අවුල් වන්නට පෙර (63)..කැත ජූලියේ ඉතුරු ටික

ජීවිතය තුළ මිනිසුන් අන්ත අසරණ තත්වයන්ට පත්වෙන අවස්ථා මම දැක ඇත්තෙමි. අසා ඇත්තෙමි. කියවා ඇත්තෙමි. එපමණක් නොව මම විඳවා ඇත්තෙමි. ඒ මට පමණක් නොව, ඔබ සැමටමද පොදුවේ. නමුත් ජීවිත කාලයක ඉතුරුකර ගත් දෙයින්, සොඳුරු නිවාඩුවක් ගත කර ගැනීමට තවත් රටකට පැමිණි සංචාරකයින් , මෙවන් අපහසුතාවයකට පත්වීම, මා දුටුවේ පළමුවරටය. මම ඒ පිළිබඳ දැන් ලියන්නෙමි.

ඔබරෝයි හෝටලයේ ලොබියට ගොඩවි සිටී නේවාසික අමුත්තන් මහා අකරතැබ්බයකට ලක්වී ඇති බව, ඒ මුහුණුවලින් පෙනේ. මුහුණු සහ මුහුණු පොත යනු එකක් නොව දෙකක් බව තරයේ මතක තබා ගත යුතු බව නම් කිව යුතු නොවේ. ෆේස් බුක්, ලෙග් බුක්, අහවල් බුක් කියා කිසිත් නැත. එහෙම තිබුණා නම්, වැඩේ මීට වඩා ලෙඩක් වීමට ඉඩ තිබු බව, අද මගේ විශ්වාසයයි. සමාජ ජාලා සමග අපේ වෛරයක් නැත. කන, බොන දේ සමග පවා අද ඇත්තේ ෆේස් බුක් තරඟයකි. එය ඉණෙන් පහළට රැගෙන නොයෑම ඔබේ යුතුකමකි. සැබෑ ෆේස් එක සහ සැබෑ පොත එළියට එන්නේ එදාටය. එතනට නොයන්න යැයි කියා සිටිමි.

මා මීට කලින් ලියු සටහනට අනුව, අප “සේවය පෙරට” තබා වැඩට සුදානම්ය. අපේ කොෆි ෂොප් මැනේජර් කිව්වේ, වැඩේ අප්සෙට් බවත්, කොල්ලනේ සහ කෙල්ලනේ, අපි අපේ වැඩේ කරමු යැයි යන්නය. මේ රෙද්දෙන් ගැලවී ගෙදර යාමට, මටත් නොසිතුණා නොවේ. මම රැඳුනෙමි. මා පමණක් නොව. අපේ අවන්හලේ බොහෝ දෙනෙක් වැඩේට බැස්සෙමු. මම සෙරුනිකාටත් ඉන්න යැයි කිව්වෙමි. අපේ මැනේජර්ව සිටියේ මොහාන් ද සිල්වා නම්, ජොලිබර මිනිස් පරානයකි. යට ඉඳන් උඩට ආ ඔහු වැනි මිනිසුන් අද විරලය. ඔහු අද අප අතරින් වියෝව ගියත්, ඔහු කියු බොහෝ දේ මට මතකයේ ඇත. “අද මේ හෝටලයේ ඉන්නේ, අපට ආදයම ගෙන එන සුද්දන්ය. අපි ඔවුන්ට නිසි සේවයක් ලබා දිය යුතුවේ. ඇඳිරි නීතිය මොහොතකින් පනවයි. යන්න ඕන එවුන් පලයන්. අනිත් එවුන් මට නම සහ ලිපිනය දීපන් ” යනුවෙනි. මේ මොහාන් ඩි සිල්වාගේ භාෂා විලාසයයි. සුද්දන් කියා ලිව්වෙත් හේතුවකටය. එදා අපේ රටට පැමිණි සංචාරකයන් සියල්ලක්ක්ම බටහිර යුරෝපීයන්වේ. එයින් බොහෝ දෙනා බටහිර ජර්මානුවන්ය. ප්‍රංශ, ඉතාලි, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්ක සංචාරකයෝද වැඩි වශයෙන් සිටි බව මතකය. අපි වැඩට බැස්සෙමු. එදා මොහාන් නොසිටින්නට, මේ කතාව ලියන්නට වෙන්නේ වෙනත් ආකාරයෙන්ය. මට කතාවක් ඉතිරිකල මොහාන් ද සිල්වාටත්, මා නිසාම හෝටලයේ රැඳි සිටීමට, තීරණය කෙරු සෙරුනිකාටත් මගේ ආචාරය පුදමි. එදා මෙන් අදත් ඇය මා ඇසුරේ මා සමීපයේමය. මගේ සමනල එපිසෝඩ් එක පසුවට තබමි. අපේ ලොක්කා කෙල්ලන්ගේ ගෙවල්වලින් අවසර ලබා ගෙන තිබුණේය. මේ බව දැනගත්,අපට සිගරට් පවා රැගෙන දුන් රෙක්ස් කොඩිප්පිලි නම් ඒ ජනප්‍රිය නළුවාද, හෝටලයට පැමිණියේ, ඔහුගේ දුව රොශාන්තිත්, සෙරුනිකා සමග හෝටලයේ රැඳී සිටින්නියක් වූ නිසා විය යුතුය. කොල්ලන්ට ඕවා කිසි ගණනක් නැත. අප බලන්නට එකෙක් නොමැත. ඒදා හෝටල් ක්ෂේත්‍රයේ හැඩතල එසේය. නමුත් අප සියල්ලෝම හෝටලයේ සිටිනා බව, අපේ අයගෙ නිවෙස් සොයා ගෙන ගොස්, පණිවිඩ දුන්නේ ඔය මොහාන් ඩි සිල්වාය. මටත් ඒ ගමන් සඳහා සහභාගි වීමට සිදුවිය. ඒ මම වළේ පොර නිසාය. තව අයද සිටියෝය.

මේ පහතින් උපුටා දක්වන්නේ, මා විසින් වෙන ස්ථානයක මීට පෙර කාලයක ලියා තැබු සටහනකි. ඒ කොටසට එකතුවිය යුතු දේ බොහෝය. නමුත් කිසිම වෙනස් කිරීමකින් තොරව එය මෙහි ඇත. එදා කතාවේ, කැත ජූලිය මෙතනින් අවසන් කර, ලබන කොටසේ සිට, මගේ ජීවිත කතාව ඇදගෙන යමි. ඒ කැත ජූලිය…එතරම් කැතය. එතරම් කළුය.

//////සක්කිලි රාජාගේ සිට, කේ. වෙන්කට්, මුත්තුසාමි මාස්ටර්, රොක්සාමි මාස්ටර් වැනි නිර්ව්‍යාජ කලාකරුවන් දක්වා, අනේකුත් වධ බන්ධනයන්ට ලක්වූ පුරවැසියන් ප්‍රමාණය අති මහත්ය. අති මහත් මුදල් සම්බාරයක් හිමිව තිබු සුපිරි ද්‍රවිඩ ජාතික ධනපතියන්ට ඒ තරමට පීඩා විඳින්නට සිදු නොවූයේ, ඔවුන් හැකි ඉක්මනින්ම තරු පහේ හෝටල්වල ලැඟුම් ගත් නිසාවෙනි. කොපමන මුදල් තිබුනත්, කොතරම් පහසුකම් තිබුනත්, ඔවුන්ගේ හැසිරීම් රටාවන් සහ ඔවුන් සමග දොඩමළු වීමේදි මා දුටු, ඔවුන්ගේ කළකිරීම නම් ඉතා දුක්බරය. එදා සිටි සුපිරි ව්‍යාපරිකයෙකුවූ ඥාණම් මුදලාලි වැනි අයද ඔය ගොන්නේ විය. මම ඉතිරිය පසුවට ලියමි.

මගේ කතාව අකුරු කරන්නට වෙන්නේ එක් එක් තැනින් ගොඩවී නිසා මට ඇත්තේ පසුතැවිල්ලකි. ඉපදුනදා සිට මේ දක්වා ආ ගමන හිතේ තියෙනා පරිදිම ලියන්නට උවමනාවූවත් මම ඒ කතාව කොටස් පනහකට වඩා ලියා තබා නිහඬ වූවෙමි. අද ලියන්නේ අතර මැදි අවස්තාවක් වූවත්, ඒ තුල ගැබ්ව ඇත්තේ මගේ කතාවය. මා හා බද්ධවූ මගේ රටේ කතාවය.

කළු ජූලියේ විකෘතිමත්ම දිනයවූ විසිතුන්වෙනිදා රාත්‍රිය වන විට, අපේ ඔබරෝයි හෝටලයේ කාමර එකක් නෑර පිරි ගියේ දේශිය ලැඟුම ගන්නා අමුත්තන්ගෙනි. සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට කාලයක් නැත. අප කාර්ය බහුල සේවයකයන් යැයි කිව යුතු නොවේ. විදේශීය සංචාරකයින්ට මෙය මහා අමුත්තක් විය. නමුත් ඒ සිදුවෙමින් පැවති අවිචාර සිදුවීම් වහ වහා දැණගැනීමට ,අද මෙන් එදා පහසුකම් නොවීය. කාමර පන්සීයකට ආසන්නවූ (මගේ මතකය නිවැරදිනම්) ඔබරෝයි හෝටලයේ නැවත ලැඟුම් ගැනීමට ඉඩකඩ නැත.

සැන් ඇන්තනීස් සමූහ ව්‍යාපාරය හිමිව තිබූ, ද්‍රවිඩ ජාතික ව්‍යාපාරකියෙක්වූ ඥාණම් මහතා, සුදු වේස්ටිය හඳිනා, කෙසඟ සිරුරකට හිමිකම් කියන්නෙක් බව මම දැණගත්තේ , ඒ ජූලි විසි තුන්වෙනිදාය. ඔහුගේ පවුලේ අය පමනක් නොව, ඔවුන්ගේ ලඟම ඥාති උදවිය සඳහාද, හෝටලයේ කාමර දහයකට පහලොවකට අධික ප්‍රමානයක් වෙන්වී තිබුණි. තවත් බොහෝ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරික ප්‍රජාවද එහි ලැඟුම් ගති. ඔවුන් නිදාගත්තා නොව, ආරක්ෂාව ලබා ගත්තා පමණක් යැයි මට දැනේ.

මුත්තුසාමි මාස්ටර්ලා, රොක්සාමි මාස්ටර්ලා වැල්ලවත්තේ, බම්බලපිටියේ හින්දු දේවස්ථානයන්හී අනාථයින් ලෙස ලැඟුම් ගද්දී, ඥානම්ලා, විවේකනාදන්ලා වැනි සුපිරි ධනවතුන් ඔබරෝයි හෝටලයට ගාල් වෙන්නේත් උපන් බිමේම අනාතයින් ලෙසය. ඒ සියල්ලන්ගේම මානසික පශ්චත්තාපය එකම දුක්ගැන්විල්ලක් මිස අන් කුමක්දැයි මම මගෙන්ම අසා ගන්නෙමි.

මේ සිදුවීම් මාලාව මෙසේ ඉක්මණින් සහ කෙටියෙන් ලියා අහවර කිරීමට නොහැකිවේ. ඥානම්ලා, සමාජ විග්‍රහයේදි ධනේශ්වර ප්‍රජාවේ මූලබීජයන් විය හැකිය. නමුත් ඔවුන් අපේ රටට එකතු කල මහා මූල්‍යමය එකතුවක්, සහ කළමනාකාරීත්ව දායකත්වයක් මෙන්ම, අනගි රැකියා සුරැකීමක්ද විය. ඒ වටහාගැනීම නැවත අධ්‍යයනය කලයුතුවේ.

රාජපක්ෂ රෙජීමය තව කාලයක් බලයේ සිටියා නම් අසූතුනට වඩා ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක් ඇතිවීමට තිබූ ඉඩකඩ බොහෝය. ඒ ගැන ලියන්නට ගිය හොත්, අද මට වැඩට යන්නට වෙන්නේ හෙලිකොප්ටරයික්න්ය. මා කියන්නේ පශ්චාත් යුධ සමය පිලිබඳවයි. ඒ බියකරු සමය අවසන් කිරීමට ඔබ සියළු දෙනා දුන් දායකත්වය අති මහත්ය. එය නැවත හැරවීමට ඉඩ නොදෙන්න.

1983 ජූලි මාසයේ විසි හතරවෙනිදා, ඥාණම් මුදලාලි මගෙන් ඇසූ එක් ප්‍රශ්නයක් ඇත. හෝටලයේ සිටි වේටර් කොලුවෙක් වූ මගෙන්, ඒ මහා ව්‍යාපාරිකයා තෙත්වූ දැස්වලින් ඉකිගසා ඇසුවේ ” පුතා….මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සැපයීමත්, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමත්ද” යන්නයි. ( මේ අහන ප්‍රශ්ණය පිලිබඳව ආර්ථික විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මක විග්‍රහයන් එකතු කිරීම, පාඨක ඔබ සතු අයිතියක් යැයි මම සිතමි. මම අත්දැකීම් ලියනවා මිස, මහා අධ්‍යාපනයක් ලැබූ, ලබු ගෙඩියක් නොවන බවද ලියා තබමි ). ඔහු පමනක් නොව, ඔහු වැනි බොහෝමයක් අය එදා පශ්චතාපයට පසුවුනේ ඇයි දැයි යන්න විමසා බැලීම වටී.

ඒ කාල පරිච්ඡේදය ගැන, මගේ අත්දැකීම් පසුවට ලියන්නට වෙන්නේ මට කාලය මදි නිසාමය. පසුව ලියන්නෙම් යැයි කියා අත හැරිනු කතා රාශියකි. ඒ ගැන බොහෝ අය මට සුන්දර චෝදනාද ඉදිරිපත් කරති. දෙන්න සමා…කකුල් නමා!!!////////

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

55 Responses to අවුල් වන්නට පෙර (63)..කැත ජූලියේ ඉතුරු ටික

  1. obk56 says:

    අපේ අම්මා මට ඔබරෝයි එකේ විස්තරේ කියලා තියනවා. මම මෙතන නම සදහන් නොකරන නමුත් එකවුන්ට්ස් එකේ හිටිය, කොටහේනේ ගෙවල් තිබුන අම්මාගේ යාලුවත් (ඇරූ දන්නවා ඇති මම කියන කෙනා. ප්‍රසිද්ද ක්‍රීඩා විචාරකයෙකුගේ බිරිද ) ඔෆිස් එකේ තමා හැංගිලා හිටියේ.

    • පුතා …..ඔබේ මවත් මගේ කාලයේ කෙනෙක් නම්, මේ කතා සියල්ල මටත් වඩා හොඳින් මතක ඇති. පුතා…කොහොමත් ගෑණුන්ගේ මතකය අලින්ගේ වගේ. ඒ පිරිමි අපි වරදක් කරලා තිබුනොත් 😀 මාර වාතේ කොල්ලෝ.

  2. Nimesh says:

    මහින්ද ඇතුලු කාලකණ්නි හදන්නේ රට ආයෙත් ඔය තත්වෙට ගන්න තමා. මුස්ලිම් මිනිස්සු එක්ක යුද්ද කරන්න. මොකද මහින්ද කරන්න දන්න එකම මගුල යුද්ද කිරීම විතරක් නිසා.

    • මේ වගේ දේවල් වලක්වාගන්න තමයි කවුරුත් කැමති වෙන්න ඕන. ඒත් ඒවට උල් පන්දම් දීම තමයි ගොඩක් වෙලාවට පේන්න තියෙන්නේ. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන ලෝකයක් නිමේශ් මේක.

  3. Transylvania says:

    1983 ජූලි මාසයේ විසි හතරවෙනිදා, ඥාණම් මුදලාලි මගෙන් ඇසූ එක් ප්‍රශ්නයක් ඇත. හෝටලයේ සිටි වේටර් කොලුවෙක් වූ මගෙන්, ඒ මහා ව්‍යාපාරිකයා තෙත්වූ දැස්වලින් ඉකිගසා ඇසුවේ ” පුතා….මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සැපයීමත්, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමත්ද” යන්නයි. ////////// +++++++

    • ව්‍යාපාරික ලෝකය අඩි ගානක් ආපස්සට ගිය සිදුවීමක් රුවන්. මේ දේවල් සීයට සීයක් ආපහු හදන්න පුලුවන්ද කියන පසුතැවිල්ල අපිට තියෙනවා නම් ඒ මිනිස්සුන්ට කොහොම ඇද්ද….

  4. Anonymous says:

    ඥාණම් මුදලාලි කියන්නෙ කවුද? ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි ඒජන්තයෙක්.. අරූ දැක්කෙ නැද්ද පොර Rabbiල දාන තොප්පියක් දාගෙනනෙ හිටියෙ..

  5. කියෙව්වා. අමතක නොකලයුතු කතාවක්.:(

  6. ජාතිවාදය, ආගම් වාදය, කුළ වාදය……. වගේ දේවල් මේ ලෝකේ පැවැතෙනතාක් පැවතේවි…..

  7. කැත ජූලිය අමත නැත. පසු කාලේක අපිට හිටිය අසල්වාසි දෙමළ පවුල් රට අතහැර වෙන රටවල් වලට යන්නට මුල්වුනෙත් එකට සෙල්ලම් කරපු මට පොඩි අයියායි ආමන්ත‍්‍රනය කල ඒ පවුල් වල යහළු යෙහෙලියන් නැති වුනෙත් කැත ජූලිය නිසාවෙනි.

    • මේ මගුල් නිසා රට හැරගිය මිනිස්සු වෙන රටවල තවමත් ජීවත්වෙනවා. ඒ අයට ආර්ථික පහසුකම් හොඳවුනත්, උපන් රට දාලා එන්න වීම ගැන දුකක් තියෙන බව කතාකරන කොට තේරෙනවා. සමහරු තවමත් වෛර කරනවා. අන්න එතනයි අප්සට් එක තියෙන්නේ අසංග.

  8. ඉපදිලා මැරිලා ආයේ උපදින මිනිස්සු මේ ආත්මේ මේ ජාතිය වෙනුවෙන් මරාගෙන ඊළඟ ආත්මේ කොයි ජාතියක උපදියිද කියල දන්නේ නැහැ අරුණ මහත්මයා.. එහෙම බැලුවාම මේ විශ්වය පවතිනකම් ජාතීන් වෙනුවෙන් මරාගන්න මිනිස්සුන්ට වෙන්නේ මරාගන්නම විතරයි..

    • ගොඩයෝ…..මට හිතාගන්න බැරි මිනිසා ඇයි මේ ඕනම දේකට මරා ගැනිල්ල ඉස්සරහට දාගන්නේ කියලා. සල්ලිවලට මරාගන්නවා, ජාති ජන්ම වලට මරාගන්නවා. ප්‍රේමය, ආදරය වෙනුවෙනුත් මරාගන්නවා නම්, වෙන මොන කතාද නේද.

  9. නොකී කතා says:

    ජාති, ආගම් නිසා මරාගන්න ලෝකෙක ජාති, ආගම් අමතක කරල දාන්න ඊළඟ පරම්පරාවටවත් බැරි වෙයිද..

    • හෙන්රි…. මට පේන්නේ එදාටත් වඩ අද හැම ආගමකම, හැම ජාතියකම ජාතිවාදී, ආගම් වාදී කල්ලි කංඩායම් වැඩියි කියලා. මම රටින් පිටව ජීවත්වෙන කෙනෙක් නිසා මට මෙහෙම හිතෙනවද මන්දා. අසූතුන කාලේ එහෙම ප්‍රවනතාවයක් තිබුනේ නැහැ. ඒක වෙනම තත්වයක්. ඒත් අද…..

  10. හිරු says:

    අරූ ආයිත් ලියන්න පටං ගත්ත ඒකම ලොකු දෙයක්….

    • ඔයත් එක්ක මේ වැඩේ කරන්න බැහැ 😀 ඔන්න ලියනවා, මෙන්න ලියනවා කිව්වට, කවද්ද ආපහු ලියන්නේ…

  11. Thushani says:

    ආපහු ලියන පටන අරගෙන තියෙනවා දැක්කහම ගොඩක් සතුටුයි..

    ඔය කියන කාලේ වෙනකොට අපි ඉපදිලා හිටියෙ නැති නිසා මේ සටහන් අපේ පරම්පරාවට බොහොම වටිනවා..

    • බොහොම ස්තූතියි තුශානි….හෙමින් සැරේ කියවගෙන යන්න. රටටයි, මටයි දෙකටම වෙච්ච දේ තියෙයි.

  12. Anonymous says:

    අරූ අයියෙ,
    ඔයා ලස්සනට ලියනව අරූ අයියෙ.
    මම හැමදාම කියවනව අරූ අයිය ලියන ඒව.
    ඔයාට බුදු සරණයි අරූ අයියෙ

  13. අද එහෙමට දෙයක් ලියලා නැනේ …කලින් කියපුවම තමා

    • කම්මැලිකමට ලියපු එකක්. ඒකයි වෙන තැනක ලියපු එකක් ගෙනල්ලා එල්ලුවේ. ඕවා ප්‍රසිද්ධියේ කියන්න එපා *කෝ.

  14. Sa rasa says:

    රනිල් ඇමති කෙනෙක් වෙලා හිටි ජේ ආර් ගේ ආන්ඩුව කාලේ සිදු වුනු කලු ජූලියටත් මහින්ද මහත්තයාට බැනීම පිලිඹඳව ඇරූ තුමාට අපගේ උපහාරය හිටන්!

    • Anonymous says:

      ඒ සක්කිලි රජා කියල තියෙන්නෙ මරා නෙවෙයි බං. වෙන සක්කිලි රජෙක්.

    • Manoj says:

      ගිය සටහනේ ජේ.ආර්ට බැන්නා…..:D

      • මට මතක 70වේ කාලේ ඉඳන් අද වෙනකම් බැලුවොත් මනෝ…නොබැණ ඉන්න පුලුවන් එක නායකයෙක් ඉන්නවද… 😀

    • සරස…..අසූතුනේ මරාට අවුරුදු 38යි. එයා මේවට සම්බන්ධ නැහැ. 77-89 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ මගේ හිතේ. මම කියන්නේ වෙන්න ඉඩ තිබුනා කියලා. අමතක නොවෙන වැඩ ටිකක් පත්තුවේගෙන ආවානේ. මතකද මන්දා…ඒවා තමයි එයාගේ පරාජයටත් එක් එක් හේතුවුනේ.

  15. Manoj says:

    එකට ඉන්න එකා හෙලා දමන්න තරම් අන්ධ මිනිස්සු සත්තුන්ටත් වඩා අන්තයි.
    මම හිතන්නේ නැහැ එදා තරම් මිනිස්සු මෝඩයි කියලා අද අන්තවාදී අදහස් ඇති අය නැතුව නෙමේ සමාජ මාධ්‍යවල ඕන තරම් ඉන්නේ.හැබැයි උන් එළියට බැහැලා දගලන්නේ නැහැ එහෙමත් මෝඩයෙක් දෙන්නෙක් ඇරෙන්න.

    • මට මෙහෙම හිතෙනවා මනෝ. පාරේ දඟලන මෝඩයෙක්ට වඩා දරුණුයි, සයිබරයේ දඟලන මෝඩයෝ කියලා. බෙල්ලට පිහිය තියනවාට වඩා භයානකයි, හැඟීම්වලට පිහිය තියන එක.

  16. ///රාජපක්ෂ රෙජීමය තව කාලයක් බලයේ සිටියා නම් අසූතුනට වඩා ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක් ඇතිවීමට තිබූ ඉඩකඩ බොහෝය.///
    හම්බ වෙච්චවත් නැති ළමයෙක්ගේ උප්පැන්නේ ගැන කතා කරන්න ලද අවස්ථාවෙන් මුව හැමට තැලීම අනුමත නොකරමි හිටං…

    ///”මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සැපයීමත්, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමත්ද”///
    83 කළු ජුලිය, 88-89 වැරදි පිළිගන්නෙ නැතුව මැතිනිගේ හාල් පොල්ල සහ 71 වැරදි පුන පුනා කියන උදවිය අතරින් වෙනස් එකෙක් දෙන්නෙක් දකින එකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක් අරූ…
    ස්තුතියි ඔබට…
    අපේ පැත්තේ unp කාරයෝ 83 දී දෙමළ මිනිස්සුන්ගේ ලයින් වලට පැනලා ඒ මිනිස්සුන්ගේ කුකුල්ලු, එළුවෝ කර තියාගෙන ඇවිත් තිබුනා ආදරේ වැඩි කමට, මම හිතන්නේ පරිස්සමට වෙන්න ඇති…
    වෙන මුකුත් ඕනේ නැහැ, රෑ ලැයිමට පැනලා ගෙඩි පිරිලා තිබ්බ ගස්ලබු ගහට එකෙක් කඩුවෙන් ගහල ගහ මුලින් කපල බිම දාද්දි ඒ එක්කම ගමේ ප්‍රබුද්ධ unp පාක්ෂිකයෙක් ගහ උඩ ඉඳල කපපු ගහත් එක්ක බිම වැටිලා තිබ්බා…
    ඊට කලින් 77 දිනපු ගමන් ඔය කියපු ප්‍රබුද්ධ පාක්ෂිකයෝම ශ්‍රී ලංකා කාරයින්ගේ කඩ කොල්ල කාල, ගිනි තියලා පප්පට පිං පිණිස පුජා කරලත් තිබ්බා…
    හැබැයි ඒ අය අතරින් අති බහුතරයක් 88-89 දී සහෝදරයෝ අතින් කරගම්පිටි ගියා…

    • ///////හම්බ වෙච්චවත් නැති ළමයෙක්ගේ උප්පැන්නේ ගැන කතා කරන්න ලද අවස්ථාවෙන් මුව හැමට තැලීම අනුමත නොකරමි හිටං…/////////////

      ලොකු පුතේ……හම්බවෙන්න ඉස්සෙල්ලා ස්කෑන් කරලත් බලන්න පුලුවන්නේ. අම්මපා උඹේ සර්නේම් එක රාජපක්ෂද 😀

      ///////වෙනස් එකෙක් දෙන්නෙක් දකින එකත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක් අරූ…
      ස්තුතියි ඔබට…//////////////////

      මම මේ දේවල් දකින්නේ පක්ෂ කණ්ණාඩි අස්සෙන් නෙමේ බං. සමහරුන්ට මං යුඇන්පී වගේ පේනවා. තව කට්ටියකට ශ්‍රීලංකා වගේ පේනවා. සමහරුන්ට මාව ජේවීපී. මම පක්ෂයක් හැටියට කුඩා හෝ උනන්දුවක්, ආධාරයක්, උපකාරයක් කර තිබුනේ ජවිපෙට විතරයි. අද මම කිසිම තැනක එල්ලිලා ඉන්නෙ නැහැ. ඒත් යහපත් සමාජයක් හැදෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මට දකින්න නෙමේ, අනාගත පරම්පරාවටවත් අත්විඳින්න.

      ///////////අපේ පැත්තේ unp කාරයෝ 83 දී දෙමළ මිනිස්සුන්ගේ ලයින් වලට පැනලා ඒ මිනිස්සුන්ගේ කුකුල්ලු, එළුවෝ කර //////////////

      UNP කාරයෝ විතරද….කියහන් බලන්න. ඒක නම් වැරදි කතාවක්.

      ////////ඊට කලින් 77 දිනපු ගමන් ඔය කියපු ප්‍රබුද්ධ පාක්ෂිකයෝම ශ්‍රී ලංකා කාරයින්ගේ කඩ කොල්ල කාල, ගිනි තියලා පප්පට පිං පිණිස පුජා කරලත් තිබ්බා…////////////

      සහතික ඇත්ත..මම 77 ඉලෙක්ශන් එක ගැන මීට කලින් ලිව්වා. ඒ අසික්කිත කම උතුරෙත් කරා. ඒවා තමයි මේ විඳවන්නේ.

  17. nadil says:

    OKTA WAGA KIYANNE ONE jr PAPPA NOWEDA ? AAYI E PATTA GANA KATHA NOKARANNE

    • නදිල් ……….දිගටම කියවගෙන ආවා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ආපහු ආපහු ජේආර්ගේ බලුකම් ගැන ලියන්න වෙලා නැහැ. ඒකයි.

  18. maathalan says:

    ඒකනේ අරු මම කිව්වේ. බන්ඩාරනායකයා මේ රටේ හින්ගල බිස්නස් කාරයෝ ටික විනාශ කලා. ජේ ආර් දේශීය දෙමළ ව්‍යාපාරිකයෝ ටික විනාශ කළා. ඉතිරි උන් ටික රාජපක්ෂ විනාශ කලා.

    අද පිටරට උන් එනකන් බලාගෙන ඉන්න වෙලා..

    • මේ අයියලා ඔක්කොම කාලෙන් කාලෙට ඔය වට්ටියට අත ගැහුවා මචං. ඒත් පුදුමේ කියන්නේ මේ දේශපාලන මාෆියාවට එරෙහිව බිස්නස් ප්‍රජාව එදා ඉඳන් අද දක්වා ගත්ත ක්‍රියා මාර්ග මොනවද කියන එක. මෙන්න මේක තමයි බිස්නස් සහ පොලිටික්ස් අතර තියෙන අසික්කිත ලව් අෆෙයාර් එක. වැඩි ඈතට යන්න ඕන නැහැ. ඊයේ පෙරේදා සිදුවීම් හොඳටම ඇති. ඒ මදිවට කළාකාර සහ දේශපාලක අශුද්ධ බලුකමුත් එලෙසමයි.

  19. හ්ම්ම්… මොනවා කියන්නද ඉතිං..

  20. sudeeka says:

    මේ අත්දැකීමට මම මුහුණ දුන්නේ පාසල් සිසුවෙක් විදියට. අපේ මහ වෙදනා මේ ගැන ලියලා තිබුණ සටහනත් මේ මොහොතේ මතක් වෙනවා. මගේ ඥාති සහෝදරියක් අලුත්ගම සරස්වතී කියන කඩේ මුදලාලි ඇතුළු කිහිප දෙනෙකුව ආරක්ෂා කරලා තිබුණා. ඒ කාලේ මුළු ප්‍රදේශයම එක විවේචනය කළා. අපිත් එහෙමයි. නමුත් අද අපි වැඩිහිටියන් විදියට මේක දකින්නේ පුළුල්ව. එදා මේ ක්‍රියාවලියේ මහ මොළය ලෙස ක්‍රියා කලේ සිරිල් මැතිව් මහතා. මොකද මගේ පියාට ඔහුගෙන් ලැබුණු ලිපි කිහිපයක් මා කියවා තිබූ නිසා. අද ජාතිකත්වය නියෝජනය කරන ඒකාබද්ද විපක්ෂය වුණත්, එවකට හොඳින්ම මේ කණ්ඩායම වුණේ, එක්සත් ජාතික පක්ෂය. ගාමිණි දිසානායක මහතා ඒ අතරින් ප්‍රමුඛයෙක්. ඒ නිසා තමයි ඔහු එල්.ටී.ටිය. අතින් ඝාතනය වෙන්නේ. අතීතය නිවැරදි කරන්න බෑ. නමුත් ඒ කාලේ දමිළයන් හැසිරුණු ආකාරය හොඳඳ ? යාපනයට යන කෝච්චියක සිංහල කෙනෙකුට අසුනක් ලැබෙනවාද ? මේ හැම එකකම දෙපැත්තක් තියෙනවා. මගේ සාමාන්‍ය විශ්වාසය ඕනෑම දෙයක් සිදු වෙන්නේ, එක වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වුණාම.

    • සුදීක……..1977 ආණ්ඩුව මේ අවාසනාවන්ත සිදුවීමට වග කියන්න ඕන බව එදා ජීවත් වෙච්ච මිනිස්සු දන්නවා. ඔබගේ පියා වැනි අය මේ ගැන බොහෝදේ දන්නවා ඇති. ඕවා ඇත්ත.
      /////නමුත් ඒ කාලේ දමිළයන් හැසිරුණු ආකාරය හොඳඳ ///////
      කිසිසේත්ම ඒදා උතුරේ යම් යම් කොටස්වල හැසිරීම්, කිසිසේත්ම අනුමත කරන්න බැහැ. දෙපැත්තම ගිනි ඇවුලුවා. නමුත් රජයක් හැටියට ඒ නිවා දැමීමේ වගකීම වෙනුවට මුන් කරේ ෆයර් බ්‍රිගේඩ් වතුර ටැන්කිය වෙනුවට, පැට්‍රල් බවුසරයක් ගැටගහගෙන ගින්න නිවීමේ සංදර්ශනය පැවත්වීමයි. මේ සංදර්ශනය පහුගිය කාලෙත් ඔන්න මෙන්න පෙන්නන්න ගියා. රටේ වාසනාවට ශෝ එක බලන්න, ටික දෙනෙක් හැර, පොදු ජනතාව ටිකට් ගත්තේ නැහැ.

      /////// මගේ සාමාන්‍ය විශ්වාසය ඕනෑම දෙයක් සිදු වෙන්නේ, එක වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වුණාම.///////////

      පැහැදිලියි! එකඟයි !!

  21. rangi says:

    ඇත්තටම මෙහෙම කෲරකම් කරන්න තරම් මිනිස්සු වුනේ කොහොමද කියන එක ගැන මට හිතාගන්න බෑ.
    වෙන කතා මොකටද?
    ඒත් ජාතියක් විදියට අපි කවදාවත් හැදෙන්නේ නෑ කියන එක නම් මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. අන්තිම කාලේ මිනිස්සු වෙන්න අපි හැමෝටම කොයිතරම් නම් චාන්සස් ලැබුනද?

    • රංගි…..වැටුනාම නැගිටින්න අමුතුවෙන් උගන්නන්න ඕන නැහැනෙ. ඒත් අපි එක දන්නේ නැහැ. වැටිලා, පස් කාගෙන බලන් ඉන්නවා, වෙන එකෙක් ඇවිල්ලා උස්සලා වාඩි කරනකම්. ඒ නැගිටින්නෙත් උස්සපු එකාගේ අතත් හපාගෙන, මරු විකල්ලෙන්. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. වෙන මොනවා කියන්නද රංගි.

  22. අරූ බොස්…ලියහං බං කවියක්…ඔන්න ඔහේ ලියල බලහං…මේ #%&වල් ලියලා වැඩක් නෑ වගේ කියලමනේ හිතෙන්නේ හැබෑට….ලියහං බං කවියක්…!
    මෙහෙමයි..ඔය ලියන දේවල්ම එහෙට මෙහෙට හරවලා කිඳුරු කොදොව්වක් හදහංකෝ…!!
    සෙද්ද…!!

    • Pra Jay says:

      තේරෙන ට්‍රැජඩි එකක් වෙනුවට නොතේරෙන සොඳුරු කවියක් ?

      • ////////තේරෙන ට්‍රැජඩි එකක් වෙනුවට නොතේරෙන සොඳුරු කවියක් ?//////////
        මෙන්න මේ වගේ කමෙන්ට්ස් දාන්න දන්නේ උඹ විතරයි ප්‍රා.
        ශෙෆාට වනගත වෙලාම ඉන්න හිතෙයිද මන්දා 😀

    • ශෙෆෝ….ඇත්ත බං මේ #%&වල් ලියන එකනම් වැඩක්ම නැහැ. කවි ලියන්න නම් දන්නෑ බං. මටත් මේ ජූලියෙන් ගැලවෙන්න ඕන. මම ලියන්නම් ජූලියේ සුන්දර පැත්ත.

  23. සෙන්නා says:

    “ඥානම් මුදලාලි” … මගේ තාත්තා ඔහුගේ වැඩපලක ( Sascon) වැඩ කරපු සේවකයෙක්.. 80 වැඩ වර්ජනයෙන් තාත්තලාගේ රස්සාවල් නැති වුනාම අපිට බඩගින්න කියන එක යහමින් දැනුනා.. ඒ බඩගින්න නිවෙන්න ගත්තේ තාත්තට ඥනම් මුදලාලි රස්සාව දුන්නම.. ඉතින් අපි ඔහුට කොච්චර ණය ගැතිද ? තාත්තා ඉස්සර ඇවිත් ඥානම් මුදලාලිගේ විස්තර ගෙදර කියනවා.. මම කවදාවත් නොදැක තිබුනු මේ මනුස්සයා මගේ හිතේ පතාක යෝධයෙක්ගේ චිතරයක් ඇඳලා තිබුනේ..

    83 ජූලිය තාත්තලාගේ වැඩපලත් පුච්චලා දැම්මා… ඒත් ඥානම් මුදලාලි ඒක නැවත්තුවේ නෑ..දැන්නම් ඒක වහලා දාලා මයෙ හිතේ.. කාලෙකින් ඒ පැත්තට ගියෙත් නෑ…

    • සෙන්නා…….ඉතාම අවංක බොක්කෙ කමෙන්ට් එකක්. සමහරු මේවා දන්නේ නැහැ. ඥානම් මුදලාලි 2007දී මියගියා. ඔහුගේ බිස්නස් ලෝකයේ හැසිරීම මම දන්නේ නැහැ. මට හමුවු මේ මිනිසා නම්, ඉතාම නිර්ව්‍යාජ, අහිංසක මිනිහෙක්.

      /////////DESHAMANYA GNANAM – ARULANANDAM YESUVADIAN SAMUEL (A.Y.S.). Dearly beloved husband of Emy, loving father of Sarojinie, Arul, Jhansi, Rajaseelan, Christine, Jeyaseelan, father-in-law of Chandrakumar, Meena, Rasikaran, Shirani, Anand and Nava, grandfather of Arun, Dinesh, Amirtha, Santosh, Vijay, Josh, Jeevan, Praveen, Amrith, Manoj, Ajay, Akaash & Kaviya, great-grandfather of Emmanuel. Cortege leaves 31, Collingwood Place, Colombo 06 at 10.00 a.m. on Saturday the 6th January for The Cathedral of Christ The Living Saviour, Bauddhaloka Mawatha, Colombo 07 for Service and thereafter for interment at General Cemetery, Kanatta (Anglican Section). No flowers by request. //////////////////

      නිකම් ඉන්න වෙලාවක මේ ලිපිය කියවන්න. යුගයක මිනිසුන් කිහිප දෙනෙක් ගැන කියවෙනවා.http://www.sundaytimes.lk/140713/business-times/dasa-last-of-the-mohicans-106460.html

  24. අඳුරු අතීතය…
    නැවත ඇති නොවේවා!

    • බලාපොරොත්තුවක් සහ ප්‍රාර්ථනාවක් හැටියට අපි ඔක්කොම එහෙම හිතමු චින්තක.

  25. මට හිතෙනවා ඒ දවස් වල සෝෂල් මීඩියා සහ මෝබයිල් තිබුණා නම් තත්වය මෙයිට බොහොම වෙනස් වෙන්න තිබුණ.

    1) වැරදි කරපු එවුන්ගේ විස්තර ෆොටෝ සහ වීඩියෝ සාක්කි එක්කම එලියට එනකොට පව් පලදෙන්න ගනීවි.

    2) මේ නින්දිත වැඩ අනුමත කරන සහ අනුබල දෙන උදවිය සෝෂල් මීඩියා කල්ලි ගැහෙන්න ආයුධයක් කර ගනීවි

    3) විරුද්ධ මිනිස්සු විරුද්ධ මිනිස්සු සෝෂල් මීඩියා වලින් මේ ගැන බොහෝ දෙනා දැනුවත් කරන්න උත්සාහ ගනීවි

    4) අන්තර්ජාතිකව ලොකු බලපෑමක් එල්ල වේවි

    5) කවදාවත් මකා ගන්න බැරි කළු පැල්ලම් සදහටම අන්තර්ජාලය එක්ක තියේවි

    නමුත් දේශපාලනඥයෝ වෙනද වගේම තමන්ගේ තකතීරු වැඩ ඕනෑම පර වැඩක් කරන කූටාලියෝ ලව්වා ඒ විදිහටම කර ගෙන යාවි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s