අවුල් වන්නට පෙර…(21)..ඉරිදා පොළේ-තතු එකලේ….

මා මේ ලියන්නේ මතු බුදුවීමට පෙරුම් පිරූ බෝධිසත්වයෙකුගේ කථා පුවතක් නොවේ. එදිනෙදා සමාජයේදි ඔබ හමුවෙන තවත් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගොඩ නැගී ආ මාවතයි. ඒ නිසා මෙහි හොඳ-නරක, සුදු-කළු, යහපත්-අයහපත් පුරුදු සහ ගති පැවතුම්ද පුද්ගල චරිතද පිළිබඳව ලියා තැබීමට සිදුවේ. මේ ලියන්නේ දුටු දේ සහ අත්විඳි දේ පමණය. හොඳ දෙයක් ඇත්නම් ළඟ තබා ගැනීමත් නරක දෙයක් ඇත්නම් ඉවතට දැමීමත් ඔබගේ අයිතිය වේ. යහපත් සංවාදයක් සහ සාකාච්ඡාවක් තුළින් ඉදිරියට යාම දියුණු සමාජයක දැකිය හැකි ධනාත්මක ලකුණක් බව සිතමි.

පොසොන් කූඩු ව්‍යාපෘතිය තුළින්, කුඩාකල ඇසුරු කල මිතුරන්ටත් වඩා එහාගිය තවත් මිතුරු ඇසුරකට මංපෙත් විවර විය. ඔවුන් නම් අප ගම ඇතුළට වන්නට පදිංචිවී සිටි සම වයසේ උන්ය. ශෝභන, ඡන්න, අජිත් ඇතුළු කිහිප දෙනෙක් ඔය කංඩායමේ සිටියහ. තවත් එක් විශේෂිත කොල්ලෙක් වූයේ මට වඩා වසරක් වැඩිමහල් රත්නසිරිය. මොහුගේ පියා ඉරිදාපොළ අසලම කොස් ගහ යට තේකඩය හිමි ඇඩ්ඩින් මුදලාලිය. අයියා මෝටර් එතීමේ දක්ෂයෙක්වූ මෝටර් රංජිය. මොවුන්ගේ මුල් ගම බොරලැස්ගමුවය. මීට වසර කිහිපයකට පෙර අපේ මහගෙදර තාත්තා සහ මාමා එකතුවී කාටත් හොරා විකුණ දමා තිබුණේ ගේ ඉදිරිපිට ඔය තේ කඩේ මුදලාලිටය.ඔවුන් පදිංචිව සිටියේ, අදත් මට මහගෙදර යැයි කියවෙන අපට අයිතිව තිබුණු එම නිවසේය.

රත්නසිරි නොම්බර එකේ විනෝදකාමියෙක් විය. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ඉගෙනුම ලැබු ඔහු පාසල් ගියාටත් වඩා නොගිය දවස් වැඩි බව අපි කවුරුත් දන්නෙමු. කාලයක් යන තුරුම ඔහු මගේ ප්‍රියතම මිතුරා විය. මම ඔහුට ඉංග්‍රීසි පාඩම්ද කියා දුන්නෙමි. තම පියාගේ තේ කඩයේ මුදල් කූඩුවේ බොහෝ විට වැඩ කරනා රත්නේ, මට ඒ අසලම නිතර ගැවසෙන්නට යැයි කියන්නේ කීයක් හෝ තාත්තාගේ ලාච්චුවෙන් අතයට ගසා මට සාක්කුවේ දමා ගැනීමටත් ඒ මුදල් අපට චිත්‍රපටි බලන්නට වියදම් කිරීමටත් බව මම නොදැන සිටියා නොවේ. ඔය වයසේ ඕවා නොකෙරුවේ කවුදැයි නොකීවාට බොහෝ අය එහෙමය. මම කැමත්තෙන්ම කියන්නේ මා දුටු එකල වටපිටාවයේ සත්‍යමයමය.

බොහෝ මහන්සියෙන් හරි හම්බ කරනදේ විනාශ කරන්නේ ඒවා නිකම්ම උකුලට ලැබුණ එවුන්ය. මගේ තාත්තා එවැන්නෙකි. මට සිදුවුණේ අහිමිවූ දේ නැවත ගොඩ නගන්නටය. මම යමක් ජයගත්තෙක්මි.ඒ තවකෙකු පරයා යාමට නොව, නැගිට සිටීමට පමණි. සබඳ අපි කඳු නොවෙමු. කපුගේ ගැයුවෝ ඔය සත්‍යයමය. මම ඒ ගැන පසුව ලියන්නෙමි. ඔබ නිවැරදිව හිතා බැලුවොත් ලෝකයේ බොහෝ විට වඩාත්ම සාර්ථක මිනිසුන් වන්නේ අළු මතින් ගොඩ නැගුණු එවුන්ය.ආදර්ශයන් බොහෝය (මේ ගැන පසුව ලියමි ). මේ සඳහා ලංකාවේ නිදසුන් බොහෝය. කෙසේ වුවත් අපි මිය යා යුතුවන්නේ කිසිවෙකුටත් වරදක් නොකෙරූ මිනිසුන් ලෙසය. මම යම් තාක් දුරකට හෝ එය එසේ නොවන්නට වග බලා ගත්තෙක්මි. මා කරගත් වරද නම් මම කවුදැයි හඳුනා නොගැනීමය. මේ නම් ඉතා ගැඹුරු මාතෘකාවක්ය. දැනට ඒ ගැන නොසිතමු.

එදා පටන්ම ඇඩ්ඩින් මුදලාලිගේ කඩයට එන අයට කියවීමට දිනමිණ පුවත්පත මේසයක් උඩ තබා තිබුණි. අල්ලපු තේ කඩය වූ ඩයස් බඩා මුදලාලිගේ කඩයේ තිබුණේ ඇත්ත පත්තරේ පමණක් විය. ඔහු තද කොමියුනිස්ට් පාක්ෂිකයෙක් විය. මේ තේ කඩවල ලාච්චුවලට හරි හමන් මුදලක් වැටෙන්නේ ඉරිදා පොළ දවසට පමණය. පොළේ වෙළෙන්දන් උදේ දහවල් ආහාරය ගන්නේ මේ කඩ දෙකෙන් බැවින් එදාට කඩ දෙකේම හැදෙන්නේ ඉස්පැසල් කෑම වර්ගය. චිකන් නම් මසුරන්ය. හැදුණේ නම් නැති නැති ගානය. මිරිසට හැදු තලපත් මාළු සමග පරිප්පු සමග පාන් කෑමට වෙළෙන්දෝ බොහෝ විට ඇලුම් කළහ. මේ කියන්නේ මම රත්නසිරිගේ අග්‍ර ශ්‍රාවකයෙක් වී සිටි නිසාමය.

මා පදිංචිවී සිටි නිවසට යාබ්දව තිබු ලීමඩුවේ ඩේලිනිව්ස් පුවත්පත් තිබුණේ එහි අයිතිකාර ලයනල් අයියාට කියවීම සඳහාය. ගෝලයා පේමානන්ද ඩේලිනිව්ස් ක්‍රීඩා පිටුව බැරි බැරි ගානේ හෝ කියවන්නෙක් විය. මම ඔහුට එය පරිවර්තනය කර දීමට සිටි එකම එකා විය. ඩේලිනිවුස් ක්‍රීඩා පිටුව තරම් ක්‍රීඩා තොරතුරු ගෙන ආ වෙනත් පුවත්පතක් නොතිබූ තරම් විය. මිහිර, සතුට වැනි පුවත්පත් අවට ගෙවල් වලින් ලැබෙන සතිපතා බෝනස් විය. සරසවිය ජෝරිස් පවුලේ සතියේ පුවත්පත ,අනිකුත් ගෙවල්වල අතින් අත මාරුවෙන තොරතුරු ගොන්නේ රසවතා විය. බුදුසරණ පත්තරේ අකැමත්තෙන් හෝ කියවීමට දුල්ලාවති නැන්දා බල කරන්නට යෙදුණි. අලිබබා, බටකොළ ආච්චීලාගේ ලෝකයෙන් මිදුණු මගේ ලෝකයේ ගාමිණි ෆොන්සේකලා, ඔස්වල්ඩ් ජයසිංහලා, ඇන්තනි සී පෙරේරලා, රොබින්ලා,ඇලෙක්සැන්ඩ්‍රලා, බන්දු මුණසිංහලා රජ කරන්නට විය. මාලනීලා, සුමනලා, ස්වීණතාලා, ජෙනිටාලා සිහින මවන්නන් විය. ඔය කිව්වේ සිනමාව ගැනය. සංගීතය ගැන පසුව කියන්නෙමි. මේ නොයෙකුත් විෂයන් අළලා තිබූ පුවත්පත්, තැනින් තැනට මාරුවී, ඒ ගෙවල්වලට ගොඩ වැදී කියවීමේ පුරුද්ද, මගේ කියවීමේ ආශාවට මෙන්ම මිනිසුන් හඳුනාගැනීමේ හැකියාවටත් මහඟු පිටිවහලක් විය.

දෙල්කඳ ඉරිදා පොළට සිකුරාදා රාත්‍රියේ සිටම පැමිණෙන වෙළෙන්දන් කොටසක් විය. ඒ මැටි වළන් සහ මුට්ටි,මැටි කළගෙඩි පුරවාගත් බරබාග දෙකකි. සතිය පුරාම නොයෙකුත් ප්‍රදේශයන්හී සති පොළවල්හී වෙළඳාමේ නියැලෙන මේ සුන්දර මිනිසුන් සිකුරාදා සිට පොළ ඇතුළේම එක් මුල්ලක වාඩිලා ගනී. පොළ අයිතුකරුවාගේ ඥාතියාවු සෝමපාල අයියාගේ නිවස තිබුණේත් පොළ භූමියේය. වලං වෙළොන්දෝ වාඩි ගහන්නේ ඔය අසලමය. කරත්තය යටින් එල්ලෙන ලණු දැලේ, ඉවුම් පිහුම් අඩුම කුඩුමද, ලන්තැරුම් භූමිතෙල්ද සුරක්ෂිතව රැගෙන එන මොවුන් උයා පිහා ගත්තේද එතැනමය. මේ මිනිසුන්ට කවදාවත් අමතක නොවුණු එක් දෙයක් විය. ඒ තම ජීවිතය ගැටගස්සා ගැනීමට හුස්ම රැලක්වූ ඒ ආදරණීය සත්වයාගේ මූලික ගිලගැනීමවූ පිදුරු මිටි කිහිපයය. එයට නිතරම කරත්තයේ ඉඩ කඩ සලසා තිබුණි. ඔවුන් සතුන්ගෙන් වැඩගත්තා මිස, ඒ සතුන් වන්දනා නොකළ යථාර්ථවාදී මිනිසුන්ය. මම එවුන්ට හිස නමා ආචාර කරමි. බොරු වන්දනා, බොරු කාරයින්ගේ ජීවන මාර්ගයන්ය. මේ සොඳුරු මිනිසුන් එසේ නොවේය.

අවට මිනිසුන් වලං මුට්ටි,කළ මිලදී ගැනීමට සෙනසුරාදා දිනය යොදාගත්තේ මිලදී ගන්නා අනිකුත් බඩුමුට්ටු සමග මේවාද ඔසවාගෙන යන්නට අපහසු නිසා විය යුතුය. මේ වෙළඳුන්ගේ පහසුව පිණිස පොළ ඇතුළේම කුඩා වැසිකිළි දෙකක් සහ වතුර පයිප්පයක්ද විය. හයිලෙවල් පාරේම නගර සභා වතුර පයිප්පයක්ම තිබූ නමුත් මෙහි පිත්තල කරාමයක් නොවීය. ඇරීම සහ වැහීම සිදුවුණේ යකඩයෙන් නිමවූ ඉතා කුඩා ලීවර ක්‍රම වේදයකිනි. පිත්තල කරාම සහිත පාරට සවි නොකළේ ඒවා ගලවාගෙන ගොස් විකුණා ගන්නා උදවිය එදාත් හිටිය නිසා විය යුතුය. ඒ අපි දෙපයින් සිට ගන්නා මිනිසුන් නිසාමය. සතුන් සතුන් වන්නේත් ,අපි මිනිසුන් වන්නේත් කෙසේද යැයි අසා ඇති මුත් , නැවත සිනහා වෙනවා හැර හඬන්නට කඳුළු නැත.

මගේ මේ කතාව වෙනත් ඉසව්වකට ගෙන යෑමේ උවමනාව තදින්ම තිබුණත් දෙල්කඳ හා අවට පරිසරයත් ඒ හා බැඳුණු සොඳුරු මතකවලින් ගැලවී යාමට මට සිත් නොදේ. තව දුරටත් මේ හා බැඳීසිටීමට මට අවනත නොවූ මගේ චෛතිසිකය මට බල කරයි. ඒ කාටවත් වැදගත් නොවෙන මගේ කථාවේ ලොකුම සාක්ෂිකාරයා මම නිසාම විය යුතුය. එය කොතරම් දුරට ඔබට ගෝචර වේ දැයි මම නොදනිමි.

සෙනසුරාදා රාත්‍රිය වෙනවිට පොල් පුරවාගත් කරත්ත පහ හයක්ද හයිලෙවල් පාරට මුහුණලා නවාතැන් ගෙන වෙළඳාමට සූදානම්ය. පොල් වෙළඳාමද සෙනසුරාදා සිට පටන් ගනී. කරත්ත හයක් හෝ හතක් නොවරදාම පැමිණේ. ඒ අසලින් ගමන් ගන්නා අයට පොල් මෝලක සුවඳ හඳුනාගැනීම අපහසු නොවේ. මොවුන් පොල්පී හෝ පැලපොල් කියනා අපි කවුරුත් කැමති ඒ රසවතාද විකුණාගන්නේ, පොල් යනු පොල් විතරක් නොවේ යන සත්‍යයද මතක් කර දෙමින්ය. සමහර කරත්තවල සෙවිල්ලට සුදුසු පොල් අතුද , කරත්තයට උඩින් පටවා ගෙන විත් මුදලට විකුණු බව මතක් කර තැබීම සුදුසය. හනසු, පොල්මල්ද ඉඳ හිට විකිණීමට ඇති බව මම දැක ඇත්තෙමි.

ඉරිදා පාන්දර තුන හතරේ පටන් හයිලෙවල් පාරට මුහුණලා පදිංචිවී සිටිනා අයට නම් නිදාගැනීමට ඇති එකම බාධාව වන්නේ ලොරි දෙක තුනකින් පැමිණ එක් එක් වෙළඳුන්ගේ එළවළු, පලතුරු ගෝනි ගොඩ බෑමේදි ඇතිවන මහ ඝෝෂාකාරී කට හඬවල්ය. එක් ලොරියක කුඩා වෙළඳුන් 15-20ගේ පමණ වෙළඳ ද්‍රව්‍ය රැගෙන එයි. මේවා එක් එක් සිල්ලර වෙළෙන්දාට අයිති බඩු මුට්ටුය. මේවා එක එකාට අනන්‍ය සලකුණු වලින් වෙන් කරවා ගත හැකිය. බඩු බාන උදවිය මේවා පොළේ ස්ථානගත විය යුතු තැන් මැනවින් දත්තෝ වෙති. මේ ක්‍රියාවලියෙන් පසු නියමිත වෙළෙන්දෝ පොළට පැමිණෙන්නේ පාන්දර පහට හයට පමණය. ඔය අතරතුර ගෝනියක් හිල්කර බණ්ඩක්කා අහුරක්, මිරිස් අහුරක් හොරකම් කරපු උදවියත් නොසිටියාමම නොවේ. නමුත් මහා පරිමාණයේ හොරකම් සොරකම් සිදුවූයේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ සිකුරාදා, සෙනසුරාදා සිට ගැවසෙන පොල් සහ වලං කරත්තකරුවන් අවට ගැවසීම බව අපි දනිමු. මේ ග්‍රාමීය ක්‍රියාපටිපාටියන් වලින් බැහැරව නව ජීවන රටාවන් විවෘත හෝ සංවෘත ලෙසින් බිහිවුනා මිස ඒ කිසිවක් අපේ බඩ වියත ඉල්ලා සිටි දේවල් නොවේ. අපි බලා සිටිමු. ඉරිදාපොළේ සෙනසුරාදා රාත්‍රිය මිස ඉරිදා වරුව මම කිව්වේ නැත.

මේ කොටස මෙතනින් ලියා අවසන් කරමි. ලියා තැබිය යුතු දේ බොහෝය. දැනට නවතමි. මට වෙහෙස නැත. ඔබ වෙහෙසට පත් කිරීම යුතු නොවේ.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

99 Responses to අවුල් වන්නට පෙර…(21)..ඉරිදා පොළේ-තතු එකලේ….

  1. “බොහෝ මහන්සියෙන් හරි හම්බ කරනදේ විනාශ කරන්නේ ඒවා නිකම්ම උකුලට ලැබුණ එවුන්ය. මගේ තාත්තා එවැන්නෙකි. මට සිදුවුණේ අහිමිවූ දේ නැවත ගොඩ නගන්නටය. මම යමක් ජයගත්තෙක්මි.ඒ තවකෙකු පරයා යාමට නොව, නැගිට සිටීමට පමණි”. සහසුද්දෙන්ම නුඹ හරි මිත්‍රයා . ඔය දේ ඔය ලෙසින්ම මටත් අදාලයි.නුඹගේ ලියවිල්ලටම මා මෙතරම් කැමති ඒ නිසයි. නුඹට ජය !

    • සිසිර……ඇත්තටම බං අපිට තිබුනු දේවල් විනාශ නොකර තියාගත්තානම් මේ එක එක රටවල්වල චාටර් වෙවී ඉන්නේ නැතුව ලංකාවට වෙලා හොඳට ඉන්න තිබුනා. ඒක වැඩක් නැහැ. ඒ අතීතය. අපේ පවුලේ සියලු බර කරට අරන් මේ ආපු ගමන ගැන නම් තියෙන්නේ පුදුම සතුටක්. කාලා බීලා ඇඳලා නිදහසේ ඉන්න තියනවානම් ඒ හොඳටම ඇති. උඹ මාගේ කතාව කියවනවාට ස්තූතියි.

  2. Kenji @ Japan says:

    අද මොකද මචං නිකං කලකිරිලා වගේ.
    පසු කාලෙක නේද ජෙනිට ආවේ.
    උඹ ජෙනිටගේ නංගිය ගැන ලියනවා නෙමෙයි හරිය :).
    ඒ මචෝ ඔය ගැල් කරුවෝ උයන කාම කාල නැහැනේ?
    මමයි යාලුවෝ සෙට් එකයි බංගදෙනියේදී උයෝගෙන කෑව පොල් රා කශියත් බිබී.

    • කෙන්ජි…….දන්නේ නැද්ද බං..බත් හැලිය ඉදෙනකම් විතරක් තියෙන්න ඕන දෙයක් නිකම් බොරුවට දවස් දෙක තුනක් ඇදන් ගියා…ඈස් යූෂුවල් වැරැද්ද මගේ..සේම් තින්ග් රිපීටින්ග්නේ බං ගෑනු. ඒ මූඩ් එකේ තමයි පෝස්ට් එකත් ලිව්වේ…දැන් ඇවිත් ශේප් වුනා. සංසාරේ.

      ජෙනිටා ආවේ පස්සේ. හැබැයි නොලියා බෑනේ බං ගමේ වැල ගැන. නංගි ලස්සනයි ජෙනිටාට වැඩිය…උන් ගමේත් හැමෝත් එක්කම හොඳට හිටියා.

      කෙන්ජි මේ නගරය ආශ්‍රිතව හිටපු කරත්ත කරුවෝ ඈත පලාත්වල අයට වඩා වෙනස්. රෑට මත්වෙන්න තමයි ට්‍රයි එක. පොඩි ආදායමක්නේ තියෙන්නේ..අඩු වියදමෙන් වැඩි ආතල් එකක්. මම ඊළඟ එකේ ලියන්නම්. හාල්මැස්සොයි, පරිප්පුයි තමයි උයන්නේ. පොළෙන් එළවලු ලැබෙනවා ඕන හැටියට. ඒත් අර දෙක තමයි ඕන වෙලාවක. ගෙවල්වලට ගියාම තම්යි හිතේ හැටියට කන්නේ..විඩාවට පත්වෙලා ඉන්නේ.

    • silentsahan says:

      යකෝ කෙන්ජියෝ උඹට බ්ලොගක් තියෙන්නේ ඔය වගේ කතා ලියන්න තමයි… අපි උඹට බ්ලොගක් හදාගනින් කිව්වේ ඔන්න ඔය වගේ දේශපාලනය , සමාජීය කරුණු ගෑවුණු ඒවා ලියන්න… අරූව ආදර්ශෙට අරන් හොඳ කතා සෙට් එකක් ලියපන්කො බන් දෙකක් දාගෙන…

      • @ සහන් & කෙන්ජි…..මට ෂුවර් එකට හිතෙනවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ හොඳ කතා සෙට් එකක් කෙන්ජි ගාව ඇති කියලා. මම ඌව ඒ කතා මතු කරවගන්න කමෙන්ට් හරහා ට්‍රයි කරනවා..කෝ ඌ ඇවිස්සෙන්නේ නැහැනේ.

      • කාවා says:

        වැඩක් නෑ අරූ, අංකල් කෙනජි හැමදාම එකම පීල්ලේ දුවන්නේ.

  3. මගෙත් ඉංග්‍රීසී පත්තර කියැවීම පටන් ගත්තේ ක්‍රීඩා පි‍ටුවෙන්…ඒත් දැන්නම් බැලෙන්නේම නැති පි‍ටුවක් තමයි ඒක….

    • මයියා…..ඉස්සර බොහෝ තරුනයෝ ඩේලිනිව්ස් ක්‍රීඩා පිටුවට බොහොම කැමතියි. ක්‍රිකට් නම් බෝලින් බැටින්ග් ෆිගර්ස් සවිස්තරාත්මකව දෙනවා. ඉස්සර ටීවී තිබුනෙත් නැහැනේ. දැන් නම් ක්‍රීඩා පිටුව බලනවාට වඩා ළමයි බලන්නේ ඩේලිනිව්ස් එකේ ජොබ්ස් වේකන්සීස් පිටුව. අනිත් එක තමයි සයිකල් රේස්. ඒනම් මම හිතන්නේ ඒකාලේ ලොකුම සයිකල් රේස් එක ස්පොන්සර් කරේ ලේක් හවුස් එක. ලේක් හවුස් සවාරිය.නිසා වෙන්න ඇති පත්තරේ එච්චර ඉඩක් වෙන්කලේ. අපි යනවා ලේක් හවුස් එක ගාවට ෆිනිශ් එක බලන්න. පිස්සු හැදෙනවා මයියා ෆිනිශ් එක. මට රේස් පිස්සුවක් තිබුනා.

  4. මට ද වෙහෙසක් නැත. කියවන අන් අයට ද එසේ යැයි සිතමි.

    • කකා…….බොහොම ස්තූතියි….මගේ කතාවේ තවත් ගොඩක් දුරට ලියන්න තියෙන නිසා මට හිතුනා මම එකම තැන කැරකෙනවද කියලා. හිතේ තියෙන ඒවා මේ විදිහටම ගලාගෙන යන්න දෙනවා ඔන්න ඔහේ. විනෝදෙටනේ ලියන්නේ.

    • Anonymous says:

      මොකෝ මේ ඇනෝ වැටෙන්නේ මම මනෝ

  5. රාජ් says:

    ඔබ නිවැරදිව හිතා බැලුවොත් ලෝකයේ බොහෝ විට වඩාත්ම සාර්ථක මිනිසුන් වන්නේ අළු මතින් ගොඩ නැගුණු එවුන්ය.//
    හරි තමයි.
    ඔය පොල තාම ඔය විදියටම අපේ පැත්තෙ තියනව.

    • රාජ්……..මම කියවා ඇති බොහෝ චරිත කථාවල ඉන්න මිනිසුන් මාර කට්ටක් කාපු අය. එංගලන්තේ ගත්තොත් රිචඩ් බ්‍රැන්සන් වගේ අය. මිනිහා dyslexia ……ආර්ථික අතින් විතරක් නෙමේ අනික් පැතිවලින් වුනත් එහෙමයි කියලා මට හිතෙනවා. මම ජීවිත කතාවක් කියෙව්වා Piece of cake…. by Cupcake Brown තම්යි එයාගේ ඇත්ත නම. ඇඟ හිරිවැටෙනවා ඒ ගැහැනිය ආපු මාවත බැලුවාම.රාජ්ට අහුවුනොත් කියවන්න. එයා එක තැනක කියනවා “Always remember the acronym for “FEAR” can mean one of two things: Fuck Everything And Run or Face Everything And Recover.”

      //////ඔය පොල තාම ඔය විදියටම අපේ පැත්තෙ තියනව.////
      මෙහෙම තාමත් ගම්පලාත්වල තියෙන බව මමත් අහලා තියෙනවා. රාජ් නගරයෙන් බැහරව ජීවත් වෙනවා කියලා මම හිතනව. මම දෙල්කඳ පොළ අවුරුදු 25කින් දැකලා නැහැ..මාව විශ්වාස කරන්න.

      • මට අපේ හාමිනේ රිචඩ් බ්රැන්සන්ගේ “Loosing My Viginity” කියන පොත උපන් දිනේකට තෑගි දුන්න, ආයි නෑ නිදා ගන්නේ නැතිව පාන්දර වෙන්න කලින් කියවල ඉවර කළා බොහොම රසවත්.

        මම බොහොම කැමති චරිතයක්, එයත් වයසට යන්නේ නැති අංකල් කොලුවෙක් 😀

  6. Anonymous says:

    කරවල ඔතාගෙන එන පත්තරය, කරවල කෑල්ල තැනින් තැනට පෙරලා කියවමින්; සීනි ගොට්ටේ ඇති සීනි ඇට වීදුරු බෝතලයේ වදිමින් නංවන හඬ අසන්නට බලා සිටියේ සීනි කන්නට නම් නොවේ.අවුරුදු දහයකටත් වඩා පැරණි විජය පත්තර ගොන්නක් අප නිවසේ තිබූ අතර එයින් අතට හසුවන තරමේ පත්තර මිටියක පැයක් දෙකක් ගිලෙන්නටද මහත් සේ ආසා කලෙමි.ජීවිතය හරහා හමාගිය මඳ පවන සුළි සුළඟක් වෙද්දී පත්තර මිටිය පමණක් නොව පවුල් සගයන්ද සීසීකඩ ගසා ගොස් ඇත.
    කියවන්නට ඇත්තේ රජ වරුණ පමණක් වූවද ඉරිදා පත්තර තුනක් සෙනසුරාදාම මිලදී ගන්නට අදද මා සිත නැඹුරු වන්නේ කිමදැයි මා නොදන්නෙමි.
    පත්තර වෙළෙන්දා කට කොනකට නගන සිනාව දැක දැකත්,දිනපතාම ජාලගතව කියවා ඇත්තෙන් පුවත් පතෙහි ඇත්තේ පිළුණු වූ පුවත් බව දැන දැනත් එසේ කරන්නට හේතුව හුදෙක් අතීත කාමයද?ඇබ්බැහියද?පුරුද්ද ලොකු වීමද ?

    • ඇනෝ…….මම පිටුගනන් ලියන දේවල්වලට වඩා ඔබේ මේ කුඩා කමෙන්ටුවෙන් අදහස් රාශියක් මතුවෙනවා.කරවල ඔතාගෙන එන කොලේ පොඩ්ඩ එහා මෙහා වුනොත් පූසා කනවා..අම්මා කරවල ඔළු කඩලා ඒ කොලයටම තමයි දාන්නේ. මම අම්මාත් එක්ක රන්ඩු වෙනවා ඕකට. ඉස්සර බිම තියාගෙන කකුලට පිහිය තද කරගෙන තම්යි අම්මා උයන්න ලෑස්ති කරන්නේ .පූසා කුස්සියෙන් හෙලවෙන්නේ නැහැ. කරවල සුවඳට ,ඒක ඔතපු හන නූලත් ලෙව කනවා. බඩගිනි කාරයෙක් අපි වගේ. මම ටිකක් සසල වුනා මෙන්න මේ කොටසට./////////..ජීවිතය හරහා හමාගිය මඳ පවන සුළි සුළඟක් වෙද්දී පත්තර මිටිය පමණක් නොව පවුල් සගයන්ද සීසීකඩ ගසා ගොස් ඇත./////.මොන අර්ථයෙන් කිව්වාද කියා මට හිතෙන්නේ නැහැ. කොහොම වුනත් මම මේ බැඳීම විසිරී යන්නට ඉඩ හැරියේ නැහැ..මගේ බිරිඳ ඒ සඳහා පුදුම දායකත්වයක් දුන්නා.
      ////අතීත කාමයද?ඇබ්බැහියද?පුරුද්ද ලොකු වීමද ?//////
      මේ ඔක්කොම නිසා වෙන්න ඇති. මමත් තාමත් කැමතියි දිග හැරගෙන පත්තරයක් කියවන්න. ඒක දිනපතා සිද්ධවෙනවා..නමුත් ලංකාවේ පත්තර නම් කියවන්නේ කම්පියුටරයේ තමයි..මොන එකක්ද මන්දා ඒකත් කැමත් ඔන්ලයින් එඩිෂන් එකට වඩා ප්‍රින්ට් එඩිශන් එක.

      • Anonymous says:

        අනෝ මරු කම්න්ට් එක.මටත් එකග විය හැකි තැන් බොහොමයක් තියේ.

    • කාවා says:

      ඇයි බං මේ කොමන්ට් දාන්න ඇනෝම එන්නේ.

      • Anonymous says:

        kammali kamata ban.ada sinhalata maaru wennath kammali…hikz

      • කාවා says:

        ටීචැර් කෙනෙක් පංතියට ඇවිත් ළමයිට කීවලු
        අද මගේ පංතියේ කම්මැලියාට තෑග්ගත් රෙඩි කරලා තියෙන්නේ කියලා. (මගේ පංතියේ මං විතරයි නෙමේ) “හැ දැන් කම්මැලියා අත උස්සන්න.” ඔන්න ඉතින් හරි හරියට තරඟෙට කෂ්ටිය අත උස්සනවාලු. එක ගොබිලයෙක් විතරක් අත උස්සන්නේ නෑ මචං. ටීචෑර් ඌ ලඟට ගිහින් ඇයි අත උස්සන්නේ නැත්තේ කියලා ඇහුවා.
        “අනේ මිස්, මට ඒකටත් කම්මැලියි.” ඒ උබද අනෝ මචෝ.

  7. අපි කියන්නේ පැලපී නැතිනම් පැලමද කියලා.

    මමත් දැන්නම් පොලේ යන්න ආසයි. නමුත් මචං ඉස්සර වගේ සතියකට එළවලු හොයාගෙන ඇවිත් ෆ්‍රිජ් එකක ගොඩ ගහගෙන ඉන්න දැන් අවශ්‍යතාවයක් නෑ කාරණා දෙකක් හන්දා.

    එකක්, හැම හන්දියක් ගානේම අලුත්ම එළවලු දවස ගානේ එන කඩවල් දැන් තියෙන නිසා.
    අනික ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් 500 කිලෝ එක වගේ බරවල්ම නැතුව තමන්ට කැමති ප්‍රමාණයක් විතරක් ගන්න ලැබීම.

    • අම්මේ ඩූඩ්…..කොහොමද බං නිවාඩුව? කට්ටියම සනීපෙන්ද? කවදාද බැක් ටු රියැලිටි..අලුත් අවුරුදු පහුවෙලාද?

      මචං මමත් ඔය පැලපි, පැලමද වචන පාවිච්චි කරලා තියනවා..මේවා කන්න ගියාම නවත්තගන්න බැහැ බං. බඩේ අමාරුත් හැදෙනවා.

      දැන් ස්පෙශල් එළවලු පලතුරු කඩ හැම තැනම තියෙනවා කියලා දකිනවා. මැල්ලුම් එහෙම කපලා පැකට් කරලා තියෙනවා කියලත් ආරංචියි. තමන්ට අවශ්‍ය ප්‍රමානයට බඩු ගන්න තියෙන එකනම් ලොකු දෙයක්..සුප් එකක් හදාගන්න ඕන උනාම ,ෆ්‍රයිඩ් රයිස් එකක් , සැලඩ් එකක් හදාගන්න ගියාම ඔය ක්‍රමේ මරු.

  8. Pra Jay says:

    Any chance of expanding this to include your memories of Colombo city and other places?

  9. තිසර says:

    සමහර විට මෑතකදී බ්ලොග් අවකාශයේ සිදුවූ සිදුවීම් නිසා ඇති වූ යම් යම් හැඟීම් (කළකිරීම් වැනි ) වල ඡායාවන් පේළි අතර ලියවී ඇතැයි සිතේ. අවසාන කර ඇත්තේද එවැනි සළකුණකින්ය.

    සමහර විට එවැනි දෑ ගැන සිතමින් ලිවීමේදී, කතාවට ඊට අවශ්‍ය පරිදි, නිදහසේ ගලායාමට ඇහි ඉඩ ඇහිරී යා හැකි බව කරුණාවෙන් සලකන්න…

    • තිසරගේ මේ කමෙන්ට් එකෙන් පස්සේ මම දෙසැරයක් ආපහු පෝස්ට් එක කියෙව්වා….තිසර හරි…මම ලියපු කඩදාසී කොළ ටිකත් කියවලා බැලුවා…ඒවාගේ නැති දේවල් මම ටයිප් කරන කොට එකතු කලා. ඒ මම හිටපු මූඩ් එක නිසා වෙන්න ඇති. ගෙදර පොඩි වාදයකදි මම නපුරු වුනා. ඒක හිතේ තියාගෙන හෙණ රැගක් දුන්නා මට. ඒකත් එහෙමයි…බ්ලොග් වලත් නොයෙකුත් මත වාද තිබුනා. මත වාදනම් තියෙන්න ඕන.

      මොනවා උනත් කතාවේ මූඩ් එකෙන් මිසක් වෙනත් දේවල් ඔළුවේ තියාගෙන නොලිය යුතු බව තිසරගේ කමෙන්ට් එකෙන් පසු නැවත කියවීමෙන් තේරුනා…ස්තූතියි තිසර!

  10. Ravi says:

    / මේ කොටස මෙතනින් ලියා අවසන් කරමි. ලියා තැබිය යුතු දේ බොහෝය. දැනට නවතමි. මට වෙහෙස නැත. ඔබ වෙහෙසට පත් කිරීම යුතු නොවේ. /

    ආය මඟුලක් කියනව..මොන වෙහෙසක්ද බං…බොහොම අපූරුවට කතාව ගලාගෙන යනව කිසිදු අපහසුවෙකින් ඉඳුරාම තොරවයැ. තෙලිජ්ජ හරියට පැහිච්චි නැති රා බුන්නම බඩේළිය යන්නැහෙ..හෙහ්, හෙහ්,

    / මා කරගත් වරද නම් මම කවුදැයි හඳුනා නොගැනීමය. /

    සපුරාම එකඟවෙමි. මට සිදුවූයේද එයමය සබඳ….. මා කවුරුදයි මවිසින්ම හඳුනාගන්න විට බොහෝ කල් ඉකුත්වී තිබිණි. එහෙත් කිසිසේත් පසු නොතැවෙන්නෙමි. 🙂

     / ඩේලිනිවුස් ක්‍රීඩා පිටුව තරම් ක්‍රීඩා තොරතුරු ගෙන ආ වෙනත් පුවත්පතක් නොතිබූ තරම් විය. /

    ඩේලි නිව්ස් ක්‍රීඩා පිටුව ..හෙහ්, හෙහ්..ක්‍රීඩා පිටුවෙන් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගැනීම පටන් ගත්තෙ. ..මතකද කාල්ටන් සෙනෙවිරත්න. ටී.එම්.කේ. සමාට් සහ සාදි තව්ෆීක්….එයාලගෙ වාර්තා කියවන්ටත් ආසයි.

    අන්තිම පිටුව ක්‍රීඩා පිටුව. ඒකෙම ඇතුල් පැත්තෙ මචං මතකද තිබ්බ චිත්‍රපට තිරගතවෙන හෝල් නාමාවලිය දාල. හෙහ්, හෙහ්, …එමෙස්- මොරටුව, විජයන්ති- කඩුවෙල, හිමාලි – කිරිබත්ගොඩ නිමාලි – හංවැල්ල ඉම්පාලා – රාජගිරිය, සිත්තම්පලම්-අනුරාධපුරය ක්වින්ලන් – නුගේගොඩ, ජුපිටර් – කුරුණෑගල, ජයමිණි – පානදුර, සේන්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්….එන්.අයි.ටී. හෝල්ස් තිබ්බ මම හිතන්නෙ රට පුරාම දහයක් විතර. නිව් ඉම්පීරියල් තියටර්ස්,

    • //////සපුරාම එකඟවෙමි. මට සිදුවූයේද එයමය සබඳ….. මා කවුරුදයි මවිසින්ම හඳුනාගන්න විට බොහෝ කල් ඉකුත්වී තිබිණි. එහෙත් කිසිසේත් පසු නොතැවෙන්නෙමි. :)////////

      රවී……මට උනෙත් ඔය පරක්කුවම තමයි..ඒකත් අත්දැකීම් සහ කාලය විසින්ම තේරුම් බේරුම් කරන වැඩක් නේද? පසුතැවිලි වෙන්න නම් කිසිම තේරුමක් නැහැ බං….හැබැයි එක දුකක් තියෙනවා…මේවා ඒ දවස්වලම තේරුම් ගත්තානම් මේ පිටරටවල් වලට වෙලා ඉන්නවාට වඩා නිදහසේ ඉන්න තිබුනා ලංකාවට වෙලා. සල්ලි සල්ලි සල්ලි.

      කාල්ටන් සෙනෙවිරත්න මයා ගුවන් විදුලියේ ක්‍රීඩා සේවයේ පුරෝගාමියෙක්..ප්‍රේමසර ඈපාසිංහ වරක් කිව්වේ කාල්ටන් ඔහුගේ ගුරුවරයා කියලා. සාමත් මෑතක් වෙනතුරු සන්ඩේ ලීඩර් එකටත් ලිව්වා. සාදි තවුෆික් තාම ලියනවාද?

      උඹේ ෆිල්ම් හෝල් ලිස්ට් එකේ සිත්තම්පලම් එකේ ඇරෙන්න අනිත් හැම එකකම මම ෆිල්ම්ස් බලලා තියෙනවා. සෙයින්ස්තාන් එක තමයි වර්චස්ම.

      ගොඩාක් නගරවල හෝල් ජෝඩු ජෝඩු තිබුනේ. මොකෝ බන් ඒ? අද කාන්ති එක්ක මෙට්‍රෝ එකේ බැලුවා නම්…හෙට ශාන්ති එක්ක කුයින්ස්ලන් එකේ බලන්න වෙන්න ඇති නේද?

      නුගේගොඩ……මෙට්‍රෝ& කුයින්ස්ලන්
      මහරගම……නැෂනල් & අනුෂ
      බොරැල්ල…..රිට්ස් & ලිඩෝ
      අවිස්සවේල්ල….චන්ද්‍රා & ඉම්පීරියල්
      වත්තල…..නිලිමිණි & ගැමුණු
      පාන්දුර…..ජයමිණි & ඉම්පීරියල්

  11. Senna says:

    අපූරුයි… මේ භාෂාවේ රිද්මය මේ කතාවට මරුවට ගැලපෙනවා.

    ඔය කියලා තියන සමහර අත්දැකීම් මමත් ලබලා තියනවා. ඒත් බහුතරයක් මට ආගන්තුකයි,

    • ස්තූතියි සෙන්නා…..සමහරක් දේවල් ආගන්තුක වෙන්නේ ඒ කාලය නිසා වෙන්න ඇති..එහෙමත් නැත්නම් ප්‍රදේශය නිසා වෙන්න ඇති. සෙන්නා කොහොමත් මට වඩා වයසින් බාල ඇති ගොඩාක්….සමහර සිද්ධි මගේ වයිෆ්ටත් ආගන්තුකයි..මොකද ඇය කොළොන්නාවේ ප්‍රදේශයේ..අපටත් වඩා නාගරීකයි.

  12. raigam says:

    මචං, අපට තෝරාගෙන කියවන්න පුළුවන්කම තියෙත්දී, වාරණ බලෙන් අනුන් මත පටවන එක අනවශ්‍ය දෙයක් කියලයි මා නම් හිතන්නේ. මේ වගේ කතාවක් පමණක් නොවේ, කෙනෙකුගේ අදහසක් වුනත්, ලියුවත් නැතත් ඒ කෙනා හිතනවා. ලියුවොත් අනෙක් අයටත් දැන ගන්න ලැබෙනවා. කේන්ති එනවා නම් නොකියවා ඉන්නත් අපට නිදහස තියනවා. ඒ නිසා අඩත්තේට්ටම් කර ලියන එකෙන් පලවා හැරීම නරක දෙයක් කියල මා විශ්වාස කරනවා (වැඩිහිටියන් වශයෙන් අඩම්තේට්ටම් වලට මුහුණ දීමටත් පුරුදු වීම වෙනත් කතාවක්). ඔය නයි ඇරීම්, මෝඩ ආතල්, ලිංගික කතා ආදී දේවල් විතරක් නොවේ ජාති වාදී හෝ ආගම්වාදී අදහස් වුනත් එහෙම සලකන්න පුළුවන්. මේවා කියවන එක හෝ නොකියවන එක අපට තෝරා ගන්න පුළුවන්. මේවා තෝරා ගැනීමට තරම් මුහුකුරා නොගිය කුඩා දරුවන්, අන්තර්ජාලයේ කරන්නේ මොනවාද කියන එක සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමක්.

    උඹේ කතාව බොරින් වෙන කොට කියන්නම්. තවම එහෙම වෙලා නැහැ! 🙂

    • Kenji @ Japan says:

      නෙරංජ ඔන්න අපේ රයිගම ලොක්ක හොද උත්තරයක් දීල.
      කකාත් ලස්සන වචන ටිකක් කොටලා තිබුන.
      මගෙත් සුන්දර මතක තියන ගමක් මචං.
      මග හැරෙන දේවල් තිබුනොත් මතක් කරලා දෙන්නම්.
      කට්ටිය උඹේ කතාව රස කර කර කියවනව.

      • කෙන්ජි…..මට පේනවා උඹ දෙල්කඳ පැත්තේ මංගච්චලා තියෙන බව…කොයි වකවානුවේද? මම ඔන් & ඕෆ්….එනවා යනවා .

    • මචං රයිගම්…..උඹේ කමෙන්ට් එකට මට තව එකතු කරන්න දෙයක් නැහැ..මම ඔය මතයට තමයි ගරු කරන්නේ..සමහර වෙලාවට ලියාගන්න ඕන දේ ලියන්න දහ පාරක් හිතන්න වෙනවා. ඒ කාලවල රජයන් විසින් පුවත්පත්වලට වාරණ දාපුවාම, මාධ්‍යවේදීන් පත්වෙච්ච අපහසුතාවයන් වැඩිහිටි මාධ්‍යවේදීන් කතා වෙන තැන්වල මම අහගෙන ඉඳලා තියෙනවා. සමහරුන් ඒ වෘත්තියෙන් එහෙම් පිටින්ම ඉවත්වී ගිය බවත් අසා තියෙනවා.
      ඒ මොනවා වුනත් මේක වැදගත්….//////// මේවා තෝරා ගැනීමට තරම් මුහුකුරා නොගිය කුඩා දරුවන්, අන්තර්ජාලයේ කරන්නේ මොනවාද කියන එක සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමක්.//////

      කතාව බෝරින් වුනොත් කියපන්!! මම හිටපු පලාත් සහ ඒ සමාජ වටපිටාවන් එක්ක බැලුවොත් බෝරින් වෙන්න විදිහක් නැහැ. බලමු.

  13. අයියෝ අරූ අයියෙ අපිට නම් කිසිම වෙහෙහක් නෑ. ආශාවෙන් කුතුහලෙන් කියවත්දි කියවනවා තේරෙන්නෑ.

    අර කතාව නම් ඇත්තම තමා ගොඩක් තැන්වල දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නාස්තිකරන්නෙ ඒ මනුස්සයොන්ගෙම දරුවො. ඒකට හේතුව මන්නම් දකින්නෙ දුක් විදිලා තැනකට ආපු ගොඩක් දෙමාපියන් කැමති නෑ තමන් විදි දුක් තමන්ගෙ දරුවො විදිනවට. ඉතිං ඒ මනුස්සයො උන්ට ලෝකෙ නැති සැප දීගෙන හදනවා. උනුත් දුක හදුනන්නැති බඩගින්න දන්නැති කුමාර වරු වගේ හැදිලා ඒ විදියටම හැසිරෙනවා එතනයි ප්‍රශ්ණෙ.

    අනික ඔයා කියන් අර මිනිස්සුන්ට මාත් ගරු කරනවා. ඊට ප්‍රධානම හේතුව සතුන්ගෙන් වැඩපමණක් ගැනීම. උනට නිසි ලෙස සැලකීම හා උන්ට වන්දනාමාන නොකිරීම යන ඉතා බුද්ධිමත් හා උසස් ගතිය නිසා.

    • ප්‍රියා……..ලංකාවේ පැරනි බිස්නස් ගනින්….ඕවා ගොඩනගලා තියෙන්නේ මාතරින් හරි තවත් පලාතකින් හරි රුපියලක් දෙකක් සාක්කුවේ දාගෙන ආපු ධෛර්‍යවන්ත මිනිස්සු. අමු කටු කාලා ඒවා ගොඩනගනවා..ඊට පස්සේ පරම්පරාව සල්ලි උඩ පිනුම් ගහනවා. ඉගෙන ගන්නේ නැහැ…පිස්සු කෙලිනවා…ඒවා කඩන් වැටෙනවා…තුන්වැනි පරම්පරාව තමයි ඒ නාමය ඒ බිස්නස් එක ගොඩ නගන්නේ. ඒ කාලේ ඇලෝසියස් මුදලාලි…ඒ නමවත් නැහැ අහන්න. ජිනසේන නාමය ගොඩ ආවේ තුන්වෙනි පරම්පරාවෙන්. තව ඒ වගේ ඒවා බොහොමයි…හැබැයි දැන් එහෙම වෙනවා අඩු ඇති..තරුනයින් ඉගෙනගන්න උනන්දුවෙන නිසා..

      වැඩට හදන සත්තු , මසට හදන සත්තු, හුරතල් සත්තු ආදී වශයෙන් එක එක කොටස් තියෙනවානේ බං…ඕවා පටලවාගෙන තමයි අපේ අය සත්තුවෙලා ඉන්නේ. කාට කියන්නද බං….ඇත්ත සත්ව කරුණාවයි…බොරු සහ සෝබන සත්ව කරුණාවයි එකක් නෙමේ දෙකක්.

  14. deshakaya says:

    උඹ කිව්වත් වගේ හාමෝටම වැදිල තියෙන්නේ උකුලට වැටෙන කතාවමයි. කොහේද මචං මේවා කියවන කොට මහන්සි වෙන්නේ… මම දැං කීප තැනක දැක්කා උඹත් හැලපේ වගේ හැම තැනම ඒවා පසුවට ගගා යනවා. එහෙම හරි නෑ මතක ඇතිව ඒවත් දෙන්න ඕන හරිද???

    • ///// උඹත් හැලපේ වගේ හැම තැනම ඒවා පසුවට ගගා යනවා. ///// ඒ ඔක්කොම මතක නැති කොටස් 😀 අපේ ලිලි ආච්චිගේ අම්මා බබා ආච්චිත් ඔහොමයි..කතාව අමතක වෙනකොට කියනවා…ඉතුරු කෑල්ල හෙට කියන්නම්…දැන් ගිහින් බත් කාහන් මයේ පුතේ….නිවිලා කන්න නාකයි…කියලා. පරම්පරාවෙන් එන පුරුද්දක්ද කොහෙද දේශා.

      ලියන්න දේවල් නම් තියෙනවා බන්….මළ ඉලව්ව ටයිප් කරන්න ගියාමනේ එපා වෙන්නේ.

      • අර කියවන විට ලිවීම කරන කොම්පීතරයක් ගන්න අරූ අයියා

      • @ පවුලූශා…..ඇත්තටම ඔය කියවන විට ලිවීම කම්පියුටර් සීන් එකක් තිබුනා නේද? මම වැඩකරපු සුදු ජෙනරල් කෙනෙක් ගාව තිබුනා. 1990 ගනන් වල.

  15. සිරා says:

    ඔය කියන දවස්වල චිත්‍ර කථා උන්මාදය කොහොමද….සතුට කියන්නෙ චිත්‍ර කථා පත්තරයක් නේද….පොල්මල් වික්කා කියන්නෙ මොනවට වෙන්ට ඇතිද ?

    • සිරා…..ඇත්තටම මම මේ කියන කාලේ චිත්‍රකතා උන්මාදය පටන් ගත්ත කාලේ කිව්වොත් හරි. අපේ අර බන්ධුල අයියා ගාව ලන්දේසි හටන, ශ්‍රීවික්‍රම වගේ චිත්‍රකතා දිනපතා සතිපතා පත්තරවලින් කපලා ලොකු පොත්වල අලවලා එකතු කරලා තිබුනා. සුසිල් ප්‍රේමරත්න,තලංගම ජයසිංහ, බන්දුල හරිශ්චන්ද්‍ර වගේ අය තමයි ඕවාට සම්බන්ධ වෙලා හිටියේ. ඊට පස්සේ එක කතාවකට සීමාවු චිත්‍රකතා පොත් ආවා. ඒකේන් පස්සේ තමයි පිටුවකට එක කතාව බැගින්වූ සතුට පත්තරේ බිහිවෙන්නේ. මිහිරේ අලිබබා, බටකොල ආච්චි වගේ ඒව ගියා. දිසානායක කියලා කෙනෙක් තමයි ඒවා කරේ. නමුත් මිහිර ළමා අධ්‍යාපනික පුවත් පතක්.

      සතුට යුගයේ දයා රාජපක්ෂ, බන්දුල හරිශ්චන්ද්‍ර වගේ අය මෙන්ම ජනක රත්නායක, සරත් මධු, සුමතිපාල-ජෝතිපාල, වගේ අය ඉදිරියට ආවා. පස්සේ තමයි සිත්තර වගේ පත්තර ආවේ..පස්සේ පස්සේ පඳුරට එක ගානේ පත්තර පටන් අරන් ඒ ෆීල්ඩ් එක විනාශ කරා.

      පොල්මල් පොළට ගේන්නේ …..නගරයෙ හිටපු ලොකු ලොකු උදවියට (මුදල් ඇති-සමාජ සම්බන්ධතා නැති ) පිරිතකට, වන්දනාවකට අවශ්‍ය වුනොත් ගන්න. මේව ගෙනවිත් තිබුනේ පෙර ඇනවුම් වලට බව අසා තිබෙනවා. මුදලට වඩා සමහරවිට ධනවත් උදවියව තම කරත්තයෙන්ම පොල් මීලදි ගන්නට කරපු බිස්නස් ට්‍රික් එකක වෙන්නත් පුළුවන්.

  16. helapayaa says:

    කියවන්න කිසි වෙහෙසක් නෑ මචං,උඹ කතාව අඩුකරලා දායි කියලයි දුක.ඔය පැලමද වලට අපි කිව්වේ පැලපී හෙවත් පැලපිහි කියලයි.
    පත්තර මාරුකරගෙන කියවීම ගැන නං මටත් ගොඩක් අත්දැකීම් තියෙනව මචං.මමත් පත්තර හොයා හොයා ගිහිං කියෙව්වෙ.

    • ඇත්තටම හැලපේ කතාව අඩුවෙයි නෙමේ ,වැඩිවෙයි කියලයි මට බය…ඒ නිසාම තමයි මම සමහර කොටස් කමෙන්ට්ස්වල රිප්ලයි හැටියට දිගට දාන්නේ..සිරාගේ චිත්‍රකතා ගැන කමෙන්ට් එකේ රිප්ලයි එක බලපන්…වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්….ඒ වගේම තමයි ඉංග්‍රීසි පත්තර වල ක්‍රීඩා පිටුව සහ එහි ලේඛකයෝ…රවියා පොඩ්ඩක් මතක් කරා..හැබැයි ඒක තව පෝස්ට් එකක් දිගට ලියන්න පුළුවන්..උඹටත්, රවීටත් ආගිය කතා ලියන අයටත් ඔය ප්‍රශ්ණේ ඇති.

  17. අරූ,
    මේ සටහන් කියවීම කොහෙත්ම මහන්සියක් නෑ.
    කොටින්ම ඔබ ලියන යම් යම් සිද්දි වලදි අපේ ජීවිත මොන තරම් වෙනස් වුනත් යම් නොස්ටැල්ජියාවක් තියෙනවා. මම පොඩි කාලේ හිටියේ ගමක. ඒ ගමේ තිබුනේ හරිම අහිංසක ජීවිතයක්. ඊටත් වඩා අපේ අම්මලා අප්පච්චිලා අපිට වඩා වගකීමෙන් අපේ අනාගතය ගැන හිතපු මිනිස්සු. අදටත් මම කවුද ඇයි මම මෙහෙම වුනේ කියලා හිතද්දි මට දැනෙන්නේ ලෝකේ වටේ ගියත් අන්තිමට ඉන්නේ අපේ අම්මටයි අප්පච්චිටයි ඕන වෙච්ච මම. සමහරවිට පවුලේ පොඩිම බබා හින්දා මට තිබුන දේවල් අපේ අක්කලට නොතිබුනා කියලත් මම දන්නවා.
    යම් යම් අවස්ථාවලදි කොමන්ට් නොකලට එකක් නෑර මඟ නොහැරී කියන බ්ලොග් එකක් තමයි මේ.
    මේ දවස් වල මම ඉන්නේ හැබෑ ලෝකයේ නොවන හින්දා කොමන්ට් එක අවුල් ඇති සමා වන්න.

    • රංගි…..ඔබ මේ බ්ලොග් එක කියවන බව මම දන්නවා..හැකි වෙලාවක කමෙන්ට් එකක් දාන බවත් දන්නවා. ඒ ගැන වැඩිපුර හිතන්න එපා. හැකි විටෙක සංවාදයට එකතු වෙන්න. නෝ වොරීස්!!

      //මේ දවස් වල මම ඉන්නේ හැබෑ ලෝකයේ නොවන හින්දා කොමන්ට් එක අවුල් ඇති සමා වන්න.///
      ඉක්මනට හැබෑ ලෝකයට එන්න:D

  18. Kandyan says:

    පොල කියන්නේ අමුතු ලෝකයක්. මමත් කැමති පොලෙන් බඩු ගන්ට. අපේ මහ ගෙවල් ලඟ පොලක් නැතිඋනත් පස්සෙ කාලෙ වැඩ කරපු පලාත් වල ඉන්න කාලෙ ගියේම පොලවල්වලට.. එයිනුත් කුරුණෑගල පොල තමයි අල්ලලාම ගිය තැන. දෙල්කඳ ගිහින් තියෙනවා කීප සැරයක් 80 මුල කාලේ. ඒ පුරුද්ද තාමත් තියෙනවා. ගොඩක් වෙලාවට බඩු ගන්ට යන්නෙ supermarket එකට වඩා ‘farmers market’ එකට.
    ඉස්සර daily news sports page එකේ බලන්නේම ක්‍රිකට් ස්කෝර්ස්.. කවුන්ටි ක්‍රිකට් ගැන වැඩිය දැනගෙන හිටියෙ නැතිඋනත් සසෙක්ස් ගහපු ගිහාන් මෙන්ඩිස් ගේ score එක කීයද කියලා නොවැරදීම බලනවා.

    • කැන්ඩියන්…..අපි ඉන්න පලාතත් පොඩි ගමක් . පොළ සංස්කෘතියක් තියෙනවා ටිකක් එහා ටවුමට ගියාම. මමත් ආස එතනට යන්න. කැරකිච්ච ඇදවෙච්ච cucumber , මඩ පිටින් අර්තාපල්, කොළ පිටින් කැරට්, ගමේ හදන ජෑම්, ඔය වගේ දේවල් සුපර් මාකට් බඩුවලට වඩා රසයි. මඩ පිටින් මඤ්ඤොක්කා, ගිරාපලා, අඟුණ කොල, හොල්ලලා බලලා ගන්න හොඳ පොල් ගෙඩියක්, ඩෝප් බහින්න තැඹිලි වගේ දේවල් නැති එක ගැනනම් හිතට දුකයි.

      ගිහාන් මෙන්ඩිස් එක හේතුවක් වෙන්න ඇති ඒකාලේ කවුන්ටි ක්‍රිකට් ගැන අපි උනන්දුවෙන්න. අර මම කියපු ලීමඩුවේ පේමානන්ද අහන්නේම ගිහාන් මෙන්ඩිස්ගේ ස්කෝර් එක කීයද කියලා. ඉන්ග්ලන්ඩ් ටීම් එකට ගහන්න ඔන්න මෙන්න හිටියා. ඇති තරම් සුදුසුකමුත් තිබුනා. මුන් දුන්නේ නැහැ. මට ගිහාන්ගේ සහෝදරයෙක් හමුවුනා මෙහෙදී..එයත් ඒ බව කිව්වා.

  19. ආදරණීය අරූ වෙත ලියමි.
    අරූ මේ ලිපියේ ඔබේ රටාවේ යම් වෙනසක් දැනෙනවා මට. ඔබ ලිපිය ආරම්භ කර ඇති අන්දමත්, අවසාන කර ඇති අන්දමත් බැලුවාම යම් කලකිරීමකින් ලියා ඇති වගේ පේනවා. මම සිතන පරිදි බොහෝ
    “ඇසූ පිරූ තැන් ඇති අරූ” එසේ කලකිරීම නොවිය යුතු දෙයක් ඇත්තටම. මේ කතාව පුරාම ඔබේ කලකිරීම දක්වන යම් යම් ලක්ෂණ දක්නට ලැබෙනවා. ඊළඟ ලිපියේදී එයින් ඉවත් වී සුපුරුදු අරූ දක්නට ලැබෙනු ඇතැයි සිතමි.
    එසේනම් මම නවතිමි.
    ඔබට දළදා සමිඳු පිහිටයි
    මීට
    ඉවාන් පවුලූශා

    • ඉවාන්ගේ කොමෙන්ටුවේ නැටි එල්ලන දෙවනි වතාව..
      මාත් කියන්නෙ ඒ ටිකමයි අරූ තුමණි

    • ශා ගෑල්ලමයි දෙන්නෙක්ම ඉන්නවා සපෝට් එකට , සන්තෝසේ බැරුවා…….:D

      පුදුමයි අරූ ඉස්කෝලේ යන කාලේ ගෑල්ලමයින්ට මාව පෙන්නන්න බෑ. වෙන එකෙක් මගඩියක් කලත් ගෑල්ලමයි සාක්කි දෙන්නේ මට විරුද්ධව , උන්ට මාර උනන්දුවක් තිබ්බේ මට ගස්සවන්නයි මාව දනගස්සවන්නයි.

      • @ පවුලූශා…..මම නෝටිස් කරලා තියෙනවා බ්ලොග් කෙල්ලෝ උඹේ පස්සෙන් එල්ලිලා එනවා කියලා. උඹ සුවඳ තියා යන පොරක් වගේ. 😀

    • පවුලූශා…….උඹේ හෘදයාංගම කමෙන්ට් එකට බොහෝම ස්තූතියි. පොඩි නාහේට අහන්නේ නැති මූඩ් එකක හිටියේ. වෙනස තිසරත්, කෙන්ජිත් සටහන් කර තිබුනා. දැන් බැක් ටු නෝමල්..
      ///“ඇසූ පිරූ තැන් ඇති අරූ”///
      උඹ විහිළු කරන්න එපා. කවදා හරි ඩ්‍රින්ක් එකකට සෙට් වෙච්ච දවසක තවත් ඇසූ පිරූ කතා ටිකක් කියන්නම්.

    • කාවා says:

      අරූගේ කෙසේ වෙතත් ඉවාගේනම් වෙනසක් හැබෑවටම පෙනෙනවා.

  20. අතීතාවර්ජනය සාම පුද්ගලයකුම කරනවා. ඒ අතීතාවර්ජන තොරතුරු බෙදාගැනීමෙන් සමහරවිට නව මතකයන් අවදිවෙනවා. මතකද ඔබෙත් මගෙත් ඉහල තල්දූවේ මතකය. මෙවැනි තොරතුරු ලියාතැබීම වැදගත් කියලා මා හැමදාමත් කියන්නේ ඒ නිසයි.

    සිනමා නලුනිලියන් පිළිබඳව ඔබට හොඳ මතකයක් ඇතිබව පෙනෙනවා. ඔස්වල්ඩ් ජයසිංහ, සුදේශ් ගුණරත්න, ජෙනිටා සමරවීර, දේවිකා කරුණාරත්න වැනි අය මෙන්ම ඒ යුගයේ තවත් බොහෝ නලුනිලි පිරිසක් ඉන්නවා මතකයෙන් ගිලිහී ගිය. ඔබට තොරතුරු හොයාගැනීමේ හැකියාවක් ඇත්නම් ඔහුන් ගැන ලියන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    • @ විචාරක…..අතීත මතක සටහන්ම තමයි තාරුණ්‍යය පසුකරපු අපිව තව තවත් ඉදිරියට ගෙනියන්නේ. මෑත කාලය මාව එතරම් අපූර්වත්වයකට ගෙනියන්නේ නැහැ.

      ඒ දවස්වල සිනමාව, සංගීත සංදර්ශන, වාද බයිලා තරඟ, හා බැඳුණු සමාජ වටපිටාව ගැන ලියන්න අදහසක් තියෙනවා මගේ කතාවටම එකතුකරලා. මම ගම්මඩු, දෙවොල් මඩු සහ කවි මඩු, සල්පිල් වැනි දේවල් බොහෝමයක් දැක තියෙනවා. සල්පිල් ගැනනම් මතකය ටිකක් හොඳයි. ඒ ගැන ටිකක් හෝ ලිවිය යුතුයි. මේ දිනවල ශාන්ති දිසානායක ලියූ පොතක් ඇසුරෙන් ගිරිකුළ නම් ටෙලි නාට්‍යයක් යනවා . මේක හොඳ නිර්මාණයක් වගේ. සල්පිල් මතකය ඒ තුළින් ඇවිස්සුනා.

    • Anonymous says:

      මෙහෙම ලියමු
      අතීතාවර්ජනය සාම පුද්ගලයකුම කරනවා. – අතීතාවර්ජනය සෑම පුද්ගලයකුම කරනවා.
      ඉහල තල්දූව – ඉහළ තල්දුව
      නලුනිලියන් – නළුනිළියන්
      නලුනිලි – නළුනිළි

  21. damith says:

    //බොහෝ මහන්සියෙන් හරි හම්බ කරනදේ විනාශ කරන්නේ ඒවා නිකම්ම උකුලට ලැබුණ එවුන්ය. මගේ තාත්තා එවැන්නෙකි. මට සිදුවුණේ අහිමිවූ දේ නැවත ගොඩ නගන්නටය.//
    මටත් මෙ දෙයම සිද්ද උනා.මටත් වෙලාවකට හිතෙනව එ අත්දැකිම් නොවුනානම් අපි මෙහෙම නොවෙයි කියල.
    //සතුන් සතුන් වන්නේත් ,අපි මිනිසුන් වන්නේත් කෙසේද යැයි අසා ඇති මුත්//
    මට හිතෙන්නෙ අරු තිරිසනාත් මිනිසාත් වෙනස් වෙන්නෙ ලැජ්ජව කියන හැගිමෙන් පමනයි.ලැජ්ජව නැති මිනිහයි තිරිසනයි අතර වෙනසක් නැ

    • දමිත්….මටත් මගේ ළමා කාලයේ සහ යෞවනයේදී දැසි දස් පිරිවර හා මහසේනා හිටියානම් මෙහෙම කතා කරන්න හම්බවෙන්නේ නැහැ. එහෙම තිබුනා නම් මමත් සමහරවිට දෙමව්පියන්ගේ සල්ලි වලින් යැපෙන ඔඩොක්කු කුක්කෙක් වෙලා මෙලෝ රහක් නැති ජීවිතයක් ගෙනියයි..අවමයෙන් ජීවත් වෙච්ච අපි දැන් ඊට වඩා ටිකක් හරි උඩින් ඉන්න එක අපේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් නිසා මම ඒකට සතුටුයි.

      ලැජ්ජ බිමින් තියා ගන්න වෙලාවට සත්තුන්ට වඩා අපි වෙනස් තමයි. 😀

  22. silentsahan says:

    අරූ බොහෝ දෙනා නොදන්නම දේවල් ටිකක් මේ තියෙන්නේ …… ඔබට විතරයි මේවා ලියන්න පුළුවන්.. ඒ නිසා ඊළඟ ලිපියට මතකයට නැගෙන සෑම කරුණක්ම ඇතුළත් කරන්න ….

    • තෑන්ක්ස් සහන්….. තව දුරටත් තව අත්දැකීම් ගොඩාක් එක්ක ලියාගෙන යන්නම්….ගොඩක් කියවන්නේ තරුණ අය නිසා ඒ අයට මේ දේවල් අලුත් රසයක් ගේනවා ඇති.

  23. පොස්ට් එක ලියා ඇති රිද්මයේ වෙනසත් ඊට හේතුවත් කොමෙන්ටුවලින් දැන ගතිමි…. ගෙදර ප්‍රශ්න ලිහා ගන්නත් මේ ලියවිල්ල උදව් වෙනවානම්, ආත්මාර්ථකාමී පාඨකයෙක් හැටියට හැමදාම ගෙදර ප්‍රශ්න ඇතිවේවි පතමි 😀

    • මං කිව්වේ බොරුද .. මැලේසියාවේ හිටියට උඹ නියම සිංහලයෙක් කියලා …?

    • @ රාළයා නම්වූ ආත්මාර්ථකාමී පාඨකයාට : D

      මේකත් පවුල් ජීවිතේ එක ට්‍රික් එකක්ද මන්දා.. වයිෆ් බ්ලොග්ස් කියවනවා ..දැන් මේක කියවනකොට එයා හිතයි මගේ ආදරණීය අරූගේ හිත පෑරීලා තියෙන්න ඇති නේද? මීට පස්සේ අරූ වැරැද්දක් කරත් මම ගනන් ගන්නේ නැතිව ඉන්නම් වගේ දෙයක්. කොච්චර ශෝක්ද බං. අරූගේ අළුත් සොයා ගැනීමක්ද මන්දා.D :

      • ඇත්තටම මට අහන්නත් හිතුන අර උඩ කොමෙන්ට් එකේදීම අරූනී මේක බලන්නේ නැද්ද කියලත් ……. එත් අන්තිමට එක අමතක උනා ….. හි හි හි දැන් බලන් ගියාම එයත් බලනවා ….. අනේ අරූනි අක්කේ මේවා බැලුවත මේ අරූ එක්ක කොකු දා ගන්න එකනම් නවත්තන්න එපෝ…… මොකද මේ ලියලා තියෙන ඉට්ටයිල් එකටත් අපි ආසයි

      • රාළේ….අරූගේ ගෑණු සතා අරකිද අරුණිද?

      • තවත් ඇනෝවෙක් says:

        අරුණි ‍වෙන්න බෑ. අරුණි උනානම්, මේ වෙනවිට අරූට එකීය බ්‍රැටිස්ටා නීතිය පහර දීලා අවසන්. ඒ නිසා අරූගේ ගෑණු සතා අරකී ම විය යුතු ය.

      • @තවත් ඇනෝ……..හරි….තේරුනේ දැන් තමයි. අරකි හොඳයි. නැත්නම් වචන වලින් තමයි බඩ පුරවගන්න වෙන්නේ.: D
        ++++++++++++++++++++++++++++++++++++

  24. Anonymous says:

    මොකක් හරි හිතේ අමරුවක්ද මන්දා අරූ අයියා.ලියලා තියෙන මුඩ් එකේ දුක්මුසු ගතියක් තියෙනවා වගේයි මට හිතෙන්නේ.
    කොහොම වුනත් අරූඅයියා කිවා වගේ මමත් කියවන්න ගත්තේ පත්තර වලින්,පුංචි පත්තරෙන් පටන් ගත්තේ,ඊට පස්සේ බිංදු,විජය විතරක් නෙමේ සත්සිරි,සිත්තර වගේ ඒවත් බැලුවා පුංචි එකා සන්දියේදීම.:D

    • Anonymous says:

      යකෝ මම මනෝ ඇනෝ නෙමේ.

    • Anonymous says:

      යකෝ අරූ අයියේ මම මනෝ,ඇනෝ නෙමේ.

    • මනෝ…..චිත්‍රකතා පත්තරවලින් කීදාහක් කියවන්න පුරුදු වෙන්න ඇතිද….මම ඒක හොඳට දැකලා තියෙනවා…අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නොදක්වපු අය උනත් චිත්‍රකතාවලට පස්සේ කෙටිකතා නවකතා කියවන්න පුරුදුවුනා…තමන් ආසාවෙන් කියවපු චිත්‍රකතාවක් ෆිල්ම් එකක් වුනොත් ඒ ෆිල්ම් එක බලන්න යන්න පුරුදුවුනා. එතැන හොඳ පිරිද්දීමක් කරා. ඒ සියල්ලක්ම කාලය බොහොම නරක විදිහට කඩලා බිඳලා දැම්මා. රස නොදත් පිරිසක් බිහිවුනා.

  25. උඹේ කථාව මට මාවත් මතක් කරලා දුන්නා. වෙලාවේ අවුල ඇරෙන්නට මට කිසිම වෙහෙසක් නැතිව තව පැය ගනනක් ඒක කියවා ගෙන යන්න තිබුනා.
    නිරංජන් අයියේ මගේ හිතත් අනුරාධපුරයට ආපු පොල්අතු කරත්ත කාරයන් හා වළං කාරයන් අතර සැරිසැරැවා. මමත් ඔවුන්ගේ දිනචරියාව ඉතා ඕනකමින් නිරීක්ෂනය කල කෙනෙක්. ඔවුන් හැන්දෑවී උයන බත හා හත් මාළුව රස විඳින්නට පෙරැම් පිරැවත් අවාසනාවට එයට අවස්ථාවක් ලැබුනේ නෑ. විනෝදකාමියෙකු වූ අපේ තාත්තාත් බෝතලයකුත් අරගෙන ඔවුන් උයන කෑම රස බලන්න ඕනෑයි කියන අයුරැ මට අද මෙන් මතකයි. ඒත් ඔහුටත් එම ආසාව සංසිඳවා ගැණුමට හැකිවුනාදැයි මම නොදනමි.
    උඹ කියන ආකාරයේ අනුරාධපුර මහජන පොළේ අත්දරකීම් මටද එමට ඇත. උඹේ කථාව මා ඒ අතීත සක්මනේ ගිල්වන්න සමත්‍ විය.
    චිත්‍ර පටි හා චිත්‍ර කථා ගැනද මගේ කැමැත්ත උඹේ මෙන්ම විය. නුඳුරැ දිනක මගේ සටහනකින් ඒ විස්තර ගෙන එන්නම්. කථා කරන්න දෙයක් නෑ අයියේ මම උඹගේ හිතවතෙක් ලෝලියෙක් වෙලා ඉවරයි. උඹට ජයෙන් ජයම වේවා!!!

    • පත්තර මල්ලි says:

      අරූ අයියා .
      ඕං සහන් බොස් පාර පෙන්නල මාත් ආවා

      පංකාදු පහයි ඈ .

      අවුල්.වෙන්නට පෙර සේරෝම කියෙව්වා.!!!

      • @පත්තර මල්ලි……ඇවිල්ලා පත්තරෙත් දාලා ගිහිල්ලා…..යකෝ මීට පස්සේ ඈත ඉඳන් බෙල් එක ගහගෙන වරෙන්…මතකද ඉස්සර පත්තර බෙදන්නේ එහෙමයි. මෑන්ට වෙලා නැහැ චාටර් වෙවී ඉන්න. අපි සල්ලි තියාගෙන ගේට්ටුව ගාව ඉන්න ඕන.

    • චන්දන……ඇත්තටම උඹත් ජීවිතේ යම්කිසි පරණ අත්දැකීම් ඇති කෙනෙක් කියලා හිතෙනවා උඹ ලිපි සහ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි දීර්ඝ කමෙන්ට් එකට. කරත්ත කරුවන්ගේ නිදහස් ජීවිත රටාවක් තමයි පේන්න තියෙන්නේ..ඇතුලාන්තය ඊට වඩා වෙනස් ඇති. ගෙවල් දොරවල් වලින් ඇත්වෙලා තනි නොතනියට අර සතෙක් එක්ක ගත කරන ජීවිතය. කරත්තේ ගාල් කරලා, සතාව නිදහස් කරලා. කරත්ත රෝදෙට පිට දීලා බීඩියක් සුරුට්ටුවක් පත්තු කරගෙන කල්පනා කර කර ඉන්නවා. මහා සංකාවක් දැනෙනවා ඒවා මතක් වෙනකොටත්.

  26. සයුරි says:

    මම නම් කියවන්නෙම නැති පිටුවක් ක්රීඩා පිටුව. හැබැයි ක්‍රීඩා වලට අකමැත්තක් නෑ

    • හලෝ සයුරී…….ක්‍රීඩාවලට අකැමත්තක් නැති බොහෝ කාන්තා පක්ෂය ක්‍රීඩා පිටුව කියවන්න උනන්දු නෑ තමයි. මමත් එක දන්නවා. වයිෆ් උනත් මැච් එකක් වගේ ටීවී එකේ බැලුවත් ඒක සවිස්තරාත්මකව කියවන්න උනන්දුවක් නැහැ. ඒකත් හරියට පිරිමි කට්ටිය ලස්සනට අඳින්න කැමතියි හැබැයි තෝර තෝර ඉන්න කැමති නැහැ වගේ.

  27. කාවා says:

    අරූ මචෝ ඔය පොල් පුරවාගත්තු කතා කියද්දි මට මතක් වෙන්නේ දැනට වසර කීපයක් වෙනකන් ගම්වල ගිය පොල්, පොල් අතු කරත්ත. ඇත්තටම අපිත් අතීත කාමයට ආශාද මන්දා. ඒ කාලේ සුන්දර විදිහට තමා දැනෙන්නේ. නමුත්, සසඳා බැලුවෝත් වැරැද්දක්ද නැහැ. හැබෑ සුන්දරත්වයක්ද තිබෙනවා. අපි විඳපු ඒ සුන්දරත්වය අනාගත පරපුරට කෙසේ දැනේද?

    • කාවෝ……අතීතකාමයට කැමති නැත්තේ කවුද බං….ඕන කෙනෙක් ඒ තුල සැරිසරනවා. වයසින් මුහුකුරා යනකොටයි ගෙවල්වල දරුමල්ලෝ එහා මෙහාවෙලා තනියෙන් ඉන්නකොට තවත් ඒ තුලටම යනවා. ඊයේ අපේ දෙමව්පියො, අද අපි, හෙට අපේ ළමයි ,ඔය විදිහටම ඒ අතීතකාමය රස විඳියි. සංසාර චක්කරේ බං.

  28. ඉංගිරිසි පත්තරේ මම නම් මුලින්ම බැලුවේ පින්තුර විතරයිලු ඈ… 😀 ලත්තන ගෑලු ළමයි හිටියේ ඒකෙ තමයි 😀
    මුලින්ම කියෙව්වේ ළමා කතන්දරයක් . අර කිව්වා වගේ කියවගෙන යනකොට මහන්සි නෑ. හැබැයි අරෝට ඔහොම සංයමයකින් ලියන්න හොඳ අවධානයක් එක දිගට දෙන්න ගියාමනම් තරු පේන්න ඇති 😀

    • ///ඉංගිරිසි පත්තරේ මම නම් මුලින්ම බැලුවේ පින්තුර විතරයිලු ඈ… 😀 ///
      හෝඩි පොතෙත් අපි ඉස්සෙල්ලාම බැලුවේ පින්තූර විතරයිනේ සිංදුවෝ.

      බැරි බැරි වෙනකොට සංයමය ඔටෝ එනවා කොලුවෝ 😀 ඊට පස්සේ නිතරම අවධානය බලාපොරොත්තු වෙනවා.

  29. Thushani says:

    බාදක මැදින් යන ජීවිතය තමයි කවදහරි සාර්ථක නිමාවක් දකින්නේ .. ජීවිතයට ගත යුතු බොහෝ දේ ලිපියේ අන්තර්ගත වෙලා තිබුනා … ස්තූතියි ඔබට ..

    • තුශානි බාධක කියන වචණෙට කැපිටල් දයන්නකුයි සාර්ථක කියන වචණෙට කැපිටල් තයන්නකුයි තියෙන්නේ ඔය දෙකම ටිකක් බරපතල නිසා වෙන්න ඇති: D
      ඔබටත් බොහෝම ස්තූතියි!!

  30. nirmala says:

    ඔබ කොටස් 21 ක් දක්වා පැමිණ ඇත. එහෙත් පරණ ඒවා සියල්ල කියැවිය නොහැකියි. කාලය සියල්ල හරස්වේ.

    දෙල්කන්ද පොළයි ඔබයි අතරේ මහා ලොකු බෑඳීමක් තිබෙනවා. ඔබ හොහෝ දේ අතිශෝක්තියෙන් දක්වන්නේ සත්තකින්ම ඔබ එම අතීතයට ඇළුම්කරන බැවිනි. මිනිසුන් බොහෝ දෙකෙක් එසේය. සියලු දෙනා කියන්නේ අද වගේ නොවේ අපේ කාලයේ…. කියාය. නමුත්, යතාර්තවාදීව ගත්තොත් අද මිනිසුන් සමාජීය වශයෙන් පිරිහී ඇත. බොහෝ විට තාප්පෙන් එහා මිනිසා පවා නොහඳුනයි….

    ඔබගේ මියගිය අක්කා ගැන ලියනවා කියා පෙර අවස්ථාවක කීවා. එසේ ලීවාද? එසේනම් ලින්ක් එකක් යොදන්න.

    • ////. ඔබ හොහෝ දේ අතිශෝක්තියෙන් දක්වන්නේ සත්තකින්ම ඔබ එම අතීතයට ඇළුම්කරන බැවිනි.///

      නිර්මලා…….මම ඔබේ අදහසේ මේ කොටසට පළමුව උත්තර දී ඉන්නම්. මම බොහෝදේ අතිශෝක්තියෙන් දක්වනවා යැයි කියන්නේ මාගේ කතාවේ සමහර කොටස් ඔබට කියවීමට ඉඩක් නොලැබුන වතාවරනයක් තිබියදීමය. මා එසේ කියන්නේ කුමන තැනකදීද යැයි ඔබ කිවහොත් මට එය පහදා දිය හැකිය. මිනිසුන්ගේ ජීවිතයන් ගලායන්නේ දෙවියන්ටවත් බාහිර බලවේගවලටත් ඇවැසි ලෙසට නොවේ. එය තමන් පය ගසා සිටිනා මොහොතේ පවතින සන්දර්භය තුල බව මම හිතමි. මම අතීතයට ඇළුම් කරන්නේ මා අත් විඳින වර්ථමානයට වඩා එය මට මිහිරි නිසා මිස එය අතීතකාමය නිසා නොවේ. ඒ අතීතය මට අමිහිරිනම් මම එයට ඇළුම් නොකරනු ඇත. මගේ දේශපාලන භාවිතය පවා ඒ පවතින තත්වයන් තුල වෙනස් කරගැනීමට මා උත්සුක වන්නේ මා ජනතාවාදී දෘශ්ඨි කෝණයකින් ඒ දෙස බැලීම කැමැත්තෙක් නිසා මිස මා කන්නඩි දැකීම් තුලින් ලෝකය බැලීම ප්‍රතික්ෂෙප කරනා නිසාම විය යුතුය.

      ඉන්ද්‍රක්කා නැමැති ගැහැණිය පිලිබඳ මම තවම ලියන්නට පටන් ගත්තා පමණි. එය ලියන්නට වෙන්නේ පසුවටය.

      නිර්මලා ඔබේ ප්‍රවේශයට මම ස්තූති කරමි. මා ලියන්නේ කෙටි කතාවක්, නව්කතාවක් හෝ දේශපාලන ලියවිල්ලක් නොවෙන නිසා, එය සාකච්ඡාවට හා සංවාදයකට බඳුන් කිරීම ඉතා වටී.

      ඔබගේ වටිනා කාලය තුල මෙවන් අදහසක් පලකිරීම වටිනා අතරම…..මා ඔබට දුන් උත්තරය නැවත මොහොතකට සිතා බලන ලෙස ඉල්ලමි.

  31. මට හිතෙන්නේ අද ටිකක් උඹේ රටාව වෙනස් වෙලා වගේ . නිකන් හරියට ස්වයන් වාරණයක් දාගෙන වගේ. කොහොමත් ලිපියේ රසය හා අත්දැකීම්වල බර අඩු වෙලා නැ .

    • ඔව් තිලකේ…..මටත් පස්සේ කියවනකොට එහෙම හිතුනා. ස්වයං වාරනයක්නම් දාගන්න හිතුවේ නැහැ..හැබැයි ලිමිට්ස් දන්න නිසා බය වෙන්න දෙයක් නැහැ.

  32. මෙතෙක් ලියාගෙන ආව රටාවෙ මොකද්දෝ වෙනසක් වෙලා…

    මමත් අවුරුදු පහක් හිටිය මද්දුමගේවත්ත බෝඩිමක.. අපිත් ගියේ දෙල්කඳ ‍‍පොලට තමයි… ඔබ මිනිසුන් කියවන ආකාරය අපූරුයි.. මනුෂ්‍යත්වය විඳින ආකාරය අපූරුයි..

    • තරු…..ඒ කාලේ මද්දුමගෙවත්ත ඒ ඉඩම් අයිතිය තිබුනේ තලයරත්න කියලා පවුලකට. පස්සේ තමයි ස්කීම් එක ආවේ. ඔය ස්කීම් එකට යන තැන පාරෙන් ඉස්සරහ ගෙදර තමයි වියත් පඬිවරයෙක්වූ කේ.බි.සුගතදාසයන් ජීවත්ව සිටියේ.

      • තිස්ස says:

        1981 දී බොනී තලයරත්න එයාගේ අයියාවයි, ගංගොඩවිල සුභද්‍රාරමයේ ලොකුහාමුදුරුවන්වයි ගල්කිස්ස උසාවි භූමියේ ෂොට් ගන් එකකින් වෙඩි තියලා මැරුවා මතක ද? ඒ ඒගොල්ලන්ගේ පවුලේ ඉඩම් නඩුවක් නිසා. හාමුදුරුවෝ උසාවි ගියේ අයියා වෙනුවෙන් සාක්ෂි දෙන්න.

      • සිද්ධිය හොඳට මතකයි මට. තිස්ස ඔය කේස් එකට දෙල්කඳ වයින් ස්ටෝර්ස් එක කරපු පැස්කෝගේ නමත් ගෑවිලා තිබුනා වගේ මතකයි. මම ඉස්සර ගම්සභා උසාවියේ නඩු අහනවා බලන්න යනවා අර ලෑලි බංකුවල වාඩිවෙලා. මාර රේප් කේස් එකක් විභාග වුනා. විත්තිය මෙහෙයවූයේ කුමාර් පොන්නම්බලම්. මිනිහා උත්සාහ කරා අර ගෑණිව ගණිකාවක් බව ඔප්පු කරන්න. මිනිහා බලන විදිහටත් බය වෙනවා. ඔය උසාවිය ඒ කාලේ පන්සලක බණ මඩුවක් වගේ හරි විවෘත,ප්‍රාථමික තැනක්නේ. නඩුකාර තුමා කෝට් සාජන්ට කිව්වා අර ළමයාට එළියට යන්න කියන්න කියලා. මට සාජන් ඇවිල්ලා කිව්වා…යන්න යන්න කියලා. මම එතකොට වයසි අඩුයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s