අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

කොල්ලුපිටියේ වාළුකාරාමය අවට පදිංචිව සිටියේ හෝ හිමිකාරිත්වය තිබුණේ මුදල් හදල් ඇති, සමාජ සම්බන්ධතා බහුල මිනිසුන් කොටසක්ය. මේ අතර දේශපාලකයින්ද, ව්‍යාපාරිකයින්ද බොහෝ වූහ. ගාලු පාරෙන් වාලුකාරාම පාරට හැරෙන විටම තිබුණේ ඉතාම කුඩා නිවසකි. මේ පවුලේ උදවිය හා පන්සල අතර සුහද ගනුදෙනුවක් නොවූයේ පාර පළල් කිරීමට පන්සලෙන් කල ඉල්ලීමක් නිසා නිවසෙන් කොටසක් පාරට වෙන්වීමට නියමිතව තිබූ බැවින්ය. ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් පාර දක්වා වූ අනිකුත් බොහොමයක් නිවාස එතරම් හානියකට ලක්නොවූයේ, එම නිවැසියන් සතුව ඇති පමණට මිදුල් ඉඩකඩ තිබු නිෂාවෙන්ය. කෙසේ නමුත් ඒ වකවානුවේදීම වාලුකාරාම පාර පුළුල් කිරීමකට ලක්විය. ඉහතකී පවුලේ උදවිය නායක හිමියන් සමග අඩදබරයකට ඒමට මැලිවුවත්, එහිමියන් මේ උදවියට පෞද්ගලිකවත් මූල්‍යමය ආධාරයක් කල බැව් මම අසා ඇත්තෙමි. ඩුප්ලිකේෂන් පාරෙන් වාලුකාරාමයට හැරෙන විට දකුණු පසින් පන්සල තෙක්ම දිගටම පැවතියේ කුඩා නිවාස පේළියකි. මේවා පැලපත් නොවූ මුත් අවම පහසුකම් වලින් පමණක් සමන්විත විය. වම් පසින් තිබුණේ තනි තනි ඉඩම්වල තනා තිබු විශාල දෙමහල් නිවාසයන්ය. ඔවුන් ධනවතුන් වූහ. දෙපැත්තේම සිටි කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගැසූවෙත්, ටින් පෙරළුවේත් වාලුකාරාම පාර මැද්දේය. මෙම පාර පුළුල් කිරීමට හේතුව වූයේ 1963 සිට අද වෙනතුරුත් ආනන්ද හිමියන් විසින් පවත්වාගෙන පවත්වාගෙන එන වාලුකාරාම ඇසළ පෙරහැර ගමන් මාර්ගයේ ආරම්භයට පහසුවක් පිණිස විය යුතුය.

කුඩා නිවාස 20-25 කින් පමණ සමන්විත මේ ගෙවල් පේළියේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතින්ගෙන් සමන්විත මිනිසුන් පදිංචිවී සිටි අතර පන්සලත් ඔවුනුත් අතර මනා සම්බන්ධතාවයක් පැවතිණි. පන්සල් භූමිය පිරිසිඳු කිරීම පවා ඔවුන් හෝ අප කවුරුන් අතින් ස්වෙච්ඡාවෙන් සිදුවූවත්, බෝ මළුව හා ආවාස ගෙය ඉදිරිපිට අතුගෑමත් ආනන්ද නායක හාමුදුරුවන් තමන්ටම පවරාගත් රාජකාරියක් විය.දිනපතාම හිමිදිරි උදෑසනත්, හැන්දැවරුවේත් ශාරීරික ව්‍යායාමයක් සේ සලකා මෙය සිදුකළා විය යුතුය. ඒක් රටාවකට මිදුල ඇමදීම බොහෝ සිත්ගන්නා සුළුය. මහා පාන්දර අවදිවෙන මෙහිමියන් ස්නානය කර දිනපතාම හිස සහ රැවුල බෑම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ සඳහා කදිම දැලි පිහි කීපයක් ඔහු සතු විය. පිරිසිඳුවත්, ප්‍රියමනාපවත් ආවාස ගෙය ඉදිරිපිට තබා තිබූ ලෑලි බංකුවේ වාඩිවී සිටීම පුරුද්දක් විය. ගාලුපාර අවට සහ වාලුකාරාම පාරේ මිනිසුන්ද, පාසල් සිසුන්ද තර්ස්ටන් පාර පැත්තට ගොස් හයිලෙවල් පාරට සම්බන්ධවීමට පයින් ඇවිදයන්නේ පන්සල් භූමිය හරහාය. බොහෝ මිනිසුන්ට උදෑසන මේ ප්‍රියමනාප මෙන්ම ගාම්භීර මිනිසා සමග වචනයක් හා දෙඩීම සතුටට කාරණයක් විය. වාළුකාරාමය අවට ජීවත්වූ බොහෝමයක් දුප්පත් හෝ පොහොසත් පවුල්වල දරුවන් රාජකීය විදුහලේ සිසුවන් විය. ඒ නිසා සියල්ලන්ම මගේ මිතුරන් විය. පන්සලක නැවතී සිට ඉගෙනුම ලැබූ එකම රාජකීයයා මම විය යුතුය. ගෙවල් පේළියෙන් පැමිණ පාසල් යන ළමයින් උදේට නායක හාමුදුරුවන් ළඟට විත් වැඳ ආචාර කරන්නේ අන් කිසිවක් නිසා නොව, ඒ වෙනුවෙන්ම ළඟ තබා ගෙන තිබූ ශත පනහක්, විසිපහක් ලබා ගැනීමට බව එතුමා දැන සිටියේය. පන්සල් පිං කැටවල ඒ වෙනුවෙන් ඇති පදම් මාරු කාසිවිය.

මිදුල අතුගා ,මල් පහන් පූජා කර, බුඳුන් නමදින ආනන්ද හාමුදුරුවන් ඉන්පසු උදෑසන ආහාරයද ගෙන නොයෙකුත් රාජකාරීවල යෙදේ. මුළු පන්සල් භූමියත්, පාරේ මදක් දුරකට යන තෙක්ම හමන හඳුන්කූරු සුවඳත් මට අදටත් ගෙන එන්නේ මිහිරි මතක සටහන්ය. මමද අර කොලු රැළ සමගම පාසැල් ගියෙමි. මා කිවු පරිදි ගෙවල් පේළියේ සිටි බොහොමයක් කොලුවන් රාජකීයයන් වූ අතර කෙල්ලන් කොල්ලුපිටිය, බම්බලපිටිය කාන්තා පාසල්වල සිසුවියන් විය. උදය වරුවේම පන්සල තුළ ඇත්තේ විශාල ගාලගෝට්ටියකි. කැම්පස් යාමට සැරසෙන හාමුදුරුවරුන්ද, අනිකුත් අයද එක පිම්මට වැසිකිළි කැසිකිළි කටයුතු වලටත්, උදේ ආහාරය ගැනීමටත් පෝලිම් ගැසීය. හීල් දානය රැගෙන විත් සිටිනා අයවේ නම් ඒ චාරිත්‍රත් පැවැත් විය යුතුය. පැවිදි ජීවිතය තුළ මේ සියල්ලක්ම ඉවසා වදාරා සිටිය යුතුවේ. ලෙහෙසි පහසු කටයුත්තක නොවන්නේ අධ්‍යාපනයේ යෙදෙන හිමිවරුන්ටය. ඒව පසුව සාකච්ඡා කල යුතුවේ. වැසිකිළි හය හතක් සහ නෑම සඳහා හිරගෙදර වැනි වතුර ටැංකියක්ද විය. දාන ශාලාවද එකවර 15-20 අසුන් ගැනීමට හැකි ලෙස සකසා තිබුණි. මේ සියලු වැඩ කටයුතු මැද නායක හිමියන්ද සිංහයෙක් සේ විමසිල්ලෙන් බලා සිටී. කුස්සියට ගොස් විශාල තේ ජොග්ගුව හැදීමටත්, ඒ අතරතුර තවත් වැඩක් ඇත්නම් එයට උදව් වීමටත් කඩියෙක් සේ යුහුසුළු විය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ භාෂාවෙන් පුදුම පොරක් විය.

ඩුප්ලිකේෂන් පාරේ සිට වාළුකාරාමය පාරට හැරුණු තැනම තිබුණේ විශාල නාන බාල්දි 15-20 සහිත, අවට මිනිසුන්ට පැමිණ මුදල් ගෙවා ස්නානය කරගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් තිබු ස්ථානයක්ය. මේ නාන බාල්දිය යැයි හැඳින්වූ තැන් ගැන බොහෝමයක් දෙනා නොදන්නවා යැයි මම සිතමි. නාන බාල්දි කොළඹ නගරයට පමණක් සීමාවූ සංකල්පයක්දැයි මට සිතේ. මෙවැනි ස්ථානයන් අන් කවර නගරයකවත් මම දැක නැත. කොම්පඤ්ඤවීදියේ මෙවැනි තැනක් තිබූ බව දැක ඇතත් මරදානේද එවන් තැනක් තිබූ බවත් අසා තිබුණි. මේ ස්ථානයන් පෞද්ගලික හිමිකරුවන් විසින් මුදල් අය කර ගැනීමෙන් පවත්වා ගිය තැන්ය. එක දිගට එකිනෙකට යාබදව සිමෙන්තියෙන් බැඳ තිබූ විශාල ටැංකි පේළි කිහිපයක් වේ. මේ ටැංකිවලට නිතරම විශාල වතුර පොම්ප මගින් ජලය පුරවනු ලබයි.මගේ මතකය නිවැරදි නම් එක් වතුර ටැන්කියක් ශත පනහක් හෝ ශත හැත්තා පහක් පමණ විය. එක් ටැංකියකින් ඇති පදමට නාගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් ප්‍රමාණවත් විය. සමහරුන් තම කුඩා දරුවන් නාවා පිරිසිඳු කර ගත්තේත් එකම නාන බාල්දියකින්ය. වතුර හිසට වත්කර ගැනීම සඳහ කුඩා බාල්දි හෝ කම්බියක් ගැට ගැසූ විශාල ටින් තබා තිබුණා මතකය. ගැහැනුන් සඳහා කොටසක් වෙන්විය. මෙවැනි ස්ථාන මරදාන, කොම්පඤ්ඤවීදිය අවට තිබුණේ ඇයිදැයි සිතා ගත හැකි මුත් කොල්ලුපිටියේ මෙවැනි ස්ථානයක පවත්වා ගෙන ගියේ, වාලුකාරාම පාර පදිංචිව සිටි ගෙවල් පේළියේ මිනිසුන් ඉලක්ක කර ගෙන දැයි කීමට නොදනිමි. නමුත් ඔවුන් වෙනුවෙන් වැසිකිළි පද්ධතියක් සහ නාන කාමර පේළියක් එම පාරේම අයිනේ විය. ඒ කෙසේ වෙතත් මේ නාන බාල්දිය උදය වරුවේත්, හැන්දෑවේත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. මේවා දියසෙවෙල, පාසි බැඳීමෙන් තොරව ඉතා පිරිසිඳුව පවත්වාගෙන යාමට සේවකයෙක් හෝ දෙදෙනෙක් විය.

මේ ප්‍රදේශය එවකට බොහෝ ප්‍රසිද්ධ දේශපාලකයින් පදිංච්වී සිටි යුගයකි. ඔවුන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. මේ බොහෝ දෙනා පන්සලේ ක්‍රියාකාරී දායකයින් නොවූවත්, මාසිකව හෝ යම්කිසි කාල සීමාවක් තුල නොවරදවා දානයක් පිරීනැමීය. බොහෝදෙනා පිසින ලද ආහාර වෙනුවට මුදල් පරිත්‍යාගයක් කිරීමට පුරුදුවී සිටියහ. නියමිත දිනයට දිනකට හෝ දෙකකට පෙර දානය මතක් කරදීමට යෑම පන්සලේ රාජකාරිය විය. මේ කටයුත්ත ප්‍රේමදාස හෝ බන්දුට පැවරී තිබුනි. මමත් ඔවුන් සමග පසුපසින් යෑමට කැමැත්තක් දැක්වූයේ සිගරට් බාග ගැසීමටත්, රවුමක් ගසා අවට තොරතුරු බලා ගැනීමටත්ය.

එවකට දේශපාලන ප්‍රබලයෙක්වූ රොනී ද මැල් මහතාගේ බගතලේ පාරේ නිවසින් සෑම මාසයකට වරක්ම ප්‍රණීත පිසූ අහාර, රසකැවිලි, පිටිකිරි සිට හකුරු මුල දක්වා සියල්ල සම්පාදනය කෙරුණි. දන්තාලේප, සබන් වැනි දේද මසුරු නැතිව සපයන ලදි. 15-20ට සෑහෙන මේ දාන වේල රැගෙන ඒමට දෙතුන් දෙනෙක්වත් එම නිවසට යායුතුය. ඔවුන් කිසි විටෙකත් පන්සලට පැමිණියේ නැත. විශේෂ අවස්ථාවකටවත් ආවාදැයි මතක නැත. පාසැල් නිවාඩු දිනයක නම් මමත් ඔය වැඩයට හවුල්වුණෙමි. කඩදාසි කවරවල සහ වෙනත් ආකාරයෙන් ඔතා තිබූ භාණ්ඩ පමණක් ඔසවාගෙන ඒමට මම සැමවිටම උත්සාහ කරේ, පාසල් මිතුරන් රාශියක් සිටින්නේත් ඔය අවට පාරවල් වල නිසා, ඔවුන්ගේ කතාබහට ලක්වේවි යන ලැජ්ජාව නිසාමය. අනික් එවුන් නම් පන්සලේම රාජකාරිවල යෙදුණු නිසා ප්‍රශ්නයක් නොවීය. වියළි භාණ්ඩ වලින් එකක් හෝ දෙකක් පන්සලට ගෙන ඒමට පෙර යටිමඩි ගසා ගත යුතුබව ප්‍රේමදාසත් බන්දුත් මට පැවසීය. මේවා පසුව මුදල් කර ගත හැකි බවත්, ඒවා සිගරට් බීමට වියදම් කරන බවත් දැන ගත්තෙමි. අන්තිම අමාරු අඩියක සිටීනම් දේවාලයේ පඬුරු ගැලවීමටත් මැලි නොවිය. බත්ගෙන ඒම සඳහා බාල්දියක් වැනි කදිම භාජනයක් තිබූ අතර වෑංජන සඳහා එකිනෙකට සම්බන්ධ කල හැකි ටිෆින් කැරියර්ස් වැනි විශාල මෙවලම් කිහිපයක්ද විය. මේ මොනවා ලැබුණත් පනසලේ අර්ක්කැමියාවූ කරෝලිස් අයියාට දිනපතාම තවත් බත් හැළියක් සහ හොදි මාළු පිනි උයා පිහා තබන්නට සිදුවූයේ පන්සලෙන් කන්නට සිටි අය බොහෝවූ නිසාය. ඉතිරිය රෑ කෑමටය.

රොනී ද මැල් බිරිඳ මල්ලිකා ද මැල් මහත්මිය ඉතා උවමනාවෙන් කුස්සියේ සේවිකාවන් සමග මේවා පිළියෙල කර බාරදෙන අයුරු කිහිප විටක්ම මම දැක ඇත්තෙමි. එම පවුලේ යම්කිසි ආබාධයකට ගොඳුරුවූ දරුවෙක් සිටි බවත් මතකය. රොනී ද මැල් මහතාත් සරමකින් සැරසී ,කණ්ණාඩි කුට්ටමේ පැත්තක් මුවග රඳවා කල්පනා කරමින් වත්තේ සක්මන් කරන සැටි අනන්තවත් දැක ඇති අතර, ඔහු වැඩිපුර කතාබහ කල පුද්ගලයෙක් නම් නොවීය.

වාලුකාරාමයේ පදිංචිව සිටි ගිහි පැවිදි උදවියත්, එහෙදී මට හමුවූ පන්සල හා සබඳකම් පැවැත්වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ගැනත් පසුව ලියන්නට බලාපොරොත්තුවෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

97 Responses to අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

  1. නාන බාල්දි ,ටැංකි ගැන tv එකේ දැකලා තිබ්බා හැරෙන්න ඇස් වලින්නම් දැකලා නැහැ. ඔයා ඉතින් යටි මඩි ගැහැවුවෙ නැද්ද අයියේ පන්සලට හම්බෙන එවුවා ලියලා තියෙන විදියෙන් නම් පේන්නේ ඔව් කියලා.හි හි. ඔයාගේ ලිපි වලින් තව ඉතිරි වෙලා තියෙන්නේ පරණ කොටස් 3ක් විතරයි ,, ඇත්තමයි බ්ලොග් අවකාශේ මං මං දැකපු ජිවිත අත්දැකීම් වලින් ලියන සාර්ථකම ලිපි පෙළ ඔයාගේ.

    • බොහොම ස්තූතියි ඔමා…යටි මඩි ගැහීමේ වැඩ වලදී මට ගොඩක් දුරට සිද්ධ වුනේ දේවාලේ පඬුරු හොරෙන් ගලවන අය වෙනුවෙන් ඔත්තු බලන්න. දේවලේත් හරි විශාලයි. ත්‍රීශූලේ තමයි කපු මහත්තයා පඬුරු ගැටගහන්නේ. ඒක බිමට ගන්න විතරයි තිබුනේ. සමහරු නෝට්ටු ගැටගහනවා. රුපියල් දෙකේ කොල, පහේ කොල තමයි වැඩිම වුනොත්. අනිත්වා කාසි. නෝට්ටු පඬුරු දෙකක් විතර ගලව ගත්තාම ඇති සුමානයක් දෙකක් යනකම්. තවත් ක්‍රම සහ විධි තිබුනා.තරුන කාලේ වැඩනේ ඔමා.

  2. අද පන්සල් වල නම් අමදින්න මිදුලක් ඉතිරිවෙලා නෑ අරූ..හැම තැනටම බැසිල් කැටේ අල්ලලා.සුදු වැලි අතුල බෝ මළුවක් ඉතිං කතා පොතකින් තමයි හොයාගන්න වෙන්නේ.නාන ටැංකි නම් නාන කාමරේ ටෙලියෙන් තමයි දැක්කේ.අරූ වගේම මගේ යාළුවෙකුත් උසස් පෙළ කරන කාලේ පන්සලක නැවතිලා හිටිය.අනේ එහේනම් ඔය දවල් ඒවා රෑට කන්න තියාගන්නේ නැහැ.උපාසක උපාසිකාවෝ දන් දීපු රයිස් කුකර් ගෑස් කුකර් පිහිටෙන් හය පහුවෙද්දී මාළු පිනි දෙක තුනක් එක්ක බතක් ඉදෙනවා.වැරද්දක් කියන්නත් බෑ.හාමුදුරුවොත් කුසගිනි දැනෙන සත්වයෙක් නෙව.

    • අයාල් සිත්….බැසිල් කැටේ කියන්නේ පොලවට අල්ලන ගල් වෙන්න ඇති නේද? නියම නම.

      හාමුදුරුවරු කියන්නෙත් අපි උඹලා වගේම තමයි බන්. 12න් ඉස්සෙල්ලා කාලා ඉවරවුනාම ආපහු පහුවෙනිදා වෙනකම් කොහොම ඉන්නද ? අනිත් එක කැම්පස් යන අය රෑ වෙනකම් පාඩම් කරා. මටත් ඔය කෑම ගැනනම් දොසක් කියන්න හිතෙන්නේ නැහැ. දවල් කෑම ඉවරවුනොත් රෑට ගාළුපාරට ගිහින් අපි ගෙනත් දෙනවා. ඕවා ප්‍රසිද්ධ රහස්.

      නාන කාමරේ ටෙලියෙ ලින්ක් එකක් තියෙනවා නම් දාපන්. ආසයි බලන්න.

      • Anonymous says:

        හා,හා බැසිල් කැට මරු නම.අල්ලගන්න ඕනේ අපේ පාරෙත්..:D

      • අරූ…බැසිල් කැටේ කියන්නේ පොලවට අල්ලන ගල් වලට තමයි.paving blocks කියල සිංහලෙන් කියන්නේ 😀 බැසිල් කැටේ කියන එකත් නාමල් කාපට් වගේ පොදු භාවිතයක්.

        ඕක පලවෙනි කොටස.යූ ටියුබ් එකේ ඔක්කොම තියෙනවා.එදා ටෙලි අදටත් පුදුම විදිහට ගැලපෙනවා නේ ??

      • @ අයාල් සිත්…..මේ වෙන කෙනෙකුට මම දාපු රිප්ලයි එකක්. කියවලා බලපන් නාන බාලිදිය ගැන.

        ඔය ගම්වල තිබුන පොදු ලිඳ සංකල්පයට ඉඳුරාම වෙනස් නාන බාල්දි වැඩේ. අර අයාල් සිත් දාලා තියෙන ටෙලි ක්ලිප් එකේ විදිහත් නෙමේ ඔය කොල්ලුපිටියේ එක. ඒක තනි තනි ටැන්කි පෝලිම් කිහිපයක්. එක පේලියට ඉඳන් තම තමන්ගේ ටැන්කියේ නානවා..ඒ වතුර මදි වෙන්නේ නැහැ නිතරම පිරෙනවා පොම්ප වලින්. හරිම පිරිසිඳු ක්‍රමයක් තනි ටැන්කියකින් නානවට වැඩිය.

  3. kathandarakaraya says:

    ඉස්කෝලේ කොල්ලෝ “පිං බතා” කියලා කිව්වේ නැද්ද?

    • නැහැ කකා. මොකද දන්නවාද….ඔය විත්තිය දැණගෙන හිටියේ ඔය වට පිටාවෙ හිටිය එවුන් තමයි. උන් ඔක්කොම යාළුවෝ. අනිත් කාරනාව මම ඔය කාලේ අලුත් ක්ලාස් එකකට වැටිලා හිටියේ බයො සයන්ස් කරන්න. ඒක අන්තිම ත්‍රාඩ පන්තිය . ඒකෙත් ත්‍රාඩම සෙට් එකේ තමයි මම හිටියේ. මරදාන.බොරැල්ල, ඇස්වාට්ටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සෙට් එකක්. කලක් කැසිනෝ රජෙක් වෙලා හිටිය නලීන් ෆොන්සේකාත් අපේ සෙට් එකේ හිටියා කාලයක්. අපේ සෙට් එකට කිව්වේ කාපිරි මුඩුක්කු සෙට් එක කියලා. උන් ඔක්කොම දැන් හොඳ, හොඳ ජොබ්ස් කරනවා. ඒ නිසා අපිට බයයි කස්ටිය. අපි පොඩි පන්තිවල ළමයිගේ වලි ශේප් කරනවා සල්ලි වලට. ඒ නිසා ඔය පිංබතා ලේබල් ගහන්න එහෙම දන්න එකෙක් වත් ආවේ නැහැ.

      • Anonymous says:

        දැක්කා නේද කතන්දර… අරූට පිංබතා කියන්න ආවොත් මරදානෙ සෙට් එක බස්සලා ආනන්දෙන් එලියට බහිනකොට දත් හැලෙන්න ගහන්නෙ…. පැරෂුට් එකෙන් ඇවිල්ලා අපේ කොල්ලොන්ට ටෝක දාන්නත් එනවා…. පුළුවන්නම් උඹ මරදානෙ දන්න අයියලා 10කගෙ නම් කියපන් බලන්න…. 😀

      • ඇනෝ….උඹ මාව චන්ඩියෙක් කරන්න එපා….හැබැයි මම හොඳට වල බැහැපු තැනක් තමයි ඇට්ලස් හෝල් එක ගාව. ඩොනල්ඩ්ස් ගාව ඉස්සරහ අපූරු තැන් .ඉස්සර ඉස්කෝලෙ යන කාලේ වැඩනේ. ඔතන ප්‍රජා ශාලාව ඉස්සරහ මගේ ක්ලාස් මේට් කෙනෙක් හිටියා ශ්‍රීනාත් කියලා. මම නිතරම එතන තමයි. මම එව්වා හෙමින් ලියන්නම්. අමු රස්තියෙක් බන් මම ඒ ලෙවල් කරන කාලේ. දැන් ඕවා හිතන කොට රසවත්. ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, පෙම්බ්‍රොක්, ඇලෙක්සැන්ඩර් තමයි අපේ සෙට් එකේ අනිත් එවුන්.

  4. කියවන විට මැවිලා පේනවා කතාව. ඔබේ ජීවන අත්දැකීම් අපි නොදත් සමාජයක් පෙන්වනවා. ජය

    • ස්තූතියි මකසි. හෙමින් දිගටම කියවපන්. මේ දේවල් උඹලාට වැඩිය කියවන්න ලැබිලා නැතිව ඇති.

  5. raigam says:

    අරූ, මේ කතාව ලියල ඉවර වුන දවසක, ටිකක් සංස්කරණය කර, පොතක් ලෙස මුද්‍රණය කරන්න හැකියි. ඒ නිසා කාලය අරන් හෙමින් ලියන්න. 🙂

    • මචං රයිගම්…පන්සල් කතා කියවලා උඹ බණ ටෝකින්ද? 😀 මගේ කතා අමුයි බන්.

      හැබැයි කිව්වත් වගේ හෙමින් ලියන එක නම් හොඳයි. එතකොට මටත් යමක් ඉගෙණගන්න පුළුවන්.

  6. maathalan says:

    ඔය නන ළිං ගැන මගේ මතකේ හැටියට මම ලිව්වා.. ඕවා ඉස්සෙල්ලාම මට පෙන්නුවේ අපේ තාත්තා.. එයා පොඩි කාළේ ඉඳන් අම්මා නැති නිසා කොළඹ නෑයෝ ගාව හැදුන කෙනෙක්. ඉස්සර සමහර වෙලාවට ඔය සන්ත බස්තියම පැත්තේ, අළුත්කඩේ පැත්තෙ ගෙවල් වලට යනවා නෑ හිත මිත්‍රාදීන් හම්බ වෙන්න. එයා නාලා තියෙන්නෙත් මේ නාන ළිං වලින්. ළිදකින් නානවා වගේ හිතේ හැටියට නාගන්න පුළුවන්. මේවා අයිති උන් හොඳ සල්ලි කාරයෝ. ප්‍රෙමදාස මහත්තයා මහල් නිවාස හදලා දීලා තියෙන්නෙත් මේවා බේරලා.. ඔය ගුණසිංහ පුර පැත්තේ. මේ වගේ ළිං හතරක් පහක් දැනටමත් තියෙනවා. එකක් තියෙනවා කාන්තාවන්ට පමණක්.. ඔය ළිං වලත් වෙන ස\ස්කෘතියක් තියෙනවා..

    හැබයි ඒකේ ගෑණූ නානවා බලන්න පුළුවන්.. වැඩ කරන උන්ට විතරයි.. (නැත්තන්, මේක කියවලා කොල්ලෝ එයි,, ගෑණු නානවා බලන්න..)

    • ///මේවා අයිති උන් හොඳ සල්ලි කාරයෝ. /// මේ කතාව ඇත්ත මචං…මමත් අහලා තියෙන්නේ එහෙම තමයි. අනිත් එක තමයි කුඹුකේ ලිඳේ වගේ තමයි ඕන පදම් නාගන්න පුළුවන්. ඉස්සර වවුල් ලන්කට් ගහගෙන තමයි අයියලා නාන්නේ. හෙන ටෝක් යන්නේ. පිට අතුල්ල ගන්න සිමෙන්ති කනුවක් තිබුනා ගානට පොලිෂ් වෙලා. අම්මට සිරි පොරවල් ඕකේ ඇතිල්ලෙනවා බලන් ඉන්න ආසයි. ලයිෆ්බෝයි කාලවල් තමයි සිගරට් ඊයම් කොලේ ඔතාගෙන එන්නේ. සූස්තියත් ගහනවා අයිනේ තියාගෙන.

      ඔතන එහා පැත්තෙම ගෙදර හිටියේ අපේ පන්තිවල එකෙක් ධර්මසිරි කියලා. ඌ ජූනියර් ඉන්න කොට හොඳ විකට් කීපර්. අමරදේව මාස්ටර් කොලෙජ් එකේ මොහොකටද සින්දුවක් කිව්වා …මූ තමයි තබ්ලා ගැහුවේ. හෙන තඩි සයිස් එකෙක්.

      මාතා….උඹ ලියපු නාන බාල්දි ස්ටෝරි එකේ ලින්ක් එක දාපන්කෝ.

      • Anonymous says:

        දැක්කා නේද කතන්දර… අරූට පිංබතා කියන්න ආවොත් මරදානෙ සෙට් එක බස්සලා ආනන්දෙන් එලියට බහිනකොට දත් හැලෙන්න ගහන්නෙ…. පැරෂුට් එකෙන් ඇවිල්ලා අපේ කොල්ලොන්ට ටෝක දාන්නත් එනවා…. පුළුවන්නම් උඹ මරදානෙ දන්න අයියලා 10කගෙ නම් කියපන් බලන්න…. 😀

      • මාතා…තෑන්ක්ස් මම බැලුවා..ලයිෆ්බෝයි බාගේ ගැන උඹ ලියලා. ඒ කාලේ ඕවා තමයි සංඛේත. පාන් කාල, කිඹුලා බනිස් එක, කිරි කහට එක.

  7. Kenji @ Japan says:

    අනේ මන්ද මචන්…
    ඇස් වහක් කට වහක් වදින්න නරකයි…උඹේ ලියවිල්ල එන්න එන්නම රසවත් වෙනවා…
    මට කියන්න තියෙන්නේ තව තවත් ශක්තිය & දිරිය ලැබේවා කියල විතරයි කොල්ලො…..
    අර අපේ රයිගම ලොකු අයියා කියපු වැඩෙත් කරමු මචෝ….

    • කෙන්ජි…….තෑන්ක්ස් මචං…ඔහොම ලියාගෙන යන්නම්. බලමු ඉස්සරහට.
      ///ඇස් වහක් කට වහක් වදින්න නරකයි//////
      ඇස් වහලා කට වහලා වෙන කරන්න දෙයක් නැද්ද බන් 😀

  8. Anonymous says:

    යකඩෝ රෝයල් එකට ඉගෙන ගන්න ගියේ වාලුකාරමේ නැවතිලා ඉදන්ද …. කෙලින්ම ඉතින් බලන් ගියාම රෝයල් ලයිෆ් එකක් තමයි ගෙවලා තියෙන්නේ

    • මගේ කොමෙන්ටුව උඩ ඇනෝ වැටිලන බන්

    • මොනවා කියනවාද රාළේ …රජවරුන්ටත් පිරිත් නූල් ගැට ගහ ගහ හිටියේ. දානේ ගේන්න යන්න සෙට් වුනාම තමයි ගම කන්නේ. වටින් පිටින් ඔමරි සිනා පාපු බිශොප්, සෙන්ට් බ්‍රිජට්, ලේඩිස් කොලෙජ් කෙල්ලෝත් හිටියානේ…කොහොමද දානේ බාස්කටුත් උස්සන් එනකොට. 😀

  9. නාන බාල්දි, ඒකත් මරු නේද?
    දැනට අවුරුදු තුනකට විතර කලින් නම් ග්‍රෑන්ඩ්පාස් වලදි දැක්කා පොදු පයිප්ප නම්. මට එත් එදා පුදුමත් හිතුනා නවකතාවල ෆිල්ම් වල විතරක් දැකලා තිබුන පොදු පයිප්ප සංකල්පය තාමත් තියෙනවද කියලා. මම හිතන්නෙ ඒක තාමත් එතන ඇති.

    අර නායක හාමුදුරුවො නම් ඇත්තටම පුදුම, නියම පොරක්.

    • ප්‍රියා……පොදු පයිප්ප වලින් නෑම නෑමක්ද බන්…නානවා නම් නාන්න ඕන නාන බාල්දියකින්. ෆුල් ආතල් ඕයි 😀

      කැළණියට නම් ඇදගෙනම නාන්න බුවා ආපහු ආවානේ. පරිස්සමින් හිටපන් 😀

      නායක හාමුදුරුවන් ගැන නම් තව බොහෝදේ තියනවා ලියන්න. හෙමින් ලියන්නම්.

  10. damith says:

    //ඉන්පසු උදෑසන ආහාරයද ගෙන //
    දානය වලදා කියල වෙනස් කලානම් හොදයිද මන්දා.
    නාන ටැන්කි නම් ටෙලි කිපෙකම දැක්ක.හැබැහින් නම් නැ.
    හැමදාම වගෙ චිත්ත රුප මැවෙන්න ලියවිල්ලට.

    • ///දානය වලදා කියල වෙනස් කලානම් හොදයිද මන්දා.////
      මම ඕනකමින් ලිව්වේ දමිත්. නැත්නම් ඉස්සරහට… රාත්‍රී දානයද වලඳා කියලා ලියන්න වෙනවානේ 😀

      උඹලා ඔය ටෙලිවල දැක්කා කිව්වට මම ටෙලියකවත් නාන බාල්දියක් දැකලා නැහැනේ. පුළුවන් නම් ලින්ක් එකක් දාපන්කෝ.

      • Anonymous says:

        මචන් අරු
        පුන්චි බොරල්ලෙ වල ගව තියන නාන බල්ඩියෙ මම ඩවසක් නාවා
        ක්ලින් ඩවසෙ කරටි කඩෙනකන් ගහලා උඩෙ නගිටගන්න බෑරිව ඊන්නකොට යලුවෙක් එක්ක ගිහින් නාවා.හන්ගොවෙර් එකට මරු බෙහෙත
        meeta SURAYA

      • මචං සුරයා…..උඹ රාමා නේද? නාන බාල්දියෙන් නාන එකම දොස්තරයා උඹද මම දන්නේ නැහැ. පුංචි බොරැල්ල ගැනත්, බ්ලොම් එක ගැනත් ලියන්න ඕන. හැන්ගෝවර් නැද්ද බං ඒ කාලේ බොන බීමට. තව රසකතා වැලක් උඹ දැන් මට මතක් කරනවා මේ කමෙන්ට් එකෙන්. හිටපන් උඹට මම දැන් කෝල් එකක් දෙන්නම්.

        බ්ලොම් එක ගාව ෆ්‍රැන්සිස් රෝඩ්, උඹේ වල, උඹලගේ මෝචරිය තව කී දාහක් තියෙනවාද ලියන්න? මම තාම ඒ ලෙවල් පන්ති ගැන එහෙම ලියන්න ගත්තේ නැහැ. කියවපන් දිගටම.

    • damith says:

      ෂුවර්ද ස්විප් එකක් කියල

      • damith says:

        වැරදි කෙමෙන්ට් එකක් වැටුන.මකන්න බැ.සොරි.අයාල් ලින්ක් එකක් දාල නේ.

  11. Ravi says:

    /  කොම්පඤ්ඤවීදියේ මෙවැනි තැනක් තිබූ බව දැක ඇතත් මරදානේද එවන් තැනක් තිබූ බවත් අසා තිබුණි. /

    හරි බං මරදානෙ ඔය උඹ කියන එකමද නම් මන්දා මාළිගාවත්තෙ රේල් බෝක්කුව ගාව ඒ කාලෙ තිබ්බ බි.සී.සී ( British Ceylon Corporation, අර මතකද පොල්තෙල් සබන් එහෙම හැදුවෙ, බී.සී.සී. සවරින් බාර්..79 විතර බී.සී.සී. එක රජයට පවරා ගත්ත. පස්සෙ කොම්පැණිය වැහිලම ගියා ) ෆැක්ටරිය පිටිපස්සෙ ඔය වගෙ මහ විසාල ටැංකි තුනක් නැත්තං හතරක් තිබ්බ. ඔතනම රේල් පාර අයිනෙ තිබ්බ දුම් රිය නිලනිවාසයක මගෙ මාම කෙනක් හිටිය. මම ඉතිං ඔහෙ ඇවිල්ල ඉන්නව මාස දෙහෙකට සැරයක් දවස් දෙක තුනක්.

    / එවකට දේශපාලන ප්‍රබලයෙක්වූ රොනී ද මැල් මහතාගේ බගතලේ පාරේ නිවසින් /

    රොනී ද මෙල් මහත්මයා විවාහවූයේ ඒ දවස්වල ලංකාවෙ නොම්මර එකේ ධනවතෙක් වූ ලියෝ ප්‍රනාන්දු මහත්මයගෙ දියණිය සමඟ..මල්ලිකා ප්‍රනාන්දු. මල්ලිකා ද මෙල් පස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකටත් පත් වුනා වගෙ මතකයි. ඔය නිවසත් මම හිතන්නෙ දෑවැද්දට හම්බ වෙච්ච එකක්. බද්දේගම පැත්තෙ තව තිබ්බ ගීකියනකන්ද කියල තේ වත්තක් රොනීට. මුදල් ඇමති කාලෙ අය-වැය අවසාන කෙටුම්පත සකක් කරන්නෙ ඔය වත්තට ගිහිල්ල. රොනී අය-වැය කතාව කරනව පැය දහයක් දොළහක්වත් අඩුම ගණනෙ.

    ප්‍රේමදාස, රොනී සහ උපාලි තුන්දෙනා අතරතිබ්බ එකිනෙකා කෙරෙහි පුදුම අමනාපයක්. ” ඔය බජට් කතාව කියන එක වතුර බිබී වරු ගනං කරන්න ඕන එකක් නෙවෙයි ” ප්‍රේමදාස රොනීගෙ අති දීර්ඝ අය-වැය කතාව සමච්චලයට ලක් කලේ එහෙමයි. උපාලි චිත්‍රමිත්‍ර පත්තරේ පටන් ගත්තම ඒකෙ අන්තිම පිටේ පළවුනු කතාවෙ හිටපු එක චරිතයක් රොනියා කියල බල්ලෙක්. ” රොනියා” කියල අකුරු තුන බෝල්ඩ් කරල තිබ්බෙ කැපිල පේන්ට.

    / එම පවුලේ යම්කිසි ආබාධයකට ගොඳුරුවූ දරුවෙක් සිටි බවත් මතකය.  /

    රොනීගෙ එකම දියණිය ඉණෙන් පහල ආබාධිතයි මම හිතන්නෙ. ඇය ජීවිත කාලයම ගතකලේ රෝද පුටුවක.

    පලි – අරූ..මම හිතාගෙන උන්නෙ මම බොහෝ ජීවිත අත්දැකීම් වලින් සපිරුණු පුද්ගලයෙක්ය කියල. එහෙත් සබඳ ඔබගේ ජීවන අත්දැකීම් වලට අලගු තැබීමටවත් ඒ අපොහොසත් බව අතැඹුලක්සේ පැහැදිලිය. අම්මාපල්ල උඹේ ඔය අත්දැකීම් මට තිබ්බනං මම ලියනව මචං පොතක් සවර්ණ පුස්තක, ගොඩගේ, ඩී.ආර්. විජේවර්ධන ඔක්කොම එක පාර ගන්ට. 😀

    ඒයි මචං මේ විහිලුවට නෙවෙයි.පොතක් ගහමු… මම පුළුවන් උදව්වක් කරන්නං…ගිරි මුදුන හිඳ ඉසිඹු ලබනෙමි. කොහොමද ඒ නම පොතට?…නැත්තං දාමු ගිරග අවලෝකනය කියල. 🙂

    • maathalan says:

      මුගේ නම් දැම්මොත් පොත් කියවන ටික දෙනත් නවත්තලා දායි.. පොතකට නමක් ඕන නන් මට කතා කරහන්.. දෙන්නන් නිකන් පොරි හැලෙන නමක් ගනද මක්කද පිහිටුවලා.. එහෙම නැතනම් මොහාන් රාජ් මඩවල.. පොත යන්නේ නමට..

      • @ මාතා……යකෝ රවියාගේ නම් දෙක කියවගන්න ගිහිල්ලා මගේ දිවත් උළුක්කු වුනා 😀

    • තිසර says:

      මගේ දෙකයි පණහත් මෙතනම දාලා යන්නම්. අද පෝස්ට් එක නම් එළ. වැරදිම හොයන මටවත් හොයාගන්න වැරැද්දක් නෑ :). අරු, මේ කතාව පොතක් කරමු. කලබල වෙන්න කරි නෑ, ඔහොම ලියාගෙන යමුකෝ. ජේවීපී බාසාවෙන් කියනවා නම්, “මේ කතාව විසින් ‘පොත’ නම් වූ ආකෘතිය ඒ සඳහා ඉල්ලා සිටිනවා, ඒ ඓතිහාසික අවස්ථාව සහෝදරයට මග අරින්න බෑ”.

      නමගම දාන්න මුන් දෙන්නව අල්ල ගනින්. මට දීපන් සෝදුපත් බලන්න…

      • @ රවී……මේ තොරතුරු වලට බොහොම ස්තූතියි.ඔය බිසිසි එක ඉස්සරහ මෝටර් ස්පෙයාර් පාට්ස් ශොප් එකක අපේ මල්ලි වැඩ කරා. වයිෆ්ගේ පොඩි බාප්පා වැඩ කරේ ඕකේ. හොඳ ප්‍රඩක්ට්ස් ටිකක් ඔතනින් එලියට ආවා. බිසිසි සඳුන් සබන් එහෙම මතකයි.

        රොනීගේ අයවැය කතාව උදේ පටන් ගත්තාම රෑ වෙනකම් යනවා. ඒත් සමහරු රේඩියෝ එකේ අහගෙන ඉන්නවා. මොනවා අහනවාද මන්දා.

        රොනිට තව දරුවෝ හිටියා වගේ මතකයි. ඔය රෝද පුටුවේ හිටිය දරුවාගේ කතාව උඹෙ කමෙන්ට් එකෙන් තහවුරු වුනා. මල්ලිකා ද මැල් මාතර මන්ත්‍රීනි වුනා තමයි. 2009 වගේ මියගියා. සෝමවංශ අමරසිංහ අවමගුලට ගියා කියනවා දෙවිනුවර. මොකද විජේවීර හිරේ ඉන්න කොට ,එයාගේ පවුලේ උදවියව තංගල්ලේදි දන්න නිසා….වැලිකඩට බලන්න ගියාලු.
        මචෝ…..ඔය සර් ලියෝ ප්‍රනාන්දු මහ ධන කුවේරයෙක් කියලා මම අහලා තියෙනවා….

        අනිත් එක බලපන් මගේ දෛවය…..බැඳලා කාලෙකට පස්සේ රොනීගේ නංගි කෙනෙකුගේ ගෙදර අපිට ඩිනර් එකකට ඉන්වයිට් කලා ඒ කිට්ටුවම චාල්ස් ඩ්‍රයිව් එකේ..මගේ වයිෆ්ගේ පියා සමග ඒ අයගේ තිබු සුහදත්වය නිසා. ඕන් බලපන්.

        //////– අරූ..මම හිතාගෙන උන්නෙ මම බොහෝ ජීවිත අත්දැකීම් වලින් සපිරුණු පුද්ගලයෙක්ය කියල. එහෙත් සබඳ ඔබගේ ජීවන අත්දැකීම් වලට අලගු තැබීමටවත් ඒ අපොහොසත් බව අතැඹුලක්සේ පැහැදිලිය. අම්මාපල්ල උඹේ ඔය අත්දැකීම් මට තිබ්බනං මම ලියනව මචං පොතක් සවර්ණ පුස්තක, ගොඩගේ, ඩී.ආර්. විජේවර්ධන ඔක්කොම එක පාර ගන්ට. :D/////////

        අපි මෙහෙම කියමු….උඹේ ජීවිත අත්දැකීම් සහ දුෂ්කර ප්‍රදේශවල අත්දැකීම මල් මසුරන්..අනිත් එක උඹේ ද්වීභාශා දැණුම මට තිබුනා නම් ,ඒ අත්දැකීම් එක්ක මම පොතක් ලියලා ගන්නේ බුකර් ප්‍රයිස් තමයි ආයි දෙකක් නැහැ. 😀

        පොතට දාමු රාජකීය ඇබිත්තයා කියලා 😀

      • @ තිසර ……මම මේ කොටසට හරිම කැමතියි. නියමයි! ///// ජේවීපී බාසාවෙන් කියනවා නම්, “මේ කතාව විසින් ‘පොත’ නම් වූ ආකෘතිය ඒ සඳහා ඉල්ලා සිටිනවා, ඒ ඓතිහාසික අවස්ථාව සහෝදරයට මග අරින්න බෑ”.//////

        තිසර මේ පාර ලිව්ව කොටසේ, වැරදි නැත්නම් ඊට රහස තමයි……යමක් කී විට ඒය නැවත සිතා බලා…වරද නිවැරදි කර ගැනීමට කැමති කීකරු සිසුවෙක් වීම 😀

        ඕක ඉස්කෝලේ යන කාලේ හිතුවේ නැහැනේ.

      • Ravi says:

        Aru,

        අන්න මරු…. ගහමු පොත ඉංගිරිසියෙං…The Royal Acolyte – An Autobiography by Aruna Perera 😀

      • @ රවී…..ඔන්න බලපන් හරියටම හරියන ඉංග්‍රීසි වචණ දෙක එක පාරටම උඹ එව්ව හැටි. ඒකනේ බන් මම කියන්නේ.

  12. මරදානේ නාන බාල්දි මට පෙන්නුවේ මගේ ලොකු අක්කාගේ මහත්තයා. නමුත් දැන් මතක නැහැ ඒ මරදානේ කොයි හරියේද කියලා. රොනී ද මෙල් දේශපාලන වවුලෙක් වුනත් නිහඬව පින්දහම් කලබව මම කීප වරක් අසා තිබෙනවා.

    • විචාරක…..මේ නාන බාල්දි කොළඹින් පිට තිබිලා නැද්ද? රවීගේ කමෙන්ට් එකේ හැටියට මට හිතෙනවා මරදානේ පැත්තේ දෙක තුනක් තිබිලා තියෙනවා කියලා.

      “රොනී- පනී” කියලා කීපාරක් හෙඩ් ලයින්ස් යන්න ඇතිද පත්තරවල.රොනී ද මැල් පවුල හොඳ සමාජ සේවකයෝ කියලා තමයි කියන්නේ. රුහුණු කැම්පස් එකේ භාරකාර අරමුදලටත් ලොකු දායකත්වයක් දුන්නා කියලා කියනවා. දෙන්න බැරියැයි ඒ තිබුන සල්ලි හැටියට.

      මම මෑතකදී දැක්කා ගීකියනකන්දේ ගෙදරින් මිලියන් පහකටත් වඩා වටිනා විශාල ඇන්ටික් ඔරලෝසුවක් හොරු අරන් ගිහින්. වටිනාකම නොදැන පරණ යකඩ කඩේක මස් කරලා කියලා.

  13. ගොඩක් ආසාවෙන් කියවගෙන යන ලිපි පෙලක්. ඒ කාලෙ කොලඹ පරිසරය ගැන මේ විස්තර කිසිවක් මින් පෙර දැන සිටි ඒවා නෙමෙයි. නිතර කමෙන්ට් නොකලත් මේ ලියැවිල්ල අනිවාර්යයෙන් රසවිඳිනවා.

    • රස විඳිනවානම් ඒ ඇති බස්C….කොළඹ අවට ගැන මම දන්න ඒවා තමයි ඔය. තව රසවත් අදහස් කමෙන්ට්ස් වලින් එනවා. බස්Cගේ වැඩිහිටියෝ නම් තව තොරතුරු දන්නවා ඇති.

  14. නියම ලිපි පෙලක් අරූ අයියෙ..නිවාඩු පාඩුවෙ ඇවිත් අනෙක් කොටස් කියවන්නම් 🙂

    • හෙමින් සැරේ කමෙන්ට්ස් සමගම කියවන්න. හැබැයි සසිඳුට ලොකු කාලයක් ගතවෙයි.

  15. පින්කැටේ සල්ලි දුප්පත් ඉස්කෝලේ කොල්ලන්ට බෙදපු හාමුදුරු නමක් ගැන මම ඇහැව්වමයි බන්. ඔය පන්චිකාවත්තේ තාමත් තියෙනවා මන් හිතන්නේ ඔහොම සල්ලි ගෙවාලා නාන්න පුළුවන් ලිඳක් . පෝස්ටුව හැමදාම වගේ සාරවත් බං .

    • ණයත් නැහැ..බයත් නැහැ මොඩ්ල් එකේ කෙනෙක්.
      බලාගෙන ගියාම නාන බාල්දි කොළඹ අවට බොහොමයක් තිබිලා තියෙනවා ඒකාලේ. දිගටම කියවපන් තිලකේ.

  16. helapayaa says:

    හරිම රසයි මචං,චිත්ත රූප මැවෙනවා කියවගෙන යනවා තේරෙන්නෙ නෑ,අපිට ඔය වගේ අත්දැකීම් නැති නිසාද මන්ද හරිම රසවත්.

    • හැලපේ…..උඹේ කුඩා කාලය බොහෝ විට ගමේ හිටිය නිසාත්, මට වගේ කට්ටක් කන්න නොලැබුනු නිසාත් ,උඹට මේ දේවල් රසවත් වෙනවා ඇති. උඹ හැදුනු ඒ පරිසරයේත් බොහෝ රස මුසු තැන් ඇති බව මට දැණෙනවා.

      උඹේ මේ පාර ලිපිය දොඹෙන්ම ලියලා තියෙනවා. මම තාමත් ඒක අප්ඩේට් වෙන හැටි කියව කියවා රස විඳිනවා.

  17. යුගාන්තය කියෙව්වා….තව තියෙනවනේ …පන්සලේ හාමුදුරුවෝ මිනිස්සුන්ට සල්ලිවලින් උපකාර කරනවා කියන එක අද හීනයක් …බෙන්ස් එකක් ගන්න තිබ්බ සල්ලි

    • තව තියෙනවා තව තියෙනවා ඉවාන්..කොල්ලුපිටිය ඉවර කරන්න තව දෙකක්වත් ලියන්න වෙයි. ආනන්ද හාමුදුරුවන්ට කාර් එකක් තිබුනා ඒ කාලෙත්. කොන්සල්ද මොකක්ද කියන්නේ. ඒ කාලෙත් පන්සලේ ලෑන්ඩ් ලයින් ටෙලිෆෝන් එකක් තිබුනා. සල්ලි තිබුනා ඇති වෙන්න.

  18. Chandana says:

    //බොහෝදෙනා පිසින ලද ආහාර වෙනුවට මුදල් පරිත්‍යාගයක් කිරීමට පුරුදුවී සිටියහ.// මේක අපිත් කරනවා. සමහර විට උයාගෙන අරන් යනවට වඩා ඒක ප්‍රයෝජනවත් නිසා.
    පලමු වටය ඉවරයි. ආයෙ එන්නම් කමෙන්ට් එක්ක දෙවෙනි, තුන්වෙනි වතාවටත් කියවන්න. 🙂

    • මේ මාසික දානේ අරන් පන්සල් එනවාට වඩා…මුදලින් ආධාර දෙන එක ඒ දවස්වල ඉඳන්ම තිබුනා. හාමුදුරුවරුන්ට ඒ වෙනුවෙන් දායකයා ඉදිරිපිට සියළු චාරිත්‍ර කරන්න උවමනා නැහැ. බුද්ධ පූජාව අනිවාර්‍යයෙන් සිදුවුනා. ඉතිරි වැඩ සාමන්‍ය විදිහට ගියා. ඒ මාසික දාන නොහොත් සලාක දාන. අනිත් විශේෂ අවස්තාවලදි දාන දීම ඉතාමත්ම පිලිවෙලට සිද්ධ වුනා.

      දායකයින් මුදල්දීම පන්සලේ හිටපු ප්‍රේමේට, බන්දුට පොඩි අමතර වාසියකුත් වුනා. ඒවා ඉතාමත් සුළු වශයෙන් නායක හාමුදුරුවන්ට නොතේරෙන්න. දානයකින් කාටත් පොඩ්ඩක් හරි ලැබෙන එක හොඳයිනේ : D
      ////පලමු වටය ඉවරයි. ආයෙ එන්නම් කමෙන්ට් එක්ක දෙවෙනි, තුන්වෙනි වතාවටත් කියවන්න. :)/////

      ආ බන් උඹ දැන් මාරක ලිඳ වගේ වට කිහිපයක් යනවාද 😀

      • Chandana says:

        //ආ බන් උඹ දැන් මාරක ලිඳ වගේ වට කිහිපයක් යනවාද// නත්තං.. ඇයි අප්පා, කට්ටිය සෙට් වුනාම නෙ අතුරු පස ටික එලියට එන්නෙ. ඒව අතෑරල කොහොමද 🙂

  19. රසික says:

    අරූ, අදත් මට උඹෙන් ඕපදූපයක් තියෙනවා අහන්න. මට අහම්බෙන් ලක්බිම පත්තරේ රිද්ම අතිරේකෙට දයා ද අල්විස් මහත්මිය ලියන ලිපි පෙලක් අහු වුනා “එකෝමත් එක දවසක” කියලා. පේන හැටියට දැන් අවුරුද්දක විතර ඉඳන් යන ලිපි පෙලක්, මට ඔක්කොම කියවන්න වෙලා තිබ්බෙ නෑ. මම දැනගෙන හිටියෙ ප්‍රේම්ගෙන් දයාට හිටියෙ සුරංගි කියලා. නමුත් මේ ලිපි වල තව සුරංගිට වැඩිමල් පුතෙක් ගැන කියවෙනවා තරංග කියලා (පූර්ණ සම්පත් නෙවෙයි). Aru මේ ගැන දන්නවද? මේ කට්ටිය ඉඳලා තියෙන්නෙ නාවින්නෙ වගෙයි පේන්නෙ. සමාවෙයන් ලිපියට අදාල නැති කෙමෙන්ට් එකට.

    • රසික……මේ ලිපි පෙළ මම දිගටම කියෙව්වා….මොකද අමරබන්ධු රූපසිංහ මහත්මයා සමග මම කලක් ඇසුරු කර නිසා ප්‍රේම් ගැන දයා අල්විස් මහත්මිය ගැන දන්නවා. නාවින්නට වඩා කෝට්ටෙ පැත්තෙ හිටිය බවක් මතකයි. මට ඒ තරම්ම මතකයක් නැහැ. ඒ කියන පුතා ගැනත් මම හරියටම තොරතුරක් දන්නේ නැහැ. ප්‍රේම් -දයා විවාහයේ අවසානය සමග පස්සේ ප්‍රේම් දෙල්කඳ මම දන්න තාවකාලික නවා තැනක සිටියා. අමරබන්දු යම් යම් හේතු මත අපි සෙට් එකක් සමග විජේරාමේ මගේ මාමා කෙනෙක්ගේ ගෙදර සිටියා. බන්ඩාර කේ විජෙතුංගයන් තම පවුලේ අය සමග විජේරාමේ අටේ කනුව අසල පදිංචිව සිටියා.

      ප්‍රේම් නැවත විවාහවූ පසු මරා දමන තෙක් හෝමාගම කටුවන පාරෙ බිරිඳ හා පුතා සමග හිටියා.

      දයා ද අල්විස් මහත්මිය කියන ඒ පුතා ගැන කිසිවක් මම දන්නේ නැහැ.

      • රසික says:

        ආපු කුතුහලේටම ටිකක් ආපස්සට කියවගෙන ගියා බන්! මම තේරුම් ගත්ත හැටි වැරදි නැත්නම් සෝමපාල රණතුන්ග කියන ප්‍රවීණ මාධ්යවේදියා සමඟ දයා ද අල්විස් මහත්මිය විවාහ වෙලා ඉඳලා තියෙන්නෙ. පුතා ඔහුගෙ දරුවා. ඔහුගේ මරණයෙන් පස්සෙ දයා ගෙ ගෙවල් වලින් අකමැති වෙද්දිත් තමා ප්‍රේම් එක්ක නැවත විවාහ වෙලා තියෙන්නෙ. ස්තුතියි උඹෙ පිළිතුරට.

      • රසික….දැන් උඹ කියනකොට යාන්තම් මතක් වෙනවා. මමත් එහෙනම් දයා අල්විස්ගේ කොලම් එක මගින් පටන් අරන් තියෙන්නේ කියවන්න.

  20. ඒ කාලේ ඔය මහජන ලිඳ තිබ්බ හින්ද ඒ කාලේ කාන්තාවෝ නානවා බලන්නත් අසහනකාරයෝ එන්න නැතිව ඇති නේද අරූ.
    කොළඹ පැත්තේ ලිං ගැන නම් දන්නේ නෑ අපේ ගමේ මේවගේ ටැංකි සිස්ටම් එකක් තිබුනා. මම හිතන්නේ ඒවා නම් ගමේ යමක් කමක් තිබුන මිනිස්සු සල්ලි වියදම් කරලා ජල උල්පතක් පීල්ලකට අරගෙන ඒවා ටැංකි කරවලා තිබුනේ. සල්ලි ගත්තේ නෑ. අපිට නිවාඩු දවසට (අපේ වත්තේ ඕනේ තරම් ලිං තිබුනත්) අපිත් ගිහින් තියෙනවා එහේ නාන්න. හරියට පික්නික් යනවා වගේ ඒ කාලේ අපි එහේ නාන්න ගියේ. එකම ප්‍රශ්නේ වුනේ වතුර හරි සීතලයි. ඒත් එන මඟ හමුවෙන ගස් වල ගෙඩි හෙම කාල එන හින්දා උඩ පැනගෙන ගියේ. අපේ කුඹුරේත් ලිං කිහිපයක්ම තියෙනවා මිනිසුන්ට නාන්න හදපු. ඉස්සර මිනිස්සු පොදු ලිඳ කියන සංකල්පයම භාවිතා කලා වෙන්නැති.

    • අසහන කාරයෝ නම් එදාත් ඉන්න ඇති රංගි. ඒවා සදාතනික දේවල්නේ.

      ඔය ගම්වල තිබුන පොදු ලිඳ සංකල්පයට ඉඳුරාම වෙනස් නාන බාල්දි වැඩේ. අර අයාල් සිත් දාලා තියෙන ටෙලි ක්ලිප් එකේ විදිහත් නෙමේ ඔය කොල්ලුපිටියේ එක. ඒක තනි තනි ටැන්කි පෝලිම් කිහිපයක්. එක පේලියට ඉඳන් තම තමන්ගේ ටැන්කියේ නානවා..ඒ වතුර මදි වෙන්නේ නැහැ නිතරම පිරෙනවා පොම්ප වලින්. හරිම පිරිසිඳු ක්‍රමයක් තනි ටැන්කියකින් නානවට වැඩිය.

    • අසහන කාරයෝ නම් එදාත් ඉන්න ඇති රංගි. ඒවා සදාතනික දේවල්නේ.

      ඔය ගම්වල තිබුන පොදු ලිඳ සංකල්පයට ඉඳුරාම වෙනස් නාන බාල්දි වැඩේ. අර අයාල් සිත් දාලා තියෙන ටෙලි ක්ලිප් එකේ විදිහත් නෙමේ ඔය කොල්ලුපිටියේ එක. ඒක තනි තනි ටැන්කි පෝලිම් කිහිපයක්. එක පේලියට ඉඳන් තම තමන්ගේ ටැන්කියේ නානවා..ඒ වතුර මදි වෙන්නේ නැහැ නිතරම පිරෙනවා පොම්ප වලින්. හරිම පිරිසිඳු ක්‍රමයක් තනි ටැන්කියකින් නානවට වැඩිය.

  21. ජගත් says:

    පාසල් කාලය හා එකළ සමාජ වටපිටාව ගැන ඒ එන් පෙරේරා ලියන ආකාරය හරිම රසවත්-ජගත් රංජන් sudasinghe (ඇට්ටරපේමියා)

    • මචං ඇට්ටරපේමියෝ……..අවුරුදු 35කින් විතර මෙහෙම හරි හමුවෙච්ච එකනම් මට පුදුම සතුටක්. උඹට ඔක්කොමට කලින් රිප්ලයි එකක් දාන එක යුතුකමක්.

      උඹට පේමි කිව්වේ උඹ මීපේ ඉඳන් පාසල් ආපු නිසා. වික්කා තමයි ඔය නම දැම්මේ. උඹට ඇට්ටර කිව්වේ සයිස් එක නිසා මගේ හිතේ. මීපේ චන්ද්‍රිකා සෙන්ටර් එක පැත්තේ ඉඳන් උඹේ නැන්දා එක්ක උඹ කාලයක්ම ඉස්කෝලේ ආවේ. මම පහත්ගම ඉන්න කාලේ උඹත් එක්ක එක බස් එකේ කොච්චර ගිහින් ඇද්ද? උඹ ලියලා තියන විදිහ…ඒ. එන්.පෙරේරා කියලා තමයිනේ මට ඉස්කෝලේ කිව්වේ. පස්සේ පස්සේ නිකන්ම “පෙර් රා” වුනා ලොකු පන්තිවලදි.

      මේ හමුවීම මෙන්ම උඹ මා කියවීම මට ලොකු සතුටක්.

  22. අරූ අය්ය ලියන ඒව කියවන්න දැං මම ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඒ තරං රසවත්…
    පහුගිය දොහක මව්බිම පත්තරේ දාල තිබ්බ නාන බාල්දි ගැන.. දැං නං රු.25ක් ගන්නව කියල තමා තිබ්බෙ. තැන බොරැල්ල හරිහෙ.. පුංචි බොරැල්ලද මංද..
    හදිසි නෑ හිමිං ලියමු… මොකද එතකොට මොනාත් මගෑරෙන්නෙ නෑනෙව…
    අර කිව්වත් වගේ පොතක් ගහමු… ඔය දෙන ස්මාන ඔක්කම හම්බෙයි ආයෙ දෙකක් නෑ

    • මහේෂ්…….මටත් ඔය රසවත් නිසා බොහෝ දේවල් ඇබ්බැහි වුනා..පරිස්සමින් 😀
      මට අනිත අයගේ බ්ලොග්ස් කියවන්න බැරි උනා දවස් දෙක තුනකින්. මට ඕක නිතරම වෙනවා. වෙලාව මාර වාතයක්. මම දැන් හදිසියක් නැතිව හෙමින් ලියන්න හිතාගත්තා. ස්තූතියි මහේෂ්.

      වෙලා තියෙනවානම් මට මව්බිමේ ඒ ලින්ක් එක දානවාද. කියවා බලන්න කැමතියි.

  23. මේ තරම් කිට්‍ටුවෙන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා වෙච්ච දේ ප්‍රතිනිර්මාණය කලා වගේ ලියන එක ප්‍රාතිහාර්යයක්. අපි බොහෝවිට කියවන්නේ ඒ කාලේ කවුරුහරි ලියපු පරණ විස්තරයක්නේ. උඹව සෑහන වටිනවා හොලිවුඩ් වගේ තැනකට.

    • . ///උඹව සෑහන වටිනවා හොලිවුඩ් වගේ තැනකට./////
      මචං ඩූඩ්.. අපි ගහමු ෆිල්ම් එකක්. 😀 අර මාතා හැලපගේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ උඹ කළා අධ්‍යක්ෂක කෙනෙක්ද කියලා. නියම වැඩර්ලා සෙට් එකක් ඉන්නවා බන් බ්ලොග් ලෝකේ. රවීට දෙමු ස්ක්‍රිප්ට් එක ලියන්න. මම ටීබෝයි සහ බාර් කීපර් , නිලියන්ගේ සම්බන්ධීකරන වැඩ , ඇතුළු පහසුකම් සේවා 😀

  24. Pra Jay says:

    මම පාසල් යන කාලෙ ඒතරම් කෑමති නෑති ඉස්කොලයක් වුනත් (due to traditional school prejudices) පස්සෙ මට තේරුනා රෝයල් එක තමයි කොලඹ සමාජයීය, ජාතික ආගමික විවිදත්වය වෑඩිම පාසල කියල. ඒකෙ වටිනාකම සහ වින්දනය මට තේරුනේ වෑඩ කරනකොට.
    අරූට තමන්ගෙ මත වෑඩිය නෑතුව ඉතිහාසය ලියන්න කියල, මම මගේ මත ලියනව මෙතන! 🙂
    කොමෙන්ට්වල නේ?

    • Pra Jay says:

      sorry about the double negative.
      “නොවුනත්” නොව “වුනත්” විය යුතුයි.
      ඩිලීට් කරන්න බෑරි ඈයි?

      • Ravi says:

        ප්‍රා,

        ඔය වදන්තද මඟුල ඔහොම්මම තමයි. ආය කෙටුවොත් කෙටුවම තමයි. වැරදි හැදිලි බෑ සම්මජාතියෙ. ගලේ කෙටුව වගෙ තමයි. ඔය වැරද්දක් උනාම ඒක හදන්ට බැරිකම හින්ද මහ විසාල අර්බුද ඇතිවෙන්ටත් ඉඩ තියනව.

        අර දන්නවනෙ 2012.12.12. ලෝක විනාසෙ කියල මායා කැලැන්ඩරයක් අල්ලගෙන රෙදි කරට අරගෙන උඩ පැන්න. හෙහ්..හෙහ්..ඒකෙ ඇත්තම කතාව ඇවිල්ල දින දර්සනේ කොටපු එකා මලක් ගහල ඉඳල තියෙන්නෙ.ඌට වැඩේ වැරදුනා. ගලේ කොටපු හින්ද ආය හදන්ටය…සෝක් කතාව ඒක..වෙන වෙලාවක කියඤ්ඤං… 🙂

    • මේ මගුලේ එහෙම ඩිලීට් කරන්න බෑ. නමුත් අරූ උඹට පුළුවන් එක්කෝ ප්‍රාගේ කමෙන්ට් එකේ ඩබල් නෙගටිව් එක එඩිට් කරන්න. නැතිනම් කමෙන්ට් එකම ඩිලීට් කරන්න. එහෙම කලාම මුළු ත්‍රෙඩ් එකම ඩිලීට් වෙනවද කියලා නම් දන්නේ නෑ. එහෙම වුනොත්, ප්‍රාගෙ අනිත් කමෙන්ට් එකයි, රවියයි, මායි ඔක්කොම කැපිලා යනවා.

      • Pra Jay says:

        Ravi, මම හිතුවෙ ගලේ ඉඩ මදි වුන නිසා 2012 න් නෑවෑත්තුව කියල
        Btw, ඔබ 2102 යයි ටයිප් කර තිබෙන්නේ ඩිලීට් නොහෑකියාව ගෑන demonstration සදහාද නෑතහොත් මලක ආනුබාවයෙන්ද? 🙂
        Henry, මොකක්ද මේ මඟුල anyway? මේ එකක්ගෑනවත් මම වෑඩිය දන්නෙනෑ

      • තෑන්ක්ස් ඩූඩ්….දැන් හරි. අද ඒ වැඩෙත් ඉගෙන ගත්තා.

      • ප්‍රා…….තෑන්ක්ස්….රවීගේ ටයිපින්ග් එරර් එක 2012 කරා. මාත් දන්න දේවල් දැන්.

    • @ප්‍රා…….අපි මේ මත එලියට අරන් කතා කරමු. නැතනම් බ්ලොග් ලිවීමෙන් විතරක් වැඩක් වෙන්නේ නැහැ කියන මතයෙ තමයි මම ඉන්නේ.

      ප්‍රා රෝයල් එකට වැඩ කරාද? ඇත්තටම කොළඹ අනිකුත් ප්‍රසිද්ධ පාසල් වලට වඩා රාජකීය එකේ සමාජ හරස් කඩක් ගැවසුනා කියන එක හරි, හැම ආගමක්ම, හැම ජාතියක්ම, සෑම ආර්තික ලෙවල් එකකටම අයිති දෙමව්පියන්ගේ දරුවෝ ඒ තුල නියෝජනය වුනා. අංක එකේ ධන කුවේරයාගේ සිට මම වැනිවුන් පවා එතන හිටියා. සීසන් ටිකට් එක ගන්න බැරි එකාගේ සිට කාර්වලින් ඉස්කෝලෙ එන එවුනුත් හිටියා. අපි ඔක්කොම යාළුවෝ. මේ නිසා සිසුන්ට වගේම ගුරුවරුන්ටත් බොහෝ ඇත් දැකීම් එකතු කරගන්න හොඳ තැනක් වුනා මගේ හිතේ.

      • Pra Jay says:

        නෑ. මම කිව්වෙ මන් වෑඩකරන තෑන තියන විවිදත්වයට මම ගොඩක් කෑමතියි. මට පසුව තේරුනා රෝයල් එකට ගිය අයට ඒක පොඩිකාලෙම අත් විදින්න ලෑබෙන බව. මන් ගිය ඉස්කෝලෙ විවිදත්වය ඉතා අවමයි.
        By the way, I think you (Ravi, too) should write your memoirs while the memories are intact. They would be very readable, and nowadays publishing is not too difficult. Why don’t you seriously consider writing in English too, and publishing in UK? It might even rival Vijetunga’s “Grass for My Feet”- the only memoir (to my knowledge) on SL, by a Sri Lankan, published in UK. And, that was so very long ago !

      • ප්‍රා…….ජිනදාස විජයතුංගයන්ගේ ඔය කියන පොත සම්බන්ධව මම අසා තිබුනත්, කියවීමට හෝ ඒ ගැන යමක් ලිවීමට තරම්වත් මට දැණුමක් නැහැ. ප්‍රාගේ කමෙන්ට් එක නිසාම මම මේ ගැන මගේ වැඩිමහල් මිතුරෙක්ගෙන් අසා සිටියා. ඔහු 1960 යුගයේ ලන්ඩනයට ආපු කෙනෙක්. දැන් බොහෝ වයසයි. තාමත් මාත් එක්ක පොඩි අඩියකට සෙට් වෙනවා ඉඳලා හිටලා. මහ බරසාර ඉංග්‍රීසි කතාව. සුන්දර මිනිහෙක්. ඉතින් ප්‍රා….විජේතුන්ග මහත්මයා එංගලන්තයට ඇවිත් තියෙන්නේ 1940 ගනන් වල කියලා තමයි කියලා ඒ වැඩිහිටියා කියන්නේ. අපි ගියාම හෝ අපේ ගෙදරට ආවාම “යස් ..අරූ..හව් අබව්ට් ග්ලාස් ඔෆ් සම්…කියලා පටන් අරන් ඒ කාලය ගැන කියනවා. මගේ වයිෆ්ගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා මෙහේ අවුරුදු 50ට කලින් ආපු. මම දකින එක දෙයක් තමයි මේ අය එක්ක කතා කරපුවාම…ඒ අයට තියෙන රසබර අත්දැකීම් සහ මේ ගත කරන ජීවිත ගැන තියෙන පසුතැවීම්. මොනවා වුනත් විජේතුංග මහත්මයාගේ ග්‍රාමීය පසුබිම හා ඒ සිදුවීම් ඉතාම රසවත් බවා මගේ වෙරි ස්වීට් ඕල්ඩ් මෑන් කියා තිබෙනවා.

        ප්‍රා….මට රවීලා, හෙන්‍රිලා,ප්‍රාලා,කකාලා,හැලෙපෙලා,තිසරලා තරම් පොත් ලිවීමේ තරම් ඉංග්‍රීසි දැණුමක් නැහැ. මේ අය විසින් ලියා තැබිය යුතු දේවල් වෙනුවෙන් මට කල හැකි කුඩා වැඩ කොටසට..මම ලියන දේ ඉවහල් වේ යැයි හිතනවා. මම ප්‍රාගේ අදහසට ගරු කරනවා.

  25. නොදන්නා ගොඩක් විස්තර දැනගත්තා. උඹට සමාජයෙන් හැම ආකාරයකම අත්දැකීම් ලැබී ඇති බැව් පේනවා. එය තමයි විය යුත්තේ. ජය!!

  26. Anonymous says:

    අපි නොදන්නා ලස්සන අතීතයකට නැවතත් අප ගෙන යාම ගැන ඔබට තුති අරූ අයියේ…
    මනෝ….

  27. මම ඔය නාන බල්දි ගැන දන්නෙ නෑ ..එත් කොළඹ අවාම ,ඔවා ගේ පිහිට තමා ,ඉන්ටර්විව් එකක් යනකොට එහෙම ඇදුම් එහෙම පොඩ්ඩක් මැදගෙන උදෙම නාගෙන යනවා ..

    මුලු කතාව අද කියවන්න බැරි උනා … 😦 අයේ ඇවිත් කමෙන්ටුවක් දාන්නම්

    • කොළඹ් ආවාම උඹ නෑවට කමක් නැහැ. වෙන වෙන දේවල් නාවන්න යන්න එපා. ආපු වැඩේ කරගෙන ගෙදර පලයන් 😀

  28. මේ වාළුකාරාමය දැන් බොදුබල වෙලා නෑ නේද?
    මා දන්නා පරිදි හුඟාක් පංසල් බෞද්ධකමට පාංශකූලේ දීලා බොඳු ග්‍රහණයට නතු වෙලා අවසන්.

    • එහෙම නොවී ඇතැයි හිතනවා. මොකද ඒ පන්සලේ අධිපති නොවුනාට, පිලිගත්, වයෝවෘද්ධ, බෞද්ධ පඬිරුවනක්වු ආචර්ය බෙල්ලන ඥාණවිමල නායක හිමියන් වැඩ සිටිනවා. දැණ උගත් පඬිවරුන් රස්තියාදුකාර බජාර්වල සැරිසරන එකක් නැහැ කියලා මම තාම හිතනවා.

  29. සිරා says:

    නාන බාල්දි කෙසේ වෙතත් නිලාවේලි වල මූදෙ නාපු උන්ට මූදු වැලි යවාගන්න සල්ලි දිලා නාගන්න තියෙන ටැංකි කීපය තමයි මට මතක් වුනේ….නාලා එළියට එද්දි සල්ලි එකතු කරන කෙනා ඉන්නවා බලාගෙන…

    • සිරෝ…..මම අද තමයි සුමානයකට විතර පස්සේ ලැප්ටොප් එකට හරියටම අත තිබ්බේ. නොයෙකුත් වැඩ තිබුනා. තාම උඹලා ලියන දේවල් කියවගන්න බැරිවුනා. ඔහොම යමු. නිලාවේලි ගැන සහ එහි සෞන්දර්වයත්,,ඒ කාලයේ ටුවරිස්ම් ගැනත් අපි කතා කරමු.

  30. නාන බාල්දි ක්‍රමය නොදැකපු බෝහෝ අය ඉන්න පුළුවන් මම වගේම. මෙන්න ඒ අයට මේක ගැන විස්තර. http://dinamina.lk/2014/02/28/_art.asp?fn=f1402283

  31. නාන කාමරේ දන්නේ අර ඩ්‍රාමා එකට පින්සිද්ද වෙන්න තමයි අරු. මොනවා වුනත් මේ හද්දා නාකි ඩෑල් සෙට් වෙලා මේකේ දාන කොමෙන්ට්ස් ටික පොස්ට් එකේ අගය ඩබල් ත්‍රිබල් කරනවා. සුපිරියි !

    • තෑන්ක්ස් සිංදුවෝ….. නාන කාමර නෙමෙයි බන්..නාන බාල්දි. උඹ මේ දේවල් කියවා රසවිඳීම මටත් හරි සතුටුයි. මමත් උඹලාගේ ලිපි රහට කියවනවා. ඇත්තටම මට ඕනෙත් පෝස්ට් එකේ පල්ලෙහාට ඇවිත් ආතල් එකක් ගන්න.

  32. ඇත්තමයි ගෙදර ගියා වගේ මගේ ජිවිතයේ දැනට හරි අඩක් ගෙවුනේ ඔය බීමේම තමයි එත් ඒ පරිසරය පංසල හැමදෙයක්ම නායක හාමුදුරුවන්ගේ ආදහනයත් එක්කම පිච්චිලා ගියා කියලා දන්නවද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s