අවුල් වන්නට පෙර (19)….රාජකීය තැඹිලි..

රාජකීය විදුහලට ඇතුල්වූදා සිට ගෙවීගිය වසර කිහිපය ඇතුළත එතැනින් මෙතැනටත්, මෙතනින් එතනටත් නවාතැන් මාරු කරමින් ගතකළ මගේ ජීවිතය තවත් සංධිස්ථානයකට ගොඩවී ඇත. ඒ මම කවදාත් ප්‍රියකළ දෙල්කඳ, ගංගොඩවිල ප්‍රදේශයට නැවත පැමීනීමත් සමගය. දැන් මා නැවතී සිටින්නේ දෙල්කඳ අපට උරුමව තිබූ නිවසට යාබදව ඇති ලොකු අම්මාගේ නිවසටය. තවමත් එම නිවසේ කොටසක් කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය වේ. අනිත් කොටසේ ලොකු අම්මාත්, දියණියත්, ආච්චීත්, මාත් පදිංචි විය. පොඩි අයියා නම්වූ රොමානිස් හාමි නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එලා රාත්‍රිය ගත කරන්නේය.

මා කුඩාකල සිටම ළඟින්ම ඇසුරුකළ අය අතරින් එහා වත්තේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ අය විශේෂිත වූහ. පිරිමි ළමුන් හතරක් සහ ගැහැණු දරුවෝ දෙදෙනෙකු වූහ. ඒ කිසිවෙක් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දැක්වූ අය නොවේ. මගේ වයසේවූ ආනන්දද පාසැල් ගමන් අතහැර ඇත. මට වඩා වයසින් බාලවූ මහින්ද පමණක් ගංගොඩවිල රේවත විදුහලේ පාසැල් ගමන අතහැර නැත. මොවුන් එම ප්‍රදේශයේ විසු දක්ෂ වඩු කාර්මිකයන් වූ අතර පියාගේ වියෝවෙන් පසු වැඩිමල් පිරිමි දරුවන් තිදෙනාම වඩු මඩුවේ වැඩ දිගටම කරගෙන යන බව පෙනේ. රූබන් අයියා යයි මුළු ගමම හඳුනන මොවුන්ගේ පියා මිය ගියේද අධික බීමත් කම නිසාමය.

පාසැල් යෑම පිළිබඳ මගේ තිබූ අවධානය දිනෙන් දින බිඳ වැටී ගියේ මේ කාලයේදී යැයි කිව්වොත් එය නිවැරදිය. පාඩම් වැඩ අතපසු කිරීමත්, යන්නන් වාලේ පාසැල් යාමත් හැර මගේ ප්‍රියතම කාලය ගතකරේ ජෝරිස්ලාගේ වඩුමඩුව තුළය. වඩුමඩුව තිබුණේ අප කුඩාකල හැංගිමුත්තම් කෙරූ ලී මඩුවට යාබදවය. ලී මඩුව පවත්වාගෙන ගියේත් ජෝරිස්ලාගේ ඉඩමේම වෙනත් ව්‍යාපාරිකයෙක් විසින්ය. ජෝරිස් පවුලේ සොයුරන් සමග එකතුවී යතු ගෑම, ලී ඉරීමට සහයෝගය දීම, ලී කුඩු ,යතුකුඩු, පිළිස්සීම වැනි වැඩවලින් කාලය කාදැමීමත්, හැන්දාවරුවේ දාම් ඇදීමත්, ඕමි ගැසීමටත් පුරුදුවී සිටි මා කළුවර වැටන විට ගෙදරට ගොඩවීමටත් පුරුදුවී උන්නෙමි. රාජකීය විදුහලේදීත් ප්‍රාග්වෘත්තීය විෂයට වඩු වැඩ වෙනුවට මැටිවැඩ කෙරූ මා, වඩුමඩුවේ කාලය ගෙවීමට උනන්දු වූයේ කුඩා කල සිටම මිතුරු ඇසුරට ලොල්වු නිසා විය යුතුය.

උසස්පෙළ හැදැරීමට යාම සදහා ඇති විභාගය සමත්වීමට උනන්දුවක්ද නොවීය. ආච්චීද, ලොකු අම්මාද කොතරම් අවවාද කළත්, තරවටු කළත් කිසිම දෙයක් මායිම් නොකළ මුත්, යම්කිසි අවවාදයකට අනුශාසනාවකට කන් දුන්නානම්, ඒ මා මුලින්ම නැවතී සිටි ගෙදර නැන්දාගේ බාලපුතාවූ ආනන්දසිරි අයියාට පමණි. ඔහු ඈතින් සිට හෝ එනවා දුටුවොත් වඩුමඩුවී පිටිපස්සෙන් පැනගොස් ගෙදරට ගොඩවී සිටියා මිස එයිනුත් නිසි ප්‍රයෝජනයක් ලැබුවේම නැත. අප පවුලට පසු කාලයකදී බොහෝ උදව් පදව් කර ඇති , සුරාසූදුවෙන්ද තොර මේ උතුම් මිනිසාව 1988 දී කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි. එය වෙනමම ලිවිය යුතු පරිච්ඡේදයක්ය. පාසැල අවසන්වූ පසුත් ක්‍රීඩා පිටියටවී ක්‍රිකට් ගැසීම හෝ නවරඟහලේ සවස තුනට පැවත්වෙන නාට්‍යයක් ඇත්නම් නොමිලයේම එයද නරඹා යෑමේ පුරුද්දක්ද විය. නාට්‍ය නැරඹීම සඳහා පාසල් කාලයෙන් පසු රැඳී සිටිමද පහසු කාර්‍යයක් නොවීය. ඒ සමහර ගුරුවරුන් පාසල් වේලාවෙන් පසුත් නොයෙකුත් වැඩ වෙනුවෙන් ඒ අවට ගැවසීමය. ක්‍රීඩපිටියේ නම් ළමයින් ක්‍රීඩා කටයුතු සඳහා රැඳී සිටිනා නිසා ප්‍රශ්නයක් නොවීය. ජීවිතයේ පසු කාලයකදී නාට්‍ය නැරඹීම මගේ ප්‍රධාන විනෝදාංශයද විය.

අම්මා දෙල්කඳ පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් පමණි. ආච්චී, ලොකු අම්මාගේ තනියට ඇය සමග පදිංචිවී සිටියත් විශ්‍රාම වැටුප දෙන්නේ අම්මා අතටය. ලොකු අම්මා මේ ගැන කිසිදිනෙක උරන නොවූ අතර, අපගේ පවුලේ ප්‍රශ්න ගැන සොයා බැලුවේ අම්මාත්, ඇයත් අතර තිබූ සහෝදර බැම්ම මෙපමණැයි කියා කිව නොහැකි නිසා විය යුතුය. ආච්චී තම විශ්‍රාම වැටුපෙන් කීයක් හෝ ඉතිරිකර ගත්තා නම් ඒ ඇයගේ බුලත්, දුම්කොළ වියදමට පමණය. අම්මා දෙල්කඳට පැමිණ නෑ හිතවතුන්ගේ ගෙවල්වලටත් ගොඩවී ඔවුන්ටත් උදව් පදව් කර ලැබෙන ප්‍රතිඋපකාරයක්ද රැගෙන හැන්දා වරුවේම පහත්ගම බලා පිටත් වෙයි. ඇයට දැන් දැන් මා ගැන විමසිලිමත් වීමට කාලයක් නොමැති සේය. තවත් දරුවන් හයදෙනෙක් නඩත්තු කිරීම ලෙහෙසි පහසු වැඩක්ද නොවේ. මේ කාලය තුළ මා ගෙදරින් බොහෝ දුරට සිතින් ඈත්වී සිටියාදෝ යැයි හැඟීමක් මට දැන් දැනේ.

මේ සියලු සිදුවීම් මැද්දේ මම ජීවිතයේ තවත් කඩඉමක්වූ උසස් පෙළ හැදෑරීම සඳහාවූ විභාගයට මුහුණ දුන්නෙමි. ඒ සඳහා කිසිම පෙර සූදානමක් නොවූ අතරම, මතකයේ ඇත්තේ විභාගය ලිව්වා යැයි කියන්න පමණය. එයින් පසු ප්‍රතිඵල නිකුත්වන කාලය අතරතුර මගේ ජීවිතය ඉතාමත් නරක ලෙස රස්තියාදුවේ ගත කිරීමට පෙළඹවිය. දැන් ඒ සිදුවීම් සිහිකිරීමේදි නම් අපූරු අත්දැකීම් ලෙස සිතුනත් පාසැල් වියේ සිසුවෙක් එවන් ක්‍රියාවන්ට පෙළඹීම කිසිසේත්ම සුදුසු නොවේ.

වඩු මඩුවේ මිත්‍රයින්ගේ වෘත්තීය දක්ෂතාවය නිසාම ඔවුන් ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේදි වහලවල් ගැසීම, දොර, ජනෙල්, උළුවහු තැබීම වැනි රාජකාරී වලටත් අතගසා තිබුණී. මේ කාලයේ පාසැල් යාමක් නොතිබූ නිසාත්, ගෙදර නොගොස් දෙල්කඳටවී සිටීමට දැක්වූ කැමැත්ත නිසාත් කාටත් හොරෙන් මමද වඩු කාර්මීක සොහොයුරන් සමග අත් උදව්වට ගියෙමි. ඉනිමං අල්ලා සිටීම, වහල උඩ සිටිනා අයට ඇණ, රීප්ප සැපයීම වැනි ප්‍රාථමික වැඩ කටයුතු කරදීම මට පැවරිණි. හැන්දෑවට කීයක් හෝ අතමිට මෙලවීමටත් ජෝරිස් වැඩිමහල් සොහොයුරෝ පසුබට නොවීය. මේ මුදල් කඩචෝරු කෑමට වියදම් කළා මිසක් අන් දෙයක් නොකෙරුණි. වරක් ආච්චීට බුලත් රැගෙන ගොස් දුන්විට ඇය ඒවා ගේ අසලම කාණුවට විසිකර මට පහරක් දෙකක් ගැසූ බවද මතකය. මගේ මුදල් මටම සඟවා තබා ගැනීමට සිදුවිය. මා ඉගෙනගත් වඩු වැඩක්ද නොවීය.

කුඩාකල සිටම දන්නා තවත් කොලුවෙක් වූයේ සුනිල්ය. මොහු පහේ හයේ පංතියේම සිට පාසල් ගමන අතහැර දැමූ එකෙක් විය. ඔහු දැන් අත් කරත්තයක තැඹිලි, පොල්, කොස් පටවාගෙන ගම අවට ප්‍රදේශවල විකුණමින් ජීවිත සටනට උරදෙමින් සිටී. කාලය කොතරම් දුරට මිනිසුන්ට ජීවිත අත්දැකීම් ලබා දෙනවා දැයි සිතෙන්නේ මට මා ගැන සිහිපත් වෙන විටය. ඒ නිසා ඊළඟ ඡේදය සටහන් කර තබමි.

මා කියවමින් සිටින අසම්මත විචාරය නම් ග්‍රන්ථයේ ප්‍රස්තාවනාව ලියා ඇති සී.එච්.කේ.ගුරුදෙනිය මහතා එම පොතේ කතෘ ජයතිස්ස කුමාරගේ මයා ගැන මෙසේ කියයි.
” ත්‍රාසය, භීතිය, හාස්‍ය, කුතුහලය මෙන්ම සංවේදිජනක හැඟීම්වලින්ද ගහණ වූ තම භාවපූර්ණ ජීවිත අත්දැකීම් අව්‍යාජව ගෙන හැර දක්වනුයේ ඔහු තුළ සිටින්නාවූ අව්‍යාජ මිනිසා පාඨක හදවතට වඩාත් සමීප කරවමිනි. ළමාවියේ සිටම ඔහු ලබා ඇති බොහෝ අත්දැකීම් කතුවරයා ඉතා සමීපව ඇසුරු කළ අයෙකුට හැරෙන්නට බහුතර පාඨකයාට තම ජීවිත අත්දැකීම් හා සැසඳීමේදී බොහෝ විට අභව්‍ය සිදුවීම් හා ප්‍රබන්ධ ලෙසද හැඟී යා හැක. කුඩා කල සිටම ඔහු ලද ඉතා සියුම් අත්දැකීම් පිළිබඳ පවතින ධාරණයද විස්මය දනවන සුළුය. මෙයට හේතුව කතුවරයා තුළ පවතින සංවේදී භාවය හා වත්මනෙහි පොත පතට පමණක් සීමාවී ඇති සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය කුඩා කල සිටම ඔහු තුළ පිටා තිබීම යැයි මට හැඟේ”

මා හට මෙවැනි උතුම් ගතිගුණ නොමැති වුවත් ඒ උපුටා දැක්වීම අඩු වැඩි වශයෙන් මගේ ජීවිත කතාවටද අදාළ නිසා ලියා තැබුවෙමි.

මම සුනිල්ගේ අත් උදව්කරු වුයෙමි. අපේ නෑදෑ නිවෙස් පසුකර ඈතට ගියාට පසුවත් ගමෙන් ඈතට වෙන බව හැඟුණ විටත්, ඔහුට මහන්සිවූ විට කරත්තය තල්ලු කිරීමටත්, තැඹිලි තැඹිලි යැයි කෑ ගැසීමත් අලුත් අත්දැකීමක් එක්කල බවනම් ඇත්තය. නමුත් මගේ මේ දඩබ්බර ක්‍රියාපටිපාටියන් අවට පදිංචිවී සිටී නෑදෑයින්ට ආරංචිවීම නම් එතරම් සතුටුදායක නොවීය. නැන්දාකෙනෙක් මට කේන්තියෙන් කිව්වේ මේ අපේ රෝයල් කොලෙජ් තැඹිලි වෙළෙන්දා කියාය. මේ නිසාම අම්මාට නිතර නිතරම දෙල්කඳ බඩගෑමටත්, තම ලොකු පුතු මෙවන් තත්වයකට පත්වීමත් හිත රිඳුම් දෙන කාරණයක් වෙන්නට ඇත. නමුත් මේ කිසිවකට සවන් නොදී මගේ දඩබ්බර ජීවිතය ගෙවීයන්නට මම ඉඩහැර ඇත්තෙමි. මේ විඳින්නේ වයසට ගෝචර නොවූ වල්බූරු නිදහසක් යැයි ඒ කාලයේ නොසිතෙන්නට ඇත. රාජකීය තැඹිලි කාරයෙක් වීමෙන් මා උගත් ව්‍යාපාරික ඥානයක් නැත. එය දැන්නම් සොඳුරු අත්දැකීමක්මය.

දෙල්කඳ ගංගොඩවිල වනාත පාර නුදුරේමවූ ජෝරිස්ලාගේ වඩුමඩුවද තිබු ඉඩම ඉතා විශාලය. මේ ඔවුන්ගේ දේපලය. මේ ඉඩමේ කවුරුත් පදිංචිව නොසිටී කුඩා නිවසක්ද විය. මෙහි පදිංචියට තරුණ යුවලක් පැමිණියෝය. ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වූයේ මිරිස්. කහ, තුනපහ, තේකොළ, කෝපි වැනි ද්‍රව්‍ය කුඩාම කුඩා පැකට් ලෙස සකසා කාඩ්බෝඩ් පත්‍රිකාවලට සවිකර සිල්ලර කඩවලට සැපයීමය. දැන් ඔබ දකිනා Sachet සංකල්පය හා සමානය. එකල ජනතාවගේ ආර්ථික තත්වය කොතරම් දැයි කිවහොත් මිනිසුන් බොහෝ විට මිලදී ගන්නේ එක වේලකට දෙකට ප්‍රමාණවත් මෙවැනි කුඩා පැකට්ය. මේ ගැන මතක අය සිටිනවා යැයි මම දනිමි. අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ. කුඩා පොලිතින් පැකට් තුළට තේ හැන්දක් හෝ දෙක තුනක් දමා ඉටිපන්දමෙන් පුච්චා සීල් කිරීමත්, නිම කරනා පැකට් ප්‍රමාණයට අනුව ගෙවීම් සිදුකිරීමත් විය. මමත් ජෝරිස් පවුලේ ගැහැණු දරුවනුත්, වඩු වැඩ නැති දිනයන්හීදි අනිකුත් එවුනුත් මේ වැඩේට සහභාගි විය. පාරේ රස්තියාදුවක් නැති නිසාත්, නැදෑයින්ගේ දෝෂාරෝපණයක් නැති නිසාත් ආච්චීත් ලොකු අම්මාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ.

මේ අතරතුර සිදුවු දෑ බොහෝ ඇත. ඒවා පසුව ලියන්නෙමි. විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මට සිදුවී ඇති බව දැන ගතිමි. මම සතුටුවූවාද නැද්ද යන්න ගැන මට මතකයක් නැත.

ප.ලි………..අද නම් අක්ෂර ගැටලු ඇත්නම් බෙල්ලෙන් අල්ලා ගත යුතුවන්නේ මගේ නොව…අප හිතවත් සුබස ගෙනි.

වැඩ කටයුතු කිහිපයක් නිසා බ්ලොග් ලිවීමටත් වඩා කැමති කියවීම අතපසු විය. සමාවන්න. නැවත ඔබලාගේ රසවත් සටහන් කියවීමට හෙට සිට පිවිසෙන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

83 Responses to අවුල් වන්නට පෙර (19)….රාජකීය තැඹිලි..

  1. //අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ.// අනිවාර්යෙන්ම 😀 මේක මඩොල්දූව කියවනවා වගේ…. 😀

    • සින්දුවෝ……මඩොල්දූව මතක් වුනේ මොකෝ උඹට වයලීනුවා එක්ක පැනලා යන්න හිතුනාද?

      ඔව් බං නැවත ඒ යුගයට හයි ස්පීඩ් එකේ යනවා කියලා හිතෙනවා මේ බජට් එක ගැන කියවනකොටත්. අපේ පරම්පරාවේ අය නම් තව ටික කාලයක් මෙහෙම ගෙවයි..උඹලාගේ පරම්පරාවට තමයි මේවාට මුහුණ දෙන්න වෙන්නේ.

  2. Ravi says:

    / මම ජීවිතයේ තවත් කඩඉමක්වූ උසස් පෙළ හැදෑරීම සඳහාවූ විභාගයට මුහුණ දුන්නෙමි. /

    ඒයි අරූ..මට තේරෙන්නෙ නෑ බං උඹ මේ මොකද්ද කියන්නෙ කියල…ජ.පො.අ.ස. ගැනද ඔය කියන්නෙ?..76 දෙසැම්බර් වල තිබ්බ එක..

    • ඔව් බං ඔව්. ඒක තමයි..නම අමතක වෙලා හිටියේ.දැන් හරි. ඒකයි එහෙම ලිව්වේ. NCGE…

      • Ravi says:

        හෙහ්,හෙහ්, මට හිතුන එහෙම අලකලංචියක් තමයි කියල..

        ඔන්න අපි ඊලඟට මාස හයක් හිටියෙ බං උ.ජා.අ.ස. පංතියෙ හරිය? H.N.C.E….. උඹ ඒකත් අමතක කරගෙන තව මොකක් හරි ඒකටත් කියයි කියල ඔන්න කලිම්ම කිව්ව. 🙂

      • තෑන්ක්ස් රවී….මතක් කරාට. ඉස්කෝලේ ගියාට වඩා නොගිහින්නේ හිටියේ බං.

      • Kandyan says:

        මාත් NCGE බෝට්ටුවේ තමයි! කවුරු මොනවා කිව්වත් මං හිතන්නේ NCGE /HNCE ලංකාවට ගැලපෙන ක්‍රමයක්. ප්‍රේමදාස උඩුගම තමයි ගෙනාවේ. නුවර කන්ද උඩ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල්, යාන්ත්‍රික ඇඳීම, ප්‍රාග් වෘ. ට කරපු ලී වැඩ ලෝහ වැඩ, කෘෂිකර්මය.. පහු කාලයේදී ගොඩක් ප්‍රයෝජනවත් උනා. HNCE වලට ඉස්කෝලෙට අල්ල්පු ගමේ කරපු ව්‍යාපෘති නිසා community development ගැන ඉගෙනගන්ට හම්බ උනා. ආපහු පරණ AL වලට මාරු කරපු නිසා අකාලයේ ඉස්කෝලෙ ගමන නතර කරා.. දිගාමඩුල්ලේ කම්මලට සංක්‍රමණය උනේ ඒ නිසා. දැන් ආයෙමත් සමහර විෂයන් ඉස්කෝලවල උගන්වන්ට පටන් අරන්.

      • @කැන්ඩියන්…….ප්‍රේමදාස උඩගම මහතා මෙහි නිර්මාතෘ කියා කියනවා….බෝගොඩ ප්‍රේමරත්න මයාගේ සම්බන්ධය කුමක්ද?

      • Ravi says:

        අරූ,
        අධ්‍යාපන ඇමති – ආචාර්ය බදිඋද්දීන් මහමුද්,
        අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් – ආචාර්ය ප්‍රේමදාස උඩගම
        විභාග කොමසාරිස් – බෝගොඩ ප්‍රේමරත්න

      • @Ravi….Thanks machan!

  3. Kenji @ Japan says:

    >> අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ.<<
    හිතන්න දෙයක් නැහැ රෝයල් කොලේජ් තැඹිලි වෙළෙන්දෝ,ඒ යුගෙට ඇවිල්ල ඉවරයි.
    ඔබ ඔය කියන වයස මම හිතන්නෙ හුගක් කොල්ලන්ට අමුතු ඇම්මක් එන කාලයක් කියල මට හිතෙනවා.
    ඔබගේ කතා කියවද්දී මම ඔය වයස පසු කල ආකාරය මතක් වනවා.

    • මෙන්න වැන්දා කෙන්ජයියේ,මතක් වුනාට කමක් නෑ කියන්න එපා .අපි වගේ පොඩි එවුනුත් මේක බලනවා ඉඳගෙන 😀

      • Kenji @ Japan says:

        ඔතන දාන්නේ නැහැ දැන් මගේ එකක් තියෙන ව නේ ඒකෙ දානවා.
        මෙයා බබා :).

    • @ කෙන්ජි…..යුගයට ඇවිල්ලා කියලා තේරෙනවා මචං..මට කෙනෙක් කිව්වා සමහර වතු ආශ්‍රිත ප්‍රදේශවල කිරිපිටි හැඳි ගානට විකුණනවා කියලා. මේවා ලොක්කන්ට තේරෙන්නෙ නැද්ද මන්දා.

      වල බහින්න පටන් ගන්නේ ඔය කාලේදීනේ කෙන්ජි. උඹත් සැප වලවල් වල බැහැලා ඉන්න ඇතිනේ.

  4. පාසලේ දී pre-vocational සඳහා උගත් මැටිවැඩ හවස් කාලයේ practice කරන්නට ලැබීම කොච්චර වාසනාවක් ද?

    • හා.හා…කකාගේ මේ හියුමර් එකට මම හරි ආසයි..මම ඒක බොහෝ තැන්වල දැකලා තියෙනවා. මැටිවැඩ ප්‍රැක්ටිස්…නියමයි කකා…නොකිය කියන එකත් ආට් එකක් නේ.

  5. ඩිලාන් says:

    ඔබ මේ සදහන් කරන කාලය අපේ රටේ ගොඩක් අය ඉතාමත් දුක් විදපු කාලයක් නේද,,මොකද මගේ මව්පියනුත් ඔය වගේ කතා පවසලා තියනවා,මොනවා උනත් අද කාලේ ළමයෙක් මේ වගේ කට්ටක් කනවා ගොඩක් අඩුයි,තරුන වයසෙදි උනත්,මේ කට්ට නිසාම ජීවිතේ ඕනම අභියෝගෙකට මූන දෙන්න නම් ශක්තියක් ලබා ගන්න පුලුවන්

    • ඩිලාන්…..ඔය කියන කාලේට ආසන්න කාලවලදි තමයි බල්ලොයි, මිනිස්සුයි එකට කුණුබක්කි ඇවිස්සුවා කියන්නේ. මිනිස්සු අතේ මුදල් ගැවසුනේ නැහැ. කෑම බීම හිඟයි. ඒ නිසාම තමයි සිරිමාවෝ ආණ්ඩුව 1977දී විශාල පරාජයකට මුහුණ දෙන්නේ.

      දැන් ළමයි කට්ට කන්නේ මසුත් එක්ක. මට සමහර වෙලාවට දැන් ළමයිගේ ලයිෆ් ස්ටයිල්ස් දැක්කාම හිනාත් යනවා..ඒ අපහාසයකට නොවේ..මගේ කාලය මතක් වෙලා. හැබැයි ඒ දවස්වල මොකක් හරි ජොබ් කට්ටකට සෙට් වෙන්න පුළුවන් කමකුත් තිබුනා.

    • kathandarakaraya says:

      අම්මා තාත්තා සමගින් ලොකු අක්කී
      අයියා මල්ලිලා සහ ගෙයි බලු කික්කී
      අදිනා බව තන්න සෙයමින් කුණු බක්කී
      දන්නේ නැහැලු තව හොරගොල්ලේ ලොක්කී

  6. maathalan says:

    වෙන කියන්න දෙයක් නොමැත. ඔව වයසේදී මාගේ ජීවීතය ගලාගෙන ගියේද ඔය ආකාරයටමය. තොරණහංදියේ රස්තියාදුගැසීම මගේ ප්‍රියතම විනෝදංශය විය. මේ සෙට් එකත් එක්ක සෙට් උනේ එල්ලේ ගැසීමට ගිය නිසාය. ඊට පස්සේ මෝල් කලන්තේ ඔළුවට ගැසුවාය. ඒතරේ කෙල්ලන්ගෙන්ද බේරීමක් නැති විය. ලංසි කෙල්ලෝ මගේ ප්‍රියතමයෝ විය. ලංසි පවුල් වල ජීවන රටාව මා මැව් සිහින ලෝකය වෙත මා රැගෙන ගියේය. අවසානයේ ඒ ජීවන රටාවෙන් මිදුනේ. තොරණහංදියේ සිඳුවු මිනීමැරුමක් නිසාය. එම මිනීමැරුම මා ජීවිතය ගැන අළුතෙන් සිතන්නට පුරුදු කලේය. මිනිසුන් මිනිමරාගන්නේ කුමකටද යන්න ගැන මම මගේම අධ්‍යයනයක නිරත විය. නමුත් මා එහිදි ඉගෙනගත් දෑ බොහෝය. එමෙන්ම ඔවුන් අදත් මගේ හොඳ මිතුරෝය.
    උඹ ලියපු විදියටම වගේ ලිව්වේ මටත් එහෙම ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ලෙවල් පේපර් එකක් ගැන පට්ට සිද්දියක් තියෙනවා.. වෙලාවක් ලියන්නම්.

    • මාතා….උඹට ගොඩක් ලංසි සෙට් ආශ්‍රය කරන්න හම්බවෙලා තියෙනවා වගේ. තොරණ හංදියේ පැත්තේ බර්ගර් කට්ටිය හිටියාද? දාපන්කෝ බලන්න තොරණේ විස්තරයක්…ලයිටුත් එක්කම.

  7. හිතවත් මිතුර, නුඹ කොළඹත් ,මා රත්නපුරයට ආසන්න ගමක වීමත් හැරුන කොට , නුඹ ලියන්නේ මගේම කතාවදැයි මට සිතේ. නුඹ ගේ පළමු ලිපියේ සිට ම කියවූ නමුත්, පළමුවෙන් අද කොමෙන්ටුවක් කොටන්නට සිතුනේ මගේ බොහෝ අත්දැකීම් නුඹ ලියනා නිසයි.

    • සිසිර…….සතුටුයි දැනගන්න ලැබිච්ච එක මං වගේම නොයෙකුත් මාවත්වලට එබිකම් කරලා බලපු අය ඉන්න එක. හැම තත්පරයක්ම අත්දැකීමක්නේ සිසිර..හොඳ හෝ නරක..

      රත්නපුර පැත්තෙත් මම ටිකක් කරක් ගහලා තියෙනවා මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා වගේ. උඹ බ්ලොග් එකක් ලියනවාද? මොකක් හරි අටවගෙන කුරුටු ගාන්න පටන් ගනින්. වෙලාව හොයා ගන්න එක තමයි වැඩේ නේද? අදසක් ලියලා පලයන් පුළුවන් වෙලාවට. අපි සිතිවිලි සංවාදයකට එක් කරමු.

      • මම බ්ලොග් ලියන්නේ නම් නැහැ .නමුත් තුනේ පන්තියේ විතර ඉඳන් පිස්සෙක් මෙන් පොත් කියෙව්වා විශේෂයෙන් පරිවර්තන .විදේශ ගතවී අවුරුදු 11ක් නිසා පොත් කියවීම අඩු උනා . දැන් අවුරුදු තුනක විතර ඉඳන් බ්ලොග් කියවනවා රෑට පැය 3-4 ක් .මේ දිනවල ලංකාවට ඇවිත් නිසා ටිකක් වෙලාව අඩුයි .උඹ දිගටම ලියාපන්,උඹ,හැලපේ තිලකසිත ,ලියන්නා .ඉවාන්.නිදහස් සිතුවිලි,මගේ ලිස්ට් එකේ මුලම ඉන්න උන් .ඒ පිට කසා ගැනීමෙන් ඔබ්බට ගොස් යමක් උඹල ලියන නිසා .ස්තුතියි .සුභ පැතුම් !

  8. “දැන් ඒ සිදුවීම් සිහිකිරීමේදි නම් අපූරු අත්දැකීම් ලෙස සිතුනත් පාසැල් වියේ සිසුවෙක් එවන් ක්‍රියාවන්ට පෙළඹීම කිසිසේත්ම සුදුසු නොවේ” ඔහොම තමයි හැම වැඩිහිටියම හිතන්නේ…:D, ඇත්ත අරූ , ඒ කාලේ මොනවා කරත් වයසින් මුහුකුරා යත්ම ඒ දේවල් නුසුදුසු බව වටහාගෙන් ඉවත් වීමේ හැකියාව තමයි හැම දෙනාටම නැත්තේ

    • පවුලූශා…….ඔය මම “සුදුසු නොවේ” කිව්වාට අත්දැකීම් නැති ජීවිත හිස්..හැබැයි කල් යල් බලා ඒවාගෙන් ඉවත් වෙන්න ශක්තියක් තියෙන්න ඕන. මට ඒ ශක්තිය බොහෝ අවස්තාවල තිබුනේ නැහැ. සමහර තැන්වල කරවටක් එරුනා..නමුත් කොහොම හරි ගොඩ ආවා..තේරුම් යනකම් නැටුවා. මම ගමන් කරපු සමහර මාර්ගවල නෝ එන්ඩ් ගතියක් තිබුනා…අන්න ඒ බය නිසාම තමයි මම “සුදුසු නොවේ” කියලා යොදන්නේ. මොකද මම කරපු දේවල්කරලා කෙනෙකුට ආපහු යු ටර්න් එකක් ගන්න පුළුවන් වෙයිද කියන සැකය මට තියෙනවා. එහෙම හැරෙන්න, ශක්තිය දෙන්න මට අවංක, නිර්ව්‍යාජ මිතුරියක් හිටියා…සෙස්ස පස්සට…හැබැයි අපි අපේ දුවට කිසිමා සීමා බන්ධන දැම්මේ නැහැ…උපදෙස් දුන්නා පමණයි…සතුටුයි කියන්න…ඇය අපහසුවෙන් වුනත් ගඟක් තරනය කරයි….කාටවත් හිංසාවක්, වංචාවක් නොකර.

  9. // අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ. //
    හ්ම්ම්

    දැනුත් තියෙන්නෙ ඔය පොඩි පැකට් …ගම්මිරිස් එහෙම.. 😀

    මේ කටුක කතාව කියවද්දී අපිට රසවත්නේ…ඒ ඇයි තුමනි 😀

    • රෙහානි තුමියනි…….ඕනෑම කටුක කතාවක රසවත් බවක් තියෙනවා. ඒක දැනෙන්නේ ඒ දිහා නැවත හැරිලා බලන කොට. නෙල්ලි වගේ.

      මම කියන සයිස් එකේ පැකට් මෑතකදි දැක්කේ කරදමුංගු, කරාබුනැටි වගේ දේවල්. ගම්මිරිසුත් තියනවාද? ගනන් ගන්න එපා අඩුම ගානේ ටින් කෑම කන බල්ලෝවත් සතුටින් ඉඳියිනේ….මීට අරූ තුමා.

  10. deshakaya says:

    එහා වත්තේ එදිරි….. හම්ම හම්ම….

  11. \\\\එයින් පසු ප්‍රතිඵල නිකුත්වන කාලය අතරතුර මගේ ජීවිතය ඉතාමත් නරක ලෙස රස්තියාදුවේ ගත කිරීමට පෙළඹවිය. දැන් ඒ සිදුවීම් සිහිකිරීමේදි නම් අපූරු අත්දැකීම් ලෙස සිතුනත් පාසැල් වියේ සිසුවෙක් එවන් ක්‍රියාවන්ට පෙළඹීම කිසිසේත්ම සුදුසු නොවේ. ////
    ආපසු හැරී බලත්දී ජීවිතයේ යම් යම් අවධි වලදී කල කී සිදුවූ දේවල් අයහපත් ලෙස හැඟී යාම සාමාන්‍යය දෙයකි.මේ අදහස තදින් සිතට ගන්නා සමහරුන් තමන්ගේ දරුවන් දැඩි ලෙස පාලනය කිරීමට ගන්නා උත්සාහයේ අවසන් ප්‍රතිපලය සමාජය ගැන මෙලෝ හසරක් නොදන්නා ගොබ්බයෙක් බිහිවීමයි.
    අත්දැකීමෙන් යමක් වටහාගන්නට ඉඩදී නිරන්තර සොයාබැලීමක් සහ සීමා නිර්ණයේ අයිතියක් තබා ගැනීම වඩා වටිනා බව මගේ හැඟීමයි.

    • හරියටම හරි අයාල්…..මම පවුලූශාට දීපු රිප්ලයි එක මෙතනට කොපි කරන්නම්. මොකද උගේ අදහසත් උඹේ අදහසට සමානයි.

      .////ඔය මම “සුදුසු නොවේ” කිව්වාට අත්දැකීම් නැති ජීවිත හිස්..හැබැයි කල් යල් බලා ඒවාගෙන් ඉවත් වෙන්න ශක්තියක් තියෙන්න ඕන. මට ඒ ශක්තිය බොහෝ අවස්තාවල තිබුනේ නැහැ. සමහර තැන්වල කරවටක් එරුනා..නමුත් කොහොම හරි ගොඩ ආවා..තේරුම් යනකම් නැටුවා. මම ගමන් කරපු සමහර මාර්ගවල නෝ එන්ඩ් ගතියක් තිබුනා…අන්න ඒ බය නිසාම තමයි මම “සුදුසු නොවේ” කියලා යොදන්නේ. මොකද මම කරපු දේවල්කරලා කෙනෙකුට ආපහු යු ටර්න් එකක් ගන්න පුළුවන් වෙයිද කියන සැකය මට තියෙනවා. එහෙම හැරෙන්න, ශක්තිය දෙන්න මට අවංක, නිර්ව්‍යාජ මිතුරියක් හිටියා…සෙස්ස පස්සට…හැබැයි අපි අපේ දුවට කිසිමා සීමා බන්ධන දැම්මේ නැහැ…උපදෙස් දුන්නා පමණයි…සතුටුයි කියන්න…ඇය අපහසුවෙන් වුනත් ගඟක් තරනය කරයි….කාටවත් හිංසාවක්, වංචාවක් නොකර.//////

  12. සාමාන්‍ය පෙළ කරලා රිසාල්ට් එනකම් පිස්සු නටන එක ඒකියන්නෙ ඒ කාලෙත් තිබිලා නේද?
    විභාගෙ නම වෙනස් උනාට පරම්පරාවෙන් පරම්පරාවට කොල්ලන්ගෙ කොලු ගති වෙනස් වෙන්නෑ නේ.

    අපේ රට ආයෙ අර යුගේට තමා යන්නෙ අරූ අයියෙ. ඉස්සරහට අපිට ආයෙත් පාන් කාල‍යි පොල් භාගෙයි ගන්න පුලුවන්.

    • ප්‍රියා……විභාගේ නම වෙනස් වුනාට කොල්ලෝ කොල්ලෝමයි….කතාව ඇත්ත…අපේ තාත්තාගේ කොලු කාලේ ගැන මට ආච්චිලා කියලා තියෙනවා..අපි හොඳයි එහෙම බැලුවාම…අපිට වඩා හොඳයි උඹලා මම හිතන්නේ…

      මේ පවතින්නේ බත් කන බල්ලන්ගේ නොව ටින් කැම කන රිච් බල්ලන්ගේ ආණ්ඩුවක් කියලා මේ බජට් එක ඔප්පු කරා.

  13. ඔය අවුරුදු පහළොවේ විතර කාලේදී මටත් හිතුනේ ගෙදරින් ඒ හැටි ආදරයක් නෑ කියලා. යාලුවෝ ගැනයි වැඩියෙන් විශ්වාශ කලේ. බැලුවම අපේ ළමයිනුත් ඒ වයසෙදී හිතන්නේ එහෙමයි. මම හිතන්නේ ජීව විද්‍යාත්මක මනෝ විදුආත්මක එව්වා මෙව්වා හින්දා ඔය වයසේදී ඔහොම හිතෙනවා ඇති. ඒක නෙවෙයි උඹේ ඔය සටහන් ටික එකතු කරලා ගහපිය පොතක්. ඇත්තමයි බන් හොඳ ජීවිත කතා පොතකට ඕනි අරටුව උඹේ කතාවල තියෙනවා .

    • තිලකේ ඇත්තටම ඕක වයසේ වැරැද්දක් බං….අපේ ළමයාත් එහෙමයි…ඒ දවස්වල එක යාළුවෝ….දෙක අපි….දැන් වැඩිමහල් කෙනෙක් නිසා තත්වය තේරුම් අරන්…මේක සර්කල් එකක්.

      ///පොතක් ගහපන්///…..තිලකේ තව ඉස්සරහට කියවගෙන පලයන්..ඊට පස්සේ කියපන් කොහොමද තත්වේ කියලා.

  14. Senna says:

    ඔහොම පිස්සු නටලා බයෝ කරන්න පුළුවන් විදිහට ඕ ලෙවල් පාස් වෙන එක හරි පුදුමයක්නෙ අරූ.

    අරෘටත් හොඳ ජීවන අත්දැකීම් තොගයක් තියන බව පේනවා. මේක හිමීට මුල ඉඳන් කියවන්න ඕනා..

    • සෙන්නා…..මම NCGE සෙකන්ඩ් බැච් එකේ….ඔය කාලේ වෙනකම් ඔළුවේ තිබුන දැණුම පරිස්සම් වෙලා තිබුනා මගේ හිතේ. කොහොමත් පොඩි කාලේ ඉඳලා පොඩි මීටර් ගතියක් තිබුනා. පස්සේ පස්සේ මීටර් පීටර් වුනා.

      සෙන්නා හෙමින් හෙමින් කියවන්න…වැරදිනම් ඇති ව්‍යාකරණ අරවා මේවා. අත්දැකීම් නම් සෙන්නා ඉතින් නැව් ගණන්. ඔළුව කෙලින් තියන් ඉන්නවාට ගානක් දෙන්න ඕන.

  15. කාවා says:

    අනේ බං අදනම් පෝස්ටුව තියා කොමන්ටුවක්වත් කියෙවුවේ නෑ. එත් ආයේ එනවා. අද පට්ට වැඩක්.

  16. ඔයා පොඩි පැකට් කතාව කියද්දී මට මතක් උනා මම පොඩිකාලේ ඒ කියන්නේ අවරුදු හතක අටක් කාලේ කරපු වැඩක් ඒ දවස් වල තමයි අපේ ගෙදරට මුලින්ම ෆිජ් එකක් ගෙනාවේ … මම පටන් ගත්තා බිම පැකට් හදලා විකුනන්න අහල පහල එකට සෙල්ලම් කරන අයට දවස් දෙකයි වැඩේ කරේ මාර ඉල්ලුමක් … මෙන්න බොලේ මේක අපේ තාත්තා දැකලා දුන්න මට දෙකක් තරු පනින්න … හදලා තිබ්බ පැකට් ටික එවෙලාවේම කට්ටියට නිකන් බෙදලා දීලා කිව්වා අදින් පස්සේ මේවා නැ කියල … ඔන්න ඔහොමයි මගේ මුල්ම ව්‍යාපාරය වැහිලා ගියේ

    • රාළේ……උඹේ මුල්ම ව්‍යාපාරය තරු පනින්න කාලා ඉවරවෙච්ච එක හොඳයි. නැත්නම් උඹ ඉස්කෝලේ යන්නේ නැතිව බීම පැකට් හදාගෙන බයිසිකලේක පටෝගෙන විකුණන්න දුවයි. ඔහේ බැරිද වැඩේ පටන්ගන්න….ජොබ්ස් ටිකක් හොයලා දෙන්නත් පුළුවන්…මම ඒජන්සිය රන් කරන්නම්,:D

  17. මගේ කතාව බොහෝ දෙනෙක් කියවන බව මම දනිමි. නමුත් රාජකීය විදුහලට හය වසරට ශිෂ්‍යත්වය සමත්ව පැමිණ නවය වසර දක්වා එකට ඉගෙනගත් අයගෙන් එකෙක් හෝ දෙදෙනෙක් හැර අන් අය කියවනවා යැයි මම නොදැන සිටියෙමි. මා අමන්ධානන්දනයට පත් කරමින්, පහත සඳහන් ඊ මේලය මට අද ලැබුණි. ඒ අපි ආදරයෙන් A.M. යැයි ඇමතු අනුර මහනාම රණසිංහ ගෙනි. බොහෝ දෙනෙක් මා ඇමතුවේ A.N. නමිනි. ඔවුන්ටද උපහාරයක් ලෙස මම එය මෙසේ එකතු කර තබන්නෙමි. අදහස් දැක්වීමෙන් එක්වෙන මෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිමි.

    Dear Niranjan,

    I came to know about your blog through Basil Nanayakkara. Kushan visited me three years before with HDB Herath. I am very much thankful because you enlighten my analytic mind in various perspectives. I want to remind your comment about Kevin Balthazar, former opening batsman of Royal. You have mentioned very little about Prasanna Gulasekeram since you spent more time with him. I accidentally met Prof. Hemamal Jayawardane at a funeral but I could not mention about your blog since he was so busy as usual.

    I went through whole lot of your stories. If I had to undergo those hard ships I would have given up my studies much earlier.

    You contacted me about five years before while I was having dinner and I could not take down anything. I have read Maxim Gorky, Anton Chekhov and Leo Tolstoy but above all arugeadaviya did shake my heart. I think neither David Copperfield nor Jane Eyre underwent such hard times like what happened to Aruna Niranjan Perera. The difference is those are creations of Charles Dickens but this is a true story and I am part and parcel of it. I allowed many of my friends to read the blog but no body believed that this is a story of a real son of Royal.

    I am really proud of you. Champal, Pallewatta, MLI Abesinghe, Basil Nanayakkara and myself were graduated from the University of Moratuwa but you have graduated from the University of Life. Your degree is much much worth than ours. I met Upulwansa Ratnayake at the funeral of Pallewatte’s mother about four years before.

    Yours loving,

    Rane

    2013/12/5 papara papara

    • deshakaya says:

      Thanks Rane for you detailed description. I think now you can see it has became a reality what I said about your writing earlier in this blog. (i’m pretty happy because I saw you perfectly at the beginning) He is correct, you have a PhD of life. The most encounter. Hats off Aru. (n/B- Great M W was also graduated from the life.)

      • @දේශක…..ස්තූතියි උඹේ කමෙන්ටුවට. මාර්ටින් වික්‍රමසිංහ මහතා මම ආසාවෙන් කියවපු ලේඛකයෙක්.
        උඹේ ටැස්ටිං පෝස්ට් එකට මොකද වුනේ?

  18. Kandyan says:

    වෙනද වගේම මනාපෙන් කියෙව්වා…
    සැචට් පැකට් වෙලා දැන් ආයෙම් සැචට්වලට බැහැලා… බජට් එක දැක්කාම හෙට අනිද්ද වෙනකොට සැචට් කඩලා මිලිග්‍රෑම් වලින් තමයි ගන්ට වෙන්නෙ…! දැනටමත් සමහර පලාත් වල කිරිපිටි විකුණන්නෙ පැකට් කඩලා.

    • අනේ මම දන්නේ නැහැ බන්……හාල් මෙට්‍රික් ටොන් 50000ක් මොකක්ද ජාත්‍යනතර ආයතනයකට පරිත්‍යාග කරන්න යනවා කියන්නේ….ඒක රට ඇතුලේ තියලා හාල් මිල අඩු කරන්න බැරි ඇයි කියලා. ණයට කකා තෑගී දෙනවා.

  19. වෙනදා මෙන්ම මනසින් උඹගේ
    අත්දැකීම් තුල ජීවත් වෙමින් කථාව රස වින්දෙමි. සමාජයෙන් ලබන අත්දැකීම් අධ්‍යාපනයත් සමඟ එකතු වූ කල ජාඩියට මූඩිය වැනිය….

    • ස්තූතියි චන්දන…….ජාඩි මතක් කරලා උඹ අපිව පිස්සු වට්ටනවා…ජාඩියි, පොල් සම්බෝලයි, බතුයි නැගලා යනවා සීතල දවස්වලට. ෂොට් දෙක තුනක් ආමාශගත වෙන්න ඕන ඊට කලින්.

  20. මාත් පොර ටෝක් දැම්මට මේ බ්ලොග් එක කියෙව්වම මම අඬලත් තියෙනවා. කොටින්ම අරූගේ පොඩි කාලේ ප්‍රශ්න එක්ක හෙම. දැන් නම් කොල්ලව උස්සලා පොලොවේ ගහන්න හිතිලා ඉන්නේ. ඔච්චර කට්ටක් කාලා එහෙම පිස්සු නටනවද මම අහන්නේ. 😉
    අපිත් ඇති වෙනකම් පිස්සු නටලා තියෙනවා. ඒත් මොනවා කලත් ඉගෙන ගන්න එක නම් කලා. සමහරවිට ගෙවල් වලට බයේම වෙන්න ඇති. එහෙම නැත්නම් අනිත් මිනිස්සු වෙනුවෙන් වෙන්නැති.
    අර ඔබගේ පන්තියේ යාළුවාගේ සටහන කියෙව්වාමයි හිතුනේ ඇත්තෙන්ම ඔබ ජීවිතය කියන යුනිවසිටියෙන් ගත්ත අධ්‍යාපන සහතිකය අපේ කඩදාසි කෑලි වලට වඩා බොහෝ වැඩි අරු.

    • රංගී…….ජීවිතේ කියන්නේ සිනහාවීම සහ අඬාවැටීම අතරේ දෝලණය වෙන එකක් තමයි. මට කපුගේ ගැයූ….දවසක හමුවෙමු….හමුවී හිනැහෙමු…..හිනැහී වැළපෙමු…අපි ආයේ….ගීතය මතක් වුනා. හැම දෙයක්ම එහෙම තමයි. ඔය සිංදුව ලිව්වේ සමන් ආතවුද හෙට්ටි මගේ හිතේ. හිනැහීම සහ වැළපීම.

      මගේ යාළුවාගේ සටහනේ ඉන්න ඔක්කොම මාත් එක්ක එකට හිටපු අය…එක්කෙනෙක් හෝ දෙන්නෙක් හැරෙන්න අනිත් අය කවුරුත් මට අවුරුදු 25-30 කින් හම්බවෙලා නැහැ..ඒ සටහන මාව රියන් ගානක් උඩින් උස්සලා තිබ්බා මතකයෙන්. ඒකමයි මම ඕක ඔතනට දැම්මේ.

  21. තිසර says:

    අද නම් නණලළ හොඳයි. මම දැකලා තියන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ වගේ අත්දැකීම් වලට පස්සේ, ජීවිතේ නිවැරදි කරගන්න නම් සහජයෙන් ලැබුණු බුද්ධිමත් බවකුත් තියෙන්නේ ඕනේ. කොච්චර වැරදි වැඩ කලත්, යම් කිසි තීරණාත්මක අවස්ථාවන් වලදි නිවැරදි තීරණ ගන්න පුළුවන් හැකියාවක් ඔවුන්ට තියනවා. සම්මතයට විරුද්ධව කැරළි ගැසීම වගේම ඒ කැරැල්ළේ සීමාවන් යම් විදිහකින් හඳුන ගන්න පුළුවන්.

    • //අද නම් නණලළ හොඳයි/// තිසර දන්නවා රහස මොකක්ද කියලා….අකුරු තුනයි.

      මට කියන්න දෙයක් නැහැ…උඹ ඔක්කොම කියලා….පහත වැකිය උඹ හරියටම ලියලා තියෙනවා.
      ///. සම්මතයට විරුද්ධව කැරළි ගැසීම වගේම ඒ කැරැල්ළේ සීමාවන් යම් විදිහකින් හඳුන ගන්න පුළුවන්./////

  22. Black Puma says:

    මම හිතාගෙන හිටියේ නැනේ මෙච්චරටම නාහේට අහන්නේ නැති එකෙක් වෙලා හිටියා කියලා

    • පූමා……ඔය පොඩ්ඩයි බන්…කියවපන් හා පැටියෙක් ටිකෙන් ටික වෘකයෙක් වෙලා ගොහින් ආපහු නාකි හාවෙක් වෙන හැටි.

      මේ ඇත්තටම උඹ දන්නවානම් කියපන් නාහෙට අහන්නේ නැති කියන එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා.

  23. Anonymous says:

    කියනකෝ තව විස්තර. අපිට ඒ කාලෙ ගැන අත්දැකීම් නෑ නෙ. මොකද්ද සුබසෙ අවුල?

    • Anonymous says:

      මේ… මම දිලිනි. කොහොමද මේකෙ ගූගල් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්නේ?

      • @ දිලිනි…..අනේ ළමයෝ මට ඔය ගූගල්, බූගල් දන්නේ නැහැ…මම මොන්ගල්… මෙලෝ දෙයක් දන්නේ නැහැ. දන්න කෙනෙක්ගෙන් අහගන්න….කෑම බීම ගැන අහන්න මම කියලා දෙන්නම්.

    • දිලිනි…..සුබසේ අවුලක් නැහැ…..මම ඔය ෆස්ට් ටයිම් පාවිච්චි කලේ….ගොඩයාට මැජික් වගේ තමයි මට කම්පියුටර්.

  24. මමත් සුබස හුගක් වෙලාවට භවිතා කරනවා අරූ,
    අපගේද ජිවිත අත්දැකීම් අඩු,වැඩි වශයෙන් ඇති ඔබගේ රසවත් කතාව යලිත් රස වින්දෙමි.

    • මනෝ….කොහොමද උඹේ ලොකු ඇස්? දිගටම ලියපන්…

      මම ඔය සුබස පාවිච්චි කරාමයි….ලේසියි වැඩේ නේද…..හැබැයි අකුරු භාවිතය ඉගෙනගන්න හොර වෙනවා නේද? මට නම් ගානක් නැහැ මම දැන් වයසයිනෙ…

      • ඔයාට කියන්න අරූ ලොකු ඇස් මා මනස වියවුල් කරලා තියෙන්නේ….:(

        සුබස මට නම් හිතෙන්නේ සියට,සීයක්ම නැතත් වචන ඉගෙනගන්න හොද මෙවලමක් කියලායි.අයි.ටි නිශන්ත ගෙන් තමයි මමත් සුබස දැනගත්තේ.

      • ///ඔයාට කියන්න අරූ ලොකු ඇස් මා මනස වියවුල් කරලා තියෙන්නේ….:(////

        හා..හා..බලාගෙනයි.

        මනස පොඩ්ඩක් විතර වියවුල් උනාට කමක් නැහැ…අනිත් එව්වා වියවුල් කරගන්න එපා.DD

  25. helapayaa says:

    දැන් උඹගෙ අත්දැකීම් හරිම සරුසාරයි,හදවත කමපා කරවනවා.මට මේල් එකක් එවපන්.

  26. රාජ් says:

    අන්න උඹ ජීවිතේ ටර්නිං පොයින්ට් එකක් ලඟට ඇවිල්ල. මේ අවස්ථාවවට මුහුණදෙන කොල්ලෙක් එක්කෝ සාර්ථක වෙනව නැත්තං අසාර්ථක වෙනව. මම කියන්නෙ ඉගනගැනීම විතරක් නෙවේ. ඉගන නොගත්තත් ඉස්සරහට යන එකා යනව. බැරි එකාට බොහොම අමාරු ජීවිතයක්.

    • රාජ්….උඹ හරියටම හරි……මේ කඩඉම මම නිවැරදිව වටහාගන්නවා…ඊට පස්සේ මම ඒ ලනුව හෙමින් හෙමින් අතඇරගන්නවා…මගේම වැරදි වෙන්න ඇති…මම දිගටම ලියන්නම්….මාත් එක්ක හිටපන්..

  27. සිරා says:

    ඔය කියන 88/89 කාලපරිජේදය මට මතක යන්තමින්..මම ඉතින් අවුරුදු 6 ක විතර පොඩි එකා ඒ කාලෙ…අපේ බාප්පලා බොහොම තරුණ අය…අපේ මිදුලෙ තිබ්බ විශාලා මල් වැලක් කපලා ඒ අයගෙ වාහනේ හංගන්න පුලුවන් විදියට සැකසීමත්..රෑට රෑට බාප්පලා නිදා ගැනීමට පිට ගෙවල් සොයා ඇදීමත් යන්තමට මතකයි….වෙලාවක ඒ කාලපරිජේදයේ අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්න.

    • සිරා………අන්තිම අඳුරු කාලපරිච්ඡේදයක්….ඒ වකවානුව ගැන ලියපු දේවල් අනන්තවත් ඇති…මම මගේම වූ අත්දැකීම් කිහිපයක් තියෙනවා ලියන්නම්.

  28. කාවා says:

    මට පොඩි අවුලක් තියෙනවා බංස්. පොඩි ස්ථාන පාරුවක්. අවුලක් කීවට අවුලක් නෙමේ බං. මම බලාපොරොත්තුවෙන් හිටපු එකක්. තාම හරියට පදිංචි උනේ නෑ. එතකන් අත්සන් කොරලා යන්න එන්නම්.

    • ////පොඩි ස්ථාන පාරුවක්. අවුලක් කීවට අවුලක් නෙමේ බං/////

      අවුලක් නෙමේ නම් වෙන පවුලක්වත්ද?;D

      නිදහසේ වැඩ ටික ඉවරකර ගනිං

  29. නියමට ලියල තියෙනවා. අද තමයි මම ඉස්සරවෙලාම මෙතනට අවේ. ඇත්තෙන්ම හොඳ ලිපියක්..
    ඉස්සරහත් අපි එකතුවෙමුකො

  30. //ළමාවියේ සිටම ඔහු ලබා ඇති බොහෝ අත්දැකීම් කතුවරයා ඉතා සමීපව ඇසුරු කළ අයෙකුට හැරෙන්නට බහුතර පාඨකයාට තම ජීවිත අත්දැකීම් හා සැසඳීමේදී බොහෝ විට අභව්‍ය සිදුවීම් හා ප්‍රබන්ධ ලෙසද හැඟී යා හැක. //
    මේක නම් හරිම ඇත්ත අරූ.
    ඔයාගේ සටහන් හරිම ලස්සණයි. ඔක්කොම ටික විවේකීව එක දිගට කියවමු කියලා හිතුවා…

    • පොඩ්ඩි……ශේප් එකේ නිවාඩු පාඩුවේ කියවන්න……ෆුල් සීරියස් මුකුත් නැහැ…..ඔක්කොම සෙමි සීරියස්……තැන්ක්ස් පොඩ්ඩි.

  31. Miyuru says:

    ඒ කියන්නෙ මේ කාලෙද අර කලින් කීව හැරවුම් ලක්ෂ්‍යය…?

    • අපොයි නැහැ මියුරු තව ගොඩාක් ඈත. ඔය හරියේ හැරවුනානම් මට කියන්න කතාවක් නැතිවෙනවා.

  32. මම දැන් දුක්වෙනවා.. හැමදාම යහපත් ලොකු දුව වෙලා ඉදීම ගැන.. අපරාදෙ මටත් තිබුණෙ ටිකක්වත් රස්තියාදු වෙන්න ඒ කාලෙ. කියල හිතෙනවා මේ සටහන් දකිද්දි… කෙල්ලන්ට ඉතින් ගම්වල හැරෙන්නවත් බැහැනෙ..

    • ගම්වල විතරක් නෙමේ තරු, නගරයේත් බොහෝවිට එහෙම තමයි ඒ කාලේ. ඒ වුනාට පොඩි රස්තියාදුකාර ජීවිතේ ගතියකුත් තියෙනවා.

  33. මම නම් කියන්නේ ඉස්කෝල වලින් මැටි වැඩ සඳහා අනිවාර්යයෙන්ම සහතික නිකුත් කරන්න ඕන… අනික ඕක අමුතුවෙන් උගන්නන්න ඕන දේවල්ය ?

    ඔන්න එහෙම එකක් තිබ්බ නම් මටත් හිත හැදෙන්න උඩින්ම “A” එකක් තියන සහතික කට්ටක් අරන් එළියට බහින්න තිබ්බ, නොලැබීම තමයි 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s