අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

බම්බලපිටිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ අවට පාසැල් සිසුන්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නට ඇත්තේ ඒ අවට තිබූ බොහෝ බාලිකා පාසැල් නිසා විය යුතුය. ලින්ඩ්සේ බාලිකා, විශාඛා, සේන්ට් පෝල්ස් මිලාගිරිය, මුස්ලිම් බාලිකා, හෝලි ෆැමිලි ඉන් කිහිපයකි. මගේනම් වැඩි කැමැත්තක් තිබුණේ මිලාගිරිය මානවිකාවන්ටය. ඒ ඔවුන්ගේ යුනිෆෝම් එක නිසාද යැයි සැකය. ඔය අවට පිරිමි පාසැල් තිබුණේ අතලොස්සකි. රාජකීය, තර්ස්ටන්, සේන්ට් පීටර්ස් ඉන් සමහරක්ය. සෙන්ට් පීටර්ස් සිසුන් බම්බලපිටියට උරුම කරුවන් මෙන් විය. මේ විදුහලේ සිසුන් බොහෝමයක් බම්බලපිටිය, වැල්ලවත්ත ආශ්‍රිත පදිංචිකරුවන්ය. බම්බලපිටිය තට්ටුනිවාස වාසීන්ගේ දරුවන් බොහෝමයක් සේන්ට් පීටර්ස් කොළුවන්ය. “බම්බා ෆ්ලැට්ස්”වාසීන් බම්බලපිටියේ වැඩකාරයින් යැයි අපි දන්නා නිසා ඔය පැත්තේ වැඩිය දඟලන්නට ගියේද නැත.

මේ පිරිමි පාසැල්වල සිටි රස්තියාදුකාරයන් බොහෝවිට බම්බලපිටියට එක්වේ. ලයන්හවුස් නම් ආපනශාලාව දීර්ඝ ඉතිහාසයක් ඇති ස්ථානයක් යැයි මම සිතමි. මෙහි ඉදිරිපස තිබු වීදුරු ආවරණය තීන්ත ආලේප කර තිබු නිසා සිගරට් බොන කොල්ලන්ට යම් ආරක්ෂිත කලාපයක් බඳුය. ලයන්හවුස් තේ එක තරම් රසවත් තේ එකක් අවට අනිකුත් හෝටල්වල නොතිබුණු බව සාමාන්‍ය මතය විය. එය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරිබත්, ලුණුමිරිස්, ඉඳිආප්ප, කිරිමාලු, අලහොදි, බනිස්,මාළුපාන්, පාන් වීදුරු සෝකේස්වල පෙනෙන්නට තිබුණි. සේවය සැපයීමට සිටියේ ඈත පළාත්වලින් පැමිණි, සුදු සරම්, කමිස හැඳි මැදිවියේ මිනිසුන්ය.

ලයන්හවුස් එකට යාබදව තිබු මේෆෙයාර් ආපනශාලාව මුස්ලිම් හෝටලයක් විය. බුරියානි, තක්කාලි, ලූණුපෙති,සලාද කොළ මත වැඩවිසූ රෝස්ට් කුකුළන්,බැදපු තෝර මාළු පෙති,වටලප්පන් දිහා හොරෙන් බලමින් ප්ලේන්ටියක් ගහනවා හැර තරුණ පාසැල් සිසුන්ට වෙන කළහැකි දෙයක් නොවීය. ඕනෑම වුණොත් බඩ පුරවාගන්නට සරස්වති ලොජ් නම්වූ සයිවර් කඩය සැම විටම විවෘතය. මා ඇතුළු කංඩායමේ යමක් කමක් ඇති කොලුවන් කිහිප දෙනෙක් ගැවසුනි. තෝසේ දෙකක් දැමු කෙහෙල් කොළය උතුරා යන තරමට සාම්බාරුව ඉල්ලා ගන්නටත්, ඒ සාම්බාරුව බාල්දියේ අඩියෙන්ම ගෙන බෙදන ලෙස කාරුණිකව ඉලා සිටීමටත් ලැජ්ජා නොවීය. හැන්ද පතුලටම යවා බෙදනා විට වට්ටක්කා කෑලී, වම්බටු කෑලි, මුරුංගා පොතුවලින් අඩුවක් නොවේ. උලුඳු වඩයක්, අල බෝණ්ඩාවක් ගන්න පුළුවන් වුණොත් බෝනස්ය. අත දමා හොරෙන් ගන්නට හැකි තැනක තිබුණොත් තෝසේ දෙකට යට කරගන්නා වඩය කාටවත් නොපෙනේ. එසේ යට කරගන්නා වඩය හෝ අලබෝලය අතින් තදකර මට්ටම් කෙරූවිට හොයනවා බොරුය. මේ මොන සෙල්ලම් දැම්මත් මුදල් නැති දිනයක කාබී කාටත් හොරෙන් මාරුවන අවස්ථාද නොතිබුණාම නොවේ. මෙවැනි අවස්ථාවලදි, පළමුවෙන්ම පිටවී යාමේ අවස්ථාව මට හිමිවුණේ, කිහිපවරක් අවසානයා ලෙස පිටවෙන්නට ගොස් අනාගත් බැවින්ය. ඒ අනාගත් කිසිම අවස්ථාවක වීදුරු සේදීමටවත්, කෙහෙල් කොළ බාල්දි අස්කිරීමටවත් සිදුනොවුයේ ,මොකක් හෝ කියා අනුකම්පාව ලබාගත් නිසා මිස වීරකමකට නොවේ.

බම්බලපිටියේ බුලර්ස් පාරට එක්වරම මුහුණලා පිහිටියේ ප්‍රසිද්ධ සිටි ඩිස්පෙන්සරි ගොඩනැගිල්ලයි. විශාල වීදුරු බොතල්වල නොයෙකුත් වර්ණයේ දියරයන් පුරවා පෙනෙන්නට තබා තිබුණි.අද මැජස්ටික් සිටි නොහොත් MC යැයි කියනා විශාල භූමියේ එදා තිබුණේ පහසුකම් සහිත ප්‍රධානතම සිනමා ශාලාවක්වූ මැජස්ටික් සිනමා ශාලාවය. එවැනිම පහසුකම් ඇති අනිකුත් ඒවා වූයේ සැවොයි-වැල්ලවත්ත, රීගල්-ලේක් හවුස් සහ ලිබර්ටි-කොල්ලුපිටිය පමණි. මේ ගොඩනැගිලි අතරින් වයින් ස්ටෝර්ස් එකක් තිබුණා මතකය. ඒ කාලයේ පාර අතුගාන ද්‍රවිඩ ජාතික වැඩිහිටි කාන්තාවන්, ඔතනින් කාලේ, බාගේ බෝතල් ගෙන කටේ තියාගෙන ඇදලා අරින හැටිත් අමතක නොවේ.

මැජස්ටික් සිනමාහල පිහිටා තිබුණේ විශාල බිම්කඩකය. කෙටි තාප්පය දෙපසින්ම මෙයට ඇතුළුවිය හැක. සිනමාහල තුළට පිවිසීමට සිටිනාවුන් පාරට පෙනෙනා නිසා නවක පෙම්වතුන්ද, හොර කපල්ස්ද, පාසල් සිසුන්ද පරිස්සම් විය යුතුය. ඒ කාලයේ උදේ 10.30 දර්ශන වාරය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ කංඩායම් ඉලක්ක කරගෙන යැයි මට සිතේ. මැජස්ටික් සිනමාහල පිටුපස එම ඉඩමේම පරණ වලව්වක් වැනි විශාල නිවසක් විය. මේ නිවසේ පදිංචිය සහ අයිතිය තිබුණේ අපේ පාසැල් මිතුරෙකුවූ මිගාරගේ පවුලටය. පාසැල් වේලාවෙන් පසුව නම් අප එහිගොස් තේ බීමටත් පුරුදුව සිටියහ. ඔවුන් සංග්‍රහශීලි මිනිසුන් විය. රූමත් සහෝදරියන් දෙතුන් දෙනෙක්ද මිගාරගේ පවුලේ වූහ. අප ඒ පිළිබඳ කිසිවිටෙකත් ව්මසිලිමත් නොවීය.

බම්බලපිටිය හන්දියේම තිබු අමතක නොවන තැනක් නම් බම්බලපිටිය මාකට් බිල්ඩිමය. නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය කොළඹ මහ නගර සභාව විසින් ක්‍රමවත්ව නඩත්තු නොකළ නිසා මස්, මාළු කුණු ගඳෙන්ද අඩුවක් නොවීය. එළවළු, පලතුරු, බිත්තර, මස්, මාළු කඩ රාශියක් ඒ තුළ තිබිණි. මේ ගොඩනැගිල්ල පිටුපස තිබු පැරණි විශාල නිවසේ සිටියේ පසුව මා හඳුනාගත් මිතුරියකගේ ඥාතීන්ය. මාකට් එකට මෙහායින් තිබුණේ, එකල පාරේ නිතර දැකිය හැකි දසුනක්වූ භූමිතෙල් කරත්ත සහ ගවයින් ගාල් කරතැබූ කරත්ත ගාලය. ඒ යුගයේ කොළඹ අවට පවා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්වූ භූමිතෙල් ඕනෑම සිල්ලර කඩයකින් තෙල් කරාඬියෙන් මැන බෝතලය, භාගය සහ කාල වශයෙන් මිලදී ගැනීමට ඉඩකඩ තිබුණි. ගොන් බැඳි කරත්තයට සවිකෙරූ රතු පැහැති ටැන්කියෙන් සිල්ලර කඩවලට භූමිතෙල් බෙදුවේ තොග මිලටය. සීනුවක් ගසමින් මොවුන් වීදි සැරිසරති. යහමින් මුදල් ඇති අයනම් ගැළුමක් දෙකක් එකවර මොහුගෙන් පුරවාගනී. මේ සේවකයන් බොහෝදෙනා ද්‍රවිඩ ජාතිකයින් විය. බම්බලපිටියේ මේ භූමිතෙල් ව්‍යාපාරය අයිතිව තිබුණේ මගේ පන්තියේ මිතුරු සුරාජ් ඇන්තනීස් පවුලටය. ඒ නිසාම සුරාජ්ට අප කිව්වේ භූමිතෙල් කියාය. තවත් මෙවැනි ව්‍යාපාරිකයින් කොළඹ විසූහ. පොල්තෙල් බෙදුවේ කහ පැහැති ටැංකි බැඳගත් ගොන් කරත්තයකින් බවත් මතකය. මාකට් බිල්බිම අසලම එක් කොනක දැල් ගැසු කුඩා කඩයක් තිබුණි. සිගරට්,බීඩි,බුලත්විට, සබන්, නිල් පැකට් වැනි එදිනෙදා අවශ්‍යතාවයන් මේ අහිංසක ද්‍රවිඩයා වෙළඳාම් කෙරුවේය. ජාතිආලයෙන් මඤ්ඤංවූ කාළකණ්ණීන් විසින් 1983දී මේ කඩය විනාශ කරලීමට තරම් සැහැසි විය. බම්බලපිටියෙන් රටට දායකවූ තවත් ව්‍යාපාරයක් නම් ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයයි. ඇල්බට් එදිරිසිංහ මහතා බොහෝ කාලයකට පසුව දේවමිත්ත නමින් පැවිදිවියට පත්ව නිහඬ ජීවිතයක් ගෙනගිය අතර මෑතකදි අපවත්විය. ඒ අසලම වූයේ පොලිසිය සහ තැපැල් කන්තෝරුවයි. පොලිස් නිල නිවාස පිහිටියේ ඊට පිටිපසිනි.

බම්බලපිටියට සෙනඟ එක්වෙන තවත් තැනක් නම් කදිරේෂන් කෝවිල හෙවත් වැල්ලවත්ත කෝවිලයි. බම්බලපිටියේ පිහිටා තිබුණත් මෙය වැල්ලවත්ත කෝවිල ලෙස හඳුන්වයි. මේ අසල අශෝක ලොජ් සහ තවත් තෝසේ කඩයක් විය. බම්බලපිටිය හන්දිය පැත්තට වෙන්න තිබුණේ කදිරවේල් කෝවිල බව මතකයේ තිබේ. මේ කෝවිල් දෙක අසල පිච්චමල් මාලා, කපුරු, පොල්තෙල් වෙළඳාම ජයටම කෙරුණි. කුඩා බංකුවක් මත වාඩිවී කෙසෙල් කොළයක් මත තබාගත් සුවඳ හමන පිච්චමල් වලින් මල්මාලා ගොතන ඒ ද්‍රවිඩ ජාතිකයන්ගේ දසුන කිසිදින අමතක කල නොහැකිය. ඒ අසල අපි ඔහේ ගැවසෙන්නෙමු. මේ මල් වර්ග මාතලේ වැනි පළාත්වලින් මෙතැනට සැපයූ බවත් මම අසා ඇත්තෙමි. කොළඹ ජින්තුපිටියේ කෝවිලේ සිට බම්බලපිටිය කෝවිලට පැමිණෙන වාර්ෂික වේල් පෙරහැරද අමතක කල නොහැකිය. ඒ කාලයට කොළ පිටින් උක්ගස්, කඳු ගසා විකුණන මිනිසුන්ද මිහිරි අතීත මතකයන් අවුස්සා දමයි. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම සහ කලබලකාරීම ස්ථානය වූයේ බම්බලපිටිය ෆ්ලැට්ස් ආසන්නයේය. ඒ අසලම ලේඛා ස්ටුඩියෝ නමින් ප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක්ද පිහිටා තිබුනි.සියලුම කාන්තා පාසල්වල සිසුවියන් සහ අවට කොල්ලන්ගෙන්ද දහවල් 1.30-2.00 වනවිට අවට පිරී ඉතිරීයයි. හැම තැනම රස්තියාදුවී, ෆ්ලැට් එක ඉදිරිපිට බස් නැවතුමේත් කාලය කාදැමීම එදිනෙදා අංගයක් විය.

ඒ අසලම ගාලු පාරට මුහුණලා පරණ බෝතල් පත්තර එකතුකරනා කඩයක්දවිය. එය අමතක නොවන්නේ ඔතනින් ගුටිනොකා බේරුණ එක් සිද්ධියක් සිතේ ඇති බැවිනි. පරණ බෝතල් දැල් ගෝනිවල අසුරා ගොඩගසා තිබෙන්නේ ලොරිවල පටවා කොළඹ යැවීමට කියා අපි දන්නෙමු. දිනක් ඔය කඩය අසල පිස්සුවක් නටන්නට ගොස් ඔය ගෝනි කන්දක් බිමට කඩා වැටුණේ මහා ශබ්දයක්ද නගමිනි. වැඩේ වැරදුණු බව දැනගත් අපි හිස හැරුණු අතේ දිව යන්නට වුණෙමු. වාසනාවකට අප කිසිවෙක් අසුවුණේ නැත. මම දිවගොස් නැවතුණේ මුහුදු වෙරළේ බව තවමත් මතකයේ තිබේ. කෝච්චියට යටනොවී බේරුනේ පූරුවේ පිනකට යැයි සිතමි.

බම්බලපිටිය ගැන කියනා විට සිරිසඳ හෝටලය ගැනත් නොලියා බැරිය. නමුත් ඒ අත්දැකීම් මා විඳින්නේ තරුණයෙක් ලෙස නැවත බම්බලපිටියට පදිංචියටම පැමිණි පසුවය. ඒ කාලය නම් මගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම් ලැබු කාල පරිච්ඡේදයක් වේ. ඒ ගැන පසුව ලියමි. SEE YOU AGAIN බම්බලපිටිය කියා මාතෘකාවක් යෙදුවේ ඒ නිසා බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. නොලියවුණු තැන් සහ අමතකවූ සිද්ධීන්ද බොහෝය. මතකදේ පවා නොලියා සිටින්නේ මාගලක් වෙනු දැකීමට අකැමති නිසා යැයි සඳහන් කරමි. ඩික්මන් පාර, කින්රෝස් ක්ලබ් එක, වජිර පාර, ඒ අවට පිහිටා තිබු ඩෝබි මඩුව, ඒ යුගයේ ලොන්ඩරි, වජිරාරාමය වැනි අවට පරිසරය ගැන ලියන්නට ගියොත් ගොඩ ඒමක් නැත. චීන හෝටල් ගැනද ලියන්නට අමතක විය. ටොලරම්ස්, ලක්ෂ්මිස්, බුලියන් එක්ස්චේන්ජ්, බෙයාර්ෆූට්, නවාවි, උණු උණු ගෝදම්බ රොටි කරත්තය, සයිකල් කඩය ගැන ලිව්වේම නැත.

කෙසේ හෝ වේවා, බුලර්ස් පාර අසලින් පටන්ගෙන වැල්ලවත්ත හැමිල්ටන් ඇල අසලින් අවසන්වෙන බම්බලපිටිය කොළඹ 4 ගැන මෙසේ ලියා තැබුවෙමි. මේ ඇල අයිනෙන් තිබූ වැලි පාරේ දිගටම ගියවිට වැල්ලවත්ත රෙදිමෝල අයිනෙන් හයිලෙවල් පාරට පිවිසිය හැක. මගේ ජීවිතය යනු පුස්තකයක් නම් එහි පිටු බොහෝමයක්ම මේ බම්බලපිටිය නම්වූ සුන්දර පුරවරයට අයිතිවේ.

ප.ලි.
යොදාගත් වැඩ කටයුතු නිසා ඔබගේ බ්ලොග් කියවීමත්, පිලිතුරු ලබාදීමත් දින දෙක තුනකට මදක් අතපසු විය හැක.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

138 Responses to අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

  1. /// තෝසේ දෙකක් දැමු කෙහෙල් කොළය උතුරා යන තරමට සාම්බාරුව ඉල්ලා ගන්නටත්, ඒ සාම්බාරුව බාල්දියේ අඩියෙන්ම ගෙන බෙදන ලෙස කාරුණිකව ඉලා සිටීමටත් ලැජ්ජා නොවීය.///

    අම්බෝ ,,, මට තොසේ බඩගින්නක් ආවෝ

    ගෑණු අයත් එහෙම බිවුවද අයියේ ..

    පොඩිකාලේ බටුවත්තෙදී භූමිතෙල් කරත්තේ දැකලා තියෙනවා ඊට පස්සේ දැකලා නැහැ.

    වජිර පාර සහ උණු ,උණු ගෝදම්බ රොටි කරත්තය ගැන ඊලග ලිපියේ හෝ ලියන ලෙස කාරුණිකව ඉල්ලමි.

    ස්තුති වෙලාවට පත්තරේ එවුවට 😀

    • තිසර says:

      භූමිතෙල් කරත්ත නම් ඔය ඉන්නේ ඕන තරම්.. හැම තැනම නැවති නැවති තෙල් බෙද බෙද යන්නේ 🙂

    • @ඔමා……මටත් හරි ආසයි අර පරණ කාලේ සයිවර් කඩේකින් ආපහු කන්න. කෙහෙල් කොළෙන් හොදි බේරිලා වැටෙනවා මේසෙට. සාම්බාර් බාල්දිය වටේ බෙරිච්ච පරිප්පු ඇට වේලිලා. ඒකත් එක කාලයක්.

      ඔමා ඒ පාර අතුගාන වැඩේ කරේ බොහොම දුප්පත් දෙමළ උදවිය. නගර සභාවෙන්ද කොහෙද පඩි දුන්නේ. හැන්දෑවට දෙකක් දාලා තමයි ගෙවල්වලට යන්නේ. එහෙම බොන ගෑණු උදවිය, ඔය වයින් ස්ටෝර්ස් එක එහා පැත්තේ පොඩි පිලිකන්නේ සාමාන්‍ය දෙයක්. සාරිය ඇඳලා ඉදළ අතේ තියාගෙන ඉන්නවා, මට තාම මතකයි.

      ඉතුරු ටිකත් කොහෙට හරි ඔබ්බවන්නම්. ගෝදම්බ රොටි කරත්තේ ගැන නම් ලියන්න වටිනවා.

  2. Ravi says:

    සෙන්ට් පෝල්ස් මිලාගිරිය කෙල්ලොන්ගෙ යුනිෆෝම් එකේ කොලර් නෑ. දේවි බාලිකාවෙත් එහෙමයි. සෙන්ට් පෝල්ස් යුනිෆෝම් එකේ සාක්කුවෙ S.P.M. කියන ඉංග්‍රීසි අකුරු තුන ගහල තිබ්බ. කොල්ලො ඕකට කිව්වෙ මොකක්ද කියල උඹට මතකද? 😀

    බූමිතෙල් කරත්තෙ ගෙයක් ගෙයක් ගානෙ නවත්තල තෙල් බෙදනව. රතු පාට බැරල් එකේ අර ගිනි හුලක් අරගෙන හෙලුවෙන් දුවන මිනිහගෙ රූපෙ ඇඳල තිබ්බ.පෙට්‍රෝලියම් එකේ ලෝගෝ එක. ” තෙල බෙදන්නෙ නැතුව යමං ඉක්මනට ” මේ කතාව හැදිල තියෙන්නෙ ඔය බූමිතෙල් කරත්තෙ ආස්‍රයෙන්.

    • Nalin says:

      ලේඩීස් කොලේජ් එකේ යුනිෆෝම් එකට ගහන්න එකක් නම් නෑ… SPM කිව්වෙ ‘සෙමින් පොඩ්ඩකි මිරිකන්න’ කියල නේ?

      • Ravi says:

        නලින්,

        තව එකක් තිබ්බ…Super Pure Milk 🙂

      • @නලීන් ඒකනම් ඇත්ත….ලේඩිස් කෙල්ලන්ට පොඩි නිදහසක් තිබුනා ටිකක් කොටට අඳින්න. ඒ ගවුමේ සාය කොටස තමයි කොල්ලන්ව වල්මත් කරේ.

    • SPM= also stand for සයිමන්ගේ පොල් මෝල or සයිමන්ගේ පුකේ මයිල්.
      The best is STERILIZED PURE MILK.

      • අපි supplying pure milk කියලත් කිව්වා. එතකොට පොත් මිටියෙන් ළැමද වසා..කෝල සිනා…ලෝල ලෙසා..

    • iupasanta says:

      එක පාරක් තිරික්කල් රේස් එහෙකට පොරක් වෙනද යන ගොනා අසනීප නිසා වෙන යාළුවෙක්ගෙ කරත්තෙ අදිනව කියපු ගොණෙක් අරන් ගියාලු බුවෙක්.

      මේ ගොනත් තිරික්කලේ බැන්දම යසට උන්න. දැන් ඉතින් රේස් එක පටන්න ගන්න විධානෙ දුන්නම ඔන්න අපේ යාළුවගෙ ගොණත් අනික් උන් එක්ක යස රඟට දුවනව.

      හති හලාගෙන, සෙම පෙරාගෙන මුල්ම බන්ච් එකේ ආව මේ ගොනා මෙන්න තිරික්කල් රේස් පාරෙ මග කඩයක් ගාව ඉද්ද ගැහුව වගේ නතර උනා..!!

      අම්මට සිරි වෙන්න මල පැන්න බුව දැන් නැට්ට හපල, ඇටේ මිරිකල ආයි ගොන ගත්ත පාරට. ඔන්න ගොනා ආයි විදිනව.

      මෙන්න මූ ඊළඟට තිබ්බ කඩේ ගාවත් අර විදියටම නැවතුනා..!!

      ආයි කෝමින් හරි සෙල්ලම දාල දුවවන්න ගත්තලු. ඔහොම, මේ ගොන් තඩිය රේස් එක ඉවර වෙනකල් මග තිබ්බ ඔක්කොම කඩ ගාව හිටල තමයි ආයි ස්ටාර්ට් කොරන් ගිහින් තීන්නෙ.

      අපේ බුවා ඉතින් අන්තිම උනාද කියල අහන්න ඔනෙ නෑ නෙ. මූ ඉතින් ගොනා එක්කයි උගෙ අයිතිකරය එක්කයි උන්ගෙත් පරම්පරාවම එක්ක මල පැනල මොන හුන්නස්ගිරියක්ද උනේ කියල හොයල බලද්දි තමයි දැනගෙන තීන්නෙ මේ තිරික්කලේට බැන්දල තීන්නෙ භූමිතෙල්කරත්තෙ බඳින ගොණා කියල.

      ඒ හින්ද හැම හෝල්ට් එහෙකම නවත්තන බස් කාරයො වගේම දකින දකින කඩවල නවත්තල තේ බොන සමහර ට්‍රිප් යන්න සෙට් වෙන ඩ්‍රයිවර්ලටත් අපි කියන්නෙ භූමිතෙල් කරත්තෙ බැඳපු ගොන්නු කියල තමයි.

    • @ රවී….ඔන්න බලහන්. මම හිතුවා හරියට හරි. අපි ඔක්කොම කොලු කාලෙට යයි කියලා කෙල්ලන්ගේ යුනිෆෝම් ගැන ලිව්වාම. වැඩේ හරි. බලපන් ඉන්දිකගේ කමෙන්ට් එක.

      තෙල් බෙදන කතාව භූමිතෙල් කරත්තෙන් ආපු බව මම දැණගෙන හිටියේ නැහැ. උඹට මතකද ඔය ටැංකියේ පිටිපස්සේ ගහලා තිබුනා අයිතිකාරයාගේ නමයි, ඇඩ්‍රස් එකයි. පොඩිකාලේ මම හිතුවේ ඒ තෙල් බෙදන අංකල්ගේ නම කියලා. මම ඒ නම කියලා ඒ මනුස්සයාට කෑගහලා අඬ ගහනවාලු. ඔය කරාමේ ඉස්සර ලොක් කරේ නැහැ. පාසේ ලොක් එකක් ආවා…කොල්ලෝ අර මෑන් නැතිවෙලාවට ඔතන ශිල්ප දාන නිසා.

  3. Kenji ogawa says:

    ඇයි මචෝ බම්බ සෙරමික් එකට ඉස්සරහ ලවර්ස් ලගෙ පලුඩා පොට් එක …නම මතක නැහැ…..

    • කෙන්ජි…..උඹ එතන සාමාජිකයෙක් වගේ. ඉස්සරනම් ඔතන තමයි පොෂ්ම ප්ලේස් එක ලවර්ස්ලාට. ග්‍රීන් කැබින්. මමත් මගේ සීරියස් යැයි සිතූ ෆස්ට් ලව් එකේ ෆස්ට් විසිට් එක ඔතන. සෙරමික්ස් බස් හෝල්ට් එක මාර ප්ලේස් එකක් බන්. ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක් දවල් 11 විතර ඉඳන් මහ රෑ වෙනකම් හිටියා. ඔතන පොඩි සිගරට් කඩයක් තිබුනා. සුද්දෝ එන ලොකු තැනක් තිබුනා ඔය වෙස් මූණු..බතික්..ඒවා මේවා විකුණන. මට නම මතක නැහැ.

  4. කොච්චර දේ තිබ්බත්, කෑව බීව ඒවා ගැන තමා හිත යන්නේ…

    මෙච්චර මිහිරි දේවල් ඇතුඑලේ තිබ්බ අමිහිරි අත්දැකීම්??? ගෑනු ලමයි පස්සේ ගිහින් ගුටි කෑවාවත්ද? :D:D

    • ///කොච්චර දේ තිබ්බත්, කෑව බීව ඒවා ගැන තමා හිත යන්නේ…////
      කෑම බීම විතරක් නෙමේ අනිත් ඒවාත් එහෙමයි 😀 මනුශ්‍ය ස්වභාවය. නැත්ද මං අහන්නේ.

      ගුටි…? පිස්සු කතාකරන්න එපා පොඩ්ඩි .පොලිසියෙන් විතරයි ගුටිකාලා තියෙන්නේ.
      බම්බලපිටියේ දෙවැනි පැමිනීම වෙනම ලියන්න වෙනවා.

  5. තිසර says:

    අරු ඉතිහාස වාර්තාවක් වගෙයි… මට නම් හිතෙන්නේ කතාව කියාගෙන යන අතරේ ඔය කියූ සියළුම තැන් ඉඩ ලැබෙන විදිහට විස්තර කලොත් තවත් වටිනවා. ඊට පස්සෙ ඒවායෙන් මතකය අලුත් වෙච්ච අය එකතු කරන විස්තරත් එක්ක පෝස්ට් එකේ වටිනාකම තවත් වැඩිවෙනවා.

    • තිසරගේ කතාව හරි. මෙහෙම යන ගමන් ඒ නොලියවුනු දේවල් හෙමිහිට ඔබන්නම්. නැත්නම් බම්බලපිටියේ හන්දියේම ඉන්න වෙනවා රෑ වෙනකම්. රෑ වෙනකොට බම්බලපිටිය හන්දිය හරි වෙනස්. එතන හරි අමුතුයි ඉස්සර.

  6. bindi2 says:

    කියවල හිනා ගියා . මොකද කියල නොකියා ඉන්නම්. අර අනික් මතක ටිකත් ලියන්න . හදිස්සියක් නැහැ . බම්බලපිටිය ගැන කොහෙවත් මෙච්චර විස්තර නැතුව ඇති.
    ඔය කොච්චර කන බොන කඩ තිබ්බත් මගේ තත්වය නම් ඒ කාලේ බොහොම ඛේදනීයයි . හුඟක් දාට සීසන් එක විතරමයි. ස්කුල් බස් එක එනකම් බලා ඉඳල ඉඳල ආවේ නැති දාට , නැත්නම් හරි විනාඩියටම අද්දන මරුමුස් ස්කුල් බස් ඩ්‍රයිවර් තුමා අපිව දාල ගිය දාකටයි බම්බල පිටියටම ඇවිදලා තියෙනව බස් එකක් ගන්න . ප්‍රයිවට් බස් එකක යන්න සල්ලි නැහැ . තිබ්බත් ලෝබයි . ලංගම කට්ටක් එනකම්ම ඉන්නවා. ඉස්කෝලේ යනකාලේ එහෙම හවසට අමතර කෑමක් කන්න කොහෙත්ම පුරුද්දක් තිබ්බේ නැහැ . කොහොමත් සයිවර් කඩේකට ගිහින් ඉඳගෙන තොසේ එකක් කන්න ගටක් ඒ කාලේ සල්ලි තිබ්බ වුනත් ගෑනු ළමයින්ට තිබ්බේ නැහැනේ අපි ඒ ලෙවල් කරන කාලේ පන්ති යද්දී නම් ටිකක් වෙනස් වුනා . සම්මාදම් කරලා මොනවා හරි කන්න පුරුදු වුනා. අපේ කෙමිස්ට්‍රි ටීචර් කිවේ ”ළමයි බඩගින්නේ ඉන්න එපා . ටොපි දෙක තුනක් වත් කන්න ” කියලයි.
    ලියන්න දේවල් නම් බොහොමයි ඉතින්. ඔය කිව කෝවිලෙන් වෙන්න ඕන අපේ ඉස්කෝලේ සර්වාගමික උත්සව වලට පුජකයෙක් ආවේ.

    • බින්දි……ඇයි හිනා ගියේ…පස්සෙන් ආපු කොල්ලෙක් හරි, ඔයා පස්සෙන් ගිය කොල්ලෙක් හරි මතක්වුනාද?

      ඇත්ත තමයි..ඉස්සර තෝසේ කඩවලට ගෑණු ළමයි එන්නේ නැහැ. ඒවා ලාබ තැන් නිසා ලැජ්ජාවට වෙන්න ඇති. අපි ගිය පොඩි තෝසේ කඩවලට ආවේ, ඔය පාර අතුගාන, මාකට් එකේ බඩු විකුණන ගැහැණු . හයිෆයි තැන්වලට නම් කෙල්ලෝ ගියා. ග්‍රීන්ලන්ඩ්ස්, ඉන්දුසිලෝන් වගේ තැන්වලට කෙල්ලෝ ආවා, ඒත් වැඩිහිටියෝ එක්ක.
      බින්දිත් වජිර රෝඩ් වගේ. පහණක් බෙල්ලේ එල්ලන්ද හිටියේ?

      • bindi2 says:

        චික් කවුද කොල්ලො පස්සෙ යන්නෙ.දැන් මන්දා .ඉස්සර නම් එහෙම කෙල්ලො ගණන් ගන්නෙ නැහැ.
        ඔය කට්ටිය හිනා වෙන ඉස්කොලෙ තමයි මම. පහන නෙමේ.
        හිනා ගියෙ එහෙම කේස් එකකට නෙමේ. මගෙ පස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් දෙකම අරූලගෙ ඉස්කොලෙන් තමයි.

      • ඕකනේ බින්දි මම කියන්නේ SPM හොඳයි කියලා. අනිත් එක කෙල්ලන්ට පටන්ගන්නත් ,අවසන් කරන්නත් හොඳම රෝයල් එක කියලා. ඒවා වෙන ඉස්කෝලවලින් ගන්න බැහැ.

  7. මතක් ගොන්නක්.. උඹට මේ හැම එකක්ම නූලටම මතක තියන එකනෙ අපූරු වැඩේ…

    ඒ ලෙවල් කරණ කාලේ අපෙත් ප්‍රියතම කෑම තමා සයිවර්.. මට මතක විදිහට ‍තෝසෙයි, වඩේ එකකුයි කාලා කොකා බඩියකුත් ගැහුවැකි රුපියල් දහයක් තිබුනනම්.. මටනම් සාම්බාරු හොද්ද දිරවන්නෑ.. අදටත් එහෙමයි.. මම රට ඉන්නකමුත් ‍තෝසෙ වඩේ කෑවේ අර සම්බෝලේ එක්ක විතරමයි.. උන් ඒකට කිව්වේ චට්නි කියලා..

    see you again එනකම් බලන් ඉන්නවා…

    • ////මතක් ගොන්නක්.. උඹට මේ හැම එකක්ම නූලටම මතක තියන එකනෙ අපූරු වැඩේ…//////

      මේක එතරම් අමාරු වැඩක් නෙමේ, උඹලා ලියන එව්වා එක්ක බැලුවාම. ආපු පාරේ ආපහු යන්න විතරයි තියෙන්නේ.

      ඔය චට්නි පාට දෙකකින් තිබුනානේ .රතුයි, කොළයි. දෙකම බාගෙට බාගයක් පොල්කුඩු. උඹ ඔය සයිවර් කඩවල කුස්සියට ගිහින් තියෙනවාද? මාරුවෙන්න ගිහින් අහුවුනාම කෙලින්ම ඇදන් යන්නේ කුස්සිය පැත්තට.

    • Buratheno says:

      @සෙන්නා,

      ඇයි බොල, කොකාකෝලා බඩියක් ගැහුවහම ගෝල්ඩ්ලීෆ් එක ගහන්ට සල්ලි කොයින්ද? බොට පයිත්තියන්ද? 😉

      • ඒකනේ බුරා. ඇල් වතුර එකක් ගහලා ශේප්වෙලා දුමට ඉතිරි කරගන්නවා.

        ඉස්සර සයිවර් කඩවල බොන්න වතුර මේසෙට ගෙනත් තියන්නේ නැහැ. අත හෝදන පයිප්පේ ගාවම අර ස්ටේන්ලස් ස්ටීල් කෝප්ප තියලා තියෙනවා. බුරාට මතක ඇති.

  8. එක දිගට නොනැවතී කියවාගෙන ගියා. දිග වැඩි නැහැ. කියවෙන දේවල් සිත් ඇදගන්නාසුලු නිසා මාගලක් වුනාට කමක් නැහැ. ඔබ මේ කියන කාලයේ මම කොළඹ රස්තියාදු ගහන කාලයක් තිබුණා. පිටකෝට්ටේ අපේ ලොකු අක්කලාගේ ගෙදර ඇවිත් දින කීපයක් නැවතී ඉඳලා යන පුරුද්දක් මට තිබුණා. ඒ කාලේදී එයාලගේ ගෙදර තිබුන හම්බර් බයිසිකලෙන් මම ඇතුල් කෝට්ටේ බොරැල්ල ඔස්සේ පිටකොටුවට එනවා. ඇවිත් ඔලුව හැරුණු අතේ යනවා. පාරවල් දන්නේ නැහැ. එක දවසක් ජා ඇලට ගියා මම දන්නේ නැහැ කොහොමද ගියේ කියලා. ආයේ දවසක් ගෑස් පහ හන්දියේදී (ඒ කාලේ ඒ තැන් වලට කියන නම් මම දන්නේ නැහැ) පරණ ට්‍රෑම් කාර් පීලි දෙකක් අතරට බයිසිකලේ පස්ස රෝදේ වැටිලා හිරවුණා. ඒක ගන්න දඟලන අතරේ ටැක්සි කාරයෙක් මට ‘හුප් පද’ උපහාරයක් දුන්නා. (හැබැයි මේ රස්තියාදු ගැහිල්ල නිසා මට කොළඹ අහුමුලු වල යන පාරවල් ගොඩක් දැනගන්න ලැබුණා. හමුදා ජීවිතයේදී එය බොහොම ප්‍රයෝජනවත් වුණා) මම ආසම සිනමාහලක් තමයි එම්පයර් එක. එය ඒ කාලේ බොහොම නිස්කලංක තැනක තිබුන නිසා. අර ගෝනි ගොඩේ කතාව සහ හෝටලෙන් පැන්න කතාවට සමාන සිදුවීම් ගොඩක් මතක්වුණා. එක දවසක් අපි කොල්ලෝ සැට් එක (කෑගල්ලේ ඉගෙන ගන්න කාලේ) මහනුවර ගිහින් ඕඩියන් එකේ පිචෑර්ස් එකකුත් බලලා ටිකට් ගන්න සල්ලි නැති නිසා හොරෙන් ආවා බස් එකේ. හිඟුල හරියේදී බාප්පලා පැන්න. අපි උන්ගේ දෙපරැන්ද අස්සෙන් රිංගලා බස් එකෙන් පැන්නා. උනුත් අතෑරියේ නෑ පස්සෙන් පැන්නුවා. අපි හිඟුල පාලම ළඟින් ඔයාට පැනලා ඔය දිගේ දුවලා බේරුනා. කෑගල්ලට පයින්ම ආවා. ලස්සන වැඩේ කියන්නේ ඒ හරිය අයිති මාවනැල්ල පොලීසියේ ඕ අයි සී ගෙ පුතාත් අපේ සැට් එකේ හිටියා.

    බොහොම ස්තුතියි මේ මතකය අවදි කලාට.

    • ඉස්සර අපි වෙසක් එකට තොරන් බලන්නනම් ඔහොම බයිසිකල් වල කොළඹ යනවා.. ඉබාගාතේ යනවා කොහේ යනවද කියලා කවුරුවත් දන්නෑ..පහුවදා උදේට තමා ආපහු එන්න පාර හොයන්නේ..දන්සැල් වැඳ වැඳ, තොරන් බල බල අරමුණක් නැතුව යන ඒ ගමන ෂෝක්…මේ ආත්මෙදිනම් ආයේ කවදාවත් ඒවා කරන්න ලැබෙන එකක් නෑ…

      • අපිනම් සෙන්නා වෙසක් බලන්න ගියේ පයින්ම තමයි. ඒ අපි කොළඹ අවට හිටිය නිසා වෙන්න ඇති.

    • විචාරක……ගොඩාක් කොළඹ වටේ ගමන් බයිසිකලේ වගේ ගිහින් තියෙන්නේ. ඉස්සර හම්බර්, රෝඩ්මාස්ටර්, රැලේ බයිසිකල් තමයි නේද තිබුනේ.

      මමත් හරිම ආස තැනක් තමයි එම්පයර් එක ගාව. ඒ ගහයට හරි සනීපයි. ඔන්න ඔතනත් අර බත් බෙදන කට්ටිය සෙට් වෙනවා. එම්පයර් එකේ තමයි ගීත් ෆිල්ම් එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පෙන්නුවේ මගේ හිතේ.

      ඔය ටිකට් නැතුව ගිහින් මාවත් අහුවෙලා තියෙනවා. බස් එකේ අවසානය හෝමාගම නම් එතනටම එක්කන් යනවා. ආපහු පයින් එන්න බැහැනේ. පාරේ එහා පැත්තට පැනලා අනිත් බස් එකේ ආපහු හොරෙන් දෙල්කඳට එනවා.

  9. භූමිතෙල් කරත්ත අදටත් ඉදහිට දැකගන්න පුළුවන්..
    කාලයත් එක්ක හැමදේම වෙනස්වුනු අපූරුව….
    ඉතිරි විස්තර ටිකත් ඉක්මනට දාන්න..

    ජය වේවා!!!!

    • විදානේ……මම පත්තරේක දැක්කා කොළඹ තාම එක මනුස්සයෙක් තාම කරත්තේ අරන් යනවා කියලා. එයාත් දෙමළ මනුස්සයෙක්. පියාගේ උරුමෙන් තාම කරගෙන යනවාලු. ඒ වුනාට ගොනාට කන්නදෙන්නවත් අදායමක් නැහැ කියලා තමයි කිව්වේ මගේ හිතේ.

  10. හිරු says:

    ඩික්මන් පාර, කින්රෝස් ක්ලබ් එක, වජිර පාර, ඒ අවට පිහිටා තිබු ඩෝබි මඩුව, ඒ යුගයේ ලොන්ඩරි, වජිරාරාමය වැනි අවට පරිසරය ගැන ලියන්නට ගියොත් ගොඩ ඒමක් නැත. චීන හෝටල් ගැනද ලියන්නට අමතක විය. ටොලරම්ස්, ලක්ෂ්මිස්, බුලියන් එක්ස්චේන්ජ්, බෙයාර්ෆූට්, නවාවි, උණු උණු ගෝදම්බ රොටි කරත්තය, සයිකල් කඩය ගැන ලිව්වේම නැත.//

    ඔන්න ඉතිං අරූ ගුටි කන්න හදන්නෙ… හි හි

    • ගුටි කන්න…..? හිරු දැන් පොලිසියේද නැත්නම් බොදුබලේද?

      ආපහු බම්බලපිටියට එන දවසක ඕවා රිංගවන්න බලන්නම්.

  11. පොඩි කාලෙ දැක්කට භූමිතෙල් කරත්ත මෑතකදි නම් දැකලා නෑ. සමහර පැති වල නම් තාමත් ඇති.

    ඇත්තටම ඔය ජාතිවාදී කළබල කාල වලදි මේ වගේ කොයි ත‍රම් අසරණ අහිංසක දෙමළ මිනිස්සුන්ට මෙහෙදිත් අහිංසක සිංහල මිනිස්සුන්ට එහෙදිත් හිරිහැර වෙන්න ඇත්ද? 😦

    අර විදිහට තෝසෙ කත්දි ඇත්තට පුදුම රහක් නේද තියෙන්නෙ අරූ අයියෙ. 😀

    • ප්‍රියා….ඒකාලේ නම් රහක් ගැන හිතලා කන්නේ නැහැ බන්. ඔහේ රස්තියාදුවටයි, බඩගින්නටයි මිසක්. දැන්නම් මතක් කරන කොටත් රහයි.

      මම 83 බලු ජූලිය ඇස් දෙකෙන් දැක්කා. කොළඹ හිටපු නොම්බර එකේ ද්‍රවිඩ ජාතික ධනපතියන්ගේ මානසික කැළඹීම ඇස් දෙකෙන් දැක්කා. ඒ ඔවුන් තරුපහේ හෝටල්වලට ගාල්වුන නිසා. ඉතින් හිතපන් පාරේ හිටපු සහ සාමන්‍ය පවුල්වල දෙමළ මිනිහාට වෙච්ච දේ. හෙණ ගහන අපරාධ.

  12. ඉතා කදිමට ඔබ අපව අතීතය කරා ගෙන යනවා

    • ගුණේ මහත්තයා බොහොම ස්තුතියි! ඔබේ ලිපිපෙළ තුලින් බොහොම වැදගත් ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරනවා. ඒවා මේ වගේ රස්තියාදු කතා නෙමෙයි 😀

      • රස්තියාදු කතා යයි කිවහැකි කතාත් බ්ලොග් අතර තියනවා. ඒත් ඔබ ලියූ දැ කිසිවක් ඒ ගණයට වැටෙන්නෙ නැහැ. මට මේ වෙලාවෙ සිහිවෙන්නෙ නිකොලොයි ගොගොල් ගැන සිද්ධියක් ඔහු මළ මිනිස්සු යනුවෙන් සිංහලට පරිවර්තනය වුනු ඩෙඩ් සෝල්ස් ලිව්වට ඒ ගැන තෘප්තිමත්ව සිටියේ නැහැලු. ඒ නිසා ලිව්ව දේවල් පුච්චා දමන්නට පෙළඹී තියනවා. ඒක අපට අග්‍රගණ්‍ය කෘතියක් වුනත් ගොගොල් සෑහීමට පත්වෙලා නැහැ. ඔබත් ගොගොල් වගේ ද ?

      • ගුණේ මහත්තයා…..ඔබේ පැහැදිලි කිරීමට මගේ ස්තූතිය!! මම ඔහේ ලියාගෙන යන්නෙක්.

  13. supirikrida says:

    බම්බලපිටිය යනු කොළඹ කරක් ගසන ඕනෑම කෙනෙක්ට ජීවිතය ඉගෙන ගන්න එලූ පාඩම් පොතක්ය.ඒ පාඩම් පොතේ ප්‍රැක්ටිකල් කරන්නට ඕනෑ පරිස්සමෙන්ය.විශේෂයෙන් වැස්සට නොතෙමි රේන් කෝට් එකක් නොදැම්මොත් හෙම්බිරිස්සාව ෂුවර් වගේය.ඒ වගේ අත්දැකීම්ද බම්බලපිටිය ආශ්‍රිතව ඇත.මම ඒ බොහෝ දේ වින්දේ මගේ පළමු රැකියා ස්ථානය වූ මිලාගිරිය ඇවනිව් හි පිහිටි මැණික් කපන ස්ථානයෙන්ය.ට්‍රෂර් ට්‍රේඩින් ලැපිඩරි වූ එහි මා නිෂ්පාදන කළමණාකරු තනතුර වෙනුවෙන් පුහුණුව ලැබීය.ඒත් ටික කාලයකින් මම එයින් ඉවත් වූවෙමි.රජයේ රැකියාවක්ද දා පැමිණි අයුරෙන් මට ඒවා ඔරොත්තු දෙන්නේ නැත.රස්සාව රස්තියාදුවම,මිනිසුන් ඇසුරම විය යුතුය.ඒ නිසා වරප්‍රසාද වලට කරක් ගසා වේදිකාවේ සැරිසරන්නත්,පත්තර පිටු වල සුවද සමග ඔට්ටු වන්නටත් මම තීරණය කළෙමි.ඒ මොන දේ කළත් මම තේරුමක් නැතිව රාත්‍රියේ බම්බලපිටයේ සැරිසැරීම හැකි සෑම විටම කළෙමි.මා ඒ හරහා උගත් ජීවිතය අපූරුය.මේ ලිපියේ සදහන් නොවන තවත් අපූරු තැනකි දැනට එම්ජී නම් වූ කැසිනෝ සමාජ ශාලිව පිහිටි තැන තිබුණු මැලේ රෙස්ටුරන්ට් එක.එහි බයිට් මරුය.හොදටම හුරු වූ තිබුණු නිසා ඇතැම් විටෙක වේටර්වරයෙක්ගෙන් බියර් එකට එකතු වන බයිට් වලට පොඩි වරප්‍රසාදයක්ද ලැබේ.එය ලැබුණු දාට බියර් එක දෙක වෙයි.ඒවා පැෂන් එකට බයිට් කන මහත්තුරුන්ගේ ඉතිරිවා බව මම දැන උනිමි.එක් කාලයක් මැලේ එකට ගොඩ වූයේ බියර් වලින් එහා ගිය සැරක් හොයා ගෙනය.ඒ කාලය ජිවිතයේ ලොකු පශ්චාත්තාපයක් වෙලි තිබූ අවදියකි.
    එවන් දිනෙක මැලේ එක වෙත මා ගොඩ වූයේ මිතුරෙකුත් සමගය.දන්නා කියනා වේටර් වරයෙකුට අපේ ගිණුමේ ස්වභාවය පැවසීය.අපට සරිලන බයිට් එක ලැබිණ.භාගයක් යනු දෙදෙනාගේ මුදලේ ප්‍රමාණය මිස දෙදෙනාගේ ශක්තිය නොවීය.ටික වේලාවකින් මතුරා අපූරු යෝජනාවක් කළේය.
    මචං පී විදිහට පොඩ්ඩක් කතා කරපංකො.මා එයට විරුද්ධ වුවත් මිතුරාගෙ අවිටිල්ල මත කතාව ඇරඹුවෙමු.ඊ ළග නිමේෂයේ හලෝ සනා යනුවෙන් පැමිණි අංකල් කෙනෙක් අපේ මේසයට එක් විය.මිතුරා ඇහැක් ඉගි මැරීය.මම භාගය වැඩි කර ගැනීමට හැකි බව තේරුම් ගතිමි.ගල් රිට්ස් විය.සියළු බිල අංකල් ගෙවා දැමීය.මා අතුරුගිරියට,මිතුරා කිරිබත්ගොඩට සහ අංකල් පිටකෝට්ටෙටය.154 තිදෙනාම නැගිණ.බොරැල්ලෙන් බැස්ස අංකල් සහ මම බස් නැවතුමට එත්ම 168 කි.
    අංකල් 68 නේද යන්නෙ බස් එකක් තියෙනවා.
    මම සාමාන්‍ය අයුරෙන් කතා කළෙමි.ඔහුට උඩ බිම නැති විය.ඔහු මා දිහා හොදින් බලා සිටියි.ඒ සමගම පැමිණි අතුරුගිරිය පසුපස මා අංකල් ගිහිං එන්නම් යැයි කියූ මම හඹා යන්නට විමි.
    අංකල් සිය පමණට වඩා ගෙවන්නට වු බිල ගැන මගේත්,මිතුරාගෙත් අම්මාට පිං දෙන්න ඇතුවාට සැක නැත.

    • //////බම්බලපිටිය යනු කොළඹ කරක් ගසන ඕනෑම කෙනෙක්ට ජීවිතය ඉගෙන ගන්න එලූ පාඩම් පොතක්ය.ඒ පාඩම් පොතේ ප්‍රැක්ටිකල් කරන්නට ඕනෑ පරිස්සමෙන්ය.විශේෂයෙන් වැස්සට නොතෙමි රේන් කෝට් එකක් නොදැම්මොත් හෙම්බිරිස්සාව ෂුවර් වගේය///////
      මේක තමයි ඇත්තම කතාව.

      ඔය මැණික් ජොයින්ට් එක තිබුනේ චයිනිස් ඩ්‍රැගන් එක ගාව නේද? මට ඔය කියන ස්පොට් එක ලාවට මතකයි.

      මචං….මේ කැසිනෝ එකයි, මැලේ රෙස්ටොරන්ට් එකයි ආවේ මම මේ කියන කාලෙට පස්සේ. කැසිනෝ එකට කලින් මැලේ එක ආවා. බීලා ඉවරවෙලා, මැලේ එකෙන් පල්ලෙහාට බැහැගන්නේ බොහොම අමාරුවෙන් ඒ අජූත පඩිපෙල නිසා. මේ මම රස්සාව කරන කාලේ. මම ඒ විස්තරය පස්සේ ලියන්නම්.

      උඹ කියන ජාතියේ අංකල්ලා විතරක් නෙමේ බං සමහර වෙලාවට මහ රෑ, මහ පාන්දර කාර් නවත්තලා ගෙදර යන් කියන සල්ලිකාර ඇන්ටිලාත් හිටියා. අපි හොඳ තරුනයෝ කාලේ. රාත්‍රිය පාරවල්වල තමයි. හෙමින් ලියන්නම්. බම්බලපිටිය, වැල්ලවත්ත, කොල්ලුපිටිය ගැන ලිව්වාට වඩා නොලියවුනු දේ බොහොමයි මචෝ.

      • supirikrida says:

        අනිවාර්යයි මචං!උඹ ඔය කියන කරත්තෙ බුලත්විට වලට පුවක් ගෙනාවෙ අතුරුගිරියෙ වල්ගම යාළුවෙක්.උං කරේ පුවක් බිස්නස්.එතනදි මම ගොඩක් ගැහැණුන්ගෙ ජීවිත ගැන ඉගෙන ගත්තා.ඒ රෙද්ද උස්සන කොට පේන්නෙ උංගෙ අවයවය නෙමෙයි නිරුවත් වෙච්චි සමාජය.කඩේ පිටුපස්සෙ බංකුවෙ ඉදගෙන ගෝල්ඩ්ලීෆ් එක උරන කොට උන් ෂේප එකේ උන්ගෙ ලයිෆ් එක දිග ඇරියා.
        මම උඹෙ කතාව ලියනව කියල හිතන්න එපා මචං!මම ආසයි බම්බලපිටිය ගැන මට වඩා අත්දැකීම් සහ මතක ගොඩක් තියෙන උඔ ඒ ගැන පොතක් කරනවනම්.ඒක පරපූර්ණ වෙයි තවත් මේවයෙන්.
        මම මතක ඇති කාලෙ ඉදල ඔතන ඉන්න ගෑණු කෙනෙක් ඉන්නවා.තවම හැඩයි.හැබැයි දැන්නම් මම එයාව පිටකොටුවෙත් දකිනවා.ඒ දවස්වල ප්‍රේමෙ කියලා ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් සෙට් වෙලා හිටියා.පස්සෙ මම කොළොන්නාවට ආවට පස්සෙ මම රෑට ගහල පස්සෙ සල්ලි දෙන්න මිනිහගෙ ත්‍රීවිල් එකේ එන්න ගත්තා.කාලයක් නොගිහින් ඉදල මම සියත පත්තරය පටන් ගත්තට පස්සෙ පොරව හම්බ වෙන්න මහ රූක හොදට ගහල ගියා.අතේ සත පහක් නැතුව.
        මම එදා මනුස්සය හොයන කොට මේ ගෑනු එක්කෙනා කතා කළා.මහත්තයා ප්‍රේමෙගෙ යාළුවා නේද කියලා.මම ඔව් කිව්වා.මට මතකයි මාර කේස් එකනෙ මහත්තයා ප්‍රේමෙ දැන් මාස දෙකකට ඉස්සර මැරණා.මට මහත්තයා ගැන කියලා තියෙනවා.අපි මිනිහගෙ ගෙදරට ගිහිං කතා කරමු!
        රෑ 1.00 ට විතර ආපු යෝජනාවෙන් මම පට්ට අවුල් වුණා.ඒත් මේ හැඩි දැඩි ගෑනි මාව ත්‍රීවිල් එකට දා ගෙන බෙරැල්ලෙ කාසල් එක ළග වත්තෙ ප්‍රෙමෙගෙ ගෙදරට ගිහිං ඒ මිනිස්සු ඇහැරවලා මාව හදුන්වලා දුන්නා.
        මහත්තයගෙ නම්බර් එකට ගත්තා.
        ඒ ගෑණු කෙනා දුර්වර්ණ පොතක් අරං මගේ අත හැරපු සෙල්ටෙල් නම්බර් එක පෙන්නුවා.නිදි මරගාතෙ නම කිව්ව ගමන් මාව මතක් වෙන්න තරං ප්‍රෙමෙ මම ගැන මොන තරම් දේවල් මේ ගෙදර කියවල ඇද්ද?
        ඊට පස්සෙ බම්බලිපිටයෙ ගෑනු කෙනා පාරට ඇවිත මගෙන් අහනවා දැන් කොහොමද කොළොන්නාවට යන්නෙ කියලා.මම කිව්වා ඔබේසේකරපුරට ගිහිං එතනින් ත්‍රීවිල් එකක් ගන්නවා කියලා(පයින් තමයි ඉතිං අතේ සතේ නැහැනෙ)
        අනේ යන්න මහත්තයො මහත්තය අතේ සල්ලි නෑනේ.ප්‍රෙමෙට පස්සෙ සල්ලි දෙන්න යන්නනෙ ආවෙ.ඔහොම ඉන්න කියල මාව නග්ගගෙන කොළොන්නාවට ආව.හන්දියෙන් බහිද්දි ඉක්මණට බහින්න කිව්ව මේ ගෑනු කෙනා කවුරුවත් දැක්කොත් හොද නැහැ කියලා මාව තල්ලු කරල වගේ ඩ්‍රයිවර්ට කියල පටස් ගාලා කැපුණා.
        මේ මිනිස්සුන්ට මොනවද බං අපි කියන්නෙ.මුන්ද පාදඩයො කියන්නෙ?

      • මට දැන් තේරෙනවා මේ නිශ්මං කියලා. මම උඹ ලියන මේ දේවල්වලට කැමතියි. ඒවා මටත් හුරු නිසා වෙන්න ඇති. ඔය වගේ හැබෑ මිනිසුන් ගැන කතාවෙනවා අඩුයි. වරක් ඇවිද්ද පය ලියන සුදීක ඒ වගේ මිනිසුන් දෙදෙනෙක් ගැන පෝස්ට් දෙකක් දැම්මා.
        මම වල්ගම, කුරුන්ද, පොඩි හන්දිය, හබරකඩ, අතුරුගිරිය, ගොඩගම හොඳින් දන්නවා. පස්සේ ලියන්නම්. කොලොන්නාව ගැනත් පස්සේ ලියන්නම්.

    • sudeeka says:

      එහෙනං එහෙමයි උඹ පී විදියට කතා කරන්න ඉගෙන ගත්තේ.

  14. බම්බලපිටිය ගැන මතකයන් යළියළිත් මෙනෙහි වෙනවා අරූ… සිලෝන් ඉන් ඔමේගා ඉන් ගැනත් ලියැවෙයි නේද, අර අනිත් තැන සයිකල්බසාර් එක ළග උඩ තට්ටුව… එතකොට සෙරමික් බිල්ඩිම තිබුණු තැන හන්දියේ විස්තර….. මට නං ඒවාත් මතක් වුණා මේක කියවන විට.

    • නලීන්……සිලෝන් ඉන් එක ඉස්සර හොඳට කරගෙන ගියා. 80 මැද භාගයේ ඕකට බාර් එකක් ආවා. ඒ බාර් එක මුන් ඕපන් කරා වැඩිවුනා. පොඩ්ඩක් චොර බුවලා බහින්න ගත්තා. ඒ නිසා සිලෝන් ඉන් කාමරවලට එන කට්ටිය අඩුවුනා. ඔමෙගා ඉන් එකනම් කරදරයක් නැති තැනක්. බියර් එකක් ගහන්නත් නිදහස් ප්ලේස් එක. සෙරමික්ස් බිල්ඩිම අවට මම කියන්න ඕන නැහැනේ උඹට.

  15. Sa rasa says:

    Indo Ceylon café එකෙන් තොසේ කෑවෙ නැද්දෝ???

    • හපොයි..ඕකේ මුල් කාලේ ඉඳලම දන්නවා. මම ලිව්වේ නැහැ කොල්ලුපිටියේ හින්දා. ඒත් අපිට ඉස්කෝලේ යන කාලේ ඊට වඩා ගොඩාක් ලාභ තැන් තිබුනා. බඩ පුරවගන්න එකයි, සිගරට් බොන්නයි දෙකක් කර ගන්න බැහැ ලොකු තැන්වලට ගියාම. අපි ඉස්සර අඩු වියදමින් තමයි ඔය ඔක්කොම සෙල්ලම්. ගොන් වයසනේ.

  16. මචං ඒ කාලේ අපි ලාබෙට රසට බඩ පුරවාගන්න ‍තෝසේ කෑවට අද ‍තෝසේ දෙකක් කන එක ලේසි නෑ. ඒකත් සුඛෝපබෝගී භාණ්ඩයක් වෙලා. ඇයි ඉන්ඩෝලංකා කැෆේ? ඔය හරියේ නෙවෙයි වුනත් තවත් හොඳ ‍තෝසේ ස්පොට් එකක් තමයි වානවිලාස්.

    අපිත් කොයි තරම් නම් කඩවල් වලින් හොරා කාලා ඇද්ද!

    >>…අද මැජස්ටික් සිටි නොහොත් යැයි කියනා විශාල භූමියේ…<>…අද මැජස්ටික් සිටි නොහොත් MC යැයි කියනා විශාල භූමියේ…<<
    කියලා හදන්න හිටියට අමතක වුනා නේද?

    අර සිනමාස් වලට Rio, ආර් ටෙන් සෙවන්ටි ම්ම්ම්ම්, Empire. New Olympia එහෙමත් එන්න ඕනෙ.

    ඇල්බට් එදිරිසිංහගේ ව්‍යාපාර ලාංඡනයත් ලොකූ ඇස් කණ්නාඩි දෙකක්. මතකද?

    • ඒකනේ ඩූඩ්…ඉස්සර තෝසේ කඩවලට ගියේ ඉස්කෝලේ කොල්ලෝ, ආදායම් අඩු කට්ටිය, කෝඩේ ගහපු කන්තෝරු සේවකයෝ වගේ අයනේ. මචං මට මෙහෙම හිතෙනවා…. තෝසේ කඩ කල්චර් එක පොෂ් වුනාම ගතියක් නැහැ වගේ නේද කියලා. කොහොම වුනත් මම තාම කැමතියි ඇඹුල් සුවඳ එන පොඩි කඩවල චොර වෙන්න අනාගන්න පුළුවන් තෝසේවලට. වානිවිලාස් කෑම රහයි බන්.

      ///අපිත් කොයි තරම් නම් කඩවල් වලින් හොරා කාලා ඇද්ද!/////
      ඔය කාලේ හොරෙන් කනවා කියන්නේ බඩයි, හිතයි දෙකම පිරෙන වැඩක්. ඒක ටිකක් A feather in your cap වගේ වැඩක් 😀

      MC දාන්න අමතක වෙලා නේන්නම්. දැන් දැම්මා.
      උඹ හරි එම්පයර්, ඔලිම්පියා එකතු වෙන්න ඕන. රියෝ එක තිබුන ඒරියා එක පොඩ්ඩක් අප්සට් නිසා වැඩිය ස්ත්‍රී පක්ෂය ඔතනට යන්න බයවුනා.

  17. පත්තර මල්ලි says:

    ඊයෙ පෙරේද ඕවයි ඕවයි රස්තියාදු ගහපු අපි මොනවද බං කියන්නේ. MC එකට පාරෙන් එහා පැත්තේ තිබුන තෝසෙ කඩේ මගෙ ප්‍රියතම පොට් එකක්.. එත් තෝසෙ කනවනං මට සෙට් ආමර් ස්ට්‍රීට් එකේ වානි විලාස් .. පට්ට !!

    • පත්‍ර බ්‍රදර්…. වානිවිලාස් නියම ස්පොට් එක තමයි. මම ඔය කියලා තියෙන තැන්වල අද සිටුවේශන් එක ගැන පෝස්ට් එකක් ලියපන්. මම තව බොහෝ නගරවල හිටියා. උඹ කියෙව්වානම් මගේ අවුල මුල ඉඳලා…උඹ ලියපන්කෝ ඒ පැතිවල වර්තමාන තත්වය. ඔය මැජස්ටික් හෝල් එක ඉස්සරහා තිබුනේ මැජස්ටික් හෝටලය. ඕකේ උඩ හිටියේ වැඩකරන බුවාලා. අයිනෙන් පඩිපෙල. බොහෝ පස්සේ කාලෙක ඔය පඩිපෙලේ මගේ යාළුවෙක් මාර වැඩක් කරලා නෝන්ඩිවුනා. කවදාහරි හම්බවුනොත් එදාට කියන්නම්.

    • පත්තර මල්ලි says:

      රයිටෝ අරූ අයියා.. මැස්ටික් හෝටලය තමා..ඩබල් පොකට් තියන ෂර්ට් ඇඳපු ඩයල් වේටර්ලට ඉන්නේ.. මං වයිෆ් බෑ කියද්දි ඇදං යනවා බං.. නැති බැරි කාලෙ කන්න හොඳ නං දැං කෑවට හෙන ගහනවද !!!!

      ඔය වානි විලාස් වගෙ කඩ සෙට් එකක්ම ආමස්ට්‍රීට් ෆ්ලැට් එක තියන පේලියේ තියනවා දැනුත් අයියේ. ප්‍රේමදාස ලොක්ක මැරුණ තැන ස්මාරකය ලඟින් පහලට තියන පාරෙත් අලුතෙං නියම පොට් ටිකක් වැටිලා තියනවා. ඒත් වානිවිලාස් එකට නං ගහන්ඩ බෑ ලොකු අයියා.. තව ඔතන ෆ්ලැට් එකෙන් පාරෙන් අනිත් පැත්තේ දෙවෙනි තට්ටුවේ අයිටම් ස්පොට් එකකුත් තියනවා දැං 😀

      • පත්‍ර බ්‍රදර්…..මැජස්ටික් හෝටලය පටන් ගන්න කොටත් මම බම්බලපිටියේ හිටියා. පස්සේ නිව් මැජස්ටික් එකකුත් ආවා. ඩබල් පොකට් ඇඳලාMH කියලා කොළ පාටින් අකුරු දෙකකුත් ගහලා තිබුනා, ඒ කාලෙත්.

  18. maathalan says:

    මම මචෝ මෙමරි අප් ඩේට් කර ගත්තා. මෑත කාලේ ඉන්සුවරන්ස් කොම්පැනියක වැඩ කරන කොට මම ආයෙත් බම්බා හන්දියට ආවා. බෙයාට්ෆුට් එක ඉස්සරහා ටෝකියෝ සිමෙන්ට් බිල්ඩිමට. ඒ කාලේ බම්බා හන්දිය තිබුන හැටි මට හැමදාම මතක් වෙනවා. මැජස්ටික් එකේ සැවෝයි එකෙ තමයි කෙල්ලෝ එක්ක සෝ එකක් බලන්න පුළුවන්. ඕවයේ කෙල්ලෝ ඇතුලට ගන්නවා ටිකට් ඉෂූ කරන්න කලියෙන්. ඒවයේ හිටපු අන්කල් මහත්තුරු කොල්ලන්ගේ මානුෂික අයිතිවාසිකම් උපරිමයෙන්ම රැක්කා ඒ ආකාරයෙන්. සැවෝයි එකට මම අදටත් ආදරය කරන කෑල්ල බලන්න, පනස් පාරකටත් වඩා යන්න ඇති. හැබයි ඒ තියම. කව්ද දන්නවද. සිල්වියා ක්‍රිස්ටල්.

    • The Otherside of Midnight නේද ඔය කියන්නේ…හප්පා තාම අතරිදෙනවා මහාචාර්යතුමා….

      • maathalan says:

        Lady Chatterley’s Lover

      • @ශෙෆා…..ඒ අත රිදෙනවානම්..අනිත් අත. හැබැයි සිල්වියා ක්‍රිස්ට්ල් නිසා එක අතින්ම ගේම ක්ලෝස් කරගන්න පුළුවන් වුනා :

    • Anonymous says:

      ඇයි මාතා හාරි…

      හර්ෂ

      • maheshrathnayaka says:

        චෙෆ්…
        අදර් සයිඩ් ඔෆ් මිඩ් නයිට් පොත කියවල තියෙනව… පිචෑර් එක බලල නෑ නෙව… පොත එහෙම නං පිචර් එක කෝම වෙයිද
        ඇඩෙනව

      • හර්ෂට මතකද Emmanuelle සීරිස් එක? තව ෆිල්ම් එකක් ආවා private lessons කියලා. මේ ඔක්කොම මාතලන්ගේ කෑල්ලගේ.

    • ඔහ්..යේස්..යේස්…සොරිවෙන්න ඕන…නාකිනේ බං දැන්..

      • අප සියල්ල සතුටු කල කල් සුරූපි සිල්වියා ක්‍රිස්ට්ල් අද ජීවතුන් අතර නැහැ. අධික දුම්පානය නිසා උගුරේ පිළිකාවකින් මියගියා.

    • @ මාතා…..උඹත් ඉතින් නොහිටිය තැනක් නැහැනේ නේද? ලියපන්කෝ බන් ඒ ගැන පොඩ්ඩක්. සමහර හෝල්වල කෙල්ලන්ව ඇතුලට ගත්තා තමයි. මට මචෝ සීරියස් පාසැල් ප්‍රේම තිබුනේ නැහැ. මට තිබුනේ වල බහින මාන්දම.

      සැවෝයි එක නියම හෝල් එක. උඩ බාර් එකත් නියමයි. ඒ මදිවාට උන් නියම තෙල් බේරෙන කටවුට්ස් ගැහුවා..ලේඩි චැටර්ලීස්, මාටාහාරි වගේ ෆිල්ම්ස්වලට. උඹේ කෑල්ල අපි උඹලා කීදෙනෙකුගේ කෑල්ල වෙන්න ඇද්ද අප්පා.
      මචං සෙමිපෝන්, සොෆ්ට්කෝර් සෙක්ස් සීරිස් එකක් තිබුනා Emmanuelle කියලා. වීඩියෝස් ආවේ. ඒකේ කොටස් 5-6ක හිටියේ උඹේ කෑල්ල. මම බලලා තියෙනවා.

      මචං මම කොස්ගස් හන්දිය කියලා ලිව්ව පෝස්ට් එකට, දැන් ටිකකට ඉස්සෙල්ලා කමන්ට් එකක් දාලා තියෙනවා කෙනෙක්. උඹ සමහරවිට දන්නවා ඇති.

  19. දමිත් says:

    තොසෙ ,වඩෙ,අල බොනඩ කියනකොට බඩගිනි වෙනව බන්.ඉස්සර අඩු මුදලටත් දැන් ආසවටත් කන්නෙම ඔව.හැබැයි කොලබදි මිසක් ගාල්ලෙදි කන්න තැනක් නැ.එ වගෙම තොසෙ දැන් බත් කනවට වඩා මිලයි.ඉස්සරවගෙ නෙමෙයි.

    • ඒක තමයි අර ඩූඩ් කියලාත් තියෙනවා තෝසේ පොෂ් ෆුඩ් එකක් වෙලා කියලා. අනිත් එක ඇයි දන්නේ නැහැ ඒ දවස්වලත් පිට පලාත්වල තෝස එච්චර රස නැතිවුනේ. ද්‍රවිඩ ජනතාව වැඩිපුර ඒ පලාත්වල නොසිටිය නිසා වෙන්න ඇති. ඒ කාලේ යාපනයේ තෝස කඩ ගැන දන්න අය හෙම ඉන්නවාද දන්නේ නැහැ.

  20. iupasanta says:

    මචෝ, පරක්කුවෙලා එන්නං වැඩි විස්තර කතාවට. බම්බලපිටිය කිව්වම “සාගර ලේන්” එක අමතක කරන්නෙ කොහොමද?

    ඔය ඉස්කෝලෙ ඇඳුම් කිව්වම කොච්චර දේ මතක් වෙනව කියලද?

    මිලාගිරියෙ ඉස්කෝලෙ නංගිලට පන්ති ආවම ලොකුම අවුල වතුර බොන එක. දේවි එකේ උන්ගෙ එක එච්චරම අවුල් නෑ. අනික් මරු කර සිරිමාවොගෙ කර. ඒකත් සෙක්සි කරක් තමා. තව වී කර තීන සෙක්සි ළමෝ පිරුනු ඉස්කෝලයක් තිබ්බ ඔයිට ටිකක් මෙහාට වෙන්න වැල්ලවත්තෙ මගී පාළම යට. ඒකෙ ළමයින්ගෙ තමයි තනය ප්‍රමිති සහතිකයකින් සහතික කරල තිබ්බ එකම ඉස්කෝලෙ ( තනය යණු කුණුහරුපයක් නොවේ Upashantha© http://upashantha.blogspot.com/2010/06/blog-post_25.html )

    මොකද අතන ගහල තිබ්බෙ SLS කියල. ඒ කියන්නෙ සෙන්ට් ලෝරන්ස් ස්කූල් කියන එක කියල කොල්ලො කුපාඩි කමට කිව්වට මම හිතන්නෙ ඒ අර ඇස් ඇල් ඇස් සැටිපිකට් එකම තමා.

    අනික අර අකුරු ගහල තීන ගවුම් කිව්වම බම්බ හෝලි ෆැමිලි එකේ කිරි ඉබ්බියො කොහෙ අමතක කරන්නද බන්? අන්න ඉස්කෝලෙ. බම්බ ස්ටේෂන් එකට වැඩිපුරම බහින්නෙ උන් තමයි.

    තව ගොඩක් දේ තීනව, ඒත් ඉතින් ඔව්ව කියන්න ගිහින් අන්තිමේ අවුල් වෙන්නෙ මංමයි. ඒ නිසා බින්දිය වගේ කට පියාන ඉන්න එක ගුණයි වගේ 😀

    • ඉන්දික……මට ඇත්තටම ලෝරන්ස් කෑලි අමතකවුනා. ඒකාලේ හිටිය කෑලි දැන් ආච්චිලාත් වෙන්න ඇති. SLS එක ගාවත් අපි ගැවසෙනවා දෙහිවල පැත්තට ඇවිදගෙන යන ගමන්. පාරෙන් එහා පැත්තේ පෝස්ට් ඔෆිස් එක. ඔතන නියම බේකරියක් තිබුනා සිල්වලයින්ද මොකක්ද කියලා. SLS සහතිකය දෙන්න වටිනවා ඒකාලේ ලෝරන්ස් කෑලිවලට.
      යුනිෆෝම් කිව්වාම එක එක ජාති තියෙනවා…සම්ප්‍රදායික විශාඛා යුනිෆෝම් එක කොහොමද…බෙල්ලේ පහණක් එල්ලගෙන. උන්ගේ හෙණ වැඩ ඉස්සර. අපි නම් ගණන් ගත්තේ නැහැ. ඔය බම්බා HFC වගේම ඉටිකිරිස්ලා හිටියා දෙහිවල හෝලි ෆැමිලි එකෙත්.
      ඇත්තම නේන්නම් ඉන්දික ඉස්සර SPM කෙල්ලෝ..ඔය මොකක් හරි එකකට ආපුවහාම පයිප්පෙන් වතුර බොන්නේ එක අතින්.

      සාගර රෝඩ් එකේ හිටියා මගේ මිත්‍රයෙක් කුමුදු කියලා. උන්ට පොඩි ගෙස්ට් හවුස් එකක් තිබුනා එහේ. වෙන මුකුත් මම දන්නේ නැහැ 😀

      අපිට බණින්න එපා…මේ පොඩ්ඩක් අතීතය මතක් කරනවා පමණයි.

  21. Ravi says:

    / මේ මල් වර්ග මාතලේ වැනි පළාත්වලින් මෙතැනට සැපයූ බවත් මම අසා ඇත්තෙමි /

    මේ මල් සපයන සමන් පිච්ච වත්ත තියෙන්නෙ මචං අපෙ හාමිනේලගෙ ගෙදරට යන පාරෙ..ඉඳහං මගෙ ඊළඟ පෝස්ට් එකේ ඒ ගැන ලියන්නං

    / සිගරට්,බීඩි,බුලත්විට, සබන්, නිල් පැකට් වැනි එදිනෙදා අවශ්‍යතාවයන් /

    ” රොබින් නිල්….ඔබේ පුතාගේ කමිසය , දුවගේ ගවුම සුදෝ සුදෙන් බබලන්න රොබින් නිල් “….රොබින් කුරුල්ලෙක් හිටිය පැකට් එකේ කවරෙ…පසුබිමෙන් ඉරක් පායනව…නිල් දානකොට චුට්ටක්වත් වැඩි උනොත් කමිස එහෙම අමුතු ගඳක් එනව. නිල් කුඩු වලට දෙහිඇඹුල් දැම්මමත් හරිම සැර ගඳක් එනව…

    • iupasanta says:

      කම්මුල් ගායට ඔය නිල් දේවලින් කළවං කරල ගාල ඉන්නකොට ඔහොමද ආතල් එක?

    • ගිහින් එන්නම් මචං…යන්න ඕන.

    • රවී…..මාතලේ පිච්චමල් වත්ත…මගේ මතකයට තවත් සහතිකයක්. මෙහෙම වෙනකොට හිතට හයියක්. මතකය උරගා බලනවාට ත්‍යාගයක්. රවී ලියපන් බලන්න මාතලේ පිච්චමල් ගැන. බලමු මොකද ඔච්චර සුවඳ කියලා.

      මචං රොබින් නිල් ගැන උඹ කියනදේ හරියටම හරි. තව ආවා මචං දෙමළ නමකිනුත් පැකට් එකක්. රොබින් නිල් බොක්ස් එකත් ආවා. දැන් නම් නිල් දාන්නේ නැතුවම ඇති. ඇත්තටම රවී ඔය නිල්කුඩු කියන්නේ මොනවාද? සුදු ඇඳුම් බැබලුනේ කොහොමද බං නිල් වලින්?

  22. නියමයි.
    //ඒ කාලයේ පාර අතුගාන ද්‍රවිඩ ජාතික වැඩිහිටි කාන්තාවන්, ඔතනින් කාලේ, බාගේ බෝතල් ගෙන කටේ තියාගෙන ඇදලා අරින හැටිත් අමතක නොවේ.//
    මේ සීන් එක මාත් දැකල තියෙනව මෙහෙ බාර් එක ඉස්සරහදි.

    • ඔව් සි.සි……මමත් ඕක කොළඹ අවට සහ අවිස්සාවේල්ලෙදිත් දැකලා තියෙනවා. මටනම් ඕකේ ඇති වැරද්දක් පේන්නේ නැහැ. වීදුරුවකට දාලා වතුර ටිකක් මිශ්‍ර කරලා බීවානම් තමයි හොඳ. මහන්සිවෙන මිනිස්සුනේ අප්පා. ඔය හීනියට කික් එකක් ගන්න එක තමයි දවසේ ඉතිරිය.

  23. ඊයේ දවල් වෙසක් නිසා මොකෙක්වත් නෑ පාරේ…දැන් ඉතින් යුනිෆ්ලෝනේ…මම බම්බා ගියා ඉස්සර වගේම ට්‍රැෆික්ලස්….මචං අර බනානා ලීෆ් එක දැන් බම්බාවල බෙයාර්ෆුට් එකට මෙහායින් අලුතෙන් පටන් අරන්..තාමත් උන්ගෙ ඉස්සොයි කකුලුවොයි මාරයි…අනිත් ඔක්කොම වහලා උන් ඇරලා…

    • බනානා ලීෆ් එකත් මචං පස්සේ කාලෙක තමයි නේද බම්බලපිටියට ආවේ. උන්ගෙ කොන්සෙප්ට් එකත් නගරයට හරිගියා. මට මතකයි මුල්ම බෝඩ් එකත්. රතුයි ,කොළයි.
      උන්ගේ ස්ටාර්ට් එකේ කකුළුවෝ එහෙම මාර සැරයි. පස්සේ උන් හරියට කරගෙන ගියා. තාමත් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. අමතකවෙලා තිබුනේ. උඹයි මතක් කරේ. මෙහේ නැහැ බන් අරාබියේ වගේ හරිහමන් කනතැන් අපිට ඕන සිලෙක්ෂන් නැහැ.

  24. Javi says:

    පට්ටයි බන් ලියල තියන විදිහ. මට ඉස්කොලෙ කාලෙ මතක් වුනා. අදටත් ලන්කාවට ගියාම සරස්වතී ලොජ් එකෙන් කනවා. මම ඉස්කොලෙ ගියේ අසූ හයෙ ඉදන් අනූතුන වෙනකන් (අර මරදානෙ තියන ඉස්කොලෙට ) . ඒ කාලෙයි අඩයි බෑලුවත් පුදුම වෙනසක්නෙ තියෙන්නෙ.

    • ජවි….අදයි දැක්කේ. උඹ අදයි නේද කමෙන්ට් එකක් දැම්මේ. මරදානේ ආනන්දේ ගාව මම වලක් බැස්සා 79-80 කාලේම. ඉගෙනගන්නවාට වඩා රස්තියාදු ගහපු බවක් තමයි පේන්නේ නේද? ඒ පැත්ත ගැන මම ලියන්නම්. ඩොනල්ඩ්ස් ඉස්සරහ තමයි සෙට්වුනේ. ඇට්ලස් හෝල්, එතනම වයින් ස්ටොර්ස් එක මතකද?

  25. බම්බලපිටිය මුල් කරගත් කතා ටික ගොඩ නැගුනේ…… ඔයාගේ ජීවිතෙන් වැඩිපුර ගෙව්වේ බම්බලපිටියේ නිසාද,,,,,? මේක බැලුවම ආපු ගියපු තැන් තමා මතක් වුනේ ආපහු……

    • නිහිංසා…..මේ කොටස් 40 ඇතුලේ මම කී තැනක ඉඳලා තියෙනවාද බලාගෙන ගියාම. වැඩිකල්ම හිටියේ බම්බලපිටියේ නොවුනාට, ඒ නගරයේ විවිධත්වයට මම හරිම ආසයි. ඒක වෙනස්. ඔය දවල් කාලයේ විත්තිනේ. මම තරුනයෙක් වුනාට පස්සේ බම්බලපිටියේ රාත්‍රිය ගැන ලියන්නම්.

  26. Niroshinie says:

    බම්බා කියන්නේ අවුරුදු ගාණක් උදේ හවස ගිය තැන් නේ අප්පා…
    මුලින්ම මම පොඩි කාලේ ඉස්කෝලේ යද්දී වෑන් එකේ නිදන් ඇවිත් බහින්න ලැස්ති වෙන්න පටන් ගන්නේ ලේඛා එක පහු උනාම තමයි…
    අරූ කියපු විදියටම උදේ පාන්දර ඔය හරියේ පිච්ච මල් මාලා දර්ශනයට මම හරිම ආසයි. ඒ ගොල්ලෝ සමහර වෙලාවට පිච්ච මල් පාරේ යන ගෑනු ළමයින්ට දෙනවාත් එක්ක. සමහරු දෙමළ සිංදු කිය කිය පාරේ යන අය දිහා බල බල ඉන්නවා.
    දෙමළ කඩ කහ වතුරින් හෝදනවා ඒ වෙලාවට.
    කාල තියෙන රසම ගී පේපර් දෝසා කාල තියෙන්නේ ඔය සරස්වතී එකෙන්. ගාන මාර අඩු උනාට මාර කොලිටි.

    අවරුදු දහයක් විතර වයසේදී වජිරපාරේ ළමා සාරි ඇඳන් දුවන්න ගිහින් රෙදි කඩන් වැටිලා මහ ජරමර උනාත් මතකයි! 😀 😀

    • ////අවරුදු දහයක් විතර වයසේදී වජිරපාරේ ළමා සාරි ඇඳන් දුවන්න ගිහින් රෙදි කඩන් වැටිලා මහ ජරමර උනාත් මතකයි! 😀 :D////
      නිරෝත් ෂුවර් එකටම විශාකා වෙන්න ඕන. විශාකා කෙල්ලෝ හරි පන්ඩිතයි නේද 😀
      ලේඛා ස්ටුඩියෝ එක ඉස්සරහ අරලිය ගහක් තිබුනා මතකද…ඊට එහා පැත්තේ ඒ දවස්වල පොඩි සමූපකාරයක් තිබුනා. ඔය ෆ්ලැට් එක ගාව තාප්පේ අපි වාඩිවෙලා ඉන්නවා. ෆ්ලැට්ස්වල හරි ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ වගේම කළාකාරයෝ පදිංචිවෙලා හිටියා.
      මට ඔය පිච්චමල් කඩ ටික ඒවාගේ තිබුනු බඩු මුට්ටු චිත්‍රයක් වගේ මැවිලා පේනවා. පිච්චමල්, කෙහෙල්පට්ට, කහවතුර ඉහින පිත්තල සෙම්බු, බුලත්,පොල්, හඳුන්කූරු, කපුරු. සාරී ඇඳලා නළලේ අළු ගාපු දෙමළ ආච්චිලා, හීනියට ඇහෙන සංගීතය. මට චිත්‍ර අඳින්න බැහැනේ අපරාදේ. මට අමතක කරන්න බැරි තැනක් තමයි ඔය හරිය.

  27. Anonymous says:

    මාගලක් වෙයි කියල හිතල නොලියපු ටිකත් ලියන්න අරූ අයියේ. ඔයා කියන මේ කිසි තැනක ජීවමාන මතකයන් නම් මට නැහැ. ඒත් මේ විදියට කියවල ඒ අතීතෙට හිත අරන් යන්න ආස හිතෙනවා. ඔය කීව භූමිතෙල් කරත්ත ගැනනම් හොඳ මතකයක් තියෙනවා. දැනටත් අපි කතාවට කියන්නෙ හිටපු ගමන්. ඌ එනකොට හෙට වෙයි බං භූමිතෙල් බෙදබෙද කියලනේ. ඔයා කිව්ව සයිවර් කඩ ගැන කියවනකොටනම් බදුල්ලෙ ගෙවපු සුන්දර වසර කීපය මතක් උනා. පහල වීදියේ සයිවර් කඩටික. මේ සුන්දරත්වය අද නෑ. රට කොච්චර වෙනස් වෙලාද.

    • අහා..! නමෙන් එන්න බැරිවෙලානෙ. පොඩි අතපසු වීමක්. වැරදිලාවත් ඇනෝ එන්න කැමති නෑ මම.

      • ලෝකය කියන්නෙත් ජීවිතය කියන්නෙත් කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්නේ මනෝෂ්. මටත් මේ දේවල් නොඅඩුවම ලියන්න හිතෙන්නේ මේ ඒකාකාරි ජීවන රටාව නිසාම වෙන්න ඇති. මම ඒ කාලයේ ගිලිලා කිමිදිලා ලියන නිසා වෙන්න ඇති ඔක්කොම දේවල් ලියාගන්න බැරිවෙන්නේ. ලැබෙන කාලය අනුව කතාව ගලාගෙන යන අස්සේ ඔන්න ඕහේ දෙයක් ලියවෙයි.

        බදුල්ලේ ජන ජීවිතය මට එච්චර හුරු නැහැ. මම ගිහින් තියෙනවා මිසක නැවතිලා ඉඳලා නැහැ. එදා එහේ තිබුන සුන්දර මිනිස් සබඳකම් (ජාතීන් අතර )තාමත් ඒ සුන්දරත්වයෙන්ම තියෙනවාද?

      • බොහෝ දුරට තාමත් තියෙනවා අරූ අයියෙ. සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැමෝම එකම ගමේ එකට ජීවිතේ බෙදාගෙන සහයෝගෙන් ජීවත්වෙනවා.

      • එහෙම වෙනතාක් දුරට අපි වෙයි. නැති වුනොත් අබ සරණයි.

  28. DPK says:

    “මතකදේ පවා නොලියා සිටින්නේ මාගලක් වෙනු දැකීමට අකැමති නිසා යැයි සඳහන් කරමි. ”
    එහෙම ගැටලුවක් නෑ. බොහොම ආසාවෙන් කියවන්නේ. විස්තර මග අරින්න එපා. ඔක්කොම ලියන්න.

    මමත් පොඩි කාලේ ඔය පැත්තේ, කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ පදින්චි වෙලා හිටියා.

    • DPK…..මමත් කොල්ලුපිටියෙ වසර එකහමාරක් විතර හිටියා. මම කොල්ලුපිටිය ගැන ලිපිදෙකක් විතර ලිව්වා මේ බ්ලොග් එකේ. කියවලා බලන්න. ඔයා දන්න තැන් ඇති. මුහන්දිරම් රෝඩ් එකේ රෝයල් ගිය කොල්ලෝ ගොඩාක් හිටියා. කොල්ලුපිටිය යුනයිටඩ් ගහපු අනුර, ලලිත් චන්ද්‍රරත්න එහෙම මාත් එක්ක එක පංතිවල හිටියේ. තව ගොඩක් අය හිටියා.

  29. DPK says:

    කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාව පිටුපස පල්ලිය හරියේ ඉස්සර දර මඩුවක් තිබුනා. පලපු දර අත් කරත්තෙක දාගෙන ඉස්සර ගෙවල් වලට එනවා, ලිපට දර විකුනන්න.

    • ඔය දරමඩුවත් මට හොඳට මතකයි. ඔතන ඉස්සර පොඩි මඩ වගුරක් වගේ තිබුනා. එතැන පාර අයිනේ පොඩි කඩයක්, අච්චාරු කරත්තයක් තිබුනා. දැන් මේවා උඩු යටිකුරු වෙලා ඇති. හොඳයි කියන්නද නරකයි කියන්නද හිතාගන්න බැහැ. වාළුකාරාම පන්සලට දර බෙදුවෙත් ඔය මඩුවෙන්. අපි ගිහින් කියන්න ඕන හොන්ඩරයද භාගේද ඕන කියලා. දර කිරන තරාදිය. හොන්ඩරේ පඩිය එහෙම මතකද?

      • iupasanta says:

        ගල් පල්ලියෙ දර මඩුව.!! මචන්, ඔය දර මඩුව තාම තීනවලු. මම දන්නෙත් මේ ලඟදි කෙනෙක් බුකියෙ ෆොටෝග්‍රැෆි පේජ් එහෙක ඕකෙ ෆොටෝ එකක් දාල තිබ්බ නිසා. ඔතනම ඔය ගල් පල්ලියට ටිකක් කලින් වට රවුම ගාව මාර රහ බත් කඩයක් තීනව, මතකද?

      • ඔය හරියේ මාතර කඩේද මොකක්ද කියලා තිබුනා මතකයි. දර මඩුවේ ෆොටෝ එක පුළුවන්නම් හොයලා දාපන්කෝ. මම ෆේස්බුක් නැහැ.

      • ඒ කඩේනම් පිරිත් පැනුත් තිබුනා ඉස්සර.

  30. DPK says:

    අහා ඇයි ක්‍රිස්මස් කැරොල්. මේවා අපි දන්න සාමාන්‍ය කැරොල් නෙමෙයි. ගතමන්ට් එකක් හොයාගන්න බලන රස්තියාදු ගහන කොල්ලෝ සෙට් පපර බෑන්ඩ් එකක් හොයාගෙන Transgenderවගේ ඇදගෙන මහ රෑ 12ට, 1ට වතු වලට ඇවිල්ලා නටලා ආධාර එකතු කරන් යනවා. අපි පොඩි කාලේ මහ රෑ නැගිටගෙන එනවා ඕවා බලන්න.

    • ඕක ඉස්සර කොළඹ නගර ආසන්නයේ වුනා. ගල් පල්ලිය ගාව, කොල්ලුපිටිය ෆ්ලැට් එකේ, වාළුකාරාම පාරේ මම දැකලා තියෙනවා. ගොඩක් රෑවෙලා එන්නේ. හරි විනෝදයි. ඒක බොහොම සරල, සුන්දර කාලයක්.

  31. යොදාගත් වැඩ නවත්වා මේක කියවන්නට තකහනියක් ආවෙමි . වැඩ ටික අවුල් වන්නට පෙර ආපසු යමි. ඒ ගියත් බම්බලපිටිය ගැනම කල්පනා වේ . ශුර රචකයෝ කියන්නේ හරි කරදරකාරයෝය. D

    • තිලකේ…..මේ ඔක්කොම කරන්න වෙන්නේ අවුල් වෙන්නට පෙරනේ. වැඩ අවුල් වුනොත් අනිත් ඔක්කොම අවුල් 😀
      නිදහසේ කියවපන්….අපි ඔක්කොම ගමනේ යා මිනිස්සුනේ බන්.

  32. maheshrathnayaka says:

    කව්ද කීවෙ මාගල් වෙනව කියල මේ වගේ කතාවකට මාගලක් කියනව නං ආයෙ මාගලක් කියල කියන්න එකක් නැති වෙයි…
    කව්රුවත් ඕම හිතන්නෙ නෑ මොකද අපි වගේ හුගක් අය ඒ කාලෙ සිද්ද වෙච්ච ඕ වගේ දේවල් දැනගන්නෙ ඔයාගෙ කතා වලිං නෙව…
    හලන්න නැතිව හිමීට ලියමු…
    ජයවේවා

    • මහේෂ….උඹ කැමතියි නේද පරණ දේවල් කියවන්න. මම තවත් පැත්තකට හැරෙන්නම් ඊළඟ පෝස්ට් එකෙන්. ඔය මම ගිය පාරවල් මහේෂ්. බලපන් මම තාම ඉස්කෝලෙන් අස්වෙලාවත් නැහැ. ඒත් මගේ ජීවිතේ ඇවිදලා තියෙන තරම්. ඒකනේ අර රවී කියන්නේ මට ඒ කාලේ මොකාගෙද අපලේ බලපාලා තියෙන්නේ කියලා. මම නොලියපු තැන් දෙක තුනක් බම්බලපිටිය ගැන ඔය අස්සේම ලියන්න බලන්නම්/

  33. Kandyan says:

    අරු, මැජස්ටික් එක ගැන කියනකොට අතීතෙට ගියා. මල් කඩන කාලේ මැජස්ටිකෙ එකේ 10.30 ෆිල්ම් එකක් බලලා මූද අයිනෙ ගලක් උඩ තැපලා ග්‍රීන්ලන්ඩ් එකෙන් තෝසෙ පාරක් දාලා දිරාමාර් වෙනවා.
    මේ දවස්වල හැමිල්ටන් ඇල ලඟ ‘පොට්’ එකක වැඩ ..ජූනි අන්තිම වෙනකං.

    • කැන්ඩියන්…….මැජස්ටික් එක,බීච් එක,ග්‍රීන්ලන් එක එකිනෙකට සම්බන්ද තැන්. මල් කාලේ මල් වත්තක් වගේ. ඇල ගාවම සෙන්ට් පීටර්ස් එක අයිනේ මිල්ක් බෝඩ් එකක් තිබුනා. පාරෙන් එහා පැත්තේ කැනල් විව් කියලා තේ කඩයක් තිබ්බා. ඔතන තමයි සෙන්ට් පීටර්ස් කොල්ලෝ සෙට් වෙන්නේ.

  34. සිරා says:

    මේ කථා කියවද්දි හැමදාමත් මැවෙන්නෙ චිත්ත රූප…ඇයි බොලං පරණ පින්තූරයක් දෙකක් මේක අස්සට ඔබලා අපිට චිත්ත රූපයක් මවාගන්න තව සපෝට් එකක් නොදෙන්නෙ…ඒ කාලෙ බොලාගෙ පාසලේ කොල්ලො වැඩිපුරම කැමති වුනේ මොන පාසලේ කෙල්ලන්ටද ?

    • iupasanta says:

      මුන්ගෙ පාසලේ උන් කෙළ හලන්නෙම කාන්තා විද්‍යාලෙට (LC ) තමා ඉතින්.

    • @සිරා…..මට ඔය ෆොටෝ දාන වැඩේ තාම තේරෙන්නේ නැහැ බන්. ඉස්සරහට බලන්නම්. ඉන්දික කිව්වා වගේ අපේ එවුන්ගේ ෆේවරිට් ලේඩිස් කොලෙජ් තමයි.

      • පින්තුර ඕන නෑ මෙහෙම නියමයි ,මැවෙන පින්තුර කොච්චර ලස්සනද ???

  35. සයිවර් කඩය සැම විටම විවෘතය/// මේ ගැන තව පොඩ්ඩක් ලියන්න තිබුණා ,මොනවා උනත් මෙක කියවන්න කලින් හොදට කලා කියවන්න පටන් ගන්න ඕන ,මාර රසයි ….අපිත් ඉස්කොලේ යන කාලේ කඩවල්ට කෙල හලා ගත්ත ගමන් තමා ,මැවිලා පෙනවා හ්ම්ම්ම්ම්ම්

    • ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා සහෝ. වෙලාව තමයි ප්‍රශ්නේ. බම්බලපිටිය, වැල්ලවත්ත ඉතින් සයිවර් කඩ විමානයක්. කීයක් කියලා තිබුනාද.

  36. අරූයියේ,උඹේ මතකයනම් පුදුම මතකයක් තමයි.උපන්දා ඉදන් ඉන්න ගල්කිස්ස ගැනවත් මට මෙහෙම ලියන්න බැහැ බං.මේකේ සැහෙන විස්තරයක් තිබුණත් බම්බලපිටිය ගැන සෑහෙන කොටසක් ලියලා නැහැ කියලාත් හිතෙනවා.
    සෙන්ට් පීටර්ස්කාරයෝ තාමත් හිතං ඉන්නේ බම්බා උන්ගේ අයිතියක් කියලානේද..?

    • ඒක තමයි. බම්බලපිටිය ගැන පොතක් ලියන්න කාරණා තියෙනවා. දැන් ඉතින් වෙන දෙයක් ලියන්න ඕන. මම ගල්කිස්සේ වැඩ කරපු නිසා ඒ ගැන පස්සේ ලියන්නම්.

  37. sasha says:

    හී..ඇස් පී ඇම් යුනිෆෝම් එකට නම් කොල්ලො නොකියන දෙයක් නෑ අදත්.වජිර පාර ගැන ලියන ලෙස මමද ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

    සිරා කියනා ලෙසට ඒ කාලෙ පින්තූරයක් දෙකක් අඩුගානෙ ගූගල් දෙයියන්ගෙන්වත් ඉල්ලගන්න බැරි වෙයිද?

    • චාන්දනි සෙනෙවිරත්නත් මගේ හිතේ. සාෂා වජිර පාර ගැන ලියන්න කියන්නේ විශාඛාවියක්ද? ෆොටෝස්නම් ගූගල් එකේ ඇති. ඒත් මම ඕවා දාන්න දන්නේ නැහැ.

  38. //””රූමත් සහෝදරියන් දෙතුන් දෙනෙක්ද මිගාරගේ පවුලේ වූහ. අප ඒ පිළිබඳ කිසිවිටෙකත් ව්මසිලිමත් නොවීය”//

    මුළු කතාවත් හරි ඒ කෑල්ලත් හරි ,අනේ අනේ මොකට කියනවද

  39. ඇති යාන්තම් කොටස් හතරම කියවල ඉවරයක් කරගත්තා….සාමාන්‍යයෙන් මං හතර පස් වතාවකට කියවන පෝස්ට් එකයි කමෙන්ට් තොගයයි එක පාරම කියවන්න උනාම පිස්සු වගේ…. 😀

    බම්බලපිටිය,කොල්ලුපිටිය,වැල්ලවත්ත,තුම්මුල්ල ගැන දන්නවා උනාට ඒවා බොහොම මෑත මතකයන්….අවුරුදු පහක් ඇතුලත ඒවා….මේ තැන් වලින් මං ගොඩක්ම කැමති තැනක් තමයි ක්වීන්ස් රෝඩ් එකේ තියෙන තාප්ප කෝවිල….ඒකෙ ඇති දෙයකුත් නැති නිසාමද මන්ද හරි අමුත්තක් දැනෙනව….

    • රැජිණ පාර තාප්ප කෝවිල මට යාන්තම් මතකයි. ඕක අපේ දේශකයාත් කිව්වා තමයි. හරියටම පික්චර් එක එන්නේ නැහැ මතකයට. අයාල් කලම්බු කැම්පස් වෙන්න ඇති ඔය පැත්ත ගැන දන්නේ.

      ඇත්ත තමයි අයාල්…මේ පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි කියවනකොට කාලයක් යනවා තමයි.

      • Clement Peris says:

        Aru, Ayal,
        I am pretty sure that this kovil is the home of former TULF leader Kumar Ponnambalam. If you could remember the name of his house is Geetanjali!!
        Of course there is a small kovil of god Ganesh. There is a small bell hanging there.
        Clement P.

      • @ Clem මම දැන් දන්නවා මේ කියන තැන. ගීතාංජලි තමයි නම. තවත් ගීතාංජලි කියලා කියලා ලොකු ගෙයක් තිබුනා කොල්ලුපිටිය පැත්තෙම. ඒ තමයි දේවාර් සුර්යසේනගේ නිවස. ඒ ගෙදර විශාල තාප්පයේ ඔය නම ගහලා තිබුනා. ඔහු ගැන කියවිය හැකිනම් වටිනවා. ලියන්න ගියොත් දිග වෙනවා.

        ක්ලෙමන්ට්…මම පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. පොන්නම්බලම් එකේ නෙමෙයි එකේ නායකයා. 2000 යුගයේ ඔහුව ඝාතනය කලා. ඔහු නඩුවලට පෙනී හිටිනවා මම දැකලා තියෙනවා. මම ඉස්සර ගංගොඩවිල උසාවියේ නඩු අහනවා බලාගෙන ඉන්නව බංකුවක වාඩිවෙලා.

      • Kumar Ponnambalam……Leader of ACTC…not TULF.

      • Niroshini says:

        කැම්පස් ඉඳන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලෙට ඒ දවස් වල මම ඇවිදන් යනවා…ඔය කියන පුංචි කෝවිල වගේ එක මටත් මතකයි… 🙂

  40. Anonymous says:

    හැබෑ නේන්නං Emmanuel කියල සීරිස් එකක් තිබුණනේ.
    තව හිටියා මතකද Bo Derek, Rachel Welch එහෙම.
    අපි හිටිය දිහාවෙ සිංහල ෆිල්ම්ස් ගැලවුණු වෙලාවට දවසකට හෝ දෙකකට ඉන්ග්ලිෂ් එකක් එනවා. අම්මට යාප්පු වෙලා 2.25 ක් ඉල්ලගෙන සිංහල ඒවා නැතත් ඒවා නම් අතනෑර බලනවා. ඉංග්‍රිසි මෙලෝ මළදානයක් දන්නෙත් නැහැ. නමුත් ටෙලිවිෂන් නොතිබුනු ඒ කාලෙ මේ දූපතෙන් එහා යමක් දැකගන්නට ලැබුනෙ ඒවයින් තමා. අපි නොදකින පරිසරය, ජීවන රටාවන්, street scenes (සමහරවිට ඇත්ත නොවුණත් exitic නෙ). අදටත් මට තියෙන wonderlust එක ඇතිවුනේ ඕවැයින් තමා.
    මේ අවුල පුදුමාකාර ලිපි පෙලක් මතකය උගුළුවා ගන්නවා…….
    හර්ෂ

    • Anonymous says:

      පොඩි වැරදීමක් exotic

      • හර්ෂ කියන දෙන්නාම ඉස්සර සෙක්ස් සිම්බල්ස්. බෝ ඩෙරික් ආවා “10” කියලා ෆිල්ම් එකක. මාත් ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න පුරුදුවුනේ රස්සාවල් කරන කාලේ.ඇත්තටම ලෝකය සහ ඒ වටපිටාවල් දැක්කේ ඕවායින්. සුද්දෝ, සීතලේ කෝට් ඇඳගෙන පාරවල් දිගේ යනවා. සීතලට කටෙන් දුම් පිටවෙනවා. මැජික් වගේ ඒ කාලේ.

        නුගේගොඩ ඉස්සර තිබුනා ලැවීනියා කියලා හෝල් එකක්. ඒකට ආවෙම ඉංග්‍රීසි ෆිල්ම්ස්.

  41. sudeeka says:

    මේක කියවනකොට, හිතට එක පාරට අදහස් ගොන්නක් ගලාගෙන එනවා. මම උසස් පෙළ ඉවර වුණු ගමන් බම්බලපිටියේ බැහැලා ටොරින්ටන්ට් යනවා NIBM යන්න. එතකොට අර Elasto බෝඩ් එක පහු කරපු ගමන් තියෙන හෝටල් දෙකන් තමයි කන්නේ. එතන ප්‍රයිවෙට් බස් යන්න වගේ තටම-තටම ඉන්න එකට තමයි මල. අර මැජෙස්ටික් හෝටලේ තියෙන ලයිම් ජූස් එකත් මාර රහයි. මම ගිය කාලේ තමයි මැජෙස්ටික් හෝල් එක ගලවලා මැජෙස්ටික් සිටි එක හැදුවේ. මෙතරම් බම්බා ජනප්‍රිය වෙන්න හේතුව කොල්ලෝ රස්තියාදු ගැහුවත් ඒ පළාතේ එවුන්ගෙන් කරදර නැති එක වෙන්න ඕනේ. පොකට් කාරයෝ මංකොල්ල කාරයෝ, තගාලා එහෙම අඩුයි නේද?

    • සුදීක…..වැඩ අධික නිසා තමයි ටිකක් පරක්කු වුනේ උත්තරයක් දාන්න.
      ඇත්තටම බම්බලපිටිය කරදර අඩු පලාතක් ඒ දවස්වල. ඒකට හේතුව වෙන්න ඇති බම්බලපිටියේම මිනිසුන් හන්දියේ නිතර ගැවසීම සහ ඔවුන්ගේම ප්‍රජාවේ තිබු එකමුතුව වෙන්න ඇති. අනිත් එක ඒ බොහෝමයක් අය මුදල් හදල් තිබූ සහ යම් උගත් බුද්ධිමත් මෙන්ම කලාකාමී මිනිසුන් වීම විය යුතුයි.

      මැජස්ටික් හෝටලයත් පස්සේ කාලෙක අපේ ගැවසුම් පොළක්. ඔය ලයිම් ජූස් එක බොන්නම අපි ඔතනට යනවා…රෑට බීල බීලා උදේට ෆ්‍රෙශ් වෙන්නේ ඕකෙන්.
      ඉලාස්ටෝ එක ඕගොල්ලන්ගේ පලාතේ කම්පැනියක්. තාම තියෙනවාද? ඒ වගේම බෝඩ් එකක් අ’පුරේත් තිබුනා කියා චන්දන (සඳුන් සෙවන )ලියා තිබුනා.

  42. අරුණ අයියේ මටත් අන්තිමට පැටලුනේ අර “සෙමින් **** *****” එකක්මය, හැබැයි උන්දැ නම් කිව්වේ රෝයල් කොල්ලන්ට වඩා ආනන්දේ උන් හොඳ බවය … 😀

    මැලේ රෙස්රෝරන්ට් එකේ පඩි පෙළ ගැන මට අදත් ඇත්තේ මහා තරහකි … ඒ කොච්චර බිව්වත් පඩි පෙළ බහිනකොට බාගෙට වෙරි හිඳෙන නිසා 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s