අවුල් වන්නට පෙර ..(26)…බයිසිකල් රේස්..

“කරුණාකර පාරෙන් ඉඩ දෙන්න. ඉදිරියෙන් එන වාහනය පාරෙන් ඉවත් කරන්න. ඔව්..තව ස්වල්ප මොහොතකින් ඔබ ඉදිරියට ඇදෙන්නේ කහවත්තේ ගුරුගේ මැණික් සංවිධානය කරන දීපචාරිකා මහා බයිසිකල් ධාවන තරඟයයි. කරුණාකර පාරෙන් ඉඩ දෙන්න ”
ඒ දිනවල මෙවැනි නිවේදන නොඇසුණු කෙනෙක් හයිලෙවල් පාර අසබඩ පදිංචිවී සිටියා නම් , ඒ ශ්‍රවණාබාධිත පුරවැසියෙක් විය යුතුය. හයිලෙවල් පාරත් බයිසිකල් ධාවන තරඟත් අතර තිබුණේ ළබැඳි සම්බන්ධයකි.

මෙවැනි ධාවන තරඟ වසරකට කිහිප වතාවක් දක්නට ලැබේ. බොහෝමයක් සිංහල අවුරුදු කාලයට සංවිධානය කරන අතර ඉන් නොකඩවාම පැවැත්වූයේ කළුබෝවිල ලකී ක්‍රීඩා සමාජය මෙහෙයවූ බයිසිකල් ධාවන තරඟය සහ බක්මහ උළෙලය. එය අවසන් වන්නේ මහා සංගීත සංදර්ශනයකින්ය. අනිකුත් ධාවන තරඟ වාර්ෂිකව පැවත්වූ දැවැන්ත ව්‍යායාමයන්ය. ලේක් හවුස් ආයතනය, ජාතික ලොතරැයි මංඩලය, ගුරුගේ මැණික් මින් ප්‍රධාන ඉසව් මෙහෙය විය. ලංකාවේ පළමුවෙනි බයිසිකල් ධාවන තරඟය පවත්වා ඇත්තේ 1950 වසරේ යැයි අසා තිබේ. ලේක් හවුස් ආයතනය විසින් ජනතා සවාරිය, ලංකා සවාරිය වැනි දේ සංවිධානය කෙරුණි. පුවත් පත් මූලික කරගෙන සයිකල් සවාරි පැවැත්වීම එදා දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.

ඇන්තනි සිමන්ස් ධාවන ශූරයා මේ වනවිට තරඟ පිටියෙන් ඉවත්වෙමින් සිටියේය. හයවරක් ලංකා ශූරයෙක්වූ මොරිස් කුමාරවේල් එවකට සිටි දක්ෂතමයා වූ අතර බොනිපස් පෙරේරා වැඩ පෙන්වන කාලයද විය. A.M.සුමනවීර,G.H.හෙන්ඩර්සන්, A.A.සුගතපාල ලෙස්ලි රූපසිංහ බයිසිකල් තරඟ පිටිය ආක්‍රමණය කරමින් සිටි අති දක්ෂයින් වූවා මෙන්ම N.කරුණාරත්න,B.J.සුමනසේකර,L.H.සරත්, කමල් පාලිත පසුකාලීනව පිටියට පැමිණි තරඟකරුවෝය. කාන්තා ඉසව්වද ඒ හා තරමටම ජනප්‍රිය මුත් පැදීමට ඇති දුර ප්‍රමාණයෙන් අඩුවිය. වසන්තා කහපොළ ආරච්චි, ඇලෝමා සිල්වා, P.L.රංජනි, කුමාරිහාමි දිසානායක වැනි සයිකල් සූරියන් මහත් ජනප්‍රිය විය. මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොස්, දෙල්, බත්, පොලොස් වලින් ගොඩ නැගුණු පරපුරක් මිස උත්තේජක, විටමින් වලින් යැපුණු මිනිසුන් හෝ ගැහැනුන් නොවීය. මෙවැනි බොහෝ අය ගැන ලියන්නට බොහෝ දේ ඇති මුත්, මේවා කාලයේ වැලි තලාවෙන් වැසීයාම අභාග්‍යයකි. ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයක් අපට දායාද කර දුනි. ඉන් යුද හමුදාවත්, ගුවන් හමුදාවත් ප්‍රධාන තැනක් ගතී.

මේ අය අතරින් මා වඩාත්ම සිත්ගත් ක්‍රීඩකයා වූයේ රත්නපුරේ සුමනවීරය. ක්‍රීඩිකාව වූයේ පාදුක්කේ වසන්තා කහපොළ ආරච්චිය. කහවත්ත, රත්නපුර, ඇහැලියගොඩ ප්‍රසිද්ධ වූයේ මැණික් වලට පමණක් නොවේ. අපිට ඒ අවටින් ආ ඇන්තනි සිමන්ස්, සුමනවීර, සුගතපාල වැනි ක්‍රීඩකයින් මැණික්වලටත් වඩා වටිනා බව එදා මෙන්ම අදත් කිව යුතුව ඇත. සුමනවීරගේ ක්‍රීඩා ජීවිතයට රත්නපුරේ ලොකු කුඩා සියලුම ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණේ පුදුම සහයෝගයකි. ඒ බව එකල ඕනෑම කෙනෙක් දැනගෙන සිටියා මෙන්ම, කාර් වෑන් පුරවාගත් අය තරඟ පිටුපසින් කෑගසමින් ආවේත් ඒ ගැම්මටය. මොහු තරඟ දාහකට ආසන්න ප්‍රමාණයකට තරඟ වැදී ඇති අතර ඉන් හත්සීයකට වඩා පළවැනි දෙවැනි හෝ තෙවැනි ස්ථානයන් ලබා ගෙන ඇත. ඉන් තරඟ පන්සීයකට ආසන්න ප්‍රමාණයකින් පළවෙනි තැන ගෙන තිබේ. රත්නපුරයේ සිට කොලොන්නාව තෙල් සංස්ථාවට වැඩට ආවේත් ගියේත් බයිසිකලයෙනි. පුදුම නොවන්න. මේ සත්‍යයයි. ඔහු මන්නාරම සිට රත්නපුරට බොහෝ වතාවක් බයිසිකල් පැද ඇති බව මම අසා ඇත්තෙමි. හැතැප්ම 250ක් පමණ , එකල ඒ දුෂ්කර මාර්ගය, උදේ 5.30ට අරඹා හවස 6.00ට අවසන් කරන බවත් මම අසා ඇති තවත් කතාවක්ය. අද මම ලෝක පූජිත පාපැදි ශූර බ්‍රැඩ්ලි විගින්ස්ට ඇල්මක් ඇත්ද ,ඊට වඩා බොහෝ සේ A.M.සුමනවීර නම්වූ අපේ මිනිසාට ඇළුම් කලෙමි.

ඒ කාලයේ රේස් තිබුණේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් වලින් පමණි. දැන් මෙන් රේසින් වර්ගයේ ඒවා තිබුණේ නැත. බොහොමයක් තරඟ අවසන් වූයේ ගෝල්ෆේස් පිටිය අසලින් හෝ ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින්ය. මේ තරඟ සඳහා ලේක් හවුස් ආයතනය, ගුරුගේ මැණික්, පොහොර සංස්ථාව බෙහෙවින් දායක විය. ලේක් හවුස් ඉන් ප්‍රදානය. මේ දුප්පත් මිනිසාගේ දුප්පත් ක්‍රීඩාවක් විය. බොහෝ සයිකල් කරුවෝ අතින් වියදම් කරගෙන මේවාට සහභාගී වී ලැබෙන ත්‍යාගයද ,කුසලානයද උස්සාගෙන ආපසු ගෙදර යති. අපි කොල්ලෝ කට්ටිය තරඟ අවසානය හෙවත් “ෆිනිෂ්” එක බලන්නට දැක්වූයේ තදබල පෙරැත්තයකි. බසයේ නැගී ලේක් හවුස් හෝ ගෝල්ෆේස් අසලට වේලාසනින්ම යන්නේ ඔය උණ නිසාමය. හරි තැනක් අල්ලා ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවීය. වරින් වර ගුවන් විදුලියෙන් විස්තර ප්‍රචාරය කරන ලදි. හෙන්ඩර්සන් සයිකලයෙන් ඇද වැටුණු බවත්, සුමනවීරගේ ටයර් එකේ පැච් එකක් බවත්, බොනිපස් දැන් ඉදිරියෙන් සිටිනා බවත් කියන්නේ ගුවන් විදුලියයි. මේ වේලාවට තරඟය අවසන් විය හැකි බව අපි ගණනය කර ගන්නෙමු.

හෙන්ඩර්සන් සහ බොනී sprint එකට දක්ෂය. සුමනවීර සමග කඳු පැදීමට සමතෙක් නොවීය. එක් ප්‍රධාන තරඟයකදී අවසානය පෙනි පෙනී බොනිපස් සහ හෙන්ඩර්සන් කඟවේණුන් මෙන් ඉදිරියට ඇදුනෝය. අවාසනාවකට හෙන්ඩර්සන්ගේ පාපැදියේ ඉදිරි රෝදය ගැලවී විසිවුනි. බිම ඇද වැටුණු හෙන්ඩර්සන් බයිසිකලයත් කරගසාගෙන අවසන් සීමාව කරා ඇදුණේ පිටුපසින් ආ සුමනවීරට දෙවැනි තැන හිමිකරදෙමිනි. වාසනාවකට අනිකුත් තරඟ කරුවන් සිටියේ බොහෝ ඈතින්ය. හෙන්ඩර්සන් තුන්වැන්නා විය. තරඟය නිම කිරීමට ආසන්නයේදී පාපැදිය අඩපන වුවත්, තරඟකරු පාපැදිය සහිතවම තරඟ නිමාවේ මායිම් රේඛාව පසුකල යුතු බව මම පළමුව දැන ගත්තේ එදාය. එය ඉතා සංවේදි දසුනක් යැයි කිව යුතු නැත. බයිසිකල් ධාවන තරඟ වලදී ෆිනිෂ් එක ආසන්නයේ සිට නැරඹීමේදි ඇතිවන තිගැස්ම සහ අතපය හසුරුවා ගැනීමට නොහැකිවීම, ඔබත් දිනක අත්විඳ රසවිඳිය යුතුය. සුමනේ එක් තරඟයක් නිමකෙරුවේ දෙවැනියාවූ හෙන්ඩර්සන්ට වඩා පැයකුත් විනාඩි තිස් පහකට කලින් බවත් මට මතකය. තවත් තරඟයකදී සුමනවීර ලේක් හවුසිය අසලින් නිමා කරන විට තවත් තරඟ කරුවන් පිරිසක් තවමත් කොග්ගල පසුකර නැති බවත් ගුවන් විදුලියෙන් පැවසුවේ ප්‍රේමසර ඈපාසිංහයන්ය. බොනිෆස්, සුමනවීර සහ හෙන්ඩර්සන් යුගය ශ්‍රීලංකාවේ පාපැදි තරඟ ඉතිහාසයේ මා දුටු ස්වර්ණමය යුගයයි.

පාරෙන් අයින්වෙන්න යැයි හඬ ඈතින් ඇසෙන විට මම, ජෝරිස් ආනන්ද, රත්නේ ඇතුළු පිරිවර බාල්දිද, හිස් නෙස්ප්‍රේ ටින්ද පුරවාගෙන මග දෙපසට වී සිටින්නෙමු. ඒ ධාවකයින්ට වතුර ගැසීමටය. ප්ලාස්ටික් බෑග් එදා නොතිබු නිසා ඒවාට වතුර පුරවා, දමා ගැසීමක් නොවීය. වරක් අපූරු මෙන්ම බිහිසුණු වැඩක් සිද්ධවූයේ අපේ මිත්‍ර ජෝරිස් ආනන්දට පිංසිදුවෙන්නටය. මහා බයිසිකල් තරඟය වේගයෙන් කොළඹ දෙසට යාමට නියමිතය. ජෝරිස් ආනන්ද පාර අයිනේ උලාකමින් සිටි ගවයෙකුගේ නැට්ට කැරකුවේ හිතා මතා නම් නොවේය. ගවයා පාර මැද්දට පැන්නේ, ඉතා වේගයෙන් පොකුර පිටින් එන සයිකල් කරුවන් දෙසටමය. එකම ජංජාලයකි. තරඟකරුවෝ දහ පහළොස් දෙනෙක් එක ගුලියට පර මැද ඇද වැටිලාය. හරකා සතර අතේ දුවයි. ජෝරිස් ආනන්ද පේන තෙක් මානයක නැත. දවස් දෙකක් උණ ගැනී ගෙදරටමවී සිටියේ බයවුණු භයවිල්ලට යැයි වැඩිහිටියෝ කියන්නට ගති. තැළුණු සහ ඇදවැටුණු බයිසිකල් මොහොතකට ප්‍රමාද විය. බේරුණු උදවිය ෆිනිෂ් එක සොයා කොළඹ දෙසට හමා යන්නට විය. සම්පූර්ණ දෝෂාරෝපණය අහිංසක හරකාටය. නැට්ට කැරකවපු බව දන්නේ මමත් ආනන්දත් පමණි. අද රත්නේත්, ජෝරිස් ආනන්දත් ජීවතුන් අතර නැත.

බයිසිකල් ධාවන තරඟ වර්තමානයේ පවත්වන්නේ කෙසේද කොහේද කියා මම නොදනිමි. සුමනවීරගේ දියණියන් දෙදෙනා නම් අන්තර් ජාතික තරඟයන්ට සහභාගිවී ජයග්‍රහණ රැගෙන ආ ඇති බවත් පුවත්වලින් දැක ඇත්තෙමි. එවැනි දක්ෂයින්ටත් තවමත් රැකියා අවස්ථාවක් නැති බව කනගාටුවට කරුණකි. පුතුන් දෙදෙනාද සයිකල් ශූරයන් බව අසා ඇත්තෙමි. බොනිපස් පෙරේරා පසුකාලයකදි අපේ කළමනාකරු ලෙස ජපානයේ සංචාරයකට සහභාගිවූ නමුත් ඔහු සහ තවත් දක්ෂ ක්‍රීඩකයින් කීප පලක් නැවත පැමිණියේ නැත. මොරිස් කුමාරවේල් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් පසුකාලයකදී අභාවප්‍රාප්ත විය. සුමනවීර තවමත් නිරෝගී ජීවිතයක් ගත කරන බව මිතුරෙක් පැවසීය. ඇන්තනි සිමන්ස්ද එසේම යැයි අසා ඇත්තෙමි. ඔහු පාපැදි සවාරි ඉතිහාසය ගැන ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පොතක් ලියා ඇති බව කිව්වේ ,තවත් මම වැනිම බයිසිකල් රේස් පිස්සෙකි.

අදත් මම මේ සටහන ලියන්නට ගත්තේ සංගීත සංදර්ශන සහ බයිසිකල් රේස් ගැන ලියන්නට සිතාගෙන වුණත් අවසානයේ බයිසිකල් රේස් වලටම සීමා විය. ඒ කියන්නේ සංගීත සංදර්ශන ගැන ලියන්න වෙන්නේ වෙන දවසකය. දෛවය කියන්නේ මේකට විය යුතුය. මා උපන් ගමෙන් පිටව වෙනත් තැනක් ගැන සහ වෙනත් සිදුවීම් රාශියක් ගැන ලිවීමට උවමනා වුණත් මට තවමත් දෙල්කඳින් පිටව යෑමට බැරිව ඇත. මගේ ජීවිතයේ මතක හිටින සිදුවීම් වැඩියෙන්ම ඇත්තේ මේ භූමියේ විය යුතුය. ඊළඟ ලිපියෙන් පසුව වත් මම මගේ ගමනේ අනිකුත් ඉසව් කරා පිය නගන්නෙමි .

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

87 Responses to අවුල් වන්නට පෙර ..(26)…බයිසිකල් රේස්..

  1. සයිකල් කරු හෙවත් කරුණාරත්නව නම් මං දැකලා තියෙනවා.

    ඔය කළුබෝවිල පැත්තේ එක් අවුරුදු උත්සවයක සයිකල් රේස් එක දිනපු කොල්ලා එදාම රූප සුන්දරී දිනපු කෙල්ල එක්ක සෙට් වෙලා කසාද බැන්දා. පසුව කෙල්ල නිලියක් වුනා. දෙන්නා ඩිවෝස් වුනා.

    නිලිය තාමත් ඉතා ප්‍රසිද්ධයි!

    • @කකා….ඔය වගේම දෙයක් තමයි අපේ අම්මාගේ මල්ලි කරේ. අපේ තාත්තා හංවැල්ලේ සංවිධානය කරපු අවුරුදු උත්සවයක සයිකල් පැදලා. නැන්දා අවුරුදු කුමාරි වෙලා. මාමා නම් තුන්වෙනියා වෙලා තියෙන්නේ. ඒත් අන්තිමට චන්ද්‍රදාස ,සොමිලතාව ඩැහැගෙන. ඒ නැන්දා තාමත් ලස්සනයි.

      ඔය කකා කියන නිලිය කවුද?

      සයිකල් කරූ පස්සේ කාලෙක පාපැදි සම්මේලනයේ ලේකම් හෝ සභාපති වුනා.

  2. සෑම් says:

    අර ජෙරාජ්ට වැලිවේරියෙදි බෝම්බෙ වදින කොට දක්ෂ සයිකල්කරුවෙක්ටත් හානි වුනාලු නේද?

    සයිකල් කේස් එක මම දන්නෙ නැහැ. නම් ගම් එක්කම කියෙව්වෙ මේ ලිපියෙන්. ගොඩක් දැන් සයිකල් රේස් වල යන්නෙ ෆෝසර්ස් වල උදවිය මගෙ හිතේ…

    • ඩිලාන් says:

      සෑම් බෝම්බෙට අහු උනේ මැරතන් කරූ,සයිකල් රේස් පදින අයව පෝසස් වලින් ගන්න එක කරන්නේ මචෝ

      • @ ඩිලාන්……ක්‍රීඩාවලට දක්ෂයින් ෆෝර්සස් වලට බඳවා ගැනීම පටන් ගත්තේ ඔය වකවානුවල තමයි. හැබැයි පෞද්ගලික බැංකු සහ සමාගම් ගත්තේ ක්‍රිකටර්ස් ලා විතරයි ඒ කාලේ. අනිත් හැම ක්‍රීඩකයෙකුටම හමුදාවත්, පොලිසීයත් බඳවා ගත්තා. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන් ඇත්තටම.

    • @ සෑම්….උඹට උත්තරයක් ඩිලාන් නම් සයික්ලින්ග් පිස්සා දීලා. ඒක හරි සතුටක්..තවත් මේ ගැන දන්න අය සිටීම. මැරතන් කරුත් එක්ක තවත් දක්ෂයෙක් අපට අහිමි වුනා . ලක්ෂ්මන් අල්විස්. රටට හිටිය ප්‍රවීන ඇත්ලටික් කෝච් කෙනෙක්. ඔහු මගේ පාසැල් මිතුරු මහානාම රණසිංහට ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඉදිරියට එන්න මහඟු අත්වැලක් වුනා.

  3. තිසර says:

    අපේ ගමේ අවුරුදු උත්සව වල සමහර අවුරුදු වල බයිසිකල් තරඟ දෙකක් තිබ්බා. ඒකක් කිලෝමීටර් 50 විතර එකක්, අනික නිකං ගම වටේ එකක්. පොඩි කොල්ලෝ හින්දා අපි ගියේ පොඩි එකට. එක වතාවක් තුන්වෙනියා වෙලා වීදුරු සැට් එකක් ලැබුණා.

    අපි වැඩියෙම කැමති කට්ටියට වතුර ගහන්න. හැබැ‍යි බයිසිකල්කාරයන්ට වතුර ගහන එක දුවන අයට ගහන තරම් ලේසි නෑ. ගොඩක් වෙලාවට වතුර පාර ගහනකොට බයිසිකල්කාරයා පහුවෙලා ගිහින්. දැන් තමයි හිතෙන්නේ අපි එල්ලය බලල මූණටම වතුර ගහපුවහම උන්ට කොච්චර අපහසු වෙන්න ඇති ද කියලා. ඒ වගේම වතුර වලට එක එක ජාති කලවම් කරලා විරුද්ධවාදී බයිසිකල්කාරයන්ට ගහන වැඩත් තිබ්බා.

    • ඔව් තිසර…ඒ කාලේ නම් පළවෙනියාට මල් වීදුරු 12 සෙට් එකක්. අනිත අයට ඊට අඩුවෙන් ගමේ උත්සව වලදී. ඔය මල් වීදුරු සාලේ “කැබිනට්” එකේ ගෞරවාන්විතව වැජඹුනා. අමුත්තෙක් ආපුවාහාම ඔරෙන්ජ් බාර්ලි දාලා දෙන්න විතරක් එලියට වැඩම්මුවා.

      රේස් කාරයින්ට මුහුණට වතුර නොගහා පිටිපස්සෙන් වතුර ගහන්න කියලා අපිට පස්සේ ලොකු කට්ටිය කියලා දුන්නා. ඒත් ඔය ජෝරිස් ආනන්දට තිබුනු දඟර විසේ නිසා ටින් එකත් එක්කම වතුර එකක් පිටට විසිවුනා. එදා ලොකු ජෝරිස් (නිහාල් අයියා ) මුට කාණුවක දාගෙන ගැහුවා. ඒ සුන්දර අතීතය , මේ ඒකාකාරි ජීවිතයට පවන් සලනවා. උඹ රටින් පිටනම් ඉන්නේ මම කියන දේ තේරුම් ගනියි.

  4. deshakaya says:

    සුමනවීර ගැන ටිකක් දවසකට කිලන් පත්තරේ ආටිකල් එකක් හෙම ගියා. තවමත් බයිසිකල් පදිනවලු රේස් නොපැද්දත්. නට්ට කරකවල කරපු හරියක් මදෑ. අඩේ ඒක හෙන බිහිසුනු වැඩක් නෙව..

    • දේශා…එක බිහිසුනු නෙමේ අති බිහිසුනු දෙයක්. බුල් ෆයිට්ස් එදා නොදැන හිටියත් ඊටත් වඩා දරුණු වැඩක් වුනේ. මේ සියළු දේ ඉවසා වදරා සිටීමට එදා සමාජය වඩාත් ශිෂ්ඨ සම්පන්න වුනා කියලයි මම හිතන්නේ. නැත්නම් මේ දේවල් මෙහෙම නොලියෙන්න ඉඩ තිබුනා.

      සුමනවීර ගැන ලියවුනු ඒ ලිපිය ආපහු දැක්කොත් මට ලැබෙන්න සලස්වපන්. මම ඒක කියවන්න ආසයි.

  5. බයිසිකල් රේස් පැදපු අය ගැන මේ තරම් විස්තරයක් ඇහුවාමයි.

    සුමන්වීර නම් පුදුම තරමෙ දක්ෂයෙක්නෙ අරූ අයියෙ. අර තරගෙ ඉවර වෙත්දි සමහර තරග කරුවො කොග්ගල හිටපු එකෙන්ම මෑන්ගෙ දක්ෂකම හිතා ගත්තෑකි.

    අර වලිගෙ කරකපු දවසෙ වැරදිලා හරි ආනන්දව අහු උනා නම් පාපැදි ධාවන තරගෙ මැරතන් ධාවන තරගයක් වෙන්න තිබුනා. 😀

    • මේවා ගැන ලියවෙනවානම් අඩු තමයි.

      සුමනවීර අති දක්ෂයෙක්. අර කොග්ගල ඉන්න ඇත්තේ සයිකල් එකෙන් පත්තර බෙදන බුවෙක්ද දන්නේ නැහැ. නැත්නම් ප්‍රේමසර ඈපාසිංහ පියුම් මහත්තයාත් රේස් පදින කෙනෙක් කියලා හිතුවාද දන්නේ නැහැ ;D මොනවා වුනත් මේක ඇත්ත කතාවක්.

      වැරදිලා හරි අහු උනානම් මැරතන් දුවන්න තුයා නැගිටලා ගෙදරට යන්න කකුල් දෙකක් ඉතුරු වෙයිද දන්නේ නැහැ 😀

  6. රසික says:

    1991-93 වගේ කාලෙ මම ඒ දවස්වල 3.50ට තිබ්බ ක්‍රීඩා පත්තරේට වහ වැටිල හිටිය හැටි මතක් වුනා. ඒ දවස්වලත් ඔය ලංකා සවාරිය එහෙම හුඟක් ජනප්‍රියයි. ක්‍රීඩා පත්තරේ පිටුවක් විතර බයිසිකල් රේස් වලට වෙන්වෙනවා. කමල් පාලිත තමයි මට මතක විදියට තරුව! ඔය ජපානෙ ගිහින් කට්ටියක් ගල් වෙච්ච සීන් එක උනෙත් ඔය ආසන්න කාලෙක. මට මතක හැටියට කමල් පාලිත ඒ වෙලාවෙ ගල් නොවී ආපහු ආවද කොහෙද (සමහර විට මම වැරදි වෙන්න පුලුවන්). කමල් පාලිත ඇරුනම අනිත් නම් මට දැන් මතක නැහැ. සමහර විට 90 ගනන් වල ගැටවරයො වෙච්ච අපේ පරම්පරාව බයිසිකල් රේස් වලට වඩා ක්‍රිකට් පිස්සො වෙච්ච නිසා වෙන්න ඇති. පේන හැටියට ඔබ මට වඩා අවු. 18 විතර වැඩිමහල්. එහෙමත් එකේ මෙච්චර කාලෙකට පස්සෙත් මේ නම් ගම් මෙච්චර මතක හිටින්න බයිසිකල් රේස් පිස්සෙක්ම වෙන්න ඕනෙ 😀

    • රසිකගේ බ්ලොග් එක මොකක්ද?

      අනූ ගනන්වල ක්‍රීඩා පත්තරේ කතෘ සුනිල් මාධවගේ මල්ලි සඳුන් ප්‍රේමතිලක මගේ හිතේ. ක්‍රීඩා පත්තරේත් ලේක් හවුස් එක කරපු හොඳ වැඩක්. දැන් තියෙනවාද මන්දා.

      සුමනවීරලාට පස්සේ ආපු හොඳ ක්‍රීඩකයෙක් තමයි කමල් පාලිත. එයා විතරයිද කොහෙද හිරෝෂිමා ගිහින් ආවේ. ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනුවාට පස්සේ හැමෝම ඒ පස්සේ ගියා. ඇත්ලටික්ස් පොඩ්ඩක් අල්ලන් ගියා. දැන් නම් ඒකත් හබක් වගේ.

      ඔව් රසික …මම ෆිෆ්ටි අප් බුවෙක්.

      • රසික says:

        මම බ්ලොග් එකක් ලියන්නෙ නෑ අරූ…හැබැයි අවුරුදු 5ක් විතර තිස්සෙ ඉඳන් හොඳ බ්ලොග් තෝරගෙන කියවනවා.

      • රසික මොනවා හරි කුරුටු ගාන්න. අපි කියවන්නම්.

    • Anonymous says:

      ඔව්. එ කමල් thamai.

  7. උඹට මතකද ඉස්සර චිත්‍ර කතා පත්තරේක තිබ්බා කතාවක් ඕල්වේස් බ්‍රේක් ඩවුන්ස් කියලා චිත්‍ර කතාවක්, බොරලැස්ගමුවේ නෙලුම් කියලා කෙනෙක් ඇඳපු? ඒකෙත් තිබ්බා මෙහෙම.
    වතුරෙන් ඇති ප්‍රයෝජන මොනවාද?
    1.මාලුන්ට පිහිනීමට
    2. සයිකල් රේස් කාරයන්ට ගැසීමට…

    • ඩූඩ්…….බලපන් රේස් කාරයින්ට වතුර ගහනවා කියන එක ඒ කාලේ කොච්චර ප්‍රසිද්ධ වැඩක්ද කියලා. ක්‍රීඩාවක් ඇතුලේ ක්‍රීඩාවක්. කොල්ලෝ විතරක් නෙමේ බං වැඩිහිටියෝත් ඔය වැඩේට සම්මාදම් වුනා.

  8. මම දන්නෙ නෑ මේ දෙවල් කොහොම ලියනව ද කියලා ..
    මල් 5යි ,මම කවදාවත් ලංකාවේ සයිකල් රෙස් ගැන දැන් ගෙන හිටියෙ නෑ ,දන්නෙ ඔය පුරන්සේ යන එක තමා ,අපේ රටේ දැන් දැන් ගොඩක් ක්‍රීඩා අභාවයට යනවා ,හැබැයි රෙසින් කාර් ,රගර් වගේ එවා නැගලා යනවා ,මලල ක්‍රිඩා වල පල්ලට යනවා ,
    කොහොම වුණත් දැන් අවුරු කාලෙදී විතරයි ඔවා දකින්නෙ ,,මාර රසවත් ..

    • සහෝ…..පුරන්සේ යන එක නම් ඉතින් රජ වැඩක් තමා. මම ආසම ඉවෙන්ට් එකක්. එක් ක්‍රීඩාවක් අල්ලගෙන ඒක විතරක් උඩ දානකොට තව ක්‍රීඩා කීයක් යට යනවාද? ඒක දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් කරනවා. මේ සත්‍යය රජ පැටව්ටවත් ක්‍රීඩා බලදාරීන්ටවත් පේන්නේ නැති එක තමයි ලාංකික තරුනයාගේ ඛේදවාචකය. බලා ඉන්නවා හැරෙන්න මොනවා කරන්නද?

  9. Ravi says:

    / නැට්ට කැරකවපු බව දන්නේ මමත් ආනන්දත් පමණි. /

    ඇයි බං හරකා?

    1980 විතර අපෙ මාමගෙ පුතත් පැද්ද සයිකල් රේස්. එතකොට කොල්ලට වයස 13 , 14 වගෙ ඇති. පත්තර වල එහෙමත් ගියා විස්තරේ ලාබාල සයිකල් ශූරයා කියල. බොනිෆස් සහ සුමනවීර එක්ක කොල්ලා ගත්තු ෆොටෝස් මා ලඟ තවම තියනව.

    • Chandana says:

      //සුමනේ එක් තරඟයක් නිමකෙරුවේ දෙවැනියාවූ හෙන්ඩර්සන්ට වඩා පැයකුත් විනාඩි තිස් පහකට කලින් බවත් මට මතකය.// පිස්සු හැදෙයි !!
      මෙහෙ පාරේ ඉඳ හිට රේස් එකක් යනවා දකිනවා. මේ ළඟදිත් එක්ක තිබුන.. ඒත් මෙහෙදී ලොකු වේගයක් නම් දකින්න බෑ. වංගු වැඩි නිසා වෙන්න ඕන..

      කොහොම ද කට්ටිය කිව්වා නම් හෙම, හරකව කුලප්පු කලේ “අරූ” තමයි කියල. 🙂

      • Chandana says:

        ඉහත කමෙන්ට් එක මෙතන වැටුනේ වැරදීමකින්.

      • ඔය කතාව ඇත්ත එකක් චන්දන. සුමනවීර බොහෝ වෙලාවට බන්ච් එකේ පදින්නේ නැහැ. මොකද බොනී, හෙන්ඩර්සන් වගේ අයත් එක්ක තැන්නේ ස්පීඩ් කරන්න එයාට අමාරුයි. ඒ නිසා සුමනවීර හැම තිස්සෙම බන්ච් එක කඩාගෙන වේගයෙන් ඉස්සරහට යනවා. එහෙම ගිය වෙලාවක මෙයාව චේස් කරන බන්ච් එක ඉස්සරහට අපේ ජෝරිස් ආනන්දයා වගේ එකෙක් හරකෙක් පන්නලා මොකක් හරි ඩිලේ එකක් වෙන්න ඇති.

        හරකාව කුලප්පු කරේ අරූ නෙමෙයි මූ කියලාවත් දැණගත්තා නම් දත් නැතිව තමයි බත් කන්න වෙන්නේ.

    • @RAVI
      ////// නැට්ට කැරකවපු බව දන්නේ මමත් ආනන්දත් පමණි. /

      ඇයි බං හරකා?///////// මෙන්න දවසේ කියමන…

      හරකෙක් හරකෙක්ගේ වලිගය කරකවා ඇත.

      මචං ඒ වයසේදි බොනිෆස්ලා එක්ක රේස් පදිනවා කියන්නෙත් ලොකු දෙයක්. ඒ ෆොටෝස් තියෙනවා නම් මෙතනට දාපන්කෝ. ඒ කාලේ බොනීලාගේ සුමනවීරලාගේ මුහුණුවත් මතක නැහැ.

  10. http://manogeloka.blogspot.com/ says:

    දැන් තියෙන්නේ ගුවන් පාපැදී සවාරිය.එක ටි.වී එකෙත් දෙන්නේ.උඩින් කැමරා කරලා දෙනකොට අමුතුම ලස්සනක් තියෙන්නේ.
    //ලෝක පූජිත පාපැදි ශූර බ්‍රැඩ්ලි විගින්ස්//ලාන්ස් ආම්ස්ට්‍රෝන් ගැන නම් දන්නවා මෙහෙම කෙනක් ගැන ඇහුවෙත් අදමයි.

    • මනෝ…..ගුවන් සවාරිය ගැන මම අහලා තියෙනවා. ඒත් ඉස්සර වගේ ඕවා ෆොලෝ කරන්නේ නැහැ. දැන් ෆොලෝ කරන්නේ ජීවිත සවාරිය 😀

      Sir Bradley Marc Wiggins (Wiggo….34 yrs) කියන්නේ එංගලන්තය ලෝකෙට දායාද කරපු අති දක්ෂයෙක්.මොහු බොහොම නිහතමානි පිස්සු බුවෙක්. තාමත් පදිනවා. මාක් කැවෙන්ඩිශ්, ක්‍රිස් ෆෝම් එංගලන්තයේ ඉන්න තවත් දක්ෂ අය. කාන්තාවොත් බොහොමයි. Sir Chris Hoy කියන්නේ Track Cycling ලෝක පූජිතයෙක්. Track Cyclingවෙනුවෙන් London Velodrome එකක් මෙහේ ඔලිම්පික් වලට හැදුවා. ඒක ලෝකේ තියෙන හොඳම එකක්. අපි පැරා ඔලිම්පික්ස් බලන්න ගියා. අමතක නොවන දවසක් ජීවිතයේ.

  11. ඩිලාන් says:

    බයිසිකල් රේස් ගැන නම් ඉතින් ඔය පිස්සුව මටත් තියනවා ප්‍රන්ස සවාරිය ගහපු බ්‍රැඩ්ලිගේ දක්ශතා සවාරිය සේරම බැලුවා,,,
    කමල් පාලිතගෙන් පස්සේ තමා මට මතකය තියෙන්නේ,,බොනී ජපානෙන්න්පැනපු කාලෙ ඉදන්,,එතකොට මම පොඩි ගොඩක් ඒත් අපේ මාමලාගේ සයිකල් පිස්සුව නිසා ඔය කතා පොඩි කාලේ ඉදන්ම මගේ කනට වැටුනා.
    සුමනවීරලා එක්ක මගේ හොදම යාලුවගේ තාත්තා පැද්දා දන්කොටුවේ ඇන්ටනී ප්‍රනාන්දු,සයිකල් බසාර් එකේ වැඩ කලේ,වැඩට ගියේ බයිසිකලෙන්.
    ඔය ගුවන් විදුලි විස්තර ප්‍රචාරයත් හරිම මරු අහන්න,,,අපේ පලාතෙත් ගොඩක් සයිකල් ශූරයො බිහි උනා,අදටත් ඉන්නවා සෙට් එකක්ම,,අද නම් ස්ටෑන්ඩර්ඩ් පදින්නේ අවුරුදු උත්සව වලට විතරයි,,ලොකු රේස් සේරම රේසින්ග්..මේ මගේ බයිසිකල් මතක පෝස්ට් එක
    http://sonodilan.blogspot.it/2013/07/blog-post.html

    • මම ඩිලාන්ගේ බ්ලොග් එක කියවලා තියෙනවා. ඔය පෝස්ට් එකට මම කමෙන්ට් එකක් දාලා තියෙනවා කියලා දැක්කා ආපහු කියවගෙන යනකොට. ඒක හොඳ පෝස්ට් එකක්.

      ඇන්ටනි ප්‍රනාන්දු නම මතකයි හොඳට. ඇන්ටනි ඇලෙක්සැන්ඩර් කියන්නෙත් මෙයාද? දන්කොටුවෙත් හොඳට සයිකල් පදින අය බිහිවුනා. ඒ වගේම තමයි රාගම කඳාන පැත්තත්.

      මම කියන්නේ ඩිලාන් ස්ටෑන්ඩර්ඩ් පැදලා ගොඩ එන එවුන්ට තමයි රේසින් දෙන්න ඕන. රේසින් බයික් එකක් ගන්න ගමේ ළමයින්ට බැහැ. දක්ශයෝ ඒ නිසා හැලෙනවා. ස්ටෑන්ඩඩ් පැදලා උඩට එන අයට රජයෙන් රේසින් බයික් දීලා වැඩේට බස්සන්න ඕන. ආපහු මේක ගොඩ දාන්න පුළුවන්. ඔය අදහස සුමනවීරත් වරක් කිව්වා.

  12. //හෙන්ඩර්සන්ගේ රෝදය ගැලවිලා ගිය කතාව අපේ තාත්තා මට කියලා තියෙනවා පොඩි කාලේ,,එයත් ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් රේස් පැදලා තියෙනවා..අපේ අම්මාව බලන්න රාගම ඉදන් කටුනායකට හැම උදේකම එයා බයිසිකල් ට්‍රේනින් වෙන්න යනගමන් තමයිලු ආවේ.ලේක්හවුස් එක ලගින් ඉවරවෙන රේස් ,ගෝල්ෆේස් එක ලගින් ඉවරවෙන රේස් බලන්න මාවත් ඕනේ තරම් ගෙනියලා තියෙනවා.. ඒ ඇතිතේ මතක් උනා ඔයාගේ ලිපියෙන් …ඔය රේස් පදින අය හරිම ආදරෙන් ඒ සයිකල් පරිස්සම් කරන්නේ. ස්තුති .

    • ඒක තමයි ඔමා සයිකල් කතා හරි රසවත්. කටුනායක කටුනේරිය පැත්තේ සයිකල් රේස් ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි ගුවන් හමුදාව. ඒ අය සයිකල් රේස් වලට හරියට උදව් කරා.

      ඔමාගේ තාත්තා වගේම අපේ තාත්තා මාමා ගමේ අවුරුදු උත්සවවල රේස් පැදලා තියෙනවා. හරියට රේස් පදින අයගේ වැඩේම බයිසිකලේ එක්කම ඔට්ටු වෙන එක. පිහිදානවා, ග්‍රීස් කරනවා, රෝද කරකවනවා, පෙඩ්ල් කරකවනවා..ඔය වගේ වැඩ කෝටියයි. ඉස්සර ගමන් යන්න වෙනම සීට් එකයි රේස් පදින්න වෙනම සීට් එකයි කියලා දෙකක් තිබුනා.

  13. කෑගල්ල නගරයේ ඔරලෝසු කනුව ළඟ සිට බයිසිකල් රේස් බැලුවේ 1960 දශකයේ. 1970 දශකයේදී අවිස්සාවේල්ලේදී බැලුවා මතකයි. අපි වතුර ගැහුවේ කොහේ හරි ඈතක වුනත් තියන ටැප් එකකට ගාඩන් හෝස් එකක් හයි කරලා. පාරේ නිකම් යන බයිසිකල් කාරයන්ටත් වතුර ගහනවා. උන් අපිට ගහන්න ආවම කෑගල්ල නගරයේ එදා හිටිය ලොකුම ගණන් කාරයා ජෙරල් (ඔහු 1971 කලබල සමයේ ඝාතනයට ලක්වුනා) අපිව බේරාගන්නවා. ඔය ඔබ කියන සියලුම තරග කරුවන්/කාරියන් තුල එදා තිබුණු කැපවීම සහ ආත්ම විශ්වාසය අද ඉන්න අය අතර නැතිදෝ කියලා හිතෙනවා. බයිසිකල් පැදීමේ තාක්ෂනය පවා හරි හැටි නොදැන එදා 1960 දශකයේදී හිතේ හයියෙන් පැදපු අයගේ කැපවීම ගැන කියන්න වචන නැහැ.

    • විචාරක……60 දශකයේ ගොඩාක් බර්ගර් කට්ටිය සයිකල් රේස් පැදීම කරලා තියෙනවා කියලා සමහර ලිපිවල තියෙනවා. හැමිල්ටන් වැන්ට්විස්ට්, ආචී කීල්, ඒ වගේ තව අය ඉඳලා තියෙනවා. ඒ කාලේ ලංකා සවාරියේ පළවෙනි තෑග්ග රුපියල් දාහක් සහ කුසලානයක්. තුන්වෙනියාට ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් දීලා තියෙනවා. එහෙමට මේ ගැන ලියවිලා නැහැ.

      හිතේ හයියට බයිසිකල් පැදීම තමයි එදා වෙලා තියෙන්නේ. විචාරක හරියටම හරි.

  14. සුමනවීරගේ දස්කම් තාමත් අප්පච්චි කියනවා , වෙලාවකට හිතෙනවා මේ රූපවාහිනිය ඇවිත් අපේ ජීවිත වල තිබුණු සුන්දරත්වය නැතිකළා නේද කියලා. අද ඔය තරම් බයිසිකල් රේස් මැරතන් ගැන උනන්දුවක් නැත්තේ ඔය අටමගල නිසාද කොහෙද? කමල් පාලිතත් ඉතාලි හරි ජපාන හරි සංචාරයක් ගිය ගමන් ආපහු ආවේ නෑ . ඕකට හේතුව අන්තිමේදී මේ මිනිස්සුන්ට සමාජේ ඔලුව කෙලින්තියන් ජීවත් වෙන්න තරම් ආර්ථිකයක් නොතිබීම තමයි මම හිතන්නේ

    • ඩිලාන් says:

      සුමනවීර දක්ශ කදු නගින්න,බොනී තැන්න,සුමනවීර කදු නැගලා සෑහෙන ඉස්සරහට යනවා තනියම,,ඉතින් තැන්න ලේසියෙන් යනවා,මම හරිද අරූ..කමල් පාලිත පැන්නේ නෑ බොනී එක්ක වසන්ත කුමාර පැන්නේ.තව දෙන්නෙක් පැන්නා,,ඉතාලිය පැනපු සෙට් එකක් ඉන්නවා මට හම්බ වෙලා තියනවා,,පොඩ්ඩක් මගේ පෝස්ට් එකේ ලියලා තියනවා
      http://sonodilan.blogspot.it/2013/07/blog-post.html

      • ස්තුතියි ඩිලාන් (y)

      • @ ඩිලාන්……උඹ හරි. ඒක තමයි සුමනවීරගේ ගේම් ප්ලෑන් එක. සුමනවීර බොහෝ වෙලාවට බන්ච් එකේ පදින්නේ නැහැ. මොකද බොනී, හෙන්ඩර්සන් වගේ අයත් එක්ක තැන්නේ ස්පීඩ් කරන්න එයාට අමාරුයි. ඒ නිසා සුමනවීර හැම තිස්සෙම බන්ච් එක කඩාගෙන වේගයෙන් ඉස්සරහට යනවා.

    • @පවුලිස්….රූපවාහිනිය නිසා ගොඩාක් බාහිර සමාජ ක්‍රියාකාරකම් අඩුවුනා කියලා තමයි මමත් හිතන්නේ. හැබැයි මේ රටේ නම් ඔය සයිකල් රේස් එකක් මැරතන් එකක් වගේ තියනකොට මිනිස්සු ඒ ඒ තැන්වලට රොක් වෙන එක නම් අඩුවක් නැහැ. හැම රෙද්දක්ම මාකටින්නේ බං. ඒවායින් ගැලවෙන්න බැහැ. එහෙම නැතුව මේවා රඳා පවතින්නෙත් නැහැ.

      ක්‍රිකට් හැරෙන්න අනිත් බොහොමයක් ක්‍රීඩා කරන අයගේ තත්වය කනගාටුදායකයි (විශේෂයෙන් ලංකාවේ. ). අතින් කයිට් වැඩ. ආත්ම තෘප්තිය විතරයි.

  15. damith says:

    අනු ගනන්වල මුල බයිසිකල් රේස් රැල්ලක් වගෙ තිබුන.දැන්නම් ගොඩාක් අඩුයි.මගෙ යාලුවෙක්ගෙ අයියත් ඔය අනුගනන්වල රැල්ලට අහුවෙච්ච පාර තාමත් පදිනව.කසාදයක්වත් බදින්නෙ නැතුව ඔකම කරනව.දැනුත් උදෙට ප්‍රැක්ටිස් කරනව දැකල තියෙනව.එත කවදාවත් ගමෙ රෙස් එකකවත් පලවෙනිය වුනෙ නැ මම දන්න හැටියට.දෙක තුන නම් වුනා.මිනිහගැන පව් කියල හිතෙනව මට වෙලාවකට.

    • දමිත්……මමත් ඔහොම අය කිහිප දෙනෙක් දන්නවා. සමහරුන් නම් ෆිට්නස් ගැන හිතලා තමයි දිගටම පදින්නේ. ලේසි පාසු වැඩක් නෙමේ. මම දන්න එවුන් නම් කසාද බැඳලා 😀

      සුමනවීර, ඇන්තනි සිමන්ස් අවුරුදු පනහෙන් ඉහල රේසුත් පැද්ද බව මම දන්නවා.

  16. මමත් ඉස්සර කාලයක් සයිකල් රේස් බැලුවා පානදුරේ අලුත් පාලම උඩ ඉදන් ……… කෙලින්ම ප්ලාස්ටික් බාල්දි වලට ගගෙන් වතුර පුරවා පුරවා ගහනවා රේස් පදින අයට හා නිකන් පාරේ සයිකල් පැදන් යන අයට …. අන්තිමට ගුටිත් කාලා තමයි ආතල් එක ඉවර වෙන්නේ

    • රාළේ…..පාරේ යන බයිසිකල් කාරයින්ටත් වතුර ගහන එක අපිත් කරනවා ඉස්සර. මට මතකයි පාන් පෙට්ටිය බැඳගෙන එන පාන් කාරයටත් වතුර ගහනවා. ගමේම මිනිස්සු නිසා එච්චර අවුලක් වුනේ නැහැ.

      ගාළු පාරත් හරි ප්‍රසිද්ධයි බයිසිකල් රේස් වලට.

  17. වෙනදා වගේම උඹ මාව නිතැතින්ම අතීතයට ගෙන ගියා. මම උඹ තරම් රේස් පිස්සකු නොවූවත් ලංකා සවාරියට සවන් දීමට හා අනුරාධපුරයේ පැවති රේස් නොවරදවාම නැරඹුවා මතකය. රේස් කරැවන්ගේ මෙන් අපේ බයිසිකල්ද ටියුන් කර ගැනීම අපේ සිහිනයක් විය.
    උඹ සඳහන් කල එන් කරැණාරත්න ආවේ අනුරාධපුරයෙනි. අපි ඔහුට සයිකල් කරෑයැයි කීවෙමු. ඔහු මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

    සංගීත සංදර්ශන පිස්සකු වූ මම උඹේ සංදර්ශන කථාව එනතුරැ දෑස් දල්වා හිඳිමි…
    උඹට ජය!!

    • රේස් පදින අයගේ බයිසිකල් හැදුවේ වෙනම වින්කල් බාස්ලා සෙට් එකක්. ඒවාට රජ සැලකිලි. අපේ පැත්තෙත් ලංසි බුවෙක් පැද්දා. ඔය බයිසිකල් වින්කලේ කොකු දෙකේ එල්ලලා ග්‍රීස් ගාලා ඉටිරෙදි වලින් ඔතලා තමයි ෆුල් සාත්තුව දෙන්නේ.

      සයිකල් කරූ පස්සේ කාලෙක සයිකල් ෆෙඩරේශන් එකේ සභාපතිත් වුනා මගේ හිතේ.

      සංගීතේ දාමු හෙට අනිද්දා දිහාට.

  18. රවුමක් ගසා ගෙදර පැමිණි විගස ගොඩ වූයේ වර්ථමානයේ “යුගාන්තය” කියවීමටය. සුමනවීර කන්දට පොර වූ අතර බොනිපස් තැන්නට පොර විය. සුමෙනේ, කඩුගන්නාවද බයිසිකලයේම ගිය බව දැක්කෝ පවසති. සුමනවීරගේ නෑ වෙන මල්ලි කෙනෙක් අපත් සමග ඉගෙන ගත්තේය. ඌ පන්තියේ උන්නේ නාමල් බේබී වගේය. ඒ කිව්වේ මොකක්ද කියා උඹලාට තේරෙන්න ඇතිය. බොනිපස් ජපානේ අවුරුදු ගානක්ල් සයිකල් පැදලා දැන් මෙහේ ඇවිත් ඉන්නවා කියා තවත් සයිකල් පිස්සෙක් කිව්වේය. වසන්තා කහපොලාඅරච්චි ලස්සන්සම ලස්සන කෙල්ලය. ඉස්සර හිටපු නිලියන් අස්සේ. වසන්තාත් සමහර විට යට ලීයෙන් වඩිනවාය. ඇය ඒ තරම්ම ලස්සනය.

    මට හොඳින් මතක “බ්‍රිස්ටල් සවාරිය”ය. පට්ට ආතල් සින්දු කෑල්ලකුත් එක්ක, “බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු” ඉරිදා රෑ 8.15 ගෙන ආවේ ප්‍රේමසර ඈපාසිංහය. පසු කාලීනව ප්‍රේමසර සමඟ එකට වැඩ කිරීමට ලද අවස්ථාව දෙයියෝ දුන්නු එකක් විය හැකිය.

    දැන් මක්කු සයිකල් පදිනවාද කියා කියන්න දන්නේ නැතිය. කමල් පාලිතගෙන පසු. ඒකත් හමුදාකරණය වෙලාය. නිකන් එකෙක් ඉස්සර උනොත්, හමුදාවෙන් බය කරලා නවත්තනවාය. ඊට පස්සේ හමුදාවේ එකා දිනනවාය.

    ප්‍රංශ සවාරිය ඉඩක් ලද හැම වෙලාවකම නරඹනවාමය. අපේ ඒවා එක්ක බැලුවාම ඒක තියෙන්නේ දිවිය ළෝකයේය. දිවිය ළෝකයක් ඇතැයි යන කියමන මා පිලිගත්තේ, ප්‍රංශ සවාරියේ පෙන්වනා, ප්‍රංශයේ සුන්දර දසුන් හා තරඟ අවසානයේ මල් කළඹක් සමග උම්මා දෙන්න දිව්‍යාන්ගනාවෝ දකිනා විටය. අපේ එහෙම දෙන්න ආවානම් වෙන්නේ අර උඩ කතන්දර කිවා වැඩෙය. මොකෝ සයිකලේ පොල්ලක් තියෙන නිසා. පොල්ලේ ඉන්ඳාගෙන කන්දේ හෝ තැන්නේ එකසිය ගානට පාගන එක නම් බුදු ෂුවර්ය.

    • ඩිලාන් says:

      මටත් සුමනවීර හමුවෙලා තියනවා කඩුගන්නාව කන්ද නගිනවා,වෙසක් දවසක අපි දන්සල් කන්න යනකොට,,එතකොටත් එයාට වයසයි,,ඒත් කොල්ලා වගේ රේසින්ග් බයිසිකලේ කඩුගන්නාව නැග්ගුවේ,,හරිම ප්‍රියමනාප මනුස්සයා

    • /// වසන්තා කහපොලාඅරච්චි ලස්සන්සම ලස්සන කෙල්ලය. ඉස්සර හිටපු නිලියන් අස්සේ. වසන්තාත් සමහර විට යට ලීයෙන් වඩිනවාය. ඇය ඒ තරම්ම ලස්සනය.////
      @මාතා……මම නොකිය කිව්වේ ඕකය. වසන්තා මගේ ප්‍රියතම වූයේ සයිකල් පැදීම පමනක්ම නිසා නොවේය. අපි පොඩි එවුන් වුනත් කතා කරේ වසන්තාගේ ඇඟ පසඟ ගැනය. මේක කියෙව්වොත් වසන්තා ආඩම්බර වෙනවා නිසැකය. උසට සරිලන ශරීරය බලන්න ආසාය. සයිකල් පදිනවිට තවත් දැකුම්කළුය. උඹ කියන්නේ ඇත්තය. යට ලීයෙන් ඇය වඩින්නේ ඒ කාලේ මාලණීලා ගීතලාත් එක්ක අත්වැල් බැඳගෙනය. ඇය පාදුක්ක, වග ප්‍රදේශයේ පදිංචිවී සිටි බව යාන්තමට මතකය.

      මචෝ….ප්‍රේමසරලා, පාලිත පෙරේරලා ගුවන් විදුලිය තුලින් ක්‍රීඩාවට දුන්න තල්ලුවනම් කියලා වැඩක් නැහැ. ඒ පිටිපස්සේ හිටිය යෝධ ශක්තිය කාල්ටන් සෙනෙවිරත්න කියන ප්‍රවීන මාධ්‍යවේදියා කියලා මම අහලා තියෙනවා. පස්සේ කමල් දේශප්‍රිය සහ කැළුම් ශ්‍රීමාල් යමක් කරා.

      ප්‍රංශ සවාරිය නම් ඉතින් කානිවල් එකක් වගේ තමයි. ඒවාට කොච්චර වියදම් කරනවා ඇද්ද …ඒ වියදමට හරියන්න උපරිම තෘප්තියක් ක්‍රීඩකයාටත් ප්‍රේක්ෂකයාටත් ලැබෙන බව පත්තර කියවන්කොට තේරෙනව.

      • අපි කප් ගහපු 90 දශකයේ යටලීයෙන් වඩින අය සඳහාම වෙන් වෙච්චි සම්භාව්‍ය සාහිත්‍ය කෘති, පත්තර, සඟරා, චිත්‍ර කතා තිබුන නොවැ … ඉතින් නිළියෝ එච්චර ඉස්සරහට ආවේ නැහැ 😀

  19. ඉස්සර කාලේ මටත් ස්පෝර්ට්ස් බලන්න පුදුම උණක් තිබුනේ. ලංකාවේ බයිසිකල් රේස් මතක නෑ. ඒත් ගුරුගේ ගේ ඇඩ් නම් මතකයි. ගමේ ළඟ හින්ද වෙන්න ඇති ගුරුගේ තොරණ නම් බලලා තියෙනවා. කොහෙද ඉතින් ඩොටේ හිටපු අපි කොළඹ එන්නයැ වෙසක් බලන්න.
    සයිකල් රේස් අන්තිම කාලේ බලන එක නතර කල තරම්. අපි බලාපොරොත්තු තියාගන්න හැම ක්‍රීඩකයම අපිට දරාගන්න බැරි විදියට ක්‍රීඩාව පැත්තකින් දමලා ගහලා ඩොපින් කේස් වලට අහු වුනාට පස්සේ මෙහෙම වුනා වෙන්නත් ඇති.
    ඔය ලංකාවෙන් පනින ක්‍රීඩකයෝ අනන්තවත් මට හමුවෙනවා. ඩොකියුමන්ට්ස් හදාගන්න වගේ වැඩ වලට. ඒ වෙලාවට මම අහනවා අපරාදෙනේ ඔයාලා මෙහේ එන්නේ. ලංකාවෙන් හිටියා නම් හොඳ පිළිගැනීමක් හෙම තියෙනවානේ කියලා. බොහෝ අය ඇත්ත නොකීවට ( පොර කමට) මේ ළඟදි වුශු වගේ ක්‍රීඩාවක් කරන කෙනෙක් කීවේ ස්පෝර්ට්ස් කරන්න දෙන ගාන තනියමබෝඩිමට ගෙවලා කෑම ගන්නවත් මදි කියලා. ගොඩාක් ළමයි දුප්පත් ගම් වලින් එන නිසා පවුලක් ජීවත් කරවන්නත් තියෙනවලු. ඊටත් වඩා කැපිලි ලු හැමතැනම. මම හිතන්නේ අපේ රටේ බොහෝ අය විදේශගත වෙන්නේ මේ වගේ නෙග්ලෙක්සන් හින්දා.

    • රංගි…..ඇත්තටම ඩෝපින්ග් තමයි ක්‍රීඩාවට හෙනේ. කවුද හිතුවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ලා වගේ අයත් එහෙමයි කියලා. ලාන්ස්ගේ කේස් එක සයික්ලින්ග් වලට කළු පැල්ලමක්. ඔය පළවෙනියාවත් අන්තිමයාවත් නෙමේ. දැන් නම් ගොඩාක් දුරට අහුවෙනවා නේද?

      මටත් මෙහෙදී හම්බවෙලා තියෙනවා ලංකාව නියෝජනය කරමින් මෙහේ ඇවිල්ලා නැවතුනු ක්‍රීඩකයෝ. එක්කෙනෙක් කබඩි. අනිත් කෙනා වොලිබෝල්. තව ඕන තරම් ඇති. ඒ අය කියන්නෙත් රංගි කියන කතාවම තමයි. එවැනි ක්‍රීඩා කරලා ලබා ගන්න පුලුවන් දෙයක් නැහැ කියලා ලංකාවේ. කබඩි ක්‍රීඩකයා රට නියෝජනය කරන්න ඇවිත් තියෙන්නේ පොලියට සල්ලි අරන්. එක අතකින් උන්ට වරදක් කියන්න බැහැ. තව කාලයක් යනකොට ඉන්දියාවට ගියත් ආපහු එන එකක් නැතිවෙයි.

  20. රන්ජිත් පාලිත කියලත් සයිකල් රේස් කාරයෙක් හිටියා මතකද , රත්තනපුරේදි බස් එකකට යට වෙලා මැරුනා , එයත් හමුදාවේ

    • අටමෝ…..මට නමෙන් මතක නැහැ. හැබැයි ඔය ඇක්සිඩන්ට් එක යාන්තම් මතකයි. ආමි එකෙන් ආපු මට හොඳටම මතක කෙනා තමයි එල්.එච්.සරත් නොහොත් ආමි සරත්. හොඳ වැඩකරු. පස්සේ ආමි කැප්ටන් වුනා. ජාතික තේරුම් කමිටුවේත් හිටියා.

      මීමනගේ පෙරේරා කියලත් ආමි පොරක් හිටියා.

  21. magenama says:

    A.M. සුමනවීරගෙන් පසු ඔහුගේ පවුලේ දියණියන් හා පුතෙකු සයිකල් ක්‍රීඩාවට යොමුවිය.මොවුන් අසරණ නොමැති මුත් පහුගිය කාලෙක දේශපාලන හේතු මත ඔවුන්ගේ නිවසට ගිනි තබන ලදී.

    • අපේ අයියලා දන්නේ ඉතින් ඔය වගේ වැඩ තමයි. සුමනවීරගේ දුවලා දෙන්නා නම් දක්ෂයි කියලා පත්තරවල දකින්න ලැබුනා. පුත්තු දෙන්නාත් පදිනවා කියලා අහලා තියෙනවා. කොරියාවේන් පුහුනුකරුවෝ ගෙන්නන වෙලාවේ රටේ ප්‍රවීනයින්ට තැනක් දුන්නා නම් ඉවරයිනේ.

      හිම පියලි බ්ලොග් එක මාතලන්ගේ සින්ඩියෙ නැද්ද දැන්? ගොඩ දවසකින් දැක්කේ නැහැ.

      • magenama says:

        පුත්තු දෙන්නගෙන් එක්කෙනෙක් නම් පූර්ණ කාලීනව සයිකල් පදිනවා.අනික්කෙනා ජයවර්ධනපුර සරසවියට තේරිලා තිබුනා.සමහරවිට එයාලට දැන් කාලේ ඉස්සරහට එන්න සමාජ සංස්කෘතික ප්‍රශ්න එහෙමත් ඇති.අනික අද බයිසිකල් තරඟත් දුප්පත්.
        හිම පියලි බ්ලොග් එක තියෙනවා.මේ දවස් වල අලුතින් පෝස්ට් දැමීම පොඩ්ඩක් අඩු කරා.ඉස්සරහට ලොකු වැඩක් බලාගෙන.

      • ලොකු වැඩේට සුබ පැතුම්!

  22. /////සුමනවීරලා, ජිනදාස අල්විස්ල ස්ටැන්ඩර්ඩ් බය්සිකල් වලින් කප් ගහපු කාලෙ රේසින් අංශය දිනපු මොරිස් කුමාරවේල්, ඇන්තනි සිමන්ඩ්ස් වගෙ කට්ටිය, දැන් මොකද තත්වෙ දන්න කව්රුවත් ඉන්නවද?////////

    මෙන්න මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ රත්ගමයා 2011 මැයි 18 ලියපු “පාපැදියෙන් අවසන් ගමනට” කියන පෝස්ට් එකට..මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ අප අතරින් වියෝවු ඔබ්සර්වර් නොහොත් ඔබා මහත්මයා විසින් (18 MAY 2011 14.06) . මට හිතුනා මේ කමෙන්ට් එක මෙතනට ගෙනත් තියන්න. රත්ගමයාගෙන් අවසරයක් ගත්තේ නම් නැහැ. ඒක වරදක්ද කියා මම නොදනිමි.

    Reply

  23. Anonymous says:

    මම නම් මෙයාල ගැන දන්නෙ නෑ. උඩින් කියල තියනව වගේ මේ වගේ ක්‍රීඩා වැඩිය කතා බහට ලක් නොවුණත් දක්ෂයො කියන්නෙ ක්‍රිකට් ගහන අය විතරක් නෙමේ නෙ.

    • ඒක තමයි ඇත්ත ඇනෝ….අනිකුත් ක්‍රීඩා කරන අය විදෙස් සංචාරයක් ගියාම නෑවිත් ඉන්නෙත්, ක්‍රිකට් ක්‍රීඩකයින් එසේ නොවන්නේත් ඔය විෂමතාවය නිසාම තමයි. ඒක පොඩි පහේ වෙනසක් නෙමේ.

  24. Anonymous says:

    මරු ඕයි…දැන් ඉතින් ඔන්න ආයෙත් ට්‍රැක් එකේ…..

    • ඇනෝ…..ගනන් ගන්න එපා මචෝ….හිටපු ගමන් ට්‍රැක් පනිනවා. හිටපු ගමන් ආපහු ට්‍රැක් එකට එනවා. ඕක තමයි ජීවිතේ හැටි.

  25. Kandyan says:

    සුමනවීරගේ සයිකල් ජීවිතය බයිසිකලෙන් ගමනක් යද්දි වෙච්ච ඇක්සිඩන්ට් එකකිනුයි නතර උනේ කියලයි මතක.

    • කැන්ඩියන් කොහෙද බන් උඹ ගිහිල්ලා හිටියේ. මම උඹ කියපු කතාව දන්නේ නැහැ. අවුරුදු 50න් උඩ අයගේ රේසුත් පැද්දා. දැන් නම් හැටත් පැනලා ඇති. තව සුමනවීර පරපුරක් ඉන්න එක ලොකු දෙයක්.

      • Kandyan says:

        මේ දවස්වල මව්බිමේ වැඩ (පත්තරේ නෙවේ 🙂 ) ටික දොහකට… වැඩිකාලයක් ගමනේ..
        උඹගේ කතාව කියෙව්වට පස්සේ ඉන්ටනෙට් සර්ච් එකක දැම්මා සුමනවීර ගැන. එතකොට මේක හම්බ උනා. පුළුවන් වෙලාවක බලපන්.

      • බොහොම ස්තූතියි කැන්ඩියන්. අවුරුදු 20කට 25කට පස්සේ ඒ රූපයවත් දැක්කේ. මම දැන් මේක බැලුවා. මම කියපු සමහර කාරණා මෙතන කියැවෙන එක මට හරි සතුටක්..මගේ මතකය ගැන පොඩි ගැම්මක් ආවා.හොඳ නිවාඩුවකට සුබ පැතුම්!!

  26. Dinesh says:

    මෙහෙම කෙනෙක් ගැන ඇහුවමයි.. ලංකාවේ ඉතින් සයිකල් රේස් ගැන කතා වෙන්නේ අවුරුදු කාලෙට විතරක්ම නිසාද මන්දා ඒ..

    • සුමනවීර විතරක් නෙමේ දිනේශ් කතා කල යුතු තව බොහෝ අය ඉන්නවා. අපිට ක්‍රිකට් තරමටම උඩට ගන්න තිබුනු තවත් ක්‍රීඩාවක් තමයි සයික්ලින්ග්. කොහෙද ඉතින් ඒවා හිතන්න පුළුවන් හාදයෝ නැහැනේ..කොරියන් කෝචස්ලා නම් ගෙනාවා රටේ මිනිස්සු සිටිද්දි.

  27. රාජ් says:

    උඹේ මතකෙ නං නියමයි. ක්‍රීඩාවෙ සජීවී ආතල් එක ගන්න පුළුවන් හොඳම තැනක් තමයි බයිසිකල් සහ මැරතන්. මම නං කැමතිම වතුර ගැහිල්ලට.

    • රාජ්…..වතුර ගහන එක රේස් තරමටම ජනප්‍රිය වැඩක්නේ…මෙහේ ඉන්නවා ලංකාව වෙනුවෙන් ඔලිම්පික්ස් දුවපු මැරතන් ශූරයෙක් ඉන්ද්‍රජිත් කුරේ කියලා. එයා මෙහේ පේස්ට්‍රි ශොප් එකක වැඩ. රස්සාව නම් මොක වුනත් කමක් නැහැ. හැබැයි යුතුකමක් තියෙනවා උන් ගැන හොයලා බලන්න. කොහෙද ඇමතිලාට නඩත්තු නඩු නිසා වැඩ වැඩියි.

  28. ඉස්සර සුමනවීරට මාර බැක්අප් එකක් දෙන්න ලොකු සෙනගක් හිටියා. මට මතකයි උන් කෑගහනවා මෙහෙම ;
    වීර වීර අපේ වීර
    වීර වීර සුමනවීර

    • ඔය බලපන් එක එක එව්වා මතක් වෙන හැටි. සුමනවීරට බැකප් එක දුන්නේ රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත මැණික් මුදලාලිලායි ඒ පැතිවල ,හයිලේවල් පාරේ මිනිස්සුයි. බොනීට ,හෙන්ඩරසන්ට රාගම කටුනායක මීගමුව පැත්ත. හෙන්ඩර්සන් පැද්දේ ගුවන් හමුදාවට නිසා ඒ බැකප් එකත් තිබුනා.

      යු අවර් සන්
      හෙන්ඩර්සන්……කියලා කියපු බර්ගර් කට්ටියත් හිටියා.

  29. සිරා says:

    අපූරු ලිපියක්…මම කථාව කියවන ගමන් මනසින් චිත්‍රරූප මවාගත්තා…මට මතක කාලෙදි තමයි සුමනවීර අවසන් වතාවට බයිසිකල් රේස් පැදපු කාලෙ…ඒ වෙද්දි ඔහුගෙ ජවය ගිලිහිලා තිබුන නිසා ශූරතාවයන් කරා ආවෙ නෑ…රත්නපුරේ ඉදන් කොළඹ වරායෙ වැඩට බයිසිකලෙන්ම ආව බව මමත් අහලා තියෙනවා…වරක් ජපානයේදි පිරිසක් අතුරු දහන් වුනේ තරගය අතරතුරමයි…බයිසිකල් ධාවකයො තරග වදින අවස්ථාවෙ බයිසිකල අතුරු මාර්ග වල ධාවනය කරලා තමයි ලංකාවෙ නම තියලා වහං වුනේ…

    රත්නෙ / ජෝරිස් ආනන්ද සමග පාරට පැන්න හරකාද අද ජීවතුන් අතර නැත. ඒ වාක්‍ය එලෙස විය යුතුය.

    • සිරා…….සුමනවීර කොලොන්නාවේ පෙට්‍රෝලියම් එකේ තමයි වැඩ කරේ. ජැපෑන් ගිය කට්ටිය කරපු ඒ වැඩේ නිසා කාලයක් අපිට පිටරට තරඟ ලැබුනේ නැහැ කියලත් කියනවා. බොනිපස් ආපහු එන්න ඉඳලා අන්තිම මොහොතේ එයත් අතුරුදහන් වුනා කියලා කියනවා.

      ඔව් සිරා හරකත් දැන් නැතුව ඇති.

  30. ඔයාගෙ කතා වලින් කතා රසයට වඩා ලැබෙන දැනුම ගොඩයි… කතා ස්ටයිල් එක නරකයි කියනව නෙමේ ඒත් ඒ වගෙන් මට ලැබෙන දැනුමට මං කැමතී
    අද නං සයිකල් රේස් අඩුයි…
    තියෙන එක දෙකත් ත්‍රී ෆෝසස් නැත්තං නෑ… ඇත්තටම දැං වෙනකොට ලංකාවෙ හුගක් ක්‍රිඩා වලට ත්‍රී ෆෝසස් නැත්තං දෙය්යන්නෙම පිහිටයි

    • මහේෂ්…..අනේ මම දන්නේ නැහැ ඔහේ ලියනවා. මම හැම තිස්සෙම කියනවා වගේ මේවා ඇතුලේ අහුලාගන්න දෙයක් තියනවා නම් අහුලාගන්න. මම ලියනදේටත් වඩා වැදගත් දේවල් කමෙන්ට්ස් තුලින් මතුවෙනවා. ඒ නිසාම සංවාදයක් ඇතිවෙනවා. මම ඒකට හරිම කැමතියි. ඒ දේවල් ඉදිරියට වැදගත් වෙයි. නමුත් බ්ලොග්ස් තුලින් දැණුම වඩා ගැනීම කියන අදහසට වඩා මම දකින්නේ බ්ලොග්ස් යනු ආත්ම ප්‍රකාශනයක් කියන කෝණයෙන්. ඒ අරූට මූට නොව Aru ට හිතෙන හැටි 😀

  31. මේ කියන එව්වා දකින්න ඈත්තේ ගන්දබ්බ හරි ගිය ආත්මේ හරි වෙන්න ඕනා හෙහ් හෙහ්.
    //අදත් මම මේ සටහන ලියන්නට ගත්තේ සංගීත සංදර්ශන සහ බයිසිකල් රේස් ගැන ලියන්නට සිතාගෙන වුණත් අවසානයේ බයිසිකල් රේස් වලටම සීමා විය. //
    මෙන්න මේ ට්‍රැක් පැනිල්ල තමයි සුපිරිම. මොකුත් මග ඇරෙන්නේ නැතුව ට්‍රැක් පැනලා හරි ලියන එක වටිනවා අරූවත් අවුල් වෙන්න පෙර හෙහ් හෙහ් හෙහ්

  32. Miyuru says:

    කමල් පාලිත කොට්ටාව හන්දියේ කමල් වීඩියෝ කියලා වීඩියෝ ෂොප් එකක් දාගෙන ඉන්නවා…

    • ඒ කමල් පාලිත කියලා මම දැන් දන්නේ. සයිකල් සම්මේලනයටත් සම්බන්දයිද කොහෙද.

  33. කොච්චර පරණ උනත් මට මේකට කමෙන්ට් එකක් දාන්න හිතුනා…
    1999 දී මටත් බයික් උණක් හදුනා, ඒ ලෙවල් පැත්තක දාල තව බයික් පදින එකෙක් එක්ක ට්‍රයල් යන්න පටන් ගත්තා…
    එක රේස් එකක් පැද්දා, හතරවෙනිය හෝ පස් වෙනියා උනේ…
    අපි ට්‍රයල් යද්දී සමහර දවස් වල සුමනවීර ව හම්බ වෙනවා…
    පොර දවසක් අපි එක්ක කතා කරලත් ගියා, තාත්තගේ තර්ජනයෙන් පස්සේ මම රේස් පැදිල්ල පැත්තක දාල ඒ ලෙවල් කරන්න සෙට් උනා…
    ඊට පස්සෙත් සුමනේ අපේ ගෙවල් පැත්තෙන් කඳු ටික නැගගෙන රත්නපුර දිහාට යනවා මම සෑහෙන වතාවක් දැකල තියෙනවා, ඒ කාලේ මිනිහ පැද්දේ ස්ටෑන්ඩඩ් බයික් එකක්…

  34. මට අවුරුදු දහයක් දොළහක් වෙන කාලේ කොට්ටාව බ්‍රහ්මණගම (280 හොරණ පාරෙ) තිබුණු “ගෝල්ඩන් ෆ්ලවර්ස්” ක්‍රීඩා සමාජය සංවිධානය කරපු අවුරුදු උත්සව වල කප් එක කමල් පාලිතගෙන් පිට ගිය බවක් මතක නැහැ. ඒ දවස් වල කමල් පාලිත තමයි චැම්පියන් !

    ඒ දවස් වල අපේ මාම “ගෝල්ඩන් ෆ්ලවර්ස්” ක්‍රීඩා සමාජයට බැහැල වැඩ කරපු නිසා පොඩි උනාට අපිට සෑහෙන්න සැලකිලි තිබ්බ අවුරුදු උත්සව සහ සයිකල් රේස් බලන්න ගියහම තිබ්බ.

    කමල් පාලිත නැති තැන තවත් දක්ෂ පාපැදි කරුවෙක් වුණු “මීමා” හෙවත් මීමනගේ තමයි ඉස්සරහට ආවේ. මීමණගේත් මම හිතන්නේ හමුදා සේවයට බැඳුනා, ඔහුට ඉදිරියට එන්න කමල් පාලිත උදව් කරා කියල අහල තියනව.

    කමල් පාලිත වගේම මීමනගේත් පස්සේ කාලේදී අන්තර්ජාතික තරඟ වලට පුහුණු වීමට ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් අත ඇරලා රේසින් බයිසිකල් වලට මාරු වුණා වගේ මතකයකුත් තියනවා.

    අර කිව්වත් වගේ මට මතක විදිහට කමල් පාලිත විතරයි ජපාන සංචාරයෙන් පස්සේ ආපහු ආවෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s