අවුල් වන්නට පෙර…(15)…මිනිමැරුමක් සහ තවත් තැනක්

මේ කාලය වනවිට මගේ හතරවෙනි නවාතැන් පොල වෙත යාමට සිදුව ඇත. එය එසේ වන්නේ අප කවුරුත් සම්බන්ධ නැති එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසාය. එය පහත්ගම ගම්මානයම තැතිගැන්මකට ලක් කල මනුෂ්‍ය ඝාතනයක් විය.

මා පදිංචිව සිටි සීයාගේ ගෙදරට උඩහින් තිබුනේ ගුනපාල නම් වූ පුද්ගලයෙකුගේ නිවසය. ඔවුන්ට දරුවන් පස් දෙනෙක් සිටි බවත් මතකය. ගුනපාල නිතරම බීමත්ව කෑගසමින් ගෙදර අඩදබර කරගන්නෙකි. මෙය මුළු ගමම දන්නා කරුනකි. එක් දිනක් රාත්‍රියේ තම නිවසට ඇතුල්වන දොරකඩ ආසන්නයේදීම කවුරුන් හෝ මොහුට තදබල ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත. එසැනින්ම ඔහු, දයාරත්න, ඥානරත්න, ප්‍රේමරත්න මට ඇසිඩ් ගැහුවා..මාව බේර ගනියෝ යැයි කෑ ගසා ඇත. ඔහු එසේ කෑගසුවා යයි කියන්නේ ගෙදර අයය. පසුව ඒ උදවියගේ කෑගැසීම නිසා හුළු අතු දල්වාගෙන ගමම අවදිවී , ගුනපාලව රෝහල් ගතකල මුත් ඔහු එහිදී මිය ගොසින්ය.

දයාරත්න යනු අපේ තාත්තාය. ඔහු ගුනපාලගේ ලඟම හිතෛෂියෙකි. ඥානරත්න සහ ප්‍රේමරත්න යනු තාත්තාට වඩා වයසින් බාලවූ ගමේ ජනප්‍රිය තරුනයන්ය. මොවුන් දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් වූ අතර හැන්දෑවට, හැන්දෑවට අඩියක් පුඩියක් ගසා කාලය ගතකරනවා හැර උන්ගෙන් කාටවත් කරදරයක් නැත. ගෙදර අය ලබාදුන් කට උත්තර මත පසුවදාම ඥානරත්න සහ ප්‍රේමරත්න පොලිස් අත්ඩංගුවට පත්වූ බවත් දයාරත්න වන අපේ තාත්තා මාසයකින් වත් ගම් පලාතේ පැමින නැති බවත් සඳහන් විය. සිදුවී ඇත්තේ එක දෙයකි. කට උත්තර දී ඇත්තේ වෙන දෙයකි. පසු කාලයකදී , ගුනපාලගේ ආයාචනය කනින් ඇසුනු කෙනෙක් ,ඥාති සම්බන්දතාවයක් නිසා සාක්කි දීමට ඉදිරිපත් නොවූවත් කියන්නේ වෙනම කතාවකි. ගුනපාල ඔහුගේ ලඟම මිතුරන් තුන්දෙනාගේ නම් කියා කෑගසා ඇත. ඔහු කියන්නේ මේ මිතුරන්ට පැමින ඔහුව බේරා ගන්නට කියාය. “දයාරත්න..ඥානරත්න…ප්‍රේමරත්න….මට ඇසිඩ් ගැහුවා…මාව බේරගන්න” කියාය.

මූලික පොලිස් විමර්ශන වලදී දයාරත්න ගමේ නොසිටිය බවටත් ,ඔහු පදිංචිව සිටින්නේ ඉහල තල්දූවේ බවත්, රැකියාව අවිස්සාවේල්ලේ නිසාත් ඔහු මෙම නඩුවට සම්බන්ධ නොවීය. අනික් දෙදෙනා වසර කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිට සියළුම චෝදනා වලින් නිදහස් වූ මුත් ගුනපාලගේ මරණය අභිරහසක් විය. මේ ගැන නොයෙක් කටකතා පවතී. තාත්තාද හැකි පමනින් මේ නඩුවාර වලදී විත්තිකරුවන්ගේ ඥතීන්ට උදව් කර ඇත. විත්තිය වෙනුවෙන් පෙනී සිට ඇත්තේ එවකටත් දක්ෂ අපරාධ නීතිඥයෙක්වූ දයා පෙරේරා මහතාය.

මේ සිදුවීමත් සමගම් පවුලේ අය තීරනය කලේ මගේ නවාතැන් පොල මාරු කලයුතු බවය. දැන් මා නැවතීමට යා යුතුව ඇත්තේ අපේ අම්මාගේ පුංචි අම්මා විසූ දෙහිවල සත්තුවත්ත ඉදිරිපිට පිහිටි ඇයගේ නිවසටය. ඒ මගේ හතරවෙනි නවාතැන් පොලය. වසර තුන හතරක් තුල මා නවාතැන් මාරුකරන්නේ අහිගුණ්ඨකයෙකු සේ යැයි මට සිතේ. මෙවැනි තත්වයකට මුහුන දුන් කෙනෙක් වෙතොත් එය කොතරම් මානසික පීඩාවක් දැයි සිතා ගැනීම අපහසු නොවේ.

මා එහි නවතාගෙන පාසල් යැවීමට මැටිල්ඩා ආච්චී නම් වූ ඇය කැමතිවී ඇත. මෙම නිවස පිහිටා තිබුනේ දෙහිවල සත්තුවත්තේ මින් මැදුර ඉදිරියෙන්ම ඇති පෞද්ගලික පාරේය. මෙම පාරේ තිබුනේ නිවාස 4ක් පමනි. මොවුන් යමක් කමක් ඇති උදවියය. මැටිල්ඩා ආච්චී තරම් උඩඟු, ආත්මාර්ථකාමී ගැහැනියක් මම කිසිවිටක දැක නැත. ඇයගේ අක්කාවන අපේ අම්මාගේ අම්මා සතු කාරුනික ගති පැවතුම් හා සලකා බැලුවිට ඇය සොහොයුරියක් වූයේ කෙලෙසදැයි සිතා ගැනීමටත් අපහසුය.වැන්දඹු මැයට දරුවන් තිදෙනෙකි. වැඩිමලා වතු පාලකයෙක්ය. දියණිය විවාහවී පදිංචිව සිටියේ මීගමුවේ කුරණ ප්‍රදේශයේය. අනික් පුතා පමනක් විවාහ වනතෙක් ඇය සමග පදිංචිව සිට විවාහයෙන් පසුව ඇමරිකාවට පිටමං විය.

ඔවුන් සෑම ඉරිදාකම පල්ලි යන, හෑම හැන්දැවකම නිවසේ සිටම ඔරසං කියන බැතිබර කතෝලික පවුලක්ය. ඇය නිතරම කියන්නේ ඔවුන් නුවර කටුගස්තොට නම්බුකාර උදවිය බවත්, ඇයගේ දරුවන් සමාජයේ ඉහල රැකියා කරන අය බවත්, අපේ ආච්චිගේ දරුවන් නිසියාකාරව ඉගෙන නොගත් උදවිය බවත්ය. අපේ ආච්චීට මේ ප්‍රතිපලය ඇතිවූයේ සීයාව කසාද බැඳීම නිසා බවත්, ආච්චීගේ දේපොල නැතිවූයේ අපේ තාත්තාගේ නොසැලිකිලිමත් බව නිසා කියා නිතර නිතරම ඇසෙන අඳෝනාවන් මහා හිසරදයක් විය. ඇයගේ දරුවන් බීවත් බොන්නේ අපේ තාත්තා මෙන් නොව ඉහල වර්ගයේ විස්කි බ්‍රැන්ඩි බවත් නිතරම කියවයි. ඇයගේ දරුවන් සිටින්නේ නම් කියන්නේ ඇයට ඔය කියවිල්ල නවත්වන ලෙසය. නමුත් ඇය එසේ නොකරයි. මේ සියල්ලක්ම ඇය කියවන්නේ ගෙදර වැඩට සිටි විමලසේන නම් මට වඩා ටිකක් වැඩිමහල් කොලුවා ඉදිරිපිටමය. මමද අවසානයේ විමලසේනගේ මල්ලී වැනි පුදගලයෙක් බවට පත්විය. කුකුල් කූඩු ශුද්ධ කිරීම, ජෙරාඩ් අංකල්ගේ හාවුන්ට කෑම දීම, හැන්දෑවට පොල් ගෑම, ඉස්සරහ උඳුපියලි ගැලවීම මටත් විමලසේනටත් පැවරී තිබු රාජකාරියන්ය. මේ කිසිවක් ගෙදරට නොදන්වා මගේ පාසල් කටයුතු කරමින් කාලය ගත කලේය.

නිවසේ සිට දෙහිවල මහජන ක්‍රීඩාංගනය අසලින් ඇති පටුමගින් වෛද්‍ය පාරට පිවිසෙන මම ගාලු පාරින් පාසල් බසයට ගොඩවී පාසැල් යන්නෙමි. පාසැල තුල ගතකරන ඒ සොඳුරු කාලය මිස ආච්චිත් එක්ක විසුම නම් මහා කරදරයක් විය. ඒ කාලය තුලදී අප පංතියේ සිසුන් නාට්‍යයක් පුරුදු වූවා මතකය. දෙහිවලම විසූ නන්දක්කා නම් අපගේ ඥාතියෙකුගේ ලුංගියක් සහ බ්ලවුසයක් ඇඳ , එම නාට්‍යයේ නාගරික සිසුවාගේ මවගේ චරිතය නිරූපණය කලේ මමය. මගේ පුතා ලෙස රඟපෑවේ චම්පාල්ය. පුහුනුවීම් සඳහා පාසල් කාලයෙන් පසු නැවතී සිටි මුත් මම කිසිවිටෙකත් ගෙදරින් කෑම ගෙන යන්නේ නැත. ඇය ඒ පිලිබඳව විමසන්නේත් නැත. බොහෝ විට චම්පාල්, කුශාන් ඇතුළු කංඩායම ගෙන එන බත්මුල් වලින් මමද සප්පායම්වී ඒ පුංචි නාට්‍යයෙ වැඩද අවසන් කර ගත්තේය. චම්පාල්ගේ බත් එකට වෙනම හොදි රැගෙන එන්නේ එකල තිබු හිස් වීදුරු තීන්ත කූඩුවක බව මට අද මෙන් මතකය.

එකල දෙහිවල අවට ප්‍රදේශයේ නිවෙස්වල භාවිත වුයේ බාල්දි වැසිකිලිය. මේ තරම් අප්‍රසන්න ක්‍රමවේදයක් ඒ වන විටත් දෙහිවල-ගල්කිස්ස නගර සභාව නඩත්තු කරමින් පැවතියේය. රෝද දෙකේ කරත්තයක් තල්ලු කරගෙන පැමිනෙන ඒ අහිංසක කම්කරුවා ගෙයින් ගෙට ගොස් මේවා ශුද්ධ පවිත්‍ර කර, බාල්දියද පිරිසිඳු කර යෑම දෛනික රාජකාරිය විය. ආච්චිගේ උඩඟු කතා ගැන මා පසුව ගෙදර අයට පැවසූ විට තාත්තා නම් කිව්වේ බොන්නේ විස්කි වුවත් රෙන්නේ බාල්දියෙ බවය. කෙසේ වෙතත් මේ ක්‍රමයට තිත තබා සාමාන්‍ය ක්‍රමයට යායුතුව තිබුන බැවින් වැසිකිලි වලක් කැපීමට සිදුවිය.

එක් උදෑසනක මේ කපා තිබු වල තුල අමුතු සතෙක් වැටී දගලමින් සිටිනු දුටු මා ආච්චීව දැනුවත් කලේය. ඇය කීවේ මේ විස්තරය සත්තුවත්තේ සත්ව සෞඛ්‍ය අංශයේ සේවය කල පෙරේරා අංකල්ට දන්වන ලෙසය. ඔහු නන්දක්කාගේ ස්වාමි පුරුෂයාය. ඔවුන් පදිංචිවී සිටියේ මින්මැදුරට යාබද පාරේ ඇති සත්තුවත්තේ බිත්තියට යාවෙන සේම එම ඉඩමේම සාදා තිබු නිවසකය. එය සත්තුවත්තට අයිති නිවාසයකි. පෙරේරා අංකල් පැවසූවේ කෙසේ හෝ සතා අල්ලාගෙන එන ලෙසය. ඔහු කම්කරුවෙක්ද සැපයීය. එදා විමලසේනත් නොසිටී නිසා මමත්, මැටිල්ඩා ආච්චීත්, අර මිනිසාත් ලොකු වේවැල් කූඩයක් වලට බස්සවා සතා උඩට ගත්තෙමු. මේ මීමින්නෙක් බව කීවත් මම මීමින්නෙක් දැක්කෙත් එදාමය. මුවෙකුගේ හැඩය ගත් ඊට වඩා ඉතා කුඩාවු මේ සතාද රැගෙන මම සත්තුව්ත්තට ගියෙමි. දෙහිවල ඉන්නා කාලයේදි මම ඇතිතරම් සත්තුවත්තේ රවුම් ගසා ඇත්තෙමි. 1936 දී ආරම්භවූ මෙය අක්කර 23ක් යැයි පවසයි. මම තරම් සත්තුවත්ත නැරඹු කෙනෙක් ඇත්නම්, ඒ එහි සේවකයින් පමනක් විය යුතුය. ඒ පෙරේරා අන්කල් මට ලබා දී තිබු වරප්‍රසාදයක්ය. මින් මැදුර නිර්මාණය වුවේත් සීල් මත්ස්‍යයින් ගෙන ආවේත් ඔය කාලයේ බව මතකය.සතා පරීක්ෂාකර බැලූ පෙරේරා අංකල් , ඌව රසායනාගාරයේම කුඩා කූඩුවකට දමා එහි පොතක සතාගේ භාරකරු ලෙස මගේ නම සඳහන් කර අත්සන් කරන්නට කීවේ, නැවත දවස් හතරකින් පැමිනෙන ලෙසත් සතා නිරුපද්‍රිතව සිටියෝතින් මට ගෙවීමක් කරන් බවත්ය. එම පොතේම පේලී දෙක තුනක් උඩින් සඳහන්ව තිබුනේ සුදු නයෙක් භාරදුන් තොරතුරක්ය. ඒ සත්තුවත්තට භාරදුන් පළමු සුදුනයා යැයි මම විශ්වාස කරමි. පසු කාලයකදී විදේශීය සංචාරකයෙක් මේ සුදුනයා සත්තුවත්තෙන් සොරකම් කර යන්නට තැත් කරද්දී ගුවන් තොටුපලේදී අත් අඩංගුවට පත්වු කතාවක් මතකයට නැගේ.

මුදල් ලැබෙන කතාවක් ආච්චීට නොකිව් මම දින හතරකින් සත්තුවත්තට ගිය මට අසන්නට ලැබුනේ ඒ නිරෝගි සතෙක් බවත් මට රුපියල් 40ක මුදලක් ලැබෙන බවත්ය. කුවිතාන්සියකට අත්සන් තබා මුදල් ලබාගත් පසු පෙරේරා අංකල් මට කිව්වේ , ආච්චීට නොකිව්වානම් ඒ මුදල් මට තබාගන්නා ලෙසත්ය. ඒ හැම කෙනෙක්ම මැටිල්ඩා ආච්චීගේ තරම දන්නා නිසා විය යුතුය. සතුන් පිලිබඳ මනා දැණුමකින් හෙබි පෙරේරා අංකල් පසු කාලයකදී ඕමානයේ රාජකීය සත්ව උද්‍යානයේ ඉහල තනතුරක් දැරීය. රාජකීය සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශණයට විවෘත නැත. එය රජතුමාගේ පුද්ගලික එකතුවකි. මේවා කියෙව්වොත් අපේ රජවරුත් සත්තු එකතු කරන්න පටන් ගනීද කියා බයය. මමද ඒ කාලයේම ඕමාන් ගුවන් සේවයට වැඩ කලේය. මීට වසර කිහිපයකට පෙර මේ නිහතමානී මිනිසා අපෙන් සමුගත්තේය. මොහු නිසාම රාජකීය සත්තුවත්තේ සේවය සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයින් බඳවා ගත්තේය. ලංකාවේ සිටි අති දක්ෂ උරග විශේෂඥයෙක් වූ අභාවප්‍රාප්ත මොල්ලිගොඩ මහතාද මෙහී කලක් සේවය කලේය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

74 Responses to අවුල් වන්නට පෙර…(15)…මිනිමැරුමක් සහ තවත් තැනක්

  1. Ravi says:

    දයාරත්න..ඥානරත්න…ප්‍රේමරත්න….

    බලාපං ඒකෙත් හැටි..ත්‍රිවිධ රත්නය වගෙ..සිරිමක්කගෙ කැබිනට් එකේ ත්‍රිවිධ රත්නයක් හිටිය මතකද?…ජයරත්න, ඉලංගරත්න සහ තව රත්න කෙනෙක් හිටිය මතක නෑ බං…ජයරත්න කිව්වෙ දැං ඔය ඉන්න දිමුවා එහෙම නෙවෙයි. එස්.ඩී. ආර්.ජයරත්න..හලාවත මන්ත්‍රී සහ ධීවර ඇමති…

    දෙහිවල ගල්වල පාර නොහොත් කොරි රෝඩ් 77, 78 කාලෙ මම නිතරම ආවගිය තැනක්. මයි ගුඩේ ගුඩ් ප්‍රෙන්ඩ්ස් කෙනෙක් හිටියනෙ එහෙ.

    අඩේ..කෑගල්ලෙ අපි හිටපු කච්චෙරි ක්වාටර්ස් එකෙත් තිබ්බ බං බාල්දි කකුස්සක්. ඒත් ජල මුද්‍රිත් වැසිකිළි දෙකක්ම තිබුණ නිසා මම ඇරෙන්න කවුරුවත් ඒකට ගියේ නෑ.මම ආස උනේ බං බඩු වැටෙන සද්දෙට..හෙහ්, හෙහ්…තහ්..තහ්..ගල මඩ ගොඩට පොල් කඩනව වගෙ ..අහං ඉන්ට ආසයි. කකුස්සෙ පැත්තකම තිබ්බ අළුහුණු බාල්දියක් සාඩිං ටිං එකකට දිග ලීයක් ගහල හදපු කරාඬියකුත් එක්ක.බොග දාල අර ටිං එකෙං දෙකක් තුනක් අළුහුණු දාන්න ඕන බාල්දියට ගඳ එහෙම ටිකක් එහෙ මෙහෙ වෙල යන්ට.ඒත් වැඩි කලක් ඒ ආතල් එක තිබ්බෙ නෑ. නගර සබාවෙං බාල්දි වැසිකිළි ඇදිල්ල නතර කලා..

    / බොන්නේ විස්කි වුවත් රෙන්නේ බාල්දියෙ /

    මරු කතාව බං ඒක…..හෙහ්, හෙහ්…බොලාගෙ තාත්ත ගැන මගෙ පැහැදීම එන්න එන්නම වැඩි වෙනව..එන්න එන්නම වැඩි වෙනව 🙂

    74 විතර සත්තු වත්ත බලන්ට අපි ආව ට්‍රිප් එකක්..ඒ කාලෙ මින් මැදුර හදමින් තිබුණ මතකයි වගෙ. අඩේ මේ පාර ලංකාවට ගිහාම අර මීමින්නා බලන්ට පලයං..මීමින්නො ඇවිල්ල බොහොම ආවිස තියන සත්තු..අවුරුදු හැට හැත්තෑවක් ඉන්නව මයෙ හිතේ…

    අපෙ පංතියෙ යාලුවෙක් හිටිය ..උගෙ අම්මා සත්තු වත්තෙ ලොකු තනතුරක හිටියෙ…දවසක් ඌ අපි හතර පස් දෙනෙකුට එන්ට කිව ඉරිදාවක දවල් උංගෙ දිහා කෑමට..සත්තුත් හිතේ හැටියට බලල දවල්ට අපි බඩවල් පැලෙනකල් කෑව..හුරුල්ලො බැදල තිබ්බ තඩි පලංගානකිං එකක්…

    උගෙම කරුමෙ කියන්නෙ ඊළඟ සතියෙ ඉරිද පත්තරේක තිබ්බ සත්තු වත්තෙ මුහුදු සිංහයන්ට දෙන ප්‍රධාන ආහාරය හුරුල්ලන්ය පහුගිය ටිකේ උංට නියමිත හුරුල්ලො ප්‍රමාණය දීල නැතය කියල.මම ගෙනාව ඔය පත්තර කෑල්ල ඉස්කෝලෙට..ආය මොනවද හිතාගන්ට පුලුවන්නෙ නේද? දිවා භෝජන සංවිධායක මගෙ මූන බැලුවෙ නෑ ඊට පස්සෙ සති දෙකක් විතර යනකල්…හෙහ්, හෙහ්,

    / පසු කාලයකදී විදේශීය සංචාරකයෙක් මේ සුදුනයා සත්තුවත්තෙන් සොරකම් කර යන්නට තැත් කරද්දී ගුවන් තොටුපලේදී අත් අඩංගුවට පත්වු කතාවක් මතකයට නැගේ /

    ඒ වැඩේ මාට්ටු උනේ මෙහෙමයි. සුද්ද ආය නෑ නයාව අරංයන්ට හදල තියෙන්නෙ ආය ජීවිතේට කාටවත් හොයාගන්ට බැරි තැනක හංගගෙන..Where the sun doen’t shine….සුද්දගෙ කරුමෙට ඒ වෙලාවෙම රාජ්‍ය නැටුම් කණ්ඩායමත් ඇවිල්ල ඉඳල තියනව එයාපෝට් එකට චිනෙ සංචාරයකට යන්ට. පිටත් වෙන්ට තව වෙලාව තිබ්බ නිසා කට්ටිය පොඩි විවිධ ප්‍රංගයක් පවත්වල හුදු ආතල් එක පිණිස.. ඒකෙ දි බටනලා වැයීමකුත් තිබිල තියනව..අම්ම ද බොල මෙන්න ආවෙ නැද්ද සුදු නයා නටාගෙනම සුද්දගෙ අර මං කිව්ව හිරු නොදිලෙන දිහාවෙ ඉඳල… 😀

    • Anonymous says:

      හරියට හරි රවී. ඔය නයාගේ කතාව ඔය විදිහටම අකුරක් නෑර රිවිරැසේ තිබුනා. ඔන්න ඔය නයාම තමයි පසු කාලේ බ්ලොග් වල පවා කරක් ගැහුවේ. 😀

      • ඇනෝ…….ඇත්තටම මචං ඔය සුදුනයාව උස්සලා හෙන කේස් එකක් ගියානේද ඒ කාලේ?

    • රවී…….මගේ පෝස්ට් එකට වඩා රසවත් උඹේ කමෙන්ට් එක.ස්තූතියි.

      මචෝ….මැතිනිට හිටිය හොඳම රත්නයක් තමයි කෝට්ටේ තිලකරත්න. හැබැයි කැබිනට් එකේ හිටියාද මතක නැහැ. කතානායකකම නම් කොටට කොටේ කරා. වාඩිවුනාම පෙනුනේ කොහොමද මන්දා? SDR ගේ පුතා තමයි ඔය දැන් ඉන්න ඇමතියා ප්‍රියංකර ජයරත්න.

      මට ඔය අළුහුනු සීන් එක උඹ කිව්වාමයි ඔළුවට ආවේ. බොගෙන් බොගට ලේයර් එකක් දාන්න ඕන. අපි කඩෙන් ගේන්න ඕන. දවසක් එකෙක් බොගක් දදා ඉන්න කොට …සුද්ධ කරන බුවා ඇවිත් බාල්දිය ඇදලා…මට මතකයි රවී සුද්ධ කරන කෙනාට දීලා තිබුනේ ඉරටු මිටියක්.

      මචෝ අපේ තාත්තාගේ තිබුනේ sharp humour එකක්. දෙයියෝ අරහං. හාමුදුරුවරු ආශ්‍රය කරනවා හැබැයි ආගමික ලෙවල් එකෙන් නෙමේ යාළු ෆිට් එකේ. කවුද කියලා හාමුදුරු දෙනමක් වැඩමවන්න කියලා…මෙයා කියනවාලු..එහෙම හරියන්නේ නැහැ…දෙයියයි පනමයි වැඩම කරන්න කියලා. මට ගමේ බුවෙක් කිව්වේ.

      සීල්ට කන්න දෙන්න හුරුල්ලෝ ගේන්නේ කූඩ පිටින්….ඉතින් පලංගාන් පිරෙන්න උඹලාට දෙන එක සිම්ප්ලෙ. සත්තුවත්තට කෑම සප්ලයි කරන එක ලොකු කතන්දරයක්…..උන් ගොඩ.

      උඹ සුදුනයාවත් බයිට් කලානේ.

      • රවී….තිස්ස විජේසුරේන්ද්‍ර හිටියේ ගල්වල පාරේ කිට්ටුව. ගොඩාක් බර්ගර් ෆැමිලීස් නේද හිටියේ?

      • Ravi says:

        අරූ,

        හරි බං හරි..ත්‍රිවිධ රත්නෙ අනික් ගොයිය ස්ටැන්ලි තිලකරත්න තමයි.රිජ්වේ තිලකරත්න ගුවන් විදුලියෙ අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලිගෙ මළය.

        77 ඡන්දෙ කාලෙ මම හිටියෙ නාවල. කෝට්ටෙ ආසනේට ඉල්ලුවෙ ආනන්ද තිස්ස ද අල්විස් සහ ස්ටැන්ලි තිලකරත්න..ජිනදාස නියතපාලගෙ කතා අහන්න මිනිස්සු පිරුනෙ ඕසෙට. නාවල හන්දියෙ මට මතකයි රැස්වීමකදි ප්‍රේමදාස ගොයිය පොල් බෑ දෙකක් උඩ දම දම කරපු සෙල්ලම…හෙහ්, හෙහ්,

        යස්…කොරි රෝඩ් එකේ බොහොමයක් හිටියෙ බර්ගර් අය තමයි.මගෙ යාලුවගෙ අල්ලපු ගෙදර හිටියෙ හෝල්ඩන්බොට්ල් කියල බර්ගර් කට්ටියක්.. හෙහ්, හෙහ්, කෙල්ලො දෙන්නෙක් හිටියා..ආය නෑ දැක්කම ඇඬෙන කොලිටි එක…:)

      • රවී මම ජොබ් කරන කාලෙත් දෙහිවල පැත්තේ ගැවසුනා…තෙල් බේරෙන ලංසි කෑලි තමයි සැරිසරන්නේ..

        මචෝ ස්ටැන්ලිගේ මල්ලි වර්නන් තිලකරත්න. මම දන්නවා. රෙඩියෝ සිලෝන් චෙයාර්මන් රිජ්වේ නෑ කමක් නැහැ මගේ හිතේ. මට ශුවර් නැහැ.

    • damith says:

      @ රවි++++++++++++++++++++++++++++++++++++++++++++++++++

  2. අදමයි අරූගේ අඩවියට ගොඩ වෙන්නේ. මමත් දැන් අවුරුදු දහයක ඉඳන් මේ අඩවියේ ගැවසෙන්නේ. අපි ඉතිං සත්තු වත්තට පහල තියෙන පාරවල් වල ඉන්නේ. මේ කාල වකවානුව සඳහන් නැති නිසා මම හිතනවා ඔයා හිටියේ 2000 ට කලින් කියලා. ඔය වගේ චරිත ඉතාමත් සුලබයි මේ සමාජයේ. මම බෝඩින් ජීවිතයක් ගත කළා. ඒත් මගේ වාසනාවකට ඒ මිනිස්සු මට සැලකුවේ ඔවුන්ගේ සහෝදරයෙකුට වගේ. අදත් ඔවුන් මගේ හොඳ මිතුරන්.

    • හලෝ සුදීක…….මම මේ කියන්නේ 1975-1977 වගේ කාලේ. කරගම්පිටිය හන්දියේ ඉඳන් යුසී එක ගාවට වෙනකම් ඔය අතුරු පාරවල් අස්සේ හැම තැනම ඇවිදලා තියෙනවා. ඔය පැත්ත මට හොඳට හුරුයි. සුදීක…ඉස්කෝලේ යන කාලේ මට එපා වෙච්චම තැනක් තමයි ඔය ආච්චිගේ ගෙදර…මම රස්සාවල් කරන්න ගත්තාම මාත් එක්ක හරි හිතවත් උනා.

      සුදීක…..මාත් එක්ක වැඩකරා ඔය පැත්තේ ටොප් පොරක් අනුර කන්නන්ගර කියලා…ඔයා දන්නවාද….ඇයි මට ඔබේ බ්ලොග් එකේ වර්ඩ්ප්‍රෙස්ස් කමෙන්ට් කරන්න බැරි.

      සුදීක මෙහේ ආවේ අද නෙමෙයි පළමුවෙන්ම..මීට ගොඩාක් කලින්.
      ///////සුදීක says:
      August 23, 2013 at 7:54 am (Edit)
      ඔන්න මමත් හොයාගෙන ආවා. අපේ බ්ලොග් මගපෙන්වන්නා නොහොත් කෙන්ජි අයියාගේ මගපෙන්වීමෙන්. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා ඔය කියන හරියේ. මිනිහගේ නම කොඩිකාර නොදන්නා විදියක් නෑ. මිනිහත් ඔය කියන විස්තර ටික මට කියලා තියෙනවා. ඉස්සර වැටවල් තාප්පා මොනවත් තිබ්බේ නෑ කිව්වා වගේ මතකයි ජුබ්ලි කණුවට යනකං.

      මේ වගේ කතා ඉතා වැදගත් වෙනවා, අර නලින් කිව්වා වගේ අපිටත්, අලුත් පරම්පරාවටත් ඉතිහාසය ගැන පාඩමක් වගෙයි මේවා. මොකද මෑත ඉතිහාසය ලේඛනගත වෙලා නෑනේ. වියරණ ගැන එතරම් වද වෙන්න එපා. අවශ්‍ය පණිවිඩය සන්නිවේදනය වෙනවා නම් එච්චරයි. මෙතන ලියන කිසි කෙනෙකුට කිසිම දෙයක් ලැබෙන්නේ නෑනේ. හැබැයි මග නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යාම තමයි වැදගත්.

      එහෙනම් අරූ කවුද කියලා අපි පස්සෙම දැන ගමු./////////////////////////

      • අරූ කවුද කියලා අපි නොදන්නවැයි.
        ඔයානම් ඕනම කෙනෙකුට කොමන්ට් දාන්න ඉඩ දීලා තියෙනවා. මම නම් එහෙම නෑ. මම ඉඩ දෙන්නේ ප්‍රොෆයිල් තියෙන අයට විතරමයි. එතකොට ලිපි කවුරුවත් විවේචනය කරන්නේ නෑ.

  3. ඩිලාන් says:

    මී මින්නා සත්තු වත්තෙන්ම පැනපු එකෙක්ද දන්නේ නෑ,,,මමත් අහලා තියනවා අදට වඩා සත්තු වත්ත ඒ කාලේ ඉතා අපූරුවට,ලෝකෙ ප්‍රසිද්දව තිබුනා කියලා

    • ඩිලාන්……මීමින්නා සූ එකෙන් පැනපු එකෙක් නෙමේ..සූ එකෙන් සත්තු පනිනවා. මම ඇහැට දැක්කා එක පාරක් සුදුම සුදු අර විශාල ෆ්ලෙමින්ගෝ එකෙක් එලියට ආවා ගේට්ටුවෙන්ම. ඌව අල්ලගත්තා. මීමින්නා නම් එලියෙන් එන්න ඇති..කරගම්පිටිය, නැදිමාල. බෙල්ලන්විල ඔය අවට ඉස්සර කැළැවල්.

      අපේ සූ එක ලෝකේ තිබුනු හොඳම එකක් බව ආඩම්බරෙන් කියන්න ඕන. ඒ ලින් ද අල්විස් මහත්මයා ඉන්න කාලේ. එයා තමයි සිංගපූරුවේ ආරාධනාවෙන් අක්කර 200 වැඩි Singapore Zoo එක design කරේ. දැන් සූ එකේ පාලනය අන්තිමයි කියල අහන්න ලැබෙනවා.

      සූ එකට විශාල සේවයක් කරා වයිට් කියලා බර්ගර් ජාතික නිලධාරියෙක්.

      ඩිලාන් බ්ලොග් ලියනවාද?

  4. jp says:

    අරූ
    ඇයි දැනටමත් මෙහෙත් සත්තු එකතු කරන්නේ.
    අලි, නරි, පුත්තලම් බූරුවෝ. හිටපු ගමන් උන්ව මහජනයාට ප්රදර්ශනය කරනවා

    • JP……හාහහා….ඇයි බං මීහරක් පට්ටියක් ඉන්නේ කොල්ලුපිටියේ…හිටපු ගමන් හයිවේ එකේ මාගම්පුරෙත් යනවා…….චීනෙක් දක්කන්නේ….උඹ දැකලා නැද්ද? ෆ්ලවර් රෝඩ් එකේ ඉන්නේ තනි බූරුවෙක්. ඌට විදින්න එන්නේ විශකුරු මාපිලෙක්…සත්තුවත්තක්ම තමයි.,

  5. තිසර says:

    මම කල්පනා කලේ අර එකම වචන සෙට් එක බොහොම බරපතල ප්‍රතිවිරුද්ධ අර්ථ මතු කරන්න පුලුවන් නේද කියලා ඒක කියන ආකාරය අනුව…. තාත්තා ගමේ හිටියා නම් තාත්තාටත් අර අනිත් දෙන්නා වින්ද කරදරේ විඳින්න වෙනවා නේද?

    මම පොඩි කාලේ නුවර-එළියේ ඉන්නකොට එහෙ තිබ්බේ බාල්දි කකුස්සි වගේ තමයි මතක…. සත්තු වත්තට පලවෙනි මීමින්නා දුන්නේ අරු ද දන්නෙ නෑ… අනික රුපියල් 40 කියන්නෙ සෑහෙන ගානක් වෙන්නැති..

    • තිසර……මේ හැම දෙයක්ම වචන එහා මෙහා කිරිල්ලක්නේ. සමාජ සම්බන්ධතා කියන්නේම වචනනේ. සමහරක් ඒවා හිස්. සමහරක් ඒවා වැදගත්. උඹ කියනවා වගේ පොඩි වෙනසකින්….බරපතල අසාධාරනයක් වෙන්න පුළුවන්. අනිත් එක නීති බුවාලා දන්න සක්කර වට්ටම් ඔක්කොම දාන්නේ වචනත් එක්කනේ.

      ඇත්තටම ලංකාවට ගිය දවසක හොයලා බලන්න ඕන මමද “පලවෙනි මීමින්නා” කියලා. හැබැයි මුන් එතරම් දුර්ලභ නැති නිසා ඉන්නත් ඇති. රුපියල් 40ක් 70 ගනන්වල වටින මුදලක්. මට ඇත්තටම අම්මාට යවන්න ඕන කම තිබුනා ඒ සල්ලි. සරළ ක්‍රමයක් තිබුනේ නැහැ.

      • ඒ මීමින්නා තාම ඉන්නවා , මේ ලගදි මම ගියහම මට කියුවා අරූ කියල කොල්ලෙක් අෟව හතලිහකට වික්කා කියලා

      • අටමෝ…….මම දැක්ක ආතල්ම කමෙන්ට් එක…උඹ නම් පොල් ශුක්‍රානුවෙක්. ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් වත් කියලා පලයං

  6. Black Puma says:

    දැන්නම් දෙහිවල උණත් බලන්න සත්තු අඩුයි. පොඩි කාලේ යද්දී මතකයි ගොඩාක් හිටියා. ඒ සමහරක් දැන් නිකම්ම කුඩු වලට සිමා වෙලා

    • Anonymous says:

      සත්තු බ්ලොග් ලියනකොට කොමෙන්ට් කරනකොට ඉතින් සත්තු වත්තෙ ඉන්න වෙලාවක් කොහෙද….. සත්තු අඩු වෙන්නෙ ඔහොම තමා….

    • ////දැන්නම් දෙහිවල උණත් බලන්න සත්තු අඩුයි////
      උඹ හරි පූමා…..උන් වැඩි හරියක් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවෙයි, පලාත් සභාවලයි…වදන්නේ ප්‍රාදේශිය සභා ඇතුලේ….

      සූ එක දැකලා නැහැ සෑහෙන්න කාලෙකින්….හැබැයි දැන් සූ එකේ පශු වෛද්‍ය අංශය නම් අන්තිමයි කියලා තමයි මාධ්‍ය කියන්නේ.

  7. අර ආච්චිගේ කතාව හරියට සුරංගනා කතාවක කෑල්ලක් වගේ, අරූ සත්තුවත්තේ ගිහින් තියෙන්නේ හරියට මම දුන්හිඳ යනවා වගේ, ලංකාවේ වැඩියා දුන්හිඳ ගිහින් තියෙන්නේ මම වෙන්න ඇති, අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් හයක් වගේ දුරින් තමයි දුන්හිඳ තියෙන්නේ , ඉතින් ගෙදර එන හැම නෑදෑයා එක්කම දුන්හිඳ යන ගයිඩ් මම. යාළුවොත් එක්කයි ,තනියමයි ගිය වාර ගැන මටවත් මතක නෑ. සමහර දවස වල ගෙදරින් තරහා වුනාම තනියම දුන්හිඳ ගිහින් රෑ වෙනකං ඉඳලා ආපහු එනවා.

    • ඒ මම දුන්හිද ගිහින් නැහැ. එක්ක පලයන්කෝ මචෝ.

      • උඹට මඤ්ඤංද ඌත් එක්ක යන්න…වෙන කොහේ හරි එක්කන් යයි..පරිස්සමින්!

    • පවුලූශා ….උඹ එහෙනම් රෑ බදුල්ලෙක් නේද? මගේ ඥාතියෙක් හිටියා ඔය පැත්තේ අමරසේකර කියලා….RDA එකේ ලොක්කෙක් දැන් මගේ හිතේ. හොඳ බුවෙක්. අමතක කරන්න බැහැ.
      දුන්හිඳ කිට්ටුව හිටියාද ඉතා ප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක්? මම ඔය අමරේ අයියා එක්ක ආවා වගේ මතකයි.

      ////සමහර දවස වල ගෙදරින් තරහා වුනාම තනියම දුන්හිඳ ගිහින් රෑ වෙනකං ඉඳලා ආපහු එනවා.//////

      මට අර ගෙදරදී….දුක හිතුනාම…නන්දක්කාලගේ ගෙදර යනවා කියලා ගිහින් සූ එකට වෙලා වාඩිවෙලා ඉන්නවා පැය ගනන්.

  8. මට නම් තුනම කියවද්දිම හිතුන,නම් තුනේ අයිතිකාරයන්ට බඩු බනිස් තමා කියල.
    මට ඔබගේ පියාගේ නම මතක තිබුන නිසා.
    අහිගුන්ඪකයකු වගේ කියල වචන ටික කියවද්දී පුදුම දුකක් හිතුන මචං.
    අද ඒ කට්ට කාගෙන උඹ නොසැලී හිටපු නිසා නේ දිගු ගමනක් ගිහිල්ල,අද බොහොම සතුටින් ඒවා අකුරු කරලා අපි සමග බෙදා ගන්නෙ.
    ඔය වගේම කට්ට වල් කන්න බැරිව අතරමග නවතින ජිවිත නම් කොතෙක් නම් ඇද්ද කියල හිතුන.

    • කෙන්ජි…….කට්ට කාපු නැති වල බැහැපු නැති එකෙක්ගේ ජීවිතේ මොකක් හරි අඩුවක් දැණෙනවා ඇති නේද බං. මට හිතෙනවා උඹ කට්ට කාලා නැති උනාට හොඳට වල බැහැලා ඇති කියලා. ඒක තේරෙනවා උඹේ කමෙන්ට්ස් වලින්. ඔය දෙහිවල පැත්තෙත් හිටියා බං නියම බුවාලා. මගේ කතාවේ කට්ටයි, වලයි තව ඉස්සරහටත් තියෙනවා මචං.. මම වැඩ කරන කාලේ දෙහිවලත් ෆුල් ආතල් ජොයින්ට් එකක ලගා ගැහුවා.

      අර අහිංසක එව්වෝ දෙන්නා කාලයක් රිමාන්ඩ් හිටියා… ඒ ගැන හරි කතාව ලියන්න බැහැ…ඒ පවුලේ කවුරු හරි මේක බලනවාද දන්නේ නැහැ..

  9. maathalan says:

    දැන්නම් ඉතින් සත්තු වත්ත බලන්න එච්චර දුර යන්න ඕන නෑ. දියවන්නාවට ගියාම හරි, ඇතුලට යන්න ඕනත් නෑ. ඇතුලේ උන් පෙන්නන්න. ලයිව් ඉස්ක්‍රීන් එකකුත් දාලා තියෙන්නේ. අලි, ගැරඬි, නයි, මුගටි, හරක්, පුත්තලම් බූරුවෝ, සර්පයි, දෙපත් නයි, කළවැද්දෝ වගේ හැම ජාතියක්ම ඉන්නවා..

    අර කතාව නම් පට්ට… //බොන්නෙ විස්කි, රෙන්නේ බාලිදියේ// කතාව..

    ඔය බාල්දි කකුස්සි නැති කරපු පොරක් තමයි ප්‍රේමදාස මහත්තයා.. ඒ උනාට පුතා නම් බාල්දියේ නෙමෙයි. පාර පුරා රෙනවා..

    අර ආච්චි වගේ තමයි අපේ ළොකු අම්මත්, එයා බැඳලා උන්නේ සීදුවේ පට්ට සල්ලි කාරයෙක්. උන්දැගේ දෙවන කසාදේ. සල්ලි නාන්න.. ඒ නිසාමද මන්දා මලෙත් නාන්න ගිහින්, බාත් රූම් එකේ ලිස්සලා වැටිලා.. මාව පේන්න බෑ.. වසවර්තියා කියලා මට කියන්නේ.. මම කියන්නේ කාළි අම්මා කියලා.. ඒ උනාට.. එහේ ගියාම රුපියල් පනහක් හෙම දෙනවා.. ඒ කාළේ රුපියල් පණහක් කියන්නේ.. අද පන්සීයක් වගේ.. දීලා ඔළුව අතගාලා බුදු සරණයයි වසවර්තියෝ කියලා ආශිර්වාදත් කොරනවා.. පස්සෙ කාලේක.. ගාල්ලේ එහෙම ගියේ මාත එක්ක.. ඒ ගමන් වල රස නම් කියන්න ඕන නෑ.. එයාගේ ප්‍රොෆෙසර් පුතා බැන්ස් එකේ අපේ ගෙදරට ගෙනත් බස්සනවා.. ඊට පස්සෙ මාත් එක්ක බස් එකේ තමයි ගාල්ලෙ යන්නේ.. කෝච්චියේ යන්න බයයි..

    • මාතලන්……උඹේ ලිස්ට් එකට අමතරව පාර්ලිමේන්තුවේ නියම ආඳෙක් ඉන්නවා හුලස් කියලා. රටේ ආඳෙක් ඌ අනිත් එවුන් අතරේ. හමගහන්න ඕන අළු දාලම තමයි.
      ////ඒ උනාට පුතා නම් බාල්දියේ නෙමෙයි. පාර පුරා රෙනවා..///////
      මේකනම් නියම කතාව බන්…..මචං ඔය අපේ ආච්චී හෙන යුඇන්පී…..ඒ නිකං පොශ් කියලා පෙන්නන්න..හැබැයි මචං දෙහිවල ගල්කිස්ස මිනිස්සු හරියට ඇස්. ද. ඇස්. ජයසිංහ මහත්තයට සැලකුවා…ප්‍රේමදාස මහත්තයාට වගේ තමයි. දුව සුනේත්‍රා ගම කෑවා…ඒ පැත්තේ යුඇන්පී බේස් එක කැඩුනේ සුනේත්‍රා ගෙන් පස්සේ.

      ඔය ලොකු ලොකු ඥාතිකුරුස්ලාට ගමන් යන්න කවුරුත් නැති උනාම තමයි අනිත් අයව ඕන වෙන්නේ. හැටි තමයි.

  10. ඔය මැටිල්ඩා ආච්චි ගැන කියද්දී මටත් ආච්චි කෙනෙක් ගැන සිහියට ආවා. මමත් ඔය ඉන්න තැන වෙනස් වෙන කට්ට කාල තියෙන නිසා මටත් ඔය ගැන ලොකු හිතේ අමාරුවක් තියෙනවා පොඩි කාලේ ඉඳන්ම විසා ප්‍රශ්නයක් ආවොත් ලංකාවේ මාමා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි ලංකා නවතින්න වීම තරම් එපා කරපු දෙයක් මට එදා මෙදා තුර තිබිල නැහැ. අදටත් මම ලොකු අදිෂ්ඨානෙක ඉන්නේ මගේම කියල ගෙයක් ඉඩමක් හදන ඔක්කොගෙන්ම දුරස් වෙල ජීවත් වෙන්න. මගේ හිතේ පොඩි කාලේ ඉඳන් ම තියෙන්නේ මේ මගේ ගේ නෙවෙයි කියන මානසිකත්වය. ගත කරන්නේ මාසයක් දෙකක් වුනාට පොඩි වයස හින්ද වෙන්න ඇති ලොකු අකමැත්තක් තිවුනේ.

    • කෝරලේ කොහොමත් බැන්දට පස්සේ නම් තමන්ගෙම තැනක ජීවත්වීම තමයි යෝග්‍යය. ඉස්කෝලේ යනකාලේ නම් ගෙදර ඉඳලා යනවා තරම් සැපතක් නැතිව ඇති කියලා මට හිතෙන්නේ. විකල්පයක් නැත්නම් එන දේකට ඔට්ටුයි නේද බං. අපි මෙහෙම කතාකරනවා…හිසට සෙවනක් නැති කී දාහක් ඉන්නවාද.

  11. helapaya says:

    සුපුරුදු විදියටම රසවත්,ගුණපාල නම් ටික කියපු හැටියට තව පොඩ්ඩෙන් තාත්තටත් හරි වැඩේ වෙන්නෙ නේද.

    • ඔව් බං එහෙනම් නියම පරිප්පුව..ඔය සම්බන්ධ හොඳ කතා තියෙනවා. මට මතක නැහැ. ටෙලිෆෝන් එකෙන් අහලා වැඩක් නැහැ. තාත්තාට ඇහීම දුර්වල නිසා ටෙලිෆෝන් අරහං. අනිත් එක ලඟින් ඉඳන් අහනවා තරම් රසවත් නැහැ. ඒ ගෙදර උදවිය ඔය සිද්ධියෙන් පස්සේ උනත් එදා වගේම තාත්තාට පණ වගේ ආදරෙයි

  12. මරණීය තුවාල උන මනුස්සයෙක් මරුවිකාරෙන් කියවපු දෙයක් නිසා මොන තරම් දේවල් උනාද?
    රත්නලා තුන් දෙනාගෙන් අරූගෙ තාත්තා වාසනාවන්ත උනා මිනීමැරුම් චෝදනාවා ඇගේ ගාව ගන්නැතුව ඉන්න. ඒත් ඒකට අරූට වන්දි ගෙවන්න උනා.

    අරූ දැනටත් අපේ රජවරු සත්තු ඇති කරනවනෙ (ඇයි මේ අපි). මිලියන විස්සක ජනතාවක් විවෘත සත්වෝද්‍යානයක දාලා හුරතලේට ඇති කරන එකත් ලේසිද අප්පා. 😉
    (මෙවා කියවලා අවැඩක් වෙයිද මංදා)

    • මිලියන විස්සේ සත්තුවත්තේ කතාව මරු ප්‍රියා. එක අතකින් ඒ කතාව ඇත්ත,

      තාත්තා බේරුනා .මම හිරේ ගියා,,:DD

  13. “දයාරත්න..ඥානරත්න…ප්‍රේමරත්න….මට ඇසිඩ් ගැහුවා…මාව බේරගන්න”
    මේකත් අරූ හරියට නිකන් අර ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ කතාව වගේනේ

    • ඔව් බං රාළේ….ඔය වගේ දෙයක් ඇතිනේ දක්ෂ නීතිබුවෙකුට හතර අතේ කරකවන්න. නමුත් මුළු ගමම දැණගෙන හිටියා මේක මොකක් හරි ගේමක් කියලා.

  14. අරූ හතරවෙනි නවාතැනට මාරු වෙනකොට අරූගේ තාත්තා හතරවෙනි තට්ටුවෙන් බේරිලා තියෙන්නේ අනුනමයෙන්නේ.

    • ඒකනේ මනෝ කියන්නේ….හොඳක් වෙනකොට ඒ එක්කම තව නරකකුත් වෙනවා. නරකක් වෙනකොට හොඳකුත් වෙනවා. සංසාර චක්කරේ නේද චන්දරේ කිව්වළු. කිසිදෙයක් වැඩිය ඇඟට ගන්න නරකයි මනෝ.

  15. මිනිස්සු එකිනෙකාගෙන් හරි වෙනස්…. එවා හොඳ නරක කියලා වෙන්කරන්න බැහැ..
    තමන්ම හදාගත්ත ලෝකයක් ඇතුලේ ඒ මිනිස්සු ජීවත් වෙලා අන්තිමට යන්න යනවා..
    මැටිල්ඩා ආච්චීත් අන්න ඒ වගේ නේද?

    • හරියටම හරි මොරා….මොකක් හරි අපිට වැරැද්දක් උනාම අපි ඒ මිනිහා නරකයි කියලා බ්‍රැන්ඩ් කරනවා. නැහැ…උඹ කියනවා වගේ ඇත්තටම ඒවා වෙන් කරන්න බැහැ. මම ඔය පාඩම් ඉගෙනගත්තේ අරකීගේ අම්මාගෙන්. බෝධිසත්ව චරිතයක්. එයා ගැන මම ලියනවා. උඹලා විශ්වාස කරයිද දන්නේ නැහැ ඒ කතා.

      හැම තිස්සෙම කියන්නේ පුතා මිනිස්සු කරන හොඳ හිතට ගන්න. නරක ඒ අයගේ හිත්වල තියාගන්න දෙන්න. ඔයා ඒවා හිතට ගන්න එපා කියලා. අපිව අපහසුවකට පත්වෙන වෙලාවට අපි තුන්දෙනා සෝමා ඇන්ටි කියපු දේවල් මතක් කරනවා. අවාසනාවකට ඇය අප අතර නැහැ දැන්.

  16. සිරා says:

    ඇසිඩ් ගහපු සිද්ධිය තව පොඩ්ඩෙන් සෑහෙන කරදරයක් වෙනවා නේන්නම්…ඇසිඩ් පාර කාපු කෙනා කෑ ගැහුව විදියට හිතෙන්නෙ ඒ නම් තිබ්බ අය ඇසිඩ් ගහලා කියලා.

    ජීවිතේටම සත්තු වත්තට ගියේ දෙවාරයයි. ආයෙ නම් කිසි දිනෙක නොයන්නට තීරණය කරගෙන සිටිමි. එහි සිටින අහිංසක සතුන් විදින දුක් මෙතැකැයි කිව නොහැක…මානසික ආතතිය නිසාවෙන් තමා සිටින කූඩුව තුලම රවුම් කැරකෙන ඔරං ඔටං සතෙකු සහ බැබුන් වර්ගයේ සතෙකු මා අවසන් වරට එහි ගිය දින මගේ හදවත වඩාත් සංවේදී කලෙහිය.

    • සිරා මම සත්තුවත්තේ ගැවසුනාට ඒ සංකල්පයට තදින්ම විරුද්ධ එකෙක්. කූඩු කර සෑදීම හරිම හිතට කරදරයක්..අර අලි බලපන් …කකුලේ බැඳලා තියෙන දම්වැල් කොටේ දිග තමයි උගේ නිදහසේ සීමාව. කූඩුවේ උස පලළ තමයි අනිකාගේ නිදහසේ සීමාව. මේක මිනිස්සුන්ටත් අදාලයි සමහර ආගමික, සංස්කෘතික සහ සමාජ තාප්ප ඇතුලේ. එහෙම තැනක ප්‍රීතිමත් මිනිහෙක් දකින්න බැහැ. නිකම්ම නිකම් ප්‍රදර්ශනාත්මක මිනිහෙක් පමනයි ඉතුරුවෙන්නේ. සමහර මිනිස්සු තමන්ගේ නිදහස තමන්ම ලොක් කරගෙන මලමිනී බවට පත්වෙලා ඉන්නවා. කනගාටුයි.

  17. damith says:

    අහක යන කුනු ගෙඩකින් තාත්ත යන්තම් බෙරිලා නෙ..උබෙ ජිවිතේ පාඩම් පොතක් වගෙ නේ

    • Damn it….මම ලියන්නේ විශේෂිතම දේවල් ටික විතරයි. පොතක් කියන්නේ බං අත් පොතකට නරක නැහැ.. මටම පුදුමයි මම සර්වයිව් වෙලා ඉන්න එක. මම නොහිටිය සමාජ තලයක් නැහැ කියලා මට හිතෙනවා බං. උඹලා විශ්වාස කරයිද දන්නේ නැහැ.

  18. රාජ් says:

    රුපියල් හතලිහක් කියන්නෙ හොඳ ගානක් නේද බං. මොකද කලේ?

    • මට ඉස්සෙල්ලාම හිතුනේ ඕක අම්මාට යවන්න ඕන කියලා….විදිහක් නොතිබුන නිසා උනේ නැහැ. මට මතකයි බස් සීසන් එක ගත්තා. ආච්චිගේ කෑම බෙදීමේත් ක්‍රම වේදයක් තිබුනා. එයාගේ පුතාට මේසෙට බෙදලා ඇති පදම්..අපිට සළාක ක්‍රමයට. ඉස්කෝලේ කැන්ටිමටයි, සත්තුවත්තේ කඩචෝරු වලටයි වියදම් කරා මගේ හිතේ.

  19. කා(Ka) says:

    ඕක මොකක්ද බං.
    අපේ හිරු කුඩු පප්පා මහ දවල් වෙඩි තියලා භාරතවත් මැරුවේ. වෙඩික්කාර කුඩු පප්පාට උන්දෑට දැන් මතක අමතක හින්දා දැන් නිදහස්නේ. උන්දැටත් අමතක හරියට එදා දවස විතරමයි.
    83, 89, විකාරද ගණයේ ජිම් පප්පලාත් මිනිසුන්ට ඇඩ්‍රස් නැති වෙන්න දුන්නා. නඩුත් නෑ, ඇපත් නෑ. දැන් පැන්ෆෝන් හිටන් ගන්නවා.

    • කා(Ka) says:

      ඕක මොකක්ද බං.
      අපේ හිරු කුඩු පප්පා මහ දවල් වෙඩි තියලා භාරතවත් මැරුවේ. ඩෙඩිකාරයා උණු ඒ කුඩු පප්පාට දැන් මතක අමතක හින්දා නිදහස්නේ. උන්දැටත් අමතක උනෙත් එදා දවස විතරමයි.
      (උඩ එකේ අකුරු වැරැදුනා බං)

    • කාවෝ…..මටත් පුදුම කොහොමද මිනිස්සුන්ට එහෙම අමතක වෙන්නේ කියලා. ගොඩාක් අයට අමතක වෙනවා නෙමේ වාසියට අමතක කරනවා. ඒක නෙමේ මොකද උඹේ බ්ලොගට උනේ.

  20. මම මෙච්චර කාලයක් හිතුවෙ නෑ අරූ ගේ මෙහෙම අඩවියක් තියෙනවා කියලා අහම්බෙන් ලැබුණ විවේකයක් නිසා තමයි අන්තර් ජාලේ රස්ති පාරක් දැම්මේ.. දැන් දන්වානේ…

    “දයාරත්න, ඥානරත්න, ප්‍රේමරත්න මට ඇසිඩ් ගැහුවා..මාව බේර ගනියෝ………”
    මෙන්න නියම ක්‍රිමිනල් කේස් ආයෙ දෙකක් නෑ වචන එක්ක සටන් කරලා තමයි දිනන්න වෙන්නේ නැත්නම් ප්‍රේමරත්න වගේම අන්ත් දෙන්නටත් හිරේ වැටෙන්න වෙනවා.

    මීමින්නා නාගරික පරිසරවල දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. සත්තුවත්තට බාර දුන්නට පස්සේ එයන එන වෙලාවට ඌව දකන විට සතුටක් දැනේන ඇති.

    • දයා……දන්නේ නැද්ද ඉතින් …මතකේ තියන දේවල් ටික ලියලා දාන්න ඕන නිසා ලියන්න ගත්තා. දැන් ඉතින් ඉවරවෙනකම් ලියන්න වෙනවා..එක අතකින් දරුවෙක් මුණුබුරෙක් වත් දවසක කියවලා හිතාගනියිනේ මෙහෙම කාලයකුත් තිබුනා කියලා.

      දයා කවුද ලියලා තිබුනා මීමින්නා ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා. ලෙඩක් දුකක් නොවුනානම් ඌත් මම වගේම තව ටික කාලයක් ජීවත්වෙයි.

  21. “දයාරත්න..ඥානරත්න…ප්‍රේමරත්න….මට ඇසිඩ් ගැහුවා…මාව බේරගන්න” කතාව කිව්වාම මට මතක් වුනේ GRAMOPHONE RECORDS
    DO NOT BENDS
    කියලා ලේබල් කරපු පැතලි කවරයක් ලැබෙනකොට යටින් එකෙක් ලියලලු
    OF COURSE, THEY DO
    කියලා.

    ග්‍රැමෆෝන් රෙකෝඩ් දෙකම කෑලි කෑලිලු.

  22. මම හැමදාම මෙක කියවන්නේ නවකතාවක් කියවනවා වගෙයි. මේ ලියන්නේ ඔබේ ජීවිතය වුනාට මට නම් ඒක අසාමාන්‍ය රසවත් කතාවක්. ස්තූතියි අපි එක්ක බෙදා ගන්නවට.

    • පුංචි…..කොහෙද ටික දවසක් නොපෙනී හිටියේ? මගේ කතාව ටිකක් දුරට අසාමාන්‍ය ගතියක් තියෙනවා..මා වටා ඉන්න අනිත් අයත් එක්ක බැලුවාම මටත් එහෙම හිතෙනවා. ඒකම තමයි මා ගැන දන්න අය මේක ලියන්නයි කිව්වේ..අත්දැකීම් හා සිදුවීම් ලියන්න ලේසියි කෙටිකතාවක් නවකතාවක් ලියනවාට වඩා. මතකය නිරවුල් නම් වැඩේ ලේසියි. නිර්ව්‍යාජ විය හැකි නම් වඩාත් රසවත් වෙයි. ඕගොල්ලෝ තරුණ නිසා සමහර දේවල් අමුතුයි වගේ දැණෙයි.

  23. අරූගේ කතා කියෙව්ව විශේසයෙන්ම පාසල් කතා මට කල්පනා වුනේ මට එහෙම ඔය වගේ අපහසුතා වලට මුහුණදෙන්න වුනා නම් මම කීයටවත් ස්කෝලේ යන එකක් නෑ නේද කියලා. ඔයාගේ රුපියල් හතලිහ කීවම මතක් වුනේ මාත් පොඩි කාලේ සල්ලි හොයන්න සෑහෙන්න උත්සහ කලා. කොහෙද එක දවසයි බිස්නස් එකට එන්ටර් වුනේ. ඇඟිල්ල කැපිලා ගියා. මගේ බිස්නස් එකත් හබක්. ගුටි නොකා බේරුනේ යන්තම් ඇඟිල්ල කැපිලා අසරණ වෙලා හිටපු හින්දා වෙන්න ඕනේ. මගේ බිස්නස් එක වුනේ අපේ වත්තේ කැලේ තිබුන රසකිඳ වැල් කපලා විකුනන්න.

    • රංගී…..මම කොහොම හරි ඉස්කෝලේ ගියා වුනාට ඒවායින් එච්චර වැඩක් වුනේ නැහැ. මම කොහෙද කිව්වා වගේ සූලොජි මතක් කර කර මස් කපනවා..බොටනි මතක් කර කර එලවළු කපනවා…

      රසකිඳ වැල් නේද හැදෙන්නේ?

  24. හිරු says:

    මම එවපු ඊ මෙල් එක ඔයාට ලැබුණද අරූ.

  25. ඔයාගේ කියවන්න බැරි උන පෝස්ට් ගොඩක් තියනවා , අදවත් දෙක තුනක් ඉවර කරන්න ඕන , අර කවුද කියුවා වාගේ මේක දැනුම් සාගරයක් , ඒක හුස්මට කියවන්න පුළුවන්

    • අටමෝ…….උඹ හිමින් සැරේ කියවපං. යම්කිසි දැනුමක් තියෙනවානම්, මම ඒ සමාජය කියන විශ්ව විද්‍යාලයෙන් ලබපු දෙයක් තමයි බං. ඉස්කෝලේ අන්තිම කාලේ ෆුල් අවුට්.

  26. Tharu says:

    ඔන්න ඉඩක් ලැබුණු වෙලාවෙ මේ කොටසත් කියෙව්වා බොහොම කැමැත්තෙන්…

    • හෙමින් හෙමින් කියවගෙන එන්න….කවුරු හරි පිටිපස්සෙන් එන එකත් හොඳයිනේ.

  27. Miyuru says:

    අම්මෝ… හොඳ වෙලාවට ඇසිඩ් ගහපු කාලෙදි තාත්තා ගමේ ඉඳලා නැත්තෙ…
    බෝඩිම් මාරු කරන එක ගැන නම් කියලම වැඩක් නෑ අරූ… අළුතෙන් යන තැන මොන වගේ වෙයිදෝ කියන අවිනිශ්චිතභාවයත් එක්ක යන ගමන ඕනම නෑ… ඒ සමහර බෝඩිම්වලට යන එක මට දැනුනෙත් මහ බලුවීමක් විදියට…
    බාල්දි වැසිකිළි… ඊව්… මං ඉස්කෝලෙ යන කාලෙ එකක් දැකලා තියෙනවා… ඒවා අස් කරන හැටිත් දැකලා තියෙනවා… හරිම පව්කාර වැඩක්… තාත්තගෙ කතාව නම් පංකාදු පහයි…
    පෝස්ට් එක වගේම ලස්සනයි රවිගෙයි අරූගෙයි සංවාදෙ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s