අවුල් වන්නට පෙර ..(36)….කොස්ගස්හන්දිය ….

මේ කාල වකවානුව අතර මම නැවත වෙනස්වීම් දෙකකට මුහුණ දුන්නෙමි. ඉන් පළමුවැන්න මගේ නවාතැන් පොළයි. මේ මගේ අටවැනි නවාතැනයි. දෙවැන්න, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සිදුවූනිසා අලුතෙන් ලැබූ පන්ති මාරුවයි. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පස්වැනි පන්තිය තෙක් මා ඉගෙනුම ලැබුවේ එකම සිසුන් පිරිසක් සමගය. රාජකීය විදුහලේත් හයවසරේ සිට ජාපොසපෙ දක්වා ඉගෙනුම ලැබුවේ එකම කංඩායමක් සමගිනි. දැන් තවත් අළුත් පිරිසක් සමග අළුත් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවන කාලය පැමිණ තිබේ.

මුලින් කතා කරගත් පරිදිම මම සෝමපාල අයියා හමුවීමට තර්ස්ටන් පාරේ රහීමා හෝටලය අසලට පැමිණියෙමි. පාසල් පොත්පත්ද, ඇඳුම් කිහිපයක්ද බෑගයකට දමා ගත් මා ගෙදර අයටත් සමුදී, නවතින්නට යන්නේ කුමන ආකාරයේ තැනකටද යන දෙගිඩියාවෙන් යුතුව ඔහුව හමුවුණි. අළුත් නවාතැන් පොළ ,කොළඹ කොස්ගස් හන්දියේ ජනාකීර්ණ ප්‍රදේශයක පේළි ගෙවල් සමූහයක දෙවෙනි හෝ තුන්වෙනි නිවසයි. මෙය පිහිටියේ නයින්හාට්ස් නමින් එවකට පවත්වාගෙන ගිය ඡායාරූපාගාරය ඉදිරියෙන් පිහිටි පාරේය. මට මතක හැටියට මේ අව්වල් සාවියා නම්වූ කලබලකාරී අතුරු මාවතය.

ජීවිතයේ පළමු වතාවට මෙවැනි පරිසරයක නැවතී සිටීමට පැමිණීම අළුත් අත්දැකීමක් නිසාම බොහෝ දිනක් යනතුරු කුතුහලයෙන් හා තිගැස්සීමෙන් සිටියා නේදැයි මට දැනුත් සිහිවේ. අව්වල් සාවියා පාරෙන් වමට හැරුණු විට තිබු කුඩා ඉඩම් තීරුවක මේ නිවාස දහය පහළොව එකිනෙකට යාබදව පිහිටා තිබුණි. මේවා මුඩුක්කු නිවාස යැයි වර්ගීකරණය කිරීමට නොහැක්කේ, මා නැවතී සිටි නිවස ඉතා කුඩා කාමර දෙකකින් හා පොඩි ඉස්තෝප්පුවකින්ද සමන්විතවූ නිසාය. එහි පදිංචිව සිටි ගැබ්බර තරුණ කාන්තාවට මා හඳුන්වා දුන් සෝමපාල අයියා, කෑම බීම ඒ අක්කා ලබාදෙන බව පවසා යන්නට පිටත්විය. ඉස්සරහින් තිබු කුඩා කාමරයේ කලාල පැදුරක්, කොට්ටයක් සහ කුඩා මේසයක්ද, කබල් පුටුවක්ද විය. වෙන දෙයක් වුණාවේ යන සිතුවිල්ලෙන් සිටි මා, ලැබුණු රාත්‍රී බත්පතද කෑමෙන් පසු, පිඟාන සෝදා තැබීමට බැලූවිට දැන ගන්නට ලැබුණේ, ජල සහ වැසිකිළි පහසුකම් ඒ සියලුම නිවාස සඳහා එක් පොදු ස්ථානයක පිහිටා ඇති බවය.

පසුදා පාසල් යාමට ඇති බැවින් නින්දට වැටුණු මා අවදිව තිබුණේ පාන්දර හතර හමාරට පහට පමණ වන්නට ඇතිය. ඒ වන විටත් නගරය උණුසුම්ය. ගෙවල් පේළියත් අවධියෙන්ය. එතරම් උදෑසන අවදිවන්නේ වැසිකිළි ,කැසිකිළි පහසුකම් සපුරාගතව ඇත්තේ පෝලිම් ක්‍රමයට බැවින්ය. එම නිවෙස්වල පදිංචිකරුවන් වූයේ අවට කර්මාන්තශාලාවන්හී සේවය කල කම්කරුවන් සහ පදික වේදිකාවේ බඩු කරගැසීම හෝ සුළු සුළු වෙළඳාමේ යෙදුණු උදවියයි. උදෑසන හය වෙනවිට පළාතම එකම ගාලගෝට්ටියකි. පාසල් යන වයසේ ළමුන් සිටියත් රාජකීය විදුහලට යන එකෙක් නම් නොපෙනුණි.

මා පාසැල් යන්නට සුදානම්වෙන විට ඇය නින්දේය. තේ කෝප්පයක් සාදාගැනීමට ඔතන කලබලයක් නොකර වහාම දොරද වසා තබා පිටත්ව ගියෙමි. ගෙදරින් රැගෙන ආ මුදලින් ඒ අසලම තිබු “පලතුරු බීම, ෆලූඩා සහ ස්පැසල් ටී” නම් කඩයකින් ස්පැසල් ටී එකක් බිව්වෙමි. මෙය නම් ස්පැසල්ම ටී එකක් විය. එහි තිබුණේ අමුතුම රසයකි. එකල එම කඩය මේ තේ එක නිසාම ප්‍රසිද්ධ තැනකි. ලොකු වීදුරුවකට වැනිලා හෝ යම් රසකාරකයක් එකතුකර සෑදු උණු කිරි වීදුරුවකි. ඇස්වාට්ටුවෙන් බැස පාසලට පයින් ඇවිදගෙන ගියෙමි. පසුව එය පුරුද්දක් විය. උදෑසනම අවධිවෙන්නට සිදුවෙන නිසා රස්තියාදුවීමට කාලය බොහෝය. පසුදාම අත තිබු මුදලින් බස් සීසන් එක මිලදීගත් මම කෙමෙන් කෙමෙන් මෙම කාල සටහනට හුරුවූවෙමි.

පාසැල් ඇරී මට කැමති වේලාවකට ගෙදර ඒමට හැකිය. ඒ පිළිබඳ ඇය විමසන්නේ නැත. ඇය ගතකළේ මහා ගුප්ත ජීවිතයක් නේදැයි මට දැන් සිතේ. මමද බඩගිනිවූ පසු නවාතැනට ඒමට හුරුවුණෙමි. දහවල් බත් පිඟාන මේසය මත විය. ඇඳුම් සෝදා ගැනීමත් , නා ගැනීමත් සිතුවාටත් වඩා අපහසු කාරියක් විය. කොයි වේලාවේ බැලුවත් එතන පෝලිම්ය. මෙහිදී මට සහයට පැමිණියේ මගේ පාසල් මිතුරෙකුවූ විමල් රත්නසිරිය. ඔවුන් පදිංචිව සිටියේ සේදවත්ත කළුපාලම අසල නිවසකය. සති අන්තයේ විමල්ගේ ගෙදර යන මම, ඔවුන්ගේ අම්මා විසින් සාදා දෙන රස බොජුන්ද සප්පායම්වී, කැලණි ගඟට ගොස් නාගෙන රෙදි සෝදාගන්නටත් පුරුදුවී සිටියෙමි. රෙදි වේලාගෙන නැවත පැමිණෙන්නේ ඉරිදා දිනයේදීය. අප පාසල් හැර ගිය පසුවත් මේ මිතුදම පැවතුණි. පසුව ඇමරිකාවේ සිට පැමිණි විමල් සංචාරක ක්ෂේත්‍රයට අදාළ සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය.

කොස්ගස් හන්දියේ සිටී කාලයේ නොවූවත් මම පාසැල් මිතුරන් රාශියකගේ නිවෙස් හී සැරිසරා ඇත. මා සමග ඉගෙනගත් අප කංඩායමේ සමහරක් මිතුරන්ගේ නිවෙස්වල රාත්‍රියද ගතකර තිබේ. මට ඒ සඳහා බොහෝ නිදහස හා ඉඩකඩ තිබුණි. ඔය වයසේදී එතරම් නිදහසක් ලැබෙන්නේ නැත. මට එය ලැබුණු හේතුව ඔබ දනී. හේමමාල් ජයවර්ධන, චම්පාල් කොස්තා, පී.යු.රාමනායක, ප්‍රසන්න ගුලසේකරම්, ජී.ඩබ්.ඇඩම්ස්, ආර්.ඩබ්. උඩවත්ත, හර්ෂ සූරියාරච්චිගේ නිවෙස් මින් සමහරක්ය. මොවුන්ගේ දෙමාපියන්ද මට බොහෝ කාරුණික වූහ. මේ සියල්ලෝම අද වනවිට වගකිව යුතු තනතුරු දරමින් ලංකාවේත් පිටරටත් රැකියාවන්හී යෙදේ. ආර්.ඩබ්.උඩවත්ත මෑතකදී හමුදාවේ මේජර් ජෙනරාල් ධූරයකට උසස් කළබව පුවත්පත් වලින් දුටුවෙමි.

දැන් ලියන්නට ඇත්තේ පාසලේදී සිදුවු වෙනස්වීම්ය. මා තේරී පත්වූයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට බව කලින් ලියා ඇත්තෙමි. දිවයිනේ සතර දිසාවෙන් පැමිණි අප හතළිස් දෙනාගේ කංඩායම, වසර හතරක කාලයක් ඉතාම සහෝදරත්වයෙන් අධ්‍යාපනයේ යෙදුණෝ වෙමු. උසස් පෙළ හැදෑරීමට යෑමේදි අප කංඩායම, ජීව විද්‍යා,හෝ ගණිත විෂයධාරාවන් හැදෑරීමට පන්ති නවයකට හෝ දහයකට බෙදී වෙන්වී ගියෝය. වාණිජ විෂයන් හැදෑරීමටත් තව දෙතුන් දෙනෙක් හෝ වෙන් විය. අප පංතියේ සියල්ලෝම උසස් පෙළ හැදෑරීමට වරම් ලැබීය.

ජීව විද්‍යා පන්ති 4ක් සහ ගණිත පන්ති 4ක් විය. මේ විෂයධාරා දෙක මිශ්‍රව ඉගෙනීමට එක් පංතියක් විය. මම ඇතුළුවූයේ එතරම් දක්ෂයින් සිටි පංතියකට නොවේ. අප පංතිය හැඳින්වූයේ “වල” නමින්ය. වල පන්තියේත් තාර මුඩුක්කුව නමින් සෙට් එකක් විය. මමද එහි ප්‍රධාන සාමාජිකයෙක් විය. මේ කංඩායමේ සිටි බොහෝ දෙනෙක් අපූරු මිතුරන් විය. මොවුන් සියල්ලක්ම කොළඹ අවට නාගරික වැසියන්ගේ දරුවන් වූහ. ශ්‍රීනාත් ප්‍රේමරත්න (පුංචි බොරැල්ල )අජිත් කුමාර (මරදාන )ලලිත් චන්ද්‍රරත්න (කොල්ලුපිටිය )කපිල පීරිස්, අරෝස ජයසිංහ (ගල්කිස්ස ) ධම්මික අගලවත්ත (ජාවත්ත )අප කංඩායමේ ප්‍රබලයන් විය. අප තරම්ම දඩබ්බර වැඩ නොකළත් තවත් සුවිශේෂ චරිත කිහිපයක් අප පන්තියේ විය. කාලිංග ඉන්දතිස්ස, ඉන්දීර උක්වත්ත, නිලූ ෆිලිප්ස්, ජෙරමි බෝලින්ග්, අජිත් දේවසුරේන්ද්‍ර, ඩී.එස්.ගුණරත්න, ජගත් අබේසිරිගුණවර්ධන ඉන් සමහරක් අයවේ. මින් බොහෝමයක් ක්‍රිකට්, රගර්, පාපන්දු,ඔරු පැදීම වැනි ක්‍රීඩාවන්හී ඉහළ දස්කම් දැක්වූවන් විය.

අප පංතිය පිහිටා තිබුණේ රාජකීය විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩු මහලේ, ක්‍රීඩා පිට්ටනිය පැත්තට වෙන්නටය. අන් කිසිම පංති කාමරයකට නොතිබූ සුවිශේෂ පහසුකමක් මේ පන්තියේ විය. ඒ බැල්කනියකි. ක්‍රීඩා පිට්ටනිය පැත්තට තිබු දොර විවෘත කල විට බැලකනියට පිවිසෙන්නට හැකිය. පිටතින් අගුළු දැමීමටද හැකිය. පන්තියේ උගන්වන ගුරුවරයෙකුටවත් නොපෙනෙන එම කොටසේ බිම වාඩිවී, සමහර විෂයන් උගන්වන කාල පරිච්ඡේදයන් නිකරුණේ ගෙවා දැමීමටත් යම් අවස්ථාවන් අපි කිහිප දෙනෙක් ප්‍රයෝජනයට ගත්තෙමු.

රාජකීය විදුහලේ ඒ වන විට අති දක්ෂ ගුරු මංඩලයක් වූහ. ඔවුන්ගේ කැපවීම සහ දක්ෂතාවය මතම එවකට වෛද්‍ය විදුහලටත්, ඉන්ජිනේරු පීඨයන්ටත් බොහෝ රාජකීයයන් ඇතුළුවූහ. අපේ පන්තියේ සිටිවුන් බොහෝ අය ඉගෙනීමට එතරම් උනන්දුවක් නොදැක්විය. භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව තෝරා ගැනීමට ඉඩක් ලබා දුන්නේය. මමත් ඇතුළුව තවත් 7-8දෙනෙක් පමණක් මේ අවස්ථාව තෝරා ගන්නට යෙදුණි. කෘෂි විද්‍යා ආචාර්යවරිය වූයේ පේරාදෙණියේ විවියේ සිට පැමිණි ඉතාමත්ම තරුණ ගුරුවරියක්වූ පුෂ්පා අබේසිරිගුණවර්ධන මෙනෙවියයි. මම මේ කංඩායමේ හොඳම සිසුවා විය. නමුත් මේ සියල්ලක්ම කෙමෙන් කෙමෙන් ඇත හැර දමන්නට මම පටන් ගතිමි. උද්භිද විද්‍යා විෂය ඉගන්වූ පී.එච්.නෝනිස් මහතාද අපූරු චරිතයකි. මොවුන් සියල්ලන්ම ගැන ලියන්නට ගියහොත් කාලය හරස්වනු නොඅනුමානය.

කොස්ගස් හන්දියේ නවාතැනේ මා නැවතී සිටියේ මාසයක් හෝ දෙකක් වැනි කාලයක් පමණය. සෝමපාල අයියා එම ගෙදරට පැමිණියේ ඉඳහිට දවසක් දෙකක් පමණි. මේ ඔහුගේ විවාහක බිරිඳ දැයි මට තවමත් සිතාගත නොහැක. මට එය දැනගත්තා යැයි ලැබෙන හොඳක් හෝ නරකක්ද නැත. නමුත් ඇය මගෙන් බෝඩිම් ගාස්තු සහ කෑම ගාස්තු ඉල්ලා සිටියේ මාසයකට එක හමාරකට පසුවය. ගාස්තු කතාවක් මම දැන සිටියේත් නැති නිසා තදබල අපහසුතාවයකට පත්වුණෙමි. මේ පිළිබඳව විමසන්නට සෝමපාල අයියාත් නැත. වරක් දෙවරක් ඇය මගෙන් මුදල් ඉල්ලා සිටි නිසා, ඕන දෙයක් වුණාවේ යැයි සිතා, ඇය නිදි අතරේ මම කාටත් හොරෙන් මගේ අටවැනි නවාතැන් පොළෙන් පලාගියෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

140 Responses to අවුල් වන්නට පෙර ..(36)….කොස්ගස්හන්දිය ….

  1. හිරු says:

    පහුගිය ටිකේ පෝස්ට් කියෙව්වා මිසක් කමෙන්ට් එකක් නං දාන්න හම්බුනෙ නෑ….ඒ නං ටයිප් කිරීමේ අපහසුතාවය නිසා… ඒත් මේ පෝස්ට් එකට නං මොකද්ද දාන කමෙන්ට් එක කියලා හිතාගන්න බෑ….

    එක අතකට සීමාරහිත නිදහසක් තියෙන ළමයෙක් මොන තරම් නොමග යන්න අවස්ථා තියෙනව කියන එක අරෑ ගේ කතාවෙ හැමතැනදිම වගේ මම දකිනවා… අරෑ උනත් මොන තරම් නොමග ගියාද කියන එක මේ කතාවෙ තියෙනවනෙ…. අද අරෑගෙ අම්මා මේ කතාව කියෙව්වොත් “ මේ ළමයා මෙච්චර දේවල් වලට මූණ දීලත් අද හොඳ තැනක ඉන්නවා ” කියලා හිතයි… ඒ අද ඉස්කෝලෙ යන වයසෙ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේ කතාව කියෙව්වොත් මොන තරම් තිගැස්සමක් ඇතිවෙයිද තමන්ගෙ දරුවා ගැන…. මේවා අවුරුදු ගානකට කලින් තත්වෙ කියන එක එච්චර අදාල නැත්තෙ මේ වගේ චරිත අදටත් මේ සමාජයෙ ඉන්න නිසා…

    • හිරු පායා…හිරු පායා….
      ///සීමාරහිත නිදහසක් තියෙන ළමයෙක් මොන තරම් නොමග යන්න අවස්ථා /////
      ඇත්තටම හිරු මම මේ කතාව තුල මොනදේ ලිව්වත්, මට ඉස්මතු කරන්න ඉතාමත්ම අවශ්‍යදේ තමයි ඔයා මේ කියන්නේ. මේ කාරණය දෙමව්පියන් තදින් සිතට ගත යුතුයි. අසීමිත ලෙස නිදහස ලැබීම කියන්නේ ඉක්මනින් අනතුරට පත්වෙනවා කියන එක තමයි මම කියන ඔය වයස.

      අපේ අම්මා නිතරම කියන කතාවක් තමයි…”පුතේ ඔයාට ඒ කාලේ ළඟින් ඉඳන් ගුරු හරුකම් දෙන්න තිබුණා නම්, ඔයා අද ලොකු තැනක” කියලා. අම්මා ඒ කියන්නේ මම ඩොකෙක්, ඉංජෙක් වගේ තැනක කියන එක වෙන්න ඇති. මම ඒ අතීතය එයා එක්ක වැඩිය කතා නොකළාට, එයා ඒ ගැන දුක්වෙන බව මම දන්නවා. ඒ වෙලාවට මම කියන්නේ, එහෙම වුනානම් ඔයාට මෙච්චර ආදරේ කරන ලේලියකුයි, මිනිබිරියකුයි ලැබෙන්නේ නැහැනේ කියලා. එතකොට ආශාවෙන් හිනාවෙනවා.

  2. Senna says:

    හම්මේ බන් උඹ අත්දැකීම් ගුහාවක්නෙ.. උඹට හිරු සඳු එකවර දෙපස නැගෙන යෝගයක්ද කොහෙද තියෙන්නෙ…

    නමයත් බලමුකො එහෙනම්….

    • අනේද කියන්නේ සෙන්නා. මම පුදුම ගමනක් තමයි ඇවිත් තියෙන්නේ. මටම පුදුම හිතෙනවා. ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ වෙච්ච දේවල්… හෙමින් ලියන්නම් හෙමින් කියවපන්.

      අර යෝගය මොකක්ද බන්..ඇත්තට අහන්නේ.

    • හිරු සඳු එකවර දෙපස නැගේ
      කළුවර ඇයි විජිතයම මගේ

      සිත්තරපටිය දුහුලු මලක්,. මේ කියන්නෙ හොරකො‍ටු පනින්න චෑන්ස් එකක් දෙන යෝගයක් කියල නෙව

      • ඒ වගේ සීන් එකක්ද….යකෝ ඒ දවස්වල දැණගෙන හිටියේ නැහැනේ 😀

        දුහුළු මලක් නම් බැලුවා බොහෝම ඉස්සර නුගේගොඩ ගම්සභා හන්දියේ ලැවිනියා හෝල් එකේ.

  3. kathandarakaraya says:

    කාට බණින්නද හිතාගන්න බැහැ.

    • බොහොමයක් දේවල් මගේ වැරදි කකා..මටත් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ ඉගෙනගන්න. මිත්‍ර සමාගමම තමයි හිතේ තිබුණේ. තාත්තාගේ ජාන වෙන්න ඇති.

  4. Bindi says:

    කරුණාසේන ජයලත්ගේ නැතිනම් මඩවල එස් රත්නායකයන්ගේ හෝ හැට හැත්තෑව දශකයේ වෙනයම් නවකතාවක් කියවූවා සේ සිතේ .නැතිනම් ධර්මසේන පතිරාජගේ කළු සුදු චිත්‍රපටයක් වුවද සිහියට නැගේ.
    සැබෑව විසින් පරිකල්පනය පැරදවූ අපුරු නවකතාවක්.
    දැන් වාගේ වැසිකිලියේ ඉඳගෙන ඉන්නා විටත් සෙල් ෆෝන් අයි පෑඩ් ටැබ්ලට් වලින් ලෝකය හා සම්බන්ධ වන්නට තියා ලියුමක් විදුලි පුවතක් මිසක ගෙදරින් ගිය එකා උන්නා ද මලාද දැනගන්නට විදිහක් නැතුව තිබු කලෙක කොළඹ ආ බහුතර තරුණයින්ගේ කතාව විය හැකියි අරූ මේ අකුරු කරනුයේ . ගාල්ලේ සිට ලිපිකරු රැකියාවකට කොළඹ පැමිණ පන්සල් බෝඩින් වල හිඳ බාහිර අධ්‍යාපනය ලබා ඉහලම රැකියාවක් දක්වා ගිය මගේ සමීප නෑයෙක් සිහි වුනා .

    • මගේ කතාව නම් මහා පිස්සු කතාවක් බින්දි..ඉස්සරහ තවත් පිස්සු. මම පසුකරපු කාලය අත්දුටු කිසිවෙක් බ්ලොග් ලෝකය තුල නැති බව සහතිකයි. ඔයා කියවන්නකෝ. මේකත් එක්තරා චිත්‍රපටයක් තමයි. මේ සියල්ලක්ම සත්‍යය බවනම් කිව යුතුමයි.

      මම කොස්ගස් හන්දියේ හිටිය බව අම්මා දන්නේ මම එතනින් ගියාටත් පස්සේ. අම්මා හොඳට දුක් වින්ද කාලයක් ඒ යුගය.

      • මට කවදා හරි ලොටෝ එකක් දිනුවම ( නැතිව ඉතින් මට සල්ලි නෑ) හොඳ ඩිරෙක්ටර් කෙනෙක් හොයාගෙන මම අරූගේ කතාව ෆිල්ම් එකක් කරනවා.
        ඒත් ඉතින් හීනෙන් තමයි කරන්න වෙන්නේ මට ලොටෝ එකක් ඇඳෙන්නේ නෑ නේ කවදාකවත්. …

      • අන්න හරි රංගි ගහමු ෆිල්ම් එකක්…කවුද මේන් ඇක්ටර් 😀

        ///ලොටෝ ඇදෙන්නේ නැහැ///
        එහෙම කියන්න එපා. You never know…
        හැබැයි ඇදෙන්න නම් ගන්න ඕන ඉඳලා හිටලා හරි.

      • මම සුමානෙකට එකක් විතර ගන්නවා අරූ. අදත් අරූගේ ෆිල්ම් එක මතක් වෙලා එකක් අර ගත්තා. 😉

      • ඇයි කවුරුත් මොකටද අරූ ඉන්නේ. අපි අරූගේ ළමා කාලෙට දාගමු ඔය පැණි කොල්ලෙක්… (අරුත් තරුණ කාලේ පැණියා නොවැ) 🙂

  5. මචං ඔය සෙන්ට් ජෝන්ස් එකේ මිස්ටර් සෙනාධීර කියලා ප්‍රින්සිපල් කෙනෙක් හිටියද?

    • ඩූඩ්….මම ඉන්න කාලේ 1972 හිටියේ ජීබී බන්නැහැක කියලා කෙනෙක්. ඊට පස්සේ ගමගේ කියලා කෙනෙක් හිටපු බව අහලා තියෙනවා. ඒ අතරතුර කාලයේ හිටියාද දන්නේ නැහැ. ඔය බන්නැහැක මයා තමයි වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ ප්‍රථම විදුහල්පති. ජයන්ත හේරත් කියලා මගේ පාසල් මිතුරෙක් ඔය මහත්මයාගේ මහරගම ගෙදර ඉඳන් රෝයල් එකට ආවා. ජයන්ත දැන් ඩොක්ටර් කෙනෙක්.

  6. විදානේ.. says:

    මටත් හිතෙන්නේ මේක නවකථාවක් වගේ කියල. කිසිවෙකුටත් එපා නොවෙන්න දිගටම කියවගෙන යන්න පුළුවන් විදියට ලියල තියෙනවා.. කෙඳිනක හෝ ඔබ දක්ෂ නවකථා කරුවෙකු වෙයි.. හැබැයි අර බෝඩිං ගාස්තු නොගෙවා බෝඩිමෙන් පැන්න එකනං පට්ට ආතල්…

    ජය වේවා!!!

    • කවුද බං දන්නේ සල්ලි ගෙවන්න වෙයි කියලා. මට කිව්වේ මේ මගේ ගෙදර ඕන කාලයක් ඉන්න කියලානේ. එකනේ මම කිව්වේ සෝමපාල අයියා මාර බුවෙක් කියලා.

  7. Chandana says:

    //දැන් තවත් අළුත් පිරිසක් සමග අළුත් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවන කාලය පැමිණ තිබේ.// රැග් තිබුනෙ නැද්ද අරු, ඒ කාලෙ ? 🙂
    ඔය කොස්ගස් හන්දිය ගැන වෙන්න ඇති අර පරණ සිංදුවක කියවෙන්නෙ ? “අල්ලස් දී පොලීසියට – කොස්ගස් හන්දියේ ජයට..” කියල හෙම කියන්නෙ ?

    • ඉස්කෝලවල රැග් නැහැනේ චන්දන කොහොමත්..දැන් තියෙනවාද? අනිත් එක ඒක අපේම ඉස්කෝලේනේ..වෙන වෙන පන්ති වුනත්.

      දයානන්ද ගුණවර්ධණයන්ගේ මධුර ජවනිකා නාට්ටියේ තමයි ඔය විරිදුව තිබුනේ. අනුලා බුලත්සිංහලයි, ඇක්සන් ජැන්තනියි තමයි රඟපෑවේ ඔය ජවනිකාවට. මම නාට්ටිය බැලුවා ඒ කාලේ. ඒ දෙන්නාගේ මරු ඇක්ටින්. නෙයිනා සූදු කෙලියේ ඔය කොස්ගස් හන්දියේ වෙන්න ඕන. ඔය කවි කොලයකින් උපුටා ගත්ත කවි පෙළක්. ඒ කවියාගේ නම මතක් වෙන්නේ නැහැ.

    • Chandana says:

      දැනට අවුරුදු කීපෙකට කලින් නම් ඉස්කෝල වලත් තිබුන යම් තරමකට.. සා/පෙළ පාස් වෙලා උසස් පෙළ ඉගෙන ගන්න වෙන ඉස්කෝලෙකට ගියාම හෙම. ඒව ඉතින් ඒ හැටි ගනන් ගන්න දේවල් නම් නෙවෙයි. අලුතෙන් යන එකාගෙ හැටියට තමයි වැඩේ තීරණය වෙන්නෙ.

  8. Chandana says:

    චැහ්..ඔන්න කමෙන්ට් එක බහිරවය ගිල්ලා. දැන් ටයිප් කරපංකො ආයෙත්. 😦

    ඒ කාලෙ රැග් හෙම තිබුනෙ නැද්ද් ? එතකොට කොස්ගස් හන්දිය කියන්නෙ නෙයිනගෙ සූදුවෙ තියන හන්දිය ද අරු ?

    • Chandana says:

      මේ තියන්නෙ කමෙන්ට් දෙකම. චැක් පොයින් එක හරහා එන්න දාල තිබිලනෙ. කවුද දන්නෙ ඒ වගක්. මේ වර්ඩ් ප්‍රෙස් ලොක්කා හිනා මූණු ත් වෙනස් කරල ඒ අස්සෙ.. දැන් හිනා වෙන්නවත් හිතෙන්නෙ නෑ. නිකං පඹයගෙ මූණ වගෙ එකක් නෙ වැටෙන්නෙ.

      • චන්දන….මේ කමෙන්ට්ස් දෙක ස්පැම් එකේ තිබුනේ. හිනා මූණු වෙනස්වෙලා නේද? මට ඒක හදන්න දන්නේ නැහැ. ඔන්න ඔහේ තිබිච්ච දෙන් බන්…ඕන ටොෆියක් පනම් අටයි කියලා.

      • Chandana says:

        ස්පෑම් එකෙන් ගොඩට දාපු එක නම් ලොකු දෙයක්. නැත්තන් දිගටම ස්පෑම් වෙනව ටික දවසක් යනකල්. ඔය හිනා මූණු නම් දැන් එන හැටිම වෙන්න ඇති. හැම එකේම ඔහොමයි. ඒක නම් අවුලක් නෑ. අර කිව්වත් වගෙ ඔන්න ඔහෙ තිබිච්චාවෙ. 😀

  9. helapayaa says:

    ඒ ඩී රංජිත් කුමාර ලියපු කොස්ගස් හංදිය පොත් කියෝලා තියේද මචං.මට ඒ පොත මතක් වුනා.

    • මම හැලපේ.. රංජිත් කුමාර ගැන කියන්න හැදුවේ අපේ චන්දනට… මම දැනට හෙමින් නවතින්නම්. මොකද මම බ්ලොග්ස් බොහෝමයක් දැන් තමයි කියවන්න පටන් ගත්තේ. පහුගිය ටිකේම බලෙන් අවුරුදු..

      • හැලපේ….මට ආපහු ඒ පොත කියවන්න හිතුනා. ඒ වටපිටාව ගැන මතකය අළුත් කරගන්න පුලුවන් එතකොට. මම හොයාගන්නම්. මට තෑග්ගක් හැටියට ලැබුන එයාගේ පුතා ලියපු සිංහල සිනමාවේ වංශ කතාව. මෙහේදී මම කෙනෙකුට දුන්නා ඉල්ලපු නිසා. පොතත් නැහැ, මිනිහත් නැහැ. පොතනම් ආපහු කඩේකින් ගත්ත හැකි. මේ හාදයා…

  10. ඔබ මගේ බාල සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමල් සහෝදරයාගේ වයසේ කෙනෙකු බව සෑහෙන දුරට අනුමාන කළහැකි සාධකයක් මේ විස්තරය තුලින් හමුවුනා. කොස්ගස් හන්දිය ගැන නවකතාවක් ලියලා තියෙන්නේ ඒ.ඩී. රන්ජිත්කුමාර නේද? ඒ කතාවත් මතක්වුනා. කොහොමටත් මේ සටහන දිගටම ගෙනයාම වැදගත් බව නම් කිවයුතුයි.

  11. පැදුරටත් නොකියා පළා යාම…… 😛

    බැල්කනි සීන් එකනම් අපේ ඉස්කෝලෙත් උසස් පෙළ පන්තියකට තිබුණ…වහන්න පුළුවන් දොරක් තිබුනේ නැහැ…ඒත් ගුරුවරු කවුරුවත් කොට බිත්තියෙන් එහා පැත්තට එබිලා බලන්නෙත් නැහැ….කොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් පුටුත් තියාගෙනම ඉඳගෙන ඉන්නවා…..

    නම් ගොඩක් මතක තියාගෙන ඉන්න එක ගැන අතිශය පුදුමයි….මට මතක හිටින්නේ මුහුණුවර සහ ගම…

    • @ අයාල්…. පැදුරටත් නොකියා පළා යාම නොහොත් අයාලේ යාම 😀

      මට බොහෝ දේ මතකයි බං. ඒ බව මගේ යාලුවෝ පවා කියනවා. සමහර සිද්ධිවලදී ඇඳගෙන හිටිය ඇඳුම් පවා මතකයි. බොහොම කුඩා කාලයේ මම ඇඳපු කමිසවල තිබුනු මෝස්තරත් මතකයි. මේක රෝගයක්ද දන්නේ නැහැ 😀

  12. Ravi says:

    මචං අජිත් දේවසුරේන්ද්‍ර හිටියෙ උඹලගෙ පංතියෙද? මට මතක විදිහට අපිට වඩා අවුරුද්දක් සීනියර් එයා. මම අර අටළොස් වසක් තුල පෝස්ට් එකේ කිව්වෙ ඒ කාලෙ අපේ ක්‍රිකට් ටීම් එක. කලිංග සහ නලින්ද දෙන්නම ඒකෙ ප්‍රබල සාමාජිකයො. අජිත් අයියත් නිවාඩුවට කෑගල්ලෙ ආහම අපේ ටිම් එකට සෙල්ලම් කරනව. අනික් ටීම් එකේ එවුං අඬනව අජිත්ව දැක්කහම. මිනිහම රිටයර් උනොත් මිස අවුට් කරන්ට නම් බෑ.

    උඹලගෙ සියවෙනි මැච් එකේ අජිත් ගැහුව අසූවක්ද කොහෙද නේද? මම බැලුව ඒ මැච් එක. මතකද මහින්ද හලංගොඩයි චන්ද්‍රිශාන් රිචර්ඩ්ස් දෙන්න එකතුවෙලා තෝරල කැතට පරදින්න ගිය එක කොහොම හරි ඩ්‍රෝ කරගත්ත හැටි…උං දෙන්න එකසිය ගානක පාට්නර්ෂිප් එකක් තිබ්බ අටවෙනි විකට් එකට.හලංගොඩ 71 නොදැවී. රිචර්ඩ්ස් 26 වගෙ ගානක් ඒත් නොටවුට්…

    අඩේ අජිත් ගැහුවෙ සියවෙනි එකට නෙවෙයිද කොහෙද? ඊලඟ මැච් එකට වෙන්න ඕන..

    පලි – උඹේ ජීවිතය සහ ඒ වගේම ලිවිල්ල ගැන මචං මම කියන්ට ඕන ටික කලිම්ම කිව්ව. ඒ මුණ නොගැහී කියන්ට පුලුවන් ටික කියල ඉවරයි. මචං ආයම කතා කරමු මූණට මූණ බලාගෙන….එදාට මම කියන්නං අරූ ඉතුරු ටික… 🙂

    • maathalan says:

      අජිත් ගැහුවේ 100 ට නෙමෙයි. අපේ කැප්ටන් මඩුගල්ල වගේ මට මතක්. පීරීස් කෙනෙක්ද කොහෙද තෝරලගේ කැප්ටන්, අපේ වයිස් කැපට්න් ජුරන්ග්පතීද කොහෙද. මේ සුවනියර් එකක් මගේ ළඟ තිබුනා. අහු උනොත් හරි විස්තරේ දාන්නම්. මට තාමත් මතකයි මහින්ද හලංගොඩයගේයි රිචර්ඩ්ස්ගෙයි මූණූ දෙක.. අපේ යක්කුන්ට මුන් දෙන්න ගලවන්නම බැරි උනානේ. අජිත්ලා සුමිත්‍රලා ගැහුවේ ඊට පස්සේ සුමිත්‍ර වර්ණකුළසූරීය 190 ක්ද කොහෙද ගහලා රෙකෝඩ් එකකුත් තිබ්බා.. උඹලා වගේ නෙමේනේ මම කොළ කැඳ නොබොන එකානේ..

      • @ මාතා….උඹ හරි. අජිත්,සුමිත්‍රා 100 ගැහුවේ නැහැ. නමුත් ටීම් එකේ හිටියා. මඩ්ඩා කැප්ටන්. ප්‍රදීප් කාරියවසම් වයිස් කැප්ටන්. තෝරා කැප්ටන් යොහාන් පීරිස්. අජිත් අමරසේකර වයිස් කැප්ටන්. මට ඔය ටීම්ස් දෙකේ බොහොමයක් එවුන් තාම මතකයි. ඒ සුවනියර් එක මගේ බොහෝ දේ සමග විනාශ වෙලා ගිහින් බන්.
        රොශාන් ජුරම්පති ඉන්ග්ලිශ් මීඩියම් හිටියේ..අපේ එහා පන්තියේ. අම්මා අපිට ඉගැන්නුවා. අම්මාට වඩා ලස්සනයි පුතා.

        සුමිත්‍රා (චාලි )197ක් ගැහුවා 1980. ඒක තමයි තාම රෙකෝඩ් එක. ඊට ඉස්සෙල්ලා දුලිප් මෙන්ඩිස් 184යි.

        සුමිත්‍රා නියම පොර. හරි හොඳ එකා. ඉස්සර අපිත් එක්ක වල බහිනවා. එහා පන්තියේ හිටියේ.

    • @ රවී….අජිත් එක අවුරුද්දක් ෆේල්වෙලා ආපු සෙට් එකේ. උඹ හරි අපිට වඩා අවුරුද්දක් වැඩිමහල්. නියම ඕපනර්. ස්ටයිලිෂ් බැට්ස්මන්. ඌව අවුට් කරගන්න අමාරු බව ඉස්කෝලේ කාලෙත් තිබුනු කතාවක්.

      අජිත් සියවෙනි මැච් එකේ ටීම් එකේ හිටියා. ගහන්න හම්බවුනාද මතක නැහැ. හැබැයි අජිත් රෝයල් කැප්ටන් වුනා 1981. මම එතකොට ඉස්කෝලේ නැහැ. හලංගොඩ තෝමියන් කැප්ටන් ඒ අවුරුද්දේ. 100 මැච් එකේ අපි ග්‍රව්න්ඩ් එකේ. මට මතකයි ඒ පාට්නර්ශිප් එක. ගයි ඩි අල්විස් තමයි තෝරා කීපර්. නිහාල් පෙරේරා රෝයල් විකට් කීපර්. මරු ටීම්ස් දෙක රවී. කියන්න දේ බොහොමයි ඒ මැච් එක ගැන.

      උඹේ ප.ලි.ය කවදා හෝ දවසක ඉටුවේ යැයි බලා ඉමු.

  13. sudeeka says:

    මේ අත්දැකීමට කිට්ටු අත්දැකීමක් මම බොරැල්ලේ හිටපු කාලේ වින්දා. ඒවා ජීවිතය ශක්තිමත් කරන නිසා ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්. අරූට පුදුම දශාවක් තමයි ඒ කාලේ උදා වෙලා තියෙන්නේ. මමත් බොරැල්ලේ ඉන්න කාලේ ඔය පැති වල කරක් ගැහුවා. ඒවාගෙන් ලබන පන්නරය කැම්පස් එකකින් වත් ලබන්න බෑ.

    • මට මතකයි සුදීක ඒ ගැන පොස්ට් එකක් ලියල තිබ්බා. ඒක නං ආසාවෙන් කියෙව්වා, ඒත් තව ලියන්න තිබ්බෙ, කතාවෙ හොඳම හරිය, පරිසරය වැනිල්ල සහ ඒ පරිසරයේ හමුවන විවිධ, විචිත්‍ර ගෝලාකාර චරිත ගැන විස්තරය නිසා

      • @ ඇනෝමවුස්……උඹ හරි. මමත් සුදීකට ඒ පෝස්ට් එක දෙක ලියන කාලෙම කිව්වා ඔය දේම. සුදීකට ඒ ගැන තව ලියන්න තිබුනා. කොහෙද…මඤ්ඤොක්කා තැම්බෙන්න ඉස්සෙල්ලා බෝතලේ ඉවර කරා.

    • @ සුදීක…..ඒ පරිසරය හා හමුවුනු චරිත ගැන වෙනම පොතක් ලියන්න පුළුවන් සුදීක. ඇත්තටම ඒ අත්දැකීම් ලබාගන්න නම් ආපහු කාටවත් ලැබෙන එකක් නැහැ. ඒවා හරි වටිනවා. පසු කාලයකදි ජීවිතේට මුහුණ දෙන්න ඒවා පුදුම වැදගත් වුනා. සුදීක බොරැල්ල අවට කෙටියෙන්ම ලියලා ඉවර කරානේ. අපරාදේ.

    • sudeeka says:

      හොඳයි මම උත්සාහ කරලා බලන්නම් මතකය අලුත් කර ගන්න. තව පොස්ට් එකක් දෙකක් ලියන්න පුළුවන් වෙයි.

  14. Dinesh says:

    මෙහෙමත් අත්දැකීම් ටිකක්.. හැබැයි ඉතින් ඒකත් නරකම නෑ.. එහෙනම් ඉතින් අටවෙනි තැනට සමුදුන්නට පස්සේ මොකද වෙන්නේ කියලා බලමුකෝ හෙමින් සැරේ..

    • දිනේෂ්….පාසල් යනකාලේ නවාතැන් නම් දැන් අවසාන වේගෙන එන්නේ. ඊට පස්සේ ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ හිටිය තැන්…බුදු අම්මෝ..කියලා වැඩක් නැහැ. මම කරපු රස්තියාදු දේවල් යකෝ. මටම පුදුමයි. ඇත්තටම අත්දැකීම් කියන්නේ සුන්දර මතකයන්.

      උඹ ඇයි දැන් ලියන්නේ නැත්තේ?

  15. ඔයාගේ ජීවිත කතාව අපූරු පොතක් වගේ. ඔයා එක්ක කතා කරන එක ඒ පොත කියවනවා වගේ රසවත් ඇති… 😀

    • Pra Jay says:

      ඒක තමයි පොතක් කරන්න කියන්නෙ

    • @ පොඩ්ඩි…..ඔයා නොහිතන දේවල් මට සිද්ධවෙනවා. පොතක්ම තමයි ඇත්තටම. පොඩ්ඩි ගොඩාක් අය කැමතියි මාත් එක්ක ඩ්‍රින්ක් එකට සෙට් වෙන්න. කියව කියව ඉන්න.සින්දු කියන්න, නටන්න….ඕල් ඉන් වන් බන්ඩ්ල් 😀
      මගේ මිතුරු පරාසය ඒජ් ගෲප් එකක් නැහැ. පොඩි එවුන්ට ඕන මාත් එක්ක සෙල්ලම් කරන්න. මටත් වඩා වයසක අයට ඕන සීරියස් චැට් දාන්න. ඔහොම යනවා…සැහැල්ලුවෙන්. හැබැයි මොනවා කරන්නත් දෙකක් දාගෙන ඉන්න ඕන. නැත්නම් මම හරි නිහඬයි.

  16. Niroshini says:

    ඉස්කෝලේ යන ළමයෙක් හැටියට මුණ දෙන්න උණු මේ දුෂ්කරතා කියවද්දී දුක හිතුණා. ඒත් ඒ එක්කම අරූ ට ඒවායින් ජීවිතයට හොඳ පන්නරයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා.

    රහීමා එක ඒ කාලෙත් තිබ්බද? අපි කැම්පස් යන කාලේදී හවසට ඕකේ පරාට කනවා කෑලි නැතුව මාළු හොදි විතරක් එක්ක (දහ දෙනෙක් විතර සෙට් එකකටම මාළු කෑලි ගන්න සල්ලි නැති නිසා!)

    • නිරෝ….ඔව්..ඒ දුෂ්කරතා එදාත් අදත් ජීවිතයට ලොකු ගැම්මක් දෙනවා. සැහැල්ලුවෙන් හිතන්න යොමු කරනවා. වැටෙනකොට හිතෙනවා..ඔයිට වඩා වැටිච්ච තැන් තියෙනවානේ කියලා. අපේ අම්මාත්, වයිෆුත් ඒ විදිහටම එහෙම කියනවා. දුවත් එහෙමම තමයි. ජීවිතේ රේස් එකක් නැහැ. ගමනාන්තයට වඩා ගමන රස විඳිනවා.

      රහීමා එක 1970 ගනන්වල ඉඳන් තියෙනවා. ඉස්සර ඔය වගේ ලොකුවට තිබුනේ නැහැ. ඔතන තමයි රෝයල්,තර්ස්ටන්,පෙම්බ්‍රොක් කොල්ලන්ගේ වලේ හෙඩ් ක්වාටර්ස්..එහෙම නැත්නම් මීටින්ග් පොයින්ට් එක. ඒ කාලෙත් අපි සෙට් එක ගන්නේ මස් හොදියි ගෝදම්බ රොටියි (පරෝටා තිබුනේ නැහැ ඉස්සර ). වැඩේ ලාබයි..හැබැයි මස් කෑලි නැහැ. ඊට පස්සේ ප්ලේන්ටි තුනයි. හිස් වීදුරු තුනයි ප්ලේන්ටිය දෙකට කඩා ගන්න. කොහොම හරි සල්ලි තියාගන්නවා ත්‍රී රෝසස් තුනකට. 3රෝසස් වල ෆිල්ටර් නැති නිසා අන්තිම කොනට වෙනකම් උරන්න පුළුවන්. ඊට පස්සේ කොළඹ වටේ රස්තියාදුව. ඒවා පස්සෙ ලියන්නම්.

  17. Kenji ogawa says:

    >>වරක් දෙවරක් ඇය මගෙන් මුදල් ඉල්ලා සිටි නිසා, ඕන දෙයක් වුණාවේ යැයි සිතා, ඇය නිදි අතරේ මම කාටත් හොරෙන් මගේ අටවැනි නවාතැන් පොළෙන් පලාගියෙමි.<<
    අනේ මන්ද මචං ……………..අන්තිමට මේ ටික කියෙව්වම ඇස් දෙකත් බොද වුනා……
    රහීම එක ලගදිවත් උඹව හම්බ වුනා නම් කියල හිතුන……
    අපි සෙට් එක රහීම එකේ ඉදි අප්පන් සමග පීකුදු ගිලින්න නිතර ගියා……,

    • කෙන්ජි…..ඔහොම තමයි ජීවිතේ..ගලා ගලා යයි, ටිකක් වෙලා යයි 😀

      මචං මම ජොබ් කරන්න ගත්තාට පස්සෙත් රහිමා යනවා. එතකොට නම් ඉස්තරම්ම කෑම තමයි කන්නේ. අතේ සල්ලි ගැවසුනා. ඔතන නියම වේටර් අයියලා සෙට් එකක් හිටියා. නියම සර්විස් එක.

  18. නන්නාඳුනන පිරිසකුත් මැද ඔහොම පරිසරය තනි උනාම දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න එක ඇතෙන්ම පුදුමයි.

    අර විදිහට ගාස්තුව ගැන නොදැන ඉදලා එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ ගාස්තු ඉල්ලුවම ඇති උන තත්වෙ හිතා ගන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ ටික හරි පුදුමයි.

    • එක එක තැන්වලට ගිහිල්ලා..ඒ පරිසරයට එක එක චරිතවලට සෙට් වෙන එක ලේසි නැහැ. ඒ පුරුද්දටද කොහෙද තාමත් මට පේමන්ට් එකටයි මාළිගාවටයි ගානට ඇජෙස්ට් වෙන්න පුළුවන්. ස්ටේෂමේ ලී බංකුවයි, ඩබල් බෙඩ් එකේ ආතල් මැට්‍රස් එකයි දෙකම එකයි. නින්ද හදාගන්න එක අපි දැණ ගන්න ඕන.

      ගාස්තු ගෙවන්න තිබුනා නම් මම කොලෙජ් හොස්ටල් එකේනේ බං නවතින්නේ 😀

  19. maheshrathnayaka says:

    අර අජිත් කියන කෙනා නං කොහෙදි හරි අහල තියේ කොහෙදිද කියල මතකයක් නෑ…

    උ.පෙ හුගක් කොල්ලන්නෙ කතාව ඕක තමා…. තමන් කරන්න ආපු දේ අතෑරල නවන දේවල් වලට හිත යොදෝන එක අන්තිමේ ගම නාගන්නව… අනේ මංද අරූ අය්ය නං ඒම නැතිවැති

    අද කාලෙ එකෙක්ට නං ඔය වගේ නිදහසක් හම්බුනා නං උගෙ ගන්න දෙයක් ඇත්තෙම නෑ

    • මහේෂ්…..අජිත් දේවසුරේන්ද්‍ර ලොකු මූල්‍ය ආයතනයක ලොක්කෙක් බව මම දන්නවා. ශිරාණි බංඩාරනායකගේ හස්බන්ඩ්ට විරුද්ධව දාපු කේස් එකේ අජිත්ගේ නම කියවුනා බොහො තැන්වල. ඒ හොඳ දේවල් සම්බන්ධව නොවේ.

      ශිරාණි බංඩාරනායකගේ සැමියා ප්‍රදීප් කාරියවසම්, අජිත් දේවසුරේන්ද්‍ර, හෙජින් කේස් එකේ අසන්ත ද මැල් ..මේ තුන්දෙනාම රෝයල්-තෝමියන් 100වැනි මැච් එකේ රෝයල් ටීම් එකට ගැහුවා.

      ////අනේ මංද අරූ අය්ය නං ඒම නැතිවැති////
      ඔන්න ඔහේ දිගටම කියවගෙන පලයන්..දැන් කිව්වොත් වැඩක් නැහැ 😀

  20. හප්පා…ඇතියන්තම් බලෙන් අවුරුදු ඉවර කරලා ලියන්න බැස්ස එක…අරූ ඩයරියක් මේයින්ටේන්ඩ් කරන්න ඇති ඔය තරමට අතීතය මතක…2010 ඉදන් පොස්ට් ටික මම මුල ඉඳන් කියෙව්වා අවුරුදු බ්‍රේක් එකේදි…2013 වෙනකන් කොහෙද නැතිවෙලා හිටියේ ?

    • ෂෙෆ්….මමත් හොටෙල් ට්‍රේඩ් එකේ හිටියා අවුරුදු 20ක් විතර. උඹ ට්‍රේඩ් එකේ බුවෙක්ද?

      ජීවිතේට ඩයරියක් තිබුනේ නැහැ…ඉස්සර වුනත් මට එහෙම ලියලා තියන්න පුරුද්දක් තිබුනේ නැහැ. දැන් ඉතින් මේක තමයි මගේ දිනපොත අතීතයේ සිට ලිවීම.
      මම 2010-2013 බ්ලොග් නොලිය..බ්ලොග් එහෙන් මෙහෙන් කියව කියව විතරක් හිටියා. පස්සේ මහාචාර්ය මාතලන්ගේ උනන්දු කිරීමත් සහයෝගයත් නිසා ආපහු ලියන්න හිතුනා.

      මුල ඉඳන් කියවීම අගය කරමි!!

  21. Pra Jay says:

    කාලිංග ඉන්දතිස්ස දෑන් President’s Counsel කෙනෙකි

    • ඔව් ප්‍රා…මම ඔය මාධ්‍යවල දකිනවා. ජනාධිපති නීතිඥයෙක් කලේ චන්ද්‍රිකාගේ කාලේද කොහෙද…ක්‍රිකට් බෝඩ් එකෙත් හිටියා. මට මතක හැටියට දයා පෙරේරා කියන ප්‍රසිද්ධ සහ දක්ෂ චරිතය යටතේ තමයි මුලින් ට්‍රේන් වුනේ. ඉස්කෝලේ යන කාලේ මරු පොර.

  22. රසික says:

    මචන්…මමත් හිටියනෙ ඔය බැල්කනිය තියෙන පන්තියෙම 90 ගනන් වල.අපි ඉන්න කාලෙ ඕවල තිබ්බෙ ගණිත අංශයෙ පංති. කෘෂි විද්යාව උගැන්නුවෙ බම්බා නෙවෙයිද? කන බොනකොට හිතුනෙ නැද්ද මේවට ගෙවන්න වෙනවා කියලා? සුපුරුදු පරිදි අදත් එල!!

    • මෙන්න තවත් බැල්කනි පොරක්…. බැල්කනියෙන් ප්‍රයෝජන ගත්තේ නැද්ද? රසික ඒ කාලේ ඔක්කොම බයෝ ක්ලාසස් තිබුනේ ඔය පැත්තේ. මැත්ස් ක්ලාසස් තිබුනේ අනිත් පැත්තේ…ඒ කියන්නේ ආදරණීය කටයා මහත්තයාගේ ඔෆිස් එක පැත්තේ. මැත්ස් කරපු එවුන්ට එච්චර පිස්සු කෙලින්න බැරිවුනේත් කටයා මහත්තයා ඒ පැත්තේ හිටිය නිසා වෙන්න ඇති. ඒකට අපේ පැත්ත පිස්සු. ඒ වුනාට අපේ පන්තියට එහා පන්තියෙන් විතරක් හතර පස් දෙනෙක් විතර මෙඩිකල් කොලෙජ් ගියා.

      ///කෘෂි විද්යාව උගැන්නුවෙ බම්බා නෙවෙයිද////
      නැහැ..පුෂ්පා…එයා බැන්දාට පස්සේ පුෂ්පා ජයකොඩි වුනා. මේ කියන්නේ 1978-79 විතර.
      ////කන බොනකොට හිතුනෙ නැද්ද මේවට ගෙවන්න වෙනවා කියලා?//////
      පිස්සුද බන්…මම හිතුවේ දරු කමට හදාගන්නවා කියලා 😀

      • රසික says:

        ඔය පන්තියට මචන් මොකක් හරි අවර යෝගයක් තියෙනවා. 😀

        අපේ පන්තියෙත් මහ නසරානි සෙට් එකක් හිටියා. දොර ජනෙල් වල ගාලා තිබ්බෙත් රතුපාට වගේ පාටක් අනිත් පන්තිවල තද දුඹුරු ගාලා තියෙද්දි. මට මතකයි එකපාරක් කොහෙන්දෝ උස්සන් ආපු කසිප්පු හදන්න පාවිච්චි කරන ජරාවක් බීලා එකෙක් ඔය බැල්කනියෙ තාප්පෙ උඩ බුදියන් හිටියා. හැබැයි ඒ පන්තියෙ හිටපු බහුතරයකට අද ගොඩක් හොඳයි.

        දරුකමට හැදාගැනිල්ල කොහොමවෙතත් සෝමපාලයා උගෙ දරැගැබට කරගස්සවන්න උඹව එතෙන්ට සෙට් කලා වෙන්න බැරිද? 😀

      • රසික….ඔය පන්ති කාමරේ මරු ස්පොට් එක බන්….මමත් ඔය බැල්කනියේ නිදාගෙන තියෙනවා. හැබැයි කසිප්පු නෙමෙයි වෙන ජරාවක් බීලා.

        සෝමේ බුවාට ඉස්සෙල්ලා අරූ බුවා found the way out 😀

    • jagath says:

      You are correct He was named as Abukka Boo Bammba – J,R. Sudasinhe

      • මචං ජගත්…..බූබම්බා හිටියේ ජූනියර් එකේ නේද? මම කියන්නේ ඒ ලෙවල් කාලේ.

  23. පත්තර මල්ලි says:

    ඕ යේස් අරූ අයියා.. අදත් ආසාවෙන් කියෙව්වා..මටත් ඔය වගේම අසීමිත නිදහසක් තිබුනා..සුන්දර මතකයක් !!!

    • පත්‍ර බ්‍රදර්…..ස්තූතියි!!
      මට උඹ ලියන කරන එව්වා දැක්කාම හිතෙනවා…උඹත් ලොකු වලක බැහැලා හිටිය එකෙක් කියලා. නමුත් උඹලාගේ කාලේ වල දරුණු ඇති කියලත් හිතෙනවා..ඒ පරම්පරාවේ සමහර හැසිරීම් දැක්කාම.

    • පත්තර මල්ලි says:

      ඒක දිග කතාවක් අරූ අයියා..මගෙ මුල්ම.රස්සාව පොඩි සංගීත කන්ඩායමක වාදකයෙක්..එතකොට ඉස්කෝලෙ යනවා..එතනින් වල බැහැපු මාව ඉස්කෝලෙන් අස් කරනවා..කොළඹ ඇවිත් ක්ලාස් වල පිහිටෙන් විභාගෙ ගොඩ දානවා..ආයෙමත් සවුන්ඩ් සෙටප් එකකට බැහැලා නන්නත්තාර වෙනවා.දෙපාරක් කූඩුවෙ ලගිනවා..7 පාරක් බයික් ඇක්සිඩන්ට් වෙනවා.චාටඩ් වලට ක්ලාසුත් යනවා..ඔය කාලෙ අම්මා වියදමට යූරෝ එවනවා..අන්තිමට ගෙදරින් අම්මා ළඟට ඉතාලි පටවනවා.. ආයෙ කීයක් හරි හොයං ඇවිත් වල බහිනවා.හැබැයි මාර අත්දැකීම් ටිකක් ගත්තා බං ජීවිතතේට..ගෑණිගෙ දහිරියට පිං සිද්ධ වෙන්න දැං මිනිහෙක් !!!

      • පත්‍ර බ්‍රදර්…මොන පිස්සුව නැටුවත් එක් තැනකදි තේරුම් ගන්නවා වගකීම් ගැන. මමත් ජීවිතය නැවත පටන්ගත්තේ බිරිඳ නිසා.

        සැමියා බිරිඳගේ දෙවියායා…හුටා…හොඳින් බලාගනින්.

        ඔක්කොම හොඳයි…මේ එහෙන් මෙහෙන් හැන්දෑවට අතුරු තහනම් නියෝග දෙන්න එනකොට තමයි දෙවියා කෝප වෙන්නේ.

  24. අතීතය සිතුවමක් වගේ නේද දැන්…..?

    • ඇත්තමයි නිහිංසා. ඒ සිතුවම ෆේඩ් වෙලා යන්න ඉස්සෙල්ලා තමයි මම ලියලා දාන්නේ. දිගටම කියවන්න!

  25. sasha says:

    ආවා..අාවා.. 36 ආවා….. දැන් කාලෙ නම් ඔහොම නිදහසක් ගැන හිතන්නවත් පුළුවන්ද මන්දා..
    අරූ ඉතිං හිතාගෙන ඉඳල තියෙන්නෙ දන්සලක් කියලද කොහෙද 😛
    බලමු බලමු 9 නපුරු වෙයිද කියලා 😀 😀 😀

    • සාෂා……මට ලැබුන නිදහස ප්‍රමාණයට වඩා වැඩියි. ඒක එතරම් ඇඟට ගුණ නැහැ. නමුත් ඒ නිදහස දීපු දෙයක්වත් බලෙන් ගත්ත දෙයක්වත් නෙමේ. අපේ තිබුනු ආර්ථික ගැටළු එක්ක පාවී පාවී ආපු එකක්.

      //දන්සලක්//
      එන්න බත් ටිකක් කන්න කියලා කතා නොකරාට…මගේ මේසේ උඩ බත් එකක් තියෙන කොට නොකා ඉන්න පුලුවන්ද 😀 අනික රස්තියාදු ගහලා ගහලා රොම්බ බඩගින්නේ එන්නේ.

  26. අහිගුන්ථක අරූ ,මෙතනින් කොයි කොහොටද දැන් ..?

    • වෙන කොහාටද ඉතින්…අහිගුණ්ඨිකයාගේ නයි පෙට්ටිය ඇතුලට මිසක්…ඊළඟ හංදියට යනකම් 😀

  27. Beetle says:

    //අන් කිසිම පංති කාමරයකට නොතිබූ සුවිශේෂ පහසුකමක් මේ පන්තියේ විය. ඒ බැල්කනියකි. //
    ඒ බිල්ඩිමේ තිවුන පංතිකාමර රේට් කරද්දී ඔය කියන බැල්කනියක් තියෙන පංතිකාමරේ හැබැයි සෙකන්ඩ් බෙස්ට්… හොඳම එක විදියට ගොඩක් අය සැලකුවේ ස්විමින් පූල් එක පේන එක… 😀

    අසීමිත නිදහස කියන්නේ ළමයෙක් නොමඟ යන්න එක හේතුවක් කියන ජනප්‍රිය මතය බොරු කරපු අය ගොඩක් මමත් දැකලා තියෙනවා…

    ඉතිරි කොටසත් එනතුරු නොඉවසිල්ලෙන් බලා හිඳිමි…

    • ///හොඳම එක විදියට ගොඩක් අය සැලකුවේ ස්විමින් පූල් එක පේන එක… :D///
      ඒකත් ආතල් ක්ලාස් එකක් තමයි. ඉස්සර බොහොමයක් කෙල්ලන්ගේ ඉස්කෝල වලිනුත් ප්‍රැක්ටිස් වලට, මීට්ස් වලට ඕකට තමයි ගෙනාවේ. වෙන ස්විමින්ග් පූල්ස් ඉස්කෝළවල්වල තිබුනේ නැහැ මගේ හිතේ. ඔටර්ස් එක තිබුනා. අපේ ස්විමින්ග් කෝච් කරේ බෝලින්ගේ අම්මා.

      ////අසීමිත නිදහස කියන්නේ ළමයෙක් නොමඟ යන්න එක හේතුවක් කියන ජනප්‍රිය මතය බොරු කරපු අය ගොඩක් මමත් දැකලා තියෙනවා…//////

      ඔව් එහෙම අයත් ඉන්නවා….ඒකට බීට්ල් මම හිතන්නේ පුදුම උනන්දුවක් සහ කැපවීමක් තියෙන්න ඕන. ඒ වගේම හැකියාවත් බලපානවා.

      • Clement Peris says:

        aru,
        //වෙන ස්විමින්ග් පූල්ස් ඉස්කෝළවල්වල තිබුනේ නැහැ මගේ හිතේ. //
        the swimming pool of St. Joseph’s College,Maradana was built on 1952.
        therefore, I think it is the oldest school swimming pool in Colombo.

        clement peris

      • ඔව් ක්ලෙමන්ට් ඔබ හරි. රෝයල් පූල් එක 1960 අග තමයි හදලා තියෙන්නේ. ඩඩ්ලි සේනානායක විවෘත කරා කියලා කොහේ හරි ගහලා තිබුනා.

  28. maathalan says:

    රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන එකේ වාසිය මේකයි. නමුත් නොගිය උන් හිතාගෙන ඉන්නේ මේක මේ අළිසබත් රැජිනගෙ මාළිගාව වගේ එකක් කියලා. පොඩි කාළෙම ජිවීතේ ගැන සමාජේ ගැන ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයකත් වඩා අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මොකෝ විශ්ව විද්‍යාලවලට සමහර සමාජ පන්ති වලින් එකෙක්වත් එන්නෙම නැති තරම් නේ. ඔය සෙට් එකේ එකෙක් කාළයක් මාත් එක්ක වැඩ කරා. වලව් කාරයෙක් ප්‍රභාත් නැදුරණ. ඇවිදින විශ්වකෝෂයක්. ඌගේ ග්‍රහයෝ ඔක්කෝම එක කොටුවේ උන්නේ. ගිය අවුරුද්දෙද කොහෙද කසාද බැන්දේ. මට කිව්වේ නෑ. ඌට මාව දිරවන්නේ නෑ. උඹයි අර අක්කයි ඒ ගෙදර තනියෙන් ඉන්දැද්දි, ම්ක්කවත්ම උනේ නැද්ද බං… මේක නම් මට ලංකාවේ ඔක්කෝම පොත් වලට වඩා ර්සවත්. මෙතන මාර්ටින් වික්‍රමසිංහ, ජයතිලක, මහගම සෙකර, කරුණාසෙන ජලත්, සහ අනෙක් අය වගේම සයිමන් නවගත්තේගමත් ඉන්නවා…

    • පත්තර මල්ලි says:

      ඒ බෝඩිමට පැකේජ් එකක් එන්නේ .. ඕල් ඉන්ක්ලූඩඩ්..!!! වන් මන්ත් ෆ්‍රී . ඕ යේස්

    • @ මාතා……ඇත්තටම මචං අපේ ඉස්කෝලේ තරම් මිශ්‍රවූ සමාජ හරස්කඩක් කිසිම පාසලක තිබුනේ නැහැ. හැම ජාතියක්. හැම ආගමක්, හැම භාශාවක් වගේම නොයෙකුත් සමාජ තලයන් නියෝජනය වුනා. ඒ ඇරෙන්න නොයෙකුත් රටවල්වල කොල්ලොත් ඉන්ග්ලිෂ් මීඩියම් පන්තිවල හිටියා. ඒක කිසිම පාසලක නොතිබු තත්වයක්.

      මචං….ඔය නැදුරනයා මගේ පන්තියේ. හීනි උස එකා. මම මෙතනින් පලා ගොසින් ආපහු ගෙදර යනවා ටික කාලෙකට. නැදුරනයා කළු අග්ගල ගෙවල්. මායි, ඌයි ෆිට්. 122 බස් එකේ ගියේ. ඌගේ මාර තර්ක, අදහස් තිබුනේ ඒ කාලෙත්. ඒ කාලේදි පොර මාත් එක්ක කියනවා….නේරංජනා නදිය ඉස්සර පොඩි ඇලක් වගේ සයිස් එකට තියෙන්න ඇතිලු. ඒකලු අස්සයා පැන්නේ. පස්සේ පස්සේ වතුර ගලා ගිහින් ගිහින් ඕක මේ ගානට පලල් වෙන්න ඇතිලු..ඒ හින්දා අස්සයෙක් ඕකෙන් එහා පැත්තට පැන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැලු. ඌ මාර ටෝක් දෙන්නේ බස් එකේ යන එන ගමන්…හම්බවුනොත් මං ගැන අහපන්.
      /////උඹයි අර අක්කයි ඒ ගෙදර තනියෙන් ඉන්දැද්දි, ම්ක්කවත්ම උනේ නැද්ද බං…/////
      නැහැ බන්….අර බෙඩ් ජැකට් කියන එකත් ඇඳලා, මල් මල් චීත්තෙකුත් ඔතාගෙන, බඩත් උස්සන් ඉන්න නිසා වෙන්න ඇති එහෙම නොවුනේ 😀 මට ඔය බෙඩ් ජැකට් කියන එක හෙණ අරහං බන්. අනිත් එක ගොඩාක් වෙලාවට නිදි.

      • maathalan says:

        නැදුරනයයි මයි ද ෆිනෑන්ස් එකේ එකට වැඩ කලා කම්පියුටර් ඩිවිෂන් එකේ. එහෙනම් දැක්කොත් උඹව අනිවාරයයෙන් අඳුන ගන්න පුළුවන් වෙයි. නැදුරනයගේ වලව්ව තියෙන්නේ ඉස්ටේසමක් ගාව. ඒ ඉස්ටේසම කළු අග්ගලද කියලා නම් හරිය මතකයක් නෑ. ඊට පස්සේ අපි දෙන්නා ගෝල්ඩන් කී වැඩ කලා. මම හම්බ උනොත් අහන්නම්.

      • jagath says:

        ඇනුරුද්ද ප්‍රබාත් නැදුරණ ගිය අවුරුද්දේ මාරි කලා එය ඉන්නේ වග කහහේනේ

      • ජගත්….උඹත් මීපේ ඉඳන් ආපු නිසා ඒ.පී.නැදුරනව දන්නවා නේද? මාතලන් කියන්නේත් ඌ ගැනම තමයි ගිය අවුරුද්දේ බැන්දා කියලා. ඉස්සර හිටියේ කලුඅග්ගල, ලබුගම ජලාශය පාරේ.

    • jagath says:

      කවුද බන් මේ මාතලන් 12BS4 හිටිය එකෙක්ද

  29. අත්දැකීම් පිරිච්ච කෙටි කතාවත් කියෙව්ව වගේ..
    නවයත් ඉක්මනට දාමු…

    • සංචා……මේක කෙටි කතාවක් නෙමේ නවකතාවකටත් එහා ගිය මාගලක් වෙලා.
      සංචාරයක් ගිහිල්ලා වරෙන් අනිත් එක දාන්නම් 😀

  30. Damith says:

    සොමපාල ගොයිය උබ ඔතන නැවැත්තුවෙ පොරොන්දුව ඉශ්ටකරන්නම වෙන්න ඔන.කොහෙද උබ වැඩෙ අවුල කරගෙන නේ.මිනිහ දන්නව එ වැඩෙ වුනානම් බොඩින් ෆිස් වැඩක් නැ කියල

    • ඒකත් ඇත්ත බන්….මට ඔහොම එකක් හිතුනෙම නැහැ.. ඕකාට හිටිය ගෑණු බලපුවාම.. මාව මේකට සෙට්කරලා එදා කඩවුනු පොරොන්දුව පෙන්නන්න හැදුවාද දන්නේ නැහැ 😀

  31. LDS says:

    කොළඹ කොස්ගස් හන්දියේ කියන්නේ කොහේද? ගූගල් මැප් ලින්ක් එකක් වත් දැම්මනම් හොදයි?

  32. //ඇය නිදි අතරේ මම කාටත් හොරෙන් මගේ අටවැනි නවාතැන් පොළෙන් පලාගියෙමි//
    හුහ්, අම්මපා බලපල්ලකො ඒක කියල තියෙන කැත විතරක් 🙂

    එදා උඹ ගල් ආඳා වගේ ලුහුටල හිය හන්දා බේරුනා කියල හිතාගනින් , ගොයියෝ. නරකද දැන්වත් ඇවිත් පරණ ණය තුරුස් බේරුව නං. හිතහොඳ අම්මණ්ඩි හැමදාම බඩින් කියල කියන්නෙ, කට කහනවටයෑ 🙂

    – කොස්ගස් හන්දියේ අක්කා –

    • සමාවෙයන් අක්කේ ඕන ණයක් තුරහක් බේර ගමු…හැබැයි ඔය හිත හොඳ ගෑණි බඩින් කතාවට මාව අල්ලගන්න එපා…ඕවා සෝමපාල අයියාගේ වැඩ. ඕක තෙරුනේ නැද්ද අප්පා 😀

  33. ඇනෝ මවුස් says:

    රාජකීය විදුහල, කොස්ගස් හන්දිය , පන්සල, අටවැනි නවාතැන.මේක නං ඉඳිආප්ප , වටලප්පන් , චිකන් කරි වගේ දුර්ලභ සුසංයෝගයක්. ඒ වගේම මෙතන පුළුල් පරාසයකුත් තියනවා, ඒකට ඔබේ මතකය සහ ලියක රටාව එක්වුනාම බොහොම අපූරුයි.

    ඔහොම යං 🙂

    • රාජකීය විදුහල, කොස්ගස් හන්දිය, පන්සල….ඇයි බන් ඒ මදිවට ගිය සුමානේ බල්ලෙකුට ගලකිනුත් ගහගෙන ගියේ 😀

      ස්තූතියි ඇනෝ මවුස්!!!

  34. සිරා says:

    ඊලගට ලියන්නේ 9 වෙනි නවාතැන ගැනද…වෙනදා වගේම රසවත් අතීත මතකයන් සමුදායක්..මේ සටහන තවත් ලස්සන වෙන්න කියලා එකතු කරන්න පරණ පින්තූර එකක් දෙකක් නැද්ද…දාන්න පුලුවන් නම් වටිනාකම නිමක් නෑ….

    • සිරා…..ලියන්න නම් සෑහෙන්න දේවල් තියෙනවා බන්. කළු සුදු ෆොටෝස් හෙණ සෙට් එකක් තියෙනවා මම අවුරුදු 3-4 ඉඳන්. අනිත් ඒවාත් පවුලේ ෆොටෝ. ඒවා පෞද්ගලික ඒවා නිසා දාලා වැඩක් නැහැ. අවුරුදු 50ක් විතර පරණ අපේ කට්ටියගේ ෆොටෝස් තාම හොඳට තියෙනවා සිරා.

      • සිරා says:

        ඉතිං ඇයි නොදාන්නෙ…ඔය කියන පින්තූර වල පසුබිමෙන් පෙනෙන එදා සමාජයේ පැතිකඩ දකින්නත් මම නම් හරිම මනාපයි…

      • උඹ දන්නවානේ සිරා ,මට ඔය ස්කෑන් කරන්න අරවා මේවා බැහැ. කවුරු හරි ආපුවෙලාවක කරගන්න බලන්න ඕන.

  35. ලස්සනට එක දිගට කියවගෙන යන්න පුළුවන් විදියට ලියල තියෙනව. ගාන ගෙවන්නැතුව පැනපු සිද්ධියනම් මරු.

  36. jagath says:

    උඹට සුබ අලුත් අවුරුද්දක් ඒ’ එන් – සුදසිංහ

    • පේමි….උඹටත් එසේම වේවා!! මම දවස් දෙකක් උඹට කෝල් කරා. උඹ ආන්සර් කරේ නැහැ. ලෝකල් නම්බර් එකක් වැටෙන්නේ මම ගන්න සිස්ටම් එක නිසා. ආන්සර් කරපන්. මම ඊයේ කිරි හේරත්ට කතා කරා.

      • jagath says:

        071 8353388 මචන් උඹට මතකද මාව ස්කෝලෙට එක්කගෙන ආපු අපේ lokuammඅ එය 2014 04 11 දා අවසන් ගමන් ගියා

      • පළමුවෙන්ම මගේ සාතිශය සංවේගය.
        මට බොහොම හොඳට මතකයි. කොයි වෙලාවෙත් හිනාවෙලා හිටියේ. උඹව කොච්චර ආදරෙන් බලාගත්තාද කියලා මට මතකයි. සෑහෙන්න කාලයක් උඹව ඉස්කෝලේ එක්කන් ආවා. ආපු නැතිදාට මට මතකයි මීපේ හංදියේ බස් හෝල්ට් එකේ ඉන්නවා උඹ බස් එකෙන් බහිනකම්. මම එතකොට පහත්ගම හිටියේ.

  37. Dilan says:

    මේ වගේ ජීවිත අත්දැකීම් වලට මූන දෙන්නත් එසේ මෙසේ පුතයෙක්ට බෑ,මූන දුන්නත් ඉක්මනින්ම කොහෙන් හරි කම්බස් වෙනවා,,එහෙම බලද්දී අරූව මට දාන්න හිතෙන්නේ ජේතවනාරාමෙට ගල් ගහලා වදුරන්ගෙන් බණ අහන්න පුලුවන් ඇම්ඩලාගේ ගොඩට,,අද අරූ මෙහෙම ඉන්නේ අරූ මූන දීපු සිද්දි වලින් හොද පන්නරයක් ලබා ගෙන ගොඩටයි මඩටයි දෙකටම ඔරොත්තු දෙන්න හැඩ ගැහීම වෙන්න ඇති,,මේ නිකමට අහන්නේ දවසකට හරි පොලිස් කූඩුවක වැටුනේ නෑද?

    • ////ජේතවනාරාමෙට ගල් ගහලා වදුරන්ගෙන් බණ අහන්න පුලුවන් ඇම්ඩලාගේ ගොඩට,/////

      එහෙමමත් නැහැ ඩිලාන්. අනන්තවත් ගොබ්බ බුවාලාට මාට්ටුවෙලා තියෙනවා උදව් කරන්න ගිහිල්ලා. ආපහු ඒ දේම කරපු අවස්තාත් තියෙනවා. ජීවිතේට පේමන්ට් එක නොදැකපු පට්ට ඇම්ඩලා ඉන්නවා බන් නියමෙට අරින. අපේ අත්දැකීම් රෝල් කරලා ගහගන්න හිතෙනවා. ඒත් දැන්නම් තේරෙනවා, හැරෙන්නේ කොටු වෙන්නද..කොටු පනින්නද කියලා. ගොඩටයි මඩටයි කතාව නම් හරි.

      පොලිස් කූඩුවකට, හිරේ විලංගුවේ නම් වැටුනේ නැහැ. හැබැයි ඒ කාලේ රෑවෙලා පාරේ ඇවිද්දා කියලා, එලිවෙනකම් පොලිස් ග්‍රවුන්ඩ් එකේ තුත්තිරි ගලවන්න වුනා.

  38. අන්තිමට කියලා තියෙන ක්‍රමේට බෝඩින් හොයාගන්න් එකනම් මාරු වැඩේ කොහොමත් මාසයක සල්ලි ඉතුරු කරගන්න පුළුවන් .කලින් කිව්වනම් අත්හදා බලන්න තිබ්බා , හැබැයි එහෙම වුනානම් මේ වනවිට ජීවතුන් අතර නොඉන්නත් තිබ්බා

    • උඹ කොළඹ ඇවිත් බෝඩිම්වලද හිටියේ…කොහෙද අපේ කාලේ හිටියා නම් කොස්ගස් හන්දියේම සෙට් කරලා දෙනවනේ. එහෙනම් මට පැනලා යන්න වෙන්නේ නැහැ. අක්කේ ..මේ මල්ලි ගණන් බේරයි….මම ගිහිල්ලා එන්නම් කියලා, අක්කාට දණ ගහලා වැඳලා යන්නේ.

  39. උඹේ කතාවයි කොමෙන්ටු ටිකයි දෙතුන් වතාවක් කියෙව්ව්වා. අනේ අර බූරුබබාගේ lotto එක ඉක්මනට අදෙනවානම් ..
    ඔය කොස්ගස් හන්දියෙන් බේස්ලයින් එක පැත්තට තියෙන ස්ටේස් පාර මතකද. මම අනු ගණන්වල ඔතන සයිට් එකක හිටියා .

    • අම්මෝ මචං රංගිට ලොටෝ එක ඇදුනොත් මේ නහින දෙහින කාලේ නළුවෙක් වෙන්න වෙනවා….උඹ දන්නවනේ නළුවන්ට තියෙන කචල්…ඡන්ද ඉල්ලන්න, ඩිවෝස් කේස් ෆයිල් කරන්න, ඇන්ටි නෝනලාට සැප බෝයිස්ලා වෙන්න. මට බැහැ බන් ඕවා.

      ස්ටේස් පාර කියන්නේ හරි බිසි තැනක්නේ. මම 90 ගණන්වල කාසි සොයා රට ගිහින් මචං.

  40. Itnishantha says:

    ඔය තරන්ම නොවුනත් මගේ ජීවිතෙත් ඔය වගේ විකාර ටයිප් එකට තමා. තාත්තා විදේශ ගත උනාට පස්සේ අම්මට සැහෙන වෙහෙසක් ගන්න උනා අපිව ආන්බාන් කරන්න. හිතුවක්කාර කම් වල කිසිම අඩුවක් තිබ්බේ නැ. ඔය වගේ නන්නත්තාරේ ඇවිදීම, මිත්‍ර සමාගම, වගේ දේවල් තිබිලත් පුදුම හිතෙනවා අද මම ඉන්න විදිහත්. හැබැයි එකට හේතු වාසනාව උනේ එක දෙයක් ඇහුවනම් හොඳින් දාරන්‍ය උන මොලේ. අරු කීවට විස්වාස කරයිද දන්නේ නැ සා/පෙ විභාගෙට මාස තුනක් තියෙද්දී තමා මම දැන ගත්තේ උ/පෙ කරන්න ගණිතය නැතිව බැ කියලා. ඒ වෙනකොට වසර ගානකින් කොටුරුල් පොතක් මම ළඟ තිබිලා නැ. කොහොම උනත් රජ මැදුරේත් මුඩුක්කුවෙත් ඉන්න ජීවිතේ පන්නරය ලැබුනේ ඒ හිතුවක්කාරකම් හින්දම තමා.

    • නිශාන්ත…..ඔය රස්තියාදුකාර හැසිරීම් නවත්තගන්න පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මට ඒකෙන් මිදෙන්න සෑහෙන්න දේවල් නැතිකරගන්න වුනා. රස්තියාදුව කියන්නේ වගකීම් අමතක කරදැමීම.
      මටත් යමක් වරක් කියු පමණින් වටහා ගන්න හැකියාවක් තිබුනා. මම ඒ හැකියාව ප්‍රයෝජනයට ගත්තේ ඉස්කෝලේන් අයින් වුනාට පස්සේ. මටත් ආපසු හැරි බලනකොට පුදුම හිතෙනවා මම ගතකරපු ජීවිතය ගැන බලපුවාම. මෙහෙම ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය මගේ බිරිඳට හිමිවිය යුතුයි.

  41. උඹ තරම් හැම අත්දැකීමක්ම ලබපු කෙනෙක් ලේසියෙන් හොයා ගන්න බෑ මචං. හැම සිදුවීමක්ම හා ඒ පරිසරයම මැවිලා පෙනුණා. උඹේ ලිවීම පංකාදුයි මචං!

    • බොහෝම ස්තූතියි ගුණේ!! ඔහොම කියවගෙන පලයන් ඉස්සරහට. කොහෙද ගිහින් හිටියේ?

  42. Miyuru says:

    සෝමපාල අයියා කිව්වට ඕන තරම් කාලයක් ඉන්න කියලා එයා ඒ බව ගෑණු මනුස්සයට කියන්න නැතුව ඇති… එයා බලන් ඉන්න ඇති අරූගෙන් සල්ලි ලැබෙනකම්… අරූත් පව්… ඒ අක්කත් පව්…

    අවුරුද්දට නෑයො ඇවිල්ලා පරක්කු උනා කියවන්න එන්න…

    • ඇත්තටම මියුරු ඔහොම සීන් එකක් තමයි වෙන්න ඇත්තේ. කෙලින් කතා නැතිවුනාම වෙන වැඩ තමයි ඕවා.

      නෑදෑයෝ ඇවිත් ගිය නිසා, ලබන අවුරුද්ද වෙනකම් දැන් රෙස්ට් නේ.

  43. dilan says:

    හම්මෝ පිස්සු හැදිල ආයිත් හැදෙනව…

    • ඉක්මනට බෙහෙත් ගනින් ඩිලාන් 😀
      රටටම පිස්සු නිසා අපිත් පිස්සු වගේ ඉන්න එක හොඳයි 😀

  44. prasanga says:

    ජීව විද්‍යා පන්ති 4ක් සහ ගණිත පන්ති 4ක් විය. මේ විෂයධාරා දෙක මිශ්‍රව ඉගෙනීමට එක් පංතියක් විය. මම ඇතුළුවූයේ එතරම් දක්ෂයින් සිටි පංතියකට නොවේ. අප පංතිය හැඳින්වූයේ “වල” නමින්ය. වල පන්තියේත් තාර මුඩුක්කුව නමින් සෙට් එකක් විය. මමද එහි ප්‍රධාන සාමාජිකයෙක් විය. මේ කංඩායමේ සිටි බොහෝ දෙනෙක් අපූරු මිතුරන් විය. මොවුන් සියල්ලක්ම කොළඹ අවට නාගරික වැසියන්ගේ දරුවන් වූහ. ශ්‍රීනාත් ප්‍රේමරත්න (පුංචි බොරැල්ල )අජිත් කුමාර (මරදාන )ලලිත් චන්ද්‍රරත්න (කොල්ලුපිටිය )කපිල පීරිස්, අරෝස ජයසිංහ (ගල්කිස්ස ) ධම්මික අගලවත්ත (ජාවත්ත )අප කංඩායමේ ප්‍රබලයන් විය. අප තරම්ම දඩබ්බර වැඩ නොකළත් තවත් සුවිශේෂ චරිත කිහිපයක් අප පන්තියේ විය. කාලිංග ඉන්දතිස්ස, ඉන්දීර උක්වත්ත, නිලූ ෆිලිප්ස්, ජෙරමි බෝලින්ග්, අජිත් දේවසුරේන්ද්‍ර, ඩී.එස්.ගුණරත්න, ජගත් අබේසිරිගුණවර්ධන ඉන් සමහරක් අයවේ. මින් බොහෝමයක් ක්‍රිකට්, රගර්, පාපන්දු,ඔරු පැදීම වැනි ක්‍රීඩාවන්හී ඉහළ දස්කම් දැක්වූවන් විය.

    මමත් රාජකීය විදුහලේ……..නමුත් ඔබට වඩා වසර කිහිපයක් පහලින්. ඔබ ලීයා තිබෙන මේ උඩින් තියන වැකියෙ මගෙ නැදැ සොහොයුරෙකුත් ඉන්නව. ඒ ඉන්දීර උක්වත්ත. ඒ එක්කම අසන්ග උක්වත්තත් ඔබට මතක ඇති. මම අසන්ගගෙ මල්ලි. ධම්මික අගලවත්තගෙ මල්ලි සම්පත් මගෙ පන්තියෙ. අජිත් දේවසුරේන්ද්‍ර මගෙ හොද මිතුරෙක්

    • හලෝ ප්‍රසංග…..කොහෙන්ද මේ පිස්සු බ්ලොග ගැන දැණගත්තේ කියන්න. හරි සතුටුයි කවුරුහරි මේක කියවන එක.

      ඔව් ඉන්දීරයි,අසංගයි කසින්ස්ලානේ. ඉන්දීරලාගේ තමයි මවුන්ට් ලැවිනියා හොටෙල්, මැකලම් බෲවරීස්, යූනියන් ප්ලේස් එකේ තිබුනු මැකලම් බුක් ෂොප්. අපි ඉස්සර ඉන්දීරගෙන් දඩයක් දාගන්නවා ඉඳලා හිටලා. අසංග කණ්ණාඩි දැම්මා නේද?

      ධම්මික අගලවත්ත නොහොත් අගලේ…..මාත් එක්ක එකටම හිටිය එකෙක්. අස්වුනාට පස්සෙත් වල බැස්සා. මල්ලි සම්පත් රගර් ගැහුවා නේද? අගලේගේ තාත්තා ජජ් කෙනෙක් ඒ කාලේ. අගලේ පස්සේ හොස්ටල් ආවා. මට පිස්සු කිව්වොත් කවුරු හරි අගලෙට පිස්සු ඩබල් කිව්ව හැකි. ෆිට් බුවෙක්. අජිත් ප්‍රිෆෙක්ට් කෙනෙක් ඒ දවස්වල. නමුත් අපිට කචල් නැහැ.

      ප්‍රසංගට පුලුවන් නම් මේකට රිප්ලයි එකක් දන්න. එතකොට මගේ මෙමරි එක රිෆ්‍රෙශ් වෙනවා.

  45. ප්‍රසන්ග says:

    මම කොහොමත් සින්හල බ්ලොග් කියවනව. එතකොට ඊයෙ අහම්බෙන් තමයි මේ බ්ලොග් එක සෙට් උනේ. මුලින්ම අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය එක තමයි කියෙව්වෙ. ඒකෙදි මමත් මගෙ අතීතයට ගියා. Lion House, Mayfair Hotel, Victoria Wine Stores වගේ තැන් වල අපිත් යාවජීව සාමජිකයො. Lion House එකේ ස්පන්චියයි ප්ලේන්ටියයි තවම මතකයි. පහු කාලෙක මම කොල්ලුපිටියෙ ශෝ වොලස් අන්ඩ් හෙඩ්ජස් එකෙ වැඩ කලා. හැම සිකුරාදාවකම කට්ටිය මුලින්ම එකතු වෙන්නෙ Lion House එකට එතනින් පාර පැනල Victoria Bar එකට ඊට පස්සෙ හතර දිබ්බගෙ රවුම් ගහල කට්ටියගෙම නයිට් පාක් එක අපේ ගෙදර.
    …
    …ඔව් ඔයා හරි. ඉන්දීරගෙ තාත්තයි අපේ තාත්තයි සහොදරයො. ඒ දෙන්නයි තව සහොදරයෙකුයි එක්ක තමයි ත්‍රී කොයින්ස් කියන නම හැදුනෙ. ඒ සහොදරයගෙ පුතත් රාජකීය තමයි. දිනේශ් ධර්මදාස මාල් විජේරත්න සර් ගෙ පන්තියෙ, සමහරවිට දන්නවත් ඇති
    …
    …ඔයා එක සටහනක කියල තිබුන සුරාජ් ඇන්තනීස් ගෙ කසින් තමයි දිනේශ්. ඒ එක්කම ගේට්ටුවෙ හිටපු හනිෆා ගැන. එයා ඉන්ග්‍රීසියෙන් කාතා කරනකොට අපි කොරවෙන හැටි. ඒව කියවන කොට ආයෙත් ඉස්කෝලෙ යන්න තියනවනම් කියල හිතෙනව. මතකද තාප්පෙන් පැනපු කාලෙ. අර ටෙනිස් කෝට් එක ලග අලුත් බිල්ඩිම පිටිපස්සෙ කොට තාප්පෙ තවමත් එතනින් යනකොට හිනා යනව.
    …
    …හැකි නම් කඩලෙ ගැනත් යම් සටහනක් කරන්න. මමත් මතක හැටියට සම්මදම් වෙන්නම්.
    …
    …ධම්මික අගලවත්ත නොහොත් අගලේ……. ඔව් අයියයි මල්ලී දෙන්නම අගලෙ. මේ පාර Roy-Tho එකේ දෙන්නම සලු වෙලා හිටිය. ලොකු අගලෙ නම් ලාවට හැබැයි සම්පතය නම් ෆ්ලැටේ ෆ්ලැට්. උව හදන්න බැහැ. නමුත් කචල් නැහැ. පිස්සු ඩබල් නෙමෙයි පිස්සු පීකිදු.
    …
    …තව ලියන්න නම් ඕන තරම් දාවල් තියනව. ඒව පස්සෙ ලියන්නම්.

    • ප්‍රසංග…..මේ තොරතුරු හරිම රසවත්. මම ඔය ත්‍රීකොයින්ස් ,සහෝදරයෝ තුන් දෙනෙක්ගේ එකමුතුවක් කියලා දැණගත්තේ අදයි.
      ඉන්දීරගේ, අසංගගේ බජාර් එකේ හිටියා විරාජ් ඩි මෙල්, නන්ද කළුතන්ත්‍රි වගේ තව අය, ඉන්දීරට අයියා කෙනෙක් හිටියා සනත් කියලා. මට දිනේෂ් මතක්වෙන්නේ නැහැ. සුරාජ් මාර පිස්සු බුවා. ලොකු අගලේ හමුවුනොත් මතක් කරා කියන්න. මම තව පෝස්ට් එකක් ලියන්නම් ඉස්කෝලෙන් අස්වෙන කාලේ මතක් කරලා.

      • Prasanga says:

        ඔව් ඒ බජාර් එකේ හිටිය විරාජ්, නන්දලාල් කලුතොට, ජානක, ක්‍රිශන්, මිත්‍ර වීරකෝන් එක්ක තව හිටිය නම් මතක නැහැ. විරාජුයි නන්දෙයි ම්ත්‍රයි නම් ලන්කවෙ ඉන්නව අනිත් කට්ටිය කොහෙ ඉන්නවද කියල දන්නෙ නැහැ.
        …ඔව් ඉන්දිරගෙ සහෝදරය තමයි සනත් එයා තමයි Mount Lavinia Hotel එකේ chairman. ඒ එක්කම ඉන්දීරහෙ නන්ගිත් බැන්දෙ රාජකීයෙක්මයි නමින් අජිත මදනායක ACL Cables, Plastic, Atlas කට්ටිය
        …ලබන සති අන්තෙ Bradby Shield 2nd leg එක නුවර තියනව. ඒකෙදි අගලෙ සෙට් එකම හම්බවෙයි. එතකොට කියන්නම්. ඔයා fb එකේ ඉන්නව නම් මට ඔය ගොඩක් කට්ටියගෙ fb accounts දෙන්න පුලුවන්.
        …පස්සෙ තව ලියන්නම්. ගෙදර කට්ටිය ඛෙද යන්න කතා කරනව
        …

      • මම ෆේස්බුක් එකෙන් අයින්වෙලා ගොඩාක් කල්. කට්ටිය මතක් කරන්න. තෑන්ක්ස්.

  46. අපෙත් තිබුනා ඔහොම බැල්කනි එකක්…අපිත් ඒකෙ කොලේ ඕකමයි.අපේ පන්තියේ නෙවෙයි හැබැයි ඉතින් කට් කරන්න ඕනි වුනාම එතන බැල්කනියෙන් පහලට පනින එක තමයි ලේසිම 😀
    මෙහෙම අරූ කළා කියලා විස්වාස කරන්නත් අමාරුයි. අර මඩොල් දූව කියවනවා වගේ. සුපිරියි !

  47. අනේ මන්ද අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න අමාරුයි !

    අසීමංථික නිදහසක් විඳලා වගේම මාර කට්ටක් නොවැ කාල තියෙන්නේ 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s