අවුල් වන්නට පෙර (62)…අසූ තුනේ කැත ජූලියෙන් බාගයක්..

මගේ කථාවේ මේ පසුවන්නේ එක්දාස් නවසිය අසූතුන වසරයි. මම තවමත් ඔබරෝයි හෝටලයේ සේවකයෙක්මි. මගේ ආදරණීය මිතුරිය ෂෙරුනිකාද තවමත් එහි සේවය කරමින් සිටියි. පසුගිය සටහන අවසන් කෙරුණේ, මම සහ ෂෙරුනිකා අතින් අල්ලාගෙන ගිය පළමුවැනි ගමන පිළිබඳවය. ඒ තව සමුදීමක් සිත්හී තබාගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. තාරුකා සහ පවුලේ අය ෂෙරුනිකාට ඉතා හොඳින් සංග්‍රහ කෙරුවා පමණක් නොව, එම නැගණියන් ඇය හා ඉතා ඉක්මනින් මිතුරු විය. ඔවුන්ද ඇයගේ පාසලට නුදුරු පාසලක සිසුවියන් වීම, මේ මිතුදම තවත් පහසු කරවීය. මොවුන් බොහෝ කාලයක් හොඳම මිතුරියන් බවටද පත්වසිටි යුගයක් මට මතකය. මේ මිතුදම් නිසා මට සිදුවූ වාසි මෙන්ම පාඩුද නැතුවා නොවේ. තාරුකා සහ මා අතර කිසිවක් සිදු නොවූ සහ අප පෙම්වතුන්ව සිටියා දැයි නොසිතෙනා අයුරින් තාරුකා හැසිරේ. නමුත් ඇය මා හා දොඩමළු වීමට උත්සුකවන බවක් නම් පෙනේ. මම නැවතී සිටින්නේ ඒ නිවසේමය. ඕනෑම මොහොතක ඒ කතාබහ කරගත හැකිවේ. අප ඔවුන්ට සමුදී එතනින් පිටත් වුණෙමි.

ප්‍රේම සබඳතා කෙසේ වෙතත්, ඒවා අවුට් ඔෆ් ද ට්‍රැක් නොවී පවත්වාගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව කවුරුත් දනී. මම දැන් ඉන්නේ හමුවීමක් සහ සමුදීමක් අතර සංක්‍රාන්ති සමයකය. සමුදීම් එතරම් පහසු නොවේ. අතහැර දැමීම් ඒ තරම්වත් පහසු නොවේ. හිත යට සිටිනා ගිජු තනිකඩ තරුණයා, ඒ අතහැර දැමීමට එතරම් කැමත්තක් නැති බවත් හැඟේ. පසුකාලීනව මේ සම්බන්ධතා වෙනත් මගක් ගති.

මම ෂෙරුනිකාට මගේ සියලු විස්තර පවසා තිබුණි. ඇය දවසක් අපේ අම්මා දකින්නට අවශ්‍යය යැයි කීමුත් මම ඉක්මන් නොවූයෙමි. නමුත් ඇයට අප අම්මා ගැන යම්කිසි හැඟීමක් හිතේ තිබෙන්නට ඇත. ගෙදර මොනවා වෙනවා දැයි මම නොදනිමි. ගෙදර යැවෙන්නේ “සර්විස් චාර්ජ්” නම් පඩිපත අතට හමුවෙන දවසට පමණී. අම්මා අතට ඒ මුදලම පවරා, පිටත්වෙන මම ආපසු එන්නේ තව මාසයකින්ය. මම කෙමෙන් කෙමෙන් මගේම ලෝකයකට කොටු වෙමින් සිටින්නේය. නොසිතූ දිනෙක, නොසිතූ මොහොතක, අප දෙදෙනාට අම්මා මුණ ගැසුණේ නුගේගොඩ හන්දියේදීය. බඩු මල්ලක්ද අතැතිව සිටි ඇයගේ විඩාබර මුහුණත්, ඇය හැඳ සිටි සාරියත්, ඒ කබල් සෙරෙප්පු දෙකත් මට අදත් මැවී මැවී පෙනේ.

තාත්තා මොහොතකටවත් වෙනස්වී නොමැති බවත්, තවමත් යහළුවන් අතරේම තම බීමත් ජීවිතය ගෙවා දමනා බවත්, රැකියාවට යෑම පවා ඉඳහිට අතපසු කරගන්නා බවත් පැවසීය. අම්මාටත් මටත් නිදහසේ කතාකිරීමට ඉඩදී,ෂෙරුනිකා අප වාඩිවී සිටි කූල් ස්පොට් එකෙන් මොහොතකට ඉවත්ව යාමට අර අඳී. මම ඇයව බලෙන් නවත්වාගතිමි. අප දෙදෙනා අතර මහා ආදර කතාවක් ගොඩ නැගී නොතිබුණත්, අප දෙදෙනා අතර මහා විශාල විශ්වාසයක් තිබූ බව නම් සහතිකය.එදා මා අත මුදල් තිබූ දවසක් නොවේ. කෑම බීම බිල්පත් ගෙවූ ෂෙරුනිකා, පසුම්බියේ බස් ගාස්තු පමණක් ඉතිරිකර ගෙන, අන් සියලුම මුදල් අම්මා අත තැබීය. එදා අම්මා සමග මිත්‍රවූ ඇය, අදටත් ඒ මිත්‍රත්වය ඉතා තදින්ම පවත්වා ගෙන යන්නීය. ඇයගේ මවත්, මගේ අම්මාත් ඉතා සමීප යෙහෙළියන් බවට පත්විය. ඇයගේ මවගේ වියෝවෙන් පසු,මේ මිතුදම වඩ වඩාත් සමීප විය. ඒ බව කවුරුත් දනී. ඇය අපේ අම්මා කෙරෙහි දක්වන දයාව යමෙකු වටහා ගනීවිදැයි මට සැකය. එය ඒ තරම් බලගතුය. අම්මාගේ වචනවලින් කියනවා නම් ඇය අම්මාගේ ලොකු දියණියය. මේවා කියමින් අපේ ගෙදර නංගිලා සිනහවේ.

රට තොට නොයෙකුත් කතා බහ ඇතිවේ. උතුරේ යම් යම් සිද්ධීන් වාර්තාවේ. යාපනයේ හමුදාවේ සේවයේ නියුතු අම්මාගේ මල්ලීද (පුදුම ජොලි චරිතයක් අපේ තාත්තගේ හොඳම බෙබේ සගයෙක් ) මේ බැව් පැවසූ බවක් අම්මා කියයි. මිනීමරු කොටි සංවිධානය විසින් උතුරේ හමුදා සොල්දාදුවන් දහතුන් දෙනෙකු ඝාතනය කල පුවත උණුසුම් ලෙස ප්‍රචාරය වේ. එය සිදුවූයේ 1983 ජූලි මස විසිතුන් වෙනිදා යාපනයේ තිරුණෙලිවේලිහීදි බෝම්බයක් පුපුරුවා හැරීමෙන්ය. අවමගුල් කටයුතු සිදුකළේ ඊට පසුදින බොරැල්ල කනත්තේදීය. මෙය මහා ව්‍යසනයක ආරම්භයක් විය. ඒ පිළිබඳ බොහෝ දේ ලියවී ඇති නිසා මම මගේ දෑසින් දුටු දේ පමණක් ලියා තබන්නෙමි. මහා කළු වලාවකින් වැසීගිය 1983 ජූලි මාසය පිලිබඳව නැවත මතක් කරදීමට සිදුවීමත් මහා අභාග්‍යයක් නොවේදැයි සිතේ. ඒ පරිච්ඡේදය එතරම්ම අමිහිරිය.

විජේරාමේ මිතුරන් සමග රාත්‍රියක් ගත කෙරූ මම,පසුදා උදය වරුවේ විජේරාම හංදියෙන් 112 මහරගම සිට කොටුව දක්වා ධාවනය වෙන ලංගමට අයත් ඩබල් ඩෙකර් බසයට ගොඩවුණේ රැකියාව සඳහා ඔබරෝයි හෝටලයට යෑමේ උවමනාවටය. බස් රථයේ උඩ තට්ටුවේ අසුන් ගත් මට, නුගේගොඩ පසුවනවාත් සමගම දක්නට ලැබුණේ කළු දුමාරයකි. අවට නොසන්සුන්ය. බසය දිගටම ධාවනය වේ. උඩ තට්ටුවේ සිටි සමහරක් මහතුන් ජනෙල්වලින් හිස එළියට දමා පර දෙමළුන් මරාපියව් යනුවෙන් මොර දෙන්නට විය.බස් රථයේ සමහරුන් තුෂ්ණිම්භූතව අවට බලමින් සිටී. සමහරුන් හුරේ දමනවාය. වෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මොහොතකින් මට වැටහී ගියේ ඒ කෑගසන්නේ මහත්වරුන් නොව ජාතිවාදයෙන් හිස පුපුරවාගත් අමනයින් රැළක් බවය. ඒ මා දුටු අවාසනාවන්ත යුගයේ පළමු දසුන් පෙළය. පාසල් සමයේ අඩු මුදලින් ,බඩගින්නට කුස පුරවා ගත් නුගේගොඩ අශෝකා සයිවර් කඩය ගිනි ගනී. දෙල්කඳ හංදියේ ඇල අසල බිම එළාගත් ගෝනි පඩංගුවේ වාඩිවී සපත්තු මැසූ සිවා නම්වූ ඒ තඩි උස මහත මිනිසාත්, ඒ අවට පදිංචිව සිටි නිවැසියන්ගේ වැසිකිළි වළවල් ඉතිරී යන කාලයට ඒවා ගොඩ දමා නැවත අපේ එවුන්ට බඩ ශුද්ධ කරගන්නට කක්කුස්සිය විවර කෙරූ තංගම්මාත්, ඇයගේ ස්වාමියා වූ සක්කිලි රාජා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ රාජන් නම් වයෝවෘද්ධ මිනිසාත් වල පල්ලට යවා තිබූ බව මම පසුව දැන ගතිමි. ජාතිය ජන්මය අහවල් රෙද්දක් වූවත්, මේවා මනුශ්‍යත්වයට කිසිසේත් නොගැලපෙන පාහර ක්‍රියාදාමයන්ය.

සක්කිලියන් කවුදැයි වටහා ගැනීමට මේ නිදසුන ප්‍රමාණවත් යැයි මම සිතමි. ඉතාමත් අව්‍යාජ මිනිසෙක්වූ මගේ තාත්තා හැම මාසයකම පඩි දවසට, දෙල්කඳ හංදියෙන් බැස, අරක්කු බෝතලයක් සිවාට සහ සක්කිලි රාජාට මිලදී ගෙන දෙන බවත් මම බොහෝ කාලයකට පෙර දැන් සිටියෙමි. එය ඔවුන් නැවත විකුණා දමා, අඩු වියදමින් කසිප්පු ගහනා බවත් අපේ තාත්තා කියනු මම අසා තිබේ.. තාත්තා ඔවුන් සමග ඉඳ හිට හෝ අඩියක් ගසන්නේ අපේ වැසිකිළි වල ශුද්ධ කිරීමට ඔවුන් පැමිණි දිනයටය. අපේ ආච්චි තාත්තාට බැණ වැදුණේ සක්කිලියන් එක්ක එකට බොනවා යැයි කියමිනි. ඔවුන් මරා දැමූ බව දැනගත් පසු අපේ ආච්චි හඬා වැටුණු බවත්, මම අසා ඇත්තෙමි. ඒ දෙල්කඳ ග්‍රාමයේ බොහෝ කාලයක සිට විසූ අහිංසක, අසරණ දෙමළ ජාතිකයන්වේ. ඔවුන්ට ජාතිවාදය, ත්‍රස්තවාදයට වඩා තිබුණේ කුසගින්න හා අරගලයක් බව ගමම දනී.

බස් රථයේ රියදුරාද අවට සිරි නරඹමින් ඉදිරියට ඇදේ. නුගේගොඩ ගිනි ගනී. දැන් කිරුළපොන, තිඹිරිස්යායධ කියා වෙනසක් නැත. පළවෙනි ඉලක්කයන්වී ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථානයන් බව පැහැදිලිය. එය එතනින් නතර නොවී මිනිස් ජීවිත අමු අමුවේ විනාශකිරීම දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. බසය කොල්ලුපිටියේ නතරවිය. ජාතිප්‍රේමීන් අරක්කු, බ්‍රැන්ඩි, බියර් කේස් පිටින් කරගහගෙන දේශප්‍රේමය රටට පෙන්වා දෙති. කොල්ලුපිටියේ වික්ටෝරියා වයින් ස්ටෝර්ස් එක කුඩේ කුඩුය. ජාතියට ගිලන්පස නොමිලේය. බසයට ගොඩවු අපතයෝ රියදුරුටත් සද්දයක් දමා, බසය ධාවනය කිරීමට අණ කරති.

ඔබරෝයි හෝටලයේ රාජකාරී සඳහා ඇතුල්වීමට අප බසයෙන් ගොඩ බසින්නේ, අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබූ බස් නැවතුමෙන්ය. 1983 ඒ අවාසනාවන්ත දිනයේ හෝටලයට ගොඩවූ මා නැවත ගෙදර පැමිණියේ තව සති දෙකකින් හෝ තුනකින් බව මට මතකය. එදා රැකියාවට නොපැමිනියා නම් හොඳ යැයි මට සිතෙන්නට ඇත. නමුත් ඒ අත්දැකීමත් එක්තරා සුවිශේෂි සිදුවීම් මාලාවක් විය. මේ අවාසනාවන්ත කළු ජූලිය සම්බන්ධව ඔබ බොහෝ දේ කියවා ඇතයි මම සිතමි. ඒ කතා සියල්ල ඇතුළේ ඔබ නොකියවූ එක් කතාවක් ඇත.එනම්, එදා මහා ධනවතුන්වූ, ප්‍රභූ පැළැන්තියේ නාගරික ද්‍රවිඩ පවුල්, තරු පහේ හෝටල් තුළ අනාථයින් වීමේ කතා පුවතයි. අනාථ කඳවුරු තුළ කතා පසෙකින් තැබුවත්, ඔබරෝයි හෝටලයත්, මුදල් අයකරමින් අනාථ කඳවුරක් පවත්වා ගෙන ගියා කිව්වොත් එය නිවැරදිය. මුදල් එදා බලු විය. අප හැකි පමණින්, අපේ ද්‍රවිඩ සේවක සගයින්ගේ දෙමව්පියන්ද කෙසේ හෝ රැගෙන විත් මේ කඳවුරේම, කාටත් රහසේම බලා ගත්තෙමු. එය තවත් පැතිකඩක් යැයි මම විශ්වාස කරමි. ඒ නම් සති දෙක තුනකට පමණ කාලයක්, ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින්, සේවාදායකයාට අති මහත් සේවයක් කල, කොළඹ තරු පහේ හෝටල් සේවක සේවිකාවන්ගේ කතාවයි. එය ලියා තැබිය යුතුය. මන්ද යත් ඒ ගැන නිසි ඇගයීමක් නොවූ නිසාවෙන්ය. ඒ කතා රසවත්ය. එලෙසින්ම ඉතා කනගාටුදායකය. ඒ සේවය වෙනුවෙන්, අපේ සේවා ස්ථානය පිරිනැමූ වටිනා සහතිකයක් අදටත් මා සතුව තිබේ. නමුත් මට ලියා තැබීමට අවශ්‍ය කතා පෙළක් ඇත. එය සෙමින් ලියා තබන්නෙමි.

මෙවන් සිදුවීමක් සහ ඒ කාලය මාතෘකා කරගත් සංවේදනීය නවකතා පොතක් මම කියවා තිබේ. ඒ JULY by Karen Roberts ය.

චන්ද්‍රා වාකිෂ්ඨ ලියූ ගුණදාස කපුගේ හඬින් ජාතියට එක්වුණු මේ ගීතය අදටත්, හෙටටත් වලංගුය. උතුරත්, දකුණත් මෙය වටහා ගන්නේ කවදාද…

උතුරු කොණේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ……

Advertisements
Posted in Uncategorized | 111 Comments

අවුල් වන්නට පෙර (61)..ඈ මට හමුවූවා..

මම මේ ජීවිත පොත ලියමින් සිටිනා අතරේ මගේ ආදර කතා පරිච්ඡේදයන්ට ගොඩවන්නට වූයේ,ජීවිතය ඇදීගිය මාවත සහ කාලය අනුව කතාව ගොඩ නගා ගතයුතු උවමනාවෙන්ය. මේ සටහන් කියවන බස්සා, මේ ප්‍රේම කතා පරිච්ඡේදයන් හැඳින්වූයේ සමනල සීරිස් එක කියාය. ඇත්තටම මේ යුගය නම් සමනල යුගයක්ම විය. නොයෙකුත් අවස්ථාවන් පසුකරමින් සැහැල්ලුවෙන් ගතකරනා මේ කාලය සමනලයෙකුගෙ මෙන්ම විය. මොකෙක්ගේ හෝ ගොඳුරක් වේ දැයි කියාවත්, මොකෙක් හෝ ඒ වර්ණවත් තටු අත පතගා විනාශ කර දමාවී යැයි කියාවත් මට සිතෙන්නට නොමැත.දළඹුවෙක්ව සිටියාදැයි මතකයේත් නොමැත. ඒ නමුදු, මමත් සමනලයෙක්මි. ඒ සමනල යෞවනයයි. ඒ සමනළිය නම් ෂෙරුණිය. අලුතෙන්ම රැකියාවකට ආ ඒ උස, හීන්දෑරි ගැටිස්සිය ෂෙරුණිය. මම ඇයගේ රුව සිතෙහි සටහන් කර ගත්තෙමි. අදත් ඒ මතකය මට මිහිරක්ම ගෙනදේ. සොඳුරු මිනිසෙක්ගේ පළමු හමුවීම කිසිවෙකුට කිසිදාකවත් අමතක නොවේ. ඒ ඔබටත්, මටත්,අප කාටත් පොදු සත්‍යයකි. මෙයට සමනල සීරිස් එක කිව් බස්සාට ඉංග්‍රීසියෙන් කියන්නේ අවුල්ය. මට කොහොමත් අවුල්ය. ඒ නිසා මෙය අවුල් කතාවකි.

ඒ කාලයේදී සංචාරක හෝටල් ක්ෂේත්‍රයට පිවුසුණු බොහෝ දෙනා, වැඩිදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදුණු තරුණියන් හෝ තරුණයන් නොවේ. මා එසේ ලියන්නේ කිසිවෙකු අපහසුතාවයකට පත් කිරීමේ අරමුණකින් නොවේ. මගේ යුගයේ යථාර්ථය එයම විය. බොහෝ දෙනා උසස් පෙළ විභාගය අසමත් වූවන් හෝ එහි ප්‍රතිඵල නිකුත්වන තෙක්, යම් ආදායමක් හෝ සුදුසුකමක් අපේක්ෂාවෙන් හෝටල් ක්ෂේත්‍රය තෝරාගත් වුන්ය. මුදල් ඇති හෝ නැති බොහෝ නාගරික තරුණයාගේ හොඳම තෝරාගැනීම මෙය විය. ඒ යුගයේ සමාජ නැඹුරුව මේ වන්නට ඇත. මමද එවැන්නෙක්මි. ඇයද එලෙසමය. මේ ගැටවරයන්ටත්, ගැටිස්සියන්ටත් ජීවිතය හෝ සමාජය පිළිබඳ මනා අවබෝධයක්වත් බරපතලකමක්වත් නැති බව ඒ චර්යාවන් තුළින් වැටහේ. එතරම් සැහැල්ලුය. ශ්‍රීලාංකීය සමාජය තුළට පිවිසෙන ඕනෑම යොවුන් විලාසිතාවක්, හොඳ හෝ නරක පුරුද්දක්, වේගයෙන් ගලා ආවේත්, යුහුසුළුව වැළඳ ගත්තේත් සංචාරක ක්ෂේත්‍රයේ සිටි අප වගේ නොපැසුණු උදවිය බව අතීතය මතක් කරනා විට සිහියට එක්වේ. තරුණයන් අතරේ දිනපතා සෙට්වීම් වලට අමතරව, මාසයකට වරක් හෝ දෙවරක් අප අංශයේ කාගේ හෝ උපන්දින පාටිය. නැත්නම් විවාහ උත්සවයක්ය. ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ හෝටලය විසින් වසරක් පාසා සංවිධානය කරන දින දෙක තුනේ විනෝද චාරිකාය. නිමක් නැති සෙට්වීම්ය. මේවා මහ අපූරු කතන්දරය. අදත් මම රසවිඳින්නෙමි. වර්තමානයේ තත්වය මීට වඩා වෙනස්දෝ යැයි මම නොදනිමි.

ඔබරෝයි හෝටලය තුළ,මගේ ක්ෂේත්‍රයේ සිටි සියලුම සේවකයින් වරින් වර පවත්වන වෘත්තිය පුහුණු වැඩ සටහන් සහ ලිඛිත, ප්‍රායෝගික විභාගයන්ට සහභාගීවීම අනිවාර්ය විය. පාසල් සමයේ එක්තරා කාලයක දීප්තිමත් සිසුවෙක්ව සිටි මම, ඉන් බැහැරව අයාලේ ගිය කතාව පසෙකට තැබුවත්, මට ඉගෙනීම අරහං වූවෙක් නොවේ. ඒ නිසාම හෝටලය තුළත් මම යම්කිසි අයුරකින් බුද්ධිමත් සේවකයෙක් විමි. උසස්වීමකින් පසු කංඩායම් නායකයෙක් වැනි කුඩාම කුඩා ලොක්කෙකි. තම පුහුණු කාලය අවසන් කල ෂෙරුනිව සහ ඒ කංඩායම අදාළ අංශවලට අනුයුක්ත කරන ලදි. ඇයට සේවය කිරීමට සිදුවූයේ මා සමගය. අප රටේ හෝටල් ක්ෂෙත්‍රය තුළ බිහිවූ හොඳම පුහුණු කළමනාකරු යැයි බය නැතුව කිව හැකි රුවන් පුංචිහේවා නොහොත් පුංචා, මට කීවේ ඇයව හොඳින් බලාගන්නා ලෙස සහ පුහුණු කරන ලෙසත්ය. මම ඇයව හොඳින් “පුහුණු” කෙරුවෙමි. සත්තකින්ම ආදරයෙන් රැක බලා ගත්තෙමි. අඩ සියවසකටත් එහා ගිය මේ ජීවන ගමනේ, අප දෙදෙනා මේ සංසාර ගමන මෙතරම් දුරක්, බොහෝ බාධක, කටු පඳුරු මැදින් මෙන්ම, මහා විනෝද සාගරයක් මැදින්ද මෙතරම් දුරක් ඇදගෙන යමින් සාර්ථක අවසානයක් කරා ගමන් කරාවි යැයි, ඇය හෝ මමවත් එදා කිසිසේත් නොසිතන්නට ඇතිය. විවාහය දක්වා අපේ ආදර කතාව එතරම්ම සොඳුරු නැත. ඒ බොහෝමයකට වගකිව යුත්තේ මගේ අවිචාරවත් ජීවන පැවතුම්ය. ඒ අතර තවත් නොයෙක් පෙම් සබඳතාද විය. අදත් අප ඒවා ගැන කතා කරමින් අප අපටම සිනා සෙන්නෙමු. ඒ අතීතය මම සෙමින් සෙමින් ලියන්නෙමි. ෂෙරුණි නම් ඒ උතුම්, සොඳුරු ලලනාවිය නොසිටින්නට අද අරුණයෙක් නොමැත. ඒ බැව් නිතර මට මතක් කර දෙන්නේ මගේ අම්මා, තාත්තා ඇතුළු අපේ පවුලේ උදවියම වීම මහත් භාග්‍යයකි. (ලියවෙනවා සීරියස් වැඩිද මන්දා. ඒත් හිතට එන්නේ මෙහෙමය )

ඒ වන විට ඇයට වයස අවුරුදු 19ක් පමණ ඇත. මම ඇයට වඩා වසර දෙකක් වැඩිමහල්ය. සෙරුණිගේ උපන් ගම මදුරාසිය වුවත්, ඔවුන් කොළොන්නාවේ මුල් වැසියෝය. කොළඹ ආනන්ද බාලිකාවේ ආදි සිසුවියක්ය. පවුලේ අයියා,අක්කා සහ මල්ලීය. පියා ඒ සමයේ රැකියාව කරේ දිල්ලියේ හෝ මදුරාසියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලට අනුයුක්තව විදෙස් සේවයේය. මව රැකියාවක් කළේ නැත. සෝමා ඇන්ටී නම්වූ මේ “අම්මා” ගැන ලිවීමට බොහෝ දේ ඇත. අපේ අම්මාට නොදෙවෙනි පුණ්‍ය මාතාවක්ය. පසු කාලයන්හීදි ඇය අප බොහෝ දෙනෙකුගේ ජීවිතවලට මහඟු පාඩම් කියා දී තිබේ. ඒවා පාඩම් නොව, ආදර්ශයන්ය. පාඩම් සහ ආදර්ශයන් යනු දෙකක් බව මම ඇගෙන් ඉගෙනගෙන ඇත්තෙමි. මේ උතුම් මිනිසුන් දෙදෙනා අද ජීවතුන් අතර නොමැතිවීම, අපේ පවුලටත්, ඇයගේ පවුලටත් දැරිය නොහැකි පාඩුවකි. මල්ලි වැඩිපුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ගොසින්ය. අක්කා එවකට විවාහකද කියා මට මතක නැත. අයියා රැකියාව කරේ සවුදි රාජ්‍යයේය. මුලින් මුලින් මමත් සෙරුණිත් දොඩමළු වූයේ ඔවැනි දේ පිළිබඳවය . ඒ හොරගල් අහුලන “වෙන්ඩ” පෙම්වතුන්ගේ, කතාවට අල්ලා ගැනීම් බව ඔබ දන්නවා විය යුතුය. තම “වෙන්ඩ” පෙම්වතියගේ පියා සහ සහෝදරයින් රටෙන් පිටව ජීවත්වීම තරම් සතුටක් තරුන පෙම්වතෙකුට තිබේද යන්න මට නොදැණුනාද නොවේ. විශේෂයෙන් පියා සහ වැඩිමල් සොහොයුරන්. මං අයියලාට බයයි නංගියේ…. පින් මන්ද රංග භූමියේ….

අපේ මේ සියලු හමුවීම් සහ දොඩමළු වීම්, රාජකාරී වේලාවන් තුළට පමණක් සීමාවීම මට ඉවසාගත නොහැකිවිය. මට පාදයක් පෙරට තැබීමේ බලගතු උවමනාවක් වේ. නමුත් ප්‍රේමය නම් ක්‍රීඩාව ඉදිරියේ, බොහෝ විට පාදයක් පසුපසට ගෙන පහරදීම මගේ උපන් ගති ලක්ෂණයක් වේ යැයි මම සිතමි. ඒ නිසාම මට මග හැරීගිය හයේ සහ හතරේ පහරවල්ද බොහෝ බව මතකයට නැංවේ. සෙරුණිත් මමත් සෙමින් සෙමින් හොඳ මිතුරන් බවට පත්වුණෙමි. අලුතෙන් කංඩායමක් පැමිණිවිට ,ඒ තරුණියන් හා මිතුරුවීමට හා සම්බන්ධතා ගොඩ නගා ගැනීමට ඕනෑම තරුණයෙක් තුළ ඇත්තේ නොයෙක් ආකාරයේ ප්‍රදර්ශනාත්මක හැසිරීම් බව රහසක් නොවේ. මේ ආකාරයේ සංදර්ශනකරුවෙන්ගෙන් ඇය බේරාගෙන, මගේම කර ගැනීමේ අවශ්‍යතාවය හිතට මහා වදයක්වේ. ඒ මදිවාට, රාජකාරි අහවරවූ සැණින් දිනපතා වල බැසීමට මම ගොඩවෙන, හෝටලය ඉදිරියෙන් පිහිටා තිබු යුනයිටඩ් ක්ලබ් හෙවත් එවර්ලාස්ට් ක්ලබ් එක ගැනත්, කවුරුන් හෝ ඇයට පවසා ඇත. එවැනි කේලම්කරුවෝද නැත්තේ නොවේ. උන්ට අපි ඒ දවස්වල කිව්වේ නිවිච්ච ටෝස්ට් කෑලී කියාය. නිවුණාට පසු කන්නත් නොහැකිය. ඒත් ඕවා එකතුකර මැෂිමක දමා කුඩුකර බ්‍රෙඩ් ක්‍රම්බ්ස් බවට පත්කරනු ලැබේ. මේ වගේ ටෝස්ට් කෑලි අදත් සමාජයේ බහුලය. කුඩු කර නැවත සාදාගන්නවා මිසක්, කුණු ගොඩට දැමීමද අපරාධයකි. මම ඇයට මගේ බීමවත්, දුම් පානයවත් රහසක් ලෙස තබා ගත්තේ නැත. ඇය මගෙන් ඕවා ගැන මහ ලොකුවට ඇසුවේත් නැත. මට සඟවන්නට උවමනාවකුත් නොවීය.

මම තාරුකා පිළිබඳ ඇයට කීවෙමි. ඇගේ ඉරියව්හී වෙනසක් නොවීය. ඇයගේ පරණ පෙම් කථාවක පොඩි කොටසක්ද මට පැවසුවාය. මම එයට උනන්දුවෙන් ඇහුන්කම් නොදුන්නෙමි. මට ඒ පැවති හෝ පවතින ආදර කතාවක්ද යන්නවත් වැදගත් නොවීය. ඔහු පසු කලෙක අප දෙදෙනා සමග එකම ආයතනයක සේවයද කළේය. පසුව ඔහු මගේ මිතුරෙකුද විය. වල බැසීමේ ශූරයෙක්ද වූ ඔහු හිත හොඳ පොරක්ය.

පරාජිත ප්‍රේමයක් අත්විඳිමින් සිටී මා, ෂෙරුණිගේ ආශ්‍රය නිසා නැවත ජීවයක් ලබමින් සිටී. ඒත් අප තවමත් ඉතාමත් හොඳ මිතුරන් පමණය. නිවාඩු දිනයක අප දෙදෙනා කොහේ හෝ යමු යැයි කතිකා විය. ඇය බැහැ කීවේ නැත.ඇය එදත් අදත් ලස්සනට හැඳ පළඳින්නට ශූරය. කැමතිය. ජැන්ඩියට හැඳ පැළඳගත් මම නුගේගොඩ හන්දියේදි ඇය හමුවුණෙමි.

කොහේ යනවාදැ‍යි, කුමකට යනවා දැයි කිසිම තීරණයක නොසිටි මම එකවරම , අපි තාරුකාලාගේ ගෙදර යමු යැයි කීවෙමි. ඇය කිසිත් කීවේ නැත. ඒවන විටත් මම නැවතී සිටියේ කොහුවල තාරුකාලාගේ නිවසේය. අපි කොහුවල ගියෙමු. නිවසට ගොඩවීමට පෙර මම ඇයගේ අතින් අල්ලාගත්තා මතකය. එය නිකම්ම නිකම් අල්ලා ගැනීමක් නොවන බව ෂෙරුණි වටහාගන්නට ඇත. අපි ගෙට වැදුනෙමු. තාරුකාගෙත් මගේත් ඇස් එක තැනක නතරවන්නට ඇත. මම පළමුව ෂෙරුනිව හඳුන්වා දුන්නෙමි. ඉතිරිය පසුවට..

එදා මම ආදරයෙන් අල්ලා ගත් ඇයගේ දෑත්වලින්, ඇය එදටත් වඩා දැඩිව සහ ශක්තිමත්ව මගේ දෑත් අල්ලාගෙන සිටිමින් මට රැකවරණය දෙන්නේය. නමුත් අප දිනෙක මේ අල්ලාගෙන සිටිනා දෑත් වලින් මිදී යා යුතුවේ. ජීවිතයේ මැදිවිය පසුකරන කාලයේදී, මේ ලෝක සත්‍යය වඩ වඩාත් නිවැරදිව පසක් කල ගතයුතු බව කවුරුත් දනී. ඒ වෙන්ව යාමේ ගමනේ, පළමුවන්නා මා විය යුතු යැයි මම නිතර සිතන්නෙමි. ඒ නම්, ඇය නැති දිනෙක, ඒ ශෝකය දරා ගැනීමේ ශක්තියක් නොමැති කම නිසාම ඇතිවෙන බොළඳ සිතුවිල්ලක්ම යැයි කියා අපි දෙදෙනා සිනාසෙන්නෙමු. නමුත් එය තීරණය වෙන්නේ ජීවත්වෙන අප දෙදෙනාට රිසි අයුරින් නොවන බව අප දෙදෙනාම දනිමු. මේ ලෝක සත්‍යතාවය අප කාටත් පොදු අවසානයක්ම වේ.

එදා අපි අතින් අල්ලා ගෙන හමුවුයෙමු.

ගායනය – සනත් නන්දසිරි පද – විමලධර්ම ජයවීර තනුව – සනත් නන්දසිරි …

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
ඈ මට හමුවූවා
රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී
හිරු අවරට ඇදුනා..
පාළුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
රහසක් මට කීවා..
සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී
ඈ මට හමුවූව

https://www.shazam.com/track/130594706/awilunu-ginidal

Posted in Uncategorized | 96 Comments

අද අවුල් නැත

පොඩි මල්ලිලා ලොකු වැඩ කරන කොට එහි උපරිම සතුට හද පත්ලෙන්ම විඳින්නේ අයියලා බව ඕනම අයියෙක් දනී. මටත් ඇත්තේ එවන් සතුටකි.

“මට හිතෙන හැටි” බ්ලොගය ලියාගෙන යන අප පවුලේ බඩ පිස්සා වන ඉන්දික පෙරේරා විසින් රචිත ෆීදෙල් නම්වූ කෘතිය ජනවාරි මස දහසය වෙනිදා,පස්වරු තුනයි තිහට, කොළඹ හත, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදි එළි දැක්වීමට නියමිතය.

ශ්‍රීලංකා දේශපාලන පක්ෂ පුවත්පත් ඉතිහාසයේ ඉදිරිගාමි පුවත්පතක්වූ “ඇත්ත පත්තරේ”ට ඔහු විසින් ලියූ ලිපි ඇසුරෙන් මෙය ග්‍රන්ථයක් ලෙස දොරට වඩී. ඉන්දික මීට පෙරද එක් පොතක් ලියා පළකර තිබේ.

ඔබට හැකිනම් එදාට එතනට ගොඩ වදින්න. මම හිටියා නම් “සෙට්වීම” ෂුවර්ය.

වැඩි විස්තර මෙතනින්. https://matahithenahatiblogger.blogspot.co.uk/2017/01/16.html එතනත් මහ විස්තරයක් නැත. අවුල හෙට අනිද්දා නැවත ලියමි.

පොත විකුණාගැනීමේ වාණිජ පරමාර්ථයෙන් මේ සටහන පළකළා යැයි නොසිතන්න. සහෝදර ප්‍රේමය ඊට වඩා ඉතා ප්‍රබලය.

Posted in Uncategorized | 45 Comments

අවුල් වන්නට පෙර (60)….නො කියු කේලම

මගේ ප්‍රථම ආදර කතාව සම්මතයේ සිට අසම්මතය දක්වා දිවයන බවක් හැඟේ. ප්‍රේමය නම් ප්‍රේමය මිස, එහි සම්මතයක් හෝ අසම්මතයක් ඇද්දැයි මම දැන් සිතමි. එය විසඳාගත යුතු හෝ තර්ක කරමින් කාලය ගතයුතු මාතෘකාවක් යැයි මට නොසිතෙන්නට ඇත. වරදකාරී හැඟීම් ඇතිවී, නැතිවී යයි. ඒ මිනිස් ස්වභාවයයි. ඒ කෙසේ වෙතත් ඔහුගේ තාරුකාට, ඔහුට හොරෙන් මම පෙම් කෙරුවෙමි. ඇය තව දුරටත් මගේ තාරුකා නොවේ. තාරුකා අරුණලා දෙදෙනෙකුට මැදිවී ඇත. මට ඕනෑම මොහොතක ඉන් මිදී යා හැක. මන්ද ඒ සංසිද්ධිය තුළදී මම පෙම් කළේ තාරුකාට නොව, තාරුකා නම් යොවුන් පංචස්කන්ධයට බැව් මම වටහාගෙන තිබිණි. මම එහි සෘජු වරදකරු නොවේ. මම වින්දිතයෙක් බැව් මට සිතුණි. ඇය මාගෙන් මිදීමට උත්සාහ ගන්නේද නොමැතිනම් “ජීවිතයේ මිහිර සොයා අපි යමු පියා සල සලා” හැර යමක් මට නොවැටහෙන්නට ඇත.

දැන් මගේ නවාතැන පිළිබඳ අර්බුදය විසඳා ගත යුතුවේ. මගේ කාමරේ සගයා, තාරුකා සොයාදුන් ඒ නවාතැනෙන් පිටව යායුතු බවට දැඩි තීරණයකට පිවිස ඇත. මමත් ඔහුත් බොහෝ කාලයක් එක්ව ආශ්‍රය කල නිසාත්, ඔහු මට බොහෝ ලෙන්ගතු නිසාමත් අකැමත්තෙන් හෝ මමද කාමර සොයන්නට පටන් ගත්තෙමි. මගේ මිතුරා තනි කාමරයකට කැමති බවත්,ඔහුගේ පෙම්වතිය සමග වාසය කිරීමට කැමති බවත් නොකියා කියයි. ඇය එකල කැලණිය විශ්ව විද්‍යාල සිසුවියක්ය. අදත් ඔවුන් අඹු සැමියන් ලෙස ජීවිතය ගෙවනා බව මම දනිමි. නැවත විජේරාමේ ගෙදරට හෝ අපේ ගෙදරට යාමට මම තීරණය කෙරුවෙමි. මම මේ බව තාරුකාට පැවසීය. ඇය මා හට ඔවුන්ගේ නිවසේ කාමරයක් පිළියෙල කර දුන්නාය. මොනවා කරන්නද….අපි ආශාවන්ට ඉඩ දුන්නෙමු. යෞවනයේ චමත්කාරය එයවේ. ළංවීමට වඩාත් පහසු සහ නිදහස් ක්‍රියාවලීන් තුළට ඉතා ඉක්මනින් පියමං කරයි. එහි වරද හෝ ප්‍රතිඵල වටහා ගන්නේ , එය වරදක් යැයි තමන්ටම තේරුණ දිනයකය. මේවා ඉස්ම සාදා මොළේට වැක්කෙරුවත් පලක් නැත. අවබෝධය ලැබෙන්නේ කාලයත් සමගය.

මේ වනවිට තාරුකා සහ පවුලේ උදවිය පදිංචිව සිටියේ කොහුවල නගර ආශ්‍රයේය. කාමර පහකින් යුත් නිවසේ ඉස්සරහ කාමරය මගේය. අම්මා පිටරටක ජීවත්වීමත්, තාත්තා වෙන්ව ජීවත් වීමත් නිසා තාරුකාත් අයියාත් පවුලේ වැඩ කටයුතු බලාගනී. අම්මා එංගලන්තයේ සිට මුදල් එවනා නිසා ආර්ථික ප්‍රශ්නයක්ද නොවේ. නමුත් දෙමව්පිය උපදෙස් හෝ සුපරීක්ෂණය නොමැතිව වැඩෙනා තරුණ දූ,පුතුන්ගේ අනාගතය සහ ඒ දරුවන් විඳිනා අසීමිත වල් බූරු නිදහස පිළිබඳ ඔවුන් තුළිනුත්, පෞද්ගලිකව මගේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදීත් බොහො දේ වටහා ගත හැකිවේ. මම ගොඩ ගියෙමි. ඒසේ ගොඩ වෙන්නට නොහැකිව ගසා ගෙන යන්නෝද බොහෝය.

මම දැන් සේවයට යන්නේ කොහුවල සිටය. ඇයද පෙර සේම රැකියාවේ යෙදේ. එම නිවසේදි මම ඇයගේ හිතවත් මිතුරු නවාතැන් කරුවාගේ භූමිකාව හොඳින් රඟපෑවෙමි. නිවසින් පිටතදි අපේමවූ තනිවීම්වලදි අසම්මත ප්‍රේමවන්තයාගේ චරිතයත් එලෙසම රඟදැක්විමි. මම දැන් හොඳ නළුවෙක්මි. ටික කලකට පසුව ඇයගේ වැඩිමහල් නැඟණියන් දෙදෙනා මගේ චරිතයේ සඟවා තිබූ තිර පිටපත කියවා ඇති බව අපට වැටහිණි. පාසල් අවසන් වසර සමයේ සිටි මොවුන් ඒ වන විටත් මගේ හොඳම මිතුරියන්වී හමාරය. ඔවුන් අක්කාටත් වඩා මගේ මිතුරියන් බැව් අපේ ඇසුරේදි කෙනෙකුට පෙනේ. ඔවුන් මට ඉතා හොඳින් සැලකූහ. සංග්‍රහ කළෝය. නමුත් මේ සියලු සිදුවීම් අතර, සති දෙක තුනකට වරක් සති අන්තයේ දිනෙක නිවසට ගොඩවදිනා එක් පුද්ගලයෙක් වේ. ඒ ඇය විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටිනා ඇයගේ පෙම්වතා අනිත් අරුණය. දැන් මම අරුණ අයියාවී, ඔහු “අනිත් අරුණ අයියා” වී තිබේ. සැබැවින්ම “අනිත් අරුණ”විය යුතුවන්නේ මමය. මම ආගන්තුක කුරුල්ලෙක් විය. මේ සිදුවීම් විටෙක ඉතා සංවේදීය. විටෙක ඉතා ජුගුප්සාජනකය. නමුත් මහා ව්‍යසනකාරී නොවී වෙනත් මගක් කර ගලා යන්නට ගත්තේ ඉන් කාලයකට පසුවය.

අනිත් අරුණ පැමිණෙන විට මා නිවසින් බැහැරව සිටින්නෙමි. විජේරාමේ හෝ ජුබිලි කණුවේ පැත්තේ නැත්නම් මෙඩිකල් කොලෙජ් බ්ලොම් එක පැත්තේ වල බසින්නට යන්නෙමි. මට මිතුරන් බොහෝ විය. ගාලු පාර, හයිලෙවල් පාර ඕනම තැනක “සෙට්” වෙන්නට බොහෝ සගයෝ වූහ. පාසල් මිතුරෝද, රැකියා මිතුරෝද බොහෝ විය. මගේ සෙට්වීමේ කලාවේද කිසි වෙනසක් නැත. සමාජය හා තදින් පත්තියං වී තිබුණු යුගයක්ය. ඒ වයසේදී මගේ පාසල් මිතුරන් බොහෝමයක් විශ්ව විද්‍යාලයන්හී පත පොතේය. මම ඒ සියල්ලන්ට වඩා ඉතා වෙනස් සමාජ රාමුවක නිදහසේ සැරි සරන්නෙක්මි. මට අපේ පවුලත් සමග තිබු සම්බන්ධකම් ඉතාම අවම තත්වයක පැවති යුගය මේ කාලය විය යුතුය. මම ගෙදර ගියේ අම්මා අතට කීයක් හෝ මිට මෙලවීමට පමණි. මම පාසල් කාලයේ සිටම නිවසින්, පවුලෙන් බැහරව ජීවිතය ගොඩ නගාගත්තෙක් නිසා මේ බැඳීම මට නොතේරුනා විය හැකිය. එදා මා අතින් ගිලිහිණු පවුලේ කොඩිය, ඉන් ටික කාලයකට පසු නැවත මා අතට ගෙන කිසි දිනෙක අත හැරියේ නැත. විවාහයෙන් පසු මගේ ආදරණීය බිරිඳ මටත් වඩා උනන්දුවෙන් ඒ වගකීම අදටත්හැකි පමණින් ඉටු කරයි.

මගේ මේ ජීවිත අත්දැකීම් තුළ විසිරී ඇති අතුරු කතා බොහෝය. ඒවා එකින් එක පෙළ ගස්වා ගැනීමට බොහෝ අසීරුය. ජීවත්වෙන එක ලෙහෙසිය. ජීවිතය ලියා තැබීම එතරම් ලෙහෙසි නොවේ යැයි සිතෙන්නේ මේ වෙලාවටය. නමුත් මගේ උවමනාව සඳහාවත් මේ සියල්ල කැටි කර ගත යුතුවේ.

තාරුකා විවාහ අපේක්ෂිත අරුණ නොහොත් අනිත් අරුණ දකුණු පළාතේ වැදගත් පවුලක උගත් තරුණයෙක් බව මම අසා ඇත්තෙමි. ඔහු රැකියාව කළේත් ඒ පළාතේමය. මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමහල්ය. ඉතාමත් නිහඬ සහ “සීරියස්” පන්නයේ චරිතයක්ය. මා වැනි “ඕන ටොෆියක් පනම් අටේ” වර්ගයේ බුවෙක් නොවේ. නගරයේම ජීවිතය ගෙවු අපි වැනිවුන්ට කාටවත් වටහා ගත නොහැකි දඩබ්බර කෙළි ලොල් ජීවන රටාවක් තිබු බව මට සිතේ. මේ ජීවන පැවත්මට කැමති බොහෝ යෞවනියෝ අප ඇසුරේ වූහ. මගේ වෘත්තියත් මීට බලපාන්නට ඇත. අද නම් ගම සහ නගරය යනු දෙකක් නොව එකක් බවත් මට හැඟේ. ඒ අතින් “අනිත් අරුණ” මේ අරුණට වඩා බොහෝ වෙනස්වේ.

මින් ටික කාලයකට පසු අනිත් අරුණ මා දුටු දිනයකදී කීවේ මා සමග යමක් කතා කිරීමට අවශ්‍ය බවය. මීට පෙර ඔහු සමග මා කතා බහ කර තිබුණද පොඩි ලෙඩක් ඇදෙන්නට යන බව ඒකාන්තය. මට නැතිවෙන්නට දෙයක් නැත. නමුත් මට සැඟවීමට දෙයක් ඇත. ඔබ මෙවන් අවස්ථාවකට පත්වී ඇත්නම් එය නැවත සිහිකර ගැනීම වටී. තම පෙම්වතිය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යන පුද්ගලයාගේ චරිතයට ගොඩවී බසින්න. ඒ අවස්ථාවට මුහුණ දීම කොතරම් අසීරුද…බියකරුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මරණයෙන් පවා කෙළවර විය හැකිවේ. මිනිසුන් ප්‍රේමයේ පරාජිත බව ඉදිරියේ මහා මෝඩයන් සේ හැසිරේ. විරහව රසයක් කරගැනීමේ කලාව මට පුරුදුවී තිබුණි. මට භයකට වඩා තිබුණේ ලැජ්ජාවකි. මම ඔහුව රැගෙන නුගේගොඩ හොඳ බාර් එකකට ගොඩවුණෙමි. ඔහු බීමට එතරම් ප්‍රිය නොවීය. ඒත් අපි බියර් බිව්වෙමු.

මට මහා වරදකාරී හැඟීමක් දැනෙන්නට ඇත. මට ඒ අවස්ථාව කෙසේ ආරම්භවූවා දැයි මහා මතකයක් නැත. අප ගතකළ ඒ කාලය පුරාවටම ඔහු කතාකරේ එකම එක කාරණයක් පිළිබඳ පමණි. ඒ ඔවුන්ගේ විවාහය පිළිබඳව පමණමය. මට මහා හයියෙන් කෑ ගසා හැඬීමට තරම් දුකක් හා මහා වේදනාවක් ඔහු කෙරේ ඇතිවිය. මට සියල්ලෙන්ම ඉවත්ව පලායන්නට සිත්විය. ඔහු යමක් සිතේ සඟවා තබාගෙන කතා කළා දැයි අදටත් මම නොදනිමි. මා හෝටල් සේවකයකු නිසා, විවාහ උත්සව සංවිධාන කටයුතු සහ වට්ටම් පිළිබඳ අදහසක් ලබාගැනීම ඔහුගේ අරමුණ වන්නට විය හැක. ඔහු දොඩමළු වූයේ ඒ පිළිබඳවය. මම යම්කිසි තීරණයක් ගත යුතු බව තදින්ම දැනෙන්නට විය. මම ඔහුට නැවත තාරුකාගේ ගෙදරට යන්නට යැයි පවසා ගල් අරක්කු බාර් එකකට ගොඩ වුණෙමි. ජීවිතේ හැටි ඔහොමය. මින් පසු කිසිදා කිසිම මොහොතක අද වන තෙක් ඔහු මට මුණ ගැසී නොමැත. තාරුකාගේ කතාව ඊට වෙනස්ය. මම මේ ඇසුරෙන් මිදෙන්නට සිතා ගතිමි.

මේ කාලයේදීම අපේ ඔබරෝයි හෝටලයට අළුත් බැච් එකක් පුහුනුවීම් සඳහා බඳවාගෙන තිබේ. විසිපහක් හෝ තිහක් ඒ කංඩායමට අයත්විය. එහි සිටි සුරූපි, පැහැපත්, උස. සිහින් දෑරි යුවතියක් මා දෙස බලා සිනාසුණාය. ඇය ඒ කාලයේත් ඇඳ හිටියේ තද ඩෙනිමක් සහ Singapore යනුවෙන් සටහන්වූ සැහැල්ලු ටීෂර්ට් එකක්ය. අපි ඇයට මේ කතාව තුල ෂෙරුණි යනුවෙන් නමක් තබමු.

අනිත් අරුණට මේ අරුණ කවදාවත් නොකියු ගීතය..
පද රචනය – සුනිල් ආර්. ගමගේ
ගායනය/තනුව – විශාරද ගුණදාස කපුගේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ…

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ…

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ…

Posted in Uncategorized | 86 Comments

අවුල් වන්නට පෙර (59)…ප්‍රේමය නම්….

කහ උණ හෝ සෙංගමාලය රෝගයට ප්‍රතිකාර සොයා ගිය මට පෙම් උණ වැළඳී තිබේ. සෙංගමාලය වෙනුවට ඇය දුන් රිදී මාලයක්ද ගෙලේ දිලිසේ. මම කුරුල්ලෙක් සේ රෝහලෙන් පිටත් වුණෙමි. මමද දැන් යෞවන පෙම් උයනේ කිචි බිචි හඬ අතරේ සිත්සේ ඉගිලෙන්නෙමි. යෞවන ප්‍රේමය විසින් තමන්ගේ සියලු වගකීම් එකින් එක අමතක කර දමයි. එසේ නොකරන්නෝද සිටී. නමුත් ප්‍රථම ප්‍රේමය යන තව්තිසා ලෝකය තුළ බොහෝ දුක්ඛ දෝමනස්සයන් අමතකවී යාම වැලක්විය නොහැකිවේ. එවන් තරුණ තරුණියන් වෙතින් අදත් මට පෙනෙන්නේ, එදා මා තුළ සිටි ඒ දඟකාර, විසේකාර ප්‍රේමවන්තයාමය. ප්‍රේමය ඉදිරියේ මගේ පවුලේ වගකීම් අත්හැර දැමුවෙක් බව මට සිහිවන්නේ ඉන් ටික කාලයකට පසුවය. ඒ ගැන සිත් තැවුලක් ඇතිමුත්, පසුකාලයකදී වඩ වඩාත් ජවයකින් මම පවුලේ වගකීම වෙනුවෙන් උර දුන්නෙමි. එබැවින් මට පසුතැවීමක් නොමැත. මේ සියල්ල අත්දැකීම් ගොනුවේ එක් එක් පිටු හෝ පරිච්ඡේද පමණක්ම වේ.

අද මෙන් එදා දුරකථන භාවිතයක් තිබුණේම නැත කීවොත් නිවැරදිය. පණිවිඩයක් දෙන්නට නම් ආයතන දුරකථනයකට කතා කළයුතුවේ. නැතිනම් ලිපියක් හෝ ටෙලිග්‍රෑමයක් පමණි. ඔබරොයි හෝටලයේ සිට ඩර්ඩ්න්ස් රෝහල අතර ඇත්තේ බස් නැවතුම් කීපයක් අතර ගනුදෙනුවකි. මම ඇයගේ සේවා මුරය අවසන් වෙන මොහොතේ, ඒ අසල ගැවසීම සාමන්‍ය සිදුවීමක් විය. ගිවිසා ගත් පරිදි අපගේ ප්‍රථම හමුවීම කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් අවන්හලේ එක් අඳුරු කොනක මේසයකට හා පුටු දෙකකට සීමා විය. විජේරාම නවාතැනේ වැඩිහිටි මිතුරන්ගේ අවවාද, අනුශාසනා මත කැන්ඩොස් චොක්ලටයක්ද කවරයක දමාගෙන මම ඇය හමුවුණෙමි. මා මිතුරු ලොකු අරුණයන්ගේ මෝටර් සයිකලයෙන් මට ප්‍රවාහන පහසුකම්ද ලැබේ. බජාර් එකේ බාලයාවූ මට මුන්ගේ එක් අවවාදයක් වූවේ, ස්පර්ශ කිරීම්, සිප ගැනීම් සඳහා ඉක්මන් නොවෙන ලෙසටය. අතින් අල්ලා ගෙන, අතොරක් නැතිව කතාබස් කිරීම රෝහල් වාට්ටුවේදීම සිදුවී තිබුණි. මට ඇය සිප ගැනීමේ උවමනාවක් නොතිබුණා නොවේ. ඒ ප්‍රථම හමුවීමේදීම කාටත් හොරා හාදුවක් හෝ දෙකක් හුවමාරු වූයේ මගේ හදිසියටද ඇයගේ උවමනාවටද යන්න අදත් සිහියට නොනැගේ.

අප දැන් ප්‍රේමවන්තයෝ වෙමු. කොල්ලුපිටිය, බම්බලපිටිය, තුන්මුල්ල අවට තිබු ඔය හැම හරස් පාරකම අතිනත් අල්ලාගෙන අප බොහෝසේ ඇවිද ඇත්තෙමු. බොහෝ දේ කතාකර ඇත්තෙමු. අපි දෙදෙනාගේ ප්‍රියතම ස්ථානයක් වූයේ තර්ස්ටන් විදුහල අසල බගතලේ පාරේ තිබු එක් සුඛෝපභෝගි අයිස්ක්‍රීම් අවන්හලක්ය. නිවාඩු දිනයක නම් අප දෙදෙනා නගරයෙන් පිටව කොහේ හෝ අවට පළාතක කාලය ගෙවා දැමුවෙමු. මුදල් හදල් වියදමේද ඇය මසුරු නොවීය. මට තිබුණේ අසීමිත නිදහසකි. ඇයගේ නිදහසටද හේතු කිහිපයකි. අපි දෙදෙනාගේ නිදහස නිසා මා නිරතුරුව උදහසට ලක්වූයේ නවාතැනේ මිතුරන්ගෙන්ය. අමරේ අයියා කිව්වේ ,මුගේ මේ මල ඉලව් ලව් එකක් නිසා හැන්දෑවට කිසි ජොලියක් නැති බවය. ජානකලා, අරුණලා කිව්වේ මෝඩයාට මැජික් කියාය. මැජික් යනු මායාවක් බව දැනෙන්නේ කාලයාගේ ඇවෑමෙන් බව මට ඒ කාලයේ දැනී නොතිබෙන්නට ඇත. මම භද්‍ර යෞවනයෙක්මි. ආදරය මහා වදයක්ය. රාත්‍රියට නින්දක් නොමැත. නවාතැනට යන විට මම බෝතලයක් රැගෙන යමි. එහෙම දවසට අනිත් උන්ගේ බයිට් එක වන්නේත් බෝතලයේ හිමිකාරයාමය. ඒ උසුළු, විසුළු, උපහාස පවා යටිහිතට මිහිරක්ය. සැබෑ ප්‍රේමවන්තයෝ එය රහසේ රස විඳින්නෝය. ප්‍රේමය නම් එසේමය. ඔබ එය දන්නවා නිසැකය.

මගේ නිදහසට මූලික හේතු වන්නට ඇත්තේ රැකියාවක් කිරීමත්, ගෙදර ජීවත් නොවීමත්, මා ගැන සොයනවාට වඩා, මට වඩා කුඩාවුන්ට රැකවරණය සැලසීම අම්මාගේ වගකීමවූ නිසා විය යුතුය. තාරුකාගේ නිදහසටද එය එලෙසෙම බලපෑවා වන්නට ඇතැයි මට දැන් සිතේ. ඇයද රැකියාවක් කරයි. නවාතැන රෝහල් නේවාසිකාගාරයයි. තාත්තා ජීවත්වූයේ ගෙදරින් පිටස්තරවය. අම්මා බොහෝ කාලයක සිට පදිංචිය සහ සේවය එංගලන්තයේය. එක නැගනියක්ද ඒ රටේමය. අයියාත්, මල්ලීත් අනික් නැගණියන් දෙදෙනාත් පදිංචිව සිටියේ මාවරමංඩියේය. දෙමව්පිය ඇස නොගැටෙනා මානයේ සිටිනා විට මේ නිදහසේ සීමාවන් හඳුනාගැනීම අපහසුවේ. කියා දෙන්නට කෙනෙක් නොමැත. සොයා බලන්නට කෙනෙක් නොමැත. නිදහස වල් බූරු පමණක් නොව පොල් බූරු දක්වා දිව යාමට ඉඩ තිබේ. ඒ මා ප්‍රත්‍යක්ෂ කරගත් ඇත්ත තත්වයන්ය.

මාසයකට දෙකකට වතාවක් හෝ අපි දෙදෙනා පිළියන්දල, බොල්ගොඩ දූපතේ සැන් මිචෙල් හෝටලයේ දවස ගෙවන්නට හුරුවී සිටියෙමු. එකල මේ ඉතා ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක් විය. සති අන්තයේ නම් බොහෝ අය එහි පැමිණේ. අප සති අන්තය මග හරින්නෙමු. මගුල් උත්සව සඳහාද ඉතා ප්‍රසිද්ධය. විවාහවූ අය මධුසමය ගතකරන්නටත් මෙය තෝරා ගනී. දූපතට රැගෙන යාම සඳහා විශේෂ බෝට්ටු සහ පාරු සේවාවක් විය. මට අමතක නොවන එක් සිද්ධියක් වේ. මධු සමය ගතකිරීමට පැමිණි මනමාලියක්ව, එතැන සිටි කෙනෙක් අතින් අල්ලා බෝට්ටුවට ගොඩ කිරීමට යාමේදී, ඇයගේ මංගල මුදුව ඇඟිල්ලෙන් ගිලිහී වැවට වැටුණි. එක ජරමරක්ය. වැවට වැටුණු දෙයක් හොයනවා ලේසි නැත. මනමාලිය ඉකිගසමින් හඬයි. මනමාලයා ඇය සනසනවා නොව තුෂ්ණිම්භූතව බලා සිටී. පැමිණි සිටි අය වැවට බැස වැව කලඹයි. මේ ගැහැනියගේ වැළපීමද නිමක් නොවේ. මුද්ද නැතිවූ විට මෙසේ නම්,සැමියා නැතිවූ විට කෙසේ හඬාවී දැයි මට සිතුනේය. මම ඒ බව තාරුකාට නොකීවෙමි. ඔවුනට මෙය අතිශය අමිහිරි අත්දැකීමක් වෙන්නට ඇත. විවාහවූ දිනයේම මංගල මුදුව මෙලෙස අහිමිවීම සිතට වාවනු නොහැකි වනු ඇත. අප සංකේත ප්‍රේමියෝ බව සැබෑය. මේ සියල්ල අනිත්‍ය බව මට එදා නොතේරුණත් ජීවිතය මුහුකුරා යෑමත් සමගම වැටහෙන්නට විය. තාරුකාත්, මමත් අපේ මගුල් මුදුවේ හැඩයන්ද කතාබහ කළේ එදාය. විවාහය පිලිබඳ සිතූ අප දෙදෙනාම ඒ වන විටත් විසිවැනි වියේ සුකිරි බටිල්ලන් නේ දැයි සිතෙනා විටත් දැන් ලැජ්ජාවක් ඇතිවේ. යෞවනයේ ප්‍රේමය එතරම් සොඳුරුය.

මගුල් මුදුවටත් වඩා බරපතල කතාවකට ඇය එදා මුල පිරුවාය. එය එක්තරා ශෝකීය මුල පිරීමකි. එක්තරා හෘද්ද තත්වයක් නිසා ඇයට දරුවන් ගැබ්ගැනීම අනතුරුදායක බව වෛද්‍ය මතය බවැ තාරුකා පැවසීය. අපි දරුවෙක් හදාගමු යැයි මගේ යෝජනාව විය. මම ඇයට එතරම් පෙම් කළෙමි.

මේ සියල්ල අතරේ විජේරාමේ බෝඩිමෙන් පිටවෙන්නට කාලය ස්ථිරවී තිබේ. අමරේ අයියා ඇතුල්කෝට්ටේ පැත්තේ තැනක් සොයා ගත්තේය. මමත් අරුණත් තාරකාගේ ජුබිලි කණුවේ ඥාති නිවසක නවාතැන් ගත්තෙමු. එය තවත් අලුත් අත්දැකීමකි. තාරුකා මෙහි නිතර පැමිණේ. අරුණට මේ තැන අල්ලන්නේ නැත. ඒත් මට හොඳටම අල්ලලා යන්නේය. විසඳාගත යුතු ප්‍රශ්නයකි.

මේ නිවසේ පුතුන් දෙදෙනාගෙන් එකෙක් මගේ පාසල් සගයෙක්ය. උගේ පෙම්වතියත් ඩර්ඩ්න්ස් රෝහලේ හෙධියක්ය. මූ හොඳට කන බොන කොල්ලෙකි. අපි අඩියක් ගහන වෙලාවක මූ මගෙන් ඇසුවේ, මට තාරුකා සමග ඇති කිචිකිචිය කුමක්ද යන්නයි. මම ඇත්ත කීවෙමි. උඹට පිස්සුද බං, ඒකි බඳින්න කොල්ලෙක් ඉන්නවා කියා ඔහු පිළිතුරු දුන්නේය. ඕන නම් ආතල් එකට ආශ්‍රය කරපන් යනුවෙන්ද පැවසීය.

කතාව ඇත්තය. මම ෆුල් අවුල්ය. තාරුකා ඒ බව පිළිගත්තාය. ඒ විවාහය කිසිදා සිදු නොවනා දෙයක්ද පැවසීය. ඇය මට ආදරේ බවත් කියයි. ඔහුගේ නමත් අරුණය. දෛවයේ පොඩි ආතල් එකක්ය. මම ඇයට වෛර නොකෙරුවෙමි. දෛවයටත්, වෛරයටත් කොම්බු දෙකකි. ඒකත් ආතල්ය. මම තාරුකාට නොව තාරුකාගේ ශරීරයට පමණක් පෙම් කරන්නට පටන් ගත්තෙමු. මෙය ටිකක් දිග කතාවකි.

අද මම මේවා ගැන ලියමින් සිනාසෙමි. නමුත් එදා මම ඉකි ගසමින් හැඬුවෙමි. මා සනසවන්නට කවුරුත් සිටියේ නැත. මම අමරේ අයියා හා එක්ව, විරහව අරක්කු සමග මිශ්‍ර කරගනිමින් එය රස වින්දේය. විරහවත් රසයක් යැයි මට කියා දුන්නේ අමරේ අයියාය. ඇත්තමයි… විරහ රසය ෆුල් ආතල්ය.

නිවාඩු කාලෙන් පස්සේ ආපහු ලියන්නම්. අසා සිටි ඔබ හැමට ස්තූතියි. එතකන් මේක අහන්න.

සොඳුරිය ….කාලය කොතරම් නපුරුද
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය……..

පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුනු යුගයක
හදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය….

සොඳුරිය….

ලොවට හොරා වෙලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුනු දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්…. මිහිරිද සොඳුරිය…

මෙන්න සින්දුව.මේ ගීතයේ පද රචනය සමන්ත හේරත් , සංගීතය ප්‍රෙමසිරි කේමදාස

Posted in Uncategorized | 65 Comments

අවුල් වන්නට පෙර(58)..රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ

ඔබ දැන් හොඳින්ම දන්නා පරිදි, මගේ පාසැල් ජීවිතයෙන් පසුවත් මා ජීවත්වන්නේ පවුලේ සාමාජිකයන් හා නොව,පිට පළාත්වල සහ බෝඩිං කාමරවලය. විසිහැවිරිදි මා පදිංචිව සිටි විජේරාම නිවස අලුත්වැඩියා කටයුතු සඳහාත්, නැන්දලා පදිංචියට එන කථාවත් නිසාත් එහි සිටිනා අයට වෙනත් ස්ථානයක් සොයාගන්නට සිදුවෙන බවක් පෙනේ. මෙය කතාවක් පමණි. දින නියමයක් නොමැත. නමුත් කට්ටිය වෙන්ව යායුතු බවට ඉඟි පළවේ. ජානකයියා නම් කියන්නේ එවා දැන්ම නොවෙන වැඩ නිසා කලබල විය යුතු නැති බවය. මටද ගැටලුවක් නැත. අපේ ගෙදර ඇත්තේ ඉරිදාපොළ ඉදිරිපිටය. මොනවා වුණත් මට විජේරාම ඥාති නිවසක්ය. පොඩි අමරේ අයියාටද ගැටලුවක් නොවන බව පෙනේ. පසුකලෙක පොඩි අමරේ අයියා නැන්දාගේ දියණිය විවාහ කර ගත්තේය. අනිත් අමරේටත්, අනිත් අරුනටත් වෙන්ව යායුතුව ඇත. පසුව ඒ පිළිබඳ ලියන්නෙමි.

ඒ කෙසේ වෙතත් අම්මා සහ ආච්චි සමග මගේ ගනුදෙනුව සිදුවේ. මාසයකට වරක් ඇයට පඩිපත ලබාදීමත්, වරින්වර ලැබෙන මුදලින් කොටසක් ලබාදීමත්, නැවත කීයක් හෝ ඉල්ලා ගැනීමත් හැර, අන් කිසිම අයුරකින් මගේ අතපෙවීමක් නොවීය. මට සිතෙන්නේ මා පාසැල් අවධියේ සිටම හැදීවැඩුණේ පිටස්තරයෙක් ලෙසය. මව් පිය රැකවරණයට වඩා මට ලැබුණේ පිටස්තරයන්ගේ රැකවරණය බව මම ලියා ඇත්තෙමි.ඒ මම ජීවත්වූයේ පිටස්තරයින් සමගම වීම නිසා මිස වෙන ආරෝවකට නොවේ. මේ සිදුවීම් ඉතා තදින් තම පෞද්ගලික ජීවිතයන්ට බලපෑ හැකි බව මගේ විශ්වාසයයි. මට තීරණ ගැනීමටවත්, මග පෙන්වීමටවත් කිසිවෙකු සිටියේ නැත. මා ජීවත් වුයේ මගේමවූ ලෝකයකය. ඒ සමහර ක්‍රියාකාරකම් නිසා ජීවිතයේ මහා විනාශකාරී අත්දැකීම් හරහා ගමන් කිරීමට සිදුවිය. ඒ අතීතය කිසිම ලෙසකින් අමතක කල හැකි නොවේ. ඒ තුළින් පාඩම් කියා දිය හැක.

අදවන තුරුත් මගේ ජීවිතයට වඩාත්ම සෙනෙහස, ආදරය, රැකවරණය ලැබී ඇත්තේ ස්ත්‍රී පාර්ශවයෙන් පමණක්ම වීමත් විශේෂිත ලක්ෂණයකි. ආච්චි, අම්මා, ලොකු අම්මා, බිරිඳ, දියණිය ලෙසින් ගතහොත් මෙය දීර්ඝ ලැයිස්තුවක් වේ. ඒ රැකවරණය සහ සෙනෙහස ඉදිරියටත් එසේම ලැබේවා යැයි මම යටිහිතින් ප්‍රාර්ථනා කරමි. මට මහ මෙරක් සේ ආදරය කල සහ රැකවරණය දුන් පිරිමින්ද නැතුවා නොවේ. ඒ නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන් සහ මිතුදමටත් වඩා එහා ගිය සොයුරෙකු සේ අදටත් ඇසුරේ සිටිනා මගේ අතිජාත මිත්‍රයා ඔමානයේ මංජුත් ඉහළින්ම මතක් කළයුතුව ඇත.

කුඩා කාලයේදී අතින් අල්ලන් පෙරහැරවල් බැලූ අයත්, ලී මඩුවේ හැංගිමුත්තම්, අල්ලන සෙල්ලම කෙරූ අයත්, තාත්තාගේ ගමේදී එහා මෙහා වුණු පොඩි,පොඩි අලුත් අත්දැකීමුත් හැර මට සීරියස් ලව් කියා දෙයක් තිබුණේ නැත. විජේරාමයේ සිටි මිතුරන්ට තිබූ ප්‍රේම සම්බන්ධතා දකිනා නිසාත්,ඔබරෝයි හෝටලයේ මිතුරු මිතුරියන්ගේ මගුල් සක්වලයන්හී ප්‍රේක්ෂකයෙක් වීම නිසාත්, අවුරුදු දහනවයක්, විස්සක් වූ මටත් දැන් ප්‍රේමයේ රස ළඟින්, ළඟින් දැනෙන්නට පටන් ගෙන තිබුණි. මට ප්‍රේමය කෙසේ වෙතත් කෙල්ලන් සමග වෙන අත්දැකීම් නම් ඒ වයසට අඩු නොවන්නට තිබු බව කීවොත් එය බොරුවක් නොවේ. මට එවැනි අත්දැකීම් බොහෝය.ඒ උන්දැලා සියල්ලක්ම මට වඩා වයසින් වැඩි අක්කලා වීමත් හරිම පුදුමයකි. මම ඔවුන්ගේ හුරතලා වූවා විය හැක. ඒවායේ හවුල්කාරිණියන් අදටත් ජීවතුන් අතර සිටිනා නිසා, ඒ සියල්ල අතිශය පෞද්ගලික කාරණා වේ.

ඔබරෝයි හෝටලයේ සේවය කරන ඒ කාලය නොම්බර එකේ කෙළිලොල් කාලයක් විය. මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් …විය. ඒ මිහිරි මතකයන් ඉදිරියට ලියා තැබිය යුතුවේ. එහිදි හමුවූ එක් සුන්දර යුවතියක් මගේ ජීවිතය පමණක් නොව අප මුලු පවුලේම ජීවිත කතාව නිවැරදි දිශාවකට යොමු කරවීමට සමත්විය. ඒ වෙනුවෙන් ඇය අදටත් වෙහෙසවේ. උනන්දු වේ. ඇය මගේ ප්‍රථම ප්‍රේමය නොවේ. ඒ මගේ අවසාන ප්‍රේමවන්තියද නොවීය. එය ඉතා රසවත් කතා පුවතක්ය. ඇය පිළිබඳ ලිවීම පසුවට තබා මම අද මම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කියමි.

සේවයේ යෙදි සිටිනා වේලාවක මට හිසේ අමාරුවක් සහ ඇඟපත වෙහෙසකාරී තත්වයක් ඇතිවිය. හෝටලයේ ප්‍රධාන වෛද්‍යවරයාව සිටියේ කළු ආරච්චි නම් මහතෙකි. හොර නිවාඩු සෙල්ලම නිසා ඔහු මා ගැන දනී. නමුත් මෙවර ඔහු කීවේ මා රෝහල් ගත කල යුතු බවකි. ස්ථිර සේවකයින් සියල්ලම රක්ෂණ ආවරණයකට යටත්ව තිබු නිසා වගකිවයුතු පාර්ශවයන් හරහා කොල්ලුපිටියේ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට ඇතුළත් කරන ලදි. තනි කාමරයක සියලු පහසුකම් සහිතව, මට කහ උණ රෝගි තත්වයක් කියා ප්‍රතිකාර කිරීමට ආරම්භ කරන්නට යෙදුණි. මට හෙණ ජොලිය. ජීවිතයේ පළමුවරට මා රෝහල්ගතවී ඇත. ඒ මදිවාට පෞද්ගලික රෝහලකය.එය අසූව දශකයේ රටේ තිබූ හොඳම පෞද්ගලික රෝහල යැයි කීවට වැරදි නොවේ. පහසුකම් අති විශිෂ්ටය. ඒ විතරක් නොවේ, හැම හැන්දෑවකටම මගේ මිතුරන් මගේ කාමරයේය. අපේ සේවක සුබ සාධක නිලධාරි ලෙස හිටියේ හිත හොඳ මුස්ලිම් පොරකි. අපිත් සමග කොල්ලුපිටියෙ එවර්ලාස්ට් එකේ යුනයිටඩ් ක්ලබ් එකේ හොඳට කන බොන මිනිහෙක්ය. මට දැන් ඔහුගේ නම අමතකය. මොහු දිනපතා හෝටලයෙන් සපයන පලතුරු බාස්කට්, කේක් ආදිය රැගෙන රෝහලට පැමිණෙයි. ඒ ඔහුගේ රාජකාරිය විය. හෝටලයක වැඩ කෙරූ නිසා මා බැලීමට එන සහෝදර සේවකයන්ට නම ඒවායින් පලක් නැත. පිටින් එන මිතුරන් නම් මේවා උඩ පැන පැන රස බැලුවෝය. මුන් එන්නේ බඩජහරි කමටද කියා සිතෙන්නේ එවිටය. පුදුමයක් නොව, ඒ කාලයේ ඇපල්, ග්‍රේප්ස්, වැනි පිටරට පලතුරු තරුපහේ හෝටල්වල මෙන් වෙළඳ පොළේ වැඩිපුර දක්නට නොවීය.තරු පහේ කේක් වර්ගද එසේම විය. අම්මා පැමිණෙන දිනක නම් අම්මාට මේවා රැගෙන යන ලෙස කියන්නෙමි. ඇය ඒවා සීරුවට මල්ලේ අස්කර ගනී. සමහර නෑදෑයින්ද මා බැලීමට ආවා මතකය. ඒ මා බැලීමටද, ඩර්ඩ්න්ස් එක බැලීමටද කියා මට නොතේරේ. සති දෙකකට වඩා මා එහි නේවාසිකව සිටියේය. මට ගෙදර යන්නට උවමනාවක් නොවීය. මම ඉන්නේ රෝහලක නොව හෝටලයක නිවාඩුවකට පැමිණ ඇති සේ දැනේ.

මේ සියල්ලටම වඩා මගේ සිත්ගත්තේ ඒ සුරූපි යොවුන් හෙදියන්ය. සමහරෙක් නැවතී සිටියේ රෝහල තුළමවු නේවාසිකාගාරයේය. මොවුන් අවේලාවෙත් මගේ කාමරයේය. එකම කිචි බිචියකි. දෙතුන් දෙනා එකවර පැමිණේ. ඇස් වලින් කතා ගොඩකි. ඒ යෞවනයේ පොපියන චමත්කාරය දෝ සිතේ. මේ සියල්ල අතරේ රාජකාරි වේලාවෙන් පිට මා බැලීමට පැමිණෙන එක් තරුණියක් විය. ඇයට මා සිටි කාමරයේ කරන්නට රාජකාරියක්ද නොවීය. කොටින්ම කිවහොත් ඇය ඒ අංශයේ හෙදියක් නොවීය. නමුත් ඇයගේ නේවාසිකාගර කාමරයට මා නැවති සිටි කාමරය පෙනේ. ජනේලය තුලින් බලමින් මම ශිල්ප දමා තිබුනේ ඇයට බව දැන් මට පැහැදිලිය. රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ………

මම ඇය ගැන සිතුවේ ඇත්තටම නිහාල් ජයවර්ධන ගයනා ඒ ලයාන්විත ගීතයේ අරුතෙන්මය. මම ඇයට පෙම් කරන්නට පටන් ගත්තෙමි……ඒ කතාව පටන්ගත යුත්තේ වෙනම පෝස්ට් එකකින්ය. මෙතැනින් පටන් ගතහොත් කතාව මම පටලවා ගනු ඇතැයි මට සිතේ. කතාව කෙසේ වෙතත් ඇයත්, මමත් දෙදෙනාම පටලවා ගත් බවක් නම් පසුව මට වැටහිණි. මම ඊළඟ කොටසෙන් අරුණ-තාරුකා කෙටි කතාව ලියා තබන්නෙමි. තාරුකා ඇයගේ නම නොවේ. අපි මොහොතකට ඇයට තාරුකා යැයි කියමු.

රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ……..
මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන් සුනු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා……….
දිමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ
මගෙ හදවත එකලූ කරන ස්වර්ණ වර්ණ එළියේ
අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ ………..
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය :නාරද දිසාසේකර
ගායනය : නිහාල් ජයවර්ධන (කිහිපවරක් මට අවන්හල් තුළදී හමුවී ඇති සුන්දර මිනිසෙකි. අතළොස්සක් ගී ගයා ඇති මා කැමතිම ගායකයෙකි. සිංහල සිනමාවේ පතාකයෙක්වූ ඩොමී ජයවර්ධනගේ සහ නෝනා සුබෙයිදා(ටවර් හෝල්)ගේ පුත්‍රයාය. නිහාල්ද ජීවතුන් අතර නැත. මොහුගේ සොහොයුරා වේදිකාවට සම්බන්ධව සිටි රෝයි ජයවර්ධනය. මේ දෙදෙනාම නොයෙකුත් අංශයන්ගෙන් කළා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටියෝය. )

Posted in Uncategorized | 54 Comments

අවුල් වන්නට පෙර (57)…මිතුරෝ…අපි මිතුරෝ.

නැවත මගේ කතාවට ප්‍රවිෂ්ට විය යුතු යැයි සිතාගතිමි. අම්මා ඇතුළු අන් සියල්ලම පදිංචිව සිටි ලොකු අම්මාගේ නිවස පසුකරමින් මම විජේරාමේ නවාතැන සොයා යන්නෙමි. මේ වනවිටත් මම සේවය කරේ ඔබරෝයි හෝටලයේ බව ලිය තිබේ. පාසල් කාලය පුරාවටම මා නැවති සිටියේම පිටස්තර නවාතැන්වලම නිසා මට ගෙදරත් නවාතැන් පොළක් බඳුම හැඟුණා දැයි මට නොතේරේ. වෙහෙසකර රැකියාවකින් පසු හරිහමන් විවේකයක් ගැනීමට හැකි වටපිටාවක් නොතිබීමත්, සෑම රාත්‍රියකම තාත්තා බීමත්වී රඟනා නාට්‍යය නොදැකීමට තිබු අකැමැත්තත් නිසාම, මම ඒ අසලම විජේරාමේ නිවහනට තදින් ප්‍රිය කරෙමි. ඒවා නිදහසට කාරණා පමණක් විය හැක. මම විජේරාමේ ගෙදරට කැමති වුණේ අන් කිසිවක් නිසා නොව, මිතුරු සමාගමේ කල්ගෙවීමට තිබු බලවත් කැමත්ත නිසා බව මගේ යටිහිත දනී.

පඩි ලැබුණු දිනට අම්මාගේ අතට මුදල් දීමත්, ඉඳහිට ගෙදරට ගොඩවී අල්ලාප, සල්ලාපයේ යෙදී තාත්තා එන්නට පෙර පිටවීයෑමත් මගේ පුරුද්ද විය. තාත්තා ඉස්තෝප්පුවේ නවතාගෙන සිටි ඔහුගේ මිතුරන් දෙදෙනා නම් මා සමග ඇසුරට යම් ඇල්මක් දැක්වීය. මමත් රණසිංහ අන්කල් සමග අඩියක් පුඩියක් ගැසීමට කැමැත්තෙමි. ඔහු ඉතා හොඳින් ඉගෙනගත්, භාෂා බොහෝමයක් දත් මත්පැනට ලොල්වූ වැඩිහිටියෙකි. මම රණසිංහ අන්කල්ට හැකි විටක, තාත්තාට හොරෙන් කීයක් හෝ අතමිට මොලවා යන්නෙමි. අම්මා කියන්නෙත් ඔන්න ඔය කීයක් හරි දෙන්න ළමයෝ කියාය. අපි සියලු දෙනා සමග රණසිංහ අන්කල්ගේ හොඳ සම්බන්ධයක් විය. තාත්තාත් ඔහුත් අතිජාත මිත්‍රයන් විය. එක්තරා යුගයක ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඔහු කිසිදා විවාහ නොවු බව මම අසා තිබේ. හීනියට අඩියකට සෙට්වූ විට මම මේ ගැන අසා ඇත්තෙමි. කිසිදා ඒ විස්තර මට නොකීවත් ඉංග්‍රීසියෙන් ආදරය පිළිබඳ දේශනයක් නම් ලැබෙයි. ඔහු බොහෝ දේ උගත් මිනිසෙකි. මොහුගේ දැනුමට ඔවුන්ගේ කන්තෝරුවේ ලොකු ලොක්කන්ද ගෞරව කල බව මම දනිමි. නමුත් නිදාගන්නට පැදුරත්, බෙලෙක් පිඟානට බත් ටික ලැබුණේත් අපේ අම්මාගෙන් පමණි. බේබදුකමේ අවසාන ප්‍රතිඵල කොහේ හෝ “චාටර්” වීම නොවේදැයි මම එදාත් දුටුවෙමි.

දෙදෙනා ඉස්තෝප්පුවේ සිට බීමත්ව කතාව පටන්ගන්නේ ඉංග්‍රීසියෙනි. එන්න එන්න සද්දෙත් වැඩි කලවම් භාෂාවක් ඇසෙයි. රණසිංහ අන්කල් පාලි,සංස්කෘත භාෂා පිළිබඳද අධ්‍යාපනයක් ලැබු මිනිසෙකි. රණේ තාත්තාට පාලියෙන් යමක් කියයි. “රණේ තේරෙන භාෂවකින් කියපන්..උඹේ පාලි රෝල් කරලා පුකේ ගහගනින්” එසේ කියන්නේ අපේ තාත්තාය. සමහරක් දවස්වලට මේ කතා බොහෝ දුර දිග යයි. කවදාවත් මේ දෙදෙනා තරහාවී සිටිනු බවක් අසා නැත. පහුවදා උදෙන්ම ලෑස්තිවී, එකම තැනකින් පටන් ගන්නා ගමන රාත්‍රියේදි එකම තැනකින් අවසන් කරයි. ඒ කන්තෝරුව සහ අපේ කුඩා ගෙදර ඉස්තෝප්පුව නැමති ගමනාන්ත දෙකය. අතරමග නවාතැන් කොපමණ තිබුණාද කියා දන්නේ එකට බිව් යාළුවෝ පමණය. සියල්ල කෙසේ සිදුවූවත් එක් ගමනක් පමණක් රණසිංහ අන්කල් තාත්තා අතහැර තනිවම යන්නට ගියේය. ඔහු මිය යන තෙක්ම, තාත්තා හැකි අයුරින් රෝහල් තුළත්, අන් සියලු අයුරිනුත් රනේව අතහැර නොදැමු එකම මිතුරා විය. තාත්තාට “රණේ”ගෙන් තොර ලෝකයක් නැත. රණේට “බෑඩ්”ගෙන් තොර ලෝකයක් නැත. රණසිංහ අන්කල්ගේ වියෝව තාත්තා කොහොම දරාගන්නට ඇද්ද යන්න මට තවමත් ප්‍රෙහෙලිකාවකි. මන්ද යත්, තාත්තාගේ දුක බෙදාගැනීමට තබා, ඔහු සමග වචනයක් හෝ කතාකරේ ගෙදර අයගෙන් අපේ අම්මා සහ ආච්චී පමණය. ඇති හැකි යහළුවන් සියල්ල රණේලාව, බෑඩ්ලාව අතහැර දමා තිබුණේ බොහෝ කලකට පෙරය. නමුත් මේ දුප්පත් මිතුරන් දෙදෙනා, මිය යන තෙක්ම සැබෑ මිතුරන් විය. ඒ මිත්‍රත්වයට මම අදත් ගරු කරමි. මේවා ලියවෙන්නේද ඔවුන් වෙනුවෙනි. මටත් එවැනි එක් මිත්‍රයෙක් සිටී.ඌ ඉන්නේ ඔමානයේය. අපි බොහෝදේ බෙදාහදා ගෙන ඇත්තෝය. දුකේදීත්, සැපේදීත් අප කිසිදා වෙනස් නොවූහ. එහෙව් එකෙක් හොඳටම ඇතිය.

අපේ ගෙදර ඉස්තෝප්පුවේ කතාව එසේ වුවත්, විජේරාමේ ඉස්තෝප්පුවේ කතාව මීට වෙනස්ය. හැන්දෑවේ හය හත වනවිට අප පස්දෙනාම ගෙදරය. අමරේ අයියා රැකියාවක් නොකෙරූ නිසා වෙනත් වැඩක් නොතිබුණොත් ඔහු ඉන්නේ සුදානම් පිටය. ඉංජිනේරුවෙක්වූ පොඩි අමරේ අයියා පදමට රත් වෙන්නට කැමතිය. ලොකු අරුණ හැන්දෑවෙ වැඩ නැත්නම් අපිත් සමගය. ජානක අයියාද එවරෙඩිය. මේ අතරින් බාලයාමවූ මම ඕනම දේකට සුදානම් වර්ගයේ කෙනෙක් විය. පොඩි අමරේ අයියාට පුදුම හිතෙන වර්ගයේ ආශාවක් විය. ඔහු පදමට රත්වූ පසු සවන්දෙන්නේ සහ මුමුනන්නේ එකම එක ගීතයකි. ඒ විතරක් නොව අපට ඇසෙන්නේද එපමණකි. ඒ මොහිදින් බෙග් මාස්ටර් ගැයු “ආදරියේ රුචි රාණනියෙ” නම් ගීතය පමණමය. ඒ කාලයේ තිබුණේ කැසට්යන්ත්‍ර සහ “කැසට් කෑලි” පමණක් බව කිව යුතු නොවේ. මෙයින් විනාඩි අනූවක කැසට් පටියක් පුරාවට පටිගත කර තිබුණේ මේ ගීතය විතරමය. එහා මෙහා පැති මාරුකරමින් අසන්නේ ඔය ටික පමණය. පමණමය. ඒ ඇයිදැයි කියා ඔහු කිසිවෙකුටවත් කියන්නේ නැත. අපි කාටත් තිබුණේ ඔය කැසට් වාදන යන්ත්‍රය විතරය. ඒකත් පොඩි අමරේ අයියාගෙ බැවින් ලෙඩක් ඇදගන්නටත් බැරිය. වරෙක අපි පොඩි අමරෙ අයියාගේ කැසට් පටියට ගේමක් දෙන්නට සිතුවත් එය වැලක්වූයේ අමරබන්දු අයියාය. කිසිවෙක් ආශාවෙන් රස විඳින දෙයක් නැතිකර දැමිම තරම් වරදක් තවත් නොමැති බව ඔහු මට කීවේය. ඒ කතාව තුළ තව බොහෝදේ ගැබ්ව තිබුණා විය යුතුය. ඔහු බොහෝ සෙමින් ඒ කියූ කතාව මට තවමත් මතක්වේ. එවන් මිහිරි කාලයක් මගේ මතකයට නැගෙන්නේ නැති තරම්ය. අමරබන්ධු රූපසිංහයන් පසුකාලයක කෙරූ යම් යම් නිර්මාණයන්හී වැරදි, නිවැරදි කර ගැනීම්, කටහඬ හසුරුවා ගැනීම් වැනි කටයුතු නිවසේදි කරගත්තේ ඔය කැසට් යන්ත්‍රයේ පිහිටෙනි. ඔහුට එය ඉතා කටුක කාලයක් වෙන්නට ඇත.

සමහරක් සතිඅන්ත නිවාඩු දිනයන්හී මේ අය ගම්බිම් බලා යන අවස්ථාවන්ද වේ. මේ හැමෝටම නිවෙස්බලා යන ගමනට මාවද එක්කර ගැනීමට තදබල උනන්දුවක් විය. පොඩි අමරේ අයියා බදුල්ලේ නිසා බදුලු ගමනට මාවද කැටුව යයි. ඒ නිවසේ මම සමහර සති අන්තයන් ගෙවා ඇත්තෙමි. ඒ නිවැසියන්ගෙන් මට හරි සැලකිලිය. පොඩි අමරෙ අයියා පසුකාලයක අපේ ඥාතියෙක් බවට පත්වීය. ලොකු අරුණ මා කැටුව ඔවුන්ගේ කඩවැද්දුව නිවසට රැගෙන යයි. ඒ යටියන ප්‍රදේශයේය. ඒ නිවසද ඉතා සොඳුරු මිනිසුන්ගෙන් පිරි නිවසක් විය. අරුණගේ පියා සෝම ගුණරත්න මහතා ගමේ මිනිසුන්ට බොහො හිතවත් මිනිසෙකි. අරුණ දැන් පළාත් සභාවේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාමත් ළඟ ඥාතියෙකි. ඒ කාලයේ බැසිල් රාජපක්ෂ වැඩ කරේ ගාමිණි දිසානායකගේ අමාත්‍යාංශයේ බව මතකය. අරුණ සමග මම එවන් ගමන්ද ගොස් ඇත්තෙමි. අරුණ මට අවසන්වරට හමුවන්නේ මින් බොහෝ කාලයකට පෙර දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි යුගයකය.

ජානක අයියා ගෙදර යෑමට එතරම් උනන්දුවක් නොවේ. ජානකට වෙන රාජකාරී බොහෝ විය. මාස දෙක තුනකට වරක් වත් ඔහු යන්නේ නම්, මා ගමනට එක් කරගැනීම පුරුද්දක් විය. ඒ සුන්දර දියතලාව නගරයේත්, ඒ අවට පරිසරයේත් මමත් ජානකත් ඇති පදම් පිස්සු කෙළියෝ වෙමු. නැන්දලා කියන්නේ ගෙදර ආවාට ඉන්නේ පිට නිසා නෑවිත් හිටියාට කමක් නැති බවය. ජානකගේ දියතලාවේ, බණ්ඩාරවෙල මිතුරන් කොළඹ පැමිණිවිටත් ඔය ආනිසංශයම අනිත් අතට සිදුවේ. අපේ කංඩායමේ සිටි ලකී ඒ කාලයේ සේවය කළේ හම්බන්තොටය. ලකී ගෙදරවිත් නැවත යනවිට මම නිවාඩු සුදානම් කරගත යුතුය. ඒ හම්බන්තොට යන්නටය. යන්නේ ලේක් හවුස් පත්තර බස් එකේ හෝ ඔහුගේ මොරිස් මයිනර් එකේය. ලකීට මයිනර් කිහිපයක් විය. ලකී හම්බන්තොට ගෙව්වේ අපූරු සුන්දර ජීවිතයකි. පසු කාලයක ලකී සොයාදුන් නිසා මම හම්බන්තොට රැකියාවකද යෙදුණේය. හිතහොඳ මිතුරෙක්වූ ලකී ගැන ඉදිරියට ලියවේ. අමරබන්දු අයියා පවුලෙන් දුරස්වූ ජීවිතයක් ගතකළ හෙයින් ඔහු මා කැටුව යන්නේ අපූරු තැන්වලට බව මම කියා ඇත්තෙමි. අමරෙ අයියා සමග ගමන් සුන්දරය. මිහිරිය. අමරේ අයියා නිතර ගොඩවූ නිවසක් වූයේ රාජගිරියේ කේමදාස මාස්ටර්ගේ නිවසය. මමද මොහු සමග එහේ ගොඩවී පසෙක පුටුවටවී වරු ගණන් මේ ලොක්කන්ගේ කතා බහද, පුහුණුවීම්ද , විහිළු තහළුද තනියෙන්ම රස විඳ ඇත්තෙමි. කේමදාස මාස්ටර්ගේ සොඳුරු කම එළියට පේන්නේ නැත. ඔහු ඉදිරියේ බොහෝ අය එක්තරා වෙනස් විදිහකට හැසිරෙනවා දෝ සිතුණු අවස්ථාද විය. සියල්ල අවසානයේ සියල්ලෝම මහ හඬින් සිනාසෙමින්,ප්‍රීතිවෙනවා දකිද්දී හිතෙන්නේ මේ අර කේමදාසමද යන්නය. කේමදාස මහතා ඉතාමත් අපූරු සුන්දර, හිතහොඳ මිනිසෙක් බව අමරේ අයියා මට කියාදී තිබේ. වචනයකට දෙකකට හෝ වඩා මම කතා කර නොමැත. ඇත්තටම මට ඔහු පිළිබඳ ළංවිය නොහැකි බියක් විය. ඒ මගේ ගොංකම විය යුතුය. මම කේමදාසයන්ගේ බොහෝ වේදිකා නිර්මාණ දැක බලා රස විඳ ඇත්තෙමි. ඒ සමහරක් මහජන ප්‍රදර්ශනයටත් පෙරවීම මහඟු අවස්ථාවකි. ඒ අමරබන්දුට පින් සිදුවන්නටය.

විජේරාමේ කට්ටිය කිසිවෙකු නිවසේ නැති රාත්‍රියක මම හුදකලාවේ හාන්සියක් දාගෙන සිටියෙමි. මහා පාළුය. කිසිවෙකු දොර ඇරීමට උත්සාහ ගන්නා බව දැනී. මම ඉදිරියට ගොස් දොර විවෘත කෙරුවෙමි. අප්පට හුඩු..අමරේ අයියා සහ ගුණදාස කපුගේයන් මා ඉදිරිපිටය. ඉන්නේ බඹර පදමේ බව සද්සුදක් සේ පැහැදිලිය.ගෙට කැන්දවා වාඩිකරවා, මමද වාඩිවුණෙමි. මේ දෙදෙනාම ගමන් බිමන් යනවිට කාර්යාල හම්බෑග් රැගෙන යයි. දෙදෙනාම කලිසම්, කමිස පමණක් නොව සරම කමිසයද හැඳ ගමනේ බිමනේ යයි. අද දෙදෙනාම කලිසම් කමිසය. අතේ හම් බැග්ය. කපුගේ අමරේට වඩා මදක් උස වුවත් යම් තාක් දුරට එක වගේය. දිගැටි මුහුණුය. පදමට සූර්වී සිටි නිසාදෝ මන්දා අයියායි, මල්ලියි සේ මට පෙනුණා වගේය. මට පුදුම සතුටකි. කපුගේ අපේ බෝඩිමේය. තේ එකක් හදන්නද යැයි ඇසූවිට අමරේ අයියා කිව්වේ, එපා..අඩියක් ගහමු, නමුත් කාසි හිඟ බවය. ඒ අමරේ අයියාගේ හැටිය. මට විජේරාම හන්දියේ තේ කඩේ උඩ බාර් එකේ එකවුන්ට් එකට බඩු ගන්න හැකිය. මාසේ අන්තිමට කලට වේලාවට ඒවා පියවන බව අයිතිකරු දනී. කොළඹ හෝටල්වල් වැඩකරන එවුන්ට කොහොමත් පොඩි සැලකිල්ලක් එදා තිබුණේ ලෝස් නැතුව වියදම් කෙරූ නිසාවෙන් විය යුතුය.

මට දැන් ඉවසිල්ලක් නැත. මම දඩිබිඩියේ හන්දියට ගොස් අඩුම, කුඩුම, සිගරට්, ගෝදම්බ, මස් කරිත් උස්සාගෙන එනවිට දෙන්නා පුටු දෙකේ ගොරවමින් නිදිය. ඇහරවා වීදුරු දෙකක් අතටදී සියල්ල දිග හැර දුන් පසු, දඩිබිඩියේ කටට හලා ගත් පසු, බයිට් එකක් දෙන්න හැදුවිට, මුකුත් එපා ළමයා අපේ බිල කීයද අසා, මෙන්න මේක තියාගන්නවා කියා කීයක්ද අතටදී, අඩුපාඩු හෙට බලාගමු යැයි කියා පිටටත් තට්ටුවක් දමා ඩබලම යන්නට ගියෝය. මට මාර හොල්මන්ය. ආපහු එන පාටක් නැත. මමද හොරෙන් පසුපසින් ගොස් හයිලෙවල් පාරට වී බලා සිටියෙමු. බස් රථයකට ගොඩවූ මේ දෙන්නා නුගේගොඩ පැත්තට ගියෝය. දුකේ බැරිය.මම සමාජයේ බොහෝ ඉහළ යැයි කියනා මිනිසුන්ට වේටර් වැඩය කර තිබේ. ඒ සමහරුන් දකින්නට ලැබෙන්නේ මාධ්‍යයෙ පමනි.. ඒත් ගුණදාස කපුගේ නම්වූ ඒ මිහිරි, රසැති,සුන්දර මිනිසාට විනාඩි පහකටවත් වේටර් වැඩේ කිරීමට ලැබීම පිලිබඳ මට ඇත්තේ රජ කුමාරයකුට ඒ වැඩේ කරාටත් වඩා මහා ආඩම්බරයකි. ආඩම්බරයකටත් වඩා එහා ගිය වින්දනාත්මක හැඟීමකි. සත්තය.

පසුදිනයක මම මොකද වුණේ යැයි අමරේ අයියාගෙන් ඇසුවෙමි. දෙන්නටම මුකුත් මතක නැති බවත්, කොහෙදෝ ගොස් නිදාගත් බවත් පැවසීය.දැන් කවුරු මොනවා කීවත් මොවුන් නම් මට ඇත්ත මිනිසුන්ය.

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : සේන වීරසේකර

Posted in Uncategorized | 77 Comments