අවුල් වන්නට පෙර(58)..රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ

ඔබ දැන් හොඳින්ම දන්නා පරිදි, මගේ පාසැල් ජීවිතයෙන් පසුවත් මා ජීවත්වන්නේ පවුලේ සාමාජිකයන් හා නොව,පිට පළාත්වල සහ බෝඩිං කාමරවලය. විසිහැවිරිදි මා පදිංචිව සිටි විජේරාම නිවස අලුත්වැඩියා කටයුතු සඳහාත්, නැන්දලා පදිංචියට එන කථාවත් නිසාත් එහි සිටිනා අයට වෙනත් ස්ථානයක් සොයාගන්නට සිදුවෙන බවක් පෙනේ. මෙය කතාවක් පමණි. දින නියමයක් නොමැත. නමුත් කට්ටිය වෙන්ව යායුතු බවට ඉඟි පළවේ. ජානකයියා නම් කියන්නේ එවා දැන්ම නොවෙන වැඩ නිසා කලබල විය යුතු නැති බවය. මටද ගැටලුවක් නැත. අපේ ගෙදර ඇත්තේ ඉරිදාපොළ ඉදිරිපිටය. මොනවා වුණත් මට විජේරාම ඥාති නිවසක්ය. පොඩි අමරේ අයියාටද ගැටලුවක් නොවන බව පෙනේ. පසුකලෙක පොඩි අමරේ අයියා නැන්දාගේ දියණිය විවාහ කර ගත්තේය. අනිත් අමරේටත්, අනිත් අරුනටත් වෙන්ව යායුතුව ඇත. පසුව ඒ පිළිබඳ ලියන්නෙමි.

ඒ කෙසේ වෙතත් අම්මා සහ ආච්චි සමග මගේ ගනුදෙනුව සිදුවේ. මාසයකට වරක් ඇයට පඩිපත ලබාදීමත්, වරින්වර ලැබෙන මුදලින් කොටසක් ලබාදීමත්, නැවත කීයක් හෝ ඉල්ලා ගැනීමත් හැර, අන් කිසිම අයුරකින් මගේ අතපෙවීමක් නොවීය. මට සිතෙන්නේ මා පාසැල් අවධියේ සිටම හැදීවැඩුණේ පිටස්තරයෙක් ලෙසය. මව් පිය රැකවරණයට වඩා මට ලැබුණේ පිටස්තරයන්ගේ රැකවරණය බව මම ලියා ඇත්තෙමි.ඒ මම ජීවත්වූයේ පිටස්තරයින් සමගම වීම නිසා මිස වෙන ආරෝවකට නොවේ. මේ සිදුවීම් ඉතා තදින් තම පෞද්ගලික ජීවිතයන්ට බලපෑ හැකි බව මගේ විශ්වාසයයි. මට තීරණ ගැනීමටවත්, මග පෙන්වීමටවත් කිසිවෙකු සිටියේ නැත. මා ජීවත් වුයේ මගේමවූ ලෝකයකය. ඒ සමහර ක්‍රියාකාරකම් නිසා ජීවිතයේ මහා විනාශකාරී අත්දැකීම් හරහා ගමන් කිරීමට සිදුවිය. ඒ අතීතය කිසිම ලෙසකින් අමතක කල හැකි නොවේ. ඒ තුළින් පාඩම් කියා දිය හැක.

අදවන තුරුත් මගේ ජීවිතයට වඩාත්ම සෙනෙහස, ආදරය, රැකවරණය ලැබී ඇත්තේ ස්ත්‍රී පාර්ශවයෙන් පමණක්ම වීමත් විශේෂිත ලක්ෂණයකි. ආච්චි, අම්මා, ලොකු අම්මා, බිරිඳ, දියණිය ලෙසින් ගතහොත් මෙය දීර්ඝ ලැයිස්තුවක් වේ. ඒ රැකවරණය සහ සෙනෙහස ඉදිරියටත් එසේම ලැබේවා යැයි මම යටිහිතින් ප්‍රාර්ථනා කරමි. මට මහ මෙරක් සේ ආදරය කල සහ රැකවරණය දුන් පිරිමින්ද නැතුවා නොවේ. ඒ නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන් සහ මිතුදමටත් වඩා එහා ගිය සොයුරෙකු සේ අදටත් ඇසුරේ සිටිනා මගේ අතිජාත මිත්‍රයා ඔමානයේ මංජුත් ඉහළින්ම මතක් කළයුතුව ඇත.

කුඩා කාලයේදී අතින් අල්ලන් පෙරහැරවල් බැලූ අයත්, ලී මඩුවේ හැංගිමුත්තම්, අල්ලන සෙල්ලම කෙරූ අයත්, තාත්තාගේ ගමේදී එහා මෙහා වුණු පොඩි,පොඩි අලුත් අත්දැකීමුත් හැර මට සීරියස් ලව් කියා දෙයක් තිබුණේ නැත. විජේරාමයේ සිටි මිතුරන්ට තිබූ ප්‍රේම සම්බන්ධතා දකිනා නිසාත්,ඔබරෝයි හෝටලයේ මිතුරු මිතුරියන්ගේ මගුල් සක්වලයන්හී ප්‍රේක්ෂකයෙක් වීම නිසාත්, අවුරුදු දහනවයක්, විස්සක් වූ මටත් දැන් ප්‍රේමයේ රස ළඟින්, ළඟින් දැනෙන්නට පටන් ගෙන තිබුණි. මට ප්‍රේමය කෙසේ වෙතත් කෙල්ලන් සමග වෙන අත්දැකීම් නම් ඒ වයසට අඩු නොවන්නට තිබු බව කීවොත් එය බොරුවක් නොවේ. මට එවැනි අත්දැකීම් බොහෝය.ඒ උන්දැලා සියල්ලක්ම මට වඩා වයසින් වැඩි අක්කලා වීමත් හරිම පුදුමයකි. මම ඔවුන්ගේ හුරතලා වූවා විය හැක. ඒවායේ හවුල්කාරිණියන් අදටත් ජීවතුන් අතර සිටිනා නිසා, ඒ සියල්ල අතිශය පෞද්ගලික කාරණා වේ.

ඔබරෝයි හෝටලයේ සේවය කරන ඒ කාලය නොම්බර එකේ කෙළිලොල් කාලයක් විය. මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් …විය. ඒ මිහිරි මතකයන් ඉදිරියට ලියා තැබිය යුතුවේ. එහිදි හමුවූ එක් සුන්දර යුවතියක් මගේ ජීවිතය පමණක් නොව අප මුලු පවුලේම ජීවිත කතාව නිවැරදි දිශාවකට යොමු කරවීමට සමත්විය. ඒ වෙනුවෙන් ඇය අදටත් වෙහෙසවේ. උනන්දු වේ. ඇය මගේ ප්‍රථම ප්‍රේමය නොවේ. ඒ මගේ අවසාන ප්‍රේමවන්තියද නොවීය. එය ඉතා රසවත් කතා පුවතක්ය. ඇය පිළිබඳ ලිවීම පසුවට තබා මම අද මම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කියමි.

සේවයේ යෙදි සිටිනා වේලාවක මට හිසේ අමාරුවක් සහ ඇඟපත වෙහෙසකාරී තත්වයක් ඇතිවිය. හෝටලයේ ප්‍රධාන වෛද්‍යවරයාව සිටියේ කළු ආරච්චි නම් මහතෙකි. හොර නිවාඩු සෙල්ලම නිසා ඔහු මා ගැන දනී. නමුත් මෙවර ඔහු කීවේ මා රෝහල් ගත කල යුතු බවකි. ස්ථිර සේවකයින් සියල්ලම රක්ෂණ ආවරණයකට යටත්ව තිබු නිසා වගකිවයුතු පාර්ශවයන් හරහා කොල්ලුපිටියේ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට ඇතුළත් කරන ලදි. තනි කාමරයක සියලු පහසුකම් සහිතව, මට කහ උණ රෝගි තත්වයක් කියා ප්‍රතිකාර කිරීමට ආරම්භ කරන්නට යෙදුණි. මට හෙණ ජොලිය. ජීවිතයේ පළමුවරට මා රෝහල්ගතවී ඇත. ඒ මදිවාට පෞද්ගලික රෝහලකය.එය අසූව දශකයේ රටේ තිබූ හොඳම පෞද්ගලික රෝහල යැයි කීවට වැරදි නොවේ. පහසුකම් අති විශිෂ්ටය. ඒ විතරක් නොවේ, හැම හැන්දෑවකටම මගේ මිතුරන් මගේ කාමරයේය. අපේ සේවක සුබ සාධක නිලධාරි ලෙස හිටියේ හිත හොඳ මුස්ලිම් පොරකි. අපිත් සමග කොල්ලුපිටියෙ එවර්ලාස්ට් එකේ යුනයිටඩ් ක්ලබ් එකේ හොඳට කන බොන මිනිහෙක්ය. මට දැන් ඔහුගේ නම අමතකය. මොහු දිනපතා හෝටලයෙන් සපයන පලතුරු බාස්කට්, කේක් ආදිය රැගෙන රෝහලට පැමිණෙයි. ඒ ඔහුගේ රාජකාරිය විය. හෝටලයක වැඩ කෙරූ නිසා මා බැලීමට එන සහෝදර සේවකයන්ට නම ඒවායින් පලක් නැත. පිටින් එන මිතුරන් නම් මේවා උඩ පැන පැන රස බැලුවෝය. මුන් එන්නේ බඩජහරි කමටද කියා සිතෙන්නේ එවිටය. පුදුමයක් නොව, ඒ කාලයේ ඇපල්, ග්‍රේප්ස්, වැනි පිටරට පලතුරු තරුපහේ හෝටල්වල මෙන් වෙළඳ පොළේ වැඩිපුර දක්නට නොවීය.තරු පහේ කේක් වර්ගද එසේම විය. අම්මා පැමිණෙන දිනක නම් අම්මාට මේවා රැගෙන යන ලෙස කියන්නෙමි. ඇය ඒවා සීරුවට මල්ලේ අස්කර ගනී. සමහර නෑදෑයින්ද මා බැලීමට ආවා මතකය. ඒ මා බැලීමටද, ඩර්ඩ්න්ස් එක බැලීමටද කියා මට නොතේරේ. සති දෙකකට වඩා මා එහි නේවාසිකව සිටියේය. මට ගෙදර යන්නට උවමනාවක් නොවීය. මම ඉන්නේ රෝහලක නොව හෝටලයක නිවාඩුවකට පැමිණ ඇති සේ දැනේ.

මේ සියල්ලටම වඩා මගේ සිත්ගත්තේ ඒ සුරූපි යොවුන් හෙදියන්ය. සමහරෙක් නැවතී සිටියේ රෝහල තුළමවු නේවාසිකාගාරයේය. මොවුන් අවේලාවෙත් මගේ කාමරයේය. එකම කිචි බිචියකි. දෙතුන් දෙනා එකවර පැමිණේ. ඇස් වලින් කතා ගොඩකි. ඒ යෞවනයේ පොපියන චමත්කාරය දෝ සිතේ. මේ සියල්ල අතරේ රාජකාරි වේලාවෙන් පිට මා බැලීමට පැමිණෙන එක් තරුණියක් විය. ඇයට මා සිටි කාමරයේ කරන්නට රාජකාරියක්ද නොවීය. කොටින්ම කිවහොත් ඇය ඒ අංශයේ හෙදියක් නොවීය. නමුත් ඇයගේ නේවාසිකාගර කාමරයට මා නැවති සිටි කාමරය පෙනේ. ජනේලය තුලින් බලමින් මම ශිල්ප දමා තිබුනේ ඇයට බව දැන් මට පැහැදිලිය. රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ………

මම ඇය ගැන සිතුවේ ඇත්තටම නිහාල් ජයවර්ධන ගයනා ඒ ලයාන්විත ගීතයේ අරුතෙන්මය. මම ඇයට පෙම් කරන්නට පටන් ගත්තෙමි……ඒ කතාව පටන්ගත යුත්තේ වෙනම පෝස්ට් එකකින්ය. මෙතැනින් පටන් ගතහොත් කතාව මම පටලවා ගනු ඇතැයි මට සිතේ. කතාව කෙසේ වෙතත් ඇයත්, මමත් දෙදෙනාම පටලවා ගත් බවක් නම් පසුව මට වැටහිණි. මම ඊළඟ කොටසෙන් අරුණ-තාරුකා කෙටි කතාව ලියා තබන්නෙමි. තාරුකා ඇයගේ නම නොවේ. අපි මොහොතකට ඇයට තාරුකා යැයි කියමු.

රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ……..
මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන් සුනු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා……….
දිමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ
මගෙ හදවත එකලූ කරන ස්වර්ණ වර්ණ එළියේ
අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ ………..
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය :නාරද දිසාසේකර
ගායනය : නිහාල් ජයවර්ධන (කිහිපවරක් මට අවන්හල් තුළදී හමුවී ඇති සුන්දර මිනිසෙකි. අතළොස්සක් ගී ගයා ඇති මා කැමතිම ගායකයෙකි. සිංහල සිනමාවේ පතාකයෙක්වූ ඩොමී ජයවර්ධනගේ සහ නෝනා සුබෙයිදා(ටවර් හෝල්)ගේ පුත්‍රයාය. නිහාල්ද ජීවතුන් අතර නැත. මොහුගේ සොහොයුරා වේදිකාවට සම්බන්ධව සිටි රෝයි ජයවර්ධනය. මේ දෙදෙනාම නොයෙකුත් අංශයන්ගෙන් කළා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටියෝය. )

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

54 Responses to අවුල් වන්නට පෙර(58)..රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ

  1. වාලුකාරාමයේ නැවතී සිටි කොළඹ විවියේ සුමන හාමුදුරුවන් මට මුණ ගැසුණා අරූ බ්ලොග් නොලියූ කාලයේ. මා මේ බ්ලොගය ගැන කීවත් හාමුදුරුවන් නෙට් භාවිතයක් නැ.

    • පෝරුවදන්ඩේ සුමන හාමුදුරුවෝ. ඒ කාලේ වාලුකාරාමයේ ඉඳන් යුනි ගිය හාමුදුරුවරුන්ගෙන් සිවුරු හැර නොගිය කෙනෙක්. නිල්දන්ඩාහින්නේ පන්ඩිත හාමුදුරුවෝ තව කෙනෙක්. ප්‍රංසේ ඉන්න පරවාහැර චන්දරත්න හාමුදුරුවෝ තව කෙනෙක්. අනිත් අය ඔක්කොම වගේ සිවුරු හැර ගියා. සුමන හාමුදුරුවෝ නම් මහා පිරිවෙනක පරිවේනාධිපති කෙනෙක් නේද …

    • සුමන හාමුදුරුවෝ මගේ බාප්පා කෙනෙක් (පුංචි අම්මා ගේ සැමියා ගේ මල්ලී). හාමුදුරුවෝ පොඩි කාලේ ම මහණ වූනේ තමන් ගේ අම්මා ගේ මල්ලී නායකකම දරපු පන්සලේ. ඉතිං උපැවිදි වෙන්න වූ මහණකමක් නොවේ.

  2. ravi says:

    ඔය හෙදියන්ගෙ තියනව බං මහ අමුතු සුන්දරත්වයක්…..

    “පළමෝත අත්දැකීම් වලින් කියන්නෙ” කියල කියන්ට විදිහක් නෑ විචා මෙතනට කඩා පැනල “කියාපිය පළමෝත කියන වචනෙ වර නැඟුනු හැටි?” කියල ඇහුවොත් මම අනාතයි. ඒ හින්ද කඩ්ඩෙං කියන්නංකො. “ඉස්පීකිං ප්‍රොම් මයි ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස්”…හෙහ්,හෙහ්,

    • ////////ඔය හෙදියන්ගෙ තියනව බං මහ අමුතු සුන්දරත්වයක්…../////////

      උඹ කොහොමද දන්නේ 😀
      ඉස්පිරිතාලේ යන්න මම හරි ප්‍රියයි. බොරු නෙමේ. වයිෆ් කියනවා හොස්පිට්ල් කිව්වොත් එවරෙඩිලු. මොකද මම දන්නෑ බං. සංසාරගත පුරුද්දක් වෙන්නැති. මගෙත් ඉස්සර “නර්ස් ෆ්‍රෙන්ඩ්ස්ලා” හරියට හිටියා. හරි නීට් එකට කොන්ඩේ පීරනවා නේද බං ඒ ගොල්ලෝ. ලඟට කතාකරලා හිස පිරිමදින්න හිතෙනවා.

  3. // එහිදි හමුවූ එක් සුන්දර යුවතියක් …. ඒ වෙනුවෙන් ඇය අදටත් වෙහෙසවේ. උනන්දු වේ. ඇය මගේ ප්‍රථම ප්‍රේමය නොවේ. ඒ මගේ අවසාන ප්‍රේමවන්තියද නොවීය//

    මේක එකම මඟුල් සක්වලක් නෙව ලොකු පුතේ 🙂

    හා, හා ආයෙ කතාව පටලවාගෙන අවුල් කරගන්නව එහෙම නෙවෙයි. අර කොච්චෝරවත් පැටලෙන පබිලිස් බටන් එකට වැඳලා කාරිය, ලියමු බලන්න ඉතුරු ටික

    • ///////මේක එකම මඟුල් සක්වලක් නෙව ලොකු පුතේ🙂.//////
      එහෙම කාලයකුත් තිබුනා බස්සෝ. ඇත්තටම ආදර කතා දෙක තුනක් විතර එකම කාලෙක. මම හෙමින් හෙමින් ලියන්නම්. ඒ ඔක්කොම මම නිසාම මිතුරියන්ද වුනා. පසුකාලෙක මේ අයව අපි දෙන්නට නැවත හමුවුනා. මාව නිවැරදිව තේරුම් ගත් කෙනා තාමත් මගේ ලඟින් ඉන්නවා.

      • මේ සිංදුවට මාත් හරිම කැමතියි. අරූගෙ ලියවිල්ල හරි රහයි. මේ සමනල සීරීස් එක හොඳට තියේවි කියල මට හිතෙනව.

      • //////සමනල සීරීස් එක////

        අම්මට හුඩු…මු මේකට නමකුත් දාලා. මගේ ගෑණි ඒ යෙදුම දැකලා හොඳටම හිනාවෙලා කිව්වා, අයියේ ඔය සමනල සීරිස් එක කැරි ඔන් කරන්න කියලා. රහට ලියවුනොත් මරු. මාත් ආසාවෙන් ලියන්නේ.

      • අනිත් එක උඹ දන්නවද බස්සා….හැම සාර්ථක මිනිහෙක් පිටිපස ..ඒ බයිලා එක නෙමේ. මම හිතන්නේ “සෑම ජොලිබර මිනිහෙක් පිටුපසම. ඉතා සරළ, මහා සුන්දර ගෑනියෙක් ඉන්නවා” කියලා. මම එය අත්විඳිනවා. මගේ බිරිඳත් මට මගේ අම්මා වගේ.

    • අරූ හොඳට කන, බොන ඒ වගේම ජීවිතේ විඳින්න දන්න ජොලිගුඩ් පොරක් කියල මට හිතෙනවා. හොඳ අවබෝධයක් ඇති ඔබේ බිරිඳ අනිවාර්‍යයෙන්ම සුන්දර ගැහැණියක් විය යුතුයි.

      එවැනි සුන්දර බිරිඳක් ලැබීමට ඔබ වාසනාවන්ත වුනාට, හැම ප්‍රේම කතාවක්ම ලස්සන නැති වග ඔබ දන්නවානෙ. මගේ අත්දැකීම් වඩා සමපාත වෙන්නෙ, අර සරුපයාගේ දෝණියැන්දෑගේ දර්ශණය සමඟයි. අවුලක් නෑ, ඒකෙන් අමුතුම රහක් තියනවා , මේකෙත් අමුතුම රහක් තියනවා.

      • ///////හැම ප්‍රේම කතාවක්ම ලස්සන නැති වග ඔබ දන්නවානෙ. මගේ අත්දැකීම් වඩා සමපාත වෙන්නෙ, අර ///////////////////

        ඕවා ගැන වැඩිපුර හිතන්න එපා. අපි ඕන කෙනෙක් සමහර දේවල් තේරුමක් නැතිව හිතනවා.

    • නෑ, එහෙම අවුලක් නෑ 🙂

  4. Kawindu says:

    අරුණ- තාරුකා කෙටි කතාව එන තෙක් බලා හිඳිමි . ඉක්මනින් ලියන්න

  5. maathalan says:

    යෞවනයේ පොපියන චමත්කාරය හා වැලේ ගිය ටාසන්…

    ඉස්සර අපේ එකෙක් උන්න ටාසන් වැඩේට ගිහින් මාට්ටු වෙලා අම්බානක කාපු එකෙක්.. (මම නෙමෙයී)

    ඌ පාරේ යන කොට ඉස්සර අර බොහොම ජනප්‍රිය බල්ටිමොරාගේ ජන්ගල් ලයිෆ් එකේ පටන් ගන්න කෑල්ල කියනවා.. කුණුහබ්බ වර්සාවයි…

    • වැල වගේද වරකා මාතෝ. උඹත් හොඳ ටාසන් නේද…

    • ///යෞවනයේ පොපියන චමත්කාරය හා වැලේ ගිය ටාසන්… ///

      මාත ගේ කතාව ඔහේගෙ ලිපි සීරීස් එකක හෙඩිමකට මරු අරුණ අයියේ … එහෙමම දාල නවත්තපු තැනින් ලියමු තව එකක් !

  6. හිතට ගොඩක් දේවල් ආව. දැන් වෙලාවක් නැහැ. රෑ 11.48 යි. පාන්දර 3.00 ට නැගිටලා ගමනක් යන්න තියනවා. ගිහින් ඇවිත් කමෙන්ට් එකක් දාන්නම්.

    • විචා…පරිස්සමෙන් ගිහින් එන්න.ආතල් එකේ ඉන්න වෙලාවක අර හිතට ආපු ඔක්කොම කමෙන්ට් එකට දාපන්.

  7. සෙන්නා says:

    බොටත් දැන් රවී අයියගෙ ලෙඩේ ගහලද ? දැන් කතා කීයක්නම් පෝස්ට්පෝං කළාද? මම හිතුවා අඩුමගානේ තාරකාවත් ප්‍රතම ප්‍රේමය කියලා, බලද්දි ඒකත් පටලැවිල්ලක් විතරයි වගේ…

    උඹ‍ේ ලිවිල්ලෙ රඟේ කියන්නේ, මේක කියවනකොට අපිට හිතෙන්නෙ උඹ ළග ඉඳන් අපිට කතාව කියනවා කියලා….හා හා උඩ යන්න දෙයක් නෑ ඉක්මනට ඉතුරු ටික ලියහන්…

    • ////////බොටත් දැන් රවී අයියගෙ ලෙඩේ ගහල///////
      මේකනේ සෙන්නා වැඩේ. මොකක් හරි සිදුවීමක් ලියන්න ගියාම තව කෝටියක් අතුරු කතා මතක් වෙනවා. මේ කරක් ගහලා තියෙන ජීවිත කාලේ හැටියට කතා නැත්නම් තමයි පුදුමේ. තාරුකා මේ රටේ ඉන්නේ. සඳ ලඟ ඉන්නකොට, තරු මොකටද කියලා අහක බලන් ඉන්නවා. එකක් නඩත්තු කරන්නෙත් අමාරුවෙන් බං 😀

  8. මගෙත් පොඩි මෙව්වා එකක් නේස් නෝනලා එක්ක තිබ්බ බව මතක් උනා මචෝ මේ කතාව කියෙව්වම…
    මට ප්‍රථම ප්‍රේමය කියල එකක් නිශ්චිතව කියන්න බැහැ, එහෙම වගේ හිතාගෙන ඉන්න සිද්ධියේ ගෑණු දරුව එක්ක තිබ්බ සම්බන්ධය නතර උනාම එයා නේස් නෝනා කෙනෙක් උනා, අවුරුදු තුන හතරකට පස්සේ ආපහු අපි දෙන්න අතරේ පොඩි මෙව්වා එකක් ඇති උනා හදිස්සියේ බස් එකකදී මුණ ගැහිච්ච නිසා…
    ඒක නම් ලව් එකක් නෙමෙයි…

    ඊට කලින් කාලෙක ෆෝන් එකක් හරහා ලව් කලා තවත් නේස් නෝනෙකුට, ඒක නිකම්ම හබක් උනා. එක පාර මැනේජ් කරන්න පුළුවන් සීමාව ඉක්මවා ගියපු නිසා…

    මට හොඳටම සිකුර ලබල තිබුනේ 2005/2006/2007 කාලේදී, එක පාර ප්‍රොජෙක්ට් හතර පහක්ම හැන්ඩ්ල් කරපු බව මතක් වෙද්දීත් පිස්සු වගේ…
    දවසක් එයින් එක කෙල්ලෙක්ව බස් එකකදී දැකල ටික වෙලාවක් යනකල් දෙන්නට දෙන්න අඳුර ගත්තේ නැහැ කියහන්කෝ, මොකද එච්චර කාලෙකින් අපි දෙන්න මුණ ගැහිලා නැහැ. පස්සේ දෙන්නත් එක්ක ඊලඟ ටවුන් එකේදී බැහැල AC බස් එකක නැගල කොළඹ ආවා…

    උඹේ ලියවිල්ල මගේ මතකය ඇවිස්සුවා…
    ඉක්මණට ආදර කතාවත් ලියමු අරූ…

    • මචං ලොකුපුතේ…..ඔය සිකුරා පීක් එකේ ඉන්න කාලෙට හරි පරිස්සම් වෙන්න ඕන. ඒ කාලෙටම තමයි දඩස් ගාලා සෙනසුරා පාත්වෙන්නේ. මගේ මිතුරියෝ සමාජේ නර්ස් නෝනලා හරියට හිටියා. මම ඒ කාලේ ඩර්ඩ්න්ස්, රත්නම්ස් පැත්තේ තමයි ගමන් බිමන්. චාටර් කාලේ දඩ දාගන්න යන්නෙත් ඔය පැතිවල. අපරාදෙ කියන්න බැහැ උන් මට ඉල්ලපු ගමන් දුන්නා. ආපහු ඉල්ලුවෙත් නැහැ. මට දෙන්න තිබුනෙත් නැහැ. ඔය තාරුකාගේ නංගිලත් ඒ වගේ. මෙහේ ආපු වෙලාවක අපිව බලන්නත් ආවා. මගේ බිරිඳ එක්ක යාලුවෙලා ඉන්න කාලේ මම කොච්චර දඩ දාගෙන ඇද්ද. එයා ඔෆිස් ඉවර වෙන වෙලාවට මම එතන. එයාට පඩි දවසට මං පඩි ගත්තා වගේ. ඒවා මරු කතා බං.

  9. කාලයක් මේ ලිපි නැවතිලා තිබුණෙ අපරාදෙ අරූ

    • ගුණේ මහතුන්……
      නවතිනවා…ස්ටාට් වෙනවා….ආපහු නවතිනවා. දන්නැද්ද ඉතින් පරණ කෝච්චිනේ.

  10. Transylvania says:

    thanks for starting the stories again

  11. රාජ් says:

    බස්සා කිව්ව වගේ මේ සමනල සීරීස් එක එක දිගටම ලියපං අරූ. උඹේ කතා මාලාවේ හොඳම ටික මේ ටික වෙයි මං හිතන්නෙ….

  12. Sa rasa says:

    අපිට කොයින්ද නේස් නෝනලා හිටන්?
    සන්සාරේ.. සන්සාරේ!!

    • Anonymous says:

      ඇයි දත් ගලවන්න උදව් කොරන්නෙ වින්නමු හාමිනේලද හිටං

    • සරසයෝ….ඇනෝ අහන කතාව හරිනේ.

      මල්ලි නර්ස් නෝනාලා හිටන් නෙමේ ඇලවෙලාත් ඉන්නවා. අඩෝ මම බ්ලොම් එකේ වල බැහැපු එකෙක්…අපි නොදන්න හිටන්..ඉඳන්.

  13. නර්ස්ල ඉදං ඉන්න තැන පේන ඇදක් ලැබුණත් මරු නේද????
    ආපහු මෙහෙම අකුරු එලන එකනම් මරු….නර්ස්ලගෙ කකුල් පේන තැනක ඇදක් ලැබුණ වගෙම සතුටක්…උඹ ලියන්නෙ ජීවිතය..සමහර විට ඒක මගෙත් වෙනවා..එහෙම වුණාම රස වැඩියි…
    කතා කරන්න ඕනි කියලා මැසේජ් එව්වට උඹ දීපු නම්බර්ස් වැඩ නැහැ…උමටම තමයි කතා කරන්න වෙන්නෙ.
    0094773815999

    • නිශ්මා…..මං දන්නවා උඹත් මං වගේ රස්තියෙක් කියලා. මට හුරු බොහෝ තැන් උඹටත් හුරුයි. පේමන්ට් එක, පේලි ගෙවල්, පත්තර තට්ටු…ඕවා ජීවිතේ කොටස්. මට කොලොන්නාව ගැනත් ලියන්න තියෙනවා බන්. මේ කතාවේ මම ආපහු බම්බලපිටියට එනවා කාමරයක් අරන් 1985 විතර. ඒකත් මාර කාලයක්. මම උඹට සඳුදා කෝල් එකක් දෙන්නම්.

  14. Anonymous says:

    උඹ නැවත ලියන්නට පටන් ගැනීම ගැන මට ඇත්තේ අප්‍රමාණ සතුටක්ය. නේස් නෝනලා ගැන මගේ ලඟත් කතා කීපයක් ඇති බව මතක් උනේ මේක කියෙව්වයින් පසුවය. මම හැලපයා.

    • හැලපේ……උඹට ලියන්න කියලා හෙන රික්වෙස්ට්ස් තියෙන බව පේනවා. එක්කො ලියපං. නැත්නං බ්ලොග් එක වහපං. මචෝ ලියපන්. උඹ අවුල් වෙන්නට ඉස්සෙල්ලා, ලියන්න මහා පොතක් තියෙනවා, එහෙම ලියන්න පුලුවන් එවුන් අතරින් උඹත් ඉදිරියෙන්ම ඉන්න එකෙක්. මෙලෝ හැදෑරීමක් නැති මට උඹලා පොරවල්. මේ වගේ ජීවිතය දන්න එවුන්, ඒවා නොකියාම යන එක පාඩුවක්. එහෙම ගිය අය බොහෝයි. උඹ එහෙම යන්න එපා.

  15. wicharaka says:

    ජීවිත කතාවට මුසුවූ, ප්‍රේමය සහ ශෘංගාරය. මේ අතීත සිහිවටන, අද ඔබේ සිතේ පැලපදියම් වූ, කිරිගරුඬ සිහිවටන ඵලක මේන් දිලිසෙනු ඇති.

    • මේ ඔක්කොම අත්දැකීම්නේ විචා. හොඳ හෝ නරක මතකයේ තියෙන දේවල් එලියට එනවා.

  16. Pra Jay says:

    අරුණ සිතේ

  17. Manoj says:

    නර්ස් නෝනාලා ගැන අරූයියා කියන කතාවට මගෙත් මෙව්වා එක.
    නර්ස් නෝනා කෙනෙක් එක්ක සම්බන්ධය නතර වුන නිසා දැන් නම් බොරු ලෙඩ ගන්න ඕන නැහැ ආයුබෝවන් මට.

    • දැන් මොන නෝනා කෙනෙක් එක්කද සම්බන්ධය මනෝ..

      • Manoj says:

        දැන් සම්බන්ධය වෙන නෝනා කෙනෙක් එක්ක.ඒ නෝනා එක්ක සම්බන්ධය ජිවිත කාලයම යන සම්බන්ධයක් අරූයියේ.අදට ඒ බැඳීම නිත්‍යනුකුල වෙලා අවුරුද්දක්…:)

      • ///////ඒ නෝනා එක්ක සම්බන්ධය ජිවිත කාලයම යන සම්බන්ධයක් අරූයියේ///////
        ගමනේ යෑමට අපෙත් සුබ පැතුම්!!!

  18. මල්madahasa says:

    නියමයි මචන් අන්ක්ල්…

    ආසම දෙ තමා අර සින්දුව , “ronata වඩින සමනළiyaka” .. nihal uncle, roy uncle එක්ක අපේ තාත්තා හොඳට බීලා ගෙදර ඇවිල්ලා අම්මාගෙn කුණු banum aha ගන්නවා 😀

    කට්ටියට ගාණක් ne.. සිංදු කියල jolly දාලා යන්නේ . Roy uncle කියනව m s fernando ge , මැණිකේ මම ආයෙ ගෙදර එනවා ” sinduwa .. අපේ අම්මට යකා naginawa. 😁

    Me december ලංකාවට ගිහිල්ලා sinduwak කියන්න set වෙලා , මම ඔය sinduwa ගහන්න කියල පැදුරු group එකට කිව්වම , එ අයත් අසයි නමුත් හැමෝම දන්නේ නැහ එක ගහන්න . පස්සේ drums and guitar එක්ක විතරක් sinduwa කිව්වා . E සිංදු den play වෙන්නෙ නැ.

    Uncle සමහර විට අපේ කට්ටියwa දන්නවා ඇති . ගම, නුගේගොඩ .. හන්දියේ mai. හම්බ වුනහම කතා කරමු .. me සිංදුwath gahamu😀……

    • නිහාල්/රෝයි ජයවර්ධන මටත් ඉස්සර නුගේගොඩ හන්දියේ අවන්හලේ හම්බවෙනවා. හිතහොඳ ජොලිබර මිනිස්සු.

      උඹව කාලෙකින් හම්බවුනේ නැහැනේ. මටත් උවමනාවක් තියෙනවා පාටියක් නොවන පාටියකදි උඹට කියලා හොඳ සින්දු ටිකක් අහගන්න. මම දන්නවා මල්ටත් හොඳ රසිකත්වයක් තියෙනවා කියලා. මල් මල් පාටියක් දාමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s