අවුල් වන්නට පෙර..(45) රණසිංහ අන්කල්..

ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! 😀

ගල්කිස්සේ මා සේවය කල කාලය පුරාවටම , නොයෙකුත් ජාතින් සහ නොයෙකුත් ආකරයේ මිනිසුන් ,ගැහැනුන් මුණ ගැසුණි. ඒ අතර නොයෙකුත් රටවලින් පැමිණ හඳුනාගත් විදේශිකයන් රාශියක් සහ ලිපි හුවමාරුද බොහෝ විය. ඉන් සමහරක් පසු කාලයන්හී මට නැවත හමුවී ඇත. එවන් අපූරු තරුණ යුවලක් මට මුණ ගැසුණේ ගල්කිස්ස වෙරළේදීය. සේවා මුරයේ ලැබෙන කුඩා සිගරට් විවේකයේදී වෙරළටවී සිටිනා විට මේ යුවළ මා අසලට පැමිණ සිගරට් එකක් තිබෙනවා නම් දෙන්න යැයි ඉල්ලා සිටියෝය. එසේ යමක් ඉල්ලා සිටින බටහිර මිනිසුන් මා දැක තිබුණේ නැත. මම දුම් වැටි දෙකක්ද මොවුන්ට ලබාදී කතාවට වැටුණෙමි.

අවුරුදු තිහක් පමණැති ජර්මන් ජාතිකයන්වූ මොවුන් දෙදෙනා, ලොව වටා සංචාරයක් යන අය බවත්, ඔවුන් පැමිණි කැරවෑන් රථය පාකිස්ථානයේදී ගිනිබත්වූ බවත්, ගමන් බල පත්‍රය සහ යම්කිසි මුදලක් සහිතව ඔවුන්ට ශ්‍රීලංකාවට ගොඩ බැසීමට හැකිවූ බවත් කීහ. දින දෙක තුනක් සිට නැවතී ඉන්නේ කුඩා කාමරයක බවත්, අත තිබූ මුදල් අවසන් බැවින් කෑම, බීම, නවාතැන් පවා ප්‍රශ්නයක් බව පැවසීය. තව දින කිහිපයකින් ජර්මන් තානාපති කාර්යාලය හරහා තම රටින් මුදල් ගෙන්වා ගැනීමට සුදානම් බවත් පැවසීය. එකල ඉතා සුළු සංචාරකයන් පිරිසක් අතර මිසක් අන් අය ළඟ AMERICAN EXPRESS, DINERS CLUB CARD වැනි ගෙවීම් පහසුකම් නොවීය. TRAVELLERS CHEQUES (THOMAS COOK)භාවිතය බහුල විය. අද මෙන් එදා VISA. MASTER CARD වැනි ක්‍රම වේදයක් නොවීය. මොවුන් හිපියන් හෝ එවැනි වර්ගයේ සංචාරකයින් බව නොපෙනේ. එවැන්නන් හඳුනාගත හැකිය. මොවුන් දෙදෙනා අවන්හලට රැගෙන විත්, කෑමෙන් , බීමෙන් සංග්‍රහකර. මගේ පඩිපතින් කපාගන්නා ආකරයේ වැඩ පිළිවෙළක්ද යොදා , ඔවුන් අතට සුළු මුදලක්ද, සිගරට් පැකැට්ටුවක්ද දී, පසුදින මා නිවාඩු නිසා හමුවෙන ලෙස දන්වා සමුදුන්නෙමි

ගල්කිස්සේ පොරෝලිස් මාමාගේ ගෙදර උදවීයටත් මේ බව දන්වා, ඔවුන් දෙදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කළේය. පොරෝලිස් මාමා කිව්වේ “උඹ ගෙනාවොත් ගේන්නේ හිඟන්නන් “බවය. ඇත්තටම එතනට එන්නේ ධනවත් සංචාරකයින්ය. ඒ මැණික් භාණ්ඩ මිලදී ගන්නට මිස කන්න බොන්න නොවේය. කෙසේ වෙතත් නියමිත පරිදි සතුටින් කා, බී, ප්‍රීතිවී විසිර ගියෝය. නැවතත් දින දෙකක්, තුනක් යනතුරු මට ඔවුන් මුණ නොගැසුණි. මම හිතුවේ මුන් නම් නියම පොලු කාරයන් බවය. නමුත් එය එසේ නොවීය. ඔවුන් මා සේවය කල අවන්හලට පැමිණියේ මටත්, පොරෝලිස් මාමගේ ගෙදර අයටත් තෑගී බෝගධ රැගෙන ඉතා සතුටින්ය. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇති පදමට කා බී විනෝදවී, සියලු ගනුදෙනුද පියවා ඔවුන් අප හෝටලයේම නවාතැන් ගති. ඒ ජර්මන් යුවළ ඉන් පසුවත් ලංකාවෙන් පිටව යන තුරු මා හා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීය. වරින් වර ලංකාවට පැමිණි ඔවුන්ගේ මිතුරන් අත මට තෑගී බෝගධ එවූ බව මතකය. පසු කාලයකදි ඔවුන් දෙදෙනාද, ඉන් පසු වරක් ඇය පමණක්ද ලංකාවට පැමිණියේ, මා නිසාම බව ඇය මට පවසා ඇත. ලිපි ගනුදෙනු හුවමාරුවට මා දැක්වූ අලසකම නිසාම, මේ ගනුදෙනු සම්බන්ධතා පසු කාලයකදි මග හැරුණි. මෙවැනි අය අතහැරූ අවස්ථා කිහිපයක් විය. මට පිටරටකට යෑමටවත්, මේවා ගැන උනන්දුවක්වත් නොවීය. මා ජීවිතය රස වින්දෙමි. ඒ නිසාම අද මම සියලු දේ නොව හොඳම දේ රස විඳින්නෙමි.

ඉතාමත් තරුණ වියේදීම රැකියාවකට යාමත්, ඇති පදමට මුදල් ගැවසීමත් නිසා ,මුදල් පිළිබඳ නිසි අගයක්, වැටහීමක් නොතිබුණා යැයි සිතමි. මෙයට මූලික හේතුවක් විය හැක්කේ මගේ රැකියාවේ ස්වභාවය විය යුතුය. මාසයකට වරක් ලැබෙනා වේතනයක් පමණක් වූවා නම් එය සීරුමාරුවෙන් පරිහරණය කරගැනීමට ඕනෑම කෙනෙක් පෙළෙඹේ. අපට දිනපතාම ඇතිතරමට කාසි මුදල් ලැබෙන නිසා, නිතරම හිතුවේ ඒ මුදල එදාට වියදම් කර දමා, මාසිකව ලැබෙන වේතනයෙන් අනිකුත් වැඩ කරන්නටය. හෝටල් සහ අවන්හල් සේවකයන් බොහෝ දෙනෙක් එයට හුරුවී තිබුණි. මට කෑමට වියදමක් නැත. නැවතීමේ පහසුකම් සඳහා ගෙවිය යුතු නැත. පොරෝලිස් මාමාට දිනකට දෙකකකට වරක් නෙවිකට් පැකට් එකක් අරන් දුන්නා මිස, ඒ ගෙදරට මගෙන් විය යුතු අන් කිසිවක් නොවීය. මුදල් හා සම්බන්ධව මට තිබුණේ අවම වැටහීමක් පමණි.

මම හැකි පමණින් අම්මා අතට මුදල් දීමට මැලි නොවූයෙමි. ගෙදර යන්නේ මාසයකට වරක් පමණක් නිසාත්, අම්මා ගල්කිස්සට පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් නිසාත්, අත ඇති මුදල් සියල්ලම මම ඇය අත තැබුවෙමි. මගේ හෙට වියදමට ඩොලර් හෝ රුපියල් නැවත ලැබෙන බව නියතය. ඒ ගැන වැඩිය සිතිය යුතු නොවීය. ඒ කෙසේ වෙතත් ගෙදර උදවිය දැන් තරමක් දුරට ,තම හැකි පමණින් වැඩ කටයුතු කරගෙන යනු ලැබේ. සහෝදර සහෝදරියන් පාසැල් ගමනේය. ලොකු මල්ලි වැල්ඩින් වැඩ පුරුදුවෙන්නට යයි. ලොකු නංගි මා සමග පොරෝලිස් මාමාගේ ගෙදර නැවතී සිටී. ආච්චි. අම්මා, රොමානිස් නොහොත් පොඩි අයියා ඇතුළු කට්ටිය දෙල්කඳ ලොකු අම්මාගේ නිවසේ එක් පැත්තක්ක වාසය කරති. තාත්තා රක්ෂණ සංස්ථාවේ කොළඹ ශාඛාවේ වැඩය. තාත්තාගේ මිතුරු ඇසුරත්, බීමත් පොඩ්ඩකින්වත් අඩු නැති බව නම් බොහෝ කලක් යන තුරු මම දුටුවෙමි.

අප පදිංචිව සිටි ඉරිදාපොළ ඉදිරිපිට මේ කුඩා නිවස, බොහෝ පැරණි නිවසක්ය. අපේ අයත් තම පහසුකම් සපයාගත්තෙත් නොයෙකුත් අපහසුතා මැදින්ය. තාත්තා, ඒ මදිවාට තව යහළුවන් දෙදෙනෙක්ද ගෙදරට වඩම්මවා ගෙන ඇත. මේ එයාගේ පැරණි මිතුරන්ය. ඊට අමතරව තව කෙනෙක් අම්මාගෙන් උදේට රුපියල් පහක් හෝ දහයක් හෝ දහයක් දඩයක් දා ගනී. ඒ චාල්ස් අංකල්ය. ඒ අයටත් අපේ අම්මා උදව් කළේ වෙන මොහොකටවත් නොව, ඔවුන් අපටද කල උදව් පදව් අම්මාට මතක ඇති නිසාය. අද මේ තත්පරයේ අම්මාට කතා කල විගසම ඇය කිව්වේ, මට බෙහෙත් ගන්නට මුදල් නැති දිනෙක චාල්ස් අංකල් මාව මහරගම ඩොක්ටර් සිල්වා ගාවට එක්කන් ගිය කතාවක්ය. මට ලියන්න කතා ගොඩය. අපේ අම්මා මැණිකක්ය. දැනුත් කතා කරමින් සිනා වෙන්නීය. මේ තාත්තාගේ මිතුරන් ජීවිතයේ අසරණ අඩියක ගත කල බව ඇත්තය. අපේ තාත්තා ඊට වඩා අසරණය. නමුත් අපේ තාත්තාට වඩා අම්මා දුකට පිහිට විය. අපේ අම්මා නැතිබැරි එකා වෙනුවෙන් පිහිට වුණේ තාත්තා මෙන් බත් පතටත් එහා ගිය අති පාරිශුද්ධ මානුෂිකත්වයකින්ය. මම ඒ ගැන පසුව ලියමි.ඔවුන් සොඳුරු මිනිසුන් බව ඇත්තය. නමුත් අප ජීවත්වීමේ අඩුපාඩු ගැන සිතිය යුතුය. තාත්තා තම බත් පත අනිකෙකුට දී නිදාගන්නා මිනිසෙක් වුවත්, එය ජීවිතයේ පුරුද්දක් ලෙස කරගෙන යෑම අප වන් දිළින්දන්ට යෝග්‍ය නොවේ. නමුත් අප නිවසේ සිදුවූයේද එයමය. නමුත් ඒ අතීත ය ගැන පසුතැවිලි වෙනවාට හෝ හඬා වැටෙනවාට වඩා ඒ ගැන ලියා තැබීම වරදක් නොවේ.

මම ඔය කිවූ දෙදෙනාගෙන් එක් අයෙක් නම් සොඳුරු මිනිසෙක් යැයි කීමට නොහැකිවුවත් , ඔහු නිසා මා එක් ජීවන කඩ ඉමක් පසු කෙරුවෙමි. ඒ ධර්මපාල අංකල් නම්වූ මිනිසා නිසාය. ඔහු අන්කල් කෙනෙක් වූවත් ධර්මපාල කමක් නොවීය. ඔබ මගේ කතාව මුල සිට කියෙව්වුවානම් . අපේ ආච්චිගෙ අගස්ති මාලය උගස් තියා අපට මුදල් ගෙන එනවා යැයි කියා වසර ගණනක් වසන්වී සිටියේ මොහුය. අපේ ආච්චී මොහුව නැවතත් පිලිගත් සැටි මම පසුව කියමි. ඒ අන් කිසිවක් නිසා නොව, රණසිංහ අංකල් නම්වූ අනිකා ගැන ලිවිය යුතු දේ බොහෝ නිසාය. තාත්තාට රණේත්, රණේට, බෑඩ් (BAD )යනුත් අතිජාත බොක්කවල්ම වූ නිසාය. අපි ඒ බැව් කුඩා කල සිට දන්නෙමු. ඔවුන් රක්ෂණයේ පුරෝගාමින්ය.BAD(බෑඩ්) නම් අපේ තාත්තා නම්වූ සුහදවන්තයාගේ මුල් අකුරුය. බෑඩ් නොහොත් බී.ඒ.ඩී. පෙරේරා කිව්වොත් එදා රක්ෂණ සංස්ථාවේ සහෝදර සේවක අයිතීන් වෙනුවෙන් ජීවිත පරදුවට තබා වෘත්තීය අරගලයන්හී යෙදුණ මිනිසෙක් විය. රණසිංහ අන්කල් ඊට නොදෙවෙනිය. රංජිත් යහම්පත්, මිල්ටන් ගුණපාල වැනි අයද එතැන සිටි බව කිව යුතුය. පසුව රන්ජිත් අන්කල් ඒට්කන් ස්පෙන්ස් ආයතනයේ රක්ෂණ ව්‍යාපාරය ඇරඹීමේ මූලිකයා විය. මිල්ටන් ගුණපාල , විජය කුමාරණතුංග සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇරඹීමේ පුරෝගාමිකයෙක් විය. මේවා දිග වැඩි කථාය. අපේ අම්මා නම් කිව්වේ BADලා, රණසිංහලා කසාද බඳිනවාට වඩා දේශපාලනය හෝ බෝතලය, ජීවිතය කරගත්තා නම් හොඳ බවය. සහතික ඇත්තය. රණසිංහ අන්කල් නම් කිසිදාක විවාහවී සිටියේ නැත. ඔහුගේ විවාහය බෝතලය සමග විය.

රණසිංහ අන්කල් ප්‍රමාණික උගතෙකි. බුද්ධිමතෙකි. පාලි,සංස්කෘත, හින්දි, දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා ගැන ඔහුට තිබුණේ විශිෂ්ට දැනුමකි. බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුමක් විය. දහම් පාසල් අධ්‍යාපනය සහ එහි හරයන් ගැන විභාග ඉහළින් සමත් වූ අයෙක් විය. මොහු මෙතරම් නිහඬත්වයට සහ බීමත්කමට ආදරය කළේ ඇයි දැයි මම නොදනිමි. ඔහු කතා කළේ අඩුවෙන්ය. සවන්දීමට ප්‍රිය කළේය. ඉඳහිට හෝ කියන්නේ, කෙනෙකුට නැවත නැවතත් සිතිය යුතු දේ අඩංගු වාක්‍යයක් හෝ දෙකක් පමණි. ඔය ආදරණීය මිනිසා නිදාගත්තේ අපේ අර කුඩා නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන එක් කොණකය. ධර්මපාල අංකල් තව කොණකය. රොමානිස් නොහොත් පොඩි අයියා නම් වයෝවෘද්ධයා ඊට හපන්ය. (ඔහුව කුඩා කල පාරක අත හැර දමා තිබියදි, අපේ සීයා විසින් හදාවඩා ගත් කෙනෙක් නිසා අම්මා කතා කරේත් පොඩි අයියා කියාය. හොරෙන් ගංජා බිවු බව මම හොඳින් දනී) ඔහු තව පැත්තකය.

අපේ අම්මාගේ මිතුරියක් විය. ඇය වීරරත්න ඇන්ටි නම්, ඉතා කෙසඟ සිරිරුක් හෙබි කට සැර ධනවත් කාන්තාවකි. ඇය අපේ අම්මාට බොහෝ ලෙසින් ආදරය කළේ අම්මාගේ තිබු ලෙන්ගතු මනුස්සකමට විය යුතුය. අපේ ගෙදරට නිතර පැමිණෙනා ඇය තාත්තාට නිතර දොස් පවරන්නේ , වෙන කිසිවක් නිසා නොව තාත්තාගේ අනවශ්‍ය වියදම් නිසාමය. ඇය නිතර අප නිවසට පැමිණියේ ඇයගේ දරුවන් ඇයට සවන් නොදෙනා නිසා බව අප දනිමු. ස්වාමියා ඇය අත හැර ගොසින්ය. දරුවන් අයාලේය. ඒ මසුරුකමේ පීඩාවන්ය. අප ඉස්තෝප්පුවේ නිදාගන්නා රණේ සහ ධර්මේ දකිනා ,ඇය කියන්නේ “මිසිස් පෙරේරා…හොඳ පුන් කලස් දෙකක්නේ ගේ ඉස්සරහින් තියන් ඉන්නේ…මුන් පන්නන්න “කියාය. අපේ අම්මා කට කොනකින් සිනහා වුණා මිස, කවදාවත් ඔවුන්ට හිත රිදෙනා වචනයක් කීවා නොවේ. ඒ අපේ අම්මාගේ හැටිය. ඇය නැති බැරි එකාගේ දුක මැනවින්ම හඳුනාගත් ගැහැනියක්ය. මේ කතා දීර්ඝව ලිවිය යුතු ඇත.

මෙවැනි මිනිසුන් නැති ලෝකය අද්භූතය.. මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි..එවැනි මිනිසුන් අහිමිවූ ලෝකය තුළ දකින්නට ඇත්තේ පුස්සන්ය. සැබැවින්ම පුස්සන්ය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

82 Responses to අවුල් වන්නට පෙර..(45) රණසිංහ අන්කල්..

  1. About aruge adaviya
    ෂේප් එකයි,පාරයි—ටෝච් එකයි,පොල්ලයි.
    aruu මේ සිංහල වචන වල තේරුම මොකක්ද? පෝස්ට් එක ගැන පස්සේ කතා කරන්නම්?

    • යම් වයසකට ආවම අපේ අතීතය දිහා බලද්දි අපිට මේ හැම පුද්ගලයෙක්ගෙම විශේසකම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි නොහිතුව මැචුවඩ් වීමක් අපි අස්සෙම වෙනවා. මම අරූව දකින්නේ අන්න එතනදි ඒක හොඳටම ජයග්‍රහනය කරපු පුද්ගලයෙක් විදියට. ඔබේ වචන පාවිච්චිය, හියුමර් එක, අනෙකාට ගරු කිරීම හා තැනට සුදුසු විදියට හැසිරීම අතරින් බ්ලොග් ලෝකයේ සිටිනා මා බෙහෙවින් අගය කරන පුද්ගලයන් අතරට නිතරඟයෙන් එක්වන්නෙක්.
      මේ පෝස්ට් වල කියවෙන ඔබේ ජීවිත කතාව අස්සේ අපිට ගන්න තියෙන පාඩම් බොහෝයි. ඒක මේ සටහන් කියවලා රස විඳීමට විතරක් සීමා වෙනවා කිසිම තේරුමක් නෑ. මට නම් අරූ පොරක්. ඒක වැඩියම දැනෙන්නේ ඒ පොර තාමත් මේ පොලවේ පය ගහලා ඉන්න හින්දයි.

      • /////යම් වයසකට ආවම අපේ අතීතය දිහා බලද්දි අපිට මේ හැම පුද්ගලයෙක්ගෙම විශේසකම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි නොහිතුව මැචුවඩ් වීමක් අපි අස්සෙම වෙනවා/////////
        මේක තමයි සහතික ඇත්ත රංගී. මම ඒක තමයි රවීටත් කිව්වේ, අපිට යමක් නොවැටහෙන කාලේ මේ වගේ මිනිස්සු කොච්චර අතහැරෙන්න ඇද්ද කියලා. මේ වැටහීම ඇතිවෙන්නේ හොඳ සහ නරක දෙගොල්ල තුලම කිඳා බහින්න ලැබීම තුලින් නේද? මට ඒවගේ සමාජ තල කිහිපයකම ගැවසෙන්න ලැබුන නිසා ඒ අතින් සරු අත්දැකීම් තියෙනවා.

        රංගී…මා ගැන ඇගයීම මට සතුටක්. මට වඩා නියම පොරවල් මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. ඒ තුලින් තමයි මටත් යමක් එකතුවුනේ. පොලවේ පය ගහලා ඉන්න පුරුදු වෙන්න, මුදලට වඩා මනුස්සකම ගැන වැටහීමක් තියෙන්න ඕන.

      • Senna says:

        අරූ, කියන්නේ මම බ්ලොග් ලෝකයෙන් හඳුන ගත්ත ඉතාම නිහතමානි මහත්මයෙක්.. තව බොහොම සුළුගානයි මේ ජාතියෙ උන් ඉන්නෙ.. ඒකයි කොච්චර වැඩ තිබුනත් “අවුල් වන්නට පෙර” ට කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නැත්තෙ…

      • අරූ, ඒක අතිශයෝක්තියක් නෙමෙයි. නිසි ගෞරවය නිසි පුද්ගලයාට දිය යුතුයි කියන මතයේ මා ඉන්නේ.
        සෙන්නා කීවා වගේ ඔබ මේ බ්ලොග් අවකාශයේ ඉන්නා දාස් ගාණකින් එක පුද්ගලයෙන් ඒ වගේ ගති පැවතුම් හුවා දක්වන.

      • @සෙන්නා & රංගි…..කොහොම වුනත් මා ගැන ඔහොම හිතන එක ගැන ස්තූතියි!!

        මට හරි අමාරුයි බන්ස්ලා ඔළුව උඩ බර තියාගෙන ඉන්න 😀 😀

    • රංගි…ඔය අපි ඉස්සර පාවිච්චි කරපු එහෙමට තේරුමක් නැති වචන සෙට් එකක්.

      රෑට රස්තියාදුවේ යනකොට ඔය පාරවල්වල ඉන්න වල් බල්ලෝ ඇඟට පනිනවා. ෂේප් එකේ පාරේ යනකොට බල්ලෝ පනින නිසා ටෝච් එකකුයි පොල්ලකුයි අරන් ගියාම ගමන සේෆ් කියන්න තමයි ඔහොම කිව්වේ.

  2. Dinesh says:

    මේ වගේ මිනිස්සුත් ඉන්න ඕන අප්පා.. එතකොට තමයි ජීවිතේ අත්දැකීම් මේ වගේම රසවත් වෙන්නේ..

    ඉන්ටවල් එකක් ගත්තා කිවුවට අයියා වෙනදා පොස්ට් එකක් අතර තියෙන කාලෙම වගේනේ නිකන් ඉදලා තියෙන්නේ.. ඒකෙන් කමක් නෑ.. ඔන්න බ්ලොගර් එක තියෙද්දේ පුරුද්දට වගේ මේකටම එනවා මම නම්..

    • අනේ ඔව් දිනේෂ්. ඔය මිනිස්සුන්ගෙන් අපි කොච්චර දේවල් ඉගෙනගත්තාද. තාමත් ඒවා මතක් වෙනවා. රණසිංහ අන්කල් අද ජීවතුන් අතර නැහැ. අපේ තාත්තා තමයි එයාගේ අවසන් කාලෙත් එකට හිටියේ. කසාද නොබැඳ හිටපු නිසා කාත් කවුරුත් හිටියේ නැහැ.

      ඉන්ටවල් එකේ කරේ කියවාගන්න බැරිවෙච්ච බ්ලොග්ස් කියෙව්වා. මේකට ඇඩික්ට් වෙලා තියෙන්නේ. මාර ලෙඩක්.

  3. Ravi says:

    අරූ,

    මචං ..ජීවිතේ ඔය වාගෙ සොඳුරු මිනිස්සු හමුවෙන්න පිංකරල තියෙන්න ඕන. ඊට වැඩිය පිං කරල තියෙන්න ඕන ඒ වගෙ මිනිස්සුංගෙ මතුපිටින් පේන දේ අමතක කරල ඊට ඇතුලෙන් ඉන්න මනුස්සයගෙ ගුණ සුවඳ හඳුනා ගන්න. උඹට ඒ දෙකම ලැබිල තියෙනව. ඇත්තම කිව්වොත් උඹ තරමටම නැතිඋනත් මමත් ඒ අතින් සෑහෙන්න වාසනාවන්තයි.මගෙ ජීවිතේ හම්බ වෙල, ආශ්‍රය කරල තියෙන නා නා ගතිගුණ තියෙන මිනිස්සු අනන්තයි අප්‍රමානයි.උං ගැන ලිව්වැකි පොත් දහයක් වත් අඩුගාණෙ.:)

    • ඉතින් ලියපංකෝ. මොකෝ කියවන්න අපි බෑ කියනවැයි කියලැයැ… 🙂

    • @රවී….ඇතුලේ ඉන්න මනුස්සයා අපි හඳුනගන්නේ, අපිත් ටිකක් මෝරන කාලෙට ආවාට පස්සේ. ඒවගේ අපි කොතරම් වටිනා මිනිස්සු අතහැර දමන්නට ඇතිද..මට මේ වගේ ගොඩාක් අය හමුවී තිබෙනවා. ඉන් කෙනෙක් තමයි අමරබන්ධු රූපසිංහ. මම තරුනයෙක් කාලේ රණසිංහ අන්කල්ව හන්දියේ බාර් එකට එක්කන් යනවා තාත්තාට හොරෙන්. ගිහින් එයාත් එක්ක බොනවා. හරි රසවත්. මම කියනවා අන්කල් දැන් යන්න..මම රෑ වෙලා ගෙදර එන්නම් කියලා. ඒ හැම වෙලාවකම කියනවා “අයිසේ…තරහා නැතුව තව බාගයක් අරන් දෙනවා BAD තනියම ගෙදර. මම මෙහෙම තනියෙන් බීලා යන එක හරි නැහැනේ” කියලා. අපි ඒ වගේ දේවල් කරනවා අඩුයි කියලා මට හිතෙනවා. එයාට පඩි දවසට මට බාගයක් හොරෙන් ගෙනත් දෙනවා. රතු පාට වවුල් ලන්කට් දෙකක් තිබුනා පොරට. මම එක පාරක් හොඳ ජොක්කු තුන් දෙනෙක් ඉන්න පැකට් එකක් ගෙනත් දුන්නා. ඒකෙන් එකක් අපේBAD ට දීලා. අනිත් එක ධර්මපාලට දීලා. රොමානිස්ට එකක් නැහැ කියලා අන්තිම එක රොමානිස්ට දීලා. පස්සේ මට කියනවා “ඕවා මට වැඩක් නැහැ අයිසේ.පුළුවන් නම් කාලක් ගහන්න සල්ලි දෙන්නළු.” තාත්තා වලි දාගන්න වෙලාවට මෙයා තමයි ෂේප් කරන්නේ. විසඳන්න බැරිනම් උඹ බම්බු ගහපන් කියලා ගෙදරින් යන්න යනවා. පහුවදා ආපහු තාත්තා ගිහින් එක්කන් එනවා. අපේ අම්මායි, ආච්චියි පහුවදාම තාත්තාව යවනවා ..අන්න අර අහිංසකයාව එක්කන් එන්න කියලා.

      මම දන්නවා උඹට මේ වගේ මිනිස්සු හමුවෙලා ඇති කියලා.

      • maathalan says:

        යකෝ සත පහක ඩොනේෂන් එකක් නැතිව, NGO ෆන්ඩ්ස් නැතිව. අනාථ නිවාසයක් පවතවගෙන ගිහින් තියෙනවනේ බං, උඹලයි රත්තරන් අම්මයි, රත්තරන් ආච්චියි.

      • @මාතා…ඔන්න බලපන්. අපේ ඥාතීන්වත් නොවෙන ..ඒත් අපේ ගෙදර ජීවත් වෙච්ච එවැනි අය.

        ටේච්චි, ඉන්ද්‍රක්කා, රොමානිස්, රණසිංහ, ධර්මපාල..ඔය පර්මනන්ට් සෙට් එක. ඊට අමතරව අපේ තාත්තා සතියකට දෙකකට ගෙනත් බස්සනවා පොඩි පොඩි ටෙම්පරි කෑලී. අවුරුදු ගානක් අපිත් එක්ක හිටියා අපේ මල්ලිගේ යාළුවෙක්. ඒ දෙල්කඳින් ගියාට පස්සේ.

    • Pra Jay says:

      //ලිව්වැකි පොත් දහයක් වත් අඩුගාණෙ//
      රවි දැන් පටන් ගත්තොත් හොදයි නේ?

  4. maathalan says:

    හෙමින් ලියහන් මචෝ.. දරාගන්න අමාරුයි.. මම මගේ නැන්දම්මා ගැන ලියපු පෝස්ට් එකකත් කිව්වා.. අපේ අම්මගේ නැති ගුණංග රාශියක් මගේ නැන්දම්මා ගාව තිබුනා කියලා. ඒක අපේ අම්මගේ වැරද්දක් නෙමෙයි. එයා හැදුන වැඩුන සමාජ තත්වය හා සංස්කෘතිය අනුව වෙච්චි දෙයක්. ඒත් උඹගේ අම්මා වගේ අම්මලා මට අනන්තවත් හම්බ වෙලා තියෙනවා. සමාජයේ හැම පන්තියකම. අපිත් මහ ළොකු මිනිස්සු නෙමේනේ මචෝ. මේ වගේ අද්දැකීම් අනන්තයි අප්‍රමාණයි.

    පව් අර සුද්දි මාර ඩිසපොයින්ට් වෙන්න ඇති තනියෙන් ආපු වෙලාවේ. ඒත් ඉතින් අපේ උන් එහෙම හිත් නරක් කරලා යවන්නෙත් නෑ නේ. ඔය හෝටල් සේවයකුගේ හා අනියම් සේවකයකුගේ පට්ට චරිත දෙකක් “මචං” ෆිල්ම් එකේ.. පට්ට ෂෝ එකක් මචෝ.. බැලුවේ නැත්නම් හොයාගෙන බලපන්.. ඕකේ තියෙනවා එක සේවකයෙක් අසරන වෙන වෙලාවක්. ඉස්සර මම ඕක දකින කොට, මගේ බොක්කවල් කීපයක් මතක වෙනවා. දැන් මට උඹවත් මතක් වෙනවා. මේ ළඟදිත් බැලුවා..

    • මචං මම හිතන්නේ විශිෂ්ටම සිංහල චිත්‍රපටියක්, වැඩේ තියෙන්නේ අධ්‍යක්ෂක ඉතාලි ජාතිකයෙක්

      • maathalan says:

        ඔය ෆිල්ම් එක හදන්න එහේ ගියපු වෙලාවේ ඒ සෙට් එකෙත් දෙන්නෙක් තුන් දෙනෙක් පැන ගත්තලු.

      • @ඉවාන්…නියම ෆිල්ම් එක. ප්‍රසන්න විතානගේත් නිෂ්පාදනයට හවුල්වුනා. සෞම්‍ය ලියනගේ, ජයනි සේනානායක, පුබුදු චතුරංග නියම සෙට් එකක් හිටියා. ලක්ෂ්මන් ජෝෂෆ් ඩී සේරම් මියුසික් කරපු එකම ෆිල්ම් එක මගේ හිතේ.

      • @ මාතා….අනිත් එවුන් ආපු එකනේ බන් පුදුමේ 😀

    • @ මාතා….මටත් මගේ නැන්දම්මා ගැන ලියනකොට ලියන්න වෙන්නේ උඹ කියන ජාතියේම එකක් තමයි. ඒ තරම්ම සොඳුරු ගැහැනියක්. ඒක පොතක්. ඒ පොත හරියටම කියවලා ඉවරකරගන්න බැරිවුනා. මගේ අවාසනාවකට ඇය අප අතරින් වෙන්වෙලා ගියා. ඇය තානාපති සේවයේ නිලධාරියෙකුගේ බිරිඳක් කියා කියන්න බැරි තරමටම නිර්ව්‍යාජ ගැහැනියක්. මේ අපේ උදවිය දිහා බැලුවාම අප්පිරියයි. අපේ අම්මාගේ හොඳම යෙහෙලිය බවට පත්වුනා. ඇය මියගිය පසු අපේ අම්මා බොහෝම කම්පාවුනා. ඒක හදවත කඩා වැටෙන අවස්ථාවක්.

      සුද්දි ගැන කියනකොට මාව මතක් වෙන්නේ ඇයි කියලා හිතෙනවා 😀
      මම මචං බැලුවා. නැගලා ගිය ෆිල්ම් එකක්නේ. මම ආසම සෙට් එකක් හිටියේ. මහේන්ද්‍ර, ධර්මප්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ. උන් නළුවෝ බන්.

      • සිංහල ෆිල්ම් එකක් කිව්වොත් මටත් මුලින් ම මතක් වෙන්නේ මචං තමයි.. අනිත් එක අස්වැසුම.. 🙂

      • අස්වැසුමත් හොඳ ෆිල්ම් එකක් තමයි. බෙනට් රත්නායක තමයි ඩිරෙක්ටර්. මම කැමති නළු, නිළියෝ සෙට් එකක් හිටියා.

  5. Senna says:

    අපූරුයි බන් කතාව අපූරුවට ගලාගෙන යනවා.. ඔළුවෙන් හිටගෙන වුනත් උඹ නියමෙට ලියනවා 😀

    ප්‍රමාණිකද ? ප්‍රාමාණිකද ?

    රවිත් කියලා තියනවා වගේ මේ ජාතියෙ නා නා ප්‍රකාර මිනිස්සු හම්බෙන්න උඹ සෑහෙන පින් කරලා තියනවා.. ඒ පින මට නෑ…

    • ////ඔළුවෙන් හිටගෙන වුනත් උඹ නියමෙට ලියනවා////
      සෙන්නා….ඔළුවෙන් හිටගෙන ලියන්න ලේසියි බන්..මොකද අපි බලන්නෙත් ඔළුවෙන් හිටගෙනනේ ://///විවිධ විෂයන් පිළිබඳ ප්‍රමාණික දැනුමෙන් ඔහු සන්නද්ධය/////
      මෙන්න මෙහෙම පත්තරයක ලියලා තිබුනා කෙනෙක්. මට මචං එච්චරම ඔය ගැන දැණුමක් නැහැ. රවී, මහේෂ් එහෙම ඒ ගැන කතාවෙනවා. උඹ මේක දාපු එක හොඳයි..නොදන්න කෙනෙකුට ඉගෙන ගන්න.

      මට සෙන්නා නොයෙකුත් මාදිලියේ අය මුනගැසුනේ මම බජාර් කාරයා නිසා වෙන්න ඇති. මම මහා අමුතු පරිසරයන්වල ගැවසුනේ බන්. බලපන් කතාවේ මේ වෙනකොට මම ඉඳලා තියෙන තැන්. ඒක හරි වාතයක්, නමුත් අත්දැකීම හැටියට හොඳයි.

  6. විදානේ.. says:

    අපෙග් කම්මැලි කම නිසා හෝ නොසැලකිල්ල නිසා අප ජීවිතේ වටිනා දේවල් මගහරවා ගන්නවා. මට හිතෙන්නේඅර ජර්මානු යුවලත් ඒ වගේ..
    /මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි./
    අද යෞවනයට ඇත්තේ සැබෑ ලෝකයක් ද මවූ ලෝකයකක්ද?

    ජය වේවා!!!
    (මේකේ කොමෙන්ට් දානවද අරකෙ කොමෙන්ට් දානවද හිතාගන්න බෑ – දෙකේම දැම්මා)

    • විදානේ…..මමත් හරියට දේවල් නැතිකරගෙන තියෙනවා උනන්දුවක් නැතිකම සහ කිසිදෙයක් ගණන් ගන්නේ නැතිකම නිසා. ඒවා නම් බොහෝමයි. කියලා වැඩක් නැහැ. එහෙම නොකලගත යුතු බව තමයි කියන්න තියෙන්නේ.

      ////අද යෞවනයට ඇත්තේ සැබෑ ලෝකයක් ද මවූ ලෝකයකක්ද?////
      මම මැදිවියේ මිනිහෙක් ලෙස මෙහෙම කියනවා කියා හිතන්න එපා. අද යෞවනයා ජීවත් වෙන්නේ මහා පට්ටපල් බොරුවක් ඇතුලේ කියලා මට හිතෙනවා. නමුත් මම ඉන්න රටේ තරුනයා මීට වඩා වෙනස් කියලා මට හිතෙනවා. උනුත් ජීවත්වෙන්නේ අති නවීන තාක්ෂනය එක්ක වුනත් උන් තුල ඇති ආකල්ප නම් හරිම ස්වාධීනයි…සහ පුළුල්.
      ///දෙකේම දැම්මා)////
      දෙකේම දාන්නේ බලාගෙන 😀

  7. අරූගේ ජීවිතේට සම්බන්ධ අය ගොඩක් වැඩියි. මම කීවේ ලඟම අය. ඒ වගේම ඒ කාලේ ඉඳන් මිනිස්සු දිහා හොඳින් බලපු කෙනෙක්. ඒක නිසයි මේ වගේ රස කතා ගොඩක් ඔයා අතින් ලියැවෙන්නේ.

    අපි මිනිස්සු නිතරම දකිනවා …ඒත් අපිට පේන්නේ කීදෙනාද?

    • /////අපි මිනිස්සු නිතරම දකිනවා …ඒත් අපිට පේන්නේ කීදෙනාද?/////

      ඇත්ත පොඩ්ඩි. ඕක අපි කාටත් තේරෙන්නේ අපිත් ටිකක් වයස එක්ක මුහුකුරා යනකොට. ඉස්සරනම් කෙනෙක් දිහා වෙනස් ඇහැකින් බලන්න පුළුවන් වටපිටාවක් සහ මානසික නිදහසක් තිබුනා. දැන් ඒ වටපිටාව අහිමිවෙලා. හැමෝම බලන්නේ තව කෙනෙක් කියන්නේ වැඩක් නැති, වැදගත් නොවෙන කෙනෙක් ලෙසනේ. සිංහලෙන් look down your nose at somebody කියන්නේ ඕකම නේද?

      මට හමුවූ මිනිසුන් ගැන තව ඉස්සරහට පොඩ්ඩි කියවන්නකෝ.

  8. හම්මෝ……………..මම හිතුවේ පාසල් නිවාඩු කාලයක් තරම් දිග නිවාඩුවක් ගනියි කියලා. ඔය තියෙන්නේ අතීත සිතුවිලි දහරාව නැවතත් දෙගොඩ තලා ගලන්න පටන් අරන්.

    //නමුත් ඒ අතීත ය ගැන පසුතැවිලි වෙනවාට හෝ හඬා වැටෙනවාට වඩා ඒ ගැන ලියා තැබීම වරදක් නොවේ//

    ඒ තමයි වැදගත්ම කොටස. ඒ තමයි ඇත්ත. අතීතය ලියා තැබීම හරිම වැදගත්. අපිටම යලිත් කියවන්නට, කියවා යමක් සිතන්නට, සිතා යමක් කරන්නට, එමගින් පුළුවන්. එමෙන්ම අපි නැති කාලෙක, අපේම උන්ට පුළුවන්, මේ මිනිහා ලියා තැබූ දේවල අද නොවැටහුණු අර්ථය එදාට තේරුම් ගන්න.

    • ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න තමයි හිතාගත්තේ. ඒ වුනාට මේකට දැන් ඇබ්බැහි වෙලා. බ්ලොග්ස් කියවගෙන කමෙන්ට් එකක් දාගෙන ඉන්න හිතුවාට…මොනවා හරි ලියන්නම හිතෙනවා. අබිං කෑවා වගේ.
      ඇත්තටම විචා..මගෙත් උවමනාව මේවා කොහේ හෝ සටහන් වෙලා තියෙන එක තමයි. ළමයින්ටවත් කියවන්න පුළුවන්නේ අඩුම ගානේ අපේ අත්දැකීම්. මට දැණෙන විදිහට පසු පරපුරේ අය මේවා කියවන්න ආසයි. ඒ නැතිවුනත් හිතේ තියෙන දේවල් වමාරන්න ඕනේ කොතනක හරි. හිතට හරි බරයි තියාගෙන ඉන්න එක. අපි ආපු පාර කාපට් කරලා තිබුනෙත් නැහැනේ. ගල් බොරළු පිරිලා තිබුනේ.

  9. maheshrathnayaka says:

    රණසිංහ අන්කල් ප්‍රමාණික උගතෙකි///
    මං මේ කල්පනා කලේ මේ වචනෙ මෙතනට හරිද කියල…
    ඔයා කියන විදියටඔහු බොහෝ සේ උගත්තෙක් නං.. සහ සබුද්ධිමත් නං ප්‍රාමාණික කියන වචනය වැරදි බවයි මගේ අදහස… මොකද මගෙ මතකය නිවැරදි නං ප්‍රාමානික කියන්නෙ යම් තරමකට කොටුවුණ ඒ කියන්නෙ යම් දෙයක් ගැන අල්ප දැනුමක් අත්තෙක්ට..
    පුූලල් දැනුම් සම්බාරයක් ඇත්තෙක්ට ප්‍රාමානිකයි කියල කියන්න බැ…

    මං වැරදි වෙන්නත් පුළුවන්…
    මං බලාපොරොත්තු වෙනව කවුරු හරි මාව නිවැරදි කරයි කියල
    හෝ ඉහත වාක්‍යය

    • Ravi says:

      මහේෂ්,

      අරූ ලියල තියනව හරි. ප්‍රමාණික උගතෙක් කිව්වම තේරුම වෙන්නෙ ඒ විෂයය සම්බන්ධව පුළුල් දැනුමක් සහිත කියන එක. ප්‍රමාණික = Authoritative, Standard කියලයි මධුර මහත්තය කියන්නෙ.

      හැබැයි ඒ එක්කම ප්‍රාමාණික කියන වචනෙත් ඒ අර්ථයෙන්ම යෙදෙනව මම දැකල තියෙනව. වචන දෙකේම අර්ථය එකද කියල තව හොයල බලන්න ඕන.

      • maheshrathnayaka says:

        ස්තූතියි රවි අය්යෙ…
        මං දෙක පටලවන් වෙන්න ඇති..
        ස්තූතියි ගොඩක්

    • මහේෂ්& රවී…..මට මේ ගැන යමක් කියන්න දන්නේ නැහැ. නමුත් මම පුවත්පත් ලිපියක කොටසක් උපුටා දක්වන්නම් . මෙය පසුගිය සරසවිය පුවත්පතට අසංක දේවමිත්‍ර පෙරේරා නම් මාධ්‍යවේදියා ..නුවන් නයනජිත් කුමාර හා කල සාකච්ඡාවක්.

      ///////නුවන් නයනජිත් කුමාර, පාඨක ලෝකයා වඩාත් හොඳින් හඳුනන්නේ වියත් සිනමා ලේඛකයකු හා විචාරකයකු ලෙසිනි. දෙස් විදෙස් සිනමාව පිළිබඳ ඔහුට ඇත්තේ ප්‍රාමාණික දැනුමක් යැයි මම නොකියමි. ඒ සම්බන්ධයෙන් ඔහු සතුව ඇත්තේ අප්‍රමාණ වූ දැනුමකි.

      නමුදු හේ සිනමාව පිළිබඳ පමණක් ආසක්ත වූ ලේඛකයකු හෝ ගත් කතුවරයකු නොවේ. විවිධ විෂයන් පිළිබඳ ප්‍රමාණික දැනුමෙන් ඔහු සන්නද්ධය. ‘සාහිත්‍ය කලා සංකතිකා’ නමින් එළි දකින ඔහුගේ අභිනව කෘතිය ඊට කදිම නිදසුනක් සපයයි. මේ සංවාදය ගොඩනැගෙන්නේ එකී නිර්මාණ කාර්යයට පූර්ව කථනයක් විලසිනි.

      ‘සාහිත්‍ය කලා සංකතිකා’ මෙතෙක් ඔබ එළි දැක්වූ කෘතිවලින් තරමක් බැහැරට ගිය සංකල්පයක්?

      මේ මගේ දහවැනි ග්‍රන්ථය. ඇත්තටම මේක ඔබ කිව් ආකාරයට තරමක වෙනස් කටයුත්තක්. අවුරුදු විසිදෙකක් වූ මගේ පුවත්පත් කලා ජීවිතයේ නොයෙක්වර විවිධ පුවත්පත්වලට, සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් මා ලියූ ලිපි පෙළක එකතුවක් තමයි මේ. මගේ පි‍්‍රයතම විෂයන් කිහිපයක් තියෙනවා. ඒ සියලු විෂයයන් තිබෙන්නේ මිනිසා සහ විශ්වය ගැන නේ. ඉතින් ඒ බොහෝ විෂයයන් ගැන මම පුළු පුළුවන් විදියට ප්‍රමාණික දැනුමක් ලබා ගත්තා. දැන් මේ ලිපි එකතුව විෂයයන් හැටියට ගත්තොත් විෂයයන් හතළිස් නවයකට මම බෙදලා තියෙනවා////////////////

  10. Kenji ogawa says:

    >>මෙවැනි මිනිසුන් නැති ලෝකය අද්භූතය.. මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි..එවැනි මිනිසුන් අහිමිවූ ලෝකය තුළ දකින්නට ඇත්තේ පුස්සන්ය. සැබැවින්ම පුස්සන්ය.<<
    ම්ම්ම්ම්ම්ම්……… සහතික ඇත්ත මචෝ…….

    • උඹ දන්නවා ඇතිනේ. උඹටත් ඔය වගේම නොවුනත්, පරිප්පු කාපු මිනිසුන් හමුවෙලා ඇතිනේ. ඒක මට ෂුවර්!!

  11. මට ප්‍රශ්නේ හොරෙන් ගංජා බිව් බව අරූ සහසුද්දෙන්ම දන්නේ කොහොමද කියන එකයි 😛
    අද ටිකක් බරට දැනුනා පොස්ටුව, අරූට මිනිස්සු ගැන තියෙන අත්දැකීම්වලට වඩා මට පුදුම මේ හැම දෙයක්ම මතක් තියෙන එක ගැන .

    • ගන්ජා මලක් පත්තු කළ සැනිනි කියත හැකි දින් හො ඒ දේ භාවිත කොට ඇත්නම්. නැතත් ඒ පුසුඹ නැහැට වැදුණු අය දන්නවා මේ එන්නේ මල් සුවද කියලා..

      • බීඩි සුවඳ දන්න එකාට මල් සුවඳ කජ්ජක්ද නලීන්…..රොනට ඇදෙන බඹරු 😀
        මේවා සෞඛ්‍ය‍යට හානිකර විය හැක ..නොව..ඇත්තටම හානිකරය. වැලකී සිටින්න. නැත්නම් ප්‍රවේශමෙන් පරිහරනය කරන්න. මරු උපදෙස් නේද බන්.

    • /////මට ප්‍රශ්නේ හොරෙන් ගංජා බිව් බව අරූ සහසුද්දෙන්ම දන්නේ කොහොමද කියන එකයි////
      යකෝ ඉවාන්….මම වයසක රොමානිස්ට ඉස්සෙල්ලා ගංජා ගහලාද කොහෙද 😀

      මතකය තාම ශේප් බං. ඕක අවුල් වෙන්න ඉස්සෙල්ලා තමයි මේ දඩිබිඩියේ ලියන්නේ.

  12. අම්මා ගැන නම් කතාව ටිකක් බර දැනුනා …රණසිංහ අංකල් වගේ මිනිස්සු අදටත් ඉන්නවා …

    • සහෝ….මගේ අම්මා විතරක් නොවේ…කොයි අම්මාගෙත් කතාව හරි බරයි. එතැන තමයි බරම තැන. හෙමින් සැරේ කැසට් එක රිවයින්ඩ් කරලා බලන්න. එහෙම තමයි අම්මලා. අපි තාත්තලාට වඩා හරිම දයාන්විතයි.

      රණසිංහ අන්කල්ලා ඉන්නවා තවමත්. හඳුනාගන්න උත්සාහ ගන්න ඕන. ඒක තමයි වැදගත්.

  13. ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! 😀
    මෙන්න මේ කට්ටියට කිව්වනම් හරිනේ …. ඔය ඉවානයට පත්තරයට ඕක වටිනවා ….. කතාවනම් එක හුස්මට කියෙව්වා වෙනදා වගේම රසයි …. එත් අද පොඩ්ඩක් එහෙ මෙහෙ දුවපු ගතියක් පෙන්න තියෙනවා
    අර කෙන්ජා අහලා තියෙන පස්නේම මටත් තියෙනවා
    මේ කොමෙන්ටුවම අරකෙත් දැන්මා

    • අඩෝ ඇයි මොකෝ අපිට විතරක් අර කාම පැයේ ඒක නොකර බ්ලොග් බලන මැලේ රාලයා, ඌටත් කියපං….

    • රාළේ…..එහේ මෙහේ දුවපු ගතියක් නම් තියෙනවා තමයි. ඒ ඔළුවෙන් හිටගෙන ලියපු නිසා වෙන්න ඇති 😀

      ///ඔය ඉවානයට පත්තරයට ඕක වටිනවා /////
      මුන් දෙන්නා තාම පොඩි එවුන්නේ. අපි වගේ ලොකු එවුන්ටත් ඕක වටිනවා. ඒ කිව්වේ ඉඳලා හිටලා හරි දෙපයින් ඉඳගෙන ලෝකේ දිහා බලන එක 😀

      කෙන්ජියා බ්ලොගර් එකේ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් හම්බවුනු වෙලාවක කියන්නම් 😀

    • පත්තර මල්ලි says:

      හා මැලෙයො. ඕං හිටගත්තා ඔලුවෙන් … ඊළඟට ?? 😀

  14. maheshrathnayaka says:

    අරූ අය්යෙ ඔයා මට දීපු ලිංක් එකේ තියෙන ලිපියෙ ඉතුරු ටික නැද්ද …
    තියේ නං මට මේලක් හරි ලිංක් එක හරි දෙන්න..
    maheshrmx@gmail.com

    • මහේෂ්….ඒ ඉතිරි කොටස් මට හොයාගන්න අමාරුයි. දිනමිණ පත්තරේ ‘මට තාම මතකයි’ විශේෂාංගයේ තමයි ගියේ. මහේෂ් කියන්නේ සිරිලාල් කොඩිකාරයන් ගැන ලිපිය වෙන්න ඇතැයි කියා හිතනවා.

      • maheshrathnayaka says:

        ඔව්…
        අපරාදෙ ඒ ඉතුරු ටික සොයාගන්න නැති එක ගැන නම්

      • මහේෂ්……නලීන් දන්නවා ඇති දිනමිණ නිසා.

  15. මේ විියමන අතිශය සංවේදියි මචෝ. විටෙක දරාගන්නත් බැරි තරම්. ඒ මන්ද යත් වත්මනේ මා ගෙවන්නේ ද එවන් ම දිවියක් නිසා. ඔබේ මතකයට සදා ජය…..

    • නලියෝ…..අපිට ඕන විදිහට ජීවිතේ දේවල් සිද්ධවෙන්නේ නැහැ බන්. ඒක උඹට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මට වෙලා තියෙන දේවල් උඹ ඉදිරියට කියෙව්වොත්…උඹ හිතයි කොහොමද ඔළුව උස්සන් ඉන්නේ කියලා. ගණන් ගන්න එපා මචං.

  16. වැඩිපුර ටිකක් අම්මා කියන චරිතේ දැනුණා මට නම්…

    ගොඩක් කතන්දරේ මග ඇරුනනේ මාස 6ක් ම….

    • රෙහානි….සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ. වැඩ කටයුතු තියෙන්න ඇතිනේ.
      අම්මා කියන චරිතය මගේ අම්මා විතරක් නෙමේ, කාගෙත් ඔහොමයි. ඔයා අම්මා කෙනෙක් වුනු දාටත් ඔහොමයි. මගේ බිරිඳත් ඔය විදිහමයි. අම්මලා කියන්නේ බුදු නොවුන බුදුවරු කියලා තමයි මට හිතෙන්නේ. මග හැරුනු කතා පුළුවන් වෙලාවක කියවන්න. රෙහානිට යමක් අහුලාගන්න පුළුවන් වෙයි.

  17. supirikrida says:

    උඹ එක්කනම් බැහැ අරූ.හදවත කොනිත්තනවා උඹේ අකුරුවලින්.හරියට පස් ගෝ රස වගේ හැම වෙලේම තිත්තට පස්සෙ පැණි රසක් හම්බ වෙනවා උඹේ ලියවිල්ලෙ.උඹ මනුස්සයෙක් අපූරු.ඒක කොහොමද වුණේ කියන එක උම මේ ජීවිත දිගේ ඇවිද ගෙන ආපු පාරෙ හැම අගලකින්ම කියවෙනවා.
    මේකෙ මාතලන් කියපු දෙයයි උඹේ කතාවයි දෙකම ගත්තම මට හැම වෙලේම හිතෙන දෙයක් තමයි අපෙ ගෙදර උන්දැගෙ අම්මයි අපේ තාත්තයි කසාදයක් කෑවනම් එලට හිටියි කියලා මචං.ඒ අපූරු යහපත් ගුණ ලකුණු අපෙ අම්මගෙවත් බිරින්දෑගෙ තාත්තගෙවත් නැහැ.
    මම අම්ම තාත්ත ගැන උනත් හංගලා කතා කරන්න කැමති නැහැ.අපෙ අම්මගෙ දුෂ්ඨ ගති ගොඩක් තිබුණා.ඒ භෙෘතික නොවන සම්ප්‍රදායෙන් ඇවිත් හිතේ ඇල්ච්ච අභිමානයත් එක්ක දැවටුණු දේ.තාත්තා එහෙම නෑ.බෑඩ් අංකල් උඹ කියන රණසිංහ අංකල් මේ චරිත අස්සෙ අපේ තාත්තා මතු වෙලා පේනවා.මිනිස්සුන්ට මහ පුදුම විදිහෙ ආදරයක් තියපු ඒ මනුස්සය උඹේ ලියවිල්ලෙන් එබිලා ඇවිත් මගේ ඇස් විල ඇවිස්සුවා.ඒත් ඒක අපූරු මනුස්සයෙක්ගෙ දරුවා වීමේ නිහඩ ආඩම්බරයෙන් මකලා දැම්මා මචං
    ජයවේවා උඹේ ආත්මය කළතන ලිවීමට

  18. නිශ්මා…අපි ඔක්කොම එක එක පාරවල්වල ගිහින් අන්තිමට එක තැනකට වැටෙන එවුන් බන්. ඉන්න ටිකේ යුතුකම් කොටස කරලා ඉවර කරන්න තමයි තියෙන්නේ. මම නම් දැන් වැඩිය හිතන්නේ නැහැ බන්. හැමෝගෙම එක වගේ ගතිගුණ පිහිටන්නේ නැහැනේ. ඒ වගේ උඹේ අම්මාගේ වුනත් උඹ නොදකින, උඹට නොපෙනුන හොඳ පැත්තක් තියෙන්න ඇති. ඒ වගේම අපේ අම්මාගෙත් අපිට නොපෙනුන, අපිට නොතේරුන අගුණ පැත්තක් තිබෙන්නත් ඇති. සමහරු ඒ අගුණ වහගෙන ඉන්නවා. සමහරු ඒවා ප්‍රදර්ශනය කරනවා. ඕක තමයි මට පේන ඇත්ත.

    අපේ තාත්තා හරි හිත හොඳ මිනිහා. නමුත් සෑහෙන්න වැරදිවුනා එයා නිසා අපේ මුළු පවුලටම. ඒවා එහෙම තමයි බන්. කාවවත් අපිට හරවන්න බැහැ. තමන් තමන්ටම හිතිලා හැරෙන්න ඕන.

  19. අරූ ආපහු ලියන එක ගැන සතුටුයි…

    “යම් වයසකට ආවම අපේ අතීතය දිහා බලද්දි අපිට මේ හැම පුද්ගලයෙක්ගෙම විශේසකම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්”

    මම හිතන්නේ මම දැන් මෙන්න මේ වයසට කිට්ටු වෙනවා වගේ.. හෙහ් හෙහ්..

    මට ජිවිතේ හම්බවෙච්ච ඔය වගේ අපුරු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් ගැන ලියන්න මම බොහෝ විට කල්පනා කරලා නොලිය ඉඳල තියෙනවා. අරූගෙ මේ සටහන් කියවද්දී ඒවා ලියල තියෙන එක වටිනවා කියල හිතෙනවා.

    • පැතුම්……අපි ටිකක් වයසට යනකොට…ළමයි ලොකු වෙනකොට..ඒ අයගේ ජීවිත දිහා බලාගෙනම ඉන්න කොටත් අපේ සිතුම් පැතුම්වලත්, යම් යම් වෙනස්වීම් එනවා. මම අපේ දරුවාගේ ජීවිත ක්‍රමය තුලිනුත් යම් යම් දේ ඉගෙනගන්නවා. උඹටත් දරුවෝ ලොකු වෙනකොට සහ වයසට යනකොට ඕවා ඉබේම දැණෙයි.
      උඹට හමුවුන ඒ අපූරු මිනිසුන් ගැන ලියපන්. ඒ සටහන් අපිටත් වැදගත් වෙයි. පැතුම් බලලා තියෙනවාද..අමුතු මිනිස්සු…කියලා ටෙලි නාට්ටියක්. නෙට් එකේ තියෙනවා. පුළුවන් නම් ඒක මුල ඉඳලා බලන්න. ඒක ටෙලි කාව්‍යයක් කිව්වත් වැරදි නැහැ. මම ආසාවෙන් බැලුවා. අමුතු චරිත කීපයක්.

      අපි දෙන්නාට අද හරි සතුටු දවසක්. අපේ දුවගේ ෆයිනල් රිසල්ට්ස් ආවා.ෆස්ට් ක්ලාස් එකකට ලකුණු දෙකක් මදි. කාටද ආඩම්බර…
      Upper 2:1…Bio Medical Science. (හිතේ සතුට නිසා ලිව්වේ. ගණන් ගන්න එපා.)

      • chef-architect says:

        congratulations on your daughter’s achivement…….you guys must be very proud today…

      • ෂෙෆාකි…….තෑන්ක්ස් මචං. සංතෝෂයි ආඩම්බරයි නේන්නම් බං. අපි සෑහෙන්න කට්ටක් කෑවා බං…අපිට බැරිවුන දේ දරුවාට කරගන්න මාර්ගය සහ පහසුකම් සලස්වන්න. ඔය නිසාම තමයි මේ පරිප්පු කාගෙන ආවේ.

  20. උඩින්ම රංගි,සෙන්නත් කියා තිබෙන දේ එක්ක මමත් එකඟ වෙනවා මුලින්ම.
    හැමදාම කියනවා වගේ අපිට කිසිම හදිසියක් නැහැ අරූයියේ උඹේ මේ කතාව අහන්න.එක නිසා කලබලයක් නැතිව හෙමිහිට එකෙක්වත් අතනොහැර ලියාපන් අයියේ.

    අර හිපියෝ ගැන කියලා තියෙන්නේ උන් ගැන තවත් ටිකක් විස්තර කරහංකෝ.මම අහලා තියෙන විදියට ඕකුන් සත පහකට වැඩක් නැති කොණ්ඩේ,රැවුල වවාගෙන සංචරය කරන හිගන සංචරකයෝ කියලායි.එහෙමද ඒ කතාව.?

    • මනෝ…..කම්මැලිකමයි, ඉක්මනට ලියලා ඉවරකරන්න ඕන කම නිසායි දුවමින් ලියන්නේ.

      හිපි කියන්නේ එක්තරා යුගයක කල්චර් එකක්. මමත් හරියට ඒ කල්චර් එකට පෙම් බැන්දා. නමුත් මගේ රස්සාව නිසා නොයෙකුත් බාධක තිබුනා.සත පහකට වැඩක් නැති හිඟන්නෝ කියන එක වැරදි මතයක්. ඔවුන් සරළ ජීවන රටාවක් පවත්වාගෙන ගියා. ගංජා සහ හිපි සංස්කෘතිය අතර යම් බැඳීමක් තිබුනා. මේ හිපීස්ලා අතර උගතුන්, බුද්ධිමතුන් පවා හිටියා. දුම් නොබොන්නන් පවා හිටියා.

      ලෝකයේ සංස්කෘතික, සමාජ, ආගමික වෙනසකට මේ හිපි උප සංස්කෘතිය විශාල බලපෑමක් කරා. මේ ගැන කියවීම හරිම රසවත්.මේක හරි කූල් මාතෘකාවක්. හරි සරළ ජීවන රටාවක්. මෙහෙම ලියන්න බැහැ ඒ ගැන.

      යම් තාක් දුරටinformation… විකිපීඩියා මෙතැනින් කියවපන්

  21. chef-architect says:

    මම ලියන මේ කොමෙන්ටුව මෙතනට කොච්චර අදාලද මටම තෙරෙන්නෙ නෑ. නැන්දම්මා සහ අම්මා අතර ගැටලුව මටත් හරියට තිබුනා. නැන්දම්මා අපේ ලඟටම ඇවිත් ඕමාන් වලදි අන්තරා උනා. අනේ ඒ මනුස්සයාගේ පොටෝ කට්ටක්වත් ගන්න බැරි උනා නැතිවෙන්න කලින්. කවුදෝ කිව්වා හොස්පිටල් එකේ ඉන්න පිංතූරයක් ගන්න ලංකාවට ගියාම ඕන වෙයි කියලා..ඇත්තටම ඕන උනා..ඒක තවත් පෝස්ටුවක්…
    ඇත්තටම කියනවානම් මම නැන්දම්මාට ආදරෙයි අපේ අම්මටත් වඩා, හේතුව මාව හරියටම තේරුන්ගත්ත එක වෙන්ඩැති…උඹ ලියන ඒවා නිසා මට හරි අමාරුයි මගේ කථාව අකුරු කරන්න, ඒ නිසා මේ දවස්වල වෙන වෙන වල්පල් ලියනවා හිත හදාගන්න

    • මචං….ඒ වගේ නැන්දම්මලා ලබන්න වාසනාවක් තියෙන්න ඕන. මගේ මුරන්ඩු වැඩ නිසා මාත් එක්ක එච්චර හොඳ නැහැ ඉස්සර මගේ වයිෆ්ගේ අම්මා. ඒක සාධාරණයි. පස්සේ තමයි එයා මාව හඳුනගත්තේ. මම බය නැතිව කියනවා, අපේ අම්මාත් නැන්දා-ලේලි සම්බන්ධකම් පවත්වාගෙන යන්න බොහෝදේ ඉගෙනගන්න ඇති, ඒ අම්මාගෙන්. අපි හමුවුන දවසක කතාකරන්න බොහෝදේ තියෙයි.

      උඹ ලියන්න පටන්ගත්තාට තාම ට්‍රැක් එකට වැටුනේ නැහැ ඒ කතාව. ඒක රසවත් වෙයි…උඹේ පටන් ගත්ත සවුදි කතාව හරියට ආපහු පටන් ගත්තොත්.

  22. DPK says:

    ඔබාගේ බ්ලොග් එක නැති අඩුව පුරවන්නේ අරූයි, හැලපෙයි තමා.
    දිගටම ලියන්න. අපි ආසාවෙන කියවනවා.

  23. සිරා says:

    බොලාගෙ ලිපියෙන් අද මව්තුමියගෙ මනුස්ස කමේ සුවද උතුරා යනවා අරූ අයියෙ…මමත් චිත්ත රූපයක් දෙකක් මවාගෙන බැලුවා ඔය කියන හාදයො ටික පැදුරු එලාගෙන නිදාගෙන සිටි අන්දම….වෙන බිරිදක් නම් සැමියාට රළු පරළු වදන් කොතෙක් නම් දොඩාවිද ?

    අර ජර්මානු සංචාරක යුවල සමග ජර්මනියට යන්න වගේ අදහසක් තිබුනෙ නැද්ද ? ඒ කාලෙ නැගෙනහිර සහ බටහිර ලෙස ජර්මනිය දෙකට බෙදිලා නේද තිබුනෙ.

    • සිරා……අපේ අම්මා හරි අහිංසක, නමුත් එඩිතර ගැහැණියක්. නිතරම සිනාවෙලා ඉන්නේ. හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලන්නේ.

      දැන් කාලේ වගේ රට යන පිස්සුව තිබුනා නම් යන්නත් තිබුනා. මට ඒ කාලේ එහෙම ආසාවක් තිබුනේ නැහැ. යන්නත් හරි පහසුනේ ඒ කාලේ.

      ඔව්. මේ අය බටහිර ජර්මනියේ. නැගෙනහිර ජර්මනියේ අයට පිටරටවල් වලට යන්න ඉඩ තිබුනේ නැහැ.

  24. අරෑ උඹගේ රසවත් හරබර තොරතුරැ එක හුස්මට කියෙව්වෙමි. උඹට ජය! මෙවැන් කතා කියවන විට මමත් සිතින් අතීතයට යමි….

    • චන්දන…..බොහොම ස්තූතියි! උත්තර පරක්කු වුනේ මගේ වැරද්දකින් නෙමේ බන්. මගේ ලැප්ටොප් එකේ වරදකින්. අදයි වැඩේ හරිගියේ.

  25. Javi says:

    Machan,
    What is going on. Hope you are OK
    Javi

  26. නොදැක්ක නිසා ටික දවසක් බලන්න ආවේ උඹව බලන්න මේ ආවේ රවීයියේ…

    • බලන්න ආවේ හුඟ කලකින් දැක්කේ නැති නිසයි…..එච්.ආර්. ජෝතිපාලයන් ගයන මේ ගීතය අහලා තියෙනවාද මනෝ. බලන්න ආවාට ස්තූතියි. හෙට අනිද්දා ඉඳන් ආපහු ලියන්නම්. ලැපා හෙණ වණේ වෙලා තිබුනේ මේ ටිකේම.

      • මෙහෙම එකක් කලින් අහලා නැහැ අරූයියා.ජෝතිගේ හැමදාම අහන්නේ,ඇහැන්නේ එකම සිංදු සෙට් එකක් නේ.එක නෙමේ ගෙදරට එන එවුන්ට දෙන්නේ සිංදුද?තේ කෝප්පයක් එහෙම නෙවේද:D ?

      • අඩියක් ගහලා සින්දුවක් අහමුද බං කියලා අහන එක ලේසියි….කේතල් ගහගෙන තේ හදනවාට වඩ මනෝ:D

    • එහෙනම් අරූයියේ මම ලන්ඩන් ආපු දවසක එන්නම් උඹලැ දිහා අඩියක් ගහලා සින්දුවක් අහන්න.
      මොකෝ කියන්නේ:D ?

  27. අරු ආයේ ලියන්න පටන් ගත්තු එක ගැන සතුටුයි . කිව්වත් වගේ ලිවිල්ල නැවතුනොත් ආයේ පටං ගන්න හරිම අමාරුයි. මේ මටත් ඒකම වෙලා .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s