අවුල් වන්නට පෙර(47)..වයසක නරියාගේ ගේම් දෙකක්

බාලගිරි දෝෂය අද නොවේ හෙට කියා සිතුවත්, ආපහු හෙටට කල් නොදා, අදම දෝෂය සමනය කරගන්නට හිත හදා ගත්තෙමි. පටන් ගත් පසු, නැවත්වීමට අමාරුත්..නැවැත්වූ පසු, පටන් ගැනීමට අමාරු මාධ්‍ය භාවිතාවක් ඇත්නම්, ඒ බ්ලොග් මාධ්‍යය යැයි මට සිතේ. එහෙම ස්ටාට් කල පසු ඕෆ් කරන්නත්, ඕෆ් කල පසු ස්ටාට් කරන්නත් අමාරු, පරණ බස් යැයි,මගේ යාළුවෙක් මට පැවසීය. මමත් පරණ බස් එකක් බැවින් උඹලා දුන් තල්ලුවෙන් නැවත ස්ටාර්ට් වුණෙමි.

මා නැවත්වූයේ වැලිගමින්ය. වැලිගම මා සේවය කළේ මාස දෙක තුනකට ආසන්න කාලයක් පමණක් යැයි මගේ සේවා සහතිකවල සඳහන් වේ. ඒ කාලය තුළදී මගේ වැඩිමහල් නැගණිය වැඩිවියට පත්විය. අප ගත කල දුෂ්කර ආර්ථික පරිසරය මැද, බොහෝ කාලයකට පසුව අප පවුලට යම්කිසි “උත්සව මානසිකත්වයක්” ඇතිවුණා නම් ඇතිවුණේ ඔය සිද්ධිය නිසා යැයි කිව යුතුය. නමුත් මෙය “උත්සවයක්” නොවී, පවුලේ උදවිය සහ අවට කිහිප දෙනෙකුගේ අවම සහභාගිත්වයකට සීමා කෙරිණි. මෙවැන්නක් උත්සවයක් නොවිය යුතු බවට පවුලේ ලොකු එකා සහ ප්‍රධාන මූල්‍ය සපයන්නා ලෙස මම තීරණය කෙරුවෙමි. පසු කලෙක අපේ දියණිය වැඩිවියට පත්වූ පසුත්, අප දෙදෙනා ඒ කාරණය “උත්සවයක්” නොකර ගැනීමට වග බලා ගත්තෙමු. කෙසේ හෝ වේවා, මට මේ පණිවිඩය වැලිගමට ලැබුණේ ටෙලිග්‍රෑමයක් මගිනි. එකල ජංගම දුරකථන පහසුකම් නොවීය.

මේ වනවිට මගේ ලොකු මල්ලී, පංචිකාවත්තේ ප්‍රසිද්ධ රථ වාහන අමතර කොටස් වෙළඳ ආයතනයක සේවය කල බව මතකය. අප ජීවත්වුයේ ලොකු අම්මා පදිංචිව සිටි නිවසේ එක් කොටසකය. ඇයත්, දියණියත් වාසය කළේ එහිම වූ කුඩා කාමරයකය. මෙම නිවසද ගරා වැටෙන්නට ආසන්නව තිබූ පරම්පරාගත නිවසක් විය. ඒ ලොකු අම්මාට අපේ සීයා දුන් දෑවැද්ද බව අසා ඇත්තෙමි. අම්මාට ලැබුණු ඒ යාබදවවූ විශාල නිවස, අපේ තාත්තා, ඔහුගේ ගජයාවූ අම්මාගේ මල්ලීත් හා එක්ව විකුණා අවසන් කර තිබූ බව මම ලියා ඇත්තෙමි. අද Japan-Lanka නමින් දෙල්කඳ ඉරිදා පොළ ඉදිරියේ ඇත්තේ, ඒ ලොකු අම්මාගේ නිවසයි. එතනටම යාබදව තිබූ නිවස, මා උපන් නිවසයි.

අපේ මුලු ගෙදරටම තිබුණේ පරණ කබල් ඇඳක් සහ පැදුරු කඩමාලු කිහිපයක්ද, ආච්චි කටේ බලෙන් ඉතිරිකර ගත් සීයාගේ අල්මාරියක්ද, කූස්සියේ වලං. පිඟන් කිහිපයක්ද පමණි. අප පවුලට මෙවන් ඉරණමක් අත්වූවේ ඇයිදැයි කියා, මම මීට පෙර අවස්ථා කිහිපයකම විස්තර කර ඇති බව ඔබ දනී. මා කිව් කබල් ඇඳේ නිදාගත්තේ ආච්චි සහ ලොකු මල්ලීය. මා ගෙදර පැමිණි විට මල්ලීගේ ස්ථානය මට හිමිවේ. මම ආච්චීගේ උණුසුමට තදින් පෙම් කළෙමි. ඇය මට නින්ද යන තෙක් හිස අත ගාමින් ඉන්නේ බුලත් විටක්ද හපමින්ය. ආච්චී නම්වූ ඒ උදාර චරිතය, කිසිදා ලියා අවසන් කල නොහැකි මතක සටහන් රාශියක් මට ඉතිරි කර තබා තිබේ. මම තවමත් හිතන්නේ, ඇය කොහේ හෝ සිට මා දෙස විමසිල්ලෙන් බලා සිටිනා බවය. මගේ ලොකු මල්ලී, අපේ නංගීගේ “උත්සවය” නිසාම, ඔහු ඉතිරිකර ගත් මුදලකින්, මේසයක් සහ පුටු හයක් මිලදී ගෙන තිබුණි. අම්මා කියන්නේ, බොහෝ කාලයකට පසු අප සියල්ලෝම මේසයක වාඩිවී එකට බත් කටක් කෑ බවය. ඒ මේසයේ සහ පුටු හයේ නෂ්ටාවශේෂ, අදටත් අප මහ ගෙදර ලැගුම් ගෙන අප දෙස බලා සිටී. මම මගේ අතේ තිබූ මුදල්ද රැගෙන කොළඹ පැමිණියෙමි. ඒ දින දෙක තුන තුළ, අපේ අම්මාගේ මුහුණේ තිබුණු සුන්දර සිනහ රැල්ල අදටත් මට අමතක නොවේ.

මගේ පෞද්ගලික ජීවිතයේදි, මට ඇත්තේ මූල්‍ය කළමනකාරණයේ අතිශය දුර්වල ගති ස්වභාවන්ය. මෙය රැකියාවට අදාළ නොවේ. රැකියාව සහ පෞද්ගලික ජීවිතය යන වෙනසේ මායිම් සහ සීමාවන් මම තදින් අදහන්නෙක්මි. රැකියාව ගැන ගෙදරදී කතා කිරීම මට නම් අප්පිරිය විෂයක්ය. මට මුදල් අරහංය. මේ මම කියන්නේ මුදලට අකැමති යැයි කියා නොවේ. මට මෙන් ලොව සියල්ලන්ටම මුදල් අවැසිය. නමුත් මම මුදලට පෙම් නොකරමි. සාක්කුවේ කාසි ඇත්නම්, එය වියදම් කර අවසන් වෙන තුරු මට අස්වැසිල්ලක් නැත. විවාහයට පෙර, මට ලැබෙනා වේතනය මම අම්මා අතට දුන්නෙමි. විවාහයෙන් පසු ඒ මුදල් බිරිඳ අතට දුන්නෙමි. එනමුත් මට අවශ්‍ය හැම විටකම මම ඔවුන්ගෙන් ඉල්ලාගෙන ඒ වියදම් සපුරා ගත්තෙමි. ඒ තැන්හීදි ඔවුන් ඒ මුදල් සැපයීමට කිසිදා මැලි නොවීය. කන බොන වේලාවට, අඩුපාඩු පිරිමසා ගන්නට, ආපසු කීයක් ඉල්ලා ගන්නට ගිය විට නම් අනවශ්‍ය ගැටලු මතුවේ. ඒ මගේ මෝඩ කමය. මෝඩ කමට බෙහෙත් නැත. ඒත් මට තාමත් හුරු ඒ ක්‍රමයමය. ඇය කිසි දිනෙක මට කීයක් ලැබෙනවාද යන්න කිසි දිනෙක විමසා නැත. ඇයට ලැබෙන දේ මා විමසන්නේත් නැත. ඒ කෙසේ වෙතත් මුදල් මට අරහංය. කාසි යනු මගේ මිතුරෙක් නම්, ඒ මිතුරා මා අතහැර යන්නේ මගේ ඇති මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා නිසාය. මේ නම් අපේ තාත්තාගෙන් ලද ජානමය ගතියක් විය හැක. තාත්තා සල්ලි හංගන්නේ, කමිසයේ රෝල් කරන ලද අත් වාටියේය. ඒ පහුවදාට අඩිය ගහන්න අවශ්‍ය මුදල්ය. ඒ කාලයේ මම එයින් කොටසක් හොරා ගන්නටද පුරුදු විය. තාත්තා නිදාගන්නේ මතින් මත්වී නිසා, ගණන් මතක නැත. මතක තිබූ දවසක වැඩේ අසුවුණොත්, ඒ වරද පැටවෙන්නේත් අහිංසක අම්මා මතය. කොලු කාලයේ ඕවා කා මත පැටවුණත් හිතන්නට කාලයක් නැත.

මේ කියනා කාලයේදී, අපේ ආච්චිගේ වටිනා අගස්ති මාලයකට පොල්ල තැබූ ධර්මපාල අංකල් නම්වූ අපේ තාත්තාගේ මිතුරාද නැවත අපේ ගෙදරට තාත්තා වඩම්මා ගෙන විත් තිබුණි. ආච්චිගේ ප්‍රතිචාරය සහ ඒ සම්බන්ධව ලිවිය යුතු රසවත් දේ බොහෝය. ඔහු කාලයක් රණසිංහ අංකල්, පොඩි අයියා නොහොත් රොමානිස් සමගම අපේ ගරා වැටෙනා නිවසේ කුඩා ඉස්තෝප්පුවේ කාලයක් ගතකළ වුන් විය. ඒ ගැන පසුව ලියමි.

කෙසේ හෝ වේවා මම වැලිගමට සමුදී, නැවත කොළඹට පැමිණියේ, Hotel Lanka Oberoi නම්වූ එවකට ලංකාවේ එකම තරු පහේ හෝටලයෙන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවුම් ලැබී තිබූ නිසාය. ඒ සම්බන්ධවත් පසුව ලියමි. මේ 1981-1982 යුගයයි.

1982 වසරේදී ශ්‍රීලංකාවේ අතිශයෙන්ම ලැජ්ජාවිය යුතු මත විමසීමක් හා ජනාධිපතිවරණයක් පැවත්වීය. මේ අවස්ථා දෙකම පැවත්වූයේ වයසක නරියා නොහොත් Old Fox නම්වූ ජේ. ආර්.ජයවර්ධන මහතා යටතේය. මේ අවස්ථා දෙකම මගේ මතය අනුව නම් රජ ගේම්ය. පළමුවෙන් පැවැත්වූ ජනාධිපතිවරණය ගැන මුලින් ලියන්නෙමි.

1982 පැවත්වූ ජනාධිපතිවරණය වන විට සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිකර මුල්ලකට ඇද දමා තිබුණි. මේ මැතිවරණය ගේමක් කියා මම කියන්නේ ඒ නිසාමය. ඇයගේ සාර්ථක අසාර්ථකභාවය ගැන ලිවීමට උත්සුක නොවූවත්, අප දේශපාලන ඉතිහාසයේ ඇය අමතක කල නොහැකි චරිතයක්ය. ඇයගේ දේශපාලන ගමන ජේආර් විසින් අවහිර කර තිබූ නිසා, මෙම ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් තරඟ වැදුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. ඔහු නිහතමානී, නිහඬ, අවංක චරිතයක් යැයි මම අසා ඇත්තෙමි. මේ වනවිට ශ්‍රීලනිපය තදබල දෙදරීමකට ගොඳුරු වී සිටි බව මතකය. මෛත්‍රීපාල සේනානායක වැනි ශ්‍රීලනිප පුරෝගාමියන් සිටියේ එජාප වේදිකාවේය. අනුර බංඩාරනායක, හෙක්ටර් කොබ්බෑකඩුවගේ කකුලින් අදිමින් සිටියේය. කොබ්බෑකඩුවට තිබු වටිනාම සහයෝගය ව්ජය කුමාරණතුංග ඇතුළු ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලි කඳවුර පමණි. අද කාටත් අමතකව ඇති මෛත්‍රිපාල සේනානායක නම්වූ යුග පුරුෂයා, දේශපාලනිකව වරද්දා ගත්තේද, යුඇන්පී වේදිකාවට ගොඩවීම නිසා යැයි මම පෞද්ගලිකව අදහන්නෙමි. සම්ප්‍රදායික වමේ කොල්වින් වෙනමත්, වාසුදේව වෙනමත්, රෝහණ විජේවීරයන්ගේ නව ජවයෙන් යුත් ජවිපෙත් වෙන වෙනම තරඟ කළෝය.

මොනවා මොනවා වුණත්, ලංකාවේ පළමු ජනාධිපතිවරණයේදී, ප්‍රතිවාදි අපේක්ෂක කොබ්බෑකඩුව මහතාට, තම ඡන්දය පාවිච්චි කිරීමට නොලැබුණේ යුඇන්පියේ හොර ඡන්ද ව්‍යාපාරයට පිං සිද්ධ වෙන්නටය. ඔහුගේ ඡන්දය පවා වෙනකෙක් භාවිතා කර තිබූ නිසා, ඔහුට ඔහු වෙනුවෙන් ඡන්දය ලබා දීමට තිබූ අයිතිය අහිමි විය. මේ ඓතිහාසික කළු පැල්ලම, මැතිවරණ ඉතිහාසයේ අශික්කිත්තම සිද්ධියක් විය. මම ජවිපෙ වෙනුවෙන් මගේ කුළුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කළා පමණක් නොව, රැස්වීම් වලට සහභාගී වීමටත්, පෝස්ටර් ඇලවීමටත් තීරණය කළෙමි. මට දේශපාලන දැනුමක් නොවීය. ඒ බව පසු කාලයක මේ තුළින් පැහැදිලි කරන්නෙමි. නොයෙකුත් අකටයුතුකම් හරහා, ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණය ජේආර් ජයවර්ධනට ජය ගෙන දෙමින් අවසන් විය.

අපේ තාත්තා පුදුම මිනිහෙකි. ජනාධිපති අපේක්ෂක වාසුදේව නානායක්කාරගේ මැතිවරණ වේදිකාවේ අපේ තාත්තා කථිකයෙක් විය. ඔහු කොල්වින් ආර් ද සිල්වාට සහයෝගයක් නොදැක්වීය. තාත්තා රැඩිකල් වමේ මිනිහෙක් වුණත්, රෝහණ විජේවීර ඔහුට අරහං විය. පැරණි වමේ උදවිය තවමත් එසේ යැයි මම සිතමි. ඒ කෙසේ වෙතත් පසු කලෙක තාත්තා මට කීවේ, වාසුගේ රැස්වීම්වල කතා කළත්, ඔහු ඡන්දය දුන්නේ කොබ්බෑකඩුව මහතාට බවය. නිදහසට කරුණක් ලෙස ඔහු කීවේ, එදා කොබ්බෑකඩුව මහතාට, ශ්‍රීලනිපයේ වලව් පැලැන්තිය කෙරූ අසාධාරණය නිසාමත්, ඔහුගේ ඡන්දය පාවිච්චි කිරීමට නොලැබුණු බව දැනගන්නට ලැබුණු නිසාත්, ඇතිවූ කනගාටුව සහ කනස්සල්ල නිසාම එය ඡන්දයක් බවට පත්වූ බවය. කෙසේ වෙතත් වාසුට ඡන්දයක් නොදීම ගැන මම අදටත් ඔහුට පින් දෙන්නෙමි.

රෝහණ විජේවීර රටේ ඡන්ද ප්‍රමාණයෙන් සීයට පහකට ආසන්න ප්‍රමාණයක් ගෙන තුන්වැන්නා විය.(ඊයේ පෙරේදා ඌව මැතිවරණයේදීත් ජවිපෙ ලබා ගත්තේ සීයට පහකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පමණි. මා මෙය අවතක්සේරු කරනවා නොවේ. නමුත් එදා මෙන්ම අදත් ඇති මේ ප්‍රතිශතය පිළිබඳ ජවිපෙ තව තවත් අධ්‍යයනය කල යුතු බැව් මම හිතමි ) වාසු අන්තිමයා විය. කොල්වින් පස්වැනියාත්, කුමාර් පොන්නම්බලම් හතරවැනියාත් වූ බව මතකය. මේ සියල්ලන් අතරින් අදටත් ජීවත් වෙමින්, රැවුල අත ගාමින්, පච දෙසමින්, ජනතාව මුළා කරමින් සිටිනා එකම දේශපාළුවා වාසුදේව නානායක්කාර පමණය. වාසු ඔබ විශ්‍රාම යා යුතුය.

දැන් නම් ලිව්වා හොඳටම ඇතිය. මම ජේආර් ජයවර්ධනගේ දෙවැනි ගේම් එක හෙවත් ලංකාවේ මෙතෙක් පවත්වා ඇති ප්‍රථම සහ එකම ජනමත විචාරණය නොහොත් ලාම්පු කළගෙඩි සෙල්ලම ගැන ලබන සතියේ ලියන්නෙමි.

ඔබරෝයි හෝටලය ගැන නම් මුල සිටම ලිවිය යුතුවේ. එදා එහි කළමනාකාරීත්වය, ක්‍රියාකාරකම්, මිතුරු සමාජය, සහ ආගන්තුක සැලකිලි ආදී වශයෙන් ලිවිය යුතු දෑ බොහෝය. ඔබ අකැමති වුවත්, ඒ දෑ ලියන්නට මගේ සිත බලකරයි. මන්ද යත් ඔබරෝයි හෝටලය, මා ජීවිතයේ කඩ ඉම් ස්ථානයක්වූ බැවින්ය. මගේ ජීවිතය ඉතාම හොඳ දිසාවටත්, ඉතාම නරක දිසාවටත් යොමු කල පරිච්ඡේදයක් එහි ලියවී ඇත.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

97 Responses to අවුල් වන්නට පෙර(47)..වයසක නරියාගේ ගේම් දෙකක්

  1. Anonymous says:

    වැරදි දෙකක් නිවැරදි කරමි.

    1. 1982 දී ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සේනානායක සිටියේ (ලොකුවට ක්‍රියාකාරී නොවුණත්) යූ එන් පී වේදිකාවේ නොව කොබ්බෑකඩුව ගේ වේදිකාවේය. ඒ අනුර එක්ක තිබුණු ඇරියස් එකත් නිසාය. ඔහු යූ එන් පී වේදිකාවට ගොඩ වෙන්නේ ලාම්පු කළ ගෙඩි සෙල්ලමටයි. ඊට හේතුවක්ද තිබුණේය. කළය දින්නා නම් ඔහුට මන්ත්‍රී ධුරය අහිමි වන්නේය. ලාම්පුව දින්නා නම් එය තහවුරු වන්නේය. ඉතින් වැරදි පැත්තට සහයෝගය දක්වන්නේ මොන මෝඩයාද?

    2. කොබ්බෑකඩුවගේ ඡන්දය හොරට දැම්මේ ජනාධිපතිවරණයේදී නොව ජනමත විචාරණයේදීය. මේ වරද දැන් හැම දෙනාම කරන්නේ ඇයිද නොදනිමි.

    • kathandarakaraya says:

      ජනාධිපතිවරණය ජේ ආර් දින්නේය. ජනමතවිචාරණය හොර චන්ද සහ දූෂණ මගින් උදුරා ගත්තේය.
      කොබ්බෑකඩුව ගේ චන්දේ හොරට දමා තිබුණේ ජනමතවිචාරණයේදී ය.

      • @ කකා…නිවැරදි කිරීමට ස්තූතියි!!1

        කකා ජනාධිපතිවරණයත් ගේමක් හැටියට තමයි මට හිතෙන්නේ. තමන්ගේ දේශපාලන සතුරා වේලාසනින්ම ප්‍රජා අයිතිය අහෝසි කරලා පැත්තකට කරලා බැන්දා. ශ්‍රීලනිපය තුල අභ්‍යන්තර ගැටුම් ඇතිකරවන්න අත පෙව්වා. අන්තිමට ඒ චන්ද ව්‍යාපාරය කොච්චර අඩපන කරාද කියනවා නම් ඒ කැම්පේන් එක Hector-Actor හවුල කියන තැනට වැටුනා. ඒකයි මට හිතෙන්නේ මේකත් ගේමක් කියලා.

    • ඇනෝ සහෝ……පළමුවෙන්ම මේ නිවැරදි කිරීමට ස්තූති කරමි!!!! ඔබ හරි ජනාධිපතිවරණය තිබ්බේ 82 ඔක්තෝබර්. 82 නොවැම්බර් තමයි මේ පනතට ආණ්ඩුවත් එක්ක මෛත්‍රීපාල ඡන්දේ දුන්නේ. ජනමතේ තිබ්බේ 82 දෙසැම්බර්. මගේ පැටලවිල්ලක්. මේ සියල්ලම එක ලඟ වුනේ. නැවතත් ස්තූතියි!! ඉන් පසුව තමයි මෛත්‍රීපාල, සුරියාරච්චි, කුමාරසූරියර් ඇතුළු කංඩායම යුඇන්පී වේදිකාවට ගොඩවුනේ.
      2)මට මතක හැටියට ජනාධිපතිවරනයේදී කියලා. නමුත් මම වැරදි ඇති. අපේ තාත්තා කියපු කතාවක් මගේ ඔළුවේ තිබුනා. ඒකයි අර කතාව මම කිව්වේ. සමහර විට මම පටලගෙන හෝ අමතක වෙලා ඇති.

      • Senna says:

        <>

        ජනමතවිචාරණය තිබ්බේ ජනාධිපතිවරණයක් ඕනද, එපාද කියලා අහලා නෙමේද එතකොට ?

      • නැහැ සෙන්නා… පැවති පාර්ලිමේන්තුව තව වාරයක් ඡන්ද නොතබා පවත්වා ගෙනයන්න කැමතිද නැද්ද කියා විමසීම. ජේආර්ලා කිව්වේ ඡන්ද සිතියම හකුලා දමන්න කියලා. ඒතකොට ජේආර්ට පාර්ලිමේන්තුවේ තිබුනු හයෙන් පහේ බලය පවත්වාගෙන යන්න. ඔහු එය කෙසේ හෝ කරගත්තා.

  2. Anonymous says:

    කොබ්බෑකඩුව අනාගත්තේ රූපවාහිනියෙන් බැරි සිංහල කතා කරන්නට ගිහිල්ලාය. මේ ජේ. ආර්. ගේ කපටිකම උපරිම ලෙස භාවිතා වූ අවස්ථාවකි. කොබ්බෑකඩුව හොඳ කථිකයකු නොවන බවත් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා සිල්ලර වැඩ වලට පමණක් සිංහල භාවිතා කරන සම්ප්‍රදායික වලව්කාරයකු බවත් ඔහු දැන සිටියේය. මේ නිසා ජේ. ආර්. බය නැතුව සියළුම ජනාධිපති අපේක්ෂකයින්ට රූපවාහිනියෙන් ලයිව් කතා කරන්න දුන්නේය. අද නම් රූපවාහිනියේ ලයිව කතා කරන්න බැරි ප්‍රාදේශීය සභා දේශපාලකයකු වත් නැත. ඒ තරමට බලලා, කරලා ප්‍රැක්ටිස්ය. එදා එහෙම නොවේ. රූපවාහිනී මාධ්‍යය අළුත්ම අළුත්ය. නුපුරුදු කෙනකුට ඒකේ ලයිව් කතා කරනවා කියන්නේ කරකවලා අත ඇරියාක් මෙන් වැඩකි. කොබ්බෑකඩුව මුළු ලංකාවම ඉදිරිපිට වරද්දා ගත්තේය. ඒ වැරදි හදා ගන්නට ගොස් තවත් නා ගත්තේය. විජේවීරත් නොදන්නා ඉංග්‍රීසි කතා කරන්න ගොස් නාගත්තේය. ජේ. ආර්. විතරක් (ගේම දන්නා නිසා) ලයිව් කතා නොකර රෙකෝඩ් කළ කතාවක් කර ලකුණු දාගත්තේය.

    • ඇනෝගේ මේ කමෙන්ට් එක නිසා 82ට ගියා උඩින්ම. අපි ඔය අපේක්ෂයන්ගේ කතා අහන්න ටීවී එකක් ගාවට සෙට් වෙනවා. ඔබ කියනා දේවල් ඒ වගේම මැවිලා පේනවා. විජේවීරගේ ඉංග්‍රීසි කතාවත් මතකයි. සිංහල කතාවලදී, ලබා දුන් කෙටි කාලය තුල, උපරිම ප්‍රයෝජන ගන්නට විජේවීර එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වගේ නොන් ස්ටොප් කියවගෙන ගියා. මේ දේවල් තාම මතකයි. මතක් කරාට ස්තූතියි ඇනෝ!!!

      කොබ්බෑකඩුව වලව් කාරයෙක් වුනාට, ඔළුව උදුමාගත්ත රදලයෙක් නොවන බවයි මගේ හැඟීම. මොහුගේ පියා දොස්තර කෙනෙක්. දුප්පත් මිනිසුන්ට නොමිලේ සේවා සැපයු කෙනෙක් බවත් කියනවා. හෙක්ටර් කොබ්බෑකඩුව දේශපාලනයට එන්නෙත් පියාගේ අඩි පාරේ යමින් බවත්, මොහුද මහනුවර උසාවියේදී දිලිඳු ජනතාව වෙනුවෙන් නීති සේවා සැපයු බවත් කියනවා. 1983 මිය ගියා.

      • මටත් මතකයි විජේවීරගේ TV කථාව…රට වටේටම තියෙන මුහුදෙන් මත්ස්‍ය සම්පත පාවිච්චි කරලා රට සුකිත මුදිත කරනවා කිව්වාම (අර තොප්පියත්) දාගෙන මට හොඳටම හිනාත් ගියා…ජේ ආර් පප්පා කට්ටයා…

      • ෂෙෆාකියෝ…..අදටත් ඒ මත්ස්‍ය සම්පතෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාද කියන ගැටළුව නම් තාම තියෙනවා.

  3. උඩින්ම කතාකරපු කාරණය ගැන මමද සපුරා එකඟ වෙමි. වැඩිවියට පැමිණීම යන සංසිද්ධිය කෙසේ වත් අඬබෙර ගසා ජවුසන් නටා ආවැඩිය යුත්තක් නොවෙයි. එසේනම් ගැහැණු ළමයෙකුට මාස් ශුද්ධිය වෙන සෑම දිනකම පාටි දැමිය යුතුය. අනෙක් සෑම අවස්ථාවකම අතිශය පෞද්ගලික කටයුත්තක් වෙන එය පළමු අවස්ථාවේදී පමණක් සැනකෙලියක් වන හේතුව මා හටද නොතේරේ. විශේෂයෙන් අපේ පැතිවල මෙවන් උත්සව සතියක් පමණ පැවැත්වේ. ගිගුම් දෙන සංගීතය කියාගන්නා කන්කරච්චල්ද, කසිප්පු කාරයන්ද සතියක් පුරා පිරුණු මෙම නිවෙස් දකින කල මහත් කළකිරීමක් හටගනී. කොල්ලන්ද බල්ලන්ද, බේබද්දනද, කුපාඩින්ද පිරුණු මෙම සමය මල්වර යෞවනියකට කෙසේ බලපානු ඇත්ද.

    • මනොෂ්..මම හිතන්නේ මේක පුරාන කාලේ දීග දීමට සුදුසු දැරිවියක් ගෙදරක සිටිනවා යන්න තම රෑන තුල ප්‍රචලිත කිර්‍රිමට ආරම්භ උන සම්ප්‍රදායක් විය යුතුයි කියලා. දැන් සමාජයෙන් සෙමින් සෙමින් ඈත්වෙමින් පවතින ක්‍රියා දාමයක්.
      නමුත් , ගිය සතියේ මම දැක්කා, දික්වැල්ලේ, හුන්නදෙනිය හංදියේ ලඟ, අලුතෙන් පෝසත් වෙච්ච මාලු මුදලාලි කෙනෙක් දවස් තුනක් කොටහලු මගුල ගත්තා, සීදුවෙ සකුරා, ෆ්ලැෂ් බෑක් වගේ මියුසික් ගෲප්ස් ගෙනල්ලා ගමටම කන්න බොන්න දීලා…අය්යෝ සල්ලි…

      • ශෙෆාකි…..මට යම්තාක් දුරට කොළඹ මුඩුක්කු යැයි කියන පරිසරයත් එක්ක ඒ කාලේ සම්බන්ධකම් තිබුනා. ඒ වගේ ගෙවල්වලත් මේ උත්සව ගත්තා. වෙනස් අත්දැකීම්. උඹ හිතපන්…ගෙයි ඉඩකඩ, අවට පරිසරය සහ වෙනත් නොයෙකුත් දේවල් එක්ක මොන තරම් අපහසුවක් අර දැරිවියට ඇති වෙනවාද කියලා. සමාජයේ සමහරු මේ කොටහළු පාටිවලට කියන්නේ එන්විලෝප් පාටීස් කියලා. උඹ අහලා තියෙනවාද?

    • මනෝෂ්…..ෂෙෆාකි කියනවා වගේ ඒ සාම්ප්‍රදායිකව පැවත ආ අනවශ්‍ය වැඩ දැන් නම් බොහෝ දුරට නැතිවේගෙන යනවා. මේ දේවල් නොකලයුතුයි කියා එකඟතාවයකට එන්න පුළුවන් වන්නේ ඒ ගෙවල් වල අයටමයි. ඒකට කවුරුන් හෝ පූර්වාදර්ශයන් දිය යුතුයි. උදා: අපි ඉදිරිපත්වී අපේ ගෙදර එවැනි තත්වයක් වැලක්වීම නිසා, එයින් පසු දිගින් දිගටම එය ආදර්ශයක් වුනා.

      මේ වගේ දේවල් දෙමව්පියන්ගේ අහිංසක ආසාවන්. ඒ නිසා දොස් කියන්නත් බැහැ. විවාහ උත්සව (විකාර රූපි ) සම්බන්ධවත් මට ඇත්තේ වෙනත් අදහසක්.

      • අරූ අයියේ,මාත් ඔය එන්විලෝප් පාටි කතන්දරේ ගැන අහල තියෙනවා. මාස් ශුද්ධියෙනුත් හම්බකරන් කන ජාතියක්!! සැක් ඉතරක්. ඒ වගේම උඩින් චෙෆ් කියල තියෙනව වගේ මේක දැන් මුලු රටේම වසංගතයක් වෙලා. අපේ පැත්තෙනම් තාම අඩුවීමක් නෑ. කලාතුරකින් හරි මේ වගේ දෙයක් අරක්කු නැතිව ප්ලෑන් කලොත් ඒකට එන කාලකණ්නි පිටින් අරක්කු ගෙනත් බොන්න පටන් ගන්නවා.

      • කාලයත් එක්ක වෙනස් වෙලා යයි මනෝ. උඹලාගේ පැත්තේ තිබුනාම මොකෝ බන්, මම ඉන්න රටේ අපේ සමහර ලාංකිකයොත් ඕක තාම කරනවා.

  4. ඇවිල්ලා ඇවිල්ලා අවුල් වන්නට පෙර සීසන් ටූ!!!
    හරිම සන්තෝසයි ඈ…. වෙල්කම් බැක් වේවා!!

  5. Chandana says:

    දේශපාලනික කතන්දර ගැන නම් මතකයක් නැත. කියවා රසවින්දෙමි. කෙසේ නමුත් පාලු වූ ඒකාකාරී, වෙහෙසකර බ්ලොග් ලෝකයට වෙනස් වූ ආලෝකයක් යලිත් වැටී තිබේ. ඒ ගැන මගේ සතුට !!!

  6. ivanpavlusha says:

    අරු අයියා සනීපයෙනි නැහැ කිසි අසනීපයක්
    අපි හිටියේ මග බලාන එනකන් තව කතාවක්
    නව යුගයේ යුගාන්තය පෙරලා තව මතකයක්
    ඇස පියාන විඳිමි අරූ සුන්දර සිහිවටනයක්

    ඔබරෝයි හොටෙල් එක ඊට පස්සේ “කලම්බු ප්ලාසා” වුනා , ඊටත් පස්සේ දැන් “සිනමන් ග්‍රෑන්ඩ්” . එහෙම නේද ?

    • ඉවාන්…..ඔබරෝයි ගෲප් එක එයින් ඉවත්වීමෙන් පස්සේ ඒක වෙන වෙන ආයතන අතට වරින් වර මාරුවුනා. මම එතකොට අයින්වෙලා. එතන ඉඳන් තමයි පසුබෑම කියලා දන්න කට්ටිය කියන්නේ. මගේ ඉවත්වීමෙන් පසු නෙමේ 😀

  7. Pra Jay says:

    රැකියාව ගැන ගෙදරදී කතා කිරීම මට නම් අප්පිරිය විෂයක්ය.
    ++++

    • ඒක තමයි ප්‍රා. හරිම ඇණයක් තමයි ඒ වැඩේ. සමහරු ඉන්නවා පාටි එකකට, ඩ්‍රින්ක් එකකට සෙට් වුනත් වැඩ කරන තැන තමයි මාතෘකාව. පාටියත් එපාවෙනවා, ජොබ් එකත් එපාවෙනවා, ඩ්‍රින්ක් එකත් එපා වෙනවා..

  8. maathalan says:

    මටත් ඔය කොබ්බෑකඩුවයි මෛත්‍රීගෙයි කේස් වල පටලැවිලි සහගත බවක් පේනවා.. ඒ කෙසේ වෙතත් ආයේ ලියන එක ළොකු දෙයක්..

    මල්වර වීමේ මංගල්ලය ඉස්සර මහ ඉහලින් ගන්නවා.. මගේ නංගාගේ එකත් මහ ඉහලින් ගත්තා.. ඒත් අද අපේ පවුල් තුලම ඒක පාටී දාන සිඳුවීමක් නෙමෙයි.. එහෙම නොවන්න එක හේතුවක් තමයි.. ඒ නැති කරන මුදල කෙල්ලගේ අධ්‍යාපනයට වියදම කරන්න පුළුවන් වීම.. ඉස්සර කෙල්ලෝ හැදුවේ රට හදන්න නෙමෙයි නේ.. දරුවෝ වදන්න…

    • ////මටත් ඔය කොබ්බෑකඩුවයි මෛත්‍රීගෙයි කේස් වල පටලැවිලි සහගත බවක් පේනවා//////
      ඇනෝගෙයි, කකාගෙයි කමෙන්ට්ස් වලට පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හෙමින් බලපන්.

      අපරාධ වැඩක් තමයි බං.එකක් ආර්ථික වශයෙන්, අනිත් පැත්තෙන් සමාජීය වශයෙන්. ඔය කොටහලු චාරිත්‍රය තියෙන්නේ අපේ රටේ විතරද?

  9. ගැහැණු ළමයි වැඩිවියට පත්වෙන එක ලොකු ‘උත්සවයක්’ අරන් සැමරිය යුතු දෙයක්ද කියන එක මටත් ලොකු ප්‍රශ්ණයක් තියෙන තැනක් අරූ අයියෙ.

    වාසුලා ජීවත් උනත් මේ වෙත්දිත් දේශපාලනයෙ මිය ගියා හා සමානයි.!

    • ප්‍රියා…..ඔය හැම දෙයක්ම එක එක අය හිතන හැටිනේ. මට නම් ඒක ප්‍රශ්නයකට වඩා ජුගුප්සාවක්.

      වාසු අංකල් නම් දේශපාලනිකව මැරිලා කොහොම වුනත් පණ අදිනවා වහේ. ඔය ඉඳහිට ගෝල්ෆේස් එකේ සරුංගලුත් අරින්නේ.

  10. ලාංකීය දේශපාලනයේ අංක එකේ අමනයා ජේආර්! වෙන කියන්න දෙයක් නෑ.

  11. Ravi says:

    ජේ.ආර්. ට කිව්වෙ ඒ දවස්වල ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් කියල. ඒ තරම් ශූර තීක්ෂණ බුද්ධියක් තිබුණයි කියලයි ඒකෙන් අදහස් කලේ. මට නම් හිතෙන්නෙ ඒ ඔක්කොම අධි තක්සේරු. ආසන 168 කින් 140 තිබ්බම රටක් පාලනය කරන්ට කාට බැරිද? අනික ජේ. ආර්. ගෙ දුර දක්නා නුවණ ගැන ලොකුවට කතා කලාට අද යූ.එන්. පී. එකට කෙල වෙලා ගිහිල්ල තියෙන්නෙ ජේ.ආර්. කරපු මගෝඩි වැඩ හින්ද නෙවෙයිද?

    කලවාන සීට් එකට මන්ත්‍රීල දෙන්නෙක් පත්කරල ජේ.ආර්. නටපු නාඩගම මතකද?

    වාසුදේව ගැන නම් කතා කරල වැඩක් නෑ. කාලයක් මගෙ වීරයෙක්…හෙහ්,හෙහ්, උතුරෙ මහ ඇමති කමට විග්නේෂ්වරන් ඉල්ලන කාලෙ මනුස්සය ගැන මට තිබ්බ එකම අපැහැදීම තමයි මිනිහ වාසුගෙ මස්සිනා වීම… 🙂

    82 වෙනකොට මට චන්දෙ තිබ්බෙ නෑ. මම ඉස්සෙල්ලම චන්දෙ දුන්නෙ 1988 ජනාධිපතිවරණෙදි.

    ඔය වැඩිවිය පැමිණීම උත්සවාකාරයෙන් ගැනීමේ හේතුව මචං අහල පහල අයට දැනුම් දීම මෙන්න අපේ කෙල්ල දැං දීගෙක යන්ට ලෑස්තිය කියල. අද ලහිපිටේ මංගල යෝජනාවක් දානව වගෙ තමයි.

    Wecome back Aru…welcome back!!!

    • //උතුරෙ මහ ඇමති කමට විග්නේෂ්වරන් ඉල්ලන කාලෙ මනුස්සය ගැන මට තිබ්බ එකම අපැහැදීම තමයි මිනිහ වාසුගෙ මස්සිනා වීම… //
      අම්මප ඇත්ත!

    • හයෙන් පහක බලයක් අතේ තියන්, මන්ත්‍රීවරුන්ගේ දින රහිත අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන, ගෑණියෙක් මිනිහෙක්ව කරන්න පමණයි බැරි කිව්ව කෙනෙක් ගැන කවර කතාද…ඊළඟ තරුන යුඇන්පී පරම්පරාවටවත් කට හොල්ලගන්න බැරි වැඩ තමයි ජේආර්ගේ කාලේ වුනේ. ඒකනේ මේ තරුන යූඇන්පී උදවිය දේශපාලන සංවාද වලදි හිරවෙන්නේ. බලපන් මෙයාගේ මුල් කාලයේදීම කොච්චර කළු පැල්ලම්ද කියලා (77 පශ්චාත් මැතිවරන ප්‍රචන්ඩත්වය, ළාම්පු/ කලගෙඩි මගෝඩිය, කළු ජූලිය, ආදී වශයෙන් )

      ඔය කලවාන කේස් එක සරත් මුත්තෙටුවගම සහ අබේරත්න පිලපිටිය ජවුසම නේද?

      මට 82දී අවුරුදු 20යි. මම ගංගොඩවිල පුෂ්පාරාම පන්සලේ ඡන්ද පොළට ගිහින් සීනුව ඉස්සරහින් ඡන්දේ දාලා වැඩට ගියා මතකයි. ඇලෝසියස් මුදලාලිගේ පුතා ඉස්සර ඔබරෝයි එකට එනවා නිතරම. වැඩට එනකොට පොර මට කියනවා…වරෙන් යන්න ඡන්ද කාඩ් ටිකක් තියෙනවා හොරෙන් දාමුලු. මම ගියේ නැහැ. ඌ තරහ වුනේත් නැහැ. යන අය නම් ගියා.

      කොටහළු මගුල් වගේ දේවල් ඉවත්වෙලා යනවානම් හොඳයි බං. ඒ අවශ්‍ය චාරිත්‍ර ටික කරගෙන පාටි චූන් එකෙන් ඉවත්වීම වෙන්න ඕන. .

  12. Damith says:

    මක්කහරි කමක් නැ අයියෙ උබ ලියහන්.මොනව ලිවුවත් රහට ලියන උබල නොලියන එකතමයි පාඩුව

    • දමියෝ,,,,උඹත් ලියපන් බං. උඹේ ටයර් කෝස් එක ඉවරද…..මාස ගානකින් ආවේ නැති නිසා දැක්කේ නැහැ.

  13. නැවතත් පැමිනි ඔබ සාදරයෙන් පිළිගනිමි….
    //වාසුදේව නානායක්කාර පමණය. වාසු ඔබ විශ්‍රාම යා යුතුය// මාගේ ද පැතුම මෙයයි…
    ලාම්පු කලගෙඩි හටන සමගින් ලබන සතියෙත් ඔබ බලාපොරොත්තු වෙමි..

    ජ ය වේ වා !!!

    • ///////////නැවතත් පැමිනි ඔබ සාදරයෙන් පිළිගනිමි…./////////
      කෝ යකෝ තොරණ්….

      වාසුලා යන්න ඕන. මොකද ඉන්න ඕන කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් නැති නිසා.

  14. ඉන්දික උපශාන්ත says:

    ඔය ජනාධිපතිවරනෙ ජෙප්පොන්ගෙ ප්‍රථිඵලය සහ ඊලඟ අවුරුද්දෙ (83) මැයි පෙළපාලිය තමයි ජේ ආර් සලිත කරේ. මිනිහ ඒ නිසා 83 ජූලිය උන්ගෙ පිට දාල තණම් කරා. මේ රට අවුරුදු ගානක් පස්සට ගිය ඒ විනාසෙ ආර්ම්බෙ එතන. නමුත් බැණුම් වැඩි කොටස ප්‍රේමෙට ( ඌ හොඳයි කියනව නෙමේ, නමුත් මිනිහට වෙන කරන්න දෙයක් තිබ්බද කියල හිතන්න අමාරුයි ). ඉන් පස්සෙ ජේ ආර්ගෙ අධිමානෙ නිසා එච්චරකල් ලංකාව එක්ක සහයෝගෙන් හිටපු ඉන්දියාව අහක බලල, ගේමක් එක්ක 87 පලා බබා මැතිවරනෙ එනව. එතනින් තමයි ඇත්තටම ජවිපෙ භීෂනය පටන්ගන්නෙ, චන්දෙ දෙන උන් මරල. ඒ අතින් බැලුවම මේ ප්‍රශ්ණ ගොඩක මුල ජේ ආර්.

    අනෙක් පැත්තෙන් නිදහස් ලංකාවෙ පළමු පාර්ලිමේන්තුවෙ මුදල් ඇමති වගේ බලවතෙක් වෙලත්, අවුරුදු 30 ඉවසල රටේ නායක කම අරගෙන අර ඇරියස් එක්ක විඳපු විඳිල්ල පැත්තෙන් බැලුවම මිනිහ මාර කපටි සහ ශූර නායකයෙක්.

    ඒ ඉතිහාසෙ ආයි රිපීට් වෙනව. හැබැයි ඛෙදවාචකයක් විදියට. මොකද විහිළුව ඉවරයි.

    උඹ ආයි ලියන්න ආ එක ගැන සතුටුයි. පරණ බස් ස්ටාර්ට් කරල ටිකක් රත් උනාම අලුත් ඒවට හැරෙන්න බෑ ඒ වේගෙ එක්ක.

    • ඉන්දික….මේ ගොඩාක් ප්‍රශ්ණ වලට ජේආර් එක හේතුවක්. තමන්ගේ එවුන් හදපු කළු ජූලිය තුලින් වෙන අරමුණු වලට ගියා. ඊට පස්සේ ජවිපෙ, නව සමසමාජේ, කොමියුනිස්ට් පස්සේ තහනම් කරා. සතියකින් දෙකකින් අනිත් පක්ෂ දෙකේ තහනම ඉවත් කලා. වාසුලා,වික්‍රමසිංහලා ජවිපෙ වෙනුවෙන් කටක් ඇරියේ නැහැ. ජවිපෙ තහනමේ ඉඳන් වැඩ කරන තැනට පත්කලේ ජේආර්. ඒ මලකඳන්වල තැවරිලා තියෙන්නේ ජේආර්ගේ ලේ. එයාට ජවිපේ තහනම් කරන්න වුවමනාවූ ප්‍රධානම කාරණය කියලා මම හිතන්නේ විජේවීර ලාම්පු/ කළගෙඩි සෙල්ලමට විරුද්ධව පවරා තිබූ විභාගවීමට නියමිතව තිබූ නඩුව කියලා මම හිතනවා. ඒ පිලිබඳ රටේ උනන්දුවක් තිබුනා කියලා මට මතකයි. ඔය දේශපාලන ඉතිහාසයේ මට මතක තැන් විතරයි. ඒ ගැන නැවත කියවිය යුතු යැයි හිතුනා බං.

      /////පරණ බස් ස්ටාර්ට් කරල ටිකක් රත් උනාම අලුත් ඒවට හැරෙන්න බෑ ඒ වේගෙ එක්ක.//////
      හැබැයි මචෝ ආපහු හිට්ටොත් හිටියාම තමයි.

  15. රසික says:

    මන්දා බන්, ලාම්පු මගුල පැත්තකට දාලා ඔබරෝයි එකේ ජීවිතේ ලියනවනම් හොඳයි කියලා හිතුනා. උඹ ආපහු ලියන්න පටන් ගත්ත එක සතුටක්. කාලෙකින් හින්දා වෙන්න ඇති අද ෆ්ලෝ එක පොඩ්ඩක් අවුල්. ගනන් ගන්න එපා, ඉක්මනට පරන ට්‍රැක් එකට එයි.

    • DPK says:

      මාත් මේ ආවේ ඔබරෝයි එකේ විස්තර ටික ලියන්න කියන්න

      • @ DPK…ඒකත් ඇත්ත බං…ඉලව් දේශපාලනේ කරන්න ඉස්සෙල්ලා…රස්සාව කරලා ඉන්න එපැයිනේ..ලියමු ලියමු..

    • @රසික….ඔව් බං…කාලෙකින් ලියන නිසා රිද්ම් එක තියා….අකුරුත් මතක නැහැ ඩෝ. මම ඉතින් ඔහේ නිකමෙට ලියන සීන් එකක්නේ බං තියෙන්නේ.

      ප.ලි…
      රසික..මම පහුගිය ටිකේම බ්ලොග්ස්වල වෙච්ච දේවල් දන්නේ නැහැ. උඹලාගේ වැඩක් මම”වෙනස” ප්‍රෝග්‍රැම් එකේ දැක්කා. මට ඒකට අවශ්‍ය ඒ අංකය සහ නම එවපන්.

      • රසික says:

        මට සීන් එක තේරෙන්නෙ නෑ මචන්. “වෙනස” ට සම්බන්ධ වෙන්න වැඩක් කරන්න මම රටෙත් නෑ, ඒ ප්‍රොග්‍රෑම් එක බලන්නෙත් නෑ. මේ දවස් වල ලංකාවෙ ටී වී ප්‍රොග්‍රෑම්ස් වලින් බලන්නෙ ‘ගිනි අවි සහ ගිනි කෙලි” විතරයි. 😀

      • @Rasika..සමාවෙයන් මචෝ….. මම මේ වෙන රසික කෙනෙක් පටලවාගෙන.

        ගිනි කෙලිය මාත් බලනවා. ඒ කතාවේ මුල්ම කාලේ හිටිය කොම්පඤ්ඤවීදියේ ඩේලුව මම දන්නවා. ඉස්සරහට ඒ ගැන ලියන්නම්.

  16. ඔයා මොනා ලීවත් රහයි ඉතින්. කියවගෙන යන්ට හිතෙනවා. 😛

    • Senna says:

      හිත හිත හිටහන්.. කියවන්න එපා…

    • @පොඩ්ඩි….. ලියන්ට තියා කන්ට,බොන්ට..නටන්ට,ගයන්ටවත් වෙලාවක් නැතිව හිටියේ. තෑන්ක්ස් පොඩ්ඩි. රහට කොහොම වුනත් කියවන්ට යමක් ලියා ගන්ට නම් පුළුවන්.

  17. http://manogeloka.blogspot.com/ says:

    වාසුදේව විතරක් නෙමේ ඔය දේශපාලනයෙන් සමුගත යුතු තවත් බොහෝ දෙනෙක් ඉන්නවා.වෙනස් වීම් වලට අනුකුල නොවෙන අය විනාශ වෙනවා කියනවානේ.සමහරක් විට වාසුලා වගේ අය තාමත් ඉතුරු වෙලා ඉන්නේ ඒ විදියට වෙනස් වෙච්චි හින්දා වෙන්නත් බැරි නැහැ.

    අර උඩත් ඉන්දික කියලා තියෙනවා වගේ ඉතිහාසය නැවත,නැවත වෙනවා වගේ.දැන් හොර ජන්ද නොදැම්මත් ජන්ද දායකයින්ට කොයි තරම් අනිසි බලපෑම් කරනවාද ?
    මම හිතන්නේ ජවිපෙ තමයි විකල්පය ප්‍රධාන පක්‍ෂ දෙකටම තියෙන. රටේ ප්‍රධාන විපක්ෂය ජවිපෙ වෙන දවසක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

    • /////වාසුලා වගේ අය තාමත් ඉතුරු වෙලා ඉන්නේ ඒ විදියට වෙනස් වෙච්චි හින්දා වෙන්නත් බැරි නැහැ.//////
      වාසු වෙනස් වෙච්ච වෙනස්විලි ප්‍රමාණය එයාටවත් මතක නැතිව ඇති මනෝ…ඒ කා වෙනුවෙන්ද කියන එකයි ප්‍රශ්නේ…

      /////රටේ ප්‍රධාන විපක්ෂය ජවිපෙ වෙන දවසක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.///////
      ඒක එහෙම වෙනවා නම් හොඳයි. ඒ හැම දෙයක්ම කරගන්න නම් මේ අවාසනාවන්ත තත්වයෙන් මේ රට බේරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා සියළුම විපක්ෂ බලවේග හා එක්ව මේ අධිපතිවාදය පරාදය කරයුතු බව ජවිපෙ වටහා ගතයුතුයි. මෙවර එවන් දෙයක් නොවුනොත්…රනිල්ද,සජිත්ද,අනුරද,හකීම්ද,ජෙනරල්ද යන සියල්ලන්ටම අබ සරණයි,ගම්මිරිස් පිහිටයි කියන එක නම් නොකියාම බැරියි.

  18. ෂඃ………….ඔය පටන් අරං තියෙන්නේ ගඟ ගලන්න. ඔය ගඟ කවදාවත් හිදෙන්නේ නැහැ. එක මාතෘකාවකින් තවත් මාතෘකා ගණනක් මතුවෙනවා. පොඩි සටහනක් දාගෙන තියාගන්න අමතක නොකර ඔක්කොම ලියන්න පුළුවන්.

    බණ්ඩාරනායක මැතිනියට ඇන්නෙව්වේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. එයා බයවුනා ඇන් ඇම් අගමැති වෙයි කියලා. ඇන් ඇම් ගියාට පස්සේ සිරිමා ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තා.

    • ඔව් විචා….ඔය පොඩි සටහනක් දාගෙන තියාගන්න කියන එක විචා මීට කලිනුත් කිව්වා. ඕක වුනේම නැහැ. දැන් නම් ඕක කරන්න ඕන. පසුවට ලියමි..ඉදිරියේ ලියමි කියලා මිස් වුනේ මොනවාද කියලා මතකත් නැහැ.

      විචා…මම හරිද දන්නේ නැහැ…ශ්‍රීලනිපය ඉතිහාසයේ සිටම යම් ස්ථාවරත්වයක් දැරුවා නම්, ඒ නාමිකව හෝ හාන්සි පුටු වාමාංශිකයෙක් එක්කවත් එකතුවුන වෙලාවල් වල විතරයි. අදටත් ඔය ඩිව් ගුණසෙකරලා, තිස්ස විතාරනලා යම් කැළඹීමක් සංධානය තුල කලොත්, රතනලා, විමල්ලා දිනේෂ්ලා කරනවාට වඩා බලපනවා, ජනතා සිත් සතන් තුලට. මට හිතෙන දෙයක් මේ.

      • දිනේෂ් ගුණවර්ධන දැන් නියමම සට්ටැඹියෙක්. සත පහක වටිනාකමක් නැහැ. පාර්ලිමේන්තුවේදී මේ යකා ආණ්ඩුවට සුදු හුණු ගාන්න දඟලනවා. විලාප දීලා කෑ ගහනවා මිනිහගේ පීනස් කටහඬින්. එච්චරයි.

        ඩිව්, තිස්ස, සහ සුද්ද බුද්ද කරලා ගත්තොත් වාසු යන තුන්දෙනා, ජනතාවගෙන් සමාව ඉල්ලීමක් සහිතව පාරට බැස්සොත්, යමක් කරන්න පුළුවන්. රතන, විමල්, කියන්නේ එදා ඇනස්ලි සැමුවෙල් වගේ අද දේශපාලන විහිළුකාරයන් සහ තමන්ගේ සම්පත් වැඩි කරගැනීම සඳහා බොරු ෂෝ දාන අය පමණයි.

      • ඒක ඇත්ත දිනේෂ්ට දැන් මහජන එක්සත් පෙරමුණක් හෝ ෆිලිප් කියලා පියෙක් හිටියාද කියලාවත් නොතේරෙනට සයිස් එකට පිම්පියෙක් වෙලා.

  19. Senna says:

    82දී අපි පොඩි එව්වො.. ඔය ලාම්පු කළ ගෙඩි තැන් තැන් වල ඇඳලා තිබුනා මතකයි.. දන්න දේශපාලනයක් නැති වුනත් ගෙවල් වල ආභාෂය අනුව අපි පිල් බෙදිලා හිටියා.. යූඑන්පී කියලා සළකපු එවුන්ව පාච්චල් කරන්න භාවිතා වුන කවියක් මට ලාවට මතකයි..

    අලියා කැලේ කොල කනවා
    ජේ ආර්ට බඩ යනවා
    ප්‍රේමදාස හෝදනවා…

    ශ්‍රී ලංකා කාරයින්ට කිව්වේ

    ශ්‍රී මාවෝ සී දේවී
    සීනි නැතුව තේ දේවී කියලා..

    ඔය අපි එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි ළමා දේශපාලනයට යොදා ගත්තු හැටි මගේ මතකය..

    දැන් ඉතින්, දිගටම අ අ අ අ අ අ අ අ අ අ අ අ අ ලියපා අ අ අ න්…

    • ලාම්පු කළ ගෙඩි පෙන්නා
      පොඩිවුන් සතුටින් ඉන්නා
      බිල්ලන් ලඟ ලඟ එන්නා
      කාපන් බත් කට සෙන්නා……

      මෙහෙම කියලාද ඔය කාලේ අම්මා උඹට බත් කැවුවේ 😀

      දිගටම ලියමු..උඹත් ලියපන්

  20. ඔය පත්තු වෙලා තියෙන්නේ පරන මෝල..දැන් ඉතින් ඕක ඕෆ් නොකර දිගටම දුවපන් මචෝ…සෑහෙන වෙලා හෝල්ට් එකට වෙලා හිටියා..

    • නැගපන් පුතා බස් එකට. හැබැයි පුතෝ කොහේ ගිහින් නවත්තයිද දන්නේ නැහැ…උක් පැණිවලින් දුවන්නේ.
      තැන්ක්ස් මචං තල්ලුකරනවාට!!

  21. හිරු says:

    ඔක්කොම පසුව ලියමි….. ගර්ර්ර්ර්….

    • හිරු…..ගෑණු සිංහයෝ ගොරවන්නෙත් ග් ර්‍රර්‍රර් කියලද……ඉතිරිය පසුව ලියමි.

  22. අරූ ගේ කතා වල හෝටල් රස, පවුල් සුවඳ , දේශපාලන කුණු රස හොඳට මික්ස් වෙලා තියෙනවා . දැන් ඉතින් දිගට ලියන්න .. හෙහ් හෙහ්

    • පැතුම්…… මේක අච්චාරුවක් නේද…ට්‍රයි කරන්නම් විනාකිරි, ගම්මිරිස් වැඩි නොකර ඉන්න : D බොහොම ස්තූතියි පැතුම්!! උඹල ලියපුවා ගොඩාක් දේ මට මිස් වෙලා බං. මම පස්සෙන් පන්නනවා.

  23. සිරා says:

    නැවත ලියන්න පටන් ගත්ත එක ගැන බොහොම සතුටුයි…අපි නොදන්න ඉතිහාසයේ දේශපාලන කථා ටිකකුත් දැන ගන්න ලැබුනා නොවැ…ඔබ කියනවා වගේ මිත්තණියකගෙන් විඳින සෙනෙහස හරිම අපූරු එකක්…නමුත් මේ සෙනෙහස ඔබට මෙන්ම මටද නැවතත් විඳිය හැකි වන්නේ ඊලග ආත්ම භාවයේය. වසර දෙකකට පෙර පරලොව ගිය කිරි අම්මා තවමත් මගේ ඇස් අගට කඳුලක් එක් කරන්නට සමත්ය.

    විවේක් ඔබ්රෝයි කියන නළුවා ඔය හෝටලේට සම්බන්ධ පවුලක කෙනෙක්ද ?

    • තෑන්ක්ස් සිරා….ඕක තමයි බං මනුස්ස ජීවිතය. හැරදා ගිය ප්‍රියයන් ගැන මෙනෙහි කරනවා. අපි දෙන්නත් ඉතින් තව ටික කාලයකින් ආච්චිලා, සීයලා වෙයිනේ. කෝ ඒත් ඉතින් මේ ළමයිගේ කිසි උනන්දුවක් නැහැනේ 😀 අපිත් බලන් ඉන්නේ ඒ සෙනෙහස දරුවගේ දරුවන්ට පුදන්න.

      මොහාන් සිං ඔබරෝයි කියන්නේ ඉන්දියාවේ හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අවුරුදු 103ක් ඉඳලා මියගියා. එක දරුවයි ඉන්නේ බිකි ඔබරෝයි කියලා. එයාත් දැන් වයසයි. විවේක් කවුද කියන්න දන්නේ නැහැ.

  24. sasha says:

    ඔන්න 36 සිට එක දිගට කියවන් ආවා. කොමෙන්ට් කෙටුවෙ නම් නෑ, තාම අපේ කාලෙට එන්න හිතලවත් නෑ වගේ

    • සාෂා හුඟ කාලෙකින්. ඔයාට පුළුවන් 150 වෙනි කොටසේ ඉඳන් වගේ දන්න කාලේ දේවල් කියවන්න. 😀

      • sasha says:

        හපොයි! කම්ල්ලෑ නොදන්න කාලෙ ඒවයි වැඩිය රහ

  25. Kenji ogawa says:

    ආයුබෝහෝවන් නෙරංජ …………….
    My3 S UNP යට ආව කතාවක් ඇහැව්වමයි මචං ………

      • ඉවාන්…මමත් මේක දැක්කාම මූට කියන්න කියලා හිතුවා. ඒත් උඹ ඉස්සර වෙලා.

    • කෙන්ජි….එයා විතරක් නෙමේ තව සෙට් එකක් එතනට ගියා.SKK සූරියාරච්චි, හලීම් ඉශාක්, චෙල්ලයියා කුමාරසූරියර්, VTGකරුණාරතන (මෙයා ෆිල්ම්ස් වලත් රඟපෑවා..ඔය ආරාධිත චරිත ) වගේ අය මතකයි.

  26. Thushani says:

    කාලේකින් නේද … සතු‍ටුයි සතු‍ටුයි.. දැන් පුලුවන් තවත් පරණ කතා ගොඩක් බලන්න..

    ගැහැණු ළමයෙක් වැඩි වියට පත් වෙන එක උත්සවයක් විදියට සැමරිය යුත්තක් නෙවෙයි කියලයි මමත් හිතන්නේ…

    • තුශානි……තෑන්ක්ස්.!!!

      ඒ උත්සව දවස් හරි අපහසු දවස් වෙන්න ඇති නේද ගෑණු ළමයෙකුට. මට එහෙම හිතෙනවා. මගේ වයිෆ් කියන්නේ මහා විකාරයක් කියලා.

  27. helapayaa says:

    82 ජනපතිවරණය ලංකාවේ පළමුවෙනි ජනපතිවරණය නිසාවෙන් අපි ප්‍රතිපලය ගැන හරිම උනන්දුවකින් හිටියේ.විය යුතු පරිද්දෙන්ම වැඩ කළේ සහ ඡන්දය දුන්නේ විජේවීරට.අපේ ගමේ ජේ වී පී ඡන්ද පොළ නියෝජිතයා හැටියට කටයුතු කළෙත් මමයි.
    ටී වී එකේ ලයිව් කතා අපි බැලුවෙ ටී වී එකක් තියෙන ගෙදරකට ගිහිං.කොබ්බෑකඩුව සිංහල කතා කරන්න ගිහිං නාගත්තා “අඹ දරුවෝ” කියල එහෙම කිව්වා මට හොඳට මතකයි.
    අර ධර්මපාල අංකල් ආපහු ගෙදර ආ එක ගැන ආච්චිගෙ ප්‍රතිචාරෙ මතක ඇතුව ලියපං.

    • හැලපේ…….මචං ඒ කාලේ හරි ෂෝක් බං. අපිත් ලයිව් කතා ඇහුවේ පිටස්තර ගෙවල් වලට ගිහිල්ලා. හෙණ අප්සට් එකේ ඡන්ද ප්‍රතිඵල ඇහුවා නැන්දලාගේ ගෙදර රේඩියෝ එකේ. නැන්දලා රතිඥ්ඥා පත්තු කරා. මමයි නැන්දාගේ පොඩි පුතයි විතරක් ෆුල් අප්සට්. විජේවීර 3වැනි තැන නිසා. ඒ නැන්දාම 88 ඉඳන් 2002 වෙනකම් බෝධි පූජා තිය තියා , දේවාල සාස්තර පස්සේ ගියා ඒ පොඩිපුතා අතුරුදහන් කරපු ,රතිඥ්ඥා පත්තු කරපු ආණ්ඩුවට සාප කරමින්. සියළුම දේ පන්සල්වලට පූජා කරලා, ඒ පුතා අද එයි, හෙට එයි කියන සිතුවිල්ලෙන්ම නැන්දා 2002 මියගියා. ඒ ගැන වෙනම ලියන්න ඕනේ බන්. මම අදටත් කම්පාවෙන සිදුවීමක්.

      ධර්මපාල ස්ටෝරියත් මට හරි වැදගත්. ඒකත් ලියන්නම්.

  28. sudeeka says:

    විධායකය මුලින්ම අතට අරං ජේ.ආර්. වැරදි පූර්වාදර්ශ ගොඩක් දීපු කෙනෙක්. එයා ප්‍රේමෙට භාර දුන්නේ දෙපැත්ත ගිනි ගත්ත විලක්කුවක්. රටේ කෙළවරවල් දෙකක යුද්ධ. ප්‍රේමේ පුළුවන් විදියට මර්දනය කළා. ඔබ කියන ලෙසටම අද යු.එන්.පී. එකට වෙලා තියෙන්නේ ඒවගේ පවු ගෙවන්න. 77 පාර්ලිමේන්තුවේ කොපමණ නායකයෝ හිටියද? මම අහපු ලස්සනම දේශපාලන කථාව ඇහුවේ ගාමිණි දිසානායක මහත්මයාගෙන්. එවැනි ය අද හීනයක් පමණයි. ඔය ලාම්පු කලගෙඩි සෙල්ලමේදී ශ්‍රීලංකා අය ඒකට සහයෝගය දුන්නේ තියෙන ටිකත් නැති වෙයි කියන බයට. හේතුව චන්ද නැතිව නෙවෙයි. ආණ්ඩු බලය තියාගෙන ජේ.ආර්. කරොත් ඉතිං සොරි වෙන බව දන්නා නිසා. ඒ කාලයේ මතයක් තිබුණා 82 ජනාධිපතිවරණයේදී 1 ඉලක්කම ජේ.ආර්.ගේ කොටුවෙන් මතුවෙන රසායනික දෙයක් කළා කියලා. කොයි තරම් දුරට ඇත්තද මන්දා.

    ආපහු ලියන එක ගැන මම ගොඩාක්ම සතුටු වෙන කෙනෙක්. මොකද හෝටල් අත්දැකීම්, දේශපාලන පසුබිම, රත්නසිරිගේ චරිතය වැනි පොදු දේ නිසා මෙහි ලියැවෙන සියල්ල මට රසවත් නිසා.

    • සුදීක…..ඔව්. මම නම් හිතන්නේ 70-77 යුගයේ තමයි පාර්ලිමේන්තුවේ උගතුන්, බුද්ධිමතුන් සහ සමාජ සේවකයන්ගේ පිරිලා හිටිය හොඳම යුගය. නමුත් ඒ අය මොනවාද කරේ කියන එක වෙනම් ප්‍රශ්නයක්. 77 පාර්ලිමේන්තුවත් එහෙම යැයි මම හිතනවා. ඊට පස්සේ මේ සියල්ල වෙනස් වෙනවා. එහි ප්‍රතිපලය තමයි මේ වෙනකොට අහන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 152ක් උසස් පෙළ අසමත්, ඉන් 94ක් සා/පෙළ අසමත්. මෙහෙම කිව්වේ බුද්ධික පතිරන. රටක උත්තරීතර ආයතනයක තත්වය ඔහොම නම් අන් කවර කතාද? මේවාට වගකියන්න ඕන ජනතාවම නේද? නාමයෝජනා දෙනකොට පක්ෂ නායකයෝ මේ ගැන සැලකිලිමත් නැද්ද කියලා හිතෙනවා. දේශපාලනයට එකම සුදුසුකම අධ්‍යාපනය නොවුනත්, එකම සුදුසුකම, මුදල් සහ කටවාචාල කමත් නෙමේ.

      ////////////ඒ කාලයේ මතයක් තිබුණා 82 ජනාධිපතිවරණයේදී 1 ඉලක්කම ජේ.ආර්.ගේ කොටුවෙන් මතුවෙන රසායනික දෙයක් කළා කියලා. කොයි තරම් දුරට ඇත්තද මන්දා./////////////
      එහෙම කට කතාවක් තිබුනා. නමුත් මම එදා හිතුවෙත් ඒක බොරු කතාවක් කියලා.

      සුදීක මේ කතාව කියවන එක ගැන සතුටුයි. මම සුදීක, ඔයා රත්නසිරි ගැන ලියනකම් බලන් ඉන්නවා. පොරට එයාගේ ඉස්කෝලේ අය කිව්වේ යූඩී කියලා. ලියන්න බලන්න. මට තව විස්තර ඕන තරම් දුන්නෑකි 1987 විතර වෙනකම්.

  29. supirikrida says:

    කෙල්ලෙක් මල්වර වීම අනිත් රටවල් සමරනවා ඇත්තෙ තොහොමද? මේ ලිපිය දැක්කම මට ආන ප්‍රශ්නෙ ඒක.මටත් අත ළග එකක් කැරකෙමින් තියෙනවනෙ.සමහර විට තව අවුරුදු දෙකක් යන එකක් නැහැ.මම නම් ඔය උත්සව සංස්කෘතියට විරුද්ධයි.ඊට පස්සෙ ළමයගෙ සම්පූර්ණ නිදහස වෙනස් වෙනවා.අනවශ්‍යය බරක් එකතු වෙනවා.මම ගොඩක් පොඩි එව්වොත් එක්ක වැඩ කරලා තියෙනවා.උත්සව ගත්තට පස්සෙ හම්බ වෙන්නෙ මුලින් හිටපු නිදහස් ළමයා නෙමෙයි.කියා දෙනවනම් කියා දෙන්න ඕනි අද කාලෙ දුවේ උ‍ෙඕ ශඍිරය ගැබ් ගැනීමකට දැන් සූදානම් පරිස්සම් වෙයන් කියන එක.ඔය කිව්වට අපේ ගෙදරත් ඉතිං මට ඕනි විදිහට වෙයිද දන්නෙ නැහැ.මම හිතන්නෙ උත්සව අනවශ්‍යයි කියන එක.

    අරූ කිව්ව වගේ බොරැල්ලෙ මැල් වත්තෙ පොඩි ගේ කෑල්ලක අපේ හිතවතෙක්ගෙ දුවෙක්ගෙ කොටහළු මගුළක්ට මම ආවා මතකයි.එයා රෙද්දකින් වහලා පොඩි කෑල්ලක් හදලා තියලා තිබුණෙ.අපි වැඩිහිටියො නැති වුණහම එහෙම වහල තියෙන හේතුව දැන ගන්න හෙමින් සීරුවෙ සාරිය උස්සල ඇතුළ බලනවා.සාරියට මෙපිටින් ඉද ගෙන මොනා හරි සෙල්ලමක් කරමින් සාරිය දෙපැත්තට වෙලා අදහස් හුවමාරු කර ගන්නවා.

    ‘අනේ මන්ද අයියෙ මගේ චූවා ළග හොදටම රිදුණා.ලේත් ආවා.ඊට පස්සෙ මාව දාලා වැහුවා.’
    අවුරුදු දහයෙන් විතර ලොකු ළමයෙක් වෙච්චි ඒ නංගි මට වඩා මාසයක් හරි දෙකක් හරි බාලයි.එයා එහෙම කිව්වම මට හිතුණෙ මෙච්චර ලොකු දෙයක් වෙලා ඇයි යකෝ ඉස්පිරිතාලෙකට අරං යන්නෙ නැත්තෙ කියලා.කොළරාව වගෙ ලෙඩක් නිසා සනීප කරන්න බැරි හේතුවෙන් මැරෙනකං වහල තියල ද කියලත් හිතුණා.මොකද ඒ දවස් වල අපිට ඉගැන්නුව සැමී ජයකොඩි කියන ස්ර් හතරෙ පොතේ තිබුණ එඩ්වඩ් ජෙනර් ගැන පාඩම රහට කියා දීලා තිබුණා.

    හැබැයි දැන් කාලෙ කොල්ලොනම් ඕක මොකද්ද කියලා දන්නවා.අපි ඒ අතින් බලන කොට පොඩි ළමයි.එදා අවුරුදු 10 එකෙක්ට වැඩිය අද අවුරුදු 10 එකෙක් කොච්චර දේවල් දන්නවද?ඒ දන්න කම නිසාම උත්සව තියලා අඩබෙර ගහලා ඕක නොකියන එකයි හොද.

    • ///////කෙල්ලෙක් මල්වර වීම අනිත් රටවල් සමරනවා ඇත්තෙ තොහොමද?//////
      ඒක තමයි මම මාතාගෙනුත් ඇහුවේ මේ චාරිත්‍රය තියෙන්නේ අපේ රටේ විතරද කියලා. මම දන්නා අරාබියේ නම් මේ ගැන අහලා නැහැ. මා දන්නා යුරෝපයේත් එහෙම දෙයක් නැහැ. අප්‍රිකාව සහ ආසියාවේ අනිත් රටවල්වල තත්වය කොහොමද දන්නේ නැහැ.
      අපි කොහොම හිතුවත් අපේ වැඩිහිටියෝ තමයි ඕවා ගැන හිතන්නේ. “අනේ එහෙම කියලා හරියනවද…අපේ ලොකු මිණිබීරීනේ…ඔන්න ඔය පොඩියට හරි මොනවා හරි කරන්නකෝ පුතේ” ඔන්න ඔහොම තමයි බන් ඕවා වෙන්නේ.

      ඔසප් සමයේ ඉතාම පිරිසිඳුව ඉන්න ඕන කාලයක්නේ. ඒ කාලෙට කාමරයක් අස්සට දාලා වහගෙන, නාවන්නේ නැතුව එක ජෝගියක් කරනවා. හොඳට පෝෂ්‍ය ගුණය අවශ්‍ය වෙලාවට, තැම්බුම් හොදියි, පතෝලයි කව්ව, කව්ව අර කෙල්ලව පිස්සෙක් කරනවා. ඊට පස්සේ කොල්ලෝ මග තොටේදි ගොන් චූන් දෙනවා. අනේ මන්දා බන්. උඹ කිව්වා වගේ අවශ්‍ය වෙන්නේ අම්මාගෙන් දුවට හොඳ අවවාද උපදෙස් ටිකක් පමණයි කියන එකයි මගේ අදහස.

      • supirikrida says:

        හරි අරූ.ඡන්දෙ ගැන නම් හැමෝම ලිව්වනෙ.හරි තීරණයක් ගත්තු දවසක ඔය වැඩකට නැති ඒවා අයින් කරල දාන්න පුළුවන් සිස්ටම් එකක් හැදෙයි.මම කියන්නෙ මේ මල්වර වීමෙදි වෙන්නම ඕනි දේවල් ටික නවත්තලා ඊට පරස්පර දේවල් කරන එක පවතින්නෙත් දේශපාලන වැරද්දක් නිසා කියලයි.

  30. තමන්ග‍ේ ඡන්දයට වටිනාකමක් දීමට දිනන පක්ෂයටම දිය යුතුය කියන මානසිකත්වයනේ මිදී, දැක්මකින් යුතුව ඔබ භාවිත කළ මුල්ම ඡන්දය අදටත් වලංගු විය යුතුය.
    ඌව‍ේ 5% ට වඩා ප්‍රතිශතයක් ලැබිය යුතුයි. නමුත්, එය වැලකීමට කාරණා කිහිපයක්ම බලපෑවා. තවද අප‍ේ රටේ බහුතරයක් මිනිසුන් ද‍ේශපාලනිකව දැනුවත් නැහැ. ඡන්දයකදී ඔහුන්ග‍ේ හැකීරීම එය මනාවට නිරූපණය කරනවා.

    • පැහැදිලියි නිම්මි. මට මෑතකදි අනුර කුමාරව මම ඉන්න රටේදී හමුවුනා. මට තිබුනු ගැටළුත් විමසාගන්න අවස්තාවක් ලැබුනා. නිම්මි….මම තාමත් ජවිපෙ දෙස විමසිල්ලෙන් බලා ඉන්නවා. ඔවුන් විපක්ෂයක් ලෙස කරන කාර්යභාරය විශිෂ්ඨයි. වාදයක් නැහැ. තීරනාත්මක සමයක් ඉදිරියට එන්නේ. ඒ වෙනුවෙන් ජවිපෙ කුමක් කරාවීදෝ යන්න තවම පැහැදිලි නැහැ. මේ අවස්තාවේදී පක්ෂයද/රටද යන්න ජවිපෙ අවබෝධ කලගත යුතුයි. අන් සියල්ලක් රඳා පවතින්නේ…මේ දුර්දාන්ත පාලනයට තිත තැබීමෙන් පසුව බව මගේ පෞද්ගලික අදහසයි.

  31. javi says:

    හප්පේ ඈති යන්තන් උඹට ආපහු ලියන්න හිතුනා. 82 මම දෙකේ පන්තියෙ. යාන්තමට මතකයි චන්ද කේස් එක. මචෝ පුලුවන්නම් පොලිටික්ස් හලලා උඹ්ගෙ කතාව ලියපන්.
    ජවි

    • පොලිටික්ස් හලලාම ලියන්නේ කොහොමද බන් නියපොත්තෙත් පොලිටික්ස්නේ. අනිත් එක ඒ 80 යුගය සිද්ධීන් බහුල කාලයක්නේ. හිටපන් ඊළඟ එක වෙන පැත්තකින් එන්නම්.

  32. අරු ආයේ ලියන්න පටන් ගත්තු එක ගැන සතුටුයි . කිව්වත් වගේ ලිවිල්ල නැවතුනොත් ආයේ පටං ගන්න හරිම අමාරුයි. මේ මටත් ඒකම වෙලා .

    • තිලකේ …..මමත් අමාරුවෙන් අමාරුවෙන් ආපහු ගොඩවුනා. තිලකේ ලිව්වෙත් නැති පාටයි.

  33. කාලයකට පස්සේ අරෑ. මටත් ඔය කාලේ ඉදලා තමයි මගේ මතකය හොඳට තියෙන්නේ. උඹගේ ඉතුරැ විස්තර බලන්නත් ඉක්මනින් එන්නම්. ජය!

  34. deshakaya says:

    මාත් හිතුවේ උඹ වැලිගම ගිහින් වැලිගම් ගියා කියලයි.. හැක්.. එළ.. එහෙනුත් පැන්න නෙව මේ ඉස්සා කෝම හරි..

  35. තිස්ස says:

    1980-1982 කාලේ තමයි ජේ. ආර්. ගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව. 1980 සැප්තැම්බර් 17 වෙනි දාට යෙදිලා තිබුණේ මිනිහාගේ 74 වන උපන් දිනය. ඒ දවස් දෙකේ තුනේ රේඩියෝ එකේ උදේ ඉඳන් රෑ වෙනකම් එක්තරා ගීතයක් වාදනය කළා මිනිහාගේ උපන් දිනය වෙනුවෙන්. ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක. පද රචනය කළා කියලා කිව්වේ අගමැති ප්‍රේමදාස (සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්). ඉතින් ප්‍රේමදාස කියන විදියටයි ගීතය ගැයෙන්නේ. මෙන්න ඒ ගීතය:

    “දෙරණ සිරිලක රකින භූපතිඳේ
    ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
    සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
    දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
    ජයෙන් ජය වේවා!
    ජයෙන් ජය වේවා!

    උපන් දිනයේ අපේ ජනපතිඳා
    දහම් දීපේ මුදුන් මල් පිපුණා
    නායකත්වේ උදා හිරු පායා
    රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
    යසෝ ගී ගැයුවා!
    යසෝ ගී ගැයුවා!

    ඔබට ආසිරි පතන අද දවසේ
    සියළු දන හා බැඳී එක විලසේ
    ජනපතින්දේ මමත් එක් වීලා
    බිරිඳ හා දූ පුතුන් සමගින් – මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
    සලමි මල් වරුසා!
    සලමි මල් වරුසා!”

    • //////සමහර විට නියම පද රචකයා ඩෝල්ටන් අල්විස්///////

      ඕක තමයි ඇත්ත මගේ හිතේ. ලොක්කගේ නමින් ඔහොම සින්දුවකට මියුසික් එකක් දාන්න කේමදාස මාස්ටර්ට කියලා වෙච්ච කචල් එකක් ගැන මට අමරබංධු රූපසිංහ මයා කියලා තියෙනවා. අමරේ අයියා ගැන ලියනකොට ඒ ගැන ලියන්නම්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s