අවුල් වන්නට පෙර (17)……දෙදෙනෙක් අඩුවෙයි….

මගේ ජීවිතය ගැන ලිවීමේදී, නිරතුරුවම එගොඩටත් මෙගොඩටත් එහා මෙහා යාමට සිදුවනු ඇත. මන්දයත් මුළු පාසැල් කාලය පුරාම මම එක් තැනක සිට පාසල් ගිය දරුවකු නොවීය. ඔබ විශ්වාස කරාවීදැයි මම නොදණිමි. හයවැනි පංතියේ සිට පාසලෙන් අස්වන කාලය දක්වා මම නවාතැන්පලවල් එකොලහක නැවතී සිට ඇත. ඔබ නම් පාසල් නොගොස් ගෙදරට වී සිටිනවා ඇත. මේ සියළුම තැන් එකිනෙකට වෙනස් වටපිටාවන්ය. එකිනෙකට වෙනස් මිණිසුන්ය. එකිනෙකට වෙනස් ආර්ථික පසුබිම්ය. එකිනෙකට වෙනස් මිනිස් ගතිපැවතුම්ය. මගේ පසුකාලීන ජීවන චර්යාවන්ට මේ අත්දැකීම් බොහෝසේ ඉවහල්වී ඇත. මට ඕනෑම සමාජයක ඒ ඒ ක්‍රමයන් තුලට සමාජගත වීමට ගතවන්නේ ඉතාම සුළු කාලයකි. මම නිහඬ නිරීක්ෂකයෙක්මි. මට මිණිසුන්ගේ චර්යා රටාවන්, හැඟීම් හැඳිණ ගැනීමට ඉක්මන් ඉවක් ඇතැයි සිතන්නෙමි. නමුත් මට පෞද්ගලිකව කෙනෙකුගෙන් සිදුවන වරදක් හෝ බොරුවක් , මම තේරුම් ගත්තා යැයි ඔවුන්ට කියනවා තබා හැඟවීමටවත් උත්සාහ නොගනිමි. මම එවන් දෙයක් නොදන්නා සේ හැසිරෙන්නේ ,ඔවුන් අපහසුතාවයට පත්වෙනවා දකින්නට අවැසි නැති නිසාමය. අදටත් මම එසේමය. මම සෙමින් සෙමින් ඔවුන්ගෙන් ඉවත්වීමට වග බලා ගන්නෙමි. නමුත් යුක්තිය සහ අයුක්තිය යන සාධකයේදී එය පහදා දීමත්, හරි දේ වෙනුවෙන් පෙනී සිටීමටත් මම පසුබට නොවෙමි.

මා වඩාත්ම ආදරය කල සත්වෝද්‍යානය සහ ඒ අවට පරිසරයට සමුදී පැමිණ අවසන්ය. සත්වෝද්‍යානය ඒ කාලයේදී මගේ ජීවිතයේ එක් කොටසක් වැනිය. මට ඇතිවු දුක්ඛ දෝමනස්සයන් පීඩාවන් මගහරවා ගත්තේ අරමුනක් නැතිව සත්තුවත්තේ එහාටත් මෙහාටත් ඔහේ ඉබාගාතේ ඇවිදිමින්ය. සතුන් දෙස බලාසිටීම සමහර මිනිසුන් දෙස බලා සිටීනවාට වඩා සොම්නසකි.

මා වඩාත් සිත්ගත්තේ සතුන්ට කෑම බීම ලබා දෙන වේලාවන්ය. ඒ වේලාවට එතැන එකම ගාලගෝට්ටියකි. විශාල සතුන්ගේ ගෝරනාඩුවත්, කුරුල්ලන්ගේ කිචිබිචියත්, සමහර සතුන්ගේ අසාසිටීමට නොහැකි අඳෝනාවත්, සේවකයින්ගේ කඩිමුඩියත් එකම එක රස ගුලාවකි. විශාල සහ රෞද්‍ර සතුන්ගේ සෑම කූඩුවක් තුලම තවත් එක් කුඩා වෙන් කිරීමක් ඇත. එය තවත් කුඩා කූඩුවක් වැනිය. කෑම වේලාවේදී එම කුඩා කූඩුවට කෑම දමනා සේවකයින් සතුන් එහි ඇතුල්වූ පසු එය අගුළු දමා මහා කුඩූව ශුද්ධ පවිත්‍ර කරති. ඉන්පසු ඉන් ඉවතට ගොස් සතුන්ට මහා කූඩුවට එන්නට ඉඩ හැර කුඩා කූඩුව පිරිසිඳු කරයි. මමත් සමහරක් කූඩු තුලට රිංගා උදව්කර ඇත.

නොයෙකුත් වර්ගයේ කෑම රැගත් විල් බැරැක්කද, කුඩා කරත්තද, මස් ගාතයන් වැනි දෑ රැගෙනයාමට කුඩා වෑන්ද, කොස් අතු, කිතුල් අතු ආදීය පටවා ගත් ලොරිද විය. එවැනි විශාල මස් ගාතයන් සත්තුවත්තේ තාප්පයෙන් එහාට පැන ඇවිදගෙන සමහරුන්ගේ ගෙවල් වලට ගිය කතාත් දන්නෝ දනිති. කුඩා දරුවකු සිංහයින් හෝ කොටින් සිටිනා ගැඹුරු වලකට වැටුනු කතාවක් අසා ඇත. ඇත්ත නැත්ත නොදණිමි. මේ වනවිට ඒ ලෝක ප්‍රසිද්ධ සත්වෝද්‍යානය ගැන අසන්නට ඇත්තේ දුක්බර කතා පුවතකි. පාලකයින් නිදිවදින ඕනෑම රටක , කූඩුකරපු එව්වෝ දුක් විඳින බව සත්‍යයකි. මේ අපිද ඊට අයත්ය. උන්ට හැකිනම් අපවද කූඩු කරනු ඇත.

මා මුලින්ම ලිව්වා සේ ඒ එගොඩය. මම දැන් මෙගොඩ ගැන ලියන්නෙමි. ඉහල තල්දූවේ අපේ ගෙදර එතරම් ප්‍රගතියක් පෙනෙන්නට නැත. එහාටත් මෙහාටත් පැද්දෙමින්, රළු සුළඟටත්, කඨෝර රැළි ප්‍රහාරයටත් හසුවී ඇති අපේ නෞකාවේ සුක්කානම දැන් සෙමින් සෙමින් අම්මා අතට පැවරී ඇති සැටිය. තාත්තා කරන්නේ වැඩට යාමත්, හැන්දෑවට ගෙදර ඒමත් පමණය. අපේ ගෙදර සිටිනා ඉන්ද්‍රක්කා, මේ වනවිට විවාහ පත්වන වයසට ආසන්න යුවතියකි. ගමේ රස්තියාදුවට පුරුදුවු එක් තරුනයෙක් නිතර අප නිවස අසලින් යෑමටත්, බයිසිකලය ගසකට හේත්තුකර ගේ අසල බෝක්කුව උඩටවී සිටීම ටික දවසක සිට පුරුද්දක්වී ඇති බවත් ඉන්ද්‍රක්කාද ඉඟිබිඟි නර්ථනයේ යෙදෙන බවත් අම්මාගේ ඇසට හසුවී ඇත. විජේපාල නම්වූ මේ තරුණයා ගමේ කුඩා කුඩා සොරකම් වලටත්, රැකියාවක් නොමැති නිසා රස්තියාදුවටත් හුරුවූ එකෙක් බව ගමම දණී. මෙය නොරිස්සූ අම්මා සියල්ලන්ගේම අවසරය මත ඉන්ද්‍රක්කාව ඥාති නිවසක නැවැත්වීමට තීරණය කලාය. ඒ සත්වෝද්‍යානයේ සේවය කල පෙරේරා අංකල්ගේ සහ නන්දක්කාගේ ගෙදරය. නන්දක්කා නම්වූ ඥාතියා ඉන්ද්‍රක්කාට වඩා ටිකක් වැඩිමහල් වුවත් දෙදෙනා යෙහෙළියන් මෙන් විය.

අප සමග එකට හැදී වැඩුනු අපේ කැත කුණුද අත ගෑ අපෙන් වෙන්ව දෙහිවල පදිංචියට ගියාය. එය අපට මහත් වේදනා ගෙන දෙන්නක් වූවත්, ඇගේ ජීවිතයේ කඩඉම් සළකුනක් වූවා නොඅනුමානය. ඉවුම්,පිහුම්,මැහුම්,ගෙතුම් ගැන මනා අවබෝධයක් තිබූ ඇය බොහෝ කාලයක් ඔවුන් සමගම දෙහිවලින් පානදුර දිබ්බැද්ද ප්‍රදේශයටත් ගොස් කාලය ගත කලේ මහත් සතුටිනි. පසු කාලයකදී අප දෙමව්පියන් සහ ලොකු අම්මා මැදිහත්වී ඇල්පින් බාප්පාගේ මිතුරකුවූ නන්දසේන අයියාට ඇය විවාහ කර දුනි. ආදරණීය පුතුන් දෙදෙනෙකුට මවක්වූ ඇය බොහෝ කලකට පසුව අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තාය. මම එය පසුව ලියන්නෙමි.

ඉන්ද්‍රක්කාගේ මවවූ ටේච්චීද ජීවත්වුයේ අප සමගය. ඇය උපතින්ම මන්ද මානසික තත්වයක පසුවී ඇති බව මම ලියා ඇත්තෙමි. එයද සියුම් ආබාධයක් පමණි. ඒ හැරෙන්නට ඇය ඉතාමත්ම නීරෝගීය. අපගේ ආර්ථික තත්වයත් අනිකුත් අපහසුතාවයනුත් තේරුම් ගත් අම්මාගේ තවත් ඥාතී මාමා කෙනෙකුවූ පොරෝලිස් මාමා ඉදිරිපත්ව, ඔහුගේ දරුවන් හා සමග ජීවත්වීමට ටේච්චීව එක්කන් යන ලදි. මේ මහඟු අවස්ථාව ටේච්චීට ලැබීම ගැන අදත් මට ඇත්තේ ඉමහත් සතුටකි. ඔවුන්ගේ ඒ විශාල නිවස තිබුනේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාංගනයට ඉදිරිපසින් ගාලු පාර අද්දරය. පොරෝලිස් මාමා මැණික් සහ ස්වර්ණාභරන ව්‍යාපාරිකයෙක් විය. සෑහෙන ධනයක් සතුවිය. ඔහුගේ සහෝදරයෙක් වූයේ වැල්ලවත්ත රෙදිමෝල අසල පදිංචිව සිටි එකල ප්‍රසිද්ධ චන්ඩියෙක් සහ චීනාඩි කාරයෙක්වූ ජේමිස් සිල්වාය. මමද කාලයක් ගල්කිස්සේ සිට පාසැල් ගියෙමි. මම රැකියාවක් කර අපටම කියා නිවසක් සාදා ගත්පසු ටේච්චීව නැවතත් අප තුරුලටම ගත්තේය. එයද පසුව ලියන්නෙමි.

අප පවුලේ සිටි ඉතාම සමීපයන් දෙදෙනෙක් දැන් අප සමග නැත. පිටස්තරයකුට සිටින්නේ එදා සිටම අප සමග සිටි පොඩි අයියා නොහොත් රොමානිස් නම් වැඩිමහල් පුද්ගලයාත්ය. පිටස්තරයෙක් යැයි කීම නොවටී. තාත්තාගේ යහළුවන්ද නැත. අම්මා ගෙදර පාලනය යම්කිසි තාක් දුරට අතට ගත් පසු, ඇතිවූ සිදුවීම් පවුලේ නඩත්තුව සඳහා මහත් පිටිවහලක් විය. අම්මා මාසයකට හෝ සති දෙකකට වරක් නුගේගොඩ පැමිණේ. එක් වරක් පැමිණෙන්නේ ආච්චීගේ විශ්‍රාම වැටුප එකතු කර ගැනීමටය. අනිකුත් අවස්ථාවන් වලදී ඇයගේ මිතුරියන්ගේ ගෙවල්වලත් අපගේ ඥාතීන්ගේ නිවෙස්වලත් උදය වරුව ගෙවා දමා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටුද එකතු කරගෙන හැන්දෑවේ තල්දූව බලා පිටත්ව යයි. මොවුන් බොහෝමයක් අම්මාට හැකි අයුරින් උදව් කලෝය. ඒ අපේ අම්මාගේ ඇති නිර්ව්‍යාජ නිර්ලෝභී උතුම් ගතිගුණවලට යැයි මට හඬනගා පැවසිය හැක. ඇය නමේ පමණටත් වඩා දයාන්විත ගැහැණියක් වූවාය. අදටත් එසේමය. බොහෝ අය ඇය ඇමතුවේ දයා, දයක්කා හෝ දයා පුංචී යන ආදණීය ඇමතුම් වලින්ය. දයාලාට මොනවා නැතිවුනත් ළමයින්ගෙන් නම් අඩුවක් නැතැයි සමහරුන් ඔලොක්කුවට කියන කතා අසා මම ලැජ්ජාවට පත්වී ඇතත් අම්මා ඒවා පයිසයකට ගනන් ගත්තේ නැත. ඇයගේ තටු අතරේ අප හොවා අප උනුසුම් කරනවා හැර අන් කිසිවක් ඇයට තඹ දොයිතුවකට මායිම් නොවීය. වචණයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දිරිය ගැහැණියක්ම විය. ලොවට උතුම් අපේ උතුම් ආදරණීය අම්මාම විය. ඇය නොසිටින්නට අප දරුවන් හත්දෙනාත්, අපගේ ආදරණීය තාත්තාත් කොහේ කොතනක සිටී දැයි කීමට කවුරුත් අපොහොසත් වනු ඇත.

එදා එක් එක් අයගේ කතාවලින් ලැජ්ජාවට පත්වූ මා, අද මහා ආඩම්බරයකින්…..උසින්ද මහතින්ද අඩුවක් නොවූ, ගුණ සුවඳින්ද බිඳක්වත් අඩුනොවූ ඒ සහෝදර සහෝදරියන් හයදෙනා සහ ඔවුන්ගේ පවුල්ද දරු දැරියන්ද පිරිවරාගෙන සිටින්නේ රටක් රාජ්‍යයක් ලැබුනාටත් වඩා සතුටින්ය. මම ඔවුන්ගේ ලොකු පුතාය.. ලොකු අයියාය..ලොකු තාත්තාය…ලොකු මාමාය. මම රජෙක්මි. මට අන් කිසි දෙයක් අවැසි නැත. මමත්, මගේ බිරිඳත්, අපේ දරුවාත් ඔවුන්ව රකින්නේ අපගේ පණ හා සමානවය. මගේ එක සහෝදරයෙකු මීට වසර දහයකට පමණ පෙර ඔහුගේ පලවෙනි දරුවා නම් කෙරුවේ මගේ නමිනි. ඒ මට ගෞරවයක් ලෙස යැයි ඔහු කියයි. අප සියල්ලම ඔහුට හිනැහුනේ ඔබ අවුරුදු හතලිහක් පමණ පිටුපස්සට ගොස් දරුවාටා පැරණි නමක් තැබුවා කියාය. අපේ තාත්තා වසර පනහකටත් පමණ පෙර මට තැබූ නිරංජන් යන නම එතරම්ම කැතක් නැත.

ප.ලි…….මගේ එක් නැගනියකගේ වැඩිමහල් දියණිය විද්‍යා අංශයෙන් ඔලිම්පියාඩ් නියෝජනය කිරීම සඳහා නොබෝ දිනකින් අන් සිසුන් සමග පිලිපීනය බලා පිටත්ව යෑමට නියමිතය. ඇය මාතර සුජාතා විදුහලේ බව කියන්නේ එම පාසලටද ගෞරවයක් වශයෙනි. අපි ඇයට සුභ පතමු!!!!!!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

69 Responses to අවුල් වන්නට පෙර (17)……දෙදෙනෙක් අඩුවෙයි….

  1. කාවා says:

    කාවටත් එක වෙන්න වරම්.
    ඇයි බං. කොටියම කාපන් කියලා දැන් අවුරුදු කීපයකට කලින් එකෙක් කොටිය හිටිය වලට පැන්නේ.

    • කාවා says:

      ෆිලික්ස් කාරයාමද බං සත්තු වත්තට මස් සප්ලයි කොරන්නේ.

      • මම කියන කාලේ නම් කාවෝ ෆිලික්ස් කාරයා පට්ටි දානවා ඇති හරක් බෝ කරන්න.

        හැබැයි මචෝ සත්තුවත්තේ ටෙන්ඩර් එක හම්බවෙන එකා ගොඩම තමයි. ඇයි බං සිංහයෝ කොටි ඇවිල්ලා කියනවා ඇයි….ෆීලික්ස් අයියා අද නම් කටු වැඩියි වගේ…..කියලා.

        මස් විතරක් නෙමේ මචං හැම ටෙන්ඩර් එකක්ම ගොඩ තමයි. මම හිතන්නේ ඔය ටෙන්ඩර් වැඩිය සද්ද බද්ද නැතිව ආඳා මොඩ්ල් එකේ යනවා ඇති.

    • කාවෝ……ඔහොම සිද්ධියක් වුන බව මතකයි. උඹ අහලා තියෙනවද ඔය මම කියන කතාව . පොඩි දරුවෙක් වැටිච්ච එක.

      • silentsahan says:

        අරූ ,

        අපි 48 ඉඳන් මිනිස්සුන්ට දුන්නේ/ගත්තේ වැරදි ආදර්ශ.. ඒ කාලේ ෆීලික්ස් කරා..අද වෙන කෙනෙක් කරනවා.. එකම වෙනසයි එදා සහ අද අතර තියෙන්නේ.. ෆීලික්ස්ලා නැහුණේ ” සමාජ ප්‍රතිරූපය ” උදෙසා..

        අද අය නැහෙන්නේ ” මුදල්/ධනය/බලය/ ” සඳහා…. හෙට පත් වෙන අය ……?

      • සහන්…….මේ කතාව හරි. අපි යන්නෙම වැරදි ආදර්ශ උඩ. අපි ඕනෑම තැනක අල්ල ගන්නේ වැරදි තැනින්. ඊට පස්සේ අත ඇරවගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. එතකොට ටූ ලේට්. හරි තැනින් අල්ලගත්ත ටික දෙනා පවා සුළු කලකින්, බොහෝදෙනා අල්ලගත්ත වැරදි තැනටම මාරුවෙනවා.

        සහන් කියන ෆීලික්ස් ඩයස් බංඩාරනායකලා ධනවතුන් නිසාම ඔවුන්ට ඕනකම තිබුනේ නංවාගත් ප්‍රතිරූප තව තවත් වර්ධණය කර ගන්න තමයි. කාවා කියන ෆීලික්ස් පෙරේරලාට නම් එකම ටාගට් එක මුදල් සහ බලය තමයි.

        සහන්…හෙට ගැන නම් කවර කතාද?

  2. ලොකු අවුලකින් ඉන්න වෙලාවට ඇවිත් දැන් මම ඔබ ලියන ඒවා ආපහු ආපහු කියවලා යනවා. අපි දුක් වින්දා කියලා හැමදාම පට්ට ගැහුවට ඇත්තෙන්ම අපි දුක අර්ථ දක්වන්න දන්නෙ නෑ කියලයි ඔබේ සටහන් කියෙව්වාම මට හිතෙන්නේ.
    ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දුන්නම අන්තිමට ප්‍රශ්න ආවම බොහෝම සැහැල්ලුවෙන් ඒවට මුහුණදෙන්නත් අපිට පුළුවන් වෙන්නේ මේ වගේ අපි විඳපු දුක් හින්දම වෙන්නත් ඇති.

    • ///ලොකු අවුලකින් ඉන්න වෙලාවට ඇවිත් දැන් මම ඔබ ලියන ඒවා ආපහු ආපහු කියවලා යනවා. /////

      රංගි…..ඔබ එහෙම කරනවා…මම බොහෝ වෙලාවට එහෙම අවුලක් උනාම , අපි හිටිය තැන මතක් කරනවා. ඒක හිතට ලොකු ආශ්වාදයක් ගෙනත් දෙනවා. අපි ඉන්න රට මොකක් වුනත් තාමත් ජීවිතය හා බැඳි ආර්ථික අරගලය එක්ක පොර බඳිනවා. මුදල් කියන සාධකයට වඩා සමාජ වටිනාකම් ගැන මෙනෙහි කරනවා. රෝල් වෙවී ගමනේ යනවා. ඒ ගමන කටුකයි. හැබැයි හිත නිදහස්. මම දකින සැහැල්ලුව ඒකයි.

  3. ඩිලාන් says:

    ඕනම පවුලක පැවැත්ම තියෙන්නේ අම්මා අතේ තමා මම දකින විදිහට,,,ඔය ජේමිස් සිල්වා නම මම පත්තරේක දැකලා තියනවා,,,ඇන්ටන් ජෝන්ස්ගේ බයිලාවකත් තියනවද මන්දා

    • ඩිලාන්……මා දන්නා බොහෝ පවුල්වල පිරිමියා ගෙදර ආර්ථික සම්පාදකයා වුනාට ගැහැනිය තමයි පවුලේ පැවැත්ම සුරක්ශිත කරන්නේ. ඒක අපේ අම්මා කරා. දැන් මගේ ආදරනීය බිරිඳ කරනවා.

      ඔය ජේමිස් සිල්වා කියන චරිතය ඒ කාලේ හරි ප්‍රසිද්ධයිලු. ප්‍රසිද්ධ නඩුවකට සම්බන්ධයි කියනවා. වැඩි විස්තර මා සතුව නැහැ.

  4. Kenji @ Japan says:

    ඔබගේ ලිපි කියවද්දී මට හැම තිස්සෙම පෙනුන දෙයක් තමා පාසල් සමයේ සිට ඉවසීම කොතරම් කළමනාකරණය කල කෙනෙක්ද කියා.
    ඔබ අද සිටින තැනට ඒමට ඉගෙනුම සමග ඒ ඉවසීම ඉවහල් වෙන්න ඇති කියලයි මා සිතන්නේ.
    අද තරුණ පරපුරට ඔබව ආදර්ශයක් මචං.
    හැංගිලා ඉදපු උඹව අපි අතරට ගෙනාවට අපේ මාතලන් ලොක්කට මල් මිටක් පුදනවා.
    ප.ලි : දැන් ඒක අහයිද දන්නේ කොහෙද බං ඔහේ මල් …මෙහේනේ මල් කියල …

    • කෙන්ජි මචෝ…ඉවසීම කියන්නේ ඔක්සිජන් වගේ දෙයක් බං. අඩුවුනොත් කලන්තේ. නැතිවුනොත් මරණය. මමත් මල පැනපු වෙලාවට කරලා තියෙන වැඩ අනන්තයි. හැබැයි ලබපු ප්‍රයෝජනයක් නැහැ. අපි මොනවා කිව්වත් ටික ටික වයසට යනකොට තමයි ඕවා වැටහෙන්නේ.

      මචං මාතලන් නිසා තමයි මම ආපහු ලියන්න ගත්තේ. ඌ මම ලියපු දෙයක් දැකලා තමයි ආපහු ලියපන් කිව්වේ. එක ඉස්කෝලේ වුනාට අපි පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. නලීන් තමයි මේ වගේ දෙයක් ලියපන් කිව්වේ. නැත්නම් මම ගොඩාක් ලිව්වේ පොලිටික්ස් වලට බර දේවල්…මාතා ආපහු මිසින්ග් නේද…බිසි ඇති.

      මලට මම කැමතියි. ඉඳලා හිටලා සිපගන්නවා.

  5. මාත් හිතන විදියට ගෙදරක් ගෘහ මූලික පිරිමියාට වඩා හොදට ගැහැණියකට පාලනය කල හැකී. අපේ ගෙදරත් පාලනය අම්මා තමා තාත්තා මුදල් ඉපයීම පමණයි. දැනටත් අම්මම තමා පාලනය ලොකු ලේලි විදියට මගෙ ප්‍රියම්බිකාවට අම්මා දැන් පාලනය ටික ටික පුරුදු කරනවා.

    ඇත්තටම අරූ අයියෙ, තවත් මිනිහෙක් අපි ඉස්සරහා අපහසුතාවයෙන් ඉන්න එක තරම් අපහසු තාවයක් තවත් නෑ.
    අර කියපු ටික නම් මල් හතයි
    “සතුන් දෙස බලා සිටීම සමහ‍ර මිනිසුන් දෙස බලා සිටීමට වඩා සොම්නසකි.”

    • තව නූලෙන් අමතක වෙනවා
      අරූ අයියාගෙ නැගණියගෙ දුවට මාත් හදවතින්ම සුභ පතනවා!!!
      අපේ රටටත් පාසලටත් ඇගේ ජයග්‍රහණයේ සතුට සැමරීමට හැකි වේවා!!.

      (අරූ ‘අයියා’ කියලා කතා කලාට හරිනම් වයසින් බලත්දි ‘මාමා’ කියලයි කතා කරන්න ඕන. කමක් නෑනෙ ‘අ‍යියා’ කියලම කතා කරන්නම්. 😉 )

      • ප්‍රියා පුතේ බොහොම ස්තූතියි…උඹට ඕන දෙයක් කියලා අමතපන්…නෝ ප්‍රොබ්ලම්…නෝ වොරීස්!

    • ප්‍රියා……මුදල් කළමනාකරණය මම වගේ අයට හරිම අමාරුයි. සාක්කුවේ තියෙන ටික ඉවරවෙනකම් හරියට නින්ද යන්නෙත් නැහැ. ඕක තමයි අපේ තාත්තාටත් උනේ..අපේ ගෙදර බොහෝමයක් සහෝදරයින්ටත් ඔය ගතිය තියෙනවා. ඒක ලොකු දුර්වලතාවයක්. බරපතල වැරැද්දක්. මම විවාහවුනාට පස්සේ මගේ පඩිය බිරිඳට දෙනවා. මගේ පඩිය කීයද කියලා අහලත් නැහැ. අහන්නෙත් නැහැ. අවංකවීම තමයි මූලික වෙන්නේ. මගේ අවශ්‍යතාවයන් මාසය පුරා මට ලබාදෙනවා. වාතයක් නැහැ. කරදරයක් නැහැ.

      කොච්චර වැරදිකාරයෙක් උනත් මගේ ඉස්සරහ අපහසුතාවයට පත්වෙනකොට පොලව පලාගෙන යන්න හිතෙනවා. මට ඒ වැඩේ කරන්න බැහැ. ඒකත් එච්චරම නිවැරදි නැහැ කියලා හිතෙනවා. නමුත් ඒ මගේ හැටි. මොනවා කරන්නද.
      ///“සතුන් දෙස බලා සිටීම සමහ‍ර මිනිසුන් දෙස බලා සිටීමට වඩා සොම්නසකි.”////
      මේ තත්වයනම් එන්න එන්නම ඇත්ත වේගෙන යනවා. ඇයි ඒ?

  6. මම ඉහල තල්දූව ප්‍රදේශය හඳුනාගත්තේ 1971 දී පමණ. එදා සහ අද අතර මම දකින එකම වෙනස නම් පාරට කාපට් දැමීම පමණකි. ඉහල තල්දූව කණිෂ්ට විද්‍යාලය තිබුන තැනමය. පාර කාපට් කළ නිසා පන්සලේ පඩිපෙළ සහ තාප්පය කඩා නැවත හැදුවා පමණි. තල්දූවේ සෝමාරාම හාමුදුරුවන්ගේ බෙහෙත් කුටියවත් ප්‍රදර්ශනය කරන්නේ නැත. ‘පික්චරස්ක් මවුන්ටන් වීව්’ හෝටලයත් පටන්ගත්ත ගැම්මෙන් දුවන බවක් නොපෙනේ. (මිල්ල…..ට මොකද වුනේ?)

    සත්වෝද්‍යානයේ වටිනාකම විනාශවීමට එහි සමහර සේවකයන්ද වගකිවයුතුයි. එක කාලයක් තිබුනා ගිරවුන්ට සහ වෙනත් එවැනි කුරුල්ලන්ට කුණුහරප කියන්න උගන්වපු. ඒවා කලේ සත්වෝද්‍යානය බලන්න එන අය නෙවෙයි.

    • විචාරක…..1971 දී අපි තැඹිලියාන ඉහල තල්දූවට ගිහිල්ලා තිබුනේ නැහැ. විචාරක මට වයසින්ද, දැණුමෙන්ද මුහුකුරා ගිය කෙනෙක් බව ඔබේ ලිපි කියවීමෙන් දැණගතිමි. එය සතුටට කරුණකි. ඔය Picturesque Mountain Inn එක වෙන්න ඕන අපි පසුව හිටිය තැන. පන්සල ඉස්සරහට වෙන්න තිබුනා හේනේ මාමාගේ ගෙදර. අපි රෙදි දෙන්න ගියාම එතන පොඩි පීල්ලෙන් නාලා එහෙම තමයි එන්නේ. විචාරකට කියන්න දෙයක් නැහැ ඒ පලාතේ ලස්සන ගැන. ඒක ඔබ දන්නවා.

      මේ කියන්නේ මොකක් ගැනද? /////(මිල්ල…..ට මොකද වුනේ?)///////

      සත්වෝද්‍යානයට සේවයක් උනේ ලින් ද අල්විස් මහත්මයාගේ කාලේදි විතරයි. සේවකයෝ කරපු දේවල් ගැන පොතක් ලිව්ව හැකි විචාරක. දැන්නම් සත්තු හරියට මැරෙනවාලු නොසැල්කිල්ල නිසා. ඊයේ පෙරේදාත් වටිනා සත්තු මියගියා. වෙලා තියෙනවා නම් මේ ල්[පිය කියවන්න.
      http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=91&Itemid=1

      • අර හෝටලේ අයිතිකාරයාට කියන nickname එකෙන් කෑල්ලක් මම මිල්ල කියලා කිව්වේ. ස්තුතියි අර ලින්ක් එකට. මම දෙහිඕවිට හිටිය කාලේ අපි කොල්ලෝ බජාර් එක අවිස්සාවේල්ලේ සංගීත සංදර්ශන බලලා එනගමන් පාන්දර හතරට විතර ඔය පීල්ලේ උපන් ඇඳුමෙන් නානවා. ඒ දවස්වල ඒ වෙලාවට පාරේ වාහන නැහැ. ඒ සංගීත සංදර්ශන වලදී අපි දැක්කේ ඔරිජිනල් ගායකයෝ. දැන්වගේ ‘ඩුප්ලිකේට් ඉස්ටාර්’ ලා නෙවෙයි.

      • විචාරක තවත් සොඳුරු පැත්තක් විවර කලා. අවිස්සාවේල්ලේ සංගීත තිබ්බ ග්‍රවුන්ඩ් එක ඉස්සරහ තමයි තාත්තාගේ ඔෆිස් එක තිබුනේ. නවනන්දන විජේසිංහ, ෆ්‍රෙඩි සිල්වාගේ කොමඩි කෑලී, රෝලන්ඩ් පෙරේරාගෙ ෆයර් ලිම්බෝ, එම්. එස්. ප්‍රනාන්දුත් එක්ක එන සැක්ස් ගහන සෙබා, ජෝති, මිල්ටන්ලා, ඉන්ද්‍රානි පෙරේරා ඇතුලු ත්‍රී සිස්ටර්ස් මතකයිනේ. ලියන්නකෝ විචාරක හොඳ පෝස්ට් එකක් ඔය ගැන.

  7. කතාව ඉවරද ..? අන්තිම කෑල්ල එච්චර ඇල්ලුවේ නෑ, නිකන් ඉවර කරන ලයින් එකක් තිබ්බේ …මොකද නම ඒ තරම්ම කැත නෑ කිව්වේ?

    • ආ මගෙනුත් සුබපැතුම් නංගිට ..(ඔයාට දුව වුනාට අපිට නංගී හරිද?)

    • පවුලූශා……කොහේ ඉවරකරන්නද බං? දැන්ද කොහෙද පටන් ගත්තේ. අම්මා ගැන ලියන කොට සංවේදී වැඩිවෙනවා. ලියන එක වෙන පැත්තකට දුවනවා. දැන් ඒ දුක නැහැනේ කියලා හිතිලා. නම නම් එච්චරම කැත නැති බව දන්නවා. ආස හිතුනා ලියලා බලන්න.

  8. අරූගේ නම “නිරන්ජන්”ද එතකොට.තාත්තා දයාරත්න බව දන්නවා.අම්මත් දයා ද..?
    අරූගේ මේ කතාව ඇතුලේ හැංගිලා තියෙන දේශපාලන යථාර්තයට මම හරි කැමතියි.

    • අමතක වුනා අරූ දුට මගෙත් සුබපැතුම්…!!!

    • මනෝ…උඹේ කම්පියුටර් ලෙඩේ හදාගෙන වගේ නේද? සතුටුයි ඒ ගැන. අපේ ගෙදර ඩබලම දයා. මම “දයා සහ නයා” කියලා පෝස්ට් එකක් ලියලා තියෙනවා. වෙලා තියෙන වෙලාවක කියවපන්. නිරංජන් කියන්නේ මගේ මැද නම. ඉස්කෝලේ බොහෝ අය මාව දන්නේ A.N. කියලා.

      මගේ පෞද්ගලික කතාවත් එක්කම සමාජ යථාර්තයත් ඔබ්බවා ගෙන යන්න තමයි ගොඩාක් දුරට ට්‍රයි කරන්නේ. බලමු බං.

  9. තිසර says:

    උඹයි මායි සෑහෙන දුරින් නෑදෑයොත් වෙන්න ඉඩ තියනවා… මගේ බිරින්දෑගේ දෙමාපියන් දිබ්බැද්දේ…

    ඒක නෙමෙයි, නිරන්ජන්, “අරු” වුනේ කොහොමද?

    • තිසර…..ඔය නන්දක්කා සහ පෙරේරා අංකල් දිබ්බැද්දේ තමයි පදිංචිය බොහෝ කාලයක් ඉඳලා. පෙරේරා අංකල්නම් මියගියා. පුත්තු පානදුර රාජකීය ගියේ. ඉස්කෝලෙට ක්‍රිකට් ගහපු බවත් මතකයි. අරු මගේ නම. අනිත් එක දෙවෙනි නම. උඹේ උපදෙස්වලට ස්තූතියි.

  10. රාජ් says:

    උඹේ නම කාලයට වඩා සෑහෙන්න ඉදිරියෙන්. මම නං ඔය වයසෙ නිරංජන් කෙනෙක් ගැන අහල නෑ.
    අර දෝනිට සුභපැතුම්. උඹේ දෝනි මේ කතා බලනවද?

    • silentsahan says:

      ඇයි බන් රාජ් අපේ දියවඩන නිළමේ තුමා.. එතුමට දැන් කීයක් ඇතියි කියලයි හිතන්නේ…? අනිවා 65 ට එහා.. රංජන් මොකද නිරංජන් මොකද නෙරන්ජන් මොකද…එතුමාගේ පියා තමයි සුප්‍රකට අනුරාධපුර නගර සැළසුම හදපු කෙනා..නිශ්ශංක විජේරත්න… ( මගේ අයියා කෙනෙකුත් ඉන්නවා “රංජන” කෙනෙක්..)

    • Kenji @ Japan says:

      මොකෝ බං දත් මාලිගාවෙ හිටපු බුවා…

      • Kenji @ Japan says:

        දැනුයි දැක්කේ සහන් මල්ල හරි
        නෙරංජන්

    • මචං රාජ්…..මචං කිව්වාට ගනන් ගන්න එපා. ඒක හෘදයාංගමයි. ඔය සහනුයි, කෙන්ජියි කියන කෙනාට අමතරව තවත් ප්‍රසිද්ධ නාකි නිරංජන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රභලයෙක් වෙන නිරංජන් දේවාධිත්‍ය. Nirj Dewa කියලා තමයි ලෝකේ දන්නේ. යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. ඊට පෙර මෙහේ මහජන නියෝජිතයෙක්. කොළඹ ශාන්ත ජෝශප් සිසුවෙක්. දැන් අවුරුදු 65යි.

      බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවකට ඡන්දෙන් පත්වෙච්ච දෙවැනි ආසියානුවා.
      යුරෝප පාර්ලිමේන්තුවට එංගලන්තය නියෝජනය කරමින් පැමිණි පලවෙනි කොන්සර්වේටිව් සාමාජිකයා.

      ඊයේ පෙරේදා සජිත් සහ විලියම් හේග් (විදේශ ඇමති )ඉන්න ෆොටෝ එකක් තිබුනා ලංකාවේ පත්තරේක. ඒ සාදය තිබිලා තියෙන්නේ Nirj Dewa ගේ ලංකාවේ ගෙදර. කැමරොන් එක්ක බුවාත් එන්න ඇති.

      අපේ දෝනි මේක කියවන බව මම දන්නවා. එයා ඉංග්‍රීසි.justpara-dont.blogspot.co.uk/?m=1 බ්ලොගක් ලිව්වා අවුරුදු කීපයකට පෙර. දැන් යුනි වැඩ වැඩියි කියලා ලියන්නේ නැහැ. මෙච්චර දවස් මම ලියපුවා සමන් කියලා මගේ යාළුවෙක් පොඩි පොතක් වගේ ප්‍රින්ට් කරලා දුන්නා. දුව ඒක බයින්ඩ් කරලා දුන්නා සීයාට කියවන්න යවන්න. අපේ තාත්තාට කොම්පියුටර් බැහැ. අර දෝනිට උඹේ සුභ පැතුම් දෙන්නම්.

      මගේ රිප්ලයිස් දිග වැඩියි. සමාවෙයන්.

  11. helapayaa says:

    උඹගෙ ලිවීම දැන් දැන් පරිනත වෙමින් පවතිනවා,කතාව ගැනනම් කියන්න දෙයක් නෑ හරිම හිතට කාවදිනවා,අම්මල ඔහොම තමයි පෙනුමට නැතිවුනාට හිතේ මහා විශාල කෙනෙකුට හිතා ගන්න බැරි තරං ශක්තියක් තිබෙනවා ,මකාද මමත් එය අත්දැක තිබෙන නිසා මටත් ලියන්න පුළුවනි.
    අර දුවට මගෙනුත් සුබ පැතුම්.

    • අනේ මම දන්නේ නැහැ හැලපේ …ඔහේ ලියාගෙන යනවා. අකුරු වැරදි, ව්‍යාකරණ වැරදිනම් අනන්තවත් ඇති. උඹ රවීගේ කමෙන්ට් එක දැක්කද? හිනා කාලා මැරෙනවා.

      අම්මා කියන්නේ ලියලා ඉවර කරන්න පුළුවන් පොතක් එහෙම නොවේ මචං. හැම දුකක් වේදනාවක් දරාගෙනම ළමයින්ව ලොකු කරනවා. හැම අම්මාම එහෙම තමයි හැලපේ. ඒ හෙලපු හැම කඳුළක්ම සිනහාවක් කිරීම ළමයින්ගේ යුතුකමක්.

      ඒ දුවට සුභ පැතුවාට ස්තූතියි.

  12. Mayya says:

    නම නෙරංජන් කිව්වට අරුණ කෑල්ලකුත් තියෙනවා නේද?

    දුවට සුභ පැතුම්…

  13. Maathalan says:

    උඹගේ පෝස්ට් මම දැන් කීප සැරයක් කියවන්නේ නෑ.. නවකතාවක් කියවන්න ලෑස්ති වෙනවා වගේ… නිරවුල් හිස් මනසකින් ඇවිත් බොහොම හෙමිහිට කියවගෙන යනවා.. ඒ දැනෙන හැඟීම් විස්තර කරන්න වචන නෑ.. හැලපේ කිව්වා වගේ උඹ දැන් මාර පරිනතයි වගේම.. අමුතු දාර්ශනික බවකුත් තියෙනවා.. ගොඩක් උන් මට කින්ඩිය දායි.. මට මෙතෙක් වීරයා වෙලා උන්නේ.. “සඳරූ”… ඒත් දැන් නම් එදා මෙදා තුර දැක්කා හොඳම රචකයා උඹ මචං..

    //මේ වනවිට ඒ ලෝක ප්‍රසිද්ධ සත්වෝද්‍යානය ගැන අසන්නට ඇත්තේ දුක්බර කතා පුවතකි. පාලකයින් නිදිවදින ඕනෑම රටක , කූඩුකරපු එව්වෝ දුක් විඳින බව සත්‍යයකි. මේ අපිද ඊට අයත්ය. උන්ට හැකිනම් අපවද කූඩු කරනු ඇත.//

    හැකිනම් නෙමෙයි බං කූඩූ කරලා අවසානයි.. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.. විකල්පයක් පේන තෙක් මානයක නෑ..

    • Maathalan says:

      කෙලි පැටියට විස් කොලා කියහන් බොක්කෙන්ම….

    • මම ආසම බ්ලොග් අතරින් එකක් තමයි සඳරූගේ බ්ලොග…ඌ හරිම නිර්ව්‍යාජ විදිහට ලියන්නේ. අනිත් එක උගේ ස්ටයිල් එකට මම ආසයි. කොලනි ග්‍රාමියත්වය එහෙමම තියෙනවා. මේ දවස්වල රූපවාහිනියේ යනවා ගිරිකුළ කියලා නාට්‍යයක්. ශාන්ති දිසානායක ලියපු නවකතාවක් ඇසුරෙන්. එක හොඳයි. මට සඳරූ මතක්වෙනවා. ඒක පැරණි කොලනි ආශ්‍රිත කතාවක්.

      මගේ පරිනතකම ඩබල් වෙන්නේ මාතා ඩබල් එකේ ඩබල් දෙකක් දාගත්තාම. උඹ දන්නවානේ. නහින දෙහින කාලේ හිතට සැප අඩු කරන්න නරකයි මචෝ:D දැන් අඩිපුඩි ගහන්නේ ගතට නෙමේ හිතට.

      ///හැකිනම් නෙමෙයි බං කූඩූ කරලා අවසානයි.. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.. විකල්පයක් පේන තෙක් මානයක නෑ./////.

      ඔව් බං ඒවා ගැන හිතනකොට නම් ඔළුව මොන්ගල් වෙනවා. මිනිස්සු පණ දාගෙන වැඩ කරනවා..ඒකෙන් බිල් ගෙවනවා හැරෙන්න වෙන නිදහසක් නැහැනේ.

      • සිරා says:

        මගෙත් බ්ලොග් පූර්වාදර්ශය සදරුවාම තමයි…උගෙ ඒවා කියවෙලා කික් වෙච්ච පාර තමයි සිරාගෙ කාමරේ ඇරියෙ හිස් අහසෙ තියෙන ගැජට් ඔක්කොම ඒ විදියටම අමුණගෙන…

  14. Ravi says:

    අරූ,

    ණියමයි අරූ..උඹෙ මහප්පරාන දැමිළ්ළ දැං උඹේම අණණ්‍යතාවය වෙලා..ඒකෙ තියන්නව අපූරු සුණ්දරත්වයක්…අම්මාපල්ල මටත් හිත්නව එහෙම ළියණ්න…හෙහ්, හෙහ්..

    අන්තිමට උඹ කියාපු උදාන වාක්‍යය මචං කිසි අඩුවක් නැතුව මටත් කිව්වැකි. උඹලගෙ තරම් අපෙ පවුල විශාල නොවුනට මමත් පවුලෙ වැඩිමලා. මටත් අද පුළුවන් දීර්ඝචාරිකාවකට පස්සෙ අපෙ උන්දැ එක්ක මඳක් ඉසිඹු ගෙන නැවතිලා ආපහු පසුකර පැමිණි මාර්ගය දිහාවෙ හැරිල බලන්න.දුක්බර සිදුවීම් එමට තිබුනත් මචෝ අවංකව සතුටු වෙන්න පුලුවන්..ආය ඒකෙ දෙකක් නෑ..අබේවර්ධන බාල සූරිය කියනව වගේ ” අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී.”

    නංගිගෙ දුවට සුබ පැතුම් මචං..ජයග්‍රහනය ලබා රටට කීර්තියක් ගෙන ඒමට ඇයට හැකියාව ලැබේවා!!!

    • රාජ් says:

      උඹත් ලිව්වනං හරි. උඹේ අර පෝස්ටු මාලාව මම කියෙව්වෙ බොහොම කැමැත්තෙන්. කොහෙද දැං ඒක නෑනේ.

      • Ravi says:

        රාජ්,

        නෑ බොලේ මම මටත් හිතෙනව එහෙම ලියන්න කියල කිව්වෙ මේකගෙ මේ මහප්පරාන දැමිල්ල ගැන 😀

        මගෙ කතාව බං එහෙම දිගට ලියන්ට තරං දැං ඉතුරු වෙලා නෑ..පේම පුරාණවල් සැරිං සැරේ ලිව්ව.අත්තම්ම එක්ක මතක සටහන් කීපයක් ලිව්ව. ඉස්කෝලෙ කාලෙ සීන්ස් මතක් වෙන මතක් වෙන ගානෙ ලිව්ව. රස්සාවට ගියාට පස්සෙ එව්ව අර වාංපතුල් කතා වලදි ලිව්ව.

        අපෙ උන්දැ එක්ක වෙච්චි හෙයියම්මාරු තමයි ලිව්වෙ ” ගුරුවරියක සමඟ මගේ ජීවිතය ” රාජ් කියන්නෙ ඒ ගැන නේද? මට මතකයි උඹ දෙතුන් පාරක් අහල තිබ්බ මොකද ඒකට උනේ කියල..ආයම ලියන්න ඕන බං ආයම ලියන්න ඕන…ඉක්මනටම..ඉක්මනටම 🙂

        බොහොම ස්තූතියි මල්ලි …..

    • රවී…….හැම කෙළියකටම වඩා අමාරුයි බං මේ මහාප්පරාන කෙළිය..මේකත් හරියට අර කැපිටල් අකුරෙන් ලියනවා වගේ නේද? වස ලැජ්ජයි. ඒත් මහාප්පරාන වලින් ලියන හින්දා මහා ආඩම්බරයකුත් නැතුවා නොවේ.:
      අර අජිත් තිලකසේන මහත්මයා නම් හොඳ මහත්මයෙක්. ඒ මහත්තයා වගේ නෙමේ මට ව්‍යාකරණත් බැහැනේ බං හරියට.

      මට හැම තිස්සෙම ඕන වුනේ අපේ මුළු පවුලත් එක්කම එකට නැගිටින්න. ඒක ඒ විදිහටම කරන්න මගේ බිරිඳ දීපු සහයෝගය කියලා නිම කරන්න බැහැ මචෝ. එයාගේ පවුලේ අයට උදව් කරන්න ඕන තරම් කරදර තිබුනේ නැහැ. අපි දෙන්නාම වැඩ කරා. ඊට පස්සේ මල්ලිලා නංගිලා එකතු උනා ආර්ථික සටනට. වයිෆ්ගේ අම්මා. තාත්තා, පවුලේ අය හරියට උදව් කරා. අපේ පවුල් දෙක එක පවුලක් උනා. අදටත් එහෙමයි. හැමෝම කාලා බීලා සරල සතුටු ජීවිතයක් ගෙනියනවා. ඒ හොඳටෝම ඇති. හැම දරුවෙක්ම තම තමන්ට පුළුවන් විදිහට හොඳට ඉගෙන ගන්නවා. අපේ දෝනි ඒ හැමෝටම ආදර්ශයක් වුනා. රවී බොක්කෙන්ම ස්තූතියි සුභ පැතුමට.

  15. මුලින්ම අහන්න තියෙන්නේ කතාව ඉවරද …. ඉවරනම් අහන්න දේවල් ගොඩයි ….. කොහොම උනත් ඔයා පරම්පරාවක් ගොඩගත්ත කෙනෙක්….. චිත්‍රපට නාට්‍යය වල තමයි අපි වැඩිපුර එහෙම චරිත දකින්නේ අත්තටත් එහෙම කෙනෙක්ව දැනගෙන සිටීම ගැන සතුටුයි …..
    අර “ඔයාලගෙ” දුවට අපේ සුබ පැතුම් එකතු කරන්න

    • රාළේ…..කොහේ ඉවර කරන්නද යකෝ….මේක මහාවංශේටත් වඩා දිගයි. උඹලාටත් එපා වෙයි..එහෙම වුනත් මේක ලියලා තියෙන එක හොඳයි. මේ වගේ ජීවිත පහුකරපු අය තව ඕන තරම් ඇති. පල්ලෙහා කැන්ඩියන්ගේ කමෙන්ට් එක බලපන්. චිත්‍රපටිවලත් ඉන්නවා නොම්බර එකේ හීරෝලා නේද රාළේ….සුභ පැතුමට ස්තූතියි.

  16. Kandyan says:

    වෙනද වගේම මේ එපිසෝඩ් එකත් කියෙව්වා … හ්ම්ම්… බලාගෙන ගියාම අපි හැමෝගෙම ජීවිත එක වගේ… නම් ගම් විතරයි වෙනස්!

    • කැන්ඩියන්…..මෙහෙම ගමන් ගිය තවත් අය ඉන්න එක ලොකු ආඩම්බරයක්. එක තැනකදි එක කාලයකදී මගේ ජීවිතේ වෙනසක් වෙනවා. ඒක උඹලා පහුකරලා නැතුව ඇති. ඔහොම යන්…කූල් එකේ කියවපන්.

  17. සිරා says:

    සත්ව උද්‍යානය ගැන මගේ අදහස මම කලිනුත් කියපු නිසා ඒ ගැන ආයෙමත් කියන්නෙ නෑ…මම කියවන බ්ලොග් අතර අපි නොදැක්ක අතීතයක සුන්දරත්වය විදින්න පුලුවන් මේ ලියවිල්ලෙන් විතරයි කියන දේ මම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි…

    සහෝදරියගෙ දුවට සුභ අනාගතයක් පතනවා…

  18. අරූ, සිද්ධිය කුමක් වූවත්, ඔබ කියන පරිදි ඉන්ද්‍රක්කා ගේ චරිතය සංවේදීය.
    ඔබේ ඥාති දියණියටද සුභ පතමි෴

    • අරූ, සිද්ධිය කුමක් වූවත්, ඔබ කියන පරිදි ඉන්ද්‍රක්කා ගේ චරිතය සංවේදීය.
      ඔබේ ඥාති දියණියටද සුභ පතමි෴

    • ඔව් නිර්මලා ඉන්ද්‍රක්කා හරිම ධෛර්ය්‍යමත් උතුම් කාන්තාවක්. ලොකු පුතා අපිත් එක්කත් හිටියා කාලයක්..ඉන්ද්‍රක්කාට පියයුරු පිළිකාවක් හැදිලා එක් පැත්තක් ඉවත් කරන්න වුනා…එතැනින් පස්සේ ඒ මිනිහා වෙනස් වුනා. මම ඒ ගැන ලියන්නම්.

      සුභ පැතුමට ස්තූතියි!

  19. ඉතාමත් ආසාවෙන් උඹේ ජීවිතයෙන් බිඳක් කියැවූයෙමි. මමත් උඹ මෙන්ම යමෙකු හඳුනාගත් පසු ඔහු හෝ ඇය හිතට එකඟව ඇසුරැ කල නොහැකිනම් බොරැවට මුහුණට සිනාසී මිතුදම නමට පවත්වා නොගෙන ටික ටික ඔවුන්ගෙන් ඈත්වන්නෙකි.
    අද උඹේ නමත් දැනගතිමි. නිරංජන්!!
    ඒ සමඟම උඹගේ නැඟෙණියගේ දියණියටත් සුභ අනාගතයකට සුභ පතමි!!! උඹට ජය!!!!

    • ඔව් බං බොරුවට මූනිච්චාවට කරන ආශ්‍රය කාලය කා දැමීමක්. ඒකෙන් උඹටත් අනික් එකාටත් දෙන්නටම ඵලක් නැහැ. උඹ දන්නවානේ Friend සහ Companion අතර වෙනස.

      උඹේ හෘදයාංගම සුභ පැතුමට ස්තූතියි.

  20. අර අක්කට සිද්දවුනේ මොකක්ද කියල ලියන් බලන්න හොඳ වෙලාවට අර හොරාගෙන් බේරුනේ ඔබේ දියණියට මාගේ සුභපැතුම්

    • කෝරලේ……ඉන්ද්‍රක්කාට වෙච්ච සිදුවීම් දුක සතුට සහ අවසානය මරණයෙන් කෙලවර වුනා. අපි කාටත් පොදු ධර්මතාවය. ඒ සිද්ධි මම ලියන්නම්. හොරා ගැනත් තියෙනවා පොඩ්ඩක් ලියන්න.

      දුවට සුභ පැතුවාට ස්තූතියි.

  21. Dilini says:

    Kohomada me site eka follow karanne?

    • මේ කිටියාගේ අයිතිකාර දිලිනිද? ඔය පල්ලෙහා පේන නොපෙනන තැනක Follow ගැජට් එක තියෙනවා නේද? ඔයා Follow කරනවා කියලා මෙසේජ් එකක ආවා මට. දැන් හරිද ඒ කියන්නේ.

      • Anonymous says:

        ඔව් ඔව්. දැන් හරි යන්තම් 🙂 ඒත් මගෙ බ්ලොග් රෝලෙ නම් අප්ඩේට් වෙන්නෙ නෑ 😦

  22. damith says:

    අරු අයියෙ ඉස්සෙල්ලාම දුවට සුබ පතනව.
    උබගෙ කතාවෙදි මමත් සන්වෙදි වෙනව වැඩියි අයියෙ.උබගෙ ජාතීයෙ අම්මෙක් මටත් ඉන්නව.ගැනියකට එච්චර හයියක් තියෙනවද කියල හිතෙන.
    ඔය ජෙමිස් සිල්ව හාරලක්ශෙට සම්බන්දයිද මන්ද?

    • උඹ මීට ඉස්සෙල්ලා දාලා තියෙන කමෙන්ට්ස් එක්ක මට බොහෝ වෙලාවට හිතිලා තියෙනවා දමිත්ගේ අම්මා පවුලේ බර හොඳින් කර ගහපු කෙනෙක් කියලා.උඹ සංවේදී වෙන්නේ බොහෝ දුරට ඒ අත්දැකීම් ස්පර්ශ කෙරුව කෙනෙක් නිසා. ඒ ආදරනීය අම්මාට කියපන් තවත් එවැනි අය ඉන්නවා කියලාත් ඉදිරියටත් ඉඳීවී කියාත්.

      මම ඇයට හද පතුලෙන්ම දීර්ඝායුෂ පතමි!!!!

      පොඩි එකීට සුභ පැතුවාට ස්තූතියි.

      ජේමිස් සිල්වා හාරලක්ශයට නෙමෙයි වෙන ප්‍රසිද්ධ නඩුවකට සම්බන්ධ බව ඇහිලා තියෙනවා. හරියටම දන්නේ නැති නිසා කියන්න බැහැ.

  23. පිරිමි දැනුවත්ව හෝ නොදැනුවත්ව අනන පවුල් ගොඩ දාන ශක්තිය කාන්තා පාර්ශවයට උපතින්ම ලැබුණු දෙයක්ද කොහෙද ..

    මගේ ජිවිතයේ ඇති බවලත් උදවිය ගැන හිතපුවම දරා ගැනීමේ හැකියාව අතින් වගේම අපි හදිස්සියට කරන්න හදන දේවල් දිහා Objective විදිහට බැලීමට හැකියාවත් වැඩියි කියලයි මට හිතෙන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s