අවුල් වන්නට පෙර (59)…ප්‍රේමය නම්….

කහ උණ හෝ සෙංගමාලය රෝගයට ප්‍රතිකාර සොයා ගිය මට පෙම් උණ වැළඳී තිබේ. සෙංගමාලය වෙනුවට ඇය දුන් රිදී මාලයක්ද ගෙලේ දිලිසේ. මම කුරුල්ලෙක් සේ රෝහලෙන් පිටත් වුණෙමි. මමද දැන් යෞවන පෙම් උයනේ කිචි බිචි හඬ අතරේ සිත්සේ ඉගිලෙන්නෙමි. යෞවන ප්‍රේමය විසින් තමන්ගේ සියලු වගකීම් එකින් එක අමතක කර දමයි. එසේ නොකරන්නෝද සිටී. නමුත් ප්‍රථම ප්‍රේමය යන තව්තිසා ලෝකය තුළ බොහෝ දුක්ඛ දෝමනස්සයන් අමතකවී යාම වැලක්විය නොහැකිවේ. එවන් තරුණ තරුණියන් වෙතින් අදත් මට පෙනෙන්නේ, එදා මා තුළ සිටි ඒ දඟකාර, විසේකාර ප්‍රේමවන්තයාමය. ප්‍රේමය ඉදිරියේ මගේ පවුලේ වගකීම් අත්හැර දැමුවෙක් බව මට සිහිවන්නේ ඉන් ටික කාලයකට පසුවය. ඒ ගැන සිත් තැවුලක් ඇතිමුත්, පසුකාලයකදී වඩ වඩාත් ජවයකින් මම පවුලේ වගකීම වෙනුවෙන් උර දුන්නෙමි. එබැවින් මට පසුතැවීමක් නොමැත. මේ සියල්ල අත්දැකීම් ගොනුවේ එක් එක් පිටු හෝ පරිච්ඡේද පමණක්ම වේ.

අද මෙන් එදා දුරකථන භාවිතයක් තිබුණේම නැත කීවොත් නිවැරදිය. පණිවිඩයක් දෙන්නට නම් ආයතන දුරකථනයකට කතා කළයුතුවේ. නැතිනම් ලිපියක් හෝ ටෙලිග්‍රෑමයක් පමණි. ඔබරොයි හෝටලයේ සිට ඩර්ඩ්න්ස් රෝහල අතර ඇත්තේ බස් නැවතුම් කීපයක් අතර ගනුදෙනුවකි. මම ඇයගේ සේවා මුරය අවසන් වෙන මොහොතේ, ඒ අසල ගැවසීම සාමන්‍ය සිදුවීමක් විය. ගිවිසා ගත් පරිදි අපගේ ප්‍රථම හමුවීම කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් අවන්හලේ එක් අඳුරු කොනක මේසයකට හා පුටු දෙකකට සීමා විය. විජේරාම නවාතැනේ වැඩිහිටි මිතුරන්ගේ අවවාද, අනුශාසනා මත කැන්ඩොස් චොක්ලටයක්ද කවරයක දමාගෙන මම ඇය හමුවුණෙමි. මා මිතුරු ලොකු අරුණයන්ගේ මෝටර් සයිකලයෙන් මට ප්‍රවාහන පහසුකම්ද ලැබේ. බජාර් එකේ බාලයාවූ මට මුන්ගේ එක් අවවාදයක් වූවේ, ස්පර්ශ කිරීම්, සිප ගැනීම් සඳහා ඉක්මන් නොවෙන ලෙසටය. අතින් අල්ලා ගෙන, අතොරක් නැතිව කතාබස් කිරීම රෝහල් වාට්ටුවේදීම සිදුවී තිබුණි. මට ඇය සිප ගැනීමේ උවමනාවක් නොතිබුණා නොවේ. ඒ ප්‍රථම හමුවීමේදීම කාටත් හොරා හාදුවක් හෝ දෙකක් හුවමාරු වූයේ මගේ හදිසියටද ඇයගේ උවමනාවටද යන්න අදත් සිහියට නොනැගේ.

අප දැන් ප්‍රේමවන්තයෝ වෙමු. කොල්ලුපිටිය, බම්බලපිටිය, තුන්මුල්ල අවට තිබු ඔය හැම හරස් පාරකම අතිනත් අල්ලාගෙන අප බොහෝසේ ඇවිද ඇත්තෙමු. බොහෝ දේ කතාකර ඇත්තෙමු. අපි දෙදෙනාගේ ප්‍රියතම ස්ථානයක් වූයේ තර්ස්ටන් විදුහල අසල බගතලේ පාරේ තිබු එක් සුඛෝපභෝගි අයිස්ක්‍රීම් අවන්හලක්ය. නිවාඩු දිනයක නම් අප දෙදෙනා නගරයෙන් පිටව කොහේ හෝ අවට පළාතක කාලය ගෙවා දැමුවෙමු. මුදල් හදල් වියදමේද ඇය මසුරු නොවීය. මට තිබුණේ අසීමිත නිදහසකි. ඇයගේ නිදහසටද හේතු කිහිපයකි. අපි දෙදෙනාගේ නිදහස නිසා මා නිරතුරුව උදහසට ලක්වූයේ නවාතැනේ මිතුරන්ගෙන්ය. අමරේ අයියා කිව්වේ ,මුගේ මේ මල ඉලව් ලව් එකක් නිසා හැන්දෑවට කිසි ජොලියක් නැති බවය. ජානකලා, අරුණලා කිව්වේ මෝඩයාට මැජික් කියාය. මැජික් යනු මායාවක් බව දැනෙන්නේ කාලයාගේ ඇවෑමෙන් බව මට ඒ කාලයේ දැනී නොතිබෙන්නට ඇත. මම භද්‍ර යෞවනයෙක්මි. ආදරය මහා වදයක්ය. රාත්‍රියට නින්දක් නොමැත. නවාතැනට යන විට මම බෝතලයක් රැගෙන යමි. එහෙම දවසට අනිත් උන්ගේ බයිට් එක වන්නේත් බෝතලයේ හිමිකාරයාමය. ඒ උසුළු, විසුළු, උපහාස පවා යටිහිතට මිහිරක්ය. සැබෑ ප්‍රේමවන්තයෝ එය රහසේ රස විඳින්නෝය. ප්‍රේමය නම් එසේමය. ඔබ එය දන්නවා නිසැකය.

මගේ නිදහසට මූලික හේතු වන්නට ඇත්තේ රැකියාවක් කිරීමත්, ගෙදර ජීවත් නොවීමත්, මා ගැන සොයනවාට වඩා, මට වඩා කුඩාවුන්ට රැකවරණය සැලසීම අම්මාගේ වගකීමවූ නිසා විය යුතුය. තාරුකාගේ නිදහසටද එය එලෙසෙම බලපෑවා වන්නට ඇතැයි මට දැන් සිතේ. ඇයද රැකියාවක් කරයි. නවාතැන රෝහල් නේවාසිකාගාරයයි. තාත්තා ජීවත්වූයේ ගෙදරින් පිටස්තරවය. අම්මා බොහෝ කාලයක සිට පදිංචිය සහ සේවය එංගලන්තයේය. එක නැගනියක්ද ඒ රටේමය. අයියාත්, මල්ලීත් අනික් නැගණියන් දෙදෙනාත් පදිංචිව සිටියේ මාවරමංඩියේය. දෙමව්පිය ඇස නොගැටෙනා මානයේ සිටිනා විට මේ නිදහසේ සීමාවන් හඳුනාගැනීම අපහසුවේ. කියා දෙන්නට කෙනෙක් නොමැත. සොයා බලන්නට කෙනෙක් නොමැත. නිදහස වල් බූරු පමණක් නොව පොල් බූරු දක්වා දිව යාමට ඉඩ තිබේ. ඒ මා ප්‍රත්‍යක්ෂ කරගත් ඇත්ත තත්වයන්ය.

මාසයකට දෙකකට වතාවක් හෝ අපි දෙදෙනා පිළියන්දල, බොල්ගොඩ දූපතේ සැන් මිචෙල් හෝටලයේ දවස ගෙවන්නට හුරුවී සිටියෙමු. එකල මේ ඉතා ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක් විය. සති අන්තයේ නම් බොහෝ අය එහි පැමිණේ. අප සති අන්තය මග හරින්නෙමු. මගුල් උත්සව සඳහාද ඉතා ප්‍රසිද්ධය. විවාහවූ අය මධුසමය ගතකරන්නටත් මෙය තෝරා ගනී. දූපතට රැගෙන යාම සඳහා විශේෂ බෝට්ටු සහ පාරු සේවාවක් විය. මට අමතක නොවන එක් සිද්ධියක් වේ. මධු සමය ගතකිරීමට පැමිණි මනමාලියක්ව, එතැන සිටි කෙනෙක් අතින් අල්ලා බෝට්ටුවට ගොඩ කිරීමට යාමේදී, ඇයගේ මංගල මුදුව ඇඟිල්ලෙන් ගිලිහී වැවට වැටුණි. එක ජරමරක්ය. වැවට වැටුණු දෙයක් හොයනවා ලේසි නැත. මනමාලිය ඉකිගසමින් හඬයි. මනමාලයා ඇය සනසනවා නොව තුෂ්ණිම්භූතව බලා සිටී. පැමිණි සිටි අය වැවට බැස වැව කලඹයි. මේ ගැහැනියගේ වැළපීමද නිමක් නොවේ. මුද්ද නැතිවූ විට මෙසේ නම්,සැමියා නැතිවූ විට කෙසේ හඬාවී දැයි මට සිතුනේය. මම ඒ බව තාරුකාට නොකීවෙමි. ඔවුනට මෙය අතිශය අමිහිරි අත්දැකීමක් වෙන්නට ඇත. විවාහවූ දිනයේම මංගල මුදුව මෙලෙස අහිමිවීම සිතට වාවනු නොහැකි වනු ඇත. අප සංකේත ප්‍රේමියෝ බව සැබෑය. මේ සියල්ල අනිත්‍ය බව මට එදා නොතේරුණත් ජීවිතය මුහුකුරා යෑමත් සමගම වැටහෙන්නට විය. තාරුකාත්, මමත් අපේ මගුල් මුදුවේ හැඩයන්ද කතාබහ කළේ එදාය. විවාහය පිලිබඳ සිතූ අප දෙදෙනාම ඒ වන විටත් විසිවැනි වියේ සුකිරි බටිල්ලන් නේ දැයි සිතෙනා විටත් දැන් ලැජ්ජාවක් ඇතිවේ. යෞවනයේ ප්‍රේමය එතරම් සොඳුරුය.

මගුල් මුදුවටත් වඩා බරපතල කතාවකට ඇය එදා මුල පිරුවාය. එය එක්තරා ශෝකීය මුල පිරීමකි. එක්තරා හෘද්ද තත්වයක් නිසා ඇයට දරුවන් ගැබ්ගැනීම අනතුරුදායක බව වෛද්‍ය මතය බවැ තාරුකා පැවසීය. අපි දරුවෙක් හදාගමු යැයි මගේ යෝජනාව විය. මම ඇයට එතරම් පෙම් කළෙමි.

මේ සියල්ල අතරේ විජේරාමේ බෝඩිමෙන් පිටවෙන්නට කාලය ස්ථිරවී තිබේ. අමරේ අයියා ඇතුල්කෝට්ටේ පැත්තේ තැනක් සොයා ගත්තේය. මමත් අරුණත් තාරකාගේ ජුබිලි කණුවේ ඥාති නිවසක නවාතැන් ගත්තෙමු. එය තවත් අලුත් අත්දැකීමකි. තාරුකා මෙහි නිතර පැමිණේ. අරුණට මේ තැන අල්ලන්නේ නැත. ඒත් මට හොඳටම අල්ලලා යන්නේය. විසඳාගත යුතු ප්‍රශ්නයකි.

මේ නිවසේ පුතුන් දෙදෙනාගෙන් එකෙක් මගේ පාසල් සගයෙක්ය. උගේ පෙම්වතියත් ඩර්ඩ්න්ස් රෝහලේ හෙධියක්ය. මූ හොඳට කන බොන කොල්ලෙකි. අපි අඩියක් ගහන වෙලාවක මූ මගෙන් ඇසුවේ, මට තාරුකා සමග ඇති කිචිකිචිය කුමක්ද යන්නයි. මම ඇත්ත කීවෙමි. උඹට පිස්සුද බං, ඒකි බඳින්න කොල්ලෙක් ඉන්නවා කියා ඔහු පිළිතුරු දුන්නේය. ඕන නම් ආතල් එකට ආශ්‍රය කරපන් යනුවෙන්ද පැවසීය.

කතාව ඇත්තය. මම ෆුල් අවුල්ය. තාරුකා ඒ බව පිළිගත්තාය. ඒ විවාහය කිසිදා සිදු නොවනා දෙයක්ද පැවසීය. ඇය මට ආදරේ බවත් කියයි. ඔහුගේ නමත් අරුණය. දෛවයේ පොඩි ආතල් එකක්ය. මම ඇයට වෛර නොකෙරුවෙමි. දෛවයටත්, වෛරයටත් කොම්බු දෙකකි. ඒකත් ආතල්ය. මම තාරුකාට නොව තාරුකාගේ ශරීරයට පමණක් පෙම් කරන්නට පටන් ගත්තෙමු. මෙය ටිකක් දිග කතාවකි.

අද මම මේවා ගැන ලියමින් සිනාසෙමි. නමුත් එදා මම ඉකි ගසමින් හැඬුවෙමි. මා සනසවන්නට කවුරුත් සිටියේ නැත. මම අමරේ අයියා හා එක්ව, විරහව අරක්කු සමග මිශ්‍ර කරගනිමින් එය රස වින්දේය. විරහවත් රසයක් යැයි මට කියා දුන්නේ අමරේ අයියාය. ඇත්තමයි… විරහ රසය ෆුල් ආතල්ය.

නිවාඩු කාලෙන් පස්සේ ආපහු ලියන්නම්. අසා සිටි ඔබ හැමට ස්තූතියි. එතකන් මේක අහන්න.

සොඳුරිය ….කාලය කොතරම් නපුරුද
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය……..

පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුනු යුගයක
හදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය….

සොඳුරිය….

ලොවට හොරා වෙලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුනු දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්…. මිහිරිද සොඳුරිය…

මෙන්න සින්දුව.මේ ගීතයේ පද රචනය සමන්ත හේරත් , සංගීතය ප්‍රෙමසිරි කේමදාස

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

65 Responses to අවුල් වන්නට පෙර (59)…ප්‍රේමය නම්….

  1. maathalan says:

    ඒ කාලේ හැම එකාටම තිබිලා තියෙන්නේ එකම ස්ථාන කීපයක් තමයි.. මාත් ලව් කරන්න ගියපු තැන් ඕවා.. සැන් මිචෙල් එක සෙලින්කෝ ගෲප් එකේ පස්සේ කාලේක මම එම ආයතනේ වැඩ කරන කොට ඇනිමල් ජෙනරල් මීටින් තිබුනෙත් ඔකේ. එදාට අපිට ඩිරෙක්ටර් නෝනලා එක්කත් නටන්න පුළුවන්. ග්‍රීන් කැබින් එක නම් ගොඩක් උන් දන්නවනේ.. අර තාප්පෙ වගේ එකට අල්ලලා කෝච්ච්යේ වගේ හදපු රවුම් සීට වලට කතා කරන්න පුළුවන් නම් ගොඩක් දේ කියයි. ඔතන කෑම වලත් යුනීක් රසක් තියෙනවා. මම ඉස්සර කැමතිම ෆිශ් පයි එක. තාමත් ඒ රස එහෙමම තියෙනවා. ලම්ප්‍රයි එකත් එහෙමයි. ඉක්ලෙයාර් එකත් එහෙමයි. ඔතන ලව් කේක් එක කන්න අපේ ගෙදර හැම එකාම ආසයි. හැන්දෑවට ආප්ප තියෙනවා. ෂේප් එකේ බෝතලයක් උනත් ගෙනියන්න පුළුවන් ෆිට් උනාම.

    උඹ කියන හිමකිරම කඩේ කැරිනෝස් වෙන්න ඕන මට මතක හැටියට. පස්සෙ ඕක ගාළු පාරට ගෙනිච්චා. බලාගෙන ගියාම උඹව දැකලත් ඇති බං මේ තැන්වලදි…

    ඔය වගේ ප්‍රේමයන් වලට මම ගොඩක් මනාපයි. මොකෝ වගකීම් වලින් තොරයි නේ. මට නම් බොක්කෙන් ලව් කරපු එකකින් ගැලවීමත් පුදුම සතුටක්.. මොකෝ කාළයක් යනකොට ඕන මළදානයක් එපා වෙනවා බං. ලෝකෙට පේන්න ලව් කොලාට.. තනියෙන් උන්නා නම් කොච්චර නිදහස්ද කියලා වෙලාවකට හිතෙනවා.. මොකෝ අපේ පවුලේ එහෙම දෙන්නෙක් තු දෙනෙක්ම ඉන්නවා. උන්ව පේන් කොටත් ඉරිසියයි.. මොලේ ඇති මිනිස්සු. මේ ආත්මෙම නිවන් යයි. බැඳිම් නෑ නේ.

    • මාතා කැරිනෝස් තමයි නම. අමතක වෙලා හිටියේ.

      ඒ කාලේ කොළඹ අවට හිටිය එවුන්ට ඕවා තමයි තිබිච්ච තැන්. ග්‍රීන් කැබින් එකේ ඔය කෑම ජාති ටික විතරද බං තිබුනේ. මමත් ඔතන ආසම කෑම තම්යි ඕවා. ෆවුන්ටන් කැෆේ එකේ හොට්ඩෝග් එකයි, බිටර්ලෙමන් එකයි වගේ.

      ///////තනියෙන් උන්නා නම් කොච්චර නිදහස්ද කියලා///////
      මොන පිස්සුද බං. ඒක සාල වනේ. කීයක් දේවල් තනියෙන් කරගන්නද..බැඳපු එක දාහෙන් සම්පතක්. බෝනස් එකක්..

    • Sa rasa says:

      //අපි දෙදෙනාගේ ප්‍රියතම ස්ථානයක් වූයේ තර්ස්ටන් විදුහල අසල බගතලේ පාරේ තිබු එක් සුඛෝපභෝගි අයිස්ක්‍රීම් අවන්හලක්ය.//

      Venice වෙනිස් නේද?

      • වෙනිස් ඉතාලියනේ බං. දැන් මට පැටලෙවනවා. වෙනිස් තිබුනේ ගාලු පාරට කිට්ටුව නේද. මම කියන්නේ රීඩ් ඇවනියු කිට්ටුව වගේ. බගතලේ රෝඩ් කිට්ටුවම උඩ තට්ටුවක. මරු ස්පොට් එකක්. කැරිනෝ කියලයි මතක. මාතා කියපු නිසා එක පාරට මතක් වුනා වත්ද මන්දා. අපි එක ස්ට්‍රෝ එකෙන් තමයි ලව් කරේ. ආලයේ රස බෙදා ගැනීම. හුප්.

        බීපු මිල්ක් ශේක් එක මතකයි. බෙදාගත්තු හාදු අමතකයි 😀

  2. සෙන්නා says:

    මාර ලිවිල්ල බන්… පට්ට උපහැරණ, පද යෙදුම් කිහිපයක්ම දැක්කා…
    මටනම් ප්‍රථම ප්‍රේමය එච්චර ගානක් නෑ බන්…මාස හතරකින්ද කොහෙද අමතක වෙලාම ගියා…

    දෙවන ප්‍රේමය මගේ ජීවිතේම කරකවලා අතෑරියා…ඒකෙ අහු කොන් නිසා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා…

    • /////////මාස හතරකින්ද කොහෙද අමතක වෙලාම ගියා…///////

      මටත් එහෙමයි සෙන්නා. මේ දැන් ලියන්න ඕන නිසා මතකෙට ආවා. කාටද බං ඕවා මතක තියාගෙන ඉන්න පුලුවන්. වෙන වැඩ නැහැනේ හුප්.

      කරකැවිලා ගිය ප්‍රේම කතාවක් තාම තියෙනවා. තාම කැරකෙනවා මාත් එක්කම.

      • //කරකැවිලා ගිය ප්‍රේම කතාවක් තාම තියෙනවා. තාම කැරකෙනවා මාත් එක්කම//
        හෙහ්, හහ් 🙂

  3. ඇයි යකෝ මෙව්වනේ නියම ටෙලි නාට්‍ය කියන්නේ. යකෝ අරු, විකුනපන් මේ කථා සැකිල්ල බර ගානකට හොඳ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ කෙනෙකුට.

    ප්‍රේමයේ විරහවාදත් සිතේ කොනක තියනවා. ඒ බව මගේ බිරින්දෑත් දන්නවා.

    ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ…………….

    බිටර්ලේමන් රසය ඇත්තටම මතක්වුනා. දැන් හදන්නේ නැහැ නේද?

    • චිකේ විචා නෝන්ඩි කරන්න එපා ටෙලි බෙලි කියලා. මේවා ෆිල්ම් ස්ටෝරිස් 😀

      ////////සිතේ කොනක තියනවා/////////////
      කොනේම තියාගනින්. මැද්දට ගන්න එපා. හෙන ලෙඩේ.

      බිටර්ලෙමන් මෙහෙනම් තියෙනවා. ඒත් එලිෆන්ට් හවුස් එකේ රහට මම කැමතියි.

      සාගරය බඳු වේදනාවෝ සුන්වෙලා යනවෝ……………..

  4. දමිත් says:

    විරහව පට්ට රසය .අම්මප ඇත්ත

    • ඔව් බං. වයිෆ් ඔරොප්පු වෙලා දවසක් කතා නොකර හිටියාමත් එහෙමනේ. මිල්ටන් පෙරෙරාමයි මතක් වෙන්නේ. හා….උඹට එහෙම නැද්ද

  5. Anonymous says:

    I know dis girl by name!

  6. ///දෛවයටත්, වෛරයටත් කොම්බු දෙකකි. ඒකත් ආතල්ය////
    එහෙමයි…..!

  7. අඩෝ අරුණයියේ ඒකි දැං කොහේ ඇද්ද . උඹට මේ කතාව මතක තිබ්බට ඒකි මැරිලා ඉපදුනා වාගේ ඇති ….ගෑණු එහෙමයි ….බං හරි ලේසියට අමතක කරලා අත ඇරලා දානවා

    • අටම්…එයා දැන් වැඩිමහල් දියණියන් දෙදෙනෙකුගේ මවක්. සතුටින් ඉන්නවා ඇති. දැනට ඒ ඇති.

      මටත් කතාව විතරයි මතක. එයා ගැන මතකය අමතක කරේ මම බැන්ද දවස්වල. ගෑනු විතරක් නෙමේ බං පිරිමිත් එහෙමයි අමතක කරලා දානවා. මමත් එහෙමයි. ඔය මතකයන් එක්ක ජීවත්වෙන්න්න ගියොත් වැඩේ කචල්. ඕන වෙලාවට මතක් කරනවා. කරනවා නෙමේ මතක් වෙනවා. ඒක අපි කාටත් පොදුයි. හිත කියන්නේ අමුතුම සීන් එකක් බං.

      • අමතක කර ඉදිරියට යාම තමයි හොඳම.. පස්සේ කාලෙක හැමෝටම සතුටු වෙන්න පුළුවන් එතකොට.

  8. /* …..දෛවයටත්, වෛරයටත් කොම්බු දෙකකි. …*/

    ඇයි මෛත්‍රිය?

    බ්ලොග්කරුවෙකු වුණාට පස්සේ මට සිදුවුණු එක හොඳක් නම් ඇනෝනිමස් ලා නිසා මෛත්‍රීය වැඩීමට පුරුදු වීමයි!

  9. /* නමුත් එදා මම ඉකි ගසමින් හැඬුවෙමි. */

    මේ ඇත්තද? මාත් මුල්ම ලව් එකෙන් සරල බූට් එකක් කෑවා, හැබැයි ඇඬුවේ නම් නෑ! හිත දැඩි වුණා, වඩා ප්‍රායෝගික වුණා!

    • බොරු නෙමේ රසික. මම තනියම ඇඬුවා. පස්සේ කාලෙක එයාත් ඇඬුවා. මේ කතාව ටිකක් අමුතුයි.

  10. LM says:

    කියවා තදබල ලෙස ඌයියා උනෙමි….
    සතියකින්වත් ප්‍රකෘති උනොත් හොඳයි. ( මරු ලියවිල්ල අරූ)

    • ඇල් ඇම්……මොන එහෙකට ඌයියා කරගත්තාද මන්දා. විරහව කාලකට ගල් බාගයක් දාලා ගහපන්. සතියක් යන්නෑ, පහුවදාට ප්‍රකෘති හෝ විකෘති.

      • LM says:

        යකෝ මම කෙල්ලෙක්.
        අඩි ගහන්න කතාකරන්නේ හරියට පාන් කාලක්, පරිප්පු සේරුවක් ඉල්ලනවා වගේ.. හෙහ්… ඉඳපන් මම දිග උත්තරයක් දෙන්ට මහා ලොකු සුද්දවන්තයින්ට

      • කෙල්ලෙක් කියලා කිව්ව නිසා ඇල් ඇම් නොකියා එලමා කියන්නම්.

        කවුද අඩි ගහන්න කතා කරේ. මම සපත්තු රිපෙයාර් කරන මනුස්සයෙක් නෙමේ : D ඔය ගල් බාගයක් කිව්වේ ගඩොල් බාගයක්. විරහව එක්ක ගඩොල් බාගයක් කලවන් වුනාම, අඬෝපු එකාට ගල් බාගෙන් දමලා ගහන්න හිතෙන්නැද්ද…

        මම සුද්ධවන්තයෙක් නෙමෙයි එලමා. කවුද වැරදි නොකරන්නේ.

      • බොහොමයක් ගැහැනු උදවිය මේ සින්දුවට ආසයි නේද…
        මේ පාළු සීත රාත්‍රියේ..
        කියාදෙන්න රහසින්..
        ප්‍රේමය නම් කිමැයි කියා…..

        ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
        පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
        සංගීතය : සමන් කුඹුකගේ

      • LM says:

        අඩෝපු එකාට ගල් බාගෙන් නම් ගහන්න හිතිලා තියෙනවා අනන්තවත්. ඒ උනත් ප්‍රේමය හරස්වෙලා ආයෙමත් මාව විසිකරපු එකාගේ පස්සෙන්ම දුවවනවා.
        මම සුද්දවන්තයින් කිව්වේ ‘කාටවත්’ නෙවෙයි අරූ…. ඔබට වත් නෙවෙයි. කියන්න හැදුවේ මේකයි.

        අපේ ඔය ගොඩක් ආදරවන්තයෝ ඉන්නවනේ ‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි’ කියන කෙබරය , කෙබරයක්මයි කියල දැනගෙනම රිපීට් කරන අය. දැන් බලන්න ඔබතුමා තාරුකා දැරිවිට ආදරේ කලේ නැද්ද දරුණුවට? ෆිසිකල් ආකර්ෂණයක් කියන්නෙත් එක්තරා රැහැනක් තමයි ආදර සම්බන්ධයක. සුදුපාට සළුපිලි දරන 99% දෙනා කියන්නේ ( එයාලත් ෆිසිකල් වැඩේ කරලා තිබුනත්) ‘අපෝ දැන් කාලේ ළමයි හෙන නෝටි… අපි නම් ප්‍රේමය මාර විදියට මෙව්වා කලේ’ අරකද මේකද…. මොන බොරුද නේ? කෙල්ලෙක් නම් කොහොමත්ම ඒ ඇත්ත ලියන්නේ නැහැ. කොල්ලෙක් නම් ලියන්නේ සමහරවිට ‘පොරත්වය’ පෙන්වන්න වෙන්නත් පුළුවන්. ඒ උනාට ඔබ නම් මේවා කියන්නේ අව්‍යාජ බවට කියලා කාටත් තේරෙනවා. එහෙම ගියපු ප්‍රේමකතා වලදී වැඩිපුරම අපහසුතාවයට පත්වන්නේ තරුණිය. ඒ නිසා අනන්‍යතාවය රැකපු එකට විශේෂ ස්තුතිය. මම දැකපු පොදු කාරණයක් තමයි, සයිබරයේ පවා මවාගත්ත සුදු රෙදි පොරෝගත්ත ‘සිල්වත්’ පෙම්වතියන් නම් ඕසේට. එහෙම දෙයක් ලිව්වොත් ඒ තරුණියට බැස්ටිය දෙන්න පිරිමිත් පෝලිමට!

      • ///////////ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි’ කියන කෙබරය , කෙබරයක්මයි කි//////////////

        ප්‍රායෝගික නැති පට්ට පල් බොරුවක්නේ. ඔය වාක්‍යයේ අන්තිමට නැත්තෙත් ප්‍රේමය විතරයි. රාගයයි, සඳ එලියයි, අහවල් එකයි ඔක්කොම ඉතිරිවෙනවා. ප්‍රේමය හෙමින්ම මාරුවෙලා. අපි සියලුම හොඳ ප්‍රදර්ශනය කරනවා. සියලුම නරක වහගන්නවා. බොහොමයක් අය තම තමන්ටවත් විවෘත නැහැනේ. ඉතින් වෙන දේවල් කොහෙන් බලාපොරොත්තු වෙන්නද…මැස්සෙක්වත් වහපු නැති ගෑනු හොයන්නේ, මගුල් දවසට ඉස්සෙල්ලත් කොටු පනින හාදයෝ.

      • LM says:

        හි හි හි
        ඒකනේ ‘බයිසිකල්’ චිත්‍රපට ඒ වගේ නෝනා මහත්වරුන්ට අල්ලන්නේ නැත්තේ.

  11. raj1st80 says:

    අයියෝ! මොනව කියන්නද.
    උඹේ ලිවිල්ල නං පට්ට. මොකක් හරි අලුත් කෑල්ලක් හැමදාම ලියවෙනව.

    • ///////මොකක් හරි අලුත් කෑල්ලක් හැමදාම ලියවෙනව.//////

      රාජ්……පරන කෑල්ලක් ගැන අලුත් කෑල්ලක් ලියවිලා 😀

  12. Anonymous says:

    අරූ… යාලුවෙක් මට මේ ලින්ක් එක එව්වා. ගැහැණු ළමයෙක් ලෙස මටත් මේ වගේ කතා තියෙනවා කියන්න. සමහරවිට මම යාලුවෙක් ලවා හෝ ලියවන්න හිතෙනවා මේක කියෙව්වම

    • ලින්ක් එක දුන් යාලුවාට තෑන්ක් කරන්න. වෙන කාටවත් කියලා ලියවන්නේ මොකටද. ඔබට පුලුවන් විදිහට ලියන්න. අනිත් එක ඇනො ගෑනු ලමයෝ…..තමන්ගේ අත්දැකීම් තමන්ගේ අතින් තරම් අව්‍යාජව වෙන අයෙකුට ලියන්න පුලුවන්ද කියලා මට හිතෙනවා. ඔයාම ලියන්න. ඔබට බ්ලොග් එකක් තියෙනවද.

  13. අරූ, පරණ ප්‍රේම කල්පනා කිරිල්ල හරි ආතල් ජනක වැඩක් නේද.. මම පෝස්ට් එකක් ලියන්න අරන් බාගෙට නතර කරලා දැම්ම තාම හරි කාලේ නෙවෙයි වගේ නිසා.. හෙහ් හෙහ් මේවා කියවද්දී නලියනවා වගේ.. මරුවට ලියල තියෙනවා..

    • අනේ ඔව් පැතුම්. පොඩි ආතල් එකක් තියෙනවා තමයි. හීනියට හිනාවකුත් යනවා මතක්වුනාම. අපොයි පැතුම් මට නම් ඔය පරණ ලව් නිසා මාර වැඩ වෙලා තියෙනවා. වයිෆ්ටත් නෝන්ඩි වෙලා තියෙනවා. පස්සේ ලියන්නම්.

      මම හිතනවා පැතුම්ට පරණ ලව් ලියන්න වේලසන වැඩියි කියලා. පැතුම් තව ටිකක් වයසින් මුහුකුරා යනකොට ඒ කතා දිහා අද දැනෙනවාට වඩා වෙනස් ආකාරයකින් දැනෙයි. ඒ වෙනවිට ගෙදර උන්දෑ වුනත් නිවැරදි කෝණයකින් ඔබේ කතාව කියවයි. තේරුම් ගනියි. ඔහොම තමයි මට හිතෙන්නේ.

  14. ravi says:

    ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ
    නීල නයන කිඳුරා ලතා
    නළල පැළදි කියඹු ලතා
    මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ

    හෙදියක් පිළිබඳ සොඳුරු මතකයන්……හෙහ්,හෙහ්,

    • ප්‍රේම සැඳෑවෝ කියන්නේ රවී…ගෙදර යන්න ඕන…දැන් රෑ වෙලා….තව ටිකක් ඉන්න… හෙට එනවද වගේ වාක්‍ය ඛන්ඩ හතර පස් වතාවක් හුවමාරු වෙලා අවසන් වෙන මහා පාලු වෙන්වී යාම්. බොරුද මං කියන්නේ.

  15. Manoj says:

    අරූයියා දැන් පොස්ට් එක ඉවර කරන්නෙම සින්දුවකින්.නියමයි ඈ.
    මගෙත් ප්‍රථම ප්‍රේමය නර්ස් නෝනා කෙනෙක් තමයි.අපේ තියෙන ලෙඩ පාටට අනුකම්පාවෙන් වෙන්න ඇති නර්ස් කෙල්ලෝ අපිත් එක්ක යාලු වෙන්නේ.

    • මනෝ…..අන්තිමට සින්දුවක් දාලා ජාම් බේරගන්නවා 😀 අඩුම ගානේ ලියවිල්ල කොහොම වුනත් සින්දුව හරි රසවිඳියිනේ.

      ///////අපේ තියෙන ලෙඩ පාටට අනුකම්පාවෙන් වෙන්න ඇති නර්ස් කෙල්ලෝ අපිත් එක්ක යාලු////////
      ඔය නර්ස්ලා අත්දැකීමෙන්ම දන්නවා මුට තියෙන්නේ මොන ජාතියේ සික් එකක්ද කියලා.

  16. ඇහැට කඳුලක් ආවේ මොකද කියල මම මේ කම්පනා කලේ…
    පෝස්ට් එක නියමයි අරූ…

    • උඹට දුක හිතුනද නැත්නම් ඇහැට රොඩ්ඩක් ගියාද ලොකු පුතේ.

      මං වගේ බබා හුකුං ප්‍රේමවන්තයෙකුට ලව් සික් කාලෙට හරියන සිංදුවක් 😀

      මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
      ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
      ගායනය : එඩ්වඩ් ජයකොඩි
      පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ

  17. SURAYA says:

    අරු, උබ අයෙ බ්ලොග් එක ලියනවා කියල ඩක්කම මට අර කාලයක් නවතිලා තිබ්බ “සතුට” පත්තරෙ අයෙ අවා වගෙ ජොලියක් අවා.ඊයෙ එක හුස්මට නවතුන තත සිට උඩට සහ පහලට කියවගෙන ගියා.ඉවරවුනාම අර කලතුරකින් හම්බවෙන විජිනි පතකින් පවන් සලාගත්තා වගෙ සුවයක් හිතට දනුනා බන්.
    නස්නොනල සහ ප්‍රතම ප්‍රේම්ය අනෙ තව ලියපන්,මෙ සින්හල අකුරු කොටන විඩිය අම්මාරු හීන්ඩ හිතෙතියන ඩාහක් ඩෙවල් කියගන්න බෑ මටත් එක්ක උබ ලියපන් මෙකමම ඉගෙන ගන්න ඩන්න එකෙක් කියල ඩෙනකන්.

    අර ඉර්සියා කරයෙක් ලියල තියන” නොනා මගෙ නර්ස් නොනා” සින්ඩුවෙ තියන අන්තිම කෑල්ල බොරු බන්. රෑ12 කොඅර්ටෙස් යන්න ඔන මොකට.අච්චර ලොකු වාට්ටුවක් තියන කොට.

    • සුරයා….උඹත් සතුට හොඳට රස විඳපු එකෙක්. ආපහු කතාව කියවන්න ගත්ත එක මටත් සතුටක්. අපි උඹලා මේ කතාවේ යාවජීව සාමාජිකයෝ. බ්ලොම් එකත් මම හොඳ ආතල් ගත්ත තැනක්. සංවාදයට හවුල් වෙයන්.

      මම හෙදියන්ට හරි මනාපයි. බලපන් ඒ සර්විස් එක අගයන්න කවුරුත් නැහැ. මම ෆුල් සිරා කියන්නේ.

      විජිනි පතකින් පවන් සලා ගත්තා වගේ කිව්වේ, පොඩි ත්‍රෛලෝක සීන් එකකද ඉන්නේ.

  18. Pra Jay says:

    අනිත් අරුණව හම්බවුනේ නැද්ද?

    • හම්බවෙලා ආශ්‍රයත් කරා. ඒ කතා ඉස්සරහට ලියන්න තියා ගන්නම්. මම මේ වගේ පල්හෑලි මිසක් වෙන මොනවා ලියන්නද..මේවා ප්‍රා, ලියනවට වඩා හීනියට සෙට් වෙච්ච වෙලාවක කතා කරන්න හොඳ අත්දැකීම් බං.

  19. මේ කතන්දර ලියමන මාර රහයි….ආදරේ කරන්න හිතුනම මිනිස්සු ආදරේ කරනවා…කෙලවර කරන තැන හිතන්නේ පස්සෙනෙ….කොහොමත් ඕක වගකීමක් නැති කාලයක්නෙ ජිවිතේ…

    • ඔව් පොකුරු. වගකීම් නැති කාලවලදි තමයි අඩුම ගානේ අතදිග හැරලා ප්‍රේම කරන්නවත් පුලුවන් වෙන්නේ. ඊට පස්සේ අපි වගකීම් නිසාම ආපහු බොක්ස්ගත වෙනවා. ඉන් පස්සේ එන වගකීම්වලට එන්ඩ් එකක් නැහැ. පොඩි පොඩි ඉන්ටවල් විතරයි. බලාගෙන ගියාම සීරුවෙන් සිටීන් මොඩ්ල් එකේ ජීවිතවලින් ඇති වැඩකුත් නැහැ.

  20. අරූ අයියා.. පහුගිය ටිකේ පුක බිම තියාගන්න වෙලාවක් හම්බුනේ නෑ සමහර පෝස්ට් කියෙව්වෙ තුන් හතර වතාවකට.. ප්‍රේමයට එක කොම්බුවයි වෛරයට කොම්බු දෙකයි ලියන්නත් අමාරුයි.. දිගටම ලියහං මෙහෙම උඹට පිං අයිති වෙයි හිටං

    • මටත් තේරුනා කමියා බිසි බව. පරණ පෙම් කතා ලියනකොට අපිත් අලුත් වෙනවා. නත්තල් ජෝගි ඉවරවුනාම ආපහු ලියන්නම්. ෆිටේ ෆිට් නව වසරක් වේවා!!

  21. සිරා says:

    මේ කථා මාලාව අන්තිමට කියවපු දවසක් මට මතකම නෑ. කොහොම හරි හුග කාලෙකින් කියවලා නෑ. ඉතින් නැවතුන තැන මතක් කරගෙනම කියවමු.

    දිඹුලාගල පාසලේ වැඩේ ගැන කාමරේ විස්තර තියෙනවා…කියවලා බලලා ඔබේ සහයෝගයත් ලබා දෙන්න.

    • හලෝ සිරා. හෙමිහිට කියවන්න.

      මම මේ නත්තල් කාලේ ඉවරවුනාම ඒ එකවුන්ට් එකට සහයෝගයක් දෙන්නම්.

  22. නර්ස් සෙක්ස්නම් මරු ….හැබැයි මට ඒ අත්දැකීම ලැබුණෙ එයා නර්ස් වෙන්න ඉස්සර…නර්ස් වුණාට පස්සෙ එයා හරියට දියුණු වුණා.ඒක තමයි හොයා ගන්න ඕනි කරුණ..
    තව දේවල් ඉතිං අතරින් පතර තියෙනවා…කොහොමටත් අද වුණත් මට සෙක්ස් ලව් කියන්නෙ එකම දෙයක්..ඔය දෙක ගැලවෙන්නෙ නැහැ.තාවකාලික වුණත් දැන දැනම ඒ මොහොතට හෝ තදින් බැදි ආදරය කරන්න ආසයි.අනික සිහිනාත්මයකින් කරන දෙයක් වගේ…ඒ මොහොතේ රස සැහැල්ලුව විඳින්න හරිම පෙරේතයි.

    ඒ දේ තවමත් ජීවිතයේ පුරවාගන්න හොයන පිපාසයක් සහිත දෙයක් බැවින් උඹේ ආදරණිය අත්දැකීම් මට මනුස්සකමේ බරටම හදවතට කිදා බහිනවා….

    • නිශ්මා….අදයි පොඩි නිදහසක් ලැබුනේ.

      ලව්,ලස්ට්,සෙක්ස් මේවා නිකං ගහට පොත්ත වගේ බං. වෙන් කරලා කතාකරන්නත් අමාරුයි. එක් මොහොතකදි මේ සියල්ල එක් වෙනවා. ඒ මොහොතින් පසු ඒ සියල්ල ආපහු තම තම ස්ථානවලට යනවා.

      එදා ඉඳන්ම මේ බ්ලොග කියවීම පිලිබඳ ස්තූතියි.

  23. බන්‍ධුල කුදලාගම says:

    අරුණ පෙරේරාණනට ද එතුමාගේ පවුලේ සැමට ද සුබ නව වසරක් වේවා! වැඩි වැඩියෙන් ලියන්නට අරුණ පෙරේරාණන‍ගේ සිත යොමු වේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • බොහෝම ස්තුතියි බන්ධුල. ඔබ සැමටත් නිදුක් නිරෝගි සුවය පතමි.

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරාණෙනි,

        මා විසින් පෙර කල ලියවුණු ඔබතුමා සම්බන්ධ ලිපි කීපයක් නව වියුණුවක පළ ව ඇත (එම වියුණු‍ මා විසින් පවත්වා ගෙන යන්නක් නො වේ. ඕනෑ ම අයකුට ඒ සඳහා ලිවිය හැකි ය.) විවේකයක් ලද කලක ඔබතුමාට සම්බන්ධ ලිපි පහත පුරුකින් විවේකී ව කියවා බලනු මැන:

        https://publicsphere2017.wordpress.com/tag/%e0%b6%85%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f/

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

      • මේ ලින්ක් එක ලබා දුන්නාට බොහොම ස්තූතියි බන්ධුල. මම එහි සැරිසැරුවා. අදහස් දැක්වූවා. සිරි අයියා පිලිබඳ ලිපියට, ඔබ දකින්නට නැතැයි සිතා තව කෙනෙක් එවූ අදහසක්ද එහි ඇමිනුවා. දිගටම පවත්වාගෙන යන්න ශක්තිය ලැබේවා!!!

  24. තුන හතරකට සමාන්තරව ලව් කිරිල්ල භයානකය, අවසානයේ සමාන්තර රේඛාවන් තම රේඛීය මාර්ගයෙන් මිදී එකිනෙක ජේදනය වූ කල්හි ලව් ඉලව් වීමකින් කෙලවර විය හැකිය !.

    එහෙමයි කියලා හම්බ උනා නම් නොකර ඉන්නවා යයි බොරු කියන්නේ නම් නැත 😀

    කරුමයකටදෝ මා හට නම් තිබුණේ එක පාර්ශවික ප්‍රේමයන්ය … ලොකුවට තිබුන වන් ඇන්ඩ් ඔන්ලි එක හාමිනේය !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s