අවුල් වන්නට පෙර…(20)…මහා පොසොන් පහන් කූඩු රාජයා..

දෙල්කඳ ඉරිදාපොළ මගේ ජීවිතයට ඉතා සමීප ස්ථානයක් වන්නේ මා එම ප්‍රදේශයේම ඉපදුණු කෙනෙක් නිසාම නොවේ. අප හැන්දෑවට ක්‍රිකට් ගසන්නේත්, රස්තියාදුවේ කේන්ද්‍රස්ථානය වන්නේත් ,ඉරිදා හැර අන් සියලු දිනයකම කල් ගෙවන්නේත් පොළ මැද්දේත් නිසාමය. මේ කාල වකවානුව තුළ ඉරිදාපොළ තරුණ සමාජය නම් සංවිධානයක් බිහිවන්නේ අපට වඩා වැඩිමහල් අවට තරුණයින්ගේ මූලිකත්වයෙනි. එය ඉලක්ක වූයේ වෙසක් හෝ පොසොන් මාසයට යම්කිසි ප්‍රදර්ශනාත්මක වැඩ කොටසක් ඉටුකිරීමටය. මෙහි මූලිකත්වය ගත්තේ ජෝරිස් පවුලේ වැඩිමල් සොයුරන්, අපේ ආනන්දසිරි අයියා, ඕලෝන් තිලකේ, කැටයම් හෙන් රි, මෝටර් රංජි. චන්ද්‍රපාල, සරත්චන්ද්‍ර, කොණ්ඩ සමන් වැනි තරුණයින්ය. මොවුන් වැඩිදුර පාසල් නොගිය වුන් වුවත් නොයෙකුත් විෂයන්හී ඉතාමත් දක්ෂ කාර්මිකයින් මෙන්ම, අති ශූර සංවිධායකයින් විය. අපි දෙවැනි පෙළ ක්‍රීඩකයෝ වූයෙමු. ගම් වැසියන්ගේ නොමසුරු ආධාරයත්, පොළ අසලම කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය ඩයස් (බඩා) මුදලාලිගේ බනිස්, තේ පැන් සහ ඉඳහිට සිගරට් සංග්‍රහයත් මේ සංවිධානයේ කොඳු නාරටිය විය. මාතර පැත්තේ සිට පැමිණ එහි පදිංචිව සිටි මේ සොඳුරු මිනිසා ඉන් ටික කාලයකට පසුව මිය ගිය අතර අවිවාහක මෙන්ම තනිව කඩයේම ජීවත්වූ ඔහුගේ අවමංගල්‍ය කටයුතු සියලු චාරිත්‍ර සහිතව සිදුකිරීමට අපේ කට්ටිය වගබලා ගත්තෝය. මම සමාජයේ අත්පොත් තබන්නේ ඔවුන් ඇසුරේය. ඒ පාඩම් කිසි දිනෙක වැරදුණේ නැත. අද නාගරික දරුවාට නැත්තේද මෙවන් සොඳුරු වටපිටාවන්ය.

පොසොන් සමය අළලා මිහින්තලා පර්වතයේ විශාල අනුරුවක් නිර්මාණය විය. එවැන්නක් ඒ පැත්ත පළාතේ ඉන්පෙර සිදුවී තිබුණේ නැත. සියල්ලක්ම යන්ත්‍රාසාරයෙන් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයක් විය. මිහිඳු හිමියන් කඳු මුදුනට වැඩීම, මුවා පසුපස හඹායන තිස්ස, එකල මැජික් මෙන් විය. වඩාත්ම වැදගත් කාරනයනම් මේ සියල්ලකගේම නිමැවුම් කරුවෝ අවට ඉලන්දාරින්ම වීමය.

අදටත් ඉතා ප්‍රසිද්ධ රත්මලාන වෙසක් පහන් කූඩුව ප්‍රදර්ශනය ඇරඹෙන්නේත් මේ කාලයේමය. අද මෙන් මේවා නැරඹීමට මුදල් අය කිරීමක් නොවීය. සියල්ලක්ම සිදුවූයේ ප්‍රදේශවාසීන්ගේ මුදල් ආධාර වලින් පමණය. රත්මලාන වෙසක් උළෙලට සැරසෙද්දී, ඉරිදාපොළ පොසොන් උළෙලට කූඩුවකින් සරසන්නට කතිකාවිය. මෙය අති සාර්ථක ලෙස වසර 4-5ක් එක දිගටම පවත්වාගෙන යෑමට ගංගොඩවිල තරුණයෝ සමත්වූහ. ජෝරිස් පවුලේ දක්ෂ වඩු කාර්මිකයින්ගේ දෑත්වලින් නිමවු මහ කූඩුවේ සැකිල්ල සහ අනිකුත් කූඩුත් කැටයම් වලින් සැරසුවේ හෙන් රි කුරේ නම්වූ දක්ෂ කැටයම් ශිල්පියාය. මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේදී බොහෝ කාලයක් සහ මහන්සියක් දරන්නට වෙන්නේ කැටයම් කපා අවසන් කිරීමටත්, ඒවා රන් සහ රිදී පැහැති කුඩු වර්ග වලින් නොයෙකුත් මාදිලියේ හැඩ ගැස්වීම්වලට ලක් කිරීමටත්ය. මහ කූඩුවේ බඳ සැරසීම සඳහා බුදුරුව හෝ සිදුහත් රුව සහිත කැටයම් කැපුවේ හෙන් රිගේ දෑතින්ය. පරිවාර කූඩු සීයකට වඩා තිබෙන නිසා මේවායේ කැටයම් චිත්‍රයට නගා කැපිය යුතු ආකාරය සටහන් කර දෙන හෙන් රි, ඉතිරිය කරගෙන යාමට පවරන්නේ දෙවැනි පෙළ සාමාජිකයින් වූ අපටය.

දෙවැනි පෙළවූ අපිට පැවැරී තිබු රාජකාරී අතරින් විශේෂිත වූයේ ආධාර එකතු කිරීමට යෑමය. මීට අමතරව වඩුවැඩ, යාන්ත්‍රික වැඩ නොහැකි නිසා ලිය කියවිලි වැඩත්, භාණ්ඩාගාරික ආනන්දසිරි අයියාට ගනුදෙනු ලියා තැබීම වැනි රාජකාරි වැඩවලට උදව් දීමටත් මට සිදුවිය. මුදල් ආධාර එකතු කිරීමට යෑම සිදුවන්නේ හැන්දාවරුවේ සිට රාත්‍රී කාලය දක්වා යාමයේය. ගෙදර ගෘහමූලිකයා වූ පිරිමින් ගෙදර ඉන්නේ හැන්දාවරුවේ නිසාත්, සමාජසේවා වැඩකටයුතු වලදී පිරිමින් දක්වන ආධාරය ගැහැනුන්ට වඩා බොහෝ වැඩි බවත් මම දැනගත්තේ ඔය ආධාර එකතු කිරීම් වලදීය. තවත් අපි කොලුවන් ඉගෙනගත් දෙයක් වන්නේ මේ සියල්ලෙන් පසු නිදහසේ උඩහමුල්ල කනත්තට ගොඩවී සිගරට් ඉරීමේ කලාවයි. එයින් නම් නැතිවූ දෙයක් මිස ඇතිවූ දෙයක් නැත.

රත්තනපිටිය, එගොඩවත්ත, පැඟිරිවත්ත, ගම්සභාහන්දිය, කට්ටිය හංදිය, ඇඹුල්දෙණිය, නාවින්න අපේ ආධාර එකතු කිරීමේ සීමාවන් විය.කංඩායම් දෙකක් දෙපැත්තට පිටත්වේ. ආරාධිත අමුත්තන් නොහොත් කූඩුව ප්‍රදර්ශනයට විවෘත කරන්න පැමිණෙන අයගේ නම් ලැයිස්තුවක් සපයා ඇති බැවින් එම ගෙවල් වලට නොයා යුතුය. ස්ටැන්ලි තිලකරත්න, ජිනදාස නියතපාල, කේ.පි.සිරිවර්ධන යන පළාතේ දේශපාලකයින්ගේත්, අවට ධනවත් මුදලාලිලගේ නිවෙස් දන්නා නිසා ඒවා එතරම් ගැටලු නොවේ. අනිත් අවවාදය වූයේ ආර්ථික දුෂ්කරතා ඇතැයි සිතන නිවෙස් වලට ගොස් කරදර නොකරන ලෙසත්ය. නිවෙස්වලට ගොස් ඔවුන්ට පැමිණි කාරණය පහදා දී ආධාරයක් ලබා ගැනීමට නම් ඔබ මුඛරි විය යුතුය. සාර්ථකව පැහැදිලි කර දිය යුතුය. ප්‍රියමනාප විය යුතුය. ආධාරය අඩු වැඩිවන්නේ ඔබේ දක්ෂතාවය මතය. ගැහැණු ළමයි සිටිනා නිවෙස්වලට ගොස් වැඩ දැමීමට ගොස් අනාගන්නා උදවියද සිටී. ඒ කෙසේ වෙතත් මොන කංඩායමේ සිටියත් කතා පැවත්වීමේ වැඩිබර වැටෙන්නේ මා වෙතය. බොහෝ කලාකරුවන් ජීවත්වූ අප පළාතේ මිල්ටන් මල්ලවාරච්චි සිටියේ ඇඹුල්දෙනියේ ජය මාවතේය. අපගේ එකෙක් මිල්ටන්ගේ තදබල රසිකයෙක්ය. ඔහු රත්නසිරි නම් විය. මම ඔහු ගැන පසුව ලියමි.මේ සුප්‍රසිද්ධ ගායකයා හා දොඩමුළුවීමට මුගේ ඇති කැමැත්තට අපි ඉඩ ලබා දුන්නෙමු. ඉරිදාපොළට කූඩුවක් ගහනවා ආධාරයක් ගන්නැයි ආවේ කියු විට, ඉරිදාපොළට කූඩුවක් ගහන එක පොළේ අයිතිකාරයා කරයිනේ මල්ලී යැයි කියා, සාක්කුවට අතදමා යම්කිසි මුදලක් සිනහ මුසු මුහුණින් පිරිනමා දොර වසා ගත්තේ ඔහු සහ තවත් ප්‍රසිද්ධ පිරිසක් අඩි පුඩි ගසමින් සිටිය යුතු නිසා විය යුතුය. ඔය සිදුවීමෙන් වසර තිහකට පමණ පසු, දැන් මා සිටිනා පළාතේ සංවිධානය කල මිල්ටන් මල්ලවාරච්චි සමරු උපහාර උළෙලකදී මට සමරු කථනය කිරීමට සිද්ධවීමත් දෛවයමය විය යුතුය. එය වටිනා කතාවක් බව මගේ යහළුවෝ පැවසීය.

පොසොන් කූඩුවේ යාන්ත්‍රික වැඩ කටයුතු මෝටර් රංජි සහ රැවුල් අංකල්ගේ (අවාසනාවන්ත සිදුවීමකින් පිහි ඇණුමකට ලක්වී මිය ගියේය )සහභාගිත්වයෙන් සිදුවූ අතර පළමුවෙනි වරට නිර්මාණය කෙරුණේ පටාචාරා කතා වස්තුවේ පිළිබිඹුවක්ය. එම කතා පුවතට අදාළව සියලු නිර්මාණ මොවුන්ගේ දෑත්වලින් සැකසුණු අතර පටාචාරාගේ කුඩා දරුවා වෙනුවෙන් පමණක් විශාල රබර් බෝනික්කෙක් යොදා ගැනිණි. මහ කූඩුව පාමුල වටා කුඩා පොකුණක් නිර්මාණයවූ අතර, එහි සජීවි තාරාවන් සහ පැටවුන් නිදහසේ පාවෙමින් සිටියහ. මුන් දෙස නිතර ඇස ගසා සිටීම අපටත් වඩා වයසින් බාල කංඩායමේ රාජකාරිය විය. කතා පුවතට අදාළව නරඹන්නන්ට දැකිය හැකි සේ තුඹසක් සාදා නයෙක්ද ප්‍රදර්ශනය විය. උකුස්සා හෝ රාජාලියෙක් අතින් සාදා ,මහ කූඩුව සමග කැරකවීමට සකසා තිබුණි. මෙම කූඩුව රත්මලානේ වෙසක් කූඩුවටවත් දෙවෙනි නොවූ බව මගේ විශ්වාසයයි.

ගමේ තරුණයින්ගේ සාමුහික ක්‍රියාදාමයක ප්‍රතිඵල කොතරම් සාර්ථකවූවා දැයි කියනවා නම් රත්නපුර, ඇහැලියගොඩ පළාත්වලින් පවා බස් ,වෑන් ,ලොරි වලින් කූඩුව නැරඹීමට මිනිසුන් පැමිණියහ. පැමිණෙන්නන් ආධාර කරන්නේ ඊළඟ වසරටත් තවත් නිර්මාණයකට ආයාචනා කරමිනි. මේ ආධාර නිසා ඔළුව නරක් කරගත්තේ පිට පළාතකින් කූඩුව වෙනුවෙන් කවි කීමට පැමිණි හාදයාය. රබානත් අතින්ගෙන කවි කියු ඒ මිනිසා කූඩුවට ලැබෙන ආධාරවලින් සියයට ප්‍රමාණයක කොමිස් මුදලක් ඉල්ලා සිටියේය. නැවත ඉන් පසු වසර සඳහා මොහුව වද්දා නොගත් බව අපි දනිමු. කවි කෝකිල නමින් මෑතක් වෙනකම් කූඩු තොරන් වල කවි කිව්වේ මෙයාය. කවි කෝකිල පස්සේ කිව්වේ නම් කවිද කුණුහරුපද යන්න දන්නෝ දනී. මමද ජීවිතයේ ප්‍රථම වරට යකඩ කටකින් යමක් කීවේ නරඹන්නන් යම් කිසි දුරකට අඩුවු මහ රාත්‍රියක කාගේ හෝ අඩුවක් පුරවන්නටය. ඒ දිනවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් මෙම කූඩුව මිලදී ගැනීමට ලංසු තැබූ බවත් කවුරුත් දනී. ඒ ඇසළ පොහොයට සම්පූර්ණ කූඩුවම ගලවා ගෙන ගොස් තමන්ගේ ප්‍රදේශයට ගෙන ගොස් සවි කර ගැනීමටය. මේ සඳහා රත්නපුර සහ ඇහැලියගොඩ මුදලාලිලා අතර තරඟයක් විය. නමුත් ඒ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට තරුණයින් සමත් විය. ඇස්වහ, කටවහ වැදී තවත් දුරටත් තම කටයුතු කරගැනීමට බැරිවේ යැයි මතයක් තිබි නිසා ප්‍රදර්ශනය හමාර වූ පසු යාන්ත්‍රික කොටස් පමණක් ඉතිරි කරගෙන අන් සියල්ලම පුළුස්සා දැමීමේ චාරිත්‍රයක් විය. ඉරිදා පොළ බිම්කඩ මැද ඉතාමත් කැපවීමකින් සාදා නිමකර ,දහසක් මිනිසුන්ගේ ඇස් පිනවූ මේ මහා කූඩු රාජයා පැයකින් දෙකකින් අළු ගොඩාක් බවට පත්වීම දැක බලා ගැනීමටත් අසල් වැසියන් රොක්වේ. එකල නම් අප මේ දෙස බලා හඬා වැටීද ඇත්තෙමු. මේ නම් මිනිස් ජීවිතයේම පැති කඩක් නොවේද යැයි මට දැන් හිතේ. ඉන්පසුව පිරිත් සහ ධර්මානුශාසනාවක් පවත්වා කාර්මික ශිල්පීන්ටත්, සංවිධායකයින්ටත් අසල්වැසියන්ටත් සෙත් පැතීම සිදුවේ.

ඒ පොසොන් කූඩුවත් සමගම මරණාධාර කටයුතු, සොහොන් ඉදිකිරීම් වැනි ප්‍රදේශයේ සමාජසේවා වැඩකටයුතු වලට අප බෙහෙවින් දායක විය. ඒ අසලම නිවසක සිටි සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමාද එකල අපට වඩා වසරක් හෝ දෙක පමණ් වැඩිහිටි තරුණයෙක්වූ නමුත් මේ වැඩ වලට දායකත්වයක් නොදැක්වීය. සමාජය හා බද්ධවී එකිනෙකා වෙනුවෙන් සහයෝගයෙන් වැඩකිරීමේ ඉතා වැදගත් සමාජීය පාඩම මම මුලින්ම ඉගෙනගත්තේ දෙල්කඳ ගංගොඩවිල තරුණ සමාජය හා එක්වීමෙන්ය. අද නාගරීක තරුණයාට මෙවැනි සමාජ අත්දැකීම් ලබාගැනීමට ඇති ඉඩකඩ බොහෝ දුරට සීමාවී ඇති බව පෙනේ. ග්‍රාමීය තත්වයනම් එතරම් නරක නැති බව මම අසා ඇත. මේ තුළින් හොඳ මෙන්ම නරක සමාජ සම්බන්ධතාද ඇතිවීම වැළැක්විය නොහැක. අප වයසේ බොහෝ දෙනෙක් සිගරට් බීමට පුරුදුවූයේ මේ මලගෙවල්වල නිදිමැරීමත්, කූඩුවේ වැඩ කටයුතුවලට නිදහස් කර හැර තැබීමත් නිසා යැයි කිව හැක. මීට ඉහතදී සිරස රූපවහිනියෙන් එක් පුද්ගලයෙක් හා සාකච්ඡාවක් පැවත්වීය. අඳුරු කර පෙන්වූ ඔහුහේ රූපය පැවසූ හැටියට වසර තිහක කාලයක් සිට මත්ද්‍රව්‍ය වලට පුරුදුවී සිටින්නෙක්ය. ඔහු ඉතා උවමනාවෙන් කියා සිටියේත්, මල ගෙවල් වල නිදිමැරීමට යන පාසල් යන තරුණයන් බොහෝ විට තම සිගරට් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චියේ පළමු පාඩම ලබාගන්නේ එතැතින් බවය. එය බොහෝ දුරට ඇත්තය. විමසිලිමත්වීම බොහෝ වටිනේය. (එය නැරඹියම යුතු සාකාච්ඡාවක්ය. අවාසනාවකට එම ලින්ක් එක මා අතින් මැකී ඇත. )

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

83 Responses to අවුල් වන්නට පෙර…(20)…මහා පොසොන් පහන් කූඩු රාජයා..

  1. silentsahan says:

    අරූ ,

    නාගරික තරුණ ළමයි ගැන කියපු කතාව සෑහෙන දුරට ඇත්ත. විශේෂයෙන්ම මිලේනියම් එකෙන් පස්සේ . අපි හැමෝගෙම පංති වල ඉඳලා ඇති මල් වගේ හදපු කොල්ලෝ . ස්පෝර්ට් මීට් දාට රෑ ඉස්කෝලේ එන්නේ කීයෙන් කීයද ? මට හොඳට මතකයි පන්තියකින් 3 දෙනෙක් වත් එන්නේ නැහැ. ( දුර බැහැර ඉන්න අය පැත්තකට දාමුකෝ ) .

    මුළු රෑම පිස්සු නටලා , හවුස් හදලා පහුවදා පාන්දර 4 ට විතර සීතලේ ගැහි ගැහි පුස පදිනවා ගෙදරට. . අනේ ගෙදර ගිහින් නාල කාලා ෆ්‍රෙෂ් පිට ඒ ගැම්මටම ඉස්කෝලෙත් එනවා , එද්දී සිරිමත් සෙට් එක ෆිනිෂින් එක කරනවා හවුස් එකේ. හරියට රෑ ඉඳන් උන් හැදුවා වගේ. බලන්න ඕනේ උන්ගේ ගණකම ඒ වෙලාවට . 😦

    ” — තෝ අපි තමයි රෑ ඉඳන් — දීගෙන මේවා හැදුවේ. —– — ගන්නේ නැතුව පලයන් . උඹල දැන් ඇවිත් මෙතන අපිට කැටයම් දැම්මට වැඩක් නැහැ ” කියලා කියනකම් අහන්නේ නැහැ නෙව අරූ අයියේ . ඔන්න ඕකයි සිරිමත්ලා ගැන ඇත්ත කතාව. අද්දැකීම් ඇති ඔබටත් , මාතලන්ටත් . හැබෑම අහිංසක සිරිමත්ලාත් නැතුව නෙවේ ඔය අතර . එයාලා නම් ඉතින් කැටයමක් දාන්න වත් එළියට ඒමක් නැහැ නෙව 😦

    අද වෙනකොට නම් ළමයින්ගේ නිදහස සහ අද්දැකීම් ලබා ගැනීමේ අවස්ථා හොඳටම ඇහිරිලා. පොත් වල අකුරු විතරක් කට පාඩම් ළමයි ටිකක් තමයි නාගරිකව හැදෙන්නේ. කිසිම සමාජ අද්දැකීමක් නැහැ. සේවා ස්ථානයක වැඩට ගියාම තමයි නිරුවත පේන්නේ. පීඩනය දරන්න බැහැ . ටයිම් එකට වැඩක් ඉවර කරන්න බැහැ . තැනකට ගිහින් කතා කරන්න බැහැ . බනින්න ඕනේ තැන බනින්න බැහැ . නිදි මරන්න බැහැ . වැස්සක තෙමෙන්න බැහැ , පහුවදාට ලෙඩ කුකුළා වගේ .

    මට නම් කියන්න තියෙන්නේ කුඩු ගහන එක ඇර අනිත් සියලු අද්දැකීම පිරිමි ළමයි ලබා ගන්න ඕනේ. දුවණියන්ටත් එම අද්දැකීම් ලබා දෙන්න ඕනේ ආරක්ෂාවට අපි පිටිපස්සේ ඉඳන් . අපි ළමයි හදන්න ඕනේ කවද හරි මවක් , පියෙක් බිහි කරවීමේ අරමුණින් මිස එන්ජිනේරුවන් , කලමනාකරුවන් බිහි කිරීමේ අරමුණින් නෙවේ.

    ඔබේ සටහන ආසාවෙන් රස වින්දා අරූ….

    • ///සිරිමත් සෙට් එක ෆිනිෂින් එක කරනවා හවුස් එකේ. හරියට රෑ ඉඳන් උන් හැදුවා වගේ. බලන්න ඕනේ උන්ගේ ගණකම ඒ වෙලාවට . :(////
      සහන්…….මමත් ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙනවා..හැබැයි ඉස්කෝලේ නෙමේ. වෙනත් තැන වලදී..ඉතින් හිතන්න ගත්තේ, අපි මල් නෙලන්න මිසක්..මල් පුදන්න ඉපදුනු අය නොවේ කියලා. ඒක පසුගාමි සහ පරාජිත සිතිවිල්ලක් කියලා හිතුනේ කාලයගේ ඇවෑමෙන් වයසට යනකොට. මොහොතකටවත් එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ පසුකාලීනව. ඒ ලකුණු දමා ගැනීමේ චේතනාවෙන් නොවේ..සුදුස්සාට සුදුසු ඇගයීම ලැබිය යුතුයි නිසා…මම රස්සාවේදි පවා ඒ අගයට ගරු කරනවා.

      ///ටයිම් එකට වැඩක් ඉවර කරන්න බැහැ . තැනකට ගිහින් කතා කරන්න බැහැ . බනින්න ඕනේ තැන බනින්න බැහැ . නිදි මරන්න බැහැ . වැස්සක තෙමෙන්න බැහැ , පහුවදාට ලෙඩ කුකුළා වගේ .///////

      මේක නම් සමාජ අත්දැකීම් නැතිකමේ රෝගයම තමයි…..මම ලංකාවේදි බොසෙක් වෙලා ඉන්න සමයක මගේ වැරැද්දකට එකෙක් බැනුම් අහන වෙලාවේ ඌ කරබාගෙන ඉන්නවා. මේ හෝටලයක…(ලොකු හෝටල්වල කන්න බොන්න එන අපේ එවුන් බනින්නේ හරියට උන් ඉපදෙන කොට හැම් බේකන් අතින් අරන් ආපු එව්වෝ වගේ. හැබැයි නයිෆ් එක අල්ලන්නේ තව එකෙක්ව ඇනලා මරන්න වගේ.) මම ඕක ඇහිලා…වැරැද්ද මගේ කියලා කස්ටමර්ට ඇපොලජයිස් කරා. ඒ යක්කුත් ලොක්කෙක් සමාව ඉල්ලපුවාම පන්න පොකයෝ වගේ. මම අපේ එකාට ඒක පැහැදිලි කරලා දුන්නා. ඌ කියනවා මම කොහොමද සැර්ට වරද පටවන්නේ කියලා.(මම සෑර් කල්චර් එක නැති කරන්න වැඩ කොටසක් කරපු එකෙක් මම බොසා වෙලා ඉන්න කාලේ..ඒක මම පස්සේ ලියන්නම් ) මේ පසුගාමි චින්තනය ඇර වෙන මොකක්ද? මේ රැඩිකල් වීම නොවේ….ඇත්තටම සිදුවිය යුතුදේ නේද?
      // බනින්න ඕන තැන බනින්න බැහැ//…(වරක් හෝ දෙවරක් සිතා ඉවසා බැනිය යුතුයි )

      ///මට නම් කියන්න තියෙන්නේ කුඩු ගහන එක ඇර අනිත් සියලු අද්දැකීම පිරිමි ළමයි ලබා ගන්න ඕ////

      ඉතාම කාලෝචිත මාතෘකාවක් ඔබ ඉස්මතු කරන්නේ….ඉදිරියේදි ගැඹුරින් සාකච්ඡා කර.මු

      • silentsahan says:

        \\\\\\\\\ඒ ලකුණු දමා ගැනීමේ චේතනාවෙන් නොවේ..සුදුස්සාට සුදුසු ඇගයීම ලැබිය යුතුයි නිසා…මම රස්සාවේදි පවා ඒ අගයට ගරු කරනවා.\\\\\\\\\

        පැහැදිළිවම අරූ මෙන්න මෙයයි විය යුත්තේ… අපහාසය ඉවසගෙන සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. කව්රු මොනවා කිව්වත් වචනේ වෙනස් කරන්න හොඳම නැහැ තමන් පෙනී ඉන්නේ සත්‍ය වෙනුවෙන් කියන අවංක චේතනාව තියේ නම්. මම නම් ප්‍රින්සිපල් නෙවේ මහ ඒජන්ත ආවත් කියන්න ඕනේ දේ කියනවා.

        හැබැයි අයියේ වෘත්තීය ජීවිතේදී නම් එන හැටිය ගහ උළුවහු තමයි. අන්තිමට කාගේ කරපිටින් ගිහින් ඉවර වේවිද දන්නේ නැහැ. එකට බත් පත කන අය තමයි මුළින්ම කොළේ වහන්නේ. වෘත්තීය ජීවිතය ගැන කියන්න තියෙන්නේ නම් ජොබ් එකට කෙළ නොවෙන ඕනේ දෙයක් කරාට කමක් නැහැ. මූලිකත්වය දෙන්න ඕනේ කරන වැඩේටවත් , තමන්ගේ නම රැකගන්නවත් නෙවේ. ජොබ් එක පරිස්සම් කරගැනීමයි වැදගත්. සියලු දෙනා බලන් ඉන්නේ කට්ට ගහන්න නෙව.ඔබටත් ඕනේ හැටියේ ඔය අද්දැකීම් ඇති. ( මෙහෙම කිව්වට “අනේ ——— ” කියලා මම ආව තැන් තියෙනවා ජීවිතේදී. එහෙම නැතුවත් බැහැ නෙව ඔලුව කෙළින් තියන් ඉන්න )

        \\\\\\\\මේ පසුගාමි චින්තනය ඇර වෙන මොකක්ද? මේ රැඩිකල් වීම නොවේ….ඇත්තටම සිදුවිය යුතුදේ නේද?\\\\\\\\

        බොස් කෙනෙක් වීමේදී අනුගමනය කරන්න ඕනේ දේවල් සහ සේවකයෙක් වෙලා ඉද්දි අනුගමනය කරන්න ඕනේ දේවල් කියන්නේ දෙකක් මගේ අද්දැකීම් අනුව.
        ___________________________________
        01. බොස්
        i. යටත් සේවකයන් ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද
        ii. තම පාරිභෝගිකයන් ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද

        02. සේවකයෙක්
        i. තම ඉහළ නිලධාරියා ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද
        ii.ii. තම පාරිභෝගිකයන් ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද
        ___________________________________

        හරිම අමාරුයි ඔලුව ගහන් ඉන්න ඔබම කියූ ” ප—– ප ” ඉදිරියේ. ඔබට හොඳටම අද්දැකීම් ඇති හෝටල් ක්ෂේත්‍රයේ සිටි අයෙක් නිසා.. ටයි දාපු කබ්බෝ එක්ක තමයි ඉහ බේරන් ඉන්නම බැරි … අන්න ඒ වෙලාවට තමයි පැත්තකට එක්කන් ගිහින් පොඩ්ඩක් පැහැදිළි කරලා දෙන්න ඕනේ. ලියන්නකෝ වෙලාවක ඔය ගැන ලිපියක් ….

      • අපොයි ඔව් සහන් හෝටල් ගැන නම් ලියන්න කෝටියක් දේවල් තියෙනවා. මෙහෙම ලියාගෙන යන්නම්.

  2. අදනං සමාව ඉල්ලනවා අරූ…. ඔබේ සොයුරාගේ වැඩේට අද මට යන්න වුණේ නෑ. හේතුව අද පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ශය අය වැය විවාදයට ගත් නිසා.
    අනේ ඒ උත්සවේ පිංතුරයක් හා විස්තරයක් මට ලැබෙන්න සලස්වන්න…..

    • නලියෝ……ඒ ගැන මුකුත් හිතන්න එපා….වැඩේ සාර්ථකව සිද්ධවුනා කියලා දෑන් පනිවිඩයක් ලැබුනා…..එයාටත් වැඩ කරන්න වෙච්ච නිසා උඹව හමුවෙන්න බැරි උනා කිව්වා…….අයිටීඑන්, දෙරණ සහ සිරස ටීවී කවරේජ් එකක් කරලා…මම උඹට විස්තරයක් දන්වන්නම්…..

  3. Kenji @ Japan says:

    මල්ලිගේ වැඩේ ගැන බලන්න ලින්ක් එක දාන්න මචන්.
    ඔය කාලේ ඇන්ටික් සායි බබා,ජස්ටින් මුදලාලි හිටියේ නැද්ද මචන්?

    • [video src="http://cdn3.itn.lk/news/20131212/newsfull12.mp4" /]

      කෙන්ජියෝ…….මේ ලින්ක් එක බලපන් ITN එකේ (15:38)….අනිත් එක 12/12/2013 දෙරණ ලන්ච් ටයිම් නිව්ස් 11:32 ස්පොට් එකේ තියෙනවා…එතන ධම්ම දිසානායකගේ කතාව අහන්න තිබුනා නම් හොඳයි. ඒත් පොඩි කොටසක් තියෙනවා.

      උඹේ කමෙන්ට් එකට මම නිදහසේ රිප්ලයි එකක් දෙන්නම්.
      දන්න කෙනෙක් මේ ලින්ක් එක වැඩකරන විදිහට දාන්න Please.

      • Kenji @ Japan says:

        Thank’s neranja …..

      • @ kenji….ආදරනීය නේරන්ජනා….මතකද ප්‍රියාගේ ඒ සින්දුව. මමයි ප්‍රියායි,පුන්සිරි සොයිසායි එක පාරක් සෙට් වුනා ජස්ටින් මුදලාලිත් එක්ක දෙල්කඳ ගෝල්ඩන් ඇරෝස් එකේ. ඒව පස්සට..
        මචං ජස්ටින් මුදලාලි සල්ලි කාරයා නිසා ,ඔය කූඩු හදන කාලේ එයා කූඩු විවෘත කරන්න තමයි කැන්දන්නේ..සායි බබා එතකොට ගේම් එකේ නැහැ. උඹ දන්නවා ඇති මම කියන ගේම් එක මොකක්ද කියලා… අපි ඒවා දන්නේ පස්සේ නිසා පස්සේ ලියන්නම්..

        උඹ අපේ මල්ලිගේ වැඩේ බැලුවාද? අපේ අම්මාව දකින්න ඇතිනේ. ඩැඩි මිසින්ග්..සික් ලීව්. මල්ලි මම වගේමයි.. උගේ වගේ නෙමේ ,ඩඩා වගේ මගේ කොන්ඩේ ෆුල් සුදුයි. මම අම්මාගෙන් ඇහුවා ඇයි හිනාවෙලා හිටීයේ නැත්තේ කියලා..එය කියනවා මට ඔය කැමරා පුරුදු නැහැනේ පුතේ..මම බය වුනා කියලා..අපි හමුවුන දවසක කතා කරමු..අපි සතුටට ඇඬුවා..අපේ පොඩි නංගිගේ කෙල්ලගේ මැඩල් උත්සවේ(රජයේ පිළිගැනීම ) 13 හෙවත් හෙට (සයන්ස් ඔලිම්පියාඩ් )

  4. කොලඹ ආශ්‍රිතව තිබ්බ නගර ගම් වල ඉඩම් ක්‍රම ක්‍රමයෙන් ඉහල යන කොට ඒ ගම්වල හිටපු මධ්‍යම පාන්තිකයන් ඒවා, පිටගම වලින් එන අයට විකිණලා ඈතට යනවා….අන්තිමේදී ඔය තැන්වල ඉන්නේ ඔක්කොමලා අළුතින් ඒ ඒ තැන්වල පදිංචි වෙච්චි කට්ටිය… අරුන කියලා තියෙන, ඉස්සර තිබ්බ එකමෞතුතාවය ගිලිහි යන්න මෙයත් හේතූවක් වෙන්න පුලුවන්…

    අරුන ඔයාගේ මේල් එක මට ලැබුනා. යෑමට නොහැකි වීම ගැන සමාවෙන්න…

    • බුදු අම්මෝ මයියෝ උඹත් දන්න දේවල්….එකමෞතුතාවය…..මට මතක් වුණේ මෛථුන්‍යය (හරිද මන්දා)..එකමෞතුතාවයද?…ඒකමෞතුතාවයද?….ඔය මොකක් වුණත් උඹේ අදහස පැහැදිලියි. ඕකත් එක හේතුවක්. සමාජ සම්බන්ධතා බිඳවැටීම ඉතා ශීඝ්‍රයෙන් සිද්දවෙන්න පටන්ගත්තා 1977න් පස්සේ. එතනින් ඇතිවෙච්ච සමාජ, ආර්ථික, සංස්කෘතික වෙනස්වීම් සමාජයට එකවර දරා ගන්න බැරිවුණා. මේ මගේ අදහස…තවත් අදහස් ඇති..අපි සාකච්ඡා කරමු.

      මොනවා වුණත් උඹේ එකමෞතුතාවයෙ ඉංග්‍රීසි වචනය සහ සිංහල පැහැදිලි කිරීම තව ටිකක් කරපන්. මම ඒ ලෙවල් වලින් පස්සේ ඉගෙනගත්තේ නැති බුවෙක්.

      යාමට නොහැකිවීම ගැන මුකුත් හිතන්න එපා. මටත් යන්න නොහැකි වුණා..අපි යථාර්ථයේ හාදයෝ මයියා.

      • මයියා…..බලපන් එකමෞතුතාවය ටයිපින්ග් මිස්ටේක් එකක් කියලා දැන්නේ තේරුනේ.

  5. ටිකක් හොයලා බලන්න, අද බොහෝ පලාත්වල පන්සලේ පිංකමකටවත් තරුණ පිරිස එක්කරගන්න අමාරුයි. ටියුෂන් පන්තිය දාලා එන්නේ අම්මා තාත්තා මැරුනොත් විතරයි. පන්ති මගහැරෙයි කියලා තමන්ගේ ඥාතියකුගේ මළගෙදර නොගිය ‘…………..පුතෙක්’ මම දැක්කා. එදා ඔයවගේ වැඩට හවුල්වීමෙන් තරුණ පරපුර ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ අත්දැකීම් ජීවිතයට සම්බන්ධ කරගෙන දියුණුවක් ලැබුවා. අද මොන මගුලකට වුනත් විශ්වාසය තබන්නේ ටියුෂන් මාස්ටර්. ඔහු දුන්න සටහන්. ජංගම දුරකථනය. කවුරුහරි කියන ඕනෙම දෙයක්. විචාර බුද්ධිය බින්දුවට බැහැලා තියෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් නැති නිසා.

    • අරූ, මට උදව්වක් කරනවද. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර ඉබේම වැහිලා. එය වර්ඩ්ප්‍රෙස් අඩවි වලට එන දෝෂයක්. මම වර්ඩ්ප්‍රෙස් ප්‍රධාන අඩවියේ සොයාබලා කල විසඳුම් සාර්ථක වුනේ නැහැ. මම පාවිච්චි කරන්නේ wordpress.com (නොමිලේ දෙන) ක්‍රමයයි. එහිදී කිසිම plugin එකක් දාන්න ඉඩ දෙන්නේ නැහැ. comments are closed කියන ගැටලුව තමයි විසඳගන්න ඕනේ.

    • ස්තුතියි anfran911 නමුත් ඔබ කියා තිබෙන දේ කරන්න ඒ php editing කරන තැනට යන ක්‍රමයක් මගේ template එකේ නැහැ.

    • විචාරක….මටත් ඔය වගේ ****පුත්තු සහ දූවරු හමුවෙලා තියෙනවා. මේ සමාජ පිරිහීමට වග කියන්න ඕන අපේ පරම්පරාවේ අයද කියලත් එක වෙලාවකට හිතෙනවා. හැබැයි අපේ ළමයිනම් මොන ටෙක්නොලිජියේ හිටියත් සමාජයත් එක්ක තියෙන වගකීම් සහ යුතුකම් අතහැරලා නැහැ. අපේ දුව අදටත් ඇය ඉගෙනගන්නා විවියේ සීනියර් වොලන්ටියර් කෙනෙක් හැටියට අලුතෙන් එන අයට අවශ්‍ය උදව් සහ පහසුකම් සැලසීමේ කංඩායමේ ඉන්නවා. ඔබ දෙදෙනාගේ දරුවනුත් එසේම වෙන්න ඇතැයි හිතනවා. මගේ නෝනාගේ අම්මාත්, අපේ දෙමව්පියනුත් එදා ඉඳන් කියපු දෙයක් තමයි charity begins at home කියලා. ඕවා ඔහොම තමයි විචාරක.

      අපිට විචාර බුද්ධියක් තියෙනාවානම් මෙහෙව් රටේ පාලකයින් ඉන්න ඕන කෞතුකාගාරවල.

  6. රාජ් says:

    කැටයම් හෙන්රි කැටයම් චින්තකගෙ කවුරුහරිද දන්නෑ. 🙂

    කූඩු වලට නං කරන්න තියෙන්නෙ පුච්චන එක තමයි.

    • රාජ්……මම හිතුවා කවුරු හරි ඔය ඇට කැටයම් චින්තකයාව මතක් කරයි කියලා.

      කොහෙන් පාත් වෙච්ච එකෙක්ද බං ඌ? මෝර සුනිල්, වෙස්සන්තර කරුණේ, වල්සරා නොහොත් මල්සරා වගේ කට්ටිය නම් ඉස්සර කොළොන්නාවේ හිටියා. දැන් දකුණෙන් මෝස්තර කාරයෝ කැටයම් කාරයෝ හරියට බිහිවෙනවානේ රාජ්..මම කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාටම.

      කූඩු පිච්චුවේ නැත්නම් පාප්ප කන්න මීයෝ කැරපොත්තෝ බෝවෙනවා. ඇත්තටමයි කියන්නේ.

  7. deshakaya says:

    අද නං ඔය සම්මාදන් සීන් එක වෙනම සබ්ජෙක්ට් එකක්. දැං සල්ලි එකතු කරල උන්ගේ ෆන් එකටත් හොද කොටසක් වෙන් කරගෙන තමා වැඩේ කරන්නේ. ඒකත් කමක් නෑ කියමු භාණ්ඩාගාරිකයෝ දැං සල්ලි හොර මඩි ගහන්නමයි බලන්නේ.. මොනව උනත් අරූ මාත් අත් විද ඇති හා තවමත් අත් විදිනා දේ තමා පහල පෙල යැයි අප සිතනා මිනිසුන් තුල ඇති එකමුතු බව හා විනෝදකාමි බව. ඒක සැබෑවටම නරුම සමාජයක් හැබැයි හරිම ආතල් කරන වැඩේට අවංකයි.

    උඹට කියන්න මාත් ඔය සිගරට් එකක් ඉස්සෙල්ලම බිව්වේ මං හිතන්නේ 8 වසරේ විතර මළගෙදරකදී.

    • දේශක…..දැන්නම් අධාර එකතු කිරිල්ල විගඩමක් වෙලා තමයි. වෙසක් පොසොන් කාලෙට කොච්චරක් කියලා එනවාද..මිනිස්සුන්ට කරදරයක් වෙලා තියෙන්නේ. ඔය කූඩුව කාලේ රෑට තේ බොන්නවත් ඒ සල්ලි වියදම් කරන්න දුන්නේ නැහැ. කොල්ලෝ සෙට් එකේම ගෙවල්වලින් තමයි තේ, බිස්කට්, ජෑම් පාන් ලැබෙන්නේ. නැත්නම් තේ කඩ දෙකේ ඩයස් මුදලාලි හරි ඇඩ්ඩින් මුදලාලි ගානේ. හීනියට අඩියක් ගහන අය එව්වා වේලසනින් කරගෙන එනවා. හොඳ විනයක් තිබුනා. විහිළුවෙන් විනෝදයෙන් වැඩේ ගියා.

      රෑ නිදිමැරලි වලින් තමයි කොල්ලෝ සිගරට් වැඩේට හුරු වෙන්නේ.

  8. “, කැටයම් හෙන් රි, මෝටර් රංජි.” යකඩෝ නම කියන කොටම මෙතන වෙසක් කුඩුවක්නේ තියෙන්නේ…. මමත් ලංකාවේ ඉන්නකම් දන්නා දා ඉදලම වෙසක් පොසොන් වලට කුඩු තෝරන් වලට සජිවිවම සහබාගි උන පොරක් තමයි …. කොටින්ම ඒ අමාරුවට මැලේසියාවෙත් 2010 ගැහැව්වා තොරණක් පන්සලේ …

    • රාළේ……මට සමහරක් නම් අමතකයි..තව කෙනෙක් හිටියා ආටි අයියා කියලා. චිත්‍ර අඳිනවා…ඒ හින්දා නෙමේ ආටි කියන්නේ…ආටිගල කොටකරලා. අපේ මාමලගේ වයස. බැඳලා හිටියෙත් නැහැ. ඩෝප් එක දානවා අම්බානක. මහරෑට අම්මා එනවා හොයාගෙන.

      අපිත්1990 ගනන් වල ඕමානේ ඉන්නකොට එම්බසියත් එක්ක එකතුවෙලා වෙසක් කූඩුවක් හරි තොරණක් හරි ගැහුවා මතකයි.

      • සිරා says:

        2014 දිත් තොරණ ගහපං දෙයියො…මගේ ගානෙ නාසි ලෙමක් උදේට…දවල්ට නාසි ගොරෙන්ග්…රෑට මැගී ගොරෙන්ග්….

  9. මම මෙතනදි දැක්ක දේ තමයි. ගමත් එක්ක ඉඳලා දිනන මනුස්සයට ඊට පස්සෙ රජෙක් වගේ සලකනවා කියන එක. හැලපෙත්, අරුත්, අද ඒ ගම් වල මිනිස්සුන්ට රජවරු.

    අපේ බජාර්වල අපිට වඩා ටැලන්ටඩ් උන් බොහෝමයක් උන්නා.. සමහර උන් අද විශ්ව විද්‍යාලවල ගිහිල්ලා මහාචර්යවරු වෙලා සුද්දන්ට උගන්වන උන්. ඒත් අපේ ගමේ මිනිස්සුන්ට උන් තාමත් විසේ පොවපු කොල්ලෝ. උඹලා වගේම උනුත් ගමේ ආවම මේ හැම එකාම හම්බ වෙනවා. අපි ඒ තරම් පොරවල් නොවුනත්. ගෙවල් ගාව ඉඳා අතේ දුරින් පේන හංදියට යන්න පැය භාගයක් විතර යනවා.. ඒ දේවල් කවදා ලබන්නද මචං..

    මටත් මතක් උනේ.. අපි කරපු මහා ඇටකටු දාන්ස්, අපාය, කුරුම්බා දන්සල් අරවා මේවා හෙම.. පාන් කූඩූ රාජයෝ නම් හදලා නෑ.. උඹලගෙ එක ගැන මට මතකයක් නෑ.. ඒත් පොඩි කාළේ රත්මලානේ පාන් කූඩුව බලන්න යනවා නම් හොඳට මතකයි.. අපේ නෑ කෙනෙක් හිටියා ඒ පැත්තේ.. එදාට නාලාගිරි දමනය, කූඩූවෙත් තිබුනා.. අර අපේ නෑ ගෙදරත් තිබුනා..

    • ///// ගෙවල් ගාව ඉඳා අතේ දුරින් පේන හංදියට යන්න පැය භාගයක් විතර යනවා.. ඒ දේවල් කවදා ලබන්නද මචං..///////
      මේ ගැන නම් කියලා වැඩක් නැහැ මාතා….කීදෙනෙක් එක්ක නැවතිලා කතාකරන්නද. සිගරට් බාග කීයක් පාස් වෙනවද? හැන්දෑවට සෙට් වෙන ආරාධනාත් එහෙමයි…කාලයාගේ ඇවෑමෙන් දෙල්කඳ පැත්තනම් සෑහෙන්න වෙනස් වුනා. ගමේ මිනිස්සු ලොකු ගනන්වලට ඉඩම් විකුණලා අතුරුගිරිය,හෝකන්දර,හෝමාගම පැතිවලට ගියා. ඉන්න බැරි සයිස් එකට පංචිකාවත්ත ලෙවල් එකට වැටුනා. තාමත් ජෝරිස්ලා ඉන්නවා. කේ.එච්.ජේ.විජේදාස ලොක්කාගේ මහ ගෙදර තියෙනවා.

      අපේ කූඩු සෙට් එකේ මාර වැඩර්ලා හිටියෙ..මෝටර් රංජි පොළ ඉස්සරහා උගේ වැඩපොළේ ඇටකටු ඩාන්ස් එකක් හදනවා.

  10. සමාජෙන් ඈත් වෙලා හිටපු ප්‍රේම්ජයන්ත් අන්තිමට ඇමති කෙනෙක්???

    අරෑ අයියෙ අර අන්තිමට කියපු කතාව නිසා මතක් උන කතාවක් කියන්නම්.
    2011 අපේ නෑදෑ සීයා කෙනෙක් නැති උනා ‘සේදවත්තෙ’ අපිත් බැහැලා හිටියා ඉතිං. රෑ වෙත්දිඔය පැති වල පුදුම සෙනගක්නෙ පිරෙන්නෙ මළගෙවල් වල ඔය අතරේ හිටියා අවුරුදු 12ක 13ක විතර කොල්ලො සෙට් එකක්. මායි තව අපෙ මස්සිනාලා ටිකකුයි තමා ඔය සෙනගෙ ඔනෑ එපාකම් බල බල හිටියෙ. මෙ කොල්ලො සෙට් එකේ එකෙක් මට කතා කරලා අහනවා “ඒ කොල්ලා මලක් නැත්ද බං අපිටත් කියලා” මුංට නෙමේ එකෙක්ටවත් මල් නම් දුන් නැති නිසා මන් නැහැයි කිවුවාම “එහෙනම් ඉතින් සිගරට් එකක් වත් දීපන් බං” කිවුවා.
    අන්තිමෙ මගෙ මල්ලිටත් වඩා වයසෙන් බාල කොල්ලො සෙට් එකකට සිගරට් සපයන්න උනා මටම. සිගරට් එක බීලා පැය භාගයක් ගියෙනෑ මුං ටික ගිහින්. උන් ඇවිල්ලා තිබුනෙම මල් ගහන්න.
    මේවා දකිත්දි කියන්න තියෙන්නෙ “අනේ අපේ අනාගතේ” කියලා තමා.

    • ප්‍රියා….සුසිල් ප්‍රේම්ජයන්ත අපේ කූඩු වැඩවලට නාවාට එයාගේ ඉස්කෝලේ ගොඩක් සමිති සමාගම්වල වැඩකෙරුවා. සෑහෙන ලොකුවෙලත් කොට කළිසම් තමයි ඇන්දේ බුවා. එකට මෑන්ගේ තාත්තා කරුනාපාල අයියා. අපේ තාත්තලාගේ යාළුවෝ. ඕන තැනක බැහැලා ඉන්නේ. උදේම කඩේට එනවා පත්තරෙයි, රේස් කොලෙයි තමයි. ඉස්සර ඒ වයසේ අය රේස් දැම්මා. සිරිමාවෝගේ කාලේ තහනම් කරලා තිබුනේ. ඒත් වැඩේ ගියා. ඒ ගැනත් පස්සේ ලියන්න ඕන.

      සේදවත්තේ නේද කළු පාලම තියෙන්නේ…ඔය කිට්ටුව මගේ ක්ලාස් එකේ යාළුවෙක් හිටියා විමල් රත්නසිරි කියලා. මම ඒ දවස්වල ඒ ගෙදර එනවා.

  11. damith says:

    ඔයවගෙ වැඩකට නෙමෙයි අයියෙ අඩුගානෙ හැන්දැවට සෙල්ලම් කරන්නෙ කොල්ලොටිකක් එකතු වෙනවද.කියල වැඩක් නැ.දැන් කොල්ලො කියල අමුතුදෙවල් කරන්නෙ නැ.කෙල්ලොත් කරන කම්පියුටර් ගෙම් විතරයි

    • අයියෝ කතාකරලා වැඩක් නැහැ….දැන් ළමයි සෙල්ලම් කරන්නෙම නැද්ද මන්දා. ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නේ සෙල්ලම් කරන්න බලාගෙන..බත් එක කන්නෙත් ඕනාවට එපාවට ගෙදරින් පනින්න බලාගෙන. දැන් ටීවී එක ඉස්සරහ මොකක් හරි ගැජට් එකක බොත්තම් ඔබ ඔබ තනියෙන් සොමි ගන්නවා…එහෙම නැත්නම් කම්පියුටර් එක ඉස්සරහ තනියෙන් හිනාවෙනවා (ඒකනම් අපිත් කරනවා මේ බ්ලොග් හින්දා)

  12. Senna says:

    අරූ මේ ලියන විදිහ හරිම ගති. මම ආසයි මේ ක්‍රමේට.

    අපිත් එක සැරයක් වෙසක් එකට මහා පහන් කූඩු රාජයෙක් හැදුවා. අපේ තාත්තා තමා විදුලිය සම්බන්ධ වැඩ කටයුතු කළේ. ජීවිතේ මුල්ම වරට එදා තමා මම ෆ්ලෑශර් කොටයක ක්‍රියාකාරිත්වය දැක්කෙ. දැන්නම් ඒවට අයි.සී. අරවා මේවා තියන සර්කිට් ඇති. ඒත් අර සරල යාන්ත්‍රණය මාර මෙහෙවරක් කළා ඒ දවස් වල.

    • ////අරූ මේ ලියන විදිහ හරිම ගති. මම ආසයි මේ ක්‍රමේට./////
      මේක තමයි සෙන්නා මම දන්න වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රමේ…හිතට එනවා, කොල කැල්ලක ලියනවා, ටයිප් කරනවා…හැබැයි කාට හරි අහුලගන්න මොකක් හරි පනිවිඩේකුත් තියන්න ට්‍රයි එකක් දෙනවා.

      ෆ්ලෑශර් කොටයක් තිබුනා අපේ නැන්දාගේ ලොකු පුතා බන්දුල අයියාට. මිනිහා එන්නේ නැහැ කූඩුවේ වැඩවලට. විවෘත කරන්න එනවා. එයා ඔය ෆ්ලැශර් කොටෙන් විශාල බුදු පිළිමයකට රැස් වලල්ල සෙට් කරනවා. පොළ ඉස්සරහ තමයි ගේ තිබුනේ. එයාගේ මල්ලි ආනන්දසිරි අපේ සමිතියේ භාන්ඩාගාරික. කොච්චර දේවල් කරාද සෙන්නා…මතක් වෙනකොටත් ආසයි.

  13. helapayaa says:

    කියවගෙන යද්දී මම හොල්මන් වුණා මචං,මම කල්පනා කලේ උඹ මගේ කතාව කියන්නෙ මොකද කියලයි.
    ඇත්තටම කතාවෙ රස මතුවෙන්නෙ දැන් තමයි ලියාගෙන යමු.
    ඒක නෙවෙයි නරකද වර්ඩ් ප්‍රෙස් අත ඇරල බ්ලොගර් වලට ගොඩවුනොත්,පේනවනෙ අර විචාරක තුමාට වෙලා තියෙන දේ .

    • @ හැලපේ……උඹටත් ඇති මේ වගේ අත්දැකීම් රාශියක් නේද? මේ කතාවලටත් වඩා රසවත් ඇති උඹ මටත් වඩා ගම් පලාතේ නිසා. හැම දෙයක්ම ලියලා තියන්න.

      මේ බ්ලොගර් වැඩේ මම දන්නේ නැහැ…කාව හරි අල්ලගෙන ශේප් එකේ කරගන්න ඕන හැලපේ….බොහොමයක් තියෙන්නේ බ්ලොගර් නේද?

      • deshakaya says:

        මේකට යට්න ඉන්න තඩි දැරිවි අල්ලගන්න වැඩේට. අර කෙන්ජටත් බ්ලොගර් ටීචර් වගේ හිටියේ ඒකි තමා. (ඒකාට වයස තරමට මොලේ නැහැනේ බං)

      • බලමු…තඩි දැරිවි කිව්වේ ඔමාද?

  14. මං හරි ආසයි ඉස්සර ඔය වගේ එවුවා කරනවා බලන් ඉන්න.. අර තොරණ වල පිටිපස්සේ තියෙන ෆ්ලෑෂර් කොටේ කැරකෙන හැටි බලන්න තමයි මං ආස .. ඔයාගේ ලිපිය කියවද්දී ඒ අත්දැකීම් මතක් වුණා..පොඩිකාලේ කොල්ලා වගේ හින්දා තාත්තාගේ අතේ එල්ලිලා ඔයවගේ වැඩ කරන තැන් වල ඉදලා දැකලා තියෙනවා ..දැන් කොහෙද එවුවා ..

    • හලෝ ඔමා….ෆ්ලෑශර් කොට දැකලා තියෙනවා නම් ලොකු දෙයක්.. දැන්නම් ඒවා පාවිච්චියක් නැහැ.තඹ පතුරු ගහලා බෙරේ වගේ නේද ඒක. ස්පාර්ක් වෙවී කැරකෙනවා. එක පාරක් වෙන කොහෙද ඕක ගිනිගත්තා. හොඳයි, හොඳයි ඔමාටත් නියම අත්දැකීම් තියෙනවානේ.

      • ඔව් අයියේ ඒක තමයි දැන් පාවිච්චි වෙන්නේ නැහැ ,,ඒත් ඒක කරකැවෙන එක පුංචි කාලේ මට මහා පුදුමයක් ,

  15. සිරා says:

    මම හැමදාම කියනවා වගේ අද දකින්නට නැති බොහොම මනරම් අතීතයක නටඹුන් තමයි ඔබේ අතින් හැමදාමත් ලියවෙන්නෙ…අපේ ගමෙත් පොදු වැඩ වලට මේ වගේ දායක වෙච්ච අවසන් පරම්පරාවෙ කෙනෙක් තමයි මම. අපිත් ඉස්සර ආධාර එකතු කරන්න ගෙවල් ගාගෙ ගිය හැටි…එක එකාගෙන කතන්දර අහගත්ත හැටි මතකයි….රු 500 කියලා ආධාර කොලේ පළවෙනි නමට ගමේ කාගෙ හරි නමක් ලියාගෙන හැමදාමත් වගේ ගමේ කොනටම වෙන්න තිබුන නිවසින් තමයි වැඩේ ආරම්භ වුනේ…ඒ අය ඇතිහැකි ඇත්තො උනත්…අපි බින්දුව දාන්න කලින් තිබ්බ නියම ගාන ඉවෙන් වගේ දැනගෙන රු 50/- ඉතසිතින් ආධාර කලා හැමදාමත් වගේ…බින්දුවෙ කේස් එකට නම් වතාවක් සෑහෙන සැර වලියක් ගියා.

    • සිරා……..තව අවු10-15 ගියාම සිරාලාගේ කාලේ ඒවා තව පරම්පරාවකට රසවත් වෙයි. ඕක තමයි චක්‍රය නේද?

      අපිත් ආධාර පත්තරේ උඩින්ම ලොකු ගානක් දාගන්න තමයි බලන්නේ. එහෙම දෙයි කියලා හිතන තැනකට තමයි ඉස්සෙල්ලා යන්නේ…ඊට පස්සේ යන ගෙදර අය හරි අපහසුතාවයට පත්වෙනවා. සමහරු කියනවා පොඩි ගානක් ලියලා වැඩේ අප්සට් කරන්න බැහැනේ රවුමක් ගිහිල්ලා යන ගමන් එන්න කියලා.

  16. කාවා says:

    මම මිහින්තලේ දැන් සතියකට කලිනුත් නැග්ගා. දැන් ඒ පුරයත් අහවල් රජාගේ අණසකට යටත්. මීට කලින් එකේ හාමුදුරුවන්ටත් පොර ගේමක් දුන්නානේ. ඔව කවුරුත් දන්න රහස් තමයි.
    ———————————-
    පොරක් දවසක් මට කීවා.
    මට අවශ්‍යනම් ඉන්න තැන ක්ෂණිකව සොයාගෙන එන්න පුළුවන් කියලා. මගේ IP එක හොයාගෙන බ්ලොක් කරනවා කීවා. හැක් හැක් මමනම් පඩයකටවත් ගනන් ගත්තේ නෑ. මමනම් ඔය බිට් බයිට් ගිලලා නෑ. ගිලින්නෙත් නෑ. අදහන්නෙත් නෑ.
    ———————————–

    • කාවෝ….රාජ අණසකට නතු නොවෙන තැනක් තියෙනවාද බන් රාජධාණිවල. ඒ කන්දත් අපේ තමයි…….මේ කන්දත් මගේ තමයි….

      මිහින්තලේ නේද වලහාහැංගුනවැවේ හාමුදුරුවෝ හිටියේ. යුඇන්පියට හිතවත් නේද ඉස්සර.

  17. ඩිලාන් says:

    තාමත් ඕවා නෑ කියන්න බෑ අරූ,,නගරේ නැතුව ඇති,,,,ඒත් අපේ ගම්වල තාමත් ඔය දේ සිද්ද වෙනව,,,අපේ ගම්වල පල්ලි මංගල්ල වලට මාසයක් තිස්සේ අපි වැඩ පටන් ගන්නේ,,,

    • ලොකු දෙයක් ඩිලාන් තාමත් සාමුහිකව වැඩක් කරන්න මිනිස්සු ගමේවත් ඉතිරිවෙලා ඉන්න එක…දැන් තියෙන්නේ එකතුවෙලා වැඩ කරන සමාජයක් නෙමේනේ.

  18. Anonymous says:

    //අපි ළමයි හදන්න ඕනේ කවද හරි මවක් , පියෙක් බිහි කරවීමේ අරමුණින් මිස එන්ජිනේරුවන් , කලමනාකරුවන් බිහි කිරීමේ අරමුණින් නෙවේ.// සහන් කියල තියෙන දේට මමත් එකඟයි. හැබැයි ඒකට තව දෙයක් එකතු කරන්න කැමතියි. අපේ දරුවන් බේබද්දෝ සල්ලාලයෝ නාස්තිකාරයෝ කරන්නත් නරකයි. අරුණ අයියා කියල තිබුණා සිගරට් බීපු එකෙන් නැති උන දෙයක් මිස ඇති උන දෙයක් නෑ කියලා. සල්ලි දීලා ලෙඩගන්නවා කියන්නේ ඕකට තමයි. අර කූඩුව තාමත් හදනවද?

    • ඇනෝ……ඒ කූඩුව අවුරුදු 4ක් විතර තමයි කරේ…ඒ කට්ටියක් විවාහ කර ගත්තා…පස්සේ ඒ අයට මේවාට වැය කරන්න කාලයක් තිබුනේ නැහැ. අර කවි කියන හාදයාගේ ගොබ්බ වැඩ නිසා කැටයම් කපපු කෙනත් පස්සේ ඒක එයාගේ රැකියාව නිසා ගෙවීමක් බලාපොරොත්තු උනා. සාමුහිකත්වය බිඳ වැටුනා. අපිත් ඒ වගකීම් බාර අරන් කරන්න පුළුවන් වයසකත් නෙමේ හිටියේ….මමත් ඒ පැත්තෙන් තවත් පැත්තකට ගිහින් නැවතුනා….අන්තිමටම අයවැය හදලා ඉතිරිවෙච්ච සල්ලි ගමේ පන්සලට දීලා වැඩේ අහවර කරා කියලා මම දැණගත්තා.

    • silentsahan says:

      @ ඇනෝ

      සිගරට් බීම ගැන මගේ අද්දැකීමක් කියන්නද ? මම දවසක් දැක්කා තද අව්වේ කෙට්ටුම කෙට්ටු කෙනෙක් සිගරට් එකක් බිබී පයින් යනවා. මට එදා හිතුණා ඇයි මේ සල්ලි දීලා සිගරට් එකක් බොන්නේ , ඒ සල්ලි වලින් බිත්තර ආප්පයක් කන එකෙන් ඇඟට හරි සෙතක් නේද කියලා.. ඊට පස්සේ මම සිගරට් බොන්නේ නැහැ… ( මේ ළඟදිත් සිගරට් එකක් බොන්න කියලා හැදුවා විතරයි කොහෙද නැති වැස්සක් කඩන් පාත් වෙලා ඒක නිවුණා 😦 )

      අරක්කු ගැන අද්දැකීම මෙහෙමයි..කාලයක් තිබ්බා එක දිගට අරක්කු බිව්වා තනියම කාමරේට වෙලා. පස්සේ තේරුණා මම කොච්චර බිව්වත් පහුවදා උදේ නැගිට්ටම මගේ ප්‍රශ්න ටික එහෙමම තියෙන බව…ඊට පස්සේ අරක්කු බොන්නෙත් නැහැ….

      අනිත් ඒවා නම් කොහොමත් නැහැ මා ළඟ.. බිරිඳ පමණයි…

      • Anonymous says:

        අහන්නත් සතුටුයි. සිංහල කොල්ලෙකුට මොළේ පෑදීම ගැන. සිංහලයව නසන්න පර සුද්ද බෝකරපු ජරාව සදහටම මේ රටෙන් තුරන් වෙනවනම්….., ජීවිතේ අවසාන කාලයේදී ඕවට වියදම් කරල තියෙන සල්ලි ගණන් බැලුවනම් තව දරුවෙක් දෙන්නෙක් රටට දායාද කරන්නත් තිබුණා.

  19. nil manel says:

    කියවද්දි හරි ආසාවක් හිතෙනවා.කොච්චර සහයෝගෙකින් වැඩකරල තියෙනවද කියල.ජීවිතේ අමතක නොවෙන අත්දැකීම්. සමාජයෙ ගැවසෙන්න ඉගෙන ගන්නෙ ඒ වගේ සාමූහික දේට සම්බන්ද වෙලා තමයි.

    • නිල් මානෙල්……සාමුහිකව එකතුවී වැඩක් කිරීමේ තෘප්තිය කොච්චරද කියලා හිතෙන්නේ ඒ වැඩේ ටිකින් ටික ඉදිරියට යන කොට….දැන් ඉතින් ගොඩාක් දුරට වෙන්නේ තනියෙන් ඉදිරියට යන එකනේ….ඒවා රසවිඳින්න පුළුවන් …හැබැයි තනියම. කාලය මැවු වෙනසක අරුමේ!!

  20. හරිම අපුරුයි අරූ..ඒ වගේම ලස්සනයි.බොහෝසේ රස වින්දා හරියට පහන් කුඩුවක් දිහා බලන් ඉන්නවා වගේ හැගීමකින්.

    • //// පහන් කුඩුවක් දිහා බලන් ඉන්නවා වගේ හැගීමකින්./////
      මනෝ……පහන් කූඩුවක් දිහා බලන් ඉන්නවා වගේ පහන් හැඟීමෙන්ද……එහෙම නැත්නම් කූඩුව කැරකෙනවා වගේ උඹේ ඔළුව කැරකැවෙන්න පටන් ගත්තාද?D

  21. අරූ අයියේ අද සමාජයේ ඉන්න ළමයින්ට උගන්වන්න ඕන සහජීවනය කියන්නේ මොකක්ද කියලා, අල්ලපු ගෙදර එකාවත් දන්නේ නැති වට පිටාවක හුදකලා ජීවිත තමයි ජීවිත් කියලා හිතන එක නවත්ත ගන්න තියෙනවනම් හරි. ඉස්සර සාමුහිකත්වයේ තෝතැන්න වුනු ,පාසල, කාර්මික විද්‍යාල, සරසවි වුනත් නිකන් ටියුෂන් පන්ති වගේ

    • කොහොමද පවුලූශා සහජීවනය උගන්වන්නේ…ඉපදිච්ච දවසේ ඉඳන් තරඟේ ..තරඟේ. ඉස්කෝලෙට දාගන්න, ශිෂ්‍යත්ව දිනන්න කීයක් දේවල්ද? ඉස්කෝලේ ඉන්න කම් සමිතියක තනතුරක් ගන්න තරඟ…….ඊට පස්සේ සමාජයට ආවාට පස්සේ රස්සාවට තරඟ…..අනිත් එවුන් පාර්ලිමේන්තු යන්න තරඟ..අමුතුම මිනිහෙක්නේ ඉතිරිවෙන්නේ. ඉස්සරත් තිබුනා, නමුත් මේ තරම් අගතිගාමි විදිහට නොවේ.

  22. සමී says:

    මාත් එනවා අද ඉදං 🙂

    • deshakaya says:

      පරණ ඒවා කියවහං සමියෝ ඒවා කියවල කිමිදිල බලහං.. අපේ අපෙි ජීවිත වලත් කෑලි තියෙනවා..

    • @ සමී…….වරෙන්!!!!
      මේක ගුනේ අයියාගේ බජව් දාන කාමරේ
      මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ………

  23. අරූ ඔය කියන කාලෙට අවුරුදු දහයකට පහළොවකට විතර පස්සේ මමත් දෙල්කඳ, ගම්සබා හන්දිය හා උඩහමුල්ල පැත්තේ සෑහෙන කරක් ගැහුවා. උඹ කියන කතාවේ රහත් එක්ක හිත ඒ ඒ තැන්වලට යනවා.

    • ඔය උඹ කියන කාලෙත් ආපහු වටයකින් පස්සේ මම දෙල්කඳට ආවා..එතකොට තමයි ඔය ස්පෙයාර් පාර්ට්ස් බිස්නස් පටන් අරන් අර ගම නැතිවෙලා යන්න පටන් ගත්තේ. උඩහමුල්ලේ ස්ටේෂම ගාව රේල් පාර අයිනේ තිබුන පැල්පතේ හිටියේ මගේ යාලුවෙක් ප්‍රියන්ත කියලා. හොඳට හිටපු මිනිස්සු. පස්සේ ඔහොම උනා. පාරට වැටුනා. ඒත් ප්‍රියන්ත රස්සාවක් කරන් හොඳට හිටියා…පස්සේ කුඩු වලට වැටුනා…ඊට පස්සේ නුගේගොඩ බෝ ගහයට කිළුටු පෙරාගෙන ජීවත් වුනා ගණිකාවක් එක්ක. පිස්සු හැදෙන කතාවක් තිලකේ. මම උදව් කරා .වැඩක් වුනේ නැහැ.

  24. ඉස්සර නම් ඕව කළා. දැන් නම් කම්මැලි වෙලා…. හුරේ! අද මම මගෙ ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන හැටි ඉගෙන ගත්තා 🙂

    • බ්ලොග් අප්ඩේට් කරන හැටි ඇහුවා. දන්නේ නැහැ කියලා තමයි මම උත්තරේ දුන්නේ. මෙන්න රටට වැඩක් ඇති දරුවෙක්. දැන් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දානවා…හුරේ..හුරේ..හිපිප්..හුරේ!!!!!!!!!

      /////ඉස්සර නම් ඕව කළා. දැන් නම් කම්මැලි වෙලා/////
      ඔය වැඩ වලට ගියාම කම්මැලිකමට වඩා එන්නේ කලකිරීම දිලිනි සමහර වෙලාවට.

    • අනේ මටත් කියලා දෙන්ටකෝ… 😦

  25. Kandyan says:

    වෙසක් පොසොන් උත්සව කියන්නෙ මුදලාලිලාගෙ පව් හෝදගන්ට හොඳ අවස්ථාවක්. 🙂 ඒත් එක්කම ගමේ කස්ටියගේ පරණ නොහොඳ නෝක්කඩු අමතක කරලා එකට එක්කහු වෙන්ටත් අවස්ථාවක්. දැන්නං ඒකේ අනික් පැත්ත. උත්සවේ ඉවරවෙන්නෙ දෙන්නෙත් තුන්දෙනෙක් වාට්ටුවේ නැවතිලා..වලපල්ලටත් යන තැන් නැතුවාම නෙවේ!

    • කැන්ඩියන්…….බොහොමයක් මුදලාලිනම් එහෙම තමයි බං. අපේ ඩයස් බඩා නම් බොක්කෙන් තමයි කරේ. මුදලාලි උනත් දුප්පතා. මේ දවස්වල වෙසක් දන්සල් ඉවරවෙලාත් මුන් මරාගන්නවානේ…මාර කේන්ති කාරයෝ සමාජේ ඉන්නේ.

  26. Ravi says:

    ” මහා වෙසක් තොරණ් රාජයා අද සිට සිව් දිනක් වීදි සංචාරය කරනු ඇත. එන්න නරඹන්න, ප්‍රීතිවන්න, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩෙන්න”

    • මේ මොකක්ද බං මේ? තොරණ් රාජයා වීදි සංචාරය කරන්නේ රෝද හයි කරලද?

      • Ravi says:

        ඔව් බං ඒ කාලෙ රාජගිරියෙ ඉඳල නාවල හරහා නුගේගොඩට රෝද හයි කරපු තොරණක් වීදි සංචාරය කරනව 🙂

        බොරු බං..මහා තොරණ් රාජයා වීදි සංචාරය කිරීම කියන්නෙ නිකම් මේ විහිළුවට කියන කතාවක් 🙂

      • රවීයෝ….මම ඇත්තටම හිතුවා උඹ මේ ඒ වගේ දන්න කතාවක් කියන්න යනවා කියලා.

  27. ජෙමා says:

    හැලපෙ අයියගෙ ආටම ලියන අරෑගෙ අඩවියට හොට දන්න ලැබීම ගැන සතුටුයි..මහා පහන් කූඩු රාජය ගැන කිව්වාම..අපේ ගමේ පාන් කූඩුව පහුගිය වාරෙ ගිනිගත්ත..කවුරැත් කිව්වෙ මේක ආරම්භ කරපු අනිල් අයිය නැති වුනාට පස්සෙ පහන් කූඩුව සාර්ථක වෙන්නේ නෑ කියල..අවංකවම කියනවනම් මම නම් සක්‍රිය සාමාජිකයෙක් නෙමෙයි වැඩේ. ආරෝවක් කියනව නෙමෙයි…ඉදල හිටල සෙට් වුනාට මම දිනපතා නොවැරදි අරක්කු සිගරට් බොන මනුස්සයෙක් නෙමෙයි..ඒක නිසා මහා පහන් කුඩාව හදන්න දිනපතා සිගරට් පෙට්ටි හතර පහක් පුච්චන්න මට එක්කාසු වෙන්න හිත දුන්නෙ නෑ…මොනව වුනත් කූඩුව ගිනිගත්තට පස්සෙ අපි බලන්න යනකොට සැකිල්ල විතරයි..අපේ පපුවත් පිච්චිලා ගියා..අවසානයෙ ජෙමාට පුලුවන් විදහට අපි කූඩුව ගැන වාර්තා වැඩසටහනක් හැදුව..හදල හැන්දෑවෙ පහන් කූඩුව තිබුණ තැන..ප්‍රොෙජක්ටරයක් දාල පෙන්නුව..ජෙමාට කරන්න පුලුවන් කම තිබුණෙ එච්චඑයි…අරෑ අයිය කියන ආධාර එකතු කිරිල්ල නම් ජෙමාට හොදට පුරැදුයි..සිරා කියන්න වගේ උඩින්ම 5000 ලිව්වට අන්තිමට රැ.50 ඒව තමයි ලියවෙන්නෙ..

    • ජෙමා කිව්වේ කළුජෙමාද? තැන්ක් යු ආවාට. ඉස්සර ජෙමා අපි කූඩුවට උදව් කරන් කාලෙත් අනිත් අය සිගරට් බොනවා..හැබැයි තම තමන්ගේ සල්ලිවලින්. අපි හැංගිලා බොනවා. අපරාදේ උඹලාගේ කූඩුව. හදන්න මහන්සි වෙච්ච අයට තමයි ඒකේ දුක තේරෙන්නේ. මොනවා උනත් උඹේ කොටස ඉටු කරපු එක ලොකු දෙයක්. අපි නැවත හමුවෙමු.

  28. උඹගේ ජීවන චාරිකාව වෙනදා මෙන්ම ඉතාමත් ආසාවෙන් හා ඕනකමකින් යුක්තව කියැවූයෙමි. නෙරන්ජන් සහෝදරයා උඹ සමාජයෙන් ළබාගත් ඒ පන්නරය කිසිඳු අධ්‍යාපනික ආයතනයකින් ළබාගත නොහැකි බැව් මගේද අදහසයි. උඹ කිව්වාක් මෙන් අනවශ්‍ය පුරැඳුවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් ඇතිවූවත් තමන්ට ලැබී ඇති මොළය බිඳක් හෝ පාවිච්චි කිරීමෙන් සමහරෙකුට ඒ වැරදි මාර්ගවල නොයා සිටිය හැකිය.
    මම නැවත එන්නම්! උඹට ජය හා සතුට!!!

    • චන්දන……පුළුවන් තරම් පුරුදු නොවී ඉන්න උත්සාහ කරන එක තමයි හොඳ….මම ගොඩාක් ඉක්මනට ඇබ්බැහි වෙන කෙනෙක්. මම හිතන්නේ ජානවලින් එන දෙයක්ද කොහෙද. ඕනම නරක දේකට හරි ඉක්මනින් ඇබ්බැහි වෙනවා. ඒ නිසා නොයෙකුත්දේ සිද්ධවුනා….එකින් එක දිග හරින්නම්..උඹ කොහොමත් ඇවිත් කියවන බව මම දන්නවා.

  29. //අද මෙන් මේවා නැරඹීමට මුදල් අය කිරීමක් නොවීය. //

    හපොයි වෙසක් කූඩු බලන්ට සල්ලිත් ගන්නවද?
    කල් යනකොට දන්සැල්වලටත් සල්ලි ගෙවන්ට වෙයිද? 😀

    • හලෝ පොඩ්ඩි. මට මතකයි ඔය රත්මලාන කූඩුව කාලයක් ටිකට් වලට තමයි පෙන්නුවේ..මිනිස්සු දොස් කිව්වා..ඊට පස්සෙත් දිගටම එහේම වුනා. දැන් කොහොමද මන්දා. පොඩ්ඩි ඕක සංගීත සංදර්ශන වලටත් වුනා එක කාලයකදි. පස්සේ නැවතුනා..කටුනායක පැත්තේ ෆැක්ට්‍රි ගර්ල්ස්ලාගෙන් ගාන කපාගන්න තමයි වැඩේ පටන් ගත්තේ. මම දන්න බුවෙක් හිටියා ඕගනයිසර් කෙනෙක්.

  30. පොදු වැඩ කියන්නෙ විශ්ව විද්‍යාලයකින් ලබන්න බැරි දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක් ලැබෙන තැනක්.. මමත් ඒ බව අත්දැකීමෙන් දන්නවා..

  31. අපේ ගෙවල් කිට්ටුව වැඩ වලදී සම්මාදමේ යන්න ඉස්සරහට වැටෙන්නේ ගොඩක් වෙලාවට මාව … මගේ හොඳකට නෙමෙයි අපේ තාත්තව අඳුනන යමක් කමක් තියන උදවියගෙන් වැඩිපුර කියක් හරි කඩා ගන්න

    එතකොට මම O/L කරලවත් නැහැ 😀
    හැබැයි එකතු කරපුව ඒව වැරදි පාරේ නොයවන්න විදිහට ගොඩ වෙලාවට සල්ලි තියා ගත්තෙත් මං ගාවම තමයි 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s