අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද?

මමත්, අම්මාත් පන්සලෙන් පිටත්වී නිවෙස් බලා යාමට තීරණය කෙරුවෙමු. මගේ පළමු නවාතැනින් පිටත්වීමට සිදුවූයේ මගේ කුඩාකමට සිදුවූ නොදැනුවත්කම නිසාම යැයි මම හිතමි. නමුත් අද මේ පිටත්වන්නේ නොදන්නාකම නිසා නොව වගකීම් අමතක කර හුදු ආත්මාර්ථකාමය නිසාම හුරුවූ රස්තියාදුකාර ජීවිතයට හැඩගැසීම බැවින් යැයි කීමට මම මැලි නොවෙමි. මට වඩා බොහෝ දුෂ්කර ගමන් මාර්ගයන්හී ඇවිදගොස් ජීවිතය ,අධ්‍යාපනය තුළින් ගොඩ නගාගත් ඇත්තෝ බොහෝවූහ. පන්සලේ නේවාසිකව සිටි තරුණ හිමිවරුන් බොහෝමයක් ඊට නිදසුන්ය. දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වන්නට සිදුවීම කිසිසේත්මනිදහසට කාරණයක් නොවේ. මම වගකීම් සහ හුදු වින්දනය අතර අතරමංවූ ගැටවරයෙක් යැයි කීම නිවැරදිවේ. දහසක්දේ හිත තුළ වදයක් වෙන්නට පටන් ගති. සියල්ලක් දෙස උපේක්ෂාවෙන් බලන්නට හුරුපුරුදුවී සිටි අම්මා, මාද කැටුව තර්ස්ටන් පාරේ රහීම හෝටලයට ගොඩවී උණු තේ කෝප්පයක් බොමින් ආගිය තොරතුරු විමසන්නට යෙදුණි. අම්මාගේ තිබු ඒ උපේක්ෂාසීලි යහගුණය අදත් එලෙසම පවති. කුමන කරුණක් හෝ අරභයා දුකක් කනස්සල්ලක් ඇතිවී ඇය හා කතාකළොත්, ඔන්න ඔය කට්ටියම ඇවිත් මෙහේ වැටිලා ඉන්න..පුළුවන් විදිහට කාලා බීලා ඉමු..ඒ ඇයගේ පිළිතුරය. ඇය මෙසේ පවුලේ අනිකුත් අයටත් කියාසිටිනා බව ඔවුන් මට පවසා ඇත. ඇය කවදාත් අප සියල්ලකගේම අයෝමය ශක්තිය විය. ඇය ගැන ලිවීමට නිදසුන් බොහෝමයකි.

වසර එක හමාරකට ආසන්න කාලයක් නිදහසේ පයින් ඇවිදගෙන ගොස් පාසලට ගොඩවීමට තිබු පහසුතම නවාතැන පන්සල විය. මට එය තදින්ම දැනුණේ, පන්සලට යාබදම පාරේ විශාල නිවසක නවාතැන් ගෙන ඉගෙනුම කෙරූ බැසිල් නානායක්කාර ඒ අසලින් නිවෙස් කරා ගමන් කරනු දුටු විටය. මට නවාතැනක් සොයා ගත යුතුය. බස් ගාස්තු වෙනුවෙන් මුදල් තිබිය යුතුය. නවාතැන් පොළ කවර ආකාරයේ විය හැකිද, කොපමණ මුදලක් ගෙවිය යුතුද ආදී වශයෙන් ප්‍රශ්න රාශියක් සිහියට නැගුණේ, අම්මා සමග තේ බොමින් පැවති සතුටු සාමිචිය අතර තුළය.

මේ වනවිටත් තාත්තා රැකියාව කරගෙන යනමුත්, මාසිකව ගෙදර නඩත්තු කිරීමට මහා මුදලක් ඉතිරි නොවන බවත්,තවමත් අපේ මුලු පවුලේම ස්ථිර ආදායම් මාර්ගය ආච්චීගේ විශ්‍රාම වැටුප පමණක් මම දන්නෙමි. තාත්තා තවමත් ණය උගුලෙන් ගොඩවී නැත. අම්මා කිසිවිටෙකවත් තාත්තාගේ දොසක් කියන්නේද නැත. තැන තැන දොස් කිය කියා පසුතැවිලි වීමෙන් පලක් නොවන බවත්, ඒ නිසාම තාත්තා වැරදි හදා ගන්නේ නැති බවත් අම්මා දැරූ අදහස විය. තම පුරුෂයා ගැන නිවැරදිම තක්සේරුව කරන්නේ එම බිරිඳ හැර වෙන කවුරුන්ද? අප පවුලේ උදවිය මේ වනවිට පදිංචිව සිටියේ හංවැල්ල, තුන්නානට නුදුරින් ඊරියගොල්ල ගමේ කුඩා කඩ කාමරයක් බඳු නිවසකය. තාත්තාගේ පියාවු හංවැල්ලේ සීයාද හිටියේ ඒ නුදුරේම වුවත් ඔහුගෙන් රැකවරණයක් පැතීම ,අම්මාට ගෝචර නොවීය. කෙසේ වෙතත් සීයාද ඒ වනවිට පොඩි නැන්දාගේ තොවිල්, බවිල් වලට අනවශ්‍ය ලෙස වියදම් කර බොහෝ මුදල් නාස්තිකර ගෙන තිබුණු අවධියකි. ඒ මදිවාට දීගදෙන වයසද ඉක්මවා යමින් සිටි නැන්දලා දෙදෙනාද තවම ගෙදරය. ඔවුන් මේවා කෙසේ ඉවසා සිටින්නට ඇද්ද..අම්මා මේ ගැනද සිතයි. තාත්තාට වගේ වගක් නැති බව ඇයත් මමත් දනී. අපි දෙදෙනා තවමත් තේ කඩය තුළ කතා බහේය. අම්මාට මේ සියල්ලක්ම කියා ඉවර කල ගත යුතු බව සිතේ. ඒ තම ලොකු පුතන්ඩියාටය. නමුත් ඔහුටද පාරක් ඇති නැති ගානය.

මේ කටුක ජීවන තත්වය අම්මාගේ ඇඳුම් පැළඳුම් තුළින්ද, විඩාබර මුහුණින්ද කදිමට පැහැදිලිවේ. ඇයට තවත් දරාගත නොහැකි විශාල බර පොදියක් ඒ හිස මතම පැටවීම මට කිසිසේත්ම කල හැක්කක් නොවීය. මේ සියල්ලෙන් මිදී කොහේ හෝ පලා යන්නට සිත බලකරයි. මගේ සිත තුළ කැකෑරෙමින් තිබු සිතුවිලි ඇය තේරුම් ගත්තා මෙන් තේ බිලද ගෙවා කඩයෙන් පිටත්වූයේ , ඕවා ගැන ඕනාවට වඩා සිතන්නට උවමනා නැතිබව ඉඟිකරමින් මෙන්ය.

දෛවය යනු කොතරම් පුදුමාකාර දෙයක්දැයි මට විග්‍රහ කල නොහැක. මට එවැනි ඥානයක් නැත. කඩයෙන් පිටව පාරට බහිනාවිට, දුම්වැටියක්ද දල්වාගෙන බැබළෙන මෝටර් රථයකට පිටදී සිටින්නේ ජැන්ඩි පහේ සෝමපාල අයියා බව දැක්කෙමි. එදා ඔහුට පන්සලේ රැකියාව අහිමිවී පිටව ගියාට පසු දැක්කේ මේ මොහොතේය. මම ඔහු වෙත ගොස් කථාකෙරුවෙමි. පන්සලේ සියල්ලන්ටම බැණ වැදුණු සෝමපාල අයියා, අප දෙදෙනාව කාර් එකෙන් පහත්ගමට ගොස් ඇරලවන්නට පොරොන්දු විය. සිදුවූ අකරතැබ්බය ගැන සිතා කලබල නොවන ලෙසත්, ඊළඟ සතියේ දිනක තර්ස්ටන් පාරේ රහීම හෝටලය අසළදීම හමුවෙන ලෙස දන්වා අපව ගෙදර අසලින් ගොඩ බැස්සවිය. ඔහු දැන් සේවය කරන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ රියැදුරු ලෙස යැයි කීවේය. තවමත් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සඳහා හාම්පුතාගේ වාහනය යොදා ගනි. අපව ගෙනත් ඇරලුවේත් එසේය. තවමත් පාඩමක් ඉගෙනගෙන නැති හැටිය. කෙසේ වෙතත් මගේ අටවැනි නවාතැන් පොළ ගැන මට අපැහැදිලි චිත්‍රයක් මැවී පෙනෙන්නට පටන් ගති.

ගෙදර ආර්ථික තත්වය අන්ත අසරණ තත්වයට පත්ව තිබේ. ආච්චීගේ පැන්ෂන් එක මාසයෙන් අඩක්වත් පියවා ගැනීමට නොසෑහෙන බවක් කියවේ. අපේ ගෙදර සිටි ඉන්ද්‍රක්කා ,අම්මාට ලිපියකින් දන්වා තිබුණේ මාසයකට වරක්වත් ඇය නැවතී සිටි නන්දක්කාගේ ගෙදරට ගොඩ වැදෙන ලෙසය. ඉන්ද්‍රක්කාද නන්දක්කා සමග හැකි විටක අම්මාට උදව් කළෝය. නුගේගොඩ, දෙහිවල පැත්තේ නැදෑ ගෙවල්වල රවුමක් ගසන අම්මා ඒ අයගෙන් ලැබෙන දෙයක්ද දරුවන්ගේද, ගෙදර අයගේද බඩ කට පිරවීමට යොදවයි. ඒ වනවිට අප ගම් පළාතේ නිතර නිතර ශ්‍රමදාන සහ සමාජසේවා කටයුතු සංවිධානයවූ යුගයක් විය. ෆිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ ඡන්ද ගබඩාවක් වූ අවිස්සවේල්ල ආසනයෙන් ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනයන්ව යූ,එන්.පියේ එම්.ඩී.ප්‍රේමරත්න විසින් වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් පරදවා තිබුණි. අපේ තාත්තාගේ සමසමාජ සහෝදරයා චන්ද්‍රපාල කුමාරගේ ලබා තිබුණේ ඡන්ද දෙදාහක් හෝ තුන් දාහක් පමණි. තාත්තා එදාත් පරාදය. ඒ කෙසේ වෙතත් යූ.එන්.පී.මන්ත්‍රීගේ ළඟම හිතවතෙක්වූ හසන්ත අයියා අපේ ගම් පියසේ සමාජ සේවා සහ ශ්‍රමදාන කටයුතු වලින් ප්‍රසිද්ධ වූයේ මිනිසුන් හා එක්ව ඔහුගේ ගමන සාදා ගැනීමට විය යුතුය. මේ ශ්‍රමදාන වැඩ කටයුතුවලට අම්මාද දහවල් වරුවේ සහභාගිවන බව මම දැනගත්තෙමි. ඒ අන්කිසි දෙයක් නිසා නොව, එතනින් ලැබෙන හාල්, පරිප්පු වියළි සලාකය ගෙදර ගෙන එන්නට බව රහසක් නොවේ. ගමේ බොහෝ ගැහැනුන් මෙසේ සහභාගි විය. තාත්තාට හොරෙන් මේ වැඩේ සිද්ධ වුණේ තාත්තාගේ දේශපාලන අදහස් හා ගැටෙනා නිසාය. නමුත් හසන්ත අයියා, අපේ තාත්තාට ගෞරවයෙන් සැලකීය. බොහෝ කාලයකට පෙර ගමේ අවුරුදු උත්සව, සමාජ සේවා වැඩ බොහොමයක් කර තිබුණේ තාත්තාගේ මූලිකත්වයෙනි. විශේෂත්වය වන්නේ ඒ වියදම් තනිකරම තාත්තාගේ පෞද්ගලික මුදල්වීමය. ඒ එක් යුගයක් පමණි. තාතාගේ දේශපාලන න්‍යායන්ටත්, සීයගේ පුහු මානයටත් වඩා ගෙදර දරුවන්ගේ බඩගින්න වඩා බලවත් බව අම්මා දන්නා නිසා ඇය මහත් උනන්දුවෙන් මේවාට සහභාගි විය. ඇය කැත්ත උදැල්ලේ වැඩ දැන සිටි ගැහැනියක් නොවීය. නමුත් අන් කෙනෙකුගේ බඩගින්න මැනවින් හඳුනගත් අති උතුම් ගැහැනියක් විය. තාත්තාට දරුවන්ගේ බඩගින්නට වඩා දේශපාලනයත්, මිතුරු ඇසුරත් වඩා වැදගත් වූයේ වැඩට ගෙනියන්නට අම්මා බත් මුලක්ද බැඳ තබා දෙන නිසා විය හැකිය. කෙසේ වෙතත් මම ඔහුට දොස් නොකියමි. ඔහු නරක මිනිහෙක් නොවීය. අපේ අම්මා මේ සියලු දුක්ඛ දෝමනස්සයන් කෙසේ ඉවසා සිටින්නට ඇද්දැයි මගේ බිරිඳ නිතර විමසා සිටියි. මගේ මෑණියන්ගේ හොඳම මිතුරුය වීමට මා බිරිඳ සුදුසුකම් ලැබීම මට ඔටුනු පළඳනවාට වඩා වටිනේය. අදත් ඒ මිතුදම එදාටත් වඩා ප්‍රබලය. අම්මා කියන්නේ ඇය අප පවුලේ වැඩිමහල් දියණිය කියාය. බොහෝ කාලයක් රටින් බැහැරව සිටි නිසා ගමේ බොහෝ අය සිතන්නේ මම ඇයගේ බෑනා ලෙසය. මට මුණ ගැසෙනා සමහරක් තරුණ ගැහැණු දරුවන්ට තව තවත් ඉගෙනගත යුතු දේ බොහෝ ඇති බව මම හිතමි.

අප පවුලේ දෙවැනියාවූ ලොකු මල්ලි පාසැල් වැඩ කටයුතු කෙරෙහී කිසිම උනන්දුවක් නොදක්වන බව අම්මා මට කීවාය. මගේ පාසැල් වැඩ කටයුතුත් එසේම යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇත. ලොකු මල්ලී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ ඉගෙනිමින් සිටියේය. පාසැල් යනවා යැයි කියා රස්තියාදුවේ යන බවත්, පොතක් පතක් කියවීමටවත් උනන්දුවක් නැති බවත් ඇය කියා සිටී. නිහඬව අසා සිටිනවා හැර මමත් එසේම යැයි කියා ඇයගේ බලාපොරොත්තු බිඳ දැමිය නොහැකිය. මට වරදකාරී හැඟීම්ද අනිවාර්යයෙන්ම දැනෙන්නට ඇත. ලොකු මල්ලී කාර්මික වැඩවලටත්, බර වැඩ කිරීමටත් බොහෝ කැමැත්තක් දැක්වීය. මා ගෙදර සිටි දිනෙක මොහු ගෙදරින් අතුරුදහන් විය. සොයාගැනීමට කල උත්සාහයේදි දැනගන්නට ලැබුණේ, අප නිවස ඉදිරිපස පිහිටි නිවසේ මල්හාමි මාමා නම්වු අයගේ පුතා සමග එකතුවී රත්නපුර පැත්තේ මැණික් පතලක වැඩට ගොසින් බවය. තවත් අකරතැබ්බයකි. තාත්තා, මල්හාමි මාමා සමග ගොස් ලොකු මල්ලීව ගෙදර රැගෙන ආවේය. කිසිම කලබලයක් නොවීය. අම්මාත්,ආච්චීත් හඬන්නට විය. පසුදා ඔහු නැවත පාසැල් යාමට පටන්ගත් නමුත් එය දින දෙකකට සීමා විය. දහවල් පාසැල් ඇරී ගෙදර ඒම කෙසේ වෙතත් පැමිණියේ රාත්‍රී බෝවී ගෙදරින් සොයන්නටත් පටන් ගත් පසුවය. පසුදා පාසැල් ප්‍රධානීන් හමුවු තාත්තාට දැන ගැනීමට ලැබී තිබුණේ පාසැල් එනවාට වඩා නො එනා ළමයින්ගේ ගොඩේ මල්ලී පළවෙනියා බවය. මේ සියල්ලටම මූලික හේතුව ගෙදර නිසි කළමනාකරණයක් නැති බව ඕනෑම කෙනෙක් වටහා ගන්නා බව නිසැකය. ආර්ථිකය බිඳ වැටුණු තැන අන් සියල්ලක්ම කඩා වැටීම වලක්වාලිය නොහැක. නොයෙකුත් අකටයුතුකම් සිදුවේ. මේ සියල්ලටම තාත්තා වගකිව යුතුය. නමුත් කිසිදිනෙක ඔහු වැරදි සාදා ගත්තේ නැත. වියපත්වූවිට පසුතැවිලි වීමෙන් පලක් නැත. දොස්කීමෙන්ද පලක් නැත. ලොකු මල්ලී කියා සිටියේ ඔහුට මෝටර් රථ අලුත්වැඩියාව පිළිබඳ ඉගෙනගත යුතු බවය. ඊට පසු දින තාත්තා දන්නා අවිස්සාවේල්ලේ ගැරෙජ් බාස් කෙනෙක් හමුවීමට දෙදෙනාම පිටත් විය.

එදා පටන් කාලයක් යනතෙක්ම ඔහු එම ස්ථානයේම නැවතීසිට වැඩ උගත්තේය. පසුකාලීනව මෝටර් රථ කාර්මිකයෙකුට වඩා දක්ෂ වැද්දුම් ශිල්පියෙක් විය. ඒ පිළිබඳ හසළ දැනුමක් ඔහු සතුවිය. අවාසනාවන්ත එක් කුරිරු කාලයකින් පසු ඔහුගේ ජීවිතය අති දරුණු උඩු යටිකුරු වීමකට ලක්විය. ඒ සියල්ලක් නැවත නිවැරදි කර ගැනීමට අප සියල්ලෝම අති මහත් මැදිහත් කිරීමක් සිදුකළ මුත් ඔහුද අපේ තාත්තා මෙන්ම වැරදි හදාගත්තේ නැත. ඒ නිසාම ඔහුගෙන් අප සියල්ලටම සිදුවු බොහෝ අකටයුතුකම් විය. ඒ මිනිස් ජීවිතවල හැටිය.බොහෝ කාලයක් අංක එකේ බේබද්දෙක් ලෙස ජීවත්වූ ලොකු මල්ලි දැනටත් අවිවාහක මුත් මත්පැන් සහ සූදුවෙන් තොර සාමන්‍ය ජීවිතයක්, අප සියල්ලකගේම ආදරය සහ රැකවරණය මැද ගෙවා දමයි.

මේ 2010 වසරේ මම ඔහු ගැන ලියූ බ්ලොග් සටහනකි. නොමළ නුඹට

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

96 Responses to අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද?

  1. එක හුස්මට කියෙව්වා
    හැල හප්පිලි මැද ජීවිතය
    නව කථාවක් වගේ රසවත්..

    ජය වේවා!!!

    • දැම්මා නේද මං කියෝන අතර හොර ගෙඩියා 😦

    • ජීවිතේට එක උනාමද කොහෙද ඒකටත් කචල්

    • @ විදානේ……කකා කියනවා වගේ”ජීවිතයම කතන්දර ගොඩක්”…අත්දැකීම් වලින් පිරුනු පෙට්ටගමක්. ඒක තමයි මම මේ පිලිවෙලකට අස්පස් කරන්නේ. තව කාට හරි පාවිච්චි කරන්න. අස්පස් කරලා තිබ්බාම ලෙහෙසියි. වයසට යන්න යන්න අත්දැකීම් වැඩියි..ඒ නිසාම ඒවා පෙට්ටගමේ හැම තැනම විසිරෙනවා. කාලයක් යනකොට උඹටත් හිතෙයි මෙහෙම අස්පස් කරන්න. මම පෞදගලිකව හිතනවා..හැම කෙනෙක් ගාවම ලියා තැබිය යුතු කතා බොහොමයක් තියෙනවා කියලා.

  2. //මගේ සිත තුළ කැකෑරෙමින් තිබු සිතුවිලි ඇය තේරුම් ගත්තා මෙන් තේ බිලද ගෙවා කඩයෙන් පිටත්වූයේ , ඕවා ගැන ඕනාවට වඩා සිතන්නට උවමනා නැතිබව ඉඟිකරමින් මෙන්ය./// මේ වචන වලින් ඔයා කියපු ඒ සිද්දිය මගේ ජිවිතේ අතුලෙත් අත්දැකලා තියෙනවා.. තාත්තා එක්ක.. ඒ වගේම ආච්චි අම්මා එක්ක,, ඒ වගේම ඔයාගේ මතකයන් ගැන පුදුම හිතෙනවා , උදාහරණ විදියට කිවොත් ,, ඒ තේ බීපු කඩේ ගැන. සහ ඒ වගේ සිද්දි..,ඔයාගේ මල්ලි ගැන වෙන්න ඕනේ ලින්ක් එක නේද , කියවලා බලන්න ඕනේ ඒකත්.ඊලග කොටස කියවන්න ඕනේ දවස් දෙකකින් පිටවෙයි නේද මේල් එක 🙂 ජය වේවා

    • ඔමා….ඇත්තටම පුදුම වෙන්න දේකුත් නැහැ. ඔය රහීමා හෝටලේ විතරයි මුළු තර්ස්ටන් රෝඩ් එකට තිබුනු එකම හෝටලය. ඒකත් තිබුනේ නිකම් වලක වගේ බෑවුමක. පස්සේ තමයි හෙන පොෂ් කරේ. පස්සේ තවත් ඒ පැත්තටම අයිනට වෙන්න තව හෝටලයක් ඇරියා. කලම්බු කැම්පස් ගිය සහ ඒ අවට ඉස්කෝලේ ගිය අය දන්නවා ඇති මේ කියන තැන.

      නිවාඩුව රස විඳින්න!!

  3. Kenji @ Japan says:

    අනේ මන්ද මචෝ මොනව කියන්නද කියල … දැන් නිදාගෙන උදේට එන්නම්…

  4. Kenji ogawa says:

    අනේ මන්ද මචෝ මොනව කියන්නද කියල … දැන් නිදාගෙන උදේට එන්නම්…

    • නින්ද යනවා නේද බන් මේවා කියවනකොට 😀
      විහිළුවට කිව්වේ කෙන්ජි..ඇත්තටම හොඳටම අමාරු කාලයක් තමයි ඒක. කොහෙද ඒ කාලේ උඹව දන්නවානම් නවතින්න එන්න තිබුනානේ උඹත් එක්ක 😀 නියමෙට තියෙයි එහෙම වුනානම්.

      • Kenji ogawa says:

        නැතිව මචෝ…එහෙම ආවනම් උඹ අද අර මඩ ගොහොරුවෙ …
        හොද වෙලාවට ….මුන නොගැහුනේ ……… 🙂 🙂

  5. ඒ නැන්දා ලේලි සබඳතාවය තමයි මගේ වඩාත්ම හිත් ගත්ත කෑල්ල. ඕක හුඟක් සුලභ දෙයක් නෙවෙයි.

    අර පොර කාර් එක අරන් කොහොමත් ඔය පැත්තේ එන්න ඉන්න ඇත්තේ. මේ පාරවත් ස්ත්‍රී නිමිත්තක් දකින්න පුලුවන් වෙයිද බලමු අරූට.

    • ඔව් ඩූඩ් ඒකනම් එතරම් සුලභ නැහැ තමයි. අපේ අම්මා නංගිලාට කියන්නේ ඕගොල්ලන්ට වඩා මෙයාට ආදරෙයි කියලා. නංගිලා හිනාවෙනවා. තාත්තාටත් මෙයාගෙන් තොර ලෝකයක් නැහැ. පවුලේ අනිත් අයටත් එහෙමයි. මමත් ඒ දේවල් දිහා බලාගෙන සතුටු වෙනවා. අපේ පවුලේ අයයි ,ඒ පවුලේ අයයි එකම පවුලක් වෙලා ගොඩාක් කල් ඩූඩ්. අපේ පවුලේ අය ඉතාම තද බැඳීමකින් කල් ගෙවන්නේ. ඒ අපි ඉස්සර හරි හරියට දුක් වින්ද හින්දා වෙන්න ඇති.

      සෝමපාල බුවා නම් ඔය කාර් එකේම පන්සලට ගිහිල්ලා තිබුනා පස්සේ දවසක ලොකු හාමුදුරුවෝ නැති දවසක. මටත් එන්න කිව්වා..මම ගියේ නැහැ ඒ ගොන් පාට් එකට. නිමිති සීන් නම් වුනා ඒ කිට්ටුවම කාලයක . පස්සේ ලියන්නම්.

  6. මේ කතාවේ කියවෙන චරිත වලට බොහොම ආසන්න චරිත අපේ පවුලේත් හිටියා/ඉන්නවා. මමත් ඔබ මුහුණදී තිබෙන අත්දැකීම් වලට අතිශයින් සමීප අත්දැකීම් විඳ තිබෙනවා. මම දෙහිඕවිටින් සමුගත්තේ 1980 දී පමණ. ඔබ ඉහල තල්දූව හැරයන්න ඇත්තේ ඊට ආසන්න අතීතයේදීද?

    • විචාරක……මෙවැනි අත්දැකීම් තුලින් පාඩමක් ඉගෙණ ගන්න මටත් කාලයක් ගියා. ඒ තුල බොහෝ දේ තියෙනවා කතාකරන්න. අපි දෙන්නා වුනත් කුඩා පවුලකට සීමා වුනේ…විශාල පවුලක් තුල අත්විඳි දුෂ්කරතා නිසාමත් වෙන්න ඇති. මොනවා උනත් මම අතහැරපු අධ්‍යාපනය අපි දෙන්නා එකතුවී අපේ දරුවාට ලබාදුන්නා නිසි මගපෙන්වීම් මත. අපේ පවුලේ අයගේ හැම ළමයෙක්ම වගේ ඒ පාරේ යන්න උවමනාවක් දක්වනවා. ඒ මග පෙන්වීමම අපි දෙන්නාට උතුරා යන සතුටක් විචාරක.

      අපි ඉහල තල්දූවෙන් පිටවුනේ 1975-76 වගේ කියලා තමයි මට මතක.

  7. kathandarakaraya says:

    අම්මා ගේ බෑනා කෑල්ල නිසා හිනා ගියේ නැතිනම් මේක එකම දුක් ගොඩක්.

    බැසිල් කටුබැද්දේ ගොස් first class එකක් එක්ක සමත්ව දැන් ඇමරිකාව වගේ රටක විවියක වැඩ මා අසා තිබෙන පරිදි.

    • කකා……ඔය බෑනා සීන් එක මගේ මූණට වෙලා තියෙනවා කීප වතාවක්. නිවාඩුවට ගියාම අහල පහල සමහර උදවිය අපි අම්මාත් එක්ක පාරේ යනකොට කියනවා…ආ මිසිස් පෙරේරා..බෑනා නිවාඩු ඇවිත්…වාසි වගේ නේද ..කියලා. පිස්සු හැදෙනවා කකා. අපේ අම්මාත් එක්ක හැමෝම හරි හිතවත්. කොයි වෙලාවෙත් කවුරු හරි ඇවිත් දුක සැප කියව කියව ඉන්නවා. කණේ කරාබු දෙක ගලවලා දෙනවා කකා අනුන්ගේ හදිසිවලට පස්සේ බේරලා ගෙනත් දෙන්න කියලා. එයාට දුක් විදපු හැටි අමතක කරන්න බැහැලු.

      කකා…..මේ බැසිල් නානයක්කාර. ආඩම්බරයි මගේ ක්ලාස්මේට් වීමත්.
      PhD (Mathematics) University of New Brunswick, Canada
      MA (Mathematics) Pennsylvania State University, USA
      M.S. (Nuclear Engineering) Pennsylvania State University, USA
      B.Sc. First class honors (Mechanical Engineering) University of Moratuwa, Sri Lanka

      Have taught math at Penn State, University of New Brunswick and at Saint Thomas University(NB)

  8. Dilan says:

    ජීවන අත්දැකීම් පිලිබද කතා මම ආසාවෙන් කියවන්නේ,මේවගෙන් අපිටත් පාඩම් ගොඩක් ඉගෙන ගන්න තියන නිසා…

    • ඩිලාන්……කූල් එකේ කියවපන්…බොහොමයක් දේ තිබෙයි බැහැර කරන්නත් ඒ වගේම සිතේ තබාගන්නත්.

  9. Miyuru says:

    අම්මා අර ශ්‍රමදාන වැඩවලට සහභාගි වෙන්නෙ මොකටද කියල කියනකොට එතැනින් එහාට කියවගන්න බැරි තරමට ඇස් දෙකට කඳුළු පිරුනා… ඒක නම් මහම මහ සංවේදීම කතාවක්… ඒ මදිවට පුතාත් අරම උනාම… එයා ඒ දේවල් මහ පොළොව වගේ කොහොම උහුලන් හිටියද කියන එක හිතාගන්නවත් බෑ…

    //ඔහුටද පාරක් ඇති නැති ගානය.//
    මේක කියවනකොට මතක් උනේ ‘තාරාදේවී’ ටෙලි ඩ්‍රාමා එකට කපුගේ කියපු ‘මංමුලාවී – පාර සොයාගෙන’ සිංදුව… ඔන්න ඒකත් එක්කම මතක් උනා අර නම මතක් කරගන්න බැරිවුනු විජේරාමෙ ඉන්න නළුවාව… බුද්ධි වික්‍රම… එයාලා ගමේ පරණ අය නිසා අරූ නම් දන්නවත් ඇති…

    • මියුරු……ඒකනේ කියන්නේ ..එච්චර ප්‍රශ්ණ තිබිලත්නේ මමත් අර වගේ පිස්සු නටන්න ගත්තේ. ඒවා වලක්වන්න බැහැ. මේවා කියවන අයට නම් හිතට ගන්න වටිනවා. අපේ අම්මලා යමක් කමක් තිබිනු සැපට හැදුනු අය. තාත්තාත් එහෙමයි. අප් සයිඩ් ඩවුන් කරේ තාත්තා තමයි. ඉදිරියට මීට වඩා සිදුවීම් බහුල වෙනවා. එක් ටර්නින් පොයින්ට් එකකදි සියල්ල වෙනස් වෙනවා. ඕවා කාටත් පොදුයි මියුරු.

      මේ සින්දුව නිසාම තමයි මම ඒ කොටස දැම්මේ. මම කැමති ගීයක්. මියුරුට ෂුවර්ද මේක තාරාදේවි ටෙලියේ කියලා. මම හිතන්නේ නැහැ.
      බුද්ධි වික්‍රම ගැන සිරස “එකමත් එක කාලෙක” කියන වැඩ සටහනක් ගියා මේ සෙනසුරාදා.
      http://www.col3negoriginal.cc/watch.php?id=51813

  10. raigam says:

    මට නම් හිතෙන්නේ මචං, මේ කතාවත්, උපේක්ෂා සහගතව අද අපට කියන්න උඹට පුළුවන්කම ලැබිල තියෙන්නේ උඹ අද ඇවිත් ඉන්න තැන නිසා. මෙවැනි කතාවන් බොහොමයක් කියන්න කෙනෙකුත් නැතුවම වැළලිලා යන්නේ, මුළු ජිවිතයම ඒ දුක් කරදර ගොඩේ ගෙවන නිසා. තමන්ගේම අතීතයට නැවත හැරිලා බලන්න නිස්කලංකයක් ලැබෙන්නේ එහෙමත් දෙනෙකුටයි. මේකටම සමහරුන් කියන්නේ “බඩ පිරිලා” හින්ද ඔය වගේ කතා ලියනවා/කියනවා කියා. එයම තමා උඹත් කියන්නේ ආර්ථිකය කඩා වැටුනොත් සේරම ඉවරයි කියා. අතීතයේ වුන ක්‍රියා නිසා ජිවිතයට වුන අකටයුතුකම් වලින් තවමත් ගැලවෙන්න බැරි වුන සමහරුන් ලියන කතා වල එක පැත්තයි තියෙන්නේ. එයට ඔවුන්ට දොස් කියන්නත් බැහැ. මොකද අදත් ඔවුනගේ ජීවිතය හසුරවන්නේ ඒ අතීත සිද්දීන්.

    • මචං රයිගම්…ඒක තමයි තිත්ත කසාය. මමත් අද මේ කතාව කියන්නේ..මට ඒ වෙනුවෙන් යමක් කරලා මේ මුළු පවුලක බර ගොඩ දාන්න වැඩි හැකියාවක් ලැබුන නිසා. නැත්නම් මගේ අතින් මේ දේවල් ලිය නොවෙන්න පුළුවන්. මමත් ඒ අතීතයට සාප කරමින් ඉඳියි. මම ලිව්වා වගේ මචං ගහේ මුල කියන ආර්ථිකය විනාශ නම් ගෙඩි පිටින් ගහ කඩා වැටෙන එක වලක්වන්න බැහැ. මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි පවුලක හෝ සමාජයක මුල ආර්ථික කළමනාකරනය කියලා. ඒක බිඳ වැටුන තැන (අපේ අම්මා, මගේ බිරිඳ වැනි පෞද්ගලික උදාහරණ මොහොතකට අමතක කලහොත්)පවුලම පිස්සන් කොටුවක්. අද මම අපේ රටේ දකින විපරිත සමාජ තත්වයන්ට හේතුව රටේ ආර්ථික කළමනාකරනයේ තිබෙන මඤ්ඤන් ස්වභාවයයි. කියන්නේ කාටදෝ….

      • මම මේ වගේ විෂයන් හදාරා නැති වුනත් මේ කියන්නේ මා විඳි සහ අත්දුටු ප්‍රායෝගික සත්‍යයයි.

  11. ඇත්තටම අර ශ්‍රමදාන කොටස කියවත්දි ඇස් දෙක තරමට හැඟීම්බර වෙන්නෙ… ඔයා දැන් ලියන විදිහට අපිත් ඔය කතාව තුල චරිතයක් වෙලා ජීවත් වෙනව කියලා හැඟෙන නිසා වෙන්න ඕන. ඇත්තටම සංවේදී…

    ඇත්තටම තමන්ගෙම මවට බෑණා කෙනෙක් වීම…… ඒක මමනම් හිතන්නෙ වාසනාවක්. අම්මයි බිරිඳයි සතුටෙන් එකතුවෙන් ඉන්නවා දැක්කම වෙන මුකුත් ඕන්නෑ. 🙂

    • ප්‍රියා…….පොඩ්ඩක් බර වැඩියි නේද කතාව…කියවලා අමතක කරලා දාපන්.
      අම්මලා කියන්නේ ලෝකයේ පැවැත්ම. හැම අම්මෙක්ම මෙහෙමයි. ඉඳලා හිටලා කුණු කරත්තයක් හිටියාට. අම්මලා ලේලිලා ඒ තත්වයට ගේන්න පුත්තු හැටියට අපිටත් ලොකු වැඩ කොටසක් තියෙනවා ඒ පාළම හදනකොට. විවාහයෙන් පසු , අඩුම ගානේ බස් හෝල්ට් එකක් හරි ඈතින් වෙනම ජීවත් වෙන්න කියලා තමයි මගේ වයිෆ්ගේ අම්මා නිතරම කාටත් කිව්වේ. ඒවා ඇත්ත. ඒ අම්මා තවත් උතුම් කතා වස්තුවක්. හෙමින් ලියන්නම්.

  12. වෙනදා මෙන්ම ඔබගේ ලිවීම රසවත්ය… එක හුස්මට කියවාගෙන යා හැක…
    නමුත් නොතේරෙනා ශෝකී භාවයක් ගැබ්ව ඇත්තා සේ දැනේ…
    අතීතය අපට වෙනස්කල නොහැකි මුත් ඉන් ඉගන ගත හැකි පාඩම් මෙන්ම ඉන් ලබාගත හැකි වටනාකම් බොහෝය…

    • මහේෂ්……ඔහොම තමයි බන් ජීවිතය…දවසක ශෝකය, දවසක සතුට. මහේෂ් කියනවා වගේ..අතීතය වෙනස් කරන්න බැහැ. ඒ වගේම වෙනස් කලයුතුත් නැහැ. එහෙම වෙනස් කරලා හිතනවා නම් හෝ ලියනවානම් ඒක ප්‍රෝඩාවක් සහ ආත්ම වංචාවක්. අතීතය කියන්නේ පාඩම් පොතක්.

  13. මුලින්ම අරූ අයියාගේ අම්මා ගැන අගය කරනවා.ඇය නම් දිරිය දියණියක් තමයි.ඊගාවට නැන්දම්මා ලේලී ඇසුර නියම ආදර්ශයක් වර්තමානයේ හුගක් පවුල් වලට.කතාව ඇතුලේ වේදනාවක් තිබුණත් මාතලන් කියන්නා සේ “අපේ කාලේ යුගාන්තය”බෙහෙවින්ම රස වින්දෙමි.

    • මනෝ…..සතුටුයි දිගටම කියවගෙන යන එක ගැන.
      අම්මාට හොඳ ලේලියක්ද, උඹට හොඳ බිරිඳක්ද ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි.
      මේවා කියන කොට ස්වයං වර්ණනා කියලා හිතන්න එපා…මගේ බිරිඳ සහ මගේ සහෝදර සහෝදරියන් අතර බැඳීම පුදුම සහගතයි. මගේ නංගිලා මල්ලිලා කෝල් කරපුවාම කෝ අක්කා කියලා අහන්නේ. මට මල පනිනවා වෙලාවකට. මම කියනවා..අන්න ඔයාගේ නංගි කතාකරනවා ඇවිත් උත්තර දෙන්න කියලා.

  14. Pra Jay says:

    Aru, your memoirs should be read as a book. Separate posts disturb the continuity and reduce reading pleasure. I know blog lovers wouldn’t agree with me but this kind of effort is wasted on blog posts unless you intend to compile them in to one volume some day. Almost anybody could string a couple of sentences together and do up a blog post. Your kind of writing deserves more and better!
    I’ve said this before but thought of telling you at length one last time.

    • maathalan says:

      නවකතාවක් උනත් එක හුස්මට ලියන්නේ නෑ නේ. අරූ මෙහෙම ලියපුවාවේ. බ්ලොග් නිසා තමයි අරූ ලියන්න පෙලඹුනෙත්. ඒත් මමත් හිතනවා “අවුල් වන්නට පෙර…” නමින්ම මෙය පොතක් ලෙස මුද්‍රණය විය යුතුමයි කියලා. ඒක මම කිව්වේ මුලදිම.

      මල්ලි පොතක් ගහපු එකේ, අයියට පොතක් ගහන එක මහ කජ්ජක් නෙමෙයිනේ..

      • මාතා……උඹ තමයි මම ඔය කොහෙද කමෙන්ට් දදා ඉන්නකොට ආපහු ලියපන් කියලා ඇදලා ගත්තේ..ඒකට ස්තූතියි.

    • @ ප්‍රා…..නිතරම මේ කරන දිරිගැන්වීම හදවතින්ම අගය කරනවා. ප්‍රා කියන දේ මට තේරෙනවා.ඒ වෙනුවෙන් ෆවුන්ඩේෂන් එකට මගේ පොඩිම මල්ලි යමක් කරන්න සුදානම් වෙනවා. එයා කියනවා මෙහෙම ලියාගෙන යන්න..මේකට එයා සුදුසු පියවර ගන්නවා කියලා. නැවත නැවතත් ස්තූතියි ප්‍රා.

  15. maathalan says:

    මාරම කට්ටක් මේක. ඒත් ඉතින් වෙනත් පවුල්වලත් මීට වඩා මහා ළොකු වෙන්සක් තිබුනේ නෑ. මිනිස්සුන්ගේ බොහෝම සරළ ජීවීත තිබුනේ. ඒකයි උඹේ අම්මට මේ හැම දෙයක්ම උපේක්ෂා සහගතව විඳ දරා ගන්න පුළුවන් උනේ. ඔය වගේම කාළයක් අපේ පවුලෙත් තිබුනා. ඉගෙනීමට මගේ ආසාව නැති උනෙත් ඒ නිසා. කොහොම හරි ගොඩක් පවුල්වල කළු බැටළුවෙක් ඉන්න එක අනිවාර්ය දෙයක්. අපේ පවුලේ කළු බැටළුවා උනේ මම. ඒ කාළේ මම සමාජය ගැන ගොඩාක් ඉගෙන ගත්තට. දෙමව්පියන්ට ඒක ගිනි ගොඩක්. ඒත් එයාලත්, පවුලේ අනිත් උන්ටත්, මගේ වෙනස්වීම අදහා ගන්නත් බෑ. ඒක මම ඉගෙන ගත්තෙත් තනියම.

    • මාතා…..මටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ. මගේ ජීවිතය එහෙම්පිටින්ම එක් තැනකදි වෙනස්වුනා. පවුලේ අයටවත් හිතාගන්න බැරිවුනා. මමත් මාතා තනියම ජීවිතය ඉගෙණගෙන තනියම තමයි ගොඩ ආවේ. උඹ කියනවා වගේ ඉස්සර බොහොම සරළ ජීවිත රටාවක් තමයි බොහෝ ගෙවල්වල තිබුනේ..ඒ නිසා දරාගන්න පුළුවන් කමක් ඉබේම ඇතිවෙනවා. මම නම් තාම එහෙමයි මචං. නැතිවෙන්න කියලා මහා ලොකු දෙයක් නැහැ.

  16. helapayaa says:

    මේ කතාව කියවන ගමන් මම කල්පනා කළේ උඹලගෙ අම්ම කියන මහා චරිතය ගැනයි,ඇය පුදුමාකාර ගතිගුණවලින් යුක්ත මහමෙරක් සේ දුක උසුලන මාතාවක් බව නොපැකිලව කියන්නට පුළුවන්.
    අපේ තාත්තා මැරුණු දවස්වල පෙන්ෂන් එක ලැබෙන්න පරක්කු වුනා ඒ කාලෙ අම්ම අපේ බඩ පුරවන්න වින්ද දුක මතක් උනා මචං,කතාව හරිම බරයි අරූ.

    • හැලපේ…..බොහෝ අම්මාවරුන් එහෙම වෙන්න ඇති මචං. මම සමහර වෙලාවට කල්පනා කරනවා..කොච්චර නම් අඩුවෙන් කාලා ඉන්න ඇතිද අපේ බඩ පුරවලා. මම සමහර විට ඕවා අහනවා…එතකොට කියනවා..ඕවා ගැන අහන්නේ නැතිව දැන් කන බොන ඒවා ගැන අහන්නලු. අනේ මන්දා මචං..හිනාවෙච්ච ගමන්මයි. දුක දැණෙන නහර අක්‍රීය වෙලා ඇති. උඹට ඇත්තම කියන්නම් …එක කාලයක් මම කෝඩේ ගහලා ඉන්නකොට..තාත්තාගේ අතේ පොඩි පාර්සල් එකක් එවනවා අපේ ගෙදරට. අපි ඒ කිට්ටුවම කුළියට හිටියේ. කෑම බීම වලට අමතරව…සිගරට් 3-4කුයි, බියර් බෝතලයකුයි. ඇය යථාර්තවාදී ලෙස ලෝකය දිහා බැලුවා. මේ බ්ලොග් එක මගේ නංගිලා මල්ලිලා කියවන බව මම දන්නවා.උන් දැන් මහ වැඩිහිටියෝ. මේ දේවල් ඒ අය දන්නවා. මම ඒ සිද්ධි පස්සේ කියන්නම්.

  17. Anonymous says:

    මේ තුන්වෙනි පංතියේ ජිවන අරගලය හා දේශපාලනය නේද…..?

    • මචං ඇනෝ….මේක ජීවන අරගලයක් නම් තමයි. හැබැයි මම මේක දේශපාලන දෘෂ්ඨිකෝනයකින් විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද සිස්ටම් එකේ අවුලක් නිසා අපේ පවුලේ ඔය තත්වය ඇතිවුනේ නැහැ. එතන තිබුනෙම කළමනාකරන අර්බුදයක්. තාත්තා වාමාංශික ආකල්පවල තදින් එලබගෙන හිටිය කෙනෙක් වුනත්..ඔහු දැණ සිටියා අර්බුදයට මුල ඔහුගේ පෞද්ගලික චර්යාවල වයර් මාරුවීමක් කියලා. නමුත් ඔහු වෙනස් වුනේ නැහැ. එතනයි ගැටළුව. මම අද බොහෝ කරුණු ගැන බලන්නේ පක්ෂ දේශපාලනික ඇසකින් නෙමේ. ඒ සිදුවීමේ පසුබිම තුල ඉඳගෙන. මමත් පක්ෂ දේශපාලනික ඇසෙන් බලපු කාලයක් තිබුනා.

  18. මෙවැනි චරිත මටත් මුණගැසී තියෙනවා කතාව තාත්විකයි.

    • ස්තූතියි මකසි…මෙවැනි අය තව බොහෝ ඇති. කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියේ.

  19. Senna says:

    ඔය කාලේ අම්මලා නැත්නම් ලංකාවේ හුඟක් පවුල් කඩා වැටිලා සීකඩ ගිහිල්ලා ගොඩක් කල්.. දැන් අම්මලට ඔච්චරටම කැපකිරීම, විඳදරා ගැනීම් පුළුවන්ද කියලා සැකයක් එනවා.

    උඹට දුක වුනාට කතාවක් හැටියට අපිට මේක රසයි.

    • ඔව් සෙන්නා එහෙම පවුල් තව තිබුනා, අම්මලා බර ඇදපු සහ තාත්තලා ආතල් ගත්තු. අපේ අම්මා, ආච්චි නොහිටින්නා අපි දරුවෝ හත් දෙනා කොයි ලෝකෙක, එහෙමත් නැත්නම් කොයි වලපල්ලක ඉඳියිද කියලා හිතා ගන්නවත් බැහැ. අපේ අම්මාට එයාගේ අම්මා යෝධ ශක්තියක් වුනා. ආච්චිගේ පෙන්ෂන් එක අපේ බඩවල් පිරෙව්වා.
      ////උඹට දුක වුනාට කතාවක් හැටියට අපිට මේක රසයි.////
      දුකත් එක රහක් සෙන්නා…අපේ අම්මාත් එහෙම හිතන්න ඇති.

  20. Chandana says:

    මට අල්ලලාම ගියේ අරු ගෙ අම්මා ප්‍රශ්ණ හමුවේ උපේක්ෂාවෙන් ඉන්න හැටියි.

    • ඒක තමයි චන්දන වඩාත් වැදගත්. උපේක්ෂාවෙන් නොබලා හිස බර කරගත්තා නම් අම්මාට පිස්සු හැදෙන්න තිබුනා ඒ තිබුනු ප්‍රශ්නවලට. වෙන කෙනෙක්නම් හිස හැරුනු අතේ යනවා. අපේ නෑදෑයෝ එහෙම කියනවා. මම හිතන්නේ එයා ඒතරමටම දරුවන්ට ආදරය කරා. නිතරම බැරි එකාගේ උවමනා වෙනුවෙන් පෙනී හිටියා. අපේ ලොකු මල්ලි කරපු අප්‍රමාණ වැරදිවලට අපි රන්ඩුවුනත්..අම්මා එයා වෙනුවෙන් තනියෙන් පෙනී හිටියා….ඌත් මගේ පුතෙක් කියලා. සල්ලියි, මණුස්සකමයි නිවැරදිව වෙන්කරලා හඳුණාගත්තා. මෙහෙම ලියලා ඉවරකරන්න පුළුවන් දේවල් නෙමේ චන්දන තියෙන්නේ.

  21. බොහෝම සංවේදියි මචෝ! ඒ අම්මා නම් විසල් ගැහැණිය ගැන කියවද්දී හදවත නැවතුනා වගේ දැණුනා. තාත්තලා කළ වැරඳි එයාලා විඳ ගත්තා. පවුල රැක ගත්තා. එතුමියට මගේ ප්‍රණාමය!
    මල්ලී ගැනත් මට දුකයි. ඒත් ඒක සමහරැන්ගේ දෛවය. ඒත් උඹලා ඌව අතනොහැරපු එක උතුම් මචං.
    උඹේ නෝනා උඹට වාසනාවන් බං.
    උඹලගේ තාත්තා එක්ක මං තරහා නෑ. ඒ මිනිස්සු වල් කමේ ගියේ නෑ. වැරදීම් අතපසුවීම් වෙනවා. මංජුල වෙඩිවර්ධන කියන්නේ ජීවිතය කියන්නේ අතපසුවීම් රාශියක එකතුවක්. ඒක මචං අපි හැමෝටම වලංගුයි. උඹට ජය!!
    ආ…. මල්ලී ගැන කවිය කියෙව්වා. ඒක
    තමයි සැබෑ සහෝදර ප්‍රේමය! ලේ මචං වතුර වලට වඩා ගොඩක් ඝනකමයි!!!

    • ගුණේ…..අපේ ආදරණීය අම්මාව අගය කිරීම ගැන ස්තූතියි. මංජුල වෙඩිවර්ධනගේ දේශපාලන මති මතාන්තර මොනවා වුනත් ඒ චරිතයට මම කැමතියි. මෙතැනදිත් ජීවිතය ගැන වෙඩ්ඩා කියනදේ ගැන මම කල්පනා කරා. ඇත්තටම අතපසුවීම් රාශියක් තමයි. ඒ කියමන මගේ ජීවිතයටත් අදාලයි.

      උඹ තාත්තා ගැන කියනදේ සීයට සීයක් නිවැරදියි. අපේ තාත්තාට බේබද්දා යැයි කෙනෙක් කීවත් බඩුකාරයා යැයි නොකීම ගැන අපට ඇත්තේ ලොකු සතුටක්. ඔහු කිසි දිනෙක දඩාවතේ නොගිය බවනම් සහතිකයි. එහෙම වුනානම් අම්මා ඔහු හැරදමා අපිත් එක්ක කොහේ හෝ පිටව යන්නට ඉඩ තිබුනා.

      මල්ලිට වෙච්ච දේවල් සහ කරගත්ත දේවල් ඉතා කණගාටුදායකයි. නැවත ඔහුව ගොඩගැනීම සඳහා මම පෞද්ගලිකවත් පවුලක් හැටියටත් අතිවිශාල කැපවීම රාශියක් කරා. ඔහු ජීවිතය වටහා ගන්නා තෙක් ඒ අප විසින් කල කැපවීම් ගඟට කැපූ ඉණි වගේ වුනා….එහම තමයි බං මිනිස් ජීවිතය.

  22. Indika Upashantha says:

    අරූ,

    මේ ලියන ගොඩක් දේ ගොඩක් උන්ගෙ කතාව.ඊට වඩා කියන්න දෙයක් නෑ…උඹ ලියහන් අපි බලන්නං. හිතට එන සේරම හම්බුවුනු දවසක කතා කරමු!

    • ඉන්දික……ස්තූතියි.

      දවසක හමුවෙමු
      හමුවී හිනැහෙමු
      හිනැහී වැලපෙමු
      අපි ආයේ….
      මම කැමති කපුගේ නිර්මාණයක්.

  23. Ravi says:

    මචං…මයෙ හිතෙං උඹව වැලඳ ගන්නට මට ඉඩ දීපං…

    මම කලින් කීප සැරයක් කියල ඇති මම බොහොම සංවේදී මනුස්සයෙක්ය කියල. පොතක උනත් තියන දුක හිතෙන සීන් එකක් කියවනකොට මගෙ ඇස් තෙත් වෙන්නෙ නිරායාසයෙන්. උඹෙ අම්ම ගැන කියවද්දි මයෙ ඇස් කඳුලින් පිරුණයි කියල ආය කියන්ට ඕන නෑනෙ නේද?…

    උඹගෙ වගෙ අද්විතිය අත්දැකීම් සම්භාරයක් විඳින්ට ලැබෙන්නෙ මනුස්සයෙකුට කලාතුරකින්. ඒ වගේම ඒ ලැබුණු අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගන්ට සාර්ථකව අකුරු කරන්ට හැකියාව ලැබෙන්නෙ ඊටත් කලාතුරකින්. අරූ උඹ ඒවගෙ කලාතුරකින් හමුවන මනුස්සයෙක්. ප්‍රා සහ මාතලන් කියල තියන දේට මත් එකහෙලාම එකඟයි..

    • බොහොම ස්තූතියි රවී….උඹ බොහොම සංවේදී සරළ මිනිහෙක් බව මට හැඟී තියෙනවා. ඒ උඹව කියවීම තුලින්. මගේ ජීවිතේ ඇවිදපු මාර්ග වලින් බොහොම සුළු කොටසක් තමයි මම තාම ලිව්වේ. ඉදිරිය උඹ කියෙව්වොත් හිතයි මේ ප්‍රබන්ධයක්ද කියලා. මටත් ආපහු හිතලා බලනකොට පුදුම හිතෙනවා මම අල්ලන් හිටියේ කොහොමද කියලා. රවී නැවතත් ස්තූතියි. දිගටම කියවපන්. සිදුවීම් රාශියක් ඉතිරියි.

  24. මට තේරෙන්නේ නෑ අරූගේ අම්මා හැම පැත්තක්ම බැලන්ස් කරගෙන කොහොම ජීවත් වුනාද කියලා.
    මොනවා වුනත් අපේ කාලේ අම්මලා හැමෝම අද ඉන්න අම්මලාට වඩා උත්සාහවන්තයි කියලයි මට හිතෙන්නේ.
    මම එහෙම නම් එදා අරූගේ කණ පැලෙන්න දෙකක් දීලා තමයි ගෙදර අරන් යන්නේ.
    අර හැමෝම කියනවා වගේ අරූ විශේස පුද්ගලයෙක් වෙන්නේ පියවි සිහියෙන් මේ දේවල් කියන විදියමයි. අද අපි අරූට හුරේ දානවට වඩා වඩා මේ කියවන්නේ එදා හැමෝගේම කතාවත් වෙන්න ඇති නේද?

    • රංගි……අම්මා මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන ගිය හැටි ගැන අපි ගැන දන්නා අය පවා මවිතයට පත්වෙනවා. මම හිතන්නේ ඒ තිබුන ඉවසීම සහ ආච්චි අප අතරම ඉඳීම නිසා වෙන්න ඇති. ඒ සියළු බැඳීම් තවමත් ශක්තිමත්ව ගෙන යෑමට ලැබීම හරි වාසනාවක්.
      අද පරපුරේ බොහෝ අම්මලා ඉක්මනින් කළකිරෙනවා සහ දරුවන්ගෙන් බොහෝදේ බලාපොරොතුවෙනවා. දරුවන්ට කෙලවරක් නැති ටාගට්ස් දෙනවා. මට පේන්නේ ඒ විදිහට.

      ///මම එහෙම නම් එදා අරූගේ කණ පැලෙන්න දෙකක් දීලා තමයි ගෙදර අරන් යන්නේ////
      මම කරපු වැඩවලට ඇයි මට කණ පැලෙන්න ගැහුවේ නැත්තේ කියලා මට හිතාගන්න බැහැ. මම දැණුවත්ව අපේ අම්මා කවදාවත් අපි කාටවත් ගහලා නැහැ. මුණුබුරු මිණිබිරියන්ට ගහනවාට වුනත් තදින්ම විරුද්ධයි. දැන් මුණුබුරු මිණිබිරියන් එකොළොස් දෙනෙකුගේ ආච්චි කෙනෙක්. අපේ දුව අපේ අම්මා වගේමයි හැඩරුව. හැමෝම කියනවා.

      ////එදා හැමෝගේම කතාවත් වෙන්න ඇති නේද?/////
      බීමත්කමටත් යහළුවන්ටත් මුල්තැන දීපු තාත්තලා සිටි පවුල් බොහොමයක කතාව මේ වගේ වෙන්න ඇති.

  25. Damith says:

    උබෙ පවුල ගැන කියනකොට මට දැනෙන දෙවල් මම කලින් කියල තියෙනව මcඔ.ආපහු මෙතන කියන්න ඔන නැ නේ.නැවත් කියන එකම දෙ උබ වගෙම මමත් අම්ම කියන මහා චරිතයෙ හෙවන යට ජිවිතෙ ගෙඩ ගියපු කෙනෙක්.

    • දමිත්….මේ කතාව දිගටම කියවන කෙනෙක් හැටියට උඹේ කමෙන්ට්ස් මට නැවත මතක්වෙනවා. මම අම්මා ගැන ලියනකොට උඹේ අදහස් නිතරම මතක්වෙනවා. තාත්තා ගැන අපි දෙදෙනාගේ අදහස් යම් තැන් වලදි වෙනස්වුන බවත් මට මතකයි.

      අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි
      පුතුන් හදන්නයි…පුතුන් රජුන් කරන්නයි…

      මතකද මේ සින්දුව. ලතා වල්පොල/සරත් දසනායකයන් සංගීතය/ ධර්මසිරි ගමගේ / චණ්ඩි පුතා

  26. Itnishantha says:

    මගේ මෑණියන්ගේ හොඳම මිතුරුය වීමට මා බිරිඳ සුදුසුකම් ලැබීම මට ඔටුනු පළඳනවාට වඩා වටිනේය.
    සහතික ඇත්ත.පිරිමින්ගේ සිහින අතර මුලටම ඇත්තේ ඔය හීනේ වෙන්න ඇති අරු.

    කොමෙන්ට් නොකලට නිතර ලිපියක් පළවුණු සැනින් කියවනවා. මාතලන් කියන විදිහට මේ දේවල් පොතක් නම් විය යුතුමයි.

    • @ නිශාන්ත…..කොයි මිනිහාද කැමති නැත්තේ අම්මායි ගෑණියි යාළුවෝ වගේ ඉන්නවා බලන්න. ඒක තමයි උඹ කියනවා වගේ ලොකුම පැතුම.
      අනිත් එක ඔය පොඩි පොඩි වැරදිකරාම අම්මා ශේප් කරලා දානවානේ පුතාව ලේලිත් එක්ක පොඩි ටෝක් එකක් දීලා. මම තාමත් එහෙම කරගන්නවා අම්මාට කියලා. 😀

      කමෙන්ට්ස් දාන නොදාන එක හිතන්න එපා. දිගටම කියවපන්.

  27. sudeeka says:

    මේ ලිපියේ මගක් කියවන ගමන්මයි මම කඳුළු පිරි දෙනෙතින් උඹේ අමාගේ දෙපා අල්ලලා වැන්දේ. ඇය වීර මාතාවක්. උඹට හොඳටම ආඩම්බර වෙන්න පුළුවන්. මගේ අම්මාත් අපි රැකියාවෙන් කලකිරිලා ඉන්න වෙලාවට කියන දෙයක් තමයි “ගෙදර ඇවිත් තියෙන විදියකට කාලා ඉන්න කරදරනම්” කියලා. ඒකම අපිට ධෛර්යය සපයනවා ඒ ප්‍රශ්න මැඩගෙන ඉදිරියට යන්න. අව්‍යාජ ආත්ම කථනය කියලා වරක් බ්ලොග් සම්මාන් උළෙලකදී කාට හෝ සම්මානයක් දුන්නා. උඹ ඒ කාලේ හිටියනම් ඒ සම්මානය උඹට දෙන්න වටිනවා. මව්වරුන්ට තියෙන්නේ පුදුම දරාගැනීමේ ශක්තියක්. මොනවා වුනත් උඹ වාසනාවන්තයි.

    • මචං සුදීක….උඹේ මේ කමෙන්ට් එක හරිම ලෙංගතුයි. හෘදයාංගමයි. සත්තකින්ම මම බොහෝම හැඟීම්බර වුනා. මගේ පවුලේ අය මේ ලිපි පෙළ කියවනබව මම දන්නවා. ඔවුන් අම්මා ගැන තව තවත් හිතන්නත් කතාකරන්නත් පටන් ගනියි මෙවැනි කමෙන්ට්ස් කියවා බලා. උඹට නැවතත් ස්තූතියි. මම වර්තමානයේ බොහෝ සතුටට පත්වෙන්නේ කිසිම දේකටත් වඩා මේ බ්ලොගය ලිවීමෙන්. දිරිගැන්වීමට ස්තූතියි.
      ///“ගෙදර ඇවිත් තියෙන විදියකට කාලා ඉන්න කරදරනම්” කියලා. ඒකම අපිට ධෛර්යය සපයනවා ඒ ප්‍රශ්න මැඩගෙන ඉදිරියට යන්න.///////
      සහතික ඇත්ත සුදීක. ඇය අදටත් අපිට මෙහෙම කියනවා.

  28. සිරා says:

    ඔබේ මව නම් වචනයේ පරිසමාප්ත අරථයෙන්ම නියම මාතාවක් බවයි පෙනෙන්නේ…මේ සටහන ඇයට කරනා ලද උපහාරයක් විදියටත් මට දැනුනා. ලිපිය පුරාම මාතෘත්වයේ සුවද හොදින් තැවරිලා තියෙනවා…සංවේදී සටහනක් ලෙස හදුන්වන්න කැමතියි.

    • සිරෝ….බොහොම ස්තූතියි. අපිට තිබූ ආර්ථික ප්‍රශ්ණ මොහොතකට අමතක කලොත්, බොහෝ අම්මාවරුන්ගේ කතාව මේක තමයි සිරා. ඇය ගැන ලිවිය යුතුදේ බොහෝයි.

  29. deshakaya says:

    මට මේ කතාව කියවද්දි අර ගුණදාස අමරසේකරගේ කෙටි කතාවක් මතක් උනා..

    මොකක් කියන්නද කියල හිතාගන්න බෑ.. කොච්චර කිව්වත් බං මුදල් වලින් කල හැකි දේ බොහෝමයි.. මුදල් නැති ජීවිතේ තියෙන විදවීම, දුප්පත්කම උඹ මට ආයි මතක් කරල හිත පෑරුවා..

    • දේශා….මුදල් නැති ජීවිතේ තියෙන විඳවීම සහ කොන්වීම අනන්ත වාරයක් අත්විඳලා තියෙනවා. බොහෝ දෙනෙක් උඹව අත්හැරලා යනවා. බොක්කේ මිතුරෙක් දෙන්නෙක් හැර අනිත් එවුන් බොහොමයක් එහෙමයි. අදටත් ඒ දේ එහෙමම තමයි. ඒක සදාතන සත්‍යයක්. නමුත් මම පෞද්ගලිකව ඒ හැරයෑම් සහ කොන්කිරීම් ඔවුන්ට දැණෙන්න සලස්වන්නේ නැහැ උඹලා මෙහෙමයි කියා. නමුත් ඒ පාඩම් තුල ජීවත්වෙනවා. මිනිසුන් විවිධාකාරයි. මම එහෙම නොකරන එක ගැන මට සතුටුයි. ඒත් අපේ අම්මා කියාදුන් පාඩමක්.

  30. තිසර says:

    මට මේක කියවන්න එන්න ලැබුණේ ප්‍රමාද වෙලා… අම්මාගේ දරාගැනීම තමයි හිතට වැඩියෙන්ම දැනෙන්නේ… ඒ ගතිය තිබ්බේ නැත්නම් බොහෝ වෙලාවට උඹලගෙ පවුල මේ වෙනකොට කැඩිලා විසිරිලා තියෙයි නේද? බොහොම කුතුහලයෙන් ඉන්නවා ඊළඟට සිද්ධ වෙන දේ දැන ගන්න… කතාවෙන් එළියට ඇවිත්, පෝස්ට් එක ගැන හිතුවහමත්, මේක බොහොම සාර්ථක එකක්… ඒ සිදුවීමෙහි සංවේදී බව හොඳට දනවන රචනාවක්…

    • තිසර……..නිතරම සිදුකරන දිරිගැන්වීමත්, වැරදි පෙන්වීමත් අගය කරන අතරම කුතුහලය රඳවා ගෙන කියවීමත් මට ලොකු ශක්තියක්. ඒ වෙන මොකුත් නෙමේ…මේ තරම් දිගට ලිපි පෙළක් ලියන පළමු අවස්ථාව මෙය නිසා.

      සහතිකෙන්ම අම්මාගේ ඒ දරාගැනීමේ ශක්තිය නොතිබුනා නම් අපි හත්දෙනා හත් පොළක තමයි ඉතිරිවෙන්නේ. දැන් අපි හත්දෙනාම එක මිටක ඉන්නවා.

  31. ජීවිතයේ හැටි. මේක කියවද්දී මට අමතක වෙලා තිබ්බ කතාවක් මතක් උනා. අපේ අයියත් දවසක් ගෙදරට පණිවිඩයක් එවලා තිබ්බා මැණික් ගරන්න යනවා කියලා යාළුවො එක්ක. තාත්තා මාරාවේශ වෙලා ගිහින් අතර මග කඩේක බෑග් එකක් තියාගෙන ගමනට ලැස්ති වෙලා හිටි අයියාව ආපහු ගෙදර එක්කගෙන ආවා. උගෙත් එක්ක මැණික් ගරන්න යන්න හිටි සෙට් එක ගියා ගියාමයි ඒ ඒ පළාත්වල කසාද බැඳලා නතර උනා. එකෙක්වත් ගොඩ ගියේ නෑ.

    • අපි හිටිය පැත්තෙත් ඔය මැණික් ගැරිල්ලට යෑම එක කාලයක ලොකු උනන්දුවෙන් වුනා. ඉන් බොහෝමයක් අසාර්ථක වුනා. ගෙනියන මල්ලම ආපහු අරන් ආවා. ඒ අමතරව කර්කෂ වුනු රූප ස්වභාවයකුත්, බුලත් කෑමත්, බීඩි බීමත් අළුතෙන් එවුන්ගේ ජීවිතවලට එකතුවෙලා තිබුනා. සමහරු ආවෙම නැහැ. නොයෙකුත් හේතු නිසා ජීවිත අහිමිවුන අයත් හිටියා.

  32. Anonymous says:

    අරූ ඔ‍බේ අම්මා ගැන ඇත්තටම ආඩම්බරයි.පා‍රෙ යන අයටත් කතා කරලා කන්න ‍බොන්න ‍දෙන අ‍පේ අම්මාව සිහි වුණා විතරක් ‍නෙ‍වෙයි ‍නෙතට කඳුලක් ‍ගෙන ආවා.තාත්ත‍‍ගො ‍විශ්‍රාම වැටුප මාස 14ක් ‍නොලැ‍බෙද්දී විශ්ව විද්‍යාල දරුවන් තුන් ‍දෙ‍නෙකුට සල්ලි යැවිවා ඇය.අම්මලාට පුදුම දරා ගැනී‍මේ හැකියාවක් තියනවා අරූ.ඔබ‍‍‍ගෙ අම්මාත් වීර මාතාවක්…………

    • ඇනෝ…..පළමුව ඔබේ මව් තවමත් ජීවතුන් අතර සිටිනවා නම්, ඇයට යෝධ බල යෝධ ශක්තිය ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. අතපය නොකඩ උස් මහත් කර ලොකු මිනිසුන් කරන්නට වෙර දැරූ දෙමව්පියන් සෙනෙහෙ සිතින් රැක බලාගැනීම දරුවන්ගේ යුතුකමක්. ඔබ එවන් දරුවෙක් යැයි මම විශ්වාස කරනවා. ඔබේ පවුලටම ජයෙන් ජයම වේවා!!

      • kurutugegeepawra. says:

        සමාවෙන්න අරූ.ඇනෝ විධියට වැටුන කමෙන්ට් එක කුරුටු ගෑ ගී පවුරෙන්.ස්තුතියි මගේ අම්මාට ශක්තිය ප්‍රාර්ථනා කලාට..

        කාංචනා

      • අඩේ අප්පා මේ කුරුටු කාංචනානේ 😀

  33. මාතලන් පාරෙන් හොයාගන ආවෙ….බලාගෙන ඉන්නෙ අරූ ඔමාන් විස්තර වලට එනකන්….මොකද කියල පස්සෙ කියන්නන්…

    • අතුල……මම 1987-2001 වෙනකම් වගේ ඕමාන් හිටියා. ඒ ගැන ලිවිය යුතු දෑ බොහොමයි. මගේ ජීවිතයෙන් හතරෙන් එකක් හිටියේ ඔහේ තමයි. උඹ මාව දන්නා කෙනෙක් නම් මේ කතාව කියවීම රසවත් වෙයි. කෙසේ වෙතත් ඕමාන් විස්තරවලදි මා ලියනා දේ යම්කිසි නිවැරදි කිරීමක් හෝ එකතුකිරීමක් ඔබ අතින් සිදුවුවහොත් එය අගය කරමි.

      • අහු උනා නේ…1992 ඉදන් 2013 අප්‍රේල් වෙනකන් ඔමාන් වල ඉඳලා ආපහු ඇවිත් නිවාඩු පාඩු පිට ඉන්නවා…ලියමු ලියමු…පුලුවන් විදියට සප් එක දෙන්නන් මචො….

      • සංතෝශයි මචං…..උඹ 1992 ඉඳන් හිටියානම් මාව දන්නවා ඇති. මම හිටියේ මස්කට් හරාමල්. දිගටම කියවපන්.

  34. “අම්ම කියන මහා චරිතය ගැනයි,ඇය පුදුමාකාර ගතිගුණවලින් යුක්ත මහමෙරක් සේ දුක උසුලන මාතාවක් බව නොපැකිලව කියන්නට පුළුවන්” .helapayaa කිවිව දේකින් උපුටා ගත්තේ සාමාන්‍ය ජනජීවිතයේ මෙවැනි මහාචරිත අනන්ත ප්‍රමාණයක් තියනවා. මේ ලියන මා මේතරම් නිදහසේ ලියන්නෙත් එවැනි අම්මා කෙනෙක් මගේ දරුවන්ට ඉන්න නිසයි. මම ඔහේ වගතීමෙන් තොරව ඉන්නවා යයි (හිටියා යයි) පසුතැවිල්ලද සමග මටම සිතෙන (සිතුන) වාර අනන්තයි. දැන් දරුවො ලොකු මහත්වෙලා හොඳ රැකියාවල් ද ලබා ඇතත් තවමත් මේ අම්මාගෙ ‍ලෝකයේ උන් පුංචි එව්වො. හැමදාම එයාල කතා නොකළොත් මටත් කරදරේ. එයාලත් අම්මට දවස ගානෙ කතා කරන්න අමතක කරන් නෑ.අම්මගේ දැන් ප්‍රධානම වැඩේ වැඩේ ඒ අය වෙනුවෙන්බාර වෙන එකයි ඒව ඔප්පු කරන එකයි. මේ තමයි අම්මලාගෙ හැටි !

    • ගුණේ මහත්තයාගේ මේ කමෙන්ට් එක තවත් ආදරණීය මවක් අපිට මතක්කරවනවා. ඔන්න ඔය ප්‍රායෝගික අත්දැකීමම තමයි දැන් මම විඳින්නෙත්. මටත් මේ නිදහස ඇති පදමට පවරලා ඇය දුවගේ වැඩ කටයුතුවල මුල් තැන අරගෙන කරන් යනවා. ඒ අම්මලා ගැනත් දිනෙක යමක් ලියවේවී. ස්තූතියි ඔබේ අදහසට.

  35. Dgm Bassa says:

    හැමෝටම අම්මාගේ උපේක්ෂාවත්, සකසුරුවම් කමත් මතක් කරනා කතාවක්.කිව්වා නොකිව්වා මේක අපි හැමෝගෙම කතාව

    • බස්සෝ…..අම්මා කියන අකුරු තුනම තුල තමයි අපි කවුරුත් මැරෙනකම් හුස්ම ගන්නේ. ඒක කාටත් පොදුයි. ඊයේ පෙරේදා අපේ දුව කිව්වා Mother’ Day කියන පච්ච සංකල්පිත දවසේ එයා දුටු කෝලම්. ඇය කියන්නේ අම්මා යනු වසරකට එක දවසක් නොව ජීවිතයේ හැම තත්පරයක්ම බවයි. මට අපේ දුව ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුනා.

  36. රාජ් says:

    පළමු වතාව උඹලගෙ තාත්ත ගැන තරහක් ඇතිවුනා. මෙන්න මේක දැකල,
    ///තාත්තාට දරුවන්ගේ බඩගින්නට වඩා දේශපාලනයත්, මිතුරු ඇසුරත් වඩා වැදගත් වූයේ….///

    • ඇත්ත රාජ්…..උඹට ඔහොම හිතෙනවා නම් අපිට කොහොම හිතෙන්න ඇද්ද? එක් කාලයකදි ඔහු දේශපාලනයෙනුත් ඈත්ව මිතුරන්ටම පමනක් සීමා වුනා. ඒ කියන්නේ සීමාරහිත බීමත් කමට. අපි නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. මම ඒ ගැන ඉදිරියට ලියන්නම්.

  37. sasha says:

    හ්ම්..වැඩියෙන්ම අපූරු මේ දේවල්වලට අපිත් මූණ දුන්න වගේ හිතෙන විදිහට ලියල තියෙන එක..හරිම රසවත් කියන්න දෙයක් නෑ ඉතිං

  38. sasha says:

    සෑහෙන දවසකින් බ්ලොග් පැත්තෙ ආවෙ..මොනව නැතත් මේ කතා ටික කියවනවා..කොමෙන්ටු කොටන්න පරක්කු වේවි

  39. ආයේ නවතපු තැනින් පටන් ගත්තා ඔන්න. අම්මා ගැන අරූ කියලා තියෙන විස්තරය තමයි මටනම් නියමෙටම දැනුනේ.

    • සින්දුවෝ……..කොහෙද ගිහින් හිටියේ..උඹට සෑහෙන්න කියවන්න තියෙනවා නේද?

      • කන්තෝරුවෙන් හිර කොලා. සති අන්ත හිටන් වැඩ. දැන් තමා නිදහසක් ලැබුනේ… ඔව්ව මොනවද කතාව රසවත් නිසා කියවන්න ආස හිතෙනවා නොවැ

  40. අරුණ අයගේ අම්ම බොහොම හිත හයියඉවසිලිවන්ත කෙනෙක්, එහෙම නැති කෙනෙක්ට ඔහොම පවුලක් එකට තියාගෙන ඉන්න බැහැ !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s