අවුල් වන්නට පෙර(52)..අමරබන්ධු රූපසිංහට පෙර , පෙරවදනක්

අමරබන්දු රූපසිංහ නම් මේ මිනිසාගේ රාජකාරී ජීවිතය ගැන බොහෝ දේ කීමට මම නොදන්නෙමි. අප ඇසුරු කරනා කාලය තුළ, ඔහු කිසිවිටෙකත් තම රාජකාරී ජීවිතය ගැන කීමට හෝ නන් දෙඩවීමට යුහුසුළු නොවුවේය. මා දන්නෙත් ඔහු ඇසුරේදි, ඔහුගේ මිතුරන්ගේ කටින් පිටවූ දෑ සහ යම් මට්ටමින් මා සොයාගත් කරුණුවේ. මන්ද යත් 1977 ජේආර් ජයවර්ධන බලයට පත්වීමත් සමගම රිජ්වේ තිලකරත්නයන් ඇතුළු මෙවැනි දක්ෂයින් රාශියකට ගුවන් විදුලි සංස්ථාව තහනම් කලාපයක්වූ බැවිනි. 1977න් පසු මිය යන තෙක්ම නැවත අමරබන්දු රූපසිංහ හඬ ගුවන් විදුලියෙන් ඇසුණේ නැත්තේ උඩඟු දේශපාලක අමණයින්ගේ උද්ධච්ච හැසිරීම නිසා යැයි මම සිතමි. කෙසේ වෙතත් අරූ සහ අ.රූ.ගේ පෞදගලික සබඳතා මත පිහිටා මම මේ සටහන් කීපය දිග හරින්නෙමි. ඒ තුළින් මිනිස් ජීවිතය තුළ මුහුණ පෑමට සිදුවන දුක්ඛ දෝමනස්සයන් ගැන සාකච්ඡා කල හැක. මේ මිනිසාගේ පෞද්ගලික ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණා මා දන්නා නමුත්, ඒ ගැන කිසිවක් ලිවීමටවත්, සාකච්ඡා කිරීමටවත් මම බලාපොරොත්තු නොවෙමි.

අමරබන්දු රූපසිංහ නම්වූ මොහු, එදා මෙදා තුර ගුවන් විදුලියෙන් බිහිවූ දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා යැයි, ඔහුගේ සමකාලීනයන් පවා චකිතයකින් තොරව පවසා තිබේ. අමරේ අයියා ගුවන් විදුලි නිවේදකයෙක් පමණක් නොව, විස්තර විචාරකයෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්, සහ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සිටි බව මම අසා ඇත්තෙමි. පාලිත පෙරේරා විසින්, එච්.එම්. ගුණසේකරයන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරණයන් කල මුල් කාලයේ අමරබන්දු රූපසිංහද ඉන් එකෙක් බව පාලිත පෙරේරා, ඔහුගේ ‘පාලිත පෙරේරා..සමග සජීවි ලෙසින්’ නම් ග්‍රන්ථයේ සඳහන් කර සිටී. අමරබන්දු මිය යෑමෙන් පසුව , ඒ නමින් පදනමක් ආරම්භ කරේත් පාලිත බව පසුකාලයක මම පුවත්පත්වල දුටුවෙමි. ප්‍රේමසර ඈපාසිංහයන් ‘සිංහල ක්‍රිකට්’ වෙනුවෙන් එකතුවී ඇත්තේ පසුවය. ඔහු දුන් දායකත්වය සුලු පටු නොවේ. ප්‍රේමසර පදිංචිව සිටියේත් විජේරාම අවටය. අපි ඒ පාර හැඳින්වූයේ බලු බෙටි පාර කියාය. ඒ බල්ලන්ගෙන් තිබු කරදරය නිසාම මිස අන් කිසිවක් නිසා නොවේ. මේ පාරේම එක් කාලයක් බණ්ඩාර කේ විජේතුංග නම්වූ ඒ සෞන්දර්‍යවාදියාද පදිංචිව සිටියේය. ප්‍රේමකීර්ති තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ දෙල්කඳ හංදියේය. සොඳුරු මිනිසුන් රාශියක් ඒ වනවිට අප ආශ්‍රිත ගම්මානයේ නේවාසිකයෝ වූහ. වික්ටර් රත්නායකයන් නාවින්නේය. මිල්ටන් මල්ලවාරචිචි ඇඹුල්දෙණියේය. කියන්නට ගියහොත් පෝලිමක්ය. ඒවා දැනට අමතක කිරීම යෝග්‍යය.

මේ සියල්ලන්ම ගැන මම පසුව ලියමි. නන්නත්තාරවු සමාජයක කෙඳිරියක් හෝ නගන්නේ අදටත් ජීවත්වී සිටිනා මෙවන් අතලොස්සකි. යෝධයින් අතරේ මම වැනි කුඩා තරුණයෙකුට ඔවුන් හා පසු අසුනකින් හෝ වාඩීවී සිටීමටත්, ඒ යුග පුරුෂයන් හා එක්ව අඩියක්, පුඩියක් ගැසීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක් හැර අන් කවරක්ද? මේ මා ලියුවේ අප අවට ප්‍රදේශවාසීන් ගැන පමණය. කේමදාස මාස්ටර් වැනි, උත්තම කුලයේ මිනිසුන් මට මුණ ගැස්සවූයේ මේ, අප කාටවත් අමතකවී ඇති අසික්කිත වේදනාවන්ට යටත්වූ සුන්දරයාය. ගුණදාස කපුගේ වැනි අති උතුම් මානවවාදීන් හා සමග වාඩිවී විජේරාම හන්දියේ බත් කඩේ බත් පැකට් එකත්, හොර පොළේ ගල් භාගයත් බෙදා හදා ගන්නට ඉඩ ප්‍රස්තාව ලැබුණේ මේ මිනිසා නිසාමය. අමරෙ අයියා මට දුන් දේ බොහෝය. අමරේ අයියාගේ මිත්‍රයෙක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී චින්තන ජයසේනයන් හඳුන්වාදුන් යෙදුමකට අනුව නම් ‘සෙස්ස පස්සටය’. මම ඒ අය පිළිබඳව පසුව ලියමි. අවුල් වන්නට පෙර සටහන් තුළ ලියවෙන වඩාත් සුන්දර ලියවිලි මතුවිය හැක්කේ , මේ සොඳුරු මිනිසා හා සබැඳිව ගතකළ, අරූ නම්වූ නොදියුණු මිනිසාගේ කතා පෙළය. මට සමාවී කියවන්න. මා හඬගා කියන්නේ මගේ ජීවිතයමය. එය උස් හඬින් කිව යුතු යැයි පළමු පාඩම කියා දුන් අය අතරේ මේ මිනිසා ඉහළින් සිටී. ඔහු මිය ගිය දිනයවත් මම නොදන්නෙමි.

අමරෙ අයියාගේ රැකියාව අහිමිවීමෙන් පසු. ඔහු කේමදාස මාස්ටර්ගේ බොහෝ වැඩ කටයුතුවලට දායකවූ බව මම අත්දැකීමෙන් දනිමි. මෙවැනි අවස්ථා සඳහා මමද කොලු ගැටයෙක් ලෙස ඔහු පසුපස ගියෙමි. ගොළු හදවතින් තුන් වැනි යාමයට, පිරිනිවන් මංගල්‍යය, Killer වැනි කැසට් පට තුළ ඔහුගේ ඒ ගාම්භීර මෙන්ම සිත් තුළ කිඳා බහිනා කටහඬ නැවත නැවතත් ශ්‍රවණය කල හැකිවේ.ඒ සියලු තැන්හී සුනිලා අබේසේකර නම්වූ ඒ එඩිතර ගැහැණිය අදටත් ජීවමානවේ. මොවුන් සොඳුරු මිතුරන් සහ මිතුරියන් විය. මේ මිනිසා ගී පද රචනයටත් දායකවී තිබේ. ඒ කෙසේ වෙතත් 1994දී නැවත ශ්‍රිලනිප ප්‍රමුඛ රජයක් බිහිවෙන විට අමරබන්දු රූපසිංහ සියලු දුක් ගැහැට තුළ තිබූ ශෝකී රසයම තම ආත්මයට බද්ධකරගෙන අවසන් සුසුම් හෙල හමාරය. එදා ගුවන් විදුලියේ ලොකු මාස්ටර්වූ තිලක් සුදර්මන් ද සිල්වාත්, මැද මාස්ටර්වූ අමරබන්දු රූපසිංහත්, පොඩි මාස්ටර්වූ ප්‍රේමකීර්ති ද අල්විස්වත් ජීවතුන් අතර නැත. ඒ මාස්ටර්ලා වෙනුවට ගුවන් විදුලියත්, අනිකුත් මාධ්‍යත් වටකර ගත් පච මාස්ටර්ලා ගෙන් නම් අඩුවක් නැත. මගේ මේ සටහනේ ඉදිරිය කියවීමට පෙර පහත සඳහන් ලින්ක් එක තුළට ගොස් VOICE ARCHIVE නම් වෙබ් අඩවියට පිවිසෙන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. එතැනට ගොස් අමරබන්දු රූපසිංහ නමින් ඇති ‘CUT 2’ විනාඩි දෙකේ හඬ පටයට සවන් දෙන්න. මේ හඬ පමණක් නොව, ඒවා සමහරක් ලියා ඇත්තේද මේ මිනිසා බව මම අසා ඇත්තෙමි. මේ විනාඩි දෙකේ හඬ පටය, අද මාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවී ඇති ඉරණම ඔබට පැහැදිලි කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි. සවන් දෙන්න එය ඔබට අවැඩක් නොවන බව මට විශ්වාසය. අදටත් අමරබන්දුගේ සොයාගත හැකි එකම කුඩා ඡායාරූපය ඇත්තේද මෙතැන පමණි.

PLEASE LISTEN VOICE ARCHIVE FOR TWO MINIUTES

අමරබන්දු රූපසිංහ ගැන ලියනවාට වඩා, මේ අගනා වෙබ් අඩවිය ගැන යමක් සටහන් කිරීම මගේ යුතුකමවේ. මේ මහඟු සද්කාර්යය පවත්වාගෙන යන්නේ අමරබන්දුගේ සමකාලීනයෙක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතාණන්ය. අශෝක තිලකරත්න යනු ඒ යුගයේ සිටි කෘතහස්ත මාධ්‍යවේදීන්, දැන උගත් පරිපාලකයින් අතරින්, අදටත් අප අතර ජීවමාන සිටිනා ජ්‍යේෂ්ඨයින් අතළොස්සෙන් එකෙකි. මේ නිහඬ රසවතා පවත්වාගෙන යන මේ අඩවිය තුළ, ඔබ නො ඇසූ, ගුවන් විදුලි මාධ්‍යවේදීන් පමණක් නොව, දෙස් විදෙස් රාජ්‍ය නායකයින්ගේ, වේදිකා , චිත්‍රපට නළු නිළියන්ගේ, ඇතුළු බොහෝ විෂයන්හී නම් දැරූ, ඒත් ඔබ නො ඇසූ ඔවුන්ගේ හඬ පටයන්ට සවන් දිය හැක. ඒ විද්වතුන්ගේ හඬ ගබඩා කර ඇත. එය මහඟු අත්දැකීමක්වනු නො අනුමානය. අශෝක තිලකරත්න මහතාණනි….මේ මගේ ප්‍රනාමයයි!!!!

මම දැන් නොසිතූ අකරතැබ්බයකට පත්වී සිටින්නෙමි. අමරබන්දු රූපසිංහ හා අරූගේ පෞද්ගලික කතා පටන් ගන්නට යැයි සිතාගත් තැනින් මේ සටහන පටන් ගතහොත්, මේ කොටස ගලපාගත නොහැකිවන බවක් මට සිතේ. ඒ මා දක්ෂ ලේඛන කුසලතා ඇත්තෙක් නොවනු නිසා විය යුතුය.සටහන කෙටි කරගැනීමට වීම මගේ අඩුවකි. තටම තටමා මේ වදන්නට යන්නේ මී පැටියෙක් විය හැකිය. එතකන් මට සමාවන්න..උණහපුළුවාට උගේ පැටියා මැණිකකි!!

නැවත හමුවෙන තුරු මේ ගීතයට සවන් දෙන්න. වීඩියෝ පටයක් සොයා ගත නොහැකිය. මාලනීගේ ආදරණීය නැඟණිය සන්ධ්‍යා බුලත්සිංහල පසුව ගයනා ලද මේ ගීතයේම වීඩියෝ පටයක් ඇති මුත් එය එතරම් පැහැදිලි නැත්තේ කාර්මික දුබලතා නිසා විය යුතුය.

ගැයුවේ….මාලනි බුලත්සිංහල
තනු හැදුවේ…..එච් එම් ජයවර්ධන
පද ලියා තැබුවේ…..අමරබන්දු රූපසිංහ

“හාමුදුරුවනේ” මෙතනට ගොස් සවන් දෙන්න. මීට වඩා පහසු කමක් ඇතොත් මටත් දන්වන්න.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

114 Responses to අවුල් වන්නට පෙර(52)..අමරබන්ධු රූපසිංහට පෙර , පෙරවදනක්

  1. Ajith Dharma says:

    සිංහල බෞධ්දයගේ ශෝචනීය කතාව මේ පද වැල් දෙකේ. : පරම්පරා ගානකට ඇති වන්න දවසක් ඇර දවසක් පන්සල් ගිහින් පින් කෙරුවත් , පස්සේ පරම්පරාවට ඒ පින් ලැබිල නැහැ. උන්ට කන්ඩ දෙන්න වෙලා තියෙන්නෙත් උපසකම්මට.

    • ඔව් අජිත්….. දරුවන්ගේ දරුවන්වත් රකින්න වෙලා. ඔය එක පැත්තක් . අනිත් පැත්ත තමයි..සංසාර චක්කරේ වගේ පවුලේ මහ දෙන්නාම රස්සාවට යන සාමන්‍ය පවුල්වල ආච්චිලා, සීයලාට තමයි දරුවන්ගේ දරුවොත් බලාගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සු මැරෙනකම්ම මේ ජීවිතවල හිරකාරයෝ වෙලා. යුරෝපයේ ආච්චිලා සීයලාට ඒ කරදරේ නැහැනේ. එකක් අපේ බැඳීම් වැඩියි. අනිත් එක අපි කාගෙන්ම හරි යැපෙන්නෝ.

  2. //අපි ඒ පාර හැඳින්වූයේ බලු බෙටි පාර කියාය.// :D:D

    අරූ පොඩි කාලේ ඉඳන් ගොඩක් ප්‍රසිද්ධ අය ආශ්‍රය කරලානේ. ඒ හන්දා වෙන්ට ඇති අතීතය ගැන මෙච්චර රසවත් කතා ලියවෙන්නේ.

    • පොඩ්ඩි……ඔය පාර තියෙන්නේ දෙල්කඳ ඉරිදාපොලයි, අටේ කනුවයි අතර ,අටේ කණුව අසලම. ඔය පාරට නමක් තියෙනවා. ඉස්සර පාරේ නම කිව්වාට කවුරුත් දන්නේ නැහැ. බලුබෙටි පාර කිව්වාම තමයි දන්නේ. වල් බල්ලෝ පිරිලා. ටෝච් එකක් නැතුව යන්න බැහැ. පාර පටන් ගත්ත තැන ඉඳන් ටිකක් දුරට යනකම් බල්ලෝ කැත කරලා. ඔය පාරේ නොයෙකුත් ප්‍රසිද්ධ උදවිය හිටියා.

      ආශ්‍රය කරලා වෙනුවට හමුවෙලා, ඔවුන්ගේ කතාබහට ඇහුම්කන් දීගෙන ඉඳලා, යමක් කමක් තේරුම් අරගත්තා කිව්වොත් තමයි හරි. මම තරුනයෙක්නේ. මේ අය වැඩිහිටියෝ.

      • තිස්ස says:

        විජේරාම ලේන් එක ගැන ද ඔය කියන්නේ?

        දැන් නම් අටේ කණුව, එතන තිබුණු මුරුත ගස, ඒ වාගේම එඩ්වින් ස්ටුඩියෝ එක කියන මේ එකකවත් ඡායාවක්වත් දකින්නට නැහැ.

        හතේ කණුව නම් ගලවලා පැත්තකට දාලා තියෙනවා.

        හයේ කණුව නම් තව ම විරාජමානව වැජඹෙනවා.

      • ඔව් තිස්ස……විජේරාම ලේන් තමයි. එතනම පාරේ පයිප්පේ. ඔය පාරට හැරෙන තැන එක පැත්තක ලොකු දර මඩුවක් තිබුනා. අනිත් පැත්තේ එඩී අමරසිංහ කියන නළුවාගේ පත්තර, පලතුරු පොඩි කඩය තිබුනා. එඩ්වින් ස්ටුඩියෝ, මානෙල් හෝටලය, කරුණානයක ස්ටෝර්ස්, කුෂන් කඩේ, සිරිල්ගේ තලගුලි ඒ කඩ පේලිය. අටේ කණුව ගාව ඒ තිබුණු ගහ නම් බොහෝ කාලයක් තිස්සේ ඉඳන් තිබුනු ගහක්. ඔය දිගටම ඉස්සර හරක් ලගිනවා.

        හතේ කණුව ගාව මස් කඩේ සහ කපුටන්ගේ රාජධානිය වෙච්ච විශාල බෝගහ. දැනුත් නිකං විජේරාමේ ඉඳන් නුගේගොඩට ඇවිදන් ගියා වගේ දැණුනා.

      • තිස්ස says:

        හතේ කණුව ළඟ තිබුණු ඒ මහා බෝධි වෘක්ෂ රාජයා මේ මෑතකදී කැපුවනේ… ජාතික අපරාධයක්. එතන තිබුණු මස් කඩේ නම් තාම තියනවා.

        හයිලෙවල් පාර දිගේ හිටවා තිබුණු හැතැප්ම කණු දැන් නැහැ (6 කණුව හැර). ඒ තියා 1977 දී හිටවපු කිලෝමීටර් කණුත් ගලවලා.
        A4 පාර දිගේ තිබුණු කිලෝමීටර් කණුවලින් 1 (කොළඹ 2 ලේක් හවුස් පොත්හල අසල) තියනවා, 2 (කොම්පඤ්ඤ වීදිය) නැහැ, 3 (දැන් පිත්තල හන්දිය කියන ස්ථානය) නැහැ, 4 (රාජකීය විදුහල ඉදිරිපිට) නැහැ, 5 (තුන්මුල්ල අසල) නැහැ, 6 (තිඹිරිගස්යායේ “උදුල” ගොඩනැඟිල්ල අසල) නැහැ, 7 (වැල්ලවත්ත රෙදි මෝල) නැහැ, 8 (කිරුළපන බෝ ගස) නැහැ, 9 (බලපොකුණ පාර අසල) තියනවා, 10 (ශාන්ත ජෝන් විදුහල ඉදිරිපිට) නැහැ, 11 (ගම් සභා හන්දියට කලින්) නැහැ, 12 (නුගෙගොඩ සිට එන විට, අටේ කණුවට කලින් පාරේ දකුණු පැත්තේ) නැහැ, 13 (නාවින්න හන්දිය) නැහැ, 14 (වත්තේගෙදර) නැහැ, 15 (මහරගම අනුෂා සිනමා ඉදිරිපිට) නැහැ, 16 නැහැ, 17 නැහැ, 18 නැහැ…. මම හිතන්නේ A4 පාරේ දැනට කණු ඉතිරි වෙලා තියෙන්නේ හෝමාගමින් පසුව.

      • තිස්ස says:

        අරු අයියා කිව්වට පස්සේ මටත් සිරිල්ගේ තලගුලි කඩය, මානෙල් හෝටලය, කුෂන් කඩේ, දර මඩුව කියන මේවා මතක් වුණා.

        විජේරාම ලේන් එකේ ඒ කාලේ පදිංචි වෙලා හිටියා රාජකීය විද්‍යාලයයේ NCGE/OL පන්තිවලට ගණිතය උගන්වපු කොතලාවල කියලා ගුරු මහතෙක්. මම හිතන්නේ එතුමා තවම ඒ පාරේ ම යි පදිංචිය.

      • තිස්ස…..හතේ කණුවේ බෝගහ නම් අවුරුදු 100ක් වත් පරණ ඇති. මට හොඳටම මතක හැතැප්ම කණු දෙකක් තමයි 25 කණුව හංවැල්ල, පහත්ගම පොලිසීය ගාව සහ 32 කණුව ඉහල තල්දූව, තැඹිලියාන. 32 කණුව ඉස්සරහට වෙන්න තිබුනු සොල්දර ගෙදර අපි කුලියට හිටියා 1979-80 වගේ කාලේ.

        කොතලාවල සර් මට මතක නැහැ. ඔය පාරේ තමයි හිටියේ යූ.ගමආරිය කියන ප්‍රසිද්ධ ජ්‍යෝතිශ්‍යවේදියා. ස්ටැන්ලි තිලකරත්නගේ මල්ලි වර්නන් තිලකරත්න.

      • ravisandu says:

        අරූ,

        අවුල්වන්නට පෙර කිව්වට උඹට දැනටම අවුල් වගෙ 😀

        යූ. ගමආරිය නෙවෙයි මචං ජෝතිස පොරගෙ නම ඩැනියෙල් ගමආරිය. මට හිතෙන්නෙ උඹට යූ. ආරියවිමල් එක්ක පැටලිලාද කොහෙද? 🙂

      • Ravi….අවුල් වගේ නෙමේ බං ෆුල් අවුල්. නිවැරදි කරාට උම්මා….ඒ ඩැනියල් තමයි. ඇත්තටම මචං ජ්‍යෝතිලාට වඩා කලාකාරයෝ තමයි මතක තියෙන්නේ 😀 යූ ආරියවිමල්ලා, ග්‍රේස්ලා, දයා තෙන්නකෝන්ලා, සමන් බොකලවෙලලා, සෝමසිරි දෙනිපිටියලා, කොස්තලා ඔලුවේ හොල්මන් කරනවා. උඹේ මේ පාර පෝස්ට් එකනම් මසුරං.

  3. ජීවන says:

    නියාම ට්‍රැක් එකකට අවුල් වන්න පෙර වැටිලා තියෙන්නේ.
    අවුල් වන්න පෙර ඔක්කොම ලියන්න,

  4. maathalan says:

    පක්ෂවලට දොස් කියලා වැඩක් නෑ අරූ. මේවා කළාකාරයන්ගේ වැරදි. අමරබන්දුලත් දේශපාළණය කරන්න ඇති. එහෙම නැතුව, ගුවන් විදුලියේ මුලු ස්ටාෆ් එකම අයින් කලේ නෑ නේ. කොයි ආන්ඩුව යටතෙත් උන්න නිවේදකයෝ, කළාකාරයොත් උන්නනේ. කළාකරුවා දේශපාළණය කරන්න යන එකයි මෙතන තියෙන වැරැද්ද. කොහොම හරි ඒ කාළේ බොහෝ නිවේදකයින්ට බොහොම ගැඹුරු කටහඬවල් තිබුනා.. අද නම් තැන තියෙන්නේ කටහඬට නෙමෙයි, ගොන් ජෝක්ස් දාන්න පුළුවන් එකාට. ගැහැණු නම් හොඳට සිරික්කිය දාන්න පුළුවන් එකීට. නොකරන එකම දේ තමයි නිවේදනය. මම ඔය සියල්ලන්ගෙන්ම කැමති ලලිත් එස් මෛත්‍රීපාලට.

    උඹ හරි වාසනාවන්ත මනුස්සයෙක්.. මේ ප්‍රසිද්ධ පුදගලයන් ඇසුරේ ලබන පන්නරය බොහෝම වටිනවා..

    මට එක ප්‍රශ්ණයක් තියෙනවා… වික්ටර් රත්නායක සොඳුරු මිනිසෙකද…? මම කියන්නේ නිර්මාණ ගැන නෙමෙයි.. පුදගලයා ගැන.. වර්ථමානයේ මම නම් දකින්නේ නොම්මර එකේ කුහක කළාකාරයෙක් විදියට..

    • ඇනොනිමසයා says:

      මාතලන් තමන්ගේ දේශපාලන පක්ෂය හෝදන්න ගියාට මෙතැන ඒක සාර්ථක වෙන්නෙ නැහැ.

      මොකද ගුවන් විදුලිය, ලේක් හවුස් වගේ තැන් වල 1977 දි ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තිය අන්තිම අමානුෂිකයි. ජේ. ආර්. කළේ යූ. එන්. පී. නොවුණු (ඇත්තටම යූ. එන්. පී. යට මැතිවරණයේදී කැපී පෙණෙනු වැඩක් නොකළ) සියළුම දෙනාගේ වැඩ තහනම් කරන එකයි. රස්සාව නැවත ගන්න නම් තමන් ශ්‍රී ලංකා නොවේය ඔප්පු කරන්න වුණා. මෙයින් ලොකුම අසාධාරණයක් වුණේ කිසිම දේශපාලනයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටි අහිංසකයින්ට. දේශපාලනයක් නොකළ කෙනෙකුට තමන් දේශපාලනය නොකළා කියලා ඔප්පු කරන්න බැහැනෙ. ඊට අමතරව බොහෝ දෙනෙක් තමන්ගේ ආත්ම ගෞරවය නිසා ජාතික සේවක සංගම් යුනියන් කාරයින් පස්සේ ගියේ නැහැ නැවත රැකියාව ගන්න. මෙහෙම කිහිප දෙනෙක්ම මා දන්නවා.

      • maathalan says:

        ඇනෝගෙ තර්කය වලංගු නොවන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සමස්ත කාර්ය මණ්ඩලයම ගෙදර නොගිය නිසා. අනෙක මගේ දේශපාළණ පක්ෂය කියලා එකක් නෑ. මම කිව්වේ පොදුවේ සිඳු වන දේ. ඔබට නම් පක්ෂයක් තියෙන බව පැහැදිලිව පෙනවා. දක්ෂයෙක්ගේ හෝ කිසිම කෙනෙකුගේ රැකියාවට කෙලින එක මොන ආන්ඩුව කලත් වැරදියි. ගුවන් විදුලියට දේශපාළණ්ය ගෙනත් ඒක ජරා තැනක් කළේ 1970 ආන්ඩුව. එතෙක් උනේ දක්ෂයා බැබලෙන එක. 70-77 යුගයේ ගුවන් විදුලිය ගැන එහි සේවය කළ කෙනෙක් ගෙන් විමසා සිඳු වූයේ කුමක්දැයි දැන ගන්න. අනෙක මේ යූනියන් වලින් සෙවකයන්ට වෙන සෙතට වඩා සිඳුවන අයහපත් නම් බොහෝ වැඩියි. මගේ අදහස නම් කිසිම ආයතනයක් තුල දේශපාළණ ශාඛා නිතිබිය යුතුය යන්නයි.

      • Anonymous says:

        මාතලන්ට දේශපාලන පක්ෂයක් නෑ කියන්නෙ පාප් වහන්සේට ආගමක් නෑ කියන්නා වාගෙම කියමනක් නෙවෙයිද?

      • @ ඇනොනිමසයා…….77 සම්බන්ධව මේ කියන කතාවට එකඟයි. රාජ්‍ය ආයතන සියල්ලකම පාහේ මේ වගේ පලිගැනීම් වෙලා තිබුනා. යුඇන්පී නොවූ බොහෝ දෙනා රැකියාව සම්බන්ධව විශාල චකිතයකින් ඉඳලා තියෙන්නේ. ඒ නිසාම තමයි 77න් පස්සේ ඔය කාටවත් දේශපාලනය නොකරපු අය බයට ජාතික සේවක සංගමයට බැඳිලා තියෙන්නේ. මාධ්‍ය ආයතනවල මේ මර්ධනය තදින් ක්‍රියාත්මක වුනා. ඒක පැහැදිලියි. මේ දේවල් හරි යැයි කියා කියනකොට වෙන්නේ, මෙවැනි දේ නැවත නැවත සිදුවීමට අනුබල දීමක්.

        යුඇන්පී යූනියන් එක පස්සේ නොගිය මිනිස්සු හිටියා. ඒ දවස්වල ජාතික සේවක සංගමයේ ඒ ඒ ශාඛා සභාපතිලා තමයි රැකියා සම්බන්ධ තීන්දු තීරන ගත්තේ කියලා පරණ අය කියනවා.

      • Ajith Dharma says:

        හපොයි මෙන්න මට මාතලන් ට විරුද්ධව කතා කරන්න අවස්ථාවක් ලැබුන පළමු වතාවට.හේ හේ . මතාගේ කතාව ඇත්ත 1970-77 යුගය සම්බන්ධ්ව. දේශපාලන පත්වීම ගොඩක් තිබ්බ. නමුත් ඒ වගේම හිටිය. අමරබන්දු ඒ වගේ . ජේ ආර් ට තිබ්බ වසල දේශපාලනය අත හැරලා මහත්ම දේශපාලනයක් කරන්න. .නමුත් එයාවත් , ප්රෙමදසවත චන්ද්රිකවත් ඒක කලේ නැහැ. සුන්දර්ජයා වගේ අය , තව ඇට ලෙවකන අය උන්ට තම හැම ආණ්ඩුවේම හරි ගියේ. අනෝ හා අරු සමග එකඟයි.

    • maathalan says:

      ඔව්.. පක්ෂය කියන්නේ දෙමව්පිය උරුමයෙන් ලැබෙන දෙයක් කියලා හිතා ගෙන ඉන්න කෙනෙකුට. පක්ෂය නෙමෙයි ආගමත් එහෙම දෙයක් කියලා හිතෙනවා ඇති. ඒකට ඉතින් මට කොරන්න දෙයක් නෑ. කනගාටුවනවා හැර.

      • deshakaya says:

        මාතලංට පක්ෂයක් පාටක් නෑ ආගමක් නෑ. ඒක බ්ලොග් එක බැලුවම පේනවා මිත්‍රයා..

    • මාතා…..මේ හැම ආයතනයකම දේශපාලනය තියෙනවා. වෘත්තිය සමිති හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ පක්ෂ දේශපාලනය තමයි. මේක අඩු වැඩි ප්‍රවනතාවයක්. ඊයේ පෙරේදා දැක්කානේ වරායේ ආරක්ෂක පුහුණු පාසලේ ඇතුලේ වෙච්ච දේ. දැන් මේවා ඇස් පනාපිට වෙනවා. ඉස්සර මතකනේ පෙට්‍රෝලියම් එකේ සිරිනාල් ද මැල්ලා හරහා යුඇන්පී දේශපාලනේ.

      අමරබන්දු ශ්‍රීලංකා කාරයෙක් තමයි. ඒක කවුරුත් දන්නවා. නමුත් ශ්‍රීලංකා කාරයෙක් වීම නිසාම පාරට ඇදලා දානවානම් ඒක සාධරන වෙන්නේ කොහොමද. මේ දේශපාලන පත්වීම් නෙමෙයිනේ සභාපතිලා, වර්කිං ඩිරෙක්ටර්ස්ලා වගේ.
      ලලිත් එස් දක්ෂ මාධ්‍යවේදියෙක් තමයි. වාසනා උදාව, මධුමාධවි වගේ වැඩ සටහන් මට මතකයි. ඔහු සභාපති වූවාට පසු , කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුනද මන්දා. ඒ වෙනකොට ගුවන් විදුලිය ප්‍රේමදාසගේ බලඇනියක් වෙලා ඉවරයි.

      වික්ටර් රත්නායක ගැන කියන්න මම ඔහු ඇසුරුකර නැහැ. ඔය අමරේ අයියලා සෙට් වෙලා ඉන්න කොට, මටත් පැත්තකින් වාඩිවෙන්න පුටුවක් තිබුනා. මමත් ඉතින් කටත් ඇරන් අහන් ඉන්නවා මිස ඇසුරක් පවත්වන්න අපි පොඩියිනේ ඒ කාලේ.

      • maathalan says:

        එහෙම කරන්න බෑ.. එහෙම කරන එක වැරදියි.. ඒත් අදත් එහෙම වෙනවා.. ඒකයි මම කිව්වේ කළාකාරයට දේශපාළණයක් අවශ්‍ය නැතෙයි කියලා.. මාධ්‍යවේදියාට දේශපාළණයක් අවශ්‍ය නැතෙයි කියන එකයි මගේ මතය.. ඒක ඔහුගේ පෞදගලික කාරණයක් විය යුතුමයි.. ඒකයි දියුණු රටවල මාධ්‍යවේදියා දේශපාළකයාට වඩා බලවත්.. නැත්නම් මැදිහත් සිතින් දෙයක් දෙස බලන්න බෑ. දැන් අරූ උනත් මෙතනදි අමරබන්ධු ගැන කතා කලාට. අමරබන්ධුලාගෙන් ජෝතීලාට උන අසාධාරණය ගැන නිහඬයිනේ.. දේශපාළණය නොකරපු එකා හැමදාම රැඳෙනවා..

      • මාතා…මචං උඹ මේ දක්වන අදහස්වලට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒක තමයි විය යුත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නොවෙන එකයි. හැමෝටම දේශපාලනයක් තියෙනවා. ඒක පොදු මාධ්‍යයකදි උලුප්පා පෙන්වීමත්, මධ්‍යස්ථ භාවිතවක් නැති එකයි තියෙන කරුමේ. සිරසෙ සුරංග සේනානායක ඒකට හොඳ උදාහරනයක්. අපි කැමති වුනත් නැතත්, ලංකාවේ විතරක් නෙමේ ලෝකේම බැලුවත් බොහෝමයක් මාධ්‍ය කරුවන් කෙසේ වෙතත් මාධ්‍ය ආයතන නම් පවත්වාගෙන යන්නේ තම තමන්ගේමවූ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව බවයි මගේ හැඟීම.

        //////අමරබන්ධුලාගෙන් ජෝතීලාට උන අසාධාරණය ගැන නිහඬයිනේ.. //////
        මෙන්න මෙතන නම් උඹ වැරදියි…..මම මේවාට විරුද්ධව මගේ මතය කිව හැකි හැම අවස්ථාවකවම කියලා තියෙනවා. 77න් පෙර යුගයේ ජෝතිට එහෙම අසාධාරනයක් වුනාද කියලා මම දන්නේ නැහැ. අමරබන්ධුලා ඒවාට සම්බන්ධනම් ඒවා වැරදියි. ඒ නිසා තමයි මම කිව්වේ ඔහුගේ රාජකාරි යුගය ගැන මම බොහෝ දේ දන්නේ නැහැ කියලා. ඔය වගේ දේශාපාලන හේතුමත පරිප්පු කාපු බොහෝ කලාකරුවෝ හිටියා. ඒ මිනිස්සුන්ට වෙච්ච අසාධාරනයට එදත්, අදත්, හෙටත් විරුද්ධවයි.

        යුඇන්පී කාරයෙක් කියලා ලේබල් ගහපු ජෝතිලාට රූපවාහිනියෙ දොර වැහුනෙත් යුඇන්පී ආණ්ඩු කාලෙම තමයි. අදටත් ඒ කළු පැල්ලම අයින් කරන්න බැහැ.

        /////දේශපාළණය නොකරපු එකා හැමදාම රැඳෙනවා..///////
        මේකේ අනිත් පැත්තත් එහෙමයි……දේශපාලනය කලත් සදා රැදෙන්නත් පුළුවන්…දෙපැත්තට මාරුවෙවී රෙදි කරේ තියන් කඩේ යනවානම්. ගුවන් විදුලියෙන්ම උදාහරන ගත්තොත්….හඩ්සන් සමරසිංහ, ඒරානන්ද හෙට්ටිආරච්ච්..තවත් ඇති ඕන තරම්.

      • Ajith Dharma says:

        ජෝතිව කපපු එක වැරදියි 70-77 ආණ්ඩුව විසින්. ඒ ඊට පස්සේ නන්දාව , කපුගේව කපුවා 77න පස්සේ ආණ්ඩුව. ලංකාවේ ඉන්න ඉරිසියාකාර මැටි මොල්ලු.

    • maathalan says:

      කරන කළට පව් මීරිය මීසේ.
      විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ..

      • ඒක නම් ඇත්ත මචෝ….ඕක අපි කාටත් පොදුයි. රෑට බීලා උදේට විඳවනකොටත් අපේ හාමිනේ ඕක මට ඇහෙන්න කියනවා 😀

      • Chandana says:

        //රෑට බීලා උදේට විඳවනකොටත් අපේ හාමිනේ ඕක මට ඇහෙන්න කියනවා// හෙහ් හෙහ්.. 😀

    • Anonymous says:

      //වික්ටර් රත්නායක සොඳුරු මිනිසෙකද…? මම කියන්නේ නිර්මාණ ගැන නෙමෙයි.. පුදගලයා ගැන.. වර්ථමානයේ මම නම් දකින්නේ නොම්මර එකේ කුහක කළාකාරයෙක් විදියට..//

      ඔබ මෙ කියන කතව හොදටම තෙරෙනව ඊයෙ (11/09/2014) ITN එකෙ පද්ම තටකය බෑලුවනම්

  5. Anonymous says:

    In a parallel universe,

    වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නායකයකු වූ රෝහණ වීරසූරිය නියත වශයෙන්ම මිය ගිය බැව් අප දැන ගත්තේ දොළහයි හතළිස්පහේ ගුවන් විදිලි ප්‍රවෘත්ති වලටය.

    ආණ්ඩුවට නිසැකවම මේ පුවත යට ගැසීමට ඕනෑ වෙන්ට ඇත. නමුත් මේ සංක්‍රාන්ති සමයේ හැම රජයේ ආයතනයකම යූ. එන්. පි. යට හිතැති පොඩ්ඩන් ලේයරයක් බිහිකිරීම තුළින් ඒවායේ පාලනාධිකාරියටවත් කර ගන්ට නොහැකි වූ දේවල් මේ ආයතන වලින්ම කර ගැනීමේ කලාව ජේ.ආර්. මෙන්ම ප්‍රේමදාසද ප්‍රගුණ කළ සිටියෝය. සමහරවිට ගුවන් විදිලියේ ප්‍රවෘත්ති කියැවූ නිවේදකයා කියවන්ට ඇත්තේ පිටපතේ නැති දෙයක් විය හැකිය. ඒ ගැන විනය පරීක්ෂණයක් පැවැත්වෙන්ටත් ඔහුට ගෙදර යන්ටත් සිදුවිය හැකිය. නමුත් ආණ්ඩුවක් මාරුවෙන්ට තියෙන සංක්‍රාන්ති සමයේ මෙවැනි අවදානම් ගන්ට කැමැත්තෝ වෙති.

    (15) පොලිස් වෙඩි පහරින් පේරාදෙණියේ සරසවි ශිෂ්‍යයකු මරුට || A death at Peradeniya University

    • ඇනෝ…….බොහොම ස්තූතියි මේ කොටස මෙතනට ගෙනත් දැම්මාට. මම මේ ලිපි පෙළ අවසන් වෙනතුරු කියෙව්වා. මෙතන සඳහන් එක කොටසකට මගේ මතකය දිව ගියා,

      77 මැතිවරනය යුඇන්පීය දිනන අවස්ථාව වනවිට ගුවන් විදුලියේ ඒ පක්ෂෙට අයත් කොටස් වහා සක්‍රීය වුනා. ඒ ඔබ සඳහන් කරනා කොටස් එකතුවී අග්‍රාමාත්‍ය ඒකකය කියා යමක් අටවා ගත්තා නායකයින්ගේ අනුදැණුම ඇතිව. ඒවාට මූලික වුනේ හඩ්සන් සමරස්ංහ, සරත් විමලවීර වගේ අය කියලා අසා තිබෙනවා. සරත් විමලවීරට පසුව මොනවා වුනාද කියාවත් මතක නැහැ. දැන් නම් ගුවන් විදුලි සංස්ථා පාලකයින් ගැන කතා කල යුතුවන්නේ නැහැ. උදේට අර ගාලගෝට්ටිය ඇහුවාම සනීපයි කියලා දන්න උදවිය කියනවා.

  6. Anonymous says:

    ප්‍රොපයිල් එකෙන් මේ බ්ලොගේ කමෙන්ට් කරන්නට බැරි ලෙඩක් තියෙනව මචං.ඒ නිසා පහුගිය කොටසටත් කමෙන්ට් එකක් ලියන්න බැරිවුනා.මම හැලපයා.\
    අද කොටසින් කියන්නට ගියපු දේ කියාගන්න බැරිව ගියා නේද?කමක් නෑ රසයෙ අඩුවක් නෑ.මෙවැනි සොඳුරු මිනිසුන් ඇසුරු කරන්නට වාසනාව ලද ඔබ සැබවින්ම වාසනාවන්තයෙක්.ඒ නිසා මේ අත්දැකීම් අඩුවක් නැතුවම ලියල තියපන්.

    • Anonymous says:

      මචං,මේකත් උඹේ තව පෝස්ට් එකකුත් ලංකා නිව්ස් වෙබ් එකේ පලකරලා තියෙනවා.
      මගේ සුබ පැතුම්!!!

      • ඉන්දික උපශාන්ත says:

        මම හිතන්නෙ මේ පෝස්ට් එතනට යවන්නෙ අජිත් ධර්ම. මොකද කලින් ඉවාන්ගෙ මාතලන්ගෙ සහ බස්සිගෙ පෝස්ට් පළකරන්න මැදිහත් උනෙත් අජිත්. අජිත්ට ස්තූතියි බ්ලොග් වලට දෙන අත හිතට!

      • @ හැලපෙ & ඉන්දික…..ඇත්තටම මේ වැඩේ කරන්නේ අජිත් තමයි. ඒ දිරිගැන්වීම ගැන දහස් වාරයක් ස්තූතියි. මට පෝස්ට් එකට ෆොටෝ දාන්න දන්නේ නැතිවුනත්…ඒ වෙබ් එකෙන් පෝස්ට් එකට උචිත, ෆොටෝ එකක් දානවා. ඒක නම් අති සාර්ථකයි. ස්තූතියි ලංකා නිව්ස් වෙබ්!!!!

      • Ajith Dharma says:

        මෙතන වෙ න්නේ මෙහෙම දෙයක්. හැමෝම හැම තැනම අරක් ගෙන ඉන්නේ. ලොකු ලොකු නම් ඇතිව. නමුත් citizen journalism එක ඊට වඩා බලවත්. ලංකා නිව්ස් වෙබ් එක ඒකට අත හිත දෙනවා. ඒක හොඳයි. බ්ලොග් අවකාශයේ ඉතා හොඳ නිර්මාණ සහ ලිපි පල වෙනවා. ඒවා හැම එකක්ම හඹා යන්න වෙලාවක් නැති කමයි තිබෙන්නේ.. මට හිතෙන්නේ මේ තමා අනාගතය කියල.

      • Ajith Dharma says:

        @ඉන්දික , බොහොම ස්තුතියි කොමෙන්ට් එකට. ඒ ගෞරවය යන්න ඕනේ ලන්ක්නනිව්ස්වෙබ් එකේ කතුතුමාට. එවැන්නකට එකඟ වීම ගැන.

    • ////අද කොටසින් කියන්නට ගියපු දේ කියාගන්න බැරිව ගියා නේද/////

      හැලපේ…….ඔව් බං. මම මේක වචන 1500කට වගේ කටු සටහනක් ලිව්වා. පස්සේ මට ඕන වුනා මගේ කතාවට අමතරව අමරෙ අයියා ගැන පොඩි සටහනකුයි,Voice Archive එක ගැන යමක් සඳහන් කරන්නයි. ඒ වැඩෙන් පස්සේ අර කතාවට ගලපගන්න විදිහක් නැතුවුනා. ඒ නිසා එතනින් නැවැත්තුවා.

      හැලපේ..මචං අර සද්දන්තයින්ව ඇසුරු කරනවා කියනවාට වඩා සුදුසු ඔවුන් අසල ගැවසුනා කියන වචනය. ඇත්තටම ඒක තමයි හරි. මට මාර මිනිස්සු ටිකක් හම්බවුනා. ඔවුන් ඒ ඒ ක්ෂේත්‍රවල දැවැන්තයෝ. මම ලියාගෙන යන්නම්. ඒ දවස්වල තේරුමක් නැහැනේ බං. නැත්නම් බොහෝ දේ ඉගෙන ගන්න තිබුනා.

      ඇනෝ මොකද හැලපේ මොකද…ඕන විදිහකට දාපන් 😀

      • http://manogeloka.blogspot.com/ says:

        //ඇනෝ මොකද හැලපේ මොකද…ඕන විදිහකට දාපන්//
        හැබැයි හැලපයියේ ඇනෝ දාන කොට ඔය වගේ කියලා දාහන්,නැතිනම් කියයි උඹට හැලපයා නෙමේ ලැවරියා කියලා.අර එක පාරකුත් කිව්වා වගේ.

      • ලැවරියා වගේද හැලප මනෝ….. wrap කරලා මාකට් එකට එන්නේ 😀

  7. rasikologist says:

    රේඩියෝ, ටීවී සහ වෙනත් මාධ්‍යකරුවන් දේශපාලනයට බැස්සාම වැඩසටන්වල සමබරර්හාවය නැතිවෙනවා.

    • අපොයි ඔව් රසික. ඒක ගැන ආපහු මොනවා කියන්නද. දන්න කාලේ ඉඳන් අපි ඕක අත් විඳිනවානේ රාජ්‍ය මාධ්‍යවල. දැන් බොහෝ කලකට ඉඳන් පෞද්ගලික මාධ්‍යවලත් ඔය සෙල්ලමම තමයි. නරකද කස්ටිය එකතුවෙලා ‘බ්ලොග් ටීවී’ කියලා එකක් හරි ‘බ්ලොග් FM’ කියලා එකක් හරි පටන් ගත්තොත් 😀

  8. මිනිසා දේශපාලන සත්වයෙකි කියලා කියමනක් තියනවනේ. මිනිස්සු දේශපාලනේ කරන්නේ නැත්නම් සත්තුද කරන්නේ. හැබැයි අද ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරය දේශපාලනය කරන්නේ සත්තු වගේ. රාජ්‍ය ආයතන තුළට දේශපාලනය රිංගීම ඇරඹුනේ බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේදී. ඊට පසේ ආව ජනසතු ව්‍යාපාර වලදී මිනිස්සුන්ට වැරදි අදහසක් දුන්නා ජනසතු කල ආයතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බූදලය කියලා. ලංගම, වරාය, ඛනිජ තෙල්, වැනි ආයතන තුළට මහා පරිමාණයෙන් දේශපාලනය රිංගුවා. ගුවන්විදුලියටත් උනේ ඒ ටික තමයි. ඒ ක්‍රමය තවත් ජරා විදිහට ජේ.ආර්. ප්‍රේමදාස යුග වලදී වර්ධනය වුණා.

    අමරබන්ධු ප්‍රවෘත්ති කියනකොට නොවැදගත් දෙයක් වුනත් වැදගත් විදිහට දැනෙනවා. ඒ හඬ අහගෙන ඉන්න ආසා හිතෙනවා. කේමදාස මාස්ටර්ගේ කැසට් වල හැඳින්වීම් ඉතා සංවේදීයි. අමරබන්ධු දේශපාලනය කළා. කාටහරි ගුවන්විදුලියෙදී යකඩ පොල්ලකින් ගැහුවා කියලා විනය පරීක්ෂනයකුත් තිබුනා ඔහුට එරෙහිව. මේ වගේ මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් අරන් ඔවුන්ව බලාගැනීම තුළින් ඔවුන්ගේ කුසලතාවය අනාගත පරපුරටත් දියහැකි බව එකෙක්වත් තේරුම් ගන්නේ නැහැ. පක්ෂ දේශපාලනය තමයි ලොකු. අප්පල්ලයක් වගේ කුණු කටකින් අද උදේ හවස ගුවන්විදුලියෙන් හඩු ගඳ විහිදෙන්නේ ඒ තුප්පහි දේශපාලනය නිසයි.

    අරු අ.රූ. ගැන ලියනකොට බොහොම රසවත්. ලිපිය කෙටි වැඩියි. මෙව්වා ලියනකොට පතරංග ජාතකේ වගේ දිගට දිගට ලියන්න ඕනෙ. 😀

    • ///මිනිසා දේශපාලන සත්වයෙකි කියලා කියමනක් තියනවනේ. මිනිස්සු දේශපාලනේ කරන්නේ නැත්නම් සත්තුද කරන්නේ. හැබැයි අද ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරය දේශපාලනය කරන්නේ සත්තු වගේ. රාජ්‍ය ආයතන තුළට දේශපාලනය රිංගීම ඇරඹුනේ බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේදී. ඊට පසේ ආව ජනසතු ව්‍යාපාර වලදී මිනිස්සුන්ට වැරදි අදහසක් දුන්නා ජනසතු කල ආයතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බූදලය කියලා.///////

      විචා….ඇත්තටම මේ කමෙන්ට් එක තුල බොහෝ දේ කතාකල යුතුව තිබෙනවා. දේශපාලනයකින් තොර මිනිසුන් සිටීනම් ඔවුන් නිදහස් නිවහල් මානසිකත්වයකින් තොර එක්තරා ආකරයක පොරවල්. ඔවුන් දෙන දේ බුදින සහ ලැබෙන දේ විඳින නිර්වින්ධිත මනුස්ස කොටසක්. මම කියන්නේ පාට පාට දේශපාලනය නෙමේ. එතනින් එහාට ගිය වෙනත් ධර්මතාවයක්. උඹ මේක තේරුම් ගනිවී යැයි මම හිතනවා.

      ////ජනසතු කල ආයතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බූදලය කියලා.///////
      සහතික ඇත්ත. ඊට පස්සේ 77න් පස්සේ රාජ්‍ය ආයතන යුඇන්පියේ බූදල කියලා හිතුවා. ඔය හැම ආණ්ඩුවක්ම ඕක තමයි කරේ. දැන් මේ ආණ්ඩුව හිතන්නේ සියල්ලක්ම සංධානයේ කියලානේ. එහෙම නෙමේ දැන් තියෙන්නේ, සියල්ලකම අප පවුලේ කියලා. දිනෙන් දින වහලුන් වීම හැර වෙන කුමක්ද…

      අමරබන්දු හෝ තව ඕනෑම කෙනෙකු හෝ වේවා, වරදක් කරා නම් දඬුවම් ලැබිය යුතුයි. ඒ ක්‍රමවේදය තුල මිනිස් අයිතිවාසිකම් සුරැකීම රජය සතු වගකීමක්. වෙඩි තියලා මැරුවත් එකයි…එල්ලුම් ගස් යැවුවත් එකයි…ඔය විදිහට පවතින පලීගැනීම් තුල පෙන්නන්නේ ගෝත්‍රික ලක්ෂන මිස වෙන මොනවාද….එක තැනකදී ගෝත්‍රිකයෙක් වීමයි, තව තැනකදි එය සාධාරනීකරනය කිරීමත් ගෝත්‍රික ලක්ෂනයක් නෙමේද..අනේ මන්දා විචා…අපි ලාංකිකයෝනේ. මේ ගෝත්‍රික ලක්ෂන අපි ගාව තාම තියෙනවා. ඒවා සමහරුන්ට විජ්ජා වගේ. එක අතක අමු ගෝත්‍රිකයා….අනිත් අතේ ලිබර්ටි කුළුණ.

      පතරංගයක් අතේ තියෙනවා…පත්තු කරගන්න වෙලාවක් නැහැ 😀

      • විචා….මම මේ කිව්වේ කිසිවෙක්වත් ටාගට් කර නෙමේ. මමද ඇතුලු අප සමාජයේ සැබෑ ස්වභාවයයි. අපි තව කතා කල යුතුයි. මා නිරතුරුවම ඉල්ලා සිටින්නේ මේ සොඳුරු සංවාදයයි.

  9. deshakaya says:

    දක්ෂ නැති ලියන්න තටමා දාපු මී බෙට්ට රස විද සතුටු උනෙමි.. මෙවැනි අය ඇසුරු කළ ඔබ වාසනාවන්තය..

    • Chandana says:

      චී…..යා.. මෙයා මී බෙටි කාලා 😛

    • දේශකයා…..උඹ මේ දවස්වල තටමන්නෙවත් නැහැනේ 😀
      මම දැක්කා නොයෙකුත් කරදර තිබුනා කියලා. ඕවා ඔහොම තමයි.

      කරදර පොදි බැඳ….ගැල පිට පටවා

  10. ග්‍රන්ථ කතුවරයෙක්ද, බ්ලොග් කියවනා වටිනා සහෘදයෙක්දවන දොස්තර රුවන් ජයතුංග මහතාගේ අවසරය හා කැමත්ත මත, එතුමා විසින් රචිත මෙම ලිපිය, ඔබේ කියවීම සඳහා මෙහි ඇතුලත් කරමි.
    =========================================================

    තක්සලාවක් වු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

    වෛද්‍ය රුවන්එම්ජයතුංග
    ඒ 1985 සැප්තැම්බර් මාසයයි. අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ලැබෙන දිග නිවාඩුව මම ගත කරමින් සිටියෙමි. මා සමග කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස්පෙළ හැදෑරු සිසුන් බොහෝ දෙනෙකු පරිගණක , විදේශීය භාෂා අධ්‍යයනය වැනි කාර්යන් වල නිරත වී සිටියහ. නිකරුනේ ගෙදර කාලය ගත කිරීම නුසුදුසු බව සැලකු මගේ පියා තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස වැඩ කොට අත්දැකීම් ලබා ගන්නා ලෙසට මා උනන්දු කළේය. එම නිසා ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් මම යැව්වෙමි. මා විසින් යවන ලද ඉල්ලුම්පත්‍රය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලිවී විජේමාන්න මහතා අනුමත කළේය. ලිවී විජේමාන්න මහතා මට මුලින්ම හමු වුයේ නාලන්දා විද්‍යාලයේ ඉන්ටර්ඇක්ට් සංගමය විසින් සංවිධාන කල වැඩමුළුවකට ආරාධිත කථිකයා ලෙස සහභාගී වු අවස්ථාවේදී ය. මම එම සංගමයේ කොමිටියේ විධායකයෙකුව සිටියෙමි. ඔහුට මා මතක තිබුනද වැඩි මිත්රශීලි මුහුණක් නොපෙන්වා මාව අධ්‍යක්ෂ ජෙනරාල් වීරමන් මහතා වෙත යොමු කළේය. ලිවී විජේමාන්න මහතා සේවා ස්ථානයේ තද විනය පාලකයෙකු වු නිසා එසේ හැසිරුණු බව මා පසුව අවබෝධ කර ගත්තෙමි. ඔහු ඉතා ව්‍යක්තව ඉංග්‍රීසි භාෂාව කතා කළේය. එසේම අගය කල හැකි පෞරුෂයක් ඔහුට තිබුනේය. ඔහු ගුවන් විදුලියේ උන්නතියට බොහෝ දේවල් කළේය. එෆ් එම් රේඩියෝ සේවාව ලංකාවට හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය.
    මම වීරමන් මහතාගේ කාර්යාලයට යන විට ගන්ධර්ව අමරදේව ද එහි සිටියේය. පත්තර වලින් සහ රූපවාහිනියෙන් දැක සිටි පණ්ඩිත් අමරදේවයන් සජීවීව ප්‍රථම වතාවට මා දුටුවේ එදාය. මම අමරදේවයන් අසල පුටුවක වාඩි වුයෙමි. මට ඇලෙක් රොබට්සන් මහතා සමග වැඩ කිරීමට නියම කෙරුණි. වීරමන් මහතාගේ කාර්යාලයෙන් එලියට පැමිණි මට ගුවන් විදුලි සංස්ථාව පිලිබඳ අනුස්ථාපනයක් ලබා දෙනු වස් ඇලෙක් රොබට්සන් මහතා ගුවන් විදුලි සංස්ථාවේ නොයෙකුත් අංශ වෙත මා ගෙන ගියේය. ඔහු මට අරුන් ඩයස් බණ්ඩාරනායක , ජිමි බරුචා සහ ගයි බිබිලේ හඳුන්වා දුන්නේය.අරුන් ඩයස් මට ගුවන් විදුලි නිවේදනය පිළිබඳව කියා දුන්නේය. ජිමි බරුචා ඒ දින වල බීබීසීය සමග වැඩසටහන් වගයක් කිරිමට සැලසුම් කරමින් සිටියේය. ගයි බිබිලේ විහිලුකාරයෙකි. තැන නොතැන බලා විහිළු කථා කියන්නෙකි. ඔහු විහිළු කථා කියා අපව ප්‍රබෝධමත් කළේය. එදින ඇලෙක් රොබට්සන් මහතා මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය. මෙම වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මට සිදු විය. ඇලෙක් රොබට්සන් මහතා ගේ මග පෙන්වීම මත මම ඒ කාර්යය සාර්ථකව නිම කලෙමි.මෙලෙස උසස් පෙළ නිම කල සිසුවෙකුව සිටින අවධියේ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් ,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , මහාචාර්ය ලිලී ද සිල්වා, මහාචාර්ය ජෝතිය ධීරසේකර (මෙතුමා වර්තමානයේ භික්ෂුවකි) , මහාචාර්ය නිනියන් ස්මාර්ට් , ආචාර්ය ලීල් ගුණසේකර , වැනි උගතුන් සමග සංවාදයේ දීමට , ඔවුන් සමග අදහස් හුවමාරුවට අවකාශය ලැබුණි. පණ්ඩිතයන්ගේ සෙවනැල්ල අසල සිටීමත් දැනුම වඩවන කරුණක් බව මට ඒ කාලයේදීම අවබෝධ විය. දැනුම සොයා යාම කෙරෙහි මා යොමු වන්නේ මෙවැනි උගතුන්ගේ අභාෂණය නිසා බව මට සිතේ.
    වරක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මට ඇමරිකානු නාට්‍යවේදී ආතර් මිලර් ගේ ඩෙත් ඔෆ් එ සේල්ස්මන් කෘතිය පිලිබඳ පැයක පමණ දේශනයක් ගුවන් විදුලි සංස්ථා ඉදිරිපස ගොඩනැගිල්ල ඉදිරිපිට දී කළේය. ජනමාධ්‍ය කලාව ඉගෙන ගැනීමට ඔහු මට උනන්දු කළේය. නමුත් මම යොමු වුයේ මනෝ වෛද්‍ය විද්‍යාවටය. එහෙත් මා තුල විකසනය නොවූ නිර්මාණකරුවෙකු සිටින බව මටත් පෙර ඔහු අවබෝධ කරගෙන සිටින්නට ඇති. ඉන් වසර 24 කට පසු මා විසින් ලියන ලද බුදු දහම සහ මනෝ විද්‍යාව සංසන්දනාත්මක කෘතිය ගැන ඔහු කෙටි ග්‍රන්ථ විචාරයක් ඩේලි නිවුස් පත්‍රයට ලිවීය. ආචාර්ය ලීල් ගුණසේකර පිලිබඳ මා දැන සිටියේ ඔහුගේ පෙත්සම , අත්සන යන කෘති මගිනි. එම පොත් දෙක මා කියවුයේ පහේ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ දිය. ඔහු හමු වු විට මට දන්නා හඳුනන කෙනෙකු හමු උනාක් බඳු හැඟීමක් මට ඇති විය. මම පෙත්සම කෘතියේ චරිත ගැන ඔහුගෙන් ඇසුවෙමි. ඔහු ඉතා සතුටින් මට පෙත්සම , අත්සන යන කෘතීන් ලිවීමට පාදක වු කරුණු හෙළි කළේය. පසු කාලයක 71 කැරැල්ල පිළිබඳව මා විසින් ලියන ලද විමර්ශනාත්මක ග්‍රන්ථයේ පෙරවදන ලියන ලද්දේ ආචාර්ය ලීල් ගුණසේකර විසිනි.
    වරක් මගේ වැඩසටහනකට ගාමිණී ඊරියගොල්ල මහතා පැමිණියේය. ඒ කාලයේ ඔහු උතුරේ ත්රස්තවාදී ක්‍රියා නැවැත්වීමට සීමිත දේශපාලන සහ හමුදා බල සහිතව තමන්ව යාපනයට යවන ලෙසට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබුණි. වැඩසටහන් පසු මම මේ පිළිබඳව ඔහුගෙන් විමසුවෙමි. ගාමිණී ඊරියගොල්ල මහතා පැයකට අධික කාලයක් මට උතුරේ ගැටලුව පිළිබඳව එතුමාගේ අදහස් ඉදිරිපත් කළේය. 2002 වසරේ මා විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කෘතියට එතුමා විසින් පවසන ලද යම් යම් කරුණු ගැන විශ්ලේෂණයක් ද අඩංගු විය, නමුත් එම කෘතිය පිට වු සමයේදී දී එතුමා ජිවතු අතර නොසිටියේය. 1986 ජනවාරි මාසයේදී පමණ පුනරුත්පත්තිය පිලිබඳ වැඩසටහනක් කිරීමට අපට මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවශ්‍ය විය. එම වැඩ සටහනට ආරාධනා කිරීමට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමු වීමට කිරීමට මම වෛද්‍ය විද්‍යාලයට ගියෙමි. එම කාලයේ රාජ්‍ය මාධ්‍ය මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ට නිල නොවන වාරණයක් පනවා තිබුනේය. ඔහුගේ පැමිණීම අපට ප්‍රශ්නයක් විය හැකි බව කියූ මහාචාර්ය කාලෝ අපගේ ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. මම 2009 වසරේදී පුත්තලම නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට අනුබධිතව දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය සම්බධිකරණ නිලධාරී ලෙස සේවය කරන විට මා ඇතුළු වෛද්‍ය බුද්ධික විජේගුණරත්න , වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි සෞඛ්‍යය අධ්‍යාපන නිලධාරී ධර්මදාස පින්නවල විසින් ලියන ලද දුම්කොළ භාවිතයේ ආදීනව විස්තර කෙරෙන “දුම්කොළ මාරයා ” සෞඛ්‍යය අධ්‍යාපන කෘතිය දොරට වැදීමේ උළෙලට මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැමිණියේය. එදින මට එතුමා සමග නිදහස් ව කථා කිරීමට හැකි විය. අපගේ 1986 වසරේ හමුවීම ගැන මහාචාර්ය කාලෝ ට මතක තිබුණි.
    මට රිචඩ් සොයිසා සහ රවී ජෝන් ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංශයේ දී නිතර හමු වේ. රිචඩ් ශාස්ත්‍රීය සංගීත තැටි සොයන අතර මම ඊගල්ස් , ඩීප් පර්පල් වැනි රොක් සංගීත කණ්ඩායම් වල තැටි සොයමින් විදුලි සංස්ථාවේ තැටි අංශයේ සේවය කරන ගුණසේකර ව වෙහෙසට පත් කරමි. ඒ අතර වාරයේ රවී ජෝන් එවකට ජනප්‍රිය සින්දුවක් ව පැවති එල්ටන් ජෝන් ගේ නිකිටා සින්දුව මහා හඬින් වාදනය කරයි. රිචඩ් සොයිසා සහ රවී ජෝන් අකාලයේ ජීවිත වලින් සමු ගත්හ. මොවුන් දෙදෙනා තුල තිබු ප්‍රතිභාවට සම කල හැකි කුසලතාවන් තිබු කිසිවෙකු මට පසුගිය දශක කිහිපය පුරා හමු වී නැත. අනාගතයේද හමු නොවන බව මගේ විශ්වාසයි. රිචඩ් සොයිසා රැඩ්යඩ් කිප්ලින් ගේ පොතක ජේදයක් කියවන හඬ මට දැනුදු මතකයට නැගේ. ඔහුගේ ඉංග්‍රීසි සාහිත්‍ය උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබුණි. මෙලෙස කුලතාපූර්ණ මිනිසුන් ගණනාවක් අපගේ දෑස් ඉදිරිපිට මිලිනව ගියහ. ඒ අතර අපගේ පරම්පරාවේ ළමුන් අතර ජනප්‍රිය වු ලන්දේසි දුපත ගුවන් විදුලි නාට්‍යයේ දිල්ජෝන් චරිතයට පණ පෙවූ කරුණාතිලක හඳුවල ද විය. ඔහු ඒ කාලයේ නොසෑහෙන්නට මධුවිත ගත්තේය. පසු කාලයක ඔහු අකාලයේ මිය ගිය පුවත මට ආරංචි විය. ඝාතනය කරන ලද මාධ්‍යවේදී ප්‍රේමකිර්ති ද අල්විස් මා ගුවන් විදුලිය දැක සිටි නමුත් මට ඔහු සමග කිට්ටුවෙන් කතා කිරීමට අවස්ථාවක් නොලැබිණි. නමුත් සාගරිකා ගෝමස් මා සමග කථා කොට තිබේ. කුඩා කාලයේදී සාගරිකා සහ මම සෝමා කිරිඇල්ල මියගේ රන් කුකුළයි කථා දෙකයි ළමා නාට්‍යයේ රඟ පෑවෙමු . ඇය ප්‍රධාන චරිතය වන පුසාගේ චරිතය කල අතර මම කුකුල් පැටවෙකුගේ චරිතය රඟපෑවෙමි. මෙම නාට්‍යය ලුම්බිණි රඟහලේ පෙන්වන ලදී. සාගරිකා ගෝමස් 88 භීෂණ සමයේදී කුරිරු ලෙස මරා දැමුණාය.
    මෙලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස මාස තුනක් පමණ සේවය කරන විට බීබීසීයේ කීර්තිමත් නිවේදකයෙකු වු ස්ටුවර්ට් වේවල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබු පුහුණු වැඩසටහනට මාව තෝරාගෙන ඇති බව වීරමන් මහතා ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂක සරත් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් මට දැනුම් දුන්නේය. එය සෑම මාධ්‍යවේදියෙකුගේ සිහිනයකි. මෙම පුහුණු වැඩසටහනට බර්ටි ගලහිටියාව වැනි ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ශිල්පින් ද පැමිණ සිටියහ. එහි සිටි ලාබාලම තැනැත්තා වුයේ පාසල් අධ්‍යාපනය නිම කොට මාස හයක්වත් නොඉක්මවූ මා ය. බර්ටි ගලහිටියාව බොහෝ අත්දැකීම් ඇති ගුවන්විදුලි ශිල්පියෙකි. ඔහු තමන්ගේ රසවත් අත්දැකීම් අපට පැවසිය. මෙම පුහුණුවට දමිළ සේවයෙන් නඩරාජා සිවම් සහ තවත් දමිළ මධ්‍යවේදිනියක් පැමිණ සිටියාය. ඇයව පසුව එල් ටී ටී ඊ සංවිධානය විසින් මරා දැමු බව මට ආරංචි විය. ඒ කාලයේ නඩරාජා සිවම් දු දරුවෝ ටෙලි නාට්‍යයේ මහේෂ් ගේ චරිතය රඟපාන කාලයයි. අප ඉඳහිට නඩරාජා සිවම් ගේ සිංහල උච්ඡාරණය අනුකරණය කරමින් ඔහුට විහිළු කළෙමු. ඔහු සිනාමුසු මුහුණින් අපගේ විහිළු ඉවසා සිටියේය. අපගේ පුහුණුව පැවත් වු ස්ටුවර්ට් වේවල් මහතා සහ එච් එම් ගුණසේකර මහතා අපට අසන්නන් ගේ සිත් ඇදගන්නා ලෙස දේශන කරන අයුරු ඉගැන්විය. එම අධ්‍යනයේ වටිනාකම මට වැටහුනේ පසු කාලයකදී ය. 2006 වසරේදී මම ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේ යුද ආතතිය පිළිබඳව ආරාධිත දේශනයක් කලෙමි. එසේම 2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වාර්ෂික සම්මේලනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා මානසික සෞඛ්‍ය ගැටළු පිලිබඳ දේශනයක් කලෙමි. මෙම දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මගේ දේශනය පිළිබඳව මට ප්‍රසංසා කළේය. එම දේශන සාර්ථකව කිරීමට මට පදනම මම ලබා ගත්තේ 1985 වසරේ ස්ටුවර්ට් වේවල් සහ එච් එම් ගුණසේකර යන මහතුන් ගෙන් ලැබුණු මගපෙන්වීම මගිනි. එම නිසා මම ඔවුනට අද පවා කෘතඥ වෙමි.
    මුවන් පැලැස්සේ මැණිකේ (රත්නාවලී කැකුණවෙල ) මා සමග සිනාසුනද ඇය මා හඳුනාගත්තේ නැත. මම ඇයගේ පුත් ඉන්දිකගේ මිතුරෙකි. අප දෙදෙනා අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී වැල්ලවත්තේ චැපල් පාරේ ගණිතය සඳහා ටියුෂන් ගියේ එකටය. ඔහු ඉගෙන ගත්තේ මහානාම විද්‍යාලයේදීය. ඉන්දිකගේ නිවසට ගිය විට රත්නාවලී කැකුණවෙල මහත්මිය මට තේ පැන් වලින් පවා සංග්‍රහ කොට තිබේ. ඉන්දික ගේ නම කියූ විට ඇය මා හැඳින ගත්තා ය. අප සෙසු ශිල්පින් සමග මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ ඉතිහාසය ගැන කථා කළෙමු. මුවන් පැලැස්ස ට පාදක වු ගම ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ගල මුදුන ගම්මානය බව කෙනෙක් කිවේය (සමහරු එය මී මුරේ යැයි ද කියති). කෙසේ නමුත් 1995 වසරේ මම කොලොන්ගොඩ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කලෙමි. කොලොන්ගොඩ රෝහලේ සිට මට දිනපතා ඈතින් පිහිටා තිබෙන දර්ශනීය ගලමුදුන ගම්මානය පෙනේ. එය මනස්කාන්ත දර්ශනයකි. එවැනි දසුනක් මම යළි මා දුටුවේ මොන්ට්‍රියල් හි මවුන්ට් රෝයල් ශිඛරය අසලය. නමුත් මවුන්ට් රෝයල් ශිඛරයට වඩා ගල මුදුන උස ය. අලංකාරයෙන් ඊට වඩා අනූනය.
    සිරි අයියා නොහොත් නීතිඥයූ.එස්. පෙරේරා සහ ලලිත් එස් මෛත්‍රිපාල දිනක් මට අහම්බෙන් කුමාරතුංග මැදිරිය අසලදී හමු විය. මම නාලන්ද විද්‍යාලයෙන් කියූ විට ඒ දෙදෙනාම මා සමග ලෙන්ගතුව සිනා සී අතට අත දුන්නේය. ඔවුන් දෙදෙනාටම නාලන්දා විද්‍යාලය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවන් තිබුණි. ලලිත් එස් මෛත්‍රිපාල මහතා සෑම විටම වැඩසටහන් නිමාවකදී කියන ආයුබෝවන් වාසනාවන් යන වචන යුගල දැනුදු මට ඇසෙන්නාක් මෙන් දැනේ .
    ගුවන් විදුලි සංස්ථාවේ පුස්තකාලයේදී මට සුගතපාල සිල්වා මහතා මුණගැසී තිබේ. ඔහු ඒ දිනවල මානසික රෝහලක සිටින මානසික රෝගීන්ගේ චර්යාව අඩංගු ගුවන් විදුලි නාට්‍යක් කිරීමට යන බව කිවේය. ඔහු මානසික රෝග ගැන පොත පත කියවීය. ඔහු වන් ෆ්ලිව් ඕවර් ද කුකූස් නෙස්ට් චිත්‍රපටයේ කතාව වැනි අමුතු අන්දමේ නාට්‍යක් සැදීමට යනවා දෝ මට සිතුනි. ඔහු ජිවත් වුයේ ඉතා සරලවය. ගුවන් විදුලි සංස්ථාවේ ඉදිරි පිට ඇති පෙට්ටි කඩයෙන් ප්ලේන් ටී එකක් සහ වඩයක් කමින් ඔහු නාට්‍ය , පොත් ලිව්වේය. මගේ ලෝකයේ දොස්තයෙව්ස්කි සුගතපාල සිල්වා ය. නමුත් සමහර අවස්ථා වල දොස්තයෙව්ස්කි පෙන්නුවාක් මෙන් මෙන් සුගතපාල සිල්වා කුරිරු රළු ගති නොපෙන්විය. ඔහු ඉතා මිත්‍රශීලි නිහතමානී පුද්ගලයෙකු විය. ඒ වන විට මම සුගතපාල සිල්වා ගේ “බල්ලෝ බත් කති ” පොත කියවා තිබුණි. නමුත් මා එය ඔහුට නොඇඟවුයේ මන්දැයි නොදනිමි. සමහර විට එම කෘතියේ පුසති මැණිකේ ගේ ජිවිතයේ ලිංගික පාර්ශවය නිරාවරණය කර තිබු නිසා යන්තම් පාසල් අධ්‍යාපනය නිම කොට දැලි රැවුලවත් හරි හැටි නැති කොලු ගැටයෙක් සුගතපාල සිල්වා ගේ “බල්ලෝ බත් කති “කෘතිය කියවා තිබුනා කිවොත් එය ඔහු විශ්වාස නොකරයි යන අඥාන නිගමනයට මා එළැඹ සිටියා විය හැක.
    මට දයානන්ද ගුණවර්ධන මහතා මතකයට නැගේ. එතුමා ගැන හැඳින්වීමක් කිරීමට අවශ්‍ය නැත. දයානන්ද ගුණවර්ධන යනු කවරෙක්ද කියා රටම දනිති. මම හමුවූ සෑම අවස්ථාවකම එතුමා සමග අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියෙමි. සේවය නිම වීමෙන් පසු අප දෙදෙනා ඇතැම් විට නිදහස් චතුරශ්‍රය හරහා බස් නැවතුම් පොළ වෙත ඇවිදගෙන යාමට පුරුදුව සිටියෙමු. ඒ අතරවාරයේ දයානන්ද ගුණවර්ධන මහතා නාට්‍ය ගැන කථා කරයි. මෙම කාලය ඔහු මධුර ජවනිකා නාට්‍ය නිෂ්පාදනය කරන කාලය විය හැකිය. ඔහු මට මධුර ජවනිකා නාට්‍ය බැලීමට ආරාධනා පතක් දෙන බවටද පොරොන්දු විය. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙකි. සමාජ විශ්ලේෂකයෙකු ලෙස දයානන්ද ගුණවර්ධන තුල තිබු දක්ෂතාවය අති මහත් ය. ඔහු අප සමාජය විශ්ලේෂණය කලේ නාට්‍ය කලාව තුලිනි. ඔහු සමග පැයක් කථා කිරීම පොත් විසිපහක් කියවුවා වැනිය. බුද්ධි කලම්බනයට බොහෝ කරුණු ඔහු ලබා දෙයි. මගේ හැඟීම අනුව දයානන්ද ගුණවර්ධන මහතාගුවන් විදුලි සංස්ථාවේ සේවය කලේ යම් සඟවාගත් කලකිරීමකින් යුතුවය. ඔහුගෙන් වැඩක් ගැනීමට ගුවන්විදුලිය අසමත් වීම අවාසනාවකි. ඔහු කුඩා මේසයකට කොටුවී වැඩ කලේ මානසික සිරකරුවෙකු ලෙසින්දෝ කියා මට අද සිතේ. ඒ කාලයේ අග්‍රාමාත්‍ය ඒකකය කියා නොනිල සේවයක් තිබුණු අතර එම අංශයේ වැඩ කල සමහරුන්ට තිබුනේ හැකියාවට වඩා පන්දම සහ බෙලි කැපීමේ දක්ෂතාවය ය. එම නිසා කුසලතාව තිබු දයානන්ද ගුණවර්ධන වැනි දක්ෂයන් පසෙකට තල්ලු වී යන ලදී. මෙය ගුවන් විදුලි සංස්ථාව ලත් පරාජයන්ට එක් හේතුවක් ලෙස මම දකිමි. අද දිනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අභිබවා අනෙකුත් පුද්ගලික නාලිකා උඩට ඒමට පදනම වැටෙන්නේ මේ හේතු නිසාය. දක්ෂතා සඟවාගත් මිනිසෙකු ලෙස පුර්ණ ආත්මසාක්ෂාත්කරණයක් නොලබා දයානන්ද ගුණවර්ධන මහතා මිය ගියේද යන කුකුස අද දවසේ මා තුල ඇති වේ.
    ගුවන් විදුලියේදී මට සීලරත්න සෙනරත් මහතා හමු වුවද අප එකිනෙක සමග කථා කොට නැත. පසුකාලීනව ගුණසිරි සිල්වාගේ පිහාටු පෑන කෘතිය කියවූ විට සීලරත්න සෙනරත් මහතා තුල සිටි සොඳුරු මිනිසා මට මග හැරී ගිය බව වැටහිණි . 2008 වසරේදී පුත්තලම නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සමග කරුවලගස්වැව රෝහලේ අධීක්ෂණ චාරිකාවක නිරත වු අපට හිටපු ජාතිය ගොඩනැගීමේ අමාත්ය ද. මු දසනායක මහතාගේ අවමගුල ආරංචි විය. දේශපාලකයෙකු ලෙස ද මු දසනායක කෙරෙහි මට ධනාත්මක හැඟීමක් නොවූ බව මම අවංකව හෙළි කල යුතුය.ඊට හේතුව 2001වසරේදී හලාවත රෝහලේ මම සේවය කරන කාලයේදී ද .මු දසනායක විසින් පහර දෙනු ලැබූ මිනිසුන්ට මා ප්‍රතිකාර කිරීමයි. මා විසින් නිර්වින්දනයට ලක් කල එක් කාන්තාවකගේ අත පහර දීම නිසා තැන් දෙකකින් කැඩී තිබුණි. ඒ කාලයේදී ද මු දසනායක මන්ත්‍රීවරයා වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාටද සැරයක් දමා තිබුණි . එම නිසා ද .මු දසනායක ගැන මට ගරුත්වයක් නොවිය. එහෙත් ඔහු පසු කාලයක ආසනයේ දියුණුවට වෙහෙසී වැඩ කළේය. මැර ගති වලින් වෙන් විය. ද මු දසනායක මහතාගේ අවමගුලට යා යුතු බව වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා කියා සිටියේය. වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක ඉතා යහපත් මානුෂික ගතිගුණවලින් පිරිපුන් මිනිසෙකි. එම නිසා අප පැරණි තරහවල් අමතක කොට ද මු දසනායක මහතා ගේ අවමගුලට ගියෙමු. එහිදී මම සීලරත්න සෙනරත් මහතා දුටුවෙමි. නමුත් ඒ මහතා සමග කථා කිරීමට අපට අවකාශයක් නොවිය. අවමගුලට පැමිණි සෙනග නිසා සීලරත්න සෙනරත් මහතා දෙවන වරටද මග හැරුණි. යලි තෙවන අවස්ථාවක් අනාගතයේ දී ලැබේද කියා මම නොදනිමි.
    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තක්සලාවක් වුවා කිවහොත් නිවැරදිය. එහිදී මට නානා ප්‍රකාරයේ මිනිසුන් හමු වී තිබේ. ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී කෘතියේ අඩංගු චරිත වල සිට ගෝර්කිගේ මිනිසුන් අතර ස්වයං චරිතාපදානයේ දැක්වෙන ස්මුරි වැනි අධ්‍යාත්මය අවධි කල චරිත ද මට හමුවී තිබේ. නමුත් මට මෙම චරිත තනිකර කළු හෝ සුදු කියා වෙන් කල නොහැකිය. මම අවසන් වරට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගියේ 2002 වසරේ මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර ග්‍රන්ථයේ අඩංගු කරුණු පිලිබඳ සාකච්ඡාවකටය. එම සාකච්ඡාව මෙහෙයුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසුරිය මහතා විසිනි. මා ගුවන්විදුලි ශිල්පියෙකු , මාධ්‍යවේදියෙකු නොවුවද මගේ වෘත්තිය අනුව මම එක්තරා ආකාරයකට විශේෂිත රාමුවක් තුල මිනිසුන් සමග සන්නිවේදනයේ යෙදෙමි. එම සන්නිවේදන කුසලතාවලින් අඩකට වඩා මා ලබා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුලිනි. මට එහි දිගු කාලයක් සේවය කිරීමට අවකාශයක් නොවිය. උසස් පෙළ ප්‍රතිපල පැමිණි වහාම මම ජිවිතයේ ඊළඟ කඩඉම වෙත ගියෙමි. නමුත් ලංකා ගුවන් විදුලි සංස්ථාව මට සැමදාම තක්සලාවකි.

    • /////////ඔහු ඒ කාලයේ නොසෑහෙන්නට මධුවිත ගත්තේය/////////
      ඔබ කියන මේ යුගයත් ඊට කලිනුත් මේ සියලු කලා ක්ෂේත්‍රයන් තුල සිටි බොහෝ දෙනා මේ ඛේදවාචකයට ගොඳුරු වුනා. බොහෝ අය අපට අහිමිවුනා.

      බොහෝම රසවත් අත්දැකීම් පෙළක්. බෙදාගන්නට දුන්නාට බොහොම ස්තූතියි!!

  11. Ajith Dharma says:

    හොඳ ලිපියක්. ඩිල් ජෝනා vanda bona අහනවා තවමත් මතකයි මටත්.

  12. Kandyan says:

    අරු..ගුවන් විදුලි සංස්ථාව කියන්නේ රාජ්‍ය ආයතන අතරින් දේශපාලනය ඔඩුදුවා ගිය තැනක්. එදත් අදත් එක වගේ කියලයි මට හිතෙන්නෙ. ඒකට හේතුව මහජනයා එක්ක සෘජු සම්බන්ධතාවයක් තිබුනේ නැති නිසාත්, ගුවන් විදුලිය පවතින රජයේ පැවැත්මට සෘජුවම බලපන නිසාද කියලත් හිතෙනවා.

    • කැන්ඩියන්….තමන්ගේ ආණ්ඩුවේ ප්‍රචාරය සහ පම්පෝරිය ගස්සගන්න, ඒ ඒ කාලවලට තමන්ගේ හෙංචයියලා රඳවාගන්න තැන්නේ මාධ්‍ය ආයතන කියන්නේ. දැන් නම් තනිකරම පක්ෂ කාර්යාල. ඕක කවදාවත් වෙනස් වෙන එකක් නැහැ. කවුරු බලයට ආවත්…ප්‍රචාරය සහ පම්පෝරිය තමයිනේ අංක එක.

  13. Kandyan says:

    අරුට මතකද නන්දසේන ලියනපටබැඳි..ඉස්සර නිව්ස් කියනව. ඔහුගේ කටහඬ අර වෙබ්සයිට් එකේ නෑ නේද?

    • මතකයි මතකයි. ඒත් ඔහු ගැන කිසිම විස්තරයක් එතන නැහැ. හඬ පටයක් හොයාගන්න නැතුව ඇති. අනිත් බොහොමයක් අයගෙ තියෙනවා. නිවේදිකාවන් කොච්චර හොඳ අය හිටියාද… චන්ද්‍රා වයමන්, රත්නා ලංකා අබේවික්‍රම,දයා ද අල්විස්, කුසුම් පීරිස් ,සුමනා නෙල්ලම්පිටිය. රම්‍යා වනිගසේකර නම් තාමත් නිව්ස් කියනවා කියලා දන්නවා.

  14. Beetle says:

    ඉස්සර මලගෙදරක එහෙම අපේ අයියලා සෙට් එක සෙට් වුනාම, මමත් එතෙන්ට වෙලා ඒගොල්ලෝ කියන කතා අහගෙන ඉන්නවා මාරුවෙන් මාරුවට උන්ගේ කටවල් දිහා බල බලා… එලෙව්වත් යන්නෑ… දැන් මේ බ්ලොග් එකෙත් ඒ වගේ… 😀

    • //////ඒගොල්ලෝ කියන කතා අහගෙන ඉන්නවා මාරුවෙන් මාරුවට උන්ගේ කටවල් දිහා බල බලා… /////////////
      බීටා………ඔන්න ඔය සංතෑන්සියම තමයි මට වුනේ ඔය ලියලා තියෙන අය ඉන්න තැන්වලදි. තව රාශියක් ඔය වගේ උදවිය හම්බවුනා ඔය විදිහට. මාව ගණන් ගන්නෙත් නැහැ. ඒත් මම උඹ වගේ තමයි එලෙව්වත් යන්නේ නැහැ 😀 හොඳ සිදුවීම් තියෙනවා, ඉස්සරහට ලියන්නම්.

  15. Chandana says:

    සමහර වෙලාවට මෙහෙම ලිපි වලට මොකක් කියන්නද කියල හිතා ගන්න බැරුව යනවා. “ආ ඔව් ඔව් බං, ඔහොම නෙවෙයි බං උනේ, උඹට අමතක වෙලා..” වගෙ ඒව කියන්න ඔය ගැන දන්න එකක් යැ. ඉතින් කියවල හිතෙන් ලස්සන චිත්‍රයක් මවා ගන්නව. 😀
    අමරබන්දු නෙට් එකේ මුල්ලක වත් ඉන්නවද කියල හොයල බලන්න ගිය වෙලාවෙ මෙන්න මේක හම්බ වුනා. vernoncorea.වර්ඩ්ප්‍රෙස්.කොම්

    පරණ ෆොටෝ ටිකක් නම් තියනව.

    • චන්දන…..ස්තූතියි!! වර්නන් කොරයා ඉස්සර හිටපු රජ කකුල් තමයි. අමරේ අයියලාගේ කාලේ. වර්නන්ගේ ඥාතියෙක් තමයි විජය කොරයා. දක්ෂ නිවේදකයෙක්, පසුව ගුවන් විදුලියේ ඉහලම තනතුරකට ගියා මගේ හිතේ.

      /////මොකක් කියන්නද කියල හිතා ගන්න බැරුව යනවා////////
      උඹටත් වෙලා තියෙන්නේ අර උඩ බීට්ල්ස්ට වෙච්ච දේ තමයි. මටත් ඔහොමයි ඉස්සර මේ මිනිස්සු අතරේ ඉන්නකොට.

      • http://manogeloka.blogspot.com/ says:

        //“ආ ඔව් ඔව් බං, ඔහොම නෙවෙයි බං උනේ, උඹට අමතක වෙලා..” වගෙ ඒව කියන්න ඔය ගැන දන්න එකක් යැ. ඉතින් කියවල හිතෙන් ලස්සන චිත්‍රයක් මවා ගන්නව. :D//

        ඔය චන්දනයා කියලා තියෙන ටික තමයි බං අරූයියේ මටත් කියන්න තියෙන්නේ.උඹේ කතාවයි,අතුරු කතා වලිනුයි රසවත් චිත්‍රයක් මවා ගන්නවා.

      • මනෝ….උඹලටත් හොඳ වැඩේ අපි ඉපදුණු කාලේ නූපන්නට 😀

  16. ඒ සවුන්ඩ් ක්ලිප් එක හොද තත්වයෙන් තියෙනව නේද හැබැයි
    දම්මපදය ගැන කීවට ඊට වඩා හිත යන්නෙ ඒ කටහඩට අද කාලෙ රේඩියෝ එකෙන් ඇහෙන එක කටහඩකවත් ඒ තරං තද හිත ඇදිල යන ගතියක් නැ…

    අර හඩ්ඩ වගේ උං මක්කට තියං ඉන්නවද මංද හොද හොද කීප දෙනෙක් හොයල දාන්නෙ නැතිව නෙද්දෝමකිං මේ වගේ කටහඩවල් එක්ක බලද්දි උං නිකං තිරුනාව වගේ සමාර විට ඒතරං වත් හොද නැතිව ඇති

    • ඔව් මහේෂ් ඒ සවුන්ඩ් ක්ලිප් එකනම් හොඳයි තමයි. බලන්න ඒ කටහඬවල්. වචන ශබ්ද කරන හැටි. හැඟීම් උපද්දවන අපූරුව. අද බලපන් ටීවී, රේඩියෝවල ඉන්න හාදයෝ. කියවගෙන කියවගෙන යනවා. පුලුවන් නම් අහපන් කියවලා ඉවරවුනාම, මොකක් ගැනද කිව්වේ කියලා, උන් දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ.

      හඩ්සන්ලා නම් දැන් යන්න ඕන. කෑදරකම මිස වෙන මොකක්ද. සමන් ආතාවුදහෙට්ටිලා වගේ අයගෙන් කොච්චර වැඩක් ගන්න පුළුවන්ද..මේ හැම එකකටම රෙද්දේ දේශපාලනේ හරස් වෙලා.

  17. සින්දු ඇනෝ says:

    නියමයි අරූ අය්යා ,ඔබ තුමා ගොඩක් වාසනාවන්තයි මේවගේ “මිනිස්සු ” ආශ්‍රය කරන්න ලැබුන එකට .
    අපිට එහෙම වාසනාවක් තිබුනෙත් නැත ,එන්නෙත් නැත .වාසනාවට බොලොග් කියලා එකක් තියෙන්නේ මේ වගේ දේවල් හරි කියවන්න ….ජය වේවා …

    අස්වැන්නේ ලියලා තියනවා මේක ,ධම්මපද ගීතයේසිංහල හඬ මුසුව – ප්‍රවීන නිවේදක අමර බන්දු රූපසිංහ එකත් අහලා බලන්න .දයා අය්යටත් ස්තුති කරන්න ඕනෑ එවැනි දේ අපිට අහන්න සැලැස්සුවාට .

    හාමුදුරුවනේ.. දනක්‌ බෙදන්නට…
    හයිහක්‌තිය නෑ දැන්…
    ඉස්‌සරනම් දවසක්‌ ඇර දවසක්‌…
    පංසල් එනවා මන්… … …
    දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ…
    කරන්නේ ඒවගෙ පින්…
    රස්‌සාවක්‌ නැති දරුවගෙ දරුවොත්…
    රකින්නෙ මන්මේ දැන්

    පරම්පරාවක්‌ අපි පිංකෙරුවා…
    මදිය කියන්නැතුවා… …..
    පරන්පරාවෙන් පරන්පරාවට…
    ඒ පිං ‌ ඵලනැතුවා….
    හාමුදුරුවනේ.. දනක්‌ බෙදන්නට…
    හයිහක්‌තිය නෑ දැන්…
    ඉස්‌සරනම් දවසක්‌ ඇර දවසක්‌…
    පංසල් එනවා මන්… … …

    පිං‌ ඵල දෙක නුබලාගේ දරුවෝ…
    අපිට කමක්‌ නැතුවා…
    බුදුන් දකින්නට නිවන් දකින්නට…
    අපි නම් පිං කෙරුවා…
    දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ…
    කරන්නේ ඒවගෙ පින්…
    රස්‌සාවක්‌ නැති දරුවගෙ දරුවොත්…
    රකින්නෙ මන්මේ දැන්… ….. ….

    ගායනය – මාලනී බුලත් සිංහල
    ගී පද – අමර බන්දු රූපසිංහ
    සංගීතය – එච් .එම් ජයවර්ධන ..

    • සින්දු තුමා……මම තව දෙයක් දකිනවා. ඉස්සර ඔය මිනිස්සු හරිම සරළ ජීවිත ගෙනිච්චේ. ඔවුන්ට කිට්ටුවෙන්න පුළුවන්. ඔවුන් නිහතමානීයි, නමුත් එඩිතරයි. දැන් ඉන්න අය ගාවට ලංවෙන්න අමාරුයිනේ. ඒ අය ඉන්නේ මහ පොලවේ නෙමේ. ඒ නිසා ඇසුරට ලේසි නැහැ. සියල්ලෝම පොරවල්ය. අඩි හතක් අටක් පොලවෙන් උඩ ඉඳන් ….නිර්මානවලින් අපිට කියනවා සමාජ සත්‍යය. හැමෝම නෙමේ. බලපන් ඔය සමහරක් අයියලා ටීවී එකට ඇවිත් දෙන මොළ ජම්බෝල වෙන ටෝක්. පිස්සු ඕයි.

      දයානන්ද රත්නායක ‘අස්වැන්න’ තුලින් ලොකු සේවයක් කරනවා. උඹේ ලින්ක් එකේ තියෙනවා වගේ තව බොහෝ වැඩ කේමදාස මාස්ටර්, අමරෙ අයියා, සුනිලා අබේසේකර එකතුවෙලා කරා. දයානන්ද ගාව ඒ හඬ පට ඇති මගේ හිතේ.

  18. මට අරූ අයිය එක්ක ඉරිසියයි. සිරාවටම.

    • මනෝෂ්…….මටත් පොඩි ඊරිසියාවක් එනවා උඹ ලියන ඒවා කියවනකොට 😀

      ඒක නෙමේ උඹට පුලුවන්නම් ඔය ගීතය හා බැඳුණු පෝස්ට් එකක් ලියපන්. නමුත් නිධාන කතා, ආගිය මුල ගිය තැන් මම දන්නේ නැහැ.

  19. DPK says:

    “ඒ සියලු තැන්හී සුනිලා අබේසේකර නම්වූ ඒ එඩිතර ගැහැණිය අදටත් ජීවමානවේ. ”
    සුනිලා ලගදි නැතිඋනා නේද?

    • අනේ ඔව් බං…..මට කියන්න ඕන වුනේ ඒ නිර්මාන තුලින් සුනිලාව මතුවෙලා පේනවා කියන එක. දන්නවනේ මගේ ලියවිලිවල තරම.

      • DPK says:

        හී හී… කවුද බං දන්නේ උඹේ මහප්‍රාණ සිතුවිලි.
        හරි හරි අවුලක් නෑ.. ඔහොම යං 🙂

      • It is always the simple that produces the marvellous. කියලා කොහේ හරි තැනක මම දැක්කා. … ඒ කියන දේ ඇතුලේ ගතයුත්තක් තියෙනවා. වැඩිය මහාප්‍රාණ වුනාමත් හරි ලෙඩේ නේද බං

  20. සිරා says:

    ප්‍රේමකීර්ති වගේ කෙනෙක් සැබැවින්ම දකින්න අපි පින් කරලා නෑ. ඒ අයගෙ ගුණ සුවද ඔස්සේ ඉව අල්ලලා තමයි ඒ අයගෙ හැඩරුව දැනගන්න වෙලා තියෙන්නෙ…අපේ රටේ කාලකන්නි දේශපාලනය වටිනා චරිත කීයක් අපිට නැති කලාද…අරූ අයියා ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ චරිත ජීවමාන කාලෙ ආශ්‍රය කරන්නට අවස්ථාව ලැබීම ගැන. මම කේමදාස මාස්ටර් හමුවෙන්න යන්න දිනයක් දාගෙන උන්නා…ඊට සතියකට කලින් එතුමා වියෝ උනා….අද කොහොමද උදේට ගුවන් විදුලියෙන් හමන හඬු ගද…විළි ලැජ්ජයි නේද කඩේ යන කඩේ යෑම…

    • කේමදාස මාස්ටර්ලාගේ ගෙදර දෙතුන් වතාවක් යන්න ලැබුනා අමරෙ අයියාත් එක්කම. ප්‍රේම්ලා නම් ඉතින් මධුලෝලීන් නිසා තවත් සුන්දර අත්දැකීම් ලැබුවා. හෙමිහිට ලියන්නම්.

      ඒ ගඳට හඩු ගඳ කියන එක සාධාරණද මන්දා 😀 දෙතුන් වතාවක් අහන්න ලැබිලා තියෙනවා. සංසාරේ…….

  21. උඹට කියන්න අරූ, මමත් ගිහින් තියෙනවනේ ඉංග්‍රීසි සහන නිවේදක සම්මුඛ පරීක්ෂණයට ගුවන් විදුලි සංස්ථාවේ. කට හඬ පරීක්ෂණයටත් හිටියා. වැඩේ හරිගියේ නෑ. ඒක පාස් වුනත් පන්දමක් ඕනේ. ලේක් හවුස් එකට ගිහිල්ලත් ඒ සින්දුවම තමයි. ආණ්ඩු පක්ෂයේ ගමේ සමිතියේ සාමාජික අංකේ නැතිනම් කැපිලා යනවා.

    • අපරාදේ මචං. ඒ කාලේ ගියානම් උඹ මෙලහකට තද පොරක්. ජිමි බරුචා,වර්නන් කොරයා, විජය කොරයා, අරූන් ඩයස්, නොයෙලින් හොන්ටර්, අජිතා කදිරගාමර්, රිචඩ් සොයිසා, රවී ජෝන් වගේ ඉංග්‍රීසි නිවේදකයින් මතක්වුනා. ඒ කාලේ සහන නිවේදක තනතුරෙන් පටන් ගත්ත අය තමයි පස්සේ කාලවලදි ඩිරෙක්ටර් ජෙනරල්ස්ලා වුනෙත්.

      ඕවාට යන්න පස්සේ කාලවලදි හොඳ තල්ලුවක් ඕන වුනා තමයි.

  22. Ravi says:

    අරූ, අපි ඇත්තම කතා කලොත් මචං ඔය 77 ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ගුවන් විදුලියෙ වෙච්ච දේශපාලන පලිගැනීම් 70-77 කාලෙ පොදු පෙරමුණු පාක්ෂිකයො කරපු නොපනත්කම් වල අනිවාර්ය ප්‍රතිඵල කියල කිව්වැහැකි. ඊට කලින් කවදාවත් නොතිබුණු විදිහට රජයේ සියලුම ආයතන ඒ වගේම මාධ්‍ය ආයතන දේශපාලන පාදඩකරණය කලේ මැතිණිගෙ ආණ්ඩුව. ඊට කලින් ඔය වැඩේ හැම ආණ්ඩුවක්ම කළත් ඒක වැරදි දෙයක් සදාචාර විරෝධී කටයුත්තක් කියල පොදු පිළිගැනීම නිසා හැංගි හොරා, කාටවත් දැනගන්ට බැරිවෙන්ට වගෙ ඒ වගෙ දේවල් කලේ.

    ඒත් සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ ඒ කටයුතු එළිපිට සිද්ද වුනා වගේම සාමාන්‍ය දේවල් බවට පත් වුනා. අර කතාවට කියන්නෙ හිරිඔතප් බිඳුනම ඕනම දහදුරා වැඩක ගානක් නැතිවෙනව කියල. අන්න ඒ වගේ දෙයක් තමයි උනේ.ඊට පස්සෙ ආපු ආණ්ඩු එකාට එකා නොපරදින්ට ඔය අසික්කිත වැඩ පිළිවෙළ දිගටම අරගෙන ආව. අද ඒකෙ කූට ප්‍රාප්තිය.

    70-77 කාලෙ ගුවන් විදුලියෙ තිබ්බ තත්වය ගැන බොහොම අපූරුවට ලියල තියනව ගුණදාස ලියනගේ නොහොත් ගුලි ඔහුගේ ” දෝන කමලාවතී” නවකථාවෙ.

    • රවී…..කතා දෙකක් නැහැ ඒ නිසානේ බං 77 ඒ සෙට් එකට විපක්ෂ නායකකමවත් නැතිවෙන්න වැඩේ සෙට් වුනේ. අමරෙ අයියලාත් තද ශ්‍රීලංකා කාරයෝ. හැබැයි මචං මට තියෙන අප්සට් එක තමයි…මේ අය දේශපාලන පත්වීම් නෙමේ. රේඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ හැට ගනන්වල. අනිත් එක දක්ෂයෝ. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න තිබුනා. හැම ආණ්ඩුවක්ම ඔය වැරැද්ද කරා. ඉදිරියටත් කරයි. එහෙම නොවෙයි කියලා හිතන්න තරම් පරිනත මිනිස්සු දේශපාලනේ ඉන්නවාද කියලා හිතන්නේ නැහැ.

      දෝන කමලාවති මට නුදුරු දිනයක ලැබෙයි.

      • Ajith Dharma says:

        අරු ඊළඟ ලිපියට කලින් කතා කරනවද මට. අද වුනත් කමක් නැහැ. වැදගත් දෙයක් තියෙනවා කියන්න අමරබන්දු ගැන. ලියන්න වෙලාවක් නැහැ.

    • අජිත්…….මම මේල් එකක් දැම්මා.

  23. තිස්ස says:

    අරු අයියාට මතක ද ඒ කාලේ (වගා සංග්‍රාම කාලේ) රේඩියෝ එකේ නිතරම අහන්නට ලැබුණු තරුණ ගොවි සමාජ ගීතය?

    “යෞවන ගොවි ජනයිනි එක්වවු
    අපරාජිත ගොවි හඬ නංවවු…”

    මෙතැනට ම ගිහින් අහලා බලන්නකෝ….

    • තිස්ස…..බොහොම ස්තූතියි!! මතකයි මතකයි. හැබැයි අවුරුදු 30-40කට පස්සේ ඔන්න අදයි ඇහුවේ. ඔය සින්දු බොහොමයක් ලියලා තියෙන්නේ ගුවන් විදුලිය ඇතුලේ හිටපු අයමයි කියලා මම අහලා තියෙනවා. තරුන ගොවි සමාජ අතර ප්‍රශ්නෝත්තර වැඩ සටහනක් ගියා මතකද. හොඳ නිවේදකයෙක් තමයි වැඩ සටහන මෙහෙයවූයේ. නම මතක් වෙන්නේ නැහැනේ.

      තිස්ස රවී ලියන නිදහස් සිතුවිලි බ්ලොග් එකේ තිබුනු පෝස්ට් එකක කොටසක් මේ.

      /////හරි, 70-77 කාලෙ ගැන ඔය මදැයි. පඳුරු තලනවයි කියල ආය මෙහෙමත් ඉතිං …නැද්ද?…ඒ කාලෙ ගැන ආයම ලියන්නම් වෙනම. වගා සංග්‍රාමය. උදේම රේඩියෝ එකේ යන දේශාභිමානී ගීත. අම්මාපල්ල ඒ ගීත ඇහෙනකොට උදැල්ලක් අරගෙන ගිහිල්ල හිස හැරුනු අතේ කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව. ඇඟේ මස් නලියනව. ” උදළු අරං වරෝ, නගුල් අරං වරෝ, රට නඟන්න වරෝ..” ඔය එකක්.
      ” සොඳුර මට සමු දෙන්න..සමු දෙන්න…සොඳුර මට සමු දෙන්න සමු දෙන්න, ඈත ගමේ සරු පස පෙරලන්නට මා යනවා හෙට උදෑසනේ. සොඳුර මට සමුදෙන්න සමු දෙන්න,සොඳුර මට සමු දෙන්න,සමු දෙන්න, ”
      ඔය සොඳුර මට සමුදෙන්න කිව්වෙ ඩී.ඩී. ගුණසේනද කොහෙද…
      අබේවර්ධන බාලසූරිය කිව්වෙ මෙහෙම ” ගංගා එන්නකෝ ගංගා..මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා. ”

      ඒ ගංගා කිව්වෙ කෙල්ලෙක් ගැන එහෙම නෙවෙයි..මහවැලිය ගැන. පේසාලෙ ඛනිජතෙල් හම්බ උනාය කියල මහ විසාල නාඩගමක් නැටුව ආණ්ඩුවෙන් මයෙ හිතේ 75 වගෙ වෙන්න ඕන. රෝහණ බැද්දගේ කිව්ව ඒ ගැන මෙහෙම

      ” හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. මහන්සියට කවි සීපද සින්දු කියනවා හෙමින් හෙමින් හපුතලේ කන්දනඟිනවා. ”

      ඕකෙ මෙහෙම කෑල්ලකුත් තිබ්බ. …..

      ” පේසාලෙන් තෙල් උනලා අපේ රටේ වාහන වැඩ පලක් තැනෙනවා. පේසාලේ තෙල් ගහලා අපේ කොල්ලො රූංගාලා එහෙ මෙහෙ යනවා. හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. ”

      ඔය තෙල් හම්බ උනාය කියල අහස පොළව නුහූලන බොරුවක් කරල තියෙන්නෙ. ආණ්ඩුව පෙරලුනාම එළිවෙච්චි විදිහට ඒ දවස්වල හිටියෙ කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති විදිහට ටී.බී. සුබසිංහ මහත්මය. එයා සමසමාජ. ඛනිජ තෙල් සංස්ථාවෙ සමසමාජ වෘත්තීය සමිතියෙ නායකයෙක්ලු ඔය පේසාලෙන් තෙල් ඉනුවයි කියන ගජ බින්නෙ මූලාරම්භකය. අර මැස්ස එලවන්ට රජ්ජුරුවන්ට කඩුවෙන් කොටපු වඳුරගෙ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඕන එකත් එකටම ඔය මනුස්සය. //////////////////////

      • තිස්ස says:

        අරු අයියා, තරුණ ගොවි සමාජ පැන විසඳුම් තරඟය තවම ප්‍රචාරය වෙනවා සෙනසුරාදා දවස්වල.

        මෙතැනටත් ගිහිල්ලා බලන්න

      • තිස්ස…..උඹත් එක්ක මේ වැඩේ කරන්න බැහැ 😀 මගේ හීලා නැති හිත තැන තැන ඇවිද්දවනවා. අපේ රට තුල විය යුතුව තිබුනේ කෘෂි කාර්මික විප්ලයක් බව ලිපිකරුවෙක්වූ මගේ තාත්තාත් කියා තිබෙනවා. මේ සියල්ලක් තුල ජනතාව ගොනාට ඇන්දවීම තමයි වුනේ. අදටත් ඒකමයි වෙන්නේ. ප්‍රායෝගිකව කිසි දෙයක් වෙන්නේ නැහැ. දැණුමෙන් සපිරි තරුණයෝ වෙලක වල් පඳුරක් දැකලා නැහැ. මට කුඹුරට බහින්නත් බැහැ. බත් කටට එන්නෙත් නැහැ. මේ තුල තියෙන්නෙම විකෘතියක්.

        තිස්ස…..පුළුවන් නම් මම අර කියූ එදා වැඩ සටහනක ක්ලිප් එකක් දාන්න. අඩුම ගානේ ඒ ආකෘතියවත් ඉදිරියට ප්‍රයෝජනවත් වෙයි

      • \\ප්‍රායෝගිකව කිසි දෙයක් වෙන්නේ නැහැ. දැණුමෙන් සපිරි තරුණයෝ වෙලක වල් පඳුරක් දැකලා නැහැ.\\\
        කෝ මේ සින්දුවා.. මට සින්දුවක් මතක් වුනා මේකට..
        තිරය ඇරෙනවා…, තිරය වැහෙනවා…
        ඔල්වරසන් හඬ පැතිරෙනවා…
        සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නලවනවා….

        කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති…
        නල වතුරෙන් සැනහෙන දරුවෝ…
        ගොයම් නැටුමකට දෑකැති ලෙලවති..
        කුඹුරක් ඇස නොගැටුනු දරුවෝ… 🙂

      • කමියා…..බොහෝමයක ඇති විසිළු ස්වභාවය හඳුනාගැනීමට හැකි ලෙස බණ්ඩාර ඇහැලියගොඩ මේ ගීතය රචනා කර තියෙනවා. මම ඉස්සර පන්සලක ඉන්න කාලේ පෙරහැරට එන මේ සම්ප්‍රදායික නැටුම් ශිල්පීන්ගේ ඛේදවාචයක දැක තිබෙනවා. හරිම කනගාටුදායකයි. කළගෙඩි නොදැක්ක දරුවෝ කොහොම වුනත් ඒ දරුවන්ගේ අම්මලා ගැන මට දුකයි. කළේ අල්ලන්නේ මෙහෙමයි කියලා අපි කිව්වොත්..ඒකට ලැබෙන උත්තරය , අයියෝ ඒක හරි ගොඩේනේ, ඒක පොඩ්ඩක් සෙක්සි වෙන්න එපැයි කියලා. ගෙදර කාමරේ තියෙන්න ඕන සෙක්ස් ඇපියරන්ස් වේදිකාවට ගේන එක පොඩි ලෙඩක්. නවීකරනය සහ අන්ධභූතභාවය දෙකක්. ඉතින් ශවර් එකට, බාත් ටබ් එකට හුරු ළමයිට කළේ බාර දීලා අපි අහක බලාගන්නවා.

        මම දන්නේ නැහැ මේකෙ මියුසික් කවුද කියලා. ඒත් මේ ගීතය මම මෙතනට ගෙනත් තියනවා.

    • Anonymous says:

      කටේ කිරි සුවඳ නොගිය ද 
      හිතේ මහ බරක් නැතුව ද 
      පාවී එන මහ සුළඟක පුතු තනිවෙනවා 
      ඒ සුළඟේ රහස් කතා පුතු රවටනවා…..

      අරුණට පෙර සුරලොව බිඳ 
      සිත හැඟුමන් තුළ තනිකර 
      පිනි වෑහෙන අඳුර මැදින් පිය මැන යනවා 
      සුරංගනා රජ දහනක් පුතුට මැවෙනවා …..

      ඇලක දොළක නෙත නොරැඳුණ 
      වෙල් යායක පය නොගැටුණ 
      පුතුට උරුම ලොව දැකුමෙන් මසිත හඬනවා 
      මහ සුළඟේ අඳුරු වලා පාවී එනවා…… 

      ගී පද – දුමින්ද හඳපාන්ගොඩ 
      ගී තනු – නවරත්න ගමගේ 
      ගායනය – සුනිල් එදිරිසිංහ

    • sinduano says:

      වැල් මී වැල් හිඹුටු වීර
      වැව් ඉවුරෙන් ඇස නොගැසේ
      නුඹ කොතැනේ මා කොතැනේ
      ගම කොතැනේ කියනු මැනේ…

      ගඟේ ඉහළ රිදී දියේ
      නුඹගේ බඳ තෙමී තෙමී
      හැමූ සුවඳ ගඟේ පහළ
      ඇලේ දොළේ ඉස්මතු වී
      රටින් පුයර නො ගෑ මුවේ
      හඳුන් කැටේ පිරිමැදුනේ
      ඒ රස යුවතිය ම නොවෙද
      රට හැර දා නොරට ගියේ…

      පැල් කවියේ රස තවමත්
      බුලතේ රස සමඟ නොයේ
      පන්සල් බිම ගඳකිළියේ
      ඒ නාමල් සුවඳ නොදේ
      උළු තියලා හදා මොටද
      අපෙ පොල් අතු ඉස්කෝලේ
      ගමේ සුවඳ ගමට හොරෙන්
      ඇයි දුරු රට අරං ගියේ…

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
      ගායනය : එඩ්වඩ් ජයකොඩි

      • මේ සින්දුව අහලත් නැහැ. උඩ එක අහලා තියෙනවා වගේ මතකයි. උඹට ස්තූතියි සින්දු ඇනෝ.

  24. Sanjeewa Mendis says:

    ඇවිත් ගියා

  25. ඔය රජ්‍ය ආයතන දේශපලනිකරණය කරනවාට වඩා පුද්ගලීකරණය හොඳයිනේ.

  26. අරූ , මේ ලියන්නේ අපිට මිස් වෙච්ච කාලේක හිටපු අපුරු මිනිස්සු ගැන .. අර උඩ බිට්ල් කිව්වා වගේ කට ඇරගෙන කියවගෙන යන්න පුළුවන් .. ඇත්තටම මේ කටහඩවල් මෙහෙම හරි ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්න අර වෙබ් සයිට් එක කරන මහත්තයට අපි පින් දෙන්න ඕනේ …

    • උඹටත් ‘සමාජය’ මිස් වෙච්ච එකෙක් වෙන්න ඇති 😀 උඹලගේ තාත්තා එහෙම මිස් වෙච්ච් කෙනෙක් නොවේ වගේ. වඩාත් වැදගත් වෙන්නේ උඹෙන් පසු පරම්පරාවට සමාජය හඳුනාගැනීම සඳහා ඉඩ විවර කිරීම. ඒක කම්පියුටරයෙන් කරන්න බැහැ 😀

      සහතිකෙන්ම අශෝක තිලකරත්න මහත්මයාට ඒ ගෞරවය ලැබිය යුතුයි. අපි වුනත්, අපෙන් පස්සේ කවදාහරි කාට හරි යම් තොරතුරක් ලබාගන්න යමක් ඉතිරිකර තැබිය යුතුයි. ඒ නිසාම තමයි පැතුම්…මම මේ බ්ලොග් එක ඇතුලට තොරතුරු එකතු කරලා තියන්න උත්සාහ කරන්නේ. ඔය වීඩියෝ ක්ලිප්ස්, අරවා මේවා දාන්නෙත් ඒ නිසාමයි. මගේ ටෙක්නිකල් නොහැකියාව තුල වුනත් මම තෘප්තිමත්. කියවන උඹලා මට දිරියක්. මගේ කමෙන්ට්ස් මාගල් වෙන්නෙත්, උඹලාගේ පොඩි කෑල්ලක් අල්ලගෙන හරි, ටිකක් දිගට ලියන්නේත් ඔන්න ඔය හේතුව නිසාමයි. මෙහෙම සංනිවේදන දියුනුවක් තිබීම ගැන , මට ඇත්තේ පුදුමාකාර සතුටක්. ඉදිරියට විය යුත්තේත් එයයි. මම හිතන්නේ පැතුම්ලාගේ පරම්පරාව අපිට වඩා දියුණුයි කියලා තොරතුරු ගබඩා කිරීම සම්බන්ධව. මම කරන්නේත් බැරි බැරි මරගාතේ එවැන්නක්. මේ අමරබන්ධු ගැන මම කතා කරන්නෙත් ඒ අරුතෙන්මයි.
      පැතුම්….මගේ හැම පෝස්ට් එකකින්ම මට අවශ්‍යත් ඒ ටික තමයි බං. මට පිස්සු…හැබැයි අතීතකාමය පමනක්ම නෙමේ.

      • පැතුම්……මම වගේ නෙමේ මීට වඩා ශාස්ත්‍රීය අයුරින් තිස්ස දොඩංගොඩ, දයානන්ද රත්නායක වගේ බ්ලොග් ලියන්නන් කරනවා. ඒක මම සඳහන් නොකෙරුවොත් , ඒ මිනිස්සුන්ට කරන මදි පුංචි කමක් කියලා මට හිතෙනවා.

      • [උඹටත් ‘සමාජය’ මිස් වෙච්ච එකෙක් වෙන්න ඇති 😀 උඹලගේ තාත්තා එහෙම මිස් වෙච්ච් කෙනෙක් නොවේ වගේ. වඩාත් වැදගත් වෙන්නේ උඹෙන් පසු පරම්පරාවට සමාජය හඳුනාගැනීම සඳහා ඉඩ විවර කිරීම. ඒක කම්පියුටරයෙන් කරන්න බැහැ] මේ ටික පට්ට ම ඇත්ත ..

  27. madhumadhavi says:

    //ඒ මා දක්ෂ ලේඛන කුසලතා ඇත්තෙක් නොවනු නිසා විය යුතුය.// මොනාද මේ කතා? මේ තරම් සජීවීව ඒ සුන්දර අතීතය මෙහෙම සජීවිව පුනරාවර්තනය කරන්න තියෙන හැකියාව මදිද?
    ස්තුතියිල මල් මසුරන් තොරතුරු ටික ! ජයවේවා!!!

    • මේ ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි…මේ සජීවි විස්තර විචාරය අතීතයේ සිට ඔබට ගෙන එන්නෙ…අරූ මූ නොව අරූ විසින්මයි 😀

      ඔයාට මධු කියන්නද, මාධවි කියන්නද, මධුමාධවි කියන්නද….එහෙම නැත්නම් කෙටියෙන් ම.මා. කියන්නද 😀

      • madhumadhavi says:

        මාධවී වෙලා ඉවරයි. දෙතුන් දෙනෙක් මදාවි කියලත් කියනවා. උන්දැලට නඩු දැම්මෙමි.
        ඒයි, මට කලිං එකේ අක්ෂර විඤ්ඤාසෙ අම්බානට වැරදිලානෙ.

      • /////ඒයි, මට කලිං එකේ අක්ෂර විඤ්ඤාසෙ අම්බානට වැරදිලානෙ.///////

        වැරදුනා කියලා මට ඕක තේරෙන එකක්යැ. මාත් ඔය වින්චාසේ සුබස අකුරු විනස පිරික්සුවට ගිහිල්ලා හෝදලා කරලා අරගෙන තමයි පබ්ලිෂ් කරන්නේ. හැබැයි කමෙන්ට්ස් නම් එහෙම කරන්න යන්න කාලයක් නැහැ.

  28. බුදු අම්මෝ කමෙන්ට් 10 ක් විතර දැම්මා…මේකත් හරි නැද්ද මන්දා….

    • බුදු අම්මෝ එච්චර දැම්මද…..සොරි උමා…මේ වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් කරන්න මොකක්ද ක්‍රමයක් තියෙනවා. මම ඕවා ගැන එච්චර දන්නේ නැහැ.

  29. අරූ අයියා.. මුලින්ම කියන්න ඕනි මේක අටවෙනිදම කියෙව්වා.. කළබලෙන්.. නොවැළැක්විය හැකි වැඩ දෙකකට එන්ටර් වෙන්න වීම නිසා කොමෙන්ට් එකක් දාන්නවත් ඊට පස්සෙ එන්න බැරි උනා.. කලාහිතෙ මං ගැන හොයල බලපු කොමෙන්ට් එකත් දැක්කා.. සමාවෙන්න ඕනි උත්තර නොබැන්දට..මං සාමාන්‍යයෙන් බිසී වෙන්නෙ නෑ කවදාවත්.. ඒත් පහු ගිය ටිකේ නොසන්සුන් උනා.. එච්චරයි..

    මුළු පෝස්ට් එකම ආපහු කමෙන්ට් එක්ක කියවගෙන ආවා.. ලින්ක් වලින් ගිහින් ඒ ටිකත් බලන්න පැය දෙකකට වැඩිය ටිකක් ගියත් පෝස්ට් එක කියවලා ඉවර උනාම අඩුම තරමින් අවුරුදු පහලොවකින් වත් මුහුකුරා ගියා වගේ හැඟීමක් ඇති වෙනවා..

    මේ අ.රූ. කියන යෙදුම මුලින්ම දැම්මෙ මමද? නැත්නම් කලින් ඉඳල එහෙම භාවිතා කලාද? කොහොම උනත් මේක ලස්සන coincidence එකක් අරූ අ.රූ. ගැන ලියනව.. ලියනව කිව්වට තවම ලියල නෑ.. ලියන්න පෙළ ගැහෙනව.. මුලින්ම කලින් පෝස්ට් එකේ මේ අ.රූ. කියල දැන ගත්ත ගමන් යූ ටියුබ් එකේ තියෙන සමන් ආතාවුදහෙට්ටිගෙ ප්‍රේමකීර්ති ගැන කතාව ආයේ ඇහුවා. සමන් නම් කියන්නෙ අ.රූ. පහුකාලිනව ‘පුද්ගලික හේතු’ නිසා ගුවන් විදුලියෙන් අයින් උනා කියල.. ඒ ස්වරයේම තියෙනව හොරයක්.. ඒ හොරය හොඳටම දන්න අපේ අරූ ගෙන් ඒ ටික අහ ගන්න බලාගෙන ඉන්නව.. ඉක්මනට ලියමු.. දැන් මේක පිස්සුවක්.. ජය ශ්‍රී!

    • /////////පැය දෙකකට වැඩිය ටිකක් ගියත් පෝස්ට් එක කියවලා ඉවර උනාම අඩුම තරමින් අවුරුදු පහලොවකින් වත් මුහුකුරා ගියා වගේ හැඟීමක්///////////

      පැය කිහිපයකින් මුහුකුරා යැවීමේ පාඨමාලාව සඳහා අරුං ගුරුංගේ අඩවියට පිවිසෙන්න. වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න…. 😀

      අ.රූ. කියන එක මගේ හිතේ තිබුනා. ඒත් උඹ මට කලින් ඒක ලිව්වා. සමන්ගේ කතාවේ එහෙම කියනවානම් ඒකට යම්කිසි හේතුවක් ඇති. මම ඒ රාජකාරි කාලේ කතා වැඩිය දන්නේ නැහැ. මට අමරේ අයියා හම්බවෙන්නේ 82 විතර වගේ. නමුත් ඔහු පෞද්ගලිකව මහත් විඩාවට සහ කණස්සල්ලට පත්වෙලා හිටිය බව නම් මම දන්නවා.

  30. Ajith Dharma says:

    අරූ , අර පොලොස් මාළුව නම් නියමයි මචං. food and beverages වලටත් බ්ලොගක් ලිව්වා නම් මොකද?

    • ස්…ස්…. කොස් වගේද පොලොස් කිව්වලු. මචං මේ කමෙන්ට් එක දැණුයි දැක්කේ. කෑම ගැන නම් මාරයා ලියනවානේ. මම දැක්කා බුරියානි එකක් හදන හැටි ලියලා තියෙනවා. ඒක රහට තියෙයි. ට්‍රයි කරපන්. සෙට් වෙච්ච වෙලාවක කෑම ටිකක් හදමු. සමර් එකේ සෙට් වුනා නම් fusion BBQ එකක් දාන්න තිබුනා. මේ අවුල ඉවරවුන දවසක කෑම සහ බීම ගැන ලියමු. ලෑම ගැන මොකද කරන්නේ.

  31. 52 යන්තම් බලල ඉවර වෙද්දී 53 ත් ඇවිල්ලා.
    යම් යම් පෞද්ගලික හේතු නිසාත්, රාජකාරි කටයතු නිසාත් බ්ලොග් බලන්න බැරි උනා.
    ඒ වගේම හිතේ මෙව්වා එකත් පොඩ්ඩක් අඩු වෙලා.
    අර පාට පාට කොළ සම්බන්ධ ප්‍රශ්න එනවා ඒ අස්සේ…
    උඹට ඇත්තම කියන්න ඕනේ අරූ අයියේ, මේ පෝස්ට් එක මට වැදුනේ නැහැ…

  32. අමරබන්දු ගැන මෛත්‍රීපාල සිරිසේන කියූ කතාවක්!

    • බ්ලොග් ලියුවේ නැති උනාට රසික බ්ලොග් කියවන එක අතෑරලා නෑ වගේ ඩ්‍රයි ජුලයි වල.. මොනව හරි කරල අරූ ව ආපහු ගෙන්න ගන්න පුළුවන්නම් වටිනවා මේක ඉවරයක් කර ගන්න..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s