අවුල් වන්නට පෙර (60)….නො කියු කේලම

මගේ ප්‍රථම ආදර කතාව සම්මතයේ සිට අසම්මතය දක්වා දිවයන බවක් හැඟේ. ප්‍රේමය නම් ප්‍රේමය මිස, එහි සම්මතයක් හෝ අසම්මතයක් ඇද්දැයි මම දැන් සිතමි. එය විසඳාගත යුතු හෝ තර්ක කරමින් කාලය ගතයුතු මාතෘකාවක් යැයි මට නොසිතෙන්නට ඇත. වරදකාරී හැඟීම් ඇතිවී, නැතිවී යයි. ඒ මිනිස් ස්වභාවයයි. ඒ කෙසේ වෙතත් ඔහුගේ තාරුකාට, ඔහුට හොරෙන් මම පෙම් කෙරුවෙමි. ඇය තව දුරටත් මගේ තාරුකා නොවේ. තාරුකා අරුණලා දෙදෙනෙකුට මැදිවී ඇත. මට ඕනෑම මොහොතක ඉන් මිදී යා හැක. මන්ද ඒ සංසිද්ධිය තුළදී මම පෙම් කළේ තාරුකාට නොව, තාරුකා නම් යොවුන් පංචස්කන්ධයට බැව් මම වටහාගෙන තිබිණි. මම එහි සෘජු වරදකරු නොවේ. මම වින්දිතයෙක් බැව් මට සිතුණි. ඇය මාගෙන් මිදීමට උත්සාහ ගන්නේද නොමැතිනම් “ජීවිතයේ මිහිර සොයා අපි යමු පියා සල සලා” හැර යමක් මට නොවැටහෙන්නට ඇත.

දැන් මගේ නවාතැන පිළිබඳ අර්බුදය විසඳා ගත යුතුවේ. මගේ කාමරේ සගයා, තාරුකා සොයාදුන් ඒ නවාතැනෙන් පිටව යායුතු බවට දැඩි තීරණයකට පිවිස ඇත. මමත් ඔහුත් බොහෝ කාලයක් එක්ව ආශ්‍රය කල නිසාත්, ඔහු මට බොහෝ ලෙන්ගතු නිසාමත් අකැමත්තෙන් හෝ මමද කාමර සොයන්නට පටන් ගත්තෙමි. මගේ මිතුරා තනි කාමරයකට කැමති බවත්,ඔහුගේ පෙම්වතිය සමග වාසය කිරීමට කැමති බවත් නොකියා කියයි. ඇය එකල කැලණිය විශ්ව විද්‍යාල සිසුවියක්ය. අදත් ඔවුන් අඹු සැමියන් ලෙස ජීවිතය ගෙවනා බව මම දනිමි. නැවත විජේරාමේ ගෙදරට හෝ අපේ ගෙදරට යාමට මම තීරණය කෙරුවෙමි. මම මේ බව තාරුකාට පැවසීය. ඇය මා හට ඔවුන්ගේ නිවසේ කාමරයක් පිළියෙල කර දුන්නාය. මොනවා කරන්නද….අපි ආශාවන්ට ඉඩ දුන්නෙමු. යෞවනයේ චමත්කාරය එයවේ. ළංවීමට වඩාත් පහසු සහ නිදහස් ක්‍රියාවලීන් තුළට ඉතා ඉක්මනින් පියමං කරයි. එහි වරද හෝ ප්‍රතිඵල වටහා ගන්නේ , එය වරදක් යැයි තමන්ටම තේරුණ දිනයකය. මේවා ඉස්ම සාදා මොළේට වැක්කෙරුවත් පලක් නැත. අවබෝධය ලැබෙන්නේ කාලයත් සමගය.

මේ වනවිට තාරුකා සහ පවුලේ උදවිය පදිංචිව සිටියේ කොහුවල නගර ආශ්‍රයේය. කාමර පහකින් යුත් නිවසේ ඉස්සරහ කාමරය මගේය. අම්මා පිටරටක ජීවත්වීමත්, තාත්තා වෙන්ව ජීවත් වීමත් නිසා තාරුකාත් අයියාත් පවුලේ වැඩ කටයුතු බලාගනී. අම්මා එංගලන්තයේ සිට මුදල් එවනා නිසා ආර්ථික ප්‍රශ්නයක්ද නොවේ. නමුත් දෙමව්පිය උපදෙස් හෝ සුපරීක්ෂණය නොමැතිව වැඩෙනා තරුණ දූ,පුතුන්ගේ අනාගතය සහ ඒ දරුවන් විඳිනා අසීමිත වල් බූරු නිදහස පිළිබඳ ඔවුන් තුළිනුත්, පෞද්ගලිකව මගේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදීත් බොහො දේ වටහා ගත හැකිවේ. මම ගොඩ ගියෙමි. ඒසේ ගොඩ වෙන්නට නොහැකිව ගසා ගෙන යන්නෝද බොහෝය.

මම දැන් සේවයට යන්නේ කොහුවල සිටය. ඇයද පෙර සේම රැකියාවේ යෙදේ. එම නිවසේදි මම ඇයගේ හිතවත් මිතුරු නවාතැන් කරුවාගේ භූමිකාව හොඳින් රඟපෑවෙමි. නිවසින් පිටතදි අපේමවූ තනිවීම්වලදි අසම්මත ප්‍රේමවන්තයාගේ චරිතයත් එලෙසම රඟදැක්විමි. මම දැන් හොඳ නළුවෙක්මි. ටික කලකට පසුව ඇයගේ වැඩිමහල් නැඟණියන් දෙදෙනා මගේ චරිතයේ සඟවා තිබූ තිර පිටපත කියවා ඇති බව අපට වැටහිණි. පාසල් අවසන් වසර සමයේ සිටි මොවුන් ඒ වන විටත් මගේ හොඳම මිතුරියන්වී හමාරය. ඔවුන් අක්කාටත් වඩා මගේ මිතුරියන් බැව් අපේ ඇසුරේදි කෙනෙකුට පෙනේ. ඔවුන් මට ඉතා හොඳින් සැලකූහ. සංග්‍රහ කළෝය. නමුත් මේ සියලු සිදුවීම් අතර, සති දෙක තුනකට වරක් සති අන්තයේ දිනෙක නිවසට ගොඩවදිනා එක් පුද්ගලයෙක් වේ. ඒ ඇය විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටිනා ඇයගේ පෙම්වතා අනිත් අරුණය. දැන් මම අරුණ අයියාවී, ඔහු “අනිත් අරුණ අයියා” වී තිබේ. සැබැවින්ම “අනිත් අරුණ”විය යුතුවන්නේ මමය. මම ආගන්තුක කුරුල්ලෙක් විය. මේ සිදුවීම් විටෙක ඉතා සංවේදීය. විටෙක ඉතා ජුගුප්සාජනකය. නමුත් මහා ව්‍යසනකාරී නොවී වෙනත් මගක් කර ගලා යන්නට ගත්තේ ඉන් කාලයකට පසුවය.

අනිත් අරුණ පැමිණෙන විට මා නිවසින් බැහැරව සිටින්නෙමි. විජේරාමේ හෝ ජුබිලි කණුවේ පැත්තේ නැත්නම් මෙඩිකල් කොලෙජ් බ්ලොම් එක පැත්තේ වල බසින්නට යන්නෙමි. මට මිතුරන් බොහෝ විය. ගාලු පාර, හයිලෙවල් පාර ඕනම තැනක “සෙට්” වෙන්නට බොහෝ සගයෝ වූහ. පාසල් මිතුරෝද, රැකියා මිතුරෝද බොහෝ විය. මගේ සෙට්වීමේ කලාවේද කිසි වෙනසක් නැත. සමාජය හා තදින් පත්තියං වී තිබුණු යුගයක්ය. ඒ වයසේදී මගේ පාසල් මිතුරන් බොහෝමයක් විශ්ව විද්‍යාලයන්හී පත පොතේය. මම ඒ සියල්ලන්ට වඩා ඉතා වෙනස් සමාජ රාමුවක නිදහසේ සැරි සරන්නෙක්මි. මට අපේ පවුලත් සමග තිබු සම්බන්ධකම් ඉතාම අවම තත්වයක පැවති යුගය මේ කාලය විය යුතුය. මම ගෙදර ගියේ අම්මා අතට කීයක් හෝ මිට මෙලවීමට පමණි. මම පාසල් කාලයේ සිටම නිවසින්, පවුලෙන් බැහරව ජීවිතය ගොඩ නගාගත්තෙක් නිසා මේ බැඳීම මට නොතේරුනා විය හැකිය. එදා මා අතින් ගිලිහිණු පවුලේ කොඩිය, ඉන් ටික කාලයකට පසු නැවත මා අතට ගෙන කිසි දිනෙක අත හැරියේ නැත. විවාහයෙන් පසු මගේ ආදරණීය බිරිඳ මටත් වඩා උනන්දුවෙන් ඒ වගකීම අදටත්හැකි පමණින් ඉටු කරයි.

මගේ මේ ජීවිත අත්දැකීම් තුළ විසිරී ඇති අතුරු කතා බොහෝය. ඒවා එකින් එක පෙළ ගස්වා ගැනීමට බොහෝ අසීරුය. ජීවත්වෙන එක ලෙහෙසිය. ජීවිතය ලියා තැබීම එතරම් ලෙහෙසි නොවේ යැයි සිතෙන්නේ මේ වෙලාවටය. නමුත් මගේ උවමනාව සඳහාවත් මේ සියල්ල කැටි කර ගත යුතුවේ.

තාරුකා විවාහ අපේක්ෂිත අරුණ නොහොත් අනිත් අරුණ දකුණු පළාතේ වැදගත් පවුලක උගත් තරුණයෙක් බව මම අසා ඇත්තෙමි. ඔහු රැකියාව කළේත් ඒ පළාතේමය. මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමහල්ය. ඉතාමත් නිහඬ සහ “සීරියස්” පන්නයේ චරිතයක්ය. මා වැනි “ඕන ටොෆියක් පනම් අටේ” වර්ගයේ බුවෙක් නොවේ. නගරයේම ජීවිතය ගෙවු අපි වැනිවුන්ට කාටවත් වටහා ගත නොහැකි දඩබ්බර කෙළි ලොල් ජීවන රටාවක් තිබු බව මට සිතේ. මේ ජීවන පැවත්මට කැමති බොහෝ යෞවනියෝ අප ඇසුරේ වූහ. මගේ වෘත්තියත් මීට බලපාන්නට ඇත. අද නම් ගම සහ නගරය යනු දෙකක් නොව එකක් බවත් මට හැඟේ. ඒ අතින් “අනිත් අරුණ” මේ අරුණට වඩා බොහෝ වෙනස්වේ.

මින් ටික කාලයකට පසු අනිත් අරුණ මා දුටු දිනයකදී කීවේ මා සමග යමක් කතා කිරීමට අවශ්‍ය බවය. මීට පෙර ඔහු සමග මා කතා බහ කර තිබුණද පොඩි ලෙඩක් ඇදෙන්නට යන බව ඒකාන්තය. මට නැතිවෙන්නට දෙයක් නැත. නමුත් මට සැඟවීමට දෙයක් ඇත. ඔබ මෙවන් අවස්ථාවකට පත්වී ඇත්නම් එය නැවත සිහිකර ගැනීම වටී. තම පෙම්වතිය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යන පුද්ගලයාගේ චරිතයට ගොඩවී බසින්න. ඒ අවස්ථාවට මුහුණ දීම කොතරම් අසීරුද…බියකරුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මරණයෙන් පවා කෙළවර විය හැකිවේ. මිනිසුන් ප්‍රේමයේ පරාජිත බව ඉදිරියේ මහා මෝඩයන් සේ හැසිරේ. විරහව රසයක් කරගැනීමේ කලාව මට පුරුදුවී තිබුණි. මට භයකට වඩා තිබුණේ ලැජ්ජාවකි. මම ඔහුව රැගෙන නුගේගොඩ හොඳ බාර් එකකට ගොඩවුණෙමි. ඔහු බීමට එතරම් ප්‍රිය නොවීය. ඒත් අපි බියර් බිව්වෙමු.

මට මහා වරදකාරී හැඟීමක් දැනෙන්නට ඇත. මට ඒ අවස්ථාව කෙසේ ආරම්භවූවා දැයි මහා මතකයක් නැත. අප ගතකළ ඒ කාලය පුරාවටම ඔහු කතාකරේ එකම එක කාරණයක් පිළිබඳ පමණි. ඒ ඔවුන්ගේ විවාහය පිළිබඳව පමණමය. මට මහා හයියෙන් කෑ ගසා හැඬීමට තරම් දුකක් හා මහා වේදනාවක් ඔහු කෙරේ ඇතිවිය. මට සියල්ලෙන්ම ඉවත්ව පලායන්නට සිත්විය. ඔහු යමක් සිතේ සඟවා තබාගෙන කතා කළා දැයි අදටත් මම නොදනිමි. මා හෝටල් සේවකයකු නිසා, විවාහ උත්සව සංවිධාන කටයුතු සහ වට්ටම් පිළිබඳ අදහසක් ලබාගැනීම ඔහුගේ අරමුණ වන්නට විය හැක. ඔහු දොඩමළු වූයේ ඒ පිළිබඳවය. මම යම්කිසි තීරණයක් ගත යුතු බව තදින්ම දැනෙන්නට විය. මම ඔහුට නැවත තාරුකාගේ ගෙදරට යන්නට යැයි පවසා ගල් අරක්කු බාර් එකකට ගොඩ වුණෙමි. ජීවිතේ හැටි ඔහොමය. මින් පසු කිසිදා කිසිම මොහොතක අද වන තෙක් ඔහු මට මුණ ගැසී නොමැත. තාරුකාගේ කතාව ඊට වෙනස්ය. මම මේ ඇසුරෙන් මිදෙන්නට සිතා ගතිමි.

මේ කාලයේදීම අපේ ඔබරෝයි හෝටලයට අළුත් බැච් එකක් පුහුනුවීම් සඳහා බඳවාගෙන තිබේ. විසිපහක් හෝ තිහක් ඒ කංඩායමට අයත්විය. එහි සිටි සුරූපි, පැහැපත්, උස. සිහින් දෑරි යුවතියක් මා දෙස බලා සිනාසුණාය. ඇය ඒ කාලයේත් ඇඳ හිටියේ තද ඩෙනිමක් සහ Singapore යනුවෙන් සටහන්වූ සැහැල්ලු ටීෂර්ට් එකක්ය. අපි ඇයට මේ කතාව තුල ෂෙරුණි යනුවෙන් නමක් තබමු.

අනිත් අරුණට මේ අරුණ කවදාවත් නොකියු ගීතය..
පද රචනය – සුනිල් ආර්. ගමගේ
ගායනය/තනුව – විශාරද ගුණදාස කපුගේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ…

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ…

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ…

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

86 Responses to අවුල් වන්නට පෙර (60)….නො කියු කේලම

  1. ravi says:

    /ඇය ඒ කාලයේත් ඇඳ හිටියේ තද ඩෙනිමක් සහ Singapore යනුවෙන් සටහන්වූ සැහැල්ලු ටීෂර්ට් එකක්ය./

    උඹ මහ පුදුම මනුස්සයෙක්නෙ බං…තවමත් ඒ අම්මණ්ඩි අඳින්නෙ ඒ ඩෙනිමයි ටී ෂර්ට් එකයිමද? හතර විලි ලැජ්ජයිනෙ බොල

    • හැක්..හැක්..හුරේ.. රවී මොකද කරන්නේ දැන්. ඔන්න ඔහොම තිබිච්ච දෙන් බං.
      /////තවමත් ඒ අම්මණ්ඩි අඳින්නෙ ඒ ඩෙනිමයි ටී ෂර්ට් එකයිමද? ////
      ඒක ඒ දවස්වලම ගලෝලා දැම්මා 😀

    • සෙන්නා says:

      මෙතන හල් තයන්නෙන් අදහස් කෙරෙන්නේ ඇය කාලයට ඉදිරියෙන් පැෂන් කළා කියලා නෙමේ ද ? මට ආවේ එහෙම අදහසක්. රවී අරෙහෙම කිව්වම තමා මේ අදහස පෙනුනේ…

      • සෙන්නා…….උඹට තේරුනා. මට කියාගන්න ඕන වුනේ ඒ දේ තමයි සත්තෙන්ම. ඒ එක හේතුවක් නිසා. ඒත් මචෝ මගේ ලිවීමේ හැකියාවේ සීමිතකම් නිසා ඒක ඔහොමයි ලියවුනේ. රවියා සඳහන් කරපුවාම ඌට අරවගේ උත්තරයක් දීලා බලන් හිටියා.

      • ravi says:

        සෙන්නා,

        ඒකට කියන්නෙ මල්ලි චේතනාන්විතව වරදවා වටහා ගැනීම නොහොත් Misunderskirting Intentionally …:)

      • සෙන්නා….උඹට තේරුනාද රවීගේ ඉන්සයිඩ් ද මිනිස්කර්ට් කමෙන්ට් එක….

      • සෙන්නා says:

        Unnderstanding the misunderstanding…..

  2. මට මේ්වා කියවනකොට උඹේ හිනාවයි …..සීරියස් ටොක්වලදි එන ඇදෙන හිං ටෝන් එකයයි එනවා වරිං වර…….ඔච්චර දපනේ වැටෙන්නෙ …උඹ ඒ කාලේ අමතාබ් වගේද

    • ///////උඹේ හිනාවයි …..සීරියස් ටොක්වලදි එන ඇදෙන හිං ///////
      “සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා” බෙග් මාස්ටර්ගේ සින්දුව. ප්‍රේම්කීර්ති ලිව්ව ගීතයක්. හින්දි තනුවක්.. මේ ෆිල්ම් එක හදපු වෙන්කට් මහත්මයාව කළු ජූලියේදි “අපේ එවුන් “මැරුවා.මම දුටු කළු ජූලිය ගැන ලියන්න ඕන. මේක අහලා තියෙනවද..කිශෝර් කුමාර් ලයිව්. වටින ක්ලිප් එකක්.

      ////උඹ ඒ කාලේ අමතාබ් වගේද////
      අමිතාබ් මොකෙක්ද ඩෝ…ඒකට අරූතාබ්. අහපන්කෝ මගේ වයිෆ්ගෙන් :

    • ravi says:

      අමිතාබෙක් නෙවෙයි මේ ගස් ගෝනා හිතාගෙන ඉන්නෙ ඌ ජෝර්ජ් ක්ලූනි වගේය කියල.

      මූ ඔය කතාව හන්දි ගානෙ කිය කිය ගිහිල්ල අන්තිමට නියම ජෝර්ජ් ක්ලූනිට ආරංචි වෙලාපොර දිවිනසාගන්ටත් ගිහිල්ල තියනව පස්සෙ මිනිහගෙ යාලුවො එකතුවෙලා බොහොම අමාරුවෙන් හිත වෙනස් කරල තියෙන්නෙ.

      • ක්ලූනි හෙන හැන්ඩියා නේද බං. මම කැමතිම බුවෙක් තමයි. මාව ෆලො කරා නම් ලූනි වෙලා තමයි නවතින්නේ. මම ආස පොරගේ හෙයාර් ස්ටයිල් එකට තමයි.

  3. Anonymous says:

    Love it!

  4. Sarathchandra Rabel says:

    I like your life experience bro, your writing style is attractive , It reminds me writing style of Sugathapala de Silva.

    • රබෙල් බ්‍රො…..ජීවිතය කියන්නේ පොතක් බං. සමහර ඡේද රසයි. සමහර ඒවා නීරසයි. අගය කිරීමට තෑන්ක්ස්. හැබැයි සුගතපාල ද සිල්වා හිටියා නම් උඹට නඩු දානවා 😀 ඔහු නිහතමානී මනුස්ස පුත්‍රයෙක්.

  5. ///එදා මා අතින් ගිලිහිණු පවුලේ කොඩිය, ඉන් ටික කාලයකට පසු නැවත මා අතට ගෙන කිසි දිනෙක අත හැරියේ නැත.///
    එච්චරයි….!!!

    • ඔව් ශෙෆෝ……ගොඩෙන් ආවත් මඩෙන් ආවත්, එක බඩෙන් ආපු හැඟීම හරි ශක්තිමත්. කරදර මැදින් එනකොට ඒක තවත් ප්‍රබලයි.

  6. එක හුස්මට කියෙව්වා. ආවට ගියාට කමෙන්ට් කරන්න බෑ නෙව? බරසාර කමෙන්‍ටුවක් කොටන්න ආයෙ එඤ්ඤං.

    මතක් වුනේ ටියුඩර් ගොයියගෙ The Other Boleyn Girl

    • හ්ම්..ඒක් පූල් දෝ මාලි – එක මලයි බඹරු දෙන්නයි. මේක සමාජයේ බොහෝවිට අඩු-වැඩි වශයෙන් සිද්ධ වෙනවා. මම අත්දැකලා තියෙන, දැකලා , අහල තියෙන සිදුවීම් වල අඩුම “වරදකාරී හැඟීමක්” තිබ්බෙ කාන්තා පක්ෂයට. මගේ අනුමානය නම්, “අනිත් අරුණ” මේ ගැන දන්නෙ නෑ කියන එකයි. ඔය වගෙ පසුබිමක ඉන්න පිරිමියෙක්, තමන්ගෙ සහකාරිය ගැන සැක හිතන්නෙ බොහොම කළාතුරකින්. අහල තියනව නේද, ඔයවගෙ ප්‍රශ්ණවලට අතදාලා ගොට පුච්චගන්න එපා කියන කතාව? ඔන්න, ත්‍රිකෝණ ප්‍රේමය නැගලම යනවා, වටේ-පිටේ හැමෝම දන්නවා, ඒත් සත්‍ය ප්‍රේම භෘංගරාජයා ඒ බව දැණගන්නෙ අන්තිමට. ඒක වෙන්නෙත් මෙහෙමයි, ඉවසන්න බැරිම තැන , පස්සා පැත්තෙ අමාරුව තියන යාළුවෙක් . “කෙල්ලගෙන් අහන්න එපා” කියලා, කතාව සත්‍ය ප්‍රේම භෘංගරාජයාගෙ කනේ තියනවා. උන්දැත් “හා” කියල ඔලුව වනලා ගිහිල්ලා කෙලින්ම කෙල්ලගෙන් අහනවා. කෙල්ල කියනවා “ඔව්වා ඊරිසියාවට කියන කතා” කියලා. පස්සා පැත්තෙ අමාරුව තියන යාළුව වාෂ්ප වෙනවා. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි. ට්රූ ඉස්ටෝරි

      • බස්සෝ…..අවසානයේ සියල්ල සතුටින් කෙලවර වෙනවා. පස්සේ අමාරුව තියෙන එකාට වෙඩින් ඉන්විටේශන් එකක්වත් නැහැ. එහෙම දේවලුත් වෙනවා.

        ඔය වරදකාරී හැඟීම කියන එක ගෑවිලාවත් නැති පිරිමිත් මම අනන්තවත් දැකලා තියෙනවා. එය වරදක් කියා නොහිතනා අයත් ඉන්නවා. මේක ස්ත්‍රී-පුරුශ කේස් එකකට වඩා ඇන්දීම සහ ඇඳ ගැනීම පිලිබඳ කේස් එකක් කියලත් හිතෙනවා බස්සෝ. මේ කතාව කවුරුත් විශ්වාස කරයිද මන්දා. ඒත් ජීවමාන සාක්කිකාරියක් ඉන්නවා මගේ ලඟම. ඇය මේ සියල්ල දන්නවා. නිදහසේ ඉස්සරහට කියවලා බලපන්. වරදට ගෑණු-පිරිමි බේදයක් නැහැ බං. වැරැද්ද කියන්නෙත් එක සිතුවිල්ලක ප්‍රතිපලයක්නෙ.

        අඩේ කාලෙකින් ස්ටීවි වොන්ඩර් ඇහුවේ. ලඟදි ටීවී ප්‍රොග්‍රම් එකකදි දැක්කා.
        We are strangers by day, lovers by night
        Knowing it’s so wrong, but feeling so right……part-time lovers…

  7. මේක බොහොම වටිනා ජීවිතය කියවීමක් ඔබෙන් පසු එන අපේ පරම්පරාවට….

    සමහර දේවල් බොහොම සරලයි වගේ පෙනුනට ඒවා පිටිපස්සේ බොහොම ගැඹුරු දේවල් තියනවා ජීවිතේට එකතු කරගන්න…

    වෙනදා වගේම රහයි…

    • අනේ මන්දා පොකුරු සමහරු මේවා කොයි විදිහට අල්ල ගනියිද කියලා. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේ ඉදිරි කතා තුල තමන්ටම තමන් ප්‍රශ්න කරගන්න පුලුවන් සිද්ධීන් තියෙයි කියලා.
      Anything can happen to anyone at any time and you shouldn’t just live through the days, or you lose them. You should do what you can to enjoy every moment.
      ( Sarah Brightman)

  8. මම අරූ උනානම් මමත් හැසිරෙන්නේ ඔය විදිහටම වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා…
    අරූ තාරකා ගෙන් ඉවත් වෙන්න තීරණය කලේ නිවැරදි අවස්ථාවේ…

    • ලොකු පුතේ….. ඕක එක සිදුවීමක් විතරයි. මම මේක මෙතන පැහැදිලි කරන්න ගියොත් මගේ කතාවේ ඉතුරු ටික විසිරී යන සීන් එකක් වගේ වෙයි. මම නිවැරදිව වෙන්වුනා. ඒත් උඹ අමතක කරන්න එපා මේ කාලේ මගේ වයස අවුරුදු විස්ස විසි එක වගේ කියලා….”අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා.”……
      මතකයි නේද මංගල තෑග්ග ෆිල්ම් එකේ සින්දුව.

      • ඔව් ඔව්, කතාවේ ගලා යාමට එහෙමම යන්න ඉඩ දෙන්න…
        21 දී අපිත් හොඳට වල බැස්සා, හැබැයි මේ වගේ චෑන්ස් සෙට් උනේ නැහැ, එහෙම වාසි අත්වුණේ 25 න් පස්සේ…

        සිංදුව විතරක් නෙමේ ඒ ෆිල්ම් එකත් බලල තියෙනවා… 🙂

      • මගේ නම් ඉතින් පොඩි කාලේ ඉඳන්ම මනමාලකමද කොහෙද ලොකු පුතේ.
        ෆිල්ම් එකේ සිංදුව යන සීන් එක මරුනේ.

  9. සුපුරුදු ලෙසම අපූරුයි. ඔය වගේ සියුම් තැන් විසඳන එක හරි අමාරුයි. අමාරුයි කියල මැරෙන්නද ඉතින් එන විදියට මුහුණ දෙනවා මිසක් නැද්ද.. හෙහ් හෙහ්..

    • ඕක හරි අමාරු සිටුවේශන් එකක් පැතුම්. එකක් අපේ වයස. ඒ වයසට සතුටමයි හිත ඉල්ලන්නේ. ඒක වගකීම්වලින් මෙහා තියෙන මානුශික රසාස්වාදයක්. ඒ මදිවට නාඹර උවමනාවන්. වගකීම් ,සදාචාර කියන ඒවා තියෙන්නේ හැඟීම්වලට යටින් ඒ වයසෙදි. මොකුත් කරගන්න බැරි කාලෙට තමයි සදාචාර මතක් වෙන්නේ 😀

      ඕක තමයි තිත්ත ඇත්ත පැතුම්.

  10. maathalan says:

    ඔයිට වඩ රහ සින්දුවක් තියෙනවා අමරදේව මහත්තයගේ…

    පෙර දිනයක මා පෙම්කළ හැතිරිය
    රට කජු විකුණනවා….
    මගේම ලියුමක් ගොටුවක් ගහලා
    රට කජු මට දෙනවා…
    රට කජු කන්නද ලියුම බලන්නද
    මගෙ සිත විමසනවා….
    මගේම ලියුමේ මක්කා බලන්නද
    මම රට කජු කනවා….

    • මාතා…..ඔය කොටස කියලා ප්‍රේක්ශකයාත් එක්කම අමරදේව හිනාවකින් සතුට බෙදාගන්න කොට ඒ මුහුනේ මතුවෙන සිනාව, අපිවත් තාරුන්‍යයට එක්කන් යනවා. එයාටත් මේ වගේ අත්දැකීම් තියෙන්නත් ඇති, නොතිබෙන්නත් ඇති. අඩියක් නොගහා ඉන්න වෙලාවක නම් ගොට්ටෙ රටකජු ටික එක පාර කටේ හලාගන්න හිතෙනවා බං .

      • maathalan says:

        කඩලේ මතක් උනේ නැතෙයි….

      • පොරගේ ෆොටෝ එකක් දැක්කා කොහේ හරි. කොපි කරගන්න දන්නේ නැති නිසා නිකං හිටියා. මතක් වෙන්නේ නැහැනේ බං.

  11. මන් අරුගෙ ලිපි හැම එකක්ම වගේ කියවනවා.ඒත් මට මේ මගුලට කොමෙන්ට් එකක් දාගන්න බැරි නිසා වැඩේ එපා වෙනවා.

    • රොමා….වර්ඩ්ප්‍රෙස් කමෙන්ට්ස් දාන්න අමාරුයි කියලා සමහරු කියනවා. මොකද වචන ප්‍රෙස් වෙනවද.. මට ඕවා ගැන එච්චර තේරුමක් නැහැ රොමෝ. අහන්නකො අටං ගෙන් 😀

    • Anonymous says:

      විනාඩි පහක් වැයකරල අකවුන්ට් එකක් හදාගන්න ඔච්චර අමාරුද?

  12. කාලෙකින් අවුල් වන්නට පෙර කියෙව්වේ… නවත්තපු තැන හොයාගෙන එතන ඉඳන් ඉස්සරහට එන්න ඕන.. මට මතක අන්තිමට කියෙව්වෙ ඉස්කෝලෙ කාලෙ නවාතැන් මාරු වුණු අවස්ථාවක්… ඒ කාලෙකට කළින්නෙ…

    • ඔව් තරූ මමත් අවුරුදු දෙකක් විතර ලිව්වේ නැහැනේ. හෙමින් සැරේ කියවලා බලන්න මේ යකාට මොන යකෙක්ද වැහීගෙන එන්නේ කියලා. මේ කොටස්වල ලියවෙන යුගයේ නම් සිකුරයි, මදනයයි 😀 තව යක්කු පෝලීමක් ඉස්සරහට වැහෙන්න තියෙනවා.

  13. පරණ සීන් මතක් වෙන පොස්ට් එකක්. අපි වියපත් වෙමින් ඉන්නවා කියලා දැනෙන කොට මාරම දුකක් හිතට එනවා.

    • සත පහකට ගනන් ගන්න එපා වියපත් වෙන එක ගැන. මට නම් හිතෙන්නේ මේ තමයි මගේ ආතල්ම කාලේ කියලා මචෝ.
      I actually think there’s an incredible amount of self-knowledge that comes with getting older.” – Jamie Lee Curtis (BrainyQuote.com).

      මේ ගෑණී මෙහෙමත් කියනවා. ඒක මට ටිකක් අදාලයි. “I am not a prophet.I am not a teacher. I have no degrees. My degree is from the University of Life”

  14. මන් අරුගෙ ලිපි හැම එකක්ම වගේ කියවනවා.ඒත් මට මේ මගුලට කොමෙන්ට් එකක් දාගන්න බැරි නිසා වැඩේ එපා වෙනවා.මේ ලිපි වල අතර මැද තියෙන විග්‍රහයන්ට මන් පට්ට කැමතියි.මන් හිතන්නේ මන් මේ බොලොග් එකෙ පළමු පන්තියේම රසිකයෙක්(උඩ කමෙන්ටුව ටෙස්ටින්ග් එකක්. වර්ඩ්ප්‍රෙස් එකකට ඇද බාපු මුල්ම කමෙන්ටුව)

    ඒත් සමහර තැන් වලදි කතාව අසම්පූර්ණයි කියලා හැගීමක් මට එනවා.මොකද සමහර තැන් වලදි කතාවේ වැදගත් තැන් මග හරින්නේ හිතාමතාමද කියලත් හිතෙනවා.මොකද තාරුකා කියන චරිතයේ ඔබ ලියලා තියෙන කලු චරිතයට වඩා සුදු ඇතැයි මන් හිතනවා. එමෙන්ම ඔබේ චෛතසිකයන්ගෙත් මීට වඩා කළු තැන් සමහරතැන් වලදි අසම්මතය සම්බන්ධයෙන්(තාරුකා සම්බන්ධයෙන්) ඉපදෙන්න ඇතැයි සිතනවා. එය එසේ නොවේනම කතාවේ ඊට වඩා දිගුවක් ඇතැයි සිතනවා. ඒ මගේ සිතුවිල්ලක් පමණයි

    කෙසේ වෙතත් ඔබේ ලිවිල්ල පට්ටයි. මේ අසම්පුර්ණ බව මට ලිහාගන්න බැරි නිසයි කොමෙන්ටුවක් දැම්මේ. ඔබේ ගැහැණිය සම්බන්ධ වූ කියවීමට මන් පට්ට කැමතියි.මාත් පොඩි බොලොගක් අටවා ගත්තා මගෙත් මගෙ අවට මිනිස්සුන්ටත් වුණු මේ වගේ සිදුවීම් ලිහන්න. ඒත් කතාවක දෙවෙනි කොටසකදිම ඒකට ඩොමැස්ටික් සෙන්සර් කියන මගුල වැදුනා. ඔබේ මට දැනෙන දේටත් හේතුව ඔය මල ඉලව්ව නොවැතැයි සිතනවා.

    • //මොකද තාරුකා කියන චරිතයේ ඔබ ලියලා තියෙන කලු චරිතයට වඩා සුදු ඇතැයි මන් හිතනවා//
      මට නං සැකයි ඒ ගැන.කෙනෙකුගෙ “හර්ද ශාක්ෂිය” තමා , මනුස්යෙක්ව හරි මඟට ගන්නෙ. ඒක තාරුකාට තිබ්බ බව කතාවෙ කියවෙන්නෙ නෑ.සර්කස් වල උඩින් ඇදපු කම්බියේ (high wire) කරණම් ගහන බිකින් ඇඳගත්ත ලස්සන කෙල්ලො දැකලා තියනවා නේද? “අනිත් අරුණ” තමා “සේෆ්ටි නෙට්” එක.

      • අනේ මන්දා මට හිතෙන් නෑ එහෙම කියලා. කෙල්ල ඔච්චරටම ගේම් නම් අරුණව ගෙදර නවත්ත ගන්නෙ නෑ. කතා නායකයගෙම උත්තරයක් ඕන මේවා ලිහා ගන්න. කොහොම උනත් මන් විශ්වාස කරනවා ප්‍රායෝගික සමාජෙදි අපිට හම්බෙන්නෙ සම්පූර්ණ කලූ‍ නැති අළු මිනිස්සු කියලා.

      • රොමා ඇන්ඩ් බස්සා…..සේෆ්ටි නෙට් කතාව යම් තාක් දුරට හරි. නමුත් ඇය මේ සබ්ජෙක්ට් එකෙන් පිටතදි නරක, කපටි කෙල්ලෙක් නෙමේ. මට හමුවු කිසිම කෙල්ලෙක් මගෙන් යැපිලා නැහැ. උන් මට වියදම් කරා, මම දඩයක් දාගත්තා මිසක්, මගෙන් ගන්න මට මොන ලබ්බක්වත් තිබුනේ නැහැ. මේ අවුල තව ටිකක් දිගට කියවන්න වෙනවා උඹලට. සමහරවිට උඹලා පුදුම වෙයි.

      • Anonymous says:

        මට හිතෙන්නෙ මෙහෙම දෙයක්.. තාරුකාට අර අනික් අරුණගෙන් නොලැබෙන, මිස් වෙන දෙයක් තමා එයා උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ.. උඹ ඔය කියන විදියට බුවා සිරීයස්, නිහඬ පොරක් නං අර අවුරුදු විස්සෙ කෙල්ලට ඒ වගේ ගල් බමුණෙක් හරියන්නෙ නෑ.. ඒ නොලැබෙන ආතල් එක තමා තාරුකා උඹෙන් ඉල්ලන්නෙ.. ඒ ඇරෙන්ට ඒ කෙල්ලගෙ වෙන වැරැද්දක් නෑ.. මේ කරන වැඩේ වුනත් වැරැදියි කියලා මම කියන්නෙ නෑ. අපි හැමෝම මිනිස්සු නෙව. අපි කවුද අනිත් මිනිස්සුන්ගෙ හරි වැරැදි හොයන්ට.. වැඩේ තියෙන්නෙ තාරුකාට එයා ඔය කරන වැඩේ අන්එතිකල් කම හා බරපතල කම ගැන කියාදෙන්ට වැඩිහිටියෙක් නැති වීම තමා ලොකුම වරද.. එතනයි කොස්ස..

        – බුරා –

      • /////////වැඩේ තියෙන්නෙ තාරුකාට එයා ඔය කරන වැඩේ අන්එතිකල් කම හා බරපතල කම ගැන කියාදෙන්ට වැඩිහිටියෙක් නැති වීම තමා ලොකුම වරද.. එතනයි කොස්ස..//////////

        @බුරා…..කොස්ස නෙමේ ඉදළ…

        මචං ඕක තමයි සීන් එක. අපිට එදා ඕවා තේරුන්නැති වුනාට..කාලයත් එක්ක හිතෙනවා එහෙම වෙන්න හේතුව නිසි උපදේශන, සහ හොඳ ,නරක පෙන්වන්න කවුරුත් නැතිවීම. ඇයටත් ඒ පවුලේ අන් අයටත්වූ බොහෝ දේ ගැන බ්ලේම් එක වැටෙන්නෙත් ඔතනටයි. මම ගත කරපු ජීවිතේ මම එය හොඳින් අත්විඳලා තියෙනවා. මට කියාදෙන්න කවුරුත් හිටියේ නැහැ. මේවා මහා යථාර්තයේ ගැටළු බුරා. අපි දැනගන්න ඕන එහෙම ගැප්ස් ඇති නොකරන්න දරුවන්ට.

        ඇත්තටම ඇය මගේ ඊසි ගෝ ඊසි කම් ජීවන රටාවට පිස්සු වැටුනා. බුරා ඉස්සරහටත් කියවපන්. පුදුම වෙනස්වීම් වෙනවා මෙයාට. පුලුවන් තරම් මම ලියන්නම්. මමත් බුරා හිතන්නේ අපි කාවවත් විනිශ්චය නොකල යුතුයි කියලා. විශේෂයෙන් ඔවුන්ගේ පෞද්ගලික චර්යාවන්. තාරුකා අදටත් ඉතා හොඳ භෞතික සැප සම්පත් සහිත ජීවිතයක් මේ රටේම ගතකරනවා. නමුත් ඒ සියල්ල අතරේ ඈ තුල හදවතින් හඬා වැටෙන ගැහැනියක් සිටිනා බව නම් සහතිකයි. දිග කතාවක් බං.

    • ///////මොකද තාරුකා කියන චරිතයේ ඔබ ලියලා තියෙන කලු චරිතයට වඩා සුදු ඇතැයි මන් හිතනවා. එමෙන්ම ඔබේ චෛතසිකයන්ගෙත් මීට වඩා කළු ////////////////
      රොමා….හරියට හරි. මේ කතාව තව ඉදිරියට යන්න තියෙනවා. ඇයව මට සහ මගේ බිරිඳට වසර කිහිපයකට පෙරත් හමුවුනා. ඇසුරක් නැතත් තරහක් නැහැ. අපි ඔක්කොම තාමත් යාළුවෝ.

      මම කිසිවිටෙක සුදුවත් ඇය කළුවත් කියන්න මම සුදානම් නැහැ. අනික බං මම කොහොමත් කැමති අළු මිනිසුන්ට. එහෙම කළු. සුදු මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැහැ. ඒ ඒ අවස්තාව අනුව තමයි පාට තීරනය වෙන්නේ. උඹලට පුලුවන් පාට තීරනය කරන්න. මම චිත්‍රය අඳින්නම්. බලපන් මොකද වෙන්නේ කියලා.

      වාසනාවට මට ඩොමෙස්ටික් සෙන්සර් ප්‍රොබ්ලම් එකනම් නැහැ මචෝ. මේ වෙච්ච දේවල් නිසා වහන්න දෙයක් නැහැ. හැබැයි තාරුකාගේ කතාවේ සියලු සිදුවීම් ලියාගන්නත් බැහැ. ඒක එයාගේ පෞද්ගලික ජීවිතේ නිසා. මට අදාල දේ ලියා තැබිය යුතුයි.

  15. සෙන්නා says:

    මෙතන හල් තයන්නෙන් අදහස් කෙරෙන්නේ ඇය කාලයට ඉදිරියෙන් පැෂන් කළා කියලා නෙමේ ද ? මට ආවේ එහෙම අදහසක්. රවී අරෙහෙම කිව්වම තමා මේ අදහස පෙනුනේ…

  16. සෙන්නා says:

    “වේසියො” කියන නම ගැලපෙන්නේ දුප්පත් කමට ඇඟ විකුණන උන්ට නෙමේ, ඔය තාරකාලා වගේ පත්තිනි වෙස්මූණ දාගෙන තමන්ගේ පෙම්වතාට හෝ ස්වාමියාට හොරෙන් වෙන බල්ලෙක් එක්ක ලගින උන්ට.

    උඹ බෙල් අමීගේ චරිතය යස අපූරුවට රඟපානවා..

    • ///ඔය තාරකාලා වගේ පත්තිනි වෙස්මූණ දාගෙන තමන්ගේ පෙම්වතාට හෝ ස්වාමියාට හොරෙන් වෙන බල්ලෙක් එක්ක ලගින උන්ට.///

      යකෝ එහෙම බැලුවොත් අපි…
      හුටා වෙනවා…

    • සෙන්නා….උඹ බල්ලා කිව්වේ මටද ඩෝ 😀
      සෙන්නා කියන කතාවට මට දෙන්න උත්තරයක් නැහැ. ඔය වගේ ප්‍රශ්න මට පේන්නේ අතිශය පෞද්ගලික හා මානුශික සබඳකම් මත ඇතිවෙන දේවල් කියලා. එක ඉරකින් බෙදලා වෙන් කරන්න අමාරුයි. මොනවා වුනත් එහෙම නොවී ඉන්න පුලුවන් නම් හොඳයි. එතකොට වේසියෝත් නැහැ..වේසාවොත් නැහැ. නමුත් මචං සෙන්නා, අපි ජීවත් වෙන්නේ ඇට, මස්, ලේ, නහර තියෙන එවුන් එක්කනේ. බලපන් ඔය ලොකු පුතා 😀

      බෙල් ඇමි කිව්වේ ගි ද මොපසන්ට්ගෙ කතාව නිසාද…මට මතකත් නැහැ සෙන්නා..මතකේ අවුල් පොත් පත් ගැන.

      • සෙන්නා says:

        බල්ලා කීවේ බොට තමා… 😀

        බෙල් අමී කීවේ අරූට තමා…..

  17. අදයි මේ පැත්තෙ ගොඩ වැදුනෙ. මේක කොටස් වශයෙන් ලියන කථාවක්ද?

    මොනව වුනත් ආසාවෙන් කියෙව්වා. සම්මත ආදරය සහ අසම්මත ආදරය කියන්නෙම කථා කරන්න සිත්ගන්නා සුළු මාතෘකාවක්.

    මම නම් එදා ඉඳලම ආදරේ කලේ අසම්මත ආදරයට.

    සම්මත ආදරය බෝරිංග් !

    • හලෝ අරවින්ද…..ඔව් මේක මෙගා එකක් 😀

      මට නම් ආදරයේ සම්මත, අසම්මත කම් හොයාගන්න මෙශර් එකක් සහ ඉරක් පැහැදිලි කරගන්න බැහැ. ඒක ටිකක් කන්ට්‍රවර්ශල් සහ සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක් නේද…සම්මත, අසම්මත මැද්දේ තමයි ආදරේ තියෙන්නේ. කොහොමද ඕක බේරගන්නේ..

      සම්මත ආදරය බෝරි\න්ග් නම් අසම්මත ආදරය රී බෝරින්ග් ද 😀 එක වෙලාවකට ඔය දෙකේම ආදර මල කරදරයක් කියලා නම් මම දන්නවා :

    • විශේෂ දෙයක් නෑ. වීඩියෝ දාන විදිහටම තමයි. නිකම්ම URL එක දානවා, එච්චරයි. මේක WordPress වල විතරක් තියෙන පහසුකමක්., බ්ලොගර් වල නෑ. මේ පහල තියෙන්නෙ උඩ පින්තූරෙ URL එක . කොමා සැට් එක නැතුව දැම්මොත්, කෙලින්ම පින්තූරෙ පෙන්නනවා.
      “http://www.mundodescargas.com/humor/humor_grafico/listado/esto_no_es_lo_que_parece_nos_han/imagen.jpg”

  18. නිදහසේ ගිහින් කියවන්න.

    මේ ලින්ක් එක මෙතන දැම්මේ එහි මා ගැන කියවෙන නිසා නොවන බව දන්වමි. කියවිය යුතු වටිනා ලිපි පෙළක් එහි තිබේ.

  19. අවංකවම මේ ලිපිය කියෙව්වාම මට මුලින් ම සංවේදී වුනේ බියර් බීලා ඒකට උඩිං අරක්කු බීවාම වෙන කේස් එක මිසක්, ආදර ජල්බරිය නොවෙයි.

    අරූ කෙසේ වෙතත් මං නං වයසට ගිහින් ද මන්දා?

    • ඉස්සර ඉතින් පිස්සුනේ රසික. ඔය හැම එකක්ම කලවමේ හලාගන්නවා.

      රසිකට වඩා මම වයස පාටයි. එක කළු කෙසක් නැත.

  20. Sa rasa says:

    හිස් අහසක පායන්න තාරුකා කොච්චරක් තියෙනවද හිටන්?
    සියලුම තාරුකා වලට ජය වේවා!

    • නැතුව…නැතුව. අහස හිස් කරගන්න එපා ඒ වුනාට. අහක යන වල්ග තාරුකාත් කඩා පාත්වෙනවා 😀

  21. කාලෙකට පස්සෙ ආවාම අරූ නැවත ඇවිල්ලනෙ. මොකද බං වුනේ?

    • ඩූඩා …මචං උඹ දන්නවනේ ඉර පායනවා, ඉර බහිනවා වගේ මිනිස්සුනේ බං අපි. මේ ඉන්නවා මේ නැහැ. මිඩ්ල් ඊස්ට් වල නම් අපි වගේ උන්ට කියන්නේ වැලි හුලං කියලා. අපේ යාලුවෙකුත් හිටියා. උගේ නමට වඩා වැලි හුලං කිව්වම කවුරුත් දන්නවා. මේ ඉන්නවා..මේ නැහැ.

      උඹ නොලියන එක පාඩුවක්. ගෙදර සෙට් එකටම ආදරබර නව වසරක් වේවා. උඹේ දරුවන් ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්.නොදැක්කත්, උන් හොඳ මිනිස්සු කියලා මට හිතෙනවා. අපි හොඳ දෙමව්පියෝ ඩූඩා.

  22. Bandula Kudalagama says:

    1/2

    අරුණ පෙරේරාණෙනි,

    1. //විජේරාමේ හෝ ජුබිලි කණුවේ පැත්තේ නැත්නම් මෙඩිකල් කොලෙජ් බ්ලොම් එක පැත්තේ වල බසින්නට යන්නෙමි.//

    ඔබතුමා බ්ලොම්‍ෆොන්ටන් නේවාසිකාගාරය පිළිබඳ ලිපි කීපයක ම සඳහන් කර තිබිණි. බ්ලොම්ෆොන්ටනය අතීතයේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ද විද්‍යා පීඨ ශිෂ්‍යයන්ගේ ද පොදු නවාතැනක් ව පැවතිණි. එය වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා ම වෙන් වූයේ වර්ෂ 2000/2001 කාලයේ දී බව මගේ මතකය ය. ‍බ්ලොම්ෆොන්ටනයත් ජීවකයත් වත්මන වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාර ය. කිත්‍යගාරය අන්‍ය ශිෂ්‍යයනට පොදුවේ වෙන් විණ. ද සේරම් පෙදෙසේ පිහිටි ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය වත්මන වෛද්‍ය ශිෂ්‍යාවනට ම වෙන් ව ඇති ද යන්න පිළිබඳ මට නිනව්වක් නැත. අරුණ පෙරේරාණෝ බ්ලොම්ෆොන්ටනයේ කෙතරම් කල් රැඳු‍ණේ ද?

    2. //මම කුරුල්ලෙක් සේ රෝහලෙන් පිටත් වුණෙමි. මමද දැන් යෞවන පෙම් උයනේ කිචි බිචි හඬ අතරේ සිත්සේ ඉගිලෙන්නෙමි. යෞවන ප්‍රේමය විසින් තමන්ගේ සියලු වගකීම් එකින් එක අමතක කර දමයි. එසේ නොකරන්නෝද සිටී.// (මනෝරම්‍ය මනෝබන්ධනීය වචනබන්‍ධනයකි)

    ප්‍රේමය වූ කලී මානව චිත්තය රන්ජනය කරන අසිරිමත් හැඟුමකි. ප්‍රේමයේ බීජය මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සුප්ත ව සිට නිසි කල, නිසි පරිසරය එළඹි සඳ එසැණ සුපුෂ්පිත වේ. ඒ අසිරිමත් මොහොත එළඹි සඳ කවරහු නම් ප්‍රේමය දෑත් විඳහා නවතනු සමත් වෙත් ද? ගඟ දිය පිරී උතුරා යන කලෙක සැඩ, වළකනු කෙලෙස විහිඳා ඔබගේ ‍දෑත?

    අක්මාප්‍රදාහ රෝගයට වෙදකම් සොයා ගිය අරුණ පෙරේරාණන්ගේ ප්‍රේමයේ බිජුවට සුප්ත සමය හැර දා දෙපෙති ලා වැඩෙන්නට වී වෙදකම් සුව මතු නො ව පෙම්කම් සුව ද ලද සේ ය.

    ප්‍රේමය වූ කලී කවර බලැති, කවර නැණැති, කවර ධනැති තැනැත්‍තකුගේ හදමන වුව ප්‍රකම්පණය කරවනු සමත් හැඟුමකි. සද්ධර්මාලංකාරයෙහි සඳහන් වන උද්දාල බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රයෙහි ම නිමග්න වූවෝ නිසල විලක් බඳු හදමනැති වූවෝ ය. ස්ත්‍රීහු එතුමනට විෂය නො වූහ. ඒ ස්වර්ණතිලකාවන් උද්දාලයන්ගේ නෙත ගැටී, හද වැදී, මන බැඳී ප්‍රේමයේ බිජුවට දෙපෙති ලා වැඩෙන්නට වන කල් පමණි. ස්වර්ණතිලකාවන් කෙරෙහි පෙම්සිත් පහළ වූ උද්දාල බ්‍රාහ්මණයෝ කවර බසක් පවසන්නෝ ද? සරච්චන්ද්‍රයෝ එබස පේමතො‍වේ ලා මෙසේ පවසති:

    “ළඳකගේ නෙත් මිණි පහන් ලෙද
    දිලෙන බව නෙක කවින් කී බස
    නො ඇදහූයෙමි තතු නොදත්තෙන්
    ඔබ දුටු වේලේ සැබෑ විය එය

    වරින් වර ආලෝක වන හැටි
    වරින් වර යළි නිවී යන හැටි
    පසක් නො කළෙමි මෙතුවාක් කල්
    ඔබ දුටු වේලේ සැබෑ වීය එය”

    “හදවත් කතරේ මලක් පිපෙන්නට
    දිය සීරාවක සිසිලස දෙන්නට
    වියළුණු පොළොවෙන් මතු වී එන්නට
    සදා නොමැල වී පිපී තිබෙන්නට

    මා නිසා නෙත් මිණි පහන් තුළ
    දල්වනුය පෙම් දැල්ල නො නිවා
    එකලු කරනුය මහද මැදුරත
    අරක් ගෙන ඇති අඳුර දුරලා”

    ප්‍රේමයේ බීජය ශාක-ශාකපත්‍ර ලා පුෂ්ඵ-පුෂ්ඵඵල ලා වර්ධන-විකසන වන කල දැනෙන ප්‍රේමයේ සුව අපමණ ය. පෙම්රස සේ සුව දෙන අන් කිසිඳු රසඳුනක් නැති බව ම පෙම්පත්හු අදහති. සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයේ සුප්පා දේවිය ලවා එබැව් මෙසේ පවසවති:

    “ලෝ දහමින් වැදෙනා රළු පහරින්
    ගත සිත රිදෙනා කල නිතියෙන්
    නැත ලොවේ අන් රසඳුනා
    ආදරේ සේ සු‍ව දෙනා”

    සහේතුක නොවීම ම ප්‍රේමයේ චමත්කාරය වඩවයි. ස්ත්‍රී-පුරුෂ ශඨමුක්ත (කපටිකම් නැති) ප්‍රේමය ජනිත වන්නේ කිනම් හේතු කරණ කර ද? යන්න පැවසීම උගටහ ය.

    අප වැනි පෘථග්ජන දුහුනනට පමණක් නො ව සකල විධ ලෝක ධාතුවේ සකල විධ ඥානය ම මනා ව වටහා ගත් ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට වුව ස්ත්‍රී රූපය පුරුෂ චිත්තය කෙරෙහි ද පුරුෂ රූපය ස්ත්‍රී චිත්තය කෙරෙහි ද ඇති කරවන අන්‍යෝන්‍ය ආචරණය තරම් ප්‍රබල වූ වෙනත් ආචරණයක් ඇති බව නො පෙනුණි. ඒ බව පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞගුත්තර නිකායේ එකකනිපාතපාළියේ රූපාදිවග්ගයේ මෙසේ සඳහන් වේ:

    “නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරූපං. ඉත්‌ථිරූපං, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’.

    (මහණෙනි, යම් සේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණන සිටී ද, මහණෙනි, එබඳු වූ අනික් එක ම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙන සිටී.)

    ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසරූපං. පුරිසරූපං, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති.”.

    (මහණෙනි, යම් සේ පුරුෂයාගේ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටී ද, මහණෙනි, එසේ වූ අනික් එක ම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙන සිටී.)

    එකි‍ෙනකාගේ රෑපය පමණක් නො ව ශබ්ද, ගන්‍ධ, රස සහ ස්පර්ශ යන සංවේදන ද එකිනෙකාගේ චිත්තය කෙරෙහි මෙලෙස ම බලපාන බව රූපාදිවග්ගයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

    Cont …

  23. Bandula Kudalagama says:

    2/2

    සර්වබලධාරී සවර්ඥානී වූ දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස කෙරෙන කිතු සමයේ වුව ස්ත්‍රී-පුරුෂ බන්‍ධනයට කරණ වන හේතු නොවැටහෙන බව රමණීය භාෂාවෙන් ලියවුණු ජේම්ස් බයිබලයේ හිතෝපදේශ ග්‍රන්‍ථයේ ආගුර්ගේ හිතෝපදේශ යටතේ මෙසේ සඳහන් ය:

    “There be three things which are too wonderful for me, yea, four which I know not: The way of an eagle in the air; the way of a serpent upon a rock; the way of a ship in the midst of the sea; and the way of a man with a maid.”

    එම අදහස බයිබලයේ සුභාරංචි පරිවර්තනයේ මෙසේ සඳහන් වේ:

    “There are four things that are too mysterious for me to understand: an eagle flying in the sky, a snake moving on a rock, a ship finding its way over the sea, and a man and a woman falling in love.”

    එවැනි මහර්ඝ වූ ප්‍රේමය සඵල නොවුණු කල, බිඳුණු කල කවර නම් හැඟුමක් පෙම්පත් හදමන ජනිත වේ ද? මී ළඟට එපිළිබඳ විමසා බලමු.

    (හෙට දිනයේ දී)

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    • වරේ වා…..මේ වගේ නැණවත්, ශාස්ත්‍රීය විචාරයන් මේ වගේ බ්ලොග් කටුවල දකින්න ලැබෙයි කියා මම කවදාවත් හිතුවේ නැහැ. කාටද ආඩම්බර…

      කියවන අපගේ දැණුම පුළුල් කිරීමට බන්ධුල දක්වන දායකත්වයට හිස නමා ආචාර කරමි. ඒ සඳහා ඔබට ධෛර්‍ය්ය ශක්තිය සහ නිරෝගි සුවය පතමි. විරහව හා සම්බන්ද විමසුම එන තෙක් බලා සිටිමි.

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරාණෝ ප්‍රේමයේ අතීතාවර්ජනයෙන් ආනන්දචිත්තප්‍රසාදී වූවෝ මා බ්ලොම්ෆොන්ටනය පිළිබඳ විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ද අමතක කළාහු ය!

        මෙම ලිපියේ සංස්කරණිත පිටපතක් මම පසු ව The Public Sphere වෙත යවමි. මෙම ලිපිය ඔබ සඳහා ම ලියවුණු නිසා ඔබගේ අඩවියේ පළමු ව පළ වන තෙක් වෙනත් තැනෙක පළ නොකිරීම මා අනුයන නය ය. දැන් ඔබ මෙම ලිපිය කිය වූ නිසා මම එම සංස්කරණිත පිටපත The Public Sphere වෙත යවමි.

        මෙම ලිපියේ දෙවැනි කොටස මා ලියා අවසන් කළේ ද දින කීපයකට පෙර ය. මම එය මෙහි පළ කරන්නෙමි.

      • අප්පට හුඩු මහතුන්…..මට ඒක අමතකම වුනා. සමා හොඳා.

        මම බ්ලොම්ෆෙන්ටනයේ හොඳින් වල බැස්ස එකෙක් විතරයිනේ. එතන මගෙ යාළුවන්ගේ ස්පොට් එක. ඒ 1982-86 කාලේ. ඒ කැන්ටිමේ ප්ලෙන්ටිය,නීරස බත් එක (නීරස සියල්ල එදා රස සේ ගිල දැම්මෙමි ),ගෝල්ඩ් ලීෆ් එක අදටත් මට බොහෝ දේ මතක් කරදේ. එදා එහි සිටි සියල්ලෝම අද උන් උගත් දෙයින් යමක් ලොවට බෙදාදේ. මම ඔවුන්ට ගරු කරමි. බ්ලොම් එක ඇතුලේ එදා අපි කරපුදේ පිලිබඳ නම් රස කතා බොහෝය. වැඩේ තියෙන්නේ බන්ධුල, මම ලියාගෙන යනකොට මගේ කතාවෙ අතුරු කතා බොහෝ වැඩි නිසා, යම යම් දේ එක් තැන් කරගන්න මට ඇති නොහැකියාවයි. බන්ධුලගෙ කමෙන්ට්ස් මට නියමිත ඉලක්ක පෙන්නනවා. මගේ හකුරු වගේ භාශාවට සමාවෙන්න. මට කිත්තෙත් හොඳ යාලුවෝ හිටියා. ඒත් මම එතන වල බැස්සේ නැහැ.

        ////මෙම ලිපිය ඔබ සඳහා ම ලියවුණු නිසා ඔබගේ අඩවියේ පළමු ව පළ වන තෙක් වෙනත් තැනෙක පළ නොකිරීම මා අනුයන නය ය. //////////

        මේවා ගැන වැඩිපුර වැදගත් විදිහට හිතන්න එපා. මම සිම්ප්ල් සයිමන් කෙනෙක් 😀

  24. බන්‍ධුල කුදලාගම says:

    “ඇරූගේ අඩවියේ” හිමිකාර සූර අතීතාවර්ජනකාර, ස්වයංඅපදානකාර අරුණ පෙරේරාණන් තමන්ගේ බිඳී ගිය අතීත ප්‍රේමයක් පිළිබඳ ආවර්ජනය කෙරෙන, අවුල් වන්නට පෙර ලිපි මාලාවේ හැට වැන්න අවසන් කරන්නේ “අනිත් අරුණට මේ අරුණ කවදාවත් නොකියු ගීතය..” ලෙස “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය උපුටා දක්වමින් ය.

    ඒ වූ කලී අරුණ පෙරේරාණන්ගේ උත්තම මානව ගුණයකි. සුනිල් ආර්. ගමගේ ලියූ, ගුණදාස කපුගේ තනු සකසා ගැයූ “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය දෘෂ්ටිවාදී ව නිෂේධනීය ය. අපගේ ප්‍රේමයට බඳුන් වූ ස්ත්‍රියක අපට අහිමි වූ විට නැත හොත් අප හැර ගිය විට මෙම ගීයේ පැවසෙන ආකාරයේ හැඟීම් ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න දනමන උපදින්නේ නැත; හදින් උපන්නේ වුව ඒවා මනින් නිෂ්ප්‍රභ කර, ලත් තැන ලොප් කර දැමිය යුතු අසාධු හැඟීම් ය. මේවා උත්කර්ෂණයට ලක් කිරීම කලාවේ කාර්යභාරය නොවන්නේ ය. සුනිල් දක්ෂයෙකි. මම ඔහුගේ පසුකාලීන කුප්‍රකට ප්‍රශස්තියට නො රිසියෙම් වුව ඔහුගේ වෙනත් බොහෝ ගීවලට රිසියෙමි. “කවිය ඔබ – තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි – සිත දෙගිඩියාවෙන් තව ම නොලියු – කවිය ඔබ …”, “ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට – කොතැනක සිටියත් මා මළ දවසට – මගෙ ළඟ තනියට ඉනු මැනවි …”, “නුඹේ සිතට පුන් සඳ පායලා වගේ – සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ – එදා නැඟුණු ආදර කැක්කුමට මගේ – ජාති ජාති නුඹ මට වාසනා නඟෙ …” යනුවෙන් ලියූ ප්‍රේමණීය මනුෂ්‍යයෙකි සුනිල් ආර්. ගමගේ. එහෙත් “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි, පෙර දවසක මා පෙම් කරනා සඳ මෙහෙමත් කිව්වා, මෙහෙත් ගියා, මෙහෙමත් හිටියා, මෙහෙමත් කළා” ය යි ඇගේ පසුදින පෙම්වතා අමතා පවසන ආකාරයට ගුණදාස කපුගේගේ ඉස්තරම් ස්වරයෙන් හඬ නඟා ගායනා කරවීමෙන් ඉෂ්ට සිද්ධ වන සෙතක් නම් නැත.

    නමුත් මම මෙම ගීයට කැමැත්තෙමි. ඒ කැමැත්තට හේතුව මෙම ගීයේ අතිරමණීය වූ ද හදමන සනසන්නා වූ ද මාධුර්‍යයකින් හෙබි තනුව හා ගායනය ය. අතීතයේ දිනෙක මෙම ගීය අඩංගු හඬපටයක් මා අත තැබූ සංගීත විශාරද පැරණි සරසවි මිතුරෙක් මෙම ගීය කුටියේ අඳුරු තැනෙකට වී අසුන් ගෙන, තනි ව සිට රසවිදින්න ය යි පැවසුවේ ය. සත්‍ය ලෙස ම ‍එම නාද රටා සිත දැහැන්ගත කරවයි. මම යළිත් අරුණ පෙරේරා සැපයූ පුරුකින් ඒ මධුර ශබ්ද සරණිය රස විඳිමි. “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීයෙන් රසිකයාගේ ඥාන මණ්ඩලය සම්ප්‍රසාරණය වීම කෙසේ වෙතත් නිසැක ව ම ආනන්ද මණ්ඩලය නම් සම්ප්‍රසාරණය වේ.

    ‍”ඔබ පෙම් කරනා ඔබේ කුමාරි” ගීය මා විසින් බොහෝ විට සඳහන් කෙරෙන්නේ ප්‍රේමය වැනි සුසංවේදනීය අනුභූති බැඳි ප්‍රපංච පිළිබඳ කතිකාවල දී නො වේ. මෙම ගීය ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ බලය හැර යන ආණ්ඩුවලටත් බලයට අභිනවයෙන් පැමිණෙන ආණ්ඩුවලටත් ය. ඒ ‍බේරේ ගෙදර හෙවත් ලේක් හවුසිය සම්බන්ධයෙනි. බලය හැර යන ආණ්ඩු ලේක් හවුසිය සමඟ ඇඟෑලුම්කම් පෑමෙන් තමනට වැරදුණු තැන් පිළිබඳ සිතන්නට ද තමනට වැරදුණු තැන් ගැන අභිනව ආණ්ඩුවලට උපදෙස් දෙන්නට ද සුනිල් ආර්. ගමගේගේ ”ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය ‍සිහි කර ගත හැකි ය. එමෙන් ම බලයට පත් වන ආණ්ඩු ලේක් හවුසිය සමඟ අන්තර් සම්බන්ධතා පැවැත් වීමේ දී සුනිල් ආර්. ගමගේගේ ”ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය ‍සිහි කර ගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස ම වන්නේ ය.

    “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” වැනි ම දෘෂ්ටිවාදී ව නිෂේධනීය ගීයක් මගේ මතකයට නැඟේ. ගුවන්විදුලියේ රජරට සේවයේ ස්වර්ණමය යුගය ප්‍රභාවත් කළ විශිෂ්ටයකු වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයෝ එම ගීයේ රචකයාණෝ ය. එම ගීය ගුණදාස කපුගේ විසින් ම සත්සර මුසු කර ගායනා කෙරුණු “මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී …” ය.

    අපගේ ප්‍රේමයට ආරම්මණ වූ ස්ත්‍රියක පෙරළා අපට ප්‍රේමණීය ප්‍රතිචාරයක් ම නො පෑ විට මෙම ගීයේ පැවසෙන ආකාරයේ හැඟීම් ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න දනමන උපදින්නේ නැත; හදින් උපන්නේ වුව ඒවා මනින් නිෂ්ප්‍රභ කර, ලත් තැන ලොප් කර දැමිය යුතු අසාධු හැඟීම් ය. මේවා උත්කර්ෂණයට ලක් කිරීම කලාවේ කාර්යභාරය නොවන්නේ ය. ස්වර්ණ ශ්‍රී අතිදක්ෂයෙකි. “ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා – ඒ සිහිනේ පුතු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා” ලෙස ඇරඹෙන රසික මන මන්ත්‍ර දැහැනකින් බැඳ ලන රසභාව සහ අර්ථභාව සපිරි ගීය ලියූ අතිශය මානවහිතවාදී නිර්මාණකරුවෙකි, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. එහෙත් “මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී, ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී, කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී, ඒක නිසා මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී” ය යි අපගේ ප්‍රේමයට පෙරළා ප්‍රේමණීය ප්‍රතිචාරයක් ම නො පෑ ස්ත්‍රියක අමතා පැවසීම නම් නිෂේධනීය ය. එවන් අදහස් ගුණදාස කපුගේගේ ඉස්තරම් ස්වරයෙන් හඬ නඟා ගායනා කරවීමෙන් ඉෂ්ට සිද්ධ වන සෙතක් නම් නැත.

    කුස රජතුමා පබාවතියගේ පෙම පතා අපමණ දුක්ගැට වින්දේ ය.; ඇත්අස්හල වැද ශරීර පීඩා ලැබුවේ ය; සකල දඹදිව් තලයට මහරජ වන්නට නිසි වූ හෙතෙම මුළුතැන්ගෙයක සේවක වූයේ ය; විල් දිය බැස රකුසකු ය යි පබවතගෙන් ම අපහාස වින්දේ ය. එහෙත් “පලයං යන්න” ය යි පබ‍වතට පැවසූ බවක් මා නම් අසා, කියවා නැත. කව්සිළුමිණේ එම්. බී. ආරියපාල සංස්කරණය, කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණය, වැලිවිටියේ සොරත සංස්කරණය, මඞුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සංස්කරණය යනාදී සංස්කරණවල පමණක් නො ව බොහෝ සේ පෙළ සකස් කෙරී ඇති කුමාරතුංග සංස්කරණයේ ද එවැනි අදහස් තිබුණේ නැත.

    අරුණ පෙරේරාණෝ ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න පුරුෂයකු බව තම ක්‍රියාවෙන් ම ස්ඵුට කර පෙන්වූවෝ තම පෙම්පත් යුවතිය නන් නය සහේතු කරණ කොට අන් පුරුෂයකු වෙත සරණ යන්නට වූ කල “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” වැනි ගීයක් නොගැයුවෝ ය. එය උත්තම මානව ගුණයක් බව පැවසීම කවර දොසක් ද? අරුණ පෙරේරාණන්ගේ සද්චර්යාව විසින් මගේ මතකයට ගෙන එන්නේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ අර්ථරසභාවපූර්ණ ගී පද වික්ටර් රත්නායකයන්ගේ අර්ථරසභාවෝත්පාදනීය හඬින් ගැයෙන ගීයකි. මානවදයාවෙන් පිරිපුන් අහිංසක මිනි‍සකු වූ ප්‍රේමකීර්ති කිසිවකුගේ සිත් නො බිඳ, තම සිත ම බිඳ ගෙන, දෙයත් බැඳ ගෙන, කලක් පෙම් කළ මුත් පසු ව වෙන් වන්නට වූ ස්ත්‍රියකට පැවසූයේ රහස් අහස් තලයට සඟවා වෙන් වන්නෙමි යනුවෙන් ය (එය ප්‍රේමකීර්තිගේ ම පෞද්ගලික අනුභූතියක් බව මින් අදහස් නො කෙරේ). අරුණ පෙරේරාණන්ගේ ශික්‍ෂිත ගුණයට ගෞරව පා එම ගීයේ පද මතු සඳහන් කරමින් මම නවතිමි.

    සඳ කැන් වැසිලා
    අඳුරේ එතිලා
    ගනඳුරු රෑ
    තනිකම නෑ
    සොයා එන්න ගනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි //

    ජීවිතය ම සතු එක ම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ //
    මේ ලොව මා සතු
    ඈ සතු ඒ නෙතු
    අසල්වාසියකු සොයනු පෙනේ

    සඳ කැන් වැසිලා…

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑත ම බැඳ ගෙන ඉඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා

    සඳ කැන් වැසිලා…

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • බන්ධුල………ආණ්ඩු,ලේක් හවුස්, ඔබේ කුමාරී….ටක්කෙටම ගලපලා තියෙනවා. හොඳ ලිපියක් ලියන්නකෝ බන්ධුල ඔය වගේ හෙඩිමක් දාලා. ඇත්තටම ඔබ මතක් කරන කම්, හිතට ආවේම නැහැ.

      සඳකැන් වැසිලා ගීතය…….මහා පුදුමාකාර ගීතයක්. යමක් නැතිවුනාම දැනෙන දුක නිවාගන්න මීට වඩා බෙහෙතක් තියෙනවද..,ප්‍රේමකීර්තිගේ අඩුව තව කාලයක් දැනෙයි.

      සුනිල් ආර් ගමගේ ලියු ගීත මතක් කරදීම පිලිබඳ අපේ ස්තූතිය.

  25. බන්‍ධුල කුදලාගම says:

    හිතවත් අරුණ,

    මෙම ගීයේ එන “ඈ සතු ඒ නෙතු” යන්න “ඈ සතු මේ නෙතු” විය යුතු ද? ගීයට සවන් දුන්න ද එය පැහැදිලි නැත. සිහින සතක් හා වික්ටර් ගැයූ ප්‍රේම්ගේ ගී පොත්වල කුමක් තිබුණේ ද යන්න මට දැන් මතක‍ නැත. ඔබත් සවන් දී නිවැරදි පදය කුමක් ද යන්න පවසන ලෙස ඉල්ලා සිටිමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • බන්ධුල මහතුන් ….මේක ලියලා තියෙන්නේ “ඈ සතු ඒ නෙතු”කියලා ගීතය නැවත ඇසීමෙන් තහවුරු කරගත්තා.

      මාලති ඇම්බ්‍රොස්, සඳ කැන් වැසිලා..පිලිබඳ ලියු ලිපියක් , නිකං ඉන්න වෙලාවක කියවා බලන්න.

      • අමිල says:

        Dan seram eke inne law and art eke ladies la!!!! Danna widiyata

      • අම්මප අරුණ අයිය කොටු කැප්ටන් කෙනෙක් නොවැ බලාගෙන යනකොට … මර්ඩර් කෙස් එකකට සෙට් වෙන්නේ නැතිව බේරුණ එක ගැන බොහොම සන්තෝෂයි … හෙක් … හෙක් …

        මෙදා පාර ඔයාව හම්බ වෙච්චි දවසට පහුවෙනිදා ලන්ඩන් වල තිබ්බ “ගී අමා” ප්‍රසංගයේදී වික්ටර් රත්නායක “සඳකැන් වැසිලා” ගීතය ගායනය කළා, එක ඇල්පෙනිත්තක් බිම වැටෙන සද්දයක් තිබුනේ නැහැ 🙂

        කටහඬ වෙනදාටත් වඩා පුදුම විදිහට නිරවුල්, දෙකක් නැහැ මිනිහ ආපහු විවාහ වුනාට පස්සේ තිරිහන් වෙලා … සතුටින් ඉන්න මනුස්සයෙක්, එහෙම කියන්නේ හොඳ දෙයක් විදිහට මිස සමච්චලයට නෙමෙයි !

  26. මට නැතිවෙන්නට දෙයක් නැත. නමුත් මට සැඟවීමට දෙයක් ඇත. ඔබ මෙවන් අවස්ථාවකට පත්වී ඇත්නම් එය නැවත සිහිකර ගැනීම වටී. තම පෙම්වතිය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යන පුද්ගලයාගේ චරිතයට ගොඩවී බසින්න. ඒ අවස්ථාවට මුහුණ දීම කොතරම් අසීරුද…බියකරුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මරණයෙන් පවා කෙළවර විය හැකිවේ. මිනිසුන් ප්‍රේමයේ පරාජිත බව ඉදිරියේ මහා මෝඩයන් සේ හැසිරේ. විරහව රසයක් කරගැනීමේ කලාව මට පුරුදුවී තිබුණි. මට භයකට වඩා තිබුණේ ලැජ්ජාවකි.
    ලිපිය උඩ ඉඳන් පල්ලෙහාට කියවගෙන ආවෙ මහ වරදකාරී හැඟීමකින්. හරියට නිකං මගෙ කෙරුවාවෙ CCTV කැමරා රෙකෝඩ් එකක් ඇස් ඉස්සරහ පෙන්නනවා වගේ දැණුනෙ. හැබැයි කණ පැලෙන්නම ෂොට් එක වැදුණෙ මේ ඡේදෙන්. තාම රිදෙනවා.

    කොහොම මෙච්චර ලස්සනට ලියනවද මන්දා අම්මපා.

    • ඒ තත්වෙට පත්වුනාම හරි අපහසුයි චෙවිඳු. ඒක කාලයක් යනකම් අමතක කරන්නත් බැහැ. මේක කියවගෙන ගියොත් තව අපහසුතා බලාගන්න පුලුවන්. මේවා නොවෙන දේවල් නෙමේ. ඒත් කවුරුත් කියන්න කැමති නැහැ.

      චෙවිඳුගේ බ්ලොග් එක ලියන්නේ නැද්ද…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s