අවුල් වන්නට පෙර (31)…පන්සලේ කාලි මෑණියෝ

නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ට ගෝල හිමියන් තුන්දෙනෙක් සිටි බව මම දන්නෙමි. ඔවුන් කිසිවෙක් තව දුරටත් පැවිද්දන් නොවේ. විශ්ව විද්‍යාල ජීවිතය අවසන්වූ පසු ඔවුන් සිවුරු හැර පියා දමා ගිහි ජීවිතයට පියමන් කලවූහ. අද මහාචාර්ය්‍ය චන්දිම විජේබංඩාරයන් එදා ආනන්ද හිමියන්ගේ පැවිදි ගෝලයෙකි. ජ’පුර උප කුලපතිව සිටි මෙතුමා පසුව නවක වධයට විරෝධය පෑමක් ලෙස තනතුරෙන් ඉල්ලා අස්වූ බව අසා ඇත්තෙමි.ප්‍රේමරත්න තිරාණගම නමින් පසුව දක්ෂ නීතිවේදියෙක් වූයේ ආනන්ද හිමියන්ගේ පැවිදි ගෝලයෙකි. කල්‍යානන්ද තිරාණගම නීතිවේදියා හා පටලවා ගත යුතු නොවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ හිරණ සීවලී නම් වූ පැවිදි ගෝලයාද අවසාන වශයෙන් තිලකරත්න නමින් උපැවිදි විය. ඔහු එතරම් සාර්ථක ලෙස ගිහි ජීවිතයට අනුයුක්ත නොවූවා යැයි හිතන්නේ, පසු කාලයේදීත් නායක හිමියන්ගේ උදව් පදව් සහිතව කාලයක් ගත කල නිසාය. ගිහියෙකු ලෙසත් පන්සලේ කාලයක් ජීවත් විය.

ප්‍රසිද්ධ ගල්ලෙන රජමහා විහාරධිපති සහ එම පිරිවනේ පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පෝරුවදණ්ඩේ සුමන හිමියන්ද සිවුරු හැර නොගිය, වාලුකාරාමයේ නැවතී සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ හිමි නමකි. අදටත් පරිසර හිතකාමි ජීවිතයක් ගෙවමින් ශාසනික සහ ශාස්ත්‍රීය වැඩ කොටසක්ද ඉටු කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවයි. දැනට ප්‍රංශයේ සංඝනායක ආචාර්ය්‍ය පරවාහැර චන්දරත්න හිමියන්ද එකල නේවාසිකව වැඩ සිටි හිමිනමකි. එදා වාලුකාරාමයේ වැඩ සිටී අදත් පැවිදි ජීවිත ගෙවන තවත් හිමිවරුන් දෙදෙනෙක් සිටී. නුවර එළිය නිල්දණ්ඩාහින්නේ පණ්ඩිත හාමුදුරුවන් ඉන් එක් අයෙකි. එදා කාලයේ මෙහිමියන් ඉගෙනීමට අමතරව ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට හපනෙක් විය. ඒ දිනවල රූපවාහිනි නොවීය. නරාවල සුධම්ම නම් වූ අනිත් හිමියන් ගාල්ලේ පෝද්දල පැත්තේ විහාරාධිපති කෙනෙක්ය. විච්ත්‍ර ධර්ම දේශකයන් කෙනෙක් වූ මෙහිමියන්, පිණ්ඩපාතයේ යෙදී අහාර පාන සොයා ගත් කෙනෙක් විය. මෙහිමියන්ගේ වැඩිමල් සොයුරාගේ විවාහ මගුලට මමත් නරාවල නිවසට ගිය බව මතකය.

මේ පන්සල හා සම්බන්ධකම් පැවැත්වූ අවට විහාරාස්ථාන අතරින් නුගේගොඩ නාලන්දාරාමය, කිරුළපොන බලපොකුණේ පන්සල, බෙල්ලන්විල රජමහා විහාරය, මරදානේ මහාබෝධි විහාරය මුල් තැන ගනී. මෙකී විහාරයන්හී වැඩ විසූ බොහෝ ස්වාමින් වහන්සේලා ගැන මට අදත් මතකය. නාලන්දාරාමාධිපතිව වැඩ විසු නායක හිමියන්ගේ පැවිදි ගෝලයෙක් වූ තීනියාවල පාලිත හිමි නිතර වාළුකාරමය ඇසුරු කෙරු කෙනෙක් විය. වර්තමානයේ නාලන්දාරාමාධිපති පාලිත හිමියන් එජාපයේ ප්‍රබල චරිතයක්ය. මෑතකදී සනත් ගුණතිලකට තාවකාලික පැවිද්ද ලැබුණේ මෙතුමන් අතින්ය. තීනියාවිල පාලිත හිමියන්ගේ පැවිදි සොහොයුරා ඉහළ කරගහමුණේ උපතිස්ස නම් විය. මොහු රජ වැඩ කාරයෙක් බව කිව යුතුමය. ආනන්ද නාහිමියන්ගේ ගෝලයින් සියල්ලම උපැවිදිවූ නිසා උපතිස්ස හාමුදුරුවෝ ,වාලුකාරාමයට සින්නක්කර විය. ආනන්ද හිමියන් ඔහුව තමන්ගේම ගෝලයෙක් ලෙස සැලකිය. ආනන්ද හාමුදුරුවන්ටත් වඩා දක්ෂ කැරම් ශූරයෙක් විය. මමද අපේ තාත්තා මෙන්ම කැරම් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූයේ ඔය පන්සල නිසා බැව් කිව යුතුය. උපතිස්ස හිමි මෝටර් රථ, විදුලි කාර්මික වැඩ, රේඩියෝ රෙපයාර් වැඩ ආදි නොයෙකුත් දේ කෙළ පැමිණියෙකි. පන්සලේ කාර් එකේ පොඩි පොඩි අලුත් වැඩියාවන් කළේ මෙහිමියන්ය. රියැදුරු සෝමපාල අයියාට ඕවා කියා දුන්නෙත් එයාමය. හැබැයි පාරේ වාහන පැදවුයේනම් නැත. තදින් දුම් පානයට ඇබ්බැහිව සිටි ඔහුගේ සිගරට් වලට විදීමට මමත් ප්‍රේමදාසත් මැලි නොවූහ. පසු කාලයක සිවුරු හැර ගොස් ජපානයේ පදිංචිව සිටි බවත්, එයින් පසු අදටත් ලංකාවේ සිට මෝටර් රථ ආනයනයේ ඉහළින් සිටිනා බවත් මම අසා ඇත්තෙමි. දැන් ජපානයේ සංඝ නායක තනතුර දරන බානගල උපතිස්ස හිමි වෙන අයෙකි. එහිමියන්ද වාළුකාරාමය හා සබඳකම් පැවැත්වූයේ, ඉන්දියාවේ මහබෝධි සමාගම වෙනුවෙන් අනගි දායකත්වයක් සැපයූ හැඩිගල්ලේ නායක හිමිගේ මුල්ම ගෝලයෙක් නිසාම බව මතකය.

පන්සල් භූමියේම, මහානාම විදුහලේ පුංචි ගේට්ටුව අසල ලැලි වලින් ආවරණයවූ, ලෑලි මේස සහ ලෑලි බංකු වලින් සෑදු තේ කඩයක් තිබුණි. මෙය පවත්වාගෙන ගියේ පන්සලේ බහුබූත දේවාල වැඩ කටයුතු කල පෙරේරා මෑණියෝ යැයි හැඳින්වු ගැහැනියයි. බොරු ආරුඩයකින් දේව විස්මයන් සහ නොයෙකුත් සෙප්පඩ විජ්ජාවන් කල ඇය මේ යුගයේදී පන්සලේ පරිපාලන කටයුතු වලටත් අත පොවන කාලයක් විය. ඇය කිරුලපන ප්‍රදේශයේ පදිංචිව සිටි මැදීවියේ කාන්තාවක් වුවත් නැවති සිටියේ පන්සලේමය. පසුකාලයකදී මැයගේ දරුවන් මගේද යහළුවන් විය. ඔවුන් මට වඩා වැඩිමහල් නමුත් මම ඔවුන්ව ඇසුරු කළෙමි. ඇයගේ වැඩිමහල් දියණිය මට නැවතත් හමුවූයේ මම රමාඩා හෝටලයේ ඉන්නා අවදියේය. එවකට බෙල්ලන්විල රජ මහා විහාරයේ අධිපතිවූ සෝමරත්න නායක හාමුදුරුවන්, ආනන්ද හාමුදුරුවන්ට දොස් පැවරුවේ…කෑවාට කමක් නැහැ බෙල්ලේ එල්ලා ගෙන කෑම එතරම් සුබ නැතැයි කියා…යම් කිසි හේතුවක් නිසා විය යුතුය. මේ උද්ධච්ච ගැහැනියගේ ක්‍රියා පටිපාටියන් දැනගත් විය යුතු නිසාමය. සෝමරත්න නායක හිමි යනු, අද බෙල්ලන්විල රජමහා විහාරයේ නායක හිමියන්ගේ ගුරුතුමන්ය. මේ මගේ අත්දැකීම්ය.

පන්සල පල්ලෙහායින් තිබු මේ ලෑලි කඩය, හැන්දෑවේ පහෙන් හයෙන් පසු අඳුරු වටපිටාවක ආරූඪය ගනී. මෙය රස්තියාදු ගුබ්බෑමයක් වන්නේ නායක හාමුදුරුවන් ඒ පැත්ත පළාතටත් නොපැමිණෙන නිසාමය. ගංජා බොන අයත්, රීඩ් මාවතේ රාත්‍රිය මුදලින් සංසිඳුවා ගන්නා අයගේ රසය පිනවනා ඒ අහිංසක ගැහැනුන්ගේ පෙර සුදානම සිදුවුණේත් ඔතැනය. තේ කඩයේ වැඩ කිරීමට නානා නමින් හැඳින්වූ මුස්ලිම් මිනිසෙක් විය. නානා නොදන්නා මහානාමයෙක් එදා නොවීය. ඒ නරක යැයි හංවඩු ගැසූ නානා නිතරම ගංජා ගැසූ, කායිකව අපිරිසිඳු මිනිසෙකු වුවත් ඔහු කාගෙත් සිත් ඇදගන්නා සුළු මිනිසෙක් විය. කකුලේ තිබු තුවාලයට නායක හාමුදුරුවෝ බෙහෙත් දැමූ බවත් මතකය. පන්සලේ දේවාලයට ලැබෙන පළතුරුත්, රස කැවිලිත් කඩේට ගෙන ගොස් විකුණා මුදල් කර ගැනීමටත් මෑණියෝ යුහුසුළු විය. නායක හාමුදුරුවෝ නොදැක්කා සේ සිටියේ ඇයි දැයි සිතාගැනීම අපහසු නොවේ. මේ කඩයට යාබදව පන්සල් ඉඩමේම අතින් ඇද ගෙන නෑමට හැකි ළිඳක් විය. එවැනි තැනක් කොල්ලුපිටියේ තිබුණා දැයි අට මතක නැත. සිමෙන්තියෙන් බැඳි බිත්ති හතරකින් මෙය වට කොට තිබුණි. කළුවර වැටීමෙන් පසු මේ අවට නොයෙක් දේ සිදුවිණි. තරුණ හාමුදුරුවරුද රහසින් මේවාට හවුල් වූ අවස්ථා නැත්තේද නොවේ. එහායින් තිබු ධනවත් නිවසක බිෂොප් කෙල්ලක හා තිබූ මුකුළුව මට අහිමි වුණේත්, මමත් ඔය වැනි තාරුණ්‍යයේ රසයක් අත් විඳීම උඩුමහලේ සිට ඇය දැක තිබුණු බැවින්ය.

මා කලින් කියු බොරු ආරුඪ මෑණියන්ගේ ක්‍රියාකලාපයන් නිසා පන්සල නොයෙකුත් අපවාදවලට ලක්වූ අතර, නායක හිමියන්ගේ ගතිගුණ නිසා බොහෝ අය ඒවා නිර්භයව හාමුදුරුවන්ට කීමට මැලිවූහ. වරක් ඉතා අප්‍රසන්න සිදුවීමක කොටස් කරුවෙක් වීමට මටත් සිදුවිය. ඉංදියාවේ මහබෝධියේ හිටි චන්ද්‍රරත්න නම් තරුණ හිමිනමක් සති දෙකක කාලයක් වාලුකාරාමයේ වැඩ සිටීමට පැමිණියේය. කඩවසම් තරුණයෙක්වූ මේ හිමියන්ට, මේ මෑණියෝ බොහෝ ඇලුම් කෙරුවාය. මේ අප්‍රසන්න හැසිරීම පන්සලේ සිටි කාටවත් ගෝචර නොවීය. දසනායක අයියා යනු පන්සලේ සිටි කපු මහත්තයා විය. මොහු හොරණ පළාතේ ප්‍රසිද්ධ කපු පරම්පරාවකින් පැවත ආ සම්ප්‍රදායික කපු මහතෙකි. ප්‍රිය මනාප මිනිසෙකි. ආරූඪ, ආවේශ සාස්තර බයිලා නැත. කරොත් කරේ දේවාශීර්වාද, සෙත් කවි වැනි සුභාවිත ගීත පමණි. මොහු පැමිණියේද සතියකට දින තුනක් පමණි. ඒ දින තුන පන්සලේ ගත කරනා දසේ අයියා නැවත ගම් බිම් බලා යයි. දේවාල රාජකාරීවලින් පසු හන්දියට ගොස් හීනියට අඩියක් පුඩියක් නෙලාගැනීමටත් පසුබට නොවෙයි.

එක් මහා රාත්‍රියක දසේ අයියාත්, නේවාසික හාමුදුරු දෙපලකුත් කාටත් හොරෙන් වහලට නැග , දඹදිවෙන් පැමිණි චන්ද්‍රරත්න හාමුදුරුවන්ගේ කාමරයේ සුළං කවුළුවෙන් එබී බලා ඇත. මෑණියොත් චන්ද්‍රරත්න සාධුත් වැඩ අල්ලා තිබෙනු දුටු දසනායක කපු මහතා, කවදාවත් නැති ආරූඪයක් ගෙන මුළු පළාතටම ඇහෙන්න “මෙන්න චන්දරත්න හාමුදුරුවෝ මෑණියන්ට ***වෝ” යැයි මහ හඬින් කෑගසන්නට විය. කාමරවලින් එළියට පැනගත් අනිකුත් හාමුදුරුවරුන් මේ සිද්ධිය දෙස විපරමින් බලා සිටියා හැර අන් කිසිවක් සිදු නොකළේ මේ ඔවුන්ගේද අනුදැනුමෙන් සිදුවූ ක්‍රියාවක් නිසා විය යුතුය. වහලෙන් බැස ගත් දසේ අයියා ගාණ්ටාරය නාද කරන්නට පටන් ගත්තේය. මිනිහෙක් මැරුවත් ලොකු ගෙවල්වල උදවිය එළියට බැසීම එදා තිබුණේත් නැත. දැනගන්නේ හෙට පත්තරයෙන්ය. වාලුකාරාම පාරේ ගෙවල් පේළියේ උදවිය පන්සල දෙසට ඇදී එන්නට පටන් ගති. මේ සියල්ලක්ම නායක හාමුදුරුවෝ සාවධානව අසා සිටින්නට ඇතැයි අපි පසුව කතා වුණෙමු. එළියට පැමිණි එහිමියන් කෙළින්ම ගියේ පන්සලේ කවදාවත් නොවැසුණු ගේට්ටුව ළඟටය. එය වසා දැමු ඔහු. මේක මම බලා ගන්නම් කියා සියල්ලන්වම ආපසු හැරවිය

දසේ අයියාව මෙල්ල කරන්නට කිසි කෙනෙකුට බැරිවිය. ඒ ඔහුගේ බොරු ආරුඪය නිසා විය යුතුය. චන්දරතන සාධු ඇඳ යටය. මෑණියෝව අතින් ඇදගෙන ගොස් කාලි මෑණියන්ගේ දේවාලයේ ඇතුළට දමා දොර වැසුවේ ප්‍රේමදාස සහ මමය. කාලි දේවාලය තිබුණේ පන්සලේ කුස්සිය අසල මුල්ලකය. නායක හාමුදුරුවෝ දශනායකට කනට ළංව යමක් කීවේ තදබල කෝපයෙන් විය යුතුය. පාන්දර යාමය තෙක් ගමක් හිනැහූ මේ නාඩගම අතරතුර දසේ අයියා පන්සලේ පිටුපස පැත්තෙන් පස්වැනි පටුමග හරහා යන්නට ගොසින්ය. මමත් ප්‍රේමදාසත් බන්දුත් ඔහුව අල්ලා ගත්තේ රීඩ් ඇවනිව් එකේදීය. නැවත කැඳවා ගෙන ඒමට උත්සාහ කළත් ඔහුව කිසිදිනෙක අද දක්වා මට හමුවී නැත. මට ඇති ආරුඩයක් නැහැ බන් …සිගරට් එකක් දියන් යැයි කිවූ දසේ අයියා ප්‍රෙමදාසගෙන් සිගරට් එකක්ද අරන් බිබී, අපිත් සමගම රේස්කෝස් එක අසල 120 පාන්දර හොරණ බස් හෝල්ට් එකට ගියේ වීරයෙක් ලෙසිනි.

මමත් බන්දුත්, ප්‍රේමේත් නැවත පන්සලට එනවිට දසේ අයියා පිටවගොස් ඇතිබව දැන සිටි කාලි මෑණියෝ, හැංගී සිටි දේවාලයෙන් එළියට විත් බංකුවක් උඩ හඬමින් සිටි බව මතකය. අප තිදෙනා දුටු සැණින් කාලි මෑණියෝ අපේ ඇඟට පැන්නේ තොපි දෂයාව එක්කන් එන්න ගියා නේදැයි බැණ වදිමින්ය. එදා පටන් මේ උමතු ගැහැනිය අප තිදෙනාට වෛර කිරීමට පටන් ගත් අතර, චන්දරත්න ටික කාලයකට පසු උපැවිදි විය. මෑණියෝ නම් මියයන තෙක්ම මේ පන්සලේම සිටි බවත් මම අසා ඇත්තෙමි.

දසේ අයියා එදා කළදේ මගේ තරුණ හිතට ජවයක් ගෙනදිය. මම අද ඒ දේ ගැන වෙනත් ඇසකින් දකිමි. ඒ මම වයසින් මුහුකුරා ඇති නිසා විය යුතුය.

මේ සියල්ලක්ක්ම දෙස බැලිය යුතුවන්නේ නිරුවත් දෑසින්ය. කෙසේ වෙතත් මම එදා රස විඳි ඒ යෞවනයේ චමත්කාරයට අදත් පෙම් බඳිමි. පුහු බොල් තාරුණ්‍යයට වඩා අදත් සමහර තරුණයින් රස විඳිනා චමත්කාරයට මම ලොල් වෙමි.

ප.ළි……සින්දුවා, වයලීනුවා, අයාල් සිත්, වගේ අය හැම පෝස්ට් එකකම ගීතයක් අපිට දෙන නිසා මමත් ගීතයක් දාන්නට සිතුවෙමි.

ඒ නිරුවත් දෑස් යන වචනය මතක්වූ නිසාමය.

ගැයුවේ…අමරසිරි පීරිස්
සංගීතය….කේමදාස මාස්ටර්
ලිව්වේ….ලූෂන් බුලත්සිංහල ( මා නිවැරදි කරන්න )
චිත්‍රපටිය….සිරි මැදුර

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

118 Responses to අවුල් වන්නට පෙර (31)…පන්සලේ කාලි මෑණියෝ

  1. sasha says:

    හුරේ!! මේං 31 දාලා..හැබැයි මම තාම කියවන්නෙ 18.ආයෙම කියවන්න වෙයි කියවගෙන එද්දි.කපු මහත්තය නම් නියම වැඩේ කරල තියෙන්නෙ.ජයවේවා අරූ (මාමා)

    • ඔක්කොමත් හරි සාසා මාමා කියලනේ… අරුත් අන්න සාරි හොයනවලු හඃ හඃ හඃ

      • sasha says:

        ඇයි හත් දෙයියනේ ඉතිං අරූ අරූ කියන්නෙ කෝමෙයි අපි ගිය ආත්මෙ ඉන්නකොට වෙච්ච දේවල් ලියන මනුස්සයෙක්ට.ආත්මයක්ම බාලයිනෙ :p

      • අපි ගිය ආත්මෙ ඉන්නකොට වෙච්ච දේවල් ලියන මනුස්සය ඒක මරු නම

      • @ සිංදුවා……මටත් නලීන්ට වගේ හම්පඩ සරමක් තියෙනවා,,සාරි දිග වැඩියි බන්. 😀

      • @ අටම්…..හා..හා..උඹ පැත්ත්කට වෙලා හිටහන්…උඹත් යනවා බච්චෝ බැච්චියෝ ගොඩට 😀

    • සාශාත් මාමා කියනවා නම් මම අරූ සීයෙ කියනවා බොලවු. 😉 🙂

      • @ප්‍රියා…..කට පරිස්සමෙන්.. දන්නවානේ සිල්වා මාමා ආපහු කැළණියේ වැඩ. එක කෝල් එකයි මම පොරට දෙන්නේ 😀

    • ආදරනීය සාෂා දුවේ……අර ගිය ආත්මේ ටෝක් එකනම් එල. ඉතින් දරුවෝ උඹේ ආත්මේ ඉස්ටෝරි එනකොට උඹ කසාදයක් කොරගෙන දරුවොත් ඉඳියි. මාමා දැන් රැකෝඩ් කරන්නේ 1970 ගණන් නිසා. ඇත්තටම මම සාෂාගේ ඩැඩි බෝයිටත් වඩා වයසක බුවෙක්ද කොහෙද. මීට ආදර අරූ මාමා 😀

      සාෂා….කපු මහත්තයා කරපු වැඩේ ඒ කාලේ අපි තරුනයෝ නිසා හරිම ත්‍රිල්…පස්සේ කල්පනා කරලා බලනකොට ඒ ගැන තියෙන්නේ හොඳ පැහැදීමක් නොවේ. මේ බොහොමයක් දේවල් එහෙමයි. අපි එක කාලෙකදි හරි යයි කියලා හිතන දේවල්….පසුකාලයකදී සමාජය අතපත ගාලා තේරුම් ගන්න කොට වැරදියි කියලා හිතෙනවා. දේශපාලනය, කලාව ඔය හැම විෂය්ක්ම එහෙමයි.

      • sasha says:

        නැ නැැ ඩැඩිට වඩා නාකි නැ මයෙ හිතේ.ඔවු අප්පා 90 දසකෙට එද්දි ටිකක් රෑ වෙයි වගේ නෙහ්!
        අපේ තාත්තා හෙන කට්ටක් කාපු පොඩි කාලයක් තිබුන කෙනෙක්.ඔහු හැමදාම කියනවා කතාව රෙකෝඩ් කරල දෙන්නම් කවදහරි ලියන්න කියලා 🙂 කමක් නෑ අනේ ගිය ආත්මෙ ගැන හරි දැනගන්න පුළුවන්නෙ.හැබෑට මේවා වෙද්දි අපි කොහෙ හිටියද දන්නෑ.
        හ්ම්..අපිටත් නාකි උනාම ඔහොම හිතේවි නේද?

        ප්‍රියා..ඔයා තාම ඉස්කෝලෙ යනවද? 😛

      • සාෂා……තාත්තාට කියලා ඕවා රෙකෝඩ් කරගන්න. ඒවායේ වටිනාකම ඔයාට පස්සේ තේරෙයි. ඊට පස්සේ හෙමින් ලියන්න.

  2. maathalan says:

    අද එකනම් යුගාන්තයට එහා ගියපු සුන්දරත්වයකින් පිරිලා.. මට ගුලී මතක් උනා.. අනේ ඒ පොත් හොයාගෙන ආයේ කියවන්න ඕන.. එක්කෝ මක්කටෙයි සල්ලි නාස්ති කොරන්නේ මේ තරම් රහ නොමිලේ ලැබෙන කොට.. මටත් ඔය වගේම අත්දැකිම් කීපයක් තියෙනවා, විද්‍යාලංකාර පිරිවෙණ ගැන.. ඒක තියෙන්නේ අපේ ගේ පිටිපස්සේ, වෙලට එහා පැත්තේ.. ඒවා ලියන්න බැරි, ඒ උන්නාන්සෙලා විස්ස විජ්ජාල වල උපකුලපති වහන්සේලා නිසා. මම පන්සලට එනවා කියන්නේ අංගුලිමාල එනවා කියලා එක වහන්සේ කෙනෙක් දෙසන්නේ. අනිකා කියන්නේ ඕන් අර අසමජ්ජාති පෝරිසාදයා එනවා කියලා.. මාත් එක්ක බොහෝම හිතවත් උන හාමුදුරු නමක් තමයි අරියධම්ම හාමුදුරුවෝ.. ඒත් රාජකීය ඉස්කෝලෙට පින්සිද්ද වෙන්න…

    බලාගෙන ගියාම කොහේ තිබුනත්, පන්සල පන්සලම තමයි.. අපේ එකෙකුත් ඝංඨාරේ ගැහුවා වෙන සීන් එකකට.. ඒක ඔය පන්සල් වල ප්‍රසිද්ධ රහසක්.. මූව අප්යෝජනේ කරන්න ආපු තරහට.. ඌ කාලයක් සිවුරු වලටත් ගිනි තිබ්බා.. අද ප්‍රසිද්ධ මැවිසුරුවෙක්..

    • kathandarakaraya says:

      ගුලි ලියූ යුගාන්තය කියෝලා ඉවර වෙලා මාටින් වික්‍රමසිංහගේ ගොළු හදවතත් කියවන්න!

      😉

    • මාතා…….බොහොම පරිස්සමෙන් තමයි මාත් ලිව්වේ..ලියන්න නම් දේවල් ගොඩයි. බොහෝ වෙලාවට තරුන හාමුදුරුවරු ගොඩාක් ඉන්න , ඒ අය අතරින් විවි සිසුන් වෙච්ච අය ගොඩාක් ඉන්න තැනක හරි අමාරුවෙන් තමයි පාලනය කරගෙන යන්න වෙන්නේ. මොනවා වුනත් මේ තරුන හාමුදුරුවරුන් ගැන මටනම් තියෙන්නේ අනුකම්පාවක්. ඈත පලාත්වලින් ඇවිල්ලා ,අමු කට්ටක් කාගෙන දායකයින්ගේ පඩ ෂෝත් බලාගෙන ලේසි ගමනක් නෙමේ යන්නේ. පන්සලක සතියක් නැවතිලා හිටියොත් ඒක තේරුම් ගන්න පුළුවන්. මාගල් වගේ විවියෙන් ලියාගෙන එන දේවල් දිගහැරගෙන පාඩම් කරන්නයි…රෑට බණක් පිරිතක් තිබුනොත් ඒවාට යන්නයි, තව අටෝ රාශියක් දේවල් තියෙනවා.

      ඔය අරියධම්ම කිව්වේ පානදුරේ අරියධම්ම හිමියන්ද? එයාට රෝයල් එකත් එක්ක තිබුනු සම්බන්ධය මොකක්ද?

  3. එදා කල විස්තර කියන්නට අපි නොදනිමු… ඒ අඩුව ඔබ පිරි මහනා බැවින් එයට තුති කරනෙමු… මට නම් මේ සටහනේ කවදාවත් දොසක් පෙනුනේ නැත… අනික් අයටද එසේ බව මගේ විස්වාසයයි…
    උපැවිදි වීම් අදටද අඩුවක් නැතිවම සිදුමව් ඒ හින්දාම රාජමහා විහාරයන් ගණණාවක්ම වැසී ගොස් තිබේ… ඔබ කියූ අනෙක් දුරාචාරයන්ද අද වන වට එළි පිටම සිදුවන බව මගේ දැනීමයි… ඒ ගොඩට සුරාවද එක්ව ඇත…
    මෙවන් ක්‍රියා නිසා බුද්ධ දර්ශනයට නිගරුවක් වනවා විනා අන් යමක් නොවන වග මගේ හැගීමයි

    • මහේෂ්…….මම හිතන්නේ රජමහා විහාරනම් බාර අරගෙන කරන්න කට්ටිය ඕන තරම් ඇති. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දුශ්කර පන්සල්වලට. මේ අය විඳින දුක බලන්න කිසි කෙනෙක් නැහැ. බොහොම අමාරුවෙන් දානේ හොයාගෙන..එහෙම නැත්නම් මොකක් හරි දෙයක් තම්බන්කාලා ජීවත් වෙන අති දුශ්කර පන්සල් එදාත් තිබුනා, දැනුත් තියෙන බව ඇහෙනවා. ෆැන්සි පන්සල්වලට වෙලා ඉන්න සමහරක් ෆොන්සි සාධුලාගේ ජීවිත ගැන තද අප්පිරියාවක් එනවා මේවා ඇහෙනකොට. සිවුරුහැර යන්න තවත් හේතුවක් තමයි අති දුශ්කර එදිනෙදා ජීවිතය, පෘථග්ජන මිනිස්සුනේ සිවුරු දරා සිටියත්.

      දුරාචාරයට කප් ගහපු හාදයෝ තමයි අද ශාසනේ බේරගන්න පොල් ටෝක් දෙන්නේ.

  4. හාමුදුරුවරුන්ගේ උපැවිදි වීමට ප්‍රධානම හේතුව මං හිතන්නේ ජීවිතය ගැන කිසිම දෙයක් නොදන්නා කුඩා අවදියේදීම මහණ කරවීම…..බාහිර සමාජය ගැන දැනෙනකොට නිකම්ම ඒ දෙසට ඇදිලා යනවා….දෙමව්පියන් රැක බලා ගැනීමට සිදුවීම වගේ දෙයක් නිසාවෙන් උපැවිදි වූ අය බොහොම අඩුයි……
    තාරුණ්‍යයේ පොපියන චමත්කාරය-ළිඳ ළඟ සංගමය 😛
    මගේ පුද්ගලික මතය….. දසනායක එදා කරපු වැඩේ සහ බලු පූට්ටුවකට ගල් ගහන එකා කරන වැඩේ සමානයි….
    මේකත් කියන්නම ඕන…ගලන ගංගාවකින් දිය දෝතක් ගත්තට ගඟට පාඩුවක් නැහැ….හැබැයි පරෙස්සමෙන්…..
    දසනායකගේ ආවේස වීම නම් ඉතිං හොරට නිදන එකාගේ නින්ද වගේ තමයි…

    • ඒකනේ බන්….අම්මාගේ තුරුලේ උනුහුම ලබන්න ඕන වයසේ අහිංසක පැටව් මහණ කරලා …අච්චරක් මහණ කරා මෙච්චරක් මහණ කරා කියලා ලකුණු දාගන්න හදනවා. ජීවිතාවබෝධයක් තියෙන්න ඕන නේද ශාසණ අවබෝධය ඇතිවෙන්න? මේ ඔක්කොම නැවත නිවැරදි මාවතකට එන්න ඕන.

      අයාල්……රාහුල කුමාරයාව ඒ වයසේ පැවිදි කිරීම ගැන උඹේ අදහස මොකක්ද?

      දසනායක අයියාගේ වැඩේ එදා අපිට ත්‍රිල් එකක් වුනාට පස්සේ ඒ ගැන හිතනකොට තිබුනේ සියුම් පසුතැවිල්ලක්. ලිඳ ලඟ වෙච්ච දේවල් කියලා වැඩක් නැහැ. ඒ පල්ලෙහා ලිඳේ රෑට පාරේ ඇවිදින සමහර අක්කලා නූල් පොටක් නැතිව නානවා කොල්ලෝ බලන් ඉන්නවා. එතන කට්ට කරුවල ජොයින්ට් එකක්. පස්සේ ඔතනට තහඩු දොරක් දාලා ඉබ්බෙක් දැම්මා. යතුර නානා ගාව තිබුනේ. ඌ ගංජා ගහලා ඉන්නේ උදේ ඉඳන්. ඌට උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි. හැමදේකටම හිනාවෙවී ඉන්නව. තාම තියෙනවාද දන්නේ නැහැ ඔය ලිඳ.

  5. අරූ අද විස්තරයට නම් ඌන පූරණ බොහොමයක් දෙන්නට මයත් හැකියි. ඒ මන්ද යත් ඔබ මුලින් කියන පැවිදි උතුමන් මේ මෑතක සිට මම ද බොහෝ ළගින් ඇසුරු කරනා බැවිණි. තිනියාවල පාලිත හිමියෝ අද නුගේගොඩ නාලන්දාරාමාධිපති වගේම චෙන්නායි මහාබෝධියේ ස්තානාඡධිපතිය. බානගල උපතිස්ස තෙරුන් එහි මහා භාර කරුය.මගේ ඉන්දිය සංදචාර කිපයක්ම සිදුවූයේ නිල ගමන් වුවත් උන් වහන්සේලා දැනුවත්වය. චෙන්නායි සිට බෝපාල් දක්වා දුම්රිය ගමන් සිදුවූයේද අප එකටමය.එයින් පසු දේවල් කියා අපත් දුපත් මානසිකත්වයට පත් විය යුතු නොවේ. අදටත් අප මිතුරන් ය. මේ රටට දෙයක් කළ හැකි පැවිදි දෙදෙනෙකි මේ දෙදෙනාම. මා හංගා කියන දේ ඔබට වැටහෙන්නට ඇති. කා පතේ පැහැරිය නොහැක මට.

    • ඔබේම පාසල් සොයුරෙකු වු මා මිත්‍ර සමන් අතාවුදහෙට්ට් සොයුරාවද මේ කමෙන්ටුවත් එක්ක නිතින් සිහියට නැගේ.

    • නලීන්…. මට වැටහෙනවා..මේ දේවල් ගැන මමත් ලියන්නේ යම්කිසි සීමාවක ඉඳන්. කවුරුත් දන්නා ප්‍රසිද්ධ සිදුවීමක් දෙකක් හැර අනිත් දේවල් කියන්න අමාරුයි. අවුරුදු එකහමාරක් විතර පන්සලක හිටියාම කොච්චර දේවල් ලියන්න පුළුවන්ද? පාලිත හාමුදුරුවෝ, බානගල හාමුදුරුවෝ එහෙම හොඳ තරුනයෝ මම කියන අවධියේ. මමත් කියනවා යමක් කලහැකි සහ ඒ වෙනුවෙන් පෙනීසිටිය හැකි දෙපොලක් කියලා. මම කියන කාලේ හැඩිගල්ලේ නායක හාමුදුරුවෝ තමයි මහබෝධියේ භාරකරු.

      සමන් අතාවුදහෙට්ටිට හොඳින් සම්බන්ධකම් තිබුනා බානගල හාමුදුරුවොත් එක්ක. බානගල හාමුදුරුවෝ ජපානයේ ඉන්න කාලේ.

      මගේ වයිෆ්ගේ පියා තානපති සේවයේ හිටපු කෙනෙක්. බොහෝ කාලයක් ඉන්දියාවේ හිටියේ. මහබෝධියත් එක්ක ලොකු මිත්‍ර ඇසුරක් තිබිලා තියෙනවා.

      • නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවෝ දඹදිව වන්දනා සංවිධානය කිරීමේ පුරෝගාමියෙක්…ඒ ඒ ලිපි කටයුතු වැඩ මටත් පැවරුවා…මට සාමාන්‍ය ඉංග්‍රීසි දැණුමක් තිබුන නිසා ඒ කාලෙත්. තව එක කොටසක් පමණක් ලියා පන්සලෙන් පිටත්ව යන්න ඕන.

  6. Ravi says:

    දසනායක මහ දස වැඩක්නෙ බං කරල තියෙන්නෙ..උඹ මහ දසයෙක් නැත්තං දස *** වැඩක් ඒකා කලේ..ඔහොම කියන්ට පටන් ගත්තෙ සම්ටයිම්ස් ඔය දසයා කරපු කැත වැඩෙං පස්සෙ වෙන්ට ඇති.

    අපෙ ගෙවල් ගාවම මම හොඳට දන්න අඳුනන හාමුදුරු කෙනෙකුත් ඔය කාය කර්මයෙ යෙදිල මගෙ අතටම අහු උනා. සාදූස්ට හෙණ ලැජ්ජයි වැඩේට. ” අයිය සමාවෙන්න ” කියල කිව්ව බිම බලාගෙන. ” සාදු මට වැරැද්දක් කලේ නෑනෙ සමාව ඉල්ලන්ට. හැබැයි මගෙං දාන මාන නම් බලාපොරොත්තු වෙන්ට එහෙම එපා ආයම. ඔය අනික් කොයිවත් ඔය ගොල්ලො ගිහියො වගෙ කරගන්නව නම් හම්බ කරන් කන එකත් එහෙම්මම කරගන්න. ” මම එහෙම කියල එන්ට ආව.

    මටනම් මචං පුදුම අප්‍රසන්නයි හාමුදුරුවො කියන ජාතියම. හැබැයි ඒ ඔය උඹ කියල තියන ජාතියෙ මානුෂික අවශ්‍යතා පිරිමසාගැනීම නිසානම් නෙවෙයි. මේ රටට රටේ දියුණුවට සංහිඳියාවට කරන හානිය නිසා. මේ රට ආපහු වැඩවසම් යුගයකට ඇදගෙන යන්ට දඟලන දැඟලිල්ල නිසා. ආගමක් ඕන අයට ආගමක් අදහන්ට නිදහස තියෙන්ට ඕන. ඒත් රාජ්යයයි ආගමයි එකට පටලව ගත්තම මහම අවුලක් වෙන්නෙ.

    • Pra Jay says:

      ඉස්සර සමහර හාමුදුරුවරු තමන්ගෙ පුද්ගලික ක්‍රියා ( අහුවෙන්න කිරීමෙන් ) නිසා ශාසනයට යම් හානියක් කලත් දෑන් ඉන්න සෑහෙන අයගේ ආගමික සමාජීය, දේශපාලනික ක්‍රියා සහ අන්තවාදය නිසා ශාසනයට පමණක් නොව සමාජයට සහ රටට ඉතා විශාල හානියක් වෙනවා. මේ රටේ දෙශපාලක වසන්ගතය වගෙ දෑන් හාමුදුරු වසන්ගතයද පෑමිණ ඈත.

      • Ravi says:

        ප්‍රා,

        සර් ජෝන් වගෙ කියන්ට තියනදේ කෙලින් කියන නායකයො අද නැති එකේ අඩුපාඩුව තමයි. ” දුස්සීල මහණුන්ගෙ සිවුරු ගලවල පුකේ තාරගාන්ට ඕන” කියලයි ඒ මනුස්සය පණස් තුනේ විතර කිව්වෙ. අම්මාපල්ල එහෙම කෙලින් කතාකරන්ට පුලුවන් නායකයෙක් අපිට නැතිහැටි අද….

        උපවාස කරන්නෙ මගෙ අරමුණ වෙනුවෙන් මම මියයමි කියලනෙ. හාංදුරුකෙනෙක්ගෙ පාර්තනාව ඉස්ට කරන එකත් මම හිතන්නෙ හොඳම පිංකමක්.” සාදු! සාදු!! සාදු!! ඔබ වහංසෙගෙ පාර්තනාව එසේම ඉස්ට වේවා!! ” කියල අපවත් වෙන්ට අරින්ට නෙව තියෙන්නෙ..කොහෙද එහෙම කොන්ද පණ තියන නායකයො අපට ඉන්නෙ? ඔබාමටයි, කැමරන්ටයි සරම කරට අරං චැලේන්ජ් කරන්ට නං ඕන වෙලාවක රෙඩි.

      • @ ප්‍රා…..හරියටම හරි. ශාසනයට වෙන අකටයුතුකම් මහානායකවරු ඇතුළු සංඝ සභාවන් බලා ගත යුතුයි. නමුත් සමස්ත සමාජයට මේ ත්‍රස්තයින් මුදාහරින භීතිය සහ අවදානමට වග කියන්න මෙලෝ යකෙක් නැහැ.

    • මචං….දසයාගේ දස ශුක්‍රණු වැඩේ නම් කැතයි කියලා තේරුනේ වයසින් ටිකක් මුහුකුරා යනකාලේ. දසශුක්‍රාණුවා කියන වචනේ නම් ඊට ඉස්සරත් තිබුනා..මට අනන්තවත් ඇහිලා තිබුනා :

      කායකර්ම වැඩනම් සිද්ධ වෙනවා බං කාටත් හොර රහසේ..ඒ ඉඩකඩ දැන්නම් ඕනතරම් තියෙනවානේ. ඒ කාලේ කැම්පස් සාධුලාට කැම්පස් එකේම ප්‍රේම සම්බන්ධතා තිබුනා..පස්සේ ඔවුනොවුන් විවාහ වෙලා සාර්ථක ගිහි ජීවිතත් ගෙනිච්චා. දැන් වැඩේ තියෙන්නේ ඒ ලව් මේ කව් ඒ සැක්ස් මේ සැක්ස් ඒ ඔක්කොමත් තියෙන්න ඕන…ඒ එක්කම සිවුර අත හරින්න සුදානම් නැහැ භෞතික වාසි නිසා. මම සිවුරුහැර යෑම ගැන කිසිම වැරැද්දක් දකින්නේ නැහැ…සිවුරේ ඉඳන් කරනකොට තමයි අප්සට්.

      මොනවා කියන්නද රවී…..අපිව කඹ දාලා පස්සට ඇදන් යන්නේ. මේවාට ලෑස්ති වෙච්ච බෝණික්කෝ බෝණික්කියෝ කොටසක් ඉන්නවානේ. නානසාරලාගේ බලු වැඩ නිසා පාරට වැටුනු හාමුදුරුවරුන්ගේ කතාව බලපන්. මේ ශාසනේ මුර දේවතාවා.

  7. මේ සියල්ලම එදත් අදත් හෙටත් සිදුවන දේවල්. මම අවුරුදු 16 – 17 කාලේ පන්සලක මිදුලේ මහ රෑ දුටු ගෑණු හොල්මනකට ගලකින් ගැහුවම හොල්මන බුදු අම්මෝ කියාගෙන දිව්වා.

    බොහොම රසවත් අත්දැකීම් සමුදායක්.

    • ///රෑ දුටු ගෑණු හොල්මනකට ගලකින් ගැහුවම හොල්මන බුදු අම්මෝ කියාගෙන දිව්වා./////
      හිනා කාල මැරෙනවා මේක දැක්කාම. ඇත්ත තමයි විචාරක ඕවා ඉදිරියටත් ඔහොම තමයි. හැබැයි දැන් නම් ගලකින් ගැහුවොත් …බුදු අම්මෝ කියලා පණ බේරගෙන දුවන්න වෙන්නේ විචාරකට. එච්චරට ප්‍රභලයි හොල්මන් සහ හොල්මන් ගෙන්වන්නන්.

  8. හාමුදුරැ ජීවිතේ ගැන විවෘත සමාලෝචනයක්… ඇත්තමයි මචෝ අති විශිෂ්ඨ විස්තරයක්.. යව්වනයේ චමත්කාරය නිරැවත් දෑසින් විඳපු ආකාරය ඉතාමත් මනරම්… ජයම වේවා!!

    • තෑන්ක්ස් ගුණේ..

      යෞවනයේ පොපියන චමත්කාරය…එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා….

      මතකද ඔය ටීවී ඇඩ් එක.

  9. Chandana says:

    අදත් තවත් රසබර කොටසක්.. ඉස්පිලි ඇලපිලි සේරම කියෙව්වෙමි.

    අර සින්දුවත් නියමයි. කොහොමත් මං අමරසිරි පීරිස් ගෙ ගොඩක් සින්දු වලට කැමතියි.

    • ස්තූතියි චන්දන…..මමත් බොහොම කැමතියි අමරසිරි පීරිස්ගේ ගීතවලට. දිග ලිස්ට් එකක් තියෙනවා කියන්න ගියොත්. මේ ගීතය අසා තිබේද බලන්න.

      මියුසික්…සංගීත් වික්‍රමසිංහ….ලියලා තියෙන්නේ..කැළුම් ශ්‍රීමාල්

      • වාව් වර්ඩ්ප්‍රෙස් වල මෙහෙමත් පුලුවන්ද නියමයි …

      • ඇයි බ්ලොගර්වල බැරිද මෙහෙම දාන්න?

      • Chandana says:

        අරූ, අමරසිරි පීරිස් ගෙ සින්දු ටිකක් තියනව මා ලඟ. ඒත් මේක තිබුනෙ නෑ.. ස්තුතියි හරවත් සින්දුවක් අහන්න දුන්නට.

    • Kenji @ Japan says:

      Thanks රංගි……නොදන්න යට හරි වටිනව ලින්ක් එක…

      • @ කෙන්ජි……මේ ලින්ක් එක දැනටමත් බොහෝමයක් දෙනා ක්ලික් කර තිබෙනවා.

    • සමාවෙන්න අරූ ලින්ක් ගෙනත් අතහැරියට. කොටින්ම අරූගේ මේ බාල්දි ලිං කතාව ඇහුව දවසේ ඉඳන් මම පුදුම විදියට මේ ලිං ගැන හෙව්වේ. හැත්තෑ ගණන් වල ඉපදිච්ච කෙනෙක් විදියටත් ගහක් ගලක් ගානේ ඇවිදින කෙනෙක් විදියටත් මේ වගේ දෙයක් මම දන්නේ නෑ කියලා මම දුකින් හිටියේ. ඊයේ මේක දැක්ක ගමන් මට නිකම් ලොටෝ එකක් ඇදුනා වගේ ඒකයි මෙතන ගෙනල්ලා ඇලෙව්වේ. මම වගේ තව කීප දෙනෙක් හරි ඇතිනේ මේ ගැන නොදන්න.
      පොස්ට් එකට ආවොත් ඒක ගැන ලොකු ප්‍රශ්න ගොඩක් මට තියෙනවා.
      මම බෞද්ධ පරිසරයක මේ වගේ කතාවක් ඇහුවමයි. අර කියන කාන්තාව පන්සලේ හිටියේ එහි ජීවත් වුන අයගේ ආශාවන් වෙනුවෙන්ද? මම දැකලා නෑ කිසිම පන්සලක කාන්තාවක් ජීවත් වෙනවා. ඔය ඕනෙම කෙනෙක් හොරෙන් හොරෙන් ඕවා කරගන්නවා කියලා පිළිගත්තත් කාන්තාවක් පන්සලේ ජීවත් වෙන්න තරම් පුළුවන්කමක් තිබුනද ලංකාවේ සමාජයේ? කාන්තාවන්ට පන්සලක ජීවත්වීම බුදුදහමින් අනුමත කරලා නෑ නේද? සිල්වත් වුනත්. අර කාන්තා භික්ශුන්ලටවත් පන්සලක නිදාගන්න දෙන්නේ නෑ නේද මට මතක විදියට. මට මතකයි ඒ වගේ අය ජීවත් වුනේ ගෙවල් වගේ ආරාම වල මිසක් ලොකු පිළිගැනීමක් හෝ දානවලට හෙම ගෙන්වුවේ නෑ කියලයි. මම වැරදිද මන්දා. ඒත් බෞද්ධ අය දානේ දෙන්නේ, පිරිත් හෙම කියන්නේ භික්ශුන් විතරමයි නේද?
      ගිය සතියේ මියගිය මගේ ලොකු හාමුදුරුවන්ගෙන් මම දැකපු දේ බණ කියනවට වඩා ප්‍රැක්ටිකල් ජීවිතේ ගැන මිනිසුන්ට උදාහරණයක් වෙච්ච එක. නගරාන්තර මම දන්නේ නෑ පන්සල්වල ලොකු සමාජ බේදයක් තියෙනවා. අඩු කුලයක අයව මහන කරන්නේ නෑ වගේ. මට මතකයි ඉස්සර එහෙම අයගෙන් දානෙවත් ගත්තේ නැති කතාවක්. අනික පන්සල් වලට ඕනෙ තරම් සල්ලි තිබුනා. මම අපේ හාමුදුරුවන්ට ගොඩාක් ගරු කරන්නේ ඒ දේවල් මොනතරම් දෝශාරෝපන මැද්දේ වුනත් වෙනස්කරපු කෙනෙක් නිසා. ඒවයින් මිනිස්සු තරහා වුනත් හාමුදුරුවන් මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍යම කෙනෙක් වුන නිසා දායකයෝ අන්තිමට පන්සලට ආවා. ඊටත් වඩා උගත් පරම්පරාව හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයට ඉහලින්ම එකතු වුනා.
      ඒත් අපේ ගමේම තිබුන රජමහා විහාරේ තත්වේ මීට වඩා බොහෝ වෙනස්. ඉස්සර හිටපු නායක හාමුදුරුවන්ගේ පියාත් හාමුදුරුකෙනෙක්. දාන වලට වගේ දේවල් වලට ආවේ නෑ. හිතවත් අය දැනන් හිටියා එයා කැමැත්තෙන් මහණ වුනේ නෑ කියලා දේපල අයිතිවාසිකම් වෙනුවෙන් මිසක්. හැබයි මිනිසුන්ට දුප්පත් මිනිසුන්ට හෙම බොහෝ ඉඩම් දුන්නා. ඔහු වගේ කෙනෙක්වත් කාන්තාවක් පන්සලේ තියාගත්තා කියලා නම් මට ඇහිලා නෑ. හැබැයි යම් පන්තියක් නියෝජනය කලා. මීට අවුරුදු පහලොවකට විතර ළඟ කාලෙකදි එතුමන් මිය ගිහින් තිබුනා. දැන් වලව් පන්තියෙන් සාමාන්‍ය භික්ශුවකට ඒ පන්සල ගිහින්. හැබැයි අර නායක හාමුදුරුවෝ ඉන්න කාලේ වගේ පන්සල මිනිසුන්ට සමීප නෑ. ඒක බොහෝම ප්‍රසිද්ධ පන්සලක් හින්දා බොහෝ දේවල් කියන්න බෑ.

      • රංගි….පන්සලක ගැහැණියක් නවාතැන් ගැනීම කොහොමත් වෙන්නේ නැහැ. මේක පොත්පත්වල කොහොම සඳහන් වෙනවාද දන්නේ නැහැ. නමුත් මේ සිද්ධියේදි මේ ගැහැණිය තදබල ලෙස තමන්ගේ ආධිපත්‍යය පැතිරුවා. හැම රෙද්දකටම ඇඟිළි ගහන්න පටන් ගත්තා. දේව ආරුඪ කියන බයිලා එක ගහගෙන හූරන් කන්න ගත්තා. පොඩිහාමුදුරුවරුත් විරෝධය පෑවාට වැඩක් වුනේ නැහැ, ඒ අය නිකම්ම නේවාසික භික්ෂූන් නිසා. මේ තත්වය පාලනයෙන් තොර තත්වයකට වර්ධනය වුනා. මෙන්න මේ දේවල් තමයි…කපුමහත්මයාටත් දරාගන්න බැරිවෙන්න ඇති.

        මේ අවශ්‍යතාවයන් කොහොම හරි සිද්ධවෙනවා. හැබැයි මෙහෙම නැවතිලා ඉන්නේ නැහැ. මම තවත් සිද්ධියක් කියන්නම්. මේ කොළඹ අවටම වෙනත් තැනක. ඒ පනසල අවට ගේක මම දන්න ප්‍රසිද්ධ සාධුගේ කැච් එකක් හිටියා. ඒක අපි දන්නවා. දවසක් ඒ ගෙදර ගියාම ගෙදර ඉස්සරහ කාමරේ ඇඳේ කොට්ට උර වල මහලා තියෙනවා “ජේන් නෝනා උපාසිකා මාතාවට පින් පිනිස පූජ කරන ලදි “කියලා . ඒ වගේ දේවල් තව තියෙනවා කියන්න හොඳ නැහැ. අමතක කරන්න එපා සාධුලාට විතරක්ම ලව් කරන්න කැමති ගෑණුත් ඉන්නවා. මම එහෙම අයත් දන්නවා. ඒක මානසික රෝගයක්ද දන්නේ නැහැ.

    • රංගි මේ ලින්ක් එක දාපු එක හරිම වටිනවා. ඒ ගැන කතා දෙකක් නැහැ සහතිකෙන්ම. කෙන්ජි කියලා තියෙනදේ හරියටම හරි. මමත් හොය හොය හිටියේ ඇත්තටම. මේ ලිපිය අද පත්තරේම වැටුනු හැටි බලන්නකෝ. දිනමිණ නරකම නැහැ බලාගෙන ගියාම : D ඉස්සර නම් කොල්ලුපිටියේ තිබුනු නාන බාල්දියේ මෙහෙම පාසි බැඳිලා අපිරිසිඳු ස්වභාවයක් තිබුනේ නැහැ. කිරි ටොයියා වගේ තිබුනා. මේ ලිපිය තුල බොහෝ දේ අඩංගු වෙනවා. ලිපිය ලියා ඇති බුද්ධිකා බ්‍රාහ්මණගේටත්, ඡායාරූප ශිල්පීන්ටත් මගේ ප්‍රණාමය. මම ඔයාගේ දීර්ඝ කමෙන්ට් එකට පිලිතුරක් දෙන්නම් තව මොහොතකින්.

    • Chandana says:

      රංගි, ස්තුති ලින්ක් එකට. මාත් ඒ බාල්දි කතන්දරෙන් පස්සෙ ඕක ටිකක් හෙව්වට විස්තරයක් ලැබුනෙ නෑ.

  10. Dilan says:

    මේ පන්සල් ලිපි ටික ආසාවෙන් කියෙවුවේ,අපි ඇත්ත දැනගෙන දැක්කෙ නෑ වගේ ඉන්න එක නේ මේ පැවිදි අයගෙ හැසිරීම් දැක්කම කරන්නෙ,,ඒ අතරින් මේ ලිපි සෙට් එකේ යන්නේ අරූ දැකපු ඇත්ත අත්දැකීම්,පැවදි ජීවිතයක් කියන්නෙත් බලනකොට ආතල් ජීවිතයක් නේද?

    • ඩිලාන්……මේ ඔක්කොම ජවුසම් අස්සේ ඉතා විනීත නිහඬ පැවිදි ජීවිත ගතකරන කොටසක් ඉන්නවා. ඉතාමත් දුක්ඛිත තත්වයන් යටතේ පවා තම පැවිදි ජීවිතය සමාජයටත්, ශාසනයටත් වැඩ දායි ලෙස ගෙනයන ඒ අයට අපේ ගෞරවය කවදාවත් අඩුවෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වර්ථමානයේ අපිට පේන්න තියෙන්නේ වෙනස් රූපයක්. කොයි ආගමේත් වර්තමාන භාරකරුවන්ගේ විකාරරූපි චර්යාවන් ගැන ඇති පදම් කියවෙනවා. ලෝකේ කොහෙත් ඔහොමයි.

      එක් පැත්තකින් බැලුවොත් පැවිදි ජීවිතය ආතල් එකක් කර ගත්ත අය වැඩියි.

  11. Kenji @ Japan says:

    අද පෝස්ට් එකනම් වන්දනාවෙ ගියා වගේ දැනුන පන්සලුයි හාමුදුරුවරු ගැනයි කියවල.
    කොල්ලෙක් නිසා කෙල්ලෙක් එක්ක තිබුන මුකුළුව නැති වෙච්චි එකට හිත වාවන්නෙ නැහැ මචං 🙂

    • කොල්ලෙක් නිසා නෙමෙයි මචෝ මුකුළුව නැතිවුනේ..ඔය තර්ස්ටන් රෝඩ් එකේ රෑට ඉන්න අක්කලා හැන්දෑවරුවේ නෝන්ඩි නැතිව ඇවිත් අර ලිඳෙන් නාගන්නවා..අපිටත් විසේනේ බන් ඒ කාලේ..ඔය ඔහොම එකකට ටච් එකක් දාපු එකක්..උඩු මහලේ කුමාරිකාව දැක්ක බව මමත් දැක්කා. ඊට පස්සේ නෝ සිනා නෝ සිනා. 😀

  12. kathandarakaraya says:

    මගේ වැඩිහිටි ඥාති හාමුදුරුවෝ ගැන ඔබ කියා ඇති වදන් කියවා ඔහු කෙරෙහි ඇති ගෞරවය තවත් වැඩි විය.

    • කකා….පෝරුවදණ්ඩේ සුමන හාමුදුරුවෝ කියන්නේ ඒ කාලෙදීවත් දඩබ්බර පැවතුම් තිබූ කෙනෙක් නොවේ. කතාවට වඩා සවන්දෙන එක තමයි කරේ. උපැවිදි වීමක් ගැන කවදාවත් කතාකරේ නැහැ. රෑට හොරෙන් ෆිල්ම්ස් බලන්න ගියෙත් නැහැ. පන්සලේ ආගමික කටයුත්තක් හෝ වැදගත් කාරනාවලදී , නායක හාමුදුරුවෝ සුමන හාමුදුරුවන් සමග සාකච්ඡා කරන්න වැඩි කැමැත්තක් දැක්වූවා. අදටත් වාලුකාරාමය හා සම්බන්ධ බව මම දන්නවා.

  13. රසික says:

    අපූරු විස්තරයක්! මම රාජකීය විද්යාලයට ඇතුලුවුන 1991 වගේ කාලෙත් සමහර තැන්වල ඔය වගේ වටපිටාවන් ඉතුරු වෙලා තිබුනා මතකයි. පාසල් වෑන් වල පාසල් ගිය මට අරූට වගේ සමාජයට මුහුවෙලා ඔය අත්දැකීම් ලබාගන්න ලැබුනෙ නැහැ. නමුත් ඔය කියන කොල්ලුපිටිය, කුරුඳුවත්ත ටවුන් හෝල් අතර හැම අතුරු පාරකම වගේ මම ගිය පාසල් වෑන් එක ගියා. රාජකීය මාවත ඒ කාලෙ ජේ.ඕ.සී එක පැත්තෙන් පටන් ගන්නකොටම ඇතුලත්මුදලි පිලිමේ පිටිපස්සට වෙන්නත් ලෑලි කඩයක් තිබුනා. ඒකෙ ගංජා විකුණනවා කියලා පොඩිඋන්ව බය කරලා තිබ්බෙ 😀

    • තවත් රාජකීය බුවෙක් :Dරසික මම ඉස්කෝලේ යනකාලේ රස්තියාදු ගහපු එක තමයි වැඩිපුර කරේ. කොලෙජ් එකට ගියාට පස්සේ ඉගෙනගත්තෙම නැහැ කිව්වොත් හරි. ඒ ගැන ඉස්සරහට ලියන්න ඕන. රසික කියන ලෑලි කඩේ අපේ කාලේ තමයි පටන්ගත්තේ. ඔතන ගංජා විකුණන කතාව එදාත් කිව්වා. මම පන්සලේ හියිය නිසා හැන්දෑවරුවට ඒ පැත්තේ කරක් ගහනවා. හැන්දෑවට නම් නා නා ප්‍රකාර බුවාලා කරක් ගහනවා ඔතන. ඔය කිට්ටුව තමයි බස් හෝල්ට් එක තිබුනේ. ඉස්සර ජූනියර් එකේ රීඩ් ඇවනිව් ගේට්ටුව ගාව ටොෆි චොකලට් කරත්තයක් තිබුනා. අනිත් ගේට් එක පැත්තෙම එයාගේ මල්ලි ඊට වඩා ලොකුවට කරත්තයක් දාගෙන හිටියා. මේ දෙන්නාට ඒ අයගේ අම්මා වෙළදාමට උදව් වුනා. දෙල්කඳ පැඟිරිවත්ත පාරේ හිටිය කට්ටියක් ඔය අය. මට ඉඳලා හිටලා පොල් ටොෆි කෑල්ලක් වගේ දෙයක් ෆ්‍රී ලැබෙනවා දෙල්කඳ නිසා.

  14. අරූ අයියා අද හැලපස්ටයිල් එකට ඇවිත්ලා.:D අරූ අයියාගේ මතකයනම් ඇත්තෙන්ම මරු.
    දෙයියන්ට බුදුන්ට මුවා වෙලා කරන හොර වැඩ එදත්,අදත් වෙනසක් නැතුවම තියෙනවා නේ.

    • මනෝ….ගැන්ග්ස්නම් ස්ටයිල් වගේ හැලපස් ස්ටයිල් කියලා සිංදුවක් ගහමුද 😀

      ඔව් බන් දෙයියන්ට මුවාවෙලා දෙන ගේම් හැම ආගමකම ඒවා බලා කියාගන්න උදවිය කරනවා. ඕක බුද්ධාගමේ විතරක් නොවේ. සිවුරට ලෝගුවට කෝවිලට මුවාවෙලා ගේම් දෙන්න ලේසියි කලිසමට සරමට මුවාවෙනවාට වැඩිය.

  15. රාජ් says:

    නියමයි අරූ!
    කැරම් ගහන හාමුදුරු කෙනෙක් මම දැකලම නෑ නොවැ. අනිත් ක්‍රීඩා කරන අදවිය නං දැකල තියනව.
    මම දන්න ලොකූ…….. පන්සලක හිටිය මාසයක් විතර තායි මෙහෙණියක්. හාමුදුරුවො නැඟිට්ටවන්නෙ පස්ස පැත්තට‍ ගහලලු! හිතාගන්න පුළුවන්නෙ සම්බන්ධෙ තරම.

    • ඒ කිව්වේ මොන වගේ ක්‍රීඩාද? :

      රාජ් ඒ පන්සලේ කැරම් බෝඩ් එක ඔය පාරේ හරි ප්‍රසිද්ධයි. අර කියපු උපතිස්ස හාමුදුරුවෝයි නායක හාමුදුරුවෝයි එක පැත්තක වාඩිවුනොත් පැරද්දිලි බොරු. මාර ටෙක්නිකල් ශොට්ස් තිබුනේ. මීගහජඳුරේ ශාන්ත කියලා සාධු කෙනෙක් හිටියා ඒ අනිත් එක්කෙනා. පස්සේ සිවුරු හැරියා. ජයවීර කියලා හිටියා තව පොරක්..තර්ස්ටන් ගියේ ඒ අනිත් එකා. නායක හාමුදුරුවෝ පොරව ඒ කාලේම ඩොක්යාඩ් එකට දාලා දුන්න. මට පසුව ඕමාන් වලදි හමුවුනා.

      ඉස්සර තරුණ සිල් මෑණිවරු ආවා ගියා..නායක හාමුදුරුවෝ දඹදිව ගියාම. නොලිය ඉන්නම්.

  16. ඇත්තටම හාමුදුරුවරුනට රියදුරු බත්‍ර ගැනීමට සාශනිකව තහන්චියක් තියෙනවද දන්නැ නේද?

    හප්පේ අර ගෑණු මනුස්සයා අච්චර දෙයක් වෙලත් ලැජ්ජා නැතුව හිටපු එකනෙ වැඩේ.

    ගොඩක් හිමිවරු උපැවිදි වෙන්නෙ මමත් හිතන්නෙ කිසිම දෙයක් නොදන්න පොඩි කාලෙම කිසිම අවබෝධයකින් තොරව මහණ කිරීමයි.

    • ප්‍රියා…..ශාසනික වශයෙන් තහංචියක් තියෙනවාද මන්දා. නමුත් රියැදුරු බලපත්‍ර දෙන්න කියලා ඉල්ලා සිටිනවා නේද? මේ රටේ ඉන්න අපේ හාමුදුරුවරු බොහොමයකට ලයිසන් තියෙනවා. බණට දානෙකට වඩින්නේ ඩ්‍රයිව් කරගෙන. බොහෝ කාලයකට පෙර ලංකාවේ හාමුදුරුකෙනෙක් නීතිඥයෙක් ලෙස දිවුරුම් දෙන්න ඉල්ලා සිටියා. දිවුරුම් දෙන්න සිවුරට උඩින් කළු ලෝගුව පැලඳිය යුතුයි කියන තත්වය නිසා මතභේදයක් ඇතිවුනා. ඒ වැඩේ කෙරුනේ නැහැ. පසුව ඔහු උපැවිදි වුනාද කොහෙද?

      ////හප්පේ අර ගෑණු මනුස්සයා අච්චර දෙයක් වෙලත් ලැජ්ජා නැතුව හිටපු එකනෙ වැඩේ./////
      එහෙම ලැජ්ජාවක් තියෙනවානම් පන්සලේ ලගියිද බන්. ඒ චරිතය පන්සලටත් , නායක හාමුදුරුවන්ටත් ලොකු කැළලක් වුනා එක් කාලයකදී.

      ///ගොඩක් හිමිවරු උපැවිදි වෙන්නෙ මමත් හිතන්නෙ කිසිම දෙයක් නොදන්න පොඩි කාලෙම කිසිම අවබෝධයකින් තොරව මහණ කිරීමයි.//////
      ඔය ප්‍රධාණ කාරනය කියලා තමයි මටත් පෞද්ගලිකව හිතෙන්නේ. තවත් කරුණු තියෙනවා ප්‍රියා. තාවකාලික වාසී සඳහාම මහණ වෙන අයත් ඉන්නවා.

  17. raigam says:

    අපරාදේ නේද මචං අර ධනවත් යුවතියගේ වැඩේ ගැස්සිලා යාම. නැත්නම් ගොඩ! 😀

    • Kenji @ Japan says:

      +++++++++++++++++++
      මුළු කතාවෙම මගෙ ඔලුව දිව්වෙ ඕකට…
      හැබැයි එයා එක්ක දීග ගියා නම් අද අපිට මේ කතා අහන්න වන්නේ නැත…
      මගේ දියණිය උගෙනුම පටන් ගත්තෙ බිෂොප් කොලොජියෙනි..
      බිෂොප් භුමිය මට මිහිරි මතකයන් ගොඩක් තිබෙනව …

      • @ කෙන්ජි…..හිනාවෙන්ම වැඩේ නැවතුනු එක හොඳයි බන්..අනිත් එක වස ලැජ්ජයිනේ බන් වෙච්ච වැඩේට.

        බිෂොප් එක අපේ රස්තියාදු රූට් එකේ එක පැත්තක්. ඊට පස්සෙත් ඕකේ ඔඩිටෝරියම් එකේ මම නාට්ටි, මියුසිකල් ශෝස් බලන්න යනවා.

    • @ රයිගම්……මචං ඊට වඩා ගොඩයන්න නියම චාන්ස් එකක් තිබුනා ඒ කාලේ. නායක හාමුදුරුවන්ගේ ගෝලයෝ කවුරුත් නොසිටිය නිසා මට මහණ වෙන්න කියලා වරක් දෙවරක් යෝජනා වුනා. මම කැමතිවුනේ නැහැ. අම්මාගෙනුත් අහලා තිබුනා. කවුරුත් කැමත්තක් නැතිවුනා. අන්න ගොඩයන්න තිබුන චාන්ස් එක. අරක මොකක්ද. සංසාර චක්‍රයෙන් ගොඩ වෙන්නත් තිබුනා :එහෙම වුනානම් මම දැන් විහාරාධිපති කෙනෙක් බන්…මේ සීතලේ කට්ට කන්න ඕන නැහැ. 😀

      හිතපන් ගංගොඩවිල අරුණාලෝක වගේ නමක් හොඳද කියලා.

      • raigam says:

        චාග්! වැඩේ කාගෙන නේද? එහෙම වුනා නම්, සංසාර විතරක් නොවේ පරම්පරා කිහිපයකුත් ගොඩ දා ගන්න තිබුනා. කොහොමටත් උඹට වාද බයිලත් හොඳට මතක එකේ, දෙන්න තිබුන නේද ඇට්ටි හැලෙන්න. ඕවට තමයි මචං කියන්නේ “පෙර කරපු පව්” කියල. පස්සෙන් එනවා! 😀

      • ගංගොඩවිල අරුණාලෝක..???? පුහ්…..මොකට කියනවද ඒ ගැන….මේ යන විදිහට ගිහිල්ල “දෙල්කඳ නිරන්ජන් ” / “දෙල් නිරා ” වගේ තැනකින් නතර නොවුන එකයි පුදුමේ… 😛

      • ගොන් කම රයිගම් ගොන් කම 😀
        දැන් සින්දු බණත් තියෙන නිසා….මට තිබුනා “මහා වාද බයිලා බණ පුණ්‍යෝත්සවයක්” පවත්වලා ශාසනයට සේවයක් කරන්න.

      • මරු සිරා…පොඩි විජේ…වෙලේ සුදා…දෙල් නිරා….නරක නැහැ ලිස්ට් එක.

  18. මෙන්න අරූ අයියා හාමුදුරුවන්ගේ ….ල්ලට බාල්දිය පෙරලුවෝ . ඔය කරපු පාපකර්මේ නිසා අම්මපා ලබන ආත්මේ අරූ මොනරෙක් වෙලා තමයි ඉපදෙන්නේ . අදනම් හිනාවෙලා පන ගියා , ඔෆිස් එකේ එවුන් අහනවා මොකද ඉක්කා ගහන්නේ කියලා ,

    අරූ මේ ලියලා තියෙන ලිපිය අද ඉන්න සුපේශල, ශික්ෂාකාමී හාමුදුරු මහත්වරුන් දැක්කානම් ඔබට බ්‍රහ්මදණ්ඩය පනවනවා නියතයි

    • ඉවාන්……මොණරෙක් වෙලා ඉපදුනාම මොකක්ද බන් වෙන්නේ….පිල් විහිදපුවාම පුක එලියේ….ඒකද? හැබැයි දැන් නම් බොහොමයක් අයගේ පුක් එලියේ තමයි පිල් විහිදුවාට 😀

      අඩෝ බොබසලා කාව හරි එවයිද බොන්න දීලා….මටත් බාගයක් අරන් එන්න කියපන් 😀

  19. සාමාන්‍ය මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් හා විදියක්නේ…. ඉතින් ඒ වගේ සිව්රක් දාගත්ත පමනින්ම හැම හාමුදුරුවන් කෙනෙක්ගෙන්ම බුදුදහම දකින්න බැ ….. එක අපි තේරුම් ගන්න ඕනා …. මම මේක කිව්වේ අරුට නෙවි කොමෙන්ට් කරන අයට …. මොකද මම ලංකාවේදී හාමුදුරු ගොල්ලන්ව ලග ආශ්‍රයක් තිබ්බේ නෑ … එත් මෙහෙදී ඉතා උගත් බුද්දිමත් ඇදහිය නොකකි ධාර්මික ජිවිත ගෙවන සංගයා වහන්සේලා කීපනමක් එක්කම බොහොම හිතවත් වෙන්න ලැබුනා ….. ඒ නිසා හැම ක්ෂේත්‍රයේම වගේ නරක වගේම හඬ අයත් ගොඩක් ඉන්නවා …… කොටින්ම ඇමරිකාවේ පල්ලියක් බොහොම අමාරුවෙන් සල්ලිවවලට අරන් පන්සලක් කරගෙන ඉන්න හාමුදුරු කෙනෙකුත් මට හමුවෙලා තියෙනවා

    • අපොයි ඔව් රාළේ……මම උඩ කීප තැනකම ඒ බව සඳහන් කරා. ඒ ගෞරවණීය පිරිසට අපි ආචාර කරනවා මෙතුවක් කල් මේවා රැකගෙන ආවාට. මේක බුදහමට විතරක් අදාලත් නැහැ රාළේ. හැම ආගමකම ඉන්නවා නොයෙකුත් ආකාරයේ බුවාලා. ගිහි සමාජයේම හරස්කඩක් තමයි පූජ්‍ය පූජක සමාජයත්. මෙහේ හිරේ ඉන්නවා ළමා අපචාරවලට අහුවුන ලාංකික හාමුදුරුකෙනෙක්. ඒ වගේම නොයෙකුත් වැරදිවලට අහුවුනු අනිත් ආගමික පූජකයෝත් ඉන්නවා.

  20. Senna says:

    “පිච්චමල කතාවෙ” ලොකු හාමුදුරුවො කමලාවතීට ඔය සම්බන්ධයෙන් කියපු බණ පදය අරූ දන්නවා ඇති නේද ?

    නිරුවත් දෑස් කියන්නේ Naked eyes කියන එකේ සිංහල පරිවර්තනයද ? නැත්නම් වෙනම අර්තයක් තියනවද ?

    • සෙන්නා………ලෝන්ග් ටයිම් නෝ සී…..වෙන්ට් ටු සී ද ලන්ඩන් කුයින් 😀

      අරලියමල් ආරාමය, පින්කෙත,මහමෙර මේසේ උඩ තියාගෙන පිච්ච මල් පොතේ ඒ ගාථාව මොකක්ද කියලා මතක් කරනවා. එන්නේ නැහැ ඔළුවට. පුළුවන් නම් ගාථාවයි තේරුමයි දෙකම දාන්න.

      පාට කන්නාඩි වලින් බලන්න එපා කියන අදහසින් තමයි ලිව්වේ සෙන්නා.

      • Senna says:

        යේස් යේස් වෙන්ට් ‍ටු සී ද ලංඩොන් කුයින්, උන්දැ ගෝන් ටො ලන්ච් එක කුකින්…

        ලොකු හාමුදුරුවො කමලාවතීට කියනවා “ස්ත්‍රියාවකට හාමුදුරු කෙනෙකුට දෙනවනම් දෙන්න පුළුවන් ලොකුම දානය ඒක තමා” කියලා. අනේ මෝඩ උන්දැත් අන්තිමට ඒ දානේ පූජා කොරනවා… පිච්ච මල හරි අරලිය මල් ආරාමයෙ හරි තමා ඕක තිබුනේ.

      • තෑන්ක්ස් සෙන්නා.

    • රාහුල හාමුදුරුවො ඉන්නේ පිච්ච මල. ජයසේන ජයකොඩි.

      • සිංදුවෝ………අරලිය මල් ආරාමයේත් ලොකු හාමුදුරුවෝ, රාහුල කමලාවති ඉන්නවා.

  21. තව ටිකෙන් අවුල් වෙනවා සේරම ,, අවුල් වෙන්න පෙර ඊ මේල් එක දැකලා කියෙවුවෙ පෝස්ට් එක ,, දැන් මන් කියෝන ඉතිහාස පොත මේක .. ස්තුති අයියේ

    • මේ ඉතිහාස පොත කියෙව්වොත් ඔමාවත් අවුල් වෙයි 😀
      සීරියස් ගන්න එපා ඔන්න ඔහේ නිකං කියවගෙන යන්න.

  22. helapayaa says:

    ෆිල්ම් එකක් බැලුව වගේ ලස්සනයි මචං,හරියට ලෝබ හිතුණා,අර දඹදිව හිටපු චන්දරතන හාමුදුරුවො සිවුරු ඇරල දැන් ඉන්නෙ ලොස් ඇන්ජලීස්වල මගේ මතකයේ හැටියට.

    • හැලපේ……එයාට ඒ දවස්වලත් හොඳ සම්බන්ධකම් තිබුනා. ලොස් ඇන්ජලෙස් වල ඉන්න එක හිතාගන්න පුළුවන්. මොනවා වුනත් හොඳ බුවෙක් බව මට මතකයි. ඔය ඒ දවස්වල එයා හොඳ ඉළන්දාරියා කාලේ වෙච්ච වැඩක්. මටත් නියම පොරවල් තමයි බන් හම්බවෙලා තියෙන්නේ.

  23. හැමෝම ආරූඩ වෙන්නේ බොරුවට නේද. දෙවියන් සහ රෝගියා අතර වූ කට්ඨඩින් සැමදා කරන්නේ බොරුවමය.

    • පට්ටපල් බොරු නිර්මලා මුන් කරන්නේ. ඔය මෑණියෝ කියලා කියපු ගෑණුකෙනා ආරුඪෙන් හෙන අපබ්‍රංස භාශාවකින් කතා කරනවා. හිටපු ගමන් සිංහලත් කියවෙනවා. එදා අපි නොහිටින්න දසනායකගෙන් මැරුම් කනවා. පූස් පැටියෙක් වගේ දේවාලේ අස්සට ගිහිල්ලා හැංගුනේ. ඔන්න ආරුඪ. අපේ මිනිස්සු මේවා කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මේ හැම ආගමේම බොරු ආරුඪ කාරයෝ ඉන්නවා.

      • දැන් අළුත්ම පෙරළිය. කිරි අම්මාවරුද කිරි අම්මාවරු දානය පිළිගෙන යන ගමන ආරූඩ වෙලා සාත්තර කීම.

      • කිරි අම්මාවරු සංකල්පයටත් ගොම දැම්මා එහෙනම්.

  24. Dgm Bassa says:

    ෂා, මේ කතා ටික මසුරන් නෙව.
    අද වැඩ, හෙට සති අන්තෙ බලනව කොනක හිටල 🙂
    ස්තූතියි, අරූ

    • BUSසා, BUSසිගේ කවුරුවත්ද? හෙමින් සැරේ කියවන්න. ගොඩාක් වෙලාවට කමෙන්ට්ස් තුල තවත් රසවත් කතාබහ ඇතිවෙනවා. ඒවා කියවන්න ඉඩක් ඇත්නම්.

      • Dgm Bassa says:

        /BUSසා, BUSසිගේ කවුරුවත්ද?/
        බුදු අම්මෝ නැ‍තෝ! 🙂 මං මේ මූකලන් බස්සෙක්.

        අනිවා කමෙන්ට් ටිකත් කියෝනවා. ස්තූතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට

  25. Damith says:

    අදනම් හොදම එකෙත් උපරිමයි.අද ලියපු විදිය ටිකක් වෙනස්ද මන්ද.
    මට මතකයි ජයසෙන ජයකොඩි ගෙ පිච්චමල නවල් එකෙ ලොකු හාමුදුරුවො අල්ලපු වත්තෙ උපාසිකවට බනක් කියනව දෙන්න පුලුවන්නම් එක තමයි හොදම දානය කියල.ඉතින් එ උපාසිකාවත් වැඩිපුට පින් කරගන්න කැමති වෙනව.

    • අනේ මන්දා දමිත් මේ සමහර උපාසිකාවන්ටත් තියෙනවා පොඩි පොඩි අසනීප. ඒවාත් පන්සල්වලින් සනීපකර ගන්න ගියාම නොයෙකුත් අවුල් වෙනවා. බොහෝ අය දන්න දේවල් ලියන්න කියන්න බයයි. මොකද මේක දෙබරෙට ගල් ගැහුවා වගේ වැඩක්.

  26. හාමුදුරුවරු මෙහෙම නම් ගිහියන්ගෙන් බලාපොරොත්තු වෙන්ට පුලුවන් මොනවද?

    • ගණන් ගන්න එපා පොඩ්ඩි. හැමෝම ඔහොම නැහැ. ඉස්සර ගිහියෝ සහ පැවිද්දෝ අතර පේන වෙනසක් තිබුනා හැසිරීම් කතාබහ තුල පවා. දැන් එන්න එන්නම එකම වෙනස කහ සිවුර අඳින එක විතරක් බව පේනවා. දැන් නම් සිවුර කහ, දම්, දුඹුරු සිට කළු දක්වාම වෙනස් වේගෙන යනවා නේද? ප්‍රොටෙස්ට් එකකදි ඔළුවේ සිවුර පාටින් බෑන්ඩ් එකක් හරි කැප් එකක් හරි දැම්මොත් පුදුම වෙන්න එපා 😀

  27. ඔයවගේ සීන් එකක් කිරුලපන පන්සලෙත් ගියා වගේ මට යන්තමින් මතකයි හැබැයි බොන කේස් එකකට

    • කෝරළේ මහත්තයෝ ඉස්සර මම කියන පන්සලේ බොන කේස් තිබුනෙම නැහැ. දැන් දැන් බොන කේස් හෝ ගාලා ඇහෙනවා රට වටෙන්ම. සුරාමේරය සිල්පදේ ආණ්ඩුවට බාර දීලා සමහර සාධුලා තිතට මත් වෙනවා නේද?

  28. Bindi says:

    අරූට හොඳ මතකයක් තියෙනවා .බය වෙන්න එපා ඇල්ෂයිමර් නම් හැදෙන්නේ නැහැ ෂුවර් . මට ලිපි කීපයක් මග ඇරුනා . හිමිහිට කියවන්න ඕන.
    මේ බ්ලොග් එක කියවද්දී මට මතක් වෙන්නෙම ගෝර්කිගේ මගේ සරසවි . ජිවිත සරසවියෙන් ඉගෙන ගැනීම .
    හාමුදුරු කෙනෙක් වේවා ගිහියෙක් වේවා ඔවුන්ගේ පුද්ගල චර්යාවන් ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ . නමුත් සමාජයීය චරිතයක් වුනහම ඒ ඒ පද්ධතිවල නීති රීති සම්මත වලට යටත් වෙන්න වෙනවා . ගිහියෙක්ට නම් ඔව්ව පොඩ්ඩක් එහා මෙහා කරගතහැකි . නමුත් හාමුදුරු කෙනෙක්ට එහෙම ඉඩක් නැහැ. එක්කෝ සිවුර අත අරින්න වෙනවා . නැත්තන් ඒ රාමුවලට යටත් වෙන්න වෙනවා. අකමැත්තෙන් එහෙම හිරවෙලා ඉඳීම අවශ්‍ය නැහැ මන් හිතන්නේ .එහෙම සිවුර අතහැරලා වෙන වෙන මාර්ගවල ගිහින් බොහොම යසට ජිවත් වුන සහ වෙන අය අපේ රටේ ඉන්නවනේ. ඕනනම් හිරළුවා කියයි. එච්චරයි. අපේ පවුලේ ඉස්සර එහෙම කෙනෙක් ඉඳල තියෙනව. එයා පරම්පරාවටම ගෞරවයක් ගෙනාව වගේම යහපත් දරුවන් කීපදෙනෙකුත් හැදුවා.
    එහෙම නැතුව රැවුලයි කැඳයි දෙකම බේරගන්න නම් සංඝායනාවක් තියල නීති රීති වෙනස් කරගන්න වෙනවා .
    කතාවේ විදිහට දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් වෙලත් ලොකු හාමුදුරුවෝ අර ගැහැණු මනුස්සයාට පන්සලේ ඉන්න දීපු එක තමයි ප්‍රශ්න වලට මුල.
    මොනව වුනත් මාර අත්දැකීම් නේද . අර කපු මහත්තය තමයි දවසකටවත් මිනිහා .

    • ඒක ඇත්ත බින්දි. අපිට කිසිම අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලිකත්වයට ඇඟිළි ගහන්න තියා එබිලා බලන්නවත්. සිවුරු හැර යෑම ගැන මටනම් කිසිම විවේචනයක් නැහැ. යන්න ඕන කියන සිතුවිල්ල ආවාම එතන ඉඳන් කරන්නෙම ගිහියෙක් කරන්න ඕන වැඩ. ඒ සඳහා පෙර සුදානමක් වෙනවා. මම නම් එහෙම අවස්තාවල වචනෙන් හරි උදව්වක් දෙනවා උපැවිදි වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. මොකද ඒක ශාසනයටත් ඒ පුද්ගලයාටත් දෙපැත්තටම වෙන හානියක්.

      පැවිද්දන් ගිහියන් ලෙස හැසිරීම වගේම තමයි ගිහියන් පැවිද්දන් ලෙස හැසිරීමත්. ඒ පුද්ගල චරිතවල හරයක් නැහැ. තමන්ට රිසි තැනට ඇතුල්වෙන්න ඕන. මේ මගේ අදහසක්.

      මේ රටෙත් ඉන්නවා එහෙම උපැවිදිවෙලා සාර්තක ජීවිත ගෙවන අය. ඉන් සමහරක් දැනටත් බෞද්ධ දේශණ, සාකච්ඡා පවත්වනවා. මම නම් එවැනි අයට ගරු කරනවා හරි තැනට යන්න තීරන ගන්න පුළුවන් වීම ගැන. හීරළුවා කියලා අහගන්න එක හොඳයි නානසාරයා කියල අහගන්නවාට වඩා 😀
      ///////කතාවේ විදිහට දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් වෙලත් ලොකු හාමුදුරුවෝ අර ගැහැණු මනුස්සයාට පන්සලේ ඉන්න දීපු එක තමයි ප්‍රශ්න වලට මුල.////////
      මේක තමයි බින්දි එදා කාටත් තිබුනු ප්‍රශ්ණය. ලොකු හාමුදුරුවෝ වගේ නිර්භීත කෙනෙක් ඇයි එහෙම කලේ කියලා….ගෑණු මායම්ද? 😀

      කපු අයියා තමයි කපු අයියා….මේ ගෑණිව අපි හැංගුවෙ නැත්නම් පන්සලේ මිනිමැරුමක් වෙනවා.

  29. පිස්සු කොර වෙනවා පන්සල් වල වෙන දේවල් ඇහුවාම. මම එක කාලයක් පිරිවෙනක අමතර පන්තියකට ගියා. ඒ කාලේ පන්සලේ වෙන දේවල් සහ පොඩි සහ තරුණ හාමුදුරුවරුන්ගේ හැසිරීම දැකලා ඇතිවෙච්ච කලකිරීම මේ වෙනකල් තියෙනවා. ඒකට හේතුව අපි මේ දෙපා අල්ලලා වඳින හාමුදුරුවරුන්ගෙන් කී දෙනෙක් එහෙම වැඳුම් ගන්න සුදුසුද කියන එක ඔලුවට එන එක නවත්තගන්න බැරි කම.

    ඊට පස්සෙ කාලෙක මගේ හොඳම යාලුවගේ අම්මාගේ දානෙට ආරාධනා කරපු හාමුදුරුවෝ බණ කියලා ඒකට ගාස්තුවක් අයකලා තමන්ගෙම කාර් එකේ ආපු හයර් එක පෙට්‍රල් වලටත් එක්ක. ඒක දැක්කම මට එපාම වුනා. යාලුවනම් හුඟක් ආගමික නැඹුරුවක් තිබ්බ නිසා ඕවා ඔහොම තමයි මචං කියලා නිකං හිටියා.

    • ඩූඩ්…….බොහෝ දේ ගැන ලියන්න බැහැ බන්. ගාන කතා කරගෙන තමයිලු දැන් ඒවා ඔක්කොම වෙන්නේ. ඉස්සර නම් එහෙම නැහැ. මචං බොහොමයක් පන්සල්වල බුදු පිළිමයක් හදන්න මුල්ගල් තියෙන දවසේ ඉඳන් ඒක නිරාවරණය කරන දවස වෙනකම් කීයක් උත්සව ගන්නවාද බලපන්. මේ හැම දෙයකම මුදල් අරමුණු තියෙන්නේ. බෞද්ධයින් මේවායින් ඈත් වෙන්නේ පැවිද්දන්ගේ වරදින්. නිකම් බුරලා වැඩක් නැහැ.

      ඒ කාලේ දවසක් එක් සාදු කෙනෙක් තවත් එක් කෙනෙක්ගෙන් ෆෝන් එකෙන් අහනවා “පන්සලක් තියෙනවා අරන් කරමුද ” කියලා. අරන් කරන්නේ සිල්ලර කඩනේ බන්. වැඩිය මුකුත් ඕන නැහැ ඔය ෆැන්සි පන්සල්වල අධිපති ෆොන්සි සාධුලාගේ ලයිෆ් ස්ටයිල් එක බලපන්…අරෙහෙ දුෂ්කර පන්සල්ව්ල ,හාමුදුරුවරු දානේ නැතිව කට්ට කන පන්සල් තියෙනවාලු ඇති පදම්.

  30. පන්සල් වල එහෙනම් එදත් එහෙමයි 😀 සිංදුව ගැන ලියන්න කිව්වා නේද අරූ දවසක්. 😀 ගොඩක් ටන්කු ඔන්න සිංදු මතක් කරනවට. අමරසිරි දැන් ලූෂන් බුලත්සිංහල ලියපු සිංදු කියන්නේ නෑලු. පිස්සු. දෙන්න වලියක්ලු. විකාර.

    • සිංදුවෝ…..ලූෂන් බුලත්සිංහල දක්ෂ පද රචකයෙක්. අමරසිරි දක්ෂ ගායකයෙක්. ඒ කම්බිනේෂන් එක කැඩිලා නම් ඒක ලොකු අපරාධයක්.

  31. sudeeka says:

    ම්ම් නම් හිතන්නේ ලෞකික සපයන් ගන්න ඕනේ නම් සිවුරු අරින්න ඕනේ. ආයේ කතා දෙකක් නෑ. ඒ නිසා තමයි දසනායක වුණත් එහෙම හිතන්න ඇත්තේ. මොකද දසනායක හාමුදුරුවරුන් වෙනුවෙන් වෙහෙසෙන නිසා ඔහුට කේන්ති එන්න ඇති. හාමුදුරුවරුත් මනුෂ්‍යයෝ කියලා හිතන්න අවශ්‍ය නෑ. ඒ හික්මීම නැතිනම් පන්නන්න ඕනේ. එහෙම කලාට පව් සිදු වෙන්නේ නෑ. හාමුදුරු වරුන්ගේ මානව හිමිකම් හොයන්න යන එවුන්ටත් ගහන්න ඕනේ. විනයක් නැතිව බන කියලා වැඩක් නෑ. පන්සල් සහ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය අඩු වුනාට කමක් නෑ. මිනිස්සු බොහොම අමාරුවෙන් හදලා දෙන දානය කාලා තෙලේ ඇර ගන්න උපාසකම්මලා හොයන එවුන් පන්නන්න ඕනේ. ඔන්න කවුරුවත් මේක වැරදියි නම් කියන්න එපා. මෙහෙම ගියොත් හාමුදුරු වරු නැති වෙයි කියන්න එපා. අදටත් අටසිල් රකින ඕනෑතරම් භික්ෂූන් ඉන්නවා ග්‍රාමීයව. මේ කතාවේදී මාත් ඉන්නේ කොතලාවල මහතාගේ පැත්තේ. මම එහෙම කෙනෙකුට භය නැතිව කියලත් තියෙනවා, කරන දෙයක් සිවුරු ඇරලා කර ගන්න කියලා. පව් නොදී.

    • ඔව් සුදීක…..දසනායකට පන්සල ගැන අවංක හැඟීමක් තිබුනා. පෙරහැර කරන්න,ගම්මඩු කරන්න පුදුම දායකත්වයක් දුන්නා. එවැනි තැනක බොරු ආරුඪ, තුප්පහි වැඩ බලන් ඉන්න බැහැ තමයි.

      මම කියන්නේත් ඒ අවශ්‍ය දේවල් කරගන්න නම් සිවුරු හැර යෑම හොඳයි කියලා. ඒක දෙපැත්තටම හොඳයි. ඔය බඩගින්නට රෑට මොනවා හරි කන එක නම් වෙනම කතාවක්. දලයි ලාමාත් මේ ලඟදි ෆුඩ් පැටර්න්ස්ද මොකක්ද ප්‍රෝග්‍රැම් එකකට ඇවිත් කිව්වා..එයාත් බඩගිනි වුනොත් බිස්කට් එකක් මොනවා හරි කනවා කියලා. පොඩි අයටත් රෑට යමක් කන්න දෙනවාලු ඒ පොඩි වයස නිසා.

  32. Thushani says:

    කිව්වත් වගේ එක කාලේකදි අපි හරි කියලා හිතෙන දේ පස්සේ කාලෙක හරි කියලා නොහිතෙන්න පුළුවන්…

    විභාග වැඩ කටයුතු නිසා පෝස්ට් එක කියවන්න ඉඩක් වෙන් කරගන්න පුළුවන් වුනේ අද …

    • //////කිව්වත් වගේ එක කාලේකදි අපි හරි කියලා හිතෙන දේ පස්සේ කාලෙක හරි කියලා නොහිතෙන්න පුළුවන්…///////////

      තුශානි……මෙන්න මේ කතාව තමයි වෙන්න ඕන. මේ හැම දෙයක්ම වෙනස් වෙනවානේ. ඒත් සමහරු එහෙම හිතන්න ලෑස්ති නැහැ. බලන්න සමහර දේශපාලන මත සහ එහි අනුගාමිකයින්. නායකයෝ වෙනස් වෙන්න කැමති වුනත් මතේ කරගහගෙන ඉන්න අනුගාමිකයෝ ලෑස්ති නැහැ.

      තුශානිට විභාගෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්න කියලා පතනවා.

  33. //බොරු ආරුඩයකින් දේව විස්මයන් සහ නොයෙකුත් සෙප්පඩ විජ්ජාවන් කල ඇය මේ යුගයේදී පන්සලේ පරිපාලන කටයුතු වලටත් අත පොවන කාලයක් විය.//
    එදාටත් වඩා අද ඔය ප්‍රශ්නේ තියෙනවා ගොඩක් පන්සල් වල.. දැන් කපුවො නැති පන්සලක් ඇත්තෙම නැති තරම්නේ…
    අර 1st comment thread එක දැක්කම මටත් හිතුණේ ඇයි හත්දෙයියනේ මම අයියා කියන්නෙ කියලා.. මමත් 90 දශකෙ මුලනේ… 😀

    • මෙන්න තවත් පුංචි sachet එකක් 😀 මමත් ඔහොම හිටි හැටි මතකයි…මට හොඳ හැටි මතකයි.

      රවිඳු……දැන් පන්සල් රන් කරන්නේ කපුවෝ… හාමුදුරුවන්ට තව බොහෝ වැඩ තියෙනවා…..සත්‍යග්‍රහ….මාරාන්තික උපවාස…පාර්ලිමේන්තු වාද විවාද…..හිටගෙන නිවන් යෑම…ගිටාර් ගගහා රහත්වීම…..ඩෝප් එකේ රිය පැදවීම….අහුවුනාම උසාවි යෑම වගේ දේවල්.

      තව ටික දවසකින්….සුපර් ස්ටාර්ස් වලට යයි….ඊට පස්සේ ඒවාට පුරුදු වෙන්න ඩාන්සින්ග් ක්ලාස් යන්න වෙයි. ඒ නිසා වැඩිය හිතන්න එපා.

  34. තිසර says:

    එන්න පරක්කු වුණා අරු… දන්නවද දැන් ඔය ගීතය අමරසිරි පීරිස්ට කියන්න තහනම් බව. අමරසිරි පීරිස් මෙම ගීතය අනවසර ලෙස භාවිතා කල බව කියමින් ලූෂන් බුලත්සිංහල නඩු පවරා තිබෙනවා. ලංකාවේ නීතියේ හැටියට ගීතයේ අයිතිවාසිකම් තියෙන්නේ පද රචකයාට සහ සංගීතඥයාට පමණයි. මේ ගීතය පමනක් නොවෙයි ලඳුනේ ගීතයත් දැන් ඔහුට ගායනා කරන්න නොහැකි බව තමයි පැවසෙන්නේ. ඒ කේමදාස පදනම සමග ඇතිවූ ගැටළුවක් නිසා.

    • ඔය විත්තියක් දැණගෙන හිටියේ නැහැ තිසර. කේමදාස පදනම දැන් දුවලාගේ ප්‍රධානත්වයෙන් නේද කරන්නේ? මාස්ටර් ඉන්න කාලේනම් ලූෂන් එක්ක බොහොම ලඟ සම්බන්දකම් තිබුනා. කොහොම හරි හොඳ ගීත කීපයක් නැතිවුනා එහෙනම්.

  35. 70 දශකයේ සමාජ හරස්කඩ කියන නවකතාවක් වගේ මේක.මරු බන් . මට හිතෙන්න දසයා කාලි මෑණිට ට්‍රයි කරලා ඇනගෙන තියෙනවා. නැත්නම් ඔහොම උදැල්ලක් දායිද

    • ට්‍රයි කරන්න තරම් දෙයක් ඒකේ තිබුනේ නැහැ බන්. අමුම අමු මෙලෝ රහක් නැති කතාවක්. දසයාට මල පැනලා හිටියේ දේවාල වලත් මුල් තැන ගන්න එකට. ඒකත් එක හේතුවක් වෙන්න ඇති.

  36. දැයි අට මතක නැත. ///
    මෙන්න මෙතන වැරැදදක් ද මන්දා ..
    මම හිතන්නෙ දිගම පොස්ටුවලින් මම ඔක්කොම කියවන්නෙ ඔබේ එවා තමා .පස්ට රසයි .අර ගැනු මනුස්සයා එක් අතකට පවු ..පන්සල් වල ඔය වගේ වැඩ අදටත් වෙනවා සුපිරියටම.මේ නම් සිද්ධි එකට ගැලපිම මාරයි .ඔබත් මුලදි පොඩි පොඩි නිසදස් එහෙම ලියලා තියෙනවා නේ දැන් ලියන්නෙ නැත්ද ????

    • ඔව් සහෝ….එතැන “මට මතක නැත” කියලා වෙන්න ඕන.
      මට වෙලාව සෑහෙන්න වාතයක් වෙලා තියෙන්නේ. අනිත් හැමෝටමත් එහෙම තමයි. ඒ නිසා ලියාගන්න වෙලාවක් නැහැ. ඉස්සරනම් නිසඳැස් වගේ එව්වා ලිව්වා. කාලෙකින් ලිව්වේ නැහැ. බ්ලොග්ස් ඇතුලේ දක්ෂ කවියෝ ඉන්නවානේ.

      පන්සල්වල ඉස්සරටත් වඩා අප්සෙට් වැඩ දැන් වෙනවා ඇති. ඕවා නවත්වන්න ලැබෙන්නේ නැහැ. යම්කිසි ස්වයං පාලනයක් තමයි වැදගත්. නීති දාන්නැයි මේ හාදයින්ට.

  37. Miyuru says:

    ඔය වි.වි.වල හිටිය කලා පීඨවල පරණ ප්‍රොෆෙසර්ලා බොහෝ දෙනෙක් කලින් මහණ වෙලා හිටපු අය නේද අරූ…? ප්‍රොෆෙසර් චන්දිමගෙත් කලින් තිබ්බ ගිහි නම වෙන එකක්… චන්දිම කියන්නෙ හාමුදුරු නම මට මතක හැටියට…
    ඔය මහා බෝධි සමාගම ගැන කියනකොට මතක් උනේ… අපේ ලොකු සීයගෙත් මොකක් හරි සම්බන්ධයක් තිබුණා ඒකත් එක්ක… අනගාරික ධර්මපාලතුමා සමගත් සම්බන්ධකම් තිබිලා තියෙනවා… ඒ කාලෙ ගනිපු ෆොටෝ එහෙමත් තිබුණා… මට හරියටම මතක නෑ මොන කාලෙද කියලා, හැට ගණන්වල හරි පණස් ගණන්වල හරි සීයා ඔය මහා බෝධි සමාගම හරහා ඉන්දියාවෙ වන්දනා ගමනකුත් ගිහින් තිබුණා…
    පන්සලේ ගැහැණු කෙනෙක් නැවතිලා හිටියා කිව්වම පුදුම හිතුනා… එතකොට දරුවොත් එතැනමද හිටියෙ නැත්නම් දරුවො කසාද බැන්දට පස්සෙ ඇවිත් පන්සලේ පදිංචි උනාද…? ගමේ මිනිස්සු පන්සලට දන් දුන්නද…? හාමුදුරුවන්ට ලැජ්ජා හිතුනෙ නැද්ද දන්නෑ…
    හයියෝ අරූ.. රස විඳින්න ගිය පාර ගෑණු ළමය ඉන්නෙ අල්ලපු වැටේ කියලා අමතක උනාද…? අනේ මෙහෙමත්…. හික්ස්…
    ඒ වගේ වාතාවරණයක් යටතේ දසේ අය්යා කරලා තියෙන්නෙ අපූරු වැඩක්නෙ… ඒ දේ කළාට පස්සෙ අරූට අද හිතෙන දේම දසේ අයියටත් හිතුනු නිසාද දන්නෑ එයා ආපහු නාවෙ… නැත්නම් කළකිරීමෙන්ම වෙන්න ඇති… ගමේ මිනිස්සු දැන ගත්තෙ නැද්ද වෙලා තියෙන්නෙ මොකක්ද කියලා…
    සින්දුව නම් හරිම ලස්සන සින්දුවක් අරූ… ආසම එකක්…

  38. මියුරු……ගොඩාක් අය එහෙමයි කියලා මම අහලා තියෙනවා. චන්ද්‍ර වික්‍රම ගමගේ කියලාත් ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා නේද ජ්’පුරේ. එයා හිටියෙත් දෙල්කඳ පොලගාව.

    ඔය මෑණියන්ගේ ගෙවල් තිබුනේ කිරුලපනේ. ගෙදර ගියාට හැම තිස්සෙම පන්සලට එනවා. මානසික ලෙඩ්ඩු.
    //////රස විඳින්න ගිය පාර ගෑණු ළමය ඉන්නෙ අල්ලපු වැටේ කියලා අමතක උනාද…? //////
    දන්නේ නැද්ද නාඹර වයසනේ 😀

    ඩසේ අයියා ඒ වැඩේ කරේ ආඵු එන්න බලාගෙන නෙමෙයි. ඒ බව කියලා තිබුනා. කළකිරීම තමයි.

    මියුරු පරණ පෝස්ට්වලට දාපු කමෙන්ට්ස් මම දැක්කා. ඒවාට මම හෙමින් රිප්ලයිස් දාන්නම්. මම මේ සුමාන දෙක හරි බිසි.

    • Ravi says:

      අරූ,

      / චන්ද්‍ර වික්‍රම ගමගේ කියලාත් ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා නේද ජ්’පුරේ. එයා හිටියෙත් දෙල්කඳ පොලගාව./

      මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මම කරපු පළමුවෙනි රැකියාවෙදි අපේ ලොක්කා. ඒ අනුරාධපුරේ පුරාවිද්‍යා ව්‍යාපෘතියක.ඒ දවස්වල එතුමා ලියමින් හිටියා සිංහල ප්‍රතිමා කලා ලක්ෂණ කියල පොතක්. ඒකට අනුරාධපුරේ ප්‍රසිද්ධ පිළිමවල මිනුම් ගන්න වැඩේ බාර වුනේ මටයි තව මා එක්ක වැඩ කරපු යාලුවෙක්ටයි. සමාධි පිළිමෙ උඩ නැඟල මෙෂර්මන්ට්ස් ගන්න ගිහිල්ල මාර කෙළියක් උනා බං..එදා අපි පස්සෙ පන්නං ආපු එවුන්ට අහු උනානං එහෙම තාම අපිට ගහනව…වෙලාවක ලියන්නං ඒ කතාවත්. : D

      මහාචාර්යතුමා පහුගිය කාලෙ වැඩකලා මහාවංස සම්පාදක මණ්ඩලේ.නමවෙනි මහින්ද මහ රාජෝත්තමයාණන් ගැන කට්ටිය දිව හපාගෙන ලියනව ඇති මධ්‍යම රාත්‍රී තෛලය පුළුස්සමින්… හෙහ්,හෙහ්,

      • රවී…….අනිත් ඒවා පැත්තක දාලා එයා ගැන තමයි වැඩියෙන්ම ලියනවා ඇත්තේ.

        ඔය චන්ද්‍රා වික්‍රමගමගේ මහත්තයා හිටියේ පොළ ගාව තිබුනු තට්ටු දෙකේ ගෙදර. හරි නිහතමානි, නිවිච්ච පුද්ගලයෙක්.

        සමාධි පිලිමේ ස්ටෝරිය ලියපන්කෝ. උඹට දැන් හරියට ඉල්ලීම් එනවා නේද පෙන්ඩින් ස්ටෝරීස් ලියන්න කියලා.

  39. අරූ ගේ අඩවියට මම අදනේ ආවේ.. කියවන්න දේවල් තියෙනවා සැහෙන්න..ආතල් ලෝකයක් වගේ.. ඔය බානගල උපතිස්ස හාමුදුරුවෝ ඉස්සර සපුගස්කන්ද යොෂිඩ ළදරු පාසලේ හිටිය.. මම ළදරුව කාලේ ගියේ එකට.. අපේ තාත්තගේ හෙන ගජයෙක්.. අපරාදේ තාත්ත හිටියනම් සැහෙන දේවල් දැන ගන්න තිබ්බ..

    හීන් සීරුවේ අනිත් පොස්ට් ටික කියවල කොමෙන්ට්ස් දාන්නම්..

    • ඉතින් පැතුම් ඔන්න ඕකයි කතාව කිව්වාලු….

      ඔය යොෂීඩා පටන් ගත්තේ බානගල හාමුදුරුවන්ගේ ගුරු හැඩිගල්ලේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මගේ හිතේ. මම 1978 විතර ඔතනට ඇවිත් තියෙනවා. මම ඒ ලෙවල් කරන කාලේ. ලියන්න දේවල් හරියට තියෙනවා පැතුම්. ඒත් ලියන්න බැහැ. අපරාදේ තාත්තා හිටියා නම් A-Z කියයි. ඒත් මොනවා කරන්නද පැතුම්. ආපු අපි යන්නත් එපැයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s