අවුල් වන්නට පෙර..(22)…මාළු, මස්, සිගරට් සහ ගංජා…

මහ රෑ දෙගොඩ හරියේ සිට උදෑසන දක්වා ඉරිදා පොළේ හැඩරුව මම ඔබට කිව්වෙමි. මෙතැන් සිට ඉරිදාපොළ අවට මුළු ප්‍රදේශයම ඇවිස්සුණු කඩි ගුලක් වැනිය. ඊළඟට පැමිණෙන්නේ මාළු වෙළෙන්දන්ය. ඒබරං මුදලාලිගේ මාළු ලෑල්ලට අලගු තියන්නටවත් හැකිවෙන්නට මාළු ගෙනාවානම් ගෙනාවේ ඇක්මන් මුදලාලි පමණි. මුළු පොළටම මාළු ලෑලි හතරක් විය. ඒබරං මුදාලාලි ව්‍යාපාරයේ තෝරෙක් නම් අනිත් අය සාලයෝ, හුරුල්ලෝ බඳු විය. විශාල ලොරියක් පුරවා මාලුද, අයිස්ද, වැලිද පුරවා රැගෙන එන ඒබරං මුදලාලිගේ තොග බෑමටත් ලෑල්ලේ ඇසිරීමටත් ගෝලයෝ පස් හයදෙනෙක්ම් සිටියහ. හාල්මැස්සාගේ සිට ඉස්සා, කකුළුවා, තෝරා තලපතා දක්වා ඕනෑම වර්ගයක් මෙහි විය. ඒබරං මුදලාලි කොතරම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද කිවහොත් දෙහිවල, ගල්කිස්ස වැනි මුහුදුබඩ පැති වලින් පවා ධනවතුන් එන්නේ ඉරිදා පොළේ මේ මාළු ලෑල්ලටය. රත්තරන් සුරයක් පැළඳ, දැල් බැනියමකින් උඩුකය සරසා සිටි මොහු ලීයෙන් තැනු විශාල මුදල් පෙට්ටිය භාරව සිටියේය. කටේ උඩු ඇන්දේ රත්තරන් දතක්ද විය. එවැනි දත් පැලඳවූ තවත් අයෙක් අප ගමේ විසීය. ඒ රෙජා ආච්චීගේ පුත ලාල් අයියා විය. රත්තරන් දත් පැළඳීම, මේ කාලයේ කටට කරාබු දමනවා වැනි මෝස්තරයක් විය. ලාල් අයියා වඩාත් ප්‍රකට වූයේ සරුංගල් සෑදීමටය. ඉංග්‍රීසි කොඩියේ ආකාරයට ඇලවූ කොම්බුවාත්, ඇස් පිනවන වර්ණයෙන් සැරසූ මොනර සරුංගලයත්, යාර ගණන් දිග වලිගයක් සහිත නයා සරුංගලයත් මොහුගේ ප්‍රියතම අංගයන් විය. කාට නොලැබුණත් මට ඉන් එකක් ලැබෙන්නේ, රෙජා ආච්චිලාගේ කටුක ජීවිතවලට අපේ දෙමව්පියන් ඇති හැකි කාලයේ හොඳින් සලකා හැටි නිසා බැව් ලාල් අයියා මට කිහිප වරක් පවසා ඇත.

ගමේ හැමෝගේම ආදරයත් ගෞරවයත් දිනා සිටී ඒබරං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූයේ මාළු ආනන්ද නම් අප ගම් වැසි තරුණයාය. ආනන්දගේ මූලිකම රාජකාරිය වූයේ ලොකු මාළු සිල්ලරට කැපීම පමණය. තළන්නේ පොඩිකරන්නේ නැතුව රාත්තලක් හෝ රාත්තල් භාගයක් එක පෙත්තටම කපා තරාදියට දැමුවොත් එය සීයට අනූනවයක්ම නිවැරදිය. බැලන්ස් තරාදිය නම් දෙපැත්තෙන්ම පෙනෙන කටු කැරකවෙන තරාදිය, මිලදීගන්නා අයට පෙනෙන්නට එල්ලා ඇති බැවින් මාළු ආනන්දගේ මේ වික්‍රමය බලන්නට කොල්ලෝ කුරුට්ටෝ රැස්වී සිටී. ආනන්දට පෙම් බැඳි කෙල්ලෝද බොහෝ වූහ. දැන් කාලයේ කියනා විදිහට නම් මාළු ආනන්ද ස්මාර්ට් බුවෙක් විය.

වෙල් මාළු විකුණන උදවිය සිටින්නේ හබරල කොළ මත මසුන් අසුරා පොළවේ තබා ගෙන විකුනමින්ය. ඉරටුවල හෝ වෙනත් වැල්වලින් එකට අමුණා ඇති මේ මාළු වැල් වෙළඳාම් කරන්නේත් ඔය අවටින් පැමිණෙන දුප්පත් මිනිසුන්ය. ඌරු මස් වෙළෙන්දෝ දෙදෙනාත් ඉරිදා පොළේ ජනප්‍රිය දසුන්ය. එතනම එහා පැත්තෙන් මඤ්ඤොක්කා වෙළෙන්දාද වාඩිලා ගන්නට වග බලා ගනී. අඩුවකට ඇත්තේ මේ දෙදෙනාම එකතුකරන පානීය ප්‍රවාහය පමණි. අවශ්‍ය අයට වනාත පාරේදී සුදු පාටින්ම ඒවා නිරතුරුවම බලා සිටිය බව එකල වැඩිහිටියෝ නොදැන සිටියා නොවේ. ගාත් පිටින්ම ලෑලි මත තබා ඒ මත ඌරු ලේ අතුල්ලමින් සුදු හමක් ඇති ඌරා රතු සමක් ඇති ඌරෙක් කිරීමද දෙනෙතට රසකාරයක් වැනිය. මස් කැපිමේදී තරාදියට දැමීමට පෙර කටු කැබැල්ලක් හෝ අතුනුබහන් ටිකක් හොරෙන්ම රිංගවීමටත් එය හබරල කොළයේ ඔතා දීමටත් සමත් ගෝලයෝද ඔවුන් අතර වූහ. වංචාවෙන් තොර වෙළදාමක් එදත් නැත . අදත් නැත. නමුත් එදාට වඩා සාපේක්ෂව අද වැඩිය. මාළු ඒබරං විශාල ධනවතෙක් වූයේ මේ කපටිකම් වංචාවල් වලට ඔහු යොමුවූයේ අඩුවෙන් නිසා විය යුතුය. වැලි නැති මාළු ගන්නට නම් වැලි නැති මුහුදකට යා යුතුය. අපිට කොහෙද මාළු…අපි යනවද මුහුදු.

ගමේ බොහෝ අයගේ පුරුද්දක් වූයේ උදය වරුවේ මේ සියල්ලක්ම සූදානම් වෙන තෙක් පොළ සිරි නැරඹීමය. යමක් කමක් ඇති උදවිය නම් උදෑසනින්ම බඩු මිලදී ගැනීමට කැමතිය. දහවල් වනවිට අව් රශ්මියෙන් බැටකන එළවළු පළතුරුවලට වඩා උදය වරුවේ ඒවා ඉතා නැවුම්ය. මාලුන්ට නම් අයිස් ඇත. දහවල් වෙනවිට වෙලන්දන් විසින් මේ මිල කෙමෙන් කෙමෙන් පහළට දමන්නේ හැකි පමණින් තොග අවසන්කර හිස් අතින් ගෙදර යෑමටය. නැතිනම් හවස් වරුවේද ලොරි කුලියකට යටත් වීමට සිදුවේ. අපේ ආදරණීය සිරියාවති ලොකු අම්මානම් පොළේ යන්නේ පොළ වහන වෙලාව ආසන්නයේය. ඒ අපි ගෙවු දරිද්‍රතාවයේ මග සටහන්ය. ඉතාම සියුම් පිහියකින් පමණක්, තළන්නේ පොඩිකරන්නේ නැතුව හරියටම රාත්තල කපා තරාදියට දා ගත හැකි අධ්‍යාත්මක සිතුවිලි බොහෝය. මාළු ආනන්ද සතුව තිබූ ඒ මන්නය ,මම අධ්‍යාත්මක පිහියක් කරගත්තා දැයි මට නිතරම සිතේ. මම කිසිවිටෙකත් ෂයිලොක් කෙනෙක් නොවුයේ , කිසිදෙයකින්ම රාත්තලම ඉල්ලු මිනිසෙක් නිසා නොව, රාත්තල හරියටම බෙදූ මිනිසෙක් නිසා විය යුතුය.

පෙට්ටියක් බයිසිකලයේ බැඳගත් පුෂ්පා අයිස්ක්‍රීම් වෙළෙන්දාද, වෙරළු, අඹ අච්චාරු වෙළෙන්දියන්ද සිටින්නේ පොළ පිටිපස්සට වෙන්න පරණ පාර වන්නටය. නාවින්නේ චන්ද්‍රා පපඩම් වෙළෙන්දාද හොඳ ආකර්ශණයකි. කුඩා භූමිතෙල් ලිපක් මේසයක් මත තබා මිනිස්සුන්ට පෙනෙන්නට බදින පපඩම්, කුඩා බැලුම් බෝලයක් තරමටම පිම්ඹෙන්නේ මොන ආශ්චර්ය්‍යකින් දැයි අදටත් මට නොතේරේ. හොඳින් පිම්බුණු පපඩම්, කොළ නොමැති හෝ ඇති කුඩා අත්තක එල්ලා තබා ප්‍රදර්ශනයට තබන්නේත් නත්තල් ගසක තෑගි එල්ලුවා මෙනි. තෙල් බෙහෙත් වෙළෙන්දාද. මැජික් පෙට්ටියෙන් නොයෙකුත් දේ පෙන්වන පිචර්මෑන්ද පොළට එන්නේ මාස දෙකකට වරක් වගේය. ඒ එකම බොරුව නිතරම කරොත් ගම්මුන්ගෙන් බේරුමක් නැති නිසා විය හැකිය.

මෝටර් රථවලින් පැමිණෙන පිරිස ඉතා අවම වූවත්, අපේ ජම්බුගස්මුල්ලේ සෝමාවති ලොකු අම්මා එන්නේ ඔවුන්ට හිමිව තිබු ඕපල් රෙකාඩ් කාර් එකේය. බොහෝ දුරට ඒය පදවන් එන්නේ ලයනල් අයියා හෝ දයානන්ද අයියාය. දයානන්ද අයියා නම් පසුකාලීනව ජ’පුරේ සිටි ගණිත මහාචාර්ය්‍යවරයෙක්ය. මොහො ඉතා නිහඬ මිනිසෙක් විය. සතියටම ඇති තරමින් බඩු මිලදීගෙන ,ආච්චීටත් මටත් අන් අයටත් යමක් මිලදී ගන්නට අමතක නොකරන ඇය , ඇයගේ නැගණියවූ දුල්ලාවති නැන්දාට වඩා සිනහමුසුව ජීවත්වූ කෙනෙක් විය. මේ සියල්ලක්ම පසුකාලවලදීත් අප පවුලට උදව් උපකාර කර ඇත. ඒවා පසුවට ලියන්නෙමි.

දුල්ලාවති නැන්දා පදිංචිව සිටියේ හරියටම පොළ ඉස්සරහම තිබූ නිවසවූ මගේ පළමු නවාතැනේය. පොළට පැමිණෙන බයිසිකල්කරුවන්ට ඒව නවතා තබන්නට සිදුවූයේ නැන්දාගේ ගෙදර තාප්පය යාබද කුඩා බිම්කඩේය. එය නිවැසියන්ටද මහත් කරදරයක් විය. මේ හැම කරදරයක්ම ඉරිදාපොළ වෙනුවෙන් ඉවසා දරා ගැනීමට සියලු ගම් වැසියෝ කාරුණික වූහ. බයිසිකල් බලාගත්තේ කල්‍යාණරත්න නම්වූ එක් කකුලක් පෝලියෝ රෝගයට ගොදුරුවූ, නොන්ඩි ගසමින් ඇවිදින වැඩිමහල් තරුණයෙක්ය. නැන්දාගේ බිම්කඩට පින් සිදුවන්නට සෑම ඉරිදාවකම පාපැදිකරුවන්ගෙන් ඔහු යම්කිසි මුදලක් උපයා ගනී. එය ඔහුගේ එකම ආදායම් මාර්ගයවූ අතර සතියේ වියදමට එය සෑහෙන්නේ එතරම් බයිසිකල් ප්‍රමාණයක් පොළට පැමිණෙන නිසා විය යුතුය.

කාලය මෙසේ ගෙවී යන අතරේ අපේ කුළුබඩු පැකට් ව්‍යාපාරයේ මුදලාලිද හෙමින් හෙමින් සාර්ථක දියුණුවක් ලබමින් පවතී. පසුකලෙක රියෝනි ප්‍රඩක්ට්ස් නමින් ඔහුගේ ව්‍යාපාරය යම් සාර්ථකත්වයක් අත්කර ගත් අතර පාපැදියේ ගොසින් බඩු බෙදීමත්, එම පාපැදියේම පෙට්ටියේ පටවා අවශ්‍ය කළමනා රැගෙන ඒමත් , ඒ කුඩා නිවසේම පදිංචිවී සිටීමත් අත හැරියේ නැත. රියෝනි මුදලාලිගේ ඊළඟ අත්හදා බැලීම වූයේ රුලං සහ තල අළුවා හැදීමේ කටයුත්තයි. ජෝරිස්ලාගේ වත්තේම විශාල තාච්චිවල මේ රසකැවිලි හැදුවේ මේ කුඩා මිනිසා සහ බඩදරු බිරින්දෑය. මහරගම ගුණසිරි බුල්ටෝ හැදෙන්නේත් මේ කාලපරිච්ඡේදය තුළමය. අපේ රියෝනි මුදලාලි සිනහවෙවී කියන්නේ මහරගම බුල්ටෝ නම්, ඉරිදා පොළේ රුලං කෑලී කියාය. මමද කාටත් හොරෙන් ඉරිදාපොලේ වෙළෙන්දෙක් වූයේ ,ජෝරිස්ලා සමග රුලං වෙළෙන්දෙක් වීම නිසා යැයි කීමට මැලි නොවෙමි. අවට පදිංචිව සිටි පාසැල් මිතුරන්ගේ දෙමාපියන්, ඥාතීන් පොළට පැමිණීම නිසා ඔවුන්ට මුහුණ නොපෙන්වීමටත් වග බලා ගත්තෙමි. උඩහමුල්ල ඩිපෝව අසල පදිංචිව සිටි හර්ෂ සූරියාරච්චිගේ අම්මාගෙනුත් දෙල්කඳ සිට පාසැල් පැමිණි කිරි හේරත්ගේ ඥාතින්ගෙන් බේරි සිටිය විය යුතු විය. මේ අය මා හඳුනන්නේ මම ඔවුන්ගේ ගෙවල්වල ගොස් ඇති බැවින්ය. ඒවා පසුවට ලියන්නෙමි.

පොළ අසල තේ කඩ දෙකම උදේ 9-10 සිට වෙලන්දුන්ගෙන් පිරී ඉතිරී යයි. වරින්වර තේ බීමත්, බීඩි සිගරට්, බුලත් විටට පැමිනීමත් වෙලෙන්දන්ගේ සිරිත විය. විටින් විට රත්නසිරි ලාච්චුවෙන් මාටියා ගහනා රුපියලේ කාසි සාක්කුවේ ඔබා ගැනීමත් මගේ රාජකාරිය නිසා ඒ ගැනද කල්පනාවෙන් සිටිය යුතුමය. නැත්නම් අපේ චිත්‍රපටි බැලීමත්, සංගීත සංදර්ශන කෙරුවාවත් හබක්ය. රත්නසිරිගේ පියාටත්, තේ හදන ජයසේනටත් ඇස්වසා මේ හැම දෙයක්ම කරගැනීම අපි දෙදෙනාටම වීර ක්‍රියාවක්ම විය.

ඒ කාලයේ සිගරට් වර්ග කිහිපයක්ම විය. Four Aces(ෆෝරේස් )සහ බ්‍රිස්ටල් ෆිල්ටර් සහිතය. Three Roses(තීරෝස් ) සහ Capstan Navy Cut (නයිකට් ) ෆිල්ටර් නොමැති ඒවා විය. ස්පෝර්ට්ස්මන් කියා තවත් වර්ගයක් තිබුනි.මට මතක හැටියට බ්‍රිස්ටල් එකක් ශත 13කි. පාන් රාත්තලක් ශත 35කි. පාන් කාලක් ගන්නේ නම් ශත 9කි. ප්ලේන්ටියේ ගාන මතක නැත. මේ සිගරට් ඉතා වෛවර්ණ පැකට් වල අසුරා තිබුණත් බොහෝ අය මිලදී ගත්තේ එකක් දෙකක් හෝ පහක්ය. මේ හිස් පැකට් කඩවල්වලට ගොස් එකතු කර හිත්ගන්නා සුළු නිර්මාණ කෙරූ බවත් මතකය. ස්පෝර්ට්ස්මන් පැකට් වල සිටි එම නමක් නැති ක්‍රීඩකයාගේ රුව සියුම්ව කපා ඒ පැකට්ටුවම රේසින් කාර් එකක් (ලැම්බොගිනි ) කරේත් අපමය . මෙම සිගරට් පැකට් කඩා සිල්ලරට විකිණීම සඳහා බහා තැබීමට ප්ලාස්ටික් කෝප්ප වැනි භාජනයක් සැපයූවේ සිගරට් ඒජන්සි වලින්ය. පෝරේස් කොළපාට බඳුනකද, තීරෝස් රතු පාට එකකද, බ්‍රිස්ටල් සුදු බඳුනකද, නයිකට් දැමීමට නිල් පාට ප්ලාස්ටික් බඳුන්ද විය. සිගරට් තොග වශයෙන් කඩවල් වලට සැපයූවේ ආකර්ෂණීය පෙට්ටිවලින් සැරසූ බයිසිකල් පදවාගෙන ආ සේවකයන්ය. සිල්ලර කඩවලට සිගරට් සපයා එවෙලේම මුදල්ද රැගෙන ගොස් ඒජන්සියට භාරදීම එකල සිරිත විය. මොවුන් අත විශාල මුදලක් තිබෙන නිසාම අතුරු පාරවල් වලදී මුදල් පැහැර ගැනීම් වලට ලක්වෙන නිසා මේ ක්‍රමය සෙමින් සෙමින් වෑන්වලි බෙදා හැරිමේ ක්‍රියවලියකට පරිවර්තනය විය. අප පළාතටම සිටි එකම සිගරට් ඒජන්සි කරුවා වූයේ නුගේගොඩ ගුණවර්ධනය. ඇස්වාට්ටුවේ අරුණදිසිද, අතුරුගිරියේ ගුණසේකරද එවන් අය බව මතකය. සිගරට් ඒජන්සියක් ලබාගැනීම එසේ මෙසේ කාරියක් නොවේ. ඒ සඳහා මුදල්ද විශ්වාසයද ,සිලෝන් ටුබැකෝ එකට ඔප්පු කල විය යුතුව තිබුණි. ඒ එදාය.

අද නම් කතාව දිගය. නමුත් ශෘතියට අනුව ගැයිය යුතුය. මා මේ ප්ලාස්ටික් සිගරට් බඳුන් ගැන කිව්වේ එක කාරණයක් නිසාමය. ඉරිදාපොළ වැඩ කටයුතු අවසන් වෙත්ම තේ කඩද වසා දමනු ලැබේ. වලං වෙළෙන්දන් දෙදෙනා රත්නසිරි හමුවීමට එන්නේ මීට මොහොතකට පෙරය. ඒ සිගරට් බඳුන්වල අඩියේ ඉතිරිවෙන සිගරට් වලින් හැලෙනා දුම්කොළ හෙවත් සිගරට් කුඩු ඉල්ලා ගැනීමටයි. ඔවුන් අප දෙන්නාගේ හිතවතුන් වෙන්නේ මේ නොමිලයේ සිදුවන ගනුදෙනුව හරහාය. මේවා ගෙනයන්නේ කිනම් අවශ්‍යතාවයකට දැයි අපි විමසිලිමත් වූයෙමු. ඒ විමසිලිමත් වීමේ ප්‍රතිඵලය වූයේ, ජීවිතයේ ප්‍රථම වතාවට මටත් රත්නේටත් ගංජා සුරුට්ටුවක් ඉරීමේ අත්දැකීමද ලබාදීමය. මොවුන් ගංජා ඔතන්නේ සුදුපාට සව් කඩදාසියකට මේ සිගරට් කුඩුද එකතු කරමින්ය. ඉන්පසු එය ඉතා තද කළු පැහැති කාප්පය නම්වූ දුම්කොලයෙන් තදවෙනසේ එක් හැඩයකට ඔතා ගැනීමට සමතුන්ය. අබ්‍යාවාකාශයට යන රොකට්වල හැඩය ගත්තේ මේ රොකට් වලින්ද නොදනිමි. හැබැයි දෙකම රොකට් බව වැටහුණේ ඒ මුළු රැයම වමනය දැමීමත්, හිස කැරකැවීමත්, නින්ද නොයන රාත්‍රියක් වූ නිසාමය. මා මේ ලියන්නේ මගේ අත්දැකීම් විනා අන් කවරක්වත් නොවේ.

මාගම් තෙන්නකෝන් නම්වූ, ඒ නිර්ව්‍යාජ ලේඛකයා සහ මාධ්‍යවේදියා පිළිබඳ ඔහුගේ පුත් සඳුන් තෙන්නකෝන් ලියු රසවත් පොතකද මෙවන් ගංජා ඉරීමක් ගැන සඳහන් වේ. පොතේ නම මතක නැත. මාගම් විත්ති කියා යාන්තමට කිව හැක.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

122 Responses to අවුල් වන්නට පෙර..(22)…මාළු, මස්, සිගරට් සහ ගංජා…

  1. මොන දිගක්ද මේක කියවන් යනවා තේරෙන්නේ නෑ. උපහාසය, හාස්‍ය, ඒ මදිවට ගංජා ගැන ඇඩ් එකකුත් තියෙයි හඃ හඃ හඃ පස්ටයි !
    අම්මත් එක්ක ඉරිදා පොළේ යන වැඩේ තරම් එපාවුණු වැඩක් නෑ ඉස්සර. ඔක්කමත් හරි එපාම වෙන්නේ බඩු භාගයක් අරන් ඒ ටික බලාගන්න කියලා අම්මා මාව ගත්තු බඩු ටිකත් එක්ක කඩයක් ගාව තියලා යන එක තමයි. අර කිව්ව මැජික් අය නම් මම දැකලම නෑ. හැබැයි වඳුරෝ, නයි නටවන අයයි , විරිඳු කියන අයයි හිටියා. තව හිටියා මනුස්සයෙක් ඩොල්කියක් අරන් ඇවිත් ගගහා සිංදු කියනවා. 😀
    කෑම වලින් තව තිබුනා රටකජු අර පොත්ත පිටින් තියෙන එකයි, බොම්බයිමොටයි 😀
    අරෝගේ ඉට්ටයිල් එක පරණ අලුත් හැමෝවම ලේසියෙන්ම ටච් කරන ඉට්ටයිල් එකක්. ලේසියෙන්ම අරෝ කියන ඒවා වැඩි විස්තර නැතුව මැවෙන්නේ ඒ නිසා වෙන්න ඕනි. නැත්නම් අර කවදාවත් පොළේදී මම දැකලා නැති මැජික් කාරය රූපේ මැවෙන්නේ නෑනේ. ඕනවට වඩා ප්‍රබුද්ධත් නෑ ඕනවට වඩා අප්සටුත් නෑ. ජය ජය !

    • ///ඕනවට වඩා ප්‍රබුද්ධත් නෑ ඕනවට වඩා අප්සටුත් නෑ. ////
      සිංදුවෝ…..ඕනවට වඩා ප්‍රබුද්ධ වෙන්නේ කොහොමද බං, කොහෙත්ම ප්‍රබුද්ධ නැති එකෙක්. අනිත් කතාව නම් වෙන්න පුළුවන්…:D

      මමත් ඉතින් නැන්දලාගේ ලොකු අම්මලාගේ වේවැල් මළු උස්සන් යනවා පස්සෙන් ඉස්සර. පොඩි සම්තින්ග් එකකුත් ලැබෙනවා මොනවා හරි ගන්න. බොම්බයිමුටයි කාරයාව අමතකම වුනා..තව මතකද නයිස් කියලා ජාතියක්. උඹ දන්නවාද බොම්බයිමුටයි කියන්නේ ඇයි කියලා. හින්දියෙන් මිටායි (මිතායි )කියන්නේ ස්වීට් කියන එක. බොම්බේ මිටායි තමයි හින්දි ඌරුවට පොඩි සෙල්ලමක් දාලා බොම්බයිමුටයි කියන්නේ. ඉස්සර කොල්ලුපිටියේ කඩයක් තිබුනා බොම්බේ ස්වීට්ස් කියලා.

      මාසයකට සැරයක් විතර එන තවත් පොරක් තමයි සාස්තර කියන බුවා. පොර සමහර දාට රැවුල වවලා ජටා බැඳලා. ඊලඟ පාර එන්නේ සුදු ඇඳලා මුල් ගුරුතුමා වගේ. අඳුරගන්නවත් බැහැ.

      • අප්පට සිරි අදනේ දන්නේ බෝම්බයි මොටයි නම හැදිච්චි හැටි .. කිව්වත් වගේ ඇත්ත නේන්නම්හින්දියෙන් “මීටා”කියන්නේ පැණි රහටනෙ.

        මෙහේ කැෆෙටේරියා වලින් හදිස්සියට චායි පාරක් දාන කොට “බායි තෝඩා මීටා” කිව්වේ නැත්තිනම් එක්කෝ සීනි ඇත්තෙම නෑ … එහෙම නැත්තනම් තේකත් එක්ක දියවැඩියාව හැන්දකුත් දාල දෙනවා 🙂

  2. Kenji @ Japan says:

    ඔබ කියා තිබෙන රත්තරන් දත් කාරයෝ ඉස්සර ඒක ගමකට එකෙක් හරි ඉන්න ඇති කියල හිතෙනවා.
    අපේ සෙට් එකේ හිටිය (ඩොනල්ඩ් කරුණාරත්නගේ මස්සිනා) එකෙක් දැන් හොලිවුඩ් තාක්ෂණ ශිල්පියෙක්,පේපර් එක තියල සිගරට් ඒක වගේ ඔතන්න පුළුවන් ගැජට් එකක් ජර්මන් ජාතිකයකුගෙන් ලැබුන.
    ජෝති අයියට උදේ රේස් කොලේ බල බලා බොග දාන්න සුස්තියක් නැතිව බැහැ.
    මාලිගාවත්තේ එයාගේ ගෙදර කළු පොරක් හිටිය නම මතක නැහැ මිනිහ රේස් කොලෙයි සුස්තියයි රෙඩි කරලා තියෙනවා නැගිටිද්දී දෙන්න.

    • කෙන්ජි…..රත්තරන් දතාලා නම් ටවුමට එකෙක් දෙන්නෙක් හිටියා..ගම්වලත් ඉන්න ඇති. මෙහේ ඉන්නවා බන් දත්වලටත් නිකම් අමුතු ගැජට් එල්ලගත්ත බුවාලා.

      ඩොනල්ඩ් කරුනාරත්න සෑහෙන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට සම්බන්ධවෙනවා…ඒක දයාරත්න රටගෙදරගේ ෆස්ට් ෆිල්ම් එක.( පත්තරේක දැක්කේ ) ඩොනල්ඩ්ගේ ෆස්ට් ෆිල්ම් එක අහස් ගව්ව කියලා මතකයි. උඹ මේ අයව දන්නවා ඇතිනේ.

      ජෝතිව උඹට ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවාද? මට හම්බවෙලා තියෙනවා කොම්පඤ්ඤවීදියේ නිල්වලා ක්ලබ් එක ගාවදි කීප වතාවක්.රත්තරන් මිනිහෙක්. සූස්ති කිව්වාම නිහාල් සිල්වාවත් මතක් උනා (නල්ලතම්බි ).

      • Kenji @ Japan says:

        නිහාල් අපි කට්ටිය සුස්ති ගහල රාජංගනයේ ගාමිණි හෙවාවිතාරනගේ ෆිල්ම් එහෙකදී වික්ටර්ගේ “ස” සින්දුවලට ඌ ට කියල අමු කුණුහරුප කැසට් එකක් රෙකෝඩ් කලා මම පළමුවෙන්ම.
        මාතලන් එකේ ලින්ක් එකක් එවල තිබ්බ දැන් ඒක මාලග නැහැ මචං.
        ජෝති අයිය එයා රගපාමින් කරපු පළමු ෆිල්ම් එක මස්කෙලියේදී කරද්දී දින කීපයක් නියම ආතල් එකක් ගත්ත.

      • @කෙන්ජි……ඔය කියන කැසට් එක ඒ කාලේ මාර හිට් එකක් වුනානේ. මම අහලා තියෙනවා. හැබැයි මම කීයටවත් හිතුවේ නැහැ ඒ නිහාල් කියලා. පස්සේ තමයි දැන ගත්තේ. මොනවා වුනත් දක්ෂ නළුවා..මට ස්ටේජ් එක පිටිපස්සේ හම්බවෙනවා නාට්ටි බලන්න ගියාම. දුමෙන් තමයි ඉන්නේ.

    • Kandyan says:

      ඔය ගැජට් එකක් මං දිගාමඩුල්ලේ ඉගෙනගන්න කාලේ අපේ බැචෙක් වර්ක්ෂොප් පීරියඩ් එක වෙලාවේ හැදුවනෙ. ඇළුමිනියම් තහඩුයි බයිසිකල් ටියුබ් වලින් කපාගත්ත රබර් පටි වගේ ‘දේශීය අමුද්‍රව්‍ය’ පාවිච්චි කරල තිබුනේ. ඒකට මාර ඉල්ලුමක් තිබුනා…බත් ඇට වලින තමයි ටිෂූ පේපරේ අලවන්නෙ.

      • දැන් නම් කැන්ඩියන් එක එක මෝස්තරේට හදලා කඩවල්වල විකුණන්නත් තියෙනවා.

  3. kathandarakaraya says:

    /* මම කිසිවිටෙකත් ෂර්ලොක් කෙනෙක් නොවුයේ , කිසිදෙයකින්ම රාත්තලම ඉල්ලු මිනිසෙක් නිසා නොව, රාත්තල හරියටම බෙදූ මිනිසෙක් නිසා විය යුතුය.*/

    ෂයිලොක් පරාජය වුනේ මස් රාත්තලක් හරියට නූලටම කැපීමට නොහැකි වූ නිසා පමණක්ම නොවේ. ඒ කපා ගන්නා මස් රාත්තලේ ඇන්ටෝනියෝ ගේ ලේ බිඳක් හෝ තිබෙන්නට බැරි බවට පෝර්ෂියා කළ තර්කය නිසායි.

    • මගේ ජීවීතයේ බලාපූ නාට්ටි වලින් මම ආසම නාට්ටියක් තමයි “වැනීසියේ වෙළෙන්දා” ඒකේ ටෝනීගේ චරිතය අගය කිරීමකට ලක් උනාද දන්නේ නෑ. නමුත් ඒ තමයි මම නාට්ටියක දැක්ක විශිෂ්ඨම රංගනය. ෂයිලොක් ලෙස. ඉන්ගිරිස් ඒවා බලලා තියෙනවා මෙළෝ රහක් නෑ. ඒ වගේම තමයි සංගීතය.

      • මාතා…..බන්දුල විතානගේ තමයි වැනීසියේ වෙලෙන්දා හැදුවේ. ටෝනි තමයි ෂයිලොක්, මානෙල් වානගුරු හිටියාද? ටෝනි, ශේක්ෂ්පියර් සම්බන්ධ පුදුම උනන්දුවක් තියෙන්නේ. මම මෑතකදි පොඩි පනිවිඩයක් දැන ගන්න කතාකරා…මගෙන් ශේක්ෂ්පියර් සම්බන්ධව විශ්ව විද්‍යාලයීඑය ඉගෙන්වීම් සහ පර්යේෂන වලට සම්බන්ධ පොතක් තියෙනවා හොයලා දෙන්න කිව්වා ලංකාවේ නැහැ කියලා.

    • ඔව් කකා…ඇන්ටෝනියොගේ ලේ නැතුව මස් වලින්ම තර්කය ගේන පෝර්ෂියා උසාවියේ පෙනිසිටින්නේ බර්තොලමස් හෝ බල්තසාර් හැටියට නේද? මතකත් නැහැ කකා ඕවා දැන්.

  4. Senna says:

    මම මේ කල්පනා කළේ මෙච්චර කාලයක් ගිහිනුත් මේ නම් ගම් ආදිය මතක තියන එක ගැන. මම දැන් මගේ අතීතය ලියන්න ගියොත් මට බාගෙකට වැඩිය මතක නෑ.. විශේෂයෙන් පුද්ගල නාමයන් ආදී දේ…

    දැන් කාලෙ ස්මාර්ට් පොරක් වෙන්න හරි ලේසියි. රුපියල් විසි තිස්දාහක් වැය කරලා ස්මාර්ට් ෆෝන් එකක් ගන්න පුළුවන්නම් ඌ තමා ස්මාර්ට් බුවා. කෙල්ලොත් දැන් අනිවා ස්මාර්ට් කම මනින්නෙ ඕවයෙන් තමා. නූතන වෙලෙන්දො සමාජය එතනට ගෙනල්ලා තියෙන්නෙ.

    ශර්ලොක් නෙමේ ශයිලොක් නේද ?

    මටත් තාමත් මතකයි ත්‍රීරෝස් පැකට් එකේ තිබුන රෝස මල් තුන. ඉස්සර අපේ තාත්තා අපිට සල්ලි දීලා කඩෙන් සිගරට් ගෙන්න ගන්නවා. ඒ කාලෙ දැන් වගේ ළමයින්ට සිගරට් නොදෙන නීති තිබුනෙ නෑ. දැන්නම් සිගරට් බීමෙහි පැහැදිලි අඩුවක් මමනම් දකිනවා. නූතන පරම්පාරව උගත් හෝ ඊට වැඩිය ප්‍රභල විකල්ප හොයාගෙන ඇති.

    මගෙ උපරිම මතකය පාන් රාත්තල රුපියලට තිබුන කාලෙ තමා. ඊට එහා මට මතකයක් නෑ..

    මේකනම් පොතක් කරන්න වුනත් සුදුසු මට්ටමේ තියනවා අරූ. මට එහෙම හිතෙනවා.

    • සෙන්නා…..මොන එකක්ද මන්දා මට බොහොම පරණ එව්වා මතකයි..හැබැයි මෑතකාලේ හමුවුන අයගේ නම් එහෙම එතරම් මතක නැහැ. ඒතරම් සමීප සබඳකම් නැති හින්දා වෙන්න ඇති.

      සෙන්නා මගේ වැරැද්ද හරි ගැස්සුවා. ස්තූතියි!

      අපේ තාත්තාත් බිව්වේ ත්‍රීරෝසස්. අපිව කඩේ යවනවා. මම සිගරට් එක ඉඹ ඉඹ එන්නේ. ඒ සුවඳට හරි ආසයි. දැන් නම් බොහෝ අය සිගරට් බොනවා අඩුයි. මෙහේ නම් පිරිමින්ට වඩා ගෑණු සිගරට් බොන බවක් පේනවා.

      ඉස්සර පාන් නම් හරි කොලිටියක් නැහැ නේද සෙන්නා…ගුල්ලෝ, හන නූල් නම් සාමාන්‍යයි.

    • මේකනම් පොතක් කරන්න වුනත් සුදුසු මට්ටමේ තියනවා

      • ප්‍රදීප්…..අපි වගේ එවුන්ගේ කතා, පොත්වල ලියලා කවුරු කියවන්නද බං. ඒකට ඊට ඉස්සෙල්ලා “පොරක්” වෙන්න ඕන. ඊට පස්සේ පොතක් ලියන්න නෙමේ ඊටත් වඩා දේවල් කරන්න පුළුවන්. අපේ සමාජය පොරමේනියා එකට තමයි සලකන්නේ.

        අපේ මල්ලි නම් කියනවා මෙහෙම දිගට ලියාගෙන යන්න කියලා. බලමු නේද? කියවනවාට ස්තූතියි!

  5. අපෙත් කැම්පස් එක ඉස්සරා මල් විකුණුවේ රත්නේ කියලා පොරක්….කකුල නොන්ඩියි…කරේ හරක් බදින කඹයක් ව්ගේ රත්තරන් මාලයයි…අරක් බොරු නොන්ඩියක්…..

    මේ රත්නේ අරූගේ යාළුවද දන්නේත් නෑ…

    මලක අසිරිය: Power of Weeds.

    • මයියාගේ ලින්ක් එකේ මල් පෝස්ට් එක කියෙව්වා. එක නියමයි. ඒ රත්නේ අපේ රත්නේ නෙමෙයි..මයියා…. පස්සේ කාලෙක නුගේගොඩ ස්ටේෂන් එක ගාව අන්ධ බුවෙක් හිඟා කෑවා. ඇත්තටම අන්ධයි. පොර ගංජා විකුණනවා. මම අරගෙනත් තියෙනවා.මෑන් හිටපු ගමන් එහාට මෙහාට මිස් වෙනවා. ගන්න ආපු එකෙක් බනිනවා මේ ශුක්‍ර අන්ධයා මොන යෝනියක ගිහිල්ලද කිය කිය.මලක් ගැහුවට හපන් ඒ කතාවට හිනාවෙලා පන ගියා.. අන්ධයා කියලම තමයි හැමෝම කිව්වේ..නමක් දන්නේ නැහැ. පොලිසියෙන් අනුකම්පාව තිබුනලු… එක එක කාලවල් නේද…

      චන්දන ලියන ආරච්චිගේ “මහද ගගන තලේ ” සිංදුව මතකද? එකෙක් කියනවා මල් ලෝලියෙක් මලක් ගැන හිතලා ලියපු සිංදුවක්ලු ඒක.. නිකමට අහලා බලන්න.

  6. මක්කා කියන්නද අරූ. දිග වැඩියි කියලා දැක්කේ කියවලා ඉවර උනායින් පස්සේ. කොච්චර දිගට ලිව්වට් කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ. ඒත් මදි වගේ. මේකෙම තව පොස්ට් කීයකට කරුණු තියෙනවද? අනික මේ නම් ගම් සියල්ල මතක තියාගෙන ඉන්න එක. සරුංගල්, අයිස්ක්‍රීම් කාරයෝ, ගහල කොලේ ඌරූ මස්, මාළු කාරයෝ, තෙල් බෙහෙත් කීයක් කියලද..

    ගොඩක් උන් පොලේ යන්නේ හැන්දෑ වෙලා, මොකෝ ලාබෙට ගන්න, එහෙම අරගෙන එන්නේ ඉතිරි වෙච්ච මල ජරාව. ඒක පුරුද්දක් නිසාද මන්දා, සමාජයටත් අත් වෙලා තියෙන්නේ ඒ සැන්තසියමයි. බොහොම ලාබයි.. හැබැයි කුණු ගොඩවල්.. එහෙව් රටේ… බ්ලොග් වලට ජීවයක් එක්කලාට උඹට පින් මචෝ..

    • මාතා…..පොළ ගැනනම් වෙනම පොතක් ලියන්න පුළුවන්…පොළට දවල්වෙලාත්, ඊටත් පස්සේත් යන්නේ අතමිට සරු නැති උදවිය. හැබැයි ඒ ගේන බඩු ටික දවසකින් නරක් වෙනවා. අන්තිම වෙන්න යනකොට නිකනුත් දෙනවා බං ඉස්සර සමහර එලවළු. මාළු ඉතිරිවුනොත් අයිස් දාලා අරගෙන යනවා…ඒබරං මුදලාලි දවල් 12-1 වෙනකොට මාළු තොගය ඉවර කර ගන්නවා. දැන් නම් මිනිස්සු පොළේ යන එක අඩුවෙලා ඇති .රටම පොළක් වෙලානේ තියෙන්නේ. වැඩියෙන්ම ඉන්නේ තෙල් බෙහෙත් වෙලෙන්දෝ,බයිස්කෝප් කාරයෝ, නයි නටවන්නෝ, රිලා පණික්කියෝ. පිස්සු හැදෙනවා බං රට ගැන හිතුවාම.

      • නෑ මචෝ ගමේ තාමත් පොල තියෙනවා.. කොළඹත් තියෙනවා.. හැබයි ඒ සී දාලා, ඉටිකිරිස් කෑලී එහෙම දාලා, සික්කෝ දාලා.. ඉස්සර වගේ මලු උස්සන් එන්නේ නෑ.. පොලේම තියෙනවා කරත්තයක්.. ඒකත් තල්ලු කරන් ගිහින් “ඩූ යූ ලයි මයියොක්කා ඕ පොලොස් කිය කියා තෝරලා කරත්තෙට දාගෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා කරත්තෙන් ඩිකියට දාගෙන ගෙදර ඇවිත් ආයට දෙනවා උයන්න.. අරවා මේවා වෙනස් උනාට.. තාම කොත ගහලා පරන බත් එකම තමයි කන්නේ..

      • @මාතලන්…..වැල ගෙඩියක් කොහොල්ලා නාගෙන ඇඟේ පෙරාගෙන කන පොශ් නෝනා කෙනෙක් තව කෙනෙකුට අඬ ගැහුවලු….එන්න මෙයා ෆෘට්ස් කන්න කියලා……..

  7. අරූ අද ලියමනක් නෙමේ චිත්‍රයක් ඇඳලා වගේ දැනෙන්නේ.

    ඔන්න ඔය කියන පොලේ ඔයා ලියන ඒවත් එක්ක හැම තැනම ඇවිද්දා. මස් කන්නේ නැති නිසා ඌරු මස් නම් ගත්තේ නැහැ. මාලු ජාති ඔක්කොම ගත්තා. එතකොට අච්චාරු ජාති, රුලං කෑලි එහෙම. 🙂

    දැන් ඉතින් කෙල ගිල ගිල වෙන මොනවා හරි කන්ට තමා වෙන්නේ. 😦

    • පොඩ්ඩි වෙජිටේරියන්ද? බිජුටේරියන්ද? බිත්තර විතරක් කන අයට බිජුටේරියන් කියලා නේද කියන්නේ?

      පොඩ්ඩි ඉන්න දිහාවේ මේ පොළ සංස්කෘතිය නැද්ද? අපි ඉන්න පලාතේ ගමේ තියෙනවා ලංකාවේ වගේම නොවුනත් එයට කිට්ටුවෙන් යන පොළක්. මම ඒ පැත්තට ගියාම ඕකේ ඇවිදිනවා. ගමේ එළවලු ගත්ත හැකි. ඒත් ඉතින් කැරට් බෝන්චි ගෝවා තමයි.

  8. පරණ අරූ නැවතත් පැමිණීම ගැන මාගේ ප්‍රණාමය, ඔය කැප්ටන් කියන සිගරට් පැකට්ටුවේ නම ලියලා තිබ්බේ CAPSTAN කියලා මට එක මතක එක සැරයක් ඩික්ටෙෂන් වලට මං කැප්ටන් කියන එක ලිව්වේ එහෙම ,ටීචර් වැරදි දාලා තිබ්බම මම පහුවදා සිගරට් පෙට්ටියත් අරන් ගිහිල්ලා ඇහුවම එදා පුංචිම කාලේ තමයි මම වෙළඳ නාම කියන පාඩම ඉගෙන ගත්තේ

    • Senna says:

      මමත් ඔහොම වැඩක් කළා. ELEPHANT කියන එක ලියන්න තිබුනම මම තාත්තගෙ බයිසිකලේ තිබුන ELEPHANT ඩයිනමෝවෙන් බලලා තමා ලියාගෙන ගියේ.. වාසනවකට ඒකෙ වෙළඳනාමය ඇත්ත නාමය එක්ක ගැලපුනා.. 😀

      • @ සෙන්නා…….මේ පටැලවිල්ල මතකද? ඉස්සර කොහොඹ සබන් දවටනයේ සිංහලෙන් ප්‍රින්ට් කරලා තිබුනේ කොම්බ සබන් කියලා. මම හරියට පැටළුනා ඔය කොහොඹ යි කොම්බයි එක්ක. ප්‍රින්ටින් එරර් එකක් නෙමේ.

      • Senna says:

        අරූ, ඔව් කොම්බ කියලා තමා තිබුනෙ. මාත් ඒ දවස්වල බැලුවා ඇයි ඒ කියලා… හැබැයි ඒක නිකන්ම කොහොඹ වුනා..

    • @ පවුලිස්…..උඹ හරි. ඒක කැප්ස්ටන් තමයි. මට වැරදුනා. මම හදන්නම්. දැන් දැන් මේ කතාව උඹට මතක යුගයකට එනවා කියලා මට හැඟෙනවා. ඔය වෙළඳ නාම වැඩෙත් හරි ශෝක්. සමහර භාන්ඩවල වෙළඳ නාමයම තමයි ඒ භාන්ඩේ කියලා සමහර වෙලාවට හිතෙනවා. මට මතක තියෙන එකක් තමයි Hoover. .අනිත් හැම Vacuum Cleaner එකකටම කියන්නෙත් Hoover කියලා නේද? තවත් ඒ වගේ දේවල් තියෙනවා. මට මතක නැහැ.

      පවුලිස් මම උඹේ ෆොටෝ එකක් දැක්කා අටමගේ බ්ලොගේ. මම උඹව දැකලා තියෙනවා වගේ හිතෙනවා.

      • Senna says:

        S-Lon
        Bata
        Celltel
        Jeep

      • ඔය තියෙන්නේ……ජීප් නම් තාම කියනවා…මට ටොයොටා ජීප් එකක් තිබුනා කියලා. ඔරෙන්ජ් බාර්ලි බෝතලෙත් එහෙම එකක්.

      • Ravi says:

        ” මහත්තය හිල්ටියක් අලුතෙන් ගේනවනම් අරමොන ඩෙකර්ද කියන්නෙ අන්න ඒක ගේන්ට… එව්ව තමයි හොඳම…”

        අපෙ සයිට් වල බාස්ල මට කියනව. ඔය කියන්නෙ හෑන්ඩ් ඩ්‍රිල්ස් ගැන. එවුං ඩ්‍රිල් ඔක්කෝටම කියන්නෙ හිල්ටිය කියල. ඒත් හිල්ටි කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක්. බ්ලැක් ඇන්ඩ් ඩෙකර් කියන්නෙත් තවත් බ්‍රෑන්ඩ් එකක්.

      • රවියෝ….අපේ හංවැල්ලේ ලිලි ආච්චී හරි ආසයි නෙක්ටෝ බොන්න….සල්ලි දීලා කියනවා අනේ පුතේ රතුපාට ඔරෙන්ජ් බාර්ලි එකක් ගෙනත් දියන් කියලා. අපි ගමේ කඩේට ගිහිල්ලා ඉල්ලනෙත් එහෙමයි බන්. නෙක්ටෝ බෙක්ටෝ කිව්ව්ට කඩේ අය දන්නෑ ඉස්සර

      • ඇත්තද? ඉතින් අපිට ඔයාලගේ පොටෝ කෑල්ලක් වත් දකින්න නෑනේ…
        අයි මතකද Sunlight, JCB,

  9. අරූ අයියෙ මට මතක් උනේ පෑලියගොඩ මාළු කඩෙ. ඒකෙත් සමහර තැන් වල කොල්ලො ඉන්නවා අර විදි‍‍යට එක පාරින් අපිට ඕන ගානටම කෑල්ල කපන. ඒත් බහුතරයක් ඉන්නෙ බොරුවට දැන දැනම ඕන ගාන්ට වඩා පොඩ්ඩක් වැඩියෙන් කපලා ඒ කෑල්ලත් බලෙන් හරි ඇගේ ගහන බුවාලා.

    අර කියපු විදියට ‘වංචාවෙන් තොර වෙළදාමක් එදත් නැත, අදත් නැත.’ කියන එක නම් පිලිගන්නම වෙනවා. කොටුවේ පළතුරි ලෑලිවල කෙරෙන වංචා එහෙම නම් කතාකරලා වැඩක් නෑ.
    “දැක්කොත් බුවා
    නැත්නම් එබුවා” තමා.

    • ප්‍රියා….ඔය බලෙන් ඇඟේ ගැහීමේ කලාව පුරුදුකරේ මාළු වෙලෙන්දොද මන්දා. ඒ කරන්නේ ලාභය ගැනම හිතන ගමන්ම අලාභය අවම කරගන්න වෙන්න ඕන. නරක්වීම, නැවත අයිස් වලට යන වියදම මේවා ගැන හිතන්න ඇති..මම අහලා තියෙන හැටියට ලොකු මාළු මුදලාලිලා හැරෙන්න අනිත් අය දුවන්නේ රෝලෙන්. එහෙම නැත්නම් අපිම මුහුදු ගිහින් අපිම පොළට ගේන්න ඕන. පොඩි මාළුන්ට වැලි ගැහුවේ බර වැඩිවෙන්න මිසක් වෙන මොන හේතුවකටද කියලා හිතන්න බැහැ. දැන් වැලි සෙල්ලම නැද්ද?

  10. Anonymous says:

    අරූට ඉරිදා පොළක් තිබුණද, මහ දවාලේ බෝම්බ සෙල්ලම් කිරීමෙන් එක්තරා අවධියක මහත් කීර්තියක් ඉසිලූ,”මෝඩ පොළ” නමින් රට පුරා චිර ප්‍රසිද්ධියට පත් සත් දින පොළක් මා හට විය.මා කුඩා කල වඩාත්ම ප්‍රිය කළේ එළවළු වට්ටි හිස තබා ගත් වෙළෙන්දන් හා වෙළෙන්දියන් පොළේ යාමට බසයක් එනතුරු බලසිටින්නක් දැක්වෙන බලි කුරුටු සිතුවමක් නිමවීමටයි.එපමණක් නොව වට්ටියේ ඇත්තේ කුමක්දැයි විමසු විට ”වැටපොලු” යැයි පිළිවදන් බැඳීමටද පුරුදුව සිටියෙම්.
    හන්දියේ කඩයෙන් මෙන් මාසේ අන්තිමේ පියවන්නට පොතට නොදෙන නිසාවෙන් පොළ ගැන මගේ කුඩා කල අත්දැකීම එසේ සුදු හුණු කූරකින් ගෙබිම නිමවූ සිතුවමෙන් පිට ගියේ නැත.එනමුදු දිවියේ පසු කාලීනව බදාදා පොළ පැවැත්වෙන පෙදෙසක වෙසෙද්දී තවත් කෙනෙක් සමගින්(වෙනුවෙන්) දින කිහිපයක් පොළේ ගිය කතාවක්ද ඇති බැව් ලියා තැබිය යුතුමය.

    • //හන්දියේ කඩයෙන් මෙන් මාසේ අන්තිමේ පියවන්නට පොතට නොදෙන නිසාවෙන් පොළ ගැන මගේ කුඩා කල අත්දැකීම එසේ සුදු හුණු කූරකින් ගෙබිම නිමවූ සිතුවමෙන් පිට ගියේ නැත්/////
      මචං ඇනෝ……අපේ අම්මාගේ අක්කාවු මා නැවතී සිටි ගෙදර සිරියාවති ලොකු අම්මාද සති දෙකකට හෝ තුනකට වරක් එන ඇල්පින් බාප්පා එනතෙක් බලාඉන්නේ පොළේ යාමට මුදල් ලැබෙන තෙක්ය. ඒ නිසාම ලොකු අම්මා පොළට ගියේ බොහෝ දහවල්වී ලාබෙට දෙන දෙයක් ගන්නට අතේ ඇති සුළු මුදලද හැට්ටය අස්සේ ගසා ගෙනය. ඉන් බොහෝ කාලයකට පසුව එවන් කටුකත්වයක් විඳි ලොකු අම්මා පොළ අසල තිබූ ඒ නිවස සහ ඉඩම විකුනාදැම්මේ රුපියල් කෝටි භාගයකට ආසන්න මුදලයකටය. ඕවා ඔහොම තමයි ඇනෝ.

      මට බොහෝ කුඩා කාලයේදි කැමැති චිත්‍රයක් අඳින්න යැයි කිව්වොත් මම අඳින්නේ පොළය. තාමත් මට හරියට චිත්‍රයක් ඇඳගන්නට බැරිය.

  11. Black Puma says:

    හදිස්සියේ ගොඩ දවසකින් ඔලුව දාලා යන්න ආවේ මේ පැත්තේ අයියේ. පරණ ලිපි ටික කියවන්න බැරි උණා. කතාව ගොඩාක් ගිහින් ඉස්සරහට.

    • පූමා…..නිදහසේ කියවපන්….විභාග වැඩ කටයුතු සාර්ථකව ඉවරකර ගනින්. උඹලාගේ සාහිත්‍ය උත්සවය මොකද උනේ…ඒ වැඩ ඉවුල් වෙන්නට ඉඩ නොදී අවුල්වෙන්නට පෙර කියවපං.

  12. Ravi says:

    පාන් ගාන නම් හරියටම හරි මචං..මටත් මුලින්ම මතක සත තිස්පහ තමයි.ඒත් බ්‍රිස්ටල් එක ශත 9 ට තිබ්බ මට මතකයි. ඉස්සොරෝම බ්ව්වෙ ඒ ගාණට.

    Bristol කියන එක Acronym එකක් කියල උඹ දන්නවය? බ්‍රිස්ටල් කියල කියන්නෙ උඹල වගෙ අයට..හෙහ්, හෙහ්, ” බ්‍රිතාන්‍ය රටේ ඉන්නා සිංහලයන්ගේ ටිකක් ඔලුව ලොකුයි ” ….

    ප්ලේන්ටියක් මචං සත තුනයි. ඉස්කෝලෙ කැන්ටිමේ කවුන්ටරේ එල්ලිල අපි කෑගහනව සත විස්සකුත් මිට මොලවගෙන ( ඇළුමිනියම් සත දහයෙ කාසි දෙකක් ) ” රාජපක්ස අයියෙ…. පාන් කාලයි වඩේ එකයි ප්ලේන්ටියයි ” කියල. ඉතුරු සත තුනක් විතර ආපහු දෙන්නෙ නෑ. ඒක ලියාගන්නව අපෙ පංතියයි නමයි ඉස්සරහින්. එහෙම සත දාහතක් ද කොහෙද එකතු උනාම එදාට අර සුපුරුදු රාජ බෝජනේ නොමිලේ. රාජපක්ස අයිය තමයි කැන්ටිම කරපු මැදිවියේ මනුස්සය. වයස් බේදයක් නැතුව සර්ල, මැඩම්ල, තුනේ පංතියෙ ඉඳල උසස්පෙල දක්වා ළමයි ඔක්කොම එයාට කිව්වෙ රාජපක්ස අයිය කියල. අංකල්ල ඇන්ටිල ඒ කාලෙ හිටියෙම නැති තරම්.

    අතේ තෙල් ගෑවෙනවට කඩදහියක ඔතල දෙන තැටි පාන් කාලයි, පරිප්පු වඩේ එකයි. අසෝක වීදුරුවට කට කපල දෙන ප්ලේන්ටියයි අම්මපා දිවිය ලෝක රහයි බාං…

    • Senna says:

      මාල්බරෝ වලටත් ඔහොම එකක් තියනවා නේද ? රවී අයියා දන්නවන ඒකත් කියන්න.
      සූවස් ඇලට කියන්නෙ මාල්බරෝ කැනල් කියලා. දන්නවද ඒක ?

      • Ravi says:

        Marlboro = Men Always Remember Love Because of Romance Only

        සූවස් ඇළ හරහා යන නැව් වලට මඟ පෙන්වන්න ඊජිප්තු ආණ්ඩුවෙන් පයිලට් බෝට්ටු යොදවල තියනව. ඇල කිලෝ මීටර් 193 දිගයි. සමහර වෙලාවට මේ දුර යන්න කොටසෙන් කොටස පයිලට් බෝට්ටු පහක විතර සේවය ලබාගන්න වෙනව. ඔය බෝට්ටුවල කාර්ය මණ්ඩලය කැමෝම අනිවාර්යයෙන්ම පොඩි සන්තෝසම් බලාපොරොත්තු වෙනව.ඊජිප්තුවෙ හොඳ මාකට් එකක් තියනව කියන්නෙ මාල්බරෝ සිගරට් වලට. ඉතිං ඔය පයිලට් බෝට්ටු වල අය නැවට ගොඩවෙනවයි කියන්නෙ ” මාල්බරෝ මාල්බරෝ ” කියාගෙන. සූවස් ඇළට මාල්බරෝ කැනල් කියල කියන්නෙ අන්න ඒ නිසාලු.

        1977 පත්වුනු යූ.ඇන්.පීආණ්ඩුවට අවශ්‍ය උනා අවුරුදු 30 කින් නිමකරන්න සැලසුම් කරල තිබ්බ මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 6 කින් අවසන් කරන්න. මහවැලි කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමය කියලයි මේක හැඳින්වුනේ. Mahaweli Accelarated Development Scheme , එතකොට Acronym එක උනේ MAD Scheme 🙂

      • Senna says:

        තැන්කෝ….. හැහ් හැහ්…MAD Scheme ඒකත් මරු… 😀

      • අපේ තාත්තාගේ නමේ මුල් අකුරු B.A.D.. ඉස්සර රක්ෂනේ ඕන කෙනෙක් දන්නවා BAD Perera කිව්වාම. BAD කියලා තමයි යාළුවෝ කතා කරන්නේ. MAD scheme එකත් එක්කම මතක් වුනේ.

    • Kandyan says:

      BRISTOL අග ඉඳලා මුලට කියවනකොටත් Acronym එකක් කියල උඹ දන්නවය? 🙂
      LOTSIRB = ලොකු ඔළු තියෙන සිංහලයෝ ඉන්න රට බ්‍රිතාන්‍යයයි.

    • @රවී….මචං සත නවයට බ්‍රිස්ටල් එක මට දැන් මතකයි. මොකද මම තාත්තාට ත්‍රීරෝස් එක ගේනවා සත හතට.

      ඔය බ්‍රිස්ටල් පැකට් එකේ ගහලා තිබුනා W.D &H.O.Wills කියලා. සුද්දාගේ රටේ පරණ කම්පැනියක්..බ්‍රිතාන්‍ය රටේ ඉන්න සිංහලයන්ගේ ඔළුව ලොකුයි කියලා ප්‍රංශ රටේ ඉන්න සිංහලයොත් මට කියලා තියෙනවා. එහෙම සෙට් ඉන්නවා. ඔය තත්වේ ඉස්සර තදේට තිබිලා තියෙනවා. අපි වගේ එවුන් ඇවිත් තමයි ඒවා වෙනස් කරේ.:D

      උඹට මතකද පිත්තල සත 10 & 5. අපේ ඉස්කෝලේ කැන්ටිම කරේ පොශ් ළමයින්ගේ අම්මලා. තේ හදන්න සහ බර වැඩවලට පඩියට කට්ටිය හිටියා. පොශ් අම්මලා ඒ අයගේ ගෙවල්වල වැඩකරපු අහිංසකයොත් ඉස්කෝලේ කැන්ටිමේ වැඩට ගෙනාවා. සල්ලි ගන්නේ බඩු දෙන්නේ පොශ් අම්මලා. අපි සෙට් එක ගිහිල්ලා සල්ලි අතට දෙන ගමන් බිමට වට්ටනවා. කීයක්ද වැටුනේ කිව්වාම වැඩි ගානක් කියනවා. පොශ් අම්මලා ඒ කියපු ගානට හරියන්න කෑම දෙනවා. එක එක දවසට එක එක එවුන් යන්නේ. මචං හැබැයි කොළඹ හතේ කෑම තිබුනේ. තේ එක ගන්න පොඩි ප්ලාස්ටික් ටෝකන් එකක් දුන්නා. ඒ වගේ කැන්ටිමක් කොහෙවත් තිබුනේ නැහැ කියලා සර්ලා කියනවා.

      • ඔය කැන්ටිමේ තිබුන අල පාන් ගැන එහෙම මම පෝස්ට් එකක් ලිව්වා.. උඹ කියන්නේ ප්‍රයිමරියේ ඇන්ටිලයි කැන්ටිම.. මිල්ක් බාර් එක එහෙම මතකෙයි..

      • මාතා……වෙලා තියෙනවානම් ඒ ලින්ක් එක දාපන්!

  13. පොළ වැඩි දියුණු වුනාම මහ පාරටත් ආවා නේද?

    ෆෝ ඒසස් සිගරට් එකේ ෆිල්ටරයට ඉදිරියෙන් හැට්ට කටුවකින් හිලක් විදලා බොනකොට බ්‍රිස්ටල් රහයි.

    • විචාරක…..ඒ දවස්වලත් පොළ පාරේ තිබුනා..පොල් කරත්ත එහෙම ගාල් කරගෙන විකුණුවේ පාරේ එක් පැත්තක. දැන් නම් මේක දෙල්කඳ හංදිය පැත්තටත් අටේ කනුව පැත්තටත් වෙනකම් පැතිරිලා කියලා ආරාංචියි. පාරේ තියාගෙන බඩු විකුනපු අයගෙනුත් පොළ අයිතිකාරයා සල්ලි එකතුකරා ඉස්සර.

      ෆෝ ඒසස් වලට කටු ගහලා බොනවා අපි බ්‍රිස්ටල් ගන්න සල්ලි නැතිවුනාම.

  14. damith says:

    සුපුරුදු ලෙස රසවත් අතිතයකට අපිව අරන් ගියා නේද.

  15. පොලේ විස්තරේ නම් ඇත්තටම මටත් මතක් උනා . .. කවදත් සාදරනව වෙලදාම් කරන්න කියන එක නම් පුස්සක්.ඔන්න වෙළදාම හදාගත්තට පස්සේ නම් කමක් නෑ කිහැකි.අපි කැමති උනත් නැතත් ඇත්ත ඒකයි.අපේ අප්පච්චිත් සදාරනව වෙලදාම් කරා කාලයක්.හැබැයි අපිට කියල කිසි දෙයක් ඉතිරි උනේ නම් නැහැ.කුබුරෙන් ආපු හාල් ටිකයි කොස් දෙල් නිසා කන්න තිබුන.

    • ඔව් මගියෝ සේරිවානිජලා නැහැ බිස්නස්වල. එහෙම ඉන්නවා නම් පැවැත්මක් නැහැ. මම බිස්නස් කරලා නැහැ. නමුත් බිස්නස් කරන අය ගාව වැඩ කරලා තියෙනවා. ගොඩාක් හිත උනුවෙන අයට නම් කොහෙත්ම ඔය වැඩේ බැහැ. ඕකයි ඇත්ත. උඹලාගේ තාත්තා හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඇති.

  16. Yaka says:

    //පෝරේස් කොළපාට බඳුනකද, තීරෝස් රතු පාට එකකද, බ්‍රිස්ටල් සුදු බඳුනකද, නයිකට් දැමීමට නිල් පාට ප්ලාස්ටික් බඳුන්ද විය//
    මම ගාව තාමත් මේ සුදු පාට ඩප්පි තියනවා. අපේ අම්මා බොත්තම් දාලා තිබ්බේ මේවගේ

    • මේ කොයි යකාද යකෝ? මොන යකා වුනත් කමක් නැහැ..මම ඒ විමාන දෙකටම යනවා එනවා.
      ඔය ප්ලාස්ටික් ඩප්පි ඒ කාලේ මසුරං වගේ. ලේසියට කෙනෙක්ට දෙන්නේ නැහැ. කඩකාරයින්ට පමණයි. හැබැයි ඔය රත්නෙලාගේ ගෙදර අබ, උළුහාල් දාලා තිබ්බෙත් ඔයින් දෙක තුනක.

      ඔය යක්ෂ පැටලවිල්ල කාගෙන් හරි උපදෙසක් අරගෙන බේරගනින්…

  17. You should consider putting your memoirs in the book form.

    • Macho Pradeep….I did reply to your comment which was in Sinhala. Thanks for reading my rubbish.

      • Yeah. But you seem to have something against writing books. Pl reconsider. Your “rubbish” is very readable and nowadays getting a book published is not too difficult. Also, consider including your memories of other places/areas of SL too. You write of 70s, right? Not many memoirs of that era have been written.

      • ඔව් ප්‍රදීප්…..මම කාලෙන් කාලෙට එක එක පැතිවල හිටියා. කොල්ලුපිටිය,බම්බලපිටිය. දෙහිවල,ගල්කිස්ස, කොම්පඤ්ඤවීදිය,වැලිගම,හම්බන්තොට, ගැන තාම ලිව්වේ නැහැ. හෙමින් හෙමින් ලියන්නම්. මේ හැම තැනකම රසවත් සිදුවීම් තියෙනවා.

  18. අම්මාත් සමග සැම ඉරිදාම දුම් ගැසූ රබර් සීට් ටික කර ගසාගෙන ගොස් රාත්තල සත 35 බැගින් රබර් කඩයට විකුණා,ඉරිදාපොලේ ඇවිද කරවල තුනපහ මිරිස් ආදී සතියට ඇවැසි දේ පොදි බැඳ කර තබාගෙන ආ ඒ යුගය මීට වඩා කෙතරම් සරල හා නිදහස් ද . 78න් පසු ඔය සියල්ල උඩු යටිකුරු උනායයි මට සිතේ .. ස්තුතියි අදත් අතීත චාරිකාවක රැගෙන ගියාට සබඳ .

    මස් රාත්තලම ඉල්ලන්නා ෂර්ලොක් ද ෂයිලොක් ද?

    • සිසිර…..උඹ මගේ වයසේ කෙනෙක් වෙන්න ඕන..මොකද රබර් රාත්තල ශත 35ට තිබුනේ මමත් හංවැල්ලේ ආච්චි එක්ක රබර් විකුනන්න යනකොට. මමයි නන්දසිරියි රබර් ශීට්ස් ගොඩෙන් එකක් හෝ දෙකක් හොරකම් කරලා මහකඩේට විකුණනවා කඩචෝරු කන්න. කවදාවත් අහුවෙලා නැහැ. වැඩිහිටියොනුත් පොඩි එවුනුත් බොහොම නිදහසේ හිටියේ

      මමත් හිතන්නේ 77 යුගයෙන් පස්සේ බොහෝ දේ ඇස් පනා පිට වෙනස් වුනා..ඒකට ඔරොත්තු දෙන සමාජ දැනුවත් කිරීමක් කොහෙත්ම වුනේ නැහැ.

      ෂයිලොක්කායි ෂර්ලොක්කායි පැටලිලා ලියවුනා. ඒක හැදුවා මචං ස්තූතියි.

  19. කාලය මැවු වෙනසක අරුමේ….

    • දිලිනි……….අරුමය සහ කරුමය අතර එහා මෙහා වෙවී ඉන්න එකත් අමුතු ෆන් එකක් ළමයෝ…..උණ අඩුද චැනල් කරාට පස්සේ? 😀

  20. helapaya says:

    මොන දිගක්ද මචං,මට නං තව තිබුන නං හොඳයි,ඒ කාලෙ පාන් රාත්තල සත 35 යි ප්ලේන්ටිය සත හයයි මචං.සුරුට්ටුවෙන් කැපේ ගලෝල හෝදලා එහෙම සූස්තිය ඔතන්නෙ,තේ කහටවලින් මාත්තුවකුත් දානව අපේ ගමේ හිටපු දෙමටගොඩ වැඩකරන එකෙක් ඔහොම සූස්තිය ඔතල මටත් උගුරක් අදින්න දුන්න ජීවිතේටම එදා විතරයි මට ගංජා එපා උනා.

    • හැලපේ…..ඔය කළු සුරුට්ටු කාප්පේ ප්ලේන්ටි ගගා ඔතාගන්න පුළුවන් ගානට සොෆ්ට් කරගන්නවා තමයි. පස්සේ ගංජා මිටියටම කාප්ප කෑල්ලකුත් ඇතුලත් කරලා පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන පරිදිම වැඩේ සෙට් කරන්න ඔවුන් උත්සුක වුනා.පසුකාලීනව කාප්පය අත්‍යාවශ්‍ය භාන්ඩයක් නොවන තැනට පත්වුනා. ගංජා මිටියේ පරිනාමය අන් සියල්ලකටත් වඩා වේගයෙන් ඉදිරියට ගියා 😀

      මම එදායින් පස්සේ බොහෝ කාලයක් යනකම් කටේවත් තිබ්බේ නැහැ.

      • මම නම් අදටත් රස විඳිනවා.. ගොඩක් උන් නාගන්නේ පළවෙනි දවසෙම හඳට යන්න ගිහිල්ලා.. නාසා එකේ උනත් එහෙම බෑ.. පොඩ්ඩ පොඩ්ඩ ට්‍රේන් කොරලා තමයි.. හඳට යවන්නේ.. මල්.. අහා… නියම නම… මල්…

  21. Anonymous says:

    ඒ කාලේ පාන් කාලත් කැපුවට දැන් පාන් බාගය කපන්නෙත් නැහැ.
    මේ යන ගමනනම් නියමයි අරූවෝ.
    මස් රාත්තලම ඉල්ලන ෂයිලෝක්ලා මේ සමාජෙ හැමදාමත් ඉන්නවානේ.

    • Anonymous says:

      ඇනෝ කම්න්ට් එක “මනෝ”වන මගේ බව කරුණවෙන් සලකන්න.

    • මනෝ…..ඇත්තටම පාන් භාගයක් ඕන මිනිස්සුන්ට තියෙන විකල්පය මොකක්ද? කේක් කෑමද?
      ෂයිලොක්කලා නම් බන් ලෝකේ හැම තැනම ඉන්නවා.දැන් පොඩි වෙනසකට තියෙන්නේ රාත්තල් නැතුව කිලෝවලින් ඉල්ලන්නේ.

      • Anonymous says:

        කැන්ඩියන් මේ කම්න්ට් එක දාපු දවසෙම මම දැක්කා.ඇත්තටම අරූ මොකක්ද බං අයියේ ඕකේ තේරුම.

  22. Kandyan says:

    කියවලා ඉවරවෙනකොට අතීතයටත් ගිහින් පොලේ රවුමකුත් ගහලා ආවා වගේ දැනුනා… පාන් සුවඳ …පපඩම් සුවඳ.. මාළු හොද්දේ සුවඳ… ඒවගේම මොම්බිලි කරෝල ගඳ …නහය ලඟින් ගියා වගේ දැනුනා 🙂

    • මචං…..උඹේ කමෙන්ට් එක කියවනකොට මට “ලංකාවේ පාන්” බඩ ගින්නක් හැදුනා. බොම්බිලි තෙල්දාලා සම්බෝලයි සුදු බතුයි තමයි ෆිට්. කොහෙද මේ පලාතේ දොරක් ජනේලයක් ඇරගෙන නිදහසේ ඕක හදන්න බැහැනේ.

      උඹ දන්නවනේ බොම්බිලිවලට කියන්නේ Bombay Duck කියලා. මම දන්න සුදු බුවෙක් ඉන්නවා, මේක හොඳට හෝදලා පෙඟෙන්න තියලා දෙහි මිරිකලා ලූණු එක්ක කනවා. ඌට මිරිස් අඩුවෙන් පොඩ්ඩක් බැදලා දුන්නා දවසක්. පොර හොල්මන්.

      • මගෙත් ප්‍රියතම කෑමක්.. බොම්බිලි තෙල් දාලා.. සම්බා බත්.. පොල් සම්බල් එක්ක…

  23. සිරා says:

    ඔය කියන කාලෙ වඩා ප්‍රසිද්ධව තිබුනෙ මොරිස් මයිනර් එකද ? නැත්තං වොක්ස් වැගන් බීට්ල් කාර් එකද….අර කාර් එක ගැන කිව්වම මට පරණ වාහන ගැන මතක් වුනා…මොකද මම ඇන්ටික් පෙරේතයෙක්…

    • සිරා……ඒ කාලේ ගොඩාක් තිබුනා මොරිස් මයිනර්….බොහොමයක් ටැක්සි. මගේ යාළුවෙකුට ඔයින් දෙක තුනක් තිබුනා. එයා හම්බන්තොට ලර්නින්ග් ස්කූල් එකක් කරා ඒ දවස්වල. ලර්නර්ස්ලා ගාව තිබුනෙත් මොරිස් මයිනර්ස්. මම හිටිය පැත්තෙත් Vintage Morris Minors දෙක තුනක් තියෙනවා එකෙක් ගාව. පිස්සු හැදෙනවා දැක්කම.

  24. ඇත්තටම අහන්නේ, පොතක් ලිව්වා නම් හොඳ නැද්ද? සෑහෙන්න වටිනවා. 🙂

    • Lord කෙනෙක් මගේ බ්ලොග් එකට ආපු පළවෙනි වතාව. කාටද ආඩම්බර ඈ. අපේ සීයලාගේ කාලේ කොළඹ ඉඳලා තියෙනවා ලෝඩ් මවුජූඩ්ද කවුද කියලා බුවෙක්. මිනිහා තමයි කොළඹ තිබුනු රේස් ඔට්ටු, ටොම්බෝලා වගේ දේවල් රන් කරලා තියෙන්නේ. ඒ කාලේ ප්‍රසිද්ධ පොරක්ලු. ඔය අහම්බෙන් මතක් වෙච්ච දෙයක්.

      මෙහෙම දිගටම ලියලා බලමු. මොකද වෙන්නේ කියලා. පොතකට හරියන දේවල් තියෙයිද දන්නේ නැහැනේ. දිගටම කියවන්න වෙලා තියෙනවානම්. බ්ලොග්ස් ලියනවාද?

      • Ravi says:

        අරූ,

        ලෝඩ් මවුජූඩ් තමයි මචං..හැට ගණංවල කොළඹ සූදු ඔක්කොම මිනිහගෙ. මම ඉස්කෝලෙ යද්දි නැවතිල හිටපු ගෙදර අන්කල්ගෙ යාළුවෙක්. දවසක් වැල්ලවත්තෙ ග්‍රීන්ලන්ඩ්ස් එකේදි මිනිහ හම්බ උනා. එතකොටනම් වයසයි. ව්‍යාපාරත් ඔක්කොම අතෑරල රිලැක්ස් එකේ ඉන්න කාලෙ. ඒ අන්කල් තමයි මට ඔය විස්තරේ කිව්වෙ.පස්සෙ දවසක මම ගෙදරත් ගියා. බම්බලපිටියෙ හිටියෙ ගෝල් රෝඩ් එක අයිනෙම හෙණ මාළිගාවක හිටියෙ. හෙහ්, ලෝඩ් උනාම ආය මාළිගාවකම එපාය ඉන්න නැද්ද?

        ආය ඉඳල තියනව හැට ගණන් වල ” පොරක් ” ඩොනවන් ඇන්ඩ්‍රී කියල.කොලඹ ඒ කාලෙ ක්ලබ්, කානිවල් වලින් තුන්කාලක් මිනිහගෙලු.රේස් කෝස් එකේ අයිස් උඩ සෙල්ලම් දාන කානිවල් එකක් මිනිහට තිබිල තියෙනව ” Holiday On Ice ” කියල. එහෙම එකක් ඒ කාලෙ කරන්න මිනිහ කොහොම බුවෙක් වෙන්න එපාද? Division Two ක්ලබ්ස් ඒ කාලෙ සෙල්ලම් කලේ උඹට මතකද Andree Trophy එකට. ඒක ස්පොන්සර් කලේ ඔය ඇන්ඩ්‍රී තමයි.Division Three ඇවිල්ල Daily News Trophy.

      • ඇඬෙනවා නේ..?? 😀 මම නම් රේස් ඔට්ටු අරව මේවට නෑ… 😀
        ඇත්තටම මේ ලිපි පෙළ දකිද්දී මට මතක් වුණේ මාටින් වික්‍රමසිංහ ගේ අපේ ගම. 🙂
        ලියනවා අයියේ…අරූ අයියා තමා මගේ බ්ලොග් එකේ 1st comment එක දැම්මේ. අර පිටසක්වළ ජීවය ගැන ලියන මෙව්වා එක. 😉 මතකද දන්නෑ. http://beyond-the-galaxy.blogspot.com

      • @රවී…….උඹේ මේ කමෙන්ට් එකත් එක්ක රසකතා ගොන්නකට පාර ඇරෙනවා. ඩොනවන් ගේ බිස්නස් පාට්නර් වෙලා තියෙන්නේ තහාර් කියන තවත් ලොකු පොරක්. ඩොනවන්ගේ පුතා මැල්කම් ඇන්ඩ්‍රී. මමත් බම්බලපිටියේ කාලයක් හිටිය නිසා දන්නවා. ජෙට් ලයිනර්ස්, ස්පිට්ෆයර්ස්, පීටර් ප්‍රින්ස් කොම්බෝ ,අමේසින් ග්‍රේස් සිට එක්ස්පෙරිමන්ට්ස් දක්වා මියුසික් ග්‍රූප්ස් ගැනත් ලියන්න පුලුවන්. පස්සේ බලමු.

      • @ ලෝඩ්…….මම දන්නවා දැන් උඹේ බ්ලොග් එක. දිගටම ලියපන්!!!

      • Ravi says:

        අරූ,

        1974 විතර විදේශ විනිමය වංචා කොමිසම කියල එකක් තිබ්බ උඹට මතකද? මට මතක විදිහට ඔය තහා ඒකෙන් වැරදිකාරය වෙල හිරේට නියම උනා. ෆීලික්ස් ඩයස් තමයි ඔය වැඩේට මූලික උනයි කියන්නෙ. මිනිහ අධිකරණ ඇමතිනෙ.ඔය තහා එහෙම අත් අඩංගුවෙ හිටියෙ පැජට් පාරෙ බන්ධනාගාරෙද කොහෙද කියලත් යන්තමට වගෙ මතකයක් තියනව.

        ජෙට් ලයිනර්ස් එකේ නේද ඩැල්රීන් ආනෝල්ඩා සහ මිනෝන් හිටියෙ?….සොහාන් එක්ස්පෙරිමන්ට්ස් නේද? එතකොට මතකද සෑම් ද මෑන්? ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්?

      • 1978 තහාර්, මුක්තාර්ලාත් එලියට ආවා විජේවීරත් එක්කම.

        ජෙට්ලයිනර්ස් මිනෝන් රත්නම් තමයි මචං. තව ඉංග්‍රීසි සිංදු ගහන නියම බෑන්ඩ්ස් ටිකක් තිබුනා. ඔය සෙට් එකට අමතරව ගැබෝ ඇන්ඩ් ද බ්‍රේක්වේස්.

      • Ravi says:

        අරූ,

        මුක්තාර් හිරේදි මැරුණ මචං. දියවැඩියාවට හරි මොහොකට හරි හරියට ප්‍රතිකාර කරල නැතුව..ඒකට පරීක්ෂණයක් තියල ඔය පොඩි හාල්මැස්සෝ දෙතුන් දෙනෙක්ගෙ වැඩ තහනම් කලාද කොහෙද?

        78 දි හදිසි නීතිය යටතෙ හිරකරල හිටපු විජේවීර නිදහස් කරනටත් වඩා ජේ. ආර්. ට ඕන කලේ තතාව නිදහස් කරගන්න. ඒත් උනේ ඒ එක්කම එකම නීතිය යටතෙ හිරකරල හිටපු රොහාන් විජේවීරත් ( JR කිව්වෙ එහෙමයි ) නිදහස් උන එක.

    • බොහොම ස්තූතියි! 🙂

  25. Chandana Gunasekera says:

    මචං නෙරංජන් උඹ මගේ පනං අටා කථාවට දාපු කෝමෙන්ටුව accidentally මං අතින් ඩිලීට් උනා. මම ඒකට ආසයි. සමාවෙලා ආයිත් දාපං මචං.

    Regards
    Chandana Gunasekera
    07540385096

    >

  26. වෙනදා වගේම උඹේ කථාව හරි රහයි,හර්දය්‍යාංගමයි.
    පොලේ විස්තරය මට ආයිත් අනුරාධපුරේ පොළ සිහිකලා.
    අනුරාධපුරේ සිගරට් ඒජන්සිකාරයා තමයි ඩී එස් ගුණසේකර මහතා. එතුමා මගේ පියාගේ මාමණ්ඩි. අපේ පියා එම ව්‍යාපාරයේම සේවය කලා,
    ගංජා ඉරීම පිළිබඳ උඹ කියවපු පොතක් ගැන සදහනේදී මට මම මෑතකදී කියැවූ මංජුල වෙඩිවර්ධනයන්ගේ බත්තලංගුණ්ඩුව නව කථාව සිහිවුනා…

    • Senna says:

      ඩී.එස්. ගුණසේකර මහත්තයා නේද අර බස් කාරයෙක් එක්ක වලියක් දාගෙන උන්ට පාඩමක් උගන්වන්න බස් සේවයක් පටන් ගත්තෙ. ඒක හරිම ජනප්‍රිය දුර ගමන් සේවාවක්.. මේ එයාමද ?

    • ස්තූතියි චන්දන. මට මේ ඩී.එස්.ගුණසේකර නම හොඳට මතකයි. සිගරට් ඒජන්සි කරේ සල්ලි තිබුන උදවිය. අතුරුගිරියේ ඒජන්සි එකත් ගුණසේකර කෙනෙක් කරේ. උඹ කියන කෙනාට දේශපාලන සම්බන්ධකමක් තිබුනාද?

      • Ravi says:

        හෙහ්, චන්දන ඇවිල්ල ගුණසේකර ලොක්කගෙ මුණුබුරෙක් එහෙනං නේද? අපි අනුරාධපුරේ හිටියනෙ කාලයක්. ඒ දවස්වල අපෙ මාම ගුණසේකර සිගරට් වෑන් එකක් එළෙව්වා.

        ගුණසේකර බස් නම් කියල වැඩක් නෑ. හරියට වෙලාවට දිව්ව. අනුරාධපුර -කොලඹ දිව්වෙ මුලින්ම. ඔය බස්වල සයිලන්සරේට හයි කරනව මොකක්ද ගැජට් එකක්. අප්පට සිරි ඊට පස්සෙ ඇක්සලරේට් කරනකොට ආය නෑ අහල පහල ඉන්න එවුන්ගෙ කං අඩි පැලෙනව.හරියට කෆීර් එකක් කණගාවින් යනව වගෙ.මම දවසක් ආව ඔය බස් එහෙක. කරුමෙට සයිලන්සරේ උඩමයි සීට් එක හම්බ උනේ… අප්පටසිරි අළුත් බස් ස්ටෑන්ඩ් එකෙන් බහිනකොට මම අර රා බීපු මීය වගෙ. ෆුල් අන්දොස්. පස්සෙ පොලීසියෙන් කචල් දාල ඒ වැඩේ අතෑරල දැම්ම මම හිතන්නෙ.

      • රවී….මචං උඹ මේ කතාබහ ඉතාම ආදරනීය ලෙස මගේ කතාව ඉස්සරහට ගෙනියනවා. ඒ තමයි මිනිහෙක් සතු විවෘතභාවය. මම උඹට ගරු කරනවා..ඒ සදාතනික සතය්‍යට ආදරය කරන්නෙක් ලෙස. උඹේ මාමා සහ සිගරට් වෑන් කතාව තුල මට ජේ. ආර්. සහ අපේ හාල් පොත් ගැන ලියූ දේ මට මතක් වෙනවා. අපි විවෘත වෙන තරමට අප ගැන කියවන්නන් තව තව විවෘත වෙයි. මේ තුල අපි කතාවෙන හැම දෙයක් තුලම අපි නොදැකපු දේවල් පසු පරම්පරාවලට මහඟු අත්වැලක් වෙයි. රවී උඹේ හැම පෝස්ට් එකම මට තේරුම් යන සමාජ පනිවිඩයක් තියෙනවා. උඹ ඒ දේ විවිධ ආකාරයෙන් සහ විවිධ උපක්‍රම තුලින් පාඨකයාට ලබා දෙනවා. ඒ ඒ අයට කැමති තැනින් අල්ල ගන්න පුළුවන්. මම කරන්න කැමතිත් ඒ දේම තමයි. වැලඳ ගන්න ඕන දේ සහ අතහැරිය යුතු දේ කියවන්නා සතුයි.

        උඹ වගේම මමත් මගේ පාඩුවේ ඉන්න හරිම ආසයි. මම හැබැයි එතරම් උඹ වගේ දැණුමැත්තෙක් නොවේ. උඹ වැනි අයගේ මිල නොහැකි දැණුම තවත් බොහෝ අයට වැදගත් වෙයි…හිතේ තදකර ගෙන හිටපු දෙයක් ඔන්න මම ලියලා දැම්මා.

      • Ravi says:

        අරූ,

        අනේ බං මොන කෙහෙල්මලක්ද? මට වෙලා තියෙන්නෙ මචං මම නමින්ම ලියන නිසා පොඩි කේස් එකක් තියනව. නැත්තං බං හොරු, වංචාකාරයො, හිරේ ගිය එවුං, හිඟා නොකා හිඟා කාපු අය ඕන තරම් ඉඳල තියෙනව අපේ නෑදෑයො අතර, ඒ තමයි මචං මිනිස්සුන්ගෙ හැටි, මිනිස් ස්වභාවය.

        ” කිසිවෙකු විනිශ්චය නොකරනු. විනිශ්චයාසනයෙන් පහතට බැස ඔවුන්ගේ මට්ටමට පිවිස ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරනු,”

        මගෙ ජීවිතේ මම හැමදාම කලේ මචං එහෙම වෙන්න උත්සාහ කරපු තියේ. දැනටනම් අපෙ නෑදෑ සනුහරේ එකෙක්වත් මම දන්න තරමින් මම ලියන එව්ව කියවන්නෙ නෑ. ඒත් කවදහරි අහම්බෙන් හරි කියෙව්වොත් මහ විනාසයක් වෙන්නෙ. ඒ නිසා එහෙම එව්ව මම ලියන්නෙ නැහැයි කියලයි හිතාගෙන ඉන්නෙ.

  27. ජෙමා says:

    //ඉතාම සියුම් පිහියකින් පමණක්, තළන්නේ පොඩිකරන්නේ නැතුව හරියටම රාත්තල කපා තරාදියට දා ගත හැකි අධ්‍යාත්මක සිතුවිලි බොහෝය. මාළු ආනන්ද සතුව තිබූ ඒ මන්නය ,මම අධ්‍යාත්මක පිහියක් කරගත්තා දැයි මට නිතරම සිතේ. මම කිසිවිටෙකත් ෂයිලොක් කෙනෙක් නොවුයේ , කිසිදෙයකින්ම රාත්තලම ඉල්ලු මිනිසෙක් නිසා නොව, රාත්තල හරියටම බෙදූ මිනිසෙක් නිසා විය යුතුය.// මට උඹව කියවද්දි වික්‍රමසිංහ මහත්තය මතක් වෙනව..එතුමගෙ අපේ ගම ලියල තියෙන්නෙ ටික් මේ උරැවට..

    • අනේ මම දන්නේ නැහැ ජෙමෝ..අත්දැකීම් ටික අකුරු කරනවා. ඊට වඩා දෙයක් වෙන බවක් නම් මට තේරෙන්නේ නැහැ. අත්දැකීම් ලියන්න ලේසියි ප්‍රබන්ධයකට වඩා. ඔහොම යං.

  28. nirmala says:

    100 වෙනි කොමන්ටුව මගෙන්,
    ඔබ මේ කතා කරනා කාල වකවානුව කීයද? මාගේ මතකයේ ඇති කාලය වනුයේ පාන් රාත්තල 3.80 ත් චන්ද්‍රිකා රජයේ 3.55 ට ත් පැවති කාලයයි. නමුත් දැන් 60 යි. අද සිගරට් යනු රජයට විශාල මුදලක් ලබා දෙන පරිභෝජන භාණ්ඩයකි. එදා තත්වය කෙසේද යන්න මා දන්නේ නැත. මා සිතන්නේ කාලයත් සමඟ මෙම සමාජය තවදුරටත් උඩුදුවනු ලැබුවෝත් ගන්ජා වැනි ද්‍රව්‍යද නිදහසේ වෙළඳපොළට නිකුත් වේවි. කෙසේ වෙතත් මෑතකදී අප දැක්ක ආස්යාවේ ආශ්චර්ය්‍යනම් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය ශ්‍රී ලංකාවේදී හමු වීමයි. එයටද පූර්ණ අනුග්‍රහය අගමැති යැයි කියා සිටින අයෙකුගෙනි.

    • නිර්මලා…..100වෙනි කමෙන්ටුවට තුති. මා මේ කියන්නේ 1977 කාලය ගැන. ඔබ කියනා යුගයේත් 3.55ට පාන් තිබුනු යුගයත් මතකයි. දැන් පාන් 60යි. එයට සාපේක්ෂව මිනිසුන්ගේ පඩිත් වැඩිවුනා නම් කොහොමද?

      ගංජා නිදහස් වෙලඳ පොලට එන්න ඉස්සෙල්ලා කුඩුවලින් නම් වෙලඳ පොළ පිරෙයි. පොලිසියත් කුඩු විකුනන ලෙවල් එකට වැටිලා.

  29. රාජ් says:

    පෝස්ටුව කියන්න දෙයක් නැත.
    අරූ පුළුවන් නම් මට මේල් 1ක් එවපං
    raj_wvp@yahoo.com

    • Senna says:

      රාජ්, මොකෝ බන් උඹේ බ්ලොග් එක වහලා.. අපිට එන්ඩ අවසර නෑ කිව්වා… 😦

      • රාජ් says:

        උඔලා වරෙල්ලා මචං. උබලට අවසර නැත්නම් වෙන කාටද අවසර තියෙන්නේ.
        ඇයි හත් ඉලවුවේ මගේ බොග මටම හරි වදයක්නේ දෙන්නේ.

      • Senna says:

        තාමත් බෑ බන්. මොකක් හරි අව්ලක් තියනවා…

      • රාජ් says:

        //රාජ් says:
        December 27, 2013 at 4:02 am//
        කමෙන්ටුව මම දන්නෙ නැති අපේ තාත්තගෙ පුතෙකුගෙ වැඩක් ! 🙂

  30. පොස්ටුව කියවා කොමෙන්ට් ටික කියෙව්වාට පසු හිතෙන්නේ බ්ලොග් වලින දැනුම සොයන්නට තටමන අය ,අරූගේ අඩවිය කියවන්න කොමෙන්ටුත් එක්කම.

  31. ඔය රත්තරං දත් දාපු කෙනෙක් ගැන ඉස්සර තාත්තා අපිට කියනවා.එයත් මැණික් මුඳලාලි කෙනෙක්ලු…අපි ඉස්සෙල්ලම හිතුවේ ඒ බොරු කියලා…පස්සේ තමයි කාරණාව දැනගත්තේ.. 😀

    • රෙහානි…..රත්තරන් දත් දාපු කස්ටිය ඉස්සර හිටියා. ඊට පස්සේ රත්තරන් පොලු ගිලපු කස්ටිය හිටියා. දැන් ඔය සමහරක් ඉන්නේ ඇතෙක් බරට රත්තරන් පැලඳගෙන. රත්තරන් ඇයි මෙච්චර ගනන් කියලා ඇහුවලු නේද?

  32. කාවා says:

    අරූ මෙගා කතාවක් උනා එහෙනම් ඈ. අරූ දැනුත් ගංජා ගහනවද බං. මම මේ අහන්නේ සිරාවට. මොකද එහෙමනම් ගංජා ගහන පොරවල් දෙක තුනක් ඉන්නවා බ්ලොග් ලියන. සැට් කරලා දෙන්න. මම නම් ඕව පාවිච්චි නෑ. අන්කල් කෙන්ජි එන්න එන්න ඉක්මනට……………………….
    සිගැරැට්නම් පොඩි කාලේ යස අගේට රස බලලා තියෙනවා. දැන් ඒකත් නෑ බං.

    අදටත් කිලෝව ලස්සනට ගානට කපන්න පුළුවන් මාළු පොරවල් ඉන්නවා බං. ඒ විතරක්ද කිරපු මාළු කෑල්ල, කැලී වලට කපලා දෙන්නද කියලා අහලා, කෑලි කපන අතරේ ටුක් ගාලා හොඳ කෑල්ලක් මාළු ලෑල්ලෙන් පහලට දානවා. මාළු අරගෙන ගියාට පස්සේ අර වට්ටපු හොඳ කෑල්ල කෑළි මාළු විදිහට ආයේ විකුණනවා.
    හැක් හැක්.

    • කාවෝ…..මේක මෙගා නෙමෙයි ඔමෙගා වගේ වෙයිද දන්නේ නැහැ. මම තාම ලියන්නේ 1970 මැද භාගය ගැන.
      ///අරූ දැනුත් ගංජා ගහනවද බං. //////
      නැහැ බන් දැන් එහෙම පුරුද්දක් නැහැ. සුදුසු පොරක් එක්ක සෙට් වුනොත් නොගහා ඉන්නෙත් නැහැ. පස්සෙන් එලවන්නේ නැහැ. මේ රටේ නම් ඔය වැඩේ කරන අය ඕන තරම් ඉන්නවා. වයස බේදයක් නැහැ.( විශේෂයෙන් නගර ආශ්‍රිතව.) තාම තහනම්. තහනම ඉවත් කරන්න කියලා ආන්ඩුවට බොහෝ ඉල්ලීම් තියෙනවා. වාර්ෂිකව ස්ට්‍රෝබෙරි ෆෙස්ටිවල් කියලා එකක් තියෙනවා. මේක තනිකරම ගංජා කානිවල් එකක් කිව්වාට වරදක් නැහැ. ඒ ගැන පසුව ලියන්නම්.

      උඹ කියන ඔය කෑලි මාළු සෙල්ලම ඉස්සරත් තිබුනා.

  33. ඔන්න මමත් අවා දිගටම එන්න හිතෙනවා ,අනිවා එනවා ..

  34. dayalbathee says:

    සුබ 2014ක් වේවා!

  35. මේ මතකය අති විශිෂ්ඨයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s