අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

මම පාසැලෙන් ඉවත්වූයේ උසස් පෙළ විභාගය පෙනි පෙනී යැයි කීවොත් නිවැරදිය. රැකියාවක් සොයා ගැනීමට තිබු උනන්දුවත්, පාසැල් යෑම හුදෙක් පාසැල යාමක් මිස ඉගෙනුම සඳහා යන ගමනක් නොවීමත් නිසා එම තීරණයට එළඹෙන්නට ඇත. මට පාසැල් ගමන එපාවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේත් ස්ථිරවම එක් තැනක නැවතී සිටින්නට නොහැකිවීමත් නිසා විය හැක. හයවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා කාලය තුළ නවාතැන් පොළවල් දහයකට මාරුවීම එසේ මෙසේ පීඩනයක්ද නොවේ. ඔබ අළුත් අළුත් පරිසරයන්ට ,වාතාවරණයන්ට හුරුවිය යුතුය. ඒ සියල්ලක්ම ඔබගේ ජීවිතයට නැවුම් අත්දැකීම් එකතුකළත්, ඒ වයසට දෙමව්පියන්ගෙන් ඈත්වී එම තත්වයන්ට මුහුණ දීමට පහසු නැත. කෙසේ වෙතත් මේවා නිදහසට කරුණු නොවේ. මීට වඩා කටුක අත්දැකීම් තුළින් සාර්ථකව පාසැල් අධ්‍යාපනය නිම කෙරුවෝද බොහෝය. නමුත් මා රැකියාවක් කිරීමට යෑම නිසා අප පවුලේ බාල සාමාජිකයින්ට නම් යම් තාක් දුරට හෝ සාර්ථක අධ්‍යාපනයක් ලබන්නට විශාල උපකාරයක් විය. මම මිතුරන්ටද නොදන්වා, පාසලටද නොදන්වා රැකියාව තෝර ගත්තෙමි.
“බාහිරින් අප ලබාගන්නා දැනුම් සම්භාරය වැඩිවන්නට, වැඩිවන්නට ඒ හා සමානව සිතට මදි බවද දැනෙන්නට පටන් ගනී. පිරුණු සිතක් ලැබෙන්නේ නැත. මේ සියල්ල සිතින් බැහැර කර සිත හිස් කරද්දි සිත පිරුණු බව දැනේ. පිරුණු සිතක කිසිවක් නැත.” (අසම්මත විචාරය..ජයතිස්ස කුමාරගේ)

මේ වනවිට අප පවුලේ වාසස්ථානයද සාමාජිකයින්ගේ වැඩකටයුතුද යම් යම් වෙනස්වීම් වලට භාජනය වෙමින් පැවතුණි. සියල්ලෝම හංවැල්ලට සමු දී නැවත අපේ උපන් ගමවූ දෙල්කඳ ඉරිදාපොළ ඉදිරිපසම තිබු ලොකුඅම්මාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණි. බොහෝ පැරණි නිවසක්වූ මෙහි එක් පසකින්වූ කාමරයේ, ලොකු අම්මාත්, දියණියත් නැවතුණු අතර, ඇල්පින් බාප්පා පැමිණියේ සතියකට හෝ දෙකකට වරකි. අම්මාත්, තාත්තාත්, ආච්චීත්, අන් අයත් අනිත් කුඩා කොටසේ පදිංචිවූහ. මෙසේ දෙල්කඳට නැවත පැමිණීමට තීරණය කර තිබුණේ අම්මා සහ ආච්චීගේ මූලිකත්වයෙනි. තව දුරටත් හංවැල්ලේ සිට දරුවන්ගේ අධ්‍යාපනය අයාලේ යෑමට ඉඩ නොදීමට ඔවුන් සිතුවා විය හැක. එයට හේතුවන්නට ඇත්තේ ලොකු මල්ලි ඉගෙනීම අතහැර දැමීමත්, ලොකු නංගීද අධ්‍යාපනයට වඩා ගෙදර වැඩවලට දැක්වූ උනන්දුව නිසාත් විය හැකිය. මමත් හිතුමතේටම පාසැලින් ඉවත්වී රැකියාවකට උනන්දුවක් දක්වනවා යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සියල්ල සිදුවන්නේ හොඳට යැයි මම අදත් තරයේ විශ්වාස කරන්නෙමි. එන දෙයකට මුහුණ දෙනවා හැර අප කිසිවෙකුටවත් ඉන් පලා යා නොහැක.

තාත්තා අවිස්සාවේල්ලේ සිට රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට මාරුවීමක් සාදාගෙන තිබුණි. රක්ෂණ සංස්ථාවේ කොටුවේ පිහිටි ප්‍රධාන කාර්යාලය, කොම්පඤ්ඤවීදිය වීදියේ අලුතෙන් ඉදිකෙරූ ‘රක්ෂණ මන්දිරයට’ රැගෙන ආවේ ඔය යුගයේය. එකල හැටියට එය විශාල ගොඩනැගිල්ලක් විය. ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළඳ ඇමති ලෙස සේවය කල යුගයේ සිදුවූ මෙහෙවරක් යැයි සිතමි. රක්ෂණ සංස්ථාව ඒ යුගයේ විශාල පිබිදීමක් ඇතිවූ යුගයක් යැයි තාත්තා කියනවා අසා තිබේ. නමුත් ඉන්පසු තවත් රක්ෂණ සමාගම් බිහිවෙන්නටද පටන් ගනී. රක්ෂණයේ පුරෝගාමියා සහ සක්‍රීය දායකයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නම්වූ ඒ යෝධ ආයතනය විය. අද එම ආයතනය කොතරම් දුරට මා කියූ සක්‍රීය දායකත්වය සපයනවා දැයි කියා මම නොදනිමි.

පවුලේ හතරවැනියාවූ මල්ලි පන්නිපිටියේ ධර්මපාල විදුහලටත්, ඊළඟ නංගි සහ මල්ලි ගංගොඩවිල ඩී.එස්.ජයසිංහ විදුහලටත් ඇතුළත් කෙරිණි. මේ විදුහල ගංගොඩවිල වනාත පාරේ පිහිටා තිබු ගමේ කුඩා කනිටු පාසලය. පසු කාලයක නංගී ශිෂ්‍යත්වය සමත්වී නුගේගොඩ අනුලා විදුහලටත්, එම පාසලේම ශිල්ප හැදෑරූ පුංචිම මල්ලී, මගේ පළමු පාසලවූ ශාන්ත ජෝන් විදුහලටත් ඇතුළත් විය. සුළු මානසික ආබාධයකින් පෙළුණු මද්දුම නැගණිය නැවත පාසැල් ගියේම නැත. නිවසට එහා වැටේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ උදවිය හා ඇය බොහෝ හිතවත්ව ළමා කාලය ගත කළාය. ගෙදර දොරේ වැඩ කටයුතු ගැනත් ඇයට සාමාන්‍ය දැනුමක් ඇය සතුය. මා නැවතී සිටි පොරෝලිස් මාමාගේ ගෙදර දියණියන්ගේ ඇවටීල නිසා ,එවකටත් පාසැල් ගමන අතහැර තිබූ ලොකු නංගීද ගල්කිස්සේ නැවතීමට පැමිණියාය. එහි පැමිණීම නිසාම, ඒ අක්කලාගේ මග පෙන්වීම මත කේක්,ස්වීට්ස්, ඕනෑම කෑමක්, මැහුම් ගෙතුම්, මැක්‍රමේ, මල් සෑදීම වැනි බොහෝ දේ ගැන ලොකු හුරුවක් ලැබීය. ලොකු නංගි ඉතා කඩිසර යුවතියක් වන්නට ඇත්තේ ගල්කිස්සේ අක්කලාට පින්සිදු වන්නටය. ලොකු මල්ලි දෙල්කඳ අවටම තාත්තාගේ මිතුරෙකු ළඟ වෙල්ඩින් වැඩ කටයුතු පිළිබඳ අත් උදව් කරුවෙකු ලෙස සුළු වැටුපකුත්, ආධුනිකයෙකු ලෙස දැනුමකුත් ලබා ගත්තේය. ආච්චී පෙර ලෙසම අපත් සමගය. ලොකුඅම්මාටද දියණියටද දැන් පාළුවක් නැත. ඇය ඉගෙනුම ලැබුවේ නුගේගොඩ සමුද්‍රාදේවී විදුහලේය. තාත්තා වැඩය. නමුත් මාසේ ආන්තිමට ගෙදරට ගෙන එන මුදලක් නම් නැති බව අසා ඇත්තෙමි. තාත්තා සමග මගේ ඇති ඇයි හොඳැයිය සෙමින් සෙමින් දුරස්වෙන බව මට දැනේ. අම්මා සුපුරුදු පරිදිම දුෂ්කර ජීවන අරගලයේය. මම රැකියාවක් වෙනුවෙන් පළමුවෙනි අඩිතාලම දමා ඇත්තෙමි. අම්මාගේ පැත්තෙන් සිතා බැලූවිට එය මට මහත් අස්වැසිල්ලකි. නමුත් මගේ පාසැල් ගමන නැවතීම සම්බන්ධව ඇය කුමන ප්‍රතිචාරයක් දැක්වූවාදැයි මට නිශ්චිත මතකයක් නැත. ඒ ඇයගේ ප්‍රතිචාරයන් ගැන මම ඒ අවසථාවේ වැඩි උනන්දුවක් දක්වන්නට නැති නිසා විය යුතු යැයි සිතමි.

මගේ පළමු රැකියාව ආධුනික ආපනශාලා සේවක නම්විය. ඒ ගල්කිස්ස මුහුදු වෙරළටත් , රේල්පාරටත් මැදිව තිබු La Langousterie නම් ආපනශාලාවේය. මුහුදු වෙරළේම එවන් විශාල බිම් කඩක් අයිතිව තිබීම මල් මසුරන් විය යුතුය. මෙය ආපන ශාලාවක් වුවත් කාමර සහ අනිකුත් පහසුකම් තිබුණේ රේල්පාරේ ගොඩබිම දෙසට විශාල භූමි ප්‍රදේශයේය.Hotel එක සහ Restaurant එක වෙන වෙනම පවත්වාගෙන යෑමට එහි අයිතිකරුවන් උනන්දුවක් දැක්විය. හෝටලය නම් ඒ දිනවල ප්‍රසිද්ධව තිබුණේ SALTAIRE BEACH RESORT නැත්නම් MT.LAVINIA CABANAS නමිනි. මෙහි කබානා මාදිලියේ නැවතීමේ පහසුකම් ඒ භූමියේ තැනින් තැන පිහිටුවා තිබිණි. සාමාන්‍ය කාමරයකට වඩා කබානාවක ගාස්තු අධිකය. ඒවා කාමරවලට වඩා නිදහස් පරිසරයක තනා තිබේ. අවශ්‍ය සියලු පහසුකම්වලින්ද අඩු පාඩුවක් නැත. විදේශීය සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ බවට මෙම ස්ථානය නාමගත කර තිබිණි. මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූයේ එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් එම විෂය සම්බන්ධවත් උගතෙක් බුද්ධිමතෙක් වූ ශිරාන් දැරණියගල පවුලටය. මොවුන් ප්‍රභූ වලව්කාර පවුලක් යැයි පැරැන්නෝ කියති. මොහු විවාහවී සිටි මීරියම් නම්වූ බෙල්ජියම් ජාතික කාන්තාව මෙම හෝටලය සහ ආපන ශාලාව ඉතාමත් ක්‍රමවත් ලෙස පවත්වාගෙන ගියාය. ඇය ඉතාම විනීත සහ නීතිගරුක කාන්තාවක් විය. මගේ ප්‍රථම රැකියාව මෙතැනින් ආරම්භ කිරීම මට බොහෝ අත්දැකීම ගෙන දෙන්නක් විය. මෙම හෝටලයේ කබානා මාදිලියේ කාමර පහසුකම් දැන් නැතිව ඇතැයි මම සිතන්නෙමි. ඒ අය විසින්ම HOTEL RIVIRAS නමින් පවත්වාගෙන යන්නේ මේ හෝටලයයි.

මට රැකියාව කරන්නට ලැබුණු LA LANGOUSTERI නම් අවන්හල අදත් එලෙසම පවත්වාගෙන යන බව මම දනිමි. මුහුද දෙසට බිත්ති ආවරණය නොකර විවෘතව තනාතිබු මෙම ස්ථානය එකල විදෙස් රටවල් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ එකක් විය. ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, අළුත් මාළු, බෙල්ලන්, පොකිරිස්සන් අතරින් වැඩි ඉල්ලුමක් තිබුණේ ඉතාමත් මිල අධික ආහාර විශේෂයක්වූ පොකිරිස්සන්ටය. LANGOUST කියන්නේත් පොකිරිස්සන්ටය. අවන්හල නම්කර ඇත්තේ මේ නමින්මය. LANGOUST,CRAYFISH,SCAMPI එක් එක් පොකිරිස්සන් විශේෂයන්ය.LOBSTER කීවිට කවුරුත් දනී. වැල්ලවත්තේ ‘වාඩිය’ අවන්හල මුදල් ඇති නාගරිකයන්ගේ ප්‍රියතම ස්ථානයවූ අතර LA LANGOUSTERIE එක විදේශීය සංචාරකයන්ගේ ප්‍රියතම බොජුන් හලක් විය. කොළඹ කොටුවේ ‘පරණ පාස්පෝට් කන්තෝරුව’ අසලත් ANGLERS CLUB නමින් මෙවැනි අවන්හලක් තිබු බව මතකය. එය කොළඹට පැමිණෙනා විදේශීය නාවිකයින්ට හොඳ පුරුදු තැනක් බවත් මතකය.

1990 මුල් කාලය වනතෙක් ශ්‍රීලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ අඩියක පැවතීය. ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් ජර්මන් ජාතිකයින් මුල් තැන ගනී. ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඉතාලි, ඇමරිකන් ජාතීන්ගෙන්ද අඩුවක් නොවීය. නැගෙනහිර යුරෝපීය ජාතීන් දක්නට සිටියේම නැත. චීනෙක් හිටියා නම් හිටියේ දත් සාප්පුවක,මරදානේ රෙදි කඩයක හෝ චීන අවන්හලක කුස්සියක පමණි. ඔවුන්ද පරම්පරාවෙන් පැවත ආ ලංකාචීනුන්ය. ජර්මන් ජාතික සංචාරකයින් මුදල් වියදම් කිරීමට අති ශූරයෝය. කෑමට, බීමට,විනෝදවීමට මොවුන් තරම් නොමසුරු ජාතියක් මම යුරෝපයේ දැක නැත. ඉතාලි ජාතික සංචාරකයින්ද යම් තාක් දුරකට එසේ හැසිරුණෝය. ජර්මන් ජාතිකයින් ලොකු ටිප්ස් දීමටද නොමසුරෝ වෙති. එකල සංචාරක ව්‍යාපාරයට ආශ්‍රිත රැකියා කිරීමට, ලංකාවේ ධනවත් පවුල්වල දරුවන් පවා මහත් උනන්දුවක් දැක්වීය. හෝටල් ක්ෂේත්‍රය තුළ එවැන්නෝ බොහෝ වූහ. ඒ කර්මාන්තය තුළ විනෝදය, ප්‍රේමය, ලිංගික අවශ්‍යතාවයන් සඳහා ඉඩකඩ සපයා ගැනීමට පාරාදීසයක්වූ නිසා බැව් කවුරුත් දනී. විදේශිකයින් හා මිත්‍රවී ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ හෝටල් සේවක සේවකාවියන් බොහෝ දෙනෙක් ඒ ඒ රටවලටම ගොස් විවාහවී එහිම පදිංචිවිය. සමහර විදේශිකයෝ ඒ අයුරින්ම දේපල මිලදී ගෙන මෙහිම පදිංචිවූහ. තාවකාලික ලිංගික ඇසුරු කිරීම් සඳහාද නොයෙකුත් ආකරයේ මාවත් සේවකයින් හට විවෘතව තිබුණි. මේ ගැන ලිවිය යුතුදේ බොහෝ ඇතත් අද ලිපියෙන් කීමට නොහැකිවේ.

මම රැකියාවක් කිරීමට පටන්ගෙන ඇත්තේ 1980 ජූනි මාසයේ 2වැනි දින යැයි මගේ සහතික පත් කියා සිටී. ඒ අදට වසර 34කට පෙර දිනකය. ඔබ පුදුමයට පත් නොවන්න, මගේ පළමු මාසික වේතනය රුපියල් අසූවකි. එයිනුත් අතට ලැබුණේ රුපියල් 72ක් සහ ශත ගණනකි. රුපියල් හතයි ගණනක් අර්ථ සාධක අරමුදලට බැර කරනා බව දැන ගත්තෙමි. හෝටල් කර්මාන්තයේ සේවකයින්ට ලැබෙනා වැටුප අන් කර්මාන්ත සේවකයින්ට වඩා සාපේක්ෂව ඉතා අඩුය. එයට හේතුව වන්නේ තම ගනුදෙනු කරුවන්ගෙන් අය කරගන්නා සේවාගාස්තුව මාසයකට වතාවක් සේවකයින් අතර බෙදා දීමයි. මෙය ක්‍රමවත් ගනුදෙනුවක් විය. තම ගනුදෙනු කරුවන් වියදම් කරනා සෑම රුපියල් සීයකට තව රුපියල් දහයක් සේවා ගාස්තු ලෙස අය කර ගනී. මාසයකට වරක් බෙදෙනා මේ මුදල එක් සේවකයෙක් වෙනුවෙන් අගනා මුදලක් විය. හෝටල් සේවකයින් පඩි දිනයට වඩා උනන්දුවෙන් සිටින්නේ සේවා ගාස්තු හෙවත් සර්විස් චාජ් ගෙවන දවසටය. ආපනාශාලා සේවකයින්ට නම් මේ දින දෙක ගැන එතරම් උනන්දුවක් නැත්තේ, ඔවුන්ට දිනපතා ලැබෙනා තුටු පඬුරුද අධික අගයක් ගත් නිසා බැවින් යැයි අපි දනිමු. හෝටල් සේවකයින් අතර යහමින් මුදල් හදල් ගැවසිණි. ඒනිසාම ඔවුන් අතරින් බොහෝමයක්ම අතිශය විනෝදකාමී පුද්ගලයින් කොටසක් විය. ඒ ජීවිතය ගැන ලිවිය යුතුදේ බොහෝ ඇත. ඒවා පසු කොටස්වල ලියා තබන්නට ඉටා ගත්තෙමි.

මේ සියල්ලටම වඩා වැදගත් වූයේ , අපේ අම්මාගේ දෛනික අරගලයේ තිබු බොහෝ දුෂ්කරතාවලින් ඇය ගලවා ගැනීමට, ලොකු පුතා නම්වූ මහා ගැලවුම් කරුවාගේ ආගමනයයි. මම එය මැනවින් ඉටු කිරීමට පටන් ගත්තෙමි.

ප.ලි….පසුගිය සති එකහමාරකට අධික කාලයක් මම නොයෙකුත් වැඩවලට මිඩංගු විය. බ්ලොග් කියවීම තබා මේල් කියවීමටවත් කාලයක් නොවීය. ඊට අමතරව පාදයේ ශල්‍ය කර්මයකට රෝහල් ගත විය. ඒ හරියටම පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති. දැන් ඉන්නේ ගෙදර ඇඳේ නිසා, ඇවිද ගන්නට බැරිවුනත් බ්ලොග් කියවීමට හැකිය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

118 Responses to අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

  1. Mayya says:

    ජර්මන් ජාතිකයන් ගැන මගේ අත්දැකීම නම් ඔවුන් ඉතා දක්ශ බුද්ධිමත් මිනිස්සු බවයි..හැබැයි ඉතින්කළු හමට පොරවල් එච්චර කැමැත්තක් නෑ නේද?

    • maathalan says:

      ඔය දකුණු වෙරළ තීරයේ ඉන්න කට්ට කළු බොබ් මාලේ වගේ බීච් බෝයිස්ලට වැඩිම ඉල්ලුම තියෙන්නේ ජර්මන් ගෑණුන්ගෙනුයි පිරිමින්ගෙනුයි..

      • උඹ හරි මාතා…..මමත් ටික කාලයක් ඔය පැත්තේ වැඩ කරා සහ පොඩ්ඩක් සෙට්වුනා. ඒ නිසා දන්නවා.

    • @මයියා……මගේ ගේ ඉස්සරහ ගෙදර ඉන්නේ ජර්මනියේ වැඩ කරන බ්‍රිටිෂ් පොරක්. ඌ කියන්නේ ජර්මනිය ඉතාමත් ක්‍රමවත් පරිපාලන රටාවක් ගෙනයන රටක් බවත් ,ජර්මන් රාජ්‍ය සහ එහි ජනතාව කෙරෙහි විශ්වාසය තබා මූලික පදනම් සකස් කරගන්නා බවයි. ඒවා දිග විස්තර. ඒ නිසාම ඔවුන් බුද්ධිමත් පාලකයින් විය යුතුයි. පාලකයින් බුද්ධිමත්වේනම් ජනතාවද යම් තාක් දුරට විනය ගරුක සහ පිරිපුන් විය හැකි බව මම හිතනවා. මට වඩා උඹලා මේවා දන්නවා ඇති.

      ජර්මනිය තුල බ්‍රිතාන්‍යයේ මෙන් අති මහත් නිදහසක් විදේශිකයින්ට දී නැති බව මෙහේ අය කියනවා. ඒ නිසාම ඔවුන් හඳුණගැනීමේ පහසුම ආකාරය වන සමේ වර්ණයට නොකැමැත්තක් ඇති. ඒ තමන්ගේ රටේදි වුනත් ඒ කාලේ අපේ රටට පැමිණි සංචාරකයෙන්ගෙන් වැඩිපුරම ජර්මන් අය තමයි අපේ කෙල්ලෝ කොල්ලෝ එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ කියා දන්නවා. සෙක්ස් කියන සබ්ජෙක්ට් එකට මොන පාටක්ද නේද මයියෝ 😀

  2. ඔබට ඉක්මණින් සුවය ලැබේවායි පතමි. ඔබේ ලිපිවල මැනිවින් අදහස් සම්ප්‍රේෂණය වේ. කලින් දිනක ගොගොල් තමා ලියූ දැයින් තෘප්තිමත් නුවූ සැටි මා කෙහේදො කියවූ බවක් සඳහන් කළා මතකයි. මළ මිනිස්සු නමින් සිරිල් සී පෙර්රා පරිවර්තනය කර ඇති Ded Souls (මළ මිනිස්සු කෘතියේ) පෙරවදන තුළ ගොගොල් ගේ මෙ ස්වභාවය මැනවින් පැහැදිලි කරයි. අවුල්වන්නට පෙර නමින් ඔබ පළ කරමින් සිටින මේ ලිපි පෙළ මහත් වටිනාකමින් යුතු බව නැවත ද සටහන් කරන්නට අවසර දෙන්න.

    • ඉහත දැක්වූ ගොගොල්ගේ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනයේ නම Dead Souls යනුවෙන් නිවැරදි විය යුතුය

      • ///////mppgunasinghe says:
        May 15, 2014 at 5:14 am (Edit)
        ඉතා කදිමට ඔබ අපව අතීතය කරා ගෙන යනවා
        Reply
        aruge adaviya says:
        May 16, 2014 at 9:08 am (Edit)
        ගුණේ මහත්තයා බොහොම ස්තුතියි! ඔබේ ලිපිපෙළ තුලින් බොහොම වැදගත් ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරනවා. ඒවා මේ වගේ රස්තියාදු කතා නෙමෙයි 😀
        Reply
        mppgunasinghe says:
        May 16, 2014 at 3:12 pm (Edit)
        රස්තියාදු කතා යයි කිවහැකි කතාත් බ්ලොග් අතර තියනවා. ඒත් ඔබ ලියූ දැ කිසිවක් ඒ ගණයට වැටෙන්නෙ නැහැ. මට මේ වෙලාවෙ සිහිවෙන්නෙ නිකොලොයි ගොගොල් ගැන සිද්ධියක් ඔහු මළ මිනිස්සු යනුවෙන් සිංහලට පරිවර්තනය වුනු ඩෙඩ් සෝල්ස් ලිව්වට ඒ ගැන තෘප්තිමත්ව සිටියේ නැහැලු. ඒ නිසා ලිව්ව දේවල් පුච්චා දමන්නට පෙළඹී තියනවා. ඒක අපට අග්‍රගණ්‍ය කෘතියක් වුනත් ගොගොල් සෑහීමට පත්වෙලා නැහැ. ඔබත් ගොගොල් වගේ ද ?
        aruge adaviya says:
        May 18, 2014 at 12:02 pm (Edit)
        ගුණේ මහත්තයා…..ඔබේ පැහැදිලි කිරීමට මගේ ස්තූතිය!! මම ඔහේ ලියාගෙන යන්නෙක්.///////////
        ———————————————————————————–
        ගුණේ මහත්තයාට ස්තූති කරනා අතරම, ඔබ හා මා අතර ඇතිවූ සංවාදය මෙතනට ගෙනත් තබන්නේ ඔබට ගෞරවයක් වශයෙනි. ඒ ඔබ නැවතත් ‘ගොගොල්ගේ ඩෙඩ් සෝල්ස්’ මතක් කල නිසාවෙනි.

        “Everything resembles the truth, everything can happen to a man.”
        ― Nikolai Gogol, Dead Souls
        ගුණේ මහත්තයා දිගටම ‘අවුල’ කියවන්න හැකි වෙලාවක. මිනිහෙකුට වෙන්න පුළුවන් සියල්ල මේ තුල හමුවෙයි.

      • //මිනිහෙකුට වෙන්න පුළුවන් සියල්ල මේ තුල හමුවෙයි.//මාත් පවසන්නට උත්සාහ කළේ එයයි. ඔබට ජයපතමි.

  3. Anonymous says:

    මුලින්ම අරු සහෘදයාට ඉක්මන් සුවය පතමි. සංචාරක ව්‍යාපාරයට අයත් රැකියා අදත් සාර්ථක ලෙස කිරීමේ හැකියාව තිබුනත්, මානම් දකින පරිදි අපේ සංචාරක කර්මාන්තය අද වනවිට වල වැදී ඇත. රටේ අනෙක් ක්ෂේත්‍ර මෙන්ම එයද අයාලේ ගොස් තිබේ

    • මුලින්ම අරු සහෘදයාට ඉක්මන් සුවය පතමි. සංචාරක ව්‍යාපාරයට අයත් රැකියා අදත් සාර්ථක ලෙස කිරීමේ හැකියාව තිබුනත්, මානම් දකින පරිදි අපේ සංචාරක කර්මාන්තය අද වනවිට වල වැදී ඇත. රටේ අනෙක් ක්ෂේත්‍ර මෙන්ම එයද අයාලේ ගොස් තිබේ

      • ස්තූතියි ඉවාන්…..සංචාරක කර්මාන්තය කියා අද මේ අය හඳුනාගෙන සිටිනා මාකට් එක මට තේරුම් ගන්න බැහැ එදාට සාපේක්ෂව. මට මේ ගැන දත්ත සහ තොරතුරු සොයාගන්න බැහැ. මතකය පමණයි. ඒ යුගයේ අපිට සංචාරකයින්ට මාකට් කරන්න තිබුනේ අපේ ඉතිහාසය සහ සෞන්දර්ය විතරයි. ඒ ටිකෙන් ලංකාව අපි සංචාරක පුරවරයක් වුනා. මේ තුල දසදහස් ගනනින් පවුල් නඩත්තු වුනා. යුද්ධය සහ ත්‍රස්තවාදය මේ ව්‍යාපාරය බින්දුවටම ඇදලා දැම්මා. දැන් අපි ටාගට් කරන්නේ කැසිනෝ සංචාරකයින් නම් , එතන තමයි අපි වරද්දගන්න තැන. එතන තමයි අයාලේ යන තැන. ඒ තුල ආර්ථික විග්‍රහ සහ සමාජ විග්‍රහයන් ඇති. නමුත් මේ නම් සංචාරක පුරවරයක මග සලකුණු නොවේ.

  4. සිරා says:

    මුලින්ම ඉක්මන් සුවය පතනවා…මෙතරම් කරදර මැද වුවත් කියවන අප වෙනුවෙන් යමක් සටහන් කරන්න ගත්ත උත්සාහය ඉතාම අගය කරනවා…කවදා හරි දවසක මේ කථාපෙල ඔබේ වර්තමානය සමග සම්බන්ධ වන දවසක් ඒවි…අන්න ඒ දවස උදාවෙන තුරු තමයි මම ඉතාම ආශාවෙන් බලාන ඉන්නෙ…අදටත් මම හිතන විදියට ජර්මන් ජාතිකයො තමයි ලංකාවට වැඩිපුර එන්නෙ. නමුත් අපේ අය කරන වංචා පිළිබද ඉස්සරට වඩා ඒ අය දැන් දැනුවත්…සන්නිවේදන ක්‍රමවේද වල දියුණුව නිසාම තමන් ලැබූ අත්දැකීම් තවත් කෙනෙකුට කියන්න දැන් විදේශිකයො පසුබට වෙන්නෙ නෑ.

    • තැන්ක්ස් සිරා….මට ලිපියක් ලියන්න උඹ වගේ මහන්සිවෙන්න දෙයක් නැහැනේ. මම ලියන්නෙකුට වඩා මතකය අවදිකර ගන්නෙක්. සිරා වගේ අයට ඒ වෙනුවෙන් වටිනා කාලයත්, දැණුමත් මිඩංගු කරන්න වෙනවා. මට තියෙන්නේ යමක් මතක් කරගන්න සහ ලියන්න විතරයි. මගේ කතාව වර්තමානයට සම්බන්ධ වෙනකොට, සිරා බැඳලා, බබාලා හම්බවෙලා බ්ලොග්ස් ලියන, කියවන ලෝකෙන් ඈත්වෙලත් ඉඳියි 😀

      දැනටත් ලංකාවට එන බටහිර යුරෝපීය ජාතින් අතරින් බ්‍රිතාන්‍ය සහ ජර්මන් මුල් තැන ගන්නා බව කියනවා. නමුත් සිරා මම පෞද්ගලිකව දන්නා කිහිප දෙනෙක් සංචාර අවලංගු කරා නොයෙකුත් හේතු නිසා අපේ රටේ වෙන (කුරාම් ෂෙය්ක් ඝාතනය වැනි ). එංගලන්තයේ සිට එන ශ්‍රීලාංකික ප්‍රජාවත් සංචාරකයින් ලෙස ගනන් ගන්නවාද කියන එක මම දන්නේ නැහැ.

  5. උඹට ඉක්මන් සුවය පතනවා අරූ. මොකක්ද සර්ජරි එක? vericose veins ද?

    සංචාරක ක්ෂේත්‍රය ගැනත් හෝටල් කෙරුවාව ගැනත් දැනගන්න හරි කැමතියි. මාත් එක්ක එකට හිටපු විමල් නිශ්ශංක කියන එකත් හෝටෙල් ජොබ් එකකට ආසාවෙන් ඉඳලා පස්සෙ චෙෆ් කෙනෙක් වුනා. දැන් ඉන්නේ උඹ ඉන්න රටේද කොහෙද.

    • රාජ් says:

      vericose veins තමයි ඔය රැකියාවෙ උදවියට තියෙන්නෙ.

      • @රාජ්….varicose veins.බොහෝ වේලාවක් එක දිගටම හිටගෙන රැකියාව කරන අයට තමයිලු හැදෙන්නේ. උඹේ නෝනාගේ ෆීල්ඩ් එකේ අයටත් එහෙමයි කියනවා. එයා දන්නවා ඇති මේ සම්බන්ධව.

    • තැන්ක්ස් ඩූඩ්….varicose veinsතමයි. මමත් ඕක වෙරි කියලා තමයි මෙච්චර කල් ලිව්වේ. රවියා සිංහලෙන් ලියලා තිබුනා වැරි කියලා. ඒක තමයි හරි. උඹේ ටයිපින් එරර් එකක් වෙන්න ඇති. මේ සර්ජරි එක මචං ඉස්සර වගේ අමාරු නැහැ. දැන් තියෙන නවීන ක්‍රමය තමයි Laser vein surgeryඒ ඇරෙන්න තව ක්‍රම දෙකක් තියෙනවා.
      1)Sclero therapy
      2)conventional surgery
      මීට අවුරුදු 25කට කලින් මට ඔය දෙවැනි ක්‍රමයට සර්ජරියක් කරා. නමුත් නිතර දෙවේලේ හිටගෙන සිටිනා නිසා මේ තත්වය නැවත ඇතිවිය හැකියි. මේ දේවල් ලිව්වේ පන්ඩිත කමට නෙමේ. මටත් ඉස්පිරිතාලෙන් කියලා දීපු දේවල්. එහෙම දැණුවත් කිරීම් කරනවා. ඉතා ඉහලින් මේ සෞඛ්‍ය සේවය අගය කල යුතුමයි.

      මගේ කතාවේ හෝටල් කර්මාන්තය ගැන තව ටිකක් ලියවෙයි. විමල් නිශාන්ත මට එතරම් හුරු නමක් නෙමේ.මාලදිවයිනේ හෝටල් කර්මාන්තය ඔය තරමට ගේන්න එදා ලංකාවෙන් බොහෝ දේවල් ඔවුන් ඉගෙනගත්තා. අපේ එවුන් බොහෝමයක් ඔහේ සේවය කරා..අපේම අයගේ ලොකු හෝටල් ඔහේ තිබුනා. උඹ දන්නවා ඇති ඔය ගැන.

      • නෑ මචං. මම ඒක ලිව්වේ මම හිතාගෙන හිටපු හරි කමයට. ටයිපිං එරර් නෙවෙයි. ඔන්න දැන් ඉගෙන ගත්තා නියම වචනේ උඹෙන්. උඹ හරි varicose තමයි vericose .නෙවෙයි. ස්තුතියි. ඇයි බං මමයි කියලා හැමදේම දන්නේ නෑ. මම නොදන්න දේවල් තමයි වැඩි.
        කිසි පණ්ඩිත කමක් නෑ. උඹ තව තොරතුරු තියෙනවානම් ලියපං ඔය ගැන. මටත් දැනගන්න ඕනේ.
        That dude is Nishshanka.

      • මචං ඩූඩ්……මේ රෝගය ගොඩාක් දුරට ගුරුවරුන්ටත් ඇතිවෙනවා කියලා කියනවා, බොහෝ කාලයක් හිටගෙන ඉන්න නිසා. මෙතන තියෙන රිස්ක් එක තමයිලු blood clots ඇතිවෙන්න තියෙන ඉඩකඩ සහ varicose ulcers .මේ ලේසර් ට්‍රීට්මන්ට් එකම ලංකාවේ නවලෝක එකේ කරනවාලු. ලක්ෂ 2යි. කියවපන් මේ ගැන .ඉන්ටරෙස්ටින්ග්.

  6. පත්තර මල්ලි says:

    අරූ අයියාට ඉක්මන් සුවය පතනවා .. මමත් මේ රටේ ඉන්නේ උඹ කියන ෆීල්ඩ් එකේම තමයි අයියේ.මහ ලොකු කාලයක් නං නෑ උඹ වගේ .ඒ සබ්ජෙට් එකේ උඹේ දැනීම අපිට සෑහෙන්න ප්‍රයෝජනවත්.ඒවත් ලියාපං ඈ… ජර්මන් සංචාරකයන් ගැන නම් කියල තියන කතාව 100% ක් ඇත්‍ත..ඔවුන් ඉතාම විනීතයි හැබැයි ඉතිං බොන්ඩ ගියහම බියර් නං නානවා 😀 අරක්කු නං පාවිච්චිය අඩුයි.ඒකට අපි .. ප්‍රංශ ජාතිකයනුත් එහෙමයි හැබැයි උන් නං වයින් ..වැඩේ කියන්නේ ටේබල් එකෙන් නැගිටින් නැති එකනේ බං කෑව බිව්වනං. හැක්..කියෝනවා කියෝනවා .ඉතාලි ජාතිකයොත් එහෙමයි..උන්ට ප්ලේට් එකට පාට පාට මොන මොනවාහරි තියල ලස්සනට දුන්නොත් ඊට වාඅ දෙයක් නෑ..රසම කෑමත් ඉතාලි කෑම කියල කියනවනේ….අප්ෂැට්ම කාලකන්නි තමා ඉන්දියන් /බ්‍රසීල් /ස්පැනිශ් / අරාබි/පරණ සෝවියට් රටවල උං..එපා වෙනවා බං..උඩ දාල පයිං ගැහුවහැකි. ඕ යේස් 😀

    • මූ නම් හීනෙන්වත් එන්ගලන්තයේ එවුන් මැච් බලන්න සෙට් වෙන තැනකට සෙට් වෙලා නෑ වෙන්න ඕනේ. ජර්මන් උන් බියර් නානවා නම් උන්ට කියන්න දෙයක් නෑ පත්තරේ. ස්තාදියෝ එක පැත්තේ නේ වැඩ කරනවා කිව්වෙත්?
      බීවට කමක් නෑ කියමුකෝ ගහගන්න එන එකයි, කන බොන මේසේ හිටන් පීපින් කරන එකයි තමයි මට දිරවගන්නම බැරි..

      • @ රංගි & පත්‍ර…මම දන්න තරමින් ලෝකයේ වැඩිපුරම බියර් පාරිභෝජනය කරන රටවල් අතරින් උඩින් ඉන්නේ චෙක්,ජර්මනි,සහ අයර්ලන්ඩ්. මේ විස්තර කොතරම් දුරට හරිද දන්නේ නැහැ. මා දන්නා තරමට බියර් බොන්න ජර්මන්ස්ලා තරම් ජාතියක් නැහැ.ඉස්සර ඔබරෝයි එකේ තිබුනා හැම අවුරුද්දෙම ඔක්ටෝබර්ෆෙස්ට් කියලා ජර්මන් ෆෙස්ටිවල් එකක්. බියර් සහ නොයෙකුත් සොසේජස්. මේකට ජර්මනියෙන් ෂෙෆ්ස්ලා එනවා. ජර්මනිය තමයි ලෝකයේ හොඳම සොසෙජස් හොයාගත්තේ සහ ප්‍රසිද්ධ කරේ. ඒවා පසුව ලියමු.

        එංගලන්තේ එව්වොත් හරියට බියර් බොනවා ෆුට්බෝල් මැච් වලදි. නමුත් එංගලන්තයේ බියර් නිශ්පාදනය ජර්මනිය ඩෙන්මාර්කය වගේ ප්‍රසිද්ධ නැහැ. මෙහේ විස්කි තම්යි.

    • පත්තර මල්ලි says:

      හැක් ..අපි ඉතිං පාක් ගානෙයි ගෙවල් ගානෙයිනෙ බං මෙව්ව වෙන්නෙ :D..ඉන්ග්ලන්ඩ් උනුත් බියර් ගහනවා පැලෙන්න නේ….අනිත් උං රුමේනියන්.. පෙරුවියන්. අතේ තියෙන්නෙම පෙරෝනි ..වෙන බියර් ජාති බොන් නැද්ද මන්දා බං ඒවමයි බොන්නෙ..

      නෑ අක්කෙ මං ඉස්සර නවෝන වැඩ කරේ..දැන් හොටෙල් කොර්නේලියා වල…ස්තාදියෝ පැත්තෙ වැඩ කරලම නෑ හැබැයි සමර් එකේ මන්චීනි පැතේ එලිවෙනකං පිස්සු කෙලියා කලින් ..දැන් ඒ පැත්ත හරි නෑ… ඔය බීල ගහගන්න එන එක නං ඉතින් මටත් දිරවන් නෑ ඒක ඉතිං රස්සාවෙ කොටසක් නෙවැ.අපිට එන්නෙ ගොඩක්ම ජර්මන් ෆ්‍රෙන්ච් ගෲප් ..උන් නං ලොකු අවුලක් නෑ ශේප් .අනිත් උන් ග්‍රීසියෙ උන් ආවම නං හෝල් ඉවරයි බං.හැබැයි කෙල්ලො ලස්සනයි :D.ඒ හින්ද කමක් නෑ ඈ !!.. රෑට වෙලාවට ක්ලෝස් කරගන්න බැරිවෙනකොට තමා මල පයින්නෙ.

    • පත්තර මල්ලි says:

      නංගිල ඉන්නවනං මොනාද බං කොරන්ඩ බැරි 😀

    • @ පත්‍ර බ්‍රදර්….Thanks මම බන් දැන් ඔය ෆීල්ඩ් එකෙන් එලියට ඇවිත් සෑහෙන්න කාලයක් වුනා. තරුන කාලයට ඔබින රස්සාවක්. ඊට පස්සේ කිසිම සොමියක් නැහැ. උඹ දිගටම ඔය ෆීල්ඩ් එකේ ඉන්න නම් බලාපොරොත්තුව යුනි එකකට ගිහින් හොටෙල් & කෙටරින් මැනේජ්මන්ට් හදාරපන්. උඹට බොහෝදේ ඉගෙනගන්න පුළුවන්. ඉතාම රසවත් විෂයක්. එහෙම නැතිව එකම තැන වැඩ කරගෙන ඉන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙමෙයි ඕක. ඉගෙනගෙන උඩට යන්න බලපන්.

      ඒ කෙසේ වෙතත්…එන එවුන් කාලා බීලා මාරුවෙන්නේ නැති වුනාම තමයි මල පනින්නේ. උන්ට යන්න කියන්නත් බැහැ. බීල කියවන එවුන්ව එලවන්නත් බැහැ. cordiality, politeness සහ ඉවසීම තමයි ඔය රස්සාවේ මූලිකාංග. ඉස්සර තිබුනා Ten commandments කියලා මේ විෂයට අදාලව. ඒවා පස්සේ ලියන්න බලමු.

  7. supirikrida says:

    ලිවීම කොහොමත් පට්ට
    දැන් විවේක ගන්න සුවපත් වීමට අවශ්‍යය පරිදි

    • බොහොම ස්තූතියි මචෝ…තව දවස් දෙකකින් විතර ෆිට්. කොත්තමල්ලි වතුර ටිකක අඩුව තමයි තියෙන්නේ 😀

      • supirikrida says:

        mail අංශයක් එවන්න කොත්තමල්ලි සම්පාදනය කළ හැකිය.මග තොරතොරු දන්වන්න nismansinghe@gmail.com

      • මචං….මම කියන කොත්තමල්ලි වතුරනම් මෙහේ තියෙනවා. නමුත් මේ දවස්වල හොඳ නැති කමයි තියෙන්නේ. මම උඹට කොහොමටත් මේල් එකක් එවන්න හිටියේ. හෙට එවන්නම්.

  8. අනේ සේරම කියෝගෙන ඇවිත් අන්තිම කොටස කියෙවුවම කඩා වැටුනා. ඔයා රෙස්ට් කරන්න ඉක්මනට සනීප වෙයි. ඔයාගේ රැකියාවේ පටන් ගැන්ම කතාවට එළියක් එකතු කළා. ස්තුති අපහසුතා මැද ලිපිය ලිවිම ගැන. සනීප වෙන්න ඉක්මනට ජේසු පිහිටයි

    • බොහොමත්ම ස්තූතියි ඔමා..මේක එච්චර ලොකු ඔපරේෂන් එකක් නෙමේ. ආතල් එකේ ඇඳට වෙලා ඉන්න තියෙන්නේ. සියල්ල අත ලඟට.
      ඉස්සෙල්ලාම රස්සාවයි….ඉස්සෙල්ලාම පඩියයි කාටද අමතක වෙන්නේ නේද? ඔමාලාගේ පෝස්ට් මට මිස්වෙලා තියෙන්නේ. මම ට්‍රයි කරනවා පස්සෙන් එන්න.

  9. කොහෙන් පටන් ගන්නද මන්දා අරූ.
    අරූගේ සටහන් කියවලා එක වෙලාවකට දැනෙන්නේ කළකිරීමක්ද දුකක්ද කියලාවත් තේරෙන්නේ නෑ.
    ඒත් අරූ රැකියාවක් කරන්න ගත්ත එකම ඒ වෙලාවේ අරූට හරි පාර කියන්න ඇති. ෆැමිලි බෝයි වුනා කීවම ඔය වයසට පුදුමයිනේ. (අවුරුදු තිස් අටක් වෙලත් අදටත් මට නම් එහෙම වෙන්න බැරි වුනා.)

    අසූ ගණන් වල නම් අපි හොටු පෙරපු කාලෙනේ. ඒත් අනූව දශකයේ (දූවිල ගසලා දාලා අපි පොඩ්ඩක් කල එලි බැස්සා) අන්තිමේ ඉඳන් නම් මේ කියන ප්ලේස් එකට මාත් යන එන කෙනෙක්. ඉස්සෝ පොකිරිස්සෝ කීවම ඉතිං අර නෝටි බුරු බබාට කහනවනේ. බලාගෙන ගියාම නිවාඩුවට මම කොළඹ යන්නෙත් වෙන ඒකට නෙමෙයි ඕවා කන්න වෙන්න ඕනේ.
    ඒ කාලේ හොටෙල් ෆීල්ඩ් එකේ හිටියේ අද වගේ යලට මහට අය නෙමෙයි තමයි අරූ. අද නම් වැඩ කරන එවුන්ගේ හිනාවක්වත් දකින්න නෑ ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රි එකේම. මට මතක බොහෝ අය ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගෙනගත්ත අය. එහෙම නැත්නම් අර අරූලගේ කොලේජ් වගේ පොශ් කොලේජ් වල ඉගෙනගත් අය. ඩිසිප්ලින් වුනත් එහෙමයි. ඒ බොහොමයක් අය ඒ කාලෙම කාට කාට හරි සෙට් වෙලා රට රටවල් වලට ගියා. අරූට වගේම මේ ඉන්ඩස්ටි එක ගැන කියන්න බොහොම දිග කතා මටත් තියෙනවා. ඒත් වෙනස් රටවල් වල. බලමුකෝ වයින් කතා ආයේ ලියවෙයිනේ දවසක.

    • රංගී…..මම අවුරුදු දහ අටෙන් වගේ තමයි අපේ පවුලේ බරට යම් තාක් දුරට කර දුන්නේ. තැනින් තැන අතහැරුනා කෙටි කාලයකට මගේ පිස්සු නිසා. ඒත් සහමුලින්ම නෙමේ. මට හරි ආඩම්බරයි රංගි ඒ අතීතය මතක්වෙන කොට.

      ඒ යුගයේ හෝටල් කර්මාන්තය ගැන මම හරියටම ලියන්නම් මම තරු පහේ හෝටලයකට ආපුවෙලාවේ ඉඳන්. ඔයා හරි රංගි. විනය සහ දක්ෂතා වගේම පුදුම විදිහට විෂය ගැන ඉගැන්නුවා. විභාග තිබ්බා. ඒ ක්‍රමය කොතරම් සාර්ථකද කියන්න දන්නවා එදා හිටි පරපුර. ඒ සියල්ලම ලියා තැබිය යුතුයි. එදා හෝටල් ක්ෂේත්‍රය තුල තිබුනු යාන්ත්‍රනය පොතක් හැටියට ලිව්ව හැකියි. මම ලියන්නම් හෙමින්.

      රංගිගේ අත්දැකීම් ඇයි බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ?

  10. Kenji ogawa says:

    නෙරංජ …උඹට ඉක්මන් සුවය පතමි……….

    • තෑන්ක්ස් කෙන්ජි!! උඹට මොකද වෙලා තියෙන්නේ. මට උඹේ පෝස්ට් මිස් වෙන්න ඇති පහුගිය සතියේ.

  11. තිසර says:

    ඔපරේෂන් එක පොඩි පහේ එකක් යැයි සිතනවා… ඉක්මන් සුවය පතනවා…

    කතාව අලුත් ෆේස් එකකට ඇවිත්…. මේ කොටසට බොහොම කැමතියි.

    • ස්තූතියි තිසර…ඔපරේෂන් එකනම් වෙරි සිම්පල්. පොඩ්ඩක් පරිස්සම් වෙන්න තියෙනවා කකුලට බර නොදා. එච්චරයි වැඩේ ගොඩ දොස්තරලාට ,නර්සස්ලාට ස්තූතිවෙන්න.

      මම මෙහෙම ලියාගෙන යන්නම්. තිසරලා වැරදි හදලා දෙන්න.

  12. Anonumous says:

    අරූ ඔහොම හිමින් යමු. දැන් තමයි කතාවේ වැදගත් හරිය එන්නේ. හිමින් යාම වැදගත්. දුවන්න ගියාම අවශ්‍ය කෑලි මඟ හැලෙනවා.

    • ඔව් ඇනෝ…..බොහෝමයක් දේවල් තියෙනවා ලියන්න. ඒ ඩිටේල්ස්වල නොයෙකුත් රසයන් තියෙනවා. මෙහෙම හෙමින් යන්නම්.

  13. මුලින්ම ඉක්මන් සුවය පතනවා අයියෙ.…

    ඇත්තටම තමන්ගෙ පළවෙනි රැකියාව පළවෙනි ආදරේ වගේ තමා නේද? කොයි කලෙකදි උනත් අමතක නොවන.

    • පත්තර මල්ලි says:

      මට නං පලවෙනි ආදරේ සීන් හතරක් පහක්ම තිබ්බා 😀

    • ප්‍රියා……බොහොම ස්තූතියි!!

      පළමු ආදරේ කෙසේ වෙතත් පළමු රස්සාවනම් අමතක කරන්න බැහැ. පළමු ප්‍රේමයත් අමතක කරන්න බැහැ. නමුත් අමතක වෙලා වගේ ඉන්නවා : D රස්සාව ගැන නම් ඕන දෙයක් කියන්න පුළුවන්. ඒත් අවසාන ප්‍රේමය කැමති නැහැ නේද…ඉන් පෙර ප්‍රේම කතා වැඩිපුර මතක් කරනවාට. ඕක ගෑණුන්ගේ හැටි 😀

      ප්‍රියාගේ මිස් වෙච්ච ලිපි කියවන්න මම එනවා හෙමින් සැරේ.

  14. අරූ අයියේ ඔයාට ඉක්මන් සුවය පතනවා. සිද්ධවෙලා තියෙන කරදර ගැන ඇත්තටම ගොඩක් කණගාටුයි. ඉක්මනට සනීප වෙන්න.

    • මනෝෂ්…..පළමුවෙන්ම ස්තූතියි!! මම මතු කරපු අදහසක් ඔබ ඉතා රසවත් ලෙස සංවාදයකට හැකි පරිදි ඉස්මතු කරලා තිබුනා ඔබේ පෝස්ට් එකේ. නමුත් මම එය කියෙව්වා පමනයි. මට ඒ දිනවල තිබුනු වැඩ නිසා. දැන් එය නෙත්මානයෙන් ගිහින්…ඒ උඹේ වචණ. අපි ඉස්සරහට ඒවා කතා කරමු.

      • ඇත්තටම අරූ අයියත් ඒකට එකතුවෙනකල් මං බලං හිටියේ. ඒත් වෙලා තියෙන කරදරවල හැටියට කියෙව්ව එකවත් ලොකු දෙයක් අරූ අයියෙ. නෙත්මානින් ඒ ටික ඈතට ගියත් එහි ප්‍රතිපලය ඉතාම සාර්ථකයි අරූ අයියෙ. ඒකට පිං ඔයාට තමයි. ඉක්මනට හොඳට සනීපවෙලා එන්නකො.

  15. මම එක දිගටම ඔබේ ලිපි 15ක් විතර කියෙව්ව. සම්පුර්ණයෙන්ම කියවන්න හිතා ගත්ත. හැම එකේදිම කොමෙන්ට් නොදැම්මට මොකුත් හිතන්න එපා.. මේ කතා කියවන එක හරිම රසවත් ඒ වගේම අපිට අපේ ජිවිත වල සිද්ද වූ දේවල් ගැනත් නැවත මතක් කරලා දෙනවා.

    ඉක්මන් සුවය පතමි.. මටත් ආසයි අප්පා ඔහොම ඇඳක් උඩට වෙලා බ්ලොග් බල බල ෆිල්ම් බල බල ලඟට ගෙනත් දෙන දෙයක් කකා බිබී ටික කාලයක් ඉන්න.. හෙහ් හෙහ්

    • පැතුම්…..මගේ පෝස්ට් කියවන්නත් ටිකක් වෙලා යනවා. ඊට වඩා වෙලා යනවා කමෙන්ට්ස් කියවන්න. ඒවා තුල තමයි පෝස්ට් එකේ රසයට වඩා යමක් හරවත්ව කතා කරන්න තියෙන ඉඩ පාදාගන්නේ. ඒක වෙලායන වැඩක්. හැකි විටක කියවන්න.

      කමෙන්ට්ස් කියන්නේ උත්තේජනයක් නේ පැතුම්. ඒක ඇත්ත. මම ගොඩාක් දුරට උත්තේජනයක් ලබාගන්නේ මගේ මතකය හාරා ගැනීමෙන් සහ ඒ තුල ඇවිදීමෙන්. ඔබ වැනි උදවිය මෙය කියවීමත් දිරිමත් කිරීමක්. උඹට ස්තූතියි!

      /////මටත් ආසයි අප්පා ඔහොම ඇඳක් උඩට වෙලා බ්ලොග් බල බල ෆිල්ම් බල බල ලඟට ගෙනත් දෙන දෙයක් කකා බිබී ටික කාලයක් ඉන්න.. හෙහ් හෙහ්//////
      ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. බොරු ලෙඩක් ගනින්. මට කොහොමත් ගෙදර කරන්න එච්චර වැඩක් නැහැ. දැන් මේ ටිකේ මුකුත්ම නැහැ. පොතක් පතක් බ්ලොගක් කියවගෙන ඉන්න තමයි තියෙන්නේ.

  16. මුලින්ම ඔබේ රෝගී තත්වය ගැන කණගාටුව පල කරන අතර ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා. වෙලාවේ වෙනස ගැන මට අමතක වුණා ඔබේ රෝගී තත්වය ගැන අහලා. මේ දැන් මම ඔබට දුරකථන ඇමතුමක් ගත්තා. ඔබේ දුරකථනය එක් වරක් නාදවනවිට මට මතක්වුනා වෙලාවේ වෙනස. ඒ නිසා වහාම ඇමතුම නැවැත්තුවා. කරදරයක් වුනානම් සමාවන්න.

    පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ගැනනම් කියලා වැඩක් නැහැ. මම රාජ්‍ය අංශයට ගියේ 1979 දී. රු 420 ක මාසික වේතනයක් ලබන්න මම වාසනාවන්ත වුණා. ඒත් ඒ කාලයේදී ඒක ‘හිඟන වැටුපක්’ ඉතින් ඔබ කොහොම විඳ දරාගන්නට ඇද්දැයි මට හිතාගන්න පුළුවන්.

    • විචාරක……බොහෝම ස්තූතියි! මම ඇඳෙන් බැහැපු ගමන් කෝල් එකක් දෙන්නම්. ඒකට වැඩි දවසක් යන්නේ නැහැ. හෙට අනිද්දා වෙනකොට වැඩේ ගොඩ.

      ඔය හෝටල්වල පඩියට අමතරව සර්විස් චාජ් එක තිබුන නිසා අපි ටිකක් ගොඩගියා. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ අනිත් අයටනම් හරි අමාරුයි තමයි. හෝටල්වල හිටිය කොල්ලෝ කෙල්ලො ගාව ඇති පදම් සල්ලි ගැවසුනා ඒ කාලේ. දැන්නම් කොහොමද දන්නේ නැහැ. ඒ දවස්වල හෝටල් සේවකයෝ ගාව තරම් සල්ලි තිබුනේ නැහැ අනිත් අය ගාව. ඔන්න ඔය සල්ලි නිසා තමයි ගොඩාක් පිස්සු නටන්න වුනේ පස්සේ කාලයේදිත්.

  17. අරූට ඉක්මන් සුවය පතනවා. පෝස්ට් එක පරක්කුවෙන කොට මම හිතුවේ වැඩ ඇති නිසා කියලා.
    හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක ගැන තව ලියමු. මට එක පැත්තකින් අත්දැකීම් තියෙනවා ඔය ගැන ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තෙන්. ගොඩාක් තරුන අයට හොඳ දැනමුතුකන් දෙන්න පුලුවන් ලියවිලි වෙයි ඒවා.
    පුලුවන් තරම් විවේක ගන්න, මානසිකව වගේම කායිකවත්, මොකද අපේ වයසට හරියන මනසක් නෙවෙයිනේ අපිට තියෙන්නේ….
    ඉකමන් සුවය….

    • මචං තෑන්ක්ස්….ඉස්සර වගේ දැන් ලොකු ලොකු වැඩ බැහැ තමයි. කන බොන වෙලාවට ඕවා මතක නැහැ නේද කියලා තමයි ගෙදරින් අහන්නේ 😀

      මේ ඉන්ඩස්ට්‍රි එක හා බැඳුනු දේවල් ලියන්න බොහොමයයි. මගේ අත්දැකීම් හරහා ඒ සියල්ලක්ම මතු කරගන්න හැකිවෙයි. ආසයි අහන්න ඉන්වෙස්ටර් කෙනෙක් ලෙස විඳපු අත්දැකීම් උඹෙන්. ඒ තුලත් හොඳ පරිප්පුවක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. මම ඒ බව යම් අවස්තාවල දැකලා තියෙනවා, මා දන්නා ඉසව් තුලින්. මම අළුතින් පටන් ගන්න තැන්වලත්, කඩා වැටුනු තැන් උස්සා තබන තැන්වලත් යමක් කර තිබෙන නිසා ඕවා ගැන ටිකක් දන්නවා.

  18. Anonymous says:

    ඔබට ඉක්මන් සුව ය පතනවා. මම පහුගිය කාලෙ දවසේ මුලින්ම කියවන්නෙ අරුගෙ අඩවිය. මේක මට අහුවුණේ ලඟදි නෙ. නමුත් අපේ යුගයෙ නිසා වෙන්නැති පුදුම චමත්කාරයක් තියෙනවා.
    ඔව් මට මතකයි හික්කඩුව කියන්නෙත් ජර්මන් පුරවරයක්නෙ. බස් පුරවලා නෙකමාන්, ෂරබො (හරිද මන්දා).
    ඒ කාලෙ මතකයි ගුවන් තොටුපලේ විකාශනය -“ලුෆ්තන්සා ගුවන් යානය ඩස්ල්ඩෝෆ් සහ මියුනික් සිට දැන් පැමිණ ඇත.”

    හර්ෂ

    • හර්ෂ…..මතක් කරේ අමතක වෙලා තිබුනු සබ්ජෙක්ට් එකක්. ඒ තමයි ට්‍රැවල් ගෲප්ස්. නෙකර්මාන්(Neckermann Reizen) ගෙනාවෙම ජර්මන් ගෘප්ස් තමයි. ශෙරබෝත් මතකයි. තව මතකද කූනි (KUONI TRAVELS) කියලා තව විශාල ගෲප් එකක් තිබුනා. ඒක කූනි ඉටැලි,කූනි ෆ්‍රාන්ස් වගේ කොටස් කරලා තිබුනා. ඕවාගේ ටුවර් ලීඩර්ස්ලා රජාලා වගේ හිටියේ. උන්ගෙම ගයිඩ්ස්ලා තමයි ඉස්සර ආවේ. ඒ කාලේ හෝටල් උතුරන්න ගෙස්ට්ස්ලා හිටියා. ඒ යුගය නැවත ගන්න ලේසි නැහැ.ඊට පස්සේ Mercury කියලාත් ආවා.

      හික්කඩුව නාරිගමට පෙම් කරපු හිපීස්ලා හිටියා ඒ කාලේ. ඒවායේ 1970 රසය තිබුනේ ඒ වෙනකොටත්. පස්සේ දරුණු රසයන් ඇතුල්වුනා.

      ලුෆ්ට් හන්සා කෲ එක නැවතුනේ ඔබරෝයි එකේ. බොහෝමයක් ෆ්ලයිට්ස්වල් කෲ එක හිටියේ ඔබරෝයි එකේ .පස්සේ ඒවා ලියමු.

      • sudeeka says:

        Tjaeroborg, Hotelplan, Kuoni – Zurich, Kuoni – London, Kuoni – Paris Kuoni – Rome, Connaisaance de Celan, Walkers, Hemtours, මගේ මුල්ම ජොබ් එක Billing නිසා මේවාගේ spelling එක්ක තවම මතකයි. රාජාව මටත් මුනගැහිලා තියෙනවා. Kuoni – zurich කරේ Brigitta කියලා ගෑනියෙක්.

      • සුදීක……බොහොම ස්තූතියි හරියටම තොරතුරු ටික දැම්මාට. ඔයා බිලින්ග් &එකවුන්ට්ස් නිසා හොඳටම මතක තියෙන්නෙ. හොටෙල් ප්ලෑන්,වෝකර්ස්,කොනෙයිසොන්ස් නියම ගෲප්ස්. මම මේක ලියනකොට හිතුවා සුදීක දන්න දේවල් එකතුකරයි කියලා.

  19. රාජ් says:

    ඉක්මනට හොඳ වෙලා වැඩ පටන්ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව. උඹ ජොබට යනකොට මම අම්මගෙ බඩේ. 🙂
    දැං හොටෙල්වල ටිප් එකත් වෙනම එකතු කරල මාසෙ අන්තිමට බෙදන තැන් තියනව

    • රාජ්….තව ටික දවසකින් බඩු සෙට් බන්. ස්තූතියි!!

      ඒ කියන්නේ මචෝ උඹ මට වඩා අවුරුදු 18ක් බාලයි. මචං කිව්වාට ගනන් ගන්න එපා..කටට හුරුම වචනේ.

      ////දැං හොටෙල්වල ටිප් එකත් වෙනම එකතු කරල මාසෙ අන්තිමට බෙදන තැන් තියනව////
      ඔය වැඩේ එක අතකින් හොඳයි. නැත්නම් බන් අතේ සල්ලි හැම තිස්සෙම. අපි හැමදාම බොන තැන්වල තමයි සෙට් වුනේ. ඕකත් එක්තරා උප සංස්කෘතියක් රාජ්. මම ඉස්සරහට ලියන්නම්.

  20. රසික says:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මුලින්ම.

    රාජකීය විද්යාලය සහ අවට ගැන ලියවුනු පහුගිය ලිපි සේරම කියෙව්වත් කමෙන්ට් එකක් දාන්න බැරිවුනා. ඇත්තටම කිව්වොත් මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුනා. සුපිරි!

    දැන් කතාව යන පැත්ත නියමයි. හොටෙල් ඉන්ඩස්ට්‍රි එක ගැන දැනගන්න මමත් කැමතියි. විශේශයෙන්ම 90 දශකයෙ යුද්ධය නිසා වෙච්ච කඩාවැටීමට පෙර යුගය ගැන.

    • රසික……බොහොම ස්තූතියි!!කතාව කියවලා රස විඳිනවානම් එච්චරයි. රසිකත් රෝයලිස්ට් කෙනෙක් නිසා පහුගිය කතාවලින් මතකයන් ඇවිස්සෙන්න ඇති. ගොඩාක් ඉස්කෝලේ එවුන් කමෙන්ට් කරලා තිබුනා. රසික දන්න අයත් ඉන්න ඇති.

      අපි ඉස්සරහට ලියාගෙන යමු. මම 1980-87 වෙනකම් ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ හිටියේ. මම, ක්ෂේත්‍රය,සමාජය,රට ගැන ලියවෙයි ඒ කාලයට බද්ධවෙලා. කියවලා බලන්න. ඒ ටික කාලය ඇතුලත රටටත්, මටත් වෙන දේ 😀

  21. පෝස්ට් එක කියවන්න පස්සේ එනවා. උඹ ලෙඩ ඇඳේ ඉන්නවා කියලා ආරංචි වෙලා මේ ආවේ. පුංචි ඔපරේෂන් එකක් නිසා ඉක්මනට සනීප වෙයි. අම්මපා එන්න පුළුවන් තැනක හිටියානම් ඇවිත් බලලා යනවා. ඉක්මන් සුව පතමි.

    • තිලකේ……පොඩි රනින් රෙපයාර් එකක්. ටයර් එකක් රීබිල්ඩ් කරන්න වුනා. ගානක් නැහැ. බොහෝම ස්තූතියි! නිදහසේ කියවපන්!!

  22. අරූයියාට ඉක්මන් සුව පතනවා මුලින්ම.මම එත් හිතුවා කොහෙවත් පේන්න නොහිටිය නිසා ටික දවසක් මොකද වුණේ කියලත්.

    දැන්නම් මෙහෙට සංචාරකයෝ එන්නේ ඔය ඕනෑ තරම්.සත පහකට වැඩක් නැහැ.ඉන්දියන් කාරයොයි,චින්නුයි.හොදම වැඩේ තමයි මෙහේ ව්‍යාපාති වලට වැඩ කරන්න එන උන්වත් සංචාරකයෝ කියලා ගණන් ගන්න එක…:D

    අරූයියා කියන රෙස්ටෝරෝන්ට් එක තියෙන්නේ උසාවිය පල්ලෙහායින් බැහැලා දෙහිවල පැත්තට වෙන්න වගේද…?

    • මනෝ….මම පොඩි පොඩි ගමන් ටිකක් ගියා. ඒ එක්කම මේ වැඩේටත් දින ලැබුනා. දැන් හරි.

      දැන් එන සංචාරකයෝ වියදම් කිරීම ඉතා සීමිතයි කියලානේ කියන්නේ. අපේ අය දඹදිව ගියා වගේ ඇති. යුරෝපයේ හෝ වෙන රටක පාස්පෝට් තියන ලාංකිකයෙක් තමන්ගේ දෙමව්පියන් බලන්න රටට එන එකත් සංචාරකයෙක් කියලා ගනන් හදාගෙන මේ සංඛ්‍යා ලේඛන හරඹවල යෙදෙන්නේ නැතුව ඵලදායි ප්‍රවර්ධනයක් කරන එක තමයි වගකිව යුතු අය කරන්න ඕන. රට පිලිබඳ විශ්වාසනීයත්වය තමයි හදන්න ඕන. නැගෙනහිර යුරෝපයෙන් එන සංචාරකයෝ මොන වගේද කියලා හිතාගන්න පුළුවන්, ඒ අය මේ රටවල ගතකරන ජීවිත බැලුවාම.

      ඔය හෝටලය තියෙන්නේ, මවුන්ට් ලැවිනියා හෝටලය ආසන්නයේ. කොලෙජ් රෝඩ් එකෙන් තමයි මම ඉස්සර එන්නේ. ඩි සේරම් රෝඩ් එකේ. තව විස්තර තියෙනවා ගල්කිස්ස ගැන. ඊළඟට ලියන්නම්.

  23. maathalan says:

    හපොයි කකුල.. ඔය කකුල් කොයි තරම් අමාරුවෙන අර පරෙස්සම් කර ගත්තු දේවල්ද.. ගෙට් වෙල් සූන් මචෝ…

    රහේ අඩුවක් තේරෙනවා… උඹ ඉස්සර උන්න මූඩ් එකේ නෙමේ වගේ ලියලා තියෙන්නේ..

    පඩිය වගේද සර්විස් චාර්ජ්… මාත් ඕ ලෙවල් කරලා රිසාල්ස් එනකන් උණවටුණේ බී රිසෝට් එකක වැඩ කලා.. ඒ අසලම බොහෝම ප්‍රසිද්ද රිසෝට් එකකුත් තුබුනා.. අදත් තියෙනවා.. ජීවීතේ ගැන ගොඩාක් දේ ඒ කාලෙම ඉගෙන ගත්තා.. ඒ ජීවිතේ රහ දන්නේ ඒ ජීවීතේ විඳපු එකෙක් විතරමයි. මේවා අපේ ගෙවල් වලින් වත් අද වෙනකන් දන්නෙ නෑ.. මල්ලි නම් දන්නවා.. ඒත් ඌත් අද වෙනකන් කාටවත් මේවා කියලා නෑ..

    • මාතා….මේ කකුල්වලට කතාකරන්න පුළුවන් නම් කියයි අපි ආපු ගමන් මග. මේක එච්චර අමාරු නැහැ බන්. දැන් කකුල් දෙකම හරි. ස්තූතියි!!

      ///රහේ අඩුවක් තේරෙනවා… උඹ ඉස්සර උන්න මූඩ් එකේ නෙමේ වගේ ලියලා තියෙන්නේ../////
      හරිනේ බන්. මම මේක ලිව්වේ ඉස්පිරිතාලේ තියටර් එකට අරන් සිහිනැතිකරවන්න ඉස්සෙල්ලා වාඩිවෙලා ඉන්නකොට. පොතක්, පත්තරයක් බලාගෙන ඉන්න කියනවා. මම කඩදාසි ටිකකුයි, පෑනකුයි ඉල්ලන් මේක ලිව්වා. ඒ අතරතුර මොහිදින් බෙග් ලොක්කාවත් මතක් වෙනවා. කතාවත් ලියවෙනවා. ඒ නිසා වෙන්න ඇති ඔය රස බැහැලා සීරියස් වෙලා තියෙන්නේ. අනිත් එක මම හෙණ බිසි වෙලා හිටියේ වෙන වෙන වැඩ කටයුතු ටිකකට.

      මචං…උණවටුනේ මාත් ඉස්සර බහිනවා.UBR එකේ නම් මගෙත් එක්ක හිටිය එකෙක් පස්සේGM වෙලා ආවා. ජයසූරිය කියලා. පොර මැරුණා. එක්සෙක්ටිව් ෂෙෆ් හිටියෙත් මගේ යාළුවෙක්. හෝටල් ජීවිතේ උඹ කියනවා වගේ ඉන්න ඕන ට්‍රේඩ් එකක්. හැබැයි ඒක නිවැරදිව හදාරන්න ඕන. අනිත් එක ,එක්තරා වයසකදී ටිකක් උඩට ගිහින් ඉන්න ඕන. නැත්නම් එපා වෙනවා. කසාදයක් බැඳලා නොහිටියොත් එහෙම නාස්තිවෙන්න තියෙන ඉඩ වැඩියි. හැමෝම එහෙම නැහැ. අපි වගේ පිස්සන්ට ප්‍රවේශම් වෙන්න වෙනවා. තව විස්තර ඉස්සරහට කතා කරන්න බලමු.

  24. bindi2 says:

    දුක සතුට යස අයස මැද ගලන අපෙ ජිවිත. කලෙක අමිහිරි අත්දැකිම් පසු කලෙක අගනා මතක පමණි.
    හදිසියක් නැහැනේ. හිමිහිට ලියන්න. ඔබට ඉක්මන් සුවය පතනවා.

    • තෑන්ක්ස් බින්දි!! දැන් ඉස්කෝලෙනුත් අස්වෙලා නිසා ඒ ලෙවලුත් නැහැ…හදිස්සියක් නැතුව ලියන්නම්.

  25. Anonymous says:

    // ඒ හරියටම පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති//.
    වැඩියවෙලා හිටගෙන ඉන්න රස්සාවල් කලහම වෙරිකෝස් වේන්ස් ප්‍රශ්න එනව කියල නේද කියන්නෙ?

    එක්නැලිගොඩ වලව්ව ශිරාන් දැරනියගලගෙ

    • ඔව් බං ඇනෝ…හිටගෙන වැඩකරන අයට මේ ලෙඩේ හැදෙනවා. ඊට පස්සේ කකුල් රිදෙන්න ගන්නවා. නහරවල්වල ව්‍යාකූලතා නිසා බ්ලඩ් ක්ලොට්ස් වගේ එන්න පුළුවන් කියනවා. ඉතින් චාන්ස් එකක් ආපුවහාම බෙහෙත් කරගන්න එක හොඳයි.

      එක්නැළිගොඩ වලව්ව කියන්නේ පෞරාණික තැනක්නේ. මේ වගේ කෙනෙකුට ලැබුන නිසා වටිනාකම දන්නවා ඇති.

  26. Javi says:

    අරු සහෘදයාට ඉක්මන් සුවය පතනවා. Thank You මේක ලිව්වට. කීප සෑරයක් ඈවිල්ලා බලල ගියා පහු ගිය ටිකේම.
    රස්තියාදු ගහල විනාස වෙන ලමයෙක් ගෑන කියෙව්ව ඈති වගේ හිතෙද්දිම උඹ ඌට ජොබ් එකක් සෙට් කල දුන්න එක නම් මරු.ඔහොම යමන්. අර කියනවනෙ බන් හරි හම්බ කරපු දෙවල් දුක් මහන්සියෙන් දනට පිනට ගෙදර දොරට දුන්නේ මන් හිතේ මනාපෙන් කියල.

    • ජවි….ඔන්න මං ඌට පළවෙනි ජොබ් එක හොයලා දුන්නා. බලපන් ඕකා දැන්වත් හැදෙයිද කියලා. මට නම් ෂුවර් නැහැ.

      හරි හම්බ කරපු දේවල්වලින් දෙමව්පියෝ සහෝදර සහෝදරියන්ට කරන්නේ නැතුව වෙන කාට කරන්නද බන්. ඒ බැඳීම නැතිවුනාම වෙන මොනවා තිබුනත් මට නම් වැඩක් නැහැ.

  27. ඇළපාත says:

    සබ්බ රෝගෝ විනස්සතෝ
    මාතේ බවත්තංථරායෝ සුඛීදීගායුකෝ බව

    • සාධු….සාධු….සාධු…..

      උඹ මට පාලියෙන්ම දුන්නා නේද?

    • Ravi says:

      ඇළේ,

      / සුඛීදීගායුකෝ /

      මොකක්ද බං ඒ ප්‍රාර්තනේ? උඹ මම හිතන්නෙ ඕකෙ හරිම තේරුම දන්නෙ නෑ….සුඛී දීඝායු…දීඝායු කියන්නෙ නම් දික්වේවා!!! කියලයි. ඉතිරි හරිය කියන්නේ නෑ… 😀

  28. සුසර says:

    ඉක්මන් සුවය පතනවා ඔබහට
    ඔබ 1980 පාසලෙන් අස් වන විට මා රාජකීය විදුහලේ 6ට ඇතුලත් වෙනවා.
    ඔබ ගිය ආකාරයටම 122 බස් වල මීපේ සිට ගමන් කලේ .

    • සූසර……තවත් රාජකීය පේමියෙක්. මගේ තව යාළුවෙක් මීපේ ඉඳන් ආවා. අපි මීපේ-පේමි කරා. තාමත් කියන්නේ පේමි කියලා. මීපේ ටවුම අමතක වෙන්නේ නැහැ. බස් හෝල්ට් එක, හැතැප්ම කනුව, තේ කඩේ….දැන් නම් හැම දෙයක්ම වෙනස් වෙලා ඇති. සූසරගේ ගම මීපේද?

  29. ඩිලාන් says:

    මට නම් පොඩි අත්දැකීම් සෙට් එකක් තියෙන්නේ පොඩි රෙස්ටුවරන්ට් කීපයක්,,පිගන් කදු හෝදලා..අරූ අයියේ ඇත්තටම මට අපේ ලාංකිකයෝ ගොඩක් හමුවෙලා තියනවා ඔය කකුලේ කේස් එක වගේම,,අතේ නහර බ්ලොක් වීමත්,,සේරම කුස්සි වල පිනුම් ගහපු අය..
    ශිරාන් දැරණියගලලා ගැනත් මම පොඩ්ඩක් කියවලා තියනවා එයාගේ තාත්තා ඉදන්ම,,උගත් සල්ලිකාර වලව් පරම්පරාවක් නේද?
    හෝටල් සහ රෙස්ටුවරන්ට් රැකියා වලටත් මම ගොඩක් ආසයි,කීප වරක්ම වැඩ කලා ඒත් මේ දවස් වල වැඩිහිටි සත්කාර ජොබක් කරන්නේ,,ආයෙත් කුස්සියකට පනින්න ඕනා.
    ඉක්මනින් ස්කෝලෙ කතා ඉවර කරලා ජුනි මුලම මේ පෝස්ට් එක ආවේ රස්සා කරන්න අරගෙන ඇනවසරිය එක්ක පෝස්ට් එකක් දාන්න නේද,,මේ රස්සා අත්දැකීම් ඔන්න පුලුවන් මතක සේරම ලියන්න,ස්කෝලෙ වගේ ඉක්මනින් ඉවර කරන්න එපා

    • ඩිලාන්……පිඟන් ,කෝප්ප ශුද්ධ පවිත්‍ර කරන ඩිපාට්මන්ට් එක අක්‍රීය වුනොත් හෝටල් වහන්න වෙනවා. ඒකට කිව්වේ KITCHEN STEWARDING DEPARTMENT කියලා. හරිම අමාරු රස්සාවක්. කණගාටුවට කාරනේ මේ රැකියාවල් ගැන,ඒ සේවය ගැන ඇගයීමක් නැතිකම. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිනේ. මම 5ස්ටාර් හෝටල් ගැන ලියන කොට මේවා ගැන ලියන්නම්. මම තාම රස්සාව පටන් ගත්තා විතරයිනේ 😀

      ඩිලාන්….ඔය ගොල්ලෝ තරුන ළමයි නම්, හෝටල් ට්‍රේඩ් එකට කැමතිනම්, රස්සාව කරන ගමන් ඉගෙනගන්න..ඒක පුළුල් විෂයක්. ඉගෙනගත්තේ නැත්නම් එක තැන තමයි.පිටරට හෝටල් ස්කූල් එකක සහතිකයක් තියෙනවා කියන්නේ ලංකාවේ උසස් තනතුරක්. ජීවිතය කියන්නේ සිදුවීම් රාශියක එකතුවක්නේ. ඒ නිසා සිදුවීම්වලට ආදරය කරන්න. දැණුමෙන් සන්නද්ධ වෙන්න.

      ///ඉක්මනින් ස්කෝලෙ කතා ඉවර කරලා ජුනි මුලම මේ පෝස්ට් එක ආවේ රස්සා කරන්න අරගෙන ඇනවසරිය එක්ක පෝස්ට් එකක් දාන්න නේද,/////
      උඹට කියන්න ඩිලාන්, මම ඒ විත්තිය දැනගත්තේ මේක ටයිප් කරන්න ඉස්සෙල්ලා මම නිකමට සහතික බැලුවා. එතකොට දැකලා තමයි වෙනස් කරේ. ඒ දවසෙම තමයි කකුලටත් ගේම දුන්නේ. බලපන් දෛවය. ඒකනේ දෛවයට කොම්බු දෙකක් තියෙන්නේ 😀

      දැරණියගල පවුල..පාරම්පරික උගත්,ධනවත් පරම්පරාවක් හැටියට තමයි සැලකෙන්නේ.

  30. ජර්මන් ජාතිකයන් සල්ලි වියදම් කරන්නේ පරිස්සමින්. අවශ්‍ය දේට වියදම් කලත්, සල්ලි නාස්ති කරන්නේ නෑ කියන එක තමා මම දකින්නේ. හපොයි දැන් නම් ඒ අය කලු කෙල්ලොන්ට කැමතියි. ජර්මන් කාන්තාවන් හරිම සැර කොටසක් හන්දා, මේ අය ආසිතියාතික ගැහැනුන් විවාහ කරගැනීමට කැමතිලු. ඒ අය ඉතින් පිරිමින්ට දෙවිවරුන්ට වගේ සලකනවලුනේ. 😀

    • පොඩ්ඩි….කනවා බොනවා විනෝද වෙනවා කියන්නේත් අනවශ්‍ය වියදමක් නෙමෙයිනේ 😀
      ඔයාට මතකද MIND YOUR LANGUAGE එකේ හිටිය ජර්මන් කෙල්ලගේ කැරැක්ටර් එක. පන්තියම බයයි එයාට.

      /////ඒ අය ඉතින් පිරිමින්ට දෙවිවරුන්ට වගේ සලකනවලුනේ. :D/////
      සැමියා බිරිඳගේ දෙවියාය කිව්වේ කට කහනවාට නෙමෙයිනේ 😀

      • MIND YOUR LANGUAGE ආයේ බලන්න ඕනේ.. හෙහ් හෙහ්

      • මටත් ආපහු බලන්න හිතුනා. ඔය විදිහටම තව රටවල්වලත් කරා. ඇමරිකාවේ ‘what a country සහ ඉන්දියාවේ’zabhaan sambalke කියලා. මම බලලා නැහැ. බලන්න හිතුනා. mind your language නම් politically incorrect කියලාත් සංවාදයක් ගියා එක කාලයකදි. හැම එකකම political correctness හොයන්න ගිහින් සමහර වෙලාවට අනාගන්නවා.

        පැතුම් දන්නවා ඇතිනේ ඒකේ රංජීත් සිංට හිටිය ඇල්බට් මෝසස් ලංකාවේ කෙනෙක් කියලා.

      • Ravi says:

        ජර්මන් ලේඩිගෙ නම Anna Schmidt. Mind Your Language කියන්නෙ පිස්සු හැදෙන සීරීස් එකක්. 1982 රූපවාහිනිය ආපු දවස්වල මම නොවරදවාම බැලුව.

        උඹට මතකද මචං Blakes 7 , Who pays the Ferryman, Petrocelli සහ Big Valley. ඔව්ව ගැන ලියන්න හිතාගෙන ඉන්නව වෙනම පෝස්ට් එකක්. Mind Your Language එකේ පකිස්තාන කාරය අලි නදීම් කියනව ප්‍රින්සිපල් මිස් කෝට්නිට ” Squeeze me Plese Lady, I am Ali..Ali Nadeem “ මිස් කෝට්නිට මල පනිනව. අලි දිහා රවල අහනව ” Whaaaaat?? Squeeze You? Who do you think I am ? “

        රන්ජිත් සිං කොයි වෙලාවෙත් කියන්නෙ ” A Thousand Apologies “ කියල

      • රවී…..මේ දේවල් ගැන ලියපන් රවී. මම හරිම ආසයි මේ බ්‍රිටිශ් එවුන්ගේ හියුමර් එකට. උඹ බලලා ඇතිනේFAWLTY TOWERS. මචං ඒකේ පොරJOHN CLEESE ඉන්න CLOCKWISE බලපන් කොහොමහරි. මගේ ආසම එකක්. උඹ ක්මති වෙයි. අති පන්ඩිත ප්‍රින්සිපල් කෙනෙක්. ඊළඟ තත්පරේ කරන ගොන්පාට් එක මොකක්ද කියලා හිතාගන්න බැහැ. හැම මොහොතක්ම හෙණ පිස්සුවක්.

      • @ aru,

        සිරසෙනුත් කළා ඒකෙ කොපියක්… රොඩ්නි ෆ්‍රේසර් හිටියේ ගුරාට.. Excuse me කියන එකට “එක කුසුමී “කිව්වෙ ඒක තමා..

      • සෙන්නා……රජ කඩුව නේද? දැන් තමයි හිතුනේ ටිකක් දුරට අරවගේ නේද කියලා.

  31. අරූට ඉක්මන් සුවය පතනවා…එතකල් ඇඳේ ඉඳන් බ්ලොග් බලන්ට හොඳේ. ඉක්මන් සුවය ලැබෙයි… 🙂

    • තෑන්ක්ස් පොඩ්ඩි. බබා වගේ ඇඳටවෙලා ඉන්නවා. කප් රුක පහලවෙලා වගේ 😀

  32. sudeeka says:

    අරූට වගේම මටත් කාර්ය බහුල කාලයක් වුණා පහුගිය සති දෙක. වැඩිය බ්ලොග් බලන්න අවස්තාවක් ආවේ නෑ. මට වැඩියෙන්ම දැනෙන කොටස දැන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මමත් බැංකුවට එන්න කලින් බෙන්තොට-බේරුවල හෝටල් දෙකක වැඩ කළා. හැබැයි ඔෆිස් වල නිසා අවුලක් තිබුණේ නෑ. ඒ අත්දැකීම් කියලා වැඩක් නෑ. හෝටල් වල සියලුම සේවකයෝ සමගියෙන් සර්විස් චාජ් එක ඉහල දා ගන්න වෙන මහන්සියක්. නමුත් අපි දැන් වැඩ කරන තැන් වල ඒ වගේ සමගියක් නෑ. කෙනෙකුට කෙනක් නැති තරම්.

    විවේකයෙන් ඉන්න. හොඳ නින්දක් ගන්න. බොහෝ රෝග හොඳ වෙන්න අවශ්‍ය දිගු නින්දක් තමයි. ඉදිරියට වඩා රසවත් වෙයි කියලා හිතෙනවා.

    • සුදීක….මම දැණගෙන හිටියා ඔබට හෝටල් ගැන අත්දැකීම් තියෙනවා කියලා. ඔෆිස් වල නිසා ශිෆ්ට් වර්ක්, ස්ප්ලිට් ඩියුටි වගේ කරදර නැහැනේ. ඒ මොනවා වුනත් ඒ වගේ ටීම් වර්ක් තියෙන ෆීල්ඩ් ගොඩාක් අඩුයි. සර්විස් චාර්ජ් එක වැඩිවෙන නිසා කාමර පිරෙන තරමට කැමතියිනේ. අනිත් එක සුදීක සිටි හොටෙල්ස් වලට වඩා රෙසෝට් හොටෙල්ස්වල ජීවිතය හෙණ ජොලි. මාත් දකුණට එනවා ටික කාලයකට පසු කාලයකදි. සුදීක හෝටල්වලම හිටියා නම් චීෆ් එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තිබුනා. දන්නවානේ තියෙන සැප හෝටල්වල ලොක්කන්ට. හැබැයි ඉතින් වගකීම්නම් ඔළුවටත් උඩින්.

      ඉක්මනින් සනීපවෙයි. ලොකු අවුලක් නැහැ.ස්තූතියි!

  33. maheshrathnayaka says:

    ඒ කියන්නෙ අපි අය්ය අය්ය කීවට මේයා මාම කෙනෙක්… බලං ගියාම හැට ගණන් වල වගේ….
    හ්ම්… ඉස්සරහට තවත් අපූරු සටහන් කියවන්නලැබෙයි වගේ…
    ඉක්මණටම සුවය ලැබේවා…..
    ජයවේවා

    • මහේෂ්…..මාමා කෙනෙක් වෙන්න ඇති. මම හැට දෙකේ බුවෙක්. මොකෙක් වුනාම මොකෝ බන්. කියවපන්කෝ බලන්න. උඹට ස්තූතියි!!

  34. helapayaa says:

    පස්සෙ කියවන්නයි කියල තියාගත්තම නොදනිම මග ඇරෙනවා මචං.උඹේ අසනීපෙ ගැන යාලුව වත් මට කිව්වේ නෑ ඌ දන්නෙ නැතුව ඇති නේද.කොහොමවුනත් ඉකමන් සුවය ප්‍රාර්ථනා කරනවා.එහෙනං මේ දවස් ටිකේ ගොඩක් කියවන්න පුළුවන් නේද.

    • මචං හැලපේ….යාළුවා දන්නේ නැහැ. මම ෆුල් ආතල් එකේ ඉන්නවා. අතට පයට සම්පාදනය වෙනවා. අමාරුව ඩබල් කරලා පෙන්නනවා. සැප කණේ. මේකේ එල්ලිලා ඉන්නවා කියන එකටනම් කොහොමත් බර බරේනේ. කකුල නිසා වෙන එව්වාගේ එල්ලෙන්න විදිහකුත් නැහැ.

  35. Damith says:

    අරු අයියට දැහොදයිද.රක්ෂන සන්ස්ථාව මගෙත් පටන්ගැන්ම.එතකොටනම් අයිති හැරි අයියට

    • දමිත්……මම දන්නවා උඹ ඉන්ෂුරන්ස් කියලා. ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් තමයි ස්ටාට් එක කියලා දන්නේ නැහැ. අපේ පියා 1961දී තමයි ඕකට ගිහින් තියෙන්නේ. ආරම්භක සාමාජිකයෙක්.

      දමියා මම ෆිට් එකේ ඉන්නවා. මේ දවස්වල මෙහේ රස්නේ පටන් ගත්තා. ඒක එනකම් තමයි මිනිස්සු බලන් ඉන්නේ. අපරාදේ ඒත් මම තාම ඇඳ උඩ.

  36. Pra Jay says:

    //පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති.//
    Varicose veins හුගක් වෙලා හිටගෙන හිටියහම නේද?
    මුලින් ලියපු කොමෙන්ට් එක නෑ.
    ඉක්මන් සුවය පතනව

    • ප්‍රා……කමෙන්ට් එකක් ස්පැම් එකේ නම් නැහැ. මේක හිටගෙන ඉන්න නිසා එන තත්වයක්. ඕක ගොඩාක් බබාලා හම්බවෙච්ච මව්වරුන්ටත් එනවාලු. ඒත් අපේ අම්මාටනම් එහෙම වුනේ නැහැ. ස්තූතියි ප්‍රා.

  37. Ravi says:

    මගෙ පළවෙනි රස්සාව ( ඇත්තටම නම් දෙවෙනි රස්සාව, ඒත් පඩියක් කියල හම්බ වෙච්ච පළවෙනි රස්සාව ) කලේ පුරා විද්‍යාවට සම්බන්ධ ආයතනයක. එහෙ වැඩ කරද්දි ආචාර්ය ශිරාන් දැරණියගල මහත්මය කීප විටක් හමු උනා. ඔහු ඒ දවස්වල මන්නාරම් වරාය අසල ඉතා පැරණි ජනාවාසයක් මතුකර ගැනීමේ කැණීම් කටයුතුවල නිරත වෙලා හිටියා. පස්සෙ කාලෙක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වුනා මට මතක හැටියට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්..ඔහුගේ පියා අචාර්ය පී.ඊ.පී. දැරණියගල මහත්මයා. හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙක්.

    • රවී…..
      //////වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්..//////
      මේ කතාව ඇත්ත. කවදාවත් හෝටලේ වැඩවලට ඇහැක් ඇරලා බලන්නේ නැහැ. තමන් දන්න වැඩේ කරගෙන ඉන්නවා. පොඩි ළමයෙක් වගේ. මට මතකයි හෝටලේ මේන් බිල්ඩිමේ තමයි ඒ අය හිටියේ. ඉස්සරනම් සුදු තමයි ඇන්දේ. උගත් බුද්ධිමත් මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ.

      • Pra Jay says:

        දැන් එක්නැලිගොඩ වලව්ව දැරනියගලගෙ.
        ඇත්තෙන්ම ඔහුගේ නම සිරාන් (ශිරාන් නෙමේ)

  38. විදානේ.. says:

    ඉක්මන් සුවය ලැබේවා ඔබට!!!

    ඔබගේ පලවැනි රැකියාව මටත් වඩා මහළුයි..
    මතකය කදිමට පෙළගස්වනවා..

    ජය වේවා!!!

    • ස්තූතියි විදානේ…..ඒ කියන්නේ උඹ ඉපදිලාත් නැහැ මම වැඩට යනකොට. ෂා…ෂා.ෂා බොහොම කැතයි.

      උඹ පේන්න නැත්තේ මොකෝ?

  39. උඹේ කතාව කවදත් කාටත් ප්‍රයෝජනවත් වෙන චරිතාපදනයක් වෙනවා ස්ථීරයි.. මේක කොහොම හරි පොතක් විය යුතුමයි…

    ජර්මන් උන් ගැන උඹ කියලා තියන ඔක්කොම ඇත්ත. උන් හරිම නීට්, ලෝබ නැති, වියදම් කරන්න ඕනා තැනට ප්‍රශ්ණයක්වත් අහන්නැතුව අත දිග හැරලා වියදම් කරණ ජාතියක්.. ආන්න ඒකට ඉන්දියන් අයියලා…පටන් ගන්නෙම ඩිස්කවුන්ට් නැත්ද කියලා. ඊට පස්සෙ අරක ඇයි, මේක ඇයි, මේක අඩු කරන්න බැරිද ? අරවද, මේවද ප්‍රශ්ණ කෝටියයි…

    • සෙන්නා හිටපු ගමන් දකින්න නැතිවුනේ කකුලේ ඔපරේශන් එකක්වත්ද? මේක පොතක් කරොත් උඹලා ලියනා දේවල් පොත්වලට වඩා වටින තැන්වල ලියලා තියන්න වටිනව.

      ජර්මන් කාරයෝ නම් පොරවල් තමයි බන්. සෙන්නා මේ රටවල්වල බඩු මිලදී ගැනීමේදි කවදාවත් කේවල් කිරීම් වෙන්නේ නැත්තේ ඇයි කියලා මම කල්පනා කරනවා. ඒ පුරුද්ද මේ රටේ නැහැ. ඉන්ඩියන් කාරයෙක්වත් එහෙම කරන්නේ නැහැ.

  40. සමාවෙයන් අමතක වුනා. උඹට ඉක්මන් සුවය පතනවා !!

    • ස්තූතියි මචෝ….හැබැයි ඉක්මන් නොවී සුව වෙනවානම් නියමයි. ඇඳ ගාවට සැලකිලි.

  41. Anonymous says:

    අප්පේ…………….. හ්ම්…. මම ඔබට ඉක්මන් සුවය පතනවා !!

  42. අරෑ මචෝ උඹගේ ජීවිත කතාව එන්න එන්නම සෑම අන්දමකම හැඟීම් වලින් පෝෂණය වෙනවා. උඹට ජය!
    මම දන්නේ අදයි පාදයේ ශල්‍යකර්මය ගැන. මටත් බ්ලොග් පැත්තේ එන්න බැරිවුනා. දැන් කොහොමද සැප සනීප?

    • සැපයි, සනීපෙයි කණ් දෙකෙන් බේරෙනවා. ෆිට් එකේ ඉන්නවා චන්දන….

      ජීවිතේ කියන්නේ මචං ඔහොම දෙයක් තමයි.

      ගලන ගඟකි ජීවිතේ………….

  43. Manna says:

    අරූ, තට්වමත් ඇඳේ ද? ජොස් බට්ලර් ගේ අවුට් එක ගැන කමෙන්ට් එකක් නැද්ද? ……………..

    අරූ සංචාරක සංචරණ ක්ෂේත්‍රයට පිවිසුනේ ඇසුවේ නේද ?, මමත් ආශ්‍රිත ෆීල්ඩ් එකකට ආවේ ඉන් මදකට පස්සේ. හැබයි අසූ තුන පහුවුනනම් අපි ජීවිතේට මේ ෆීල්ඩ් එකට එන්නේ නෑ.

    මොකද අසූ දෙක වෙනතෙක් ලංකාවට සංචාරකයන් පැමිණීමේ වාර්ෂික වර්ධනය සියයට විස්සකට වඩා තිබුණා. අසූ දෙකේ සංචාරකයන් හාර ලක්ෂ තිස් දාහකට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබුණා. අසූ තුනේ ඉදන් අපිට කන කොකා හැඬුවා. අසූ දෙකේ වාර්තා කරපු සංචාරකයන් ගාන නැවත වාර්තා වුනේ තව අවුරුදු විස්සකට පස්සේ …..දෙදාස් දෙකේ !

    එතකන් අපි පටි තදකරගෙන තමි හිටියේ , අද තත්වය බොහොම වෙනස් , අද සංචාරකයින් මිලියනයකට වඩා (කියල හිතමු) ඉදිරිය ඊටත් වඩා හොඳ වෙයි. අද ළමයින්ට ‍ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් හොඳ ෆිල්ඩ් එක, එත් එකට ආස කරන අය විතරක් කර යුතු දෙයක් ,

    Afterall, work without love is slavery ! (Mother Theresa)

    මොකද හිතන්නේ?

  44. katussaa says:

    අලියෙක් එනකන් බලන් ඉන්න බැරි නිසා පයින්ම ඇද්ද ගල්කිස්සට වෙනකන්.මෙච්චර කල් කියෙවුවට කමෙන්ට් කලේ නැත්තෙ ඉක්මනට වර්තමානෙට එන්න ඔනෙ නිසා.ඒත් මේක දකිද්දි ඇවිස්සුන වගේ.මාත් මේ ක්ෂේස්ත්‍රයේ ආසාවෙන් වැඩකරපු නිසා.හැබැයි කුස්සියේ,බක්කරේ ලයින් එකේ. උසස්පෙළ කාලේ කකුලට සිද්දවුන අනතුරක් නිසා කකුල සද්ද දාන්න පටන්ගන, අයින්වෙන්න වුනා ක්ෂේස්ත්‍රයෙන්.පැය 12-14 හිටගන ඉන්න එක ඔරොත්තු දුන්නේ නෑ ඒ කකුලට.ඔය කතාවත් එක්ක මාව අපහු ඒ අතීතයට ඇදිල ගියා.

    පොඩ්ඩක් ඉන්නෝ…..අමරබන්ධු මහත්මය හම්බවෙන්න ඉක්මනට එනවෝ……

    • කටුස්සෝ…….හෙමින් කියවගෙන වරෙන්..බක්කරේ ලයින් එකත් හරි කටු ජොබ් එකක් ස්ටාට් එකේ. එක ලෙවල් එකකට ආවාට පස්සේ හරි. මොනවා වුනත් හිටගෙන ඉන්න එකනම් වලක්වන්න බැහැ. හිටගෙන ඉන්න එක ඇඟට හුරුවෙලා පාටි එකකට ගියත් හිටගෙනමයි ඉන්නේ :

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s