අවුල් වන්නට පෙර..(28) වාළුකාරාමය

මගේ සංගීත සංදර්ශන නැරඹීමත්, වාද බයිලා, පික්චර් පිස්සුවටත් තිත වැටුණේ මේ අවදියේය. මේ සියල්ල නිමාවිය යුතු බවත්, මට දෙල්කඳ ලොකු අම්මා සහ ආච්වී සමඟ නැවතී සිටීමට තවත් අවසර නැති බවත් තීරණය වී අවසන්ය. ආච්චී මා ගැන දුක් වන බව සීතූවත් එය එසේ නොවීය. මම ආදරය ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව තුළින්ය. එය නම් ගොන් පාට් එකක් බව අදටත් හිතමි. මේ 1977 කාලය යැයි හොඳින්ම මතක ඇත්තේ ඒ මහා මැතිවරණයේ ප්‍රතිඵල ඇසීමට වූයේ මගේ අලුත් නවාතැන් සිටි කාලයේ බැවින් විය යුතුය. අනිත් කාරණය නම් මම උසස් පෙළ පන්තියටද ඇතුළු වූයේ එම වසරදේදීමය. නොයෙකුත් දුෂ්කරතා මැද අප පවුලේ උදවිය මේ වන විටත් පදිංචිව සිටියේ පහත්ගම ඊරියගොල්ලේ කඩ කාමරයක් බඳු කුඩා නිවසයකය. ආර්ථික ප්‍රශ්න ඉහවහා ගොස් ඇති බැව් පෙනුණේ බොහෝ කාලයකට පසු මට ගෙදර යන්නට ලැබුණ බැවින්ය. මා යහළුවන් සහ ගත කල කාල පරිච්ඡේදය තුළ මේ සියල්ලක්ම මට අමතවක ගොස් සැටිය. මට කල හැකි දෙයක්ද නොතිබුණි. 1977 මැතිවරණ පෙරළියත්, මගේ උසස් පෙළ පන්තියත්, පවුලේ තත්වයත් පසුව ලියන්නට තබා මගේ අලුත්ම නවාතැන් පොළ ගැන ලියා තබන්නෙමි.

1973- 1977 කාලය අතරතුර මේ මගේ හත්වැනි නවාතැන් පොළයි. මෙය මහා අපූරු අත්දැකීමකි. කොළඹ නගරයේ පිහිටි පැරණිතම විහාරාස්ථානයක් වන කොල්ලුපිටියේ වාලුකාරාම පන්සල මගේ මේ නවාතැනයි. මෙහි විහාරාධිපති වූයේ නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවන්ය. පිළියන්දල නිවන්තිඩියේ පදිංචිව සිටි ජිනදාස අන්කල් නම්වූ තාත්තාගේ කාර්ය්‍යාල සගයාගේ හිතවතෙක්වූ නායක හාමුදුරුවෝ නිසා මෙතැන නවාතැන් ගැනීමට ලැබිණි. ඒ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට දුර බැහැරින් පැමිණි භික්ෂූන් වහන්සේලා නවාතැන් ගත්තේ මේ විහාරස්ථානයේය. දහ පහළිස් දෙනෙක් පමණ භික්ෂූන්ද, විශ්ව විද්‍යාලයීය සිසුන් හතර පස් දෙනෙක්ද, පන්සලේ වැඩ කිරීමට තවත් හය හත් දෙනෙක්ද, රාත්‍රී කාලයේ බණ මඩුවේ නිදා ගැනීමට තවත් අසරණයෝද බොහෝ වූහ. මේ වට පිටාව මට අළුත් අත් දැකීම රාශීයක් ජීවිතයට එකතු කරදෙන ස්ථානයක් බවට පත්විය.

කොල්ලුපිටිය වාළුකාරාමය පිහිටා ඇත්තේ ගාලු පාරෙන් පටන් ගන්නා වාලුකාරාම පාරේ කෙළවරේමය. මෙය විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. වාලුකාරාම පාරෙන් පන්සලට ඇතුළුවූවිට එහි අනෙකුත් මායිම් තුන වූයේද , ලංකාවේ ඉතා ප්‍රසිද්ධ මායිම් බිම් කඩ කිහිපයක්ය. එක මායිමක් වූයේ කොල්ලුපිටියේ මහානාම විදුහලේ දිගු තාප්පයයි. එම විදුහලේ උන්නතිය වෙනුවෙන් ආනන්ද නායක ස්වාමීන් වහන්සේත්, වාළුකාරාමය දායක සභාවත් මහත්සේ ඉවහල්වී ඇතැයි මම අසා ඇත්තෙමි. මහානාම විදුහලේ ආරම්භයේදි පන්ති පවත්වා ඇත්තේ වාලුකාරාම බණ මඩුවේ යැයි මම අසා ඇත්තෙමි. මා එහි නැවතීමට යන අවධීයෙත් මහානාමය කුඩා පාසැලකි. ක්‍රීඩංගනයක් නොවීය. පංති කාමර පේළි කිහිපයකට පමණක් සීමා විය. පන්සල් භූමියේ වම් පසින් මායිම් වූයේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ ධනවත් නිවැසියන්ගේ ඉඩම් පිටුපස තාප්පයන්ය. පන්සලේ පිටුපස මායිම විවෘතව තිබුණි. ගේට්ටු තාප්ප කිසිවක් නොතිබුණි. එහි පෙනෙන මායිම කොළඹ කාන්තා විදුහලේ පිටුපස තාප්පයට නුදුරින්ම විය. පස්වැනි පටුමගින් , කොල්ලුපිටිය, ෆ්ලවර් රෝඩ් දෙසට ඇවිදගෙන යාමට කොන්ක්‍රීට් අතුරු පාරක් විය. මෙහි වාහන පැදවීමක් නොතීබු අතර , මහානාම විදුහලේ ඉතා කුඩා පිටුපස ගේට්ටුව පමණක් එතැනට විවෘත විය. ගලා යන කුඩා වතුර ප්‍රවාහයකින් රෙදි සෝදා වේලා දීමේ අහිංසක වැඩ පිළිවෙළක් ද්‍රවිඩ ජාතික යුවලක් පවත්වා ගෙන ගිය බව මතකය. තවත් බෝතල් පත්තර එකතු කරමින්, පන්සල් භූමියේම රැකවරණ ලැබු ද්‍රවිඩ මිනිසුන්ද වූහ. ගාලු පාරටත්, රාජකීය විදුහලටත් මැදිවන මානයේ වාළුකාරාමය පිහිටා තිබුණේ යැයි කීවොත් යම් තාක් දුරට නිවැරදිය.

නිවන්තිඩියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතා තදින්ම ශ්‍රිලනිප දේශපාලනයේ යෙදුණු අයෙක් බව කවුරුත් දනී. 1956 සමාජ වෙනස්වීම් වෙනුවෙන් නිවන්තිඩියේ ආනන්ද හිමියන් විශාල මෙහෙවරක් කර ඇති බව ශ්‍රීලනිප ඉතිහාස පොත් තිබේ නම් සාක්කි ඉතිරිව තිබිය යුතුව ඇත. වාළුකාරාමය ඒ අරගලයේ තෝතැන්නක් බවද මම අසා ඇත්තෙමි. කොල්ලුපිටිය හන්දියට ආසන්නව තිබූ පොල්වත්ත පන්සල ඩඩ්ලිලාගේ, ජේ ආර්ලගේ පන්සල් බවද මම අසා ඇත්තෙමි. පසු කාලවලදී එය දෑසින්ද දුටුවෙමි. නිවන්තිඩියේ හිමි බංඩාරනායකගේ ඉතා හිතෛෂී පුද්ගලයෙක් බව පන්සලේ තිබූ පුරාණ ලියකියවිලි , ඡායාරූප දුටුවිට මට සිතා ගත හැකිවිය.

බණ්ඩාරනායක ඝාතන සිද්ධිය හා බැඳුණු නඩුවේ පැමිණිලි පාර්ශවයේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්වී ඇත්තේ නායක හාමුදුරුවන්ය. ඒ අවස්ථාවේ ඔහු බණ්ඩාරනායක අගමැති හා සමග සිටිබව එදා මා දුටු වාර්තාවල ලියවී තිබුණි. ඒ හා බැඳුණු අනිකුත් කාරණා ගැන කීමට මට එතරම් දැනීමක් නැත. මෙහිමියන්ට එම සිදුවීමෙන් පසුවත් මරණ තර්ජන තිබූ බවට හොඳම නිදසුන වූයේ 1977 යුගයේත් ඔහුගේ නිදන කාමරයේ ජෙනෙල් වට කර තිබූ යකඩ දැල් අවාරණයන් යැයි පැහැදිලිය. ආනන්ද හාමුදුරුවන් යකෙකුටවත් බිය නොවූ, ඉතාමත් දැඩි ,ස්ථාවර පෞරුෂත්වයකින් හෙබි , කට හඬින් පවා කෙනෙකුට නොදෙවෙනිවූ, කඩවසම් දේහධාරියෙක් විය. කටවාචාල වදන් හෝ පුහු ගෝරනාඩු ඒ ශබ්දකෝෂයේ නොවීය. එක් බැල්මකින් හෝ යම් වචන පේලියකින් මදාවියෙක්. දාමරිකයෙක් හෝ බල පුළුවන්කාර ධන කුවේරයෙක් මෙල්ල කිරීමේ හැකියාව ඔහු සතු විය. එහිමියන් සතුව තිබු සැබෑ නායකත්ව ලක්ෂණයන්ය. නාගරික විහාරස්ථානයක් මැනවින් පාලනය කරගෙන යෑමට නම් යම් කිසි හෝ ගිහි ගති පැවතුම්ද ආරුඪ කර ගත විය යුතුවේ. ඒවා මෝඩ චණ්ඩිකම් නොවන බව මම පසුව පහදා දෙන්නෙමි. මෝඩ චණ්ඩි පිස්තෝල පොඩි සාධුලා බොහෝය. ඒ සෙල්ලම් පටන් ගත් තැන ගැනත් බය නැතිව මට පසුව විස්තර කල හැක. මට මේ හා කිව හැකි කාරණා බොහෝමයකි.

මම “අවුල් වන්නට පෙර…දේශපාලනික සටහනක් නොවේ” යැයි ලියූ පෙරවදනේ සටහන් කෙරූ පුද්ගල නාමයන් තුල මෙතුමා එක් චරිතයකි. ඒ ලියා තිබු අය අතරින් අද ජීවතුන් අතර ඇත්තේ චාල්ස් කුමාරයා පමණි. මගේ ජීවිත ගමන ගලායන මේ කතාවේ නිවන්තිඩියේ ආනන්ද නම්වූ මහා පුරුෂයා ගැන ලිවිය යුතු දේ බොහෝය. මෙතුමන් මහා ගැඹුරින් ශාස්ත්‍ර හැදෑරු මහා පන්ඩිතයෙක් නොවීය. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේටත් වඩා ඉහලින් දෙසුම් පැවැත්වූයේත් නැත. සිවුරු වෙනුවට සිල්ක් සාරි පැලඳුවේත් නැත. තුනුරුවන් සරනයි කියා හාදු දුන්නේත් නැත. විය යුතු දේ සිදුවිය. නිවන් දකින්නට පාරමි පිරුවේ නැති බව අවට දායකින්ද මැනවින් වටහා ගෙන සිටි බව නම් ඉතා පැහැදිලිය. මෙය පොන්න උපාසක උපාසකාවියන් පෝයට සිල් ගන්නා ෆැන්සි පන්සලක් නොවීය. මා හා උරන වීමට වඩා සිදුවිය යුත්තේ ඔබේ ගැහෙන හදවත හා චූටි තට්ටුවක් දමා ඔබ කවුද යන්න සිතා බැලීම පමණි.

මා ඉහළ ලියා තැබු ලෙසම ,ආනන්ද වූ නම් එතොමෝ ප්‍රායෝගික මිනිසෙක් විය. ශාස්ත්‍රීය ඉගෙනුමක් නොලැබුවා වුණත් ඔහු අනිකුත් ආගමික සංකල්පයන් පිළිබඳව සංයමයෙන් හා විචක්ෂණශීලීව සමාජ අධ්‍යයනයක් ලැබුවේක් යැයි මට හිතෙන්නේ ,එවන් බෞද්ධ විහාරස්ථානයක් පවත්වා ගෙන යාම සඳහා අවට සිටී , අන්‍යාගමිකයින් (කොල්ලුපිටිය ගල් පල්ලිය ,මුස්ලිම් දේවස්ථානය, හින්දු භක්තිකයන් )මෙන්ම , ඒ අවට විසූ පහළම ආදායම් ලාභීයාගෙ සිට මහ එකා පවා ගෙන්වා ගැනීමට තිබු ප්‍රායෝගිකත්වයයි.

පන්සල් භූමිය නම් හැමදාමත් ඉතා පිරිසිඳු , මහා දැකුම්කළු භූමියක් විය. ඒ සඳහා දායක වූවෝ බොහෝය. ඒ ගැන මම පසුව ලියමි. බෝධිය, බණ මඩුව. ඝාන්ඨාර කුළුන, බුදුගෙය මේවා අති විශිෂ්ඨ ලෙස පවත්වා ගෙන ගියමුත් පන්සලට චෛත්‍යයක් නොවීය. හැබැයි මහා විශාල දේවාලයක් නම් විය. මේ අඩුපාඩුව ආනන්ද හාමුදුරුවන් ඒ ගැන කතා කලේ නේවාසික භික්ෂූන් සමග මිස පන්සලේ ගැවසෙන මුදලාලිලා සමග නොවේ. ඔහු තුල සැඟවුනු වානිජ අරමුණු නොතිබුනා නොවේ. මම ඔහු බුදුන් කල සිටි ආනන්දයන් කියනවාද නොවේ. ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කල එක් සංඝයා වහන්සේ කෙනෙක් පමනක් බව කීම වටී.

එදාත් වාළුකාරාමය බොහෝමයක් පහසුකම් තිබූ විහාරස්ථානයකි. මූල්‍යමය වශයෙන් උදව් කිරීමට බොහෝ දායක කාරකාදීන් සැදි පැහැදී සිටියත් ,ආනන්ද නම්වූ ඒ හිමියන් ඒ පසුපස හඹා ගිය පුඟුලෙක් නොවීය. වාලුකාරාම පාරේ පිහිටි කුඩා නිවෙස් හිමියන් සහ ඒ අවට ජීවත්වූ කොල්ලුපිටිය මධ්‍යම පාන්තිකයෝ ගැන මොහු විශ්වාසය තැබීය. මා මේ ලියන්නේ උඹ අපවන් ගිහියෙක් ගැන නම් මට මෙය වඩා විසිතුරු බසකින් මෙවලම් කල හැක. ලියන්නට වෙලා තිබෙන්නේ හිමි නමක් ගැනය. මට පරිස්සම් වෙන්න වෙන්නේ ඇත්තෙන් නොව වචන වලින්ය. මම ලියන්නේ බුදුන් ගැන නොවන නිසා නුඹලා මා හා සමග උරණ නොවිය යුතුය. අපි තව දුරටත් වාළුකාරමයත් ආනන්ද නායක හාමුදුරුවෝ ගැනත් අපි පසුව කතා කරමු.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

100 Responses to අවුල් වන්නට පෙර..(28) වාළුකාරාමය

  1. Omaya de Silva says:

    අයියේ ඔයාගේ කතා ටික කියෝගෙන එද්දී මට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා, ,ඔයා ලියන විදිය මට දැනෙන්නේ ඔෂින් කතාව වගේ,,ඔයාගේ අත්දැකීමත් එක්ක සමාජ පසුබිම ලියවෙන නිසා ,,නියමයි 

    • අනේ මන්දා ඔමා. ඔහේ ලියාගෙන යනවා. සමාජ පසුබිම ලියලා තියන්න ගොඩාක් උත්සාහ කරනවා. කාට හරි ප්‍රයෝජනයක් වේ යැයි හිතන නිසා. තව ඉස්සරහට ලියන්න නම් ගොඩාක් දේ තියෙනවා.

  2. jp says:

    අරූ, අද කතාවේ නම් කී දේට වඩා නොකීදේ වැඩිද, නැතිනම් නොකියා කී දේ වැඩිද මන්දා

    • ඔන්න බලපන් මගේ ලියවිල්ලේ තියෙන කැත. මට මං ගැන දුක හිතුනා . ලියන්නන් වාලේ ලියලා වැඩක් නැහැ. දාහක් වැඩ අස්සේ ලියන ගොන් චූන් මටත් වැඩක් නැහැ..කියවන කාටවත් වැඩක් නැහැ, නිවිසැනසිල්ලේ මේ කොටස ආපහු ලියන්නම්. මෙ කතාව මීට වඩා රසවත්ව මට ලිවිය හැකි බව මම තේරුම් ගත යුතුයි. ආපහු කියවන කොට මට හිතුනේ අකුරු ගොඩාක් විතරයි කියලා.

      • එහෙම තේරුම් ගත්තා නම් අවුලක් නෑ… කළබල වෙන්නේ නැතිව හෙමීට ලියපන්.. දැන්ම මෙමරි අවුට් යන එකක් නෑ.. මෙතන වත්මන් ගැන තිබෙන හිත් වේදනාව පමණයි ඉස්මතු වෙලා තියෙන්නේ.. පොඩි සාධු ගැන විග්‍රහයට මම එකඟ නෑ.. එදා උඹේ හාමුදුරුවෝ වගේ තමයි වත්මන් යුගයට ගැලපෙන ලෙස පොඩි සාධු ඉන්නේ.. ජනාධිපතිටත් සෙම් ටෝන් එකෙන් දෙන එකම එකයි මම දැකලා තියෙන්නේ.. ඒ පොඩි සාධු..

      • මාතා….මෙමරි විහින් අවුට් කරගත්ත වෙලාවක තමයි ලිව්වේ. මේ අවට සහ පන්සල ගැන ලියන්න බොහෝදේ තියෙනවා. ඔය සාධුයි ආනන්ද හාමුදුරුවොයි හොඳ මිත්‍රයෝ. සජිත්ට,රනිල්ට නම් ඔය සාධු හාමු හාමු කියලාතමයි කතාකරන්නේ. ජනාධිපතිටත් එහෙමද දන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ නම් හැමෝටම කිව්වේ මහත්තයා කියලා. නැත්නම් නමින්.

  3. වාළුකාරාමයට මේ ළඟදි මම ගියා. දැන් ඉතින් බොරු කියන්න ඕනෙ නෑ නේ. මම හිතුවේ ඒක බුදු හාමුදුරුවන්ගෙ කාලේ පන්සලක් කියලා. මගෙ ඩ්‍රයිවගෙන් ඇහුවමත් ඔව් කීව හින්දා මම ඒ පන්සල බලන්න ගියේ. මම හිතාගෙන හිටියේ ඔය වගේ පරණ නම් තියෙන්නෙ බුදුන් ජීවත් වෙච්ච කාලේ පන්සල් වල විතරයි කියලානේ. මගේ යාළුවෝ මට තාමත් හිනාවෙනවා ඔය පන්සලේ කතාව කියලා. හයියෝ හයියෝ මෝඩ බුරු බබා…!
    ඉස්සර කොයිම හාමුදුරුවෝ ගැන වුනත් මේ වගේ කතා තියෙනවා නේද? අපේ නායක හාමුදුරුවෝ මට මතක කාලේ අරක්කු බීවා. රට රට වල ගියා. ව්‍යාපාර කලා.ඩ්‍රයිව් කලා. ලස්සන ලස්සන වාහන මාරු කලා නිතර. (මැණික් බිස්නස් වගේ) අනික අපේ පන්සල ලොකු නින්දගමක් අයිති එකක්. ඒ වුනත් අපේ නායක හාමුදුරුවෝ නරකයි කියන්න නම් බෑ. දුප්පත් මිනිසුන්ට හෙම ගොඩාක් උදව් කලා. පන්සලට මිනිස්සු දානේ ගේනකම් බලාගෙන හිටියෙත් නෑ. දේශපාලනෙත් කලා. ඒත් දැන් ඉන්න තග් ලා වගේ නෙමෙයි. ඒ දේශපාලනයෙන් ගමට සේවයක් වුනා. ඒ මිනිස්සු නිර්ව්‍යාජ මිනිස්සු.

    • රංගි…..ඉස්සරත් ලොකු හාමුදුරුවරු සමහරක් අරක්කු බිව්වා, බිස්නස් කරා. අනිකුත් බොහොමයක් දේ කරා. මේ හාමුදුරුවෝ බිව්වේ නම් නැහැ. දුම් පානය කරා. දඹදිව වන්දනා සංවිධානය කරා. ඒ දවස්වල ඒ වැඩේට බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා මුදල් තිබුනා. කාර් එකක් තිබුනා. දායකයින්ගෙන්ම යැපුනේ නැහැ. පන්සලට කෝකියෙකුත් හිටිය. හැමදාම 15-20 කන්න හිටියා. හැබැයි හැම දෙයක්ම පිලිවෙලට නඩත්තු වුනා.

      • තිසර says:

        @බූ.බා., බුදුන්ගේ කාලයේ ලංකාවේ පන්සල් තියෙන්න විදිහක් නෑ. බුදුන් පිරිනිවන්පාලා සියවසකට පස්සෙ වගේ තමයි අශෝක අධිරාජ්‍යයා මිහිඳු හාමුදුරුවන් ලංකාවට එව්වෙ. ඒත් අනුරාධපුරයට. කොළඹ පන්සලක් ඇතිවෙන්න ඇත්තේ ඊටත් අවුරුදු 1500 වගේ පස්සේ.

      • ඒක කිව්වේ මගේ යාළුවෝ. ඒත් එක පාරට අර පරණ නම් දැක්කම මට හිතුනේ එහෙමනේ. අනික අවුරුදු 2500ක ඉතිහාසයක් කතාකරනකොට එක පාරට නොදන්න කෙනෙක් හිතන්නේත් ඔය මම වගෙ වෙන්නැති.

  4. ඔය කියන පන්සලේ අපේ බාප්පා වෙන හාමුදුරු නමක් ඔය කාලේ වගේ නතර වී සිටියා, කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ඉගෙන ගන්නා කාලයේ.

    මහානාමේ ලොකු කරන්න අවට ගෙවල් ගත්තා නේද?

    • කකා…..ඒ හාමුදුරුවන්ගේ නම මතකද? බොහොමයක් අය කැම්පස් එකෙන් පස්සේ සිවුරු හැරලාම තමයි වාළුකාරාමෙන් ගියේ. ලොකු හාමුදුරුවන්ගේ ගෝලයෝ තුන් දෙනෙක් හිටියා. ඒ තුන්දෙනාම සිවුරු හැරියා. ඔවුන් දැන් සමාජයේ ප්‍රසිද්ධ අය. මට හිටපු බොහෝ අය නමින් මතකයි.

      මහානාමය අසලම තිබුනු ගෙවල් කැඩුවා පස්සේ කාලේ ඉස්කෝලෙට ගන්න. ගෙවල් 6-7ක් තිබුනා එකම වගේ. ඒ හැම එකක්ම රජයේ උසස් නිලදාරින්ට නිල නිවාස හැටියට දීලා තිබුනු ඒවා.

      • kathandarakaraya says:

        පෝරුවදණ්ඩේ සුමන හාමුදුරුවෝ. රාජකීය පණඩිත. දැන් වරකාගොඩ පිරිවෙණේ අධිපති.

      • මම හොඳට දන්නවා. එදා වාලුකාරාමයේ සිටි හාමුදුරුවරුන්ගෙන් සිවුරු හැර නොගිය අතලොස්සක් දෙනාගෙන් එක්කෙනෙක්. ඒ අය ගැන මම පසුව ලියන්නම්. සුමන හාමුදුරුවෝ ආචාර්ය උපාධියක් සමත් බවත් යාන්තමට මතකයි. නැගෙනහිර පලාතේ සේවය කරන කාලයේ දිවයින පුවත් පතට විටින් විට ලිපි ලිව්වා. පිරිවෙණේ අධිපති වුනේ දඹර රේවත නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ. දඹර නායක හිමියන්ගේ ගෝලයෙක් මෙහේ පලාතේ විහාරාධිපති කෙනෙක්ව සිට පසුව සිවුරු හැර විවාහ වුනා කාලයකට පෙර. ඒ හැඳුණුම්කම මත සුමන හාමුදුරුවන් හා දුර කථනයෙන් කතා කරා බොහෝ කාලයකට පෙර. දැන් න කිසිම සම්බන්ධයක් නැහැ.

  5. Padhmakumara says:

    එතකොට මහානාමෙ කනිෂ්ඨ විදුහලක්. 8 වසරට විතරයි පන්ති තිබුනෙ ඒත් A & B විතරයි.ඒ හාමුදුරුවො නම් හරියට ඉස්කෝලෙට උදව් කලා.කතන්දර හරි මොකද ඉස්සර මහානාමෙ තිබුනෙ ඩීල් ප්ලේස් එකේ ඇතුලෙ දැන් වගෙ ඩුප්ලිකේශන් පාර අයිනටම තිබුනෙ නෑ එකම එක තට්‍ටු දෙකේ බිල්ඩිමයි .ඩීල් ප්ලේස් එකේ දිගටම තිබුනෙ ආන්ඩුවෙ ක්වාටස්.ඒවා ටික ටික ඉස්කෝලෙට ගත්තා.අපි රෝයල් එක පැත්තෙන් බස් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙට යන්නෙ ඔය කියන කොන්ක්‍රීට් පාරෙන් ගිහින් පන්සල් වැටේ තිබුන පුංචි ගේට්‍ටුවෙන්.

    • හරියට හරි. මම කකාට දීපු උත්තරය මෙතන තියෙනවා. පත්මේට පොඩි ගේට්ටුව ගාව පන්සල් ඉඩමේ තිබුනු කඩේ නානා මතකද. මාර පොරක් තමයි. ඒ ගැන පස්සේ ලියන්නම්. රෝයල් බස් හෝල්ට් එක (උපාලි විජේවර්ධනගේ ගේ ගාව )බැහැලා මහනාමෙට ඇවිදින්න විනාඩි පහක්වත් යන්නේ නැහැ. මම කියන කාලේ සිල්වා කියලා ප්‍රින්සිපල් කෙනෙක් හිටියේ. මගේ මිතුරෙක්ගේ අම්මා ඉගෙන්නුවා ජයසිංහ මිස් කියලා. ගොඩගම ඉඳලා ආවේ.

  6. Padhmakumara says:

    මම මහානාමෙට ගිය කාලෙ ජීවිතේටම එක පාරක් සිල් ගත්තා ඔය වාලුකාරාමෙ 1972. එතකොට මහානාමෙ කනිෂ්ඨ විදුහලක්. 8 වසරට විතරයි පන්ති තිබුනෙ ඒත් A & B විතරයි.ඒ හාමුදුරුවො නම් හරියට ඉස්කෝලෙට උදව් කලා.කතන්දර හරි මොකද ඉස්සර මහානාමෙ තිබුනෙ ඩීල් ප්ලේස් එකේ ඇතුලෙ දැන් වගෙ ඩුප්ලිකේශන් පාර අයිනටම තිබුනෙ නෑ එකම එක තට්‍ටු දෙකේ බිල්ඩිමයි .ඩීල් ප්ලේස් එකේ දිගටම තිබුනෙ ආන්ඩුවෙ ක්වාටස්.ඒවා ටික ටික ඉස්කෝලෙට ගත්තා.අපි රෝයල් එක පැත්තෙන් බස් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙට යන්නෙ ඔය කියන කොන්ක්‍රීට් පාරෙන් ගිහින් පන්සල් වැටේ තිබුන පුංචි ගේට්‍ටුවෙන්.

  7. Mayya says:

    දරමිටිපොල රතනසාර හාමුදුරුවො කියන්නේ අපේ පැත්තේ හිට්පු හාමුදුරු කෙනෙක්…ඒතුමත් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ බල කණුවක්.. කවදාවත් කකුල් වලට සෙරෙප්පු දාලා නැතුව ඇති…. හොද වැඩ කාරයේක්…සංවිධායකයෙක්……හැබැයි දරුණුවටම සිගරට් වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක්….මට මතකයි වෙලාවක අපි දානේ අරං ගිය වෙලාවක, පැන් වඩන්න ආවේ නහයේන් කටේන් දුම පිඹ පිඹ…..අමමලට නම් එදා පුදුම ශ්‍රද්ධාඅක් තමයි ඇති උනේ..)

    • නිකං ගිනි මකරෙක් වගේ පේන්න ඇති…

    • kathandarakaraya says:

      මයියා ගම්පහ වගේ.
      මාත් ඔය සාම විහාරෙට ගිහින් තියෙනවා. ඔය හාමුදුරුවෝ උඩකැන්දවල සිරි සරණංකර කියන කොමියුනිස්ට් ප්ක්ෂ බලකණුවගේ ගෝලයෙක්.
      ඊලඟට ඔතන නායක වුනු සාදුව මැරුවා නේද? මිනීමරුවා අල්ලාගත්තාද?

    • @ මයියා…..රතනසාර හාමුදුරුවන්ට නඩුවකුත් වැටුනා මගේ හිතේ 1977 ඡන්ද ප්‍රචාරක වැඩවලට හාල්පොතට හා සමානව පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදා හැරියා කියලා. හොඳ සංවිධායකයෙක් බව අහලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ හිතවතෙක්. ශ්‍රීලනිපය වෙනුවෙන් බොහොම දරදිය ඇද්දා රතනසාර හාමුදුරුවෝ.

      බොහොමයක් අය සිගරට් බිව්වා. සමහරුන් ඩෝප් එකත් දැම්මා මයියා.

  8. අරූ අද නිකං කොලේ වහල ලියල වගේ.සමාජ දේශපාලන බලපෑම් එයි කියල බය උනාද?එක්කෝ පන්සලක් ගැන ලියන නිසා අනවශ්‍ය සංයමයක් බලෙන් ඇති කර ගන්න ගියාද දන්නේ නැහැ. 😀

    • අයාල්…….පොඩි පොඩි අවුල් ටිකක තියෙනවා. ලියාගෙන ආවා…පබ්ලිශ් කරා…ආපහු කියෙව්වා …වැඩේ අප්සට් කියලා හිතුනා …ඒත් එහෙමම තිබ්බා. යාළුවෙක් එනවා කියපු නිසා පොඩ්ඩ පොඩ්ඩ පිකප්වෙවී හිටියේ. සිත අයාලේ ගියා.

  9. දැන් වැඩ වාසය කරන ඇතම් හාමුදුරුවරුත් එක්ක බලත්දි මෙහෙම හාමුවුරුවරු ගැන පුදුමයි. මහා ලොකුවට පොත පතෙ අධ්‍යාපනය ලැබුවාට ප්‍රායෝගික දැනුමක් නැති ‘සාධු’ලා අතරෙ මෙවන් හිමිවරු සැබෑ හාමුදුරුවරුයි කියලා හිතෙනවා.

    අද අන්‍තිම ටික කියවත්දි නම් දැනෙනෙවා කියන්න තිබ්බ ගොඩක් දේවල් අරූ අයියා ගිල ගත්තාදෝ කියලා.

    • ප්‍රියා….මේ හාමුදුරුවෝනම් හරිම ප්‍රායෝගික පුද්ගලයෙක්. සල්ලිත් තිබුනා. ඒවායින් යම් යම් වැඩ කටයුතුත් කරා. වාළුකාරාම ඇසල මහා පෙරහැර 1963 ඉඳන්ලු පවත්වගෙන එන්නේ. දායක මංඩලය උදව් කරාට මෙයා තමයි බැහැලා මූලිකත්වය අරන් වැඩේ ඉන්නේ. හොඳින් නම් හොඳින්, නරකින් නම් නරකින්. චන්ඩිත් කොරවෙන අවස්තා මම දැකලා තියෙනවා. හතර ගාතෙන් ඇඳන් වැටෙන්න ගැහුවා එක පාරක් නැටුම් කංඩායමක ගෑණු ළමයෙකුගේ පස්ස මිරිකපු එකෙකුට.

      හිතලා මතලා ගිල්ලේ නැහැ. හැබැයි අවුලක් වෙලා තියෙනවා.

  10. ඒක එක දේවල් වහන්නේ හංගන්නේ නැතුව ලියන්න , මේක එක හුස්මට කියවාගන යන්න පුළුවං ලියවිල්ලක්

    • අටමෝ…..කාලේ බෝතලෙයි බාගේ බෝතලෙයි මාරුවෙලා සෙනසුරාදා දවල් වරුවේ. දැන් හරි.

  11. “මා හා උරන වීමට වඩා සිදුවිය යුත්තේ ඔබේ ගැහෙන හදවත හා චූටි තට්ටුවක් දමා ඔබ කවුද යන්න සිතා බැලීම පමණි” ඔය පන්සල් කතාවට මම එකඟයි, ලංකාවේ ගැහැණු නමක් තියෙන මැතිනියාරාමයකට මං ගියා ..ධර්මයකට ආලෝකයක් වෙන හාමුදුරු කෙනෙක් හම්බවෙන්න. මගේ වැඩකට නෙවෙයි . ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය වේදියෙක් එක්ක .එයාගේ වැඩකට . දුක්වෙනවද සතුටු වෙනවද කියලා මට හිතාගන්න බැරුව හිටියේ. ඒ බුද්ධ පුත්‍රයාට අන්දන්න මේකප් කරන්න වෙනම එකෙක් ඉන්නවා අර ඔයා කියල තියෙන ජාතියේ …
    සවුන්ඩ්ස් ගෙන්න ඕන තැන සහ ධර්ම දේශනාවකට අය කරන ගාන ගැන කිව්වම මට හිතුනා බණ කියන්නේ නැතුව ජිප්සීස් බෑන්ඩ් එක ගෙනියලා ගැහුවනම් හොඳයි කියලා

    • ඔව් බන් ආගම ධර්මයටත් මිළක් නියම කරලානේ දැන්. ඔය කියන කෙනා නම් මම දන්නවා. ෆැන්සි පන්සල් නිකායේ අයනේ. ඉස්සර කොටිකාවත්තේ සද්ධාතිස්ස, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ අය ධර්ම දේශණාවලට ප්‍රසිද්ධව හිටියා. මේ වගේ විකාර තිබුනේ නැහැ. ආරාධනා බහුල නිසා දින ගන්න බැරිවුනා කියලා අහලා තියෙනවා. දැන් බණ සින්දුවෙනුත් කියනවානේ.

      • කොටිකාවත්හේ සද්ධාතිස්ස හාමුදුරුවොන්ව මැරුව නේද අර චේගුවේරා කාරයෝ

      • @ පවුලිස්……ඔව්. මගේ වයිෆ්ගේ ගම කොලොන්නාව. ඒ රජමහා විහාරේ අධිපති වෙලා හිටියේ. දන්න දේවල් බොහෝමයක් තියෙනවා.ඉන් පසුව කොලොන්නාවේ ධම්මික හාමුදුරුවෝ අධිපති වුනා. වයිෆ්ගේ අයියාගේ සහ ඒ බජාර් එකේ අයගේ බොහොම ලඟ හිතවතෙක්. විස්තර ගොඩාක් තියෙනවා.

  12. අදටද ඩුප්ලිකේෂන් පාරේ ඇවිද යන්නේ නම් මේ කතාවේ මතකයන් අපටද මැවී පෙනෙනු ඇත. මහානාමය අද ලොකු පාසලකි. වාලුකාරාමය තාමත් පෙර සේම විරාජමානව වැඩ සිටී.

    • නලීන්…..පන්සලත් පාසලත් දෙකම ඔය තත්වයේ තියෙන්න ආනන්ද හාමුදුරුවන්ගේ සහයෝගය හොඳින්ම බලපාන්න ඇති. දැන් බොහො දැණ උගත් වයෝවෘද්ධ සංඝ පීතෘවරයෙක් වන බෙල්ලන ඥානවිමල හිමියන් වැඩ සිටින්නේ ඔතන බව දන්නවා. රනිල් ගිහින් තිබුනා බලන්න. ඉස්සරනම් ඒ පැත්තේ ආවේ නැහැ. ඊට එහායින් තමයි ගෙවල් තිබුනේ. ඔය වටේ ගොඩාක් පැරණි දේශපාලකයෝ රාශියක් හිටියා. කොල්වින් ,කෙනමන්, රොනී ද මැල් වගේ අය. නොයෙකුත් වැඩ වලට මමත් ගිහින් තියෙනවා ඔය තැන් වලට ඒ කාලේ.

  13. Niroshini says:

    ඩීල් ප්ලේස් එකේ ටික කාලයක් වැඩ කරත්, වාලුකාරාම පාර බෝඩ් එක දිහා උදේ හවස බල බල ගියා මිසක් පන්සල ඇතුළට නොගිය එක අපරාදේ කියල හිතුනේ මේක කියෙව්වයින් පස්සේ

    • අපරාදෙනේ නිරෝ….ඩීල් ප්ලේස් එකේ වැඩ කරනකාලේ ලන්ච් වලට එහේ යන්න තිබුනේ 😀

      ඇත්තටම ලන්ච් පැයේ පන්සලට ඇවිත් දවල්ට කාලා යන පිරිමි දෙතුන් දෙනෙකුත් හිටියා. හාමුදුරුවෝ මුකුත් කිව්වේ නැහැ. එක වයසක ඩ්‍රයිවර් කෙනෙක් හිටියා බුද්ධ පූජාව කන්නම තමයි එන්නේ. එයාම ඒවා බුදු ගෙයින් අරන් කාලා බීලා ඒ භාජන පිරිසිඳු කරලා ආපහු රෑවෙලා ඇවිත් බණ මඩුවේ නිදාගන්නවා.

  14. Anonymous says:

    වැඩිහරියක් පස්සෙ කියන්න දාලනේ

  15. deshakaya says:

    ඒ විස්තරේ නං මතක ඇතිව කියහං. එහෙම හාමුදුරු ගොල්ල ඔය වගේ රටක බොහොම අඩුයි..

    • දේශා…..ඔව් ඔව් ලියන්න දේ බොහොමයි. මම අවුරුදු එකහමාරක් විතර හිටියා. රෑ කෑම ලිස්ට් එක ලියාගෙන කඩේට යන්න වෙන්නේ මට. ඔක්කොම කැම්පස් ඉගෙනගන්න හාමුදුරුවරුනේ හිටියේ. බඩගින්නේ පාඩම් කරන්න පුළුවන් කාටද බන්. බඩ පිරිලාත් පාඩම් කරන්න බැරිවුනා මට.

      දලයි ලාමාත් බඩගිනි වුනාම යම් යම් අවස්තාවල රෑට බිස්කට් වගේ දෙයක් කනවා කියලා මේ ලඟදි ප්‍රෝග්‍රැම් එකක එයා කිව්වා. විශේෂයෙන් පුංචි හාමුදුරුවන්ට බඩගින්නේ ඉන්න එක හරි අමාරු වැඩක් බවත් එතුමා කිව්වා.

  16. Ravi says:

    / ගාලු පාරටත්, රාජකීය විදුහලටත් මැදිවන මානයේ වාළුකාරාමය පිහිටා තිබුණේ යැයි කීවොත් යම් තාක් දුරට නිවැරදිය./

    මේක හරිද බං?

    • මටත් ආපු ප්‍රශ්ණේ ඕකයි. ඔතන ඉඳලා රාජකීය විද්‍යාලයට සෑහෙන දුරක් තියෙන නිසා මට එහෙම හිතුනේ.

      • adhmakumara says:
        February 2, 2014 at 12:39 am (Edit)
        මම මහානාමෙට ගිය කාලෙ ජීවිතේටම එක පාරක් සිල් ගත්තා ඔය වාලුකාරාමෙ 1972. එතකොට මහානාමෙ කනිෂ්ඨ විදුහලක්. 8 වසරට විතරයි පන්ති තිබුනෙ ඒත් A & B විතරයි.ඒ හාමුදුරුවො නම් හරියට ඉස්කෝලෙට උදව් කලා.කතන්දර හරි මොකද ඉස්සර මහානාමෙ තිබුනෙ ඩීල් ප්ලේස් එකේ ඇතුලෙ දැන් වගෙ ඩුප්ලිකේශන් පාර අයිනටම තිබුනෙ නෑ එකම එක තට්‍ටු දෙකේ බිල්ඩිමයි .ඩීල් ප්ලේස් එකේ දිගටම තිබුනෙ ආන්ඩුවෙ ක්වාටස්.ඒවා ටික ටික ඉස්කෝලෙට ගත්තා….//////.අපි රෝයල් එක පැත්තෙන් බස් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙට යන්නෙ ඔය කියන කොන්ක්‍රීට් පාරෙන් ගිහින් පන්සල් වැටේ තිබුන පුංචි ගේට්‍ටුවෙන්.//////
        Reply

      • Ravi says:

        අරූ,

        ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරක් ලැබී නැත. ඔබ පද්මකුමාරගේ කමෙන්ටුව උපුටා දක්වා ඇත. 1972 කාලයේදී රාජකීය විද්‍යාලය පවත්වාගෙන යනු ලැබූයේ වාළුකාරාම පාර අසල ස්ථානයක බව ඔබගේ උපුටා දැක්වීමෙන් ගම්‍ය වේ. එවැන්නක් මා ඇසූයේ මේ පළමු වතාවටය.

        ඉරුදින සන්ධ්‍යාභාගය බැවින් ඔබගේ අසම්පූර්ණ පිළිතුර පිළිබඳව විශ්මයට පත් නොවෙමි. 😀

      • @ රවී & ඩූඩ්……
        /////ඉරුදින සන්ධ්‍යාභාගය බැවින් ඔබගේ අසම්පූර්ණ පිළිතුර පිළිබඳව විශ්මයට පත් නොවෙමි. :D////////
        නියම කියමන මචෝ…සෙනසුරාදායි ඉරිදායි දෙකම එකක් වෙලා තිබුනේ. යාළුවෙක් ආවා නවතින්න. හිතාගන්න පුළුවන්නේ.

        රවී රෝයල් එක ගාව ඉඳන් පස්වැනි පටුමගේ පොඩ්ඩක් ගිහින් ,තියෙන කොන්ක්‍රීට් පොඩි පාරට හැරුණු ගමන්ම වාළුකාරාමයේ පිටුපස හා මහානාමයේ පුංචි ගේට්ටුව. විනාඩි පහක් යන්නේ නැහැ ඇවිදින්න. මම ඕකේ අවුරුදු එකහමාරක් ඇවිද්දා බන්. ඔය පැත්ත ගැන හිටපන්කෝ මම හරියටම ලියන්න. මහා සල්ලිකාරයෝ තමයි හිටියේ.

  17. DDT says:

    මම මේ හුඟ දවසකින් අරූගෙ මතක සටහන් කියවන්න ආවෙ, පහුගිය දවස්වල ඉඳල හිටලනේ බ්ලොග් කියෙව්වෙ. මුල් ලිපිවලට වඩා මොකක්දෝ හදිසියක් වගේ එකක් තියෙනව ද කියල හිතෙනව. හදිසියක් නෑ අරූ, එකපාර ලොකු වපසරියක් අල්ල ගන්න ඕන නෑ, වරකට එක කාරණාවක් අරන් ඒ ගැන ඔයාගෙ මතකය, හැඟීම් ලියන්න, එතකොට පසුවට කල් තියන්න ඕන වෙනකන් නෑ. ඒ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනව නම් තව කොටසක් ලිව්වත් කමක් නෑ. හදිසියක් නෑ, හෙමිහිට කරන් යමු.

    ඒ කාලෙයි දැන් කාලෙයි හාමුදුරුවො ගැන කිව්වහම මට මතක් වෙන්නෙ පරණ දේශපාලඥයෙක් මෑතකදි පත්තරේකට කියපු කතාවක්. මතක හැටියට එස්. ඩී. බණ්ඩාරනායක උන්නැහැ වෙන්න ඕන. “අපේ කාලෙ හිටිය දේශපාලකයො තක්කඩි හොරු, ඒත් දැන් ඉන්න එවුන්ට අලගු තියන්නවත් උන්ට බෑ“

    • මගේ ලිපි මුල ඉඳලාම කියවපු කෙනෙක් තමයි DDT . මගේ අඩුපාඩුත් පෙන්නලා දුන්නා. උදව් කරා. තාමත් එහෙම පෙන්නන එක ගැන ස්තූතියි. අපේ මල්ලීත් නිතර කියනවා ඇයි මේ හදිසියේ හදිසියේ ලියන්නේ කියලා. හැබැයි මේ පොස්ට් එකට නම් මෙහෙම වුනේ වෙන හදිස්සියක් නිසා.

      ඉස්සරත් බොහෝ පන්සල් වල බොහෝ දේ සිද්ධවුනා. අර කිව්වා වගේ මේ අයට අලගු තියන්න බැහැ තමයි. දැන් වැඩේ කැත විදිහට යනවා වගේ.

  18. හමුදුරුවන්ලාගේත් සැබෑ ස්වරුපය දැනගන්න මේවගේ රටකදී පොඩ්ඩක් සැට් වෙලාම බලන්න ඕනා …. එයාලා ගොඩක් වෙලාවට මෙහෙ එන්නේ ලංකාවේදී කොරගන්න බැරි දේවල් මෙහෙන් කරන යන්න …… බලමු පින් අතේ වැඩ ගොඩක් කරලා ඉවර උන වෙලාවක ඒ ගැනත් පොස්ට් එකක් දාන්න

    • ඒයි සාශන භක්ෂකයා

      • සිරා says:

        අපේ රාළගෙ කථාව සහතික ඇත්ත ඔන්න…ඒ කථාවට මමත් ගැහුවා පොඩි බංඩි පෝර පාරක්

    • @ ශාසන භක්ෂක රාළේ…….ඔව් බන් පිටරටවලදී මේ අය ඒ නිදහස උපරිමෙන් බුක්ති විඳිනවා..කාගේ තහනමක්ද? මටත් ඕවා ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. දැන් පල්ලි පන්සල්වලින් තොර නිසා ඕවා දකින්නේ නැහැ. මෙහෙ එක්කෙනෙක් ළමා අපචාර කේස් එකකට හිරබත් කනවා. කේස් එක පරණ වුනත් පනිශ්මන්ට් එක ලැබුනා. ලංකාවේ උනා නම් ෂුවර් යට ගහනවා.

  19. helapaya says:

    අද පොඩ්ඩක් අවුට් වගේ නේද මචං,උඹ මොනවදෝ කියන්න ගිහිං නොකිය හිටිය වගේ කියපු දේ අඩුයි නොකියූ දේ වැඩියි.එකම කතාව කීප තැනකම කියවෙලා වගේ,ආයෙම පොඩ්ඩක් බලපන්.

  20. උඹගේ කථාව විහිදී යන ආකාරය හා අපට ලබාදෙන විස්තර තොරතුරැ ප්‍රශංසනීයයි සහෝදරයා.
    මටත් මතක සිද්ධියක් තමයි 77 මැතිවරණය. ඒ මතකයන් උඹ ඒ ගැන විස්තර ලිව්වාම බෙදා ගන්නම්.
    උඹට පංසලෙන් කොච්චර අත්දැකීම් ලැබෙන්න ඇතිද මචං? පංසල් වලින් කෙතරම් උගතුන් බිහිවුනාද? දැන් ඉන්න සීනි බෝල හමුදුරැවරැ හා ඔවුන් හා දීග නොකා දීග කන උසස් යැයි සිතා ගන්නා ඊනියා ධනපති පංතිය ගැන මමත් දන්නවා මචං. ඒ අය අතරේ ඒ උඹ කියන ආනන්ද හාමුදුරැවෝ යතිවරයෙක්. මට මතක්වෙනවා යකෙකුටවත් බය
    නොවී එවැනි යුඟ මෙහෙවර කරපු දිඹුලාගල හාමුදුරැවෝ වැනි බුද්ධ පුත්‍රයන් ගැන…..

    • චන්දන……ඔය මොකක් හරි විගඩමක් කරපුවාම ඒක පස්සේ දුවන අපේම මිනිස්සු නිසා තමයි මේවා නාඩගම් මඩුවෙලා තියෙන්නේ. එක කාලයක නම් හාමුදුරුවරු බොහොම එඩිතරව මිනිස්සුත් එක්කම හිටියා. දැන් ඉන්නේ දේශපාලන පක්ෂත් එක්ක නිසා මිනිසුන්ගේ ප්‍රශ්ණ නෙමෙයි ඒ ඒ පක්ෂවල තියෙන ප්‍රශ්ණ තමයි ඒ අයගේ ඔළුවල තියෙන්නේ.

  21. පෙර වදන හරි .. . එහෙනම් කතාව කියමුකෝ ඊලග පාර

  22. සිරා says:

    කථාවෙ ආරම්භයේදි තිබුන රිද්මය මැද හරියෙදි බිද වැටිලා යම් ආවේගයකින් ලියවුනු බවක් තමයි මට දැනුනෙ…

  23. කොම කිව්වත් අරූ ගේ ලියව්ල්ල මට නම් නියමයි ,එක දිගටම කියව ගෙන යන්න පුළුවන් ,

  24. පන්සල් වල නවාතැන් ගැනීම අදත් තරමක් දුරට තියනවා. නමුත් අද පන්සල් වල නවාතැන් දෙන්නේ නොදීම බැරි කෙනෙකුට විතරයි. ලංකාවේ ඉතිහාසයට ඔය වාලුකාරාමයේ සම්බන්ධකම් (නිදහස් සටනට) තියනවා නේද?

    • ඔය වගේම නවාතැන් දීපු බොහොම කුඩා පන්සලක් තිබුනා කොම්පඤ්ඤවීදියේ එලිෆන්ට් හවුස් එක ඉස්සරහා ගඟ අයිනේ වත්තේ කෙළවරේම. ඒ කාලෙනම් ඕක පන්සලක් කියලාම කියන්නත් බැහැ. 1980 ගනන්වල ඒ අවට හෝටල්වල..ඔබරෝයි, හොලිඩේ ඉන්, සමුද්‍රා වගේ තැන්වල වැඩ කරපු අයත් කීප දෙනෙක් නැවතිලා හිටියා. දැන් ඒ පන්සල තියෙනවාද නැද්ද දන්නේ නැහැ.

      වාලුකාරාමය 1956 දේශපාලන පෙරලිය වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන් බව අසා තියෙනවා. නමුත් නිදහස් සටන ගැන මම දන්න විස්තරයක් නැහැ. විචාරක දන්න යමක් තියෙනවා නම් දාන්න.

  25. Anonymous says:

    දැන් ඉන්න බොබසේල ආන්නද හාමුදුරුවන්ගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද!

    ආ මෙන්න අරූ කියවන්න මහඇමති වෙන්න දඟලන සීනිබෝල කෑලි

    • Anonymous says:

      මම දුලාගෙ අඩවියේ දුලා

    • දුලාගෙ අඩවියේ දුලා says:

      මම දුලාගෙ අඩවියේ දුලා

    • දුලා….මම ඒක කියෝලා කමෙන්ට් එකක් දැම්මා.

      බොබසේ ගැන නම් කියන්න දෙයක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ වගේ අය අදත් ඇති. නමුත් ප්‍රසිද්ධ වෙන්න දඟලන්නෙ නැහැ පාඩුවේ ඉන්නවා.

  26. kathandarakaraya says:

    ඇයිද මන්දා වාලුකාරාමය වගේ නමක් දැම්මේ?

    පංසලේ පිංබත් කන්න සෙට්වෙලා හිටිය ඔටුවෝ හින්දාද?
    😉

    • http://manogeloka.blogspot.com/ says:

      එතකොට පන්සලේ නතර වෙන්න ගිය අරූත් ඔටුවෙක්ද…?=D

    • @කකා….. ඔය නම එන්න ඇත්තේ මේ නිසාද බලන්න….මුළු පන්සල් වත්ත පුරාම තියෙන්නේ දූවිලි වගේ වැලි වර්ගයක්. ඉතා හීනි වැල්ලක්. බෝ මළුවේ විතරක් නියම වැල්ල තියෙනවා. ඒ භූමියේ ස්වභාවය නිසාද දන්නේ නැහැ වාලුකා වුනේ. එක තණකොල ගහක් තිබුනේ නැහැ.

      පිංබත් කන්න නම් මහා සෙනඟක් හිටියා කකා. සමහර දවස්වලට ගිහියන්ටම කන්න බත් ඉව්වා පන්සලේ කෝකියා..කිළුටු කරෝලිස් අයියා. නියම ඔරොප්පුවක්.

  27. Kenji @ Japan says:

    උඹ නද වෙන්න දාලද ලිව්වේ මචන්?

  28. http://manogeloka.blogspot.com/ says:

    අරූ අයියා හුගක් අය කියලා තියෙනවා වගේ මටත් හිතුනා අද ලියවිල්ල උඩින්,පල්ලෙන් දාලා තියෙනවා වගේ දෙයක්.ඔය කොල්ලුපිටිය 5වෙනි පටු මගේ නේද රනිල් වික්‍රමසිංහලා ගේ ගෙවල් තියෙන්නෙත්…?

    • මනෝ……ඔව්..ඔව්…උඩින් ගියොත් පල්ලෙන් තමයි බේරෙන්නේ කියලා අපේ තාත්තා කියනවා ඉස්සර. :

      රනිල් වික්‍රමසිංහ පස්වෙනි පටුමග පටන් ගන්න තැනම තමයි ඉන්නේ. ඔය හරියේ ඉන්නේ යමක් කමක් තියෙන හාදයෝ. තව ගොඩාක් ප්‍රසිද්ධ අය හිටියා. කාලයක් කරක් ගැහුව ඒරියා එකක් තමයි.

      • Niroshini says:

        පස් වෙනි පටුමගේ කැෆේ ඔන් ද ෆිෆ්ත් එකට ගිය කාලේ මතක් වෙනවා 🙂

      • නිරෝ තනියම නෙමෙයි නේද ගියේ 😀

        මට ඔය කියන තැන මතකයක් නැහැ. මම ලව් කරන කාලේ බගතලේ පාරේ නම් තිබුනා මරු කැෆේ එකක්. අයිස්ක්‍රීම් ස්පෙෂලිටි තැනක්. ලොකු ගේක එක පැත්තක තිබුනේ. මාර නිස්කලංක තැනක් .1984 වගේ කාලේ. ඒ කෙල්ල මට බූට් එක තිබ්බා. ඒක එහෙම වෙච්ච එක හොඳයි.

      • Niroshini says:

        අපෝ මම ගියේ යාලුවෝ එක්ක…! ලව් කරන්න නෙමෙයි! 😀
        බගතලේ පාරේ මගේ හොඳම යෙහෙළිය හිටි නිසා ඒ පැත්තේ ඇවිදලා පුරුදුයි. අයිස් ක්‍රීම් පාලර් එකක් නම් මතක නැහැ…හැබැයි අපරාදේ ඔයාට අර ගර්ල් සෙට් උණා නම් හැමදාම අයිස් ක්‍රීම් කන්ඩ තිබ්බ නේ!

  29. Pra Jay says:

    තගරි වලින් බුද්දාගම ආරක්ශා/පෑතිරවීමට උත්සාහ නොගන්නා බුද්දාගමට කෙසේවෙතත්සමාජයට විශාල මෙහෙවරක් කරන එහෙත් සීලය ආරක්ශා නොකරන හාමුදුරුවරු ඈත. පොඩි හාමුදුරවෝ හොද හාමුදුරුකෙනෙක් නොවුවත් හොද ප්‍රායෝගික සමාජසේවකයෙකි. එවෑන්නන් මහා ශීලවන්තයන් ලෙස පෙන්නා සිටින හොරුන්ට වඩා හොදය.

    • ඔව් ප්‍රා…සමාජ මෙහෙවරක් වුනා. ඒ කාලේ පටන්ගත්ත ,තාමත් පවත්වාගෙන යන සේවාවන් තියෙනවා. තගරියත් ඒ ලෙසම තිබුනා දේශපාලන හයියත් එක්ක. එහෙම කතා බහ ඕන තරම් තිබුනා. ඒවා ගැන නොලියවුනු ඉතිහාසයක් තියෙනවා. නමුත් සමාජ සේවා නිසා ඒ දේවල් එතරම් සාකච්ඡා වුනේ නැහැ.

  30. Bindi says:

    ගෝර්කිගේ ”මගේ සරසවි ” මතක් වුනා .කොහොමත් පරණ මතක ඉස්තරම් .

    වාළුකාරාමෙට නම් ගිහින් නැහැ . මහානාමේ තාප්පයේ චිත්‍ර අඳින තරඟයකට නම් සහභාගී වුණා .

    • බින්දි කියන්නේ මහානාමය ඩුප්ලිකේශන් පාර අයිනට ආපු කාලයේ වෙන්න ඇති. ඉස්සර ඩුප්ලිකේශන් රෝඩ් කියන්නේ එතරම් මිනිස්සු ගැවසුනු පාරක් නොවේ. මහනාමය ඉස්සරහ විශාල කුණු ගොඩකුත් තිබුනා. එතනම සිල්ලර කඩයක් තිබුනා ඩීන්ස්ටන් පාරට අල්ලලා. දෙමළ කට්ටියක් කරේ. ඒවා තමයි රසවත් මතක සටහන්. නාන බාල්දි සිස්ටම් එකක් තිබුනා වාලුකාරාමයට හැරෙන තැනම . ඒවා පස්සේ ලියන්නම්.

  31. kathandarakaraya says:

    කවුරු මොනවා කිව්වත් මේ කොටසේ භාෂාව ඉතා ඉහළයි!

    • ස්තූතියි කකා…දන්න විදිහට ලියන්න උත්සාහ කරනවා. එච්චරම දුරට හිතන්නේ නැහැ.

  32. Chandana says:

    පන්සල් වල නෑසෙන කතා… මේව කියවද්දි හිතෙන්නෙ, අරූ ට මේ ලිපි පෙල ලියන්න හිතුනු එක කොච්චර දෙයක් ද කියල.. අතිශයෝක්තියෙන් බැහැර වූ සැබෑ ජීවිත අත්දැකීම් වලින් ලියවෙන මේ සටහන් වලට පුලුවන් අපිවත් ඒ කාලෙට අරන් යන්න.

    ආයෙ යාලුවො එන දවසට හෙම පෝස්ට් ලියන්න තියා ගන්නව නෙවෙයි.. 😀

    • චන්දන…….මේ හැම කොටසකම තියෙන්නේ මා දුටු සහ මට සිදුවු දේවල්. උඹලා වයසින් ටිකක් පොඩි නිසා මේ අත්දැකීම් රසවත් වගේ ඇති. බොහෝ දේ තියෙනවා ලියන්න. යාළුවෝ එන දවසට නොලිය ඉන්නම්. 😀

  33. අඩුමාවක් හිතෙන්නෙ නැති තරං ඒත් පුංචි අඩුවක් දැනෙනව… අනේ මංද කියන්ට තේරුමක් නෑ… ඒත් මට හිතෙනව මේක තව ලිපියකට දික්වුනොත් හොදා කියල ඇයි මංද
    තරහ ගන්න කාරි නෑ… මං මට හිතුණ විදියයි ලීවෙ..

    • මහේෂ්…..මොකක්දෝ මොකක්දෝ දෙයක් තියෙනවා. තිසර පල්ලෙහා ඒ ගැන පැහැදිලිව කියනවා. මේ වාලුකාරාමය හා ඒ අවට පසුබිම ගැන ආරම්භයක් විතරයි වගේ. තව කොටස් දෙකක් වත් ලියන්න තියෙනවා මහේෂ්. හෙමිහිට ලියන්නම්.

  34. අත්දැකීම් බෙදා ගැනීම ගැන ස්තුතියි. හාමුදුරුවෝ ගැන දිගටම ලියන්න. ඔය විදියේ හාමුදුරුවරු සාසනයට අවශ්‍යයි

    • මකසියෝ……පන්සලත් ඒ හා බැඳුනු චරිතවලත් හොඳ හා නරක දෙකම තියෙනවා. ඒ බොහෝමයක් තුලින් විනාශ නොවී කැත නොවී පන්සල බොහොම හොඳින් පවත්වාගෙන යනවා. නැත්නම් බෙල්ලන ඥාණවිමල වගේ උගත් බුද්ධිමත් වයෝවෘධ හාමුදුරුවෝ කෙනෙක් එතන වැඩ හිටින එකක් නැහැ.

  35. තිසර says:

    මම, ලියන විස්තරයටම පමණක් නෙවෙයි, භාෂා විලාසය, ව්‍යාකරණ, ගලායාම ගැනත් සැලකිල්ලක් දක්වන කෙනෙක් කියලා අරු දැනටමත් දන්නවා ඇති. ඒ නිසා මම දකින දේවල් මම දිගටම කියනවා කියලා හිතුවා.

    අරු, තමන්ගෙ අත්දැකීම් විස්තරකරනතාක් කල්, කතාව තුල ඉතා නිවී සැනසිල්ලේ ගලා යන ස්වභාවයක් තියනවා. මමත් මුලින්ම කැමති වුනේ ඒ ගතියට. තමන්ගේ ඉතිහාසය ලියන කෙනෙක්, එම ඉතිහාස සිද්ධි දෙස බොහොම උපේක්ෂාවෙන් බලන ස්වභාවයක් ඒ ලියවිල්ලේ තිබ්බේ. සමාජයේ වැරදි යැයි සම්මත සිදුවීම් තිබුණත්, එය ජීවිතයේ සිද්ධ වූ යමක් ලෙස දකිනු මිස විවේචනාත්මක කෝණයකින් බලන්න නොපොළඹවන ස්වභාවයක් ඒ රටාවේ තිබුණා.

    නමුත් ඒ ඉතිහාස සිදුවීමක් වර්තමාන සිද්ධීන් තත්වයන් හා ගලපන්න උත්සාහ කරන හැම අවස්ථාවකම වගේ, ඒ ගලායාම, සංයමය ඔබ අතින් බිඳෙනවා. උපේක්ෂාව අතහැරී භාවාත්මක ගතියක් මතුවෙනවා. අත්දැකීම වෙනුවට, මතවාද ඉදිරියට එනවා. කොටින්ම ‘අවුල් වන්නට පෙර..” අවුල් වෙනවා.

    • මම තිසරගේ අදහස් තුලින් යම් යම් කරුනු එකතුකර ගන්නවා. උඹ වෙනත් බ්ලොග්ස් වල පවා දක්වන අදහස් මම සාවදානව කියවා බලනවා. මේ ලිපි පෙළ පුරාම මම පීලි පැනපු අවස්තා කීපයකදීම ඒ වැරදි පෙන්වා දීමට තරම් උඹ නිර්ලෝභී වීම මම අගය කරනවා.

      තිසර කියු ආකාරයටම උපේක්ෂාසහගතව අතීතය ආවර්ජනය කර ,අදහස් සහ මතවාද පල්ලෙහා කමෙන්ට්ස් තුලින් සාකච්ඡාවකට ගෙන එන්න තමයි මම මුල සිටම උත්සාහ ගත්තේ. මා තුල සිටින මතවාදී දේශපාලන සත්වයා මටත් හොරෙන් සමහර විට අවදි වෙනවා. මේ ලිපි ආරම්භයේදීම මම සටහන් කරා ඒ සත්වයාව අවධි නොකරන්න වග බලා ගන්න බව. ඒත් ඉතින්…මත තුලින් මත උඩට එනවා 😀

      තිසරට නැවතත් ස්තූතියි. DDTත් හොඳ කරුනු ටිකක් පහදා දුන්නා.

      • තිසර says:

        //ඒත් ඉතින්…මත තුලින් මත උඩට එනවා //

        තියමුද මතට අප තිත?
        “නැත නැත” කියයි මා සිත
        කොමාවකි හිතවත
        පමා කරනට අවැසි ඔය මත

      • තිතට මත නැත
        මතට තිතද නැත
        හිත හා මගේ හදවත
        ඇයිද මන්දා
        යන්නේ මත වෙත…..

        තිසර……දැන් මම බොහෝ දුරට මිතුරෙක් ආවොත් තමයි චන්ඩියා වෙන්නේ.

  36. Pra Jay says:

    මම එක පාඨකයෙක් විතරයි ඒ වගේම මේක මගෙ පුද්ගලික රුචිකත්වය නෑතුව ඔබේ වෑරද්දක් කියනවා නෙවේ OK? මාත් තිසර කියන එක (මා තේරුම් ගත් පරිදී ) එකග වෙනව. මම මේ බ්ලොග් එක කියවන්න හුගක් ආසා කරන්නෙ nostalgia හින්ද. මම history buff කෙනෙක් නිසා ඉහත යුගයන් ගෑන memoirs කියවන්න ආසයි. ඔබේ මතයන් සමහර තෑන්වල දෑක්වීම රසය ගෙනදුන්නත් මම වෑඩිය ආසා ඉතිහාසය කියවන්න

    • ප්‍රා…….මම හරි කැමතියි මේ විවෘත අදහස් දැක්වීම සම්බන්ධව. කොල්ලුපිටිය හා ඒ අවට පරිසරයත් පුද්ගලයින් හා සම්බන්ධවත් මම තව කොටසක් ඒ යුගයට අදාලව ලියා අද දානවා. කියවලා බලන්න.

  37. //මෙය පොන්න උපාසක උපාසකාවියන් පෝයට සිල් ගන්නා ෆැන්සි පන්සලක් නොවීය// ඌයි හඃ හඃ හඃ වදින්න ඕනා උන්ට වදින්නම ලියලා. 😀

  38. බන්‍ධුල කුදලාගම says:

    මා හිතවත් අරුණ පෙරේරාණෙනි,

    බණ්ඩාරනායක සිරිමතුන්ගේ පනස් හයේ විප්ලවයේ පංච මහා බලවේගයේ සංඝ සංරචකය නිවන්තිඩියේ ආනන්ද ස්ථිවර නාමය ද හොබවයි. එමතු නො ව බණ්ඩාරනායක සිරිමතුන් තල්දූවේ සෝමාරාම හිමියන්ගෙන් වෙඩි සැර වැද බිම වැටෙන සඳ ඒ අසල සිටි බණ්ඩාරනායක හිතෛෂීහු නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවෝ ය. උන්වහන්සේ ප්‍රසන්න පෙනුමැති ය, තේජස් ‍පෞරුෂැති ය, සර්වජන සම්භාවනීය ය. නා නා විධ ජාතිජාත්‍යන්තර, සමයසමයන්තර, දෘෂ්ටිදෘෂ්ට්‍යන්තර ජනීජනයා උන්වහන්සේ කෙරෙහි ආකර්ෂණය වූහ, දමනය වූහ, සුවචශ්‍රාවක වූහ. කොල්ලුපිටියේ වාලුකාරාමයට ආචාර කළෝ ශ්‍රීලනිප පාක්ෂිකයෝ පමණක් නො වූහ. අරුණ පෙරේරාණන්ගේ ක්ෂේමභූමිය දෙසට වන්නට පිහිටි පොල්වත්තට ළැදි වූ එජාප පාක්ෂිකයෝ ද ආගම අබිං ලෙස සැලකූ දේශපාලනක යෙදී කොල්වින් සහෝදරයා ද කොල්ලුපිටියේ වාලුකාරාමයට ආචාර කළෝ ය.

    හේන පිළිබඳ අගනා ලිපියක් ලියූ මගේ සන්මිත්‍ර ගරු සරසතුමා කොළඹ නගරයේ පැරණි ම පන්සල වූ කොටහේනේ දීපදුත්තරාරාමය පිළිබඳ සඳහන් කළ බව අරුණ පෙරේරාණනට මතක ඇති. එය වර්ෂ 1795 දී ආරම්භ කෙරිණි. එතැන් සිට අඩසිය වසකට ආසන්න කාලයක් ගෙවෙන සඳ වර්ෂ 1841 දී දෑහිතකාමී දානපති අරනෝලිස් සිල්වාණන්ගේ අනුග්‍රහයෙන් ද රත්මලානේ පරමධම්මචේතිය මහා පිරිවනේ නිර්මාතෘ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද කොල්ලුපිටියේ ආරම්භ වූ විහාරස්ථානය වර්ෂ 1977 දී අරුණ පෙරේරාණනට සෙවණ දුන් වාලුකාරාමය ය.

    අරුණ පෙරේරාණන් වාලුකාරාමයට පැමිණෙන කළ එහි විහාරාධිපති ධුර දැරුවෝ නිවන්තිඩියේ ආනන්ද නා හිමියෝ ය. වර්ෂ එක්දහස් නවසිය හැට ගණන්වල මුල දී විහාරාධිපති බවට පත් වූ උන්වහන්සේ දීර්ඝ කාලයක් එම ධුරය දැරූ සේක. වාලුකාරාමයේ පෙරහර ඇරඹුණේ ද හැට ගණන්වල මුල දී ය. හැත්තෑ ගණන්වල අග වේවැල් කතාව මගේ දැනුමට එක් කිරීම පිළිබඳ අරුණ පෙරේරාණනට තුති.

    නිවන්තිඩියේ ආනන්ද නා හිමියන් සිහි කළ කල මට සිහි වන තවත් චරිතයක් නම් චන්දි ය. චන්දි සහ මල්ලිකා පාගොඩ නිවසක් තනවා ගෙන පදිංචි වූයෙන් මගේ අසල්වැසියෝ වූහ. ඒ දෙපළට චානිමා සහ තාරක නම් දක්ෂ දරුවෝ දෙදෙනෙක් සිටියහ. අරුණ පෙරේරා මා අවුළුවාලයි; මේ පැරණි මතක ලියන්නට වුව හොත් අවසානයන් නැත! එනිසා යළි ලිපියට ම එමි.

    වර්තමානයේ අගනගරයේ ප්‍රමුඛ පාසලක් ලෙස සැලකෙන කොල්ලුපිටියේ මහානාම විද්‍යාලයේ ජන්මභූමිය කොල්ලුපිටියේ වාලුකාරාමය ය. වර්ෂ එක්දහස් නවසිය පනස් ගණන්වල දී මහානාමය අද පවතින භූමියට (පැරණි සෙනෙට් බංගලාව පිහිටි භූමියට) සංක්‍රමණය වූයේ එයට අනන්තර අසරෙහි වූ වාලුකාරාමයේ සිට ය. එය සිදු වූයේ මාවිත්තර රේවත නායක හාමුදුරුවන්ගේ කාලයේ දී ය. එම අතීත කතාව හොඳින් දන්නා සුධීමතෙකි ගුවන් විදුලියෙන් රූප මැවූ ප්‍රේමසර ඈපාසිංහ. ඈපා මහානාමයේ මුල් ම යුගයේ ඉංගිරිසි ගුරුවරයෙකි. එදවස වාලුකාරාමයේ විහාරාධිපති වූ මාවිත්තර රේවත නායක හාමුදුරුවන් ඥාතීත්වයෙන් ඈපාගේ බාප්පා ය.

    අරුණ පෙරේරාණන් සිහි කර තිබූ පරිදි ම වාලුකාරාම භූමියේ පසුපස මායිම විවෘත ව තිබිණි. මහානාමයත් කාන්තා විද්‍යාලයත් වෙන් කරමින් ඇදී ගිය කොන්ක්‍රීට් පාර මට මතක ය. ඔබතුමා පැවසූ කුඩා ප්‍රවේශ දොරටුව තව ම ඇති. එම පාර ඉනර් ෆ්ලවර් රෝඩ් හමුවන අන්තයට නුදුරු ව වාසය කළ සිංහල පවුල් අතළොස්සෙන් එකක් වූයේ මගේ මාමා කෙනකු සහ ඔහුගේ පිරිස ය. ශාන්ත අන්තෝනි බාලිකාව ව්‍යාප්ත ව ගියේ එම භූමිය මතිනි.

    අරුණ පෙරේරා පැරණි කඩ කීපයන් සිහි කර තිබූ නිසා එදවස ඒ අසල ප්‍රදේශයේ වූ දෙමළ සහෝදරයන් විසින් පවත්වා ගෙන යන ලද කඩ කීපයක් සිහි වේ. ඉනර් ෆ්ලවර් රෝඩ් ගාලු පාර දෙසට අවසන් වන තැනට නුදුරු ව සරුවට පැවති කඩයක් තිබිණි. එකල එලිපන්ට් හවුස් සමාගමේ මගේ ප්‍රියතම පානයක් වූ ලංකා ලයිම් (නියම කොළ පාට!) තිබූ කඩයකි එය. දැන් ලංකා ලයිම් නිෂ්පාදනය කෙරෙන්නේ නැති ව ඇති. ඔරෙන්ජ් බාර්ලි නම් යළි තිබෙන බව දනිමි. එලිපන්ට් හවුස් සමාගම සුද්දන් සඳහා ම නිෂ්පාදනය කළ ඉපැරණි පානය අරුණට මතක ඇති (අනිවාර්යයෙන් ම)! එය නම් තවමත් සීමිත ව නිෂ්පාදනය කෙරේ. මෙවැනි ම සරුවට පැවති කඩයක් ෆලවර් රෝඩ්හි යම් තැනෙක ද තිබිණි.

    මේවා සුන්දර මතක ය. අරුණ පෙරේරාණනට අපට මේවා රසබ‍ර වුව ද ‍එසේ නො වන අය ද සිටින බව මම දනිමි. ඒ අය අපට සමාව දෙත්වා!

    අරුණ පෙරේරාණෙනි, සැම දා සේ මෙදා ද මගේ අතීතකාමය දැල්වූවාට ඔබට තුති! ඔබ නම් අප්‍රමාණ මිනිසෙක්!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s