අවුල් වන්නට පෙර (24)……යු.ඩි.රත්නසිරි

මගේ ජීවිතයේ බොහෝ විනෝදකාමි හෙවත් ජොලිබර වැඩ කටයුතු බොහෝමයකට මුල පිරුවේ මා මිත්‍ර යු. ඩි. රත්නසිරි නොහොත් රත්නේ සමගය. පසුකාලීනව ඔහු හා සමග තිබු සියලු සම්බන්ධකම් ගිලිහී ගියේ මට දෙල්කඳින් බැහැරව නැවතීසිට පාසැල් යාමට සිදුවූ නිසාය. ඇවිද්ද පය බ්ලොග් සටහන ලියන අපේ සුධීක, මගේ පසුගිය ලිපියට දැක්වූ අදහස අනුව රත්නේ ජීවිතයෙන් සමුගෙන ගොස් අවසන්ය. ඔහු කියන තෙක් මම ඒ ගැන නොදැන සිටියෙමි. ජීවිතයේ හැටි එසේමය. මතක පමණක් ඉතිරිකර නැවත යා යුතුමය. ආදරණීය රත්නේ….මම ඔබට නිවන් සුව පතමි.

1970-1980 දශකය තුළ සිංහල චිත්‍රපටි 300ට ආසන්න ප්‍රමාණයක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කර තිබේ. මමත් රත්නේත් චිත්‍රපටි නරඹන යුගයේදීත් නිතර නිතර අළුත් සිනමාපට මුදාහැරිණි. මින් බොහොමයක් කොල්ලා-කෙල්ල, දුෂ්ටයා, විහිළු, ෆයිට්, සිංදු අඩංගු වාණිජ රැල්ලේ චිත්‍රපට විය. රත්නේ මහත් ඇල්මක් දැක්වූයේ මෙවැනි නිර්මාණ නැරඹීම සඳහා පමණය. මේ අතර තුර වරින්වර කලාත්මක සිනමා කෘති බිහිවූ අතර, මෙවන් වෙනස් ආකාරයේ චිත්‍රපට රස විඳීමටත්, එම චිත්‍රපට මොනවා දැයි හඳුනා ගැනීමටත් ඒදා පටන්ම මට පුංචි ඉවක් තිබිණි. ඒයට හේතුව වන්න ඇත්තේ රාජකීය විදුහලේ නවරඟහල විය යුතු යැයි මම සිතමි.

සමස්ත ලංකා පාසැල් නාට්‍යය තරඟ පැවත්වූයේ නවරඟහලේ නිසා පාසැල් අහවරවී එක දිගටම මෙම නාට්‍යය නැරඹීම අප පුරුද්දක් කරගෙන සිටියෙමු. මා මිත්‍ර මහනාම රණසිංහ මතක් කරදුන් පරිදි මේ තරඟ විනිශ්චය කිරීමට පැමිණියේ මහගම සේකර, හෙන් රි ජයසේන, ආචාර්ය ප්‍රේමදාස උඩුගම වැනි බොහෝ ඇසූ පිරූ තැන් ඇති උදවියය. මොවුන්ගේ දේශන, සාකච්ඡා මට වෙනස් ආකරයේ නිර්මාණ හඳුනාගැනීම සඳහා ඉවහල් වන්නට ඇත. මේ යුගය සියලු කළා කටයුතුවල ස්වර්ණමය යුගය යැයි මට හැඟේ. පසු කාලයකදී නාට්‍ය නැරඹීම අතහැරිය නොහැකි පුරුද්දක් බවට පත්විය. ඒ නම් අමරබන්දු රූපසිංහ නම් ඒ ශ්‍රේෂ්ඨ වැඩිහිටි මාධ්‍යවේදියාගේ ඇසුර නිසා යැයි සිතමි. සමාජය තුළින් මා ලැබූ දැනුම එකතු කරගත්තේ, කාලයෙන් කාලයට ඇසුරු කිරීමට ලැබුණු ඔවැනි පුද්ගල චරිත හරහා බව නම් නිසැකය.

අප ගම් ප්‍රදේශය අවට සිනමාහල් පහක් විය. මින් ලැවීනියා සිනමාහල ඉංග්‍රීසි චිත්‍රපට හෝ නැවත ප්‍රදර්ශනය කෙරෙන සිංහල චිත්‍රපට සඳහා වෙන්විය. චිත්‍රපට බෙදාහැරියේ සිනමාස් සහ සිලෝන් තියටර්ස් ආයතන දෙකෙන් පමණක් බැව් මතකය. මෙය සියයට සියයක් නිවැරදි දැයි මම නොදනිමි. සිනමාස් සමාගමේ චිත්‍රපට, නුගේගොඩ කුයින්ලන් සහ මහරගම අනුෂා සිනමාහල් වලත්, සිලෝන් තියටර්ස් චිත්‍රපට නුගේගොඩ මෙට්‍රෝ සහ මහරගම නැෂනල් සිනමාහල් වලත් ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ චිත්‍රපට පාමංකඩ ඊරෝස් සිනමාහලේදි නැරඹිය හැක. පසුකාලීනව 1983 මූසල ජූලියේදී ඊරොස් ඇතුළු සිනමාහල් කිහිපයක් මුග්ධ මිනිසුන්ගේ අතින් ගිනිබත් කෙරිණි. බොහෝ සිනමාහල්වල ගැලරියේ ආසන මකුනු රජ දහන් විය. ගැලරියට යනවා නම් කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන යන්නේ සීට් එක උඩින් තබා වාඩිවි මකුණන්ගෙන් බේරිමටය. එසේ නොමැතිනම් ආසනය උඩ යටි පතුලෙන් ඉඳගෙන චිත්‍රපට නැරඹූ අවස්ථාද තිබේ.ඒ තුල නොයෙක් අකටයුතුකම් සිදුනොවුනාද නොවේ. ගැලරි සංස්කෘතිය ගැන වෙනමම ලිවිය යුතුය. කෙසේ වෙතත් මේ මිහිරි මතකයන්ය.

රත්නසිරිලාගේ තේ කඩයට හේත්තුකර ,චිත්‍රපට දැන්වීම් ඇලවීමට ලෑලි පුවරු දෙකක් විය. අවට සිනමා ශාලා දෙකකින් මේවා සපයා තිබු අතර මේ වෙනුවෙන් මාසයකට වරක් හෝ දෙවරක් අදාළ සිනමාහලේදී දෙදෙනෙකුට නොමිලයේ චිත්‍රපට නැරඹීමේ පහසුව සලසා තිබුණි. ළැලී පුවරු දෙක රැක බලා ගැනීම අපගේ රාජකාරියකි. එකල පුවත්පත්වල චිත්‍රපට දැන්වීම් එකම පිටුවක පලකිරීමත්, මිනිසුන් ඒවා කියවා බැලීමත් ජනප්‍රිය අංගයක් විය. මෙම දැන්වීම්වල අදාළ චිත්‍රපටියේ නමට යටින් වරහන් තුළ “පාස් සහ පහසුකම් අත් හිටුවා ඇත” යනුවෙන් වදන් පේළියක් ලියවී තිබුණා, මගේ යුගයේ අයට මතක ඇති යැයි සිතමි. ඒ සිනමා පටය ප්‍රදර්ශනයට නිකුත්කර සති දෙක තුනක් වෙන තෙක් පමණය. එවිට රත්නේගේ අර මා මුලින් කියු පාස් පාවිච්චි කර නොමිලේ චිත්‍රපට නැරඹිය නොහැක. සිනමාහල් පිරී ඉතිරී යන්නේ මුල් සති දෙක තුන අතර බැවින් පාස් සහ පහසුකම් අත්හිටවනු ලැබේ. පහසුකම් යනු හමුදාවට සහ පොලිසීයට චිත්‍රපට නැරඹීම සඳහා ලබා දී තිබු සහනයක් යැයි යාන්තමට මතකය. අපේ විචාරක තුමා මේ ගැන දැනුවත්ව ඇතැයි මම සිතමි.

චිත්‍රපටයේ පළමු දිනයේ දර්ශනය නැරඹීම සඳහා තිබුණේ ගුටිබැට, රණ්ඩු සරුවල් දක්වා දිවෙන තදබදයකි. ශත 55 ගැලරියේත්, 1.10 දෙවැනි පංතියේත් ටිකට් පෝලිම් හැසිරවීමට පොලිසිය කැඳවූ අවස්ථාත් නැතුවා නොවේ. සිනමාහල් සේවකයෙක් ඔබගේ මිතුරෙක් නම් එය විශේෂ වරප්‍රසාදයක් විය. පළවෙනි දර්ශනය නැරඹීමේ පිස්සුව රත්නසිරීට තදින්ම වැළඳී තිබුණි. අපි දෙදෙනා “අළුත් පිචැර් එකේ ෆස්ට් සෝ” එක නැරඹූ අවස්ථා බොහෝය. වේලාසනින් ගොස් පෝලිමටවී ඉන්නේ මමය. රත්නසිරිගේ මුදල් නිසා මට මගේ ශ්‍රමය මුදාහැරීමට සිදුවේ. චිත්‍රපටයක් බලන්නට තියෙනවානම් පැයක් දෙකක් පෝලිමේ සිටීම මට එතරම් ගැටලුවක් නොවීය.

මේ කාලය වනවිට සිංහල සිනමාවේ ජනප්‍රිය තරුවූ වූ ආනන්ද ජයරත්න, ජීවරානි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, අනුලා කරුණාතිලක වැනි අය සිනමාවට සමුදෙන යුගය. ගාමිණි ෆොන්සේකා රජ කරන යුගයත් විජය කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර ස්ථාපිත වෙමින් තිබූ කාලයත් කීවාට වරදක් නැත. ඔස්වල්ඩ් ජයසිංහ, සුදේශ් ගුණරත්න, බැප්ටිස්ට් ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, රෝයි ද සිල්වා වැනි අයද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූහ. මාලනි ෆොන්සේකා එදාත් රැජිනම විය. ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, සෝනියා දිසා, ජෙනිටා සමරසිංහ,අනෝජා වීරසිංහ කරළියට පැමිණෙන කාලයය. නීටා ප්‍රනාන්දු, ස්වර්ණා කහවිට, සුමනා අමරසිංහ, ශ්‍රියානි අමරසේනද හරි ප්‍රසිද්ධය. දුෂ්ටයින් රාශියකි. ඩොමී ජයවර්ධන, අශෝක පොන්නම්පෙරුම, පියදාස ගුණසේකර, එච්.ඩි.කුලතුංග, පියදාස විජේකෝන් වැනි අය ඒ ගොන්නේය. සටන් නළුවන් සිනමාවට දුන් දායාදය අදත් කිසිවෙක් සැලකිල්ලට නොගනී. රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රෙක්ස් කොඩිප්පිලි ප්‍රධාන පෙළේ සටන් නළුවෝය. විලසන් කරූද සිනමාවට අවතීර්ණ විය. ඔහු කිරුලපන වැසියෙකි.

සිංහල සිනමාව ඒ තරම් දුරක් ඔසවා තබන්නට දායකවූ තවත් රංගන ශිල්පීන් කොටසක් විය. ඔවුන් හැඳින්වූයේ විකට නළුවන් ලෙසය. ඒ යෙදුම කොතරම් සාධරණ දැයි මට නොවැටහේ. හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, ඩී.ආර්.නානායක්කාර, බි.එස්.පෙරේරා, ඇන්තනි සී පෙරේරා, ජෝ අබේවික්‍රම ඉන් ප්‍රමුඛයෝය. ප්‍රෙඩි සිල්වා ජනප්‍රිය වෙමින් සිටියේය. ක්‍රිස්ටි ලෙනාඩ්, එල්.එම්.පෙරේරා යුගය අවසන් වෙමින් පැවති අවධියය. ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවී, දෙනවක හාමිනේ, ශාන්ති ලේකා චිත්‍රපටවලට නැතුවම බැරි විය. මාක් සමරනායක, ඩේවිඩ් ධර්මකීර්ති, වින්සන්ට් වාස් වැඩිහිටි චරිත රඟ පෑ ප්‍රවීණයන් විය. මේ අතර සමාජශාලා නළඟනන්ගේ චරිතයකුත් චිත්‍රපටයට රිංගවීමට අධ්‍යක්ෂකවරයා වග බලා ගනී. හෙලන් කුමාරි, ෆරීනා ලායි එවැනි සුරූපි නිලියන්ය. ඒ පැද්දිලි, නැළවිලි රත්නසිරිලාගේ අපේ ලෝකය පද්දන්නට මෙන්ම නලවන්නටද බොහෝ ඉවහල් විය. මට අමතක නම් බොහෝය.

ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙණිපිටිය, අමරසිරි කලන්සූරිය,රවීන්ද්‍ර රන්දෙනිය,ස්වර්ණා මල්ලවාරච්චි,අනෝජා වීරසිංහ දෙනවක හාමිනේ වැනි ප්‍රවීණයන් වෙනම කුලකයකට දමා වෙනම්ම කතා කල යුතුය. මේ කොටසට අයත් තව බොහෝ අය ඇත. ඒවා ගැන ලියන්නට ගියොත් මගේ කතාව පසෙක දමා වෙනම ලිපි පෙළක් ලිවිය යුතු වෙනවා නිසැකය. සිංහල සිනමා වංශ කතාව බොහෝ රසවත්ය. මේ සම්බන්ධව ඒ.ඩි.රංජිත් කුමාරයන්ගේ පුත් නුවන් නයනජිත් ලියූ සාරගර්භ පුස්තකය මට පරිත්‍යාග කළේ මගේ ආදරණීය රංගන ශිල්පී මස්සිනා නිමල් පල්ලෙවත්තය. ඒ තවත් කතාකළ යුතුම පුද්ගල චරිතයකි. අවාසනාවකට මගෙන් මේ වටිනා පොත ඉල්ලාගත් හාදයා මට එය නැවත ලබා නොදුන්නේ පට්ටපල් බොරුවක්ද ඇද බාමිනි.

ගාමිණි-මාලිනි, ඔස්වල්ඩ්-ශ්‍රියානි, රෝයි-සුමනා, විජය-ගීතා, රවීන්ද්‍ර-නීටා වශයෙන්වූ ඒ ඒ සතුටු සාගරවල කිමිදුණු අපෙ කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ ලෝකයේ කප් ගැසූ චිත්‍රපටි රාශියකි. තුෂාරා , හතර දෙනාම ශූරයෝ, ඇතුළු සමහරක් චිත්‍රපට නැරඹූ වාර ගණන මතකවත් නොමැත. හුලවාලී, දෑස නිසා, දුහුළු මලක්, බඹරු ඇවිත්, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණ ගැන කතා කල යුතුමය. අභිමාන්, ගීත්, සංජීර් වැනි වසරකටත් වඩා නොකඩවා ප්‍රදර්ශනය වූ හින්දි චිත්‍රපට එක පැත්තකින්ය. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, සංගීත නිර්මාපකයින්, පසුබිම් ගායක ගායිකාවන්, කැමරා ශිල්පීන්, ඒවායේ තිබු අමතක කල නොහැකි ගීත කෙසේ ලියා අවසන් කරමි දැයි මට නොවැටහේ. බැරිය…කිසිසේත්ම බැරිය. කුඩා බ්ලොග් සටහන්කින් මගේ කාලයේ සිනමාව ගැන ලියා අවසන් කල නොහැකි නිසාත්, මගේ කතාව වෙනම පැත්තකට ගලාගෙන යන නිසාත් චිත්‍රපට කතාව අවසන් කරමි.

මගේ මිත්‍රයා රත්නසිරි මේ හැම කෙනෙකුටම වඩා ආදරය කළේ විල්සන් කරූටය. කරූට වඩා ටිකක් මිටි වුවත් රූපය ඔහු හා සමානය. රත්නේ විල්සන් කරූ අනුගමනය කරමින් රැවුලද කොණ්ඩයද වැවීය. පසු කාලයකදී චිත්‍රපට දෙක තුනක සුළු චරිත රඟපෑමට අවස්ථාව හිමිවූ බවත් අසා ඇත්තෙමි. මා කලින් කියූ පරිදිම රත්නේ, වෙනස් ආකාරයේ කලාත්මක චිත්‍රපටයක් බලන්නට කිසිසේත්ම කැමති වූයේ නැත. චිත්‍රපට තෝරන්නේ මම වුණත් බලන්නේ අපි දෙදෙනාමය. ෆයිට්, සින්දු, විහිළු නැති චිත්‍රපටයක් බලන්නට ගියොත් ටික වේලාවකින් මූ බොරුවට නිදාගන්නේය. ඒ උගෙ අකමැත්ත පළකිරීම සඳහාය. එදාට ඉන්ටවල් එකට අයිස් චොක්, බීම, සිගරට් මුකුත් නැත. විවේක කාලයටවත් නැගිටින්නේ නම් නැත. ගෙදර එනකම් බැණුම්ය. ගහන්න පුළුවන් නම් ගහන සයිස්ය.

බොහෝ විට රාත්‍රී 9.30 දර්ශනය අවසන් වෙන්නේ රෑ 12ත් පසුවී නිසා ගෙදර එන්නේ පයින්මය. මේ වෙනකොට ළඟ පාත බේකරිවල රෝස්පාන් වඩිය පුළුස්සා අවසන් වෙන වේලාවය. රත්නේට අමතරව සමහරක් විට අපි කට්ටිය පිටින්ම චිත්‍රපට බැලීමට යාමත් සිදුවේ. එදාට නම් රෝස්පාන් රසවත් වෙන්නේ අවට ගසකින් කඩාගන්නා කලටි පොලුත් එක්කමය. සිගරට් ඇදිල්ලද ගජරාමෙට සිදුවේ. මේ මොනවා කළත් සිනමාශාලාවෙන් ගන්නා ටිකට් එකේ ඉතිරි කොටස ළඟ තබා ගැනීම තම තමන්ගේ වගකීමවේ. හිටපු ගමන් මගදී පොලිසියෙන් ප්‍රශ්න කෙරුවොත් එය පෙන්විය යුතුය. එසේ නොතිබුණොත් වෙන්නේ, එළිවෙනකම් මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ රාජකාරී කටයුතුවල යෙදීමටය. මිරිහාන පොලිස් ක්‍රීඩංගණය විශාලය. වරින් වර මෙහි තුතිතිරි ගැලවීම කල යුතුය. පොලිසිය විසින් සිදුකර ගත යුතු දේවල් අප පිට පැවරෙන්නේ ටිකට් එකේ ඉතිරි කොටස නැතිකර ගත් දවස් වලටය. විශාල ෆ්ලෑස් ලයිට් දමා ආලෝකමත් කරන ක්‍රීඩා පිටියට ඒ කාලයට අප වැන්නවුන් අල්ලා ගෙන දමන්නේ තුත්තිරි ගැලවීමටය. ඒ කාලයේ නම් බනිස් ගෙඩියක්, ප්ලේන්ටියක් දීමට තරම්වත් පොලිසියට මුදල් තිබුණි. සමහරවිට ඒවාත් අවට බේකරි කාරයින්ගෙන් ලබා ගන්නා ඒවා විය යුතුය. එදාත් අදත් පොලිසිය හිතන් ඉන්නේ ඔවුන් අපේ ස්වාමීන් කියාය. නමුත් ඒ තුත්තිරි මතකය වහකදුරු මෙන් තිත්ත නැති බවත් කිව යුතුය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

82 Responses to අවුල් වන්නට පෙර (24)……යු.ඩි.රත්නසිරි

  1. Thushani says:

    ඔය කියන කාලේ අපි ඉපදිලත් නෑ… පොස්‍ටුවෙන් හුඟක් දේවල් දැන ගත්තා … හරිම රසවත් …

    • තුශානි…….අපේ දුව ඉපදුනේ 1989. ඔයා එතකොටවත් ඉපදිලා හිටියාද?:D
      රසවිඳීම ගැන සතුටුවෙමි.

      • Thushani says:

        1989 වෙන්කොට නම් ඉපදිලා.. රසවත් අතීත තොරතුරු බොහොම ආසාවෙන් කියෙව්වා…

  2. Yaka says:

    ඔය කාලේ සිනමා පට ගොඩක් රසවත් උණාට වර්තමානයේ ඒ රසවත් කම නැත්තටම නැති වෙලා ගිහින් වගේ

    • ඒකනම් එහෙම බව පේනවා. දැන් ඉන්න ඩිරෙක්ටර්ස්ලා බොහොමයක් හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයි කියලා. ඉස්සර ෆිල්ම් එකකින් අල්ලගත්ත විහිළු කෑලි කාලයක් යන කම් බජාර් එකේ භාවිතා උනා. දැන් බජාර් එකෙන් අල්ලගන්න විහිළු කෑලි ෆිල්ම් එකට ඔබනවා. වෙනස තේරෙනවානේ. සමාජය ඉදිරියෙන් ඉන්නවා. සිනමාව ඒ පස්සෙන් ගාටනවා.

  3. මට නං ඔය ආකාරයට චිත්‍රපට බලන්නට විදියක් තිබුණේ නෑ.

    කතාවම කියවා අවසානයේ සිහියට ආවේ මෙන්න මේ වැකියයි.

    තාත්තේ වත්තේ තුත්තිරි තිත්තයි!

    • මේ විදිහට චිත්‍රපට බලන්න ගියානම් කකාට අන්තිමට වැඩ කරන්න වෙන්නේ ගෙවල් පැත්තේ ෆිල්ම් හෝල් එකක තමයි. මම දෙල්කඳින් ගියාට පස්සේ ඒ පුරුද්ද අඩුවුනා.

  4. ඒ කාලේ පරිසරය ගැන ගොඩක් දේ ඉගෙ5න ගතෑකි මේ ලිපි පෙලෙන්. අදකාලෙ පොලෝසියට වඩා ඒ කාලෙ පොලෝසිය හොඳා වගේ….

    • පොලිසියට කවදාවත් එච්චර හොඳ පිලිගැනීමක් තිබුනේ නැහැ. හැබැයි අද වගේ ඕ අයි සීලා කුඩු විකුණන ලෙවල් එකට වැටුනේ නැහැ.

  5. අරූ අයියෙ ඔය කියන කාලෙ බොක්ස් තිබුනෙ නැතැයි??? මම මේ නිකමට ඇහැවුවෙ. 😀 😉

    අපෝ පොලෝසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ අරූ අයියෙ. අපෙන් නඩත්තු වී අපිටම් ගෑස් පෙන්වන අපේ දෙවිවරු. හැබැයි ඉතින් අදට වඩා නම් යහපත් තත්වයක් තිබිලා වගේ පොලෝසියෙ.

    ෆිල්ම් ගැන විස්තර ටිකනම් මල් හතයි. ලොකු දැනුමක් ගත්තා.

    • ඔය කතාවෙන් මට ප්‍රියා බොක්ස් කේස් එකක් මතක් වුනා පරණ හික් හික් හික්

    • ඒ දවස්වල බොක්ස් කතාව කොළඹ ලොකු හෝල්ස් වල විතරයි තිබුනේ මගේ හිතේ. රීගල් එකේ තිබුනු බව දන්නවා. අනිත් පැතිවල තිබුනේ නැද්ද කොහෙද. දැන් හෝල්ස් වල තියෙන්නේ බොක්ස් විතරද?
      ගැලරි, සෙකන්ඩ් ක්ලාස්, ෆස්ට් ක්ලාස්, බැල්කනි තිබුනා. ODC කියලා එකක් තිබුනා ලොකු හෝල්ස්වල. මට මතක් වෙන්නේ නැහැ ඒ මොකක්ද කියලා.

      ODC= Orchestra & Dress Circle

      • Ravi says:

        අරූ,

        O.D.C. කියන්නෙ මචං Upper Dress Circle. ඒක මේ වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ රංග ශාලාවල ආසන නම් කරපු ක්‍රමයක්.උසස් වංශාධිපති පවුල්වල අයට තමයි එතන වෙන් වෙල තිබුණයි කියන්නෙ. රීගල් එකේ මචං B.D.C. කියලත් ආසන කොටසක් තිබ්බ කියල මට මතකයි වගෙ. ඒත් ඒ ගැන හෙව්වට මොකවත් හොයාගන්ට නම් බැරිඋනා. 😦

      • @රවී…..මමත් ඔය upper dress circle අහලා තිබුනා. ඒත් මේක UDC නොවී ODC උනේ ඇයි කියන ප්‍රශ්නේ ආවා. කොහොම නමුත් කියන BDC එක රීගල් එකේ තිබුන බවත් උඹේ කමෙන්ට් එක දැක්කාම මතක් වුනා. ටිකට් කවුන්ටර් එකක ඔහොම වර්ගයක් ගැනත් ගහලා තිබුනා වගේ මතකයි. මෙන්න මේ ලින්ක් එක බලපන් ODC. ගැන මෙහෙම කියනවා.
        http://fantomphox.wordpress.com/2011/12/19/what-is-odc-seating/

      • Ravi says:

        අඩේ සොරි මචං..ලොකු වැරදීමක් උනේ…O.D.C. යනු Outer Dress Circle විය යුතුයි.අපෙ අප්පච්චි දවසක් කියල දුන්නෙ මම ඔය ගැන ඇහුවම..

        සමහරවිට උඹ කියපු Orchestra & Dress Circle එක හරි වෙන්නත් පුලුවන්…කවුදෑ හරියටම දන්නෙ? 🙂

  6. මට උඹේ බ්ලොග් පෝස්ට් එක කියෙව්වාම මතක් වෙන්නේ සරසවිය පත්තරේ. මේක සිංහල සිනමාව ගැන මතක ගබඩාවක්නේ.
    හැබෑටම සමහරුන්ට මේ තරම් හොඳට දශක ගණනාවකට කලින් වෙච්ච දේවල් මතක් හිටින්නෙත්, සමහරුන්ට මේ උදේට කෑවේ මොනවද කියලා අමතක වෙන්නෙත් කොහොමද බං?

    • ඩූඩ්……ඒ දවස්වල ෆිල්ම්ස් බලනවා විතරක් නෙමේ හැම සිකුරාදාම සරසවිය බලනවා. තාම සරසවියනම් අච්චු ගහනවා. කොච්චර විකිණෙනවාද දන්නේ නැහැ. ඉස්සර නම් හොඳ වෙළඳ පොළක් තිබුනා. චිත්‍රපටියක් බැලුවා වගේ තමයි සරසවිය බලන එකත්.

      මට මචං පොඩි කාලේ සිද්ධි මතකයි මෑත දේවල් වලට වඩා. පොඩි කාලේ මහ ලොකු දේවල් හිතේ නැති නිසා වෙන්න ඇති. මම අවුරුදු 5ක් වෙනකම් මව්කිරි බීලා තියෙනවාලු. ඩූඩ් මට ඒ වගේ සිද්ධිත් මතකයි. මිනිස්සු හිතයි මූ බොරු කියනවා කියලා.

      • උඹ සමහරවිට නාකි වෙනකල් මව් කිරිබොන්න ඇති. ඒක නෙවෙයි මචං මාත් සෑහෙන ලොකු වෙනකල් බෝතලෙන් කිරි බීලා තියෙනවා. උඹට කියන්න මට මතකයි මම ඉස්කෝලෙ ගිහින් ඇවිත් කිරි බෝතලේ බීලා සූප්පුවෙන් අල්ලලා ඔලුව වටේ කරකවලා ඇඳ උඩට විසි කරනවා. 😀

      • මචෝ ඔය සූප්පුව දත් වලින් අල්ලලා කරකවලා කිරි බෝතලේ විසිකරන එක මම දැකලා තියෙනවා. කිරි බීලා බඩ පිරිලා ෆුල් ජොහොර් එකෙන් තමයි ඕක කරන්නේ. උඹ ඔය වැඩේ කරනවා මට මැවිලා පේනවා.

  7. පිචර් කතා මෙහෙම ඇදීගෙන යනකොට මට මතක්වෙන්නේ 1960 – 70 දශකවල කෑගල්ලේත්, 1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය දක්වා අවිස්සාවේල්ලේත් මම ඔය විදිහට පිචෑර්ස් බලපු ආකාරයයි. ඉස්සර කෑගල්ලේ අලුත් පිචර් එකක් ආවම බක්කි කරත්තයක දෙපැත්තේ අඩි 4 x 4 විතර පෝස්ටර් දෙකක් එල්ලගෙන ඇතුලේ පොඩි මෝලම් කුට්ටමකුත් දාගෙන ගහ ගහ අවට ගම් වලට යනවා ප්‍රචාරය සඳහා. ඒ මෝලම් තාලය අනුව පදයක් හදලා අපේ වැඩිහිටියෝ බනිනවා. ඔන්න අහගනිල්ලා ඔය ගහන්නේ ‘ගොන්නු වරෙව් – සල්ලි දියව්’ කියලා.

    • විචාරක…..මමත් අවිස්සාවේල්ලේ චන්ද්‍රා, ඉම්පීරියල් දෙකේම ෆිල්ම්ස් බලලා තියෙනවා. ඉම්පීරියල් එක ගාව ලොකු දුරියන් ගහක් තිබුනා පාර අයිනට වෙන්න කන්ද උඩ. ගෙඩි කාලේට බයේ බැහැ පාරෙට වැටෙයි කියලා. මට මතකයි දැලක් ගහලා තිබුනා ඒකට. මම ඕකේ Three Musketeers බලන්න ගියා කා එක්කද. මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.

      ඔය කරත්ත වලින් චිත්‍රපටි ප්‍රචාරය මම කොළඹදි දැකලා නැති උනාට අවිස්සාවේල්ලේදී දැකලා තිබුනා. ඕක පස්සෙන් ළමයි කෑගහමින් පස්සෙන් යනවා.

      තාත්තාගේ කතාව නම් මරු. චිත්‍රපටි ගැන ඉස්සර අයගේ ඒවගේ මතයක්නේ තිබුනේ.

      • අවිස්සාවේල්ලේ චන්ද්‍රා එකේ ඒ කාලේ තිබුනේ වෑල්ව් ඇම්ප්ලිෆයර් එකක්. චිත්‍රපටිය පටන් ගන්න කලින් දාන සින්දු ටික හරිම උසස් තත්වයෙන් අහන්න පුළුවන් නිසා පුළුවන් තරම් කලින් හෝල් එකට රිංගනවා. ඉම්පීරියල් එක ළඟ අර දූරියන් ගහ කපන්න ඊට මෙහායින් අලුතෙන් හදපු ‘මැණික් නිවසෙන්’ බලපෑමක් ආවලු.

      • විචාරක…..චන්ද්‍රා එක එහා පැත්තේ ලංගම ඩිපෝව ඉස්සරහ තේ කඩෙන් තමයි තේ බොන්නේ. සුන්දර මතකයන්.

  8. උඹේ අවුල් වන්නට පෙර 23 හා 24 කොටස් දෙකම කියෙව්වේ අදයි. විසිතුනන් වන කොටසෙන් පොඩ්ඩක් අවුල් වූ ලියමන් රටාව ආපහු මේකෙන් නියම ට්‍රැක් එකට ඇවිල්ලා. දෙකේම කරුණු බරසාරයි. හෙන්රියාට වගේ මටත් පුදුමයි පරණ රසවත් දේවල් ඔය තරම් සීරුවට උඹට මතක තියෙන්නේ කොහොමද කියලා. මම ගෙදරට හොරෙන් ඉස්සෙල්ලාම බලපු ෆිල්ම් එක තමයි දුහුළු මලක්. ඊට පස්සේ සතියකට එකක් ගානේ වගේ අවුරුදු ගණනාවක් බැලුවා. ඒත් සමහර ඒවගේ නම්වත් දැන් මතක නෑ . අපේ පළාතේ තිබ්බ දුම් බීම තහනම් නැති සිනිමා ශාලාවක්. සෝ එක පටන් ගන්න කලින් ගැලරිය ගිණි ගන්නවා වාගේ දුමක් නගිනවා .

    • මචං තිලකේ….මටත් වෙලා තියෙන්නේ ඩේලි රූටින් එක පොඩ්ඩක් එහා වීම. බැක්ලොග් එකක් තියෙනවා බ්ලොග්ස් කියවලා ඉවරකර ගන්න. ඒ මොනවා වුනත් උඹ කියන දුහුළු මලක් මමත් බලපු දුහුළු මලම තමයි. මචෝ මේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න කියලා අපි රවීට යෝජනා කරමු. සිංහල සිනමාවේ තවත් හැරවුමක්. විජය ධර්ම ශ්‍රීලා ගෙන් රට වැඩක් ගත්තේ නැහැ. ටෝනි ගැන වෙනමම ලියන්න වෙනවා.

      ඉස්සර දුම් නොබොන අයට හෝල් එකට ඒම තහනම් වගේ ගතියක් තිබුනේ.:D ගැලරියේ මොනවාද නොබිව්වේ? ප්‍රොජෙක්ටර් එකෙන් ස්ක්‍රීන් එකට බඩු එනකොට ඒ එලියට තමයි ගින්නක් වගේ දුම පේන්නේ. අපිට පේන්නේ එත කොටයි. නැත්නම් ගිය වෙලාවේ ඉඳලා දුමම තම්යි. ඉස්සර පිචැර් බලලා ඇවිල්ලද කියලා හොයා ගන්නේ ඇඳුම් වල දුම් ගඳින්.

  9. පත්තර මල්ලි says:

    අරූ අයියෙ ෂෝ එක ඉවර වෙලා එමිං ගමන් ගෙවල් වල බෙල් ගහලා, කෙල්ලන්ගෙ ගෙවල් වලට රතිකඤ්ඤා දාල, කුරුම්බ බාල ,මල්පෝච්චි මාරු කරල , පුහ් !!!!!

    පව් වැඩ උනාට පොඩි ජොලියකුත් තිබ්බ බං ඒවයෙ !

    • පත්තර මල්ලි says:

      හා ඔය ඉන්නේ පව්කාරයෝ

    • @පත්තරේ…………ඕවා නොකෙරුනා නම් තමයි පව්.. ඔය ඒ වයසෙදි ඒ ඒ වටපිටාවන් එක්ක කරන වැඩ. කරන නෙමෙයි කෙරෙන වැඩ. ඕකට තමයි කියන්නේ ගැටවර යෞවනත්වය කියලා. හැබැයි ගැටවරත්වයෙන් එලියට එන කොට අර දේවල් අලුත් ගැටවරයන්ට ගන්න ඒ තැනම තියලා එන එක තමයි කෙරෙන්න ඕන. ඒක කරගහගෙන ආවොත් උන්ටත් නැහැ අපිටත් නැහැ. මේක තමයි සමාජ සර්කල් එක.

  10. //මින් බොහොමයක් කොල්ලා-කෙල්ල, දුෂ්ටයා, විහිළු, ෆයිට්, සිංදු අඩංගු වාණිජ රැල්ලේ චිත්‍රපට විය//
    අදත් මේක මෙහෙමමයි නේද?

    //විශාල ෆ්ලෑස් ලයිට් දමා ආලෝකමත් කරන ක්‍රීඩා පිටියට ඒ කාලයට අප වැන්නවුන් අල්ලා ගෙන දමන්නේ තුත්තිරි ගැලවීමටය.//
    හරිම හොඳ වැඩක්… 😀 😀

    • ///අදත් මේක මෙහෙමමයි නේද?////
      හරියටම හරි පොඩ්ඩි…ඔය කියන කොටස් ලෝක වානිජ සිනමාවේ හැම තැනම තිබුනා. හැම තැනම තියෙනවා. වීරයා සහ දුශ්ඨයා කියන සංකල්පයමනේ හැම තැනම තියෙන්නේ. තම තමන්ගේ ජීවිත ඇතුලේ තියෙන්නෙත් ඔය කතාවමනේ. අපි සියල්ලෝම විටක වීරයෝය. විටක දුෂ්ඨයෝය. මේ සංකල්පය තුල තමයි සියල්ල සිදුවන්නේ. නැත්නම් මේක අංජ බජල් වෙනවා.

      හැබැයි අපේ සිනමා කරුවා..මේ සත්‍යය ..වර්තමානයේ අපිට පෙන්නන්නේ ගොන් ජෝක් එකක් විදිහට. ඒකයි” වානිජ” සිනමාව වලපල්ලට යන ගමන් කලාත්මක සිනමාවත් ඒ මඩ ගොඩටම අරන් යන්නේ අපේ රටේදී.
      හැබැයි පොඩ්ඩි ඒ දේ ලෝකයේ අන් රටවල වෙනස් ආකාරයකින් වෙන බව තමයි මට පේන්නේ.

      //විශාල ෆ්ලෑස් ලයිට් දමා ආලෝකමත් කරන ක්‍රීඩා පිටියට ඒ කාලයට අප වැන්නවුන් අල්ලා ගෙන දමන්නේ තුත්තිරි ගැලවීමටය.//
      හරිම හොඳ වැඩක්… 😀 :D//////////
      තත්තිරි ගලවන එක හොඳයි, දැන් වගේ පොලිසීයට කියලා දත් ගලවන්න එකට වැඩිය.:D

  11. Kenji @ Japan says:

    උඹට මාර මතකයක් නේ තියෙන්නෙ මචන්.
    විල්සන් කරුවයි,නල්ල තම්බියි දෙන්නම එක කිට්ටුව ගෙවල් තිබුනේ.
    ජෙනිටා සමරවීර නේද?
    මමත් ලියන්න ඉන්නේ ඔය චරිත එක්ක ගැවසුන ඒවා ගැන.
    ඉස්සර අපි පොඩි කාලේ හැම බයිස්කෝප් එහෙකටම වගේ පාස් ලැබුන.

    • කෙන්ජි…..උඹ හරි .ජෙනිටා සමරවීර තමයි. ජෙනිටා ගැන උඹට වරදින්න විදිහක් නැහැනේ.

      විල්සන් කරු හිටියේ නාරාහේන්පිටට හැරෙන පාර ඉස්සරහ රොබට් ගුනවර්ධන පාරේ. නිහාල් සිල්වා මුලින් හිටියේ ඇල කන්ඩිය පැත්තේ. පස්සේ වෙන කොහාටද ගියා වගේ මතකයි.

      මේ චරිත ගැන මම දන්නේ අල්පයයි. උඹ මේ ෆීල්ඩ් එකේ හිටපු නිසා බොහෝදේ දන්නවා ඇති. හොඳ සීරිස් එකක් ලියපන් .

  12. deshakaya says:

    පාස් දෙන්නේ මාධ්‍යෙව්දියොන්ට නේද?

    • දේශා…..මාධ්‍යවේදීන්ට පාස් දුන්නේ මිනිස්ට්‍රි ලෙවල් එකෙන් මම හිතන්නේ. අර සිනමා බෝඩ් ගහන් ඉන්න කඩවලට දුන්නේ ෆිල්ම් හෝල්ස් වලින්. හමුදාවටත් පාස් හෝ පහසුකම් වර්ගයක් තිබුනා මතකයි. ඒවා කොහොම ලැබුනාද දන්නේ නැහැ.

  13. Anonymous says:

    ඔය “ආනන්ද ජයරත්න” කියන නළුවා අපේ තාත්තාගේ ස්කොලේ මුල් ගුරුතුමාලු.තාත්තා කියනවා මිනිහාට හරියට ගැණුන්ගේ ප්‍රශ්න තිබුණා කියලා.අන්තිමට මනුෂ්‍ය ගිණි තියාගෙනලු මැරුණේ.ජෝ අබේවික්‍රම, අමරසිරි කලන්සූරිය,ප්‍රෙඩි සිල්වා,ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිත වලට නම් මමත් හුගක් කැමතියි.
    නිලි රැජින පාර්ලිමේන්තුවෙත් ඉන්නේ.අපි එහෙමයි එයාලාට සළකන්නේ අරූ….:D
    (මනෝ..)

    • //මිනිහාට හරියට ගැණුන්ගේ ප්‍රශ්න තිබුණා කිය/////
      කොයි මිනිහාටද බන් ගෑණුන්ගෙන් ප්‍රශ්ණ නැත්තේ? 😀

      ආනන්ද ජයරත්න සියදිවි නසාගත්තා. උඹලාගේ තාත්තා පැපිලියානේ සිරි පැරකුම්බාද,දෙහිවල ක්‍රයිස්ට් චර්ච්ද?

      උඹ කියන සෙට් එක හොඳ නළුවෝ තමයි. ජෝ විශිෂ්ඨයි. කතා දෙකක් නැහැ.

      • http://manogeloka.blogspot.com/ says:

        ඔව් සියදිවි නසාගත්තා කියලයි කියන්නේ.මම දැනුත් තාත්තාගෙන් ඇහුවා.
        තාත්තා දෙහිවල ක්‍රයිස්ට් චර්ච් එකේ.

      • ආනන්ද ජයරත්න සිරි පැරකුම්බා එකෙත් වැඩ කරලා තියෙනවා. ස්තූතියි මනෝ.

  14. ඔය කියන කාලේ මම ඉපදෙන්න හිතලවත් නැද්ද කොහේ. විල්සන් කරූ නම් මගේ කතාවේ සඳහන් කල නැන්දාගේ කඩයට පැමිණෙන අයුරු මම අනන්ත දැකල තියෙනවා. හැබැයි මම එයා නළුවෙක් විශේෂයෙන්ම දුෂ්ඨ නළුවෙක් කියල දන්නේ අහම්බෙන් දවසක නැන්දා කිව්ව නිසා නැත්නම් එහෙම පෙනුනේ නැහැ. මොකද මම සිංහල චිත්‍රපට පලන්නේ නැති නිසා. හැබැයි නළු කම ඉහට නොගත්ත නිහතමානි මනුස්සයෙක්.

    • උඹ මේ කාලේ ඉපදිලා තියා අම්මායි තාත්තායිවත් මුණ ගැහිලා නොතිබෙන්න ඇති. හුජ්ජ කොල්ලෝ 😀

      විල්සන් කරු බජාර් එකේ හිටියේ. නිහතමානී බුවෙක් තමයි. සුදු සරම ඇඳලා තමයි පාරේ ඉන්නේ. සිනමාවේ දුෂ්ඨයා වුනාට පුදුම සත්ව කරුනාව තිබුන කෙනෙක් කියලා අහලා තියෙනවා. තව ගොඩාක් දේවල් අහලා තියෙනවා. හොඳ මිනිහෙක්.

      ඉතා හොඳ සිංහල චිත්‍රපට තියෙනවා. නොබලාම ඉන්න එපා..ට්‍රයි කරලා බලන්න.

  15. Pra Jay says:

    “1983 මූසල ජූලියේදී ඊරොස් ඇතුළු සිනමාහල් කිහිපයක් මුග්ධ මිනිසුන්ගේ අතින් ගිනිබත් කෙරිණි. ”
    Eros ගිනිතිබ්බද බේරුනාද? තාප්පෙ ලියපු “මෙහි අයිතිකරු සින්හලයෙකි- අබේනායක” කියන එක මෑතක් වෙනකම් තිබුන

    • ප්‍රාජේ……ඊරොස් එක ගිනිතිබ්බා කියලා තමයි මට මතක. ඔය බිත්තියේ ඇඳලා තිබුනු “අයිතිකරු සිංහල” කතාව මතකයි. උඹ කිව්වාම තමයි ක්ලික් වුනේ. දෙමළ චිත්‍රපට තමයි ගොඩාක් පෙන්නුවේ. 1983 කුරිරු බව ඊරොස් තාප්පයේ අකුරුවලින්ම හිතාගන්න පුළුවන් නේද? මම කිරුළපන ඉඳලා වැල්ලවත්තට එන්නේ 141 හෝ 144 පාන් බාගේ වගේ ලංගම බස් එකේ. පයිනුත් යනවා.

  16. රාජ් says:

    //1970-1980 දශකය තුළ සිංහල චිත්‍රපටි 300//
    ඒ කාලෙ චිත්‍රපටි ලෝක මට්ටමට සාපේක්ෂව ඉහලයි. නමුත් ලංකාවෙ හැම දෙයක්ම වගේ ඊට පසු දියුණුවක් ඇතිවුනේ නෑ. මං හිතන්නෙ ඒක වෙන්න ඕන බොක්ස් වලින් හෝල් දුවන තත්වෙට ඇවිල්ල තියෙන්නෙ.

    උඹේ මතකය නං නියමයි. ඔය වයසෙ උදවියට පුදුමාකාර චිත්‍රපටි පිස්සුවක් තිබිල තියනව කියල හිතෙනව දන්න කියන එවුන්ගෙ කතා ඇහුවට පස්සෙ. හරියට ‍මේ කලෙ ටොරන්ට් එකෙන් හැම චිත්‍රපටියක්ම බාගෙන බලන කොල්ලො වගේ.

    • ටොරන්ට් අරවා මේවා ලෝකේ හැම තැනම ෆිල්ම් බලන්න භාවිතා වෙන්නේ නෑ. කොටින්ම මම තවම ඉල්ලීගල් විදියට ගත්තු එක ෆිල්ම් එකක් බලා ඇති ජීවිතේටම. අපිට සිනමාවේ ෆිල්ම් එක බලන එකයි පොඩි කොම්පියුටර් එකකින් කිසිම සිනමා හැඟීමක් නැති නිර්මාන නරඹන එකයි මහ කරදරයක්. ඒ නැතත් අපිට ෆිල්ම් එක අවුට් වෙලා මාස තුනක් හතරක් ගියාට පස්සේ පේ ටී වී හරහා ඒ කොලිටියටම බලන්නත් පුළුවන්. සාමාන්‍ය ටී වී එකටත් අවුරුද්දකින් වගේ එනවා. ඒත් සිනමාව බහින්නේ නෑ. මට නම් ෆිල්ම් එකක් බලනවා නම් ඒ සිසිටම් එකෙන් පිටට හරි අමාරුයි. සමහරවිට අපි හිතන විදියත් වෙනස් ඇති. ඒත් මම නම් සතියකට ෆිල්ම් දෙකක් වගේ බලනවා ෆිල්ම් හෝල් එකේ. රෙන්ට් කරන අළුත් ෆිල්ම් බලනවා යාළුවෝ එක්ක එකතු වුනාම. අපේ රූපවාහිනියත් තම පිරිහිලා නෑ. බලන්න දේවල් තියෙනවා.
      සමහරවිට මම වගේ හිතන තවත් අය ඉන්න හින්දා වෙන්නැති මේ රටවල සිනාමාවට තවම පැවැත්මක් තියෙන්නේ. හොඳ කලා මා‍ධ්‍යයක් තියෙන්නේ.

      • රංගි…..මට නම් හෝල් එකකට ගිහින් බලනවා තරම් ගතියක් නැහැ අනිත් ක්‍රමවලින්. ඒ මට හුරුවෙලා තියෙන හැටිද කොහෙද. හැබැයි ඉතින් සිංහල ෆිල්ම්ස් නම් ඉන්ටනෙට් එකේ බලනවා හැරෙන්න විකල්පයක් නැහැ.

    • රාජ්……එක යුගයක වානිජ චිත්‍රපට රාශියක් මැද්දේ හොඳ නිර්මාණත් ඊට ටිකක් අඩුවෙන් හෝ හැදුවා. ඔය දශකයෙන් පස්සේ ගුනාත්මක නිර්මාණ හැදීම එන්න එන්නම පල්ලෙහාට වැටුනා. දැන් නම් ආපහු ටිකක් අහන්න ලැබෙනවා.

      මගේ වයසේ අයගෙන් බොහොමයක්ම පික්චර් පිස්සෝ තමයි. බ්ලොග් ලෝකයේත් කිහිප දෙනෙක් ඉන්නවා. ඒකට හේතුව නම් ඒ කාලේ චිත්‍රපටි, සංගීත වගේ දේවල් හැරුනාම වෙන බාහිර විනෝද කටයුතු තිබුන නැති එක වෙන්න ඇති.

  17. බොහෝ දේ දැනගත්තා. සිංහල සිනමාව ඉස්සර හොඳටම තිබුනාට අපි පොඩි කාලේ තිබුනේ හින්දි කොපි. අපි ලොකු වෙනවිට ජාරාම වෙලා තිබුන නිසා. අපේ තාත්තලාගේ තරුණ කාලේ වගේ අපිට සිනමාව රසවිඳින්න බැරිවුනා. දැන් නම් අලුතෙන් හොඳ ඒවා එනවා නේ. ඔය ගැම්මට තව ඉස්සරහට ආවොත් හොඳයි.

    • මකසි……හිංදි දෙමල කොපි එක් යුගයක අපේ සිනමාව අරක් ගෙන තිබුනා. ඒත් හොඳ චිත්‍රපටිත් බොහෝමයක් හැදුවා. 1989 යුගය සිනමාවට බරපතල ලෙස වැදුනා අවාසනාවන්ත විදිහට. උඹලාගේ තාත්තලාගේ තරුණ කාලේ කියන්නේ මගේත් තරුණ කාලේ වෙන්න ඇති. පහුගිය වසර කිහිපය තුල නම් හොඳ චිත්‍රපට හැදෙන බවට අහන්න ලැබෙනවා.

      මට හිතෙනවා ජයනාත් ගුනවර්ධන හදපු දැන් පෙන්වන “පරාවර්තන” හොඳ ෆිල්ම් එකක් කියලා. බලන්නේ නැතුව කියන්න බැහැනේ.

  18. “අවාසනාවකට මගෙන් මේ වටිනා පොත ඉල්ලාගත් හාදයා මට එය නැවත ලබා නොදුන්නේ පට්ටපල් බොරුවක්ද ඇද බාමිනි.”

    හරි හරි මම පොත අපහු දෙන්නම්

  19. මුලින්ම උඹ දුන්න ඔත්තුවට පිං අය්යේ. මම රවියගේ බ්ලොගයට ගිහිං ඇතිකරගත්තු චිත්තප්‍රීතියෙන් ආයුෂ අවුරැදු කිහිපයකින් වැඩි කර ගත්තා. ඒ වැඩිවුන ආයුෂ ඩබල් වුනා උඹගේ පෝස්ටුව කියවලා.
    උඹ මගේම කථාව ලියනවා කියලා වෙනදා වගේම මම ආයිත් කියනවා. ඒ කාලේ කොච්චර රසවත්ද? චිත්‍රපටි හා මම ගැන ඉදිරියේදී සටහනක් ලියන්න හිතන් ඉන්න නිසා හිතට ආපු දහසක් දේ ඒකෙන්ම කියන්නම් කියලා හිතුවා.
    උඹට ජයෙන් ජය අයියේ!!!

    • චන්දන….උඹ මේ විදිහට ආයුෂ ඩබල් කරගත්තොත් පරම්පරා කීපයකට උඹව වාතයක් වෙයිද? 😀

      මම උඹේ සිනමා ලිපිය දානකම් බලන් ඉන්නවා. මට හිතෙනවා ඒක වඩාත් රසවත් ලිපියක් වෙයි කියලා.

  20. සෑම් says:

    ඒ කලෙ චිත්තරපටි කිව්වම මාර කික්.. ඒ රසය දැන් වියකිලා ගිහින්..

    වර්ඩ්ප්‍රෙස් නිසා උබෙ බ්ලොග මිස් වෙනව බං.. හිටු අද ප්‍රතිකර්මයක් යොදනවා..

    • සෑමෝ…….උඹ මේ එක එක එව්වා ශුද්ධ කරන්න බට හොය හොය යන කාලේ. මේ දවස්වල බටේ වැඩේට හිත යොමු කරගෙන හිටපන්. වර්ඩ්ප්‍රෙස් අමතක කරපන්. ඕන නම් අටම්ගෙන් අහපන්.

      ඉස්සර ගොඩාක් ෆිල්ම් නම් කික්ම තමයි. දැන් ගොඩාක් ෆිල්ම් සික්. රජ හොරු නෙමේ ගූ හොරු.

  21. Black Puma says:

    අපිට අහිමි උණු පරණ රසවින්දනය. දැන් නම් ඉතිං බෑවා බැලුවා නේ

    • පූමා….කොහෙද බං ඉපදෙන්න ඕන කාලේ එහෙ මෙහෙ හැන්ගිලා හිට්.ඉයාට අපි මක් කරන්නද? දැන් ඉතින් බාගෙන බලපන්.හැබැයි බාගෙට නම් බලන්න එපා 😀

  22. අරූගේ කාලේ අපි චිත්‍රපටි බලන්න කොහෙද අපි? මම හිතන්න මම පොඩි කාලේ මාව වඩාගෙන කදිරා හරි මොනවා හරි කතාවක් බලන්න ගෙදර ඔක්කොමලා ගියා කියලා මතකයි. දැන් වුනත් ඒකේ මතකේ තියෙන්නේ කළු රැවුල වවපු ඇඳුම් අඩුවෙන් ඇඳපු මනුස්සයෙක්.
    මුල්ම කාලේ රූපවාහිණිය ආවම කළු සුදු කාලේ හොඳ පරණ චිත්‍ර පටි පෙන්වන කාලේ රෑට බැලුවා මතකයි. සිකුරාදා රෑටද කොහෙද.
    අක්කා අයියත් එක්ක යාළුවෙලා ඉන්න කාලේ ඉස්සර ෆිල්ම් බලන්න යනවා.අක්කා ගොඩාක් දවසට මාව එක්කන් යනවා. එහෙම බලපු එක ෆිල්ම් එකක් තමයි ධවල පුශ්පය. වසන්තිට මම ආදරේ වෙන්නේ එතනින්. එතනින් එහාට මම ලංකාවේ ෆිල්ම් බලල නෑ.
    ආයේ ටයිටැනික් ආව කාලේ අක්කලගේ ඔෆීස් එකේ ෆිල්ම් හෝල් එකේ පෙන්වපු හින්දා අපිට බලන්න පුළුවන් වුනා. එතකොට මම ඊට කාලෙකට කලින් ඒක මෙහෙදි බලල තිබ්බේ. ඔක්කොම සීන් කෝන් කපලා එහෙම නැත්නම් බ්ලර් කරලා ඒක කොළඹඳි බලද්දි මට එපා වුනා.
    ආයේ සමීප වෙන්නේ 2007 විතර. දැන් තියෙන්නේ චිත්‍රපටි පිස්සුව නෙමෙයි ලංකාවට ආවම නාට්‍යය බලන එක. ඔය සම්භාව්‍ය චිත්‍රපටි හදන යාළුවෝ ඒවයේ ප්‍රිමියර් වලට හෙම ඉඳලා හිටල කතා කරනවා. එහෙම බලපුවයේ එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි යාළුවන්ගේ ඩී වී ඩී බලල මට හිතෙන්නේ ඒ ෆිල්ම් වලට මොනවට සම්මාන දෙනවද කියලා.
    අන්තිම කාලේ සිංහල ෆිල්ම් එකක් බැලුවේ මචන් ප්‍රිමියර් එක. ඒක බැලුවේ මෙහෙදි. මම ආසම ෆිල්ම් එකක්. නැතිව ලංකාවේ කලාත්මක සිනමාව කියන හෝ ඔය සම්මාන ගන්න සිනමාව ගැන නම් මට තියෙන්නේ ඒ උනාට යාළුවෝ හින්දා මට ඒක කියාගන්නත් විදියක් නෑ.

    • මචං මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. ධර්මප්‍රිය ඩයස්ගේ රඟපෑම් මරු. මම ඌට කොහොමත් කැමතියි.

      ධවල පුෂ්පයනම් ඒ තරම් සාර්ථක වුනු චිත්‍රපටයක් නෙමේ මගේ හිතේ.KAW පෙරේරාගේ පසුකාලයේ ෆිල්ම්ස් ඔක්කොම වගේ ෆේල්.

      col3neg එකේ ධරමසිරි බංඩාරනායකගේ “බවදුක ” තියෙනවා වගේ අහම්බෙන් දැක්කා. . බලන්න.

  23. Senna says:

    එතකොට ඔය කියන යූ ඩී රත්නසිරි කියන යාළුවා ගැන අරූ ලඟකදි දැනගෙන හිටියේ නැද්ද ? ඒ නම හොඳට අහලා පුරුදුනෙ..

    >> අනුලා කරුණාතිලක වැනි අය සිනමාවට සමුදෙන යුගය <<

    මේක වෙන්න පුළුවන්ද ? අනුලා කරුණාතිලකට එච්චර වයස වෙන්න බෑ නේද ? අරූ ඔය කියන්නෙ කොයි කාලෙද ?

    අරූට තව විශිශ්ට නිළියක්ව අමතක වෙලා. ඒ සබිතා පෙරේරාව. මටත් මතක් වුනේ අද දවල් බත් එක ඔතන් ආපු කොලේ එයාගෙ ඉන්ටවීව් එකක් තිබුන නිසා. එයා නම් එදත් අදත් මම කැමතිම නිළියක්.

    • සෙන්නා…….මට රත්නේව ඊට පස්සේ ආපහු ඔන් &ඕෆ් හම්බ වුනා විටින් විට. නමුත් ඊට පස්සේ අවුරුදු 25කින් විතර දැක්කෙවත් නැහැ. සුදීකගේ ආරංචියෙන් පස්සේ මම අම්මාට කතාකරලා ඇහුවා. රත්නෙට පස්සේ එයාගේ වයිෆ් ශීලාත් මියගිහින්. රත්නේ හරිම අඩු වයසින් අක්කා මැරේජ් එකක් කර ගත්තේ. මට ඒ සිද්ධියත් මතකයි.

      මම කියන්නේ 1976-1977 වගේ කාලය. අනුලා ඉක්මනින් විවාහ වුනා. ඊට පස්සේ බොහෝ කාලයක් සිනමාවෙන් ඉවත්වෙලා හිටියා. උඹ හරි. ඒ වෙනකොට අනුලාට එච්චර වයසක් වෙන්න බැහැ. මම අන්තිමට බැලුවේ අනුලා හිටපු යකඩයා ෆිල්ම් එක ඔය කාලේ.

      සබීතා ආවේ ඊට ගොඩාක් පස්සේ. හැබැයි සෙන්නා මට වීනා ජයකොඩි අමතක වුනා..අග්‍රා සජීවනි, තලතා ගුණසේකර,බියුලා ඩයස් වගේ අයත් හිටියා. හැරල්ඩ් හේරත් කියලා ඇමති කෙනෙක් හිටියා මතකද? එයා බැන්දෙත් ඔය යුගයේ නිලියක්. මට නම මතක නැහැ. ඊට පස්සේ සබීතාට ඉස්සෙල්ලා අනුශ්කා මැදිවක වගේ අය ආවා. ඉන්දිරා ජොන්ක්ලාස් කියලා කෙනෙක් ආවා. කළුදිය දහර, පාර දිගේ එහෙම හිටියා. ඊට පස්සේ මිසින්ග්. අකුශ්ලා සෙල්ලයියාත් හිටියා. ඉන්දිරා, අකුශ්ලා වෙනම සෙට් එකක්.

      • සෙන්නා……මට බරපතල ලෙස ලියන්න අතපසු වෙච්ච චරිතයක් තමයි පූජිත මෙන්ඩිස්. ඒ චරිතය ඉස්මතු කරගෙන එදා කලාකරුවාගේ ඛේදවාචකය මට ලියන්න ඕන කමක් තිබුනා. ලිපිය දිග වෙන නිසාම ඒක මගහැරුනා. බලමු… මේ තුල ඔහු ගැන දන්නා කෙනෙක් තුලින් මතකය ඇවිස්සුනොත් ඉතිරිය අපිට මේ පල්ලෙහා ඉඳන් කතා කරන්න පුළුවන්. අඩියක් ගහගෙනම කතා කරන්න තිබුනා නම් තමයි ෆිටේ ෆිට්. අඩියක් ගහගෙන තමයි එදා සුන්දර මිනිසුන් සුන්දර නිර්මාණ බිහි කරලා තියෙන්නේ. අඩි නොගහාත් පුළුවන්. හැබැයි පොඩ්ඩක් අමු ගතියක් තියෙනවා බං ඒ දේවල් වල. මට පේන හැටි.

      • Senna says:

        වීනත් අපි දන්න කාලේ හිටපු හොඳ නිලියක් තමා. ඇයගේ පුතාව මම පුද්ගලිකව හඳුනනවා. ඒ ඔහුත් මමත් එකම ක්ෂේත්‍රයේ නිසා.

        ඉන්දිරා ජෝන්කලාස් ගැන අද කතන්දර, කෙන්ජිගේ පෝස්ට් එකේ සඳහන් කරලා තිබුනා මතකයි. අනිත් අය ගැනනම් මට මතකයක් නෑ. හැබැයි හැරල්ඩ් හේරත් ගැනනම් අහලා තියනවා.

        පූජිත මෙන්ඩිස් ගැන අහලා තිබුනට වැඩි මතකයක් නෑ. ලියමු අරූ ඒ ගැනත්.. මෙහෙම ලියද්දි මොනාද කියවන්න බරි. ඔහොම කියනකොට නොබොන මටත් බොන්න හිතෙනවා අප්පා… හෙහ් හෙහ්… 😀

      • Ravi says:

        හැරල්ඩ් හේරත්ගෙ වයිෆ් ඇවිල්ල ග්වේන් හේරත්..ඇය වයඹ පළාත් සභා ඇමතිවරියක් වී සිටියා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සම්මේලනයේ සභාපතිනිය වශයෙන්ද කලක් කටයුතු කලා. චිත්‍රපටවල රඟ පාන කාලයේ ඇගේ නම අයේෂා වීරකෝන්…

      • @ සෙන්නා……..පූජිත මෙන්ඩිස් සිනමාවට නැතුවම බැරි කෙනෙක් වුනා ඔහුගේ අසාමාන්‍ය පෙනුම නිසා. විශාල ඇස් දෙකත්, තට්ටයත් යම්කිසි බියකරු පෙනුමක් එක්කලා. මොහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් බව අසා තීයෙනවා. එදා බොහොමයක් කලාකරුවන් තමන්ගේ අනාගතය ගැන නොසිතා මධුවිත සහ මිත්‍ර සමාගමටම මුල් තැන දී ජීවත්වීම නිසා තම වෘත්තීය ජීවිතයෙන් පසු නොයෙක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පූජිත මෙන්ඩිස් සිහිමද ස්වරූපයක් පෙන්නුවා පසුකාලීනව. රත්මලාන, මොරටුව පැතිවල ඉබාගාතේ ඇවිදිමින් සිටියා. පාර අයින්වල නිදාගත්තා. මම ඇස් දෙකට දැකපු දේවල්. මමත් කෑම බීම අරන් දී තිබෙනවා. අවිවාහකව ජීවත්වූ මොහු අන්ත අසරණ ලෙස පසු කාලයකදී මිය ගියා. බොහොම අහිංසක මිනිහෙක් බව බොහෝ අය කියනවා. ලෙස්ටර්ගේ මඩොල්දූවේත් රඟපෑවා.

        එදා කලාකරුවන්ට වඩා අද අය අනාගත සුරක්ෂිත බාවය වැදගත් කියා හඳුණාගෙන තියෙනවා. සමහරුන් නම් ඉදිරි පරම්පරා හතක් අටක් ගැනත් හිතලා වැඩ කරන බවත් පේනවා.

      • @ රවී….. හරියටම හරි.උඹේ මතක ගබඩාව බ්ලොග් ලෝකයට ආශිර්වාදයක්!!!

        ඇය නාත්තන්ඩිය පැත්තේ මගේ හිතේ.

      • අදයි දැක්කේ….

        http://www.films.lk/ArtistDetails.php?id=2287

        දුකකුත් හිතුනා… තව අදහස් තියෙනවා.. පස්සේ කියන්නම්…

        මේ කියන කාලේ මම නම්…. ….. කලින් ආත්මේ බුලත් කොට කොට ඉන්න ඇති…. හි හි හි

      • @උපේක්ෂා…….බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහ ලින්ක් එකට. පූජිත මෙන්ඩිස්ගේ වගෙම හැඩරුව ඇති කෙනෙක් රඟපානවා මේ දවස්වල “ගිනිකෙලි සහ ගිනිඅවි” ටෙලි නාට්‍යයේ. පස්සේ කියන්න තියා ගත්ත අදහස මොකක්ද?

        උපේක්ෂා මට වඩා බොහෝම ළාබාල කෙනෙක් වෙන්න ඇති නේද?

  24. කෙප්ප කෙලින්නෙ මක්කටද ගොඩක් දේ දැන ගත්ත. ඒත් මං නං ඉදල හිටල පරණ එකක් බැලුවොත් විනා සිංහල ඒවා නං බලන්නේ නැල ඒ අකමැති නිසා නොව බලන්නට දෙයක් නැති නිසාය

    • හලෝ මහේෂ්……..සිංහල චිත්‍රපට බලන් එක අතහැරලාම දාන්න එපා. පව්නේ. ඉඳහිට හොඳ චිත්‍රපට එනවා. නරක නැහැ. බඹර වලල්ල කියලා එකක් කලකට පෙර ආවා. නෙට් එකේ තියෙනවා. ඒක බලන්න . මහේෂ්ට වෙනසක් තේරෙයි. ස්තූතියි ඇවිත් කියවනවාට.

  25. කියෙවවා …අනුලා කරුණාතිලක ඉස්සර හරිම ලස්සනයි නේද…අරූත් ඒ කාලේ ලාසන කොල්ලෙක් වනන්ට ඇතැයි සිතමි.

    • පවුලිසෝ………අනුලා හරිම ලස්සනයි..ඒ වගේම අහිංසක පාටයි..දක්ෂ නිලියක්.

      ලඟදිනම් දැක්කේ චොගම් ඇඩ් එකක.

      මමත් ඉතින් හෙන හැන්ඩියා තමයි. තාමත් හැන්ඩියා.කොන්ඩේ විතරයි සුදු. සුද්දියෝ කියන්නේ George Clooney වගේ කියලා. 😀

      මගේ අතීත ෆොටෝ සැමරුමක් තියෙනවා 1960 ගනන්වල ඉඳලා. වෙලාවක කිහිපයක් දාන්නම්. ස්කෑන් බෑන් දන්නේ නැහැනේ.

  26. හැලපෙගෙ අම්මගේ මළ ගෙදරදි මම හැලපයට කිව්වා මේ තමයි අපේ යුගයේ යුගාන්තය කියලා, ඌත් ඒක අනුමත කලා. ආයේ වචන දෙකක් නෑ. උඹ නම් අපේ කාලයේ අග්‍රගන්‍යම ලේඛකයෙක්. සමහර උන්ට නම් වතුර ලේබකයෙක් වෙන්න පුළුවන්. මට නම් උඹ නම්බර් වන්..

    මාර මෙමරි චිප් එකක්නේ බන් උඹට තියෙන්නේ.. ගිගා බයිට් කීයද බන් ඕක..

    අභිමාන් ඇම්පයර් එකේ අවුරුද්දක්ද, අවුරුදු එකහ මාරක්ද කොහෙද දිව්වා..

    • මාතා…….හැලපගේ වැඩ කටයුතුවලට කස්ටිය සහභාගි වුන බව මම සමහර බ්ලොග් කමෙන්ට්ස් වලින් දැක්කා.

      මචං මෙමරි චිප් එක අවුල් වන්නට පෙර තමයි මතක ටික ලියලා දාන්නේ. එම්පයර් හෝල් එක මගේ එක්තරා නැවතුම් පොළක් තරුණ කාලේ.

      ඔය හින්දි ෆිල්ම්ස් වල පූර්ව ප්‍රචාරක කටයුතුවලට හඬ දුන්නේ සහ නිර්මාණය කරේ බන්ඩාර කේ විජේතුංගයන්. “ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි ..ඔවුන් දෙදෙන වෙන් කලේද සංගීතයයි” මතක ඇතිනේ. අති දක්ෂයෙක් .අධික මධුවිතත් ඔහු අපෙන් වෙන් වෙන්නට දායක වුනා. මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා.

      චිත්‍රපට දැන්වීම් සඳහා කටහඬ භාවිතය පසු කාලයකදී තිස්ස අබේසේකර අපූරුවට කරා.

      අභිමාන් සහ ගීත් අවුරුද්දකට වඩා පෙන්නුවා ෂුවර් එකටම.

  27. Anonymous says:

    අරූ……………‍‍මේ කාල‍යේ අපි ඉපදිලාවත් නැහැ.‍බො‍හෝ ‍දේ අපි ඔබ‍ගෙන් ඉගනගන්න‍වා…හරිම ආසා‍වෙන් කිය‍වන ලිපි ‍පෙළක්

    • ඇනෝ…..ඉපදෙන්න ඕන කාලවල ඒ වැඩේ කර නොගත්තට අපිට කරන්න දෙයක් නැහැ.:D ඉපදිලා ඉන්න කාලය එහෙම සොඳුරු කරගන්න තමයි කල්පනා කරන්න ඕන

  28. සිරා says:

    බොහොම රහයි….සෑහෙන්න පරක්කු වෙලා මමත් ඔලුව දැම්මා…සිනමා වංශකථාව ගැන යම් හෙළිදරව්වක් මේ ලිපියේ තියෙනවා….70 දශකය තමයි සිනමාවේ ස්වර්ණමය යුගය….මම බලපු පළමු චිත්‍රපටිය මමයි රජා…මට හොදට මතකයි එහි සමහර දර්ශන තවමත්…

    තුත්තිරි ගලවන සීන් එකත් නරකම නෑ ජාති වැඩේ….දැන් කඩවලින් පොලිසියට දෙන්නෙ කලින් මිනිස්සු කාලා ඉතිරි කරපු කොත්තු එකතු කරලා…මොකද සල්ලි ගෙවන එකක්යැ…

  29. මමයි රජා යාන්තම් මතකයි. මම ඒ දවස්වල ලංකාවේ. 89 කලබල කාලේ. විජය නේද කොල්ලා. මම බලලා නැහැ. මම ගංගොඩවිලෙන් ගියාට පස්සේ ආපහු ෆිල්ම්ස් බැලුවේ යමක් කමක් වැටහෙන කාලේ.

    මිනිස්සු පීඩනයට විරුද්ධව කරන තවත් ප්‍රතිචාරයක් තමයි ඔය කොත්තු කතාව. එහෙම කරන්න වෙන සයිස් එකටම මිනිස්සුට වාතයක් වෙලා.

  30. sudeeka says:

    මම මුලින්ම සමාව ඉල්ලනවා මේ පොස්ට් එක අද කියවන්නට සිදු වීම ගැන. මම රත්නසිරි(කරූ) ගැන පොස්ට් එකක් ලියන්න කලින්, පොඩි සර්ච් පාරක් දාල බැලුවා. අයියෝ ! මේ තියෙන්නේ බඩු. කරුවා රස කතා ගබඩාවක්.. ඒ ගැන මතකය අවධි කරන්න මා මේ දිනවල ඔහුගේ ඡායාරුපයක් සොයමින් ඉන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s