අවුල් වන්නට පෙර (38)…..පොරෝලිස් මාමා

පහත්ගම සිට පාසැල් යන කාලයේ අප බැහැදැකීමට ගල්කිස්සේ පදිංචිව සිටි අපගේ ඥාතීන් පිරිසක් පැමිණියෝය. සැපදුක් විමසීමෙන් පසු ඔවුන් කියා තිබුණේ මට ගල්කිස්සේ ඔවුන්ගේ නිවසේ නැවතී සිට පාසැල් යා හැකි බවය. දින කිහිපයකට පසු අම්මා සමගින් මම ගල්කිස්සේ නවතින්නට ගියෙමි. මෙය මගේ ජීවිතයේ එක් කඩ ඉමක් සලකුණුවූ ස්ථානයක්වූ අතරම පාසල් කාලය පුරාවට මගේ දසවෙනි සහ අවසාන නවාතැන් පොළද විය. අප පවුලේම කෙනෙක් ලෙස කුඩාකල සිට හැදී වැඩී තිබු ටේච්චී නම් වියපත් ගැහැනියවද මේ කාලයේ රැකබලා ගත්තේ මේ නිවසේ අප ඥාතීන්ය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාපිටිය ඉදිරිපිටම ගාලු පාරට මුහුණලා පිහිටි මේ නිවස හිමි අප ඥාතීන් යමක් කමක් තිබූ ධනවත් පවුලක් විය. මේ පවුලේ ගෘහ මූලිකයාවූ පොරෝලිස් මාමා එවකටත් වයස 60-70ක් පමණවූ උස මහත දඩබ්බර පුද්ගලයෙක් විය. නමුත් මෑතක සිට අංශභාග රෝගයට ගොදුරුවී එක් අතක් සහ එක් පාදයක් අප්‍රාණිකව තිබුණත්, අනිත් අතින් නිවස ඉදිරිපිට කෙටි තාප්පය අල්ලාගෙන උස් පහත් වෙමින් ව්‍යායාම කරයි. යම් තාක් දුරට හෝ අඬු පඬු ගසා සිටින්නේ ඔය ව්‍යායාමවලින් බව කියමින්, කොහෙද ඩෝ උඹලා හරි කම්මැලියෝ යැයි අපිටත් බැණ වදී. අඩෝ, පඩෝ වචන පොරෙලිස් මාමාගේ ශබ්දකෝෂයේ ඉදිරියෙන්ම තිබූ වචනය. මොහුගේ වැඩිමහල් සොහොයුරා පාමංකඩ ජේමිස් සිල්වා නම්වූ ඒ කාලයේ ප්‍රසිද්ධ චණ්ඩියෙකි. පොරෝලිස් මාමා ඒ යුගයේ කොළඹ කොටුවේ සිටි ප්‍රසිද්ධ මැණික් බිස්නස් කාරයෙකි. ඒ කාලයේ නම් ඇන්දේ පලයකාට් කොටු සරමත් කලු කෝට් එකත් කළු පැහැති මහත රෙදි වැනි පටියක්ය. මේ කියන කාලයේ නම් සාලයේ හාන්සි පුටුවටවී කාලය ගෙවා දමයි. ඇස් පෙණීමද ඉතා දුර්වල වුවත් ,තනියම අතපත ගාගෙන ඇවිදින්නට හුරුය. මිදුලට බහිනවා නම් පමණක් කවුරුන් හෝ ළඟින් සිටිය යුතුය. වැඩිය අතපත ගානවාට කැමති නැත. මට පුළුවන් ඩෝ..පැත්තකට වෙයන් යැයි අහගන්නට හැකිය.

වැඩිමහල් පුතුන් දෙදෙනෙක් සහ දූවරු දෙදෙනෙක් සිටී පොරෝලිස් මාමාගේ බිරිඳ මියගියේ බොහෝ කාලයකට පෙරය. එකල ඔවුන් පදිංචිව සිටියේ දළුගම ටයර් සංස්ථාව අසල බව මම දනිමි. වයසට ගියත් ඒ කාලේ කොටුවේ කෙරූ චණ්ඩිකම් අදටත් හුරුය. ඕනෑම ජගතෙකුට කියන්නට තියෙනදේ මුහුණටම කියා දමයි. කටහඬද ගොරෝසුය. මොහු හමුවී කතාබහේ යෙදීමට නොයෙකුත් මාදිලියේ උදවිය පැමිණේ. ඒ බොහෝමයක් කොටුවේ, පිටකොටුවේ ඒ වනවිටත් එක් එක් ව්‍යාපාරයන්හී යෙදුණු අයය. සමහරුන් නම් ලෝක අංකූරයින් බව කතාබහෙන් වැටහේ. ගෙට ගොඩවෙන මිනිසුන් ..ආ මුදලාලි කොහොමද යැයි කියු සැනින්ම, දෑස් නොපෙනෙනා පොරෝලිස් මාමා, මේ බොහෝ දෙනෙක්ව කට හඬින්ම හඳුනාගනී. මොකක් හෝ කට කැඩිච්ච් වචාල කතාවකින්ම පිළිතුරුදී වාඩිවෙයන් යැයි කියයි. “අඩෝ.. මේ කොලු පියදාස නේද? උඹ අදත් දඩයක් දාන්නද ආවෙ” හෝ “මන්සූර් නානා නේද…දැන් උඹ ඇසිලින්ගේ රෙද්ද අස්සේ රිංගන් නැද්ද..කොහෙද උඹලා කිව්වට හැදෙන්නෙ නැහැනේ” වැනි කතා කාටත් හුරුය. ඒ පොරෝලිස් මාමාගේ හැටිය. ඔහුගේ පරණ ගෝලයින්, මිත්‍රයින්, ඇමතීමට ජංගි උස්මාන්, අබිං ජෝන් , මවුත් ඕගන් යැයි අන්වර්ථ නාම රාශියක් විය. ඔවුන් ගිය පසු එසේ කියන්නේ ඇයිදැයි කියා හිනාවෙමින් කෙටි පැහැදිලි කිරීමක්ද කරයි. විශ්වාස කල නොහැකි ගණයේ කෙනෙක් පැමිණියහොත් ගෙදර කාගේ හෝ නමක් කියා අඬ ගසා “ඇහ ගහගෙන හිටපන්…මූ ලෝක වෙදා…මොකක් හරි සරම අස්සේ ගහගෙන යයි” කියන්නේ ඒ මිනිහාටත් ඇසෙන්නය. නමුත් ඒ මිනිසුන්ද මෙයාගේ හැටි දන්නා නිසා සිනහවෙමින් දොඩමළුවේ. පොරෝලිස් මාමා නොම්බර එකේ ජොලි පොරකි. හැම තත්පරයක්ම විනෝදජනකය. රස්තියාදු භාෂාවෙන්ම කථාකරයි. අඩෝ කියනා වචනය නිතරම පාවිච්චි කළේය. ඉංග්‍රීසි භාෂාවද හොඳින් දන්නා මොහු ඒ කාලයේ හාබර් එකට ගොඩ බසිනා නැව්වල සුද්දන්ට මැණික් විකුණූ බවද කියයි.

එවකටත් දිනකට සිගරට් 10-15 වඩා බීමට පුරුදුවී සිටි මොහුගේ බ්‍රෑන්ඩ් එක නෙවිකට් විය. එක අතක් අප්‍රාණික නිසා ගිනිපෙට්ටියට වඩා ලයිටරය පාවිච්චි කිරීමට හුරුවී සිටියේය. නෙවිකට් නැති දවසට බ්‍රිස්ටල් වැනි ෆිල්ටර් සහිත සිගරට් එකක් ලැබී පත්තුකර ගතහොත්, අවසානයේ ෆිල්ටරයද පිච්චී කටත් පුච්චාගන්නේ නෙවිකට් එකේ පුරුද්දට අන්තිම අග්ගිස්සටම සිගරට් එක උරණා බැවින්ය. එවෙලෙට කුණුහරුප වැළකි. සිගරට් ගෙනාපු එකාත්, ළඟ වාඩිවී හිටිය එකාත් දෙදෙනාම වැරදිය. ළඟ හිටිය එකාට බණින්නේ “අඩෝ තොට කියන්න බැරිද **තෝ” කියාය. ඒ සැනින්ම ” මොනවා කරන්නද ඩෝ..මම දැන් පොට්ටයා වෙලානේ ” කියා මහා හයියෙන් හිනාවේ. පැකට් එකෙන් සිගරට් එකක් අරන් දෙන්න යැයි කීවිට එකක් අරන් දී එකක් මම ඉස්සු හැම අවස්ථාවකම ඔහුට හසුවී ඇත. ඇඟිලි තුඩින් පැකට් එක අතගා “උඹ එකකට කෙළියා නේ..අඩෝ මම කොටුවේ බිස්නස් කරපු එකෙක් හරිද…හා හා බීල මැරියන් “කියා කට වහ ගනී. ඇස් නොපෙනී ගියේ වයසට නොව, ඒ කාලයේ ඇති පදම් ගංජා බිවු නිසා යැයි කියා තොපි නම් කටේ තියන්න එපා යැයි අවවාදයක්ද දෙයි. නමුත් ඔය කොටුවේ සිට පැමිණෙන ගෝල බාලයින් එක්ක ඉඳහිට ගංජා උගුරක් දෙකක් ඇද බලා ගත්ත අතේ බලා ඉන්න එකත් අතහැරියේ නැත. මොහු නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙණ දඩබ්බරයෙකි. වරක් මොහුගෙන් ගත් මුදලක් ආපසු නොදී විටින් විට කට්ටි පැනපු එකෙක් ගෙදර පැමිණි විටෙක , අතින් අල්ලා ළඟට කිට්ටුකරගෙන ඔළුවෙන් ඇන්නේ අර මිනිහාට බිම වැටෙන්නමය. අංශභාගය වැළඳී සිටියත් මොහු ශක්තිමත් මිනිසෙක් විය.

ගල්කිස්සේ මේ නිවස ඉතා සුන්දර ස්ථානයක් වූයේ එහි පැමිණෙන මිනිසුන් හා පොරෝලිස් මාමාගේ සංවාද නිසාමය. අක්කලාගේ යෙහෙලියන්ද අයියලාගේ මිතුරන්ද නිතර ගැවසේ. නිතරම විනෝදජනක සිදුවීම්ය. එවකට ඉතා ප්‍රසිද්ධ සංගීත කංඩායමක්වූ මවුන්ට් චයිම්ස් කංඩායමේ ඩයස් සොහොයුරන්ද නිතර ගැවසේ. මටම හරියන තැනක්ය. එම කංඩායමේ සිටි ලාල් නම් ගායකයෙක් අපූරු ගීත කිහිපයක් පටිගත කළේය. ඉන් එකක මුල් පදවැල් මට තවමත් මතකය. ” බොසා ගියා ෆයිල් වහමු- ඩාලින් අපි අයිස් ගහමු…එන්න මගේ ස්ටෙනෝ කුමාරි” නම් ගීතය සොයා ගැනීමට අපහසුය. එකල ස්ටෙනෝග්‍රැෆර්ස්ලා වැඩිපුර හිටියේ කෙල්ලන්ය. සෙන් තෝමස් ග්‍රවුන්ඩ් එක හැන්දෑවරුවේ අපේ වැනිය. එකල තාප්ප වලින් කොටුකර තිබුණේද නැත. සිංහල,දෙමළ,මැලේ, බර්ගර් ඔය කවුරුත් තරුණයෝ හැන්දෑවට සෙට් වෙන්නේ මේ නිවස ඉදිරිපිට තාප්පය උඩටය. රෑ බෝ වෙනකම් මේ කරච්චලය ඇදී යන්නේ නම් ,බිත්ති අල්ලාගෙන එළියට එන්නේ පොරෝලිස් මාමාය. “අඩෝ..ඔය බයිලා නවත්තලා ගෙවල්ව්ලට පලයල්ලා” යැයි කිවු සැණින් සියල්ල අහවරවේ.

පොරෝලිස් මාමා ගැන නම් ලියන්නට ගියොත් ලියා අවසන් කල නොහැකි කතා රාශියකි.ඒ කාලයේ කොළඹ කොටුවේ සිදුවූ චණ්ඩිකම්,එක් එක් මගෝඩි වැඩ, ගුටි බැට හුවමාරු, පොලිස් කතා, නැව්වල සුද්දන්ගේ කතා ආදී බොහෝය. මට වඩා මේ කතා රසකර කියන්නට දන්නේත් මතකයේ ඇත්තේත් අපේ ලොකු නංගීටය. ඇයද බොහෝ කාලයක් මෙහේ නැවතී සිටියාය. ඒවා අහන් ඉන්නට ප්‍රියවන්නේ පොරෝලිස් මාමා කතා කෙරූ භාෂා ශෛලිය නිසා විය යුතුය.

ඒ කෙසේ වෙතත් මම දැන් ගල්කිස්සේ සිට පාසැල් බසයෙන් යන්නෙමි එන්නෙමි. ඒ ගෙදර සියළුමදෙනා මට හිතවත්ය. අපේ ටේච්චිත් එම නිවසේම සිටි බැවින් ඇයද මා ගැන උවමනාවෙන් සලකා බලයි. ටේච්චී කුඩා කාලයේ සිටම යම්තාක් දුරට මානසික මට්ටමින් අඩු ගැහැනියක් වුවත්, පියකරු සිනහවකින් හෙබි රූමත් වියපත් තැනැත්තියකි. පොරෝලිස් මාමාගේ පොඩි පොඩි අත් උදව් කරන්නේත් ඇයයි. මොවුන් දෙදෙනා ඉතා කුළුපගය. අප නිවසේ සිටිනා කාලයට වඩා ටේච්චී දැන් වෙනස්ය. ඇයගේ සුදු කොණ්ඩය කොටට කපා ඇත. නොයෙකුත් මෝස්තරයේ දිග ගවුම්ද අඳී. ඇයව අමතන්නේ ටේච්චී කියා නොව ටේලා කියාය. ඒ ඇයගේ ටේලින් නෝනා නම් මුල් නම කෙටි කිරීමකි. පොරෝලිස් මාමා කාටත් හොරෙන් ටේච්චීට බ්‍රැන්ඩි වීදුරුවක් දෙනබවත් මම දනිමි. පොරෝලිස් මමාගේ හාන්සි පුටුවේ එහා පැත්තේ බ්‍රැන්ඩි බෝතලයක් විය. කෑමට පෙර ෂොට් එකක් ගැනීම මොහුගේ පුරුද්ද විය. ටේච්චීට බ්‍රැන්ඩි ෂොට් එක වැඩිවුනදාට බොරු සිංදු කියමින් ඩානස් කරන්නීය. අපි අත්පුඩි ගසන්නෙමු. මොහු බෙහෙත් බීමටද අකැමතිය. මළ බද්ධය වැනි වැසිකිළි යාමේ අපහසු තත්වයක් ඇතැයි කියූවිට ,කඩෙන් යම්කිසි බෙහෙතක් ගෙනත් දෙන්න දැයි මම වරක් විමසුවෙමි. වැසිකිළි ගියවිට පොල්තෙල් ටිකක් කෝප්පෙකට දාගෙන විත් ඔහුගේ දබරඟිල්ලේ ගාන්න යැයිද..එවිට ඔය බඩු ලූස් වෙනවා යැයි හිනාවෙවී කුප්ප කතාද කියයි.

අපේ අම්මා මාසයකට වතාවක් පමණ ගල්කිස්සේ පැමිණියාය. ඒ මා බැලීමටත් ,පොරෝලිස් මාමාගෙන් උදව්වක් ලැබෙන බවත් දන්නා නිසා බව මම දනිමි. අපේ අනිකුත් ඥාතීන් මෙන්ම මේ ගෙදර සියලු දෙනාත් අපේ අම්මා හෙවත් “දයා පුංචීට” පණ මෙන් ආදරේය. මෙහි සිටි අක්කලා දෙදෙනා කේක් සෑදීම, විශේෂ ආහාර සෑදීම, ඇඳුම්, පැළඳුම් මැසීම, මැක්‍රම්, එම්බ්‍රොයිඩර්, කොණ්ඩා කැපීම, බියුටි කල්චර් වැනි මේ සියල්ලක්ම මැනවින් ඉගෙනගත් අයය. අපේ ලොකු නංගීත් පසු කාලයක මෙහි නැවතුණේ ඔය නිසාමය. අම්මා පැමිණි දිනයට නොයෙකුත් කෑම සාදා, පොඩි පොඩි ඇඳුම් මසා දී මලු පුරවාදීම මොවුන්ගෙ විනෝදාංශය මෙන් විය. පොරෝලිස් මාමා හොඳ වචනයෙන්ද නරක වචනයෙන්ද මිශ්‍රවූ ඔහුට ආවේණික භාෂාවෙන්, අපේ තාත්තා විනාශකළ දේපොළ සහ මුදල් ගැන ලුණු ඇඹුල් ඇතිව දේශන පවත්වයි. ඕවා දැන් වැඩක් නැතැයි අර අක්කලා කියු පසු, අම්මාට ළඟට එන්නට කියා ඉනේ ගසා ගෙන සිටිනා මුදල් පසුම්බිය දෙයි. “අඩෝ දයා…උඹ දැනගනින්..මගේ ඇස් දෙක හොඳට පේනවා..මම බොරුව දාන්නේ. ඕකෙන් දෙසීයක් තුන්සීයක් ගනින්. වැඩිය ගත්තොත් උඹේ අත කඩනවා” යැයි කියා මහ හයියෙන් සිනහවෙයි. අම්මා රුපියල් දෙසීයක් ගෙන ගාන කියයි. පොරෝලිස් මාමා ඇඟිලි තුඩින් අතගා තව සීයක් අම්මා අත තබයි. ඒ කාලයේ රුපියල් තුන් සීයද ලොකු මුදලකි.

මම ලියන්නට සිතාසිටියේ ඔය කාලයෙදීම මා කරක් ගැසු ඒ කාලයේ බම්බලපිටිය හා වැල්ලවත්ත ගැනය. නමුත් ලියවුනේ පොරෝලිස් මාමා පිලිබඳවය. සෙස්ස පසුවට බලමු!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

121 Responses to අවුල් වන්නට පෙර (38)…..පොරෝලිස් මාමා

  1. maathalan says:

    මේක නොලිව්වනම් උඹේ මේ කතාවේ ඇති වැඩකුත් නෑ. එකෙක්වත් අත අරින්න එපා. ඔය වගේ ලංසි බුවාලා නම් කැළණියේ හිටියා අනන්තවත්. උඹ කියන විදියටම සරම ඇඳලා කෝට් ඇඳලා සුද්දන්ගේ ගයිඩ් වැඩ කරපු පොරකුත් උන්නා අපේ ගෙවල් ගාව. තාත්තගේ යාලුවා. පොරගේ පුතා සද්ධාතිස්ස. තොලා කියලා තමයි ආදරේට කියන්නේ පොරත් උඹ කියපු ජාතියේ පොරක්. වරාගොඩ පාරේ බජාර් වල ඕන එකෙක් මූව දන්නවා. ඒ වගේම තමයි ධර්මාළෝකෙට ගිය ඕන එකෙක් මූව දන්නවා.

    • අනිවා මාත් මේල් එකෙන් ලිපිය කියෝලා කොමෙන්ට් එක කොටන්න ආවේ ඔය දේම කියලා. මං හරි ආසයි ඒ වගේ අය කතාකරද්දී අහන් ඉන්න. බොරුවට මවාගෙන කෑගහන, සද්ද දාන අය වගේ නෙමේ මේ සාම්පලේ අය කියන කතා වලට පට්ට කැමති මං. ඔයාගේ තාත්තට බයින විදිය ඔයාගේ කතාවේ ඉතිහාස කතාවල තාත්ත කරපු කියපුවා මතක් කරගෙන ගලපගත්තා ,, හි හි හොදට් කියන්න ඇති .. වෙනද වගේම මගේ ස්තූතිය ඔබට.

      • @ ඔමා…..මමත් හරි ආසයි ඔය වගේ අයගේ ටෝක්ස් අහන්න. බුදු ටෝක්ස් තමයි දෙන්නේ. මෙයා නම් මරු පොරක්. කිසිම කම්මැලිකමක් නැහැ. ලඟින් වාඩි වෙච්ච ගමන් කියන්නේ….පැකට් එකේ සිගරට් පහක් තියෙනවා…ලඟින් වාඩිවුනාට කමක් නැහැ, උඹ යනකොට පහ ,හතර වෙන්න බැහැ කියලා. දන්නවා අපි ලංවෙන්නේ හොඳකට නෙමෙයි කියලා.

    • පත්තර මල්ලි says:

      කැලනිය පැත්තෙත් ඔහොම පොරක් හිටියා ප්‍රියන්ත කියලා..මිනිස්සු ඒ උනාට දන්නේ මාතලං කීවාම..:D

      • පත්‍ර බ්‍රදර් කියන එකා සරමයි, කෝට් එකයි නෙමේනේ අඳින්නේ..

    • @ මාතා…..ඇත්තටම මේ චරිතය මගේ හිතේ තිබුනා කොයි වෙලාවේ හරි ලියන්න. මේක තමයි වෙලාව කියලා හිතුනා. මේවා සුපිරි චරිත මචෝ. ඉස්සර කොටුවේ එක එක බිස්නස් කරපු අය ඔක්කොම සරමයි, කළු කෝට් එකයි තමයි ඇන්දේ. පොරෝලිස් මාමාගේ ඔය යාළුවෝ සෙට් එකට නම් දාලා තියෙන හැටිත් මරු බන්.

  2. සොඳුරු මතක ආවර්ජනාවක් වගෙයි. ඒ කියන්නෙ මේ පොරෝලිස් මාමා තාමත් ඉන්නවද? ඔහුට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව මං.

    • නැහැ මනෝෂ්…….1980 ගණන් වල මැරුනා වයස 80 ගානක්ද කොහෙද. දැන් ඉන්න තැනත් ආතල් එකේ ඇති. ඒකනම් ෂුවර්!

      • Pra Jay says:

        //මේ පොරෝලිස් මාමා තාමත් ඉන්නවද? //
        අරූ
        ඔය ප්‍රශ්නය එන්නේ පාස්ට්/ප්‍රසන්ට් ටෙන්ස් මිශ්‍රවීමක් තියන නිසා නේ? intentional?

        මම අහන්න හිටියෙ අරූ ගාව ඩයරි එකක් හෝ සටහන් තියනවද ඒකාලෙ ගෑන?
        එහෙම නෑත්නම් සම්පූර්ණයෙන් මතකයෙන්ද? එතකොට අතින් වෑටෙන්නෙ (poetic/novelist’s license) නෑද්ද?
        මම අපහාසයකට නෙමේ අහන්නෙ. මට වෙනස් ආකාරයක ලිවීම පිලිබදව සුලු අත්දෑකීම් තියන නිසා සහ මේවා ලිවීම ගෑන උනන්දුවක් (බ්ලොග් නොවේ) සහ අදහසක් තියන නිසා උපදේශයක් ලබාගෑනීමට අහන්නෙ. ඔබ contact කිරීමට වෙන ක්‍රමයක් නොමෑති නිසා මෙතන ලිවීම පිලිබදව සමා වන්න

      • @ප්‍රා…… …/////intentional ?////මොන පිස්සුද බං. ඔය තමයි ලියවෙන හැටි 😀

        ප්‍රා…..novelist’s license පොඩ්ඩක් පාවිච්චි කරන්නේ නැතුව මේ වැඩේ කරන්න බැහැ බන්. Just to improve the taste.පොල් සම්බෝලේ එන්හැන්ස් කරගන්න අජිනමොටෝ (අකැමත්තෙන් වුනත් )බින්දුවක් දානවා වගේ තමයි. But the rest is full of coconut & proper ingredients. (නැත්නම් රහ දන්න එකා දන්නවා මේ එක පාරක් මිරිකපු පොල් කියලා )
        මගේ ගාව ඩයරි ,සටහන් නැහැ. නමුත් අපේ පරණ ෆොටෝස් එහෙම තියෙනවා. ඒවා බලන කොට එක එක ඒවා මතක්වෙනවා. කොහොමත් මට හොඳ මතකයක් තියෙනවා කියලා අපේ පවුල්වල අය කියනවා. ඉස්කෝලේ යාළුවෝ ගොඩාක් මේක බලනවා……උන් මාව දැන් දැන් හරියට කන්ටැක්ට් කරනවා. මගේ මතකය ගැන උන් ස්තූති කරනවා ඉස්කෝල සිද්ධි ගැන.
        papara123@yahoo.co.uk

  3. Punya says:

    වැවදෙනියේ ඇල්.ඩී.මෙන්ඩිස් මහත්තයා ලියපු පොත්වලත් ඉන්නව මීට කිට්‍ටුවෙන් යන පොරෝලිස් මාමා කෙනෙක්.

    • පුණ්‍යා……මම මේ මෙන්ඩිස් මහත්තයා ගැන අහලා තිබුනාට, එකම පොතක්වත් කියවලා නැහැ. මීට බොහෝ කලින් හැලපයා කොහෙද කමෙන්ට් කරලා තිබුනා මේ පොත් සෙට් එකම සූරිය එකෙන් ආපහු පබ්ලිෂ් කරා කියලා. පුණ්‍යා.. ස්තූතියි අවුල කියවනවාට.

      • kathandarakaraya says:

        මං ඒ පොත් කියෙව්වේ පොඩි කාලේ. අළුත් ප්‍රින්ට් කීපයකුත් ගත්තා.
        මැන්දිස් ගේ කෙටිකතා ත් තියෙනවා.

        ඔය කියන පොරෝලිස් මාමා වෙනස් චරිතයක්. පොර අංක එකේ අහංකාර පුද්ගලයෙක්. එනිසා දුවත් අමාරුවේ වැටෙනවා. පුතා සූරසේන ලෝක අමරුකාරයෙක් වෙනවා.

        මැන්දිස් ගේ ජිනපාල ගේ කතන්දරේ පොතත් කියවන්න.

      • @කකා……එහෙනම් මැන්ඩිස් මහත්තයාගේ පොරෝලිස් මාමා වෙනස් චරිතයක් මෙයාට වඩා. පොත් ටික හොයාගෙන කියවන්න ඕන. ප්‍රා එවලා තිබුනා පොත් ලිස්ට් එකක්. හොයාගෙන කියවන්න ඕන. කකාගේ නිවාඩුව ඉවරයි වගේ.

  4. පොරෝලිස් මාමා වැනි චරිත මා දැක තිබුනේ සිංහල සිනමාවෙන් හෝ චිත්‍ර කතාවෙනි. නමුත් උඹ එවන් චරිතයක් ජීවමානව දැකීමට පිං කොට තිබූ හැඩකි. උඹගේ තව තව අත්දැකීම් ඇසීමට පෙරැම් පුරමින් සිටිමි. ජය වේවා!

    • උඹට කියන්න ගුණේ මට හම්බවෙලා තියෙන පොරවල්. අර විචාරක කියනවා වගේ ඒ එක් එක්කෙනා ගැන වෙනම සීරිස් ලිව්ව් හැකි. මෙයා ඒ අතරින් විශේෂයි. තව හිටියා අපේ සීයා ඒ කාලේ හදගන්න ගත්ත කෙනෙක් රොමානිස් නොහොත් පොඩි අයියා කියලා. වයසට ගිහින් මැරුණා. ඒ තවත් චරිතයක්. හෙණ මෝඩයි. ගෙවල් බ්‍රෝකර් වැඩ, බයිසිකල්, ලාම්පු රිපෙයාර් කරේ. කෝ ඕවා ඔක්කොම ලියන්න ගියොත් වෙන මුකුත් ලියන්න හම්බවෙන්නේ නැහැ.

      • ඇළපාත says:

        වෙන මුකුත් ඕනෙ නෑ. ඒ ටික ලියපුවම ඇති.
        එළටම ලියල තියෙනවා.

      • ඇළපාත්….. ස්තූතියි. මගේ කතාව ලියාගෙන යනකොට ඔය හැම දෙනා ගැනම ටික ටික තියෙයි.

  5. Ravi says:

    මටත් මතක් උනේ ඇල්.ඩී. මැන්දිස් මහත්තයගෙ පණංගල අයියා සහ නස්පැත්තිය පොත් දෙකේ ඉන්න පොරෝලිස් මාමා…

    පොඩි කාලෙ අපි නට නට කියන සිංදුවකුත් ඒ එක්කම මතක් උනා…

    මොකටද කාසි බාගෙ හොයා තියා..( එකොළහයි )
    යනකොට ගෙනියනවද අනේ ඔයා ( එකොළහයි )
    ජකෝලියා..කරෝලියා..පොරෝලියා…

    උඹට මචං ඔය පලදීල තියෙන්නෙ කෙහෙතගෙ අපලෙ..කෙහෙතගෙ අපලෙ ගැහුවම එක තැනක ඉන්ට දෙන්නෙ නෑ. ඉබාගාතෙ ඇවිද්දවනව…බඩුම තමයි. ඕකට කරන්ඩ ඕන පූජාවක් තියනව. දවස් හතක් එක දිගටම සුපටි පටි පන්නෝ මුගටි ගෙට පැන්නෝ ගාතාව හත්පාරක් කියල එළඟි තෙලෙන් පොඟවපු පාංතිර කන්න ඕන තුං වේලටම..

    • Senna says:

      එකොළහයි කිව්වේ කාසිද ?? 😀

      • @ Ravi…..එකොළහාද…එකොළා හමාරද..

      • Ravi says:

        සෙන්නා,

        ඇයි බං අර ජේ. ආර්. පප්පට ගහපු කාඩ් එකක් තියෙන්නෙ. කොහෙද ඔය යූ.ඇන්.පී. රැළියක ගිහිල්ල සිංදුවක් කිව්වයි කියල…

        සිරියමෙසාරා නැඟෙවි හද මොහොරා…දි පේමෙ අමදාරා දි පේමෙ අමදාරා //

        කොලේ ඔහොම ලියල තිබ්බ එක ජේ.ආර්. කියල තියෙන්නෙ මෙහෙමයි.

        ” සිරියමෙසාරා නැඟෙවි හද මොහොරා…දි පේමෙ අමදාරා දි පේමෙ අමදාරා …එකොළහයි…”

      • bindi2 says:

        ඇයි අර හේමා ප්‍රේමදාස කිවා කියන්නේ ඒ කාලේ
        ”සඳ පායා නැත අහසේ එකොළහයි ” කියල

    • රවී……මාර පොරක් තමයි බන්. අපි කට්ටිය හම්බවුනාම තාම හිනාවෙනවා මෙයා කරපු වැඩ ගැන මතක් කරලා. මටත් නොයෙකුත් මාදිලියේ පොරවල් තමයි සෙට් වෙන්නේ. මෙයාට යාළුවෙක් හිටියා..එයාගේ නමත් ජේමිස්. ජේමිස් අයියාට කණ් ඇහෙනවා අඩුයි. මෙයාට ඇස් පේනවා බොහොම අඩුයි. දෙන්නා සෙට් වුනාම එක ජෝගියයි. අපි පැත්තකට වෙලා බලන් ඉන්නවා. අන්තිමට අපේ එක්කෙනා කියනවා “පොට්ටයෙකුටයි, බීරෙකුටයි මොන කතාද ඩෝ..මගේ කටත් රිදෙනවා උඹට කෑගහලා. ඔන්න ඔය තියෙන දෙයක් කාලා තොලොන්ජි වෙයන්” කියලා. පිස්සු හැදෙනවා රවී.

      මචං කෙහෙතාගෙ අපලෙට තුන්වේලට පාං තිර කන්න ඕන මමද කෙහෙතාද?

  6. පොරෝලිස් මාමා වගේ චරිතයක් අපේ කඩේ ඉස්සරහ අපි පොඩි කාලේ හිටියා , මිනිහගේ නම තුවාන් මාමා ,මැලේ ජාතිකයෙක්, මිනිහට මුළු මාකට් එකම බයයි , හෙන සද්දන්ත පොර . මිනිහා බිව්වා වෙලාවට ෆුල් ආතල්, බනින්නෙම JR ජනාධිපති තුමාට . ඒ බනින්නේ
    ” ඔය JR කැ….යා නිසා තමයි යකොව් මට මෙහෙම දුක්විඳින්න වෙලා තියෙන්නේ , ඕකා තමයි අපිට මෙසියාවට යන්න නොදී ලංකාවේ සිටිසන්ෂිප් දුන්නේ , මැලේ එවුන්ට ලංකාවේ සිටිසන්ෂිප් දෙන්නේ නැත්තම් මැලේසියාවට සිද්ධ වෙනවා අපිට සිටිසන්ෂිප් දෙන්න කොහෙද මේ යකා එක කෑවනේ ” එහෙම වෙලා මං මැලේසියාවට ගියානම් තොපි ඔක්කොම ගොඩ යකෝ ,එහෙනම් මම උඹලා ඔක්කොම මැලේසියාවේ රස්සාවලට ගෙන්න ගන්නවා , ශික් විතරක් …”

    කියා කියා , අපිට මේ කතාව අහගෙන ඉන්න එක බුදු ආතල් , හැබැයි ඔක්කොම ඉවර වෙලා මිනිහව උස්සගෙන යන්න නම් මොකෙක්වත් එන්නේ නෑ , මොකද මිනිහව අරන් ගෙදර ගියොත් මිනිහගේ ගෑනු මනුස්සයා යන එවුන්ගේ හතර හන්දි කඩනවා

    • ඉවාන්…….ඔය වගේ බීලා ටෝක් දෙන පොරවල් ඉන්නවා. නියම කතා කියන්නේ බන්. අපේ තාත්තලාගේ ගමේ හිටියා වයසක අන්කල් කෙනෙක් නැෂනල් අඳින. රෑට කණ පැලෙන්න ගහලා කට්ට කරුවලේ වැනි වැනි මහ හයියෙන් පිරිත් කිය කිය යන්නේ. කවුද අහලා මොකද මාමේ පිරිත් කිය කිය යන්නේ කියලා. උඹ දන් නැහැනේ *ත්තෝ..පාරේ හොල්මන් ඉන්නවා කිව්වාලු.

      ඉවාන්……89 කාලේ අපේ තාත්තා බීලා විනාඩි 15ක් විතර මහ හයියෙන් විජේවීරව පතුරු ගහනවා. ඊට පස්සේ ඒ සැණින් තව විනාඩි 15ක් විතර ප්‍රේමදාසගේ රෙදි ගලවනවා. හැබැයි ඒ නිසාද දන්නේ නැහැ 89 ෂේප් එකේ ගියා. ඊට ඉස්සෙල්ල වෙච්ච දේවල් පස්සට ලියන්නම්.

  7. අඩේ පොරෝලිස් මාමා අපේ ගෙවල් කිට්ටුවත් ඉදලා තියෙනවානෙ. 🙂

    ඔයා වැල්ලවත්ත ගැන ලියන්න ගිහින් පොරෝලිස් මාමා ගැන ලියවුන එකේ කොහෙත්ම අමනාපයක් නෑ. මේ වගේ කතා, චරිත අත් හරින්න එපා අයියෙ.

    ඔය පොරෝලිස් මාමාලා වගේ උදවිය මතුපිටින් රළු විදිහට පෙනුනත් ඇතුලාන්තය පුදුමාකාර සංවේදියි බොහෝ විට… ඒ වගේම සරලයි, විනෝදයි.

    • ප්‍රියා……ඔය වගේ මිනිස්සු දැන් නැතුව ඇති බන්. පුදුම උත්සාහවන්තව තමයි ජීවිත ගොඩ නගන් තියෙන්නේ.දළුගම ඉඩම් කඩම් තාමත් තියෙනවා. ගල්කිස්සේ ඒවානම් පස්සේ දරුවෝ විකුණලා බෙදා ගත්තාද කොහෙද. මහ විසාල ගෙයක්. පැත්තකින් පොඩි ෂොප් එකකුත් තිබුනා.

      ඒ අයියලා දෙන්නා බැඳලා තාම දළුගම.

  8. NP says:

    අම්මා, මිනිසුන් අතර, මගේ සරසවි සියල්ලේ ම නොතිබුණු අපුරුම රසයක් ඔබේ කතාවේ තියනවා. හැමදා ම හොඳ තැනකට ගෙනල්ලා නවත්තන එක තමයි ඉවසන්න බැරි. ඒත් ඒ කුතුහලය ඊළඟ සතියේ අපුරුවට සංසිඳෙනවා. ඔබට ජය.

    • @..NP…..මම ඉතින් කලවම් පළා වගේ පොරක් බන්. හැබැයි මම හරි ආසයි කලවම් පලා මැල්ලුම්, එලවළු දෙක තුනක් එකට දාලා උයන හොදිවලට. නොයෙකුත් රස කලවම් වෙලානේ එන්නේ.
      ඉතින් NP මම එහෙම ලිවීම හදාරපු කෙනෙක් නෙමේ. හැබැයි නොයෙකුත් පොත් පත් කියෙව්වා. ඒ නිසා ඒ එක් එක් ඌරුවට ලියවෙනවා ඇති. මොනවා උනත් උඹ මාව අගයකිරීම ගැන මට ඇත්තේ අහිංසක සොම් එකක්.

  9. පොරොලිස් මාමා අව්‍යාජ බුවෙක් බව දැනේ.. එ්ක හොදටම දැනෙන්නෙ /“අඩෝ..ඔය බයිලා නවත්තලා ගෙවල්ව්ලට පලයල්ලා” යැයි කිවු සැණින් සියල්ල අහවරවේ. / අදකාලේ ඔය වගේ චන්ඩියෙක් ලග සෙල්ලං පිස්තෝලයක් වත් තියෙන්න ඔ්න…
    හැබැයි 10 වෙනි බෝඩිමට අාපුවම අර ගමේ ටිං ටිං එක නැතිඋනා නේද?/

    ජය වේවා!!!

    • ඔව් බන් ඔය මිනිස්සු ගාව ආයුධ ගැන විශ්වාසයක් තිබුනේ නැහැ. කටයි, අත,පයයි තමයි. කටින් ගේම ගෙනියන්නත් හැමෝටම බැහැ. ඒකත් ලොකු ටැලන්ට් එකක්. කට ශක්තිමත් නම් අතපය උස්සන්න ,මරාගන්න ඕන නැහැ.

      ටිං ටිං තිබිලා තිබිලා නැතිවුනාම….හරියට ගෑණි ගෙදර තියලා රට ගියා වගේ බන්. හැබැයි ඔය කියන කාලේ ඒවා එච්චරම මූලික නැහැ. වෙන කරන්න ඕන තරම් පිස්සු ජෝගි වැඩ තිබුනා.

      • Anonymous says:

        ගෑණි ගෙදර තියලා රට ගියාම මරුනෙ බං. මොකෝ ලුණුත් අරන් පුත්තලම් යන්නයැ.

        හර්ෂ

      • නියම ටෝක්ස් එකක්නේ හර්ෂ!! කාලෙකට පස්සේ අහන්න ලැබුනේ.

  10. පොරෝලිස් මාම හින්ද අද එපිසෝඩ් එකේ රහ වැඩි වුනා මං හිතන්නෙ. 🙂

    • ඇත්තටම් බස්C……ඔය වගේ මිනිසුන් ඉන්න තැන්වල එප්සෝඩ් විතරක් නෙමේ ජීවිතේත් රහ වැඩිකර ගත්තෑකි.

  11. Kenji ogawa says:

    පික්ෂු නම් කෙලින්න එපා මචෝ….ඔය පොරවල් එක්ක ජීවමානව ගත කරපු අය නැහැ උඹ හැර ….. එකක් නෑර ලියපං …..
    පොරෝලිස් මාමල සුන්දර මිනිස්සු වෙලා තියෙන්නෙ සමාජයේම ගැවසිල ……
    ගමෙන් ගල්කිස්සට එද්දී අර නෑදෑ අක්කිව දාල එන්න වුන එක ගැන අප්ෂට් නැද්ද මචෝ…..?

    • කෙන්ජි……ඔය මිනිස්සුන්ගේ ජීවිත එහෙම් පිටින්ම ගොඩ නැගිලා තියෙන්නේ සමාජ අත්දැකීම් එක්ක. එහෙම අයට සමාජයෙන් වෙන්වී ජීවත්වෙන්න අමාරුයි. ඒකනේ බන් අංශබාගේ හැදිලා, ඇස් පේන්නෙත් නැති කාලේ පවා මෑන්ට කවුරු හරි ඕන කියවන්න. කවුරුවත් බුවෙක් ආපු නැතිවුනාම….මොකද බන් අද එකෙක්වත් නැත්තේ..මම රෝන්ග් ටෝක් එකක්වත් දුන්නද…. ඔන්න ඔහොම අහනවා.

      උඹේ ප්‍රශ්ණෙට උත්තරේ නම් මචං, මම ඉඳලා හිටලා හෝ ගමේ ගිය බව.

  12. Senna says:

    පොරෝලිස් මාමනම් හැබෑම චණ්ඩියෙක් තමා. බොහොමයක් අය කොච්චර චණ්ඩි පාර්ට් දාගෙන හිටියත් ඔහොම දෙයක් වුනාම අසරණ වෙනවා. ජීවිතේ අතාරිනවා. ඒ අතින් පොරෝලිස් මාමා සැබෑම චරිතයක්…

    උඹට ‍ෆිට් වෙන තැනක් හම්බුන එක හොඳා. ඔය තැන කලින්ම ඔළුවට ආවෙ නැද්ද ? නම පොලකම රස්තියාදු වුනේ..

    • ////ජීවිතේ අතාරිනවා/////
      සෙන්නා…..හොඳම උදාහරනයක් තමයි ඔය පොරෝලිස් මාමා. උඹට කියන්න අර තනි අතින් තාප්පේ අල්ලගෙන දෙන එක්සසයිස් පාරම ඇති වැඩේ හිතාගන්න. මට මැවිලා පේනවා. තාප්පේ ගාවට යනකොට සරමට බෙල්ට් එකක් දාන්න කියනවා. අනිත් වෙලාවට රිලැක්ස් එකේ ඉන්නේ. මම දවසක් බෙල්ට් එක දාලා .හරියට හිලකට වැටිලා නැහැ. ටික වෙලාවක් උස් පහත් වෙනකොට සරම කඩන් වැටිලා. මෙයාගේ සද්දෙ ඇහිලා මම ආවා. මට කියනවා……”බලහන් උඹ දාන ලෙඩ…පාරේ යන බඩු කෑලි දැන් ගෙදර එයිලු බිජ්ජ දැකලා”. මට මැරෙන්න හිනා සරම අන්දන ගමන්. එතකොටත් වයස 70කට එහා.
      අනිත් එක සෙන්නා. ඒ අයියලාව අක්කලාව බන්දලා දීලා, ඒ දේපොල අරවා මේවා බෙදලා ඔක්කොම කරේ ඔය කන්ඩිෂන් එකේ ඉන්නකොට. අපි නම් ඇඳන් උඩට වෙලා රෙදි පෙරෝගෙන පීචන් යක්කු වගේ කල්පනා කර කර ඉඳියි.

      ///ඔය තැන කලින්ම ඔළුවට ආවෙ නැද්ද ? නම පොලකම රස්තියාදු වුනේ..////
      මම හිතන්නේ සෙන්නා අපේ ඔය ටේච්චිවත් එහේ අරන් ගියානේ අපේ ගෙදර ආර්ථික ප්‍රශ්ණ නිසා. අම්මා හිතන්න ඇති තව කරදර කරන්නේ කොහොමද කියලා.

      • Senna says:

        අඩේ ඒ කතාව පෝස්ට් එකට එකතු කරන්නනෙ තිබුනේ.. මැවිලා පේනවා බන් කුණුහරුප කිය කිය අමු හෙලුවෙන් තාප්පෙක එල්ලිලා ඉන්න වයසක ඩයල් එකක්… 😀

      • සෙන්නා මට මේවා එක එක මතක්වෙන්නේ මේ උඹලා දාන කමෙන්ට්ස් නිසා. තව ගොඩාක් තියෙනවා බන් ලියන්න. නිකම් හිතපන් අතුරු පාරකනම් කමක් නැහැ. ගාළුපාර අයිනේ අර කොට තාප්පේ ඉස්සරහ.

  13. කැපිලා පෙනුණේ පොරෝලිස් මාමා හා ටේලින් නෝනාගේ අහිංසක ආදර කතාව…හී හී…

    අම්මෝ අරූ ඔයාට තියෙන අත්දැකීම්වලින් 10% වත් අපිට නෑ. , මේ කතා ලියලා පොත්ගුල් කරන්ට ඕනි. නැත්නම් ඉස්සරහට එන අය පව්…

    • පොඩ්ඩි…..අපේ ටේච්චි හරි මිටියි. අඩි හතරක්වත් නැහැ මට හිතෙන හැටියට. මොලෙත් පොඩ්ඩක අප්සට් නේ. එයාගේ දුව නම් එහෙම නැහැ. මම ඔය ගැන පොඩ්ඩක් ලියලත් තියෙනවා. මම ටේලින් ආච්චිව වඩා ගන්නවා ඉස්සර ආදරේට. මගේ ගාව තියෙනවා ඒ ගෙදර ගත්ත ෆොටෝස් එහෙම ටේච්චි නටනවා. වෙලාවක මම ඔව්වා දාන්නම්. පොරෝලිස් මාමා හරි ජරා වැඩ කරන්නේ විහිළුවට. හිටපු ගමන් “ටේලා අත හෝදගෙන මෙහෙ වරෙන් උඹට සාස්තරයක් කියන්න”කියලා කතා කරනවා. මෙයත් අත හෝදගෙන එනවා. අත දික්කරපුවාම සාත්තරේ අහන්න, අරය නැගිටලා අතට වාතයක් යවනවා. ඔන්න ටේච්චි අඬනවා. අරය හිනා වෙනවා. විනෝද සමය වගේ ඉස්සර.

      පොඩ්ඩි ඔහොම කියවගෙන යන්නකෝ…මම කරපු දේවල් සහ මට වෙච්ච දේවල්.

  14. මේ පොරෝලිස් මාමා වර්ගයේ චරිත විශේෂයෙන් මීගමුවේ සිට මොරටුව දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව අදටත් ඉන්නවා. කොළඹ නාගරික සමාජයේ සෑම ස්ථරයක්ම සමග ගැටීමෙන් සහ විවිධ කපටි සූත්තර කාර විදේශිකයන්ද සමග ගැටීමෙන් තමා ඔවුන්ගේ මේ අතිශූර සමාජ විඥානය දියුණුවී තිබෙන්නේ.

    මම යෝජනා කරනවා ‘පොරෝලිස් මාමාගේ කතා’ යනුවෙන් මේ චරිතයට අදාළ කතා ටිකක් වෙනම පලකිරීම සුසුසුයි කියා.

    පොරෝලිස් කිව්වම මතක් වුණා අවිස්සාවේල්ලේ සීතාවක හන්දියේ තිබුණු පොරෝලිස් වෙළඳ සැල. ඒ කාලේ මම අපේ තාත්තාගේ ප්‍රයෝජනය සඳහා පයිප්ප දුම්කළ ගන්න ගියේ අන්න ඒ පොරෝලිස් වෙළඳ සැලට. Island Pride (Made in England) ඒ දුම්කළ සුවඳ (ඒවා පත්තුවන විට ගඳ නැහැ. වැනිලා සමග පදම් කල දුම්කළ නිසා වැනිලා සුවඳ එන්නේ) අදටත් මතකයේ තියනවා.

    • //////කොළඹ නාගරික සමාජයේ සෑම ස්ථරයක්ම සමග ගැටීමෙන් සහ විවිධ කපටි සූත්තර කාර විදේශිකයන්ද සමග ගැටීමෙන් තමා ඔවුන්ගේ මේ අතිශූර සමාජ විඥානය දියුණුවී තිබෙන්නේ.//////
      විචාරක…….මේ ඔබ ලියා ඇතිදේ තමයි හරිම ඇත්ත. මොකද මෙයා මට ඕවා ගැන කියා තිබෙනවා. මේ වැනි මිනිසුන්ගේ අන්තිම පුරුක් තමයි ඔය දැන් ඇත්තේ. මට පොරොලිස් මාමා බංඩාරනායක ඝාතනය ගැනත් බොහෝදේ කියලා තියෙනවා. මෙයාගේ උපන් ගම වෙච්ච කැළණිය දළුගමට සම්බන්ධ වෙදෙක් ඔය නඩුවට සම්බන්ධයි ජයවර්ධනද කවුද කියලා. මට ඒ කතා සිහියට එන්නෙම නැහැ. අපරාදේ.

      ඇත්තටම මම ඔය පොඩි පොඩි කතා ටිකක් රිප්ලයිස්වලට ලිව්වා. තව තියෙනවා බොහොමයක්. අපේ ලොකු නංගිට තමයි හොඳට මතක. එයා කාලයක් මෙයාට සාත්තු සප්පායම් කලා.

      බලන්න මට ඔය සීතාවක කඩේ මතක් වෙන්නෙම නැහැනේ. මේ පොඩි ලියුම (1953) කියවලා බලන්න Island Pride Tobacco (Ceylon) ගැන. පුදුමත් හිතෙනවා අප්පා. ඔබ කැමති වෙයි මේ තත්ව පාලනය ගැන.
      http://legacy.library.ucsf.edu/tid/vee27a99/pdf;jsessionid=C0E5F4FBF661488ABA8D3249434A7A2B.tobacco03

      • ෂඃ…..පුදුමාකාර විස්තරයක් නේ ඒක. එයින්ම පෙනෙනවා ඒ කාලේ තත්ව පාලනයටත් පාරිභෝගිකයාගේ අයිතිවාසිකමටත් කොච්චර තැනක් දුන්නද කියන එක.

      • ඔව් විචාරක. 1953 වගේ කාලෙක දුම්කොළ වගේ දෙයක් ගැන තත්වය හරි පුදුමයි. මෙහෙ තාමත් තියෙනවා Tobacco shops (Tobacconists).ඒවාගේ සිගරට් නෙමේ තියෙන්නේ. Pipe tobacco,cigars, snuffs ,smoking accessories වගේ දේවල්. හරිම ගණන්..ඒවාට එහෙම බිස්නස් නැහැ දැන් හැමෝම බොන්නේ සිගරට් හෝ රෝලින්ග් ටුබැකෝ නිසා. ටොබැකෝ සබ්ජෙක්ට් එකත් චීස්,වයින් වගේ හරි ඉන්ටරෙස්ටින්ග්.

        තවත් ශොප්ස් ජාතියක් තියෙනවා. ඒවාගේ විකුණන්නේ ගංජා නොවන නමුත් ගංජා වගේ දේවල්. නීතියෙන් තහනමක් නැහැ ඒවා ගංජා නොවන නිසා. ඒ කඩවල්වලට ගියාම පිස්සු හැදෙනවා තියෙන බඩු දැක්කාම. ගංජා වගේ දේවල් හීනියට කුඩුකරගන්න අවශ්‍ය චූටි ග්‍රයින්ඩර්ස්, පේපර්ස් වර්ග, ඒවා උරන්න ගන්න ගැජට්ස් ආදී වශයෙන්. අමුතු ලෝකයක්.

  15. මටත් මතක් වුනේ රවියා කියාපු සින්දුව.

    ඔය වගේ චණ්ඩි ගම්වලින් වඳ වෙලා ගියා භීෂණ යුගයේ. මොකද ඒ ආපු බලවේග දෙකටම ඒ කියන්නේ රාජ්‍ය භීෂනයටත්, සහෝදරයනේ ව්‍යාපාරයටවත් යන දෙකටම ඔය ස්වාධීන (ගමේ/ටවුමේ/බජාර් එකේ) චණ්ඩියට අනුගත වෙන්න බැරි වුන නිසා. ඊට පස්සේ ඉතුරු වුනේ දේශපාලනයන්ගේ අතකොලු බවට පත්වෙච්ච චණ්ඩි පරම්පරාව විතරයි. ඒ චණ්ඩි ඔයිට වඩා සංකීර්ණ වර්ගයක්. ඔය ගමේ චණ්ඩින්ගේ බොහෝ විට දකින්න ලැබිච්ච ethics අර චණ්ඩි ගාවා තිබුනේ නෑ. ඔවුන් හොහෝ විට කුඩු ව්‍යාපාර, කප්පම් ගැනීම්, කුලියට මිණී මැරීම වලට නම් දරාපු අය. මෙයින් සමහරක් අතවැසි කමෙක් එහාට ගිහින් කෙලින්ම දේශපාලනයටත් ගියා. ඔය කියන චණ්ඩි පරපරාවේ උඹලා, අපි ඔය දකින වර්ණනා කරන සුන්දරත්වය, වීරත්වය තිබුනේ නෑ.

    • ඩූඩ්….
      අපි චණ්ඩි නොවෙන නිසා චණ්ඩි ගැන කියවන්න ආසයි 😀
      උඹේ මේ කමෙන්ට් එක තුලින් ලොකු සමාජ විවරණයක් කරන්න පුළුවන්. නමුත් මේ අවසථාවේ නොවේ. ඇත්තටම එක යුගයක නියම චණ්ඩි නගරයේත් ගම්වලත් හිටියා. නගරයේ නම් මරදානේ චොප්පේ, ගල්කිස්සෙ පොඩිමහත්තයා (මට මතක හැටියට ගාමිණි ෆොන්සේකාගේ පියා ?),කරෝලිස්, මදාවි සෝමේ, නවරියන්,පාමංකඩ ජේමිස් සිල්වා (පොරෝලිස් මාමාගේ අයියා) වගේ ඔරිජිනල් පොරවල් හිටියා. ඊට පස්සේ කොලොන්නාවේ වෙස්සන්තර කරුණේ, ගෝනවල සුනිල්ලා වගේ අයත් බිහිවුනා. මේ දේවල් 1977න් පස්සේ හෙමින් හෙමින් වෙනස් වෙලා, කොලොන්නවේ මෝර සුනිල්, වගේ පාතලයන් බිහි වුනා. ඒක දිග විස්තරයක්. මම මේ අය ගැන යම් යම් තොරතුරු දන්නවා සහ කියවා තිබෙනවා. මට රටක් විනාශ කරපු ඉහල පෙලේ පාතාලයෙක් ඇසුරු කරන්න ලැබුනා. මම එව්ව පස්සේ ලියන්නම්.

      ඉතින් මචන්….මගේ ගාව මේ අය ගැන ලියවුනු එක එක තොරතුරු තිබුනා. මේ කිසිවක් එක තැනක හරි හමන් විදිහට ගොනු කරගෙන නැහැ. නමුත් දවසක හොඳ ලිපියක් ලියන්න අදහසක් තියෙනවා.

      මේ ලිපිය කියවපන් චොප්පේ ගැන. හරිම රසවත් සත්‍ය තොරතුරු.
      http://www.silumina.lk/2014/01/05/_art.asp?fn=af1401054&p=1

      රවී මතක් කරපු සින්දුවද දන්නේ නැහැ පොරෝලිස් කෙනෙක් ගැන කියවුනු එකම සින්දුව 😀

      මේ ගීතයේ පසුබිම ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් තොරතුරක් ලියන්න.

  16. මේ කතා නොකියවන දෑස මක්කටෙයි කියලා හිතුනා

    • රාළේ ඔන්න බලපන්…පොරෝලිස් මාමා ගැන මම ලියන වකවානුවේදි එයාගේ ඇස් පේන්නේ නැහැ. හිටියානම් මේ ගැන කියනකොට කියයි…”අඩෝ ..ඇස් නොපෙනුනත් රැස් විහිදපු පොරක්” කියලා.

      උඹ මුකුත් නොලියන්නේ මුකුත් පේන්නේ නැති නිසාද 😀

      • අන්තර් ජලා පහසුකම් මොනවත්ම නැති අලුත්ම තැනක මේදවස්වල ප්‍රොජෙක්ට් එක …… එකයි ලියන්න කියන්න මුකුත් විදියක් නැත්තේ

      • ඔය ඉලව් ප්‍රොජෙක්ට්ස් වගේද යකෝ බ්ලොග් එක 😀 රස්සාව අත හැරලා බ්ලොග් එක ලියපන්.

  17. එක්තරා කාලවකවානුවක ජීවමාන චරිතයක් ලගන්නා සුළු බසකින් අප වෙත ඔබ ඉදිරිපත් කොට ඇත්තේ මොනතරම් සුරුවිරු අයුරින්ද? පොරෝලිස් මාමා මාගේ දැස මානයේ මැවී පෙනෙයි. හරිම රසවත් ලියැවිල්ල අරූ.

    • නලීන්…..උඹ මේ කියන්නේ බොක්කෙන්ම ඇත්තට නම් මම ඉතාමත් සතුටුවෙමි. මොකද මචෝ මම මේ ලියවිල්ල ඉගෙනගත්ත කෙනෙක් නොවන නිසා සතුටුයි දියුණුව ගැන. මෙහෙම හරි අල්ලගෙන ලියන එක මට හරි වටිනවා. උඹට ස්තූතියි!!

  18. Anonymous says:

    අපේ අම්මාගේ මාමත් මේ වගේ කෙනෙක්.පොර පරණ CTB බස්‌ රියදුරෙක්.

    • ඇනෝ……..මේ මොඩ්ල් එකේ බුවාලා වඳවීගෙන යන්නේ. ගොබ්බ මොඩ්ල් තමයි ඉතිරිවෙන්නේ. පරණ සීටීබී ඩ්‍රයිවර්ස්ලා හිටියා එළකිරි චරිත. කොහොමත් ඉස්සර සීටීබී බස් ඩ්‍රයිවර් කිව්වාම ගමේ ප්ලේස් එකක් තිබුනා.

  19. නියමයි ……………………….. කතාව එළ……………… ෙම් කතාව ෙපාතක් විදිහට එහෙම එන අදහසක් නැත්ද ????

    • කුරුටු ළමයිනේ….බොහොම ස්තූතියි! සිතක තියෙන කතා පොතක ලියවෙනවා නම් කොච්චර හොඳයිද නේද….ඔය මොකක් හරි වෙයි බන්.

  20. පත්තර මල්ලි says:

    දැං ඔය චන්ඩි මොඩ්ල් එක ඇත්තෙම නෑ වගේ නේද අරු අයියේ.ඔය විචාරක තුමා කිව්ව වගේ මීගමුව ලයින් එකේ ඉඳලා මොරටුවට විතර යනකං සෙට් එකක් ඉන්නවා ඒත් දැං වයසයි..ඔහොම ගොඩක් අයගේ ඇතුල හොඳයි..බැරි මිනිහා ගැන සංවේදී ගතියක් තිබුනා..දැං චන්ඩි නෑනේ.. ඉන්නෙ පාතාලෙනේ.. 😀
    මගේ බයික් එකක් මොරටුවෙ තැනක දාගෙන හැදුවා..මිනිහ කාබියුලේටර් වලට නියම වැඩ්ඩා..ඒ ගෙදරත් ඔහොම පොට් එකක් .පොඩි පොඩි නඩු අහන්නෙ පොරගෙ අයියා..ඔලුව නමාගෙන මිනිස්සු ඇවිත් අවනඩුව කියන්නේ.. ඒ කාලෙ මාත් හෙන ඔලුවෙන් හිටියේ..මොකෝ බයික්කෙ හදන්නම ගිහිං මාත් ඒ ගෙදරම එකා වගේනේ..උංගෙ අම්මා මටත් එක්ක උයන්නේ එදාට.
    උඹටම හරියන තැන සෙට් වෙලා තියෙන්නේ.. හෙහ් හෙහ්.හරිආසාවෙන් කියෙව්වා බං..

    • මේ කොමෙන්ට් එක දාපු උන්නැහේලගේ පැත්තෙත් ඉන්නවා හරි හරියට ..

    • පත්තර මල්ලි says:

      හෙහ් හෙහ් .. ඔව් බං ඉන්නවා තමා..උඹ තමා භාන්ඩේ බං දවසකටවත් 😀

    • පත්‍ර බ්‍රදර්….ඔන්න ඔය මොඩ්ල් එකයි පාතාලයෝයි සම්පූර්ණයෙන් වෙනස්. ( හෙන්රිට දාපු රිප්ලයි එක බලපන් ) අර නඩු අහන ජාතියේ බුවාලා ඉන්න ඕන. මමත් ඔය වගේ සෙට් දන්න නිසා කියන්නේ. ඒ වගේ අය ඉන්න පැතිවල බොරු වලි, කැපිලි, කෙටිලි අඩුයි. ගියොත් ඉතින් සීරියස් ගේමක් තමයි. උන් සොමි පොරවල්. හැන්දෑවට සෙට්වෙන්න නියමයි.

    • පත්තර මල්ලි says:

      මං උඹේ අන්තිම වාක්‍ය නොකිය හිටියේ අරු අයියේ. 😀 .. මං බලං හිටියා අරං එන නඩු විසඳනවා..දවසක් දෙන්නම ආවා.සල්ලි කේස් එකක්.. එකෙක්ගෙ මූණ බලපු ගමං කිව්වා දීපං %$# සල්ලි ටික මුගේ ගත්ත විදියටම දවස් තුනක් ඇතුලෙ කියලා.. තිතට හරි. හා අයියේ කියල ඔලුව නමාගෙන පොර ගියා.මූණ බලල කිව්වේ ගත්තද නැද්ද කියලා..
      අර සීන් එක නං අයියෙ මල් පප්පලා අයියයි මල්ලියි.. මල්ලි එකක් ගහලා තමා අත ගහන්නෙ කාබ් එකට, ටියුන් වෙන එක අහන්ඩත් දෙයක්‍යෑ ?? මටත් චෑන්ස් එකක් වදිනවා.. හෙහෙ.. බොරු ෂෝ නෑ.. හැබැයි මිනිහා හිත ඇතුලෙන් දැනගෙන හිටියා කොයිවෙලාවක හරි ගේම හම්බවෙනවා කියලා..

      • හරියටම ඔය චරිත ගැන හොයලා බැලුවොත් අවසානය ඔහොම තමයි බොහෝ දුරට.

  21. ඩිලාන් says:

    කතාවේ වෙනසකටත් එක්ක මෙහෙම චරිත ආපු එකත් මරු,,

  22. Dinesh says:

    අහම්බෙන් මේ ටික ලියවුනා වුනත් මේක නොලියා හිටියනම් තමයි අපිට කරන ලොකුම අසාධාරණේ..

    • මම කවදා හරි ලියන්න හිටියේ. ඒත් ඊයේ ලියවුනා. ස්තූතියි දිනේෂ්!

  23. පොරෝලිස් මාම නම් නියම ම මනුස්සයෙක් තමයි.. කොමෙන්ටු වල එයා ගැන තියන විස්තර කියවල තවත් පුදුම හිතුන. තව ටිකක් ලියන්න පෙරෝලිස් මාම ගැනම 🙂

    • @ එමා (ලස්සන නම නේද?)…..එයා ගැන ලියන්න ගියොත් පොඩි පොතක් ලියන්න පුළුවන්. සුන්දර මිනිස්සු අප්පා. හරියට මිස් වෙනවා මතක් වෙනකොට.

  24. අඩෝ පොරෝලිස් මාමා නම් නියම පොරක්. පොර ගැන තව ලියන්න

    • මකසියො…..අඩෝ ඔය ඇති බන් 😀 එයා ගැන ලිව්වොත් තව සෑහෙන්න දේවල් තියෙයි ලියන්න. අනික මම තාම ලියන්නේ 1978 කාලය. මෙහෙම ගියොත් මේක කවදා ඉවර කරන්න වෙයිද දන්නේ නැහැ 😀

  25. maheshrathnayaka says:

    මේ වගේ පස්ට බුවෙකු් නං මට හමුවෙලාම නැත…
    බීගත්තුවාම කයිවාරු ගහන බුවාලයි මෙයාලයි අතර ලොකු වෙනසක් තියේ මං හිතන්නෙ..
    මොකද ඒ දවස් වල හිටපු හුගක් ඔය වගේ අය නාහෙට නාහන අය කියල වගේම දෙයක් කීවොත් ලොවෙත් නැති වෙන්න කියපු දේ කරනව කියල මං අහල තියෙනව..
    ජය වේවා..
    ඉතුරු ටිකත් ඉක්මණටම දාන්න

    • මහේෂ්….මෙයා පස්ට බුවෙක් තමයි. උඹ දන්නවාද රෑට කන්න පෙර ෂොට් එකක් දැම්මොත් මිසක් නසරානි වෙන්න බොන්නෙත් නැහැ. ළමයින්ටත් කෑගහනවා වැඩිය බොන බව දැණගත්තොත්. ඒ කාලෙත් ඒ අයියලා ලොකු ඉළංදාරි. ඒත් හෙණ බයයි මෙයාට. කිව්වොත් කිව්වා තමයි.

  26. deshakaya says:

    අරූ.. උඹ දන්නවනං මේ උඹ ලියන ඒවා මං පරක්කු වෙලාම කියවන හේතුව. උඹ විශ්වාස කරන එකක් නෑ.. නියම ඌන පුරණ ලැබෙනවා උඹ ලියන ඒවට කියවන අයගෙන්. ඔය රවියගේ ගුරුවරියක සමග නොවන සියළු කතා මං කියවන්නෙත් පස්සේ. හෙමීට හරියට රස කෑමක් තළු මරමින් විදිමින් බුදින විදියට.. ඒක නිසා උඹ මම පරක්කු උනාද නාවද කියල හිතන්න එපා.. මොනව නොකියෙව්වත් උඹ ලියන ඒවා මං අනිවා හරිම ආසාවෙන් අකුරක් නෑර අකුරක් කියවනවා. ඒක හරියට මුතු මාලයක් අමුණනවා වගේයි එකින් එක අරන්… සංයමෙයන්.. බොට ජය වේවා… අරූගේ මලයට ජයම වේවා.. (එතකොට ඌ පොත ගහල දෙයි නේ ඉක්මනට)

    • ලැක්චරයෝ…….මමත් හරි ආසයි රවියාගේ ඒවා අන්තිමට කියවන්න. ඌ කමෙන්ට්ස්වලට දාන රිප්ලයි තව පෝස්ට් එකක් වගේ රසවත්.
      උඹට හිතිච්චවෙලාවට කියවපන්. ඒකේ ගැටළුවක් නැහැ. මේ ගැන මචං කීප දෙනෙක් ඊ මේල්ස්වලිනුත් කියනවා පොතක් කරන්න කියලා. එක් කෙනෙක් පබ්ලිෂර් කෙනෙක් හොයලා දෙන්නම් කියලත් කියුවා. ඒත් මචං, මම මේක ලියන්නේ සතියකට කොටසක් මිසක් එක දිගට ලියලා නැහැ. මෙහෙම යනවා දැනට.

    • Ravi says:

      ලැච්චස්,

      / ඔය රවියගේ ගුරුවරියක සමග නොවන සියළු කතා මං කියවන්නෙත් පස්සේ. /

      : D : D

  27. දැන් ඔය පොරෝලිස් මාමාගේ ගෙදර තියෙන හරියේ තියෙන්නේ පුඩ්සිටි එකයි kfc එකයි.
    ඔය හරියේ ඉඩම් වල තියෙන්නේ වාණිජ වටිනකමක්.කොහොමවුනත් අරූයියාට පොරෝලිස් මාමාගේ ගෙදර බොහොම හොද නවාතැනක් වගේ පේන්නේ.පොරෝලිස් මාමාගේ දුවලා දෙන්නා වුනත් හරිම හොදයි වගේ.

    • මනෝ දන්නවා මම කියන තැන. වටරප්පල පාරට හැරෙන කිට්ටුවම තමයි ඔය ගේ තිබුනේ. සිංහල උළු දාපු ලොකු ගෙයක්. ඕක හෙණ ගානකට විකුනුවා මෙයා නැතිවුනාට පස්සේ. දැන් නම් ඉතින් ඔක්කොම බිස්නස් කරන තැන් වෙන්න ඇති තියෙන්නේ. ඉස්සර අපි ඕවගේ හැම තැනම පීස්සු කෙළියා.

      ඔව් මනෝ. ඒ ගෙදර ඔක්කොම හරි හොඳයි. කොච්චර අය සැරින් සැරේ ඇවිත් නැවතිලා හිටියාද. ඔක්කොම නොමිලේ තමයි. පොරෝලිස් මාමා බනිනවා හිටපු ගමන්…අඩෝ උඹලා මේක පන්සලක් දන්සලක් කියලා හිතුවාද කියලා. මල පැන්නාම ඔක්කොම එලවනවා. ඒත් ආපහු එනවා.

  28. helapayaa says:

    පොරෝලිස් මාමා කිව්වම මටත් මතක්වුණේ මැන්දිස් මහත්තයගෙ පොරෝලිස් මාමවයි,වැරදිලා හරි මේ කතාව ලියවුනු එක කොච්චර දෙයක්ද නැත්නං අපට හරිම අසාධාරණයක් වෙනවා,හදිස්සි වෙන්න එපා මචං කිසි දෙයක් අඩු නැතිව විස්තර සහිතව ලියපං.

    • හැලපේ මම උඩ කමෙන්ට් එකකත් ලිව්වා ..උඹේ පරණ පෝස්ට් එකක තිබුනා ඔය පොත් සෙට් එක සූරියලා අළුතෙන් පබ්ලිෂ් කරා කියලා. මට ඒක හොඳට මතකයි. මම එකක්වත් කියවලා නැහැ.
      මෙයා කියන කතා , සමහරක් කරන වැඩ මෙහෙම ලියන්න බැහැ. හෙණ විශාල වතුර ටැන්කියක් තිබුනා නාන්න. නාලා ඉවර වෙනකම් කවුරු හරි ලඟ ඉන්න ඕන බැරිවෙලාවත් වැටුනොත් එහෙම. ඒ වෙලාවට දෙනවා මචං අමර ටෝක්. හරි විදිහට ජුන්ඩා හෝදන විදිහ, ඒක පිරිසිඳු කරන ක්‍රමය. එක අතයිනේ මචං වැඩ.අපි තමයි ඒවා හෝදනකම් සරම අල්ලන් ඉන්නේ. 70ක් කියලා කියන්න බැහැ බන් දෙන ටෝක්. අපි හම්බවුනු වෙලාවක කියන්නම්. අඩෝ…මොනවා නැතිවුනත් ජුන්ඩා ක්ලීන් එකේ තියා ගනින් කියලා තමයි කියන්නේ. පුත්තුන්ට වුනත් එහෙම තමයි කතාව.

      • Ravi says:

        අරූ,

        මචං ..පොරෝලියා කියල තියෙන්නෙ අමූලික ඇත්ත. ඔය ජුන්ඩා හෝදන්ඩ තියනව පිළිගත් ක්‍රියාපටිපාටියක්. ඇක්සෙප්ටඩ් ඇන්ඩ් ඇපෲව්ඩ් මෙතඩොලොජි ඉන් ක්ලීනිං මේල් රිප්‍රොඩක්ටිව් ඕගන්. අන්න එහෙමයි ඒකට කියන්නෙ…මට ඔය ගැන කියල දුන්නෙ මගෙ අතිජාත මිත්‍ර හාමුදුරුනමක්. විනය පිටකයෙ හත්වන ප්‍රකරනයෙ දහ අටවන වග්ගයෙ තමයි ඔය ගැන තියනව කියන්නෙ.

        මම කියන්නෙ මචං අදත් ඔය අපෙ හාංදුරුවරු බණ කියල කියන්නෙ සක්කරය හඳේ හාව ඇන්ද එකයි, වෙස්සන්තර බාරියාවයි දරුවොයි දන් දුන්න එකයිනෙ ( වෙස්සන්තර අද හිටියනං කෙලිම්ම අවුරුදු පහකට බරපතල වැඩ ඇතුව වැලිකඩ …කාන්තා සහ ළමා අපයෝජනය සහ හිංසනය කියන්නෙ සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි ..ඔය ජාතක කතාවල තියනව අප මහ බෝසතාණෝ ඇප නැතුව රිමාන්ඩ් කරන්ඩ පුලුවන් සාපරාධී වැරදි ගෝණි ගණං..ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ට හිතාගෙන ඉන්නෙ…” ජාතක කථාවල හමුවන බෝසතුන්ගේ සාපරාධී ක්‍රියා “ කියල..ඒ නිසා ඒ ගැන දැනට ඇති ) එහෙම නැතුව ඇයි බැරි බණට ඔය ජුන්ඩා හෝදන ක්‍රමේ ගැන කියල දෙන්ට. කාටත් ප්‍රයෝජනවත් නෙව….බණ අහන බබලත්තුන්ට උනත් වැදගත් ඒ ක්‍රමේ දැනගන්න එක. තමංගෙ සුවාමිය හරියට නියමිත පරිදි ඒ විදිහට කරනවද කියල හෝදිසියෙන් ඉන්න එක ඒ ඇත්තිලගෙ සරීර සවුක්කියට උනත් හොඳයිනෙ ….. නැද්ද මං අහන්නෙ?

      • රවී…..මේක කියවලා බඩ කොරවෙන්න හිනා බං. මචං උඹ මේ කියන මිත්‍ර හාමුදුරුනමගේ විනය පිටකයේ කතාව ඇත්තද බන්. උඹේ විහිළුද කොහෙද… මොනවා වුනත් පොරෝලිස් මාමා නියමෙට ක්‍රමේට, ලතාවකට සුද්ධ පවිත්‍ර කරනවා බන් ඔය කම්ප්ලීට් සෙට් එකම.

        ඔය කියන පෝස්ට් එක ලියපන් බලන්න. මම මහණවෙලා හිටියා නම් ඔය මැතඩ් එක බණට කියලා දෙනවා.

      • Ravi says:

        අරූ, ඔන්න ඕකනෙ බොලත් එක්ක බැරි 😦 යමක් කිව්වම අහපං….

        හරි උඹට ඒත් විස්වාස නැත්තං මේ හෙට අනිද්ද නෙව වෙසක් පෝය..පළයං බණ අහන්ට. බණ දේසනාවෙන් පස් සෙ එනවනෙ ගැඹුරු දර්ම කාරණා පිලිබඳ කුකුස් දුරුකර ගැනීමේ අවස්තාව. පටස් ගාලා අත උස්සපං..ඔන්න උඹට ගෙනත් දෙනව මයික් එක.

        ” ඔව් අපේ අරුණ උපාසක මහත්මයා..බොහොම බුද්දිමත් ඒ වගේම විමෝහශීලී නැණවතෙක්..එතුමාට ධර්මය පිළිබඳව කුකුසක් පැණනැඟුනානම් ඒක එසේ මෙසේ එකක් විය නොහැකියි. ඔව් අපේ අරුණ මහත්මා..ඉදිරිපත් කරන්න ඔබගෙ ගැටළුව..” හාංදුරුවො සිනාමුසු මුහුණින් කියාවි එහෙම…

        ” අවසර හාමුදුරුවනේ විනය පිටකයෙ හත්වන ප්‍රකරනයෙ දහ අටවන වග්ගයෙ සඳහන් වෙන ජුන්ඩා තුමා පිරිසිදු කර ගැනීමේ ක්‍රියා පටිපාටිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? “අන්න එහෙම අහපං බය නැතුව. මොකක් හරි කචල් එකක් උනොත් බය නැතුව කියාපං මමයි කිව්වෙ කියල…හෙහ්,හෙහ්,

      • @ Ravi…..අරුණ මහත්තයා හැන්දෑවරුවක නෝනාත් එක්ක පන්සල පැත්තේ එන්න. මම සුද්ධ කරන හැටි කරලා පෙන්නන්නම් …කියයිද දන්නැහැ බන්. එහෙම අයියලානේ ඉන්නේ දැන්.

    • deshakaya says:

      මේ යක්ෂ රවිය හදන්නේ අපිව නයිට්‍රස් වායුව පම්ප් කරල මරන්න…

  29. මමත් අරූගේ පෝස්ට් කියවන්න ආස ටිකක් පහුවෙලා….අරූ පස්සේ එකතු කරන දේවල් ඒ කියන්නෙ කියවන අයගෙ කොමෙන්ට්ස් වලට ඇඩ් කරන රිප්ල්යිස් වල තියෙනවා පෝස්ට් එක සම්පූර්ණ වෙන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඇති වෙන්න….දේශකයාත් මෙයම කියා තිබුනා….

    • මචං…..මගේ ඇතුලේ තියෙන කතා පෝස්ට් එකේ ලියන්න ගියොත් කියවලා ඉවර කරන්න බැරිවෙනවා. ඒකයි මම ගොඩාක් දේවල් පල්ලෙහා කතා කරන්නේ. සෙට් වෙලා කතාකරන්න ගියොත් එලිවෙනකම් බොන්න වෙනවා. මරු කාලයක් බන් තිබුනේ. ඔමාන් ඊට එහා. පස්සෙ ලියන්නම්.

  30. bindi2 says:

    හරිම රසවත් .අකුරක් අත නොහැරම කියෙව්වා …මාර පෞරෂයක් තිබ්බ මිනිහෙක් නේ. පැරලයිස් වෙලත් සිංහයෙක් වගේ ඉන්න .

    • අනේ ඔව් බින්දි. රජෙක් වගේ තමයි හිටියේ. හොඳ සිහි කල්පනාව තිබුනා. පැරලයිස් කියලා හිතන්න බැහැ කියන කතාවලටයි, ඉන්න විදිහටයි. පැරලයිස් වෙන්න ඉස්සෙල්ලා කොහොම ඉන්න ඇද්ද?

  31. Damith says:

    මට පොඩි පැටලැවිල්ලක් තියෙනව.මුලින් මම හිතුවෙ පොරොලිස් මාම උබ එහෙ ඉන්නකොට හොදට හිටිය මෙ කාලෙ ලෙඩයි කියල.එත් පස්සෙ තෙරුන විදියට මිනිහ උබ එහෙ ඉන්න කාලෙ අසනිපෙන් හිටිය කියල.මොනව වුනත් අදනම් නියම ලිපිය.මාර ආසාවෙන් කියෙවුවෙ.වෙනද එහෙම නෙමෙයි කියනෑක නෙමෙයි අදහස.අද කතාව වෙනස්.

    • දමිත්….මම ඔය ලියලා තියෙන විදිහට වෙන්න ඇති ඒ පැටලිල්ල එන්නේ. මම එහේ යනකොටත් එයාට අවුරුදු හැට හැත්තෑවක් විතර ඇති. පැරලයිස් වෙලා තමයි හිටියේ. එක්තරා වර්ගයක පොරක් තමයි.

  32. සිරා says:

    අපරාදෙ කියන්න බෑ පොරෝලිස් මාමා නම් කථා සාගරයක් බව පේනවා…තව තියෙන ලට පට එකතු කරලා පොරෝලිස් සීරීස් එකක්ම ලියන්න.

    • සිරා…..මෙයා ගැන ලියන්න ගියොත් පිස්සු හැදෙනවා බන්. අපේ ලොකු නංගි කියනවා මාර කතා. වෙලාවක ආපහු අහගන්න ඕන. මට එකින් එක හිටපු ගමන් මතක් වෙනවා. ඉස්සර දුවලාට විවාහ යෝජනා අරන් මැදිවියේ කපු ගෑණියෙක් එනවා. ඔහොම දෙතුන් වතාවක් ආවා. ඒවා හරි ගියේ නැහැ.පොරෝලිස් මාමා හෙණ වල් කතා කියනවා අපේ කණට කරලා . දවසක් මට කියනවා මේ ගෑණි ආපු වෙලාවක ” අඩෝ…මේක සිංගර් පරණ මැෂිමක් වගේ..පොඩ්ඩක් අතගාලා බලපන් තාම මහන්න පුළුවන්ද කියලා”

      ඔය මගුල් යෝජන හරි ගියේ නැහැ. ඒ ගෑණි බැඳලත් නැහැ. දවසක් එයාට ලඟට කතා කරලා කියනවා “මේ ඔක්කොටම ඉස්සෙල්ලා උඹ මිනිහෙක් හොයා ගනින්. ඊට පස්සේ අපේ එවුන් දෙන්නටා මිනිස්සු හොයපන් ” කියලා. එදායින් පස්සේ ඒ ගෑණි ආවේ නැහැ.

  33. මමත් දේශකයා අනුගමනය කරනවා උඹේ පෝස්ට් සම්බන්දව . සෙනසුරාද උදේ නිවාඩු පාඩුවේ වෙලා අරගෙන පොස්ට් එකයි කොමෙන්ටු ටිකයි කියවනකොට රස සාගරේක ගිලීලා මරෙන්න උනත් පුළුවන් හිතේ සන්තොසෙන්.
    උඹේ ඔය ලියමන් එක්ක මට මතක් උනේ මම පොඩි කාලේ කියවපු ජීව භාෂාව පොත . ඒකෙ අර ඊ ආර් එරත්න උන්නැහේගේ රොමාගේ වාසනාව පොතේ කොටස් කීපයකුත් තිබ්බා. මේ බ්ලොග් එකේ ජීව රසය ලැබිලා තියෙන්නේ උඹට හම්බවෙලා තියෙන මහා අපුරු චරිත නිසා .
    අර හෙන්රියා කිව්වා වගේ පොරෝලිස් මාමා වගේ චරිත ඒ කාලේ සමාජ ආකුර්තියේ වැදගත් කාරියක් කරා. පස්සේ ආපු තුප්පහි චණ්ඩින්ට වඩා මේ වගේ චරිත එක අතකින් හොඳ ව්‍යවාසායකයෝ අනිත් අතින් community leaders වුනා. මේ ගැන කතා කරන්න දේ බොහොයී. ටික ටික කතා කරමු.

    • තිලකේ…..උඹලා ඔක්කොම දේශකයා ෆොලෝ කරන්න ගියොත් මට මේක ලියන්න වෙන්නේ නැහැ : D මම ඊලඟ කොටස මතක් කරගන්නේ උඹලාගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන ගමන් අතීතයට කිඳා බැහැලා. ඒකත් අපූරු ක්‍රමයක්. ඒ නිසා වෙන්න ඇති මගේ රිප්ලයිස් දිග.

      මචං…මට හමුවුන තවත් බොහෝ වෙනස් චරිත උඹට ඉදිරියේ කියවන්න හම්බවෙයි. ඒ බොහොමයක් ප්‍රසිද්ධ උදවිය.
      එදා චන්ඩි සහ අද පාතාලයෝ කියන්නේ බොහෝ වෙනස්කම් ඇති සත්ව විශේෂ දෙකක්. ඇත්තටම ඒව වෙන වෙනම ලියන්න ඕනේ බන්.

  34. sudeeka says:

    මමත් දේශකයා සහ චෙෆ් කියන ප්‍රතිපත්තිය බොහෝ බ්ලොග් වලට අදාළ කර ගන්නවා. සමහර ඒවා අද කියවලා හෙට කමෙන්ට් කරනවා. ඇත්තටම සමහර කමෙන්ට් බොහොම රසවත්.

    මේ පොරෝලිස් ගොයියා වගේ මිනිස්සු නියම චන්ඩි. ඒ කියන්නේ නියම චණ්ඩින්ට තැනක් නොතැනක් නෑ. ආයුධ අවශ්‍ය නෑ. හිතේ නිර්භීත කම තියෙනවා. නමුත් දැන් ඉන්න චන්ඩින්ට T56 හැරි පිස්තෝලයක් වත් නැත්නම් සද්ද නෑ. ඔන්න ඔතනයි වෙනස.

    පොරෝලිස් මාමාගේ කතාව මැවී/මැවී පේනවා. මොරටුවෙන් අවසන් කිව්වට අපේ ගමෙත් ඉඳලා තියෙනවා ටනෝලිස් මුදලාලි කියලා කෙනෙක්. මිනිහා තමයි පළාතේ ගණන් කාරය, බේකරියක් කලේ. බලෙන් කඩ වලට පාන් දාලා තියෙන්නේ. ඒ වගේම තව ශක්තිමත් පිරිසකුත් මිනිහා වටේට ඉඳලා තියෙනවා. හැබැයි මිනිහා හොර සූදු ව්‍යාපාරයක් කරවලා තියෙනවා. ස්වරූපයෙන් කරෝලිස්ලා ටනොලිස්ලා ඔක්කොම එක අච්චුවේ.

    • sudeeka says:

      තාත්තා ලියපු පොතේ ඒ ගැන සටහන තියෙනවා කෙටියෙන්. නමුත් තාත්තා ඒ ගැන දීර්ඝව විස්තර කරනවා.

      • සුදීක……ඔය කියන පොත අපිට කියවන්න නම් හොයාගන්නේ කොහොමද?

    • ඇත්තටම සුදීක ටනෝලිස්ලා පොරෝලිස්ලා එක්තරා යුගයක සමාජ ප්‍රතිරූප. ඒ මිනිසුන් වටා යම් චමත්කාරයක් ගොඩ නැගිලා තිබුනා. වටපිටාවේ මිනිස්සු උනත් ඒ අයව දන්නවා හඳුණනවා කියලා කියන්න කැමතිවුනා. දැන් තියෙන්නේ චමත්කාරයක් නෙමේ අනතුරක් සහ අප්පිරියාවක් නේ.

  35. මේකනං නියමයි……………….

  36. තිසර says:

    මචං අරු… ටික දවසක ඉඳන් පොඩ්ඩක් වැඩ වැඩියි…. නිදහසේ බ්ලොග් කියවන්න ඉඩක් ලැබුණෙම නෑ… යාන්තම් අද උදේ මිස් වෙච්ච උඹේ පෝස්ට් තුන කියෝගත්ත… දැනට එච්චරයි බං… ආයෙත් විවේකී උණාම සුපුරුදු විදිහට එන්නම් කියවලා කමෙන්ට් කරලා යන්න….

    • තිසර…..මාත් හිතුවා උඹ බිසි ඇති කියලා. තිසරව බ්ලොග්ස්වල දකින්න නැතිවුනාම පොඩි හිඩැසක් පේනවා. පුළුවන් වෙලාවක කියවන්න. හැකි වෙලාවක අදහසක් දාන්න.

  37. Miyuru says:

    අංශබාගෙ හැදිලා ඉන්දැද්දි එක්සසයිස් කළා කිව්වම… මං නම් මේ ඇහුවමයි එහෙම කෙනෙක් ගැන… ඒ වගේම එයා අරූලට ගොඩක් උදව් කරල තියෙනවනෙ… අපරාදෙ, එහෙම තැනක් මුලින්ම සොයාගන්න ලැබිච්චි නැති එක… ඒ උනාට එක අතකින් එහෙම ලැබුන නම් අපට කොයින්ද කියවන්න මෙච්චර ලස්සන කතා ගොඩක්…

    අරූ ලියල තියෙන විදියට අර පොඩ්ඩිට වගේ මට හිතුනෙත් පොරෝලිස් මාමයි ටේච්චියි අතර මොකක් හරි සම්බන්ධයක් තිබුණයි කියලයි… අර පරණ පින්තූර ටිකත් පල කරාවි කියල හිතෙනවා බොහොම ඉක්මනට… අරූගෙ කතා කියවන අතරෙම ඒවා දැකගන්න තිබුණා නම් නියමයි…

    මට නම් පොරෝලිස් මාමාගෙ ශෛලියට කතා කරන කෙනෙක් මුණ ගැහිලම නෑනෙ… යාන්තම් ගෑවිලා ගියේ අපේ ලොකු සීය විතරයි… ඒත් ඉතින් එයාගෙ සාමාන්‍ය කතා විලාසය මතු වෙන්නෙ එයාගෙ නංගිලා එයාව බලන්න ආවම තමයි… එතකොට ඉතින් හොරෙන් අහගෙන හිටියොත් මිසක් ළඟ ඉන්න දෙන්නෙ නෑ… අපි පොඩි නිසා වැඩිහිටියොන්ගෙ කතා අහගෙන ඉන්න එපා කියල පන්නනවා… වැඩිපුරම සීයගෙ කටේ ලූව ඇරගෙන කුණුහරුප ටිකක් දෙසා බාන්න ඕනවට… අරූම කියල තියෙනව වගේ මේ චරිත ගැන වෙන වෙනම පෝස්ට් ලියන්න තරම් මතකයක් ඇති… එහෙම ලියනවා නම් කියවන්න හරිම ආසයි… අරූගෙ ලියැවිල්ල හරිම රහයි…

    • මියුරු……ටේච්චි කියන්නේ හරි වයසක කෙනෙක්. අරයා එහෙම කෙනෙකුට කැමති වෙන කෙනෙක් කියලා හිතන්න බැහැ. අනිත් එක ඒ සබ්ජෙක්ට් එක ගැන කවුරුත් මෙයා ගැන එහෙම කතා කරලා නැහැ. ෆැමිලි මෑන් කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ඕවා ෂුවර් නැහැ.

      මේ වගේ උදවිය ගැන කියවන්න මමත් හරි ආසයි. අර උඩ දාලා තියෙන ලින්ක් එකේ චොප්පේ ගැන තියෙන ආටිකල් එක කියවන්න. හරි රසවත්.

      • Miyuru says:

        මං ඒක කියෙව්ව අරූ… ඇත්තටම ඒක කියවනක්ම් මං හිතන් හිටියෙ චොප්පෙත් අනිත් මැරයො වගේම එකෙක් කියල… ඒකට දැන් අය්යල… අර පින්තූරෙ බැලුවම නම් ඒ තරම් විශාල ඇඟපත තියෙන කෙනෙක් කියල පේන්නෙ නෑ… මං ලිපිය කියවල කල්පනා කළේ ඇත්තටම චොප්පෙගෙ නෝනා අර වගේ කතාවක් කියන්න ඇත්තෙ චොප්පෙ ජීවතුන් අතර ඉන්දැද්දි එයාලා කොහොමට විඳවන්න ඇතිද කියල… හැමතිස්සෙම බයෙන් සැකෙන් ගෙවන මැරයෙකුගෙ බිරිඳකගෙ භූමිකාව කොහොමට වෙන්න ඇද්ද…

      • මියුරු…..ඔය චන්ඩින්ගේ සහ පාතාලයන්ගේ වයිෆ්ලා (නීත්‍යානුකූල හෝ නොවන )ජීවත්වෙන්නේ හරිම අප්‍රසිද්ධ විදිහට. ඒක හරිම කණගාටුදායක තත්වයක්. උන්ගේ ගැටුම්වල බිලිවෙන්නේ පවුල්වල අය තමයි මුලින්ම.

  38. iupasanta says:

    මචෝ කියන්න දේ බෝමයි. මොකද ඔය ඉන්නෙ අපේ ගමේ නිසා. මම හිතන්නෙ පස්සෙ අර ගේ තමයි දැන් ෆයිබර් ටෙක් එක දාල තීන්නෙ (දැන් කිව්වට මෙ වෙනකොට මොකක් තීනවද හ්ඩ්නන්නෙ නෑ හැබැයී

    මොකද ඔය කියන ගේ සිරි ගුණරතන පාරයි වටරප්පල පාරයි අතරෙ තිබ්බෙනං ඒක වෙන්න ඕන තැන. වෙන පරණ ගෙයක් නෑ.

    ඉතුරු ටික හෙට හවහට කතා කරමු. රෑ උනා.

    • ඉන්දික…..උඹ කියන තැන වෙන්න ඕන මම කියන්නේ. වටරප්පල පාරේ ඉඳන් බැලුවොත් දෙවන හෝ තුන්වන බිල්ඩිම. ඒ කාලේ ඔතන පොඩි ග්‍රෝසරි එකක් කරා සේනානායක කියලා කෙනෙක් . ඒ කාලේ කොහේ හරි යුරෝපයේ රටක වැඩකරලා ආපු ඉන්ජිනියර් කෙනෙක්. ගෙවල් තිබුනේ එහා පාරේ. ඒ කඩේ නම ටෙස්කො. ඒ නම දැම්මෙත් වැඩ කරපු රටේ තිබුනු සුපර්මාකට් එකක නමක් නිසා.

      • iupasanta says:

        එහෙනං හරි. ඒක තමා පොට් එක. පාරෙන් ටිකක් පහලට වෙන්න වගේ තීන්නෙ. උඹට මතකද ඔයිට ටිකක් ගල්කිස්ස හන්දිය පැත්තට වෙන්න හතේ කණුව තීනව. අපි නිතර වල බැහැපු තව තැනක් එතන පහල තීන තම්බි කඩේ.

        ඔය ගුණරතන පාරෙ මුලම ඉන්නව මගෙ යාළුවෙක්, උගෙ වාසගම “පුස්සෙවෙල”. වන් ඇන් ඔන්ලු පුස්සෙ.

    • පිංතාලිය පාර පැත්තට වෙන්න වගේ මතකයි.

  39. supirikrida says:

    පොරොලිස් මාමාලා තමයි පොරවල් හැංගි හොරා නැතිව කියන දේ කියන කෙළින් මිනිස්සු ඔය වගෙ සෙට් ගොඩක් මගේ ජීවිතයට සමීපයි.ඒ මගෙ තාත්තා නිසා.කුඩුකාරයො,මංකොල්ලකාරයො ඔය ඕනි කෙනෙක් ඇසුරු කරන්න මට අවසර තිබුණා පොඩි කාලෙ ඉදලම.මම ඒ මිනිස්සුන්ගෙන් නරක් වුණේ නැහැ.හැබැයි උන් හොද වුණෙත් නැහැ.(මොකද මගේ හොදක් තිබුණෙ නැති නිසා)නමුත් උන් එහෙම සෙට් වුණහම බොක්කෙන්ම ආදරය කළා තමන්ගෙ ජීවිතය දෙකට දාලා බොක්කෙ පොරවල් වලට ලව් එක දුන්නා.මේ චණ්ඩිකම් අස්සෙ තිබුණ මොකද්දෝ අහිංසක කමක් ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල තිබුණා.හැබැයි අසරණකමනම් නෙමෙයි ඒක.මේ නහරය අල්ල ගත්ත එකාට උන් පණත් දුන්නා.
    දැනටත් ඉන්නෙ කොළොන්නාවෙ.ඒ මිනිස්සු ගැන මිනිස්සුනගෙ ඔළුවෙ තියෙන එකයි ඇත්තයි මොකද්ද කියන එක මම දන්නවා හොදටම.මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණේ කොළොන්නාවෙදි.විශේෂයෙන් තාත්තා නැති වෙන කොට මම හිටියෙ සිංහපුර මායිමේ.ඔය නරකයි කියන හැම වර්ගයෙම අය මේ මල ගෙදර වැටිල මට උදව් කළා.හැබැයි තාත්තා නිසා මම නහරෙ අල්ලගෙන හිටිය නිසා ද දන්නෙ නැහැ.ගමේම අයත් හොල්මන්.මල ගෙදර නිසා නැති වුන එකම දෙය වීදුරු දීසියක් විතරයි.ඒ අපේ සෙට් එකක් ඩ්‍රින්ක් එකක් දාන්න ගිහිං බින්දෙ.
    විහ්වාස කරන්න ලොකුම ගේම් කාරයො කියල මට ඇවිත් පරිස්සම් වෙන්න කියල ගමේ මිනිස්සු කිව්ව දෙන්න අතේතමයි අල්මාරිවල යතුරු තිබුණෙත්(අල්මාරිවල මහ දෙයක් නැහැ)

    • මචං සුපිරික්‍රීඩා…….මම මේ කමෙන්ට් එකට හරිම මනාපයි. උඹත් ඕන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් බුවෙක් වගේ. මම කොළොන්නාවේ හිටියා කාලයක් යූසි ෆ්ලැට්ස්වල. මගේ වයිෆ් කොලොන්නාවේ. වැල්ලම්පිටිය තමයි මහ ගෙවල්. සිංහපුර මම හොඳට දන්නවා. බොන්න හොර ස්පොට් එකකට බහිනවා සිංහපුරේ. ඔය සක්විතිගේ අම්මා හිටියෙත් සිංහපුරේ නේද? හංදියේ සිරිල්ගේ කඩේ, භාරතගේ ගේ ඉස්සරහ චින්තකගේ හොර ස්පොට් එක, ඩීආර් නානායක්කාරගේ පුතා රන්ජිගෙ ත්‍රීවීලර් එක …ඕවා තමයි මගේ ස්පොට්ස්. මම “ඉස්සර” කොලොන්නාවට කැමතියි. තාමත් යාළුවෝ ඉන්නවා.

      උඹ කියනවා වගේම ඔය මිනිස්සුන්ට ෆිට් වුනොත් උන් බොක්කෙන්ම ආදරෙයි. මට ඒ අත්දැකීම් හරියට තියෙනවා. උන්ගේ මානසිකත්වය හරියටම හඳුනගන්න ඕන. හොඳ සමාජ ස්ථරයක්.

      උඹ බ්ලොග් එකක් ලියනවාද? මම කොළොන්නාව ගැන පස්සේ ලියන්නම්.

  40. sasha says:

    ලියාගෙන යද්දි මතක් වෙන ඔක්කම ලියන්න.අරූට වැදගත් නෑ කියල හිතෙන පොඩි පොඩි දේවල් උනත් අපිට මාර රසවත් වෙන්න පුළුවන්..නියමයි!!!! අදයි කොමෙන්ටුවක් කොටාගන්න ලැබුනෙ ඕං

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s