදර ගියා හංවැල්ලේ නිරිපොල කියන ගමෙ. වැස්ස දවසක්..රෑ නිරිපොල මැදින් යන ඔයෙන් නාලා කනබොන දේවල් ඉවර කරලා ඇවිත් නිදාගත්තා.. පහුවදා යන්ට බලනකොට ම්හු… මොන යෑමක්ද.. වස්සට ඔය දෙගොඩතලා ගිහින්..ආපහු ගියේ ඊට පහුවදා….

    • කැන්ඩියන්……නිරිපොල තියෙන්නේ පහත්ගම හංදියෙන් හැරිලා ගියාම නේද? ඔය පැති නිතරම වතුරෙන් යටවෙනවා තමයි. සෑහෙන කාලයකින් ඒ පැත්තේ ගියේ නැහැ. මට මතකයි නිරිපොල තිබුනා සේන්ට් ජෝන් බොස්කෝ කියන ආගමික ආයතනයෙන් පවත්වාගෙන ගිය ගොවිපලක්.

  5. Ravi says:

    තලවකැලේ හේමචන්ද්‍ර කොම්පැණිය දැන් නැත්තටම නැතිවෙලාද මන්දා….ඒ කාලෙ තිබ්බ තව ප්‍රසිද්ධ ප්‍රවාහන සමාගම් තමයි ඇම්. පී. චාර්ලිස් සිල්වා සහ පුත්‍රයෝ, ඒ. ජී. හින්නි අප්පුහාමි සහ පුත්‍රයා..

    පෞද්ගලික් බස් වලට අවසර තිබ්බෙ වන්දනා ගමන් සහ අධ්‍යාපන චාරිකා වගෙ ඒවට විතරයි. ටාසන්, මාතලී, සුදර්ශන මට මතක ඒ වගෙ පෞද්ගලික බස් සමාගම් කීපයක්..හැමදාම වගෙ අපූරුයි මචං…

    කොහොමද දුව බලල ඇවිල්ල නිකං හිතට පාළුයි පාළුයි වගේද? 🙂

    • රවී…….හේමචන්ද්‍රලා දේශපාලනයට ආවා වගේ මතකයි 1977 හෝ ඊට පස්සේ ඡන්දෙකින්. ඊට පස්සේ අහන්නවත් නැතිවුනා තමයි. උඹ කියන ලොරි සමාගම් මටත් මතකයි. හින්නි අප්පුහාමි කියන්නේ මැලිබන් මුදලාලි කට්ටියමද?

      වන්දනා බස් ගැනනම් දන්න කෙනෙක් ලිපි පෙලක් ලියන්න වටිනවා. ඒ බස් උඹ කිව්වාට පස්සේ මැවිලා පේනවා. මම පොඩිකාලේ ඔහොම බස් එකක අපේ ආච්චි එක්ක වන්දනාවක ගියා. අත්තනගල්ල, මීතිරිගල ඔන්න ඔය පැත්තේ. අපේ පැත්තේ ප්‍රසිද්ධම යමුනා ට්‍රැවල්ස්. ඊබට් සිල්වාත් නැගලා ගියා.

      ඔව් රවී……කෙල්ලව බලලා ආපුවහම ටික දවසක් යනකම් මොකුත් කරන්න හිතෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ ග්‍රැජුඒශන්. ඊට පස්සේ එයාට ඕන දෙයක්.

  6. හරිම ආසාවෙන් කියෙව්වා. මගේ අම්මා තාත්තා ආච්චි මතක් උනා. මට සීයෙක් ගැන අත්දැකීමක් නෑ මොකද මම පොඩි කාළෙම එයාලා නැතිවෙලා තිබුනේ.
    තාත්තා බෝතලේ බාර ගන්න කෑල්ල හිතට තදින්ම වැදුනා මොකද අපේ තාත්තත් ඒ වගේ.
    ඔබට ජය!!

    • චන්දන…..සීයලා ආච්චිලා ඔක්කොම අපෙන් ඈත්වෙලා ගොඩාක් කල්. දැන් ඉතින් මම සීයා වෙන කාලෙත් හරි වගේ.

      අපේ තාත්තා කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුනත් උදව්වක් කරලා කිසිම දෙයක් ගන්නේ නැහැ. හැබැයි බෝතලයක් ගෙනාවොත් එහෙම එපා කියන්නේ නැහැ. බෝතලයක් ගෙනිච්චොත් වැඩේ හොඳට කරලා දෙයිද කියලා හිතලාද දන්නේ නැහැ බෝතල් ගේන්නේ.

  7. වානේ පන්නරය ලබන්නේ මෙලෙස ය. රතුවෙන්නට රත් වීමෙනි, පහර පිට පහර වැදීමෙනි, එක්වරම සිසිල් වීමෙනි

    • බොහොම ස්තූතියි කකා…..වානේ වගේම තමයි කකා මගේ ජීවිතේත්.

      මම පොඩි කාලේ දැකලා තියෙනවා….රතු වෙච්ච යකඩේ තලලා තලලා..වතුර බාල්දියට ඔබනවා. මම ඒ වෙලාවට වතුරෙන් එන සද්දෙට පුදුම විදිහට ඇළුම් කලා.

  8. නොබැඳි සමුළුව නිකං චොගම් වගේ නේද?
    කොස්සන්ට දිග කලිසම් ලැබුනේ නොබැඳි එකට නේද?

    • maathalan says:

      කොස්සන්ට දිග කලසන් ඇන්දුවේ.. හික්කඩුවේ කොස්සොන්ට සුද්දොන්ගෙන් බේරෙන්න බැරි උන නිසාය කියලා කතාවකුත් තියෙනවා… 🙂

      • මොකක්ද මාතලන් ඒ කතාව…..සුද්දෝ ගල් කපන්න ඇවිල්ලද රාලහාමිලාට කොට කලිසම් ඇඳන් ඉන්නවා දැකලා.

    • කොට කලිසම් දිග කරේ 1975 දී කියලා කෙනෙක් කිව්වා….
      නොබැදි සමුළුවට මාර රාජ්‍ය නායක සෙට් එකක්නේ බැස්සේ කකා….

  9. JP says:

    අරූ ,වාක්‍ය දෙකක් හිතේ ලියවුනි
    දුක යනු හඬා වැටිය යුතු දෙයක් නොව දරා ගත යුතු දෙයකි.අනේක බලූ වීම ගැන.
    තවත් හිතුනා, අපේ ආතම්මලා ගේ ජීවන දර්ශනය…ඔවුන් ඇසේ මතුවන කඳුලූ ජිවිතේම කොටසක් හැටියට බාර ගෙන, හිත් පොගන්න ඉඩ නුදුන් හැටි

    • ඇත්තටම JP…….අපේ ආච්චිලාට පුදුම දරාගැනීමේ ශක්තියක් තිබිලා තියෙනවා. මම සමහරක් වෙලාවට කල්පනා කරනවා අපේ ආච්චිට තිබුන දේවල් එකින් එක නැති වෙනකොට ඒවා කොහොමද ඉවසුවේ කියලා. දැන් වගේ පරම්පරාවලනම් මොනවා වෙයිද කියන එක ප්‍රශ්නයක්.

  10. අවුල් වන්න පෙර උනාට පොඩ්ඩක් අවුල් උනා මෙපාරනම්……. අර තිබිලා තිබිලා නැති උනාය කියන හරියට එනකොට

    • ඇත්තටම බං තිබිලා නැතිවෙන එකට හිත හදා ගත්ත හැකියි කියපංකෝ…….නිකම් හිතපන් අමුතුවෙන් හදාගන්න ගිහිල්ලා නැතිවෙන අය ගැන. උඹ ලියන පෝස්ට් වගේ ඒවා කියවන කොට ඔළුව අවුල් වෙනවා බං. කොච්චර බලාපොරොත්තුද…පැයෙන් දෙකෙන් විනාශ වෙලා යන්නේ..

  11. ලොරියේ බඩු තැලිච්ච ගානට කව්න්ට් කරාම රියදුරාට ප්‍රමාණයක් ගන්න පුළුවන්..බොහොම රසවත්.. දුක තමා සතුටේ උල්පත කියනව නේ අරූ..

    උඹේ මේ කතා සැට් එක මම හිතාගෙන ඉන්නේ නිදහසේ තළු මරමින් ආයේ බුදින්න තමා මොකද මට දෙක තුනක්ම මිස් වෙලා තියෙනවා.

    • සතුට රස විඳින්න පුළුවන් දුකෙන් පටන් ගත්තාම. ඒත් බන් දේශකයෝ දුක අහලාවත් නැති එවුන් සතුට රස විඳින්නේ ට්‍රිබ්ල් එකේ… ඒකට කියන්නෙත් සතුටද මචෝ…

  12. උෙද් පාන්දරම ඒන ඒක ෙහාදයි අරූ. අද ෙකාම්පියුතරය අකුරු ෙබානවා. පස්ෙස් අදහස ෙදන්නම්.

  13. ගංවතුර මටත් හොඳට හුරුයි, මොකද අම්මයි තාත්තයි කැළණි ගඟ දෙපැත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් නිසා.
    ඒ වුනාට ගංවතුරේ ඔරු පදින්න ගිහින් අපිත් එක්ක වෑන් එකේ ඉස්කෝලෙ ගිය රන්ජන් කියලා යාලුවෙක් මැරුණා.

    • මචං ඩූඩ්…….ගංවතුර ඇවිත් බහින කාලෙට තමයි හෙන වනේ නේද? ගම් පලාත්වල නම් එච්චර ගානක් නැහැ. නාගරික පැතිවල ගංවතුරෙන් පස්සේ ලොකු ඔපරේශන් එකක් දෙන්න එපැයි සුද්ධ පවිත්‍ර කරන්න. මට අරකිගේ අම්මා කියලා තියෙනවා වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත පැත්ත ගැන.

      රංජන් හිටියා නම් දැන් පියෙක්නේ නේද? ඔහොම තමයි බං ජීවිතේ කියන එක. කොයි මොහොතෙද දන්නේ නැහැ.

  14. අපරාදෙ බං සිංහය. මටත් තියනව මේවගේ “විකුණුවෙ අපරාදෙ” කියල හිතෙන මතකයන් ගනනාවක්. හැබැයි අපේ තාත්ත ඒව විකිණුවේ අපිට උගන්වන්න මිසක් වෙන දේකට නෙවේ.
    ඔය ගංවතුර තියන පැත්ත අයිති ප්‍රාලේ කාර්යාලෙක මාත් හිටිය අවු3ක්. ඒ ඒරියා එකේ මගෝඩි ග්‍රාමසේවක කෙනෙක් හිටියෙ. දවසක් ගං වතුර ඇවිල්ල මිනිස්සු ගස් උඩ ඉන්න වෙලාවක අපේ ලොක්ක රාලහාමිට කෝල් කලා.
    මෑන් තමුන්ගෙ වගාවක බටු කඩනව.

  15. Black Puma says:

    කෙසෙල් කොටේ නම් අපිත් පැදලා තියනවා. පැදලා කිව්වට ගොඩක් වෙලාවට ඒක තල්ලු කරගෙන යනවා වගේ දෙයක් උනේ

    • පූමා……පැදලා කිව්වාට තල්ලු නේද බං? මමත් වතුරට ගූ බයයි….කෙහෙල් කොට පාරුව උඩට මාව නග්ගගෙන නන්දෙයි ගුනෙයි ඕක පදිනවා. වැඩි ඈතට ගෙනියන්න එපා කියලා ආච්චීලා කෑගහනවා….මොකද බන් මම හංවැල්ලට රාජ කුමාරයෙක් නේ..

  16. //අම්මාගේ අම්මා නොහොත් අපේ ආච්චී නොසිටියා නම් අප පවුලට කුමකින් කුමක් සිදුවේ දැයි දන්නේ අම්මාත් තාත්තාත් පමනි.//මෙන්න මේ කොටස අරූ මගේ ජීවිතයටත් ගොඩක් අදාල වෙනවා.
    හැමදාම වගේ අපුරුයි අරූ මේ අතීත ආවර්ජනය.

    • මනෝ…….අපේ ආච්චිගේ පැන්ශන් එක සහ ඒ බැඳීම නොතිබුනා නම් අපි සී සී කඩ වෙන්න බොහෝ දුරට ඉඩ තිබුනා.

      මම පහුගිය ටිකේ නොහිටිය නිසා උඹලාගේ පෝස්ට් කියවගන්න බැරිඋනා. අද කියවන්න ඕන. සොරි කොල්ලෝ.

  17. helapayaa says:

    මචං තාත්ත විතරක් නෙවෙයි උඹලගෙ ආච්චිත් හරිම සුන්දර චරිතයක් බං,ඒ මනුස්සය ඔය සියලු දේම ඉවසගෙන හිටිය එක මදිද,යකඩ ගෑනියක්.සිංහයො බලුවෙලා,ඒ වචන ටිකෙන් කියවෙන්නෙ මොන තරං අතීතයක කතන්දරයක්ද.උඹ ඒ ගැන කල්පනා කලේ නැද්ද අහිංසක ආච්චි වෙන මොනව කරන්නද.

    • මචං හැලපේ….ආච්චී කොච්චර හොඳද කියනවා නම් අපේ පවුල අත හැරියේ නැහැ එයා මැරෙන කම්. පැන්ශන් එකෙන් කීයක් හරි තියා ගන්නේ බුලත්, දුම්කොල වලට විතරයි. ඒකත් දෙනවා මදි පාඩුවලට. අපිට එයාට සැප සතුට දෙන්න පුළුවන් කාලේ එයා අඩපනයි. අපේ දුවවත් දැක්කා.

  18. සිරා says:

    ලිපියේ අග කොටසෙ තියෙන විස්තරය බොහොම සංවේදීයි…පරම්පරාවෙන් අපිට හිමිව තිබූ සෑහෙන දේපල කන්දරාවක් අපේ සීයාගෙ කැඩුනු කකුලක් හදන්නට වැය වූ බැව් අපේ ආච්චීද ජීවතුන් අතර සිටින කල කියා තිබේ. ඒ ඉඩම් තිබූ තැන් අසද්දි අද තිබුනා නම් කෝටි ගණනක් වටින්නේය. සියල්ලම ප්‍රධාන මාර්ගයන් අද්දර අලුතින් ඉදිවූ කඩ කාමර සමග අද තවෙකෙකු සෙවනේ යෙහෙන් වැජඹේ.

    • ඕවානම් ඔහොම තමයි සිරෝ…….නැතිවෙන්න තියෙන ඒවා නැතිවෙනවා. මටත් උනේ මුල ඉඳලම හදන්න .පස්සේ අපි ඔක්කොම එකතුවෙලා හැකි පමනින් ගොඩ ආවා.

  19. කතාව කීප පාරක් කියෙව්වා. අන්තිමට එද්දි දැනෙන හැඟීම විග්‍රහ කරන්න මට තේරෙන්නේ නෑ. ඒක දුකක්මත් නෙමෙයි. හිස්කමයි, දුකයි, වේදනාවයි අසරණකමයි ඔක්කොම එකතු වෙලා ආව හැඟීමක් වෙන්න ඕනේ.

    • /////හිස්කමයි, දුකයි, වේදනාවයි අසරණකමයි ඔක්කොම එකතු වෙලා ආව හැඟීමක් වෙන්න ඕනේ./////

      රංගී…..ඔන්න ඔය හැඟීම හරිම අමාරුයි දරාගන්න. හිස්කම කියන්නේ හරි අපහසු තත්වයක්. මට ඔයාගේ පෝස්ට් කියවන කොට ඒ බව තේරෙනවා. රටින් පිටව ඉන්න කොට තවත් වැඩියි. අළුත් පාරක් කපන්න අදහසක් නැද්ද…..

  20. තිසර says:

    ආච්චිගේ කතාව තමයි කතාව…. කකා කියලා තියනවා වගේ මිනිස්සු පන්නරය ලබන්නේ මේ වගේ විවිධ ඇත්දැකීම් ලැබීම තුලින්… අද හැරිලා බලනකොට, ඒ අත්දැකීම් ජීවිතේට සවිමත් අත්තිවාරමක් වූ බව අරූ ට හිතෙනවා ඇති…

    • ඇත්තටම තිසර අත්දැකීම් සහ සිදුවීම්ම තමයි ජීවිතය කියන්නේ. ගතවෙන හැම තත්පරයක්ම එහෙමම තමයි. මේ හැම දෙයක් තුලින්ම ජීවිත සටන ගෙනියන්න හොඳ ගැණියෙක් ඉන්න ඕන. අපේ විශාල මුළු පවුලම එක මිටියකට තියාගන්න මගේ අත්දැකීම් සහ විශේෂයෙන් මගේ බිරිඳ අති මහත් උපකාරයක් උනා. තිසර තවමත් ඒක එහෙමයි.

      කකා බොහොම සරලව ඒක පැහැදිලි කරනවා.

  21. රාජ් says:

    සිංහය මතක් වෙනකොටත් අපරාදෙ කියල හිතෙනව බං. මමත් කැමතියි ඔයවගේ දේවල් එකතු කරන්න.
    ඔය ගංවතුර තියන පැත්තක් මම කලින් වැඩකල කාර්යාලයට අයත්ව තිබුන. ඒ ඒරියා එකේ හිටියෙ ජොලි රාලහාමි කෙනෙක්. ඔන්න දවසක් ගංවතුර ඇවිල්ල මිනිස්සු ගස් උඩ ඉඳගෙන කාර්යාලෙට කතා කරනව. බොසා කතා කලා රාලහාමිට. මෑන් තමුන්ගෙ වගාවෙ බටු කඩනව. 🙂
    (මේ දැම්මෙ තුන්වැනි කමෙන්ටුව, ඊයෙ දාපු දෙකම වැලිගං ගිහිං)

    • රාජ්……උඹේ කමෙන්ට්ස් මුකුත් ස්පැම් එකේ නම් නැහැ.

      ඒ සිංහයා ගැන නම් මටත් පොඩි දුකක් තියෙනවා බං….මම හරියට පොඩි කාලේ ඕකා එක්ක සෙල්ලම් කරලා තියෙනවා මල්ලිව පිටිපස්සේ තියාගෙන. ඌ යන දවසේ අපි ඔක්කොම ගේ දොරකඩට වෙලා බලන් හිටියා. ආපහු ආවේ නැහැ.

      බටු රාළහාමි වගේ අය ඉන්නවා. අපේ ගෙදර හිටිය ටේච්චිත් එහෙමයි.ගං වතුර දානවා…එය හිටෝපු මිරිස් පැල ගලවනවා වතුරට යටවෙයි කියලා. එයාට නම් පොඩි මානසික ආබාධයක් තිබුනා. එයාගේ පැල කන ගොළුබෙල්ලන්ට අමු කුණුහරුපෙන් බනින්නේ. ඒ තවත් චරිතයක්. ගොඩාක් වයසට ගිහිල්ලා මැරුනා.

  22. Anonymous says:

    hakmana,

    • හක්මන…..මම මේ පලාත දන්නවා….මගේ නංගී කෙනෙක් බැඳලා ඉන්නේ හක්මනින්. මම ඉස්සර නිවාඩු ආපුවහම ඇවිත් ඉඳලා යනවා. රසබර මතක ටිකක් තියෙනවා. පස්සේ ලියන්නම්. ඇත්තටම කැමති නම් පමනක් ඔබ කවුද කියන්න. ඇනෝ කෙනෙක් හැටියට කමෙන්ට් කරනවානම් ඒකට කමක් නැහැ. සමහරුන් නිර්නාමිකව අදහස් පලකරනවා. ඒක වරදක් නැහැ. මේ ලියන මම කවුද කියලා බොහෝමයක් අය දන්නේ නැහැ. මම එකට කැමතියි. මට එතකොට ස්වාධීනව අදහස් පල කර හැකියි.

  23. උඹලා ආච්චිට රත්තරන් හදවතක් තිබුණු බවට මේ කතාව සාක්කි. කකා කිව්වා වගේ මේ දුක් කරදර ගැන කතාවක් නෙවෙයි අරු වානේ පන්නරය ලැබිච්ච හැටි ගැන කතාවක්.

    • තිලකේ….ආච්චී වගේම චරිතයක් තමයි අපේ අම්මාත්. බොහොම මෘදු මොලොක් ගතිගුණ. ඔව් බං පදම් වෙවී ආපු ගමනක්. සමහර විහිළුකාරයෝ දැක්කාම තනියෙන් හිනායනවා.

  24. අරූ සීයේ ,මල පනිනවා බොලං ..මම දාන කොමෙන්ට් උඹ කනවද බං.

    • බොල පවූලූශා කොල්ලෝ පවු පුරවාගන්න එපා සීයලාට බැනලා. උඹේ කමෙන්ට් එක ඇවිල්ලා බං එකපාරටම. මම ස්පැම් පැත්තේ ගියේ නැහැ අද.

  25. අපේ තාත්තා කාලයක් වඩු වැඩ කරා, ඒ කාලේ පුස් බයිසිකලයක් තිබුනා.පස්සේ තාත්තා හාට් ඇටැක් එකට හොස්පිටල් නැවැත්තුවා. හොඳවෙලා ආවත් වැඩකරන්න බෑ. අල්ලපු ගෙදර අන්ක්ලයට පුස් බයිසිකලයයි, වඩු වැඩ ආයුධ සෙට් එකයි උකස් තිබ්බා, කවදාවත් ආපහු ගන්න බැරිවුනා. ඊට් පස්සේ අම්මා මහන්න පටන් ගත්තා, අර බදු ටික එහෙම්මම සින්න වුනා, මමත් ගිහින් අර බයිසිකලේ අතගාලා එහෙම එනවා. හැබැයි අන්කල් නම් ඕනේ නම් පැදලා එන්න කියනවා. එත් මට බයයි, අම්ම දැක්කොත් කන පලනවා. හැබැයි මට එහෙම දුකක දැනුනද කියලා මතක නෑ , මම ගොඩක් පොඩි නිසා වෙන්න ඇති.

  26. අපේ දෙල්කඳ ගේ විකුනලා තිබුනේ…ගේ ඉස්සරහම තේ කඩේ මුදලාලිට. අපි ඒ ගෙදරට යනවාට ආච්චි එහෙම කැමති උනේ නැහැ විකුනුවාට පස්සේ. ඒ ළමයි අපේ යාළුවෝ. පස්සේ පස්සේ අපි එතැන වල බැස්සා. තමන්ගේ දෙයක් නැති බැරිකමට හෝ අනුන් සතු වෙනකොට අම්මලාට වාවන්නේ නැහැ.

    පවුලූශා මම මේ ටික ලියන්නේ නිකමට. පස්සේ මම රට ගිහින් කීයක් හරි අතේ තියෙන කාලේ, සමහරක් අපි වගේම මිනිස්සු ඇවිත් අම්මාට ඇවිත් කියනවා මෙන්න මේක තියාගෙන කීයක් හරි දෙන්න පස්සේ බේර ගන්නම් කියලා. අපි ගාව තිබුනොත් අවශ්‍ය මුදල හෝ ඊට අඩුවෙන් දීලා යවනවා. අර බඩුව තියා ගන්නේ නැහැ. ඒ ආදීනව දන්න නිසා. සමහර මුදල් ආපහු ලැබිලා තියෙනවා. සමහර ඒවා නැහැ. හැබැයි අර බඩුව වෙන කොහාට හරි , වෙන දවසක උගස් වෙනවා. බඩගින්න ලොකුයිනෙ බං අනිත් හැම දේකටම වඩා.

  27. ඔබේ සෑම කතාවක් තුලම සුවිශේෂත්වයක් ඇත අරූ….. දැන් නිතර කමෙන්ට් නොකළත් ඒ හැමෙකක්ම වාගේ ඉඩ ලැබෙන පරිදි කියවා රස විදිනවා.

    • නලීන්……මම දන්නවා නලීන් කොච්චර බිසි ඇතිද කියලා. කමෙන්ට් කරන්න කාලය යොදවන්න මහන්සි වෙන්න එපා. මට තේරුම් ගන්න පුළුවන්. හැකිවිටක කියවන්න වැරදි පෙන්වන්න. න,ණ,ල,ළ නම් පෙන්නලා එපා වෙලා ඇති නේද?

  28. කතාවට සමවැදිල කියෙව්වේ බොහොම ආසාවෙන්. ඔය ඇල්බීසියා වලට එක එක පළාත් වල එකක් එක නම් තියෙන්නේ ගිනිසීලියා. වැටමාර අනේ මන්ද තව නම් තියෙනවා මතකත් නැහැ.

    • කෝරලේ…..ඇල්බීසියා ගහ තරම් පලාතෙන් පලාතට නම වෙනස් වෙන කිසිම ගහක් තියෙනවාද මන්දා. ඕකේ කොල එළවලු පාත්ති හදනකොට පස්වලට දානවා. මල පැනලා ළමයින්ට ගහන්න කඩා ගන්නෙත් ඔය කෝටු. පොඩි කාලේ ඇඟිලි උඩ තියලා ඩෝං ගාලා පුපුරවන්නේත් ඔය කොල. මල්ටි පර්පස් ගහක් බං.

  29. සිගිති says:

    ඔයාල හිටපු ගෙදර තිබුන තැන හැදුවෙ කොලොන්න රිවර්සයිඩ් හොටෙල් එක වෙන්න ඇති කියල තියන හැටියට. ඒක නං දැං නියමෙයටම හදපු හොටෙල් එකක්. දැං නං ටිකක් තල්දූව යටවෙනව අඩු වෙලා. අන්තිමටම මතක හිටින්න යට වුනේ 2011 දි.

    • සිඟිති…….ස්තූතියි…ඔයා කියලා තියෙන හෝටලය ගූග්ල් දැක්කා. ඒකේ හැටියට නම් අපි හිටිය තැන වගේ ඉඩමක්ම වෙන්න ඕන. අපි දෙවෙනියට හිටියේ 38 කනුව සහ 39 කනුව අතර .තල්දූවේ ඉඳන් එනකොට ඔය අතර මැදින් පුංචි පාරක් හැරුනා වමට ඒ කාලෙත් දවසකට දෙසැරයක් ඒ පාරේ බස් එකක් ගියා (අවු.40 පෙර ).ඒ අසලම වංගුවේ දකුණු පැත්තේ තමයි අපි හිටිය ගේ තිබුනේ. ඒ පැත්තේ හැම තැනම වංගුනේ. මම අවු.25කින් දැක්කේ නැහැ ඒ පලාත. එතැන ගිහිල්ලා දවසකට හරි නවතින්න ඕන.

      ඉස්සර අපේ ගෙටත් වතුර දානවා සමහර වෙලාවට. අපි එතකොට ගෙවල් අයිති අයගේ ගෙදරට යනවා ඊට උඩින් තිබුන.

  30. Anonymous says:

    ගංවතුර කියන්නෙ අපිටනං ටැප් වතුරටත් වඩා සමීපයි. මොකද අපි නිල්වලා නිම්නෙ මිනිස්සු හින්ද. ලස්සන අතීත සටහන්.

  31. Tharu says:

    කතාව වගේම මේ කමෙන්ට්ස් ටිකත් අපූරුයි.. ජීවිතය ගැන කොයි තරම් ගැඹුරු පාඩමක් කියා දෙනවද මේ අතීත කතාව.. ඒ කාලෙ මිනිසුන්ට තිබුණ දරා ගැනීමේ ශක්තිය නිසාම තමයි පවුල් ජීවිත රැකුණෙ… අද ඒ දරා ගැනීම, ඉවසීම නැති නිසාම තමයි බොහෝ ඛේචවාචක සිද්ද වෙන්නෙ…

    • ඇත්තටම තරු…… ඒ කාලේ පවුල් ජීවිත බැලුවාම මේ දරාගැනීමේ ශක්තිය තම කැමැත්තෙන්ම ස්ත්‍රීය විසින් තම උරහිස මත පටවාගෙන තියෙනවා. පිරිමින් සාපේක්ෂව බොහොම අඩුවෙන් ඉවසා සිටිබව පේනවා. දරුවන්ගේ අනාගතය, සමාජ ආකල්ප, දරුණු පලිගැනීම්වලට ලක්වීම වගේ කාරනා ස්ත්‍රීන්ට බලපාන්න ඇති. මෙය ඇයගේ ස්වාධීනත්වය කියන කාරනයේදී එසේ දරා සිටීම නිවැරදි නැහැ. අපේ ලොකුඅම්මාට මොනතරම් සම්පත් තිබුනත් ඇය වෙන්වී යනවා. ඒ ඇයට උවමනා ආදරය, කායික උවමනාවන් නොලැබුන නිසා වෙන්නැති කියා මම හිතනවා. ඇය වෙන්වී යාම මට නම් නිවැරදියි. අපේ අම්මා භෞතික සම්පත් කිසිවක් නොලැබෙද්දීත් තාත්තා සමගම ජීවත් වෙනවා ඔහුගේ හැම අඩුපාඩුවක්ම දරාගෙන. ඒ ඔවුනොවුන් තුල වූ අධ්‍යාත්මික බැඳීම නිසා වෙන්න ඇති. ඇයත් හරි. ලොකුඅම්මාගේ දික්ක්සාදයේදි නැදෑයින් කියා ඇත්තේ වෙන්වී යාමට යුතුව තිබුනේ ලොකුඅම්මා නොව අපේ අම්මා බවය. අම්මාත් තාත්තාත් බකබක ගා සිනාසුන බව මම අසා තියෙනවා.

  32. Niroshinie says:

    අවිස්සාවේල්ලේ තල්දුවේ මමත් ගමන් ගිහිං තියෙනවා…මැන්ගුස් මළු පුරවලා කඩන් ආපු දවස් තිබුණා!
    තල්දුවේ මගේ යාලුවෝ සමහරු පීනන්න ඉගෙන ගෙන තිබුනේ ගංවතුර නිසා 🙂

    • නිරෝ……මැංගුස්, දූරියන්, වැල වරකා, කජු පුහුලන් ඇති පදමට තිබුනා. සුන්දර ගම් පියසක්. ගංවතුරේ පීනන එක තමයි මිනිසුන්ගේ විනෝදාංශය. අනිත් ඒක සීතාවක ගඟ ගමේ පැත්තකින් ගලා යනවා. දිග්ගැස්සෙන නිසා නොලියපු රස කතා බොහොමයක් තියෙනවා තල්දූව ආශ්‍රිතව. නිරෝ හැකිනම් කියවන්න මේ තරමක් වැඩිහිටියාගේ කතා වස්තුව.

  33. ගංවතුරේ යනකොට එපාම වෙන්නේ අර මකුළුවෝ පත්තෑයො අනං මනං පොඩි පොඩි සත්තු ඇඟේ නගින එක තමයි අප්පා. මේ සීරියස් එක සුපිරි අරෝ. මේක දෙයියනේ කියලා මේල් වලට පොස්ට් එකම එන නිසා බස් එකේදී යන ගමන් කියව කියව යනවා.
    අර කිව්ව පෙට්ටගමක් අපේ ගෙදරත් තියෙයි. අම්මා එහෙම ඒක සාලේ තියාගෙන ඉන්නේ පොලිෂ් කරලා එහෙම 😀 ඒකෙ යතුර දෙන්නේ නෑ ලේසියෙන්. ටික කාලෙකට කලින් ඇරපු වෙලාවේ මම ඒකෙ තිබුණු පොතක් පැන්නුවා . මේවා කියවද්දී ඔක්කම කියවල තියෙන කථා මතක් වෙනවා. අපේ ගමයි , චරිත තුනයි, අත්තම්මාගේ චරිතය නිසා පැණි වළලුයි, අපි ඉස්කෝලේ යනකාලේ තිබුනා ගංවතුරේ ඔරු පදින පාඩමක්. මට නම මතක නෑ හරියට අන්න ඒකත් මීටරේට ආවා. 😀
    මේක මරු. අර කිව්වා සිංහයෙක් මම දැකලම නෑ. මගෙත් මාර ආසාවක් තියෙයි ග්‍රැමෆෝන් එකක් අරගන්න. 😀 දැන් අරෝ කිව්වට පස්සේ සිංහයෙකුත් බලන්න ඕනා :D. සල්ලි නම් ඉතින්… 😀 😀

    • බලපං සින්දුවෝ සතා සිව්පාවා උරගයා පවා ජීවිතේට තියෙන ආසාව. උන් වතුරේ ඉඳන් ඇඟට ගොඩවෙච්ච ගමන් සරබර ගාලා උඩට නගිනවා. මට දිරවන්නේම නැති දෙයක් තමයි. සොරි ඩොට් කොම්…..උන් ඉතින් නැවත වතුරට වැටෙන්නේ පාරක් කාගෙන තමයි. ගොඩවුනේ ඇයි කියලා හිතෙනවා ඇති. අන්තිම ජරාම සහ භයානකම වැඩේ තමයි….කෙහෙල් කොට පාරුවට වතුරට අහුවෙච්ච සර්පයෝ ගොඩවෙන එක.. කෙහෙල් කොට උඩ ඉන්න කොල්ලෝ කලබල වුනාම මේක පෙරලෙනවා.

      දිගටම කියවපං….උඹේ ගජයා වයලීනුවාව මතක් කරපං.

  34. Miyuru says:

    විනෝදයට මාළු මිරිකනව කිව්වෙ මොකක්ද…? අතට අල්ලගෙන සුරුස් ගාලා ලිස්සලා යන්න අරින එකද…?
    අර සිංහයාට ගිය කල ගැන කියවනකොට දුක හිතුනා… ආච්චිට කොච්චර දුක හිතෙන්න ඇද්ද… එයා ඔය ඔක්කොම දේවල් මහ මෙරක් වගේ දරාගෙන හිටපු හැටි….

  35. අපි පොඩි දවස් වල පහත බිම්, කුඹුරු, පාරවල් යට වෙන්න වැස්සත්, මම තරුණ කාලේ එහෙම වැස්සක් වැස්ස කියල මතකයක් නැහැ.

    පහුගිය අවුරුද්දේ කැළණි ගඟ පිටාර යන්න ඇට්ටි හැලෙන්න දුන්නු වැස්සත් ඉතින් සුවිශේෂී එකක් මිස තවදුරටත් සාමාන්‍ය දෙයක් නොවෙයි !

    ඉස්සරට සාපේක්ෂව දැන් වැස්ස බොහොම අඩුයි කියලයි මට හිතෙන්නේ 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s