අවුල් වන්නට පෙර..(30)..පන්සල අවට සිටි ලොක්කෝ

වසර එකහමාරකට ආසන්න කාලයක් මා නැවතී සිටි වාළුකාරාමය අවට, ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සටහන් තැබූ චරිත කිහිපයක් පදිංචිවී සිටියෝය. රොනී ද මැල් මහතාට අමතරව එවකට එජාප දේශපාලනයේ ප්‍රබලයන් වූ ගාමිණි දිසානායක ඒ අසල ඇල්ෆ්‍රඩ් හවුස් පාරේද, ලලිත් ඇතුලත්මුදලි ඉනර් ෆ්ලවර් පාරේද, රනිල් වික්‍රමසිංහ පස්වැනි පටුමගේද පදිංචි කරුවන් බව මතකය. මොවුන් වාළුකාරාමය හා එතරම් සම්බන්ධකම් නොපවත්වා, කොල්ලුපිටියේ පොල්වත්තේ පන්සල හා ගනුදෙනු කරේ නිවන්තිඩියේ ආනන්ද හිමියන්ගේ දේශපාලන ඉතිහාසය ශ්‍රීලනිපය හා තදින් බැඳී තිබූ නිසා විය යුතුය. නමුත් ඒ අවටම පදිංචිව සිටී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නම් මාසිකව දහවල් දානයක් සැපයීමට බැඳී සිටියා මතකය. කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනයේ යෙදී සිටියත් ,කොල්ලුපිටිය ඔවුන්ගේ පදිංචිය විය.

මේ අයට අමතරව වාමාංශික දේශපාලනයේ පතාක යෝධයන්වූ ලසසපයේ කොල්වින් ආර් ද සිල්වා, බර්නාඩ් සොයිසා වැනි අයද, කොපයේ පීටර් කෙනමන් මහතාද ඒ අවට පදංචිකරුවන් විය. මා මේ කියන 1977 යුගයේ මහා මැතිවරණයට පෙර ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් නිසා ඔවුන් කැපීපෙනෙන පුද්ගලයින් විය. ඒ නැති වුවත් ලාංකීය සමාජය තුළ ඔවුන් කෙරෙහී යම්කිසි ගෞරවයක් විය. ඒ ඔවුන්ගේ දැනුම සහ උගත්කම නිසාත් ඔවුන් රට තුළ සිදුවූ නොයෙකුත් අරගල සහ සමාජ ක්‍රියාකාරකම් වල පෙරමුණ ගත් අයත් බැවින්ය. මොවුන් සතුව තිබූ ධනය දේශපාලනය වෙනුවෙන් වියදම් කළා මිස ඒ තුළින් උපයා ගත් අය නොවන බව නායක හාමුදුරුවන් නිතරම පැවසූ දෙයක් විය. 1977 මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුව වුවත්, මොවුන් බොහෝමයක් දෙනා මිය යන තෙක්ම දේශපාලන ක්‍රියාකාරකම්වල බැඳී සිටියහ.

කොල්වින් ආර් ද සිල්වා පවුල පදිංචිව සිටියේ ඩුප්ලිකේෂන් පාරට යාබදව අබ්දුල් ගෆූර් මාවත අසලම පැරණි පන්නයේ විශාල නිවසකය. මෙම නිවස පිහිටි වත්තේ ජම්බු, පිනි ජම්බු, පේර, අඹ වැනි ගස් රාශියක්ද තිබුණි. කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දේශපාලනය ගැන ශාස්ත්‍රීය වශයෙන් කරුණු ලියා තැබීමට මා සතු දැනුම අල්ප වුවත්, මෙවැනි මිනිසුන් ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන චරිත විය. පන්සලත් සමග විශාල ගනුදෙනුවක් නොතිබුණත් මෙම නිවසෙන්ද මාසිකව දානමය කටයුතු සඳහා මුදලක් වෙන්විය. මෙම මුදල් එකතුකර ගැනීමට මමද කිහිප වරක් එහි ගොස් ඇත්තෙමි. සුදු සරමකින් හා සුදු අත්කොට මේස් බැනියමකින් සැරසී කළු පැහැ රාමුවකින් යුතු උපැස් යුවළක්ද පළඳා, ආලින්දයේ තිබු හාන්සි පුටුවේ දිග ඇදී පුවත්පතක් හෝ යම් ලියකියවිල්ලක් අධ්‍යනයේ යෙදී සිටිනවා දැකීම සුපුරුදු දසුනකි. මොකද ළමයා යැයි ඇමතීම පුරුද්දකි. ඔහු පෙනුමෙන් සහ ආමන්ත්‍රණයෙන් යම්කිසි රෞද්‍ර පෙනුමක් ගත්තත්, ගතිගුණ එසේ නොවනා බව දන්නෝ දනිති. මේ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙක් බවද ලියා තබමි. කොල්වින්ගේ, දියණිය මනෝරි විවාහවූයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙක්වූ සරත් මුත්තෙටුවෙගම මහතා සමගය. තවත් දරුවන් සිටිබවත් අසා ඇත. සරත්-මනෝරි යුවළ නම් මේ නිවසේදීම මම දැක ඇත්තෙමි. මේ නිවස මනෝහාරි(?) නමින් හැඳින්වූ කුඩා නාම පුවරුක්ද තිබූ බවත් මතකය. 1980 කාලයේදි කඳුළු ගෑස් බෝම්බයකට පාදයක් පිළිස්සී බොහෝ දුක්විඳි බවත් පුවත්පත්වල පළවිය.

බර්නාඩ් සොයිසා මහතා නියෝජනය කළේ දකුණු කොළඹ ඡන්ද කොට්ඨාශයයි. එය අද බටහිර කොළඹ වේ. කිසිම විටෙක පන්සලට පැමිණෙනවා නම් නොදැක ඇති මුත් බොහෝවිට ඔහුගේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිටිනවා දැක ඇත්තෙමි. බර්නාඩ් සොයිසා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, මේ අය ගැන අපේ තාත්තාද ඒ අවධියේ කතාකළේ මහත් රුචියකිනි.

පීටර් කේනමන් මහතා බොහෝ කාලයක් මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය නියෝජනය කල කොමියුනිස්ට් පක්ෂයේ දැවැන්ත චරිතයකි. ජැක් නිකල්සන් නම් අපූරු හොලිවුඩ් නළුවා මට මතක් කරන්නේ පීටර් කෙනමන් මහතාගේ රූපයයි. මොහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේ මහනාම විදුහලේ පිටුපස ගේට්ටුවට නුදුරු නිවසකය. නායක හාමුදුරුවන්ගේ දැන හැඳුනුම්කම් හැර පන්සල හා සම්බන්ධකමක් නොවීය. ඒ වනවිට ඊඩා කෙනමන් මහත්මිය හා විවාහවී සිටි පීටර් කෙනමන් මහතාගේ නිවසින් පියාණෝ වාධනයන්ගේ හඬ අසන්නට ලැබිණි. කෙනමන් මහත්මිය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් සහ කලාකාරිනියක් බව පන්සලේ නායක හාමුදුරුවන්ද කතාබස් වලදී කියා තිබේ. කොළඹ රාජකීය විදුහල බිහිකෙරූ දහසකුත් එකක් ජාතික හා විදේශීය දේශපාලකයින් අතරින් පීටර් කෙනමන් මහතාද අති විශිෂ්ටයෙක් බැව් ඉතිහාසය සාක්ෂි දරයි.

පන්සලේ දායකයින්වූ මුත් නිතර පන්සලට නොයෙන විශාල ව්‍යාපාරිකයින් රාශියක්ද ඔය අවට විසූහ. මැලිබන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මුදලාලි පදිංචිව සිටියේත් වාළුකාරාමය අසලය. පන්සලේ බොහොමයක් වැඩ කටයුතුවලට නොමසුරුව දායකවූ මැලිබන් මුදලාලි නම්වූ ඔහු ගැන, නායක හාමුදුරුවෝ බොහෝ වැදගත් සහ රසවත් විස්තර පන්සලේ උදවිය හැන්දෑවරුවේ යෙදෙන සතුටු සාමිචීවලදි පවසා ඇත. කොළඹ කොටුවේ මැලිබන් හෝටලය නමින් කුඩා තේ කඩයක් අරඹා ඉන් පසුව ලංකාවේ අංක එකේ ව්‍යාපාරීකයක්වූ බව පමණක් ඒ කතාබහේ මට මතක ඇති සටහනක්ය. මා කියන ඒ කාලයේත් ඩුප්ලිකේෂන් පාර පාම්ග්‍රෝව් ආසන්නයේ පිහිටි, මැලිබන් මුදලාලිගේ නිවස විශාල මන්දිරයක් වැනි යැයි යාන්තමට මතකය.

ජේ.පී.අයි.පියදාස ව්‍යාපාරයේ නිර්මාතෘ පියදාස මුදලාලිද එවකට විශාල ව්‍යාපාරිකයෙකි. ශ්‍රීලනිපයත් සමග පියදාස මුදලාලිගේ බොහෝ බැඳීම් තිබී ඇති අතර ඔවුන් පදිංචිව සිටියේත් ඉනර් ෆ්ලවර් රෝඩ් හී විශාල නිවසකය. පියදාස මුදලාලි නායක හාමුදුරුවන්ගේ ළඟම හිතෛෂියෙක් විය. දාස සමූහ ව්‍යාපාරය හිමිව තිබු ගුණදාස මුදලාලි සහ ජේ.පි.අයි.පියදාස යනු දෙදෙනෙක්ය. එය පටලවා ගතයුතු නැත. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනාම එවකට ශ්‍රිලනිපය හා ළඟින් ඇසුරු කල උදවියය. මේ අයගේ නම් දාස-පියදාස නමින් 1977 එජාප මැතිවරණ වේදිකාවේ පට්ට ගැසිණි. මැලිබන් මුදලාලිගේ නම නම් දේශපාලනයට ඈඳී තිබු බවක් මතක නැත. වාලුකාරාම පාරේම විශාල නිවසක පදිංචිව සිටි සාගරසිරි මුදලාලිත් පන්සලේ හොඳ දායකයෙක් විය. ඔහු සතුව තිබු සාගරසිරි හෝටලය පිහිටා තිබුණේ ගාලු පාර කොල්ලුපිටියේ ෆැබ් එක අසල ලොකු ගොඩනැගිල්ලකය. එකල ෆැබ් එකක් නොතිබුණි. මීට අමතරව තවත් බොහෝ ධනවත් ව්‍යාපාරිකයන් සහ තවත් දේශපාලකයින්ද ඒ අවට පෙදෙස්වල පදිංචිව සිටියත්, මේ සියල්ලන් ගැනම මතකය අවදිකර ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මොනවා වුණත් පන්සලේ කටයුතු සඳහා මේ නිවෙස්වලට යාමට ප්‍රේමදාසත්, බන්දුත් වැඩි කැමැත්තක් දැක්වූයේ ,එම නිවෙස්වල කුස්සිය පැත්තේ සිටිනා සේවිකාවියන් එක්ක උකුළු මුකුළු කිරීමටය. පසුකාලයක පන්සලේ සිටි සමන් නම් තරුණයා ඒ ගෙදරක වැඩට සිටි තරුණියක් හා රහසේම පැනගොස් විවාහ විය. ඒ මහානාමයේ පිටුපස ගේට්ටුවේ බිත්තියට යාබදව තිබූ තට්ටු දෙකේ ගෙදර වැඩට සිටි ළමයා සමගින්ය. මට ඒ සිද්ධිය අදටත් මතක මම එයට උදව් කරපු නිසාත්, එම නිවසේ සිටි බිෂොප් විදුහලට ගිය හැඩකාර ගැටිස්සිය සමග මගෙත් පොඩි උකුළුවක් තිබු බැවිනුත්ය. මගේ මුකුළුව මාස කිහිපයකට සීමා විය. ඒ ගැන පසුව ලියන්නෙමි.

නිවන්තිඩියේ ආනන්ද හිමියන් අධිපතිත්වය දැරු විහාරස්ථාන තුනක් පැවතිණි. කොල්ලුපිටියේ වාළුකාරාමය, නිවන්තිඩියේ මහෙන්ද්‍රාරාමය සහ කිරුලපන ශ්‍රී සිද්ධාර්ථ අඩිපාරේ තිබු කුඩා පන්සලක්වූ ශ්‍රී සිද්ධාර්තාරාමය නම්වු ,කිරුලපන ඇල අයිනේ පන්සලත් මේ ස්ථාන තුන විය. පිළියන්දල, නිවන්තිඩියේ තිබු පන්සල විශාල ස්ථානයකි. මසකට වරක් හෝ දෙවරක් එහි යනවා එනවා හැරෙන්නට, ආනන්ද හිමියෝ මෙය පවත්වාගෙන යෑම එහිසිටි ස්වාමින්වහන්සේටම පවරා තිබුණි. එය ආනන්ද හාමුදුරුවන්ගේ උපන් ගම නිසා, වැඩිහිටි දායකයින් කොල්ලුපිටියට පැමිණ යම් යම් සිද්ධීන් ගැන සාකච්ඡාද පවත්වති. එදිනට පසුදාම ඒ පැත්තට යන්නේ යම් යම් ප්‍රශ්න විසඳීම සඳහා වියයුතුය. එකල කොල්ලුපිටියේ පන්සලට දුරකථනයක් තිබුණත්, නිවන්තිඩියට නොවීය. මම පළමුවෙන් දුරකථනයකින් කතා කළේත් ඒ අවදියේය. කිරුලපනේ පොඩි පන්සලට නම් මාස තුන හතරකටවත් යන බවක් මතක නැත. ඒ කාලයේදීම සිද්ධාර්තාරාමය වෙනත් හිමිනමකට සහමුලින්ම පවරා දෙන ලදි. මේ පවරාදීම් තුළ යම්කිසි මූල්‍යමය ගනුදුණු සිදුවූවා දැයි කීමට මම නොදනිමි.

මේ සියලු ගමන් බිමන් යාමට ඒමට නායක හිමියන් සතුව ෆෝඩ් කොන්සල් නම් , ඒ කාලයේ වටිනා මෝටර් රථයක් තිබුණි. එහි රියැදුරු සෝමපාල නම් තරුණයෙක්ය. නායක හාමුදුරුවන්ගේ ගමන් බිමන් සියල්ලක් සිදුවූයේ මෝටර් රථයෙන් බැවින්, මේ හැම ගමනකටම හවුල්කරුවෙක් වීමට පන්සලේ නැවතී සිටි හාමුදුරුකෙනෙකු හෝ ගිහියෙකු සහභාගි කරවා ගැනීමට නායක හිමියෝ කැමැත්තක් දැක්විය. ඒ ගමන් අතරතුර කතාබහ කර කර යෑමටය. ඒ කතාබහද, යන ස්ථානයන්ද, මටත් ජීවිතයේ අත්දැකීම් පුළුල් කරගැනීමට ඉවහල් විය. දුර බැහැර ගමනක් යනවානම් මෝටර් රථයේ අසුන් ගත හැකි උපරිමයද හවුල් කරගැනීමට වගබලා ගනී. කතරගම, මහනුවර, මාතලේ, අ’පුර, පොලොන්නරුව, මොනරාගල වැනි පාලත්වලටද එවැනි ගමන් යොදා ගැනේ. පන්සලේ නැවති සිටි භික්ෂූන් බොහොමයක් ඔවැනි පළාත්වලින් පැමිණි අය නිසා, ඒ අයද මේ ගමන් වලට වැඩි කැමැත්තක් දැක්වූයේ, තම විහාරස්ථානවලට ගොඩ වැදීමට හා තම දෙමව්පිය සොයුරු සොයුරියන් දැක බලා ගැනීමේ අවස්ථාවක් හැටියටය. නායක හිමියන්ද ඒ සඳහා නොමසුරුව කැමැත්ත පළකළේ, මේ විශ්ව විද්‍යල අධ්‍යාපනය ලබමින් සිටි හිමිවරුන් සතුව තිබු සීමිත පහසුකම් සලකා බලා විය යුතුය.

සිදුවීම් සහ පුද්ගලයින් ගැන ලිවිය යුතු දේ බොහෝය. වාළුකාරම ඇසළ මහා පෙරහැර ගැනත් ,පන්සලේ සිටි ගිහි පැවිදි උදවිය ගැනත් පසුවට ලියන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

129 Responses to අවුල් වන්නට පෙර..(30)..පන්සල අවට සිටි ලොක්කෝ

    • සසිඳු…..කියවීම ගැන ෆිට් කොල්ලෝ….. මම පුදුම බිසි බං. මම හෙට ඉඳන් බැක් ටු නෝර්මල්. හෙට ඉඳන් බ්ලොග් කියවීමත්, උත්තර දීමත් කරමු.

  1. සරත් මුත්තෙටුවේගම පිලිබඳ වූ චරිත කතා පොතක් බොහෝ කලකට පෙර කියවූවා මතකය…එහි වූ යම් යම් සිද්දීන් අතිශයෝක්තියෙන් විස්තර කර තිබුනා යයි හැඟී ගියද,අපරික්ෂාකාරී රිය ධාවනය ගැන කතා නම් ජීවිතයෙන් වන්දි ගෙවා ඔප්පු කර පෙන්වූ බැවින් පිලිගන්නටම සිදුවේ….කාලයාගේ ඇවෑමෙන් සිද්ධාර්ථ අඩි පාර අද “සිද්ධාර්ථ පැසේජ්” බවට පරිවර්තනය වී ඇත…

    ලියවිල්ල කියවා ගෙන යන විට දැනෙන හැඟීම මහා අසරණ බවක් ගෙනෙන්නේ ඇයි දැයි නොතේරේ……රාජකීය විද්‍යාලයත්,මහානාමයත්,ෆැබ් එකත් දනිමි….ඩුප්ලිකේෂන් පාරේත්,ඇල්ෆ්‍රඩ් හවුස් පටුමගෙත් අනෙකුත් මං මාවත් වලත් ඇති පදම් ඇවිද ගොස් ඇත්තෙමි….මැලිබන් මුදලාලි,කොල්වින් ආර් ද සිල්වා,රොනී ද මැල් ගැනත් කියවා/අසා ඇත්තෙමි….එහෙත්…ඒ කිසිවක් ගැන නොදන්නා බවම හැඟී යන්නේ ඇයි?

    වසර තිහක පරතරය විසින් ඇති කරන…..කාලය මැවූ අරුමය එය වන්නට ඇත.

    • අයාල්…….සරත් මුත්තෙටුවගම ගැන අපිට අතිශෝක්තයෙන් ලිව්වා ඇතැයි සිතෙන්නේ..අද ජීවත්වෙන අය හා කම්පෙයාර් කරපුවාම. ඔය මිනිස්සු උපතින් සල්ලි තිබිච්ච හාදයෝ. ඔවුන්ගේ දේශපාලනය, කොමියුනිස්ට් වීම හරිම පුදුමයි. මම හිතන්නේ මේ දේවල් එදා සිදුවුනේ උගත් බුද්ධිමත් මිනිසුන් තුල තිබු සමාජ අවබෝධය නිසා කියලයි. නන්ද එල්ලාවල තවත් එවන් චරිතයක් කොමියුනිස්ට් නොවුනාට. ඒ යුගයේ වාමංශික දේශපාලකයින් බොහොමයක් , පාරම්පරික වලව් හෝ තවත් ආදායම් මාර්ගිකයින් වීම කෙසේ විග්‍රහ කල යුතු දැයි කීම ,නැවත ලිපියකින් කතා කල යුතුයි.
      ////මුදලාලි,කොල්වින් ආර් ද සිල්වා,රොනී ද මැල් ගැනත් කියවා/අසා ඇත්තෙමි….එහෙත්…ඒ කිසිවක් ගැන නොදන්නා බවම හැඟී යන්නේ ඇයි?///////
      අයාල්….මටත් හැම තිස්සේම මහ සාංකාවක් දැනෙනවා, මට අත්දැකීම් නැති පෙර යුගයන් ගැන කියවනකොට. ඒක මිනිස් ස්වභාවයක්. ඒ ගැනත් කතා කල යුතුමයි. ඒ වෙනස්වීම් සාපේක්ශයි…අතීතය සහ වර්තමානය රස විඳින තත්වයන් තුල. තව තවත් බැරෑරුම් කලකිරීම් මතකයක් ස්මරනය කලහැකි ඉදිරි පරපුරක් කනගාටුවෙන් හෝ අපිට බලන්න වෙයි.

  2. මෙදා කොටස මගක් කියවන් එද්දී දැනුනේ ඔෂින් බලනවා වගේ ,,ඔයාගේ කතාවට සමාන්තරව රටේ දේශපාලනික දේවලුත් ලියලා තියෙනවනේ ,, අපේ දැනුමටත් හොදයි ,, ස්තුති අයියේ

    • ඔමා…..නිහඬව රස විඳීම සහ නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම මිනිසා සතු අයිතියක්. ඒ තුල හැසිරීම වඩාත් වැදගත් වන්නේ නිහඬව රස විඳීමටත් වඩා, නිරවුල්ව අදහස් ප්‍රකාශ කිරීමට තමන්ගේ හැකියාවන් වර්ධනයන් කිරීම තුලින් පමණයි. ඔබ බ්ලොග් තරුවකින් එහා ගිය ස්වාධීන මතධාරිනියක් වීමට පමනක් හැකිනම් ඔබ ජීවිතය ජය ගත්තා වෙනු ඇත. සයිබරය ඔබ වීරයෙක් හෝ වීරවරියක් කරනු තරම්ම ඔබව හෝ මාව පුස්සෙක් කරනු ඇත. වඩාත් වැදගත් වන්නේ තමා තුල වීරයෙක් බිහි කර ගැනීමය. අනුන්ගේ වීරයින්ට වඩා තමා තුල සිටිනා වීරයා අවදියෙන් තබා ගැනීම සුදුසු බව, අපි අපේ දියණියට නිතර මතක් කර දුන්නේ, එය ප්‍රායොගික විය යුතු නිසාමය.

      ඩෝන්ට් ටේක් මයි බුල්ශිට් සීරියස් 😀

  3. AA says:

    මම දිගටම කියෙව්වට කමෙන්ට් දැම්මේ අද තමා. රසවත් කතා පෙල.

    • @AA
      කමෙන්ට් මා උද්දීපනය කරන බව සහතිකය. නමුත් කවුරුන් හෝ මෙය කියවීම මා සතුටු කරනු ඇත. ශේප් එකේ කියවගෙන පලයන්.

  4. Kenji @ Japan says:

    ඇත්තටම මචං ඔය චරිත ගැන දැන් කට්ටිය දන්නේ නැහැ.අර ඔමාය කියල තියෙනවා වගේ උඹේ මේ ලියවිල්ල කාටත් දැනුමටත් ප්‍රයෝජනවත් වෙනවා.
    ඉස්සර දේශපාලන චරිත දිහා බැලුවම දැන් ඉන්න හැත්ත ගැන මොනවා කතා කරන්නද කියල හිතෙනව බං.
    මටත් ඔය උකුළු මුකුළු පෑම් තිබ්බෙ බිෂොප් එක පැත්තෙයි ලේඩිස් කොලේජිය පැත්තෙ තමා මචෝ.
    අර ගෝල් රෝඩ් එකේ සෙරමික් එක ඉස්සරහ ටිකක් එහාට වෙන්න තිබුන තැනේ නම මතකට එන්නෙ නැහැ බං …එතන paluda එහෙම බොන්නේ එතන..:)

    • Pra Jay says:

      කෙන්ජි මම මේක අහන්නෙ අරු ගෙ ලිපි සහ ඒවට ඔබේ කොමෙන්ට් කියවල සහ ඔබේ සිනමාවට ඈති සම්බන්දය නිසා . සින්හල චිත්‍රපටි වල හුගක් නගර, පාරවල් සහ ගම් වල දර්ශන තියනව. ඒව ගොඩක් දෑන් වෙනස් වෙලා. ඒවලින් “then and now”එකක් හදන්න බෑරිද?
      If there is an email address I can elaborate. Aru, Ravi, Thisara, Henry, et al, anyone interested and capable?

    • @ කෙන්ජි…..ඔය සෙරමික් එක ඉස්සරහ තිබුනේ ග්‍රීන් කැබින්ද? මගේ වයිෆ්නම් කියන්නේ එතැන් ෆලුඩා නෙමේ අයිස් කොෆි & චයිනීස් රෝල් කියලා. මේ කියන ග්‍රීන් කැබින් එකේ මම මගේ වයිෆ්ට ඉස්සෙල්ලා එක්කන් ගිය ගැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. එයා ඒ හැම දෙයක්ම දන්නවා..මම ඒ යෞවනය රස වින්දා…

      දාහක් දේ තිබේ කීමට බැරුව වැසී…..

      මොන පිස්සුද කෙන්ජි…මම ලියාගෙන යනවා…

      අල්ල ගනිල්ලා….මේවා චින්තන බයිලා 😀

      • Kenji @ Japan says:

        ග්‍රීන් කැබින් නම අමතක වෙලා තිබ්බෙ මචං thanks 🙂

  5. Dinesh says:

    සමහර දේශපාලන චරිත ගැන සමහරක් දේවල් දැන ගත්තේ මේ ලිපියෙන්.. මොකද ඉතින් හුඟක් දේවල් මේ වගේ කියවන්න තැන් නැහැනේ..

    • දිනේෂ්ලා මගේ වයසට ගියාම ,මට වඩා රසවත් දේවල් ලියයි. උඹට මට වඩා ලිවීමේ හැකියාවකුත් තියෙනවා. මම උඹේ ලියවිලි කියවා තිබෙනවා. ඒ හැකියාවන් දියුනු කරගන්න. මගේ මෝඩ චූන් තුලින් ගන්න දෙයක් තියෙනවානම් යමක් ගන්න….ජීවිතය රස විඳින්න…ඒකට බොන්න ඕනම නැහැ. උඹ මට වඩා දේවල් දන්නවා ඇති. බී පොසිටිව්…ලේ ගැන නෙමේ කියන්නේ 😀

  6. අම්මෝ ලොක්කෝ ගොඩ. මෙයාලා මේ දේශපාලන ලොක්කෝ නේද? 😀

    • පොඩ්ඩිගේ නිදහස් සිතුවිලි සහ හියුමර් එක මම අගය කරනවා. ඔබ සම්ප්‍රදායික ලිපි ලියන්නියක් නොවීමම ..ඒ තුල නිදහසේ ඇවිදීමට ඉඩ යොමු කරනවා. පොඩ්ඩිගේ කෙටි කමෙන්ට්ස් නව අරුත් මතු කරනවා. පොඩ්ඩි ලොක්කියෙක් නොවීම බ්ලොග් තුල ආදර්ශයක්!!!!

  7. කොන්වින් ශාන්ත තෝමස් එකේ කියලයි මං හිතාගෙන හිටියේ.
    කොල්වින්ට ජේආර් කඳුළු ගැස් ගැසීමත්, රෝයල්-තෝමියන් බිග්මැච් එකත් ටැපලීමක් නිසා එසේ සිතුනා විය යුතුයි!

    • කකා….කතා කලයුතු බොහෝ දේ මේ ටැපලීම තුල තියෙනවා. මම අතීතය මතක් කලහොත් .මා දුටු දේ අති විග්‍රහාත්මකයි.

      කකා…..අරින්නකෝ ටැප් එක…..මම දන්නදේ පාත්තරේට බෙදන්නම් :

      කොල්වින් මහත්මයා පානදුර ශාන්ත ජෝන් සිසුවෙක්….ඔහොම තමයි අපේ ප්‍රාථමික අධ්‍යාපනය හැදුනේ.D

  8. තිසර says:

    //පියාණෝ වාධනයන්ගේ// – පියානෝ වාදනයන්ගේ

    මේ අය ගැන මතක තියන තොරතුරු ඔක්කොම මේ කතාවට නොලිව්වත්, ඒවා මතක් වෙනකොට සටහන් පොතකවත් ලියලා තියා ගත්තා නම් හොඳයි. ඒවා ගැන පස්සේ වෙනම උනත් ලියන්න පුළුවන්.

    • තිසර….මල යෝනියක්නේ වෙලා තියන්නේ….මම දන්නවා වාධකයා කියන වචනය වැරදි බව…..ඉතින් බං ..සුබසනේ ඕකේ කිව්වේ. 😀

      තිසරගේ යෝජනාව මම ඉහලින් අගයනවා…..මතකය පොත් වල සටහන් කිරීම…මතකය අනුස්මරනය කිරීම….මතකය හඬගා දෙඩවීම….ඒ මතකය ආස්වාදයක් කර ගැනීම….

      තිසර ….චූටියට කියපන්….මා වැන්නවුන් ගැන….එය ශාස්ත්‍රීය ප්‍රභන්දයක් විය යුතුද? එසේ නැතිනම් ආත්ම ප්‍රකාශනයක් විය යුතුද? නැවත නැවත මම ඔබව අගය කරමි.
      තිසර…..රඟහල කොතැනද? අපි කතා කරමු…..
      එය වේදිකාවක් …සාකච්ඡාවක්, සංවාදයක් කිරීම වැනි මහඟු කාර්යයන් තව දුරටත් කරගෙන යෑම පිලිබඳව හිස නවා ආචාරය කරන්නෙමි.

  9. දැන් කාලෙ වගේ ඒ කාලේ මන්ත්‍රී වරු ආරක්ෂකයො පිරිවරන් හිටියෙ නැත්ද අරූ අයියෙ?

    ඔය හිමිවරු විහාර අධිපති තනතුර දැරීම ගැන මගෙ හිතේනම් තියෙන්නෙ ලොකු ප්‍රශ්ණයක්. ‘අත් හැරීම’ සදහා මහණ වෙන උදවිය ඇයි ආයෙත් භෞතික දේපළක් බදාගෙන නහින්න හදන්නෙ? මට තේරෙන්නෑ ඒක. 😦 කොටින්ම තමන්ගෙන් පස්සෙ විහාරාධිපති තනතුරට තමන්ගෙම නෑයෙක්ව දාන්න දගලන්නෙ ඇයි? ‘පිච්ච මල’නවකතාව වගේ කතා වල පමණක් නෙමේ මේවා විහාරස්ථාන වල ඇත්තටම වෙනවා. 😦

    • Padhmakumara says:

      චතුරංග
      ඒ කාලෙ මන්ත්‍රීලා පාරෙ බැහැල ගියාමොන ගාඩ් එකක්වත් නැතුව. සමහරු පාර්ලිමේන්තු ආවෙ කෝච්චියෙ. ගාල්ලෙ දහනායක එහෙම, අපේ මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි ගත්තහම හවසට සමහර දවස්වල පිලියන්දල ඔරලෝසු කනුව ගාවට වෙලා මිනිස්සු එක්ක කතාකරකර ඉන්නව, ඒ අතර කවුරුහරි අරක්කු හරි කසිප්පු හරි දුන්නොත් ඒකත් බොනව. පාරෙ යනකොට ගෙදරක වහලෙට පොල් අතු බඳිනව දැක්කොත් ගමන නවත්තල සරම අමුඩෙ ගහගෙනෙ ඒකටත් උදව්වෙනව.ආසනේට මොනම වැඩක් නොකලත් මිනිස්සු චන්දෙත් දෙනව,ඔන්න ඔහොමයි ඒ කාලෙ

    • ප්‍රියා…….උඩ ප්‍රශ්ණෙට උත්තරේ පත්මේ දීලා තියෙනවා. ඒ දේවල් එහෙම තමයි උනේ. මේ බොහොමයක් 1977 පටන් වෙනස් වුනා. 87-89 යුගයේදී ඇත්තටම මේ කාටත් ආරක්ශාව තදින්ම උවමනාවුනා. ඉන් පස්සේ ඒවා අතහැරියේ නැහැ. මම ඉන්න රටේ නම් කෝච්චියේ, බස් එකේ, බයිසිකල් එකේ පාර්ලිමේන්තු එන අය ඉන්නවා. අගමැතිත් බයිසිකලෙන් පාර්ලිමේන්තු යනවා.

      ලොකු පන්සලක් කියන්නේ හොඳ යැපීම් මාර්ගයක්. පැවිදි ජීවිත වුනත් අපි උඹලා වගේ මිනිස්සු. ඔය බැඳීම් අහවර කරන්නේ නැහැ. ඒ නිසා තමයි තමන්ගේ කෙනෙකුටම පන්සල් පවරන්නේ. මේ පැවරීම් සඳහා සංඝ සමාජය තුල යම් යම් සම්මතයන් තිබිය හැකියි. මට ඒ ගැන මතකයක් නැහැ. මේ පනසලක් පවත්වා ගෙන යාම ගැන රසවත් කතාවක් තියෙනවා මට ඇහුනු. මම හෙමිහිට ලියන්නම්.

  10. කොළඹ කොටුවේ මැලිබන් හෝටලය නමින් කුඩා තේ කඩයක් අරඹා ඉන් පසුව ලංකාවේ අංක එකේ ව්‍යාපාරීකයක්වූ////

    මේ කතාව මම මෙච්චර දැනගෙන හිටියේ නෑ…කොම වුණත් නියමයි …කියෙව්වා ..මම නම් ගොඩක් දෙවල් දැනගෙන හිටියේ නෑ ඉතිහාස කතා ,ඒ කියන්නෙ අරූ කියන්නෙත් පස්ට වයසක පොරක් ද ?????

    • කැත කතා කියන්න එපා බන්. අරූ අයියට එච්චරම වයස නෑ. පොඩ්ඩයි වයස. 😉

      • @ ප්‍රියා……අන්න උඹට තේරුනා….වැඩිය නැහැ සීයක් වෙන්න තව අවුරුදු 48ක් ඉන්න ඕන 😀

    • සහෝ…..මට උඹලාගේ වයසේ ළමයෙක් ඉන්නවා උඹ 25යි නම්.

      අතීතයේ සමාජය මේ තරම් සංකීර්න නොවු නිසා මහා ප්‍රශ්ණ තිබුනේ නැහැ. අපිම තමයි ජීවිතවලට ගැටළු එකතු කරගන්නේ. අපිම තමයි ඒවාට පසු තැවිලිවෙන්නේ. වයසින් මුහුකුරා යනකොට තමයි මේ දේවල් තේරෙන්නේ.

      • අරූ ඔයා හරියටම මගේ තාත්තා ගේ වයසේ ..ජපුරේ නම් අපේ තාත්තා ව අදුනනවා ඇති බොහෝ විට උස .. කියලා ..ජේ.වි.පි කාලේ එහෙම …
        මට තවම 25ක් නෑ ..තව අවු 3/4 යයි ..හැක්

      • සහෝ…..මම යුනිවසිටි ගිහින් තියෙන්නේ කැන්ටිමටයි, නාට්ටි බලන්නයි, මැච් ගහන්නයි විතරයි. මම විවි ගිය කෙනෙක් නෙමෙයි. හැබැයි විජේරාම, දෙල්කඳ අපේ ගම. උඹේ තාත්තා කොල්ලෝ මටත් වඩා බාලද දන්නේ නැහැ. මම 1962 උපන් බුවෙක්.

  11. deshakaya says:

    බොහොම අගේට පන්සල වට කරල ලොක්කො ටිකක් එළි බැස්සා.. හරිම වටිනවා මේ මතකයන්…ජය වේවා අරූ

    • බොහොම ස්තූතියි දේශා…මම බිසිවුනා බං. කිසිම බ්ලොග් එකක් කියවන්න බැරිවුනා.

  12. අවුල් වෙන්නේ නැතුව මතක තියාගන්නේ කොහොමද වේවා ,

    • අටමෝ……මට පරණ ඒවා හොඳට මතකයි ඩිටේල්ස් එක්ක. සමහර වෙලාවට ඊයේ කාපුවා මතක් කරන්න නම් තව දවසක් දෙකක් යනව 😀

    • මේ පාරවල්, ස්ථානනම් අවුල්ම තමා. හුරුවක් නැති පරිසරයක් ගැන අසන විට මෙහෙම වෙන්න පුළුවන්.

  13. http://manogeloka.blogspot.com/ says:

    මේ මතකය පුදුම මතකයක් තමයිනේ අරූ අයියේ…
    ඔය සරත් මුත්තෙටුගමගේ පුතා නන්ද මුත්තෙටුගම මෙවර බස්නාහිර පළාත් සභාවට ඉල්ලනවා කොළබින්.යු.එන්.පි එකෙන්.

    • Pra Jay says:

      සරත් සහ මනෝරි ගෙ දුව රමණි.
      මම හිතන විදිහට නන්ද ගෙ නම මුරුත්තෙටුගම

      • @ ප්‍රා & අයාල්……..රමනි මේ දෙන්නාගේ දුව. මෛත්‍රී කියලා පුතෙක් ඉඳලා තියෙනවා. සරත් මියගියාට පසු ඔහුත් හදිසි අනතුරකින් මියගිය බවක් කියනවා…මේ ගැන යමක් දන්නවාද?

    • නන්ද මුරුත්තෙට්ටුවේගම….මං දන්න තරමින් එයා සරත්ගේ කවුරුවත් නෙවි….සබරගමුවට ඉල්ලුව කාලෙකට උඩදී….

      • http://manogeloka.blogspot.com/ says:

        එහෙමද..?මම එතරම් විස්තරයක් දැනගෙන වුන්නේ නැහැ.මම හිතුවේ චන්දය ඉල්ලන ඔහු සරත්ගේ පුතෙක් කියායි.ස්තුතියි මා නිවැරදි කලාට…:)

    • @මනෝ…….ඒ නන්ද මෙයාට සම්බන්දයක් නැහැ මගේ හිතේ. සරත් වලව්කාර පවුලකින් ආවත් බොහෝම හිත හොඳ අවංක මනුස්සයෙක් හැටියට තමයි කවුරුත් කියන්නේ. ඒ වගේ මිනිස්සු දැන් හොයන්න අමාරුයි.

  14. මම ඉපදිලා බො‍රැල්ලේ ඉඳලා ගෙදර ගෙනත් තියෙන්නේ ෆෝර්ඩ් කොන්සල් එකක. 😀
    මගේ ළමයි දෙන්නා ආවේ ටොයෝටා කොරොල්ලා වල. කාලය මැවූ අරුමය!

    Pieter Keuneman කෙනමන් කියලා උච්චාරණය කරන්නේ ඇයි දන්නේ නෑ නේ? ඕක මම හිතන්නේ කොයිනමන් වෙන්න ඕනෙ.

    දැනට වෙනත් හරස් ප්‍රශ්ණ නැත.

    • Pra Jay says:

      Keuneman – a Dutch Burgher name. Pieter is the Dutch form of Peter.
      ඈයි කොයිනමන් වෙන්න ඕනෑ?

    • ඩූඩ්……මචෝ කාලය විසින් මහා අරුම කරනවා. ෆෝඩ් කොන්සල් එකේ තිබුනු ඒ කාලීන ගාම්භීරත්වය අද වෙනකොට වෙනත් දේවල් වලට මාරු වෙලා. මේ හැම කාර්මික සහ විද්‍යාත්මක දියුනුවීම් තුල මිනිසා කුඩා වීම සිදුවීම උඹ දකින්නේ කොහොමද? මම විචාරකගේ එක් ලිපියක ….අප විසින් හැදු ආයුද තුලම අප ඒ තුලම යැපෙන්නන් වීම ගැන පොඩි අදහසක් ලිව්වා. ඒ ගැන විචාරකගේ අදහස සාධනීයයි ඔහුගේ සමාජ සහ මිලිටරි අත්දැකීම් තුල. ඩූඩ්..හිත එකලස් කරගෙන දෙයක් ලියාගන්න කාලය නරක විදිහට හරස් වෙනවා. මට සමාවෙයන් …කෙටි පිලිතුරු පිලිබඳව.

      කේනමන් නම ප්‍රනෞන්ස් වෙන්නේ ඩච් ඌරුවට නම් උඹ කියන විදිහට විය යුතුයි. මටත් හරි විදිහට නමක් ගමක් කියවීමේ පුදුම උනන්දුවක් එදා සිටම තිබුනා. මම කෙ ඔන මන් කියන්න පුරුදු වුනා. කෙ ඔන නිකම්ම කේන වුනා. ඒකම තමයි සුදු සමයේ සිටම අද දක්වා ඔහුගේ නම ප්‍රනෞන්ස් වෙච්ච විදිහ. ආනන්ද හාමුදුරුවෝ නම් කිව්වේ කැනමන් මහත්තයා කියලා.

      අපේ සිංහල නිවේදකයෝ අපිට හුරු නැති විදේශීය නම් ප්‍රනෞන්ස් කිරීමේදි, කරන වැරදි ප්‍රවීනයන් ගෙන් ඉගෙන ගත යුතු යැයි මම හිතනවා. කලකට පෙර බීබීසිය මේ ගැන හොඳ උදාහරන සැපයූවා. ඊට පස්සේ අපි මොකද කරේ…සුද්දා ආර් අකුර ශබ්ද කරන පිලිවෙලටම අපි ජයවාදන,ගුනවාදන කිව්වා. මම ඒ ගැන දන්න කාලේ ඉඳන්ම අකමැති වුනා. අපි හෙමින් හෙමින් කතා කරමු ඩූඩ්. මම යක්ශ බිසි බන්. ඉන්දීයවේ ඉංග්‍රීසි ජර්න්ලිස්ට්ලා..රාම වීර් මුර්ගේසු…..රාම විය මූගේසු කිව්වේ නැහැ. උන් ඉන්ඩියන් අයිඩෙන්ටිටි එක රැක බලා ගත්තා. මම කියන්න ඕන නැහැ උඹ ඕව මට වඩා දන්නවා.

  15. Niroshini says:

    දේශපාලනේ නම් දන්නේ නැහැ…කොල්වින් ආර් ඩී අපේ සීයාගේ වීරයෙක් නිසා ඔය ලියා තියෙන කට්ටිය ගැන එයා කතා කියල තියෙනවා…එයා හිටියා නම් මේක ආසාවෙන් කියවාවි 😦

    • ඔව් නිරෝ……එදා ඔයාගේ සීයාගේ කාලේ කියන්නේ මගේ තාත්තාගේ කාලය විය යුතුයි. ඒ අය කොල්වින්,එන්.එම්.,ලෙස්ලි,විවියන් වගේ අය කරපු දේවල් දැක්කා. ඒ නිසා ඒ අය වීරයන් වෙන්න ඇති. අද බොහෝ දුරට සමසමාජ පාක්ෂිකයෙක් හැර අනිකුත් බොහෝ අය මෙවැනි චරිත කතා කියවලා නැතුවත් ඇති. ඕනෑම චරිතයක් කියවීම තුලින් අපිට බොහෝ දේ ඉගෙනගත හැකියි.

  16. හැමදාම වගේ කියන්න තියෙන්නෙ මං අදත් කියෙව්වෙ පට්ට කෑදරකමකින් කියල… හැමදාම වගෙ කියවල ඉවර වෙනකොට තව තිබ්බ නං කියල හිගෙන්නෙ ඇයි මංද…
    අද ඉන්න අයට වඩා එදා හිටපු දේශපාලක තුමන්ල හොදයි කියල හැමෝම කියන්නෙ මං හිතන්නෙ ඒ කාලෙ විවෘත ආර්ථිකේ තිබ් නැත් හින්ද වෙන්න ඇති… ඇත්තටම ඒ මගුල නැත්තං ලංකාව සෑහෙන්න අපේ කම කියන දේත් එක්ක දියුණු වෙලා කියල මට හිතෙන්නෙ කොළඹ සිංගප්පූරු කතාව ඇහනකොට…
    මොනා උනත් බලයට ලෝබ උන පාදඩ දේශපාලනය හින්ද ලංකාවට වගේම ඉතිහාසයෙ විරාජමාන වෙලා ඉන්න වටිනා පුද්ගලයන්ටත් කෙලවුණා කියල තමා මට හිතෙන්නෙ

    • මහේෂ්…..ආසාවෙන් කියවීම පිලිබඳ සතුටුයි. මම ඉතාම කාර්ය්‍යබහුල සති දෙකක් ගතකරේ. ඒකයි උත්තරයක් දාන්න පරක්කු වුනේ.

      විවෘත ආර්ථිකය ගැන නම් මට තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. අපේ පාලකයින් ගෙඩි පිටින්ම වෙනස් වෙන්න ගිය නිසා එය ඉක්මනින්ම ජනතාවට නරක අත්දැකීම් ගේන්න ඇති. 1970 සිරිමාවෝ යුගය ගැන මිනිසුන් කිසිම පැහැදීමකින් නොසිටි බව 1977 මැතිවරන ප්‍රතිපල දිහා බලපුවාම පේනවා. අපේ බිහිවුනු පාලනයට හවුල්වූ බොහෝමයක් දේශපාලකයින්ගේ අවස්තාවාදීත්වය මේ හැම සිදුවීමකට බලපෑවා. තාමත් එහෙමයි. දැන් එන්න එන්නම වැඩියි.

  17. වෙනදා වගේම වටිනා විස්තර රාශියක් දැනගත්තා. මේ උඹ කරන්නේ විශාල සේවයක් බං. මිනිස්සු කොච්චර තමන්ගේ අත්දැකීම් බෙදාහදා නොගෙන වල පල්ලට යනවද? උඹනම් විස්තර කෝෂයක්.
    අර චූටි මුකුළුවත් ටිකක් ලියන්න තිබුනේ. ඕං අමතක එහෙම කරනවා නෙමෙයි. උඹට ජය හා සතුට!!

    • ගුණේ……දන්නදේ සහ දැකපුදේ ලියලා දානවා බං..එතනින් එහාට වැඩි යමක් නැහැ. සමහරු අත්දැකීම් බෙදාගන්නවා. සමහරු අත්දැකීම් තමන්ටම කියලා ඇතුලේ තියාගෙන ඉන්නවා. මම නම් කැමතියි බෙදා හදාගන්න. සමහර චරිත කතා කියවනකොට, ඒ අත්දැකීම් කොච්චර අපූරුද..අපිට ඒ දේවල් විඳින්න නොලැබුනේ ඇයිදෝ කියලා එක වෙලාවකට හිතෙනවා.

      චූටි මුකුළුව ඉතාම කෙටි කාලීන මුකුළුවක් විතරක් වුනා…මගේ රස්තියාදු වැඩ ඒවාට හේතුවුනා.

  18. Anonymous says:

    අරූ මචන්

    මම 90 ගනන් වල මැද හරියෙ කොල්ලුපිටිය පැත්තෙ නිතර කැරකෙන්න වුනු කාලෙක ඔය ෆැබ් එක තියෙන හරියෙම සී සයිඩ් එකේ තිබුනු සාගරසිරි කියල පොඩි හෝටලේකින් ඉඳහිට කොත්තු එහෙම කෑව මතකයි. ඒක පාර මට්ටමට පොඩ්ඩක් පහතින් වගේ තිබුනු පොඩි ප්ලේස් එකක්. පිරිසිදුවට රන් කළා, ස්ටාෆ් එකත් හොඳයි, ඒත් ලොකු එකක්වත් එහෙම ලොකු සල්ලි කාරයෙක් ගෙ පොට් එකක්වත් කියල හිතන්න අමාරුයි, තරමක අහිල ජොයින්ට් එකක්.

    පරන විභූතිමත් සාගරසිරි හෝටලේ remnant එකක් ද?

    තිසර කිව්ව වගේ උඹ ඔය “පස්සෙ ලියන්නම්” කියන ඒව පොතක හරි පිලිවෙලට ලියල තියා ගනින් (එහෙම නැත්නම් හැලපෙ ගෙ ක්‍රමෙත් නරකම නෑ :p)

    • මචන් ඇනෝ……ඔය සාගරසිරි හෝටලය ගැන උඹ කියන කතාව හරියටම හරි. 70-80 කාලේ ගාළුපාරේ තිබුනු හොඳ තැනක් තමයි ඕක. ඒ කාලෙත් රෝස්ට් චිකන් තිබුනා : හරි පිලිවෙලට වැඩේ ගියා. පන්සලට හෝටලයෙන් දානේ දුන්නා දවල්ට. රෑට සල්ලි දීලා බිත්තර ආප්ප ගේන්නත් මම යනවා එතනටම : සාගරසිරි මුදලාලි ඉස්සර ධනවතෙක්. විශාල නිවසක් තිබුනා වාලුකාරාම පාරෙම.
      මම දැකපු එක දෙයක් තමයි…අමාරුවෙන් ගොඩනගන දේවල් ඊළඟ පරම්පරාව ඉතා ඉක්මනින් විනාශ කරනවා. ඕක එක යුගයකදි වුනා. උදාහරණ ඕන තරම් තියෙනවා. දැන්නම් ඊළඟ පරම්පරාව පිටරටවලට ගිහින් මාර්කටින් වගේ විශයන් හදාරලා ලංකාවට ඇවිත් පවුලේ ව්‍යාපාර ක්‍රම්වත් කරනවා. මේ ගැනත් මම දන්න උදා තියෙනවා. සාගරසිරියේ මුදලාලි සරම කමිසය ඇඳපු කෙනෙක්. පස්සේ කාලයක මම ඒ කාලේ වෙන්ඩ වයිෆ් එක්ක ඔතනට ගියා..පරණ මතකයන් එක්ක. ඒ 1987දී. ඔන්න ඔය උඹ කියන තත්වය එදාත් සාගරසිරියට අත්වෙමින් තිබුනා. ඒ වෙන්ඩ වයිෆ් කෑමට දැක්වූ ප්‍රතිචාරයෙන්ම මට තේරුනා. මම කියන සාගරසිරිය ඒදා කොල්ලුපිටියේ තිබුනු හොඳම ජොයින්ට් එකක්.

      පස්සේ ලියන්නම් කියලා කියන එව්වා ..මම මෙච්චර කල් කොහෙවත් සටහන් කරගත්තේ නැහැ. තිසර කිව්වාට පස්සේ ඒ ගැන හිතුවා. මම ලියන්නේ කව්බෝයි වගේ. ආවා වෙඩිතිබ්බා ගියා. පොඩි කටු සටහනක් තියාගෙන ටයිප් කරනවා. ක්‍රමවත් නැහැ. මතකය දිග හරිනවා.

  19. සිරා says:

    මේ දේශපාලඥයන් සියලු දෙනාගේම නම් අසා තිබුනාට වැඩි තොරතුරක් නොදනිමි. ඔබ හිතන විදියට මැලිබන් මුදලාලිලා දියුණූ වූ විදියට අදත් දියුණු වෙන්න පුලුවන්ද ?

    • මම හිතන්නේ දැන් මේ රට ගෙනියන ක්‍රමය තුල ..උඹට පොඩි තේ කඩයක්..සමාන්‍ය හෝටලයක් දක්වා දියුණු කරගන්න පුළුවන් වෙයි. එතනින් එහාට ඒ පොඩි හෝටලය තරු හෝටලයක් දක්වා ගෙනියන්න කොච්චර චිත්ත දහිරිය සහ ආර්ථික ශක්තිය තිබුනත්, බාහිර බලපෑම් රාශියකට යටත් වෙන්න වෙයි. ඒ බව දැන් දැන් ලොකු ව්‍යාපාරවලට අත තියන අයගේ පසුබිම බැලුවාම හිතෙනවා. විශේෂයෙන් මෑතකදී විවෘතවුනු හෝටල් ව්‍යාපෘති බලන්න. දේශපාලන සම්බන්ධකම් කොහෙන් හරි තියෙනවා. මේ මට පේන හැටි.

  20. helapayaa says:

    අදත් හරිම කෑදරකමකින් කියෙව්ව මචං,ඔන්න මතක ඇතුව අර මුකුළුව ගැනත් ලියන්නම ඕනෑ හරිද,පාදඩ දේශපාලනය රටට දායාද කර ඇති කරුමය ගැන බොහෝ කනගාටුවක් දැනේ.

    • හැලපේ මචං තෑන්ක්ස්. උඹත් මගේ යුගයේ කෙනෙක් නිසා මේ අද දකින දේශපාලකයෝ ගැන ඇතිවන කෙන්තිය වලක්වන්න බැහැ. ඉදිරිය මොන වගේ වෙයිද කියලා හිතාගන්න බැහැ. පාදඩකරණය සංඝ සමාජයටත් ගිලා බැහැලා. මේවා එන්න එන්නම් වැඩිවෙනවා. දැන් බලපන් පඬුපාට සිවුර වෙනුවට කළුපාට සිවුරු අඳින බුවාලාත් ඉන්නවා. සිවුරත් මල්ටි කලර් වෙලා. හෙට අනිද්දා නිල්පාට, කොළපාට සිවුරු ඇන්දත් පුදුම වෙන්න දෙයක් නැහැ. අමු බොරුවෙන් ඔක්කොම වැහිලා.

  21. maathalan says:

    උඹ ඔය කියාපු ගොඩාක් චරිත අපි නම් ඇස් දෙකෙන් ඉස්සෙල්ලාම දැක්කේ “මස්ටෑන්ග්” ටෙන්ට් එකේ… මම හිතන්නේ උඹ නොවරදවාම ඒ ගැනත් ලියයි කියලයි. කොල්වින් දැම්මේ මාර්ටින් වික්‍රමසිංහ දානවා වගේ කන්නාඩි දෙකක්, හැබයි හයේ හතරේ පොරවල්. ඇන් ඇම් නම් ආනන්දේ ග්‍රවුන්ඩ් එක ඕපන් කරන දවසේ දැක්කා. තනිකර සුද්දෙක් වගේ. ඊට පස්සේ මගුල් ගෙදරකදි දැක්කා. අම්මපා ජෙප්පන්ගෙන් කචල් තීලත් මේ මිනිස්සු බොඩි ගාඩ් කෙනෙක්වත් නැතිව නේ ජීවත් උනේ.. උඹ ඔය කියපු මුදලාලිලා ගොඩාක් දෙනෙක් අපේ මාමන්ඩියේ ක්ලයන්ට්ලා.. එයා හම්බ වෙන්න එන කොට තමයි උන්නැහේලව දැක්කේ.. දාසලා, මැලිබන්ලා මොන සල්ලි කාරයෝද බන් අද ඉන්න උනුත් එක්ක.

    • මාතා…..මස්ටෑන්ග් ටෙන්ට් එකේ හිටියේ මාර පොරවල් තමයි. උඹ ඒ ගැන යමක් ලියපන්කෝ. ජේ.ආර්.පප්පල, බංඩාරනායක බේබිලා එකට බොන්නේ. පප්පා අප්පුඩි ගගහා සින්දු කියනවාත් මම දැකලා තියෙනවා. ඔතන ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම කුණුහරුප බයිලා ආතල් එකකුත් යනවා. මම ඔතනින් කිසිම නෝන්ඩියක් නැතුව බාගෙට බීපු විස්කි බෝතලයකුත් ඉස්සුවා ඒලෙවල් කාලේ බිග්මැච් ගිහිල්ලා.

      බර්නාඩ් සොයිසා ගේට්ටුව ඉස්සරහ ඉන්නවා,කොල්වින් සාලේ පත්තර බලනවා, කෙනමන් ෂෝට ගහන් ඇවිදිනවා මම දැකලා තියෙනවා. කිසිම සෙකියුරිටියක් තිබුනේ නැහැ.

      ඔය මුදලාලිලා හඳහන් කේස් වලට එනවා ඇතිනේද මාමා ගාවට.

  22. Chandana says:

    බලාගෙන ගියාම අරුටත් සෙට් වෙලා තියන්නේ ‘රාජකීය’ බෝඩිමක්. කාර් බාර් ද, ලොකු ලොක්කෝ ද රට වටා සංචාර ද තව උකුළු මුකුළු ද… අන්න ඒක නං මතක ඇතුවම ටිකක් දිගට ලියන්න.. 🙂

    • චන්දන….ඒක නම් රාජකීය බෝඩිමක්ම තමයි. ඕකේ අනිත් පැත්ත ලියන්නත් ඕන. පන්සල පල්ලෙහා මහානාම පොඩි ගේට්ටුව ගාව පොඩි කඩයක් තිබුනා. එතන ඔය රාජකීය බෝඩිමේ තනිකර අනිත් පැත්ත. ගන්ජා බොන බුවාලා, රීඩ් ඇවනිව් එකේ ගණිකාවෝ හැන්දෑවෙනකොට එතනට සෙට්. ඒක අමුතුම තැනක්. ඒවා ලියන්නම්. මං වගේ බෝ පැලයක්, නියම පිස්සු බුවෙක් වෙන්න ඕවත් අත්දැකීම් වුනා 😀 ඒවා හරි රසවත් චන්දන.

  23. ඔබ මෙහි සඳහන්කර ඇති අයගෙන් මා දැක/හමුවී නැත්තේ බර්නාඩ් සොයිසා මහතා සහ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය පමණකි. මේ දේශපාලකයන් අතරින් කොල්වින් ආර් ද සිලවා මහතා තරම් අති ධක්ෂ කථිකයෙක් මගේ ජීවිත කාලය තුල තවත් දැක ඇත්නම් ඒ ලලිත් ඇතුලත්මුදලි මහතා පමණි. අදමෙන් දේශපාලන පුස්සන් නොවූ එන්.එම් ලා කොල්වින්ලා ලලිත්ලා නියම දේශපාලන දර්ශනයකින් යුත් පුද්ගලයන් වුනා. රනිල් වුනත් ඒ කාලේ ජේ.ආර්. ගේ මගපෙන්වීම යටතේ දැනට වඩා අර්ථවත්ව කටයුතු කළා.

    අරු දන්නවද, ඒ කාලේ සමහර දේශපාලනඥයන්ගේ නම් ඉංග්‍රීසියෙන් ලිවීම හරි අමාරුයි. චම්ලි ගුනවර්ධන කියලා ඇමති කෙනෙක් හිටියා මතකද? චම්ලි කියලා ලියන්නේ Cholmondely කියලයි මගේ මතකයේ තියෙන්නේ. ඒ වගේමයි පීටර් කෙනමන් කියන එක Kenauman වගේ ලියවෙන්නේ.

    • ඇත්තටම විචාරක එදා සිටී දේශපාලකයින් බොහෝ දෙනෙක් මොන පක්ෂේ වුනත් උගතුන් බුද්ධිමතුන්. බොහොමයක් දෙනා භාශා දෙකෙන්ම හරඹ කරා. ග්‍රාමීයද නාගරිකද, වාමංශිකද නැද්ද යන බේදයෙන් තොරව ජනතාව එක්ක හිටියා. ඒ යුගයේ යම්කිසි අත්දැකීම් කොටසක් අතපත ගාන්නට ලැබීම එක්තරා වාසනාවක් කියලා මට හිතෙනවා. මේ අතීත කාමය නොවේ. එහි තිබූ සුන්දරත්වයයි. අද කළුතර ,පානදුර හිටිය ලෙස්ලි,චම්ලි,අනිල් වගේ උදවිය වෙනුවට අහන්න ලැබෙන්නේ මාල කඩපු එවුනුයි…තමන්ගේ නායකයාට පිහියෙන් අනින්න හදන එවුනුයු ගැන. වස ලැජ්ජයි.

      මනෝරි මුත්තෙටුවෙගම පසුකාලයක චන්ද්‍රිකා ආන්ඩුවේ යම්කිසි කොමිසමකට සේවය කරා මතකයි. ඇය දැන් බොහෝ වියපත් විය යුතුයි. බර්නාඩ් සොයිසා හරිම සරළ මිනිහෙක් බව දන්නවා. දේශපාලනය නිසා අධ්‍යාපන කටයුතු පවා මග හැරිය බව අපේ තාත්තා කියා තිබෙනවා.

      Cholmondeley…චම්ලි කියන්නේ එංගලන්තයේ පැරණි ගමක්. 1800 ඉඳන් පැවතගෙන එන චම්ලි කාස්ල් එක තියෙනවා. ඓතිහාසික කතා තියෙනවා මේ ගැන. චම්ලි ගුණවර්ධනට ඔය නම දාන්න ඇත්තේ ඔය ඇසුරෙන්. Keunemen නම් ඕළන්ද සම්භවයක් කියලා කියනවා නේද?

  24. අයියා ඔය සිද්ධාර්ථ අඩිපාර කියන්නේ අපේ ගෙවල් පාර වෙන්න ඕනේ ඇල අයිනේ පාර නේද? සිද්ධාර්ථාරාම පන්සල තියෙන්නේ අපේ ගෙදර පිටිපස්සේ. වැට – පිං ලිඳ- පන්සල සමහර වෙලාවට ගල් විසි කරලා පන්සල් වහලට වැදිලා හාමුදුරුවොන්ගෙන් බැනුම් පවා අහල තියෙනවා.

    • කෝරළේ…….ඒක තමයි මම කියන පන්සල. දැන්නම් දියුණු වෙලා ඇති. ඒ කාලේ ලයිට්වත් තිබුනේ නැහැ. ඔය පාරට හැරෙන තැන ඇල ගාව දර මඩුවක් තිබුනා. 138 බස් හෝල්ට් එකත් එතනමයි තිබුනේ. කිරුළපන හා මගේ රසවත් අත්දැකීම් තියෙනවා. නිහාල් සිල්වා, විල්සන් කරු, වගේ උදවිය ගමේ අය. ජීවන් කුමාරතුංග පොඩි යමහා එකකින් ලව් කරන්න කරක් ගැහුවේ කිරුළපනේ පුස්තකාලය ගාව පාරේ. උපාලි සන්නස්ගල කියන දක්ශ ගිටාර් වාදකය හිටියෙත් ඔතන. කෝරළේ මහත්තයා ඉපදිලාත් නැතුව ඇති මේ කියන කාලේ. ලියන්න නම් දේවල් අප්‍රමාණයි.

      ඇතුලත්මුදලි මහත්තයාට වෙඩි තිබ්බෙත් ඔය ග්‍රවුන්ඩ් එකේ.

  25. රාජ් says:

    කියන්න දෙයක් නං නෑ බං මේ ගැන.

    • රාජ්….උඹව දැක්කේ නැහැ පහුගිය ටිකේ..මමත් හිටියේ නැහැ. සෙන්නාව දැක්කෙත් නැහැ.

  26. Ravi says:

    කොල්වින්, ඇන්.ඇම්. ලෙස්ලි ගැන ලියන්ට දේවල් තියනව පොතක් පිරෙන්ට…විශේෂයෙන් කොල්වින් ගැන තියන කතා අනන්තයි. මෙතන ලියන්න බෑ අරූ..එහෙම ලියන්ට ගියොත් උඹේ පෝස්ට් එකට වැඩිය මගෙ කමෙන්ට් එක දික්වෙයි.කොල්වින් ගැන ඉක්මනටම පෝස්ට් එකක් ලියන්ටයි හිතාගෙන ඉන්නෙ.

    සතාසිවම් මිනීමැරුම අරූ දන්නව නේද? ඒකේ විත්තියෙ නීතිඥයා කොල්වින්. මහදේවන් සතාසිවම් තමන්ගෙ බිරිඳ මරපු චෝදානවෙන් නිදහස් උනා. හැබැයි ඒ එක්කම තිබ්බ 1952 මහ මැතිවරණයෙන් කොල්වින් දෙහිවල-ගල්කිස්ස ආසනයෙන් පැරදුනා.ඒ මිනීමරුවෙක් නිදහස් කිරීමට දක්වපු දායකත්වයට ඡන්ද දායකයින්ගෙ අප්‍රසාදය පලකරපු අන්දම කියලයි කියන්නෙ.

    මගෙ අත්තම්ම මම පොඩි කාලෙ කියපු කවියක අන්තිම පදේ මෙහෙමයි. ” වංගෙඩියයි මිනීමැරුවෙ දෙවියනි බල ලෝ……” ඔය සතාසිවම් මිනීමැරුම ගැන ලියවුනු කවිකොලයක තිබ්බ කවියක් වෙන්න ඕන කියල මට තේරුනෙ පස්සෙ. මගෙ අත්තම්ම වගෙ අකුරක් නොදන්න ගැමි කාන්තාවකුත් ඒ ගැන දැනගෙන හිටියයි කියන කාරණෙන්ම හිතාගත්තෑකි නේද සතාසිවම් කේස් එක කොච්චර ප්‍රසිද්ධ වෙන්ට ඇතිද කියල ඒ කාලෙ?

    මම ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව සර් සිඩ්නි ස්මිත්ගෙ ‘ Mostly Murder ” ස්වයංලිඛිත චරිතාපදානය..සර් සිඩ්නි ඔය නඩුවෙදි විත්තිය වෙනුවෙන් පෙනීඉඳල තියනව. A Murder In Ceylon කියල ඒ පොතේ තනිකර පරිච්ඡේදයක්ම තියනව ඔය ගැන. ඊට පස්සෙ මේ ළඟකදි මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දුත් ඔය නඩුව ගැන පොතක් ලිව්ව.

    කොල්වින්ගෙ ගොයම් කොලේ කතාව අහල තියනව නේද? ඒ කතාව ඇත්තද කියන්ට නම් මම දන්නෙ නෑ හැබැයි. කොල්වින් ගැන තව එක කතාවක් විතරක් කියන්නම්.

    එදා ඉඳලම ආණ්ඩුවෙ පුරුද්දක් තමයි මොකක් හරි ප්‍රශ්නයක් යට ගහන්ට ඕන උනාම ඒකට කොමිසමක් පත් කරන එක. මේ කොමිසං ගැන කොල්වින්ගෙ අර්ථකථනය. 😀

    Appointing a commission is exactly like a morning visit to the toilet. First there is a sitting, then there is some deliberations. After that a report and finally the matter is dropped.

    • Niroshini says:

      ගොයම් කොළේ කතාව ඒ දවස්වල සීයා කියනවා මතකයි 🙂

    • මටත් මේ ගොයම් කොලේ කතාව අහලා තියෙනවනේ.
      ගොයම් කොලය කියන්නේ වී එකතු කරන්න කලින් කුඹුරේ හදන වෙහෙර වගේ එකටනේ නේද?

      • Ravi says:

        රංගි,

        නෑ බං..ඒ වී ගොඩට කියන්නෙ බැත කියල. ගොයම් කපල කමතට ගෙනල්ල ගොඩගහනවනෙ. අන්න ඒ ගොයම් ගොඩටයි ගොයම් කොළේ කියන්නෙ.

        ඔය මිනීමරුම් නඩුවෙ මිනීමරුව වෙඩි තියල තියෙන්නෙ ගොයම් කොළේකට මුවා වෙලා. ඉතිං සාක්කි කාරයො ඔක්කොම එහෙම කියල. කොල්වින් තමයි විත්තියෙ නීතිඥය. එයා කලාය කියන්නෙ ගොයම් කොළයක් ( සාමාන්‍ය ගොයම් ගහක කොළයක් ) උසාවියට ගෙනල්ල නඩුකාරයට පෙන්නල ඇහුවලු. ” Your honour, how can a man hide behind this and shoot someone, can you believe it ? “ කියල. නඩුකාරය සුද්දෙක්. නඩුව අහක ගියයි කියල තමයි කියන්නෙ. ඒත් මේ කතාව සම්පූර්ණ ඇත්තක්ද කියල මටනම් සැකයි.මොකද කොල්වින් ගැන ලියවුනු කොහෙවත් මේ නඩුව කවදා කොයි උසාවියෙ අහපු එකක්ද කියල සාක්ෂි ඇතුව සඳහන් කරල නැහැ.

        තව තියනව කොල්වින් පෙනී හිටපු රේප් කේස් එකක් ගැන මරු කතාවක්. ඒක වෙනම මම ලියන්නම්. 😀

    • මචං රවී…..කරුණාකර කොල්වින් මතකය ලියපන්. දැන් බ්ලොග් කියවන තරුනයෝ මේ දේවල් දන්නේ නැතුව ඇති. උඹට ලියන්න බොහෝ දේ ඇති බව මට හිතෙනවා.

      රවී…කොල්වින් පස්සේ දෙහිවල-ගල්කිස්සෙන් අගලවත්තට ගිහින් විවියන් ගුණවර්ධන ගල්කිස්සට ආවා නේද? සතාසිවම් නඩුව ගැන මම එහෙන් මෙහෙන් කියවපු මතකයන් තමයි තියෙන්නේ. මේ සියල්ල එක්ක දිගු ලිපියක් ලියපන්. එක පෝස්ට් එකකින් ලියන්න බැරිවෙයි. මම හිතනවා මේ දේවල් කියවන්න කැමති අය ඉඳියි ඕන තරම්. උඹ ලියන විදිහ ඒකට හොඳ බැකප් එකක් වෙයි.
      //Appointing a commission is exactly like a morning visit to the toilet. First there is a sitting, then there is some deliberations. After that a report and finally the matter is dropped./////
      ලංකාවේ කොමිසම් ගැන කොල්වින්ගේ අර්ථකතනය හැර වෙන මුකුත් අවශ්‍යද…මම මේ වටිනා කියමන අදයි දැණ ගත්තේ. අපේ රටට නම් සදාකාලයටම වලංගුයි වගේ.

      මචං මේ දේවල් ලිලිබඳ පෝස්ට් දෙක තුනක් ලියපන් කියා නැවත ඉල්ලනවා.

      • රවී මමත් හිතන්නේ ඔය ගොයම් කොළේ කතාව මිනිස්සු ගොඩ නගා ගත්ත කතාවක් කියලා. සමහරවිට කොල්වින්ගේ දක්ෂකම් අතිශෝක්තියට නංවන්න වෙන්න ඇති. බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන් වගේ.

  27. Miyuru says:

    මට එක සැරයක් නිකම් දෙශපාලන විද්‍යාව ඉගෙන ගන්න හිතිලා පුරසිංහ සර්ගෙ පන්තියකට ගියා ටික කාලයක්… ඒ මනුස්සයා ඔය සඳහන් කරලා තියෙන වාමාංශික දේශපානඥයන් ගැන සඳහන් කරන්නෙ හරිම අපූරුවට… අදටත් මතකයි ඒ කියා දීපුවා… මේ ලිපි පෙල මුල ඉඳන් කියවන්න ඕන… මං පහුවෙලානෙ ඇවිත් තියෙන්නෙ… හරිම වටිනවා…

    • මියුරු…..මේ පුරසිංහ සර් කියන්නේ ජපුර විවියේ ටෙරන්ස් පුරසිංහ මහත්මයායැයි කියා හිතනවා. ඔහුට වාමංශික දේශපාලකයින් හා ලඟ ඇසුරක් තිබූ බව මම අසා තිබෙනවා. මම ලියා ඇත්තේ කොල්ලුපිටිය අවට සිටි අය ගැන පමණයි. තවත් මෙවැනි සද්දන්ත චරිත අපේ දේශපාලන ලෝකයේ බොහෝමයි. මියුරු ඒ ගැන දන්නවා ඇති. මේ අයගේ ජීවිත කතා කියවීම ඉතා වටිනවා කියා මම හිතනවා. මම මේ ලියන්නේ නිකම් මතක සටහන් විතරයි. මේ කාල පරිච්ඡේදය ගැන තව බොහෝදේ මට වඩා දැණ උගත් අය ලියා තැබිය යුතු බව මගේ අදහසයි. ඩොක්ටර් වික්‍රමසිංහ,ලෙස්ලි-විවියන්,අනිල් මුනසිංහ සහ තවත් වෘත්තිය සමිති නායකයින්, පුවත්පත් කතුවරුන් වැනි අය එමටයි. මා මේ කියන්නේ 70යුගය.

      මියුරු හැකි වෙලාවක කියවන්න. අදහස් එකතු කරන්න.

      • Miyuru says:

        එයා තමයි අරූ… ඒ දේශනවල රසවත්කම ගැන අහලමයි ගියේ… පුරසිංහ සර් ඔය කට්ටිය ගැන කතා කරන්න ගියාම ඉවරයක් වෙන්නෙ නෑ… හරිම ආසයි අහන් ඉන්න… එහෙනම් ඒ ඇසුර නිසා වෙන්න ඇති… මං අහලා තියෙනවා ඔය කියපු කට්ටිය ගැන… ඉස්සර අපේ ලොකු සීයා තමයි කියන්නෙ… සීයා ඒ කාලෙ හිටියෙ බම්බලපිටියෙ…

        මේ වැඩට යන ගමන් එහෙන් මෙහෙන් බලන්නෙ… නිවාඩු දවස එනකම් ඉන්නවා නිවී සැනසිල්ලෙ කියවන්න… අනිවාර්යයෙන්ම කියවනවා…

      • මියුරු……මම කාලයක් බම්බලපිටියේ හිටියා..ඒ ගැන ඉදිරියේ ලියන්නම්.

  28. මෑත ඉතිහාසේ ගැන කොහෙවත් සටහන් වෙලා නැති කතාන්තර රසයක් තියෙන උඹේ වාර්තා එකතුව පොතක් වෙනවානම් කොච්චර අගේද?. ඔය බර්නාර්ඩ් සිල්වාව විද්‍යා හා තාක්ෂණ ඇමති වුනා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ. එත් ඒ වෙනකොට පලදායි වැඩක් කරන්න බැරිතරම් වයසයි.

    • තිලකේ…….බර්නාඩ් සොයිසා කියන නම බර්නාඩ් සිල්වා කියන නමත් එක්ක නිතරම ටැපලෙනවා. මට නොයෙක් වෙලාවන්ට එහෙම වෙලා තියෙනවා. ඇයි කියලා තේරෙන්නේ නැහැ. බර්නාඩ් සොයිසා කියලා ප්‍රසිද්ධ දොස්තර කෙනෙකුත් නුගේගොඩ හිටියා ඔය කාලේ.

      චන්ද්‍රිකාගේ කාලේ බර්නාඩ් සොයිසා වයසයි තමයි. අනිත් කාරනය ඔය විද්‍යා හා තාක්ශන ඇමති කම සමසමාජ පක්ෂයට ලියලා දීපු ඇමති කමක් වගේ 😀
      බොරුද බලපන්…ඊට පස්සේ බැටි වීරකෝන්…ඊට පස්සේ තිස්ස විතාරන.

      පොතක් ලියන්න ආසයි….වෙලාව සහ කම්මැලිකම..බාධකයක් සහ ලෙඩක් මච්ං.

  29. sudeeka says:

    මෙහෙම කියනවට අමනාප වෙන්න එපා. මට ඔබටව දැනෙන්නේ දළදා මාලිගාවේ ඇතා වගේ. මොකද මනුෂ්‍ය ජීවිත ලැබිලත් අපට ලබන්න බැරි කුසල කර්මයක් ඒ ඇතාට හිමි වෙනවා. ඒ වගේ තමයි අද දේශපාලන යෝධ චරිත වලට පවා ඇසුරු කරන්නට නොහැකි මහා චරිත බොහොමයක් ඇසුරු කරන්න ඔබට ලැබුණු වරම. මගේ පියා මේ අය ගැන කරන වර්ණනාව ආසා තිබීම නිසා, මට ඔබේ ලිපියා කලෙකින් ලැබුණු රස මසවුලක් වගේ දැනුණේ.

    • සුදීක…….මට මේ අය ඇසුරු කරන්න ලැබුනා නම් කොච්චර වටිනවාද….මම දැක්කා සහ අහගෙන හිටියා මේ අයගේ වැඩ කටයුතු. ඒ හැම දෙයක්ම මතක තියෙන්නේ මේ චරිතවල තිබුනු වැදගත් කම නිසාම වෙන්න ඇති. අපිට වඩා වැඩිහිටි පරපුරනම් මේ වියතුන් ගැන බොහෝ දේ දන්නවා…නමුත් අවාසනාවකට ඒ අයගේ මතකය දැන් අවුල්. මාත් අවුල් වන්නට පෙර ලියන්නේ ඒ නිසාමයි.

      සුදීකගේ ඇගයීම නිහතමානීව රසවිඳිනවා…ස්තූතියි!!

  30. Attarapemiya says:

    jagath Ranjan Sudasinghe
    Very interesting information about A.N.Perera . I really enjoyed this part a lot. waiting to read the next part ASAP . Until then keep up the good work 🙂

    • මචං JR….පුරුදු විදිහට කියනවානම් පේමියෝ…..තව ඉස්සරහට A.N ට වෙච්ච දේවල් කියවගෙන පලයන්. වැටුනා…නැගිට්ටා..ආපහු වැටුනා…ඔහොම තමයි ජීවිතේ. මගේ හයේ පන්තියේ මිත්‍රයෝ මෙහෙම බ්ලොග් එක වටේ එකතුවෙන එකනම් මට හරිම සතුටක්. දන්න අයට කියවන්න කියපන්. මම ඉක්මනින්ම උඹට කෝල් එකක් දෙන්නම්.

  31. අරූ අද වගේ දවසක එහෙම මේ කියන වගේ දේශපාලනය කරන අය අඳුනගෙන හිටියා නම් අරූ බ්ලොග් ලියන එකක් නෑ.
    මටත් මතකයි ලලිත් ඇතුළත්මුදලි අපිට ස්කෝලේ පොත් දුන්නා සුදු නෝනා කෙනෙක් එක්ක ඇවිත් සුදුම සුදු පාට ඇඳගෙන. රොනී ද මැල් නම් ආන්ඩු පක්ශයට පිල් මාරු කලා නේද කීප පාරක්ම? මම හිතන් හිටියේ ඇවිදින විශ්වකෝශ බ්ලොග් අස්සේ ඉන්නේ දෙන්නයි කියලා බලාගෙන ගියාම අරුත් ඒකට දාගන්න වෙනවා.

    • Miyuru says:

      ඒ කොහොම පැන්නත් අන්තිමට නතර උනේ පරදින පැත්තෙ කියලයි මට මතක… ඉතින් ආයෙ පනිනවා… අන්තිමට මනුස්සයට පනී ද පිල් කියල නම වැටුනෙත් ඕකනෙ…

    • රංගී…..එදා දේශපාලකයෝ අදට සාපේක්ෂව ඉතා ඉහළ බුද්ධිමතුන්. ඒ අගය දැන් ත්‍රාඩ, අවලම් දේසපාලුවන්ට නැහැ. අහම්බෙන් සමහරක් හිටියත් ඒ අයත් කාගේ හරි සාක්කුවක. කනගාටුයි කියනවා හැර වෙන මොනවා කියන්නද?

      ලලිත් ඇතුලත්මුදලිගේ බිරිඳ ශ්‍රීමනි ගැන වෙන්න ඇති ඔයා කියන්නේ. ඇයත් පසුකාලයක මියගියා. නොදන්නා දේශපාලනයට ඇය නෑවිත් හිටියා නම් හොඳයි කියා තමයි මම හිතන්නේ. රොනී ද මැල් බොහෝ සැරයක් පක්ෂ මාරු කලා. ඒ නිසාම පිලිගැනීමක් නැති වුනා.

      රංගි….මාව අර ඇවිදින විශ්වකෝෂ ගෲප් එකට දාන්න එපා. මට හරිහමන් ශාස්ත්‍රීය දැණුමක් නැහැ. මම සමාජ අත්දැකීම් ටයිප් කරන්නෙක් පමණයි. මේ බ්ලොග් ලෝකය තුල මට වඩා උගත් බුද්ධිමත් අය බොහෝයි. රංගිගේ කවදාත් කරන දිරිගැන්වීමට ස්තූතියි!!

  32. අරූ අයියේ ..ඔබේ ලිපිය කියවන්න පටන් ගද්දීම තියෙන දේශපාලනයේ පතාක යෝධයන්ගේ නම් ටික කියවද්දී දැන් ඉන්න පුද්ගලයෝ නිකං කොස් ඇට මීයෝ වගේ නේද කියලා හිතුනා

    • ඉවාන්……මට පහුගිය ටිකේ මුකුත්ම කියවන්න බැරිවුනා බං.

      ඒ දවස්වල හිටිය අය ගැන නම් මෙහෙම ලියන්න බැහැ. දේශපාලන උවමනාවන් මොනවා වුනත්…ඔවුන් වැදගත් මිනිසුන් විදිහට දේශපාලනයේ යෙදුනා. මුන් නම් කොස් ඇට මීයන්ට වඩා හපන් කරදරකාරයෝ…හරි හමන් බළලෙක් නැහැනේ බං මේ කරදරෙන් මිදෙන්න. බලමු ඉස්සරහට.

  33. damith says:

    ඔය ගොඩාක් චරිත ගැන වැඩි විස්තරක් දැනගෙන හිටියෙ නැ.ස්තුතියි

    • ඒ අය ගැන පොඩි විස්තර ටිකක් විතරයි දමිත් ඔය. ඔවුන්ගේ අධ්‍යාපනය සහ අනිකුත් සමාජ ක්‍රියාකාරකම් ගැන නම් ලියන්න පොත් ඕන.

  34. නෑ කීවාට ඒ දිනවලත් ව්‍යාපාර දියුණුකරගෙන තිබෙන්නේ දේශපාලනයේ පිහිටන්. දාස සමූහ ව්‍යාපාරය හොඳ උදාහරණයක් සපයා තිබෙනවා. ඔබ කියන පරිදි එදා දේශපාලකයාගේ උපයාගැනීමේ සංකල්පය මොට වූවත්, එය අද වනවිට මනාසේ දලු ලා තිබෙනවා.

    • එකඟයි නිර්මලා…මේ දේශපාලනයයි, බිස්නසුයි එකටම තමයි යන්නේ. 1970-77 දාස-පියදාසලා වගේ ඊට පස්සේ ඇලෝසියස්, නවලෝක,වෙත්තසිංහ වගේ සෙට් එකක් ආවා. දැන්නම් ඒ ලිස්ට් බොහොම දිගයි. ඒවා ගෝලීය කරනය වෙලා. බඩුයි නඩුයි දෙකම ලොක්කගෙ.

  35. nil manel says:

    මේ ලිපිය කියවද්දි අපි ඉස්සර ඉගෙන ගත්තු දේසපාලන පතාක යෝධයො, ඔබ සියැසින් දැක තිබීම ගෑන සියුම් ඉරිසියාවක් ඇති වුනා. ඒ චරිත දැන් ඉතිහාසයට එක්වෙලා. එතකොට ඔබත් ඒ ඉතිහාසයෙම කොටසක් නේද? 😀

    • නිල් මානෙල්…….මට හරි අපූරු මිනිසුන් හම්බවුනා ගොඩාක්. මම ඒවා ඉස්සරහට ලියන්නම්. ඒ අතින් මම වාසනාවන්තයි.
      අපි ඔක්කොම ඉතිහාසයේ කොටස්කරුවෝ තමයි 😀

  36. sasha says:

    සිංදුවා දීපු ලින්කුවක් දිගේ මුලින්ම කියෙවුවා අවුල් වන්නට පෙර (27) කියවන්න පටන් ගත්තේ හප්පෝ මාගලක්නෙ කියලා.අන්තිමට කොමෙන්ට් ටිකත් ඉවර වෙනකල් කියෙවුවම කොටස් ඔක්කොම කියවන්නැතුව ඉන්න බෑ කියලා හිතුනා.දවසට එක ගානෙ හරි කියවනවා.අළුත්ම එකෙන් පටන් ගත්තා අද.

    27 වගේම මේක කියවද්දි පුදුම ඉරිසියයි.මේවා සිදු වෙන කාලෙ මම ගිය ආත්මෙ 😦
    ඔබේ ජීවිත පොතෙන් අපි දෙයක් ඉගෙනගන්නවා.පිං !!

    අපි අළුත්
    http://achcharaukade.blogspot.com/

    • සාෂා……හෙමින් සැරේ කියවන්න. උඹලා වයලීනුවා, සින්දුවා නොදත් කාරනා තියෙයි ගොඩාක්. මොකද උඹලා එතකොට ගිය ආත්මේනේ 😀

      ආත්ම දෙකක් එක් කෙරෙන..අරූගේ අඩවිය…නියම ස්ලෝගන් එක බං 😀

      • sasha says:

        අනිවාර්යෙන් 🙂 මම 93 අප්පා..අරූ කියන්න නම් බැරියෝ..අරූ මාමා කියන්නද?

    • අඩෝ කොල්ලෝ මට උඹට වඩා අවුරුදු හතරක් වැඩිමල් දරුවොත් ඉන්නවා.
      බලපන් නැපී එකේ කටුව හරියට ගහලාද කියලා 😀

      • sasha says:

        හුටා! මම කොල්ලෙක් නොවෙමි 😦 ඇයි වදේ සාශා කියන්නෙ කෙලි පැටික්කියෙක් නොවැ.මාමලා සීයල අයියල සේරම හිතන් උන්නෙ කොල්ලෙක් කියලද? 😮

      • ගම වළඳන සේක……කෙල්ලේ මම හිතුවේ ඔයා කොල්ලෙක් කියාලානේ. සමාවෙන්න.

      • Niroshini says:

        රුසියන් කතා වල සාෂා කියන්නේ පිරිමි නමක්නෙ.. ඒ නිසා කොල්ලෙක් කියල තමා එකපාර හිතෙන්නේ 😀

    • සාසෝ සීයා කියපන්. මාමා නෙවෙයි හොහ් හොහ් හොහ් , ඕකනේ බොට කිව්වේ. පොස්ට් එකේ දිග බලන්න එපා කියලා සෙද්ද. කියවන්න ආස එකාට පොස්ට් එකක් දිග වෙන තරමටනෙ හොඳ. :p
      //ගම වළඳන සේක// හඃ හඃ හඃ මේක නම් පට්ට බං හඃ හඃ හඃ

  37. sasha says:

    ඔබ ලියා ඇති බොහෝ ප්‍රදේශ දිනපතාම වගේ යන එන තැන් බැවින් මෙය කියවීම මහත් ආස්වාදජනක වී ඇත.යන එන ගමන් ඒ ප්‍රදේශ පෙර පැවති තත්වය සිතින් මවාගැනීම ඉතා අපූරුය

    • මම ඔතනින් පස්සේ හිටිය තැන් තව රාශියක් තියෙනවා කොළඹත් ඉන් බැහැරත්. හෙමින් හෙමින් රවුමක් ගහමු ඒ පැතිවලත්.

  38. Niroshini says:

    ඊයේ විසි හතර වන විවාහ සංවත්සරය සැමරූ අරූ ටත් අරූගේ better half mrs. අරූ ටත් තවත් අවුරුදු ගණනාවක්ම ප්‍රීතිමත් යුග දිවියකට වාසනා! 🙂

  39. sasha says:

    //ගම වළඳන සේක……කෙල්ලේ මම හිතුවේ ඔයා කොල්ලෙක් කියාලානේ. සමාවෙන්න.//
    //රුසියන් කතා වල සාෂා කියන්නේ පිරිමි නමක්නෙ.. ඒ නිසා කොල්ලෙක් කියල තමා එකපාර හිතෙන්නේ :D//

    ඔවු අප්පා..ඔය නමට ගොඩක් අය රැවටෙනවා..ඒත් ඔබාමා අන්කල්ගෙ පොඩ් දුවත් සාශා කියල මම පස්සෙ දැනගත්තෙ.මම ඔය නම ගත්තෙ “පොදු පුරුශයා” පොතෙන්.ඒකෙ සරත් ශාන්ත කියන මනුස්සයගෙ නම කෙටි කරලා ඒකෙ පාවිච්චි කරල තිබුනෙ “සාශා” කියලා.හි හි මට ඒ නම අවුල් වගේ හිතුනෙ නෑ මගේ ඇත්ත නමටත් ටිකක් ලඟ නිසා 😀

    මදැයි දාගත්තා නමක්!

  40. sasha says:

    මම දැන් කියවගෙන එන්නෙ 11 කොටස.10 කොටසෙ තිබුන හුලංගෙ කඩේ නම් තාම හුලං විතරයි නැත්ත‍ෙ 🙂
    චින්තන ජයසේන,කිත්සිරිමෙවන් ජයසේන කියන්නෙ මගේ තාත්තගෙ අම්මගෙ (ආච්චිගෙ) අයියගෙ දරුවො.දැන් කිත්සිරිමෙවන් නම් ලංකාවෙ නැහැනෙ

    • සාෂා නුගේගොඩ පැත්තේ වගේ.

      චින්තන ජයසේන මට 80 යුගයේ හමුවෙලා තියෙනවා. අඩියකට සෙට් වෙලාත් තියෙනවා. සෙස්ස පස්සට….කියලා ලිපි මතු සම්බන්ධ කලේ එයා තමයි.

      කිත්සිරි සහ හඳයා….අමතක කරන්න බැහැ.

      • sasha says:

        නෑ මම ඇරැවුවලටත් ටිකක් එහා.දන්නවද දන්නෙ නෑ.ඇරැවුවල මහරගම ගැනනම් ලියලා තිබුන නේද?මම ඉස්කෝලෙ ගියේ නුගේගොඩ ඔබේ අම්මගෙ පාසලට 🙂 ඒ නිසා මහරගම නුගේගොඩ ඇරැවුවල ගෙදර වගේ තමයි.

        හ්ම් “ස” ප්‍රසංගයට නම දැම්මෙත් ඔහු නේ..හම්මේ..අඩියට සෑහෙන කැමතියි ඔහු

      • සාශා……මගේ හොඳ යාළුවෙක් හිටියා ඇරැව්වල රොහාන් සමරකෝන් කියලා. තවත් යෙහෙලියක් හිටියා කුමාරි කියලා. මේ ඔබරෝයි ඉන්න කාලේ. තවත් මම පන්සලේ ඉන්න කාලේ ඇවිත් තියෙනවා ඇරැව්වල කපු මහත්තයාගේ ගෙදර. ඇරැව්වල නන්දිමිත්‍ර මහත්තයාගේ පවුලේ උදවිය තමයි ඒ. ඔය මම කියන කපු මහත්තයා පත්තිනි නැටුම නටනවා හරි ලස්සනයි.දැන් ඉන්නේ පුතා.

      • ස වලට නම දැම්මේ ප්‍රේමකීර්ති නෙවෙයිද ?

      • චින්තන ජයසේන කියලා තමයි මමත් අහලා තියෙන්නේ.

      • යේක හොඳයි දැනගත්ත එක එහෙනම්.

  41. weniwel says:

    ඇවිත් කියවලා ගියේ නම් දාපු දවස් වලමයි..පස්සෙන් පහු වෙච්ච කතා වලට කමෙන්ට් නොකර ගියොත් හිතයි අපි හොරෙන් හොරෙන් යන්නෙ බයේ කියලා !
    මතකයිනෙ වයලීනොගෙ පෝස්ට් එකේ කීව කතාව..අපි බය නෑ පප්පන්ටවත්..

    • බයවෙන්න එපා පප්පලාට : D මම දන්නවා උඹ කියන කමෙන්ට් එක.

      කූල් එකේ කියවපන් වෙනි..මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාන්නත් අමාරුයි වර්ඩ්ප්‍රෙස් නිසා. ගණන් ගන්න එපා. කමෙන්ට්ස් කියන්නේ රස කාරකනේ. කොහොමත් එකයි. බඩගිනි වෙලාවවට රස කාරක ඕන නැහැ…ලුනුයි බතුයි වුනත් කත හැකියි. : D

  42. මේ වගේ නාකි උන්දලා හැමෝම එකතුවෙලා ඒ කාලේ විස්තර දැම්මනම් මීට වඩා ලංකාව ගොඩ දාන්න තිබුනා කියලා හිතෙනවා හප්පා. 😀 අපේ තාත්තාවයි අම්මවයි බොග් වලට ලියන්න පුරුදු කරවන්න ඕනා. 😀 මම අරුගේ සමහර එව්වා කියවලා එයාලගෙන් අහද්දී එයාලා තව තව විස්තර කියනවා. පුරස්නේ මේ වගේ ඩිටෙල්ස් මතක තියෙන්නේ නෑ හැමෝටම. අරුගේ වටිනාකම වැඩි වෙන්නේ බුල්ටෝ එක වුනත් රසේ ඉඳලා කොලේ වෙනකම් කියන විස්තර සහිත බව වෙන්න ඕනා.

    • උඹට තේරෙනවා නේද නාකි වුනාම තියෙන අගේ.

      අම්මාටයි තාත්තාටයි කියලා දීපන් කොල්ලෝ .එතකොට ඔය මොනවා හරි ලියයි. ළමයි ලොකුවුනාම දෙමව්පියන්ට හරි කාංසියි. පාළුයි. පොත්පත් කියවනවාට වඩා ලේසියෙන් රසවිඳියි තමන් ගැන ලියනකොට. හැබැයි මේ අපේ බහුබූත පෙන්නන්න එහෙම එපා. මම මේ ලියන චරිත සහ ඒ කාලය ගැන ඒ අයට පැහැදිලි මතකයක් ඇති ඩීටේල්ස් නැතිවුනාට.

  43. අරූ ගේ මේ පෝස්ට් කියවද්දී මට මතක් වෙන්නේ අපේ තාත්තව.. ඔය වගේ දේශපාලන අත්දැකීම් මහා ගොඩක් තිබ්බ කෙනෙක් ඔය බොහෝ අය එක්ක එකට කාපු බීපු කෙනෙක්..(තාත්ත දේශපාලනයට සම්බන්ද සාමාන්‍ය කෙනෙක්). ඉස්සර පොඩි කාලේ ඔය කතා අපිට කියනවා.. ඔබට වගේම හොඳ පැහැදිලි මතකයක් තිබ්බ..

    මැයි පෙළපාලි වල උගුර බැරැන්ඩි වෙනකම් කෑ ගගහ ගිහින්.. ෂොට් එකක් දාල ගෙදර ඇවිල්ලත් ඒ සිංදු කියනවා ඉස්සර…හෙහ් හෙහ්..

    තාත්ත නැති වෙලා දැන් අවුරුදු 12ක්… මට ගොඩක් දේවල් මතක නෑ… ඔය අරූ කියපු ගොඩක් අයට සම්බන්ද සිද්දි ඉස්සර කියල තියෙනවා..

    මේවා ඇත්තටම මේ විදියට ලියල තියන්න.. මොකද අනාගත පරම්පරාව කවදාවත් පොත් වලින් ඔය චරිත ගැන කියවන එකක් නෑ.. කියල දෙන්න අයත් නැති වෙයි… ඔවුන්ට එහෙම යුගයක් ගැන දැන ගන්න ඉතිරි වෙන්නේ මේ බ්ලොග් අවකාශේ විතරක් වෙන්න පුළුවන්..

    • ඇත්තටම පැතුම් අපේ තාත්තාත් පැරණි වමේ නායකයෝ එක්ක එකට වැඩකරපු කෙනෙක්. ගම් මට්ටමින් සහ යූනියන් මට්ටමින්. ඔය විදිහම තමයි….මැයි පෙළපාලි යනවා…අඩිය ගහනවා. මම හිතන්නේ අතීත සිද්ධීන් ගැන මතක තියෙන්නේ ඒ අතීතය රස වින්දානම් තමයි. රසවිඳිනවා කියන්නේ, සැප විඳිනවා කියන අර්තයෙන් නෙමෙයි කියලා උඹට තේරෙනවානේ.

      ඔව් පැතුම් මේ දේවල් ලියලා තියන්න තීරණය කරෙත් , මා ගැන දන්නා අය මේවා ලියන්න කියපු නිසා තමයි.

      පරණ එව්වා කියවනවානම් ….මගේ පෝස්ට් වලට වඩා රසවත් සංවාද යනවා කමෙන්ට්ස්වල ඒවත් හෙමින් කියවන්න.

  44. අරූ වගේ ඔය තරම් දේශපාලකයෝ දැකපු අය අද හිටියොත්, සුදුසුකම් ඇතුවා හෝ නැතුවා කොහොමින් හරි ගොට්ට අල්ලලා මොහොකට හරි රිංගනවා…

    මට තේරෙන විදිගට මේක් පටන් අරන් තියෙන්නේ 77 න පස්සේ තමයි.

    මගේ නැන්දම්මා දේශපාලනේට සම්බන්ධයි. රත්මලාන, අත්තිඩිය, ගල්කිස්ස සහ දෙහිවල පළාත් වල සේවය කරපු (සතයක්වත් පිල්ලි නොගහපු) ලලිත් ඇතුලත්මුදලිගේ බොහොම තද කිට්ටුවන්තයෙක්, ඒ පැරණි අය කියන කතා ඇහුවම හිතෙනවා ගොට්ට අල්ලන එවුන්ට වගේ ඇත්තටම සුදුසුකම් ඇති අයට තැනක් නැහැ කියල 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s