අවුල් වන්නට පෙර (37)…මාදුරුඔය ශ්‍රමදානය

මම නැවතත් ගෙදර බලා පිටත්වුනෙමි. ගෙදරත්,ඒ අවටත් කිසිම වෙනසක් පෙනෙන්නට නැත. සුපුරුදු පරිදි සියල්ල සිදුවූවත් තාත්තාගේ නම් සැබෑ වෙනසක් දකින්නට තිබේ. ඔහුගේ වැඩ කටයුතු කිසිවක් නතරවී නැතිමුත් යම් පරිවර්තනයක් පෙනේ. දැන් ඔහුගේ කාර්යාල මිතුරන්, දේශපාලන මිතුරන් වෙනුවට ඇත්තේ ගමේ මිතුරන්ය. ඒ දිනවල රැකියාවට හැඳ පැළඳගිය මැදපු සුදු කමිස, කලිසම් වෙනුවට අතට අහුවෙන ඇඳුමක් අඳින බවත්, සපත්තු වෙනුවට සෙරෙප්පු ආදේශවී තිබෙන බවත් පෙනේ. මොහු සියල්ලෙන්ම කලකිරී සිටින සේය. අරක්කු වෙනුවට කසිප්පුත්, සිගරට් වෙනුවට බීඩිත් මදි පාඩුවට ඔහුගේ ඇසුරේ ඇතිබවත් දක්නට ලැබේ. එකල සුදුබීඩි නම් වර්ගයක් විය. ඒවා හංවැල්ලට නුදුරු මල්වාන ප්‍රදේශයේ ගෘහස්ථ කරමාන්තයක් ලෙස පැවතිණි. ගමේ සිල්ලරට කසිප්පු විකුණු තැන්වලත් දිනක් හෝ දෙකක් තාත්තාව කවුරුන් හෝ දැක ඇතැයි සීයා පැවසීය. කසිප්පු විකුණුවේ කකුල් දෙකම පෝලියෝ රෝගයට ගොදුරුවූ කෝරළේ නම් මිනිසෙකි. ඔවුන් තාත්තාගේ පෙර සිටම මිතුරන්ය. අසල මළ ගෙයක් සිදුවුවහොත්, කසිප්පු බූලිය කාට හරි කියා ඒ අසලම පඳුරකට මුවා කර තබා ගනී. මහ රාත්‍රියේ ජංගම බාර් එක කෝරළේය. තාත්තා ඉස්සර නම් කීවේ කෝරළේ ශෝකය බෙදන්නේ අශෝක වීදුරුවෙන් කියාය. දැන් තාත්තාද ඒ අශෝක වීදුරුවේම පාරිභෝගිකයෙක්වී අහවරය.

සීයාට නම් මේ අසන්නට ලැබෙන මේ තොරතුරු වහ කදුරු මෙන් තිත්තය. ඔහු සිටියේ කෝපයෙන් හා කනගාටුවෙනි. ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලිජියේ ඉංග්‍රීසි බසින් ඉගෙණුම ලබා යම්කිසි වැදගත් රැකියාවක් කරන එකෙක් හැසිරෙන්නේ මෙහෙම දැයි සීයා බෙරිහන් දෙයි. අපේ අම්මාටද නැති තැන දොස් කියන්නේ තාත්තාව හදාගත්තේ නැතැයි කියාය. අපේ අම්මාට හදාගන්න ඉලව්වක් ඉතිරිවී තිබුනේ නැත. තාත්තා උපන් නැකතින්ම විනෝදකාමියෙක් වූ බව සැක නැත. මම සීයා සමග පළමුවරට කට ගසා ගත්තේ අම්මාට දොස්කීම නිසා බැව් මට හොඳ හැටි මතකය. ටික වේලාවකින් සීයා කඩයට ගොස් ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් මට බොන්නට සලස්වා, මා අත මුදලක් තැබුවේ අම්මාට දෙන ලෙස දන්වමින්ය. සීයාට මා ගැන හෝ අපේ අම්මා ගැන දුක හිතෙන්නට ඇතිය. වැරද්දක් තිබුනත් තම දරුවා සුද්ධ කිරීම සමහර දෙමව්පියන්ගේ හැටිය. ඒ ආදරයට විය හැකිමුත් ,නිවැරදි නොවේ. අදත් කවුරුන් හෝ අපේ අම්මාට දොසක් කිවහොත් මට ඉවසා සිටීමට හිත ඉඩ නොදේ. ඇය කල කැපවීම් අප හොඳින් දණී.

ලොකු නංගීද පාසල් අධ්‍යාපනයට උනන්දුවක් නැති බව පෙනේ. හතරවැනියාවූ මල්ලී හංවැල්ලේ මායාදුන්න විදුහලේ ඉගෙනුම ලබයි. අප පවුලේ කාගෙත් ආදරය හා අවධානය නිතර ලැබූ පස්වැන්නාවූ නංගි කුඩාකල සිටම ඉතා සියුම් මන්ද මානසික තත්වයකින් පසුවන බව වැටහුණේ ඇය පාසල් යාමට පටන්ගන්නා කාලයට ටික කලකට පෙරය. ඇයව ගමේ පංසලේම තිබු පාසලට ඇතුළත් කළමුත් විවේක කාලයට ලැබෙන විස්කොතුත් රැගෙන එවෙලේම ගෙදර යන බව විදුහල්පතිතුමාද දැන සිටි කාරණයක් විය. ඇයට මේ සඳහා තහංචි නොවීය. ඇය මෙන්ම එවැනි තත්වයේ පසුවූ දැරිවියක් අප අසල නිවසක විය. ඒ ගමේ මැම්බර් රාළහාමිගේ දියණියය. මේ දෙදෙනා ඉතාමත් සමීප මිතුරියන් විය. ඔවුන් දෙදෙනාටම මේ ලෝකය පෙනෙන්නත් දැනෙන්නත් ඇත්තේ එකම විදිහකට විය යුතු යැයි මම සිතමි. හයවැනියාවූ පුංචිම නංගීද හංවැල්ලේ රෝමානු කතෝලික පාසලට ඇතුළුවිය.

දැන් මට අපේම ගෙදරත් දැනෙන්නේ තවත් නවාතැන් පොළක් සේය. පසුගිය වසර කිහිපය තුළ මම ගෙදර නැවතී සිටියානම් ඒ බොහෝම කෙටි කාලයකට පමණි. මම නැවතත් ගෙදර සිට පාසැල් යන්නට පටන් ගතිමි. මේ මගේ නවවැනි නවතැන යැයි කීවාට වරදක් නැත. ගමේ සීයා මට බස් සීසන් එක මිලට ගෙන දුන්නේය. එදා ලංගමයට පින්සිදුවෙන්න සියලුම පාසල් සිසුන් මේ බස් සීසන් ටිකට් එකෙන් උපරිම පළ නෙලූහ. පාසල ඇරී ගෙදර ආ සැණින් යමක් ගිල දමා අප සිටි ඊරියගොල්ලේ නිවසේ සිට සීයාගේ ගෙදරට එක පිම්මට දුවගෙන යාම දිනපතා පුරුද්දක් විය. පොතක් පතක් රැගෙන ගොස් කියවීමටත් පුරුදු විණි. ගැටවර වියේ කොළුවෙකුට තම ජීවිතයේ පළමු ලිංගික අත්දැකීම කිසිදිනෙක අමතක නොවේ. මට ඒ වයසට ලැබිය හැකි උපරිම අත්දැකීම් ලබන්නට අවස්ථාව උදාවිය. ඒ අප සීයාගේ ගෙදරට නුදුරින්ම තිබු නිවසක අප ඥාතියෙක්වූ මට වඩා වැඩිමහල් අවිවාහක සොහොයුරියක් සමගය. මෙය ඇයටද හානියක් නොවූ ප්‍රාථමික ලිංගික ඇසුරක් වුණි. මෙවැනි අවස්ථා ඔය වයසේදි ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ සඳහා ඇති පදම් නිදහස තිබුණේ ඇයගේ නිවසේද හැන්දා වරුවේ කිසිවෙක් ගැවසුණු නැති නිසා යැයි කිව යුතුය. පාසල් ඇරී සුපුරුදු රස්තියාදුවේ මිදි ,පැමිණෙන පළමු බසයේම ගෙදර ඒමට මම යුහුසුළු වුණෙමි. ඒ කිමදැයි කිවයුතු නොවේ. පාරේ රස්තියාදුවට වඩ මට දැන් වෙනත් රස්තියාදුවක් ඇත. ඒ ගැන අටුවා ටිකා ලිවිය යුතු නැත. ඇය දැන් මිත්තණියක් විය යුතුය. යමක් කමක් වැටහෙනා කාලයේම මා ලැබු ඒ අත්දැකීම එලෙසය.

1977 මහා මැතිවරණයෙන් පසු ගාමිණි දිසානායක මහතා මහවැලි විෂයභාර ඇමති විය. මේ වනවිට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාදුරුඔය ජලාශය මුල් කරගෙන ප්‍රතිසංස්කරණයන් පටන්ගන්නා යනබවත්, එහි එක් අංගයක් වනුයේ පාසැල් සිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම ප්‍රදේශයේ යෝධ ඇල මාර්ගයක් කැපීමය. මේ සඳහා පාසල් දහයක් හෝ පහළොවක් එකවර සහභාගිවෙන බවත් එක පාසලකින් 40ක් පමණ සිසුන් සිටිය යුතු බවත් ගුරුවරුන් දැන්විය. මේ 1978 වසරයි. ඒ ව්‍යාපෘතිය හා සම්බන්ධ විෂය කරුණු දැන් අමතකවී ඇතත් ඒහි ගොස් ගතකළ සති දෙකකට ආසන්න කාලය නම් ඉතාම සුන්දරය

මේ ශ්‍රමදානය සඳහා කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඉසිපතන විදුහල් සහභාගිවූ බව මතක තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ කංඩායමක්ද එකතුවිය. පොලොන්නරුව අවට පාසල් කිහිපයක්ද සිටී. රාජකීය විදුහල් කංඩායමට අපේ “වල” පංතියෙන් කිහිපදෙනෙක්ම එකතුවිය. පොත්පත්වලටම ඇලී ගැලී සිටි ඔතෑනි එවුන් හා කොළඹ හතේ ලොකු පවුල්වල උදවියගේ ළමයින් මේවාට එවන්නේ නැත. මෙවැනි ක්‍රියාකාරකම් ගොඩ දාගන්නට වෙන්නේ අප වැනි චාටර් කොල්ලන්ගෙන් බව ගුරුවරුද දනි. අපි කොහොමත් යන්න රෙඩිය. අප කංඩායම භාරව ගුරුවරුන් හතර දෙනෙක්ද, ආහාර පිසීමට හොස්ටල් එකේ සිටි අරක්කැමියන් තිදෙනෙක්ද පැමිණියෝය. එක් ගුරුවරයෙක් වූයේ සමන් අමරසිංහ මහතාය. පාසලේ ආදි සිසුවෙකුද වූ මොහු පසු කාලයක පළමු පෙළේ ක්‍රිකට් විනිසුරෙක්ද විය. මෙවැනිම ආදි සිසුවෙක් ගුරුවරයෙක්දවී පසුව උප විදුහල්පති ධූරයක්ද හෙබවිය. ඒ නම් කාලයකට පෙර අප අතරින් වියෝවූ විජී වීරසිංහ නම්වූ අති කාරුණික ගුරු පියාණන්ය. ලතින් සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක්වූ එතුමා දිවිගෙවූ වසර හැත්තෑවෙන් වසර හැටකට අධික කාලයක් රාජකීය විදුහල් සෙවණේ ගැවසී ඇත. විශ්ව විද්‍යාල ජීවිතයේ වසර හතරින් පසු පාසලේ සේවයට එක්වී ඇත. නිල කාලයෙන් පසු ආදී සිසුන්ගේ ඉල්ලීම මත පාසලේ ආදි සිසු සංගමයේ කාර්යාලයේ අනුශාසක ධූරය දැරීය.

මාදුරුඔය ශ්‍රමදාන කඳවුරේ තාවකාලික පහසුකම් රාශියක් විය. සෞඛ්‍යය, පරිපාලන හා අනිකුත් මූලික පහසුකම් රජය මගින් සපයා තිබුණි. අවශ්‍ය දෑ මිලදී ගැනීමට තාවකාලික සතොස ගබඩාවක්ද මේ කැලය මැද ඉදිකර තිබුණි. අප සති දෙකකට ආසන්න කාලයක් මේ කඳවුරේ ගත කළෙමු. මේ කැපීමට නියමිත ඇල මාර්ගය එක් එක් පාසල්වලට කොටස් ලෙස වෙන්කර තිබුණි. ඒ දින කිහිපය තුළ ඒ නියමිත කොටස කපා සම්පූර්ණ කිරීමට අන් සියල්ලක්ම සමත්වූවත් , රාජකීයයන්ට එය එතරම් ලෙහෙසි නොවීය. එම ඉතිරිවූ කොටස පසු කාලයකදි කවුරුන් හෝ කපා දමන්නට ඇත.

ඒ ගතකළ කාලය අතිශයින්ම සුන්දර දින කිහිපයක් විය. පාසැල් කංඩායම් අතර තේ පැන් සංග්‍රහ, විවිධ ක්‍රියාකාරකම්, විනෝද වැඩ සටහන් අඩුවක් නොවීය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු කංඩායමත් සමග අප කිහිප දෙනෙක් ළඟින් ඇසුරු කළේ වෙන කාටත් හොරෙන් සිගරට් ඉරීමටය. අතිශය රහසිගත ලෙස අරක්කු වීදුරුවක් ගංජා උගුරක් නොලැබුණාද නොවේ. වැඩිහිටි සිසුන් ලෙස ඔවුන් එය තෝරා බේරා සප්පායම් වීමටද බලාගති. එම ශ්‍රමදානයට සහභාගිවූ සියලුම සිසුන්ට යම් මුදල් පරිත්‍යාගයක්ද කෙරුණු අතර සහතික පතක්ද ලැබුණු බව මතකය.

අපි සියල්ලෝම නැවත දුම් රියේම කොටුවට පැමිණ නිවෙස් බලා පිටත්වුයෙමු. අප පැමිණි දුම් රියේ බිම වැටී තිබී තවත් මුදල් කවරයක් මට හසුවිය. ඒ අප සමග පැමිණි කොළඹ පාසල්වල සිසුන් අතරින් කාට හෝ ලැබුණු ශ්‍රමදාන පරිත්‍යාගයක්ය. මමත් මගේ මිතුරෙකුත් අයිතිකරු සොයාගැනීමට පොඩි උනන්දුවක් දැක්වූ මුත් පසුව ඒ උත්සාහය අතහැරියේ ඒ වනවිට බොහෝ දෙනෙක් විසිර ගොස් සිටි බැවිනි. මමත් මිතුරාත් මෙය බෙදා ගත්තෙමු. මට ලැබුණු මුදල් ගෙදර ගොස් අම්මාගේ අතට දුන්විට ඇයගේ දෑසින් කඳුළු ගැලූ බව මට මතකය. මගේ දහඩියට ලැබුණු යම් මුදලක් අම්මාගේ අත තැබූ පළමු අවස්ථාව එය විය. එදායින් පසු රැකියාවක් කිරීමට පටන් ගත්දා සිට අදවන තෙක් හැම මාසයකම අපේ අම්මාගෙ අතට මුදලක් දීමට අතපසු නොකෙරුවෙමි. අප පවුලේ සියල්ලන්ම එසේය.

මාදුරුඔය ව්‍යාපෘතිය තුළින් රටට යම්කිසි දායකත්වයක් ලැබෙන්නේ නම් , මමද එම මූලික වැඩකොටස වෙනුවෙන් එක් උදලු පහරකින් හෝ සම්මාදම්වූ එකෙකු බව කීම ආඩම්බරයකි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

118 Responses to අවුල් වන්නට පෙර (37)…මාදුරුඔය ශ්‍රමදානය

  1. //අපේ අම්මාට හදාගන්න ඉලව්වක් ඉතිරිවී තිබුනේ නැත. තාත්තා උපන් නැකතින්ම විනෝදකාමියෙක් වූ බව සැක නැත//
    තාත්ත අරක්කු වලින් සිගරටි වලින් කසිප්පු බීඩි වලටත් ගමේ යාළුවන්ටත් මාරු වෙද්දිම මට හිතුනෙ තාත්තගෙ නැකතෙ අවුලක් කියල තමයි බං.

    උඹ ආයෙ ඉස්කෝලෙ යන්න පටන් ගත්ත කිව්වම මට පුදුමයි. මගේ යාළු‍වෙක් හිටිය අපේ ගෙවල් කිට්ටුව. හතරෙ පන්තියෙදි විතර ඉස්කෝලෙ යාම නැවැත්තුව. ඊට පස්සෙ මාත් එක්ක සෙට් වෙලා හතේදි විතර ආයෙ ඉස්කෝලෙ ගියා. මූට ඉස්කෝලෙ යන්න අඩුම ගානෙ දවසකට රුපියල් විස්සක්වත් ඕන. උඹේ කතාව කියවද්දි මට මතක් උනේ ඌ. ඌ දැන් ආමි එකේ මේසන් බාස් කෙනෙක්.

    අර කාලෙට කන්සැප ලැබෙනව කියන්නෙ නං නියමයි නේද! 🙂

    • රාජ්…….අපේ ඩැඩීගේ නැකත වෙනස් වුනේ අවුරුදු හැටපහත් පැන්නාට පස්සේ. එතකම් පොඩ්ඩක්වත් වෙනස්වුනේ නැහැ.
      මට මේ තැනින් තැන ජීවත්වෙන එකත් හරි වාතයක් වුනා. ඒත් ඉතින් උවමනාවක් තිබුනා නම් ඔහොම වෙන්නේත් නැහැ. මම මචං නොකඩවා පාසල් ගියා. හැබැයි ඉන්ටවල් එකෙන් පස්සේ හරිම අඩුයි පන්තියේ හිටියා.

      ඒ කාලේ තමයි ඇත්තටම කන්සැප ලැබෙන්න ඕන. දැන් නම් ඕනෙත් නැහැ කියලා හිතෙනවා 😀

  2. විදානේ.. says:

    ෂැහ්,
    අර සැප හොයාගන්න ගමටම එන්න උනා නේ…
    කාටත් හොරාට අඩියක් ගහන එක පුදුම අාතල් එකක් ඔය වයසට,
    හැමදාම වගේ හිතට දැනුනු විස්තර ටිකක්…

    ජය වේවා!!!

    • ඒකනේ විදානේ. ඔය කොයි දේටත් ගමට එන්න ඕන. උඹ කියන්නේ ඔය වයසට අඩියක් ගහන්න ලැබෙනවා කියන්නේ මැජික් වගේ. කුතුහලය, ආසාව තමයි. හිස් බෝතල්වල අන්තිම ඩ්‍රොප්ස් ටික හොරෙන් කටේ හලා ගන්නවා.

  3. මට මේ සැරේ අවුරුද්දට දුවලා දෙන්නගෙන්ම තෑගි හම්බවුනා. ඇත්තටම ඒ වෙලාවට එන හැඟීම වචන වලින් කියන්න අමාරුයි. දෙමවුපියන්ට කොච්චර සැලකුවත් මදී කියන හැඟීම මට තදින්ම දැනුනේ මගේ දෙමවුපියන් මෙලොව හැර ගියාට පසුවයි.

    ඈත දුරක ගිහින් කොලු රෑනත් එක්ක සිල් ගත්තත් කොලුකම් නොකර හිටියොත් ලොකු අඩුවක්. රසවත් ගමනක රසවත් තොරතුරු අපිටත් කීවට ස්තුතියි.

    • ඒකනම් ඇත්ත විචාරක…අපේ දුව ඉගෙනගන්න කාලේම ඔය McDonalds එකක පාට් ටයිම් වැඩක් කරා . ඒකෙන් හම්බවුනු සල්ලිවලින් මටයි වයිෆ්ටයි ඉස්සෙල්ලාම යමක් අරන් දුන්නා. ඊට පස්සේ එයාට හම්බවුනු සල්ලිවලින් ආච්චිට කීයක්ද යැව්වා. වයිෆ්ගේ දෙමව්පියන් ජීවතුන් අතර නැහැ. ඒ දේවල් දුව කරනවා දැක්කාම ඇස්වලට කඳුළු ආවා. දෙමව්පියෝ ගැන කියන්න වචණ නැහැ විචාරක.

      කොලු කාලේ නොකරන දේවල් ආයේ කවදා කරන්නද නේද?

  4. ඔයාගේ මතකය ගැන හරිම පුදුමයි . ////ඊරියගොල්ලේ // ගැන කියද්දී මතක් වුණේ මනුතාපය කියන සිංහලට පරිවර්ථනය වෙච්ච පොත…රතුපාට පිටකවරේ තියෙන ,ගොඩක් පුංචි කාලේ කියවුවේ,.

    //අපි සියල්ලෝම නැවත දුම් රියේම කොටුවට පැමිණ නිවෙස් බලා පිටත්වුයෙමු. // මේකේ ඔයා දුම් රියේ කියලා දෙකට කඩලා ලීවේ ඇයි..? ඒකද හරි විදිය ?

    • ඔමා….අපි හිටිය හරියට කිව්වෙත් ඔය නම තමයි. I.M.R.Aඊරියගොල්ල මහත්මයා දක්ෂ ලේඛකයෙක් වගේම බුද්ධිමත් දේශපාලකයෙක්. ඔහු ගැන පරණ උදවිය බොහෝ දේ කතාවෙනවා.

      මගේ යුනිකෝඩ්වල දුම්‍රිය එකට ලියවෙන්නේ මෙහෙම. හෙන්‍රි මෙහෙම. ඒ නිසා තමයි මම කඩලා ලියන්නේ. එකට ලියන එක වෙන්න ඇති හරි ක්‍රමය.

      • මචං එතකොට කඩලා ලියලා ඊට පස්සේ කමෙන්ට් බොක්ස් එකේදි මැද්දට කර්සර් එක දාල බැක් අප් කරපං.
        දුම් රිය දුම්රිය
        හෙන් රි හෙන්රි

      • තෑන්ක්ස් හෙන්රි!! දැන් හරිනේ.

    • හ්ම්ම්,, දැන් හරිනේ. අවුල් වෙන්නට පෙර කොහොමහරි පෝස්ට් ටික කියෝගත්තා 🙂

    • හ්ම්ම්, ඔව් ,මේ හැම දේටම මට තියෙන එකම විසදුම ලිවිම විතරයි අයියේ

  5. Dilan says:

    අම්මා කෙනෙක්ට ඔහොම පලමු වරට මුදල් දෙනකොට ඇත්තටම අම්මාටත් අපටත් කියා ගන්න බැරි අමුතුම හැගීමක් එන්නේ,,
    ගෑනියෙක් නිසා රස්තියාදුව අඩු වෙලා ආයෙත් පොතට ඔලුව එහෙම ගියාද අරූ,
    මහවැලිය ඉතා ඉක්මනින් කරපු පොජෙක්ට් එකක් නේද,යම් යම් දූශන චෝදනාත් තියනවා නේ ගාමිනි මහත්මයට,ඒත් වැඩේ සාර්තකයි අදටත්,ශ්‍රමදාන වගේම ඔතන සුද්දෝ නේද ඔය ප්‍රොජෙක්ට් එක බාරව උන්නේ,ඔය කාලෙ වෙනකොට මාදුරු ඔය කෑම්ප් එක තිබුනද?

    • ඩිලාන්..ඇත්තටම දෙමව්පියන්ට සලකනකොට හෝ යමක් දෙනකොට ඇතිවෙන හැඟීම කියලා ඉවරකරන්න බැහැ. චිත්‍රපටියක් වගේ අතීතය මැවිලා පේනවා. ඒ හැඟීම් තමයි අපිව ජීවත් කරන්නේ.

      ආපහු පොතට ගියාද කියලා හරියටම කියන්න බැහැ බන්. අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තමයි නිතරම.

      මහවැලි ව්‍යාපාරය ගැන දූෂණ චෝදනා නම් හරියට තිබුනා තමයි. මේක කඩිනම් ව්‍යාපෘතියක් කියලා තමයි නම් කරලා තිබුනේ. 1978දී නම් සුද්දෝ ඇවිත් හිටියේ නැහැ මාදුරුඔයට. කෑම්ප් එක තිබුනෙත් නැහැ.පොල් සයිස් මදුරුවෝ ජාතියක් නම් හිටියා අම්බානක. මදුරු දැල් දීලා තිබුනා.
      මට මතකයි හර්මන් ගුණරත්න කියලා කෙනෙක් තමයි ඔය මහවැලි ප්‍රොජෙක්ට්ස් බාරව හිටියේ ඒ කාලේ. ඒ ඔය මෛත්‍රී ගුණරත්නගේ තාත්තාද කියන්න දන්නේ නැහැ.

      • දැනටත් ඔය පොල් සයිස් මදුරුවන්ගෙන් නම් පොඩ්ඩක්වත් අඩුවක් නෑ අරූ.

      • Anonymous says:

        අරූ
        ඒ මෛත්‍රී ගුණරත්නගෙ තාත්තා තමයි.
        තව එකක්. මාදුරු ඔය ගමනට ලලිත් විජයරත්න ගියාද? හේම නලින් ගියාද?
        හර්ෂ

      • @හර්ෂ……..උඹ මේ ගමනට ආපු කෙනෙක්ද? මට ලලිත් විජේරත්න මතක නැහැ. හේම නලීන් කරුණරත්න නම් හිටියා වගේ මතකයි. හේම නලීන් හිටියේ එහා පන්තියේ. විමල් රත්නසිරි, අරෝෂ ජයසිංහ, අජිත් කුමාර වගේ අය හිටියා. මට මතක් වෙන්නේ නැහැ හරියටම.

  6. raigam says:

    //ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලිජියේ ඉංග්‍රීසි බසින් ඉගෙණුම ලබා යම්කිසි වැදගත් රැකියාවක් කරන එකෙක් හැසිරෙන්නේ මෙහෙම දැයි සීයා බෙරිහන් දෙයි.//
    මචං උඹලගේ සියා කියපු දේ අප අදත් හිතන්න ඕනේ. මා උඹේ තාත්තට අපහාස කරනවා නොවේ. සමාජයක් හෝ මිනිසුන් වෙනස් වෙන්නේ නැහැ, අධ්‍යාපනය දෙන මාධ්‍යය වෙනස් වුනා කියල. මේක අද උඹත් දන්නවා ඇතිනේ. මේවා වැඩිහිටි පිරිස් වලට කියන එක නම් තේරුමක් නැහැ.

    උඹට ජැක් පොට් නම් කොහොම හරි ඇදෙනවා නේද? (පාසල් ඇරී සුපුරුදු රස්තියාදුවේ මිදි ,පැමිණෙන පළමු බසයේම ගෙදර ඒමට මම යුහුසුළු වුණෙමි)! 😀

    • Kenji ogawa says:

      ඔය ජැක්පොට් කොයි අයියලටත් ලැබිල තියෙනව ඔය වයසේදී….. රයිගම…
      ප්‍රසිද්ධියෙ කියන්න ලැජ්ජයි……
      thnx නෙරංජ හංගන්නේ නැතිව කිව්වට….

    • මචං…..අධ්‍යාපනය ලබන මාධ්‍යයෙන් මිනිස්සු වෙනස් වෙයි කියලා මමත් කීයකටවත් හිතන්නේ නැහැ. ඒක නිකම් දේශපාලනයත් එක්ක හරඹ කරන්න ගත්ත මෙවලමක් විතරයි ඒ දවස්වල. දැන් ඒ මෙවලම මොට්ටයි. අදටත් ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න ළමයි ලංකාවේ ඉන්නවානේ. මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ?

      මට ඔය වගේ ජැක්පොට් විටින් විට ඇදිලා තියෙනවා. දැනුත් ඔය ඉඳලා හිටලා ඇදෙනවා…කොහෙද දිණුම ගන්න යන්න විදිහක් නෑනේ 😀

  7. Kenji ogawa says:

    >> මට ලැබුණු මුදල් ගෙදර ගොස් අම්මාගේ අතට දුන්විට ඇයගේ දෑසින් කඳුළු ගැලූ බව මට මතකය.<<
    මේ ටික නම් පුදුම විදියට හිතට දැනුන මචං ….. හැමදේකින්ම කලවම් වුන තරුණ චරිතයක් වුනත් ගෙදර පසුබිම තේරුම් අරගෙන කටයුතු කරපු නිසයි අද උඹ ඔය තත්වයෙන් ඉන්නෙ …..කුඩා කල සිටම හැම දෙයක්ම බැලන්ස් කිරීමෙ හැකියාව තිබුන එක සතුටුයි මචෝ…..

    • ඔව් කෙන්ජියෝ….මොන පිස්සුව කෙලියත් වගකීම් මොනවාද කියලා හිතේ පැත්තක තිබුනා. තාම එහෙමයි. නැත්නම් මචං ඒ ජීවිතවල අගයක් නැහැ. ඒක හොඳටම තේරුම් ගත්තේ අපේ ඩඩාබෝයිගේ වැඩ නිසාත් ,පසුකාලයකදි මේ සියල්ලක්ම නිවැරදිව හිතන්න පුළුවන් ගෑණියෙක් හමුවීමත් නිසා. ඒ වැඩේට හොඳ සහකාරියක් ඉන්නම ඕන. නැත්නම් මුදල් තියෙයි සතුට නැතිවෙයි. එහෙම නැත්නම් ඕකේ අනිත් පැත්ත.

  8. විජී වීරසිංහ, විජේ වීරසිංහ වෙන්න ඕන නේද මචෝ. රත්තරන ගුරුවරු මචෝ. සමන් අමරසිංහ සර් උඹලට උගන්වන කොට තවත් තරුණ ඇති. දැන් ඉන්න ඩී පීත් ඕල්ඩ් බෝයි කෙනෙක්. කොහොම හරි ගෙදර ඉන්න ලැබුන එක ළොකු දෙයක්. මම හිතන්නේ උඹට නැදුරණයා සෙට් වෙන්නේ මේ කාළේ වෙන්න ඇති. තාත්තගෙන් නරකම කාළයක් තීලා තියෙන්නේ. අපේ තාත්තටත් ඔහොම කාළයක් තිබුනා. ඒත් උඹලගේ තාත්තා කරපු වැඩ කලේ නේ. පාඩුවේ ගෙදරට වෙලා උන්නා. ඒක කොහොම වෙදනාවක්ද කියලා මට දැණුනේ මමත් එහෙම කාළයක් ඉන්න කොට. ඒ කාලේ මාව අස්වැසුවෙත් තාත්තම තමයි. එයා කවදාවත් පන්සලකට යන්නේ නෑ. පන්සිල් ගන්නෙ වත් නෑ. ඒත් උඹලගේ තාත්තා වගේම ඉන්ගිරිසියෙන් බුඩ්ධාගම ඉගෙනගත්ත මිනිස්සු. එයාලා හාමුදුරුවරුන්ට වඩා බුද්ධාගම දන්නවා. දැන් නම් අම්මගේ කරදරේට දානේ පිරිනමනවා. ඒත් නිකන් තියලා එනවා විතරයි.

    අර අම්මගේ අතට සල්ලි දීපූ කතාව නම්, ඇස් වලට වතුර ආවා. මටත් මතකයි ඉස් ඉස්සෙලම අම්මට කීයක් හරි දීපූ දවස. දැන් නම් පොඩි උන් වගේ. ගියපු ගමන් මොනවද ගෙනාවේ කියලා බලන්නේ. තමන්ගේ අම්මලා තාත්තලා එක්ක, තමන්ගේ පවුල එක්ක. තමන් උපන් බිමේ ඉන්න එක තරම් සතුටක් තවත් තියෙනවද මචෝ. මමත් කාලයක්ම රට රටවල උන්න නිසා ඒක හොඳට දන්නවා.

    • මචං …ඔය සර්ගේ නම විජිත වීරසිංහ. අනිත් ටීචර්ස්ලා ආදරේට කිව්වේ විජී කියලා. පොෂ් ඉස්කෝලේ පොෂ් ටීචර්ස්ලා නේ බන් : D මට ඔය සර් ගැන ඊයේ පෙරේදා මතක් කරේ අනුර මහානාම රණසිංහ කියලා මගේ මිතුරෙක්. ඌ ඉස්කෝලේ යනකාලේ ඕල් සිලෝන් චැම්පියන් 400 මීටර්ස් හර්ඩ්ල්ස්ද කොහෙද. මට නැදුරනයා සෙට්වුනේ ඔය පන්තිවල ඉන්න කාලේ තමයි. ඌ නම් වලේ බුවෙක් නෙමේ අපේ පන්තියේ හිටියාට. හොඳ එකා. දැන් ඉන්න ඩීපී කවුද බන්?

      අපේ තාත්තාත් මචං සෙරෙප්පු දෙකක් උස්සන්නවත් පන්සල් ගිය කෙනෙක් නෙමේ. හැබැයි යාළු ෆිට් එකේ හාමුදුරුවරු ආශ්‍රය කරා. ධර්මයත් දන්නවා. දේශනා කරන්නේ නැහැ 😀

      ///තමන්ගේ අම්මලා තාත්තලා එක්ක, තමන්ගේ පවුල එක්ක. තමන් උපන් බිමේ /////
      මටත් බොහොම ඉක්මනට ඔය ටික වෙන්න ඕන බන්.

  9. අම්මගේ අතට සල්ලි ගෙනල්ල දුන්න මතකය මගෙත් ඇතුලෙ ඉන්න සංවේදී මනුස්සයාව ඇඬෙව්වා..මට මතක් උනේ ඉස් ඉස්සෙල්ලාම රස්සාවක් කියලා සාස්තර කඩේක ලියන්නා හැටියට පලමුවෙනි දවසේ හම්බවෙච්ච රුපියල් පහේ පඩිය අම්මට ගිහින් දුන්න හැටි…මේ පාර අවුරුද්දට ආවාමත් අම්මා හරි ආඩම්බරයෙන් ඕක මතක් කලා…දවල්ට කෑම එකක් අරන් දීලා රුපියල් දෙකක් පඩියෙන් කැපුවාය කියලා, රුපියල් තුනක එළවලු ගෙනත් දීලා කීවලු හෙට උදේ ඉදන් මට බත් එකක් බැඳලා දෙන්න කියලා…අම්මලාට ඒවගේ දේවල් මතක තියෙන එක හරිම අපූරුයි…

    • මචං ෂෙෆා….උඹේ මේ කමෙන්ට් එක මරු බන්. අම්මලාට ගොඩාක් දේවල් මතකයි. අපේ අම්මා මම ගෙදරට කරපු දේවල් තාම මතක් කර කර කියනවා. අපේ ළමයින්ටත් කියනවා. ඒක තමයි ඒ අයගේ සතුට. සාස්තර කඩයක් කිව්වේ මොකක්ද බන්? උඹ දන්නවාද මගේ පළමු පඩිය රුපියල් 72යි. ඒ 1979 . ඒ විස්තරය මම හෙමින් ලියන්නම්.

      • සාස්තර කඩේ ….1977 මුල බාගයේ උසස් පෙල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටිය කාලේ ගෙදර තිබුන ආර්ථිකයට සහයොගයක් වශයෙන් කරපු වැඩක්…ටවුමෙ තිබිච්ච ජ්‍යොතිෂ කාර්‍යාලයේ ලියන්නා හැටියට දවසට රුපියල් 5 පඩියට ගිහින් ඌ පලවෙනි දවසෙ මට බත් එකක් දීලා රුපියල් දෙකක් අඩුවෙන් පඩිය දුන්නේ…විශ්ව විද්‍යාලයට යනකම් දිගටම ඒ රස්සාව කරගන්න බැරි උනා තව තව කරුනු කාරනා නිසා…පෝස්ට් එකක් ලිය උනොත් කියන්නම්….උම්බට වගේ දේවල් එච්චර මතක නෑ මචෝ…

  10. maheshrathnayaka says:

    මාදුරුඔය ව්‍යාපෘතිය තුළින් රටට යම්කිසි දායකත්වයක් ලැබෙන්නේ නම් , මමද එම මූලික වැඩකොටස වෙනුවෙන් එක් උදලු පහරකින් හෝ සම්මාදම්වූ එකෙකු බව කීම ආඩම්බරයකි./////

    ඒ වගේ කෙනෙක් එක්ක මෙහෙම හරි අාශ්‍රය නිශ්‍රය කරන්න ලැබෙනව කියනෙක අපිටත් ආඩම්බරයක් ආයිබොවන්ඩ….
    මට ඔය වේල්ල කියපු ගමන්ම මතක් වුණේ ZD ඇල… ඒක දැක්කාම ඇති කලන්තෙ හැදෙන්න… අලිත් ගහගෙන යන ඇලේ අපි නිකං කටුස්සො වගේ

    • ඔය අපි කපපු ඇලත් මහා විශාල එකක් මහේෂ්. මට දැන් ඒ අවට සහ විස්තර එච්චර මතක නැහැ. ෂුවර් එකට රවී මේ ගැන දන්නවා ඇති. ඔය ZD එකේ නේද ඊයේ පෙරේදා ලොකු නස්පැත්තියක් උනේ?

  11. ඇත්තටම සම හරක් දරුවො ගැන හිතත්දි අරූ අයියලා ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. මොන තරම් සමාජෙ ආශ්‍රය කලත් කොලු වැඩ දඬබ්බර වැඩ කලත් ඒ අවධියේ නිවසේ පවුලේ තත්වය ඔන හොදින් තේරුම් ගෙන තියෙනවා.

    ඇත්තෙන්ම මවක් මුදල් බලාපොරොත්තු නොවුනත් ඔය වගේ සියුම් අවස්ථාවල පුදුමාකාර සතුටක් ලබනවා. ඒ අතින් අරූ අයියගෙ අම්මා වාසනාවන්තයි.

    • ප්‍රියා….අනේ මම දාපු ජෝගි ඒ කාලේ. හොඳටම පිස්සු කාලයක් තිබුනා. ඒවා හෙමින් ලියන්නම්. ඒත් ඉතින් ගෙදර ගැන තමයි හැම තිස්සෙම හිතුවේ. අනිත් එක පවුලේ ලොකු එකා නිසා වගකීම් වැඩියි.

      දෙමව්පියන් අපෙන් යමක් බලාපොරොත්තු නොවුනාට …ඒ අයට ඕන අපි කරදරයක් නැතුව ඉන්නවා බලන්නනේ. හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම එහෙමයි ප්‍රියා ඒ වුනාට මම නම් දුවට කියලා තියෙන්නේ එයා ජොබ් එකක් කරනකොට මගේ කෝටා එක සප්ලයි කරන්න කියලා 😀

  12. අම්මා අතට සල්ලි දුන්නු ටික හරියට හිතට වැදුනා…කතාවේ යටින් කියවෙන කතාවත් ලස්සණයි. අරූ කියන්නේ අවංක, ඇත්ත කියන්ට බය නැති කෙනෙක් කියලත් ඔන්න අද තේරුණා… 🙂

    • රාජ් says:

      ඒක නේන්නං ටැබූ හිටිය නං අව්‍යාජ ආත්මකථනයට සම්මානෙ දෙන්නෙ අරූට

      • ඒවටත් සම්මාණ දෙනවාද බං? 😀

      • රාජ් says:

        නැතුව! ටැබූ බ්ලොග් සම්මාන දීපු කාලෙ උඹට මතක නැද්ද? ඒකෙ එක කැටගරියක් තමයි ඒ. මට මතක විදියට පන්සල් කතා වෙනුවෙන් මාරයටයි සම්මානෙ ලැබුනෙ

      • @ රාජ්…..මම කාලයක් බ්ලොග්ස් කියවීම අතහැරලා හිටියා බන්. ඒ කාලේ මිස් වෙන්න ඇති.

    • පොඩ්ඩි බොහොම ස්තූතියි!! මම මේ දේවල් මෙහෙම කියන්නේ මම වගකීම් සම්පූර්ණ කරමින් ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති. මට යම්කිසි නිදහසක් දැණෙනවා. එහෙම නොවුණු කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන් වෙන එකක් නැහැ පොඩ්ඩි. අනිත් එක මම විවෘත සමාජයට හරිම ප්‍රියයි. විවෘතවීම තුල ඇතිවෙන පාඩු බොහොමයි අපේ වගේ සමාජයන් වල. නමුත් මම ඕවා ඒතරම් හිතන්නේ නැහැ.

  13. ඔබගේ මතකය නම් නියමයි. ලිවීමත් හොඳයි කියන දේ මැවිලා පේනවා.

  14. අතිශය රහසිගත ලෙස අරක්කු වීදුරුවක් ගංජා උගුරක් නොලැබුණාද නොවේ. ////
    එදා සිට අද දක්වා තියෙන දෙයක් වගේ මේ …කොම උණත් මේ හැමදෙම එක පිළිවෙලකට ගලපන එක නම් ……ඇයේ කියන්න වචන නෑ .අවසානේ අම්මා ගැන කියපු ටික හිතට වැදුණා තදින්ම …

    • ඕවා කවදාද නොතිබුනේ සහෝ. අපේ තාත්තලාත් ඕවා කරා. ඊට වැඩිමල් පරම්පරාවත් කරලා ඇති. තමන් කරන්නේ මොකක්ද කියන දේ සහ සීමාව දන්නවානම් ඕ.කේ…තමන් ගැන යම්කිසි තක්සේරුවක් තියෙන්න ඕන. යම්කිසි කාලයකදි මගෙන් ඒ තත්වය ගිලිහුනා. ඒක ලොකු වැරැද්දක්. ඒවා පසුව ලියන්නම්.

  15. දැන් එතකොට ආයෙමත් ගෙදර.කොහොමත් ගෙදර ආපු එක හොදයි තැන්,තැන් වල නතර නොවී.
    ප්‍රාථමික ලිංගික ඇසුර ගැන ලියලා තියෙනවා මදි වගෙයි නේ අරූයියේ…:D

    කොහොමද තමන් කරපු වැඩකට ලැබෙන ගාණක් මුලින්ම අතට ගන්න කොට දැනෙන හැගීම….?

    • ගෙදරත් වැඩි කාලයක් ඉන්නේ නැහැ මනෝ. ඔහොම යන්!
      ////ප්‍රාථමික ලිංගික ඇසුර ගැන ලියලා තියෙනවා මදි වගෙයි නේ අරූයියේ…:D/////
      ශෛලමය නිර්මාණ ගැන වැඩිය ලියන්න ගියොත් ගල් පිළිමත් බොල් වෙනවා යකෝ 😀

      මේ ලැබිච්ච මුදළනම් ත්‍යාගයක් වගේනේ. මට පළවෙනි පඩිය හම්බවෙච්ච දවසේ තමයි පිස්සු බාබත් වුනේ.

  16. Pra Jay says:

    ලිවීමේ කොලිටි එක මම හිතන් හිටියේ උපරිමයකට ඈවිල්ල කියල, ඒත් දෑන් බෑලුවහම එන්න එන්න ඒක වෑඩි වෙනව

    • අනේ මන්දා ප්‍රා….ඔය එක එක දවස්වලට ලියවෙන හැටි තමා. එහෙම ප්‍රගුණ කරලා ලියන එකක් නෙමේ බන් 😀 Thanks!!!

  17. Anonymous says:

    අරුණ,

    / ගැටවර වියේ කොළුවෙකුට තම ජීවිතයේ පළමු ලිංගික අත්දැකීම කිසිදිනෙක අමතක නොවේ. මට ඒ වයසට ලැබිය හැකි උපරිම අත්දැකීම් ලබන්නට අවස්ථාව උදාවිය. ඒ අප සීයාගේ ගෙදරට නුදුරින්ම තිබු නිවසක අප ඥාතියෙක්වූ මට වඩා වැඩිමහල් අවිවාහක සොහොයුරියක් සමගය. /

    උඹට වටිනවද බං මෙහෙම මෙව්ව රටේ ලෝකෙ හැමෝන්ටම පේන්ට ලියන්ට..අනේ අක්කෙ..අනේ අක්කෙ..කිය කිය පස්සෙං ආවට පව් කියල මම අර…මොකටද ඉතිං එව්ව ගැන කියල…..

    ඔක්කොමත් හරි අන්තිමට මම ආච්චි කෙනෙක්ය කියලත් කියල. කිඹුල කනව ඉවසතෑකි කොහිල කටු ඇනෙන එක තමයි….

    • ආදරණීය අක්කේ,
      හීනෙකින්වත් ඔබ මා අමතයි කියා මා හිතුවේ නැහැ. මගේ උනන්දුවට ඔබ දැක්වූ සහයෝගය මතු සංසාරයේදීවත් අමතක කරන්න බැරි නිසාමයි මෙහෙම හරි මතක් කරේ. ඔබෙන් ලද යම් යම් පුහුණුවන් ජීවිතයේ ඉදිරි ගමණට අත්වැලක්වූ බව පුන පුනා කිවයුතු නොවේ.

      මමත් දැන් වයසක එකා නිසාමයි උඹත් ආච්චියෙක් වෙන්න ඇති කියා ලිව්වේ. අමනාප වෙන්න නම් එපා. ලබන ආත්මේත් මගේ අර වයසට විතරක් අක්කා කෙනෙක් වී ඉපදේවා. ගලේ කෙටුවා වගේ මම උඹට ආදරෙයි!
      මීට ආදර මල්ලියා.

      • ඉන්දික උපශාන්ත says:

        “ගලේ කෙටුවා වගේ” අකුරු වැරදිල වගේ!

      • ඉන්දික ..උඹ දන්නවා මොකක්ද මම කිව්වේ කියලා..කෙටීම සහ කැපීම ..හිනා මුණු අපි දැන් අත හැරලා තියෙන්නේ 😀

  18. helapaya says:

    පොඩි වැඩක් කරලා අම්මට මමත් සල්ලි කීයක්ද ගිහිං දුන්න මුල්ම දවස මතක්වුනා මචං.අදත් කතාව හරිම හැඟීම්බරයි

    • හැලපේ…..මචං ඔය පළමු දවස අපිට වගේම හොඳට මතකයි අම්මලාට. මට මුලින්ම පඩියක් හම්බවෙලා අම්මාගේ අතට ඔක්කොම සල්ලි දුන්නා. පස්සේ ටික ටික ඉල්ලගත්තා. ඕවා මතක් කරකර අම්මා හිනාවෙනවා.

  19. Ela Patha says:

    කොහොම වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය කොලු කාලෙ කියපු කොරපු ඒවා ටික තමා.
    දත් නැතිදා උක්දඬු ගිනි තපින්නද කියනවනේ, නේ
    වෙලාවක් ඇත්නම් මගේ බ්ලොගටත් ගොඩ වෙන්ට. (http://elapataha.blogspot.com)

    • ඇළපාත……මම උඹේ බ්ලොග කියෙව්වා. කමෙන්ට් එකක් දැම්මා.

      කොලු කාලේ සීන් කියන්නේ නැතුව නාකිවෙලා මොකුත් කෙරෙන්නෙ නැහැනේ බන් කියන්න. උඹ හරි.

  20. Dinesh says:

    අද සමහර ළමයි එක්ක බලද්දී අයියලා ඒ කාලේ හොදයි කියලා හිතෙනවා අෆ්ෆා.. කොටින්ම මග ඇරුන ඉස්කොලේ ගමන ආයෙම පටන් ගත්ත එකම කොච්චර දෙයක්ද.. ඒ කාලේ මතකය කොහොමත් ඉතින් සුන්දරයි නේ..

    • දිනේශ්…..ඒ කාලෙත් අමු නසරානියෝ හිටියා. වගකීම් තෝරා බේරා ගන්න බැරි එක ඊයෙත් අදත් හෙටත් වෙනසක් නැහැ. හැබැයි දැන් දෙමව්පියන් ගැන තිබෙන ගෞරවයනම් අඩුවේගෙන යන බව හිතෙනවා. මම කවදාවත් පාසල් යාම නැවත්වුවේ නැහැ. මගහැරියා මිසක්.

  21. Kandyan says:

    මාදුරුඔය ට්‍රිප් එකෙන් සෑහෙන සොමියක් වගේම හොඳ අත්දැකීමක් ලැබෙන්ට ඇති නේද අරු…. ගාමිණී උන්නැහේ හොඳ වැඩ වගේම නොහොඳ වැඩත් ඒ අස්සෙම කරා…

    • ඒ මාදුරුඔය ගමන තමයි පළමු වතාවට ගිය දීර්ඝම ගමන. ඒක ඇත්තටම ජොලි දවස් ගානක්. එකම වැඩේ තිබුනේ උදේ 5ඉඳන් හවස 2-3 විතර වෙනකම් කට්ට අව්වේ ඇල කපන එක. ඒක මහා බරපතල වැඩක්වුනා. හැන්දෑවට හෙණ මහන්සියි. ජොලිය වැඩි හින්දා නිදාගන්නෙත් නැහැ. ඒක ටොප් අත්දැකීමක්.

      ගාමිණි දිසානායකට බරපතල චෝදණා තිබුනා. උඹට මතකද ඕස්ට්‍රේලියාවේ ඇපල්වතු ගැන කතා එහෙම.

  22. විදානේ.. says:

    ලබපු මුල්ම වැටුප (මුදල) අම්මගේ අතට දීපු හැටි…
    මටත් පුංචි සංදිය මතක් උනා…..
    එ් සල්ලි අම්මා මට අාපහු දුන්නා මගේම සීසන් එක ගන්න කියලා

    • මමත් රස්සාවක් කරලා මුළු පඩියම අම්මාට දුන්නා. පස්සේ ටිකින් ටික ඉල්ලා ගත්තා කියලා අම්මා කියනවා.

  23. මේ මගේ පළමු කොමෙන්ටුව ඔබේ අඩවියේ..
    ඔබේ තරුණ වයසේ කතා වලින් අද අපටත් ගන්න පුළුවන් දේවල් තියනවා.. මම ඔබේ අතීත ලිපි ටිකත් කියවන්න ඕන හෙමිහිට..

    • එ.මා. නොහොත් මානවිකා…..අගෙයි. හෙමින් සැරේ කියවන්න. මගේ කතාව තුලින් ගතයුතු දෙයක් තිබේනම් මටත් සතුටුයි.

  24. dhanush_c says:

    ෂා…. නියම කතාව…

  25. උඩ කොමන්ට් කියවගෙන එනකොට ඇහැ ගැහුනා අරූ ආයේ ස්කෝලේ යනන් පටන් ගත්ත එක ලොකු දෙයක් කියලා. අරූ ස්කොලේ යන එක නතර කරලා හිටියේ නෑ නේද කලින් බෝඩිමේදි වුනත්?
    මාදුරුඔය ජලාශය දැන් නම් සෑහෙන්න ගොඩ වෙලා නේද? මම හිතන්නේ ගාමිණිගේ කඩිනම් මහවැලි සංකල්පයෙන් හරියටම ප්‍රතිඵල අපි අදටත් ලබා ගන්නේ නෑ කියලා. ගිය අවුරුද්දේ ඒ පැත්තේ රවුමක් ගැහුවම දැක්කේ තාමත් ඒ ගම් පළාත් වල මිනිසුන්ගේ ජීවිතක් එකම වගේ. කුඹුරු අස්වැන්න ගන්න කාලෙට රජවරු මාසෙන් ආයෙත් මහපොළොව බදාගෙන.
    රවියා මම හිතන්නේ ඔය මාදුරුඔය පැත්තේ වැඩ කලා නෙව ඇලවල් කපන්න. දැන් මෙතන රවීගේ ඇලවේලි පාඩම් බලාපොරොත්තු වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේයැ නේද?

    • ඔව් රංගි….පොඩි පැටලවිල්ලක් කරගෙන උඩින්. මම කවදාවත් ඉස්කෝලේ යාම නැවත්වුවේ නැහැ කවදාවත්.

      මාදුරුඔය ප්‍රොජෙක්ට් එකෙන් වෙච්ච වාසි අවාසි ගැන මට එහෙම තේරුමක් නැහැ රංගි. ඒ ආශ්‍රීතව ජීවත්වෙන මිනිස්සුගේ ජීවිතවලට ආර්ථික වාසියක් වෙලා නැත්නම් ඔය සංවර්ධන ව්‍යාපෘතිවල ඉළක්ක මොනවාද කියන එක තමයි ගැටළුව.

      රවී ඇවිත් මාදුරුඔය ඇලවේලි පාඩම කරයි කියලා හිතනවා.

  26. Senna says:

    උඹ කියන ඔය හංවැල්ලේ ඉස්කෝල දෙකම ඊයේ නිවුස් වල තිබුනා.. උඹෙ කතාවනම් මාරම එකක් කියලා තමා කියන්න තියෙන්නෙ.. අර යෝගය තමා උඹට තියෙන්නේ.. ආයෙ දෙකක් නෑ… වගකීම් විරහිත තාත්තගේ චරිතය අපිටත් හොඳට පුරුදු එකක්. මම දන්නේ ඒවා හදන්න බෑ කියලා විතරයි…

    ඉතිරිය එනතෙක……………

    • සෙන්නා…..ඔය ඉස්කෝල දෙකම ඩෙංගු නිව්ස් එකට නේද ආවේ.. තුන්වෙනි ඉස්කෝලේ රාජසිංහෙට තමයි ලොකු මල්ලි ගියේ.
      උඹ කියන යෝගයනම් මචං මට ගොඩාක් පිහිටවෙලා තියෙනවා.
      ඇත්තටම සෙන්නා…වගකීම් රහිත පියෙක් කියන්නේ මුලු පවුලටම බරක් තමයි. අම්මා ඇදගෙන ආපු ගේම ඊට පස්සේ මම තමයි ඇදගෙන ගියේ. ඒක ලොකු කතාවක් බන්. උඹ හරි සෙන්නා ඒ වගේ අයව හදන්න බැහැ. ඒගොල්ලොම බැරි වෙනකොට නවත්වනවා.

      • Senna says:

        ඔව් ඩෙන්ගු නිව්ස් එක තමා. අද කිව්වා හංවැල්ලේ ඩෙන්ගු තදින්ම පැතිරෙනවා කියලා…

        අර යෝගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනා, මොකද උඹ දැන් ඇනෝ මවුස් කියපු විදිහටයි ඒක ගැන හිතන්නේ. මට ඒ වෙලේ එතන පැහැදිලි කරන්න ඕනා වුනත් වෙලාවක් තිබුනේ නෑ..

        ඇනෝ මවුස් කියපු එකත් එක්තරා දුරකට හරි වුනත්, මම ඕකෙන් අදහස් කළේ බන් උඹට දුක සැප දෙකම එක වර එනවා කියන එක. කරවලයි කේකුයි වගේ උඹ මුඩුක්කුවක ඉඳන් රෝයල් එකට ඉස්කෝලේ යනවා, දැන් බලපන් ගමේ ඇවිත් කටුක ජීවිතේ, හැබැයි අක්කා කෙනෙක් ඉන්නවා සැප දෙන්න.. තව ඉස්සරහට බලමු උඹට ඔය යෝගය වැඩ කරන හැටි… හෙහ් හෙහ්.. 😀

      • හරි දැන් පැහැදිලියි යෝගය ගැන.

  27. Bindi says:

    ලොකුවට හෙට ගැන නොහිතා යම් පමණකට පාවෙන අවදියක් අපි හැමෝම පහු කළා නේද කියල හිතෙනවා. ඒ ඒ කාලෙට ජිවිතේ වෙන්න ඕන දේවල් වුනා මිසක මගෙත් ප්ලැනින් නම් අන්තිමයි. අදට වුනත් තරමක් දුරට එහෙමයි. අනික එහෙම ලොකුවට හීන මවන්න පුළුවන් කාලෙකත් නෙමේ අපි උපන්නේත් යෞවන අවධිය ගෙවුවෙත්.
    අපේ තාත්තත් ඔය ජාතියේම තමයි. කටින් දේශපාලනය , යාළුවො පිරිවර ..ඔය යාළුවො නම් ඉතින් සිගරට් එකට අරක්කු කාලට තමයි වැඩියම පස්සෙන් ආවේ. මරණ ගෙදරට ආපු යාළුවො කන්දරාව . බුදු අම්මෝ අපි අහල දැකලත් නැහැ..උන්ට ප්ලේන්ටි හදන්න වුන එකත් මහා වදයක් වුනා.
    ඉස්සර නම් තරහයි .අපි කොච්චර රණ්ඩු වුනාද . හැබැයි දැන් ආපහු හිතද්දී ඕව දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. අපේ තාත්ත වගේ තව අය ඉඳලනෙ සැහෙන්න .
    ඔය ගැටවර වියේ පිරිමි ළමයි පරිස්සන් කරන එක ගැහැණු ළමයින්ට වඩා අමාරුයිනේ. අක්කයි මමයි ගැන වැඩ වෙනවට වඩා අපේ අම්මටත් මහා කරදර තිබුනේ අය්යයි මල්ලියි රස්තියාදුවෙන් බේරාගන්න . දැන් නම් ඔය ඉන්නේ කීකරු පුස් පැටව් වගේ 😀

    මහවැලියේ ශ්‍රමදානය නම් හරිම අපුරු අත්දැකීමක් වෙන්න ඇති. නිකන්ම පොත පාඩම් කරනවට වඩා ඔය වගේ ව්‍යාපෘති වලින් අත්දැකීම් වැඩිය ලැබෙන්නේ . ප්‍රයෝගික අධ්‍යාපනයට තමයි අද ලෝකයේ නැඹුරුව.

    • බින්දි………මගෙත් මහ ලොකු ප්ලෑන්ස් නැහැ ජීවිතේ. මට එහෙම දෙයක් ඒ කාලේ තිබුනෙත් නැහැ.
      අපේ තාත්තාටත් සල්ලි තියෙන කාලේ එයාව වටකරගෙන යාළුවෝ හිටියේ. තාත්තා වියදම් කරපු විදිහට ඒ කාලේ මිනිස්සු පුදුම වුනාලු. මට තාත්තාව එක යුගයකදි පෙන්නන්න බැරිවුනා. නමුත් අපි තරුන කාලය පහුකරන කොට ඒ ගැන උපේක්ෂාවෙන් බලන්න පුරුදුවුනා.
      දැනටත් ගෑණු ළමයිට වඩා විමසිලිමත් වෙන්න ඕන කොල්ලෝ ගැන. මේ යන ගමනේ හැටියට කොහෙන් නවතියිද දන්නේ නැහැ.

      ඇත්තටම බින්දි ඔය ගමන පුදුම අත්දැකීමක්. අපි කට්ටියක් නම් හොඳ අත්දැකීම් ලැබුවා. අපි අධ්‍යාපනික වටිනාකමක් නම් ගත්තේ නැහැ. අපිට කොහොමත් පිස්සුනේ,

  28. deshakaya says:

    සුපිරි මතකයක් අයාලේ යන්න නොදී අල්ලගන්න එක මාර වටිනවා.. ජය වේවා අරූ…

  29. Thushani says:

    // රැකියාවක් කිරීමට පටන් ගත්දා සිට අදවන තෙක් හැම මාසයකම අපේ අම්මාගෙ අතට මුදලක් දීමට අතපසු නොකෙරුවෙමි.// මෙහෙම අය අද හරි අඩුයි.. හැමදාමත් වගේ අපූරු මතකයන් ගොඩක්…

    • ඔව් තුෂානි. එච්චර දුක් කරදර මැද්දේ අතපය නොකඩා යෝධයෝ වගේ උස් මහත් කරලා හැදුවාට…ඒ යුතුකම ඉෂ්ඨ කර යුතුමයි.

  30. හරිම අපූරු මතකයන් සමුදායක්, මටත් මතකයි මං A/L කරලා ගෙදර රිසල්ට් එනකං ඉන්න කාලේ කරපු පාර්ට් ටයිම් ජොබ් එකෙන් මුල්ම මාසේ හම්බවුනු 5000 න් 3000ක් අම්මගෙ අතට දුන්න වෙලාවෙ අම්මගෙ මූනෙන් ආපු සතුටු කදුළු එක්ක අම්මා කිව්වෙ මෙවා ඔයාගෙම වැඩ වලට තියාගන්න කියලා.

    • @ සොමි…..අම්මලා එහෙම තමයි. තමන්ට පෙර දරුවන්ට. ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට. දැන් අපේ අම්මාට මුනුබුරු, මිනිබිරියෝ 11ක් ඉන්නවා.

  31. වෙහෙසක් නැතිව උඩ ඉඳල පහලට එක හුස්මට කියවගෙන ආවා. හරිම මිහිරි මතක ගොඩක්.

    • තෑන්ක්ස් මනෝෂ්…..හුස්ම කියන්නේ ජීවිතය. පරිස්සමින් උඩට ගනින් සහ පල්ලෙහාට දාපන්. නැත්නම් ලෝක ලෙඩක් වෙනවා.

  32. චිහ් බං. මාර ඩිසපොයින්ට්මන්ට් එක. උඹ අර කම්සැප වින්ඩ්න්හපු හැටි බෝල් බයි බෝල් දෙනකල් බලා හිටපු මං වගේ සුවහසක් ප්‍රේක්ෂකයින්ට උඹ කරපු අපරාධයක්. අනික දැන් ඈ මිත්තනියක් කියලා කීමෙන් උඹ ඒ ආතල් එකත් කෑවනේ.

    මගේ විරෝධය පිළිගනින්.

    ඊ ලඟ පෝස්ට් එක කම් සැප විඳපු හැටි ගැන විස්තරාත්මක පෝස්ට් එකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් අපි දිගටම උද්ඝෝෂණය කරනවා.

    අනිත් උන් මොකෝ කියන්නේ? මේ සටනට සහභාගි වෙනවද මොකද?

    • Buratheno says:

      මූ (වැරදුනා, මූ නෙවෙයි, අරූ) පොත ලියද්දි ඒ කොටස් විස්තරාත්මකව නැවත ලියනවලු.. පොඩ්ඩිත්තක් ඉවසලා ඉඳින් පොත පිටවෙනකං.. 😛

      • වෙල්කම් බුරා……මම අහුවෙන්නේ නැහැ බන් අරූගේ (සොරි..හෙන්රියාගේ) උද්ඝෝෂණවලට.

    • Clement Peris says:

      I am in.
      Clement P.

    • හෙන්රි, උඹේ විරෝධය පිලිගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ බං. බෝල්- බයි- බෝල් කමෙන්ට්‍රි එක දෙන්න ගියා නම් අපේ එක්කෙනා මගේ පාළුවට එල්ලි එල්ලි තියෙන බෝල දෙක ගලවනව..බුදු ෂුවර්!

      මචං උද්ඝෝෂණවලට අපි බය නැහැ. අපි ඉල්ලංකා පොලිසියට දන්වනවා.

  33. Ravi says:

    අරූ,

    මාදුරුඔය ඔය ශ්‍රමදානෙ තිබ්බෙ 1978 කියල සහතිකද? මට මතක ඊට පස්සෙ වගෙ . 1979 අග නැත්තං 1980 මුල….ඔය ශ්‍රමදානෙ පසුබිමේ තියෙන්නෙ අපූරු කතාවක්…මාදුරුඔය ව්‍යාපාරය නැත්නම් මහවැලි බී කලාපය කොටස් දෙකයි. වම් ඉවුර සහ දකුණු ඉවුර කියල. ZD කියන අමරිකන් සමාගම ( Zachary Dillingham ) ඉදිකලේ මාදුරුඔය වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය. ( Maduru-oya Left Bank Main canal ) මට මතක විදිහට දිග කිලෝමීටර් 56 වගෙ.

    දකුණු ඉවුර සංවර්ධන කරන්ට සැලසුම් කරල තිබුනෙ වම් ඉවුරට පස් සෙ. දකුණු ඉවුරු ප්‍රදේශයෙ බහුතරයක් ඉඩම් දෙන්ට සැලසුම් කරල තිබ්බෙ දෙමළ අයට. දිඹුලාගල හාමුදුරුවො ඔය වැඩේට දැඩිලෙස විරුද්ධ වෙලා මාතර දිහායින් මිනිස්සු ගෙනල්ල ඒ ඉඩම්වල පදිංචි කෙරෙව්ව. ගාමිණිත් එළිපිට නොවුනට ඒ වැඩේට සහයෝහය දුන්න කියලයි කියන්නෙ.

    ඔය ඉස්කෝලවල විශ්ව විද්‍යාලවල ළමයි අරගෙන ගිහිල්ල ඇළක් කැපුවය කියන්නෙ ඒ පදිංචි කරපු අයට වතුර දෙන්න.ඒත් ඒ වැඩේට දැඩි බාධක ආව. අමිර්තලිංගම් මේ වැඩේට එකහෙලාම විරුද්ධ උනා. ඉන්දීය ආන්ඩුවෙත් විරුද්ධත්වය නිසා ජේ.ආර්. ගොයියට අන්තිමට මේ වැඩේ නතර කරන්න සිද්ද උනා. ගාමිණීටත් කරකියා ගන්න දෙයක් නැතිඋනා. ඒත් දිඹුලාගල හාමුදුරුවො වැඩේ දිගටම ගෙනිච්ච. අන්තිමට බැරිමතැන මේ වැඩේ නවත්තන්නම තමයි කඩුවෙල මන්ත්‍රී පෝල් පෙරේරාව පොළොන්නරුව දිසා ඇමති කරල එහෙට යැව්වෙ.

    අර පදිංචි කරපු මිනිස්සුන්ගෙන් සීයට අනූවක්ම ආපහු තමන්ගෙ ගම්බිම් බලා ආව. එහෙම හිටපු අයට වම් ඉවුර යටතෙ ඉඩම් දුන්න.ඔහොම තමයි බං කොතනත් වෙන්නෙ. ලොකු මිනිස්සුන්ගෙ බල ව්‍යාපෘතිවල ඉත්තො වෙලා තැලෙන්නෙ අසරණ සාමාන්‍ය මිනිස්සු. 😦

    • රවී……. 1978 තමයි. මගේ ප්‍රින්සිපල් තුමා දුන්න සහතිකේ එහෙම තියෙනවා. අදයි මම හරියටම දැණ ගත්තේ ZD කියන එකේ හරි තේරුම. ඇල මාර්ග නම් රවී- රවී මන් ඇල මාර්ග. උඹ එනකම් තමා හිටියේ.

      //ගාමිණිත් එළිපිට නොවුනට ඒ වැඩේට සහයෝහය දුන්න කියලයි කියන්නෙ/////
      Rajan Hoole
      JR’s third track
      මචං මේ ලිපි දෙක කියවලා බලපන්. ඉන්ටරෙස්ටින්ග් ඩීටේල්ස් වගයක් තියෙනවා ඔය ගැන. උඹ කැමතිවෙයි කියවන්න.

      අපේ රටේ දේශපාලන බල ව්‍යාපෘතිවල දිග පළල හොඳින් වටහාගන්න පුළුවන් රටේ දේශපාලන ඉතිහාසය ගැන දන්නා අයට. අද මත්තල හම්බන්තොට දක්වා පේන්න තියෙන්නේ ඒවා තමයි. උඹේ විස්තරය හරි වැදගත්.

      පෝල් පෙරේරා කියන්නේ දේශපාලන මැරයෙක් බව ඒ යුගයේ අය දන්නවා. පෝල්ව පොලොන්නරු පටවලා කඩුවෙල එයාගේ ඡන්ද පදනම රකින්න ගෑණි කුලසීලි පෙරේරාව පත්කරා. පෝල් කඩුවෙල කෙනෙක් නෙමේ. ඔය යුගයෙන් පස්සේ තමයි කරුණසේන කොඩිතුවක්කු කඩුවෙලට එන්නේ.

    • Ravi says:

      අරූ,

      අඩේ එහෙනම් ඔය මහා ශ්‍රමදානෙ ගැන මම හිතාගෙන හිතපු හැටි වැරදියි. අර දිඹුලාගල ලොක්ක ඇතිකරන්ට හදාපු ජනාවාස වලට වතුර දෙන්ටය ඔය ඇළ කැපුවෙ කියලයි මම මෙතෙක් කල් හිතාගෙන හිටියෙ. ඔය ආතල් එක උනේ 1978 නම් ඒ අර ජනාවාසවලට සම්බන්ධයක් තියෙන්න බෑ. වෙන මොකක් හරි වෙන්න ඕන. ඔය ඉතිහාසෙ ඔක්කොම දන්න මගෙ යාලුවෙක් ඉන්නව වෙලාවක මිනිහගෙන් අහල බලන්ට ඕන.

      ඔය සිංහල මිනිස්සු පදිංචි කරන වැඩේ අවුල් කලේ දිඹුලාගල ලොක්ක. හෙමිහිට මාසෙකට මිනිස්සු හාර පන්සීය ගානෙ ගෙනල්ල කාටවත් නොදැනෙන්ට වැඩේ කලානම් අවුලක් නෑ. දන්නවනෙ අපෙ හාමුදුරුගොල්ල..මේ ලෝකෙ දෙයක් තේරෙන කොට්ටාසයක් නෙවෙයිනෙ. වළං කඩේට පැන්න ගොනා තව හොඳයි. දිඹුලාගල තුමා කලාය කියන්නෙ බෙර ගහගෙන ලවුස් කීපර් බැඳපු එල්ෆ් එකක් ඉස්සර කරගෙන බවුද්ද කොඩි දෙතුන් සීයක් ගත්තු කොල්ලො කෙල්ලොන්ගෙන් සැදි පෙරහැරකින් විසි දාහක් විතර එක පාරට අරගෙන ගිහිල්ල පදිංචි කරපු එක.සෙත් පිරිත් සජ්ජායනා මැද්දෙ.එහෙම උනාම ඕක පත්තු වෙලා වැඩේ නෝන්ඩි වෙන එක අහන්ටත් දෙයක්ද? ජේ.ආර්. ලොක්කගෙ මයිල් කෙලිං උනාය කියල තමයි කියන්නෙ.ඊට පස්සෙ තමයි පෝල්ගෙ මැර හමුදාව යැව්වයි කියන්නෙ ඒ මිනිස්සු එලවල දාන්ට.

      ස්තූතියි අරූ….ලින්ක් දෙකනම් වටිනව නොසෑහෙන්ඩ. මාලිංග ගුණරත්නගෙ ” For A Sovereign State ” පොත මම ගත්ත. ඒත් ඒකෙ එක අකුරක්වත් බලන්ට ඉස්සරවෙලා කවුද ඉල්ලගෙන ගියා. එච්චරම තමයි. ආයම ඒ පොත ගන්ට ඕන.

      • බලපන්කෝ රවී මම මෙච්චර කල් හිතුවේ නැහැ ඔය මාලිංග හර්මන් ගුණරත්න කියන්නේ අර “මාතර කව්බෝයි” කියලා. අර හර්ෂගේ කමෙන්ට් එකෙන් තමයි දැණ ගත්තේ.

        ඇත්තටම 1978 ඔය ඇල කැපීමේ කතාව පොඩ්ඩක් යාළුවාගෙන් අහලා බලපන්කෝ.

      • Ravi says:

        අරූ,

        මචං..මම හරිම කැමති දේශපාලකයෙක් ගාමිණී මිනිහගෙ ප්‍රතිපත්ති සමහර වෙලාවට දිරෙව්වෙ නැතිඋනාට.

        ඔය මාලිංග වගෙ මිනිස්සු හිටිය ගාමිණී ගාව බුරුතු පිටිං..ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කියල ඔය ඊයෙ පෙරෙයිද හත්පලේ ගාගෙන ඉන්නෙ හුලා කියල එකෙක්. ඕකත් ගාමිණීගෙ ගෝලයෙක්. මහවැලියෙ ඉන්දැද්දි කුරුණෑගල රිදී විහාරෙට කියල ආණ්ඩුවෙ කැළෑවකින් කපපු තේක්ක තොගයක් ගෙදර අරං ගිහිල්ල උසාවියෙනුත් වැරදිකාරයෙක් උන මනුස්සයෙක්. අපරාදෙ කියන්ට බෑ කුණුගොඩටම කුණු එකතු වෙනව වගෙ රජ්ජුරුවො වටේට තමයි ඔය නීල හොර නඩේ ඔක්කොම ඉන්නෙ. 😀

      • මචං……බැසිල් රාජපක්ෂ හිටියෙත් ගාමිණි දිසානායක ගාව බව උඹ අහලා ඇති නේද?

      • Ravi says:

        අරූ,

        භක්ෂිසීලයෝ ( බැසිල්ට එහෙම කිව්වෙ පිස්සාගෙ පළාමල්ල බ්ලොග් එක ලියපු පිස්සා…. බ්ලොග් කියවන්ට පටන් ගත්තු අලුත මම බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්…. ඇටමැස්සා, ටැබූ එක්කම වියුණු ලෝකයෙන් සමුගත්තු අපූරු හැකියාවක් තිබුණු රචකයෙක් ) වනාහී එක්වා දහස් නවසිය අසූ දෙකක් වූ වසරෙහි පැවැත්වුණු ජනපතිවරණයෙහිදී හැකිතර කොබ්බෑඅසිපතයනට එරෙහිව ජූනියස රිචද ජයවඩනයන් කිරුළු පැළඳවීමෙහිලා මහත් වෙහෙසක් ගත්තාහු පමණක් නොව ඉන් අනතුරුව පැවති කුප්‍රකට පහන් සහ ඝට ජනමත විචාරණයෙහිදී ද පහන දිනවීමෙහිලා අපරිමිත දිරියෙන් ක්‍රියා කලාහුය.ඉනික්බිති ගාමිණී දිශානායකයන් හා සමඟ එකතුවූවා පෙම්දසුනට එරෙහි දෝෂාභියෝගය පරාජයවූ සැණින් රට හැර පළාගියෝය.

        නැවත මෙරට පැමිණියෝ සිය දෙටු බෑයන් ජනපතිවරණයට ඉදිරිපත්වූ පසුවය. ඉනික්බිති සිදුවූයේ කිමෙක්දැයි ඔබ සැවොම සක්සුදක්සේ දන්නාහුය.

      • මොකද බන්..උඹ පුස්කොල පොතක් කියව කියව ඉන්න ගමන්ද මේ කමෙන්ට් එක දැම්මේ?

        ඔය තියෙන්නේ විස්තරේ.

  34. සිරා says:

    අපේ තාත්තත් එය වගා සංග්‍රාමයකට උර දෙන්න අගුණකොළපැලැස්සෙ ගිහිල්ලා මැලේරියාව හදාගෙන හිගන්නෙක් වගේ ගෙදර ආපු කථාවක් ඉස්සර අපේ ආච්චි කියනවා…මේ කථාවට අස්සෙ මට ඒ කථාවත් මතකයට ආවා. ඒ කාලෙ වගා හමුදාවක් කියලා එකකට තරුණ තරුණියො බදවාගෙන තියෙනවා නේද ?

  35. සිරෝ ගොවිහමුදාව ගැන මමත් අහලා තියෙනවා තාත්තාගෙන්. ඒක එජාප සංකල්පයක්. නමුත් හරිහමන් විස්තරයක් මතක නැහැ. මෙන්න මේ කෙටි ලිපිය කියවලා බලපන්.
    http://www.mawbima.lk/86-18695-news-detail.html

  36. Damith says:

    මොනව කියන්නද කියල හිතාගන්න බැ.හොදට හැදෙකන් ඉදල කසාදයක් බනදල ගැනිට හදා ගන්න කියන එක නම් නියම විහිලුව නේද අරු.
    උබෙ කටහඩ අහන්න ලැබුන එක ලොකු සතුටක්

    • එව්වා නම් ඉතින් විහිළුම තමයි බන්. අවුරුදු 25-30ක් දෙමව්පියන් එක්ක ඉඳලා හැදිච්ච නැති එවුන්ව හදන්න වෙලා තියෙන්නේ කසාද බැඳපු ගෑණුන්ට. නමුත් ඔය කතාව සමහර දෙමව්පියෝ කියන බව මම අහලා තියෙනවා.

      මටත් සතුටුයි දමිත්!!!

  37. Miyuru says:

    මොනව උනත් ආපහු ගෙදර ඉඳලා ඉස්කෝලෙ යන්න පුළුවන් වුනු එක අරූට සෑහෙන සහනයක් වෙන්න ඇති… ඒ පිටටම ස්වීප් එකකුත් ඇදිල තියෙනවනෙ… ඒ නිසා තවත් සතුටෙන් ඉන්න ඇති… ඒ උනාට ඒ අතරෙම ගෙදර ප්‍රශ්ණ පේනකොට මොනවද හිතුනෙ…
    ඒ මහවැලි කතාවට ඉස්කෝලෙ ළමයි ගාව ගත්තු එක මං ඇහුවෙ අදමයි… හෙන ජොලි ඇති ඒ දවස් ටික… ශ්‍රමදානෙ සල්ලි අම්මගෙ අතට දෙනකොට අම්මගෙ ඇස් දෙකට කඳුළු එන්න, හිතේ ඇතිවෙන්න ඇත්තෙ මොන වගේ හැඟීමක් වෙන්න ඇතිද අරූ…

    • මියුරු…..ඇත්තම කියන්නම්….මට ගෙදර ප්‍රශ්න ගැන ඔය කියන කාලේ හිතුනෙම නැහැ ඇදිච්ච ස්වීප් එක නිසා. සහතිකයි ඕක තමයි ඇත්ත. බොරු බණ බයිලා කියන්න බැහැනේ. මම ඉතුරු ටික පස්සේ ලියන්නම්.

      මාදුරුඔය ගමන ගැන නම් ගොඩාක් මතක තියෙනවා. මේ ගමනෙන් පස්සේ මම වෙනත් මාර්ගයක් ගැන හිතමින් හිටියේ. මම ඒ වැඩේට හිත යොමු කලා ඉස්කෝලේ උදව් ඇතිව. මම ඔහේ ගලාගෙන යන්නම්. මියුරු හැකි විටක කියවන්න.

  38. අරු කලින්ම වින්ද තෙම්පරාදුවීම් හින්දා අඩු වයසෙන් මුහුකුරා ගියා කියලයි මට හිතෙන්නේ . එතකොට ජීවිතය ගැන වගකීම් සහගතයි. මන්මුලා වෙලා නැති නාස්ති වෙන්ට තියෙන ඉඩ අඩුයි නේද? අනික උඹ තරම් අව්‍යාජව ලියන්න හොඳ පරිණත කමක් වගේම දහිරියකුත් තියෙන්න ඕනි. ඇත්තටම මට තාම බෑ උඹ තරම් අවංක වෙන්ට.
    මේක කියවලා මම කල්පනා කරේ අම්මාට කීයක්වත් යවන්ට බැරි උනා කාලෙකින් කියලා.

    • මචං තිලකේ…..අවංක වීම හෝ විවෘතවීම කරන්න පුළුවන් වෙන්නේ, ලියන එකා ඒ සඳහා සුදානම්ද කියන සාධකය මතයි. මට නැතිවෙන්න හෝ ඇතිවෙන්න දෙයක් නැහැ. අපි තුන්දෙනා දන්නවා අපි තුන්දෙනා කවුද කියලා. ඒ තත්වය ඇතිවෙන්නේ තිලකේ ළමයි හරියට ජීවිතාවබෝධය ලබා ගන්නා කාලය සහ අපේ යුතුකම් ඉටු කිරීම සම්පූර්ණ වෙන කාලය හමුවෙන යුගයේදි. ඕන කෙනෙක් විවෘත වෙන්නේ තමන් නිවැරදි යැයි සහ තම පවුලේ උදවිය එය නිවැරදි යැයි පිලිගන්නා කාලයේදි පමණයි. නැත්නම් අපේ තාත්තාටත් මෙහෙම ලියන්න ඕන තරම් දේවල් ඇති. ඒත් ලියන්න බැහැ…තමන් අතපසු කරපු දේ බොහෝ නිසා.

      උඹේ පොඩි එව්වුවෝ ලොකු වුනාම , උන් උඹ හරි යැයි තක්සේරු කරපු දවසට, උඹත් මෙහෙම ලියයි.

  39. ඉන්දික උපශාන්ත says:

    අම්මලගෙ ඇස්වල කඳුලුවල බර දැනෙන්නෙ ඒව දකින වෙලාවෙදි නෙමෙයි මතක්වෙන වෙලාවෙදියි.

    මගෙත් මේ වගේ කතා මහ ගොඩක් තීනව. ඒව බ්ලොග් වල ලියන්න කවදහරි බලමු. මොකද ඒ කතාවලට පිළිගැනීමක්, උනන්දුවක් තියෙන්නෙ කතෘ ඒ තත්වෙන් ගොඩක් වෙනස් තැනකට ඇවිත් තියෙන තරමටයි. ඒ නිසා තව පැහෙන්න දීල ඉන්න ඕන.

    • ඉන්දිකා……කොච්චර ලියන්න හැකියාව තිබුනත් මේ දේවල් ලියන්න හිත හදාගන්න එක තමයි ටිකක් අමාරු. ඒකට එක් වයසක් සහ කාලයක් එනවා. මම හිතන්නේ බන් තමන් තමන්ව තේරුම් ගැනීමත්, බොහෝ දුරට වගකීම් ඉටුකර තැබීමත්, ඉතාමත් සරළව සැහැල්ලුව හිතන්න පුළුවන් කාලයක් එනකම් ඉන්නම ඕන. නැත්නම් අපි කවුරුත් ඇත්ත ලියන්නේ නැහැ. ඔය මට හිතෙන හැටි.

  40. DGM බස්සා says:

    මේක නම් හරිම ලස්සන රටාවකට ලියල තියෙනවා. ඉතිහාසය , දේශපාලනය, ආගිය තොරතුරු, ජන ජීවිතය ගැමදේම. ඒ විතරක් නං බැරියෑ ලැබිච්ච,කංසැප ගැනත් ලියලා. කට කනේ 🙂

    වැඩේ කියන්නෙ, මේ හැම එකක්ම , එකකට එකක් බැ‍ඳෙන්න, ලියල තියන රටාවයි. අපට, බෝරින් නැතුව, කිසිම අපුලක් නැතුව එක හුස්මට කියවන්න ලියන මේ අපූරු කතා ගැන මගේ ස්තූතිය

    • බස්සෝ……කිසිම කතාවක් සම්පූර්ණ වෙන්නේ නැහැ කං සැප නැතුව. නැද්ද මන් අහන්නේ?

      උඹලා මේක කියවාගෙන යන එක ගැන මට සතුටුයි. නොයෙක් මාදිලියේ පාරවල්වල නොයෙක් මාදිලියේ අය මේක ඇතුලේ ඉන්නවා. සැහැල්ලුවෙන් කියවන් පලයන්.

  41. sasha says:

    ඕං..අදයි 37 සිට කියවගෙන යන්නෙ !පරක්කු උනාට අනිවාර්යෙන් කියෝනවා අරූ (මාමේ..) ටීවී සීරීස් එකක එපිසෝඩ්ස් ටිකක් එකතු කරල බලනව වගේ දැනෙන්නෙ.පට්ට පට පට

  42. සුපිරිය…අපේ අම්මට මම දෙන්න හැදුවම එපා කියනවා. දීලා මදිවෙලා පස්සේ ඉල්ලනවට වඩා හොඳයි තියෙන එක පරිස්සම් කරලා වියදම් කරන්න ඉගන ගන්න එක කියලා වෙන්නැති හඃ හඃ හඃ 😀
    කොහොමවුනත් එහෙම දෙන්න පුරුද්දක් තියෙන එක ගොඩක් වැදගත් නෙහ් ! බලෙන් හරි දෙන්න ඕනා.
    අර කියපු අත්දැකීම් අරුගේ කාලේ සෙට් ඔක්කොම වගේ ලබන්නේ එකම ආකාරයේ විදියටද කොහෙද.
    නිහාල් ගුරුගේ කියලා අන්තිම පේලියේ ලියන කෙනෙක් ඉන්නවා එයාගෙත් කතා මේ වගේ. වෙනදා වගේම සුපිරියි අරූ !

    • සින්දුවෝ…..පහුගිය ටිකේ මම හිටියේ නැහැ. දැන් තමයි මේවා දකින්නේ. සොරි ඈ.

  43. තිස්ස says:

    නේසයියා කියලා ශිෂ්‍ය නායකයෙක් ඇවිල්ලා අපිටත් කිව්වා ඔය ශ්‍රමදානයට සහභාගි වෙන්න කියලා.

    සමන් අමරසිංහ ඉගන්නුවේ ඡායාරූප ශිල්පය. ඊට කලින් ඒ විෂයය ඉගැන්නුවේ මායාදුන්න මහතා.

    • මට මායාදුන්න සර් මතකයි. සමන් අමරසිංහ පසුකාලයක ක්‍රිකට් අම්පයර් කෙනෙක් වුනා නේද? තිස්සට හේමමාල් ජයවර්ධන මතකද…

      • තිස්ස says:

        නෑ, මතක නෑ. කවුද ඒ?

      • තිස්ස says:

        මායාදුන්න මහතා සමඟ තවත් ගුරුවරයෙක් හිටියා ඡායාරූප ශිල්පය පන්තියේ. ටිකක් වයසින් වැඩි, උපැස් යුවලක් දාගත්තු, කෙට්ටු, උස ගුරු මහතෙක්. ඔබට ඔහුගේ නම මතක ද?

      • තිස්ස අහන සර්ව නම් මට මතක් වෙන්නේ නැහැ. හේමමාල් ජයවර්ධන නම් ජායාරූප ශිල්පය හොඳින් ඉගෙනගත්තා, ඉස්කෝලේ ජායාරූප සංගමයේ සභාපතිත් වෙලා හිටියා . දැන් මහාචාර්ය වරයෙක්. නන්දදාස කෝදාගොඩයන්ගේ වටිනා ගෝලයෙක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s