අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

වාලුකාරාමයේ ඇසළ පෙරහැර 1963 වසරේ සිට නොකඩවා පවත්වා ගෙන එන බව කියති. මෙය නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ගේ අප්‍රතිහත දහිරියේ ප්‍රතිඵලයක් බව අදටත් කියති. ඒ දින දෙක තුන තුළ පන්සල් භූමිය යුද පිටියක ස්වරූපය ගනී. මෙහි සේනාධිනායකයා ආනන්ද හිමියන්ය. අදටත් මට සිතාගත නොහැකි කරුණක් වන්නේ, මේ සියලු දේ සංවිධානය කර හසුරුවා ගත්තේ කෙසේද යන්නය. අපටවත් පන්සලේ නේවාසික භික්ෂූන්ටවත් වෙන් වෙන් වශයෙන් පැවරූ රාජකාරියක්ද නොවීය. අලි ඇතුන් කිහිප දෙනෙක්ද පන්සල් භූමියේ ගැට ගසා සිටී. පොල් අතුද, කොස් අතුද පටවගත් ට්‍රැක්ටර්ද පැමිණේ. නැටුම් කංඩායම්ද, බෙර වාදකයින්ද, කාවඩි කරුවන්ද, ගිනිබෝල ශිල්පීන්ද, බණ මඩුව සහ අවට අරක්ගෙනය. බුදු මැදුර ඇතුලේද නොයෙක් පිරිස් රැස්ව සිටී. ආනන්ද හිමියන් කාර්යශූර ලෙස සියල්ල මෙහෙයවයි. ඇත් රජකු මෙන් ගාම්භීරවත්, කඩියෙකුසේ යුහුසුළුවත් මේ සියල්ලක්ම කෙරුවේ කෙසේදැයි අදටත් මට පුදුමයකි.

දසනායක කපු මහතාද ඊට නොදෙවෙනිය. උපතිස්ස හාමුදුරුවෝත් පණ්ඩිත හාමුදුරුවෝත් විදුලි කාර්මික වැඩවලවලට දායකවේ. ඒ දින කිහිපය තුළ, පන්සලේ ඉන්නා ප්‍රේමදාසට නම් වැඩ රාශියකි. ඔහු පන්සලේ උදය වරුවේත්, හැන්දෑවරුවේත් දෛනික තේවා මුරය භාරව සිටියා පමණක් නොව අනිකුත් සියලුම වැඩ කොටස්වලට සම්බන්ධවූ, සුදු සරමත්, කමිසයත් ඇඳි තරුණයෙක්ය. මාවනැල්ල ප්‍රදේශයේ නැටුම් හා බෙරවාදන පරම්පරාවකින් පැවති ආ මොහුගේ, පියාද, සොහොයුරන්ද ඇතුළු විශාල කංඩායමක් අනිවාර්යෙන්ම පෙරහැරට සහභාගිවේ. ඒ ආභරණ, ආයිත්තම් පැළඳු පසු, මේ අපිත් සමග හොරෙන් සිගරට් බොන ප්‍රේමදාස දැයි හඳුනාගැනීමටත් නොහැකිය. අපි කවුරුත් ඔහු ගැන ආඩම්බර වූවෙමු. පසු කාලයකදි ඔහු බෙල්ලන්විල රජමහා විහාරයේ තේවා වැඩ කටයුතු භාර ගන්නා ලදි. ඉන්පසු කිහිප විටක්ම මට ප්‍රේමදාසව එහිදි මුණ ගැසුණි. මම,බන්දු,සමන්, ජයවීර අයියා, තිලකේ, වික්‍රම ආදීවූ ගිහි උන්දෑලාට පැවරූ නියමිත රාජකාරීයක් නොතිබූ මුත් අපිද සංවිධාන ලාංජන පැළඳගෙන එහේ මෙහේ ඇවිදින්නෙමු. දායක මංඩලයේ අයද නොයෙකුත් වැඩවලය.

කරෝලිස් අයියා හෙවත් කිලුටු කරෝලිස් පන්සලේ අරක්කැමියා විය. පන්සලේ නැවතී සිටිනා එක් එක් කංඩායම් වෙනුවෙන් කෑම පිසීම ඔහුගේ රාජකාරිය විය. මේ දිනවලට ඔහු ගෝලයින් කිහිප දෙනෙක් රැගෙන එයි. කොහොමත් මල පැනගෙන ඉන්නා කරෝලිස් අයියා, ඒ දවස්වලට යකෙක් මෙන්ය. කොයි වෙලාවෙත් බුලත් කමින් කළු සුරුට්ටු උරණා මොහු හැබෑ කිලුට්ටෙකි. නායක හාමුදුරුවෝ හිටපු ගමන් කරෝලිස්ගේ පිටුපසින් ගොස් වතුර බාල්දියක් ඇඟට ගසා, බණ මඩුවේ කුළුණකට මුවාවී හැංගී බලා සිටී. අමු තිත්ත කුණුහරුපයෙන් කෑගහනා කරෝලිස්, ඒ නායක හාමුදුරුවන්ගේ වැඩක් යැයි දැනගත් විට, නායක හාමුදුරුවෝත් පිස්සු කෙළිනවා යැයි කියා නාගන්නට යයි. එයද කපුටු නෑමකි. මෙය මසකට වරක්වත් සිදුවේ. වෙන කවුරුහරි අතින් මේය සිදුවූවා නම් විසුමක් නැත. කේන්තිය ඉහවහා ගිය දවසක නම් ඇඳුම් මල්ලත් රැගෙන පන්සලෙන් පිටවී යයි. නැවත මාසයකට දෙකකටවත් සොයාගන්නට බැරිය. පසුව ඔහුම නැවත පැමිණ මුකුත්ම සිදු නොවුවාසේ වැඩට බහී.

පන්සලේ සිටි බන්දුද මගේ මිත්‍රයෙකි. කොට කලිසම් අදින ඉදිරියට නෙරා ආ දත් දෙපළක් හිමි, ඉතාම අනර්ඝ මිනිසෙක්වූ බන්දුගේ නිවෙස් පිහිටා තිබුණේ එඬේරමුල්ල, රාණිමඩම ප්‍රදේශයේ කනත්තට ඉදිරියෙන් ඇති පාරේ කෙළවරය. මම බොහෝ වාරයක් එහි ගොස් ඇති අතර, බන්දුගේ නිවෙස් අසල ඩොරීන් නම් ගෑනු ළමයෙක් සමග පොඩි සම්බන්ධයක්ද විය. ඒ බන්දුට පින් සිදුවන්නටය. වරක් මමත්,ඇයත්, බන්දුත්, ඔහුගේ දෙමව්පියනුත් අවට අයත් සමග පිටකොටුවේ වෙසක් බලන්නට ගිය බව අමතක නොවේ. මම ඩොරීන්ගේ අතින් අල්ලන් ගිය බවත් හොඳට මතකය.මට එවිට වයස අවුරුදු 16ක් හෝ 17ක් වූවා විය යුතුය. ඒවා එදා වේල ආදර කතා මිස ඉන් එහාට ගිය දේවල් නොවේ. බන්දු අද කොහේ සිටිනවාදැයි මම නොදනිමි.

ජයවීර අයියාද, ඔහුගේ අයියා විජේද නැවතී සිටියේ පන්සලේය. පාසල් ගියේ තර්ස්ටන් විදුහලටය. පොල්ගහවෙල පළාතේ දුෂ්කර පවුලක ඉපිද, හදිසි අනතුරකින් දෙමව්පියන් වියෝවු පසු නායක හිමියන් පන්සලේ රඳවාගෙන බොහෝ උදව් පදව් කල බව කවුරුත් දනී. ඒ කාලයේදීම ජයවීර අයියාට ඩොක්යාඩ් ආයතනයේ රැකියාවක් සොයාදෙනු ලැබුවේ නායක හිමියන්ය. ඔහුව මට අහම්බයෙන් ඕමානයේදී හමුවී,අපේ ගෙදර ගෙනවිත් සැලකුවෙමි. ජේමිස් ලබ්බා යනු දසනායක කපු මහතාගේ අත් උදව්කරුය. විශාල ලබ්බකට හිමිකම් කියූ ජේමිස් අයියා වැඩිහිටි මිනිසෙකි. ලබ්බ මදිවාට ඇඟට අත තිබ්බොත් කිචිය. ඇඟට අත තිබ්බොත් *කනවා යැයි කියවෙයි. ජේමිස් උඹ අද ගෙදර ගිහින් මොකද කරන්නේ යැයි අසමින්, ජේමිස්ගේ ඉනට අඟිල්ලෙන් ඇනීම නායක හාමුදුරුවන්ගේ සිරිතය. *කනවා යැයි ජේමිස්ට කියවෙයි. නායක හාමුදුරුවෝ ඔවැනි ජොලි වැඩවලට රුසියෙකි. ජයසේන ජයකොඩිගේ පොත්වල එන පන්සලේ සිඤ්ඤප්පු මට මතක් කරන්නේ ජෙමිස් අයියාවය. නමුත් සිඤ්ඤප්පු අයියා මෙන් නොව ජේමිස් ලබ්බා අපතයෙකි. කේලමෙකි. මගේ සිගරට් බීම, රස්තියාදු ගැසීම් නායක හිමියන්ටත්, අර එදා කියූ මෑණියන්ටත් කනට දෙන්නේ ඔය ජේමිස්ය.

පෙරහැර සංවිධානය කර පාරට දැමීමට පෙර නායක හාමුදුරුවන් මෝටර් රථයෙන්, පෙරහැර ගමන් මාර්ගයේ එක් වටයක් ගොස් ඒම සිරිත විය. කුමන හේතුවක් මත එය කරාදැයි මම නොදනිමි. ඉන් පසු මේ දර්ශනීය පෙරහැර ආරම්භවී සියලු වැඩ කටයුතු අවසන් කර නැවත පන්සලට ළඟාවේ. නායක හාමුදුරුවන් පෙරහැරේ ඒ කෙළවරටත් මේ කෙළවරටත් නිරතුරුවම ඇවිදින් වැඩ කටයුතු නිරීක්ෂණය කළේය. සැම විටම තව දෙතුන් දෙනෙක් ඔහු පිටුපසින් යන්නට වගබලා ගනී. නැටුම් කංඩායමක ගැහැණු ළමයින්ට අතදමා අනවශ්‍ය ගොබ්බ වැඩක් කෙරූ කොල්ලුපිටියේ මදාවියෙකුට එක පහරින් හතරගාතෙන් ඇද වැටෙන්නට, ලොකු හාමුදුරුවෝ සලකපු හැටි මට අදත් මතකය. නිවන්තිඩියේ ආනන්ද හිමියන් යනු යෝධ පුරුෂයෙකි. ගරු කටයුතු සංඝ නායකයෙකි.

කොල්ලුපිටිය අවට තරුණයින් හැම විටම පෙරහැරේ අවසාන අංගයවූ කාවඩි නැටුමට එකතුවී නටමින් ගමන් කරති. අපත් බොහෝ විට කැමතිවූයේ කාවඩි වාදනයත් සමග ඒ අංගයටය. නමුත් මට නිතරම යන්නට සිදුවූයේ වේවැල් නැටුම් කංඩායමත් සමගය. වේවැල් නැටුම් පෙරහැරවල් සඳහා එකතුවීමේ ඉතිහාසය මම නොදනිමි. මා මේ කියනා 1977-78 යුගයේ නම් එය පෙරහැර සම්ප්‍රදායන්ට එකතුවූ අළුත් අංගයක් යැයි මතකය. මෙය සංවිධානය කළේ වනාතමුල්ලේ සර්දානන්ද නම් තරුණයෙකි. ඔහු දක්ෂ පිනුම් කරුවෙකි. වනාතේ සර්දයියා කිව්වාම ඒ දවස්වල නොදන්නා කෙනෙක් නැත. ඔහුගේ අක්කාගේ පුතා නිහාල්ද මෙම කංඩායමේ සාමාජිකයෙක් විය. නිහාල්ලාගේ පවුලේ අයද පන්සලට නිතර පැමිණි උදවියය. ඔවුන් පැමිණියේ අර මෑණියන්ගෙන් සාස්තර ඇසීමට බැව් මතකය. නිහාල් මගේ මිතුරෙක් වූයේ එලෙසින්ය. මේ අය සමග වනාතමුල්ලේ යෑමට ඒමට මමත් ප්‍රිය කළෙමි. වනාතේ ජීවිත ගැන මටත් අත්දැකීම් බොහෝමයක් ඇත. ඒ අතරතුර වනාතේ මට වඩා වැඩිමහල් කෙල්ලක් සමග තවත් පුංචි යමක් කමක් ඇතිවිය. ඇයද මේ කංඩායම සමග පැමිණෙයි. පෙරහැර පවත්වා අවසන්වූ එක් රාත්‍රියක, ඒ කෙල්ලව කාටත් හොරෙන් පන්සල පල්ලෙහා ළිඳ පැත්තට අරන් ගියේ, වාළුකාරාමය පාරේම හිටි තවත් ජයවීර නම්වූ කෙනෙක්ය. ඔහු යුද හමුදාවේ සේවය කෙරූ තරුණ සාජන්ට් කෙනෙක් බැව් මතකය. ගැටවරයෙක්වූ මම ලැජ්ජාවටත්, දුකටත් පත්වුණා මිස වෙන කුමක් කරන්නද? ඇය පසුව කිසිත් නොවූ ලෙස මට සමීපවීමට උත්සාහකළත් මට ඇය අප්‍රසන්න විය.

තවත් රසවත් සිදුවීම් වෙන්නේ “පොන්න ඩාන්ස්” කංඩායම ගැවසෙන තැන්වලය. (පෞද්ගලිකව මම මේ මිනිසුන්ට පොන්න යන වචනය භාවිතා කිරීමට කැමති නැත. නමුත් ඒ නැටුමට කිව්වේ පොන්න ඩාන්ස් කියාය.) පෙරහැර අවසන්වී ඔවුන්ට ඇඳුම් මාරුකර ගැනීමටත්, පසුවදාවන තෙක් නැවතී සිටීමටත් බණ මඩුව කෙළවරේම කුඩා කාමරයක් සපයා තිබුණී. ඔය අවට තරුණ කොල්ලෝත්, තරුණ හාමුදුරුවරුත් එහා මෙහා ගැවසීම අරුමයක් නොවීය. ඒ ඒ කාලයන්ට තම ලිංගික අවශ්‍යතාවයන් නොයෙකුත් අයුරින් පිරිමසා ගැනීම සාමාන්‍ය නිරෝගී මනුෂ්‍යයන්ගේ හැටිය. ඕවා හරිද වැරදිද කියා කතා කරනවාට වඩා, ඒවා සිදුවූවා යැයි පමණක් ලියා තබමි.

මට පන්සලෙන් පිටව යෑමට මූලිකවූ හේතු සහ පන්සලේ පෙරහැරෙන් පසු පැවැත්වෙන ගම්මඩු උත්සවය ගැනද යමක් ලියා මේ කොටස අවසන් කරන්නට සිතූ මුත් අදත් කතාව දිග වැඩි විය. ඊළඟ වාරයේවත් පන්සල් ස්ටෝරිය ලියා අවසන් කරන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

102 Responses to අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

  1. sasha says:

    හුරේ…මම අද එක නේදෝ…ලියන්න ලියන්න ඊලග කොටසත් ඉක්මනට.තාම ගිය ආත්මෙ නේ..
    හැබැයි හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට වගේ පෙනී පෙනී යනවා…

    • සාශා…….ඔව් මම දන්නවා. ඔය ළමයා ඉපදෙන්න හිතලාවත් නැහැනේ ඔය කාලේ වෙනකොට. ඉතුරු ටිකත් හෙමින් හෙමින් ලියමු. ඉස්සරහට ලියන්න තියෙන්නේ අමුතුම දේවල් ගොඩාක්. ඒ ඇතුලේ බොහෝ දේවල් තියෙයි ඒ කාලේ තරුණ ජීවිත ගැන.

      අච්චාරු දාලා දෙන්න කැන්ද කොළ නැතුවද කඩේ ඇතුලට වෙලා බලන් ඉන්නේ? අච්චාරු කඩේ වසා දාන්න එපා.

      • sasha says:

        වසා නෑ..අන්න අළුත් පොස්ටුවක් දමා ඇත..මාතලන් සෑ‍ර්ගෙ සින්ඩියෙ ඒක අප්ඩේට් වෙලා නෑනේ.ඒ හින්ද කවුරුත් දැක නැද්ද කොහෙද 😦

      • හරි සාශා ගිහින් බලන්නම්.

  2. Mayya says:

    මේ ඔක්කොම කථා මිනිස් මොලයක ආපහු ගන්න පුළුවන් විදිහට තැන්පත් වෙලා තියෙන්නේ කොහොමද?

    • අනේ මන්දා මයියා මට ඒ පොඩි කාලේ දේවල් හොඳටම මතකයි ඩිටේල්ස් එක්ක. සමහර සිද්ධිවල ඇඳන් හිටිය පාටත් මතකයි. ඔය ඩොරින් එක්ක වෙසක් බලන්න ගියේ තැඹිලි පාටට ගුරු පාටට හුරු බතික් වගේ ඩොට් ඩොට් ෂර්ට් එකක් ඇඳලා. මට ඒක මතක පන්සලේ හාමුදුරුවරුත් එක්ක ඉන්න කොට ඒකත් සිවුරු පාට නිසා. ඒ ෂර්ට් එක මම එක පාරක් පඬු හැලියකත් එබුවා පාට බ්‍රයිට් කරගන්න. ඉස්සර ඔය ෂර්ට් එකයි, ක්‍රිම්ප්ලින්ග් ශර්ට් එකකුයි විතරයි තිබුනේ. එක දිග කළිසමක් තිබුනා එලියට අඳින්න.

      මම ඒ කාළය හොඳින් රස විඳින්න ඇති. ඒක වෙන්න ඇති හොඳට මතක තියෙන්නේ.

      මෙහෙම මතකයක් තියෙනවා බ්ලොග් ලියන මියුරුටත්..සමහර කමෙන්ට්ස් සහ එයාගේ බ්ලොග් එකෙන් ඒ බව තේරෙනවා.

  3. Chandana says:

    ඇඟ පුරා කිචි තියන කෙනෙක් මෙහෙත් ඉන්නව. මෑන් බස් එකකට හෙම නැග්ගම කොල්ලො ඇඟිල්ලෙන් ඇනල, “කොහෙද යන්නෙ ?” කියල ඇහුවම *කන්න කියල උත්තරේ ෂුවර්.

    වේවැල් නැටුම කිව්වෙ වේවැල් ගොඩක් අරන් ඒ ටික පැටලෙන්නෙ නැතුව නටන නැටුම වෙන්න ඇති.

    • චන්දන ඔය කිචිබුවාලා සමහර අය ඒක විනෝදෙන්ම හිනාවෙලා අත හරිනවා. සමහරු මරාගන්න තරමට කේන්ති ගන්නවා. මම අහලා තියෙනවා රා මදින කිචිබුවෙකුට ඔහොම කරලා අතේ තිබුන මල් පිහියෙන් ඇනපු එකාගේ අත කපලා. වාද්දුව පැත්තේ.

      අන්න හරි චන්දන. ඕකට යාර ගානක් දිග වේවැල් තමයි ගන්නේ. මැද්දේ කෙනෙක් ඉන්නවා. වටේට තව හය හත් දෙනෙක් ඉන්නවා. මැද්දේ ඉන්න කෙනා තමයි වැඩකරු. පටලගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන.

    • Beetle says:

      මේක වෙනම නමක් දාන්න ඕනේ ලෙඩක් මම හිතන්නේ 🙂

      කිචිකවද්දී ඔය වචනේ කියන ලෙඩේම තිබුණා අපේ ගමට චැලියක ලොතරැයි විකුනන්න එන මනුස්සයෙකුට… විහිළුව සාමන්‍යෙන් කෙරෙන්නේ “අද අදින්නේ අද…” කියලා මයික් එකෙන් ගමටම ඇහෙන්න කෑගහද්දී 😀

      • බීට්ල්……අඩෝ මාර සීන් එක කියන්නේ ලොතරැයි බුවා ගමට ඇහෙන්න *කනවා එහෙනම් ඈ….

  4. හොද මතකයක් තියෙනවා වගේ ජේමිස්ලානම් කොහෙත් සිටී පන්සලෙන් යන්න වීමට ජේමිසුත් සම්බන්ධද ඊලග කතාවෙන්ම බලමු

    • නාටකයෝ…..දන්නැද්ද ඔය මතක මතක එව්වා ලියනවා බන්. ඔව් ඔය ජේමිස් ලබ්බා දෙපැත්තටම කේළම් කියන බුවෙක්. ගෙවල් තිබුනේ දෙල්කඳ රත්තනපිටිය පාරේ. දැන් නම් මිය ගිහිල්ලාත් ඇති. තමන්ගේ පැවැත්මට ඔය ඕන දෙයක් ඔට්ටුයි කියලා හිතන මිනිස්සු එදාත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි. අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද..

  5. kathandarakaraya says:

    වනාතේ කෙල්ල ගැන කතාවටයි මගේ හිත ගියේ. අරූ බොක්කෙන්ම ලව් කරන්න ඇති. ඒකද පස්සේ එපා වුනේ?

    • අනේ මන්දා කකා ඒ කාලේ ලව් කියලා එච්චර තේරුමක් නැහැ. ඔය පොඩි පොඩි වල් වැඩනම් හරියට කරලා තිබුනා. හැබැයි මට දුක හිතුන බව නම් හොඳටම මතකයි. මොකද ඔය සීන් එක දැකලා මම ඊට පස්සේ බණ මඩුවේ මුල්ලක අර සෙනග අස්සෙම පැදුරක් දාගෙන බොරුවට නිදිවගේ හිටියා. ඒ කෙල්ල ඇවිත් මාව කිහිප විටක් කීද්දුවා. මම නැගිට්ටේ නැහැ.

      සමහර විට මට ලව් එක කෙසේ වෙතත් ලිංගික ඊරිසියාවක් ඇතිවුනාද දන්නේ නැහැ. මම දන්නවානේ ලිඳ පැත්තට එක්ක යන්නේ මොකටද කියලා.

  6. පොන්න ඩාන්ස් ගැනනම් ඇහුවෙත් අදයි. අරුගේ එකවුන්ට් එකේ එව්වත් සද්ද නැතුව වෙන එකවුන්ට් වලට දානවා වගේ. හඃ හඃ හඃ
    සුපිරියි .

    • සිංදුවෝ……ඔය පොන්න ඩාන්ස් හරි ප්‍රසිද්ධයි ඉස්සර. ඒකට වෙනම සෙට් කීපයක් හිටියා. බොරැල්ල, මරදාන පැත්තෙන් තමයි ඒ කට්ටි ආවේ. ගෑණුන්ට වගේ හරි ලස්සනට අන්දනවා. ඉස්සර ඇන්දේ ඔය පරණ හින්දි චිත්‍රපටවල නිලියන්ට වගේ සාරී, සල්වාර් වගේ ඒවා. කොන්ඩ දාලා,පවුඩර් මේකප් දාලා, කුක්කු හොඳට ඒ වගේම පේන්න අන්දනවා. හොයන්න අමාරුයි . ගෑනු වගේමයි. උන් ලස්සනට උකුල සොලවලා බඳ නලවලා ෆුල් ආතල් ඩාන්ස් එකක් දෙනවා. පොරවල් පිස්සු හැදෙනවා. ඉස්සර නගරබද ඕවා පාරේ වේදිකාවලත් කරා. කොහෙද තොපි හුජ්ජ කොල්ලොනේ 😀

      මටත් එකවුන්ට් එකක් නොතිබුනා කිව්වොත් ඒක බොරුවක් වෙනවා බං. කොලු කාලේ දන්නේ නැද්ද. හැම දේම ට්‍රයි කරනවානේ.

  7. තිසර says:

    මට අදටත් හිතාගන්න අපහසු දෙයක් තමයි පෙරහැර සංවිධානය. ඕකට නැටුම්, වාදක කන්ඩායම් එකතු වෙන්නේ කොහොමද? නුවර පෙරහැරේ නම් ඕවා පරම්පරාවලින් එන දෙයක්ය කියනවනේ. අනිත් පෙරහැරවලත් එහෙමද? මොකද අපේ කාලේ වෙනකොට පරම්පරා වලින් යම් යම් වෘත්තීන් වලට අයිති වෙච්ච අය උණත් එහෙම ජීවත් උනේ නෑනේ. සමහර වෙලාවට අපිත් එක්ක එකට ඉගෙන ගත්ත කොල්ලෝ කෙල්ලෝ පෙරහැරවල් වල යනවා දකිනකොට, මම හිතනවා මුං කොහොමද මේකට සම්බන්ධ වුණේ කියලා.. මට නම් කිසිම දාක පෙරහැරකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නෑ… කසකාරයෝ සහ ගිනි බෝල කරකවන අය තමයි මගේ ප්‍රියතම කස්ටිය පෙරහැරක…

    • kathandarakaraya says:

      නිළමේට අඳින්න කතා කළේ නැද්ද?

      • තිසර says:

        මේ යන විදිහට නම් කෙලින්ම ඇතාටම අඳින්න වෙයි වගේ…

    • තිසර…..මම දන්න තරමින් ඉස්සර වුනේ..බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය වගේ ලොකු පෙරහැරවල් කරපු පන්සල් එක්ක කොල්ලුපිටිය පන්සලට තිබුනු සම්බන්ධකම් නිසා ඒවාට එන අයව ගෙවීම් මත මේවාට සම්බන්ධකර ගන්නවා.ඉස්සර ලොකු පන්සල්වල උදේ හවා තේවාව ගහන්න කෙනෙක් පන්සලේ හිටියා අපේ ප්‍රේමදාස වගේ. ඒ අය ඇත්තටම නැටුම් පරපුරවල් වල අය. ඒ තුලින් කට්ටියක් එනවා. මහානාම විදුහලේ සම්බන්ධකම් නිසා පාසැල් සිසුන් කොඩි සේසත් වලට එනවා. පන්සලේ කපු මහත්තයාගේ මාරගයෙන් ඔය දේවාලවලට අදාල නැටුම් එනවා. කුළඟන සමිති වල දායිකාවෝ තමන්ගේ ළමයි දාලා තව ඒවා පුරුදු කරවනවා.. සෞඛ්‍යදාන, ශාන්ත ජෝන් වගේ අයට කලින් දන්වනවා ප්‍රථමාධාර සෙක්ෂන් එක බලාගන්න. ඒ එන කොල්ලෝ කෙල්ලෝ ඇක්ට් කරන්නේ දොස්තරලා වගේ. උන් බඩුත් දාගෙන යනවා ඒ අවට ඉන්න.මේක මහා යුද්ධයක් තිසර.

      ඈ බන් කඨින පෙරහැරකවත් ගිහින් නැද්ද ,අමු ගස්ලබ්බේ අර මල් කෝටු ගහගෙන? සාධු…සාධු…මල් පෙරහැර..සාදු කිය කිය. පැට්‍රොමැක්ස් පෙරැහැර දෙපැතෙන් උස්සන් යන්නේ.

      ලොකු පෙරහැරවල් වල සේසත් කොඩි උස්සන් යන එක මහ වාතයක් බන්. අතපය කැඩෙන්න එනවා ටික දුරක් යනකොට. තැනින් තැන නවත්තනකොට තමයි ටිකක් ෆිට් එකක් එන්නේ අර ඉලව්ව බිම තියාගන්න.

    • තිසර නැටුම් කරලා නැද්ද නිකන් ආසාවට වගේ ? නැටුම් සෙට් කවදාවත් ඒ වගේ පෙරහැර මග අරින්නේ නෑ. අපේ සමන් දේවාලේ පෙරහැරටත් එදා ඉඳලා එන්නේ පාරම්පරික කට්ටිය. එක අයියා කෙනෙක් හිටියා ඌ වැඩ කලේ ආමි. බෙර ගහන්න කොළඹ ඉඳලා හවස ඇවිත් රෑ යනවා වැඩට. පෙරහැර ඉවරවෙද්දි රෑ 2, 3 වෙනවා.. ඌ එහෙම්මම බස් එකේ නැගලා වැඩට ගිහින් පහුවදා හවස එනවා.
      සමහර ගෙවල් වලට නැටුම් කරන සර්ලට මිස්ලට දේවාලෙන් දන්නා හැටියට මතක් කිරීමකුත් කරනවා. ඔව්වයේ නිල ක්‍රමය මට වඩා දන්න කෙනෙක් ඉන්නවා….(ලැජ්ජයි වගේ) මම ආයේ හෙට කියන්නම් ටක්කෙටම අහලා. 😀

      • සින්දුවෝ……ඒ කාලේ පන්සලේ ප්‍රේමදාසගේ තාත්තාත් එක්කත් ආවා ආමි එකේ වැඩ කරන කෙනෙක් නැටුම් වලට. ගමේ හිටිය දක්ෂම නැටුම් ශිල්පියාලු. ආර්ථික ප්‍රශ්ණ නිසා ඒ කාලේ ආමි ගිහින්.

  8. හා හා හදිස්සි නෑ හදිස්සි නෑ…. හිමීට හිමීට… ඉක්මණට ඉවර කරන්න ගිහින් වැදගත් කතා හැලෙයි බලාගෙන… මොකද එහෙම උනොත් අපිටයි පාඩු… මොකද මේ වගේ විස්තර හැම කෙනාම කියන්නෙ නෑ වගෙම හුගක් අයට මේ වගේ අත්දැකීම් නෑ… ඒ හිංද හිමීට ගමන යං… අපිට හදිස්සි නෑ නෙව…
    ජයවේවා….

    • මහේෂ්…..හැම තැනම නැහැ….හැමදාම නැහැ. ලාබයි..ලාබයි..ලාබයි!!
      මම මේක කොයි වෙලාවේ ඉවරවෙයිද කියලා බන් බලාගෙන ඉන්නේ. සෑහෙන්න ලියන්න තියෙනවා. මමත් ආස නැහැ කෑලි හලලා ලියන්න. එතකොට මගේ කතාව සම්පූර්ණ නැහැ. එකක් ලියන්න පටන්ගන්න කොට තව දහයක් ඔළුවට එනවා. ඒ මම ජීවිතේ බොහෝ එහාට මෙහාට තල්ලු වෙච්ච කෙනෙක් නිසා වෙන්න ඇති.

      • ඔව් ඈ අපි පාරට බහිනවා එහෙම උනොත් ,, අම්මෝ අවුල් වෙන්න කලින් 32 කියෝගත්තා ,, එහෙම්මම 33ථ් කියෝගෙන ගියහැකි ..

    • ඔහොම යං ඔමායා. නිකං ඉන්න වෙලාවට කියවන්න. හොලිඩේ එක එන්ජෝයි කරන්න. නැත්නම් ආපහු වැඩට කොටු වෙනවානේ.

  9. අඩෙ අෆ්ෆා අර වනාතෙ අක්කා කෙලී ගැන කියවත්දි නම් මාර දුකයි 😉 අරූ අයියටත් වෙන දේවල්.

    නායක හාමුදුරුවන්ගෙ චරිතෙ ගැන මට නම් තාමත් හිතා ගන්න අමාරුයි. ඔය දැන් ඉන්න ‘හිනාව’ කියන දේ අදුරන්නෙවත් නැති මහා ලොකුවට විනය රකින ඇතම් හාමුදුරුවරු අවසානයේ බලත්දි විනය රැකලා තියෙන්නෙ ‘විනය තකා’ ගෙන. ඒගොල්ලන්ගෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. එහෙම අය අතර මෙවන් සැහැල්ලුවෙන් දිවි ගෙවූ සෑබෑ හිමිවරු ගැන අහන්නත් සංතොසයි.

    අර සිඤඤප්පු ඉන්නෙ ජයසේන ජයකොඩිගෙ ‘පිච්ච මලෙයි, අරලිය මල් ආරාමයෙයි’ නේද අරූ අයියෙ?

    • ප්‍රියා….වනාතේ අනාථේ ගැන කකාට දාපු කමෙන්ට් එක බලපන්. කපුටා කූඩු හදනවා…කොහා බිත්තර දානවා. අපිට වෙන්නේ ඔය වගේ වැඩ 😀

      දැන් ඉන්න ලොකු ලොකු සාධුලා සැහැල්ලු නැහැ ප්‍රියා. ඒකයි ප්‍රශ්ණේ. සැප වැඩි නිසා හිත බරයි. හිත බර නිසා ඇඟ බරයි. ආනන්ද හාමුදුරුවෝ මොනවා වුනත් හරි සැහැල්ලුවෙන් හිටියේ. බොරු උජාරු ලිංගෙම්බෙක් නෙමේ.

      ජයසේන ජයකොඩීඅ ඒ පොත් දෙකෙත් ඉන්නවා…මහමෙර අනිත් පොත.

  10. අරූ චරිත ටික, චිත්ත රූප මැවෙන විදියට ලස්සණට විස්තර කරලා…මොන හේතුවක් නිසාද මන්දා මගේ හිත ගියේ පන්සලේ උයන්ට හිටපු කරෝලිස්ට. 🙂

    • kathandarakaraya says:

      මට නම් බඩ දැඟළුවා, කෝකියා ලු නේද?

      • බඩ දැඟලුවේ චරිතය ඒ විදියටම මවලා තිබ්බ හන්දා… 😀

      • @ කකා….අපෝ කියලා වැඩක් නැහැ. කකා මෑන්ව දැක්කානම් සසර කලකිරිලා එවලෙම මහණ වෙනවා.
        මහ ලොකු දෙයක් ඔය යකාට උයන්න තිබුනේ නැහැ. උදේට කිරි හොද්දක්, මදිපාඩුවට කරියක් දෙකක් වගේ තමයි. බල්ක් බත් එකක්.

    • පොඩ්ඩි…..ස්තූතියි. කරෝලිස් හරිම බඩුවක් තමයි. අර කකා කියනවා වගේ හරි අප්‍රසන්නයි තමයි උදේට අඟුරු කෑල්ලක් අරන් දත් මදිනවා බලන් ඉන්න ආසයි :
      තරහා වෙලා ගියාම ලොකු හාමුදුරුවෝ කියනවා නෑවිත්ම හිටියොත් හොඳයි කියලා. ඒත් කොහෙද ආපහු එනවා. පව් අප්පා කොහේ කියලා යන්නද. උයන කෑමත් කිසි පිලිවෙලක් නැහැ. සමහර දවස්වලට නායක හාමුදුරුවෝ කියනවා…උඹ ලූනු මිරිස් කපපන්…මම උයන්නම් කියලා. එදාට පාස්සේ දවස් දෙකක් තුනක් යනකම් මූණ අප්සට් කරගෙන ඉන්නවා. ඉතින් ලොකු සාධු අපි කාව හරි කඩේට යවලා කළු සුරුට්ටු මිටියක් ගෙනත් දීලා ආපහු හිත හදනවා. කරෝලිස්ගේ වැඩට අඳින සරම ලිපේ දැම්මත් පිච්චෙන්නේ නැහැ. එච්චරට කිලිටුයි. හාමුදුරුවෝ අල්ලලා විසිකරනවා. හිටහන් මම අමුඩේ ගහගෙන තමයි මීට පස්සේ උයන්නේ කියලා කුටු කුටු ගගා ගිහින් වෙන සරමක් ඇඳන් එනවා. පස්සේ කොට කලිසමක් ගෙනත් දුන්නා ලොක්කා. මට දැන් මැවිලා පේනවා ඒකත් ඇඳන් වැඩ කරපු හැටි. නිකන් හිතාගන්න….ඉස්සර අර ඉලාස්ටික් දාපු කොට කලිසම ඇඳලා. කමිසයක් නැහැ..අලි බුලත් විටක් කටේ..කළු සුරුට්ටුව එක පැත්තක. කුස්සිය ගාව ඇන තියාගෙන ඉන්නවා…ශෝට් එකේ එක පැත්තකින් ජුන්ඩා එලියට ඇවිල්ලා. ලොකු හාමුදුරුවෝ කියනවා…ඔන්න උඹේ මහ එකා එලියට ඇවිල්ල…මොකද කියලා අහලා බලපන් කියලා. මට මේවා ලියන්න ගියාම දිග වැඩි වෙනවා. කරෝලිස් නැති කාලෙට තව බුවෙක් එනවා. ඒවා පස්සේ ලියන්නම්.

  11. රාජ් says:

    වේවැල් නැටුම බලන්න මාත් කැමතියි. අර අක්කගෙ සීන් එකේදි නං උඹ ගැන පවු කියල හිතෙනව.

    • kathandarakaraya says:

      සිරාවටම ඒක කෙටිකතාවකට සුදුසු අනුභූතියක්.

    • රාජ්…….ඔය වේවැල් නැටුමේ මැද ඉන්න බුවා හෙන වැඩර්. මෑන් තමයි ගේම ගෙනියන්නේ. කරණම් ගහනවා බිම පෙරලෙනවා වැඩ කෝටියයි. බලන් ඉන්න ආසයි තමයි.

      අර වනාතේ කේස් එක රාජ් ඒ කාලේ මම වගේ එකෙකුට හැන්ඩ්ල් කරන්න අමාරුයි TOO HOT . මට අත්දැකීම් මදි.

  12. ගැටවරයෙක්වූ මම ලැජ්ජාවටත්, දුකටත් පත්වුණා මිස වෙන කුමක් කරන්නද?
    හික් ,මේ කතාව තමා හිතට දැනුනේ ..ලියපු විදියෙන්ම තෙරෙනවා ලවේ තරම හ්ම්ම්ම් ..ඔව්

    • සහෝ…..ඒක ලවක්ද..ඇඟෑලුම්කමක්ද…ටින්ටින් එකක්ද කියලා හිතාගන්න බැහැ ඒ දවස්වල හැටියට.

  13. අර වගේ කිචි එකෙක් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා.ඌ කියන්නෙත් කුණුහරුපම තමයි.
    බොදු පෙරහැරවල් වලට ඔය කවඩි.පොන්න ඩාන්ස් වගේ සංකල්ප ඇත්තටම ආවේ කොයින්ද…?

    • මනෝ……ඔය කාවඩි නම් කතරගම දෙවි සංකල්පය හරහා එන්න ඇති මගේ හිතේ..පන්සල්වල දේවාල තිබුන නිසා ඒවා නිකම්ම බොදු පෙරහැරවල් වල ප්ලාන්ට් වෙන්න ඇති. පොන්න ඩාන්ස් නම් බන් කොයි ලෝකෙන් ආවාද දන්නේ නැහැ. කොළඹ නගරයේ පෙරහැරවල් වල් විතරයි තිබුනේ මගේ හිතේ.

  14. මම ඩොරීන්ගේ අතින් අල්ලන් ගිය බවත් හොඳට මතකය.මට එවිට වයස අවුරුදු 16ක් හෝ 17ක් වූවා විය යුතුය. ඒවා එදා වේල ආදර කතා මිස ඉන් එහාට ගිය දේවල් නොවේ. බන්දු අද කොහේ සිටිනවාදැයි මම නොදනිමි.

    අරූගේ වයිෆ් මේ බ්ලොග් එක කියවන බව මම අදයි සහතික වහයෙන්ම දැනගත්තෙ. 😀

    ඒ වුනාට ඩොරීන් බර්ගර් කෙල්ලක් නේද? ඒකි පස්සේ මේ සිද්දිය ගැන කිව්වේ My boy friend has submarine hands. Once they disappeared under my clothes, you never know where they’re gonna turn up next කියලා?

      • ඇයි රාළේ……චීන කෙල්ලෙක් උඹ ගැන එහෙම මුකුත් කියලාද හා හා ගාන්නේ 😀

    • //////අරූගේ වයිෆ් මේ බ්ලොග් එක කියවන බව මම අදයි සහතික වහයෙන්ම දැනගත්තෙ. :D//////
      ඩූඩ්…….උඹ තේරුම් ගත්තා නේද….ලියලා තියෙන විදිහෙන්…ශේප් එකයි පාරයි, ටෝච් එකයි පොල්ලයි න්‍යායෙන් ලියලා බව. ඒකනේ බං උඹ හොඳ ගුරුවරයෙක් කියලා අපි කියන්නේ.

      ඇත්තටම ඩූඩ් …ඩොරින්ට අත දාන්න හම්බවුනේ නැහැ. දැම්මානම් සබ්මැරින් හෑන්ඩ් කතාව අහගන්න වෙනවා :

  15. Miyuru says:

    නායක හාමුදුරුවො කරෝලිස් නාවන හැටි නම් මරු… වතුර බාල්දි දෙකක් විතර වෙන්නැති දාගන්නෙ ඇඟට… උන්ද එච්චර කිළුට්ටෙක් වෙලත් උයන්න බාර දීලනෙ… ඉව්වෙත් එහෙමම වෙන්නැති…

    නායක හාමුදුරුවන් නම් අපූරුම චරිතයක්…

    • මයුරි…..ඔය මිනිහාට උයන්න බාරදීලාම නොවේ බලෙන් බාර අරන්. ලොකු හාමුදුරුවෝනම් මරු පොරක් තමයි. මම පොඩ්ඩිට දාපු රිප්ලයි එක කියවලා බලන්න. තව කතා බොහොමයි.

  16. ඔයා බන්දු කොහේ සිටිනවාදැයි නොදනිමි කියන්නේ ,ඩොරින් සිටිනා තැන දනිමි කියන එකද අරූ

    • මම කොමෙන්ටුව දාන්න එනකොට උබ මේක දාලා තිබුනේ නැනේ දෙන්නම එකම කතාව අහලා

      • මට හිතුනේ මුලින්ම මේ එකෙකුගේ කමෙන්ට් එකක් වැරදිලා දෙසැරයක් ඇවිල්ලා වගේ කියලා.

    • @ ඉවාන්……නැහැ බන් දන්නේ නැහැ ඒ කාලෙන් පස්සේ. මට ආසයි ඔය ඔක්කොම සෙට් එක හොයාගන්න කවදා හරි දවසක. හොයාගන්න පුළුවන් වෙයි. හිනාවෙන්න පුළුවන් මේවා මතක් කරලා. මට මේ සිද්ධි එකින් එක මතක් වෙන්නේ මෙක ලියන්නට ගත්තාට පස්සේ. දැන් හරිම ආසයි ඔය පැතිවල ඇවිදලා මුන්ව හොයාගන්න.

  17. “බන්දු අද කොහේ සිටිනවාදැයි මම නොදනිමි.” එතකොට ඩොරින් ඉන්න තැන දන්නවද ???
    දන්නේ නැත්නම් විචාරක මහත්තයාට කියා හොයා ගන්න පුළුවන් වෙයි ……

    ඔය කිචි තියෙන මිනිස්සුන් ඊළඟට ප්‍රසිද්ද ඔය වචනය කියනවටමනේ

    අර ce කතාව මම අන්න ලිව්වා ඔයාගේ කොමෙන්ටුවට යටින් මගේ එකේ

    • රාළේ……බලපන් මටවත් නැති උවමනාවක්නේ උඹලාට ඩොරින් ගැන තියෙන්නේ 😀
      දැන් බැඳලා ලොකු ළමයි එහෙම ඇති නේද බන්?

      චයිනා එක්ස්පෝට්ස් විස්තරය මම කියෙව්වා. මේ චීන්නු නම් පුදුම පොරවල් බං. මුන්ගේ ඇස් අපේ වගේ තව ටිකක් ඇරිලා තිබුනානම් මුන් අපිට අරියි ඇඬෙන්න 😀 දැනුත් ඒකනෙ වෙන්නේ.

      • මුන්ගේ ඇස් අපේ වගේ තව ටිකක් ඇරිලා තිබුනානම් මුන් අපිට අරියි ඇඬෙන්න…. මේකනම් අපේ චීන බොසාට කියන්න ම වටිනා කතාවබන් …. හිනාවෙලා පන ගියා

  18. maathalan says:

    මට මේක කියෙව්වම පෙරහරවල් දෙකක් මතක් උනා.. එකක් කැළණිය පෙරහර, අනික පෙතියාගොඩ පෙරහර.. ඉස්සර කැළණිය පෙරහරටත් වඩා ඉහලින් කරපු පෙරහරක් ත්මයි පෙතියාගොඩ පෙරහර. මේක මට මතක විදියට දෙවෙනි ජේ වී පී කැරල්ලත් එක්කම නැතිවෙලා ගියා.. ඒ පෙරහර නම් වරාගොඩ පාරේ යන නිසා ගේ ගාව ඉඳගෙන උනත් බලන්න පුළුවන්.. පෙරහරක පොඩි කාළේ ආසම අංගය තමයි යක්කු සෙට් එක යන එක.. ඕවයේ කෙල්ලන්ගේ ඇඟට පනින යක්කුත් ගියා..

    පෙරහර සංවිධානය කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරුණේ.. කැළණි පෙරහර සංවිධානයට එක වරක් හවුල් උන වෙලාවේ.. ඊට වඩා ආතල කොල්ලෝ සෙට් එකත් එක්ක පෙරහර බලන්න යන එක. පෙරහරට වඩා ආතල්. පෙරහර ඉවර වෙලා මහා සේනාව එක්ක ගෙදර යන එක.. මගේ අප්පේ කීයක් නම් මිරිකන්න ඇද්ද.. දැන් නම් ලැජ්ජයි.. කැතයි..

    • මාතා……ඔය වගේම ප්‍රසිද්ධ පෙරහැරක් තිබුනා නේද හැඳල පැත්තේ. මම ඒක බලන්න ගිහිල්ලාත් තියෙනවා ඔය බන්දු එක්ක. ගංගාරාමේ පටන්ගත්තේ ඊට ගොඩාක් පස්සේ.

      ඔව් බන් ඒ යක්කු සෙට් හෙමින් නට නට යනගමන් කෙල්ලෝ ඉන්න තැන්වල ඇඟට පනිනවා. උන් කෑගහනවා. ඒවා පොඩි ආතල් ඉස්සර.

      පෙරහැරක් සංවිධානය කරගන්න එකේ අමාරුව උඹට වැටහෙන්න ඇතිනේ නේද..කැළණියේ එහෙම කොච්චර වැඩ කොටසක් ඇද්ද කරන්න.. පෙරහැර බලන්න යන එකත් කොච්චර ආතල් එකක්ද…පවුල්වල කෙල්ලෝ එක්කන් ආපු වැඩිහිටි අය පෙරහැර නෙමෙයි බලන්නේ ලඟපාත ඉන්න කොල්ලන්ගේ අත පය කොහෙද තියෙන්නේ කියලා. මටනම් දැන් පෙරහැර බැලීම ගැන එච්චර උනන්දුවක් ආසාවක් නැහැ බන්.

  19. Ravi says:

    ඔන්න බලාපං බං ඔය කොල්ලුපිටියෙ පෙරහර ගැන මම දන්නෙම නෑනෙ. ඒකාලෙ පෙරහැරක් කොහෙ තිබ්බත් අපි කට්ටිය යනව බලන්ට. ඒ කරල පාන්දර ගෙදර එන්නෙ. පිළියන්දල පෙරහරක් තිබ්බ. තව මාළිගාකන්දෙ එකක් තිබ්බ.

    ක්‍රිම්ප්ලින් කලිසමක් මටත් තිබ්බ. නිල් පාට. ක්‍රීස් එක යන්නෙ නෑ ජීවිතේට. මම ඕක ඇඳගෙන තමයි ගියේ ඇපලෝ සර්කස් බලන්ට. උඹ යන්ට ඇති නොවැරදීම. පේද්‍රිස් පාක් එකේ තිබ්බෙ. මාස දෙකක් වගෙ තිබ්බ කොළඹ. ඊට පස්සෙ රට වටේ ගියා තව මාස තුනක් වගෙ. මම අනුරාධපුරේදි ආයෙම බැලුව.

    හැත්තැ හතට කලින් තිබ්බෙ මචං මතකද එකම කලිසං රෙද්දයි… වෙල්කා. තුන් පාර හේදුව ගමං කලිසම තනිකරම සුදු වෙනව. අසූවෙ වගෙ තමයි සෝකෝ සහ හාරා කලිසං රෙදි ආවෙ.

    මම ඒ කාලෙ ආසම කමිස රෙද්ද ඇවිල්ල චීස් ක්ලෝත්. අස්ප ගණං හැබැයි.ලීවයිස් ඩෙනිමක් ගන්ට කොච්චර ආසාවෙන් හිටියත් රස්සාවක් කරල අතට පඩියක් ගන්නකල්ම ඒක බැරි උනා. පළවෙනි පඩිය අරගෙන කලේ මගෙ යාලුවො කට්ටිය එක්ක අනුරාධපුරේ එතකොට තිබ්බ නියම කොත්තු කඩයක්..ඕකට ගිහිල්ල කොත්තු කෑව. ඊට පස්සෙ ගෙදරට ඔය මොනවද අරගෙන ගියා. පහුවදා පාන්දර රජරට රැජිණෙ නැඟල ආව කොළඹ. කෙලින්ම ගියා තුන්වන හරස් වීදියෙ..කඩේ නම Pesons… ලංකාවෙ ලීවයිස් ඒජන්ට්ස්ල. ගත්ත තිබ්බ ඉස්තරම්ම ඩෙනිම. අවුරුදු තිහකට ඉස්සර ඒ කාලෙත් මචං මට මතක විදිහට රුපියල් පන්සීයක් වගෙ උනා. පඩිය ඉවරයි. හැබැයි ඒ ඩෙනිම මම පට්ට ගැහුව අවුරුදු අටක් විතර. ඊටත් පස්සෙ ඒකෙං කොට්ට උරයක් මහල මේ ළඟක් වෙනකල් අපෙ මහ ගෙදර තිබ්බ.

    උඹේ කතාව කියවන කොට මටත් අනායාසයෙන්ම ඒ කාලෙ එව්ව මතක් වෙන එකනෙ බං වැඩේ. අම්මාපල්ල ඔය ක්‍රිම්ප්ලින් කලිසම ගැන මට මතක තිබ්බෙ නෑ.

    • maathalan says:

      පෙසන්ස් සහ ලීවයිස් මතක් කලාට උඹට පින්.. හෙන්‍රීයා කියන්නේ ලීවයිස් ඔන්ලී පොරක්.. ඉස්සර මහෙත් ෆේවටිට් වැඩේ ලීවයිස් ගන්න එක.. සුදු, කළු, නිල්, ෆේඩඩ්, බ්‍රවුන් ඔක්කෝම වගේ තිබුනා..

      • Ravi says:

        මාතලන්,

        එදයිම් පස්සෙ දැන් දසක තුනක් වෙන්ට ආව, මගෙ හැමදාම තිබ්බ ලීවයිස් එකක්. මම අඳින්නෙ මචං ඩාක් බ්ලූ විතරයි. ලීවයිස් ෂර්ට්ස් මතකෙයි? ඩබල් පොකට්ස් දාල ෆ්ලැප්ස් එක්ක. තද පාට කොටු කමිස. එව්ව හැබැයි ටික කාලයයි තිබ්බෙ.

    • helapayaa says:

      මං හාපුරා කියල කොත්තු කෑවේ ඔය අනුරාධපුරේ කොත්තු කඩෙන්.ඒ 1984 හෝ 85 විතර වෙන්න ඇති හරියටම අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව තිබ්බ අවුරුද්ද.මරු කොත්තුව රවී අපි හැන්දෙන් කෑවේ.

      • Ravi says:

        හැලප,

        අර මාලිංගය කිව්ව වගෙ අ***** ***යි, යකෝ ඒ කොත්තු පොට් එක තමයි මමත් කියන්නෙ. ඕක තිබ්බෙ කච්චේරියට පොඩ්ඩක් එහා. කඩ දොළහෙ. අනුරාදපුරේ එහෙමනෙ තිබ්බෙ. කඩ දොළහ, කඩ පණහ, කඩ තිහ ..අන්න එහෙම. මම ඔය කිව්වෙ 83 දෙසැම්බර්. පණ්ඩුලගම ගම් උදාව තිබ්බෙ මචං 84 ජූනි.ඒ කාලෙ අම්මල අනුරාදපුරේ හිටියෙ නෑ. මම තනියම හිටියෙ ප්‍රිසන් එකේ යාලුවෙක්ගෙ ක්වාටර්ස් එකේ නැවතිලා. ගම් උදාව ඉවර වෙනකල් ගියා හැමදාම වගේ.

      • helapaya says:

        රවි,
        අන්නහරි මචං,ඔය කඩේ තිබ්බෙ කච්චේරිය හරියේ තමයි,බලපං අපි ඒ ගම් උදාවට ගිහිං අවුරුදු තිහකුත් වෙන්න එනව නේද.අද ඊයෙ වගේ බං.
        අර කොත්තු පොට් එක තාම තියෙනවද දන්නෙ නෑ නේද මචං,උඹ හොයල බැලුවේ නැද්ද.

    • රවී…..කොල්ලුපිටියේ පෙරහැර බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය වගේ ලොකු නොවුනාට වැඩේ හොඳට ගියා. එතකොට ගංගාරාමේ පෙරහැර පටන්ගන්න රෙඩි වෙන කාලේ. මට මතකයි කොල්ලුපිටිය පන්සලෙන් අවශ්‍ය දේවල් අරන් යනවා ඒ පෙරහැරට. මට මතක හැටියට නවම් පෙරහැර පටන් ගත්තේ 78-79 කාලේ.
      ක්‍රිම්ප්ලින් කියන්නේ ඒ දවස්වල ඉතින් හරි ඉහලයි. ක්‍රිම්ප්ලින් කමිසත් තිබුනා මචං. මෙහේ ක්‍රිම්ප්ල් වැලි කියන පැත්තේ තමයිලු ඔය ක්‍රිම්ප්ලින් රෙදි ෆැක්ට්‍රිය එක තිබුනේ. සොකො ,හාරා කියන රෙද්දකින් කලිසමක් මැහුවේ රස්සාවක් හම්බවුනාම තමයි. ඔය කාලෙද කොහෙද ගරුඩා, මොන්ඩියා කියලා ඔරලෝසු ආවේ ඒකත් නැගලා ගියානේ. ඒවා තුලින් තමයි සාමන්‍ය මිනිස්සු ඔරලෝසු බඳින්න ගත්තේ.

      1982 මගේ යාළුවෙක් රට ගියා රස්සාවකට. උගේ නම කුමාර බාලසූරිය. පොර නිවාඩුවට එනකොට මට ලීවයිස් ඩෙනිම් එකයි, චීස් ක්ලෝත් ගති ෂර්ට් එකකුයි ගෙනත් දුන්නා. නළුවා වගේ බහින්නේ ඕවා ඇඳගෙන. මට පෙසන්ස් මතකයි රවී. වෙන කොහෙවත් ලීවයිස් තිබුනේ නැහැ. ඩෙනිම් කේස් එක නැගලා යන කාලේ තමයි රත්මලානේ ජිල්, මයුරා ගාමන්ට්ස් ඩෙනිම් රේන්ජ් එකක් ඉන්ට්‍රඩියුස් කරේ. කොල්ලුපිටියේ හන්දියේ ෂෝරූම් එකක් තිබුනා. ලීවයිස් ගන්න බැරි අයට ඒක නැගලා ගියා. ජිල් ගාමන්ට්ස්ලා ගහපු ඩෙනිමේ නම මතක නැහැ. ආනන්ද ගනේගොඩ පවුලට නේද ඕක අයිතිවෙලා තිබුනේ. පස්සේ ජිල්, මයුරා මුකුත් නැතිවුනා.

      • Ravi says:

        මචං අරූ. Wrack සහ Lee නේද ඔය ඩෙනිම් දෙකේ නම්..මට යන්තමට එහෙම මතකයක් තියෙනව. මරදානෙ තිබ්බ ජෝන් බ්‍රදර්ස් කිට්ටුව ජිල් ගාමන්ට්ස් එකේ ෂොප් එකක්. ඕකට අපි යනව ඒ දවස්වල සතියකට සැරයක් වගෙ, 🙂

      • මතක නැහැ රවී….. Wrangler තමයි අනිත් පොපියුලර් බ්‍රෑන්ඩ් එක.

  20. මොනවා කියන්නද මචෝ උඹේ ජීවිතේ නම් අත්‍දැකීම් සාගරයක්. ඒ වගේම උඹට හමු නොවුනු මිණිසෙකු නැති බැව් මගේ හැඟීමයි.. ජයම වේවා!!

    • ඔව් ගුණේ…..ඔය නා නා ප්‍රකාර බුවාලා සෙට්වුනා එක් එක් කාලවලදී. සමහර එව්වා මතකත් නැහැ. ඔහොම දිගටම කියවපන්කෝ.

  21. helapayaa says:

    හරි හරි කිසිම හදිස්සියක් නෑ හෙමිහිට ලියපං මචං,උඹට කියන්න මගේ එක කතාවක ඔය පොන්න කියල ලිව්වා කියල මේකෙ උන් මාව මරාගෙන කෑවෙ නැතුව විතරයිඒ කාලෙ උඹ මේකට ඇවිත් නෑ,අන්තිමේ පොන්නයන්ගෙනුත් බැනපු උන්ගෙනුත් කොන්දේසි විරහිතව සමාව ඉල්ලගෙන බේරුණා.ඒ කාලෙ ඔය හොඳ නරක බේදයක් බලන්නෙ නැතුව පොන්නයට පොන්නය කියල කිව්වා වෙන මොකා කියල කියන්නද.

    • ඔව් බං ඉස්සර නම් පොන්නයා කියලා තමයි කිව්වේ. පොලිටිකල් කරෙක්ට්නස් එක්ක ඒ වචණ භාවිතයෙන් ගිහිල්ලා. වචන නම් භාවිතයෙන් ඉවත්වෙලා, හැබැයි මිනිස්සුන්ගේ හිත්වල කරෙක්ට්නස් එකනම් තාම ගිහිල්ලාද මන්දා..සුද්දාගේ රටේත් වචන භාවිතය බොහොම පරිස්සමින් කරන්න ඕන බන්. සමහර දේවල් නම් ගොන්පාට් කියලා හිතෙනවා. දැන් දැන් හරිම වාචික සංවරකමක් තියෙනවා මානසිකව කොහොම වුනත්. මම දැක්කා රවියා හෙන ලිස්ට් එකක් දාලා තිබුනා එක දවසක්.

      ඒ උඹේ සංවාදයට වැටුනු පෝස්ට් එකේ ලින්ක් එක දාපන් පුළුවන් නම්.

  22. Kenji @ Japan says:

    වර්ණනා කරන්න වැඩක් නැහැ සුපිරි මතකයට…ඔහොම ලියාගෙන යමං මචෝ…
    මම උඹේ කතාව වගේම අනිත් එවුන් කොටන කමෙන්ට්ස් සහ ඒවාට දෙන රිප්ලයි වලිනුත් කතාව තවත් රස වෙන එකට ආසයි.
    ඔය කාලේ ලව් කරපු ඒව ගැන කාටද බං අමතක නොවන්නෙ…
    උඹේ මස්සිනා දන්නව ඇති පිචර් ෆීල්ඩ් එකේ හිටිය ජෙනරේටරය හයර් කරද්දී ඒක අරං එනවා පොරක් කරු කියල.
    ඌ ට පිරිමියෙක් ඉස්සරහ කිහිල්ලට ඇගිල්ලෙන් ඇන්නොත් අම්මට අරක කරන්න කියාගෙන සෙට් එක මිරිකනව.
    නිලියො ඉස්සරහ එහෙම කලාම අර වචන සෙට් එක කියාගෙන ඇගිලි රවුම් කරගෙන මිරිකන්නෙම රණ තිසර යුගලය.
    දෙනවක ආච්චිගෙත් මිරිකුවද කොහෙද….. ඔන්න උගේ සැප….

    • කෙන්ජි……මමත් ඇත්තටම රස විඳින්නේ පෝස්ට් එකට වඩා කමෙන්ට්ස්. එතන තමයි මම ආතල් ගන්න තැන. අනිත් එක මචන් පෝස්ට් එකේ ඔක්කොම ලියන්න බැරිනිසා කමෙන්ට්ස්වල රිප්ලයි වල ලියනවා. මට ඕන මගේ ඇතුලේ තියනදේ කොහේ හරි ලියලා තියන්න.

      මචං උඹ ඔය කියන කිචිබුවා ගැන මට කවුද කියලා තියෙනවා. මචංගෙන් අහලා බලන්න ඕන විස්තරේ. ඌ අනිවාර්යෙන් දන්නවා ඇති. ඌත් සොමි පොරක් නිසා. ඔය ෆීල්ඩ් එක ආතල් උතුරන ෆීල්ඩ් එකක් බව මම අහලා තියෙනවා.

  23. Damith says:

    අරු අයියෙ මේ,හදිසිවෙලා මෙක කොට කරනව එහෙම නෙමෙයි.හිමිහිට ලියපන් කිසි දෙයක් මගඇරෙන්නෙ නැතිවෙන්න.ඔන්න කිවුව හරිය

    • හරි හරි දමිත්…මතකය දිග හරින්න ගියාම ලිමිට්ස් නැහැ බන්. හෙමින් හෙමින් ලියාගෙන යන්නම් උඹලා කියවන තාක් කල් 😀

  24. ගුණදාස ලියනගේ ගේ ශෛලියෙන් ලියා තිබෙනවා. බොහොම වේගයන් ගලායන කතාව. මමත් අරවගේ අතින් අල්ලාගෙන පෙරහැර බලපුවා මතක්වුනා මානියංගම කරල් පෙරහැරේදී 1970 දශකයේදී. දන්නවා ඇති නේද ඒ පෙරහැර ගැන. ඒ වගේම තමයි කබුලුමුල්ලේ දේවාල පෙරහැරත්.

    ඔය ඇඟිල්ලෙන් එන්නම අරවා කියන සමහරු කරන්නේ බොරුවක්. ජනප්‍රිය වෙන්න කරන දෙයක්.

    • විචාරක……මම ඉතින් ඔහේ ලියාගෙන යනවා. එක එක ලේඛකයින්ගේ පොත් කියවලා තියෙන නිසා එක එක රිද්ම් වලින් ලියවෙනවා ඇති. ගුලි මහත්මයා ඉස්සර දෙල්කඳ පොළට එනවා. හරි ගාම්භීර පාටයි. පුතා දැන් නිවේදක, ලේඛන කටයුතු වලින් ඈත්වෙලා වගේ නේද? දුව නම් තාම සිරසේ ඉන්නවාද කොහෙද..මම කැමති ප්‍රවෘත්ති නිවේදිකාවක්.

      මානියංගම පන්සලට (ගල යට )මම ගිහින් තියෙනවා. මට පෙරහැර එතරම් මතක නැහැ. ඒ පන්සල හරි ප්‍රසිද්ධයි නේද විචාරක. කබුලුමුල්ලේ පත්තිනි දේවාලේ තියෙන්නේ කරවනැල්ල පැත්තේ නේද? අතින් අල්ලන් පෙරහැර අයගේ අත් අතහැරුනාද 😀

      කිචි සීන් එකනම් සමහරු බොරුවට කරනවා. ඔය ජේමිස් උනත් කට්ටිය ඉන්නවානම් කිචිය වැඩියි. කිචි කවන්නේ ලොක්කෙක් නම් එතකොටත් වැඩියි.

  25. Itnishantha says:

    ඔච්චර පරණ නොවුනත් ඔය වගේ කියන්න සුන්දර සිදුවීම් ගොඩක් මටත් තියනවා. මට තේරුම් ගන්න බැරි කොහොමද මේවා මේ පිලිවලට ගලපලා ලියන්නේ. මට හිතට එන වේගෙට අකුරු කරන්න බැ. හැබැට කොහොමෙයි මේවා මේ මෙච්චර පිලිවලට පෙළ ගස්වන්නේ. හැමදාම වගේ සුන්දරයි.

    • හලෝ නිශාන්ත…..මගේ ඔය කිසිදේක එච්චර පිලිවෙලක් නැහැ බන්. මතක තියෙන දේවල් සුමානෙකට සැරයක් හිතිච්ච ගමන් කොලේක ලියලා ටයිප් කරනවා. මොන එකක්ද මන්දා කාටහරි කියවගන්න පුළුවන් විදිහට ලියවෙනවා. එහෙම නැතුව ලොකු දක්ෂකමක් ඇතිව ලියනවා නොවේ.

      උඹේ බ්ලොග් එක මම මෑතකදි තමයි දැණගත්තේ. අපේ මල්ලිත් මට හිතෙන හැටි කියලා බ්ලොග් එකක් ලිව්වා ඒ දවස්වල. ඒක වර්ඩ්ප්‍රෙස්. දැන් මෑන් ඒක ලියන්නේ නැහැ වැඩ වැඩියි කියලා. ලඟදි පොතක් නම් පළකලා.

      නිශාන්ත ලස්සනට ලියනවා. හැබැයි දිගටම ලියන්නේ නැහැ නේද? වැඩ ඇති මගේ හිතේ.

  26. අර කිළුටු මනුස්සයා උයන කෑම කාපු අරූලට ටෙටනස් ගහන්න වුනේ නැද්ද? මට මේ පෝස්ට් කියෙව්ව වෙලේ ඉඳන් ඒ මනුස්සයා මැවිලා පේනවා. අම්මෝ… මම එහෙම වුනා නම් නම් ….
    කොයි තරම් වෙලාව හිඟකමක් තිබුනත් ඔබේ කතාව කියවන්න නම් කොහොම හරි ගොඩවෙන්නේ මේ අස්සේ හැබෑ මනුස්සයෙක් ඉන්නවා කියලා මම තදින් විශ්වාස කරන හින්දමයි.

    • රංගි……මම දන්නවා රංගි කොහොමත් මේක කියවනවා කියලා. මොන එකක්ද මන්දා මට සමාජයේ නොයෙකුත් ස්ථරවල මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුනා හරියට. මුඩුක්කුවේ ඉඳන් රජ මැදුර වෙනකම් කිව්වත් වරදක් නැහැ. මේ ඔක්කොම සැබෑ චරිත. සමහරු අදටත් ජීවත් වෙනවා. සමහරු මියගිහින්. තව බොහෝ අය රංගිට මගේ කතාව ඇතුලේ හමුවෙයි. මම හැමදාම මගේ ළමයාට පවා කියන දෙයක් තමයි මහ පොලවේ අඩිය ගහලා ජීවත්වෙන්න සහ එහෙම ජීවත්වෙන මිනිස්සු ඇසුරු කරන්න කියලා. ඒ පාඩම් පොත් මොන ප්‍රොෆෙසර් කෙනෙක්වත් කියලා දෙන්නේ නැහැ රංගි. සත්තකින්ම. මම ලියනදේ ඇතුලේ ඉන්න මේ චරිත දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකකින් හරි හමුවෙන්න ආසයි.

  27. වනාතමුල්ලේ සර්දානන්ද, ට පසුව වනාතමුල්ලේ සුනිල් චරිතය කරලියට පැමිණ ඇත. නමුත්, මොවුන් සමකාලීනයෝද?

    • නිම්මි…..සර්ධානන්ද අයියා තවමත් ජීවතුන් අතර ඉන්නවා නම් දන් අවුරුදු 65-70වත් වෙන්න ඕන. වනාතේ හරි ෆේමස් පොරක් තමයි ඒ කාලේ. සුනිල් ඊට ගොඩාක් බාල ඇති. මොනවා වුනත් මේ ණයත් නැහැ-බයත් නැහැ මොඩ්ල් එකේ මිනිස්සු. වනාතේ මිනිස්සු අප්සට් වුනේ 1980 ගණන්වල කුඩු ලංකාවට එන්න ගත්තට පස්සේ. නැත්නම් වනාතේ හිටියා නියම කෙලින් මිනිස්සු කොටසක්. ඒ වගේ තැන්වලට තමයි කුඩු,ටැබ්ලට් වගේ ඒවා දාලා ලුම්පන් කොටස් බිහිවෙනවාට පාලකයෝ කැමති.

  28. Bindi says:

    අපිට බලා ඉන්න එක ලේසි වුනාට පෙරහැරක් සංවිධානය කරන එක පන යන වැඩක් වෙන්න ඇති. හැබැයි ඉතින් සල්ලිම බලාගෙන නෙමේ ඔය කණ්ඩායම් එන්න ඇත්තේ . ආගමික වැඩක් නිසා . මම නම වැඩිය බලල තියෙන්නේ කැළණි පෙරහැර . ප්‍රධාන පෙරහැර වලට කලින් මල් පෙරහැරවල් යනවනේ . දහම් පාසලේ ළමයි ඕකට යන්නම ඕනේ. ඉවර වෙලා ගෙදර එන්න තිබ්බ ප්‍රවාහන දුෂ්කරතා නිසා වගේම කම්මැලි කම නිසාත් මම නම් ඔව්ව මග ඇරියා . අනිවාර්ය වුන කීපයකට ඇරෙන්න .
    ආගමික කටයුතු වලට වඩා දහම් පාසල මට වැදගත් වුනේ සාහිත්‍ය කළා කටයුතු වලට.
    අපි පොඩි කාලේ අනිවාර්යයෙන් බලන්න යන්නේ දෙවෙනි පෙරහැර . මහා පෙරහැර වඩා ලස්සන වුනත් සෙනග වැඩි නිසා එකම පාරයි මහා පෙරහැර බලල තියෙන්නේ . දෙවෙනි පෙරහැර ටිකක් කලින් පටන් ගන්නවා . ඒ කාලේ වේලාසනින් ගිහින් ඉඩක් අල්ල ගන්නවා. දැන් වගේ ගෙයක් ගානේ ශීතකරණ තිබ්බ නැති ඒ කාලේ පෝයක් පෙරහැරක් දාට අපි පන්සල් යන්න වැඩියම ආස අයිස් ක්‍රීම් එකක් ලැබෙන නිසා. වැඳලා ගාථා ටික එහෙන් මෙහෙන් කියන ගමන් හිත නම් තිබ්බේ අයිස් ක්‍රීම් වැන් එක ගාව
    තව ඉතින් රසම රස මිගමු අලුවා . දැන් තියෙනවද මන්දා . ඒ කාලේ මිගමු පැත්තේ ගැහැණු අය හදන අලුවා දිග අතට කෑලි කපන්නේ
    .පොල් පැණි වලින් වෙන්න ඕන හදන්නේ පුදුම රසයි. මිගමු පැත්තේ ඉස්කෝලෙක උගන්නන කාලේ ආයෙම කන්න ලැබුණ මට ඒ ජාතියේ අළුවා .
    පහේ හයේ පන්ති වලට ගියාට පස්සේ අපි පෙරහැර බලන්න යන්න කම්මැලි වුණා . බෙල්ල උළුක්කු වෙනකම් පෙරහැර කොයි වෙලේ පටන් ගනීදැයි බල බල ඉන්න එක , දඟර දාපු එක එක ජාතියේ බැලුන් ඒ වෙනකොට එච්චර සතුටක් ගෙනාවේ නැති නිසා වෙන්න ඇති. අලි කියක් ගියාද කියල ගණන් කරන්න තමයි පොඩි කාලේ ආසම වුනේ. අලි පව් කියල නම් ඒ කාලේ හිතිලම නැහැ . අද දන්නවා වැඩි සහ හිතනවා වැඩි නිසා පෙරහරකින් එදා ලබපු සතුට කොහොමත් ලැබෙන එකක් නැහැ .

    • Itnishantha says:

      අද දන්නවා වැඩි සහ හිතනවා වැඩි නිසා පෙරහරකින් එදා ලබපු සතුට කොහොමත් ලැබෙන එකක් නැහැ

      ඒකනම් සහතික ඇත්ත. අපරාදේ කියලා හිතෙනවා අපේ ගමේ ගෙවල් කීපයක් තියනවා තාම අධ්‍යාපනය ගැන වැඩිය හිතන්නේ නැති අඩු වයසෙන් විවාහ වෙන එදිනෙදා කුලියක් කරලා ජීවත් වෙන කට්ටියකගේ. වෙලාවකට මට ඊරිසියා හිතෙනවා රෑ තිස්සේ ළමයි ලපටි ඔක්කොමත් එක්ක නෑදෑයෝ හැමෝම රංචු ගැහිලා කිලෝමීටර ගණන් උනත් පයින් යන්නේ පින්කම් පෙරහැරවල් එකක්වත් අතහරින්නේ නැතිව. ඒ මිනිස්සු පුදුම විදිහට සතුටු වෙන්නේ.

      • @ නිශාන්ත…….මම හිතන්නේ ඒ සමාජ ස්ථරවල ඉන්න අයට සතුට සඳහා විවෘතව තියෙන දොරටු හරිම සීමිතයි. නාස්ති කරන්න මහ ලොකු මුදලක් නැහැ. පෙරහැර, පින්කම් පොළ, නිකම් පෙන්නන සංගීත සංදර්ශන වගේ දේවල්වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. සමාජය තුල අපි නොහිතන අති විශාල ගැප් එකක් තියෙනවා බන්. ඒවා ඔක්කොම තිරයකින් වහලා තියෙන්නේ.

    • බින්දි……හොඳ කරුණු රාශියක්. තැන්ක්ස්.
      පෙරහැරට එන කංඩායම්වලට යම් යම් තෑගිත් දෙනවා. ඒත් සමහර කංඩායම් වෘත්තීය වශයෙන් තමයි පෙරහැරවලට එන්නේ. ඒ එන සමහර උදවිය හරි වයසයි බින්දි. මට දැන් ඒවා මතක්වෙන කොට සුනිල් එදිරිසිංහගේ “නටනවා නෙමේ තාලෙට කකුල් සෙලවෙනා” පද තියෙන ගීතය මතක් වෙනවා. මට ඒ ගීතය දැන් ඔළුවට එන්නේ නැහැ.

      අපිට ඉස්සර ඔය පහසුකම් නොතිබුන නිසාම වෙන්න ඇති අයිස්ක්‍රීම්වලට ඔච්චර පෙරේත වෙන්න ඇත්තේ. ඒ කාලේ තිබුනේ වුඩ්ලන්ඩ්ස් සහ ඇලරික්ස් අයිස්ක්‍රීම් විතරයි කොළඹ. හංවැල්ලේ පැත්තේ තිබුනා කඩුවෙල චන්ද්‍රා අයිස්ක්‍රීම් කියලා වෑන් වගයක්.

      බින්දි මීගමු අළුවා කියලා මතක්කරපු නිසා මම මේ ලින්ක් එක දාන්නම් මීපුර වෙබ් සයිට් එකේ තිබුනේ. ඔයා ආසවෙයි කියවන්න. http://www.meepura.com/?p=11159 ඔය අලුවා පොල්පැනි වලින් තමයි හැදුවේ. ඉස්සර රෙද්දේ හැට්ටේ ඇඳපු ආච්චිලා තමයි ඕඅවා ගෙනත් විකුනන්නේ. දෙල්කඳ පොළටත් ගෙනාවා.

      මටත් පොඩි කාලෙන් පස්සේ පෙරහැර කියන සබ්ජෙක්ට් එක එතරම් විනෝදයක් ගෙනාවේ නැහැ.

      • Bindi says:

        වුඩ්ලන්ඩ්ස් සහ ඇලරික්ස් අපේ පැත්තටත් ආවා . ස්තුතියි ලින්ක් එකට ..පස්සේ කාලෙක ස්වීට් හවුස් සහ වෙනත් කඩ එන්න ගත්ත පෝයටයි පෙරහැර කාලෙටයි. මිගමු අලුවා තාම එනවද මන්ද. අර කිවා වගේ ඔව්ව සොයන්න අපේ උනන්දුවක් නැතුව ගියානේ

  29. Anonymous says:

    test

  30. Thushani says:

    සමාජයේ හුඟක් පැති ගැන ලියවිලා තියෙනවා. වෙනදා වගේම හරිම ආසවෙන් කියෙව්වා …

  31. ආමි ජිනේ...... says:

    මේ දරුව ඉගෙනගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් කරල තියෙනවා වගේ……

    • ජිනේ…….උඹ ආමි උනාට කමක් නැහැ…ආයුධ බිම තියලා වරෙන්..අපි නිරායුධ මිනිස්සු 😀

      උඹට කියන්න…. ඉගෙණගන්න බැරිවෙච්ච එක හොඳයි. අධ්‍යාපනය අව තක්සේරු කරනවා එහෙම නෙවෙයි හොඳේ. මොකද ඉගෙණගෙන ඔය කොහේ හරි ගියානම් මට මගේ මේ ආදරනීය බිරින්ඳෑ හම්බවෙන්නේ නැහැ. මාව හරියටම හඳුනගත්ත, මට නිසි රැකවරන දෙන කෙනා මට සෑහෙන්න වටිනවා. අපි හමුවුනේ මම වැඩ කරපු තැනකදි. බලපන් ජිනේ, මට දෛවය කොච්චර කාරුනික වෙලා තියෙනවාද කියලා ඒ අතින.

      මට මුලු ලොවම ඔබයි
      මගේ මුලු ලොවම ඔබයි
      සිනහව කඳුළ ඔබයි
      ජය පැරදුමත් ඔබයි…..
      කියලා කියන්නේ බොරුවටද.

      • Ravi says:

        අරූ,

        අඩේ උඹට වෙන සිංදුවක් තිබුනෙම නැද්ද බාං උපුටා දක්වන්ට? ඕක මහ ජරා සිංදුවක්නෙ 😦

      • ඔව් මේ සින්දුවට මාර ස්ටෝරිස් ටිකක් තියෙනවා නේද?

  32. මේ පොස්ට් එක කියවන්න පරක්කු උනා. කලින් කියවාපු එව්වෝ ගැන ඉරිසියාවකුත් එනවා. මහා නවකතාවකට චරිත මෙතන තියෙනවානේ බන්. බලාගෙන ගියාම මේ නායක හාමුදුරුවෝ අමුතුම කොලිටියේ චරිතයක් .

    • තිලකේ…….ඔය හාමුදුරුවෝ පවුඩර් බබෙක්වත් බාගෙට රහත් ටෝක් දෙන බමුණෙකුත් නෙමෙයි. යතාර්ථවාදි චරිතයක්. නියම විදිහට ජීවිතේට මුහුණ දුන්න කාටත් උදව්කල එක් යුගයක අමතක නොකලහැකි චරිතයක්.

  33. aruge adaviya නිවී සැනසිල්ලේ කියවමින් රසවිඳින මටයි ලියන්නට දෙයක්නැතුවා වගේ පෙනෙන්නේ ඔබේ නිබන්ධනය බෙහෙවින්ම ප්‍රිය කරන්නන් අතරට මාවද එක් කරගන්න. ලිපි පෙළ වටා එක්ව සිටින අදහස් දක්වන පිරිස බුද්ධි මණ්ඩලයක් වගේ!. දැන් දැන් බ්ලොග් වියන්නට අදහස් දක්වන්නට එකතුවී සිටින අපේ තරුණ පෙළ ගැන ඇති වෙලා තියෙන්නේ මහත් අඩම්බරයක් !

    • වනක්කම්…වනක්කම්….ගුණසිංහ මහත්මයා…මම ඇත්තටම මේ ලියන පෝස්ට් එකට වඩා රස විඳින්නේ මේ කියවන අයගේ අදහස්. ඒ අදහස් මගේ ලෝකය තව තවත් පුළුල් කරනවා. මතකය අවධි කරනවා. ඇත්තටම ඔබ කිව්වා වගේම මේ වටා ඉන්න පාඨකයින් මට වඩා උගත් බුද්ධිමත් පමනක් නොව ,ඔවුන් සොඳුරු රසවතුන්. ඔවුන් මාව අවධියෙන් තබාගන්නවා. ස්තූතියි පැමින කියවනවාට. හැකි විටක කියවන්න.

      • ඔබේ අදහසට මාත් එකඟයි. කිසියම් නිමැවුමක රසය විඳින්නේ පරිභෙෘ්ජනය කරන අයයි. “අම්මා කිසි දිනක හොද්දේ රස දන්නෑ” කියල මේ පැත්තේ ඇත්තන්ගේ කියමන තුළින් පැහැදිලි වන්නේ එයයි.
        රසවිදින්නාට කාලය අවශ්‍යයි. අපේ බ්ලොග් ලෝකයට පිවිස ඇති බොහෝ දෙනකුගේ නිර්මාණ ප්‍රතිභාව ප්‍රසිද්ධ මාධ්‍යයට පෙනී නැහැ වගේ. කොහොමටත් දැන් දැන් අපේප්‍රබුද්ධ තරුණ පෙළ වෙළඳ අරමුණම පෙරමුණට ග්ත හැම වර්ගයකම මාධ්‍ය වලින් ඈත්වෙමින් ඉන්න බවක් පෙනී යන්නැද්ද බලන්න.

      • හොඳ වර්ධනයක් පේන්න තියෙනවා. ඒක ඔසවා තබන්න වැඩිහිටි පරම්පරාවෙන් දෙන තල්ලුව මදියි. බලන්න හරි හමන් නාට්‍ය , චිත්‍රපටි උළෙලක් වගේ දේවල් වලට වියදම් කරන සල්ලි හා ඉලව් සුපර් ස්ටාර් තරඟ වලට වියදම් කරන මුදලුයි ගලපලා. මේවා කියන්න පුලුවන්. අහන්න අය නැති එකයි ගුණේ මහත්තයෝ වැඩේ.

  34. මට නම් අරුණ අයියේ පෙරහැරවල් පෙන්න බැහැ … වෙන මොකක්වත් හන්ද නෙමෙයි පාරවල් පුරා ඇතිවෙන ට්‍රැෆික් නිසා.

    කුලියාපිටිය, වරකාපොළ , පානදුර , අලුත්ගම වගේ පැති වලදී පැය ගණන් පාරේ හිර වෙලා ඉඳල තියනව… ඒ වෙලාවට නම් ඉතින් ශ්‍රද්ධාව දොරේ ගලාගෙන යන හන්ද කටින් කුණු හබ්බම තමයි පිට වෙන්නෙ.

    කොහෙද මේ සම්මජ්ජාතියේ නිවන් යන්න හම්බ වෙන්නේ නම් නැහැ හෙක් … හෙක් … 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s