අවුල් වන්නට පෙර (46)… වැලිගමයි…මමයි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකික අමුත්තන් සිටියා නම්, ඒ අතළොස්සක් පමණි. ඒ සමහරක් පවා සිංහලයන් වුවත් ඔවුන් කතා කරන්නට හුරුව තිබුණේ ඉංග්‍රීසියෙන් පමණි. මව් භාෂාවෙන් කතා කිරීමට එකල ධනවතුන් මැලිකමක් දැක්වීය. ඒ ඇයි දැයි කියා මම නොදනිමි. 1981 මුල් යුගයේ එක අවස්ථාවක පිට පිටම දින දෙක තුනක්, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකිකයින් කිහිප දෙනෙක් මා හා කුළුපග විය. ඔවුන් සියල්ල නිරීක්ෂණය කරනා වගත් පැහැදිලි විය. තුන්වැනි දිනයේ ඔවුන්ගේ අවශ්‍යතාවය මට තේරුම් ගියේය

වැලිගම පළාතේ ඔවුන් සතුව තරු තුනේ හෝටලයක් ඇති බවත්, අවන්හල් සේවකයින් සඳහා පුරප්පාඩු ඇති බවත්, මා ලබන වැටුපට වඩා ගෙවීමක් කර බඳවා ගැනීමට හැකි බවත් පැවසීය. දින දෙකකින් ඔවුන් වැලිගම බලා පිටත්ව යන බැවින්, හැකිනම් ඔවුන් හා සමග එක්වෙන ලෙසත් ආරාධාන කළෝය. කිසිවක් වැඩිපුර සිතන්නට කාලයක් නොවීය. මුහුකුරා ගිය අවබෝධයක් නොමැති කමත්, වැටුප ගැන ඇතිවූ ආශාවත් නිසා, මම එහි යන්නට තීරණය කළෙමි. අද මෙන් ජංගම දුරකථන පහසුකම් නොවූ බැවින්, ඒ මොහොතේම තීරණයක් අපේක්ෂා කල මොවුන්ට මම කැම්ති යැයි ප්‍රකාශ කෙරුවෙමි. නියමිත දින එම ආයතනයේ ප්‍රධානියෙක් සහ රියැදුරු සමග පොරෝලිස් මාමාගේ නිවස ඉදිරියට පැමිණි වාහනයේ ගොඩවී, මම වැලිගම බලා පිටත්ව ගියෙමි. සියල්ලන්ටම සමුදුන් මම ජීවිතයේ තවත් කඩ ඉමක් කරා ගමන් කළේ චකිතයෙන් යුතුවය. ඔවුන් කීවේ, දින තුනක කාලයක් ඔවුන් කංඩායමක් අප අවන්හලත් තවත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණයෙන් පසු තිදෙනෙක් තෝරාගත් බවත්, ඒ අතරින් මමත් එකෙක් බවය. මට වටිනාකමක් ලැබී ඇත. නිහතමානී ආඩම්බරයක් මෙන්ම කුතුහලයක්ද විය. අනිත් දෙදෙනා ගොඩවූයේ බේරුවලින් සහ බෙන්තොටින්ය.

මගේ දෙවැනි රැකියා ස්ථානය වූයේ Weligama Bay Beach Hotelයයි. ඒය පාලනය කළේ නම් Mercantile Hotel Management ආයතනයයි. නමුත් එහි අයිතිය Letherette Ceylon සමාගමටයි. එහි හිමිකරුවූයේ ලාල් විජේසේන නම් ,රොස්මිඩ් පෙදෙසේ සිටි මහත්මයෙකුට බවත් දැනගතිමි. ඔහුද එදා මා හා කතා කල අය අතර විය.මෙම හෝටලය පිහිටියේ වැලිගම නගරයට ආසන්නයේය. එය තරු තුනේ හෝටලයක් විය. ගාල්ල සිට පැමිණෙන විට කුෂ්ඨරාජගල විහාරය පසුකර යනවිට ,වැලිගම නගරයට නුදුරින් කප්පරතොට කුඩා පාලම අසලින් දකුණට හැරුණු විට ඒ මුහුදු තීරයේ මේ හෝටලය හමුවේ.

පළමු රාත්‍රිය හෝටල් කාමරයක ගතකළ පසු දෙවැනි දිනයේ සිට කප්පරතොට අසල නිවසක ලැගුම් ගන්නට සුදානම් කර තිබිණි. මෙහි නැවතී සිටියේ පිටින් පැමිණි හෝටලයේ සේවකයින් කිහිප දෙනෙක්ය. ජීවිතයෙන් අඩකටත් වඩා නිවසින් පිට ජීවත්වූ මට මෙය අමුත්තක් නොවීය. නිවස හිමිවූයේ කරුණාවන්ත වැඩිමහල් කාන්තාවකටය. රාජකාරී වේලාවෙන් පිට කෑම බීම නිවසින් සැපයූ අතර, මාසික කුලිය කීයදැයි මතකයේ නොමැත. එකල දකුණු පළාතට පැමීනෙන සංචාරකයින් සඳහා විශාල හෝටල් ලෙස තිබුණේ Benthota Beach Hotel, Lihiniya Surf, Koggala Beach Hotel, Horizon වැනි තරු තුනේ, හතරේ Hotels සහ Motels, Inns සහ Guest Houses පමණි. ඊට අමතරව Weligama Bay Beach Hotel පවත්වා ගෙන ගිය අතර මෙහි කාමර 160ක් පමණ තිබූ බව මතකය. පසු කලෙක අහුන්ගල්ලට Triton නම් විශාල හෝටල් සංකීර්ණය පිවිසියේය.

හික්කඩුව, බෙන්තොට ගැවසීමට පැමිණෙන සංචාරකයින්ට වැලිගමට පැමිණීමට කිසිම හේතුවක් නොවිය. එම හෝටලයට පැමිණියේ යාල අභය භූමිය නැරඹීමට පැමිණෙන ධනවත් සංචාරකයින්, දිනකට හෝ දෙකකට නවාතැන් ගැනීම (transit) සඳහා පමණය. යාල, තිස්ස, මාතර වැනි ප්‍රදේශයන්හී පහසුකම් සහිත හෝටල් නොතිබූ බැවින්, වැලිගම හෝටලයට සංචාරයකින් කංඩායම් වශයෙම් ලබාදීම, සංචාරක සමාගම් මගින් සිදුවිය. එම නිසාම මෙම හෝටලය එතරම් කාර්ය බහුල ස්ථානයක් නොවීය. නාගරික ජීවන රටාවටත්, කාර්ය බහුලත්වයටත් හුරුවී තිබූ මට, මෙම ස්ථානය එතරම් ගෝචර නොවීය. අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය. අනිත් හේතුව හෝටලය සහ ගැමියන් අතර මන සබඳතාවයක් නොවීමයි. ඒයට හේතුවූයේ හෝටලය විසින් වෙරළ තීරුවේ යම් කොටසක්, හෝටලය සතු කර ගෙන, ගැමියන්ට එහි වෙළඳාම තහනම් කිරීමත්ය. ගැමියන් පිටින් ආ අපට සැලකුවේත්, අපත් හෝටලයේ අයිතුකරුවන් යන පටු චින්තනයෙන්ය. එම නිසා සුළු සුළු ගැටුම්ද නොතිබුණා නොවේ. අදටත් සමාජීය කල්ලිවාදය පිළිකෙව් කරනා මා වැන්නන්ට, මෙය එතරම් සුදුසු පරිසරයක් නොවූ බව කිව යුතු නොවේ. මගේ විෂය ක්ෂේත්‍රය තුළ අධ්‍යයනයන් කිරීමටද මා තදබල ඇල්මක් දැක්වීය. එය ස්වයං අධ්‍යාපන රටාවක් විය. සේවා කාලය තුළ ඇති කාර්ය බහුලත්වයටත් මම අදටත් කැමැත්තෙමි. සේවා මුරය ඇඟට පතට නොදැනී අවසාන කර ගැනීමට මෙය ඉවහල්වේ. මේ පුරුදු නිසාම පසුකාලීනව බොහෝ රෙකමදාරුවන්, උසස්වීම් සහ අප ක්ෂේත්‍රයේ කෙනෙකුට නොලැබෙනා අවස්ථා උදාවිය. ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත. කල්ලිවාදය බැහැර කිරීමට මා දැක්වූ උනන්දුව නිසා සේවා ස්ථානයේත්, සමාජයේ ඕනෑම තලයක මිනිසුන් හා ඇසුරු කිරීමටත් , ඔවුන් හා සුහද ගනුදෙනුවක් පවත්වා ගෙන යාමටත් මට අවස්ථාව උදාවිය. මම කංඩායම් ක්‍රීඩකයෙක් විය. මේ නිසාම මම ප්‍රාණවත් සමාජ සත්වයෙක් වීමටත්, ඇතිපදම් අත්දැකීම් ලබන්නටත් අවස්තවාක් උදාකරගත්තෙමි. එය මැනවින් ප්‍රගුණ කළයුතු අංගයක් බව ලියා තබන්නෙමි.

මම වඩාත් ප්‍රිය කළේ හැන්දාවරුවට සේවය කර මධ්‍යම රාත්‍රියේ සමාජ ජීවිතයටත්, උදය වරුවේ නිදාගැනීමටත්ය. ගල්කිස්සේ මෙන් නොව වැලිගමදි රාත්‍රී 11-12න් පසු සේවය අහවර කර අරක්කු බෝතලයක් හොයාගන්නටවත් තැනක් නැත. බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි. ඒ තරුණ කාලයේ තිබු එක් එක් නරක පුරුදු යැයි මම සිතමි. නිවාඩු දිනයන්හී නම් අපි ඇති තරම් විනෝද වූයෙමු. වැලිගම සිටි කෙටි කාලය තුළදී පවා මම කුෂ්ඨරාජගල නැරඹීමටවත්, විහාරයටවත් ගොඩවී නැත. ඒ වෙනුවට අප කාලය ගත කළේ ගාල්ල කොටුව, මාතර කොටුව හෝ වැලිගම මුහුදු තීරයේය. ඒ ගැන පසුතැවීමක් නැත. ඒ වයසේදී ජීවිතය ගෙවුණේ එලෙසය.

වැලිගමදී මට අමතක කල නොහැකිම දර්ශනය වන්නේ නම් මුහුදු තීරය අසලම තිබු දූපතත්, මහපාරට ආසන්නව තිබු Weligama Bay Inn එකත්, ඒ මැදිව තිබූ තිබූ මුහුදු තීරයත්ය. ධීවර යාත්‍රා කිහිපයක්ද නවතා තිබූ මේ තීරයේ අප එළිවෙන ජාමය වෙන තුරු කමින් බොමින් , ගී ගයමින් කාලය ගත කෙරුවෝය. ගාල්ල කොටුවත්, මාතර කොටුවත් අවට හෝටල් සේවකයන්ගේ සොඳුරු පාරාදීසය විය. වැලිගම මුහුදේ තිබු ඒ දූපත Count de Maunay Island නම් විය. එය දැන් තැප්‍රොබේන් අයිලන්ඩ් නම්වේ. මහපාරේ එක් පසක සොඳුරු බිම්කඩකවූ Weligama Bay Inn එක ලංකා හෝටල් සංස්ථාව සතුවිය. මෙම ඉතා මනරම් ස්ථානය පසුව පෞද්ගලික සමාගමකට පවරාදුන් බව මතක්වේ. ගාමිණි රංජන් ජයවර්ධන නමින් දිවයින පුවත්පතට ‘තානායම් පල්ලාගේ සටහන්’ නමින් රසවත් ලිපි ලියු ලේඛකයාද බේ ඉන් ආයතනයේ සේවය කල බව අසා ඇත. ඒ කොයි යුගයේද කියා මතක නැත. ඔහු බේ ඉන් එක ගැන ලියූ ලිපි මමද කියවා ඇත්තෙමි. ගාල්ලට ගොස් කා බී ප්‍රීතිවී එන අපට සල්ගාදු හෝටලයේ ආප්ප සංග්‍රහයද අමතක කල නොහැකිය.

තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත. බාදිය වේලාවට පයින් ඇවිද යා හැකි වුවත්, වඩදිය විටදී යාමට නම් බෝට්ටුවක් අවශ්‍යමවේ. මෙහි මැනවින් ඉදිකර තිබු විශාල බංගලාවක් ඉතා කදිමට නඩත්තු කළේය. විශාල ගස් කොළන් වලින් වටවූ මෙම නිවස පාරට පෙනුණේ නැත. මෙහි නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුවූ බව නම් දනිමි. මෙහි අතීත කතාව ලියා මගේ ලිපිය දීර්ඝ කරනවාට වඩා මෙම විකිපීඩියා සටහන කියවා මූලික අදහසක් ලබාගත හැක . මේ කෙටි සටහන කියවීම වටී.

වැලිගමදී තරම් මාළු කෑමට ලැබුණු ගමක් තව ඇත්තේද මතක නැත. හැම වේලකටම මාළුය. ඉඳහිට මසුත් ලැබේ. බෝඩිමේ ඇන්ටී වැලිගමට හුරු නොයෙකුත් මාදිලියේ මාළු වට්ටෝරු පිසීමට රුසියෙකි. වෙන පළාත්වල උදවිය මෙයට මෙතරම් දක්ෂ නොවේ යැයි මම සිතමි. ඉන් මා වඩාත් සිත්ගත්තේ බලමාළු පොල් මැල්ලුමය. සුදුලුුනු, ඉඟුරු යහමින් යොදා පොල් සමගින්, කොස් මලවනවා සේ ඇය මෙය සාදයි, ඉතා ප්‍රණීත ආහාරයකි. වැලිගම මුහුදු තීරයේ බූවල්ලන්ද (Octopus) බහුලය. සංචාරකයින් වෙරළට පැමිණෙනා ධීවරයන්ගෙන් මිලදී ගෙන, හෝටලයට රැගෙන විත් සාදවා ගනී. බූවල්ලන් ශුද්ධ පවිත්‍ර කිරීම එතරම් පහසු නැත. මම බූවල්ලන් ප්‍රථම වතාවට රස බැලුවේ වැලිගමදීය.

මට වැලිගමදී හමුවු අපූරු හෝටල් සේවක සගයන් දෙදෙනෙකු විය. එකෙක් මහනුවරය. ඔහුගේ පියාගේ නිල නිවාසය තිබුණේ නුවර Wales Park එකේ ඇතුළේ බව මට මතකයේ තිබේ. ඔවුන් වැදගත් මිනිසුන් විය. මගේ මිතුරා පසු කාලයකදී අප රටට පැමිණි මාරාන්තික මත් රකුසා නිසා අන්ත දුගියෙක්, පාදඩයෙක් ලෙස ජීවිතය ගතකෙරූ බව මම දුටුවෙමි. වැලිගමදී අප පිනවූ ගිටාර් වාදකයා, මියුරු ගායකයා ඔහු විය. අනිකා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ තොග සහ සීල්ලර ව්‍යාපාරිකයෙක්ගේ පුත්‍ර රත්නය විය. එකල හෝටල් ක්ෂේත්‍රයට, මෙවැනි සල්ලිකාරයින්ගේ දරුවන්ද, හුදෙක් විනෝදයම පතා සේවයට පැමිණි බව මම කලින් ලියා ඇත්තෙමි. ඔහුද මා කියනා මේ මත් රකුසාට බිලිවී, පසුකාලයකදී රාජකීය විදුහලේ කැන්ටිමේ සුළු සේවකයකු ලෙස කාලය ගත කෙරූ බව මම දනිමි. මේ විෂය ගැන සමාජ, අධ්‍යාපනික වටිනාකමින් යුතු ලිපියක් පසුව ලිවීමට මගේ කතාව තුළ ඉඩ ඇති බව මම දන්නෙමි.

මේ කාලය තුළ සිදුවුදේ තවත් බොහෝ ඇත. මම තවත් රැකියාවක් සඳහා නැවත කොළඹ පැමිණීම, 1982 ජනමත විචාරණය ආදී දේ ගැන පසුව ලියන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

104 Responses to අවුල් වන්නට පෙර (46)… වැලිගමයි…මමයි.

  1. විදානේ.. says:

    වැලිගම “බේ බීච්” එක මමත් කීප වරක්ම කරක් ගහපු තැනක්.. අවංකවම කිව්වොත් අද තරු තුනේ තත්වයම පවත්වාගෙන යනවාදැයි සැකයක් තියනවා.. මට දැනුනු හැටිද දන් නෑ හැබැයි සේවාවනම් ගොඩක් පහලයි…. මාළු ගන්න මිරිස්ස පැත්තෙ එහෙම ගියේ නැද්ද..
    මහනුවර මිත්‍රයා ගැන මීට වඩා විස්තර නැද්ද.. ඔහු ගැන ඇහුවම දුකයි.. කෙලිලොල් ජීවිතේ අවසානය…

    ජය වේ වා!!!

    • විදානේ….උඹ කියන කතාව හරි ඇති. මොකද මම වැඩ කරපු බොහෝ තැන්වලට මම පස්සේ කාලවල් ගියා. මේ හැම තැනකම සර්විස් ස්ටෑන්ඩඩ් පල්ලෙහා වැටිලා. 5ස්ටාර් හෝටල්වල තත්වයත් ඒකමයි. එදා හෝටල් සේවකයින්ට ඉතාමත් දැඩි විනය රීති තිබුනා. ඒවාත් හරියට හමුදාව වගේ. සපත්තු දෙකේ ඉඳන් කොන්ඩේ දක්වා දිනපතා චෙක් කරන වැඩ පිලිවෙලක් තිබුනා. හොඳ මැනේජර්ස්ලා හිටියා. දැන් ෆීල්ඩ් එක විනාශ කරලා තියෙන්නේ. හොටෙල් ස්කූල්ස් චාරයක් නැතිව බිහිවුනා. මාස හයෙන් අවුරුද්දෙන් විභාග තිබුනා හෝටල් ඇතුලෙම (මම කියන්නේ ෆයිව් ස්ටාර් හොටෙල්ස් ගැන ) මම පසුවට මේවා ලියන්නම්.

      වැලිගම ඇති පදම් මාළු තිබුන නිසා, හෝටලයට මාළු දුන්නෙත් වැලිගමින්. මම කවදාවත් මිරිස්සට ගිහින් නැහැ. මිරිස්සත් ලස්සන තැනක් නේද?

      නුවර යාළුවා ඉතාම හොඳ කොල්ලෙක්. එයාගේ අයියාත් ඒ වලටම වැටුනා. ගාල්ලේ බුවාත් ඒ වගේම සුන්දර චරිතයක්. මේ ගැනත් ලියන්න බොහෝ දේ තියෙනවා. මම ඉදිරියේ ලියන්නම්.

      • sudeeka says:

        මේ කතාවට මමත් එකඟයි. මුලින්ම හෝටල් රැකියා දෙකක් කල නිසා, අදටත් පිරිසිදු ඇඳුම් ඇඳීමත්, හිස, මුහුණ, සහ සපත්තු පිලිබඳ සැලකිල්ලත් තිබේ.

      • ඔව්.සුදීක….වෙලාවට වැඩට ඉන්න එකත්,පිලිවෙලට වැඩක් කිරීමත් ඔය අතර තිබූ වඩාත් වැදගත් ඉගෙන්වීම්.

    • @ අරූයියා
      “මිහිකත”වගේ නමක් දැම්මේ ඇයි දන්නේ නැහැ නේ බං මුහුදේ යන නැවකට…:D ?

      • මහ පොලවේ පය ගහලා නෙමේනේ බං අපේ අයියලා ඉන්නේ. මත්තල එයාපෝට් එකෙයි, හම්බන්තොට වරායෙයි.

    • atampahura says:

      test

  2. Ravi says:

    Aru,

    / ඔහුගේ පියාගේ නිල නිවාසය තිබුණේ නුවර Wales Park එකේ ඇතුළේ බව මට මතකයේ තිබේ. /

    අරූ..මචං..ඕක වේල්ස් පාක් නෙවෙයි ..වේස් පාක්.වේල්ස් කියන එක කටට හුරු නිසා බොහෝ දෙනෙක් කියන්නෙ එහෙම. ඒත් ඒක වැරදියි.

    In 1887, the then Mayor of Kandy Herbert Wace. decided to restore the neglected site and built a park in remembrance.

    / 1982 ජනමත විචාරණය ආදී දේ ගැන පසුව ලියන්නෙමි. /

    පප්පගෙ ලාම්පු – කළගෙඩි සෙල්ලම….හෙහ්,හෙහ්, මේ රටට අද මේ වෙලා තියන විනාසෙට අපෙ එදා ඉඳල හිටපු නායකයො ඔක්කොම අඩු වැඩි වශයෙන් වග කියන්ට ඕන තමයි. ඒත් මම හිතන්නෙ පප්ප තමයි සීයට අනූනමයකට වැරදි කාරය.මේ රටේ දේසපාලුවන්ගෙ, ඒ වගේම මිනිස්සුන්ගෙ තිබ්බ හැදියාව , ලැජ්ජ බය කියන දෙක සුන්නත්දූලි කරල දාල රට අපායට හෙණ ගැහුව වගෙ කලේ ඔය මනුස්සය.රජා තාම මගෙ ලිස්ට් එකේ පප්පගෙ ඒ මට්ටමට ආවෙ නෑ. But he is trying as hell to get there and I am sure he will sooner than later.

    • මචං රවී…තෑන්ක්ස්. උන් කිව්වේත් වේස් පාක් කියලා.මට වැරදිවෙයි කියල හිතුනා. මම මේ ලියන කොටත් කිහිපවිටක් කල්පනා කරලා වේස් පැත්තක තියලා වේල්ස් කරා. උඹට ස්තූතියි. ඒ වැරැද්ද එහෙමම තිබුන දෙන්. ඒක හොඳයි කාට හරි ඉගෙණගන්න හරි. මම යන්න ඕන වැඩට. උඹට පස්සේ නිදහසේ රිප්ලයි එකක් දාන්නම්.

    • තිසර says:

      හෑ? අපි කිව්වෙත් වේල්ස් පාක් කියලා. සමහර විට දන්න අය වේස් පාක් කියලා කියන්න ඇති.. වේල්ස් ඉක්මනින් උච්චාරණය කරනකොට කොහොමත් ඔය හල් ල යන්න ඇහෙන්නෙ නෑ… ඒ හින්දා නෝට් උනේ නෑ…

      ඕකෙ නිල නම රෝයල් පැලස් පාක්නෙ. ඉතිං බෝඩ් වලවත් නැතුව ඇති වේස් ද වේල්ස් ද කියලා. හැබැයි විකිපීඩියාව / ගූගල් නම් කියන්නෙ වේල්ස් කියලා. විකිපීඩියා කියනවා ප්‍රින්ස් ඔෆ් වේල්ස් ට ගෞරව කරන්නලු ඒ නම දැම්මේ.

      • Ravi says:

        තිසර,

        / ඉතිං බෝඩ් වලවත් නැතුව ඇති වේස් ද වේල්ස් ද කියලා. /

        නෑ බං…ප්‍රධාන දොරටුව ඉහලින් ඒ කාලෙ තිබ්බ යකඩ ආරුක්කුවක් වගෙ එකක්. ( තාමත් ඇති බොහෝ විට ) ඒකෙ ඉංග්‍රීසියෙන් ලියල තිබ්බ Wace Park කියල. රජවාසල උද්‍යානය කියන්නෙ සිංහල නම…Royal Palace Gardens කියන්නෙ මම හිතන්නෙ ඒ සිංහල නම ඉංග්‍රීසියට හරවගෙනද කොහෙද…

      • @ තිසර…..මම මේ උඹ කිව්වාට විකිපීඩියා බැලුවා. ඒක කියන්නේ වේල්ස් කියලා. හැබැයි රවීගේ කතාව හරි. විකිපීඩියා වැරදි තොරතුරක්ද?

      • Ravi says:

        Aru,

        විකිපීඩියා ඇත්තටම හරිම ප්‍රයෝජනවත් සහ වැදගත් දැනුම් සාගරයක් තමයි. ඒත් ඒකෙ තියන සියලු කරුණු නිවැරදි නෑ. Academic Research එකකදි එහෙම Wikipedia තොරතුරු වලට වැදගත් කමක් දෙන්නෙ නෑ ඒ කරුණු වෙනත් ශාස්ත්‍රීය මූලාශ්‍ර වලින් තහවුරු නොකලොත්. ඒකට හේතුව මේකයි.

        Wikipedia is written collaboratively by largely anonymous Internet volunteers who write without pay. Anyone with Internet access can write and make changes to Wikipedia articles, except in limited cases where editing is restricted to prevent disruption or vandalism. Users can contribute anonymously, under a pseudonym, or, if they choose to, with their real identity.

      • රවි….තෑන්ක්ස් තොරතුරු වලට. අපිටත් ඕනනම් හිටපු වැදගත් පුද්ගලයෙකුගේ තොරතුරු විකිපීඩියා එකට එකතු කරන්න පුළුවන්ද..උදා..අමරබන්ධු රූපසිංහ.

    • @ රවි…ඇත්තටම නුවර අය කිව්වේ වේස් පාක් කියලා තමයි. මට උඹ කියපු නිසා තමයි මතක්වෙන්නේ දැන්. මම අහනවා උන්ගෙන් ඇයි බං වේස්, වේස් කියන්නේ හරියට වේල්ස් කියලා ප්‍රනවුන්ස් කරපන්කෝ කියලා. උන් ඉතිහාස කතාව දන්නේ නැතිවුනත් කිව්වේ “ඒ පාක් එක හදපු කෙනාගේ නම” කියලා. උඹ හරි. ලින්ක් එකටත් තෑන්ක්ස්.

      ඉස්සර ගාල්ලේ පාක් එක ඉස්සරහ තියෙන ධර්මපාල පිලිරුව පෙන්නලා ,ටවුමේ ගයිඩ් බුවෙක්ගෙන් සුද්දෙක් ඇහුවාලු ” Who is that”කියලා. ගයිඩ්ට ඉතිහාසෙයි, ඉංග්‍රීසියි දෙකම බැරි එකෙක්. ඌ කිව්වාලු” Oh…Sir ..That is park owner “කියලා.

      මචං අපේ රටේ පාලකයෝ ගැන නම් කියන්න ගියොත් ප්‍රෙෂර් වැඩි වෙනවා. පප්පා උන්නාන්සේගේ කාලේ මම දැක්ක සිදුවීම් කිහිපයක් තියෙනවා.
      1)77 ඡන්දෙන් පස්සේ භීෂනය
      2)81 සංවර්ධන සභා /යාපනය පුස්තකාලය
      3)82 ජනමත විචාරනය
      4)83 කළු ජූලිය
      මේ අවස්ථාවලදි හමුදාවට, පොලිසීයට නිවාඩු දුන්නේ….කොලෙජ් එකේ ප්‍රයිස් ගිවින්ග් එකට ඇවිල්ල…ආ හෙට උඹලාට නිවාඩු කියලා ළමයින්ට කියනවා වගේ. ඒ චාරිත්‍රය තාමත් තියෙනවා ඉස්කෝලේ.
      මහරජා ඊට හපන් වෙනවා මේ විදිහට ගියොත්. උඹ දැක්කාද අර ඔසියෝ අපිට ඊයේ පෙරේදා නැව් දෙකක් දුන්න සීන් එක නිව්ස්වලට. ඒ දෙක අපි ‘මිහිකත’ සහ ‘රත්නදීප’ කියලා නම් වෙනස් කරානේ. අපේ කවුද මහ එකෙක් ගිහින් අර ආපු ඔසී මිනිස්ටර්ට ආඩ්ම්බරෙන් තටම තටම කියනවා.
      ” Mihikatha starts with ‘M’…Rathnadheepa starts with ‘R’..so M.R. is our president”කියලා
      අර මිනිහා හෙන නක්කල් හිනාවක් දැම්මා.

      • Pra Jay says:

        Ravi,
        වේස් පාක් එක ඇතුලත් වන කොලෝනියල් කාලෙ පේන්ටින් එකක් දැක්කවගේ මතකයි. ( landscape ජාතියෙ )

      • Pra Jay says:

        සමහරවිට http://www.artlanka.com/enlarged.php?pid=61 (A plein-air painting of Kandy Lake from the hill in Wace Park.) වෙන්න ඇති
        හැබැයි මේක වේස් පාක් එකෙන් (from Wace Park, the Park not in view) ) විව් එක.
        මේක ඉෆ්තිකාර් කාදර්ගෙ .මට මතක තිබුනේ පරණ කොලෝනියල් කලෙ එකක් වගේ.
        Anyway “වේස් ” පාක්

    • sudeeka says:

      මේ කාරණය මමත් හැම තිස්සෙම කියන එකක්. පප්පගේ බහුබූත ව්‍යවස්ථාව නිසා තමයි අද දේශපාලනය පාදඩකරන වෙලා තියෙන්නේ.

      • පප්පාගේ ව්‍යවස්ථාවත් ඒ යුගයත් කළු පැල්ලම් රාශියක් ඉතිරිකරලා තියෙනවා. අනිත් අයට බැරිනම් යුඇන්පියවත් මේ වැරදි නිවැරදි කරගත යුතුයි. ඒ ගැන බලන් ඉන්න තමයි තියෙන්නේ.

  3. අලුත් හෝටලේ කළමනාකාරිත්වය උඹලව බිලීබාගෙන තියෙන්නේ. බැලුවාම ඒකේ ඇති වැ‍රැද්දකුත් නෑ. ඔය ක්‍රමවේදය තමයි හුඟක් වෙලාවට සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම වුනත් ව්‍යාපාරයක් කරනවා නම් ඒකට බොඳවා ගන්නේ මේ වගේ උන් කියලා අදහසක් මට තියෙනවා. මම තව කෙනෙකුගේ ව්‍යාපාරික ස්ථානයකට ගියාම මට හිතාගන්න පුලුවන් මම ව්‍යාපාරයක් කරනවා බඳවා ගන්නේ මෙතනින් මොන මොන එවුන්ද කියන එක එතන සේවකයෝ මට සලකන විදියෙන්ම.

    >>අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය<<

    මේක නම් නැති තැනක් නෑ මචං. මිනිස්සු හරීම ආසා දෙයක්නේ ගම, පළාත, ඉස්කෝලේ හරි මොකක් හරි මගුලකට කල්ලි හදා ගන්න. මේක යම් පමණකට සිද්ද වෙන්න ඕනේ. නමුත් සමහරු සීමාව දන්නේ නෑ. තමන්ගේ එකාට සලකාගත්තට අපිට කමක් නෑ, අනිත් උන්ට අසාධාරණයක් නොවෙන්න.

    • ඩූඩ්….මම හිතන්නේ බිලි බා ගැනීමකට වඩා අප බිල්ලට හසුවීම කියන එකයි. හැබැයි මචෝ..ඒ හසුවීම නිසා මම මගේ ඊළඟ රස්සාවට වෘත්තීය අත්දැකීම් එකතු කරගත්තා. මම ඒ ගැන ර්‍රලඟට ලියන්නම්. මේ ක්‍රමවේදය හොඳයි..මම වගේ කුඩා රස්සාවල් කරපු අයට. නමුත් ඕක ප්‍රැක්ටිකල් නැහැ…වයිට් කොලර් ජොබ්ස් වලට. ඒක එහෙම තමයි මචං. මම හිටිය කෙරුවාව වෙනස්. ගඩොල් බඳින්නේ හරියට නම් ඒක ඉන්ජාට/සුප්පාට පේනවා. හැබැයි ඉන්ජා හරිද කියලා බලන්න ගඩොල් බඳින එකා යන්නේත් නැහැ.. හිතන්නෙත් නැහැ. ඕක තමයි බං හැටි.

      මචං…ඔය කල්ලි ගැසීම රටේ මහ එකාගේ ඉඳන්, ආදරය..සාධරනය ඉල්ලන බ්ලොග් ලෝකයෙත් තියෙනවා. උඹ ඩූඩ් ඒක හඳුණගත්ත එකෙක්. ඒ නිසා උඹට නෝ වොරිස් කියලා මම හිතනවා.

  4. Senna says:

    මම ඇත්තටම හිතුවෙ උඹ බොරු කාරයො නඩයකට අහුවෙන්ඩ යන්නෙ කියලා.. ඒත් එහෙම වුනේ නෑ…

    <
    “සමහරක්” කියන වචනෙ නොදා හිටියනම් තමා හොඳ. ඔය වචනෙ සිංහල බ්ලොග් අවකාශය තුළ වෛශ්‍යා වෘත්තියෙ යොදවපු වචනයක්.. දැන් ඒකෙ තේරුම විකෘති කරලා..

    <>
    මමත් අවුරුදු පහක් UAE හිටියා ඩූබායි ගිහින් නෑ.. සමහරු විශ්වාස කරන්නෙත් නෑ මේක.. හෙහ් හෙහ්…

    තානයම් පල්ලගේ සටහන් කියවලා තියනවා වගේ මතකයි…

    • Senna says:

      උපුටා ගත්තු කැලි හැලිලා.. ඒ මොකද ?

      • සෙන්නා මේ කොමන්ට් දම දමා ඉන්නේ ඔබගේ බ්ලොග් එකේ මොකුත්ම ලියන්න අදහසක් නැද්ද?

      • Senna says:

        අහිංසක බූරු බබා,

        අදහස් නම් මහ ගොන්නක් හිතේ තිබේ. ඒවා සියල්ල සඵල කර ගත හැක්කේනම් මිහිපිට වසන වාසනාවන්තමයා මම වෙමි. 🙂

        බ්ලොග් එක තාවකාලිකව වසා දමා ඇති බව කරුණාවෙන් සළකන්න. විමසා බැලීම පිළිබඳ මාගේ බලවත් චිත්තප්‍රීතිය පිළිගනු මැනවී..

      • @සෙන්නා…උපුටා ගත්ත කෑලි හැලුනාට කමක් නැහැ. උපුටා ගත්තේ කොහෙන්ද/ මොකක්ද කියලා පේනවා.

        රංගි කියනවා වගේ එහෙමනම් ආපහු ලියපන් ..තාවකාලික වැසිල්ලෙන් පස්සෙවත්.

    • ////මම ඇත්තටම හිතුවෙ උඹ බොරු කාරයො නඩයකට අහුවෙන්ඩ යන්නෙ කියලා.. ඒත් එහෙම වුනේ නෑ…///////
      සෙන්නා….වෙන සෙට් එකක් ආවානම් අහුවෙන්නත් තිබුනා, අත්දැකීම් මදි හින්දා. ඒ වුනත් තාම අහුවෙන තැන් තියෙනවා බන්. අහුවෙන තැන් අඩුකරගන්න කොට අහුකරගන්න බලන් ඉන්න අය , උන්ගේ ටැක්ටික්ස් දියුණු කරගන්නවා. ඕක තමයි සර්කල් එක.

      ඔව්…සමහරක් කියන වචනේ දැන් some හරක් වෙලා. ඒකත් නරක නැහැ 😀

      මම ඩුබායි.අබුඩාබි,රස් අල් කයිමා, සාජා රවුමක් ගැහුවා කාර් එකක ඇවිත් තව යාළුවෝ දෙන්නෙක් එක්ක 1988 විතර ඔමාන් ඉන්න කාලේ. . ඒ රෂියන් කෑලි ඩුබායි බහින කාලේ 😀

      තානායම් පල්ලාගේ සටහන්….හරි රසවත්.. තාම ලියනවාලු. මම නම් දැක්කේ නැහැ.

  5. කතාව හොදින් ගලාගෙන යනවා.. ඔන්න ඔහොම තමයි එහෙනම් වැලිගම පැත්තට ගියේ…. මේකේ මං විශේෂයෙන් ම දකින දෙය තමයි ඔබ ඔබගේ ජීවිතය නොසගවා පැවසීමට ගන්නා උත්සහය. ඒ වෙනුවෙන් මාගේ ස්තූතියි සහ ප්‍රණාමය.

    //බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි. ඒ තරුණ කාලයේ තිබු එක් එක් නරක පුරුදු යැයි මම සිතමි. //

    මේ එය අනුමත කිරීමක් නොව. ඔබ විසින් ඔබගේ අත්දැකීම් අපවෙත නොසගවා ලබා දීම ගැන වූ අනුමත කිරීමයි………

    • කුරුටු….ස්තූතියි.මොනවාට හංගන්නද බං. හංගලා තියලා යනකොට අරන් යන්න කියලාද? විවෘතවීම තුල නොයෙකුත් පාඩු තියෙනවා. නමුත් සමහර මිනිස්සු විවෘතයි. මම එහෙම එකෙක් වෙන්න ඇති. මේ කතාව තුලින් යමෙකුට පොඩි අවබෝධයක් ලැබෙනවා නම් ජීවිතය යනු සිදුවීම් රාශියක්ය කියලා සහ අප එකිනෙකාගේ වැරදි සහ අඩුපාඩු එකිනෙකාට වෙනස් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඇති. මේක මගේ ජීවිත කතාව මිසක් කාවවත් නොමග යවන්නවත්, හරි මාර්ගයට ගන්න කරන උපදේශන මාලාවක්වත් නෙමේ බං.

  6. අපේ පවුල් වල අය මගුල් ගත්තේ හනීමූන් ගියේ ඔය වැලිගම හෝටල් වල තමයි. මොකෝ ඒ කාළේ ගාල්ලේ හොටල් වලට වඩා ඔය හෝටල් ලාබයි. දැන් නම් අළුත් හෝටල් ගොඩාක් තියෙනවා. ඉස්සර මගේ බාප්පා කෙනෙක්ගේ ඩ්‍රයිවර්ගේ ගෙවල් තිබුනෙත් වැලිගම. ඒ යකා අපේ පවුලෙ එකෙක් වගේ හිතවත් උනා. කුෂ්ඨරාජගල ගාව තමයි පොරගේ ගෙවල්. සුනාමියෙන් ඔය ඔක්කෝම හෝටල් ඩැමේජ් උනා. කුඩු ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඊයෙත් කිළෝ 100 ක් අහු වෙලා. හිතවත් උන් කී දෙනෙක් නම් නැති උනාද ඕක නිසා. ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    දැන් මචෝ වැලිගම තියෙන්නේ. බැක් පැකර්ස්ලගේ හික්කඩුව වගේ සීන් එකක්. ඒත් ඒ සුන්දරත්වය නම් තවමත් එහෙමම තියෙනවා. දූපත දැන් බුටීක් හොටෙල් එකක්. පට්ට ගනන්.

    • උඹ ගාල්ලේ බුවෙක් නිසා ඔය පැති ගැන හොඳට දන්නවා ඇති. අපි ඉන්න කාලේ නම් මේ හෝටලේ වැඩිය වෙඩින්ග්ස් ගත්තේ නැහැ. මේ කාලේ උඹ ඉස්කෝලේ යනවා වෙන්න ඕන. මටත් වයස 19යි. ගාල්ලෙත් මරු හෝටල් තිබුනා නේද. උනවටුනේ බීච් රෙසෝට් එකේ මැනේජර් වෙලා හිටියේ මගේ හොඳ යාළුවෙක්. ඌ මියගියා. ගාලු කොටුවේ නම් අපි ෆුල් ආතල් ගත්තා බන්. මරු සෙට් එකක් හිටියා මියුසික් පිස්සෝ සහ ජෙනුවින් කලාකාරයෝ. සේනක කියලා මරු ගිටාරිස්ට් කෙනෙක් හිටියා. පොරත් කාලයකට ඉස්සෙල්ලා මැරුණා.

      <a href="http://en.wikipedia.org/wiki/Boutique_hotel"බුටික් හොටෙල් එකක් කියන්නේ මොකක්ද

      බුටික් හොටෙල් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනට ගිහින් කියවන්න.
      මම ලියන්න ගියොත් වෙලා යනවා.

  7. චැක් විතරක්………….ගංජා කාරයා, බේබද්දා, මෙව්වා ලියන හැටි. (අම්මපා කොච්චර සොමියක් ගන්න ඇද්ද කියලා හිතෙනකොට දුකේ බැරුවා ඒ කාලේ දැන හඳුනාගෙන හිටියානම් කියලා)

    සංචාරක හෝටල් ව්‍යාපාරයේ රැකියාව හරියට අල්ලාගත්තේ නැත්නම් දුක් ගොඩක් බවත්, හරියට අල්ලගත්තොත් ජීවිතේම ගොඩ බවත් බොහොම ඉස්සර මගේ යාලුවෙක් මට කියලා තියනවා.

    අදටත් මම හිතන්නේ ඔය පෞද්ගලික අංශයේ බොහෝ ක්‍ෂේත්‍රවල තිබෙනවා වෙනත් ආයතන වලින් සේවකයන් බිලී බා ගැනීම. ඊයේ මේ චැනල් එකේ ප්‍රවෘත්ති කියපු එකා මෙන්න අද වෙන චැනල් එකක ඉන්නවා.

    සුනාමිය ආව කාලේ අරු මෙහේද හිටියේ?

    • //////චැක් විතරක්………….ගංජා කාරයා, බේබද්දා, මෙව්වා ලියන හැටි. (අම්මපා කොච්චර සොමියක් ගන්න ඇද්ද කියලා හිතෙනකොට දුකේ බැරුවා ඒ කාලේ දැන හඳුනාගෙන හිටියානම් කියලා)///////

      බුදු අම්මෝ…විචාවත් අන්තිම රස්තියාදු කාරයෙක් වෙලා කොහෙන් නවතියිද දන්නේ නැහැ එහෙමවුනා නම්. විචාගේ වාසනාව .
      ඇත්ත …මේ ට්‍රේඩ් එකේ හරියට වැඩේ ඉගෙණගන්න ඕන. සෑහෙන්න ඉන්ටරෙස්ටින්ග්. එක තැන පල්වුනොත්…එපාම වෙනවා.තරුන කාලෙට විතරක් කරන්න හොඳ ජොබ් එකක්. පිස්සු කෙලින්න වැටුනොත් ගොඩ එන්නත් අමාරුයි.

      ලොකු හෝටල්වල නම් ඔය බිලිබා ගැනීම වෙන්නේ නැහැ. ටීවී චැනල්ස්වල නම් මාත් දකිනවා. ඕකට poaching කියලා slang word එකක් තියෙනවා. විචා දන්නවා ඇති.

      මම වැලිගම හිටියේ 1981. සුනාමියට මම ලංකාවෙ නැහැ.

  8. හැමදාම වගේ අදත් රසවත්. ආයෙම ලිපියකදි, ‘බලමාලු පොල් මැල්ලුම’ ගැනත් දාන්ටකෝ.

    බීමෙන් නාස්ති වෙච්ච අය ගැනත් වෙනම ලිපියක් දැම්මොත් හොඳයි කියලත් හිතෙනවා. ඒ දෙන්නා ගැන කණගාටුයි.

    අරූගේ ජීවිතය අපූරු එකක් නේද? 🙂

    • පොඩ්ඩි…..මගේ ජීවිතේ කියන්නේ පිස්සු ලෝකයක් : ඔය තාම තුනෙන් එකක් විතරයි මම හිතන්නේ. මාළු මැල්ලුම මම තාම හදලා නැහැ. වැලිගම නිසයි මතක්වුනේ. ලඟදිම හදලා පොඩ්ඩිට විස්තරේ කියන්නම්.
      //////බීමෙන් නාස්ති වෙච්ච අය ගැනත් වෙනම ලිපියක් දැම්මොත් හොඳයි කියලත් හිතෙනවා. ඒ දෙන්නා ගැන කණගාටුයි.///////////
      මේ අවධිය ගැන මම කියන්නම්. බීම නිසා විනාසවුනු බොහෝ ප්‍රසිද්ධ ජීවිත තියෙනවානේ පොඩ්ඩි. අපේ තාත්තාත් එක්කෙනෙක්. GEORGE BEST, PAUL GASCOIGNE කියන ෆුට්බෝල් ප්ලේයර්ස්ලා දන්නවාද…ඒත් බීම නිසාම විනාසවුනු මෑත කාලීන චරිත

      <a href="http://www.theguardian.com/society/2009/apr/19/ann-best-george-alcoholism-women&quot; GEORGE BEST & ALCOHOL.

      • GEORGE BEST & ALCOHOL.

        උඩ ලින්ක් එක වැරදුනා.

      • පොඩ්ඩි… මෙන්න රංගිට දීපු මාළු මැල්ලුමට උත්තරය. ට්‍රයි කරන්න.
        ////රංගි….ඔහේ ලියාගෙන යනවා. ප්‍රයෝජණයක් තියෙනවා නම් සතුටුයි.
        මාළු බොයිල් කරලා , ෆ්ලේක්ස් වගේ කඩලා කොස් මැල්ලුම් වගේ ඉතුරුටික කරන්න තියෙන්නේ. මම කවදාවත් හදලා නැහැ.Tuna flakes ටින් දෙක තුනක් ගෙනල්ලා හදන්න ඕන. හැබැයි ෆ්‍රෙශ් මාළු ගෙනල්ලා ගම්මිරිස්, ලුණු දාලා තම්බලා පොඩියට කඩාගන්නවා වගේ නැතිවෙයි. ට්‍රයි කරන්න. fresh පොල් නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් ගන්න/////

  9. තිසර says:

    තරුණ කාලෙදිම අතට යහමින් මුදල් ලැබෙනකොට, නිදහස ලැබෙන කොට වැඩි පිරිසක් නාස්ති වෙනවා… ඒකෙන් ගොඩ එන්නේ කීප දෙනයි…

    අර ජර්මන් ගෑණු ළමයා අරූ නිසාම ලංකාවට ඇවිල්ලත් ස්ථිර මිතුරුකමක් තියාගන්න උනන්දු වෙලා නැති හැටි 🙂

    • ඔව් තිසර…නිදහසයි,සල්ලියි, තරුන වයසයි කියන්නේ අගාධයට පාර. මම දන්න ඒ වගේ චරිත රාශියක් හිටියා. මමත් ලිඳට වැටිලා යාන්තම් කඹයක් අල්ලන් ගොඩ ආවා. මම පස්සේ ලියන්නම්.
      ජර්මන් කෑල්ලට සෙට් වුනා නම්, දැන් ඉන්න කෑල්ල මිස් වෙනවනේ. එහෙම මිස් වුනා නම් මම අර වැටුන ලිඳේම තමයි 😀 මෙලහකට කෑලිත් නැහැ.

  10. අරු අයියා … ජීවිතේ නිකන් සුරංගනා කතාවක් වගේ කියලා හිතෙනවා කියවනකොට ,අපේ ජීවිතවල එක එක යුග වල අපි කන කට්ට ,විඳින දුක පස්සේ හැරිලා බලනකොට හරිම සුන්දරයි ..

    සුරංගනා කතාවක් වගේ ..එනමුදු සුරංගනා කතාවක්නම් නොවේ

    • ඔව් ඉවාන්…..ජීවිතේ දිහා සුන්දරව බලන්න පුරුදුවුනා නම් ගොඩාක් සරලව ගෙවාගන්න පුළුවන්. කචල් අඩුයි. ඒත් ඒවා තේරෙන්නේ ටිකක් වයසට ගියාම තමයි.

      මොකද උඹට කිත්සිරි මතක්වුනේ. මල්ලි චන්ඩියෙක් නිසාද 😀
      කිත්සිරිගේ ලස්සන සිංදු තියෙනවා. ගිණි මලක් ..මතකද? මේ සින්දුවෙත් ලස්සන පදවැලක්. මට මේ නටන කෙල්ලෝ දෙන්නා ගැන නම් හරි කණගාටුවක් ඇතිවුනා බන්. දෙයියනේ….

      • Senna says:

        මටත් හැමදාම ඔය නටන කෙල්ලො ගැන දුකයි බන්.. ක්‍රිකට් මැච්ස් වල නටන උන්ව දැක්කත් මට හිතෙන්නෙම “අනේ ජීවත් වෙන්නනෙ මේ” කියන එක විතරමයි බන්.. ඇත්තටම උන්ගෙ කතා කොහොම ඇත්ද ?

      • සෙන්නා…..මම වැලිගම ඉන්න කාලේ..සමහර රාත්‍රීයන්ට කැබරේ නයිට් එකක් තියෙනවා. කොළඹින් ගෙන්නන්නේ. මට ඒ කෙල්ලන්ට කතාකරන්න ලැබිලා තියෙනවා. බොරු කියන්නේ මොකටද ඒ කාලේ කතාකරේ තොරතුරු එකතු කරන්න නෙමේ. වෙන මොකක් හරි කරගන්න පුළුවන්ද බලන්න. සුමනා ගෝමසුත් ඒ කාලේ එනවා (1981)කැබරේ වලට. ජීවත්වෙන්න කරන වැඩ තමයි බං. ඊට පස්සේ කාලෙක මට හමුවුනා ලංකාවේ ෆැෂන් ෂෝස් වලට එන කෙල්ලෝ. ඒ අයගේ කතාව ඊට වඩා ටිකක් වෙනස්.

  11. “ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත” මෙන්න මේ ටික තමයි මමත් අනුගමනය කරන්නේ .. එතකොට රස්සාවේ ප්‍රශ්න නෑ … ඉහලට යන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ ..

    තැප්‍රොබේන් අයිලන්ඩ් එකේ තියෙන හොටෙල් එක පට්ට ගණන් තැනක් නේ.. පරණ ගණන් ටිකක් තමයි සයිට් එකේ තියෙන්නේ. දැන් මීටත් වඩා වැඩි ඇති..
    http://www.taprobaneisland.com/rates.html

    හොටෙල් එකේ නවතින්නේ නැතුව නිකන් දුපත බලන්න යන්න පුළුවන් ද?

    • පැතුම් මම දන්න තරමින් ඒ ගණන් මුළු හොටෙල් එකටම. කාලෙකට කලින් එයාලා ගණන් කීවේ මුළු හොටෙල් එකටම. රූම්ස් කිහිපයක් වැඩි පහසුකම් සහිත. එයාලා ඉන්ඩිවිඩුවල් රූම්ස් වික්කේ නැති කතාවකුත් මතකයි.

    • ////එතකොට රස්සාවේ ප්‍රශ්න නෑ … ඉහලට යන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ ..//////
      ඒක තමයි පැතුම් හොඳම විදිහ. එහෙම වුනාම කවුරුත් ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. වැඩ කරා අත් දෙක පිහිදගත්තා නිදහස් හිතින් ගෙදර එන්න පුළුවන්. රස්සාව ගෙදරට ගේන්න ඕන නැහැ.

      මම වැලිගම ඉන්න කාලේ ඕක හෝටලයක් නෙමේ. සුද්දෙක් පදිංචිවෙලා හිටියා. වැඩට පොරක් හිටියා. ඉස්සරත් සුද්දාගේ යාළුවන්ට ඇරෙන්න පිට අයට එන්න දුන්නේ නැහැ. සුද්දා නියම ආතල් එකේ ඉන්න ඇති.

      හෝටලේ සුමානෙකට බුක් කරන්න අදහසක් තියෙනවා…ඒ නිසා මට ඇවිත් පහසුකම් කොහොමද බලන්න ඕන කියලා කෝල් එකක් දීලා ගිහිල්ලා රවුමක් ගහලා වරෙන්. එතකොට එන්න සර් කියලා ඇතුලට ගනියි. පැතුම් මම අර පල්ලෙහා දීලා තියෙන ලින්ක් දෙකේ ගිහින් ඒ ලිපි ටික කියවන්න. බලන්නම යන්න හිතෙනවා. හොඳ විස්තර ටිකක්.

      උඹ දීපු ලින්ක් එකෙත් හොඳ විස්තරයක් තියෙනවා.

  12. හම්මේ…
    අද නං ලියල මදි ඈ…
    කම්මැලි කමට නිකා ඉදල…
    ඔබේ සහ මගේ අත්දැකීම් වෙනස්…
    ඒත් මට ඇති හැම අත්දැකීමක්ම ඔබ විදින්නට ඇති.. නමුත් ඔබ විදින බොහෝ දේ මම වැද නැතිවඇති… ඒ ගැන
    කණගාටු වුවත් දැන් පලක් නෑ නෙව..
    අප තෝරාගන්නා රැකියා මත සියල්ල තීරණය වෙන්නෙ… මම එක තැන කොටු වෙලා.. අරූ අය්ය හැම තැනම රවුම් ගහනව…
    හික්ස්

    • තිස්ස දොඩන්ගොඩ says:

      මටත් හිතුනෙ එහෙම්මම තමා….
      ලෑස්ති වෙලා පවුඩර් දාගෙන වතුර බෝතල්, කෑම මල්ලෙ දාගෙන යන්න ආපු අපව අතරමං කරල ගෙදර ගිහිං…..
      වෙනම ලිපියකින් හරි නොලියූ දේ ලියන්න
      මහ පාලුගතියක් දැනෙනව…..

      • හලෝ හලෝ තිස්ස…වනක්කම්….තිස්සගේ කමෙන්ට් එකේ වතුර බෝතල්, පවුඩර් දැකලා මට හෙන ජොලියකුත් ගියා පොඩි කාලේ මතක් වෙලා.

        හුඟ දවසකින් මම මුකුත් ලිව්වේ නැතිනිසා කම්මැලි කමෙන් තමයි ලිව්වේ. බර දාලා රස දාලා ලියන්න තරම් ත්‍රිල් මූඩ් එකක් තිබුනෙත් නැහැ. අනිත් එක මම වැලිගම හිටියේ මාස දෙක තුනක් වගේ කාලයක් හින්දා, නිකන් ගොඩ වැදිලා යනවා වගේ වැඩක් කරන්න තිබුනේ.

        දිගටම කියවනවා නම්….වර්ඩ්ප්‍රෙස් එකේම එන්න.

    • මහේෂ්….ඇත්ත තමයි, පොඩි කම්මැලි ගතියකුත් තිබුනා. අනිත් එක මේ දවස් ටිකේ දෙයියනේ කියලා ටිකක් අව්ව පායලා නිසා ගේ ඇතුලට වෙලා ඉන්නේ නැතුව එලියට පනිනවා. ඔය දවස් ටික ඉවර වුනාම ආපහු චොර සීතල නිසා.

      උඹ මට වඩා වයසින් ගොඩාක් බාල නිසා මගේ අත්දැකීම් නැතිවුනත්, කාලයා සමග මට වඩා වෙනස්වූ, මා නොලැබූ අත්දැකීම් ලබන්නට පටන් ගනී. ඔහොම තමයි ජීවිතය. අනිත් එක මහේෂ්, මගේ ෆීල්ඩ් එකේ නිතරම වෙනස් ජාතීන් වෙනස් පුද්ගලයින් නිසා මට වෙනස් අත්දැකීම් ඇති.

  13. Anonymous says:

    බූසාන් ෆිෂ් මාකට් එකේදි බූවල්ලන් කෑලි කපල දඟලද්දිම කනව දැකල මට ජීවිතේ එපාවුනා.
    අරු.. එහෙම පණපිටින් මාලු හදල නැතිව ඇති නේද?
    හර්ෂ

    • හර්ෂ…..මම එහෙම අමුවෙන් හදලත් නැහැ. හදනවා දැකලත් නැහැ. හැබැයි මම කාලා තියෙනවා. ඒකත් ලංකාවේ ඔබරෝයි ඉන්න කාලේ. තෝර මාළු පුංචි ඩයිසස් වලට කපලා..ලයිම් ජූෂ්, ජින්ජර් ජූෂ්, සෝල්ට්, පෙපර් එක්ක පැය 24ක් ෆ්‍රිජ් එකේ තියනවා. සර්ව් කරනකොට අමු අනියන් රින්ග්ස් එක්ක දෙනවා මෙල්බා ටෝස්ට් එක්ක. ඒක ලයිම් &ජින්ජර් වලින් මැරිනේට්වෙලා කුක් වුනා වගේ වෙනවා දවසක් තිබ්බාම. ඒක මරු ඇපටයිසර් එකක්. මම කොහමත් මාළු ෆෑන් කෙනෙක් නෙමේ. මට මාළු එපාවුනේ වැලිගමින් සහ ඕමාන් වලින්.පොඩිමාළු,ඉස්සෝ,පොකිරිස්සෝ,කකුළුවෝ, දැල්ලෝ,බූවල්ලෝ හරි ආසයි. කවුරුත් ආසයිනේ.

      හර්ෂ කාලා තියෙනවාද අමු minced beef වලින් හදන Tartare steaks . ඒක අමුවෙන් කන්නේ.

      • Pra Jay says:

        අරූ ඒක steak එකක්ද, හීනියට ලියල දාන එකක්ද?
        James Herriot පොතක ස්කැන්ඩිනේවියන් සේලර් කෙනෙක් ඒක හදනව කියවපු දවසෙ ඉඳල කාල බලන්න හිතුන. තාම නෑ.
        කොළඹ හෝටල්වල සූෂි නම් මාර අප්පිරියයි සීතල හින්ද. ජැපනීස් එකක කාල නෑ තාම

      • Anonymous says:

        නැහැ. මම කාල නැහැ. ඔය සුෂි නම් කාලා තියෙනවා… වසබි නේද ඒ සෝස් එක. කොහොමත් අපි ටූනා වලට මනාප නේ..

        හර්ෂ

      • @ ප්‍රා…..මේකේ නම steak Tartare කිව්වාට steak එකක් නෙමේ. හීනියට චොප් කරපු හොඳ කට් එකක මස් ( sirloin, tenderloin .T boneවගේ )හෝ ඒ වගේම කට් එකක minced . මේ ඩිෂ් එක දැන් ඕල්ඩ් ෆැෂන්ඩ් වෙලා. එකක් හෙල්ත් රීසන්ස්. කාලයක් තිස්සේ හරකුන්ට හැදෙන ලෙඩ නිසා (පොලිටික්කන්ට වගේ).

        Japanese Kobe beef අහලා තියෙනවාද? කන්න නම් ලැබිලා නැහැ මට. freshකිලෝ එකක් £ 200ක් වගේ. frozen ඊට වඩා චුට්ටක් අඩුයි. පිස්සු ඩබල් වෙනවා.

      • හර්ෂ……වසාබි එක සෝස් එකක් විතරයි. කැමති තව ඕන දෙයක් එක්ක කන්න පුළුවන්.

  14. RanVan says:

    ඔන්න අරුගේ අඩවියට මාත් ආව. තාම පරණ පෝස්ට් කියවමින් ඉන්නෙ. තාම ඉන්නෙ 19. කොමෙන්ට්ස් එක්කම කියවන නිසා වෙලා යනව. හරිම අව්‍යාජ සටහන් අරු. එහෙම දුක්බර අතීතයක් තිබුන උනත් අද මේ විදිහට දරු පවුලයි දෙමව්පියො සහෝදර සහෝදරියො එක්ක සැනසීමෙන් ඉන්න එක ගැන ගොඩක් සන්තෝසයි. ඒ හින්දම වෙන්න ඕනි අතීතය ගැන පසුතැවීමක් නැතුව සුන්දර විදිහට බලන්න ලියන්න හැකි වෙලා තියෙන්නෙත්. මෙතෙක් කියවපු කිසිම තැනක මම දැක්කෙ නෑ තරහෙන් ද්වේශයෙන් ලියවිලා තියනව.
    අද පෝස්ට් එක කියවන්නෙ නෑ. පිළිවෙලට මෙතනට එන්නම් හැකි ඉක්මනින් 🙂

    • Come..Come..Ranvan……
      19 ඉඳන් 46ට එනකොට ගොඩක් වෙලා යයි 😀
      මම හැමදාම කියනවා වගේ මේ බ්ලොග් එකේ පෝස්ට් එකට වඩා රස පල්ලෙහා යන කමෙන්ට්ස්. ඒකට මේ කමෙන්ට් කරන අයට තමයි ක්‍රෙඩිට් එක දෙන්න ඕන. රන්වන්..මම ඉතින් මට මතක සහ විඳපු අත්දැකීම් ලියාගෙන යනවා. හැම දෙයක් ගැනම ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්නේ…ඒ සිදුවීමෙන් පස්සෙනේ. වලියකින් පස්සෙනේ තේරෙන්නේ මේක වලියක් නොකරගෙන ඉන්න තිබුනා කියලා. මට මේ දේවල්වලට කේන්තියක් ද්වේෂයක් නැත්තේ…ඒ සිදුවීම් දෙස මම බලන විදිහ නිසා වෙන්න ඇති. අනිත් එක මට කිසිම දෙයක් ගැන පසුතැවීමක් නැහැ. ඒ සියල්ලක්ම ඒ ලෙසම සිද්ධවෙලා ඉවරයි. මම කමෙන්ට්ස්වලට දෙන රිප්ලයිස් දිග වැඩියි. ඒ මට යමක් කියාගන්න ඕන නිසා වෙන්න ඇති. ගණන් ගන්න එපා.

      රන්වන්…ස්තූතියි ඇගයීමට!!! ඔබට බ්ලොග් එකක් තියෙනවාද?

      • RanVan says:

        ස්තුතියි උණුසුම් පිළිගැනීමට 🙂 තාම 22 ඉන්නෙ. කොමෙන්ට්ස් මිස් කරල එන්න හිතෙන්නේ නෑ. ඒ හින්ද ගොඩක් කල් යයි වගේ.
        මම බ්ලොග් එකක් ලියන්නෙ නෑ අරු. කියවන්නෙක් විතරයි 🙂

      • @රන්වන්….කමෙන්ට්ස් මිස් කරන්න එපා පෝස්ට් එක මිස් කරත්.

    • sudeeka says:

      මමත් මුහුණ දීපු කටුක අත්දැකීම් වලටත්, අනෙක් ඒවාට වගේම කැමැතියි. හේතුව අපිට ඒ වගේ දෙයක් ගැන දැන ගන්න ලැබෙන්නේ ඒකට මුහුණ දීපු නිසා.

  15. බේ බීච් මාත් ගිහිල්ල තියනව. දැන් තත්වය එච්චරම හොඳ නෑ මාත් හිතන්නෙ. අද නිකං කතාවෙන් බාගයයි වගේ

    • රාජ්…. වැලිගම බේ බීච් හෝටලයට එදා ඉඳන් අද වෙනකම් හරි මැනේජ්මන්ට් ටීම් එකක් ලැබිලා නැහැ වගේ. ලංකාවේ හෝටල්වල සර්විස් ස්ටෑන්ඩඩ් බැහැලා කියලා කතාවෙනවා දන්න අය. මටත් ඕක දැණිලා තියෙනවා.

      කතාව භාගයක් වගේද? අකුරු ගාන නම් හරි. බර නැහැ වගේ නේද… මචං තිස්සට දීපු රිප්ලයි එක පොඩ්ඩක් එබිලා බලපන් තරහ නැතුව.

  16. Pra Jay says:

    අරූ බේ බීච් එක ඉස්සරහ වැලි සහිතද වෙරලක්ද , rocky ද?
    එක පාරයි බේ බීච් ගිහිල්ල තියෙන්නෙ. මොකක් හරි ඒ පැත්තෙ හොටෙල් එකක් ගාව හුඟක් ලස්සන රොකී බීච් එකක් මතකයි.

    • ප්‍රා….බේ බීච් එක ඉස්සරහ වැල්ල තියෙනවා. හැබැයි එක පැත්තක් ඉවරවෙන්නේ ගලක් එක්ක කන්දකින්. හරි ලස්සනයි එතන.

  17. අරූ මේ කතා ලියන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. හැමදාම වගේ අපි නොදන්න කොයි තරම් දේවල් තියෙනවද?
    මාළු මැල්ලුම කියන්නේ චිකන් සැලඩ් වගේ එකක්ද? මාළු තම්බලා ද එහෙම හදන්නේ? කොස් මැල්ලුම රස වේලිච්ච මිරිස් කරලක් හොඳට තෙල් දාලා ඒකට දාපුවම නේද? මගේ ආසම කෑමක්.
    මම ගිය අවුරුද්දේ වැලිගම දවස් කිහිපයක් හිටියා. දැන් නම් මිරිස්ස තමයි ඒ ලයින් එකේ මාකට් ප්ලේස් එක ඉන්ඩස්ට්‍රි එකේ. ඒත් වැලිගම බීච් එකේ උදේ පාන්දරට ඇවිදින්න එහෙම නිදහසක් තියෙනවා.
    සුනාමි කාලේ මම වැලිගම නගරයේ ඒඩ් කලා. ඒ මතක නම් කවදාවත් අමතක කරන්න බෑ.

    • රංගි….ඔහේ ලියාගෙන යනවා. ප්‍රයෝජණයක් තියෙනවා නම් සතුටුයි.
      මාළු බොයිල් කරලා , ෆ්ලේක්ස් වගේ කඩලා කොස් මැල්ලුම් වගේ ඉතුරුටික කරන්න තියෙන්නේ. මම කවදාවත් හදලා නැහැ.Tuna flakes ටින් දෙක තුනක් ගෙනල්ලා හදන්න ඕන. හැබැයි ෆ්‍රෙශ් මාළු ගෙනල්ලා ගම්මිරිස්, ලුණු දාලා තම්බලා පොඩියට කඩාගන්නවා වගේ නැතිවෙයි. ට්‍රයි කරන්න. fresh පොල් නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් ගන්න

      කොහමත් වැලිගමට ටුවරිස්ට් ඩිමාන්ඩ් එකක් මාකට් එකක් තිබුනේ නැහැ ඒ කාලෙත්. ඒක යාලට ට්‍රාන්සිට් හොටෙල් එකක් වගේ තමයි තිබුනේ. දැන් යාල පැත්තටත් ලොකු හෝටල් තියෙන නිසා වැලිගම සුද්දෝ නැතිවත් ඇති.

      රංගි සුනාමියට කරපු වැඩ ගැන ආඩම්බරයි. අපි මෙහේ ඉඳන් මාස ගානක් මැරීගෙන ඉතාමත්ම ලොකු වැඩ කොටසක් කරා. දැන් සිවුරු හැර ඉන්න නාහල්ලේ රාහුල හාමුදුරුවෝ මෙහේ ඉඳන් එයට මූලිකත්වය ගත්තා.

      • මේක හදන්නම ඕනේ.

        අරූ සුනාමි කතන්දරේ බොහොම දුක්ඛිතයි. මම නිවාඩු ගිහින් ආවේ දවස් තුනකට කලින්. 23 රෑ. එතකන්ම හිටියේ ඔය දකුණු මුහුදේ. 27 වෙනිදා ආයේ ගිහින් බලනකොට ඒ මම දැනන් හිටිය ලස්සන කිසිම දෙයක් තිබුනේ නෑ.
        සුනාමිය කියන්නේ මගේ ජීවිතේ ට’නින් පොයින්ට් එකක්.

      • අරූ කියපු විදියට ටූනා පොල් දාලා මැල්ලුම් කාලා තවම මම එමර්ජන්සි…. (ටොයිලට්)
        උගත් පාඩම: නොදන්නා කෑම නොකා හිටු

      • ගම කනවා…..ඉස්සෙල්ලාම බලන්න ෆුඩ් පොයිසන් එකක්ද කියලා. මාර ලෙඩක්නේ රංගි…බුදු අම්මෝ…මොකක්ද කලේ කියලා ඉස්සෙල්ලා කියන්න. මමත් මාර ගිල්ටි මේ කතාවෙන් පස්සේ. වහාම ඩොක්ටර් ගාවට යන්න. ඇති පදම් වතුර බොන්න.

        මට මේ කමෙන්ට් එක දැකලා හිනාත් ගියා. එහෙම හිනාවෙන එක හොඳ නැහැ…කෙනෙක් අපහසු තාවයකට පත්වෙලා ඉන්න කොට. මාත් පාඩමක් ඉගෙනගත්තා…මදැයි වෙච්ච දේ. ටොයිලට් යන එක නවත්තන්න බෙහෙත් තියෙනවා. ඒවා බොන්න එපා. ඊට ඉස්සෙල්ලා ෆුඩ් පොයිසන් එකක්ද බලන්න. I am really upset of this.

  18. බුවල්ලෝ කලා නැහැ.බලමාළු පොල් මැල්ලුම කිවම කාපු නැති කැමක් වුණත් කටට කෙළ ඉනුවා.
    උඩින් සෙන්නයියා කියලා තියෙනවා වගේ මටත් හිතුනා අරූයියාට රස්සාවත් නැතිව යන එනමං නැතිව යන වැඩක්ද සෙට් වුණේ කියලාත්.අර දූපත මරුනේ.මේ දුපතේම හිර නොවී ඒ වගේ දුපතක ඉන්න තිබුණා නම්..:D

    • මනෝ….බූවල්ලොත් දැල්ලෝ වගේ .වැඩි වෙනසක් නැහැ. දැල්ලන්ටත් වඩා රබර් ගතිය ටිකක් වැඩියි. මාළු මැල්ලුමක් හදපන් කුස්සියට ගිහිල්ලා. අර උඩ දාලා තියෙන විදිහට ට්‍රයි කරපන්.

      ඒ දූපත මහ දූපතට වඩා හොඳ ඇති. මොකෙක් හරි ඔළුවක් තියෙන එකෙක්නේ පාලනය කරනවා ඇත්තේ. ඒකත් රජ පවුලට ගන්න ඕන වෙයිද දන්නේ නැහැ තව ටික දවසකින්.

  19. මේ අපේ නලියා මගේ බ්ලොගර් එකේ දාපු කමෙන්ට් එකක් සහ මගේ පිලිතුර. මම අකරතැබ්බයකට පත්වෙලා ඉන්න නිසා මෙය මෙතනට ගේනවා. මගේ පිලිතුරේ අවසන් ඡේදයට හිත යොමන්න. ඉල්ලා සිටීමක් පමණයි!!!!

    Naleen Dilruksha samakayawateJuly 22, 2014 at 8:54 AM
    ඔබ ජීවිතයේ බොහෝ ඇසූ පිරු තැන් ඇත්තෙක්ය. වැලිගම ඔබ කියනා දූපත අදටද ලාංකීය වන්දනා නඩවලට ගැටලුවකි. හිමිකාරීත්වය අපට නොවේ. පහත උපුටා ඇති කෙටි වැකියෙන් එය මනාව පවසා ඇත. පත්තරයක වැඩ කරන හේතුවෙන් මා දෙවරක් එහි ගොස් ඇත.
    //තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත.//
    ReplyDelete
    Replies

    ………………………………………………………………..

    Aru-ගේ අඩවියJuly 23, 2014 at 5:00 AM
    නලියො……ඇසු පිරූ තැනැත්තා මට වඩා උඹ විය යුතුයි. මට ඇත්තේ සීමිත දැණුමක් සහ තවත් අත්දැකීම් සමූහයක් පමණයි. කෙසේ වෙතත් මම උඹේ නිහතමානී, සුන්දර මනුස්සකමට ගරු කරනවා!! උඹට රැකියාව විසින් පටවා ඇති වගකීම්, උඹේ රැකියාව පමණක් යැයි මම හිතනවා. උඹ තුල සොඳුරු මිනිසෙක් ඉන්නවා…මේ ගැන මම අමරබන්ධු රූපසිංහ චරිතයට අදාලව වෙනම දිනයක ලියන්නම්.

    වැලිගම දූපත යම් බදු ක්‍රමයකට පවරා තිබේද, නැත්නම් සින්නක්කර පැවරීමට අයිතියක් තියෙනවාද යන්න මම දන්නේ නැහැ. මම හෝටල් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නිසා..මගේ අදහස නම්..එතැන ඇති සෞන්දර්යාත්මක අගය/ඓතිහාසික අගය පවත්වාගෙන යාමට වඩාත් සුදුසු, ඒ පිලිබඳ අගයක් දන්නා කෙනෙක් අතට එහි කළමනාකාරිත්වය පැවරිය යුතුයි කියන එකයි. එහෙම නැතුව සල්ලි සල්ලි සල්ලි පන්නයේ කෙනෙක් අතට මෙය ගියොත් විනාශයක්. අද ඒ වගේ දේවල් බොහෝ වෙනවා. ඒකයි බය. මේ වෙනකොට එසේ පැවරූ පසු විනාශ වූ තැන් ගැන උඹත් දන්නවා ඇති.

    රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවස Tintagel නමින් පවත්වා ගෙන යෑම ගැන මම එහි වර්තමාන හිමිකරුවන්ට ප්‍රශංසා කරනවා. රැජිනගේ වයසක පුත් පැටියා ඇවිත් හිටියේ ඔතන. මම ධනවාදී හෝ සමාජවාදී ආකල්ප වලින් අත්දැකීම් ලබපු එකෙක් මිස, මේ දෙකෙන් ඔළුව කුරුවල් කර ගත්ත හාදයෙක් නෙමේ. ප්ලස් & මයිනස් අපි කාගෙත් පෞද්ගලික ජීවිතවල තියෙනවා. මට මේ ෆීල්ඩ් එක ගැන යම් යම් අදහස් තියෙනවා.

    මේ තියෙන්නේ TINTAGLE එබී බලන්න.

    ප.ලි…නලියා මම ලොකු අකරතැබ්බයක ඉන්නේ. උඹ පුළුවන්නම් ඊලඟ පෝස්ට් එකේ ඉඳන් වර්ඩ්ප්‍රෙස් වරෙන්. කරදරයට සමාවෙයන්.

  20. බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි,////
    අරූ මං දැකලතියෙනවා බොහෝ දෙනෙක්ට ගංජා සුරුට්ටුවක් ඔතා ගන්න දන්නෙ නෑ,අවසානේ බොන්න දන්නෙත් නෑ 😀 හබැයි ඔය මොන දේත් අපි ලොකුවට කතා කලාට මට නම් වෙලාවක දුකක් හැබැයි එක මතක එවා අයේ දකිනකන් විතරමයි 😀 😀 …. අරූ දැන් කරන්නෙ මොනවද ?කතාවක් තියේ නම් ලින්කුවක් ඔබන්න ….

    • සහෝ….ඔය ඉඳලා හිටලා පොඩි මෂා එකක් ගන්නවා මිසක ඕවාට පුරුදු වෙන්න එපා. මම ආදීනව දන්නවා. මම පස්සට ලියන්නම් ඕවා සියල්ලක්ම ගැන.

      මම දැන් hotel field එකේ නැහැ. retail trade (super market)එකේ ඉන්නේ. ඒකත් හරිම වෙනස් ෆීල්ඩ් එකක්. මම super market/petrol station එකක් මැනේජ් කරා කාලයක්. මට ඒ ෆීල්ඩ් එක ගැනත් ලියන්න ආසයි. පස්සේ බලමු. hotel trade එක ගැන තාම ලියවුනේ නැහැ. ඉස්සරහට ලියන්නම්.

  21. kathandarakaraya says:

    ටීම් ප්ලේයර් කියන යෙදුමට අරූ දාල තිබුණු කණ්ඩායම් ක්‍රීඩකයා කියන පරිවර්තනයට වඩා හොඳ එකක් ඕනෑ.

  22. Dinesh says:

    වැලිගම පහුකරන් එහේ මෙහේ ගිහින් තිබ්බට ඔය කියපු තැන් වල නවතින්න නම් වෙලාවක් හම්බුවෙලාම නෑ.. අරූ අයියගේ ජීවිත මතකයනුත් හරි අපූරුයිනේ හැමදාම දාන පෝස්ට් වලදී..

    • දිනේෂ්…. Thaprobane Island එකම දවසකට බුක් කරගන්න. ඩොලර් දාහක් දෙදාහක්නේ යන්නේ 😀 ඔය පැතුම් දාලා තියෙන්නේ 2010 ගණන් මිමි.
      වැලිගම නම් එච්චර බලන්න දෙයක් නැහැ. හැබැයි බීච් එකේ ආතල් නයිට් එකක් ගැහැවැහැකි. දැන් එහෙම පුළුවන්ද දන්නේ නැහැ.

      තව අමුතු අමුතු කතා තියෙනවා දිනේෂ් ඉස්සරහට.

  23. ඩිලාන් says:

    ඔය දූපත ඔය විදිහටවත් පරිස්සම් වෙලා තියෙන්නේ ඕකෙ වටිනාකම දන්න කවුරු හරි අයිතිකාරයෙක් නිසා වෙන්න ඇති.
    ඔක්ටපස් සිසිලියෙත් හිට් කෑමක් නේ,,සැලඩ් වර්ග සහ ඇපටයිසර් වලට යනවා හොදට,,,මට ලංකාවෙ අහු වෙලාම නෑ,,ඒත් ගොඩක් අය කන්නෙත් නෑ බයට,,ඒ උනාට ගොඩක් ගුණ කෑමක්

    පරන වළව් වලට වෙලා තියන වින්නැහිය මේ http://ansathudinapotha.blogspot.it/2012/02/obeysekara-walauwa.html රොස්මිඩ් ඔහොමවත් බේරුනු එක ලොකු දෙයක්

    • ඩිලාන්….ඔක්ටපස් ගන්න පුළුවන් Pasta..Paella dishes වලට. සිසිලියෙනම් ඉන්නේ දන්නවා ඇති උඹ ඒ ගැන. ගොඩාක් සැලඩ්ස් වලටත් එකතු කරන්නත් පුළුවන්. ඔක්ටපස් විතරක් සැලඩ් හදාගන්න පුළුවන් හොඳ salad dressing එකක් එක්ක.

      එක්නැලිගොඩ වලව්ව දැන් අයිති හිටපු පුරාවිද්‍යාව ගැන උගත් බුද්ධිමතෙක්වූ සිරාන් දැරණියගල මහත්මයාට. ඒක නම් මියුසියම් එකක් වගේ පවත්වාගෙන යනවා මම දන්න විදිහට. ඒ මනුස්සයාට ඒ ගැන වටිනාකම් දන්න නිසා. කොහොමද ඕක කුඩු මුදලාලි කෙනෙකුගේ අතට ගියා නම්.

  24. DDT says:

    නොදන්න මිනිස්සු එක්ක එකපාරම යන එක නම් ටිකක් භයානක වැඩක්. අද කාලෙ නම් දෙතුන් වරක්වත් හිතල ගන්න ඕන තීරණයක්. කොහොම උනත් ඉතින් ඉහළට යෑමේ ආශාව තියෙන කෙනෙක්ට ඒ වගේ අවධානමක් උනත් ගන්න වෙනවා, එකතැන පල්වෙවී ඉන්නවට වඩා. නැත්නම් ඉතින් අරූ අයියට මේ වගේ විස්තරයක් අපිට කියන්නවත් අත්දැකීම් එකතු වෙන්නෙ නෑනේ.

    මේ පැත්තෙ ඉතින් මාළුවලින් ඒ හැටි හිඟයක් නෑනේ. කොයි පැත්තට උනත් කිලෝමීටර කීපයක් ගියාම ධීවර වරායක්ම අහුවෙනව. ඉතින් එක එක විදියට මාළු හදන හැටි මමත් දැකල තියෙනව. ඒත් මාළු පොල්දාලා මලවන බව නම් මම ඇහුවෙත් අද. සමහර විට බලමාළු ඌෂ්ණ මාළුවක්ය කියන නිසා පොල් එකතු කරනව ඇති. කොයිහැටි වෙතත් මම නම් මාළු නොකන තරමයි, ඒවල පිළීගඳ, පිළීරහ මට අල්ලන්නෙ නෑ. කෑවත් කන්නෙ බලමාළු, කෙළවළු මාළුවල සුදු පාට කෑල්ලකින් පොඩ්ඩක්.

    හැබෑට ඔයාල මාතර කොටුව ඇතුලෙ විවේකෙට මොනවද කළේ. හමුදාවයි, උසාවියයි, රජයෙ ආයතනයි වාහනයි මිනිස්සුයි – මට නම් ඕක ඇතුළට ගියාම එළියට එනකන් ඉවසුමක් නෑ. එපා වෙනව. ඒ කාලෙ එහෙම නෙවිද අරූ අයියා, මොකද ඔයා ඔය කියන කාලෙ නම් මම ඉපදිලාවත් නෑ.

    • DDT
      1) ඔව් බන්…අපේ ට්‍රේඩ් එකේ එක තැන හිරවුනොත් මහා තුවාලයක්. මේ රැකියා බොහෝ දුරට තරුණ වයසත් එක්කම අවසන් කරන්න වෙනවා උඹ පොඩ්ඩක් උඩට නොගියොත්. මම මේක නිතරම කියන එකක් තමයි මේ ෆීල්ඩ් එකේ ඉගෙණගෙන උඩට යන්න කියලා. ඒකට විවිධ පැතිවලින් අත්දැකීම් ඕන. මට ගල්, පොල් විකුනපු පච්ච බාර් එකකත් අත්දැකීම් තියෙනවා. ඒක මරු වැඩක්. මම බලෙන් එතනට ඉන්වෝල්ව් උනේ. පස්සේ ලියන්නම්.

      2) ////කොයිහැටි වෙතත් මම නම් මාළු නොකන තරමයි, ඒවල පිළීගඳ, පිළීරහ මට අල්ලන්නෙ නෑ. කෑවත් කන්නෙ බලමාළු, කෙළවළු මාළුවල සුදු පාට කෑල්ලකින් පොඩ්ඩක්./////////
      මට තියෙන්නෙත් ඔය ලෙඩේම තමයි. හැබැයි ෆ්‍රයි කරලා හරි බේක් කරලා හරි හොඳ සෝස් එකක් එක්ක නම් කනවා. එහෙම නැත්නම් මාළුවලට හොඳ රෙසපීස් තියෙනවා. කරි නම් මටත් කන්න ආස නැහැ. පොඩි මාළු කරි නම් ආසයි. ලංකාවේ නම් අරක්කු බොන්න හැඬැල්ලෝ බයිට් එක මරු. අපි දන්න මාළු මුදලාලි කෙනෙක් හිටියා. ලොකු නෝනලා ඇවිත් මුන්ව පෙන්නලා නම අහනවා. පොර කියනවා..මේ නෝනා සැඳැල්ලෝ කියලා…අපිට ඇහැක් ගහනවා. එක නෝනා කෙනෙක් කිව්ව දවසක්, “ලස්සන නමක්නේ මුදලාලි..ගෑණු ළමයෙක්ගෙ නමක්නේ. මුදලාලිද දැම්මේ” කියලා අරූට (not me) කට උත්තර නැහැ.

      3) ඒ දවස්වල හරිම නිස්කලංකයි. හරිම සුන්දරයි..අපි වෙන මොනවා කරන්නද බං ඕක ඇතුලේ.. මොනවා මොනවා හරි අරන් මත්වෙලා කකා බිබී සංගීතය රස විඳිනවා. ගිටාර්, තබ්ලා..මරු සෙට් එකක් හිටියා.

      මාතර කොටුවේ උසාවිය ගාව වයසක සුදු නෝනා කෙනෙකුට අයිති විශාල බංගලාවක් තිබුනා. ඒ නෝනා බක්කි කරත්තේ ටවුමට එනවා. ඒ නෝනා එයාගේ ඔය ගේ ඇතුළු බොහෝ දේපල මගේ වයිෆ්ගේ නැන්දා කෙනෙකුට පැවරුවා. ඒක මම දන්නේ බැන්දට පස්සේ. ඒ වගේම තිබුනු වතු සහ තවත් දේපල සුදු නෝනාගෙ ළමයින්ට දුන්න. ඔය කොටුවේ බංගලාව සුනාමියට ඩැමේජ් වුනා.

  25. කඳු says:

    කොතරම් අගේද ඔබේ ජීවිත සටහන්!

    • අගෙයිද….හ්ම්….ඒවා පහුකරලා ආපු ගමන නම් දැන් නම් සුන්දර අත්දැකීම් ඇත්තටම.

      කඳු……..කඳු වගේම පල්ලම් තියෙනවා මගේ කතාවේ. කැමතිනම් දිගටම කියවන්න කමෙන්ට්ස් එක්කම. මම කඳුව කියවනවා සහ රස විඳිනවා මාතලන්ගේ සින්ඩියෙන් ඇවිත්. ඔබ දක්ෂ කිවිඳියක්!!!!

  26. raigam says:

    මචන් වැලිගම කියන්නේ මාත් හොඳට දන්නා නමක්නේ! 😀

    • රයිගම තියෙන්නේ වැලිගමද බං 😀 මගෙත් ලඟම ඥාතීන් ඉන්නවා රයිගම. වැලිගම මොකෝ, රයිගම මොකෝ, රාගම මොකෝ….හා හා මාගම මොකෝ 😀

  27. WELIGAMA ISLAND

    PART TIME ISLAND

    වැලිගම අයිලන්ඩ් එක කියවන්න කැමති කෙනෙක් ඉන්නවානම් මේ ලින්ක්ස් දෙකට ගිහින් කියවන්න. ඉතාමත් රසවත් තොරතුරු තියෙනවා සත්තකින්ම. එකක ලිපි හත අටක් තියෙනවා..අනිත් එකේ එකයි. අපි නොදත් රසවත් තොරතුරු බොහෝයි.

  28. මේ අත්දැකීම් බොහෝම රසවත් ! ඒ මෙවැනි මෑත කාලීන විස්තර ලැබෙන්නේ කලාතුරකින් නිසා හරිම වටිනවා

    • බොහෝම ස්තූතියි ගුණේ මහත්තයා…..මීට වඩා වටිනවා ඔබේ බ්ලොග් එකෙන් අපට කියවන්න සලස්වන ශාස්ත්‍රීය කරුණු!

  29. සිරා says:

    කොළඹ/නුවර/දකුණ කියලා පිරිස හැම අංශයකම බෙදිලා හිටියද ? කණ්ඩායම් දෙකක් වෙනුවට එක ආයතනයක් තුල කණ්ඩායම් 3 හිටපු නිසා වැඩකටයුතු වලට සෑහෙන්න බාධා වෙන්න ඇති. වැලිගම පැත්තෙ නේද අර රැළි කකුළුවො කියන උන් ඉන්නෙත්…මට මතකයි වතාවක් සුදීක අයියත් කකුළු හොද්දෙ රස ගුණ ගැන වර්ණනා කරලා තිබුනා.

    ලංකාව ගැන අපි දන්නෙ මොනවද කියලා හිතුනා. මේ කියන තැප්‍රොබේන් දූපත ගැන මම අදමයි ඔන්න ඇහුවෙ. ඒ දර්ශන සහිත වීඩියෝවක් එල්ලුවට බොහොම තුති

  30. සිරා………ඔය බෙදීම් තිබුනේ ගොබ්බ එවුන් අතරේ තමයි. කන බොන අය අතරේ අඩුයි. මට ඔය කිසිදෙයක් අදාලවුනේ නැහැ. අනිත් එක මම හිටියෙත් ටික කාලයක් නිසා ඕවා හදන්නවත් උත්සාහ කරේ නැහැ, අනිත් එක මම වයසෙනුත් අඩුයි එතැන හිටි අයට වඩා.

    /////ලංකාව ගැන අපි දන්නෙ මොනවද කියලා හිතුනා//////
    ඕවා මොනවාද සිරා…අපි අපි ගැනවත් මොනවාද දන්නේ…

  31. helapayaa says:

    පරක්කු උනා මචං,සලාලා ගිහිං ඊයෙ රෑ ආවෙ.මිස් වෙච්ච බ්ලොග් බල බලා යනවා.උඹ දවසකත් කොහේ හරි කමෙන්ට් එකක ඔය බලමාළු මැල්ලුම ගැන ලියල තිබුණා මතකයි.අදත් කියවද්දි කන්න ආසාවක් ඇතිවුණා.

    • හැලපේ…..මට තේරෙනවා උඹ බිසි බව. උඹේ ආයතනය ගැනත් මේ දවස්වල නිව්ස් යනවා. නිහඬව බලා හිටපන්. මමත් දෙතුන් පාරක් සලාලා ගියා. මස්කට්වලට වඩා මම කැමතියි සලාලා වලට.

      බල මැල්ලුම හදපන්. ලොකු වැඩක් නෙමේ. ඔහේ ඉන්නවානේ ඇති පදම් බලයෝ.

  32. sudeeka says:

    මේ අත්දැකීම් මට සමීප, හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කල සහ දකුණු මුහුදු වෙලරලාසන්නවා හැදුණු එකෙක් නිසා වෙන්න ඕනේ. මේ පොස්ට් එක කියවත්දී ලියන්න සුදූසු මාතෘකා මගේ සිහියට එන්නේ නිතැතින්. බොහෝ විට අමතක වෙලා යනවා. ඒත් දැන් ඒවා සටහන් කර ගන්නවා පසුව ලියන්න. ඉතාම අවිවේකී කාලයක් ගෙවන්නේ. මට හිතෙන විදියට මට සටහන් දෙකතුනක් මිස් වෙලා තියෙනවා. ඒවා කොහොම හරි බලන්නම්. මේ කියන හැම නගරෙකම සතියක දෙකක අත්දැකීම් මටත් තියෙනවා බැංකුවේ රස්සාව නිසා ඇවිදින්න ලැබීමට පින් සිදු වෙන්න.

    • මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි සුදීකට නොයෙකුත් රසවත් අත්දැකීම් තියෙන බව. සුදීකට ලියන්න බොහෝ දේවල් තියෙන නිසා මේ ෆීල්ඩ් එක ගැන ලියන්න වෙලාවක් නැතුව ඇති. මමත් මේ ටිකේ කලබලයි. වැඩි වෙලාවක් ගත කරන්නේ ටීවී එක ඉස්සරහ කොමන්වෙල්ත් ගේම්ස් එක්ක.

  33. Manna says:

    අරූ නැවත බම්බලපිටිය ට එන්නේ කවදද ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s