අවුල් වන්නට පෙර (64)..ඇඳිරි නීතිය..

1983 ජූලි මාසයේ විසිපස් වෙනිදා වෙනවිට කොළඹ සහ අවට ප්‍රදේශයන්හී ඇඳිරි නීතිය පනවන ලදි. එනමුත් තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බව හෝටල් පරිපාලනය මගින් අපට දැන ගන්නට ලැබිණි. ගුවන් ගමන් අවලංගු නොවූ සංචාරකයින්, කටුනායකට රැගෙන යාම ඒ ඒ ආයතන විසින් සීරුවට කරගෙන ගියමුත්, සංචාරකයින් සිටියේ තදබල අවිශ්වාසයකින් හා තැතිගැන්මකින්ය. බොහෝ සංචාරකයින් හෝටලයේම රැඳි සිටි බව මතකය.

මේ වනවිට රටේ තත්වය ඉතාම බියකරු අඩියකට පත්වී තිබුණත්, හෝටලයේ සේවකයන් අතර යම් ප්‍රීතිමත් සහ උද්‍යෝගීමත් වටපිටාවක් නිර්මාණය කිරීමට ලොක්කන් සමත්විය. නිවෙස් බලා යාමට කැමති අය හැරලවීමට සියල්ල සංවිධානය කර තිබුණත්, බොහෝ අය ස්වෙච්ඡාවෙන් නතරවී ,ආයතනයේ ගෞරවය රැකගැනීමට යුහුසුළු විය. මට මෙන් අප වැනි තරුණ තරුණියන්ට නම් මෙය එක්තරා ආකරයක විනෝදජනක සේවක එකතුවීමක් ලෙස දැනුණා නම් පුදුමයක් නොවේ. මෙහෙම එකතුවීමක් දකින්නට හෝ විඳින්නට වෙන්නේ, වාර්ෂික විනෝද චාරිකා හෝ ක්‍රීඩා උත්සවයේදි පමණය. බරපතලම ගැටලුව නම්, එක් වැඩ මුරයක් සඳහා පැමිණි සේවකයින් පිරිසක් සමගින් පමණක්, මෙතරම් කාර්ය බහුල හෝටලයක් කෙසේ පවත්වා ගෙන යා හැකිද යන්නය. අවන්හල් හය හතෙන් එකක් හෝ දෙකක් තාවකාලිකව වසා දමන්නට තීරණය විය. පිටතින් අමුත්තන් නාවත්, නැවතී ඉන්නා පිරිසටවත් අවම සේවයක් හෝ ලබාදීමට සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. කාමර තුන්සීයකට අධික ප්‍රමාණයක අමුත්තන්ය. වැඩේ ලෙඩේ වෙන පාටය.

ඔබරෝයි හෝටලයේ ඉහළ කළමනාකාරිත්වය පවත්වාගෙන ගියේ විදේශිකයන්ය. මෙවැනි අවස්ථාවක ඔවුනට කල හැකි දෙයක් නොවේ. අපේ අවන්හලේ ලොක්කා වැඩේ අතට ගත්තේය. හෝටල් නඩත්තු අංශයේ සිට ලොන්ඩරිය, කාමර සැකසීම, මුළුතැන්ගෙය ආදී වශයෙන් සේවා අංශ විස්සකට වඩා පවත්වාගෙන යායුතුය. කොල්ලුපිටිය පොලිසියෙන් ඇඳිරිනීති බලපත්‍ර ලබාගත් මොහු, හෝටලයේම වෑන් රථයකට අප දෙදෙනෙක්ද නංවාගෙන දැන් සේවක සේවිකාවියන්ගේ නිවෙස් කරා යන්නේ, කොහොම හරි තව පනහක් හෝ හැටක් රාජකාරියට කැන්දාගෙන ඒමටය. මේ ගමනටට සම්බන්ධවීමට ලැබීමත් මා ලැබු අනගි අත්දැකීමක් බව කියා තැබීම වටී.

මහා කලබලකාරී අවස්ථාවක ,ඇඳිරි නීතිය පවතින මොහොතේ කොළඹ නගරය පුරාත්, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, වත්තල, ජාඇල නගර හරහා කරක් ගසමින් අවට සිදුවන්නේ කුමක්දැයි දැක බලාගැනීමට ලැබෙන්නේ හමුදා හෝ පොලිස් නිලධාරියෙකුට පමණක් විය යුතුය. රස්තියාදුවට කොහොමත් කැමති මට මෙයත් බොහො වටිනා අවස්ථාවක් විය. දකින දකින තැන කළු දුමාරයය. අතරින් පතර තවමත් කොල්ල කෑම්ය. හමුදා වාහනද එහේ මෙහේ සැරි සරයි. කිසිවක් සමථයකට පත්වී නොමැත. අප කිසිත් නොදොඩා ගමනේ යන්නෙමු. ඒ අවාසනාවන්තම සිද්ධිය අප දකින්නේ, නුගේගොඩ අනුලා විදුහල ආසන්නයේදීය. පාර අයිනක ගිනිගන්නා මිනිස් සිරුරකි. ඒ දසුන තවමත් මගේ හිත තුළ වරින් වර සක්මන් කරයි. මම ඒ ගැන තවත් නොලියන්නෙමි. ඒ දෙමළෙකුගේ විය යුතුය. 1989දී අප සිංහලුන් ගිනිගන්නා අයුරුත් දුටු මිනිසුන්ය. අපේ රටට මේ විපත් දැන්නම් හොඳටෝම ඇතිය.

අප ගොඩවැදුණු නිවෙස්වලින් ලැබුණු ප්‍රතිචාර විවිධාකාර විය. සමහරුන් ස්වෙච්ඡාවෙන්ම වාහනයට ගොඩවිය. සමහරුන් සැඟවුණු බවක් පෙනුණි. සමහරුන්ගේ ගෙදර උදවිය තම දූ දරුවන්, ස්වාමියා ගෙදරින් බැහැර කිරීමට අකැමති විය. එය ඉතා සාධාරණ බැව් කිවයුතු නොවේ. දන්නා කියනා අපේ වර්ගයේ මිත්‍රයින්ව නම් මොහාන් ද සිල්වා, වාහනයට නංවාගත්තේ හැඳ සිටි සරම හෝ කොට කලිසම පිටින්ය. ඒ මුහුණු අදත් මගේ මතකයේ තිබේ. දැන් නම් අපිට දැනෙන්නේ අප විනෝද ගමනක් යෑමට එකට එකතුවෙනවා යන හැඟීමකි. ඒ සතුට මොහොතකට අමතකව ගොස්, යළිත් සතුටක්ම බවට පත්වූයේ අප සමග සේවය කල දෙමළ ජාතිකයින් දෙදෙනෙකුගේ නිවෙස් සොයා ගැනීමෙන් පසුවය. අපේ ලොක්කා ඒ පවුලේ අයවත් වාහනයට දමාගෙන හෝටලයට රැගෙන ආවෝය. ඒ මොහොත ඉතාමත් හැඟීමබර වූ බව නිසැකය. ඒ පවුලේ අයව අප හෝටල් ලොබියේ රඳවා ගෙන කෑම බීම අවශ්‍ය අඩුම කුඩුම සම්පාදනය කළේ අපේ යුතුකම් ලෙසය. දිල්හානිගේ පියාට මම හැන්දෑවට හැන්දෑවට බියර් වීදුරුවක් ගොස් පිළිගැන්වූ විට ඒ මුහුණේ තිබු අවිහිංසක ප්‍රතිචාරය අදත් මගේ දෑසට කඳුළු එක් කරයි. ඔහු දින කීපයක් නිදාගත්තේද ලොබියේ සෝපාවකට හිස හේත්තු කරගනිමින්ය. ඒ පසුපති මහතා ගුණ යහපත් වයසක මිනිසෙකි.

යම් යම් සුලු අඩුපාඩු සහිතව හෝ හෝටලයේ දැති රෝද දැන් සක්‍රීයව කැරකෙන්නට පටන් ගති. දිනපතා රැගෙන එන අලුත් මාළු, පලතුරු, එළවළු ලොරි නම් පෙනෙන්නට නැත. ඒවා අපට අදාළ නොවේ. ඒවා ලොක්කන්ගේ වැඩය. විවාහ උත්සව සහ අනිකුත් උත්සව ඩිනර් ඩාන්ස් සියල්ල අවලංගු වේ. ඒ කාලයේ ලංකාවේ තිබු හොඳම සහ වැඩි ප්‍රමාණයක් රඳවාගත හැකි උත්සව ශාලාව වූයේ ඔබරෝයි හෝටලයේ, ගෝල්ඩන් බෝල් රූම් නම්වූ ශාලාවය. අද ඒ ශාලාව කොටස් දෙකකට වෙනකර දෙතුන්සීයක් පමණවූ අපගේ නිදන ශාලාව වී හමාරය. කොටසක කෙල්ලෝය. කොටසක අපිය. විනෝද සාගරයකි. පොඩි පොඩි කොටු පැනීම් නොවුණාද නොවේ.

සිටිනා සේවක ප්‍රමාණය වැඩ මුර තුනකට බෙදා, සියලුම අංශ මනාව හසුරුවා ගෙන යාමට කළමනාකරුවෝ අති දක්ෂයෝ විය. සේවක ආපනශාලාව පැය විසිහතරේම විවෘතය. කවදත් ඉස්තරම් සහ රසවත් ආහාර පානයෙන් සේවකයන්ට සැලකු ඔබරෝයි හෝටලය, මේ කලබල අස්සේත් එය පෙර සේම පවත්වා ගෙන ගියේය. එදා ලංකාවේ හෝටලයක් සතුව තිබු විශාලතම ලොන්ඩරිය සියලු දේ පිරිසිඳු කරදෙමින් අනගි සේවාවක් ඉටු කළේය. ලොන්ඩරි කළමනාකරුව සිටියේ ඉන්දියාවේ ඔබරෝයි හෝටල් පාසලෙන් පුහුණුව ලැබු ප්‍රභාකරන් නම් ද්‍රවිඩ ජාතික තරුණ මහතෙකි. මමත් ශෙරුණිකාත් එක වැඩ මුරයක සේවය කෙරුවෙමු. අප රාත්‍රී දහය, එකොළහ වන විට සේවය අවසන් කර , කෙල්ලෝ සහ කොල්ලන්ගේ විනෝද සාගරයට එකතු වන්නෙමු. මට කෙල්ලෝ හෝ ශෙරුණිකා පිළිබඳ මහා උනන්දුවක් නොවීය. නමුත් මම ඇය පිළිබඳ සොයා බැලුවෙමි. අපේ ගැන්සිය සෙට් වෙන්නේ ඔබරෝයි ටෙනිස් කෝට් එකේ හෝ කාර් පාක් එකේය. එය ඉතාම සුන්දර දින කිහිපයකි. නමුත් රටම ගිනි ජාලාවකි.

අපේ ගැන්සියේ පහළොවකට වැඩි ප්‍රමාණයක් විය. කෑමට, බීමට, විනෝදයට ඇබ්බහිවු සෙට් එකක් යැයි කීවාට වරදක් නැත. හෝටලයේ අනිත් අංශවල සේවකයින්ට නොලැබුණු වාසියක් අවන්හල් සේවකයාට තිබුණි. එය කාටත් හොරෙන් කරගත යුතුව තිබුණි. ඒ නම් බියර්, විස්කි, බ්‍රැන්ඩි, වයින් වරප්‍රසාදයයි. එය කරගන්නා සැටි අප දැන සිටියෙමු. මේ සියල්ලද කර පින්නාගෙන, මුළුතැන්ගෙයි මිතුරන් අපටම විශේෂයෙන් හදාගන්නා, සුද්දන්ටවත් නොලැබෙනා බයිට්ද හදාගෙන හඳපානේ සෙට් වෙන්නෙමු. ලෝකයේ තිබු බොහෝ බීම වර්ගත්, කෑම වර්ගත් රස විඳින්නට හැකිවූයේ හෝටල් සේවකයෙක් නිසා බව කිව යුතුවේ.

මොහාන් ද සිල්වා නම්වූ අපේ ලොක්කාගෙන්ද අපට ඇති පදමට බියර් සැපයුමක් ඔය දිනවල ලැබුණේය. අප පිස්සු කෙළියත්, පිළිවෙළට වැඩේ කරනා අය බව ඔහු දැන සිටියේය. අපේ සෙට් එකේ දක්ෂ ගිටාර් වාදකයෙක් සිටියේය. සේනක නම්වූ ඔහු අද ජීවතුන් අතර නැත. ගාල්ලෙ පොරක්වූ ඔහු අපි සමග දෙහිවල වළේ බෝඩිම්වී සිටියේය. මේ කෑම, බීම, සංගීතය කෙසේ සපයාගත්තත්, ගංජා සුරුට්ටුවක් හෙවත් ජොයින්ට් එකක් ගැසිමේ තදබල උවමනාවක් සහ පුරුද්දක් අපිට එකල තිබුණි. හෝටලයට හිරවී සිටිනා නිසා, කොම්පඤ්ඤ වීදියට යාගන්නත් බැරිය. අපි ගාලුපාරටත්, කොම්පඤ්ඤවීදියටත් මැදිව බලා සිටිනෙම්මු.

ගාලුපාරේ ඔබරෝයි හෝටලය අසලම ඇති කුඩා පාලම යටින් දිවෙන්නේ රේල් පාරය. පාලම අසලින් රූටාගෙන පහළට බැස්සොත් රේල් පාර දිගේ කොම්පඤ්ඤවීදියට යා ගත හැකිවේ.ඔය පාලම අසලම මුහුද පැත්තට වෙන්නට ඒ කාලයේත් මාසාජ් පාලර් එකක් තිබුනා මතකය. වෙන මසාජ් පාලර්වලට ගොස් තිබුනත් මම ඔතනට නම් ගොස් නැත. ගිය අය දන්නවා ඇත. අප දෙදෙනෙක් මේ ඇඳිරි නීතිය අස්සේ ඔතනින් බඩගා ගෙන ගොස් “ඔපරේෂන් ස්ලේව් අයිලන්ඩ්” ජය ගත්තෙමි. ඒ කාලයේ කොළඹ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ තිබුණේ ගංජා, අබිං සහ ඉතා සුලු වශයෙන් හෂිශ් නම් මත්ද්‍රව්‍යත් පමණි. ඉහළ පෙළේ උදවිය අතරේ LSD වැනි ඉතාමත් විරල මත්ද්‍රව්‍ය තිබු බව අසා ඇත්තෙමි. නමුත් ඒ කාලයේ දැක තිබුණේ නැත. ගඟ අයින වත්තේ ගංජා විකුණු හාදයා කිව්වේ කර්ෆිව් නිසා බඩු නොමැතිබවය. හිස් අතින් යන්නටත් බැරිය. අපි මොහුව හොඳින් දන්නා එකෙකි. පින්සෙන්ඩු වීමෙන් අනතුරුව මොහු අපිට ඕන නම් අබිං දෙන්නම් යැයි පැවසීය. අබිං සිරිල් නම් වයසක බුවා අප හඳුනාගත්තේ එදාය. අබිං ගුලි දෙකක්ද මිලදී ගෙන අප රේල් පාර දිගේ ගිය පාරෙන්ම නැවතත් හෝටලයට ගොඩ වුණෙමු. ඒ ගිය ගමනින් පසු අප කිහිප දෙනෙක් ජීවිතේ පළමු වතාවට අබිං වැළඳුවෙමු. එය තවත් අවාසනාවන්ත පරිච්ඡේදයක ආරම්භය විය. ඒ මිතුරන්ගෙන් එකෙක් හෝ දෙදෙනෙක් හැර අන් අය බොහෝමයක් යුරෝපයේ, ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බව මම දනිමි.

එදා අප තරුණ කාලයේ පවත්වාගෙන ගිය ඒ කිසිම නරක පුරුද්දක් ප්‍රවර්ධනය කිරීම හෝ උලුප්පා දැක්වීම මගේ අරමුණ නොවන බව වටහාගන්න. ඔබ එවන් කුඩා මනසකින් හෙබි අතදරුවන් නොවන බව මගේ විශ්වාසයයි. මේ මගේ කතාවයි. මම එය හෙමින් සීරුවේ ලියන්නෙමි.

එදා 1983 කළු ජූලියේදි අප හා සමගම තම කාලය, ශ්‍රමය කැප කෙරු අපේ සහෘද සේවකයන් වෙනුවෙන් නිකුත්වු සහතිකයක සටහන්වු වාක්‍යය කිහිපයකින් කොටසක් ගෙන මේ සටහන අවසන් කරන්නෙමි.

“May I add that without your wholehearted support,it would not have been possible for the Hotel to have maintained the high standards of service it is renowned for the world-over. The generous compliments received from guests only go to emphasise the excellent team spirit and performance you and your colleagues put in during this period. The Lanka Oberoi is proud of you!!”

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

71 Responses to අවුල් වන්නට පෙර (64)..ඇඳිරි නීතිය..

  1. ඒ දවස් වල ඔබරෝයි එකේ එක ශිෆ්ට් එකකට හා සම්පූර්ණ සේවක ගණන් ආසන්නව කොපමණද?

    • හරිම අමාරුයි මතක් කරගන්න. අපේ රෙස්ටොරන්ට් එකේ විතරක් හිටියා
      manager 1
      senior captain 1 හෝ 2
      captains 4
      stewards 8
      asst.stewards 4
      එකතුව විස්සක් එක ශිෆ්ට් එකට රෙස්ටෝරන්ට් එකේ විතරක්.
      ඒ රෙස්ටොරන්ට් එකේම කිචන් එකේ හිටියා
      sous chef 1
      chef de partie 1
      1st commis 2
      2nd commis 4
      3rd commis 4

      ඒකෙම වොශින් අප් එකේ හිටියා අඩුම 3ක් එක ශිෆ්ට් එකට.සර්විස් බාර් ටෙන්ඩර් කෙනෙක් හිටියා. ඒහෙම බැලුවාම එක ශිෆ්ට් එකක එක රෙස්ටෝරන්ට් එකක 35-40 වගේ හිටියා. රෙස්ටෝරන්ට් ඔක්කොම රෙස්ටෝරන්ට්ස් සහ ෆුඩ් ඇන්ඩ් බෙවරෙජ් අවුට්ලට්ස් දහයකට වඩා තිබුනා. මම අයින්වෙන එක කාලයක රූම්ස් 600ක්ට ආසන්න ඔපරේට් වුනා. ඩිපාර්ට්මන්ට්ස් පහලොවකට විස්සකට වැඩියො.

      ඉකොන් මට හිතාගන්න බැහැ. දාහකට වඩා සේවකයෝ හිටියා ශුවර් එකටම. මේක ලොකු ඔපරේශන් එකක්. මට අදහසක් තිබුනා ඒ ඒ ඩිපාර්ට්මන්ට් එක ගැන ලියන්න. පස්සේ කම්මැලි හිතුනා. ෆ්‍රන්ට් ඔෆිස්, රෙසිප්ශනිස්ට් ඇන්ඩ් බෙල් බෝයිස්ලාම හිටියා සීයක් විතර. ඔබරෝයි සිකුරිටි හිටියා සීයක් විතර. ‘

      මේක කියවනවා මගේ මස්සිනා. ඔහු ටාජ් සමුද්‍රා එකේ හිටපු කිචන් ස්ටුවර්ඩින්ග් මැනේජර්. දැනට පිටරටක හෝටලයක ඉන්නේ. එයා දළ අදහසක් දෙයි සමහර විට.

  2. සමනල සීරීස් එක , මතක මංපෙත් දිගේ යන සොමිබර විනෝද චාරිකාවක් නම් මේ යන්නේ අඳුරු බිංගෙයක් හරහායි. බිංගෙය කෙලවර ආලෝකය ඇති බව සිතමි.

    //…අද ඒ ශාලාව කොටස් දෙකකට වෙනකර දෙතුන්සීයක් පමණවූ අපගේ නිදන ශාලාව වී හමාරය. කොටසක කෙල්ලෝය. කොටසක අපිය. විනෝද සාගරයකි. පොඩි පොඩි කොටු පැනීම් නොවුණාද නොවේ//

    හෙහ්, හෙහ් 🙂

    • බස්සෝ………සමනල සීරිස් එකයි, බිංගෙවල් සීරිස් එකයි දෙක එකට යන්නේ තව සමනලියෝ ඉන්නවා 😀 ඒ අතර තුර දාහක් සිදුවීම්, දාහක් චරිත. අනේ මන්දා කොහොම ගලපගෙන ලියන්නද කියලා.

      ඔය ඔබරෝයි ජීවිතය තමයි මගේ ජීවිතයේ රසවත්ම අවුරුදු කිහිපය. ඒක තමයි මම ආපු ගමනේ සියලුම දේක පදනම. මම ඒවා ගැන ලියන්න ගියොත් මහා කාලයක් ලියන්න වෙනවා.

    • ආයෙ බොරු කියන්නෙ මොකටැ, මම කතාවෙ මේ හරිය වෙනද වගේ රස විඳින්නෙ නෑ. ඒත් මේ කොටස අත් හැරියොත් ඒක අසම්පූර්ණ කතාවක් වෙනවා.

      මට මේ හරිය, කියවන එක කරවිල කනව වගේ – ටිකක් තිත්තයි ( ඒත් ඒ තිත්ත ඇත්ත මේකයි). කරවිල වුනත් කන්න ඇහැකිකි විධි තියනවා : බැදලා සලාද හදලා එහෙම. තිත්ත අඩු කිරීමට අවශ්‍ය රසවත් අඩුමකුඩුම කතාවේ අඩංගු කිරීමට අමතක නොකිරීම ගැන අරූට ස්තූතියි.

      අරූ කිව්වා වගේ අපිට භීෂණය ආගන්තුක දෙයක් නෙමෙයි. ඒත් කළු ජූලිය විශේෂයි. මම වරක් දැක්කා “කාලය” බ්ලොග් එකේ හෙඩිමක් “දෙමල වීම නිසා දෙමලාට ඇති ප්‍රශ්ණය කුමක්ද?” කියා. උත්තරේ මෙතන තියනවා.දෙමෙල්ලු අරම කලා, මෙහෙම කලා වගේ බයිලා, මේ අපරාධය සාධාරණීකරණය කරන්න, ලැජ්ජානැති ජාතිවාදියො තාමත් පාවිච්චි කරනවා. උතුරේ කොටි, හමුදාව මැරුව නම්, ඒකට ගන්න ඕනෙ යුධමය ක්‍රියාමාර්ගයක් උතුරෙදි. බලාගෙන ගියාම ජේ.ආර් පප්පගෙ අත්වලත් අඩු නැතුව ලේ ගෑවිල තියෙනව නෙව, ප්‍රේමදාසගෙ ගාණටම?

      • බස්සෝ……දේශපාලනය ගැන නම් ලියන්න අප්පිරිය තමයි. ඒවා අමතක කරමු.

        කරවිල තිත්ත වුනාට රසයිනේ. අපි අමු කරවිල ග්‍රේට් කරලා පොල් දාලා සම්බල් හදනවා. නැත්නම් බීෆ් කරි හදනකොට කුට්ටි කපලා දානවා. මස් එකත් පොඩි තිත්ත රසක් එක්ක, පොඩි පන්ච් එකක් දෙනවා. හදලා බලන්න.

  3. අරූගෙ ලිපි දිගටම කියවමින් රස වින්දා ඒත් යන්තමට හරි අකුර

    • ඉහළ කොමන්ටුවේ ඉතිරි ටික මේං මෙහෙමයි .. අකුරු දෙකතුනක්වත් අත රිදුම් දෙද්දි කොටන්න වැලමිට හරියෙ වෙච්ච අබග්ගය සනීප වුනේ අත වලංගු වුනේ දැන් අරූ

      • ගුණේ මහත්තයාගේ අසනීපය වඩාත් හොඳින් සුවවෙයි කියා හිතනවා. ඒ මොනවා වුනත් බ්ලොග්ස් තුල රැඳී සිටීම ගැන සතුටක් තියෙනවා. අපේ වයස වැඩිවෙනකොට රනින් රෙපයාර්ස් දාගෙන තමයි දුවන්න වෙන්නේ 😀

      • ඒකනේ තවමත් දකුණු අතේ නුහුරු බව සම්පූර්ණයෙන් හැර ගිහින් නෑ අරු

  4. Transylvania says:

    නුගේගොඩ අනුලා විදුහල ආසන්නයේදීය. පාර අයිනක ගිනිගන්නා මිනිස් සිරුරකි. ඒ දසුන තවමත් මගේ හිත තුළ වරින් වර සක්මන් කරයි. මම ඒ ගැන තවත් නොලියන්නෙමි. ඒ දෙමළෙකුගේ විය යුතුය. 1989දී අප සිංහලුන් ගිනිගන්නා අයුරුත් දුටු මිනිසුන්ය. අපේ රටට මේ විපත් දැන්නම් හොඳටෝම ඇතිය. ////////// I am speechless

    • වෙච්ච දේවල් වුනා. අපිට මෙහෙම හිතෙනවා නම්, ඒ ඒ පවුල්වල අයට කොහොම හිතෙනවා ඇද්ද? මේක ඒක ජාතියක, එක කුලයකට සීමාවෙච්ච වේදනාවක් නොවේ. මිනිසා කියන මූලික සංකල්පයෙන් මිදිලා තව මිනිහෙක් නසන්න පුලුවන්ද කියන එක හිතන්නවත් පුලුවන්ද..

  5. 30 වසරක ශාපයට අඩිතාලම දැමු පප්පා දිනේවා…
    88-89 සඳහා මුලික අඩිතාලමත් උන්නැහේගෙම නේද…
    බුවා මේ වෙද්දී සමහර විට අපායේ ව්‍යවස්ථාව වෙනස් කරලා යම රජ්ජුරුවන්ව බලයෙන් පහ කරලා එහෙ විධායක ජනාධිපති වෙලා ඇති බොහෝ දුරට…
    ඇයි ඉතින් එයාගෙන් පස්සේ මුණුබුරාට අවස්ථාව දෙන්නත් එපැයි…

    • Udara says:

      ඔබ දන්නේ බොහොම පෙිඩි දෙයයි ලොකු පුතා.

    • ලොකු පුතා…..පප්පා අවුල් ජාලාවක් නිර්මාණය කරා. එය දැනුවත්ව කරාද, තවත් සිදුවීම් රාශියක ප්‍රතිපලයක්ද කියන්න තරම් මට ලොකු විග්‍රහයක් නැහැ. නමුත් ඔහු දඩබිමට පාර කැපුවා. මේ සියල්ලක්ම සුද්දාගේ සිට කළු සුද්දා හරහා අද පාලකයා දක්වා වග කිව යුතු ප්‍රශ්න. මේවාට විවිධ වර්ණයෙන් විග්‍රහ තියෙයි. පප්පට ගැලවීමක් නැහැ.

      • 88-89ක් ආවේ 83 සිදුවූ පක්ෂ තහනම් කිරීමේ ප්‍රතිපලයත් හා බද්ධව විය හැකියි. එහෙම හිතන්න ගොඩක් සාධක තියෙනවා. මොකද 71න් පස්සේ විජේවීර පාර්ලිමේන්තුව සහ ඡන්ද ක්‍රමය පිලිබඳ විශ්වාසයක් තැබුවා. 82 ජනමත විචාරනයට එරෙහිව ජවිපෙ නීති මාර්ගයට පැමිනීමත් මේ තහනමට හේතුවක් බව පේනවා. එතනත් පප්පා වරදක් කරා,, ඡන්ද සිතියම් රෝල් කරා.

  6. මට මේ ලිපි වල හුගක් තැන් වලදි දැනුනු එකක් තමයි ඒ කාලේ සහ අද කාලෙ යන දෙකේම කියන්න තරම් පැහැදිලි වෙනසක් නෑ කියන එක.එදා තරුණයා වගේම තමයි අද තරුණයා හිතන්නෙත්.පරිසරය වෙනස් සිතුවිලි සමානයි. පසුකාලීන පරිණත වැඩිහිටියන් ආකල්පමය වාරණය පිළිබද පුදුම සහගතයි(මන් මේ කියන්නෙ තරුණ කොල්ලෙක් සම්බන්ධ ලියවිල්ල)
    ජාතිවාදිය ඇතිකරන්නෙ පවතින දේශපාලනය……
    ක්‍රියාවේ යොදවන්නෙත්…දුක් විදින්නෙත්….අහිංසක මිනිස්සු……

    • ///////කියන්න තරම් පැහැදිලි වෙනසක් නෑ කියන එක///////

      ඔව් බං රස්තියො. අඳින පලඳින විදිහේ වගේ බාහිර වෙනස්කම් හැර, එදා තරුනයාගේ සිතුවිලි සහ හැඟීම්ම තමයි අද තරුනයාටත් තියෙන්නේ. නමුත් මට පෙනෙන සහ දැණෙන වෙනස තමයි, අද තරුනයා සමාජයත් එක්ක කායික ගනුදෙනුව ගොඩාක් ඈත් කරගෙන තියෙනවා. සමාජයෙන් පිටස්තර ජීවියෙක් වෙලා තියෙනවා. එදත් එහෙම අය හිටියා. අද ඒක බොහෝම වැඩිවෙලා. මම හිතන්නේ තාක්ශනයේ දියුනුවත් එක්ක අද යම්කිසි තැනක හිරවෙලා සහ තනිවෙලා. එදා අපි වලියක් දැක්කොත් ඒක බේරන්න හදනවා ශාරිරිකව මැදිහත් වෙලා. අද ඒ වලියම ෆොටො ගහලා, සයිබරයේ ආතල් ගන්නවා. එහෙම නැත්නම් ගහ ගත්ත එක හොඳද නැද්ද කියල වාදකරමින් ගහගන්නවා. ඒ ඇරෙන්න එදා තරුනයාට තිබු ලිංගික සහ වෙනත් විනෝදාත්මක අවශ්‍යතාවයන් අද තරුනයා, හෙට තරුනයා කියලා වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒක අපි කවුරුත් වටහා ගත යුතුයි.

  7. maathalan says:

    ඔය දවස්වල උඹලයි ලොක්කගෙ සැක්‍රටරි නෝනා උන්නා අපේ ගෙවල් ළඟ

    ඇනා අබේරත්න… උඹට මතක ඇති මම හිතන්නේ… සුදුම සුදු සුද්දියෙක් වගේ ලස්සන ලේඩී…

    • මාතා…මගේ මෙමරි එක අවුල් නැත්නම් එයා ඈන් අබේරත්න. වැදගත් විදිහට ජොබ් එක කරගෙන හිටියා කියා දන්නවා. ස්ටෙෆාන් ෆයිෆර් කියලා ජර්මන් කාරයෙක් තමයි අපේ ජෙනරල් මැනේජර් වෙලා හිටියේ මුලින්ම. නොම්බර එකේ ජෙන්ටා. එයාගේ සෙකට්‍රරි තමයි මෙයා. ඒ දවස්වල එක්සෙකිට්ව් ජොබ් එකක්. මේ නෝනා ඒ ඌශ්නය අපිට දැම්මේ නැහැ. වෘත්තියේදි නියම ලේඩි කෙනෙක්. පිටස්තර ජීවිතේ කොහොමද මම දන්නේ නැහැ.

      • maathalan says:

        අපේ නේබර්… මට මාර ආදරෙයි.. මදාවියා නිසා.. රත්තරන් මනුස්සයෙක්.. මගේ යාළුවෝ කීප දෙනෙක්ම ජොබ් වලට දාලා දුන්නා.. අදත් ඒ වගේම ඉන්නවා… කුහක නෑ නේ පොඩ්ඩක්වත්..

      • ඒක තමයි මාතා මම කිව්වේ නෝනා කෙනෙක් කියලා. එහෙම අය හරිම අඩුයි මේ සමාජයේ. අහවල් එක නළලේ තියාගන්නවා පුංචි වාසියක් ලැබුනාම. අපි නොදන්න සීනි බට්ටෝ,

      • අවුරුදු තිස් ගානකට පස්සෙත් මතක තියෙනවා කියන්නේ සුපිරි කොලිටියක් වෙන්නම එපැයි නේද….

  8. nadil says:

    mage gataluwa.. thamayi .. kalu juleeyata para kapuwa deshapalakayinwa ayi api kare thiyagena yanne kiyana eka

    • මේක තමයි නදිල් පොබ්බම් එක. අපි කවුරුත් ඕවට වගකියන්න ඕන. අපි දේශපාලකයා කියන නිර්වස්ත්‍ර වානරයාව කරේ තියාගන්නවා. කරට නැග්ග ගමන් දෑත ලංකරලා අපේ කට වහනවා. ඊට පස්සේ ඌ අපේ හිසේ සිට දෙපතුලටම පහරමින් අපව ගඳගස්සනවා. මේක කළු ජූලියට විතරක් නෙමේ අනිත් හැම දේටම පොදුයි.

      කරේ ඉන්න ඕන එවුන් බිම. බිම ඉන්න ඕන එවුන් කරේ.

  9. Manoj says:

    පොඩි පොඩි සිදුවීම් වලින් අයිසින් කරලා තිබ්බට අරු අයියාලා මුහුණ දීලා තියෙන කළු ජුලිය නරක් වෙච්චි කේක් ගෙඩියක්.

    • හපොයි ඔව් මනෝ. ඒ පිලිබඳ දන්නා අය මේ ගැන හොඳින් කියාවි. දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් අහලා බලන්න.

  10. මැලේ රාළ says:

    මේ කතාවම මම කලිනුත් සැරයක් ඇහැව්වා කියාන්කෝ හිටං…… මට කිව්වේ B P පිරිස් කියලා ඔබරෝයි එකේ වැඩ කරපු බාර්මන් කෙනෙක්………. සමහර විට අරු අයියා දන්නවා ඇති පොරව………

    • මැලේ බෝයි……සෑහෙන කාලෙකින් බ්ලොග්ස් අස්සේ දැක්කේ.

      අසූතුනේ ඔබරෝයි හිටියා නම් මාව දන්නවා ඇති. මමත් දන්නවා ඇති. බාර්මන් කෙනෙක් නම් හොඳටම මතක තියෙන්න ඕන. ඒත් මට නමින් මතක් වෙන්නේ නැහැ. මේ සිදුවීම් මේ විදිහටම වුනා බං. අවුරුදු 34කට පස්සේ මෙහෙමවත් මතක තියෙන එක ලොකු දෙයක්.

  11. මාත් 1983 දී ගණේමුල්ල ස්ටේෂමේ එල්ලා මරා දමා සිටි එක් මිනිසෙකුව ද, 1989 ජූලි මාසයේ දී, පිළියන්දල දොලේකන්ත අසල හිසට වෙඩි තබා මරා දමා සිටි එක් තරුණයෙකු ද දැක තිබේ.

    සදහටම ඒ ඇති!

    • X - Porter says:

      1983 පිටකො‍ටුවෙ බෝ ගහ යට මිනී උඩින් පැන ගියෙමි. මැනිං මාර්කට්‍ටුව අසල අපි හැමදාම රටකජු ගන්නා කොලුවා රට කජු කරත්තයත් සමගම පිච්චෙනවා දුටිමි. ජාති මාමක පිංවතුන් කඩ කඩා ටීවී, කැසට් මෙකී නොකී වස්තු කරතබා යනු දුටිමි. පන අදින මිනිසුන්ගේ ඔලු උඩට කලුගල් අතඅරින නොමිනිසුන් දුටිමි. මේ සියලු දේ දකිමින් ලේ ගලන ඔලුක‍ටු චප්ප උන අතපය වෙන්වුන බාගෙට පිලිස්සුන මිනී උඩින් පනිමින් වමනය දමමින් කො‍ටුව පොලීසියට ඇවිද ගියෙමි.

      1989- පහ හය එකට දමා ටයර් උඩ පිච්චෙන තරුනයන් දු‍ටුවෙමි. කටවල් කපාදමනු දමනු ලැබූ පුකට පිහිපාරල් ලැබූ මිනිසුන් දුටිමි. ගල් කටස් තුවක්කු උරුක්කරගත් සහෝදරයන් ගෙට පැන අපගේ හැඳුනුම් පත් ‍රැගෙන යන හැටි දුටිමි. ‍තාත්තාගේ ඔලුවට පිස්තෝලය තියා ව්‍යාපාරයට සල්ලි කොල්ලකෑ සහෝදරයන් දුටිමි.රැට ඇසෙන වෙඩි සද්ද ගනන් කර උදේට කැලනිගඟේ නාන තො‍ටුපොලේ ඇති නිරුවත් මල සිරුරු රෑ අසුනු වෙඩි හඬවල් ගනනට සමාදැයි බැලීමි. පාලම උඩ තිබූ ඔලුක‍ටු කෑලි දත් මස් වැදලි ලේ පැල්ලම් දුටිමි.

      • එක්ස්පො……තව මොනවා දකින්නද…තව මොනවා අහන්නද…ඒ තරම් වියුරු වැටුනු යුගයන් දකින්න ලැබුනද කියා පුදුමත් හිතෙනවා. මම මේ දේවල් දකින්නේ දේශපාලන දෘශ්ඨි කෝණයකින් නෙමේ එක්ස්පෝ. මානුෂික පැත්තෙන්. දේශපාලන හෝ ජාති, ආගම් කෝණවලින් බැලුවොත් කට්ටියක් හොඳ කියයි, කට්ටියක් වැරදි කියයි. ඒත් මනුස්සයෝ හැටියට කිසිම පැත්තක් නොගෙන බලන්න පුලුවන්.

        එක්ස්පොගේ දිග කමෙන්ටුවට තෑන්ක්ස්. උඹ ලියන බ්ලොග් එකක් තියෙනවද…

    • රසිකට මේවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ සිදුවීම් දැකපු මිනිස්සු අදටත් ඉන්න නිසා හොඳයි. නැත්නම් සමහරු හිතයි මේ කියන්නේ බොරු කියලා.
      ////සදහටම ඒ ඇති!////
      When it’s time for me to walk away from something, I walk away from it. My mind, my body, my conscience tell me that enough is enough. (Jerry West American artist)

      • මම 83දී පිච්චෙන මිනී ගණනාවක් දැක ඇත්තෙමි. 88/89 කාලය ගැන හා දැක ඇති මිනී ගැන, සමීපතම අයගේද ඇතුළුව, ඇති අත්දැකීම් ලියනවානම් එය ඉතාම දිගු ලියවිල්ලක් වනු ඇත. මේ කමෙන්ටුව දාන්නේ වැඩිපුර කතා නොකෙරෙන 83ට පෙර පැවති “පොඩි ජූලි” ගැන අනිත් අයගේ මතකය විමසන්නටය. මට ඉතා පැහැදිලිව මතක තිබෙන පරිදි දෙමළ කඩ ගිනිතැබීම, දෙමළ ජාතිකයින් මරා දැමීම හා බඩු කොල්ලකෑම 83 දක්වා වරින් වර දිගටම සිදු වූ දෙයකි. 83 යනු මේ ක්‍රියාවලියේ මස්තකප්‍රාප්තියයි. 1975 පමණ කාලයේ මා ජීවත් වූ නගරයේ සිංහලයින්ගේ වෙළඳසැල් නොතිබූ තරම්ය. තිබුණු කඩ වලින් අඩක් පමණ මුස්ලිමුන්ගේද අනෙක්වා දෙමළුන්ගේද කඩයි. කඩ පමණක් නොව ප්‍රධානම පෞද්ගලික වෛද්‍ය ශාලාව හා සිනෙමා හල අයිතිව තිබුණේද යාපනේ දෙමළුන්ටය. යාපනේ සිදු වූ දෙයක් ගැන පොඩි කට කතාවක් පැතිර යාම හා එයින් අනතුරුව කඩ කඩා බඩු පැහැර ගැනීම හා ගිණි තැබීම මෙන්ම ප්‍රාථමික ක්‍රම වලින් දෙමළුන් මරා දැමීම 83ට පෙර කිහිප වරක්ම සිදු විය. අප සිටි නගරයේ 77 පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද අන්තිමට මේ පහත් තැනින් ගලා ගියේය. මේ සිද්ධි බොහොමයක් මට මතක තියෙන්නේ මගේ පියා මෙවැනි අවස්ථාවල නීතිය හා සාමය රැකීම සඳහා රැකියාවේ වගකීම් මට්ටම් ඉක්මවා ඉතා ක්‍රියාශීලී ලෙස කටයුතු කිරීම හා නගරයේ එවකට සිටි ව්‍යාපාරිකයින් සියළු දෙනාවම ඔහු නිසා අප දැන සිටි බැවිනි. 1975-1981 අතර අඩු වශයෙන් තෙවරක් මෙවැනි “භීෂණ කාල” තිබුණේය. කඩ ගිනිගත්තේය. කඩ ගිණි ගනිද්දී රාජ්, ලිංගම් මුදලාලිලා ගනේෂ්, සුන්දරම් මහත්තයලා යාපනේ ගියේය. මේ ඇතැම් අයගේ දරුපවුල් ජීවත් වුණේ යාපනයේය. මගේ පියා හැකි අයුරින් ඔවුන්ට පණ බේරාගෙන යාපනේ යන්නට පහසුකම් සැලසුවේය. බොහෝ විට මාසයකින් දෙකකින් පමණ පසු, ගිණි නිවුණු විට ඔවුන් ආපසු පැමිණ නැවත ව්‍යාපාර ආරම්භ කළේය. මගේ පියා කිවුවේ ඔවුන්ට “ඉන්ෂුවරන්ස් එකෙන්” සල්ලි ලැබෙන බවයි. එහෙත් හැම විටම මෙවැනි සිදුවීමකින් පසු කඩ කිහිපයක් වැසී ගියේය. සිනෙමා හලද වැසී ගියේය. 1983 වන විට ගිණි තියන්නටවත් නගරයේ දෙමළ කඩ නොතිබුණා විය හැකිය. ඒ නිසා 1983 භීෂණය එතරම්ම විශාල වුණේ නැත. එවර මංකොල්ලකරුවන් කළේ ආසන්න වතු වල ලයින් කාමර වල සිටි එළුවන් හා කුකුළන් පහර ගැනීමයි. 1983ට පෙර මෙවැනි සිදුවීමකදී නගරයේ දුම්කොළ කඩය එහි අයිතිකරුද සමඟ ගිනිතබා ඔහුගේ සිරුර අඟුරු වී තිබුණු අයුරු මට මතක තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන මගේ පියා විශාල ලෙස කණගාටු විය. එතෙක් පැවති භීෂණ වලදී මේ අහිංසක මනුස්සයා ඉලක්කයක් නොවූවේ ඉන්දියන් සාරි හා ගුවන් විදුලි යන්ත්‍ර තිබුණු වෙනත් “සරු” දෙමළ කඩ වල මෙන් මෙහි පැහැර ගන්නට වටිනා දෙයක් නොතිබුණු බැවිනි. ඒ නිසා ඔහුට මෙවැනි අනතුරක් වේයැයි මගේ පියා හෝ ඔහු සිතුවේ නැත. වැඩි අවධානය යොමු වුනේ හැමදාම ගින්නට ගොදුරු වන කඩවල අයිතිකරුවන්ගේ ජීවිත බේරාගැනීමටය. කෙසේ වුවද මගේ පියා ඔහුටද අවවාද කර තිබුණේය. එවිට ඔහු කියා තිබුණේ “අනේ xxxx, අපේ ඉතින් මොනවද ගන්න තියෙන්නේ. මේ සුරුට්ටු දුන්කොළ කාටද ඕනැ වෙන්නේ?” යනුවෙනි. 1983දී කෝලාහල පාලනය කිරීමට රජය උත්සාහ නොදැරීම නිසා තත්ත්වය ඉතා දරුණු වූ බව ඇත්තක් වුවත් මා ජීවත් වූ ප්‍රදේශයේනම් මේ සිද්ධි ඇති වුණේ දශක ගණනක් තිස්සේ සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස මිස අහම්බයකින් හෝ රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන්ම (හෝ වෙනත් පාර්ශ්වයක මැදිහත් වීම නිසා) නොවේ. සුන්දර අත්දැකීම් නොවූවත් මේවා ගැන කතා කළ යුත්තේ භීෂණයේ සැබෑ ස්වභාවය ගැන අත්දැකීම් නැති අයට මේවායේ පොඩි කික් එකක් තිබෙන බව පෙනෙන බැවිනි.

      • ඉකොන්ගේ මේ අදහස් එකතුවට ෆුල් සැලියුට්!!! මේ සියල්ලක් පිලිබඳව නිදහස් මනසකින් කියවීම සහ වටහාගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මම හිතනවා ඉකොන් රට ඇතුලට වෙන්න පලාතක ජීවත්වෙලා හිටිය කෙනෙක් කියලා. ඔය වගේ පොඩි පොඩි කේස් ඉස්සර අවිස්සාවේල්ල, හංවැල්ල, තල්දූව වගේ පැතිවල ඉඳහිට වෙලා තියෙන බව සීයලාගේ බජාර් එකේ කට්ටිය කතා වෙනවා මතකයි. කොළඹට වෙන්න එහෙම වුනා කියලා මතකයක් නැහැ.

      • අරූගේ ගෙස් එක නරක නැහැ. මම හිතන්නේ හැමදාමත් ජනවාර්ගික සුප් එකක් වූ කොළඹ නගරයේ විවිධ ජනවර්ග පිට පළාත් වලට සාපේක්ෂව සංහිඳියාවකින් කටයුතු කරන්නට ඇති බව සහ 83දී මේ සංහිඳියාව තීරණාත්මක ලෙස බිඳුණු බවයි. එයට රජය විසින් තත්ත්වය පාලනය නොකර (සමුද්‍ර වීදිය හැර) නිදහසේ කඩ කොල්ල කෑමට ඉඩ හැරීම හේතු වෙන්න ඇති. කොළඹ 10ට අයත් ප්‍රදේශයක දෙමළ කඩ දෙකකට මැදිව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මගේ (සිංහල බෞද්ධ) ඥාතියෙකුගේ සබ්බ සකල මනාවමත් එක රැයින් අළු දූවිලි වුණා. (මෙය තොග පවත්වා ගත යුතු ව්‍යාපාරයක්) බොහෝ ව්‍යාපාරිකයින් මෙන් ඔහුත් බදු අඩුවෙන් ගෙවීම සඳහා වත්කම් හරියට පෙන්වා නොතිබුණු නිසා රජයෙන් හෝ රක්ෂණ වන්දි ලෙස ලැබුණේ ඉතාම සුළු මුදලක්. ඔහුගේ පියාගේ ව්‍යාපාර උරුමව ධනවතෙකු ලෙස ඉපදී හැදී වැඩුණු එහෙත් දිරිමත් මිනිසෙකු වූ ඔහුට නැවත මුල සිට ගොඩ නැඟෙන්න අවුරුදු 15ක් පමණ දුක් විඳින්න වුණා. ඒවා භීෂණයේ අතුරු කතා.

      • ඉකොන්…..අසූතුන සම්බන්ධව එක එක විග්‍රහ තුල ඩග්ලස් වික්‍රමරත්න 2009දි කරන විග්‍රහයක්. මේක බලන්න. නොයෙකුත් අදහස්. අපි සියල්ලන්ටම සවන් දෙමු. මේ එක අන්තයක්. මම මොහු කියන අදහසට එකඟ නැහැ. නමුත් අහනවා.

      • I don’t agree either but interesting theory!

  12. Pra Jay says:

    //මට කෙල්ලෝ හෝ ශෙරුණිකා පිළිබඳ මහා උනන්දුවක් නොවීය.//

    Hmm

    • හපොයි හපොයි වෙන මොකක් හරි හිතුනද…මේ දවස්වල මාතෘකාත් එක විදිහක්නේ 😀

      ඇත්තටම ප්‍රා…ඔය දවස් ටිකේ පොඩි පොඩි නියම්-අනියම් ටිංටිං වුනා ඔය අස්සේ. මද කිපෙන වයසේ කට්ටියනේ ට්‍රේඩ් එකේ හිටියේ. හැබැයි මම ඕවට නැහැ. අහන්නකෝ අපේ වයිෆ්ගෙන්. අපේ වැඩේම හඳපානේ සුරාව සහ සංගීතය. සේනකගේ ගිටාර් එක විතරයි තිබුනේ.

  13. Anonymous says:

    1983 ජුලි කලබල වෙනකොට මම බදුල්ල මහා රෝහලේ නේවාසික රෝගියෙක් . මගේ ළඟ හිටියේ තාත්තා . මට මතකයි එයාලා කතාවෙනවා ඔන්න විහාරගොඩ පැත්තේ කඩ ගිනිතියලා කලබල පටන් ගත්තා බදුල්ලෙත් කියලා

    • ඇනෝ…..මේ කතන්දරේ පටන් අරන් දින දෙක තුනක් යනකොට රට අභ්‍යන්තරයටත් පැතිරිලා ගියා. රටේ ඇඳිරි නීතිය පැනවුවේ එක පාරටම නොවේ. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රක්කයට පාලාතෙන් පලාතට වගේ. බදුල්ල පැත්තට ගින්න පැතිරෙනකොට රටම එකම කලබලයක් වෙලා මගේ හිතේ.

  14. ravi says:

    83 ජූලි මම හිටියෙ අනුරාධපුරේ..ඒ වෙනකොට කාර්මික විද්‍යාලෙ මම කරපු පාඨමාලාවෙ අවසන් මාස කීපය ගත වෙමින් තිබුනෙ.අපි හිටියෙ අනුරාධපුර නගරයේමයි. ඒ හින්ද කඩ ගිණි තැබීම මංකොල්ල කෑම් එහෙම බොහොම අපූරුවට දැක්ක.අම්මල එපා කියද්දි මායි මගෙ යාලුවොයි බයිසිකල් වල නගරය පුරාම සංචාරය කලා.ඒත් ඔය දහයියාගම කියන දිහා පාර අයිනෙ තිබ්බයි කියන මිනී දෙක තුනක් ඇරෙන්න අනුරාධපුර නගරයෙ එහෙමකට මනුෂ්‍යඝාතන නම් වුනේ නෑ කියලයි මට මතක.

    ඒකට හේතුව කියල කියන්නෙ ඒ කාලෙ අනුරාධපුරේ එස්.පී. වෙලා හිටපු නලින් දෙල්ගොඩ මහත්මයා මෙහෙම කලබලයක් වෙයි කියල කලින්ම හිතල දෙමළ අය වැඩි දෙනෙක් කලින්ම පොලිස් ආරක්ෂාව ඇතුව කඳවුරු කීපයක රඳවපු හින්දලු.යාපනේ හමුදා භටයින් 13 දෙනා ඝාතනය වෙලා දවස් හතර පහකට පස්සෙයි රට පුරා කලබල ඇතිවුනෙ. ඒ හින්ද ඔලුව පාවිච්චි කලානම් ඔය මනුෂ්‍ය ඝතන වැඩි හරියක් වලක්ව ගන්න තිබුන.අනුරාධපුරේ නගරයෙ ටෙලිකොම් ගොඩනැඟිල්ල ඉදිරිපිට තිබ්බ දෙමළ ව්‍යාපාරිකයෙකුගෙ තොගබඩු කඩයක්.ඒක සම්පූර්ණයෙන්ම ගිනිතියල විනාශ කලා. මට මතකයි ඒ කඩේ ඇතුලෙ තිබ්බ තල තොගයක් පිච්චුනා සුමානයක් විතර.

    1985 අවුරුද්දෙ අනුරාධපුරේ බස් නැවතුම්පලේදි වෙඩි තියල මහා මිනිස් ඝාතනයක් කරපු කොටි කණ්ඩායම ලීඩ් කලේ අර මම කියපු කඩේ අයිතිකාරයගෙ පුතාය කියල ඒ දවස්වල කතාවක් තිබ්බ. මට මේ වෙලාවෙ ඒ කඩේ නම මතක් වෙන්නෙ නෑ. වල්ලිපුරම් වගෙ මොකක් හරි.

    සංස්කෘතික ත්‍රිකෝණයෙ මා එක්ක එකට වැඩ කරපු යාලුවෙක් ඔය සිද්ධිය වෙලාවෙ වෙඩි වැදිල මලා. ජීවිතයක් නිමාවෙන්ට සමහරවෙලාවට හේතුවෙන්නෙ බොහොම අභව්‍ය හේතූන්. මගෙ යාලුව බයිසිකලේ වැඩට යන්නෙ. මම දන්න කාලෙ ඉඳලම මිනිහගෙ බයිසිකලේ බ්‍රේක් නෑ.මම ත්‍රිකෝණෙ වැඩට යද්දි දෙතුන් පාරක් මිනිහ බ්‍රේක් නැතුව ඇවිල්ල මගෙ බයිසිකලෙත් වද්දල තියනව.

    එදා කොහොම හරි පරණ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් උදේ වැඩට යද්දි මිනිස්සු කෑගල තියනව යන්ට එපා කොටි වෙඩි තියනව කියල. ඒත් නුවර වැව රෙස්ට් හවුස් එක පැත්තෙන් තියන පල්ලමේ මිනිහට බයිසිකලේ නවත්තගන්ට බැරිවෙලා. අනික මනුස්සය හරිම මහතයි. කලබල වුන පාර බයිසිකලේ නවත්ත ගන්ට බැරිවෙලා. කෙලින්ම ගිහිල්ල තියෙන්නෙ කොටි ඉන්න දිහාවට . ආය මොනවද?

    පලි – අර මම කලින් කියපු එස්.පී. දෙල්ගොඩ තමයි කලත්තෑවෙ සොයිසව අල්ලල තියෙන්නෙ.ඒ එයා එස්.අයි. කාලෙ. ඒ කලත්තෑවෙ සොයිසගෙ පුතෙක් තමයි මේ ඊයෙ පෙරේද මරපු වසන්ත සොයිසා.

    • රවී….මේ අපූරු අත්දැකීම් එකතුකරාට තෑන්ක්ස් මචං. උනන්දුවෙන් කියවන අය ඉන්නවා නම් මේ සටහන් ප්‍රයෝජනවත් වෙයි. වසන්ත සොයිසා කියන්නේ කලැත්තෑවේ සොයිසාගේ පුතෙක් කියා දැනගෙන හිටියේ නැහැ. නලින් දෙල්ගොඩ පිලිබඳව බටලන්දට අදාලවත් කියවෙනවා. මේ කියන දෙල්ගොඩත් එයාමද..

      රවී …..ගොඩක් දුරට කරුණු එකතුවෙන නිසා මම මෙතනට අසූතුන පිලිබඳ ධර්මසිරි බංඩාරනායකගේ කෙටි විග්‍රහයක් දාන්නම්. අහලා බලපන්. මේ පිලිබඳව ඩග්ලස් වික්‍රමරත්නගේ විග්‍රහයක් වෙනම දාන්නම්.

      • මේ 2008 විග්‍රහයක්. අද තත්වය මීට වඩා වෙනස්ද..ඉදිරිය කුමක්ද කියා අපි බලාගෙන ඉන්නවා.

  15. 1983 ඇහින් දුටු අය තම අත්දැකීම් ලියා තබන නිසා තව වීඩියෝ ක්ලිප් එකක් සහිත ෆොටො එකතුවක් සහිත ලින්ක් එකක් එකතු කරන්නම්. මේ සම්බන්ධව මා තොරතුරු සොයද්දී හමුවු එක් තැනක්. http://www.blackjuly.info/photos.html

  16. rangi says:

    මට හිතාගන්න බෑ තාමත්…
    සමහරවිට මිනිසුන්ට මේ වගේ කුරිරු වෙන්න පුළුවන් කියලා මට නොහිතෙන හින්දා වෙන්න ඇති.
    මොනවා උනත් අරූගේ ලිවීමේ හැකියාව ගැන නම් වචන දෙකක් නෑ.
    Best Ever !!!

    • තෑන්ක්ස් රංගි…ඔයා එදා ඉඳන්ම මාව දිරිමත් කරා මේ ලියවීමට. ඒත් මම එහෙම ලොකුවට ලියන්නේ නැහැ. හිත සහ මතකය ටයිප් කරනවා පමනයි. සපෝට් එකට ඩබල් සැලියුට්!!! මමත් ඔය හැම බ්ලොග් එකටම ගිහින් කමෙන්ට් එකක් දාන්නේ, බ්ලොග්ස් ලියන එකාට පොඩි බූස්ට් එකක් දෙන්න. මම ඒක යුතුකමක් ලෙස සලකනවා.
      ///////මට හිතාගන්න බෑ තාමත්…////////
      මේ සමාජය එදත්, අදත්, හෙටත් ඒ විදිහටම තියේවිද, අඩියක් වත් ඉස්සරහට යයිද කියා බලා සිටිමු. බොහොමයක් දෙපිට කාට්ටුවෝ සහ කුහකයෝ. දවසක හැදෙයි.

      • rangi says:

        මම තාමත් විස්වාස කරනවා අරූ ඉන් එහාට යමක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ කියලා. කොටින්ම මම දන්න වටපිටාවේ එවුන්ට අපේ අක්කලගේ හෙම ළමයින්ට කණෙන් ඇදලා හරි මනුස්සයෝ වෙන්න කියලා දෙන්න මම උත්සාහ කරනවා. අපි පිට රට වලදි අපේ රට මෙහෙමයි අරහෙමයි කීවට සැබෑව දැන් ඒක නෙමෙයිනේ. කුහකකම නොමිනිස්කමයි ජාතිවාදයයි අරවයි මේවයි මිසක් අපි හිතන් ඉන්න වැලියුස් දැන් ලංකාවේ මිනිස්සු ළඟ නෑ. ඒක දුකක්. අපි අපිවත් ඒ වෙනසට දායක වෙමු.

        ලිවීම ගැන අරූගේ ලිවීම ගැන කතා දෙකක් නෑ. ඔබේ නිරවුල්, නිහතමාණී, අව්‍යාජ කතාවන් එක්ක අකුරු ගෙත්තම ඔබට විතරමයි අරූ මේ බ්ලොග් ලෝකේ. රවියා පොඩ්ඩක් ළඟින් යනවා. මම බොහෝ කියවන කෙනෙක්. මට පුළුවන් විදියට සපෝට් එකකුත් දෙන කෙනෙක් ලියන අයට. ඒත් ඔබ කීව වගේ මගේ නම් නිහඬවීමක් විතරමයි

  17. මේක පොඩ්ඩක් කියවන්න.
    http://www.sarasaviya.lk/2017/02/09/?fn=sa17020929

  18. සෙන්නා says:

    83 දී අපි හිච්චි එව්වෝ.. අපිට තිබුන ආතල් එක තමා ඉස්කෝලේ නිවාඩු හම්බෙච්ච එක.. ගින්න දැක්කෙවත්, රස්නෙ දැනුනෙවත් නෑ…

    සියල්ලන්ටම මෛත්‍රී කරන්න උගන්වන ආගමක් ප්‍රධාන වෙච්ච රටක, ඒ ආගම අදහන මිනිස්සු අතින්ම මෙහෙම දෙයක් වුනා කිව්වම..මට වෙලාවකට හිතෙනවා ආගම කියන්නේ මිනිස්සුන්ට ඕනා වුනාම පැළඳ ගන්න, එපා වුනාම පැත්තකින් ගලවල තියන නිකන්ම නිකන් එක ආභරණයක් විතරයි කියලා…

    හැබැයි 83 කලු ජූලියෙන් සිංහල මිනිස්සුත් පාඩමක් ඉගන ගත්තා මම හිතන්නේ… ඒකයි ඔවුන් මීට වඩා කලබල විය යුතු අවස්තාවල් වෙච්ච ශ්‍රී මහා බෝධි ප්‍රහාරය, දළදා මාලිගා ප්‍රහාරයන් දී නොදු‍ටුවා, නො ඇසුවා වගේ හිටියේ.. එහෙම නැත්නම් ප්‍රභාකරන්ට බයේ වෙන්නත් පුලුවන්…

    මේවා මෙහෙම ලියල තියන් එක හොඳයි අරූ.. මේවා ගැන නොදන්න, අත්නොදැක්ක අලුත් පරම්පරාව මෙහෙමවත් මේවා ගැන දැනුවත් නොවුනොත් අනාගතයේ ආයෙත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙන්න ඉඩ තියනවා..

    • //////හිතෙනවා ආගම කියන්නේ මිනිස්සුන්ට ඕනා වුනාම පැළඳ ගන්න, එපා වුනාම පැත්තකින් ගලවල තියන නිකන්ම නිකන් එක ආභරණයක් විතරයි කියලා…/////////

      සෙන්නා……මේක මිනිස්සු විතරක් නෙමේ බං, ඔය ආගමික නායකයෝ යැයි කියාගන්නා උදවියත් එහෙමයි. ආගම බ්‍රෙසියර් එකක් වගේ. එලියට යනකොට විතරයි ඇඳගන්නේ. අනිත් වෙලාවට දොර පිටිපස්සේ එල්ලලා තියනවා.

      ///////කලු ජූලියෙන් සිංහල මිනිස්සුත් පාඩමක් ඉගන ගත්තා මම හිතන්නේ… ඒකයි ඔවුන් මීට වඩා කලබල විය යුතු අවස්තාවල් වෙච්ච ශ්‍රී මහා බෝධි ප්‍රහාරය, දළදා මාලිගා ප්‍රහාරයන් දී ///////////////

      මෙතන ඇත්තක් සහ නැත්තක් දෙකම තියෙනවා. පාඩමකුත් ඉගෙනගන්න ඇති. නමුත් සංවිධානාත්මක උසි ගැන්වීමක් හෝ පෙලඹවීමක් කරොත්, අතට අහුවෙන බරම ගලෙන් දමලා ගහනවා. ඒකේ දෙකක් නැහැ. ඒවා අපි මෑත ඉතිහාසෙත් දැක්කා. ඒ ගොන් කමට ජාති, ආගම් බේදයක් නැහැ. අන්න ඒක තමයි භයානකම තත්වය.

      //////මේවා මෙහෙම ලියල තියන් එක හොඳයි අරූ////////

      ලියලා බලමු සෙන්නා.

  19. මම අසූතුනෙත් අසූ නවයෙත් දෙකේම නොදැකියයුතු දර්ශන දැක්කා. එකෙක් වත් හොඳයි කියන්න බෑ.
    ඒක නෙවෙයි. උඹ ඔය කියන සේනක කවුද? මම කලිනුත් උඹට කියපු සේනකත් ගිටාර් වාදකයා. ඒකා නම් යහතින් ඉන්නවා.

    • ඩූඩ්…..පාට පාට දේශපාලනේ මටත් ඇතිවෙලා තියෙන්නේ මචං.

      උඹ කියන සේනක නෙමේ මචං. මට ඌව මතකයි. මේ සේනක කිචන් එකේ හිටියේ. සේනක ඩි සිල්වා. ගාල්ලේ පොරක්. ක්ලැසික් ගිටාරිස්ට්. උන්ගේ බෑන්ඩ් එකක් තිබුනා ගාල්ලේ. මූ මියුසික් කොම්පෝස් කරපු එකෙක්. අපිත් එක්ක දෙහිවල සෙට්වෙලා හිටියා. උනවටුන බීච් එකේත් ශෙෆ් වෙලා හිටියා පස්සෙ කාලෙක. මට ඒ වගේ මතකයි.

      • මම අර සේනකට මේ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක යවලා බලාගෙන ඉන්නව මේ. ඌ තාම දැකලා නෑ ඒක.

  20. ambalangodakatha says:

    “May I add that without your wholehearted support,it would not have been possible for the Hotel to have maintained the high standards of service it is renowned for the world-over. The generous compliments received from guests only go to emphasise the excellent team spirit and performance you and your colleagues put in during this period. The Lanka Oberoi is proud of you!!”

    මේක කියවල මට කදුළු ආව….
    මේ වගේ මනුස්සකම් අද කාලේ සේවකයිටත් නැහැ.. ස්වාමියන්ටත් නැහැ..
    මිනිස්සු රට ජාතිය ආගම මිල මුදල්, වස්තුව බෙදාගන්න බැරුව ගහ මරාගෙන අන්තිමේ හිස් අතින් මැරිලා යනවා..අන්තිමේ උන් මරාගත්තු එකක්වත් යනකොට අරන් යන්නේ නැහැ..

    • ඔව් ගොඩයෝ. එහෙම සේවකයෝ අහම්බෙන් ඇති. එහෙම ස්වාමියෝත් අහම්බෙන් ඇති. ඒ පෞද්ගලික මට්ටමෙන්. ආයතන මට්ටමෙන් එහෙම වෙන කාලයක්ද මේ තියෙන්නේ කියලා හිතන්න අමාරුයි. යුතුකම්,අයිතිවාසිකම් පටලවගනද කොහෙද…

      /////අන්තිමේ හිස් අතින් මැරිලා යනවා..අන්තිමේ උන් මරාගත්තු එකක්වත් යනකොට අරන් යන්නේ නැහැ..////////

      මේ සත්‍යය තේරුම් ගත්තොත් හොඳටම ඇති.

  21. හැම යුගයකම තාරුණ්‍යය එක සමානයි.

    • මමත් ඔහොමම තමයි හිතන්නේ කොච්ච්. ඒත් මටත් වඩා බාල සමහර වැඩිහිටියන්ට අමතකයිනේ..ඒ අයටත් එහෙම තරුන කාලයක් තිබුනා කියලා. අන්න එතනයි කොස්ස කොච්චියෝ. කොස්ස දොර මුල්ලෙ හංගනවා. අතුගාගන්නවා අඩුයි 😀

  22. අමිල says:

    Serama comments qyawala ada thamy posts serama iwara kale qyawala…..

    Super…. super….suppper…..

    • මූ නම් සුපර් ***ක් කියලා හිතුනද : D ජීවිතේ කියන්න ඔන්න ඔහොම දෙයක් අමිල…නෙල්ලි ගෙඩියක් වගේ….ඒ ඒ වෙලාවට දැණෙන රසය. මට ඕක කියලා දුන්නේ මගේ වයිෆ්ගේ අම්මා සෝමා ඇන්ටි. වෙනම පොතක් ලියන්න පුලුවන් චරිතයක්. ජීවිතය දිහා “කට කොණකින්” බලන හැටි. ඒක ලොකු පාඩමක්. මිනිසත්කමේ පාඩම…..

  23. මෙතනට අදාල නොවුනත් මේ මට ලැබුනු ඊමේල් එක ඔහුගේ අවසරය හා කැමැත්ත මත මෙතන ඉතුරු කරනවා. මේ මාත් එක්ක ජීවිත පටන් ගත්ත එකෙක්. මේ තුල එදා සමය වටහාගැනීමේ පහසුවක් තිබෙනවා. එදා සිටි තරුනයාගේ හැසිරීමේ ඇති යම් සදාචාරයක් තිබු බව පෙන්වීම මගේ අරමුණයි. අදටත් ලියු දෙයක යම් නිවැරදි කිරීමක් කරනා ආකාරය පවා අති විශිෂ්ඨය. අද තරුනයා මෙය වටහා ගතු යැයි සිතේ.

    ////////Dear Niranjan,

    Happy to see your writing once again. I attended at the book launching ceremony on 16th last month. I was eager to see your mother once again but I was unfortunate. Your younger sister told me that she is feeble. I felt sorry about that iron lady who tolerated the collapse of your education, the brutal assaults undergone by your brother and irresponsible behaviour of your father.

    Yesterday my daughter had to undergo same experience we underwent during our University period. The Police surmounted students’ protest against the SAITEM.

    Please reply,////////////

    //////Dear Niranjan,

    I am very much happy about your short reply. I can understand that you are very busy these days.

    I want to divulge certain secrets in my life. You may be wondering how an architecture student converted to be a Customs Officer. The secret is my daughter who is a final year medical student at the University of Sri Jayawardanepura. She was born on 21st March 1992 at the Base Hospital of Polonnaruwa. After her birth I started doing a Post Graduate study that was Master of Science (Architectural Conservation). Since I was working in the field of monument conservation I thought of qualifying myself further in that field.

    I registered myself as a Post Graduate student on 29.05.1992 while working as Conservation Supervisor attached to the Alahana Pirivena Project, Polonnaruwa of the Central Cultural Fund. The lectures were conducted at the Head Office of the Central Cultural Fund at the Bauddaloka Mawatha, Colombo 07 and they were conducted on Fridays, Saturdays and Mondays. On 8th June 1992 (a Monday) I got into the night mail train bound to Batticoloa started at 10.30 from the Colombo Fort Railway Station. I got down from the train on 9th June morning and went to meet a friend working at the Central Post Office of Polonnaruwa which was right opposite the Kaduruwela Railway Station.

    Since my friend was working with his superior I went through Government gazettes and found there was an application for the competitive examination to recruit Assistant Superintendents of Customs class II into the Unified Customs Service. I asked for a sheet of paper from my friend Chandrapala and copied the application. Undermentioned qualifications were required to be recruited as an Assistant Superintendent of Customs.

    the candidates must be a citizen of Sri Lanka having a good character
    must be a Graduate of a recognized University
    must posses a credit pass for GCE (O/L) or NCGE Examination
    should be less than 30 years of age at the closing date of application that was 19th June 1992

    The male candidates must have 5’6″ in height and expanded chest had to be 34″ and the female candidates must have 5’3” of height.

    Since I was already employed in the Government Service I had to sent my application through the Head of the Institution.

    I filled the application and sent it to the Head Office for the recommendation of the Director General and worked at the site in Polonnaruwa. On 11th June 1992, I got into the night bus at 2.00 a.m. from Hingurakgoda and arrived Colombo on 12th June and came to Head Office for classes. When I checked from the Chief Clerk I came to know that my application was resting in peace on the table of the Chief Clerk. I explained the situation to the Chief Clerk and collected the application and met Mr. N. Marasinghe, then Director (Administration) of the Central Cultural Fund. Mr. Marasinghe certified my signature and endorsed the possibility of my release from the Central Cultural Fund.

    On 22nd August 1992, I was called for the examination and the examination was consisted of two papers. The first one is the test of intelligence and the second was an English paper. Since I had scored 123 marks out of 200, I was called for an interview on 26th March 1993. No marks were given at the interview and the appointment were mainly based on examination marks and the physical qualifications. After appearing for the interview the selected candidates were published. I am proud to say that I was the 116 in the list of marks out of 5000 graduates.

    This is something similar to my selection to Royal. We sat for a competitive examination in the year 1972 and we were capable enough to be selected out of 800 candidates. This is a miracle in my life because my family never involved in politics and I achieved every success purely through examinations.

    There was turmoil in the Political Arena of the Sri Lanka. President R. Premadasa was murdered by a suicide bomber and Mr. D.B. Wijetunge was appointed as the caretaker President. Since there were vacancies in the post of Assistant Superintendent of Customs class II, Mr. Wijetunge gave appointments to fill those vacancies. I got my appointment with effect from 01st December 1993.

    At the time of interview my son was conceived and Sarojanee delivered him one month after my appointment. There are so many sweet as well as horrible memories swirling around me and I will come back to you one by one.

    Regards,/////////////////////////////////

    //////Dear Niranjan,

    There is a small mistake in my narrative.

    The qualification required to be an Assistant Superintendent of Customs class II was;

    Academic Qualifications:

    must be a citizen of Sri Lanka having a good character
    must have a degree from a recognized University
    must have a credit pass for English Language in GCE(O/L) or NCGE

    Physical Qualifications:

    must have 5’6″ height and 34″ expanded chest for male candidates
    must have 5’3″ height for female candidates

    Age

    must above 22 years of age and below 30 years at the date of closing application that was 19th June 1992.

    At the interview the Certificate of Birth and Academic Certificates had to be produced and after recruitment the candidates had to produced a medical certificate issued by a Government Medical Practitioner attached to the nearest Government Hospital.//////////////

  24. මම මේ සන්දියේ වෙච්චි දේවල් ගැන කියවලා මිසක් අත් දැකලා නැහැ … නමුත් ඒ සම්බන්ධ දේ කියවනකොට ඇති වෙන හැඟීම් විස්තර අමාරුයි 😦

    අනික අද කාලේ වෙන සමහර දේ දැකපුවහම අපි තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ කියන එක නම් ෂුවර් ! ඉස්සරහට ඉගෙන ගන්න එකකුත් නැහැ 😦

    • මොනවගෙන් මොනවා හරි වෙලා හොඳක් වුනොත් කියන බලාපොරොත්තුව විතරක් තියෙනවා කණ්ඩා.

  25. LSD ලයිසජික් ඇසිඩ් ඩයිතලමයිඩ්
    රම් ශාකයෙන් ලබාගන්නා පුස් වලින් හදන්නෙ. කැට දියර පෙති විදියට තියෙයි
    ගඳක් සුවඳක් නෑ. හුගක් අය මුද්දර කියලත් කියනව. ඒත් ඒව ටිකක් වෙනස්.
    ව්‍යාමෝහජනක නැත්තං භ්‍රාන්තිජනක තේරෙන විදියට කියනව නං මායාකාරි කියන කාණ්ඩයට වැටෙන මත්ද්‍රව්‍යක්. නිර්වචනය කරන්නෙ,

    බාහිර උත්තේජනයක් නොමැතිව සංවේදි ඉන්ද්‍රියන් තුළ ඇතිවන්නා වූ දැනුම හා සාමාන්‍යයෙන් පෙනෙන්නා වූ ඇසෙන්නා වූ දෙයකට සීමාවූත් විටක වෙනත් සංවේදී ඉන්ද්‍රියන් වෙතින් පහළ වෙන්නා වූ දැනුමය

    ටිකක් ඩේන්ජරස් ඩ්‍රග් එකක්. තනිකරම පිස්සු විකාරයක්. ඒ කාලෙත් ඒව තිබ්බ කියනකොටත් ලංකාවෙ නීතියට ඒවට හරස් වෙන්න තාම බැරි වුණ එක නං පුදුමයි
    ඒ විතරක් නෙවයෙි ඩාන්සින් ටැබ්ලට් කියන වහුටු ජරාවත් ඔය වගේ නස්පැත්තියක්…

    ඒව කැලේ
    මේ කතාව කියවද්දි මට හිතුණෙ ජාතියක් රටක් විදියට අපි කොහෙද කියල. තාම වෙනස් වෙන්න බැරි වුණ අය ඉන්නව ඇති තරං
    අනේ මංද

    අරූ අයිය මොකක් හරි අවුලක් කිව්ව නේ මගේ බ්ලොග් එකේ පොඩ්ඩක් මැසෙජ් එකක් දානවද..
    මේ දවස් ටිකක් බිසී. අහම්බෙන් දැක්කෙ ඒ ටිකත්.. ඔයාගෙ මේල් එක නෑ මං ළඟ
    maheshrmx@gmail.com

    • LSD කියන්නේ හැලුසිනේශන් එෆෙක්ට් එකක් දෙන ඩ්‍රග් එකක්. ඔබ හරි. රම්ද..රයිද..
      මීට වඩා විනාශකාරී ඩ්‍රග්ස් මේ වෙනකොට නිර්මාණය කරගෙන ඉවරයි. ලෝකයේ හොඳදේ හොයාගන්නවා වගේම නරකදේත් හොයාගන්නවා. මේවාගෙන් මිදීසිටීම තම තමන් සතු කාර්‍යයක්. අපේ රටේ මේ වෙනකොට නොයෙකුත් වර්ගයේ මත්ද්‍රව්‍යවල සෙල්ලම් පිට්ටනියක් බව දන්න අය කියනවා. කැනබිස් වර්ගම රාශියක් තියෙන බව මට කෙනෙක් කීවා. මේක වෙනමම කතා කලයුතු මාතෘකාවක්.

      ඊමේල් වැඩේ හරිනේ මහේෂ්.

  26. මීලග කොටස බලාපොරොත්තුවෙන් ඉමි

Leave a comment